Showing posts with label කෝසල සිහින. Show all posts
Showing posts with label කෝසල සිහින. Show all posts

Wednesday, February 18, 2015

305. කෝසළ සිහින - විසිවැන්න නොහොත් මෘත කළේබර ඔසවාගෙන යන්නවුන්ගේ කථා වස්තුව


Daily Mirror.








ගිම්හානයෙහි තද උණුසුමෙහි පෙරමඟ ලකුණු එළිපතට පැමිණ ඇතිවද තවමත් එකහෙලා පහව නොගිය ශිශිරයෙහි කටුක ශීතල ගත මෙන්ම සිතද පෙලනුයේ නිතැනිනි.සිත වෙහෙසියයුතු කුදු මහත් රාජකාරි කටයුතු නොගිණිය හැකි පමණ වූවද දිනකිහිපයක සිට සිත මෙන්ම ගතද පෙලෙනා කෙඩෙත්තුව කරනකොටගෙන කොසොල් රජතෙමේ සවස්වරුවම ගත කලේ සිරියහන් ගබඩාවෙහි සුවපහසු සයනය මත වැතිර ගත්වනමය.

රාත්‍රියාමය උදා වුවද ගත පෙලන දාහය කිසිසේත් ඉහිල්වූයේ නොවේ. එසේහෙයින්ම දහසක් අන්තඃපුර බිසෝවරුන් රජුගේ මනදොළ පිනවීම උදෙසා තුන්තිස් පැය මුලුල්ලේ සැදී පැහැදී සිටියද ඒ අරභයා කිසිදු තැකීමක් නොකල රජ තෙමේ මාළිගයෙහි තුන්වන මහලෙහි බිහිදොර අංගනය මත්තෙහි වූ සඳළු තලයට වන්නේ දින කිහිපයකට පෙර යවන දේශයෙන් වෙළඳාම් උදෙසා පැමිණි පියපුතු දෙදෙනෙකු විසින් තුටුපඬුරක් සේ ප්‍රදානය කරන ලද රත් පැහැ මුද්‍රික පානය පිරවූ ඔඩමක් හිස් කරන්නට වූයේය.

රජමාළිග අංගනය මධ්‍යයේ වූ නිල්දියෙන් සපිරි පොකුණ අභියස වූ රත්කරඳ වෘක්ෂයේ අහස් කුසට නැඟීගිය අතුපත් අතරින් දිලෙනා අටවක සඳ පාවීයන්නාවූ වළාවන් අතරින්ම අවරට යන තෙක්ම රජතෙමේ මුද්‍රික පානයෙන් සන්තර්පණය වූයේය.

අවසනැ පැසුළුයම ඇරඹීමට ආසන්නයේ සිරියහන් ගැබට වැද නින්දට වන් එතුමෝ අළුයම බියකරු සිහිනයෙක් දුටුවෝ අනපේක්ෂිතව පය ලිස්සාගොස් මහා ගංගාවකට ඇදවැටුනෙකු සියොළඟ තෙමීබත්වන්නේ යම්සේද එලෙස දහදිය කරණකොට සියොළඟ තෙමීගොස් බියෙන් තැතිගත්වනමැ අවදි වූවෝය.

එලෙස සියොලඟ දහදියෙන් නැහැවීයන පමණ භයංකර වූ සිහිනය යලි යලි මැවී පෙනෙන්නට වූයෙන් පෙරලා නින්දටවන්නට අසමත්වූ රජතුමෝ උදෑසන පෙර'ඹර පැහැපත් වනතෙක්ම සඳළුතලයෙහි සුවපහසු අසුනක් අරා දෑස් පියාගත්වනම ගතකලෝ හිමිදිරියෙහිම මුව දොවාපියාලා සිරුරුකිස, මුව දෙවීම යනාදී අත්‍යාවශ්‍ය වූ කටයුතු වලින් අනතුරුව තම මංගල සෛන්ධවයා අරා දෙව්රම බලා පිටත් වූහ.

අප තිලෝගුරු ගෞතම බුදුන් වහන්සේද සුපුරුදු වූ පරිද්දෙන් උදෑසනක් සේම පිබිදියාහු මුව දොවාලා පියා අනතුරුව පාතරාසයෙන් ඉක්බිති දෙව්රම් වෙහෙර අංගනයෙහි සුවිසල් සල් රුකක් සෙවණෙහි විවේක සුවයෙන් වැඩ හුන්නෝය.

බුදුන් වහන්සේගේ ශාන්තවූ මුව මඬල,  රාත්‍රියෙහි දුටු බියකරු සිහිනය කරණකොටගෙන එතෙකුදු පහව නොගිය බිය සංකා ඇති රජතුමාගේ සිතට මහත් වූ සහනයක්ම වූයේය. බුදුන් වහන්සේ වෙත එළඹ නමස්කාර කොට එකත්පස්වැ හුන් රජතුමා දෙස සිනහ මුසුව නෙත්යොමුකල අප මහ කාරුණිකයාණෝ මෙසේ පිළිවිසියහ.

