Wednesday, July 27, 2016

429. සිව්වසරකට පසු - 1 - නොහොත් Here We Go Around The Mulberry Bush……


Here we go around the mulberry bush......

අවුරුදු හතරකට පස්සෙ ඔන්න ලංකාවට ආපි. සාමාන්‍යයෙන් අවුරුද්දක් මැද පෙරදිග වැඩ කලහම මාසයක් පඩි සහිත නිවාඩු දෙනව. ඒත් මගෙ පාරුවේ පුවක් කියන්නෙ මම වැඩ කරපු සමාගම් දෙකකින්ම මට අයින් වෙන්ට සිද්ද වුනේ අවුරුද්දක් වැඩකරල වාර්ෂික නිවාඩු යන්ට ඔන්න මෙන්න කියල තියෙද්දි.ඉතිං මක්කා කොරන්නෙයි ගෙදර යැවිල්ල පැත්තක තියල පත්තරවලයි, නෙට් එකෙයි මගෙ විස්තර දැම්ම. සිටුවේෂන් වෝන්ටඩ් කියල. 

ඉනික්බිති ඉන්ටර්වීව් වලට කතා කලාම ටයි පොල්ලකුත් බෙල්ලෙ ගැටගහගෙන සැටිපිකට් ගොන්නත් රෝල් කරල කිහිල්ලෙ ගහගෙන ඉන්ටර්වීව් වලට යන්ට ගත්ත. බොරතෙල් මිල අවපතනය හින්ද මේ දවස්වල මෙහෙ ඉදිකිරීම් ක්ෂේත්‍රය ටිකක් විතර අර්බුද සහිතයි. ඒ හින්ද රස්සාවක් හොයාගන්ට ටිකක් කල්ගියා. රස්සාවක් හම්බ වුනාමත් හා පුරා කියල අලුත් බොස් ගාවට ගිහිල්ල කියන්ට පුලුවනැයි "මම අවුරුද්දකින් ගෙදර ගියේ නෑ මාසෙකට ගෙදර යන්ට ඕමනයි" කියල. හෙහ්..පයිං ගහල එළවල දාවි එතනිං. 

හරි හරි ඒ රස්සා නැතිවිල්ල සහ අලුතෙං රස්සා හෙවිල්ලත් මාරම අත්දැකීමක්. ඒ ගැන සවිස්තරව පස්සෙ ලියන්නංකො. 

ඉතිං ඔය ආකාරයට කොහොමිං කොහොමිං හරි මට අවුරුදු හතරක් ගෙදර එන්ට ලැබුණෙ නැහැය කියමුකො. හැබැයි ඒ අතර දෙපාරක් අපේ භාර්යා තොමෝ එහාට ආව. ඇවිල්ල මාසයක් වගෙ ඉඳල ආපහු ආව. 

ඉතිං සුමාන දෙහෙකට ඉස්සර වෙලා මම ගෙදර ආව ඔන්න. 

පාස්පෝට් එකක් නිකුත් කරන්නෙ අවුරුදු දහයකටනෙ. මගෙ පාස්පෝට් එක මේ ඔක්තෝබර් 16 වෙනිද අවලංගු වෙනව.ඉතිං ආපහු වැඩට යන්ට කලින් පාස්පෝට් එක අලුත් කරගන්න එක අනිවාර්යයෙන් කලයුතු දෙයක්. ආගමන විගමන දෙපාර්තමේන්තුවෙ ශාඛා කාර්යාලයක් නුවරත් විවෘත කලා දැන් අවුරුදු පහ හයකට ඉස්සර. වැව රවුමෙ මහාමායා බාලිකාව ලඟම. පහුගිය සුමානෙ දවසක මම ඔතෙන්ට ගියා මගෙ වැඩේ කරගන්ට. 

ඊට කලිං ඉමිග්‍රේෂන් ඩිපාට්මන්ට් එකේ වෙබ් සයිට් එකට ගියා විස්තර බලාගන්ට. ඒකෙන් ගමන් බලපත්‍ර අලුත් වැඩියා කිරීමේ අයදුම් පත්‍රයකුත් බාගත කොටගෙන පියා එයද නිසි පරිදි පුරවාලාපියා තමයි මම ඔය ආගමන සහ විගමන කාර්යාලයට ගියේ. පාන්දර අට වෙනකොට එතනට ගියත් ඒ වෙනකොටත් එතන පෝලිම විස්සක් විතර. 

පෝලිම කිව්වම මට මතක් වෙන්නෙ පෝලින් ඩි කෲස්, ලංකාවෙ සුප්‍රසිද්ධ ඝාතන නඩුවක විත්තිකාරිය. කුඩා දරුවකු ඝාතනය පිළිබඳව ඇයට මරණ දඬුවම නියම වුනත් එවකට අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතා ඇගේ දඬුවම ලිහිල් කරනවා. 1980 වගෙ ඇය බන්ධනාගාරයෙන් නිදහස් වෙනවා.ඒ නඩු තීන්දුව වැදගත් නඩු තීන්දුවක්. කිසිදු ඇසින් දුටු සාක්ෂියක් හෝ පාපෝච්ඡාරණයක් හෝ අපරාධය සිදුකිරීමට පැහැදිලි හේතුවක් හෝ නොමැතිව වුවද සම්පූර්ණයෙන්ම පරිවේෂණීය සාක්ෂි මත පිහිටා මරණ දඬුවම නියම කිරීමක් ඉන් පෙර ලංකා අධිකරණ ඉතිහාසයේ සිදුවී නොමැති බවයි සඳහන් වෙන්නේ. 

ඔය වගෙ ලංකා අධිකරණ ඉතිහාසයේ වැදගත් නඩු විභාග කීපයක්ම තියෙනවා.ආටිගල මිනීමැරුම, සතාසිවම් මිනීමැරුම, කලත්තෑවේ සොයිසා නඩුව, ඇඩ්ලින් විතාරණ ඝාතන නඩුව..ඒවා මම දන්න කාලයට ඉහත සිද්ද වෙච්ච එව්ව. මම දන්න කාලෙ විභාග වෙච්චි සුප්‍රසිද්ධ නඩුත් කීපයක් තියනව. කතරගම මනම්පේරි ඝාතනය, ඊලඟට තිස්මඩ මිනීමැරුම, මැතිව් පීරිස් නඩුව, චන්ද්‍රසේකර ඩයස් ඝාතන නඩුව. 

ආටිගල ඝාතන නඩුව සුවිශේෂී එකක් වෙන්නේ එයින් මරණ දඬුවම් ලද චූදිතයා සර් ජෝන් කොතලාවල මහතාගේ පියා වීම නිසයි. මගෙ පරණ ලාච්චුවක් අවුස්සද්දි මට ඒ නඩුව ගැන අපූරු විස්තරයක් හමුවුනා. ඒ ගැන සවිස්තරව ලිවීම පසුවට කල් තබන්නෙමි. 

ඕනනම් ඔය කියාපු නඩු විභාග ගැන ගොමු තැලුවැහැකි තව මාස හයක් විතර...හෙහ්,හෙහ්, හරි හරි කලබොල වෙන්ට කාරි නෑ. ඒ නිකමට කිව්වෙ. එහෙම ගොමු තලන්ට මගෙ කිසිම අදහසක් නෑ. 

රයිට් එව්ව ඕන නෑ. ඉතිං මම ඔන්න පෝලිමේ ඉස්සරහටම ගියාය කියමුකො. 

ඉටිකිරිස් ලේඬීස් කෙනෙක් හිටිය ආය නෑ හරියටම අර කවුද ටෙලි නාට්‍ය නිළියක් ඉන්නෙ අන්න ඒ වගේමයි. බෙල්ලෙ එල්ලල තිබ්බ නේම් ටැග් එක. වැඩේ කියන්නෙ ඒකෙ අකුරු බොහොම කුඩයි. ඉස්සරහට නැමෙන්ට ඕන නම කියවගන්ට. නම කියෝගන්ට මම ඉස්සරහට නැමුනහම ඒ ඉටිකිරිස්ලතා බයවෙච්චි පාර ඇස් දෙකත් ලොකු කරගෙන පස්සට විසිවුනා. මම බොහෝම අහිංසක විදිහට හිනාවුනා. "වින්ධ්‍යානි - කලමණාකරණ සහකාර" එහෙමයි නේම් ටැග් එකේ ගහල තිබ්බෙ. 

"මිස් මගෙ පාස්පෝට් එක අලුත් කරගන්න ඕන" ඇප්ලිකේෂන් එකයි පරණ පාස්පෝට් එකයි දික්කරමින් මම කිව්ව. 

"දැන් පාස්පෝට් අලුත් කරන්නෙ නෑ" වින්ධ්‍යානි මිසී බොහොම ගාම්බීර හඬකින් මට දැනුම් දුන්නා. 

"ඒ කිව්වෙ?" 

"ඒ කිව්වෙ පරණ පාස්පෝට් එක කල් ඉකුත්වෙලානම් අලුතෙන්ම පාස්පෝට් එකක් ගන්ට ඕන." 

"හැබැයි ඉතිං ඔහේලගෙ වෙබ් අඩවියේ නම් පාස්පෝට් එක අලුත් කරන්ට පුරවන්ට ඕන අයදුම්පත පවා තාමත් තියනව. ඔය විස්තරේ ඒකෙත් යාවත්කාලීන කලානම් හෙණ ගහනවද?" මම එහෙම කිව්වෙ නෑ කට ඇතුලෙං සුටු පුටු ගෑව විතරයි. 

"හරි...හරි….දැං මොන මොනවද ඒකට අවශ්‍ය කරන ලියකියවිලි?"

"උප්පැන්න සහතිකෙයි. ඒකෙ ෆොටෝ කොපි එකකුයි, ජාතික හැඳුනුම් පතයි, ඒකෙ ෆොටෝ කොපි එකකුයි,පරණ පාස් පෝට් එකයි, ඒකෙ ෆොටෝ කොපි එකකුයි, ලඟදි ගත්තු ෆොටෝ එකකුයි" 

වින්ධ්‍යානි සුරතේ දබරැඟිල්ල ආධාරයෙන් වමතේ ඇඟිලි එකිනෙක පිළිවෙලින් නවමින් උත්තර දෙනව දැකල මට සැණෙකින් මතක් වුනේ ඔය රූපවාහිනියෙ, ස්වර්ණවාහිනියෙ එතනින් ගියාම සිරසෙ, දෙරණෙ එහෙම රතුඉර, වාදපිටිය එතනින් ගියාම සටන, සංග්‍රාමයට එහෙම ඇවිල්ල අනුර කුමාර දිසානායක උන්නැහැ ඔය විදිහටම ඇඟිලි නමමින් කතා කරන විදිහ. 

"හරි පැහැදිලියි මෙතන වෙන්නෙ මොකක්ද කියල, ඉස්සෙල්ලම ඇමතිතුමා ටෙන්ඩර් එකට අනුමැතිය ගන්නව" (එහෙම කියල අනුර කුමාර වමතෙ සුළඟිල්ල නවනව දකුණු අතේ දබරැඟිල්ලෙන්) "ඊට පස්සෙ ටෙන්ඩර් එක කැඳවනව" (දැන් වමතෙ වෙදඟිල්ල නමනව) "ඇමතිතුමාගෙ සහෝදරයත් ටෙන්ඩර් එකක් ඉදිරිපත් කරනව" (එහෙම කියල නමන්නෙ වමතෙ මැදඟිල්ල) "ඒ ටෙන්ඩර් සමාලෝචනය කරන මණ්ඩලෙත් ඇමතිතුමා ඉන්නව" (වමතෙ දබරැඟිල්ල) "අන්තිමට සමාලෝචනයෙන් අංක එකට තේරෙන්නෙ ඇමතිතුමාගෙ සහෝදරයගෙ ටෙන්ඩර් එක" (දැන් නමන්නෙ වමතෙ මහපට ඇඟිල්ල) 

කොහොම උනත් ජේ.වී.පී. එක මරාගෙ වගේම යහ පාලන ආණ්ඩුවෙත් දූෂණ සහ වංචාවන්ට විරුද්ධව ගෙනියන සටනට නම් මම බොහොම කැමතියි. 

වින්ධ්‍යානිත් ජේ.වී.පී.ද මන්ද. "මේ මම දෙයක් අහන්ටද තරහ වෙන්නෙ නැත්තං? ඔයා ජේ.වී.පී.ද?" මට එහෙම අහන්ට කටටම ඇවිල්ලත් ආය මොකටද කියල හිතල ඒ වචන ගිලගත්ත. 

"මිස් ඇප්ලිකේෂන් එක දීල කොච්චර කල් යනවද අලුත් පාස් පෝට් එක අතට හම්බවෙන්ට?" 

