දෙපාරක් ඒ ලෙවල් කරලත් යුනිවකුටි සිලෙක්ට් නොවුනු හින්ද මම තීරණය කලා ඊළඟ ඔප්ෂන් එක විදිහට මොනවහරි කාර්මික විද්‍යාලයීය පාඨමාලාවක් කරන්න. ඒ කාලෙ ඔය අද වගෙ අර කෝස් මේ කෝස්, හාඩ්වෙයාර් කෝස්, සොෆ්ට්වෙයාර් කෝස්, අයි.ටී. කෝස්, එච්.ආර්. කෝස් වගෙ රටේ නැති කෝස් බෝස් තිබ්බේ නැත. යුනිවකුටි ගියෙ නැහ්නං ඉතිං ටෙක් තමයි.
අනුරාජපුරේ පබ්ලික් ලයිබ්රරි එක කියන්නෙ කොළඹ මහජන පුස්තකාලෙ ඇරුනම මම දැකපු හොඳම පුස්තකාලයක්. 77/78 කාලෙ වගෙ ඉන්දියාවෙ ද හින්දු, ස්පෝට්ස්වීක් එතනින් ගියාම ඉලස්ට්‍රේටඩ් වීක්ලි ඔෆ් ඉන්ඩියා එතකොට එංගලන්තෙ සන් වගෙ පත්තර හිටං ඒ පුස්තකාලෙ තිබ්බ. ඊට අමතරව පරන ඉංග්ලිෂ් ක්ලැසික්ස් පුරවපු කබඩ් පෙලක්ම තිබ්බ උඩ තට්ටුවෙ.
ඉතිං මම මයෙ පුස් බයිසිකලෙත් පැදගෙන ඔය ලයිබ්රරි එකට ගිහිල්ල ගැසට් එක බලනව මොනවද ටෙක් එකේ හොඳ කෝස් තියෙන්නෙ කියල. ඔන්න මැයි/ජූනි වගෙ වෙනකොට ගැසට් එකේ දාල තිබ්බ ඊලඟ අධ්‍යයන වර්සෙට කොල්ලො කෙල්ලො බඳව ගන්නවයි කියල. අනුරාදපුරේ මහ තැපැල් කන්තෝරුව ගාව තිබ්බ ගුණසේකර සහ සමාගමෙන් මුද්‍රිත ඉල්ලුම් පත්තරේකුත් අරගෙන ඇවිල්ල මම ඒක පුරවල තැපෑලට දැම්ම. අයදුම් කලේ ආධුනික සැළසුම් ශිල්පී පාඨමාලාවට.
පස්සෙ සම්මුඛ පරීක්ෂණේකට එහෙමත් ගිහිල්ල මම තේරුණා ඒ පාඨමාලාවට. දැං ඔය කොයි කාලෙද දන්නවද? 82/83 අධ්‍යයන වර්ෂයට. දැං කවුද ඒ වෙනකොට මෙලොව එළිය දැකල හිටපු උදවිය ඉන්නේ? අත් උස්සන්ට බලන්ට. අප්පෝ ඔච්චරද ඉන්නෙ? ෂෙහ්..බොහොම ලාබාල හිච්චි එවුං ටිකක්නෙ මෙතන ඇවිල්ල ඉන්නෙ. හරි හරි ඒකට මක් වෙනවද? නැද්ද? පහුවෙලා ඉපදිච්චි එක ඔහෙලගෙ වැරැද්දක් නෙවෙයිනෙ නේ? අනික පහුවෙලා හරි ඉපදුන එකම මදැයි නේ?
ටෙක්නිකල් එකේ ගත කරපු කාලය මගේ ජීවිතේ අමතක නොවන කාල පරිච්ඡේදයක්...හෙහ්,හෙහ්...එහෙම බලාගෙන යනකොට මගෙ ජීවිතේ ඔය අරහෙ මෙහෙ අතන මෙතන ගත කරපු හැම කාලෙම අමතක නොවන කාල පරිච්ඡේද නම් තමා. මම හිතන්නෙ කොහෙ මොක කලත් ඒක අමතක නොවන කාල පරිච්ඡේදයක් කරගන්ට තමන් දැනගන්ට ඕන. අපෙ මාමණ්ඩි කිව්ව වගෙ ඒකයි ඒකෙ අවයවය...