" කිමෙක්ද මහරජ..මේ උදෑසනක්සේම?....තවත් බියකරු සිහිනයෙක් දුටුවෙහිද? "

" එසේය ස්වාමීනී..රාත්‍රියෙහි පශ්චිම යාමයෙහිදී දුටු එක්තරා බියකරුවූ සිහිනයක් හේතුකොටගෙන බියෙන් තැවෙන්නෙමි. එතැන් පටන් නින්දක් හෝ නොමැත්තේය. එසේ වූ  හෙයින් අළුයම් වූ ඇසිල්ලෙහි ඔබතුමන් බැහැදැක ඒ පිලිබඳව පවසා සහනයක් ලබනු රිසිවැ උදක්ම පැමිණියෙමි. "

" කිමෙක්ද රජතුමනි..මේසා ඔබ බියපත් කල සිහිනය?..වහා පවසනු මැන " …..මෙසේ පවසමින් බුදුහු රජතුමා දිරිමත් කලෝය.

එබස් ඇසූ රජතුමෝ දෑඟිලි බැඳගත්වනමැ හිඳ හිස ද පහතට හරවාගෙන මෙසේ පවසන්නට වූවෝය.

" ස්වාමීනී ඊයේ පශ්චිම යාමයෙහි මවිසින් දක්නා ලදැ ඒ බියකරු සිහිනය නම් මේ ලෙසයැ. වාමනයන් බඳුවූ විසුළු පුරුෂයින් සිව් දෙනෙකු මෘත කළේබරයක් දඬු මැස්සක තබාලා පියා සතර දෙසින් ඔසවාගෙනැ වීදි සඤ්චාරය කරන්නාහ. මියගොස් මසක් පමණ ගතවීයැයි දුටු වහාම කිසිදු සැකයෙකින් තොරව ස්ඵුට වන්නාවූ ඒ මෘත කළේබරයෙන් ගලන්නාවූ කුණුවූ ඕජසින් නික්මෙන දුර්ගන්ධය හාත්පස පැතිරෙන මුත් ඒ ඔසවාගෙන යන්නාවූ වාමනයන් බඳු පුරුෂයෝ ඒ පිළිබඳවැ කිසිදු තැකීමක් නොකොට ප්‍රීති ඝෝෂා පවත්වමින් සරන්නාහුය. "

" මේ ජුගුප්සාජනක දර්ශනය ඉවසාගත නොහුණු නුවරු නොයෙක් ලෙසින් වාමන පුරුෂයින්හට අවමන් කරන්නහුය.... කොළ පවිටුවනි, තෙල මෘත ශරීරය කරතබාගෙන වීදි සරමින් තොප කුමක් අපේක්ෂා කරන්නාහුද? තොපවෙතින් නික්මෙන දුර්ගන්ධය කිසිසේත් ඉවසනු නොහැකිය. වහා තෙල මෘත ශරීරය අමු සොහොනකට ගෙන ගොස් දමා ගලායන්නාවූ ජලපහරකට වැද ස්නානය කොට පිරිසිදු වනු මැනව. යනුවෙන් නාස් මිරිකාගත් වනමැ ඝෝෂා කරන්නාහුය. ඒ කිසිදු බසක් නොතකන වාමන පුරුෂයෝ සිව් දෙන, නැත නැත මේ කිසිසේත්ම මෘත කලේබරයක් නොවන්නේය. මේ වනාහී අපගේ අසහාය නායකයානන්ම වෙති. එනු මැනවි. අපගේ මහා නායකයාණන් වටා එක්රොක් වනු මැනවි. උහු අප විමුක්තිය කරා ගෙන යන මහා රජිඳානෝය. අපගේ පහන් තාරකාවෝය. අපගේ පුන් සඳානෝය. අපගේ සූර්ය දිව්‍ය රාජයාණෝය..අපගේ....අපගේ....අපගේ..."

" එබස් අසා කිපුණු නුවර වැස්සෝ කොළ නින්දිත වාමනයිනි. තොප අහස පොළව නුහුලනා අසත්‍යයක් පවසන්නාහුය. දුගඳ හමන්නාවූ, මාංශ දියවීගියාවූ, ඕජස් ගලන්නාවූ කුණපයක් කිසිදු හිරිකිතක්, පිළිකුලක් නොමැතිව කරතබා යන්නා පමණක් නොව ඒ පිලිකුල් සහගත ක්‍රියාවට සම්මාදම් වන ලෙස අපටද ආරාධනා කරන්නාහුය. යව, යව, මේ පුරවරයෙහි මොහොතකුදු රැඳී නොසිට තොපගේ නායකයාණන් වන තෙල මෘත කලේබරයද රැගෙන වහා මේ නුවරින් පිටවෙව යනාදී වශයෙන් නොයෙක් ආක්‍රෝශ පරිභවයෙන් නින්දා කලාහු කැට කැබලිත්තෙන් පහර දී පළවා හැරියාහුය."