"සති තුනක් ඇතුලත තැපෑලෙන් හම්බවෙයි" වින්ධ්‍යානි ඒ වෙලාවෙ නම් ඇඟිලි නැව්වෙ නෑ. 

ඉතිං මොකක් කරන්නද? මම පාස්පෝට් ඔෆිස් එකෙන් එළියට බැහැල ආව එන්ට. 

දවස් තිහයි මගෙ නිවාඩුව තියෙන්නෙත්. දැනටම ඒකෙන් දවස් හයක් ගිහිල්ල. අලුත් පාස් පෝට් එක එන්ට සති තුනක් යනව කියන්නෙ අද ඇප්ලිකේෂන් එක බාරදුන්නත් මම ආපහු යන්ට දවස් තුනකට කලින් තමයි පාස් පෝට් එක හම්බ වෙන්නෙ. ඒකත් තැපෑලෙන් එන හින්ද එතන මොකක් හරි හුටප්පරයක් වෙලා පාස්පෝට් එක නියම වෙලාවට හම්බ වුනේ නැත්තං එහෙම බබිත් සුං බබීගෙ අම්මත් සුං තමයි.මට නියමිත දිනේට ආපහු යන්ටත් බැරිවෙනව. 

රුපියල් දහදාහක් ගෙව්වම එක දවසිං පාස්පෝට් එක ගන්ටත් පුලුවං. ඒත් වන් ඩේ ඉන්ටර්නැෂනල් වැඩේ තියෙන්නෙ කොළඹ පමණයි. නුවර ඒ සෙල්ලම් නැත. ඒ හින්ද කොහොමත් වැඩේ කරගන්ට වෙන්නෙ කොළඹින්ම තමයි. 

කෝකටත් ෆොටෝ එකකුත් ගන්ට එපාය. එහෙම හිතල මම නුවර ටවුම මැදම තියෙන ස්ටුඩියෝ එකකට ගොඩවුනා. එතනත් රිසෙප්ෂන් එකේ හිටියෙ ගෑණු ළමයෙක්. 

"මිස් මට පාස්පෝට් ෆොටෝ එකක් ගන්ට ඕන. හෙට වගෙ ගන්ට පුලුවන් වෙයි නේද?" 

"සර් මෙහෙමයි. දැන් පාස්පෝට් ෆොටෝස් අතට දෙන්නෙ නෑ" 

"ඈ?.... එතකොට?" 

"එව්ව අපි කෙලිම්ම ඔන් ලයින් අප්ලෝඩ් කරනව ඉමිග්‍රේෂන් ඩිපාට්මන්ට් එකේ වෙබ් සයිට් එකට. ඒ කරල සර්ගෙ අතට නොටිෆිකේෂන් එකක් දෙනව අප්ලෝඩ් කලාය කියල. පාස්පෝට් ඇප්ලිකේෂන් එකත් එක්ක ඒක අමුණල දෙන්ට ඕන" 

මළ කෙලියයි, අර වින්ධ්‍යානි ළමය මට මේ ගැන කිසිම විස්තරයක් කිව්වෙ නෑනෙ. නෑ..නෑ..ඒ ලමයට අමතක වෙන්ට ඇති.ඔව්..එහෙම තමයි වෙන්ට ඇත්තෙ. සුවල්ප වැඩ රාජකාරි තියෙන ළමයෙක්ද හැබෑටම..මම වින්ධ්‍යානි සියලු වරදින් නිදොස් කොට නිදහස් කළෙමි. 

"හරි කීයද ගාණ පාස්පෝට් ෆොටෝ එකකට?" 

"රුපියල් හාරසීයයි" 

මම ගෙව්ව හාරසීය. 

"හරි සර් මේ චිට් එකත් අරගෙන උඩට යන්ට. අපෙ ස්ටුඩියෝ එක උඩ තට්ටුවෙ තියෙන්නෙ" 

රිසෙප්ෂන් කවුන්ටර් එක අයිනෙම්ම තිබ්බ යන්තං අඩියක් වගෙ පළල ලී පඩි පෙළක්. එක පඩියක උස ඇති අඩියක් විතර. මගෙ වම් දණහිසේ හිටපු ගමං දරුණු කැක්කුමක් එනව විශේෂයෙන් එක දිගට පඩි විස්සක් වගෙ නඟිද්දි. 

මම එහෙදි දොස්තර කෙනෙකුට ඔය විස්තරේ කිව්වම ඒ මනුස්සය මගෙ වයස අහල කියපි " ආ.. ඒක එච්චර ගණං ගන්න එපා ඔය වයසට ඔහොම වෙනව" කියල. ඒ ගමන මම ඇහුව "ඉතිං ඩොක්ටර් මගෙ දකුණු දණහිසටත් ඒ වයසමනෙ. ඇයි ඒකෙ ඒ වගේ කැක්කුමක් එන්නෙ නැත්තෙ?" කියල.දොස්තරත් අපරාදෙ කියන්ට බෑ ජොලි බුවා. පොර කියපි "ඒකත් ඇත්ත තමයි බලාගෙන යනකොට. එහෙමනම් ෂුවර් එකටම ඔයාගෙ දකුණු දණහිස වම් දණහිසට වැඩිය බාල ඇති කියල" 

ඉතිං කොහොම හරි වම් දණහිසට අතකුත් තියාගෙන මම අර පටු පඩිපෙළ නැඟල උඩ තට්ටුවට ගියා.ට්‍රයිපොඩ් එකක් උඩ අටවපු කැමරාවකුයි අර ෆොටෝ ගන්නකොට ඉහලන සුදු කුඩ හතර පහකුයි නම් තියනව. "සුදුකුඩ ඉහලන මල් වරුසාවේ......." ඒ සිංදුවත් මුමුණමින් මම පොඩි සෝදිසි පාරක් දැම්ම. ම්ම්ම්ම්හු... මෙලෝ යකෙක් නෑ පේන්ටවත්. 

"කවුද ගෙදර? හලෝ..කවුද ගෙදර?" මම ඒ එක්කම තිබ්බ ෆෝමිකා මේසෙකට දෙතුන් පාරක් ගහල කෑගැහුව. ම්හ්ම් කවුරුවත්ම නෑ. ෆෝමිකා මෙසේ උඩ තිබ්බ ඩෙස්ක් ටොප් එකක්. ඒ සී එකකුත් නම් තියනව. ඒත් වැඩ කරන බවක් නම් පේන්ට නෑ. 

හතර වටෙන්ම සීල් වෙලා හින්ද විනාඩියක් යන්ට වුනේ නෑ ඉහිං කණිං දාඩිය වැක්කෙරෙන්ට ගත්ත. මට කොහොමත් දාඩිය දානව ටිකක් වැඩියි.යන්තං අඩි දෙසීයක් පයිං ගියාද කුඹුරු අක්කරයක් කෙටුව වගෙ දාඩිය දාන්නෙ. 

ටිකක් හෝදිසි කරල බලද්දි මම දැක්ක සීලිමේ ෆෑන් එකක් එල්ලල තියනව. එතනම තිබ්බ ස්විච් එක දැම්මම මෙන්න ඇස් වහක් කටවහක් නෑ ෆෑන් එකනං බබා වගේ වැඩ කරන්ට ගත්ත. ඒත් ඒකත් අර රොටේටිං නොහොත් වටේට කරකැවෙන වර්ගයෙ එකක්. එක තැන හිටගෙන උන්නම ෆෑන් එක වටේට ගිහිල්ල ආපහු එනකල් ඉන්ට වෙනව හුළං පොදක් වද්ද ගන්ට. ඕක කොරන්ට ඇහැක? මගෙ මේ ඉහිං කණිං දාඩිය. ඒ පාර මම කලේ ෆෑන් එක කරකැවෙන කොට ඒ එක්කම රවුමෙ යන්ට පටං ගත්ත. ඒ පාරනං ඔන්න ටිකක් දාඩිය එහෙම නිවිල එක විදිහක් වුනා කියමුකො. 

ඔන්න මට ඉතිං වැඩේ නැඟල ගියා. මොන්ටිසෝරි යන කාලෙ මොන්ටිසෝරි මිස් උගන්නපු පොයම් එකකිං කොටසකුත් කිය කිය මම වටේ යනව. 

Here we go round the mulberry bush, 
The mulberry bush, 
The mulberry bush. 
Here we go round the mulberry bush 
So early in the morning. 

This is the way we brush our teeth, 
Brush our teeth, 
Brush our teeth. 
This is the way we brush our teeth 
So early in the morning. 

මේ ඒ පොයම් එකේ සිංහල වර්ෂන් එක… 

අපි මෙහෙමයි දත් මදින්නෙ, 
අපි මෙහෙමයි දත් මදින්නෙ, 
අපි මෙහෙමයි දත් මදින්නෙ පුංචි බුරුසුවෙං, 

"ඔහොම නෙවෙයි දරුවනේ..ඔය පොයම් එකේ තාලෙට ඇඟත් නැටවෙන්න ඕන" 

අපි ඇච්චො බැච්චො අත් අල්ලගෙන වටේට යනකොට අපේ මොන්ටිසෝරි මිස් එහෙම කියල තාලෙට යන විදිහ කියල දෙනව මට තාම මතකයි. අපි සුට්ටං කොල්ලො කෙල්ලො මිස් පස්සෙං ඒ විදිහට නට නටා යනව. 

ඇත්තම කිව්වොත් සද්දයක් ඇහුනෙමත් නෑ. ඒත් මා දිහා කවුද බලා ඉන්නව කියල ඉවෙං වගෙ තේරිල මම හැරිල බැලුව. පඩි පෙලෙං ගොඩ වෙන තැන ඉන්නව හිටගෙන කෙට්ටු කොල්ලෙක්. වයස විසිපහක් වගෙ ඇති. ඊට පිටිපස්සෙ හිටගෙන ඉන්නව අර පල්ලෙහා තට්ටුවෙ රිසෙප්ෂන් එකේ හිටපු කෙල්ල. දෙන්නම ඇස් ලොකු කරගෙන මා දිහා බලා ඉන්නව. 

"අ..පි..මෙ..හෙ..ම..යි..ද..ත්..ම..දි..න්..නෙ..පුං..චි..බු..රු..සු..වෙං.." මීට අර්ධ ශත වර්ෂයකට වගෙ ඉස්සර මොන්ටිසෝරි මිස් කියා දුන්නු විදිහට පොයම් එක ඉවර කරල මම නැවතිල අර කොල්ලයි කෙල්ලයි දිහා ඔලුව උස්සල බැලුව. 

"මාර රස්නයක්නෙ මේකෙ උඩ තට්ටුවෙ තියෙන්නෙ. මොන විදිහට වත් ඉන්ටම බෑනෙ" මම එහෙම කියල ෂර්ට් එක ඈත් කරල පපුවට හුලං ටිකක් පිඹ ගත්ත....... 

Monday, July 25, 2016

129. ඒ මල එසේ ම තිබුණාවේ

මගේ සැමියා වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්. මම ඔහුගේ නොසෙල්වෙන, අචල ස්වභාවයට ආදරය කරමි. ඔහුගේ විසල් උරතලයේ වැතිරී ලබන උණුසුමට මහත් සේ ලොබ වෙමි.

නමුදු වසර තුනක ආදර කතාවක අවසානයේ, විවාහ වී වසර දෙකක් ගෙවුණු තැන මට මෙසේ පවසන්නට සිදුව තිබේ. මම විඩාවට පත් වෙමින් සිටිමි. පෙර මා ආදරය කළ ඔහුගේ සමහර ගතිගුණ දැන් දැන් මා වෙහෙසට පත් කරමින් සිටියි.

මම භාවාතිශය කාන්තාවක වෙමි. ප්‍රේමනීය හැඟුම් සම්බන්ධයෙන් මම අතිශය සංවේදි වෙමි. පුංචි දැරියක පැණිරස ආහාරයකට ගිජු වන්නේ යම් සේද, එසේ මම ප්‍රේමනීය වූ නිමේෂයකට ගිජු වෙමි.

මගේ සැමියා සතුව ඇත්තේ මුළුමනින් ම මෙයට ප්‍රතිවිරුද්ධ අදහස්ය. ගතිගුණය. ඔහු සංවේදී බවින් මිදුනෙකි. ප්‍රේමනීය මොහොතක්, ප්‍රේමනීය වදනක් මා වෙනුවෙන් උපදවන්නට නොහිතන ඔහුගේ එම හැසිරීම ප්‍රේමය පිළිබඳ මගේ විශ්වාසය කැබලි කර දමන්නක් විය. දිනක් මම මගේ තීරණය ඔහුට පවසන්නට සිතා ගතිමි.

‘මට දික්කසාද වන්නට උවමනාය!.’

“ඇයි?” ඔහු කම්පා වී ඇසුවේය.