හරි ඉතිං ටෙක් කෝස් එකේ අපේ අවසන් විභාගෙ යෙදිල තිබ්බෙ 83 අගෝස්තු මාසෙ. ඒත් ජූලි මාසෙ තිබ්බ කළු ජූලිය හින්ද විභාගෙ දෙසැම්බර් මාසෙට කල් ගියා. ඒ අතරෙ ගෙදර නිකං ඉන්නකොට මට අනුරාධපුරේ වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලෙ පුහුණුවන සැළසුම් ශිල්පී තනතුරකුත් ලැබුන. පඩි ගෙවිල්ලක් එහෙම නෑ. නොමිලේ ගරු සේවය. ට්‍රේසිං පේපර්වල ඉන්ඩියන් ඉන්ක් වලින් අඳින්න මම පුරුදුවුනේ එතනදි.
ඔතන මාස තුනක් වගෙ ඉන්දැද්දි දවසක් රෑ අප්පච්චි මට කතා කලා. අපේ අප්පච්චි එහෙම කෙලින්ම අපිට කතා කරනව බොහොම අඩුයි. අම්ම තමයි තෝල්ක මුදලි. අප්පච්චි එහෙම කෙලින්ම අපිට කතා කරන්නෙ මොකක් හරි විශේෂ කාරණයකට විතරයි.
"ඔය ඉරිගේෂන් එකේ කරන රස්සාව තව කොච්චර කල් තියෙයිද?" අප්පච්චි ඇහුව.
"අපොයි තව අවුරුදු දෙක තුනක් හරි ඒ අය නම් කැමතිවෙයි. පඩියක් ගෙවන්නෙත් නෑනෙ...ඒ හින්ද මොකට අකමැති වෙන්නද?"
"හ්ම්ම්ම්ම්..ඒක තමයි මම මේ කතා කලේ...සඳුද ඉඳල අර කල්චරල් ට්‍රෑන්ගල් එකේ වැඩට යන්න එහෙනං. එතන වේකන්සි එකක් තියනවලු"
"ට්‍රෑංගල් එකේ කොහාටද යන්න ඕන?"
කල්චරල් ට්‍රෑන්ගල් කිව්වෙ සංස්කෘතික ත්‍රිකෝණය. පුරාවිද්‍යා කැණීම් සහ සංරක්ෂණ කටයුතු සඳහා පිහිටවපු රාජ්‍ය ආයතනයක්. ටෙක් එකට යද්දි යාලුවො එක්ක බයිසිකල් වල නැඟල අනුරාධපුර පැරණි නගරය පුරා කරක් ගහල මම දැනගෙන හිටිය අනුරාධපුරේ සංස්කෘතික ත්‍රිකෝණයෙ ප්‍රොජෙක්ට්ස් දෙකක් තියනව කියල. එකක් ජේතවනාරාමෙ අනික අභයගිරිය.
(අර කලවැද්ද...සුරංගය මේ ඊයෙ පෙරේද අභයගිරියෙ ගිහිල්ල පෝටොස් එහෙමත් දාල තිබ්බ පේස් බුක් එකේ...)
අපි ටෙක් එකේ ඉන්න දවස්වල තමයි ජේතවනාරාමෙ කැණීමකින් රන්පත් ඉරු එහෙම හම්බ වුනේ. එව්ව බලන්ට අපිත් දනිපනිගාල බයිසිකල් පැද්ද ජේතවනාරාමෙට.
"අභයගිරි ප්‍රොජෙක්ට් ඔෆිස් එකට..එතන ගිහිල්ල ඩොක්ට වික්‍රමගමගේ හම්බ වෙන්න. මම විස්තර කියල තියෙන්නෙ…" අප්පච්චි එහෙම කියල නැඟිටල කාමරේට ගියා.
ඩොක්ට වික්‍රමගමගේ කිව්වෙ ඒ කාලෙ අභයගිරි ව්‍යාපෘතියෙ අධ්‍යක්ෂවරයා. ආචාර්ය චන්ද්‍රා වික්‍රම ගමගේ. මේ පහුගිය අවුරුද්දෙ වගෙ මම පත්තරේක දැක්ක එතුමා දැන් මහාවංශ සංස්කරණ මණ්ඩලයෙ සභාපති විදිහට කටයුතු කරනව කියල.
ඉතිං අප්පච්චි කිව්ව විදිහට ඊලඟ සඳුද මම උදේම ගිහිල්ල ඩොක්ට ගමගේ හම්බවෙලා වැඩ බාරගත්ත. අනියම් සැළසුම් ශිල්පියෙක් විදිහට. ඒ වෙනකොට එතන තව අනියම් සැළසුම් ශිල්පීන් දෙන්නෙක්ම හිටිය. මම ඒ ගැන විස්තර කලින් ලියල තියනව මගෙ අභයගිරි විත්ති කතා මාලාව ලියනකොට...මතකයිනේ?