මේ නයින් තමන් දුටු ස්වප්නයෙහි විස්තර බුදුන් වහන්සේ අමතා පැවසූ රජ්ජුරුවෝ මඳක් අවකාශගෙන ඉක්බිති යලිදු උන්වහන්සේ නමැද මෙසේ පවසන්නාහ. 

" එසේ හෙයින් මාගේ ස්වාමීනී. මේ බියකරු සිහිනය වනාහී මා හට හෝ මාගේ වැසියන්හට හෝ මාගේ රාජ්‍යයට හෝ සිදුවන්නට නියමිතව ඇත්තාවූ යම් අනතුරක පෙරනිමිත්තක් දෝ හෝයි බියෙන් තැවෙන්නෙමි. "

එබස් ඇසූ බුදුන් වහන්සේ මන්දස්මිතියෙන් යුතුවැ මඳක් නිහඬව හුන් ඉක්බිති යලි රජුන් බැණවූහ. 

" කිසිසේත්ම බිය විය යුතු නැත. මහ රජතුමනි. මේ නම් තොපට හෝ රටවැස්සන්ට හෝ මේ රාජ්‍යයට සිදුවන්නට නියමිතව ඇත්තාවූ යම් අනතුරක පෙර නිමිත්තක් නොවේමය. මේ වනාහී මින් වසර දෙදහස් පන්සියයකට අනතුරුව මේ ජම්බු ද්වීපයට දකුණු දෙසින් පිහිටි කුඩා දිවයිනක සිදුවන්නකි. "

" ඒ කාල වකවානුවක එහි වැස්සන්හට පල් හොර කණ්ඩායමකගෙන් බොහෝ ගැහැට සිදුවන්නාහ. එදවස එහි දක්ෂිණ භාගයෙහි උපත ලබන්නාවූ එක් පුරුෂයෙක් ඒ දිවයිනෙහි ජන සම්මතයෙන් නායක පදවියට පත් වන්නේ කෙසේ හෝ චෞරයින් පරදවා සියලු ජනයාහට ශාන්තිය උදාකරන්නාහ. මෙසේ රට පාලනය කරන්නාවූ මේ පුරුෂ තෙමේ මෙසේ සිතන්නාහුය. කිසිවෙකුට දමනය කල නොහැකිවූ තෙල චණ්ඩ චෞරයා ජීවිතක්ෂයට පත්කලෝ මම්ම වේද? එසේ හෙයින් මේ දිවයිනෙහි යාවජීව රජ තනතුරට මා හැර අන් සුදුස්සෙක් ඇත්ද? මෙසේ සිතා ඒ පුරුෂ තෙමේ මානයෙක් මත්වූවෝ රාජ්‍ය පාලන අණපණත් අත්තනෝමතික ලෙස සංශෝධනය කොට තමන් යාවජීව රජු ලෙස සිතා කටයුතු කලෝය. උහුගේ දරදඬු අත්තනෝමතික පාලනය ඉවසිය නොහැකි කල්හි රටවැස්සෝ රහසින් කතිකා කොට උහු බහුතර මනාපයෙන් පළවා හැර තමන් සිත්ගත්තාවූ වෙනත් කෙළෙඹි පුත්‍රයෙක් පාලක තනතුරට පත්කොට ගත්තාහුය. "

" පාලන බලයෙන් පහකොට පළවා හැරි ඒ අත්තනෝමතික පාලකයා සමඟ උන් රාජ්‍යය පාලනය කරන සමයේ උහු සෙවණේ සුවච කීකරු සුනඛ පෝතකයින් සේ ලැග හිඳිමින් මහජන මුදලින් සිත්සේ කාබී සතුටුවූ නිවට අන්තේවාසිකයින් කැලද තම යසඉසුරු අහිමිව පලාගියෝය. "

" එසේ වුවද බොහෝ කාලයක් මුලුල්ලේ මහජන මුදලින් සුර සැප විඳි ඔවුහු වැඩි කලක් ගතවන්නට පළමු තම සුපුරුදු යස ඉසුරු රහිතව ජීවත්වීමේ අසීරුව වටහා ගත්තෝ නැවත සුපුරුදු ජීවිතයට ප්‍රවිෂ්ඨ වන්නේ කෙසේදැයි කල්පනා කලෝය. දේශපාලන වශයෙන් පාරාජිකා වූ ඔවුන් අතරින්  සිව් දෙනෙකු අවසානයෙහි සාමූහික නිගමනයකට එලඹියහ. එනම් පරාජිත රජතුමා තම කරමතට ගෙන උහුගේ මාර්ගයෙන් කෙසේ හෝ මහජනයා මුළාකොටැ නැවත බලයට පත්වීම තමන්ට ගැලවීමට ඇති ඒකායන මාර්ගය බව ඔවුනට පසක් විය. එලෙසම තම තීරණය ක්‍රියාත්මක කල එම සට්ටැඹියන් සිව් දෙන ජාතික නන්නත්තාර පෙරමුණ නම් දේශපාලන පක්ෂයක් අටවා ගත්තාහු පරාජිත රජතුමා උර මත තබාගෙන රට පුරා සංචාරය කිරීම ආරම්භ කළෝය."