“මට එපා වෙලා තියෙන්නේ. මට මහන්සියි. මේක මහ මුස්පේන්තු ලෝකයක්. කිසිම දෙයක්, කිසිම වැදගැම්මකට නැහැ!” මම පැවසුවෙමි.

ඔහු මුළු රාත්‍රිය පුරා නිහඬ වතින් යුතුව, ගැඹුරු කල්පනාවක ගිලී නිදි වර්ජිත ව හුන්නේය.

එයින් සිදුවූයේ මගේ කළකිරීම තව තවත් වැඩිදියුණු වීමයි. මෙතරම් තීරණාත්මක දෙයක් තම බිරිඳ පැවසූ විටවත් තම පාර්ශ්වය වෙනුවෙන් වචනයක්වත් ගැටගසා ගන්නට නොහැකි වූ පුද්ගලයෙකුගෙන් වෙන අන් කවර දෙයක් බලාපොරොත්තු වන්නද?

අවසානයේ ඔහු මෙසේ ඇසුවේය. “ඔයාගේ හිත වෙනස් කරන්න මං මොනවද කරන්න ඕනෑ?”

‘පුද්ගලයෙකුගේ පෞරුෂත්වය වෙනස් කිරීම ඉතාමත් අසීරු දෙයකි’යි යමෙකු පවසා තිබේ. එම කියමන ඉතාමත් නිවැරදි බව ඒ මොහොතේ මට සිතුණි. ඔහු පිළිබඳ මසිතෙහි වූ විශ්වාසය දියාරු වෙමින් තිබිණි..

ඔහුගේ දෙනෙතට දෙනෙත් යා කළ ‍මම සෙමින් මෙසේ පැවසුවෙමි. “මෙන්න ප්‍රශ්නය, ඔයා මේකට දෙන උත්තරය මට පිළිගන්න පුළුවන් වුනොත්, මම හිත වෙනස් කරගන්නවා.

හොඳයි, අපි මෙහෙම කියමු, භයානක කඳු බෑවුමක මං කැමති මලක් පිපිලා තියෙනවා. අපි දෙන්නම දන්නවා ඒ මල කඩන්න යනවා කියන්නේ ඔයාට අනිවාර්යයෙන් ම මැරෙන්න සිද්ධ වෙනවා කියන එක. ඉතිං ඔයා මං වෙනුවෙන් ඒක කරනවද?”




“මම මේකට උත්තරේ හෙට කියන්නම්...” ඔහුගේ එම පිළිතුරෙන් මගේ අවසන් බලාපොරොත්තුවත් තෙරක් නොපෙනෙන මහා සාගරයේ ගිලී ගියා සේ විය.

පසුදා උදැසන මා අවදිවන විට ඔහු පිටත් ව ගොස් තිබුණු අතර ඉදිරි දොර අසල කෑම මේසය මත වීදුරුවක බර දරාගෙන සිටියේ ඔහුගේ කුරුටු අකුරින් යමක් ලියැවුණු කඩදාසි කැබැල්ලකි. එහි මෙසේ ලියා තිබිණි. 

මගේ ආදරිය, “මම ඔයා වෙනුවෙන් ඒ මල කඩන්න යන්නේ නැහැ. නමුත් කරුණාකරලා මට කරුණු පැහැදිලි කරන්න ඉඩ දෙන්න...” පළමු පේළිය ම මගේ හදවත බිඳ දමා අවසන්ය. නමුත් මම එය කියැවූයෙමි.

“කොම්පියුටරය පාවිච්චි කරද්දි ඒකේ තියෙන මහා ගොඩක් වැඩසටහන් එකිනෙක පටලවා ගන්න ඔයා මොනිටරය ඉස්සරහට වෙලා අඬනකොට ඒ සේරම එකලාසයක් කරලා දෙන්න මං මගේ ඇඟිලි පරිස්සම් කරගන්න ඕනෑ.

හැම තිස්සේ ම යතුර ගේ ඇතුලේ තියෙද්දි දොර වහගෙන එළියට ඇවිත් ආයේ ඇතුලට යන්න බැරිව මට කෝල් කළාම දුවගෙන එන්න මං මගේ කකුල් දෙක පරිස්සම් කරගන්න ඕනෑ.

ඔයා සංචාරයට කැමතියි, ඒ වුනාට නිතරම මග වරද්දා ගන්නවා. ඒ වෙලාවට ඔයාට නිසි පාර පෙන්වන්න මං මගේ ඇස් දෙක පරිස්සම් කරගන්න ඕනෑ.

මාස්පතා එන ඔයාගේ හිතමිතුරා ඇති කරන බඩේ අමාරු නැති කරන්න, බඩ පිරිමදින්න මං මගේ දෙඅතේ අල්ල පරිස්සම් කරගන්න ඕනෑ.

නිතර ම ගෙදරට ම වෙලා ඉන්න ඔයාගේ පාළුව කාන්සිය නැති වෙන්න විහිළු කතා කියන්න මං මගේ කට පරිස්සම් කරගන්න ඕනෑ.

ඔයා හැම තිස්සේ ම ඉන්නේ කොම්පියුටරයට එබීගෙන. එයින් ඔයාගේ ඇස්වලට වෙන්නේ නපුරක්. ඉතිං වයසට ගියාම ඔයාගේ නියපොතු කපන්න, කරදරකාරී සුදුකෙස් ගලවන්න මං මගේ ඇස් පරිස්සම් කරගන්න ඕනෑ. ඒ වගේ ම ඒ කාලෙදි ඔයාගේ අත අල්ලගෙන මුහුදු වෙරළේ ඇවිදින ගමන්, බැහැගෙන යන ඉරේ ලා එළියත්, මුහුදු‍ වෙරළේ පහසත් විඳින ඔයාට, තරුණ කාලේ ඔයාගේ මුහුණේ තිබුණු පාට ඇතිව සුළඟට වැනෙන මල් වල වගතුග කියන්නත් මට මගේ ඇස් දෙක පරිස්සම් කරගන්නම වෙනවා.

ඉතිං මගේ ආදරිය, මට වඩා ඔයාට ආදරය කරන කෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියන එක ස්ථිරව ම දැනගත්තොත් මිස ඒ මල කඩන්න ගිහින් මට මැරෙන්න බැහැ” මගේ දෙනෙතින් ගලා ආ කඳුළු කැට ලිපිය මතට වැටී ඔහුගේ අත් අකුරු බොඳ කරද්දි මම මෙසේ කියවාගෙන යමින් සිටියෙමි.

“දැන්, ඔයා මගේ පිළිතුර කියවා අවසන්. ඒකෙන් ඔයා සෑහීමකට පත්වුණා නම්, කරුණාකරලා මේ දොර අරින්න, ඔයා කැමති ම කෑමත් නැවුම් කිරිත් අතින් අරං මං මෙතන හිටගෙන ඉන්නවා...”

මම විගස දිවගොස් දොර විවෘත කළෙමි. ඒ කිව් සියල්ල දෑතින් බදාගෙන, විසල් දෙනෙතින් කුමක් වේදෝයි චකිතයෙන් බලා ඉන්නා ඔහු දොර පඩිය මත සිටගෙන උන්නේය. ඔහු තරම් මට ආදරය කරන කිසිවෙකු මෙලොව නොමැති බව මම දැන් දනිමි. ඉතිං ඒ මලට කඳු බෑවුම මතට වී ඉන්න දෙන්නට තීරණය කළෙමි.

එයයි ජීවිතය!. එයයි ආදරය!

කෙනෙකු ආදරයෙන් පිරුණු පරිසරයක ගිලී ඉන්නාවිට උද්යෝගය කෙමෙන් කෙමෙන් දියවී යන්නට වෙයි. සාමකාමී භාවයත් උදාසීන භාවයත් අතර යම් තැනක ඇති සැබෑ ආදරය හඳුනාගත නොහැකිව නොසළකා හැරෙන්නේ එහිදීය.

ආදරය විවිධ ස්වරූප වලින් පෙනී සිටියි. ඉතාමත් කුඩා දෙයකින්, අවිනීත කමකින් සේම උදාසීන, නීරස ස්වරූපයකින් ආදරය එබිකම් කරන්නට ඉඩ තිබෙයි. මල් පොකුරු, තිළිණ, ප්‍රේමනීය නිමේෂයන් සබැඳියාවක මතුපිට රැඳුණු දේවල් පමණි. ඒ සියල්ලට ම පහළින් සැබෑ ආදරයේ බල කණු නැගී සිටින බව සිහි තබාගත යුතුව තිබේ. එයයි ජීවයේ පදනම!.

ප්‍රේමනීය සබැඳියාවක ඇති වන මතගැටුමකදි වදන් කිසිදා දිනන්නේ නැත... දිනන යමක් වේ නම් ඒ ආදරයයි.


********************


පරිවර්තනය
රන්දිකා රණවීර ප්‍රනාන්දු

(කතෘ අඥාත අන්තර්ජාල ලිපියකි)


මුල් ලිපිය ලබාදුන් සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත් ලබැඳි කෙල්ලට ස්තුතියි.






Monday, July 18, 2016

428. පට්ඨ චෝර පුත්‍ර කථා වස්තුව නොහොත් රජාගේ පුත්තුංගේ ගැහිලි 1 - ඩේසි ආච්චිගේ මැණික් මල්ල නොහොත් කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට කිවයුතු කතා පොලීසියට කීම

රජපුතුන් තම පියා කිරුළ දරන සමයෙහිදී....
එදවස ඔවුන්ගේ හිසට ඉහළින් කාකයකු හෝ පියාඹා ගියේ නැත
.

පට්ට හොරු යනු නීලකාස හොරුන්ට තවත් නමකි. පට්ට සහ නීලකාස හොරු දෙවර්ගයටම දැන් එක නමක් කිව හැක. ඒ නම් රාජපස්ස පුත්තු යන්නයි.

රාජපස්ස හොර නඩේ ගැන මින් මතු නොලියන්නෙමැයි අදිටන් කොටගෙන සිටියද මේ පසුගියදා නාමෝල් කුමරා අත් අඩංගුවට ගැනීමේ විස්තර සහ මේ ඊයේ පෙරේදා රාජපස්ස පවුලේ පුත්තුන්ගේ ගැහිලි ගැන ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කල ප්‍රකාශයත් කියවූ ඉක්බිති ඔවුන් පිළිබඳව නොලියාම නොහැකිවිය.

මේ යෝසිත සහ නාමෝල් යන රජකුමරුංගේ ගැහිලි පිටිපස්සෙ තියනව අපූරු කතාන්තර. දැං යෝගෙ ගැහිල්ල මෙහෙමයි.

ඒ ගැහිල්ල යට තියනව දිග ඉතිහාසයක්. ඒ වගේම ඒක ඇතුලෙ තියනව ලොකු අබ්යන්තරයක්. ඒ කතාව මෙහෙමයි.ඔය අගබිසවුං ඉන්නව නේද? ඒ කිව්වෙ සිරංති දේවි. එතුමිගෙ මුල්ගම් පලාත ඇවිල්ල හිට දෙහිවල. අර ඔරංඋටංල ඉන්න කූඩුව තියෙන්නෙ මතකද? අන්න ඒ අහල පහලම. ඔය අපේ මහරජ්ජුරුවංට ඔය අගබිසවු මුනගැහුනය කියන්නෙත් එතුමා ඒ දවස්වල සත්තෝද්දියානෙ බලන්ට ආපු වෙලාවක වෙච්චි අලකලංචියකදිය කියල කියනවනෙ. හරි ඒ කතාව පසුවට...

ඉතිං අපේ සිරංති අගබිසවුන්ට බොහෝම බලවත් ආසාවක් තිබ්බ තමංගෙ මුල් ගමේ කවුරුහරි දරුවෙක් පදිංචි කරවන්ට. ඒකට තෝරගෙන හිටියෙ දෙවෙනියව. ඔය යෝ පුතා කියන්නෙ අන්න එයාව. යෝ පුතා නේවි එකට ගිය විදිහ ගැනත් අර ජවිපෙ එකේ ජයතිස්ස මන්ත්‍රීතුමා අපූරු විස්තරයක් කලා පාර්ලිමේන්තුවෙදි. ඒ ගැන මම සවිස්තරව පස්සෙ කියන්නංකො. 

ඉතිං ඔන්න දැං රජ්ජුරුවංගෙ දෙවෙනි පාලන කාලයත් අවසං වෙන්ට ආවනෙ. ඒ පාර සිරංති අගබිසවුං වහංසේට හිතුන දෙයියෝ සාක්කි, කරුමෙකටවත් මේ පාර මිනිහගෙ රස්සාවට කෙලවෙලා ගියපිනං මොන දෙය්යංට කියන්ටද? ඒ හින්ද බලේ තියන වෙලාවෙ යෝ පුතා දෙහිවල පදිංචි කිරිල්ල ගැන මොක මොක හරි කරල ඉන්ට ඕනය කියල. ඔය වෙනකොට දෙහිවල ලොකු මැඩංලගෙ මහ ගෙදර පදිංචි වෙලා හිටියෙ එතුමිගෙ නැන්දා කෙනෙක්. නම ඩේසි ආච්චි.