අභයගිරි දාගැබ සංරක්ෂණය කළ පසුව - ඡායාරූපය එන්.එච්.සමරසිංහ මහතාගේ සැරිසර මතක බ්ලොග් අඩවියෙන්... |
අනියම් සේවකයො විදිහට අපිට වැටුප් ගෙව්වෙ චෙක් රෝලෙන්. චෙක් රෝල කියන්නෙ අනියම් සේවක වැටුප් ලේඛණය....පුරාවිද්‍යා කැණීම් කටයුතු වලට යොදාගත්තු අනියම් සේවක සේවිකාවන්ට මුදලින් ගෙව්වෙ නියමිත වැටුපෙන් බාගයයි. ඉතිරි බාගෙට හිලව් වෙන්ට ඒ වටිනාකමට දුන්න පාන් පිටි, බටර් ඔයිල්, සැමන් ටින් සහ මුද්දරප්පලම්...ඒ ආහාර ද්‍රව්‍ය ලබාදුන්නෙ යුනෙස්කෝ එකෙන්.
යුනෙස්කෝ එක දන්නවනෙ නේද? එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය...ඒ වෙනකොට ලංකාවෙ ස්ථාන පහක් යුනෙස්කෝව විසින් ලෝක උරුම විදිහට පිළිගෙන තිබුණු නිසයි ඒ විදිහට ආධාර දුන්නෙ. එහෙම පිළිඅරගෙන තිබ්බෙ...අභයගිරිය, ජේතවනාරාමය, සීගිරිය, දඹුල්ල සහ මහනුවර...
ඉතිං ඒ අනිකුත් අනියම් සේවක සේවිකාවන්ට වැටුපින් බාගෙකට හිලව් වෙන්ට ආහාර දුන්නට කාර්යාලයෙ වැඩ කරපු අපි තුන්දෙනාටයි තව ලිපිකාරිනියො තුන්දෙනෙකුයි හිටිය. අපි දෙගොල්ලට සම්පූර්ණ වැටුපම සල්ලිවලින් ලැබුන. ඒ කාලෙ දවස් තිහම වැඩ කලාම මට මතක විදිහට පඩිය හම්බවුනා රුපියල් 900 වගෙ ගාණක්. ඒ කාලෙ හැටියට ලොකු ගාණක් ඇත්තටම කිව්වොත්. ගල් බෝතලේ රුපියල් 28 වගෙ ගානක් වුනේ එදවස. ඒ කියන්නෙ ඒ පඩියෙන් ගල් බෝතල් ගත්තෑකි 32 විතර.
දැං ගල් බෝතලේ 1530/= වෙනවනෙ. ඒ කියන්නෙ 32ක් ගන්න ඕන වෙනව රු. 48,960/=.... කොහොමද ආතල් එක?ඒ කියන්නෙ ඒ කාලෙ අපිට සෑහෙන පඩියක් ලැබිල තියනව...අන්න එහෙම තමයි එදා මෙදා මුදලේ ක්‍රයශක්තිය හීන වීම ගණනය කරන්නෙ...ඒ මුදලට මිලදී ගත හැකි ගල් බෝතල් සංඛ්‍යාව සැසඳීමෙන්..ඔව්ව ඔය ආර්ථික විද්‍යා මූලධර්ම..සෙල්ලං නෑ..ඉකොනොමික් ප්‍රින්සිපල්ස්...ආර්ථික විද්‍යාව ඉගෙන නොගත්තට අපිත් ඔය ගැන යමක් කමක් දන්නව.
මුදලේ අගය අවප්‍රමාණය වීම කියන්නෙත් ඕකම තමයි. එදා පඩියෙන් ගල්බෝතල් කීයක් ගතෑකිද? අද ඒ ගල් බෝතල් ගානම ගන්ට සල්ලි කීයක් ඕනද? කියන එක තමයි මුදලේ අගය අවප්‍රමාණය වීමේ මිනුම් දණ්ඩ හැටියට ආර්ථික විද්‍යාඥයො පිළිඅරගෙන තියෙන්නෙ......