මෙසේ පැවසූ බුදුන්වහන්සේ කොසොළ් රජු දෙස සිනාමුසු මුහුණින් මඳක් බලා සිටියේ යලි මෙසේද පැවසුවෝය. 

" ඒ නන්නත්තාරයින් සිව්දෙනා මෙබඳුය. එකෙක් කලක් හුදී ජන විමුක්තිය උදෙසා විප්ලව කිරීමේ ඒකායන පරමාර්ථය ඇතිව කල් ගෙවා පසුව මහළු වියෙහිදී තම සියලු ප්‍රතිපත්ති නිර්ලජ්ජී ලෙස පාවා දෙමින් අන්තේවාසික යන නාමයට නව අර්ථ විවරණයක් සැපයූවෙකි. ඒ හා සමාන මහළු වියෙහි පසුවන දෙවැන්නා පොදුජන උන්නතිය උදෙසා බොහෝ සේ කටයුතු කල උදාර පියෙකුගේ පුත්‍රයා වීමේ භාග්‍යය විනා අන් කිසිදු දේශපාලන හැකියාවක් නැත්තෙකි. ඔවුනට ලාබාල වූ අනෙක් දෙදෙනාද ඔවුන්ටම දෙවෙනි නොවෙනා කෝණංගියෝ වෙති. එකෙක් වාචාලකම නෛසර්ගයෙන්ම උරුමවූ කට හැකරයෙකි. සිහිගිරි පවා නොගිය එමෙන්ම මහල්ලා සහ මුහුද රචනා කලේ කවුදැයි නොදන්නා මුත් ජාතිය රක්නා පංචායුධය යයි තමන්ටම විරුදාවලියක් ප්‍රධානය කරගන්නා තරමට උද්ධච්ඡයෙකි. සතර වැන්නා මිනිසුන්ගේ කැමැත්ත ලබාගැනීමට වියදම් කිරීමට ඔවුන්ගෙන්ම මුදල් එකතු කල සට කපටයෙකි. "

මෙසේ සිහින විවරණය නිමා කල බුදු රජානෝ " එසේ හෙයින් මහරජ නොබා හිඳිනු මැන " යනුවෙන් යලිදු මන්දස්මිතියෙන් යුතුවැ රජු අමතා වදාළෝය.

" එසේය ස්වාමීනී..ඔබගේ වදනින් මසිත බිය සැක දුරුව පහන් වූයේ වළාපෙලකට මුවාව සිටි පුන්සඳ වලාවන් පහව ගිය ඉක්බිති බබලන්නාසේය. ඔබට බොහෝසේ ස්තූතියි. ඒ සමඟම මසිත පැනනැඟි කුකුසක් දුරුකොට ගැන්මට ඔබේ අවසර….."

" එසේය මහරජ. විමසනු මැන..විමසා සැක දුරුකොටගනු මැන.."

" ස්වාමීනී. එදවස එම අනාගත දේශයෙහි ඔබ වහන්සේ පැවසූ අන්තේවාසිකයින් සිව්දෙනා අපේක්ෂාකරන පරමාර්ථය සාර්ථක වේද? "

" කිසිසේත්ම නැත මහරජ, කිසිසේත්ම නැත..මෘත කලේබරයකට යලි ජීවය ලබා දිය හැක්කේ කවර ජගතෙකුටද?...එලෙසින්ම ගලායන මහා ගංගාවක් දෑතින් නවත්වා ආපසු හැරවිය හැක්කේ කාටද? මහරජ, අසනු මැන,ඔවුන්ගේ උත්සාහය ඒකාන්ත වශයෙන්ම පරාජය වන්නේය. එසේ වී ඒ දිවයිනට ඉතා යහපත් කාලයක් ඉක්බිති උදාවනු ඇත. "

" සාදු..සාදු..සාදු..ඔබට යලිත් වරක් ස්තූතියි ස්වාමීනී!!! …" 

කොසොළ් රජතුමෝ මෙසේ පවසමින් බුදුන් වහන්සේ ඉදිරිපිට පසඟ පිහිටුවා වැඳ වැටුණෝය.

කෝසළ සිහින - විසිවැන්න නොහොත් මෘත කලේබර ඔසවාගෙන යන්නවුන්ගේ කථාවස්තුව මෙතෙකින් නිමියේය. 

ඒවං මේ සුතං..මා විසින් මෙසේ අසන ලදී.

Friday, June 20, 2014

265. කෝසළ සිහින - එකුන් විසි වැන්න නොහොත් නිදැල්ලේ මුදාහල චණ්ඩ සුනඛයින්ගේ වස්තුව.




එදවසැ සාවත්‍ය නුවරැ මහ වැසි වසින්නාහ. රාජ්‍යය මධ්‍යයේ පිහිටියාවූ සියළු වාපීන් සහ රැස්කුරු ජලාශයෝ ඉහිල් වීමකින් තොරවමැ නිරතුරු ඇදහැලෙන්නාවූ අසනි වර්ෂාවෙන් මුවවිට තෙක් පිරී ගොස් හෙයින් මහත් අනතුරක් වළක්වාගනු වස් වාපි රක්ෂාවරණය භාරවූ රජ පුරුෂයෝ වාන් දොරටු විවරකොටැ අතිරික්ත ජලකඳ මුදා හළෝය. 