මේ ඩේසි ආච්චි පදිංචි වෙලා හිටපු, සිරංති ලොකු මැඩන්ගෙ මහ ගෙදර තිබ්බ ඉඩම පර්චස් 29 ක් වගෙ බොහොම සුට්ටං එකක්. පරසතුරංගෙං රට බේරාගත් මහා වීරයගෙ දෙවෙනි පුත්තර රත්නයට කොහොමටවත් ගැලපෙන්නෙ නෑ එහෙම සුට්ටං ඉඩමක පදිංචි වෙන එක. ඉතිං සිරංති ලොකු මැඩන් කලේ දවසක් බෝම දුක්බරව ගිහිල්ල ඩේසි නැන්ද එක්ක මේ විස්තරේ කිව්ව. යෝ පුතාට ඉන්ට හිටින්ට තැනක් නැතය. ඒ වගෙ සුට්ටං ඉඩං කෑල්ලක ඒ වගෙ රාජ කුමාරයෙක් පදිංචි කොරන එක බොහොම ලොකු අවනම්බුවක්ය අරක මේක කියල තමංගෙ දුක ඇඬූ කඳුලෙං කිව්වය කියමුකො ඩේසි නැන්ද එක්ක.

ඩේසි ආච්චි ඇවිල්ල ඉතාම භක්තිමත් කතෝලික බැතිමතියක්. ඉතිං සිරංති දුවගෙ මේ අඳෝනාව අහල ඇගේ හිත උණු වුනා කිහිරි අඟුරේ පැළහූ වෙඬරු පදාසයක් සේ. ඈ එදා මහ රෑ දෙගොඩහරිය වෙනකල් බයිබලය කියවමින් දෙවියන්ට යාඥා කලා මේ සිරංති දුවට පැමිණිලා තියෙන අලකලංචියෙන් ඇයව බේරලා දෙන්නෙයි කියල.

ඇගේ මේ යාඤාව අසාලා පියා සක් දෙවිඳුගේ පණ්ඩුකම්බල ශෛලාසනය එසැණින් රක්තතප්ත වී ගියේ නිදිකිරා වැටෙමින් හුන් එතුමෝ ට්‍රැම්පොලීනයක් මතට පතිතව යලි පොලා පනිනා දරුවකු සේ අහසට වීසි කරවමිනි. (දැං අර ඕනම බැංකුවක ඒ.ටී.එම්. එහෙකිං වෙන ඕනම බැංකුවක සල්ලි ගන්ට පුලුවං වාගෙ සක්කරයගෙ පඬුපුල් අසුනත් ඕනම ආගමක බැතිමතෙකුගෙ යාඤා පට ගාල මීටර් වෙන විදිහට ප්‍රෝග්‍රම් කරලයි තියෙන්නෙ)

"හුටා මොකාද බොල ඒ පාර? සිරි ලංකාවෙ අර මගෝඩි රැල එලවල දාපු දවසෙ ඉඳල මගෙ මේ පස්චාත් බාගයට නිවනක් නැති හැටි අම්මාපල්ල. එක්කො කොහෙ හරි ගිහිල්ල පොල් ගහයි. එක්කො සත්‍යක්‍රියා කොරයි. එක්කො බෝදි පූජාවල් තියයි. ඒ මොනව කලත් මෙහෙ මගෙ පුකට තමයි කරන්ට් එක වදින්නෙ. ඇයි දෙයියනේ ඔය කියන තක්කඩිකං කරල නැත්තං ගිහිල්ල උසාවියෙදි ඔප්පු කරල පෙන්නන එකනෙ තියෙන්නෙ. මෙතන මගෙ පුක රත්කරන්නෙ නැතුව"

මෙසේ තොලමතුරමින් සක්කර දේවේන්දරයෝ සයිලාසනයෙන් නැඟී සිට පස්චාත් බාගය (පස්චාත් බාගය කියන්නෙ සක්කරයගෙ තියෙන්නෙ පුකෙං බාගයයි  කියන එක නෙවෙයි හොඳද? එහෙම තමයි සාස්ත්‍රීය බාසා වියාවහාරය, "අක්කර දහයක බූමි බාගයක නව නගර සාලාව ඉදි කෙරේ" අන්න එහෙම පත්තරේ පල උනහම මම පොඩි කාලෙ හිතං හිටියෙ ඒ කියන්නෙ අක්කර පහක ඉඩමකයි ටවුන් හෝල් එක හදන්නෙ කියලයි) පිරිමදිමින් මෙසේ හඬ ගෑහ. 

"සුදර්මෝ සුදර්මෝ..ඔන්න ඔය කුකුල්තෙල් කුප්පිය අරං එන්ට මෙයා මේ පස්සෙ ටිකක් ගාගන්ට" 

(සුදර්මා කියන්නෙ සක්කරයගෙ ඔන්න ඔය අනූ තුන් කෙලක්ද කොහෙද දිවියාංගනාවො ඉන්න අන්තස්පුරේ ප්‍රදාන දිවියාංගනාව)

"මේ මිනිහට මම දැං කොච්චර කල් ඉඳලද කියන්නෙ ඔය සයිලාසනේ අයිං කරල දාල අර මොකක් හරි ලී පුටුවක් වත් අරගන්ට කියල. කෝ කිව්වට අහනවය? මේ කෙහෙම්මලේම ඉඳගෙන ඉඳල පස්ස දෑවහම උඩ පනිනව. ඊට පස්සෙ මම එපාය ගිහිල්ල දිවිය සලුව උස්සල කුකුල් තෙල් ගාන්ට."

(දුහුණන් දැනුම් උදෙසා - ඔය පිච්චුනහම ගාන එක එක ආම් බාම් ජාති එන්ට ඉස්සරිං පිච්චුනහම ගෑවෙ කුකුල් තෙල්. හප්පා ගෑහම මාර සනීපයක්. කොච්චර සනීපයක්ද කියනවනං අපි පොඩි කාලෙ අත්තම්ම ලව්ව කුකුල් තෙල් ගාව ගන්ටම චේතනාන්විතවම ඇඟිල්ලක් එහෙම පොඩ්ඩක් පුච්ච ගන්නව)

පස්සෙ කුකුල්තෙල් එහෙම ගාගෙන බොහොම පරිස්සමට පඬුපුල් අස්නෙ ඉඳගෙන සක්කරය රබර් ඇහැ දාල බැලුව කවුද මගෙ පිහිට පතන්නෙ කියල. බලනකොට අනේ අප්පේ..අපේ ඩේසි ආච්චි...ඒ පාර දිවියඥාණෙං සක්රස් තුමා හොයල බැලුව මොකද ඩේසි ආච්චිගෙ අඳෝනාව කියල. බැලින්නං යෝ පුතුගෙ ඉඩමෙ ප්‍රශ්නෙ.රජ පැටියෙකුට ඉඩම හොඳටෝම මදි. පර්චස් 29 ක් කියන්නෙ යෝට අතපය දිග ඇරල නිදාගන්ටත් මදි නෙව.

ඒකට විසඳුමකුත් සක්රස්ට කල්පනා වුනා. අහල පහල ඉඩං ටික ගත්තනං වැඩේ ගොඩ. ඒත් කොස්සකට තියෙන්නෙ ඩේසි ආච්චිගෙ අතේ පිච්චියක් නෑ ඔය මක් කොරන්ටත්. ඉනික්බිති සක්රස් කලේ මනුස්ස වේසයක් මවාගෙන මනුලොවට ගියා. ගියේ නිකම්ම නෙවෙයි. දිවිය ලෝකෙ ඔය පාරවල් පාරවල් ගානෙ ඔහේ වැටිල තියෙන බොහොම වටිනා මැණික් පණහක් හැටක් අහුලල මල්ලකට පුරවගෙන ඒ මල්ලත් අරගෙනයි එතුමා මනු ලොවට ගොඩ බැස්සෙ.

කෙලිම්ම ඩේසි ආච්චිගෙ ගෙදර ගියපු සක්කරය මැණික් මල්ල ඩේසි ආච්චිගෙ අතටම දීල ආපහු දිවිය ලෝකෙට ආව. ඔන්න සතියකට හමාරකට පස්සෙ සක්රස් තෙමේ දිවැසිං ආයම බැලුව ඩේසි ආච්චි මැණික් මල්ල විකුණල ඒ සල්ලි වලින් අහල පහල ඉඩං අරගෙනද කියල. මොන? ඩේසි ආච්චි මැණික් මල්ලත් ගෙයි මුල්ලෙ ගහගෙන ඉන්නව පරණ හිටිය වගේම. 

සක්කරයට තේරුණා මේක හරියන කෙළියක් නෙවෙයි කියල. ඒ පාර කලේ මැව්ව සල්ලි ගෝනියක්. ඕකත් කරගහගෙන ගිහිල්ල ඩේසි ආච්චිගෙං මැණික් මල්ල ඉල්ලගෙන සල්ලි ගෝණිය උන්දැට දීල ආව.ඔන්න ඒ පාරනං ඩේසි ආච්චිගෙ මොලේ පෑදුනා. උන්දෑ ඒ සල්ලි ගෝනියෙ තිබ්බ සල්ලි වලිං ලස්ස 500ක් දීල අහල පහල ඉඩං ගත්ත ඔක්කොම පර්චස් 65 ක්. 

හරි දැන් මම අහනව ප්‍රශ්ණයක් ඔය ළමයින්ගෙන්. දැං ඩේසි ආච්චි සන්තකේට කොච්චර ඉඩං තියෙනවද? මම උදව්වක් කරන්නං. පරම්පරාවෙං ආපු ඉඩං පර්චස් 29යි. දෙයියො දුන්නු සල්ලි වලිං ගත්තු ඉඩං පර්චස් 65 යි. එතකොට ඔක්කොම ඉඩං පර්චස් 94 යි.

දෙයියො දුන්නු සල්ලි වලින් යෝ මුණුබුරාට පර්චස් 94 ක් අරං දීල විතරක්ම මදිනෙ. රාජ කුමාරයෙකුට ගැලපෙන ගේකුත් තියෙන්ට එපාය. ඉතිං අනේ අපරාදෙ කියන්න බෑ අපේ ඩේසි ආච්චි කලේ අනේ පව් මගෙ යෝ මුණුබුරාට ගෙයක් හදාගන්ට සල්ලිත් ඕනනෙ කියල අකම්පාලවෙලා අර සක්රස් දුන්නු සල්ලි ගෝණියෙං තව ලස්ස 1000ක් දුන්න යෝට සුට්ටං ගේ පොඩ්ඩක් හදාගන්ට.

අනේ ඉතිං යෝ මුණුබුරත් ඒ සල්ලි වලිං ගේ පුංචක් හදාගත්ත. නැත්තං නේවි එකේ සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට් පඩියෙං යෝ පුතු කොහෙ හදන්ටද එහෙම  ගෙයක් දොරක්?

ඉතිං ඊට පස්සෙ මේ කතාවෙ සියලුම පාත්‍ර වර්ගයාම සතුටෙං දැහැමෙං සෙමෙං කල් ගතකලාය කියමුකො. සක්කරය ඉඳහිටල පස්සෙ කුකුල් තෙල් එහෙම ගාගෙන අනූතුන් කෙළක් දිවියාංගනාවියො එක්ක පෙම් කෙලිමින් හිටිය. ඩේසි ආච්චි බයිබලේ එහෙම කියව කියව හාන්සි පිටුවෙ දිගාවෙලා කල්ගත කලා. යෝ පුතු නේවි ට්‍රේනිං කෝස් එක පටංගෙන මාස තුනකිං බැච් ටොප් වෙලා එංගලන්තෙ ඩාට්මත් ඩිෆෙන්ස් කොලේජ් එකටත් ගිහිල්ල, ඒකෙ විබාග එකක් නෑර ෆේල් වෙලා, ආපහු ලංකාවට ඇවිල්ල නේවි රගර් ටීම් එකේ කැප්ටන් වෙලා, මැච් පැරදුනාම රෙෆ්රීලට අම්බානක නෙල නෙල ලංකාවෙ රග්බි කීඩෑව දියුණු කරන්ට අපමණ වෙහෙසක් ගත්ත.