ඉතිං මම ඔය අභයගිරි ව්‍යාපෘතියෙ අවුරුද්දකට සුට්ටක් විතර වැඩි කාලයක් වැඩ කලා. සැළසුම් ශිල්පීන් හැටියට අපිට තිබ්බෙ කැණීම් වලින් මතුවෙන ගල් පාදම්, ප්‍රාකාර, දිය බස්නා මාර්ග එහෙම හරියටම තියෙන විදිහට අඳින්ට. ඉහළින් පෙනෙන විදිහ, ඒ කිවෙ ප්ලෑන් එක, දික්කඩ, හරස්කඩ එව්ව ඔක්කොම අඳින්ට ඕන. මීටර් 20න් විස්ස විතර ග්‍රිඩ් දාල බෙන්ච් මාක් එහෙම නැත්නම් පිල් ලකුණුත් දාල තිබ්බ. එව්වයෙ ලෙවල් එක අපි දන්නවනෙ. එතකොට එතන ඉඳල අර මතුවෙන පුරාවස්තුවල මට්ටම් ගන්ටත් පුළුවන් බොහොම පහසුවෙන්ම.
හරි හරි විස්තරේ ටිකක් විතර ටෙක්නිකල් පැත්තට බර වේගනයි යන්නෙ. ඒ හින්ද මේ ඇති. ඉතිං මම ඔය අභයගිරියෙදි ඇඳපු සැළසුම් හත අටක් අපේ මහ ගෙදර තිබ්බ වගේ මතකයි. ට්‍රේසිං පේපර් එකේ ඉන්දියන් තීන්තෙන් ඇඳපු හින්ද තවම හොඳ තත්වයෙ ඇති සමහරවිට. මේ පාර ගියහම බලන්ට ඕන පරණ කබඩ් අල්මාරි එහෙම ඇදල කරල. තිබ්බොත් එව්වත් දාල ඒ ගැන වෙනම පෝස්ට් එකක් ලියන්නම්කො...හොඳද?
හරි ඉතිං අභයගිරියෙ හිටපු අවුරුද්දක කාලය බොහොම විනෝදෙන් සන්තෝසෙන් ගතවුනා. ඒ කාලෙ මගෙ හිතේ ඉතිහාසය සහ පුරාවිද්‍යාවට තිබ්බ ඇල්ම තවත් වැඩිවුනා. තවත් වැඩිවුනාය කියල කිව්වෙ මම පොඩි කාලෙ ඉඳලම ඉතිහාසය ගැන ඉගෙන ගන්ට හරිම කැමතියි.
ඒ ආසාව නැත්නම් ඇල්ම ප්‍රගස්තියක් (ප්‍රගස්තිය කියන්නෙ ඔබ්සෙෂන් කියන වචනෙට කියන සිංහල වචනෙ කියල කියන්නෙ අපේ මේ මධුර ගොයිය) බවට පත්වුනා. ප්‍රගස්තිය කියනවට වඩා මම කැමතියි හරියටම ටක්කෙටම හරි නැතිවුනත් ඇබ්බැහිය කියල කියන්ට...හරි ඇබ්බැහියක් බවට පත්වුනා කියල කියමුකො. මම අර නිල් කට්රොල් මල් කතාව ලියනකොට කිව්වෙ....පුලුවන් හැම වෙලාවෙම මම ඔය සීගිරියෙ එහෙම ගියාය කියල.....
හරි මදැයි ඒ හෑල්ල..දැං එමු ප්‍රධාන කතාවට...මෙච්චර වෙලා මම මේ කලේ පසුබිම සකස් කරන එක...තේරුණා නේද ඔබ තමුන්නාන්සේලාට? රයිට් ප්‍රධාන කතාව මෙහෙමයි.
මේ රටේ තියනව එතෙර අපි කියල සංවිධානයක්. මෙහෙ රැකියා කරන්ට ඇවිල්ල ඉන්න ශ්‍රී ලාංකිකයො එකතුවෙලා පිහිටුවා ගත්තු සංවිධානයක් ඒක. දැනට මාසෙකට වගෙ ඉස්සර ඒකෙං මට ඊ මේල් එකක් ආව ජනවාරි 19 වෙනි සිකුරාද "ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව ගවේෂණයන්ගේ නවමු අත්දැකීම්" යන මාතෘකාවෙන් ප්‍රසිද්ධ දේශණයක් පැවැත්වෙනව කියල මෙහෙ තියන හෝටලයක. කැමතිනම් සහභාගි වෙන්ටෙයි කියල. දේශකයා කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් අධ්‍යයන ආයතනයේ ජේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහත්මයා.