එදවසැ කොසොල් රජ්ජුරුතෙමේ තම රටවාසීන් හටැ යම් උපද්‍රවයක් එළඹි කලැ වහා ඒ පිළිබඳවැ සොයාබලා පිළියම් යෙදීමට නිතොර උත්සුක වන්නාහු, ධාරානිපාත වර්ෂාවද නොතකා මහජනයාහට එලඹි අතුරු උපද්‍රව සියැසින්මැ නැරඹීම නම් රාෂ්ඨ්‍ර පාලක ලෙස තම යුතුකම යැයි සැළකුවාහු, පසල් දනව් පුරා චාරිකා කළාහුය.

පස් දිනක් මෙසේ චාරිකාවෙහි නිරතවැ රටවැසියාගේ ජිවිත මතුනොව දේපල පවා ආරක්ෂාකිරීමෙහිලා කුදු මහත් සියළු පියවර සලස්වා ලන්නාහු අවසන බොහෝ විඩාපත්වැ පෙරළා මාළිගයට සැපත්වූවාහුය.

අධික විඩාවෙන් පෙළෙන්නාවු නිරිඳානෝ රාත්‍රි භෝජනයද ප්‍රතික්ෂේප කළාහු, කොත්තමල්ලි පානය කුසලාන කිහිපයක් පමණක් පානය කොටැ සිරියහන් ගබඩාවට වන්නෝය.

ප්‍රියාදර අග මෙහෙසිය වූ සාමාවතියද සිය දෙමව්පියන් බැහැදැක සුව දුක් විචාරීම උදෙසා රජගහ නුවර බලා නික්ම ගිය බැවින් සිරියහනේ හුදකලාවමැ නිද්‍රාවට පත් රජතුමෝ රාත්‍රියේ පශ්චිම යාමයෙහි ගලාහැලෙන දහදියෙන් තෙමුනු සියොළඟින් යුක්ත වූවාහු, එක් සැණෙකින් අවදිව සිහී එළවා ගත නොහැකිව අන්ද මන්දව විදහාගත් සුරත් තඹරු සේ රත්පෑ ගත් දෙනෙතින් හාත්පස බලන්නට වූහ.

සයනාගාරයෙහි ද්වාරාරක්ෂාවෙහි නියුතු අංගාරක්ෂක සෙනෙවියෝද සිරියහන් ගබඩාවෙන් නැඟ ආ ශබ්දයෙන් වික්ෂිප්ත වූවාහු වහා දිව අවුත් රජුට නමස්කාරකොට මෙසේ පිළිවිසියාහුය.

" අහෝ දේවයිනි! ඔබ වහන්සේට කුමන නපුරක්දැයි භීතියෙන් වහා දිව ආවෙමි. "

එබස් ඇසු රජ තෙමේ මන්දස්මිතියක් පළකොට මෙසේ පැවසූයේ අංගාරක්ෂකයාගේ කුකුස් දුරුකරලීය.

" නැත දරුව, කලබල වීමට කිසිදු කරුණක් උදක්මැ නැත්තේමය. එක් භයානක ස්වප්නයක් දර්ශනය කල හෙයින් තිගැස්සී පිබිදුනෙමි."

එසේ පවසා අංගාරක්ෂකයා බණවා සිහිල් පැන් කුසලානක් ගෙන්වා පානය කොට යලි සයනය මතුයෙහි වැතිර ගත්තෝය.

සයනයෙහි වැතිරගත් නමුදු කිසිදු ලෙසකින් නිදිසුවයක්නම් විඳීමට අපොහොසත්වූ රජතුමෝ සයනයෙහි එහා මෙහා පෙරලෙමින් නිදි වර්ජිතවම අළුයම තෙක් කල් ගෙව්වාහු පෙර'ඹර හිරු නැඟෙන්නා හා සමඟම සයනෙයෙන් ඉකුත්ව මුව දොවාපියා වහා හැඳ පැලඳගත්තාහු, දෙව්රම් වෙහෙර බලා නික්ම ගියේ, චිත්ත සමාධියට උදක් බාධාකරන්නාවූ රාත්‍රියෙහි දුටු ඒ බියකරු සිහිනය පිළිබඳ තතු විමසා නිරවුල් විවරණයක් හා අර්ථ විවරණයක් සැපයීමෙහිලා සමත් එකම ඥාණවන්තයා තිලෝගුරු අපමහ බුදු රජාණන් වහන්සේ බව අතැඹුලක්සේම දන්නා බැවිනි.