ඔහොම හැමෝම බොහොම සතුටිං කල්ගත කරද්දි යෝ පුතාගෙ පියානෝ මොලේ කොලොප්පං කේන්දර කාරයෙක් කියපු කතාවක් අහල අවුරුද්දක් කලිං ජනාදිපතිවරනෙ ප්‍රකාසයට පත්කරල අම්බානක කෙලව ගත්ත. ලොක්කට රජකම දාලම යන්ට වුනා. ඒ හින්දම රජපුත්තුංගෙ රැස්පොට් බලාඉද්දි බැහැල ගියා හුලංගිය බැලුං වගේ. කොරේ පිටට මරේ කිව්ව වගෙ ඒ අස්සෙ අලුත් ආන්ඩුව පරීක්සනයක් පටං ගත්ත යෝ පුතාට ඔය ඉඩං ගන්ට, ගෙවල් හදන්ට සල්ලි හම්බවුනේ කොහෙන්ද කියල.

ඉතිං මේ ඉඩං ගෙවල් පලහිලව්ව ගැන පොලීසියට ගෙන්නල ප්‍රස්න කලාම යෝ කිව්වලු ඩේසි ආච්චියි මේ ඉඩං දුන්නෙ කියල. ඊට පස්සෙ පොලිස් කට්ටිය අනේ අපේ ඩේසි ආච්චි ගෙන්නල ප්‍රස්න කලාලු "අනේ සුදු ආච්චියේ, අපිට කියන්ටකො ආච්චිට මේ ඉඩං ගන්ට ගෙවල් හදන්ට සල්ලි කොහෙංද?" කියල. 

ඉතිං ආච්චි වෙන මක් කියන්ටද? බයිබලේ අත ගහල දිව්රල ඇත්තම කිව්ව. "අනේ මහත්තයෝ, මට කවුද නාඳුනන මනුස්සයෙක් ඉස්සෙල්ල මැණික් මල්ලක් ගෙනල්ල දුන්න. ඊට දවස් දෙකකට පස්සෙ තවත් කවුද ඇවිල්ල මැණික් මල්ල අරගෙන සල්ලි ගෝනියක් දීල ගියා. ඒ ගෝනියෙ තිබ්බ සල්ලිවලින් තමයි මම ඔය ඉඩං ගත්තෙයි ගෙවල් හැදුවෙයි" 

අනේ අප්පේ බලන්ටකො මේ පොලිස් කට්ටිය හරිම හොඳ නෑ. ඒ කවුදෝ නාඳුනන මනුස්සයෙක් මැණික් මල්ලකුයි ඊට පස්සෙ සල්ලි ගෝණියකුයි ගෙනත් දීපු කතාව පොලීසිය විස්වාස කරලම නෑනෙ.

පොලීසිය ඊට පස්සෙ කරල තියෙන්නෙ යෝ පුතු රිමාන්ඩ් කරපු එක. ඊට පස්සෙං පහු යෝ ඇප පිට නිදහස් කලා. ඉතිං ඔය ඩේසි ආච්චිට ඔය මැණික් මළු සහ සල්ලි ගෝණි කතාව පොලීසියට කියන්ටෙයි කියල කියල දීල තියෙන්නෙ යෝ කියලයි හැමෝම කියන්නෙ.එක අතකට පුදුම වෙන්ට දේකුත් නෑ එක පාරකට ඕ ලෙවල් පාස් වෙන්ට බැරිවෙච්චි මනුස්සයෙක්ගෙං ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ටත් බෑනෙ නැද්ද?

යෝගෙ අයියා නාමෝල්ගෙ ගැහිල්ල ගැන තියෙන්නෙ ඔයිටත් ආතල් කතාවක්. ඒක තව දවසක හොඳද?

Friday, July 15, 2016

427. අභයගිරි මතක සටහන් - 4 - සුදු අරලියාගම සහ ඕරමන්ඩි ගෙදර....


Sylvia Kristel & Nicholos Clay in Lady Chatterly's Lover ( 1981)

පහුගිය පෝස්ට් එකේ අපි කතාකලානෙ බස් අජිත් මලයගෙ සිංදු ගැන. විශේෂයෙන්ම අර ෂුධු අරලියා මල අ..අ..අ....අ....අ... සිංදුව ගැන. බස් අජිත්ගෙ සිංදු ගැන අපේ බූරා මලය මෙහෙම කියල තිබ්බ.

/ බස් අජිත්ගෙ ඔය සිංදු සෙට් එක නැගලාම යන කාලෙ, ඒ කියන්නෙ දෙදාස් ගනන්වල මැද කාලෙ වගේ, දවසක් දා මායි යාළුවෙකුයි පිටකොටුවෙන් නැග්ගා වවුනියා බස් එකකට කැකිරාවෙ යන්නයි කියලා.. බස් එක පාරට දාලා විනාඩි කීපයයි යන්ට හම්බවුනේ ඩ්‍රයිවර් තුමා දැම්මෙ නැද්ද අජිත්ගෙ සිංදු සීඩී එක.. කරුමෙට වගේ ඒ මුලු බස් එකටම තිබුනෙ ඔය සීඩී එක විතරද කොහෙද.. සීඩී එක අවසානෙටම යනවා - ආයෙමත් මුලට යනවා.. ඔය විදියට අපි කැකිරාවෙන් බහිනකම් අජිත්ගෙ සිංදු සෙට් එක පස්-හය වතාවක්වත් අහන්ට ඇති..

අපිනම් පෙර වාසනාවකට කැකිරාවෙන් බැස්සය කියමුකො.. මට දුක වවුනියාවටම යනකම් අර මල ඇඬියාව අහගෙන යන්ට වුන අහිංසක මිනිස්සු ටික ගැන../

බූරගෙ ඒ කතාවට පිළිතුරු වසයෙන් මම මෙහෙම කිව්ව.

/නෑ බං අර හැම රිදී වලාකුලකම කළු රේකාවක් තියනව කිව්ව වගෙ ඔය අරලිය කේස් එක හින්ද වෙච්චි එක හොඳකුත් තියනව. ඒක ටිකක් දිග කතාවක්.. ඉඳහංකො සවිස්තරව කියන්නං ඊලඟ පෝස්ට් එකේදි...:) /

අපේ කො.ක.ස. ගරු සබාපතිතුමා මගේ ඒ සවිස්තරව ඊලඟ පෝස්ට් එකේදි කියන්නංය කියපු කතාවට පිළිතුරු වසයෙන් මෙහෙම ඇනුම් පදේකුත් කියල තිබ්බ.

//ඉඳහංකො සවිස්තරව කියන්නං ඊලඟ පෝස්ට් එකේදි.//

/දැන්නං සියයට හන්ඩ්‍රඩ් ෂුවර් ඊගාව පෝස්ට් එකෙත් විවෘත්තෙ නෑ. /

ඒ හින්දම මම හිතුව To make Prasanna eat his words, කොහොම හරි අර බූරට කියන්නම්ය කියල කියපු කතාවත් කියල ජෝර්දාන් අයියගෙ විවුර්තෙ විස්තරෙත් ඒ එක්කම කියනවමයි කියල.

රයිට් දැං අර බූරට කියන්නං කියල කියපු කතාව මෙහෙමයි. ඔය සමහර බස්වල තියෙන්නෙ බස් අජිතයගෙ සී.ඩී. විතරමයි.ඉතිං යන එනකල් කං අහන්ට වෙන්නෙ කණ පුරවල ඔය දෙව්ලාවම තම්යි. 

ඔය හින්ද අපි ඒ දවස්වල කොළඹිං බස් එකේ නඟින්ට ඉස්සරවෙලා කොන්දොස්තරගෙන් අහනව "මල්ලි, බස් අජිත්ගෙ සිංදු එහෙම තියනවද?" කියල. 

ඉතිං කොන්ද කියනව "ඔව් සර් එන්න එන්න අජිත්ගෙ සී.ඩී. තුනක්ම තියනව"

"ආ..එහෙමද? ඒක හොඳයි..අපි එහෙනං අනික් බස් එකේ එන්නං" අපි එහෙම කියල බස් එකට නඟින්නෙ නැතුව පෝලිමේ පස්සට යනව.

ඔය බූර කියාපු කොළඹ-වව්නියාව බස් එකෙත් එහෙමයි.අජිත්ගෙ අඳෝනාව අහගෙන ඉවසල ඉවසල බැරිම තැන මැදවච්චියයි වව්නියාවයි අතර මහ කැළේ මැද හරියෙ බස් එක යද්දි ඔන්න එක මනුස්සයෙක් වලියට ආවලු. 

"මොනවද අයිසෙ මේ මළ අඳෝනාව? බලනව මම කොළඹින් නැග්ග වෙලාවෙ ඉඳල මේක අහගෙන ආවෙ දැං ඉවරවෙයි දැං ඉවරවෙයි කියල හිතල. මේ ඇඬියාව ඉවර වෙන පාටක් නෑනෙ. එක්කො සුදු අරලි..යා..ම..ල..අ...අ...අ..අ. කියල කෙඳිරි ගායි නැත්තං වෙහෙරහේන විහාරයේ උඩ මලුවට යඤ්ඤං කියල අඳෝනා තියයි. තමුසෙල කංවල ගෝන ඇට හිරකරගෙන ඉන්නවද නම් මං දන්නෙ නෑ. ඒත් මටනම් තවත් ඉවසන්න බෑ මේ මළවදේ..."

බස් එකේ ඩැයිවරට මළ පැන්න මේ කතාවට. "අයිසෙ තමුසෙ කවුද එහෙම අපි දාන්න ඕන සිංදු මොනවද කියල අපිට අණ දෙන්න? තමුසෙට අපි දාන සිංදු අහන්ට බැරිනං බහිනව බස් එකෙං..මල්ලි දෙනව මෙයා බස් එකට දුන්නු සල්ලි. අපිට සත පහක් වත් ඕන නෑ තමුසෙගෙං කරුණාකරල බහිනව බස් එකෙං…"

වැඩේ කියන්නෙ අර මනුස්සය හිතුවෙ නෑ ඩැයිවරය එහෙම කතා කරයි කියල. ඉතිං මොකද කරන්නෙ? ආත්ම ඝාතනය ලොකුයිනෙ ඔක්කොටම වඩා. "නවත්තපිය එහෙනං බස් එක" කිව්ව. මිනිහ බැස්ස එතනම.නිකම්ම නෙවෙයි මිනිහගෙ බාර්යාවත් එක්කම. එවුන්දැත් එක්කමයි ගමන ඇවිල්ල තියෙන්නෙ. 

කොහොම හරි මිනිහ හොඳ දහිරිය වන්තය.පවුලත් එහෙමයි. පස්සෙ දෙන්න එක්කම එකතුවෙලා ඒ අහල පහලම කැලේ කොටල හේනක් එහෙම කරල පැලකුත් හදාගෙන එතනම පදිංචි වෙච්චි. ඒ කාලේ ඔය කොටි කේස් හින්ද ඒ හරිය ජන සූන්නියයි.ඊට පස්සෙත් ඔහොම බස් අජිත්ගෙ සිංදු අහල සංසාරෙ එපා වෙච්චි විස්සක් තිහක් විතර ඒ ඊමමම බස් වලිං බැහැල තිබ්බ.ඒ අයත් හේං කොටාගෙන පදිංචි වෙලා  එතන පස්සෙං පහු ගම්මානයක් වෙච්චි.

පස්සෙ හමුදා ආරක්සාව එහෙම දීල එතන ඉස්තිර ගම්මානයක් වුනා. ඒ ජනාවාසෙ පිහිටුවන්ට මුල් වුනේ බස් අජිත්ගෙ සුදු අරලියා මල සිංදුව හින්ද ඒ ගම්මානෙ නම් කලෙත් "සුදුඅරලියගම" කියල. අජිත්ගෙ සිංදුවලින් හොඳකුත් වෙනවය කියල මම කිව්වෙ ඔන්න ඔය සිද්දිය ගැන හිතල..හෙහ්,හෙහ්,

හරි ඒ අතුරු කතාව අවසානයේදී නැවත පහුගිය එපිසෝඩයේ අවසානයට ඔබ රැගෙන යන්නට සබඳ සබඳිනිය මට අවසර!

"මොකද බං?" මම බැරිම තැන ඔලුව හරවල උගෙ මූන බැලුව. බයිසිකලේ නැවතිල තිබ්බෙ හරියටම ජෝර්දාන් අයියලගෙ ගෙදර තාප්පෙටම හේත්තුවෙලා වගෙ. 

"අර..බලපං අර..." කුමාරය අත දික්කරල මට ජෝර්දාන් අයියලගෙ වත්තෙ මැද්දෑවෙ වගෙ තිබ්බ රූස්ස අඹ ගහ දිහාව පෙන්නුව. මමත් ඒ දිහාවෙ හැරිල බැලුව මොකටද මේ යකා මේ මෙච්චර අන්දොස් වෙලා තියෙන්නෙ කියල. මගෙ ඇස් දෙකත් උඩ ගිහිල්ල කටත් ඇරුනෙ ඉබේම..........." කවුද බං ඒ?" මම කිව්ව නෙවෙයි මට කියවුනා.