රාජ් සෝමදේව මහතාගේ දේශණය පිළිබඳව නිර්මාණය කල ප්‍රචාරක දැන්වීමක් ඉහත දැක්වේ. |
මම අර කිව්ව වගෙ මගේ ප්‍රථම ප්‍රේමය ඉතිහාසය සහ පුරා විද්‍යාව හින්ද මම කලේ හැරෙන තැපෑලෙන් උත්තරයක් යැව්ව "යස් අයි විල් ඩෙෆිනීට්ලි ඇටෙන්ඩ්" කියල.
ඉතිං පහුගිය 19 වෙනි සිකුරාදා උදෙම්ම මම ගියා ඒ දේශණයට. සිකුරාද ඇවිල්ල මයෙ පොඩි ආතල් එකක් එහෙම ගන්න දවස උනාට මේ වගෙ මහාර්ඝ අවස්ථාවක් මඟ හරින එක අපරාදයක් හින්ද මම දනිපනිගාල ගියා අදාල ශාලාවට.
උදේ නවයෙ වගෙ ඉඳල හවස තුන පහුවෙනකල් වගෙ දේශණය පැවැත්වුනා. දවල් එකොළහමාරට වගෙ පැයක විතර බ්‍රේක් එකක් තිබ්බ. කොහොමත් සිකුරාද ඉස්ලාම් භක්තිකයින්ගෙ ශුද්ධවූ දවස හින්ද එකොළහමාරෙ ඉඳල දොළහ වගෙ වෙනකල් කඩ සාපු ඔක්කොම වහන්ට ඕන. එතනිං ගියාම ඒ කාලසීමාව ඇතුලත ක්‍රීඩා තරඟ එහෙමත් නවත්වන්න ඕන. එහෙමයි මෙහෙ නීතිය.
ඉතිං ඒ පැයක වගෙ විවේක කාලෙදි පොඩි කට්ලට් රෝල්ස් සෑන්ඩ්විචස් දෙක තුනක් කන ගමන් අපි කීප දෙනෙක් මහාචාර්ය තුමා එක්ක සුහද කතා බහක යෙදුන. රාවණ රජ්ජුරුවො ගැන....එතකොට බුදුන් වහන්සෙගෙ ලංකා ගමන ගැන...එතකොට මහා වංශය ගැන....සීගිරියෙ විශ්මිත ජල උද්‍යාන තාක්ෂණය ගැන....ප්‍රාග් ඓතිහාසික ලංකාවේ යපස් වලින් යකඩ ලබාගැනීමේ තාක්ෂණය ගැන...ඉබ්බන්කටුවෙ සොහොන් ගෙවල් ගැන....ඔය වගෙ නොයෙක් ඉතාම සිත් ඇදගන්නාසුළු මාතෘකා ගැන අපි කතා කලා.
හවස තුන වෙනකල් දේශණය තිබ්බට ආපු හැමෝම වගෙ සාවධානව ඇහුම්කන් දුන්න මිසක් නැඟිටලා ගියේ එහෙම නෑ.....
මහාචාර්ය වරයා අන්තිමට මෙහෙම කිව්ව..
"අපි අනාගතයට යන්ට ඉස්සර හරියටම දැනගන්ට ඕන අපි කවුද කියල. අපේ මූලාරම්භය කොතනද? අපි ආවෙ කොහෙන්ද? අපේ තාක්ෂණය අපිට ලැබුනෙ කොහෙන්ද? අපේ භාෂාව විකසනය වුනේ කොහොමද? ඔය ගැන හරියටම දැනගන්නෙ නැතුව ඉදිරියට යනවය කියන්නෙ අපි අක්මුල් සිඳුණු ජාතියක් වෙනව. එහෙම බෑ.....මේ පොළවෙ අපේ මුල් ගැඹුරට කිඳා බැහැල තියනව. අපි එව්ව හොයාගන්ට ඕන.."
පල්ලෙහා වීඩියෝ දෙකේ මහාචාර්ය තුමාගෙ සම්පූර්ණ දේශණයම තියනව. දෙකම ගත්තම පැය පහක් විතර. ටිකක් දිග වැඩියි නම් තමයි. ඒත් විවේකයක් ලැබුණු වෙලාවක අහන්න....ඒ වැයකරන කාලය කිසිසේත්ම අපතේ ගියා වෙන්නෙ නැති බවට මම සහතික වෙනව...