බුදුන් වහන්සේද උදෑසනක්සේම අවදිව, මුව දොවා, පැන් සනහාපියා, පාතරාසය ද වළඳා, අවසන දම්සබා මණ්ඩපයෙහි වැඩ හිඳ භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා යන සිව් වනක් පිරිස් කෙරෙන් පැනනැඟි සද්ධර්මය හා සම්බන්ධ ගැටළු උදෙසා විසඳුම් ලබාදෙමින් කල්ගත කරනුයේ මණ්ඩප දොරටුව කරා එළඹ එකත්පස්වැ හුන් රජතුමා ඇස ගැටුනේ " මහරජ, ඉදිරියට එනු මැනව, " යනුවෙන් මන්දස්මිතියකින් යුක්තව පවසා ඉක්බිති රජු තම දෙපා අබියස පසඟ පිහිටුවා වැඳ වැටුනු කල්හි සුරත ඔසවා " සුවපත් වේවා! " යනුවෙන් ආශීර්වාද කලාහුය.

ඉනික්බිති බුදුන් වහන්සේ තමන් දෙපා නැමද පසෙකටව උකටලීවැ හිඳිනා රජු වත දෙස එක එල්ලේ බලමින් මෙසේ විචාලෝය

" කිමෙක්ද මහරජ? යලිදු වරෙක් තොප චිත්ත සන්තානය පෙලනා යම් කාරණයක් ඇති සැටි දිස්වේ. කිමෙක්ද? නිර්භයව නොවලහා පවසව. තොප සිත් තැවුල් දුරුකොටැ සිත් සනසන්නෙමැයි " පවසා මඳහසින් යුතුවැ පොරොත්තු වූවාහුය.

එබසින් ධෛර්යයට පත් රජතොමෝ යලිදු වරක් බුදුන් වහන්සේ නමැද මෙසේ පවසන්නට වූහ.

" අහෝ ස්වාමීනී, පෙරදින රාත්‍රි පශ්චිම යාමයෙහි බොහෝ සෙයින් බියකරු නපුරු සිහිනයක් දුටුවෝ අප රාජ්‍යයට ඉන් කවර අනතුරක් වේදැයි සිත කුකුස් හට ගත්තාහු බියෙන් තැවෙන්නමෝය. ඒ කෙසේද යත්, ඉතා රෞද්‍ර පෙනුමැති දඩ වැද්දෙක් වන් පුරුෂයෙක් ගොර බිරම් හඬින් දසත වෙව්ලුම් කමින් බුරා හැලෙන රුදුරු සුනඛයින් රැළක් නුවර මධ්‍යයේ මුදාහරින්නාහ. කසාය වස්ත්‍ර හැඳි උක්ත සුනඛයෝ රුදුරු හඬින්ගොරවමින් ගර්ජනා කරමින් අහිංසක පුරුෂයින් සහ ස්ත්‍රීන් වෙතට කඩා පනිමින් උන් සපා කමින් මහත් කලි කළහයක යෙදෙන්නාහ.කසාය වස්ත්‍ර ධාරී සුනකයින් පසුපස ඔල්වරසන් නඟමින් පැමිණෙන්නාවූ කවන්ධයෝ ශත සහස්‍ර සංඛ්යාවෙක් සුනඛයින්ට බියෙන් හිස් ලූලූ අතැ පලායන ජනයා වෙතට පැන ඔවුන් රිසිසේ 
තලා පෙලන්නාහ .ජීවිතාශාවෙන් සතර දිශාවට පලායන ස්ත්‍රී පුරුෂයෝ පූර්වෝක්ත රෞද්‍ර පුරුෂයාණන් හට ආයාචනය කරන්නහු තම දිවි රැකදෙන මෙන් ඉල්ලා සිටින්නාහුය. එබස් නෑසූ කණ්වැ හිඳිනා රෞද්‍ර පුරුෂයෝ සුනඛයින් සියලු නොපනත්කම් අවසන්වැ තත්වය යම් පමණකට සන්සුන් වූ කල්හි නිද්‍රාවෙන් අවදිවූවාක් මෙන් ගර්ජනා කරන්නාහු.... කිසිවෙකුට නීතිය තම සිතැඟි පරිදි මෙහෙයවිය නොහැක. වරදක් කලේ කවරකු වුවද දැඩි වූ දණ්ඩනයට යටත් කෙරෙමියි.... හැඳ සිටිනා ශ්වේත වස්ත්‍රයෙහි මල පහ වන තෙක් ගිරිය යටින් මරහඬ තලන්නාහ. ඒ අසා සිටිනා නුවරු පශ්චාත් භාගයෙන් මහත් හඬින් සිනාසෙන්නාහු තුමූද හැඳ සිටිනා වස්ත්‍රයන්හිම මල පහ කරගන්නෝය. අවසන සියල්ලෝම මල පහවූ වස්ත්‍ර සහිතව තුෂ්නිම්භූතවැ එකිනෙකා දෙස බලාසිටින්නාහුය. අහෝ ස්වාමීනී, මේ භයංකර සිහිනය මාගේ මේ දේශයට නුදුරු අනාගතයේ පැමිණීමට නියමිත යම් අතුරු උපද්‍රවයක අසුභ පෙරනිමිති වේදැයි බියෙන් තැවෙමි. "

රජතුමෝ එසේ පවසා බිය රැඳි නෙත් බුදුන් වහන්සේගේ වත කමල දෙසම යොමා ගත්තේ ඇඳිලි බැඳගත්වනම නිහඬ වූහ.