කුමාරය උත්තරයක් දුන්නෙ නෑ…"හ්ම්මම්හ්ක්" ...කටට බඹරෙක් ගිහිල්ල උගුරෙ හිරවෙලා දඟලනව වගෙ අව්‍යාක්ත රාවයක් උගෙං පිටවුනා. එච්චරයි.. 

"සි…ල්වි...යා ක්‍රි….ස්ට….ල් නේද බොලේ?" මගේ ප්‍රශ්නෙට මමම උත්තරත් දුන්න.

ජෝර්දාන් අයියලගෙ ගෙදර මිදුලෙ මහ විසාල අඹ ගහක් තිබ්බය කියල මම කලින් කිව්වනෙ. ඒ අඹ ගහ යට ඒ වෙලාවෙ වේවැල් පුටුවක් තියල තිබ්බ. ඒ පුටුවෙ ඉඳගෙන හිටියෙ...පුටුවෙ ඉඳගෙන හිටියෙ සිල්වියා ක්‍රිස්ටල්...ඔව් සිල්වියා ක්‍රිස්ටල්....සිල්වියා ක්‍රිස්ටල් කියන්නෙ ඔය අපි ඉස්කෝලෙ යන කාලෙ අපේ සිහින කුමරියන් අතුරින් එක් කුමරියක්. කාලෙන් කාලෙට සිහින කුමරියන්ගෙ ප්‍රමුඛතා ලැයිස්තුව වෙනස් වෙලා නම් ඉහළට යනව. පහළට යනව. අලුතින් නම් එකතු වෙනව. තියන නම් හැලිල යනව. 

මෙරිල් ස්ට්‍රීප්, (The Deer Hunter, The French Lieutenant's Woman, Kramer vs. Kramer) ජැකලීන් බිසට්, (The Greek Tycoon, The Deep) සොෆියා ලොරේන්, (Cassandra Crossing) උර්සුලා ඇන්ඩ්රස්, (The Mountain Of The Cannibal God) බෝ ඩෙරෙක්, (10, Tarzan the Ape Man) බ්රූක් ෂීල්ඩ්ස් (The Blue Lagoon) සිල්වියා ක්‍රිස්ටල් (Private Lessons, Emmanuelle, Lady Chatterley's Lover )

සිල්වියා ක්‍රිස්ටල්ගෙ ඒ කාලෙ අපි අතර බොහොම ජනාදරයට පත්වුනු ෆිල්ම් එක ඇවිල්ල ලේඩි චැටර්ලීස් ලවර්. ඩී.එච්.ලෝරන්ස්ගෙ එනමින්ම ප්‍රසිද්ධියට පත්කල නවකථාව ඇසුරෙන් කරපු ෆිල්ම් එකක්.

ලේඩි චැටර්ලීස් ලවර් හෙවත් චැටර්ලි ආර්යාවගේ පෙම්වතා නවකථාව කීපවාරයක්ම තිරයට නැඟිල තියනව. මම මේ කියන්නෙ සිල්වියා ක්‍රිස්ටල් ප්‍රධාන චරිතය රඟපාපු 1981 අවුරුද්දෙ ආපු ෆිල්ම් එක ගැන. මරදානෙ සෙන්ට්‍රල් එකට මට මතක විදිහට ඒ ෆිල්ම් එක ආවෙ.

ඔන්න තවත් අපූරු කෝඉන්සිඩන්ස් එකක්. මේ පහුගිය දවසක රුවන් ලියල තිබ්බ ඉස්කෝලෙ කට් කරල හොරෙං පැනල තෝසත් කාල ඊට පස්සෙ ආනන්දෙ ඇතුලට ගිහිල්ල දවසම ගත කරපු සිද්ධියක් ගැන. මම ඒ පෝස්ට් එකට කමෙන්ට් එකක් ලිව්ව ඕරමන්ඩි ගෙදර ගැන කියල. ඒ සිද්ධිය වෙන්නෙත් මට මතක විදිහට සිල්වියා අක්කගෙ රූප සෝබාව දැක බලාගෙන සිත පහදවාගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුතුව ඉස්කෝලෙං හොරෙං පනින්ට ගිය වෙලාවක.

"මචං සෙන්ට්‍රල් එකේ දාල තියනව ලේඩි චැටර්ලීස් ලවර්…" එකෙක් කිව්ව උදේම බෙල් එක ගහන්ටත් ඉස්සර. ඌ එන්නෙ කඳානෙ ඉඳල. සෙන්ට්‍රල්, නිව් ඔලිම්පියා හෝල්වල අලුත් පිච්චර් දැම්මම එව්වයෙ විස්තර හොයාගෙන එන රාජකාරිය පැවරිල තිබ්බෙ ඌට.

"මොකක්ද මරදාන හන්දියෙ බිල් බෝඩ් එකේ ගහල තිබ්බෙ? සීන්ස් එහෙම තියනවද?" එදිරිය ඇහැව්ව. 

ඒ කාලෙ මරදානෙ හන්දියෙ රේල් බෝක්කුව ලඟ තිබ්බ ස්ථිරවම ගහල ජී.අයි. බට වලින් අඩි 40 x 40 වගෙ ෆ්‍රේම් තුන හතරක්. එව්වයෙ උඩම ලොකු අකුරින් ගහල තිබ්බ එකක සෙන්ට්‍රල්. අනිකෙ නිව් ඔලිම්පියා. අනිකෙ ගාමිණී අනිකෙ ලිඩෝ කියල. ඒ ඒ අදාල ෆිල්ම් හෝල් එකට ෆිල්ම් එකක් ආවම ඒ අදාල බිල් බෝඩ් එක අදාල රාමුවෙ හයි කරනව.

ඔය ෆිල්ම්ස් ගෙන්නන එවුං ඒ කාලෙ මරු වැඩක් කලා අපි වගෙ ඔය පට ගාල යොවුං හැඟීම් ඇවිස්සෙන කොල්ලො කුල්මත් කරල හෝල්වලට ගෙන්න ගන්ට. 

ඔන්න අපි හිතමු ෆිල්ම් එකක තියනව කියල යංතමට කිස් කරන සීන් එකක්. බොහොමයක් වෙලාවට ඒ ෆිල්ම් එකේ සම්ම ජාතියට ඒ ජාතියෙ සීන්ස් එකක් තියෙන්නෙත් එච්චරයි. මේ වලහැඩියො කරන්නෙ අර සීන්ස් එක ලොකුවට ඇඳල එල්ලනව අර මම කියපු මරදාන හන්දියෙ බිල් බෝඩ් ෆ්‍රේම් එකේ.අනේ ඉතිං අපි අහිංසක කොල්ලො ඕක දැක්ක ගමං ඔල්මොරොංදං වෙනව. ඉස්කොලෙට ආවත් එදා ඉතිං උගන්නන කිසියම්ම දෙයක් හිතේ නෑ. අර සීන්ස් එකම තමයි සිහිය.

ඉතිං දණිපනි ගාල චාන්ස් එකක් ආපු ගමං තාප්පෙං පැනල ගිහිල්ල ඔන්න පෝලිමෙත් ඉඳල ෆිල්ම් එක බලනව. ඊට පස්සෙ ඔන්න ෆිල්ම් හෝල් කාරයගෙ ලොකු අප්පච්චිගෙ ඉඳල අර බිල් බෝඩ් එක ඇඳපු එකාගෙ අල්ලපු ගෙදර මිනිහගෙ බාප්පොච්චි දක්වා ඉන්න ඔක්කෝගෙම අම්මල මතක් කරමින් හෝල් එකෙං එලියට එනව.

චිත්‍රපට බිල් බෝඩ්ස් නොහොත් ප්‍රචාරක පුවරු ගැන කියනකොට තව එකක් කියන්නම ඕන. ඒ කාලෙ ඔය ප්‍රචාරක පුවරු හැම එකකම යට තිබ්බ ඒ පුවරුව ඇන්ද චිත්‍ර ශිල්පියගෙ අත්සන සහ දිනය. ස්ලාන්ට් වෙච්චි නැත්නම් පැත්තකට ඇල වෙච්චි අකුරුවලින් ගහල තිබ්බ ඒ අත්සනේ තිබ්බ නම ඇවිල්ල හිට ප්‍රේම් ජයන්ත්. 

ප්‍රේම් ජයන්ත් කියන්නෙ පණහෙ දශකයේ වගෙ බොහොම ජනප්‍රිය වුනු චිත්‍රපට කීපයකම ප්‍රධාන නළුවා. සුජාතා සහ සැඩ සුළං ඔහු රඟපෑ චිත්‍රපට දෙකක්. හැත්තෑව දශය වෙනකොට ඔහු චිත්‍රපට ප්‍රචාරක පුවරු ඇඳීමේ කාර්යයට අතගහල තිබ්බ. ඊටත් පස්සෙ අනූවෙ ශකයෙ විතර මම දැක්ක මොකක් හරි පත්තරේකට ප්‍රේම් ජයන්ත් කියල තිබ්බ ඩිජිටල් ප්‍රචාරක කලාව හින්ද දැන් ඔහුගේ ඒ අතින් අඳින ප්‍රචාරක පුවරු වලට කිසිම ඉල්ලුමක් නැතිය කියල.

සෙන්ට්‍රල් හෝල් එක තියෙන්නෙ ටෙක්නිකල් එක පැත්තට යනකොට. නිව් ඔලිම්පියා ඩාලි රෝඩ් එකේ. ගාමිණී එකත් ඒ පැත්තෙමයි. ගාමිණී හෝල් එක 1983 ජූලි කලබල වෙලාවෙ සම්පූර්ණයෙන්ම පුච්චල දැම්ම. ලිඩෝ තිබ්බෙ බොරැල්ලෙ.

1973/74 වගෙ කාලෙ ලංකාවෙ වාර්තා බිඳහෙලමින් තිරගත වුනා ගීත් නම් බොලිවුඩ් චිත්‍රපටය මරදානෙ ක්‍රවුන් හෝල් එකේ. රාජේන්ද්‍ර කුමාර් සහ මාලා සිංහ ප්‍රධාන චරිත රඟපෑවෙ. ක්‍රවුන් හෝල් එකේ මට මතක විදිහට අවුරුදු දෙකක් එක දිගට ගීත් චිත්‍රපටය තිරගත වුනා. මට කියන්නට ඕන කලේ ඒ දවස්වලත් ඔය මරදානෙ ඔය බිල් බෝඩ්ස් එහෙම්මම තිබ්බ. ගීත් චිත්‍රපටයෙ දැන්වීමෙ ඉහල ලොකු අකුරින් තිබ්බ අදට දින 400, 401, 402 කියල දවසෙං දවස වෙනස් වෙන දින දර්ශකයක්. 

අපෙ අප්පච්චිගෙ ගම ඇවිල්ල අකුරැස්ස. අවුරුද්දකට පාරක් විතර ඉස්කෝල නිවාඩු කාලයක් අල්ලල අපි කට්ටියම යනව අකුරැස්සෙ අප්පච්චිලගෙ ගමේ. ගිහිල්ල දවස් තුන හතරක් ඉඳල එනව. අකුරැහි යමිං ගමනයි එමිං ගමනයි දෙකේම අපි ඔය බිල් බෝඩ් එකේ දින ගණන හයියෙං කෑගහල කියනව "දින හාරසීයයි, හාරසිය හතරයි" එහෙම . ගීත් ෆිල්ම් එකට අමතරව සන්ජීර් සහ අභිමාන් තවත් ඒ කාලෙ ඔහොම පැල් බැඳගෙන අවුරුදු ගණං දිව්ව ෆිල්ම්ස් දෙකක්.

අපි අකුරැහි යන්නෙ වොරන්ට් එකට. අප්පච්චිට අවුරුද්දට රේල්වේ වොරන්ට්ස් තුනක් හම්බ වෙනව පවුලේ ඔක්කෝටමත් එක්ක. වොරන්ට්ස් කියන්නෙ රජයේ සේවකයින්ට නොමිලේ දුම්රියෙ ගමන් කරන්නට ලැබෙන විශේෂ වරප්‍රසාදයක්.

අපි ඒ කාලෙ වොරන්ට්ස් තුනෙං උපරිම ප්‍රයෝජන ගන්නව. අකුරැහි යාමට අමතරව එකකිං ත්‍රිකුණාමලේ යනව. එහෙ රේල්වේ ඩිපාට්මන්ට් වැඩකලා අම්මගෙ අයිය කෙනෙක්. අම්මගෙ අයියල තුන්දෙනෙක්ම වැඩකලේ රේල්ලුවෙ. සුද්දගෙ කාලෙ තිබ්බ ක්‍රමයක් රේල්ලුවෙ, වරායෙ එතකොට තැපෑලෙ එහෙම හොඳ කල්කිරියාවෙං කාර්යක්සවම වැඩ කරපු අයගෙ දරුවො අධ්‍යාපන සුදුසුකම් නොසළකා ඒ ඒ ආයතන වලට බඳවා ගන්න ක්‍රමයක්. 