මඳක් නිහඬවමැ ගතකරනා බුදුන් වහන්සේ ඉනික්බිති ශාන්තවූ ස්වරයෙන් රජු අමතන්නාහු මෙසේ පැවසුවෝය.

" බිය නොවනු මැන පින්වත් රජතුමනි, මේ ඔබටවත් ඔබ රාජ්‍යයටත් වන්නාවූ යම් අතුරු අන්තරායක පෙර නිමිති නොවන බව සැළකුව මනාය. ඒ කෙසේද යත් මේ වනාහී මීට වසර දෙදහස් පන්සියයක ඇවෑමෙන් අප දඹදිව් දේශයට දකුණින් පිහිටනා දිවයින් රාජ්‍යයක සිදුවන්නමෝය. එකල ඒ රාජ්‍යයට ඉතා බලවත් සොර දෙටුවෙකුගෙන් බොහෝ අනතුරු සිදුවන්නාහ.උහු එක් වරමැ ප්‍රත්‍යාන්ත ගම් දනව් කරා කඩා වැද බොහෝ මිනිසුන් නිර්දය ලෙස ඝාතනය කරන්නාහ. "

" කිසිදු අයුරකින් මර්දනය කල නොහෙන මේ සොරදෙටුවා මර්දනය කිරීමට ඉදිරිපත්වන එක්තරා පුරුෂයෙක් කෙසේ හෝ උහු ඝාතනය කොට සාමය උදාකරන්නාහ. ඒ උදෙසා ඔහු තම සහෝදරයින් ඥාතීන්, හිත මිත්‍රාදීන් ඈ තමනට සුළු වශයෙන් හෝ ඥාතීත්වයක් ඇත්තාවූ සියළු දෙනාහට උසස් තනතුරු, තාන්න මාන්න යනාදිය පිරිනමන්නාහ. අහෝ කම් නැත, උහු අර සොර දෙටුවා නසා දැමීමම වනාහී කවර නම් ආශ්චර්යයක්ද එසේ හෙයින් කම් නැත පවසමින් නුවරු සිත් සනහා ගන්නාහුය. එහෙත් සොරදෙටු ඝාතක පුරුෂ තෙම සොර දෙටු මරාදැමූයේ මම්ම වේද? එසේ හෙයින් මේ දිවයිනේ පාලනය කල යුත්තේ මින් මතු මා සහ මගේ පුත්‍රා දාරකාදීන්මය යනුවෙන් සිතන්නහු එසේ නියෝග ද පනවා සම්මත කරගත්තාහුය. "

" සොර දෙටුවා ඝාතනය කොටැ පස් වසරක් ඉක්ම ගියමුත් නුවරුන් උදක්මැ අපේක්ෂා කල පරිදි කිසිදු සමෘද්ධියක් දක්නට නොලැබෙන කල්හි තැන තැන් ගම් නියම් ගම්හි බොහෝ කසුකුසු ඇතිවන්නාහ. සොර දෙටු ඝාතක පුරුෂ සහ ඔහුගේ ඥාතී බන්ධු මිත්‍රාදීන් නුවරුන්ගේ සමෘද්ධිය වෙනුවෙන් වැයකල යුතු මහත් ධනයක් ඉතා සූක්ෂම ලෙස වඤ්චාවෙන් පැහැර ගන්නා ලද්දේය යනුවෙන් පැතිරෙන රාවය වළකනුවස් සහ එලෙසම නුවරුන්ට තමන් සාමය උදාවෙන් පස්වසකට පසුවද හිඳිනා දුක්ඛිත භාවය අමතක කරවනු පිණිස සොර දෙටු ඝාතක පුරුෂ තෙම නවතම ක්‍රමෝපායක් අනුගමනය කරන්නාහුය. එනම් රිසි පරිදි නුවරුන් අතරට වැද කල කෝලාහල කරනු පිණිස පූර්ණ අවසරයක් මත කසාය වස්ත්‍ර ධාරීහු නුවර මධ්‍යයේ මුදා හැරීමය. එකල ඔහුගේ අපේක්ෂා සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වන්නේමය. නුවරු තමන් නිරතුරු පෙලන්නාවූ අන් සියලු ගැටළු අමතක කොට වහ වහා කසාය වස්ත්‍ර ධාරීහු පසුපස රොද බැඳ ඇදෙමින් ඔල්වරසන් දෙන්නාහ..කසාය වස්ත්‍ර ධාරීහු බුරාපනින තම සහෝදර නුවරුන්හට කැට කැබිලිත්තෙන් පහර දෙන්නහුය. අත පය බිඳ ලන්නාහුය.මේ කල කෝළාහලයට එකහෙලා විරුද්ධ අපක්ෂපාතී නුවරුන්ද කිසිවත් කරකියාගත නොහී තුෂ්නිම්භූතව උකටලීවැ බලා සිටින්නහ. "