අම්මගෙ අප්පච්චි රේල්ලුවෙ ෆයර්මන් කෙනෙක්. ඒ කාලෙ තිබ්බෙ වාෂ්ප එන්ජින්නෙ.ඒ එන්ජින්වල පිටිපස්සෙ කොයිවෙලෙත් හෙණ ගිණිමැලයක් ඇවිලෙනව.ඒකෙං තමයි වතුර බොයිලේරුව රත්කරල වාෂ්ප උපදවන්නෙ. ඒ වාෂ්පෙං පිස්ටන් සහ ඊට පස්සෙ ඇක්සල් කරකැවිල තමයි අවසාන වශයෙන් රෝද කරකැවෙන්නෙ. ඔය ගිණි උදුනට නිතරම අවශ්‍ය ප්‍රමාණයට ගල් අඟුරු දාන එක තමයි ෆයර්මන්ගෙ වගකීම.

අත්තා තමංගෙ රාජකාරිය අකුරටම ඉටු කරපු හින්ද පුත්තු තුන්දෙනෙක්ටම රේල්ලුවෙම රස්සා හම්බවුනා.ඒ මගෙ එක මාමෙක්ගෙ පුතෙකුටත් හැටගණංවල ඒක්‍රමය යටතෙම රස්සාව ලැබුන. දැන් නම් මම දන්න විදිහට එහෙම දරුවන්ට රස්සා දෙන ක්‍රමේ අත්හිටුවල.

ඉතිං අනික් වොරන්ට් එකෙන් යනව බදුල්ලෙ. එහෙට බැඳල හිටිය අම්මගෙ නංගි. අපෙ පොඩි අම්ම. රජයේ සේවයෙ උසස් වීම් ලැබිල එක ශ්‍රේණියකට ආවම අවුරුද්දෙ වොරන්ට්ස් තුනම වෙනුවට එයාර් සිලෝන් ගුවන් යානයකින් රත්මලානෙ ඉඳල කන්කසන්තුරේට හෝ චීනවරායට යන්ට අවස්ථාවකුත් රජයෙන් ලබල දුන්න. අපිත් බොහොම ආසාවෙන් හිටියට ඒ බලාපොරොත්තුව ඉටුවුනේ නෑ. ඒ කතාවත් පස්සෙ තමයි ලියන්ට වෙන්නෙ.

"මොකක්ද මරදාන හන්දියෙ බිල් බෝඩ් එකේ ගහල තිබ්බෙ? සීන්ස් එහෙම තියනවද?" එදිරිය ඇහැව්ව. 

"අප්පට සිරි කියල වැඩක් නෑ මචං... ෆුල් නේකඩ් කෙල්ලෙක්ගෙ සීන් එකක් දාල තිබ්බ …"

"ෆුල් නේකඩ් කිව්වෙ? ඇඟේ නූල් පොටක් වත් නෑ?" මම ඇහුවෙ කට කණේ තියාගෙන. 

"නූල් පොටක් ඉණෙං පල්ලෙහා තියනවද කියල නම් මන්දා බං මොකද ඉණෙං උඩ විතරයි ඇඳල තිබ්බෙ. ඒ පේන්ට තිබ්බ හරියෙ නම් තිබ්බෙ මල් වගයක් විතරයි."

(එහෙම සීන්ස් එකක් ලේඩි චැටර්ලීස් ලවර් පොතේ තියනව. චැටර්ලි ආර්යාව සහ උයන් පල්ලා මෙලර්ස් අතර කාම සම්භෝගයෙන් පසු වරක් ඔහු චැටර්ලි ආර්යාවගේ නිරුවත් සිරුර කැළෑ මලින් සරසනවා)

Lady Chatterley's Lover පොතේ මම කැමතිම උද්ධෘත දෙකක් මේ....

“Obscenity only comes in when the mind despises and fears the body, and the body hates and resists the mind.” 

“A woman has to live her life, or live to repent not having lived it.” 

"එහෙනං යමං දෙවෙනි පීරියඩ් එක ඉවර වෙනකොටම පිටිපස්සෙ තාප්පෙං පනිමු."

ඒ වගේම 9.00 ට දෙවෙනි පීරියඩ් එක ඉවරවෙලා සර් එළියට යනවත් එක්කම අපි තුන්දෙනෙක් බිත්ති කණ්ඩියට මුවාවෙලා ගිහිල්ල තාප්පෙ යම්තමට පුපුරල තියෙන තැනකට අඩිය තියල එහා පැත්තට පැන්න. තාප්පෙන් එහා පැත්තෙ තිබ්බෙ හිස් ඉඩමක්. ඊටත් එහායිං ඕරමන්ඩි ගෙදර. ඒ ගෙදර ඉස්සරහ බිත්තියෙ රතුපාට ලොකු අකුරිං ගහල තිබ්බ ORMONDE කියල. ඒ ඇවිල්ල ගෙදර නම. ජේ.ආර්.ගෙ වෝඩ් ප්ලේස් ගෙදර නම බ්‍රීමර්. එස්.ඩබ්.ආර්. ඩී. බණ්ඩාරනායකගෙ රොස්මීඩ් ප්ලේස් ගෙදර නම ටින්ටජල්. දැන් ඒ ගෙදර දාල තියන හෝටලේ නම Paradise Road Tintagel ... ටින්ටජල් කියන්නෙ එංගලන්තෙ හිටියයි කියන ආතර් රජ්ජුරුවන්ගෙ මාළිගාවෙ නම. අහල ඇති නේද ආතර් රජ්ජුරුවන්ගෙයි වට මේසෙ නයිට් වරුන්ගෙයි කතන්දර?

ඕමන්ඩ් කියල සුප්‍රසිද්ධ රේස් අශ්වයෙක් ඉඳල තියනව 19 වන ශතවර්ෂයෙ අගබාගෙ එංගලන්තෙ. අපේ ඉස්කෝලෙ ගාව තිබ්බ ගෙදරට ඕමන්ඩ් කියල නම දැම්මෙ ඒ අස්සය හින්දද කියලනම් මට හරියටම කියන්ට බෑ,

ඉතිං පුරුද්දක් වශයෙන් කිත්‍යාකාර පාරෙ ඉස්කෝලෙ ඇරිල යන කොල්ලො ඔය ගේ ඉස්සරහ නැවතිල "ඕරමන්ඩී" කියල යටිගිරියෙං කෑගහන පුරුද්දක් තිබිල තියනව. ඒ කාලෙ ඔය ගෙදර වයසක අන්කල් කෙනෙක් ඒ වෙලාවට හැරමිටියකුත් උරුක් කරගෙන මිදුලට බැහැල ඉංග්‍රීසියෙං බැණ අඬගහන සිරිතකුත් තිබ්බලු. 

පස්සෙ ඒ අන්කල් අබාවප්‍රාප්ත වෙලා ගෙදර ඉතුරු වෙලා තියෙන්නෙ වයස්ගත කාන්තාවො දෙන්නෙක් විතරයි. ඒ දෙන්නට අර අන්කල්ට වගෙ මූලග්ගාය නැති හින්ද එළියට බැහැල කඩ්ඩෙං බැණ අඬගැහිල්ල එහෙම්මම නතර වෙලා. 

ඒ හින්දම කොල්ලන්ගෙ ඕරමන්ඩී කියල කෑගැහිල්ලත් මම ඔය කියන කාලෙ වෙනකොට නතර වෙලයි තිබ්බෙ.ඊට අවුරුදු දෙක තුනකට වගෙ පස්සෙ ඒ ගෙදර අපේ ඉස්කෝලෙ ළමයින්ගෙ බෝඩිං ප්ලේස් එකක් වෙලත් තිබ්බයි කියල මට පස්සෙ ආරංචි වුනා.

ඉතිං අපි තුන්දෙනෙක් තාප්පෙං පැන්න කියල මම කිව්වනෙ. මමයි ලලිතයයි එදිරියයි. අපි සාමාන්‍යයෙන් කරන්නෙ තාප්පෙං පැනල තාප්පෙ එක්කම තියෙන හිස් බිම් කඩෙන් ගිහිල්ල කිත්‍යාකාර පාරට යන එක. එදත් එහෙමයි අපේ සැළසුම තිබ්බෙ. 

"ඒයි අම්මට XXX,  අර බලපං…" ලලිතය කිව්ව. 

කෙලියා නේන්නං..කිත්‍යාකාර පාරට අපි ගොඩවෙන තැන මෙන්න ඉන්නව ආලවකයො වගෙ ප්‍රිෆෙක්ට්ස්ල තුන් දෙනෙක්. ඒ ප්‍රිෆෙක්ට්ස්ල නොහොත් ශිෂ්‍ය නායකයො පත් කරපු අලුත. පත් කරපු අලුත ඔය ඇමතිවරුනුත් රටේ නැති ඔක්කොම බදාගෙන කරන්ට යනවනෙ. එක පාරක් ලලිත් ඇතුලත්මුදලි මහත්තයගෙ බිරිඳ ශ්‍රීමනී ඇතුලත්මුදලි නෝනා ප්‍රවාහන ඇමති විදිහට පත් කරපු ගමං කොටුවෙ ස්ටේෂන් එක අතුගෑව හිටං. 

අන්න ඒ වගෙ ඉතිං අපේ ප්‍රිෆෙක්ට්ස්ලත් එහෙමයි. පත්කරපු අලුත ඉස්කෝලෙං හොරෙං පනින එවුං පස්සෙ පන්නනව අර ජෙරී පස්සෙ ටොම් පන්නනව වගෙ. ටික දවසක් ගිහිල්ල ප්‍රිෆෙක්ට් උණ ටිකක් බැහැල එහෙම ගිහාම දෙගොල්ලොම එනව අප්‍රකාශිත සමඟි සංධානයකට. ඒ කිව්වෙ කොල්ලො ගාල කඩාගත්ත හරක් වගෙ එක සීරුවට පැනල යෑමෙන් වැළකෙනව.අවාරෙට අඹ වැටෙන්න වගෙ එකා දෙන්න හෙමීට මාරු වෙනව. 

එහෙම නැතුව පංති පිටිං යන්ට ගියාම ප්‍රිෆෙක්ට්ස්ලටත් ඒක ප්‍රශ්නයක් වෙනවනෙ. ප්‍රිෆෙක්ට්ස්ලගෙ පැත්තෙං එයාල ඒ එකා දෙන්න මාරුවෙනව නොදැක්ක වගෙ අහක බලාගෙන ඉන්නව.එහෙමයි ඒ අප්‍රකාශිත එකඟ තාවය.

කිත්‍යාකාර පාර ගාව එදා ඒ රැකල හිටියෙ ඒ තාම ප්‍රිෆෙක්ට් උණ බැහැල නොගිය තුන්දෙනෙක්.සාමාන්‍යයෙන් ඉස්කෝලෙ තාප්පෙං පැන්නට පස්සෙ පස්සෙං පන්නල ඇවිල්ල අල්ලන්නෙ නෑ ප්‍රිෆෙක්ට්ස්ල. ඒක අපි දෙගොල්ල අතර තිබ්බ අප්‍රකාශිත එකඟතාවයක්. දැං මේ ශිෂ්‍ය නායකයො තුන්දෙනා පැහැදිලිවම ඒ එකඟතාවය කඩකරලයි මේ රැකගෙන ඉන්නෙ. අ වෙරි ක්ලියර් වයලේෂන් ඔෆ් අවර් අන්ස්පෝකන් ඇග්‍රීමන්ට්..වෙරි ක්ලියර්..වෙරිම ක්ලියර්...

"යකෝ එහෙම කොහොමද තාප්පෙං පැන්නට පස්සෙ උං අපිව අල්ලන්නෙ? මේක හරිම අසාධාරණයක්නෙ.."

එදිරියට මල පැනල. ඕකට ඔය අසාධාරණය කියන එක පෙන්නන්ට බෑ. උගෙ තාත්ත ඒ කාලෙ කොමියුනිස්ට් පක්ෂෙ පොලිට් බියුරෝ එකේ ඒ කිව්වෙ දේශපාලන මණ්ඩලයෙ ප්‍රබලම සාමාජිකයෙක්. ඒ හින්දම ඕකට අසාදාරණේ අයුත්ත පෙන්නන්ට බෑ.

"ආ..අසාදාරණයක්ද? එහෙනං උඹ ගිහිල්ල උංට ඒක පැහැදිලි කරල දීපං" ලලිත් කිව්ව. 

"ඔව් මම යනව තමයි" එදිරිය යන්ට ලෑස්ති වුනා. 

"පිස්සුද බං? මෙන්න මෙහෙ හිටපං. ඔවුන්ට අහුවෙලා කුවේජු සර් ගාවට අරගෙන ගියොත් කණ හරහා කන්ට වෙනව. අනික මේ වෙලාවෙ ඉස්කෝලෙ මැදිං අපිව දක්කගෙන යන එක යකෝ හතර විලි ලැජ්ජාවයිනෙ"

"ඒ ඉස්කොලෙ මැදින් ඇදගෙන යන්නෙ අහුවුනොත්නෙ. ඔවුන්ට දෙකක් ඇනල දුවමු."

"විකාර කියවන්ට එපා බං. එහෙම කලොත් ඉස්කොලෙං දොට්ට දාන්ට උනත් පුලුවං. ඒ හින්ද උං එක්ක ඇරගන්ට ඕන නෑ. අපි වෙන විදිහක් බලමු" මම කිව්වා.

විකල්ප දෙකයි ඒ වෙලාවෙ තිබ්බෙ……

එක..තාප්පෙං ආපහු ඉස්කොලෙට පැනල මොකවත් නොදන්නව වගෙ ගිහිල්ල පංතියෙ ඉඳගෙන ඉන්න එක. ( Back to School කියල තියෙන ඇඩ් දකිනකොට මට මතක් වෙන්නෙම ඔය සීන් එක) 

දෙක..කටු කම්බි වැටෙං රිංගල ඕරමන්ඩි වත්තට ඇතුල් වෙන එක. ඒත් ඕරමන්ඩි ගෙදර වටෙං ගිහිල්ල පාරට යන්ට ඉඩක් නෑ. දෙපැත්තෙම තාප්ප දෙකක් බැඳල. එකම විදිහයි තියෙන්නෙ. 

"යමල්ලකො….." මම කටු කම්බි වැටෙං රිංගල ඕරමන්ඩි වත්තට ඇතුල් වුනා.අනික් එවුං දෙන්නත් මගෙ පස්සෙං ආව. 

"දැං මොකද බං කරන්නෙ?" ලලිතය ඇහැව්ව. 

"ඉඳපංකො වෙන කරන්ට දෙයක් නෑ."

මම ඕරමන්ඩි ගෙදර පිටිපස්සෙ දොරේ බෝලෙ කැරකුවා. දොර අගුලු දාල නං එහෙම හුටා. වෙලාවට මෙන්න දොර ඇරුන. එතනිං ඉස්සරහ තව දොරක්. ඒත් එක හායි ගාල ඇරල දාල. එතනිං එහා සාලෙ වෙන්ට ඕනෙ. සාලෙං එනව කවුද කඩ්ඩෙං කතා කරන අද්දයක්. බල බල ඉන්ට වෙලාවක් නෑ. 

"යමල්ල" මම ඉස්සර වුනා. එදිරියයි ලලිතයයි මගෙ පස්සෙං ආව.

සාලෙ වේවැල් පුටු දෙකක ඉඳගෙන හිටිය වයසක නෝනල දෙන්නෙක්. දෙන්නම එක අච්චුවෙ. ඩෙෆිනීට්ලි අක්කයි නංගියි. ෂුවර් ඇන්ඩ් ෂොට් දැන් මේ ගෙදර ඉන්නවයි කියන නෝනල දෙන්න වෙන්න ඕන.අපි තුන්දෙනා අර සංඝතිස්ස, සිරිසඟබෝ සහ ගෝඨාභය සහෝදර කුමාරවරු තුන්දෙනා අනුරාධපුරේ යනව වගෙ සාලෙ මැදින් යනකොට ඒ නෝනලගෙ ඉස්සෙල්ල කටවල් ඇරුන. ඊට පස්සෙ ඇරුණු මුවින් යුතුවම අපි තුන්දෙනාගෙ මූණු දිහා මාරුවෙන් මාරුවට බලල ආයෙම එකිනෙකාගෙ මූණු බැලුව.

එක නෝනා කෙනෙක් මොනවද කියන්ට හැදුවට සද්දෙ පිටවුනේ නෑ. Speechless සහ Dumbstruck කියල ඉංගිරිසියෙන් කියන්නෙ මම හිතන්නෙ ඔය වගෙ අවස්තාවලට වෙන්ට ඕන. එයාල මොකවත් ඇහුවෙ නැතිහින්ද අපි මොකවත් පැහැදිලිකිරීමක් කරන්ට නම් ඕන නෑ ඇත්තටම.ඒත් මම හිතුව මොකවත්හරි කියන එක අපේ යුතුකම කියල.

"Please excuse us Aunties, we are conducting a survey of houses in this area. I am really happy to inform you that we have selected your house as the most beautifully arranged house of all we have surveyed."

ආන්ටිල දෙන්නගෙ කටවල් තවත් ඇරුන. 

"We would be in touch regarding......" මම තව මොකවත් කියන්ට ඉස්සර ලලිතය මගෙ කණට කරල දත්මිටි කාගෙන මෙහෙම කිව්ව…"යමං XXX, මෙතන කඩ්ඩ වන වන ඉන්නෙ නැතුව. දැං මේ දෙන්න පොලීසියට ටෙලිෆෝන් කලොත් එහෙම ඉස්කෝලෙං දොට්ට දානව විතරක් නෙවෙයි හිරෙත් එක්ක යන්ට වෙනව"

ඒකත් හරි තමයි බලාගෙන ගිහාම. මම විවරවූ මුවින් යුතුව තවමත් තුෂ්ණිම්භූතව හිඳිනා ආන්ටිල දෙන්න දිහා බලල අහිංසක විදිහට හිනාවෙලා හිස නමා ආචාර කරල එදිරියයි, ලලිතයයි එක්ක ඉස්සරහ දොර ඇරගෙන මිදුලට බැහැල ගේට්ටුවෙං කිත්‍යාකාර පාරට ආව. 

"අන්න බං අරුං තුන්දෙනා තාමත් අතන ඉන්න අර පැත්ත බලාගෙන" පස්ස හැරිල බලපු එදිරිය කිව්ව. 

මමත් හැරිල බැලුව. අපි ඕරමන්ඩි ගෙදර ගේට්ටුවෙං එලියට එයි කියල ප්‍රිෆෙක්ට්ස්ල කීයටවත් හිතන්නෙ නෑනෙ. උං තුන් දෙනා තාමත් අර පාලු ඉඩම දිහා බලාගෙන ඉන්නව. 

"හෙහ්,හෙහ්, එවුං ඔහෙ බලාගෙන හිටපුවාවෙ ඇස් රිදෙනකල්. අපි මෙන්න මෙහෙ යමං..දැනටමත් පෝලිම ද දන්නෙ නෑ ටෙක්නිකල් එක දිහාවට" මම එහෙම කියල ඉස්සර වුනා. 

*******************************

පලි - දැන් මම එකහිත් හිතාගෙන හිටියෙම අතුරු කතා ඔක්කොමත් කියල අද ජෝර්දාන් අයියගෙ රෙස්ටෝරන්ට් එකේ කතාව ඉවර කරන්නම්ය කියල.

ඊයෙ මට කෝල් එකක් ආව..

"හෙලෝ යස් හූ ඊස් දිස්?" මම ඇහුව. 

"ආ..ඔය රවීද කතා කරන්නෙ? "

"ඔව්..ඔව්..රවී තමයි කවුද මේ? "

"ආ..මම මේ ගරු සබාපති තුමා.."

අපෙ ගෙවල්වලට හැරෙන තැන බෝක්කුව අබලන් වෙලා. මම ඒ ගැන දවස් දෙකකට වගෙ කලින් අපෙ ප්‍රාදේශීය සභාවෙ කාර්මික නිලධාරී මහත්තයට කතා කලා. මට එක පාරටම හිතුනෙ මේ කතාකරන්නෙ ප්‍රාදේශීය සභාවෙ සබාපතිතුමා ඒ ගැන වෙන්ට ඕනය කියල. 

"ආ..ගරු සබාපතිතුමා බොහොම සන්තෝසයි ඔබතුමාම අපෙ බෝක්කුව ගැන කතාකලාට. ඇත්තටම මහජනයා ඔබතුමාලට දොස් කිව්වට කිසි වැඩක් කරන්නෙ නැතය කියල ඒක සම්පූර්ණ බොරුවක්ය කියල ඔබතුමා මේ දැන් ඔප්පු කලා. මේ බෝක්කුවෙ වැඩේ මෙහෙමයි සබාපති තුමා...."

එතකොටම සබාපතිතුමා මට හරස් කැපුව. "මොන බෝක්කුවක්ද මොන ප්‍රාදේසීය සබාවක් ගැනද මේ කියන්නෙ? මම කතාකලේ එහෙම දේකට නෙවෙයි" 

"එතකොට මේ අපේ ප්‍රාදේසීය සබාවෙ සබාපති තුමා නෙවෙයිද?"

"මොන විකාරද? රවි අයිය... මම මේ ශ්‍රී ලංකා කොමෙන්ට් කරුවන්ගේ සංගමයේ ගරු සබාපතිතුමා නොහොත් ගොඩකවෙල ප්‍රසන්න."

"අම්මට උඩු එහෙම කියන්ට එපාය...ඉතිං මල්ලි මොකෝ හදිස්සියෙ ? මක්කැයි මගෙං කෙරෙන්ට ඕන? "

"මම මේ කතාකලේ අයියෙ අයිය අර ජෝර්දාන් අයියගෙ කතාව මේ පාර ඉවරෙටම ඉවර කරනවද කියල අහන්ට.."

"යස්, යස්, ඇයි බං මම කලිං පෝස්ට් එකේ කමෙන්ට් එකකිනුත් කිව්වෙ. ඇයි උඹ අර කියලත් තිබ්බෙ අනිවාර්යයෙන් තව එක කොටසකින්නම් මේ යස්සය මේ කතාව ඉවර කරන්නෙ නැතය කියල. උඹේ ඒ චැලේන්ජ් එක හින්දමයි මම හිතාගත්තෙ කොහොම හරි අතුරු කතා ටිකත් කියල මේ පාර කතන්දරේ ඉවර කරනවයි කියල. "

"හිහ්..ඒ ගැන කතා කරන්ටමයි අයියෙ මම මේ කෝල් කලේ" 

"ඒ කිව්වෙ බං? "

"දැං අයියෙ මෙහෙම දෙයක් වෙනව. අයිය මේ පාර කතාව ඉවර කලොත් මම පරදිනව. ඒක කො.ක.ස. සබාපති හටියට මගෙ කීර්තිනාමයට කැළලක්. "

"හරි හරි ඒක එහෙමයි කියමුකො.. ඉතිං උඹ දැං මට මොකක්ද කියන්නෙ කියපංකො."

"එහෙම මම පැරදුනොත් මට සිද්ද වෙනව කො.ක.ස. සබාපති කමෙං ඉල්ලා අස් වෙන්ට."

"අප්පටසිරි එහෙමත් එකක්ද?"

"ඔව්..එහෙම තමයි වෙන්නෙ. අයිය කැමති විදිහක් කරන්ට." එහෙම කියල ඌ ඩහ් ගාල ෆෝන් එක තිබ්බ. 

මට උනෙ අර කිරි හින්ද බොන්ටත් බෑ උණු හින්ද අහක දාන්ටත් බෑ වගෙ වැඩක්. මම චැලේන්ජ් එක බාර අරගෙන තියෙන්නෙ. ඒ හින්ද මේ කොටසින් කතාව ඉවර නොකලොත් මම පරදිනව. අනික් අතට කතාව ඉවර කලොත් ප්‍රසන්නය සබාපති කමෙං ඉල්ලා අස් වෙනව.

රාත්‍රී පශ්චිම යාමය තෙක් නිදි වර්ජිතව කල්පනා සාගරයේ කිමිද සියළු කරුණු කාරණා සළකා බලා මම අවසන තීරණයකට එළඹියෙමි. මගේ කීර්තිනාමය යකාට ගියාවේ. ප්‍රසන්නගේ සබාපතිපදවිය වෙනුවෙන් මම එය ඉතසිතින්ම කැප කරනෙමි. එහෙම හිතල ඔන්න මම ජෝර්දාන් අයියගෙ රෙස්ටුරන්ට් එකේ කතාව ඉවර කරන එක ලබන එපිසෝඩ් එකට කල් දැම්ම

ප්‍රසන්න..ඔන්න මල්ලි මම උඹේ ඉල්ලීම ඉෂ්ඨ කලා. ඔව්ව මතක තියාගනිං දියපිට ඇඳි ඉරක් වගේ...හොඳද?

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...