" මහරජ, මාගේ චිත්ත වික්ෂෝපයට කාරණය නම් මේ කසාය වස්ත්‍ර ධාරී චණ්ඩ පුරුෂයෝ මේ සියලු නොපණත්කම් කරනුයේ මාගේ නාමය දඩමීමා කොටගෙනය. ගිණි නිවන්නෝ වියයුතු ඔවුහු ගිණි අවුළුවන්නෝ වෙති. ඔවුහු බුද්ධ ශාසන ආරක්ෂා කිරීමෙහි ලා එකම බලධාරීන් ලෙස තුමූම පත්කොටගෙන සිටිති.වසර පන්දහසක් මාගේ ධර්මය නොනැසී පවතිනුයේ එම දිවයිනේ බව තුමූම පවසන්නාහුය. එලෙසම පිරිනිවන් මංචකයෙහිදී එම දිවයින රකිනු උදෙසා යම් දෙවියෙකුට මවිසින් පවරන ලද්දේය යනුවෙන්ද ඔවුහු නිරතුරු පවසන්නාහ. අහෝ! වසර පන්දහසක් පවතිනුයේ ඔවුන් අදහන ධර්මය නම් ඒ නැසීයාම යෙහෙකි. මක්නිසාද යත් කිසිසේත්ම ඒ මවිසින් වදාල ධර්මයනම් නොවන බැවිනි. "

" එසේ හෙයින් පින්වත් මහරජ, නොබා හිඳිනු මැන. මේ සිහිනය කිසිසේත් නුඹට හෝ නුඹගේ රාජ්‍යයට සිදුවන්නට නියමිත වූ අනතුරක් පිළිබඳ අසුබ නිමිත්තක් නම් නොවේමය."


එසේ පවසා සිද්ධාර්ථ ගෞතම නම් වූ අප මහ බුද්ධෝත්තමයාණන් වහන්සේ කොසොල් රජුගේ කුකුස දුරුකොට ඔහු සිත් සැනහවූ බව මෙයින් දත යුත්තේය.

කෝසළ සිහින එකුන් විසිවැන්න නොහොත් නිදැල්ලේ මුදාහල චණ්ඩ සුනඛයින්ගේ වස්තුව මෙතෙකින් නිමියේය.

Tuesday, April 23, 2013

180. කෝසල සිහින - අටළොස් වැන්න නොහොත් ශ්වේත හස්ති වස්තුව


අගබිසව වූ සාමාවතිය ප්‍රජා සත්කාරයෙහි යෙදෙමින් ප්‍රත්‍යාන්ත දනව් සරන හෙයින් කොසොල් රජ තෙමේ මෙදවස සිත්සේ නීළඹර සරන විහඟකු මෙන් බලවත් ප්‍රීතියෙන් ප්‍රමෝදිතව වසන්නාහ. අන්තඃපුර සෙසු බිසෝ වරුන් හා උයන් කෙළියෙහි යෙදෙමින් මධු පානයෙහි නිරතවෙමින් කල් ගත කරනා නිරිඳානෝ බොහෝකල්හි නින්දට යන්නෝ අළුයම් කාලයෙහිය. 

එදවස ද රාත්‍රිය පුරා නාටිකාංගනාවන්ගේ රැඟුම් නරඹමින් සෝම පානයෙහි නියැලුණු කොසොල් රජ තෙම රාත්‍රියෙහි පශ්චිම යාමයෙහි නින්දට වන්නේ සියොලඟ නැඟි දහදියෙන් තෙමී ගිය සිරුරැතිව අවදිවූයේ හෝරාවකුදු ගතවීමට ද ප්‍රථමයෙනි. 

සිහින සතළොසක් විටින් විට දර්ශනය වූ නමුදු මෙවන් සිත් කළඹවන සුළු විප්‍රකාර සිහිනයෙක් මින් පෙර කිසි දිනෙක දුටු බවට සිහියට නඟා ගත නොහුණු එතුමෝ, විපිළිසරවැ යලි නින්දට පිවිසීමෙහි අසමත් වූවෝ සිරි යහන් ගැබෙහි යාබද සඳළු තලයෙහි එහා මෙහා සක්මන් කරමින් රාත්‍රියෙහි ශේෂ වූ කාලය ගත කළෝය. 

උදෑසන අමරාවතී ගංගාව ඉස්මත්තෙහි ලහිරු මඬල නැගෙන්නා හා සමඟම සිරුරු කිස නිමකල වහාම පාතරාසය හෝ නොගෙන කොසොල් රජතුමෝ පිරිවර කිසිවකුගෙන් හෝ තොරවම තම මංගල සෛන්ධවයා පිට පැන නැංගේ වහ වහා දෙව්රම බලා නික්මුණෝය. 

බුදුන් වහන්සේ ද උදෑසන පිබිද භාවනානුයෝගීව මඳක් ගත කලේ ඉක්බිති මුව දෝවා පැන් සනහා හිල ද වැලඳූයේ ධර්ම ශාලාවෙහි වැඩ හුන්නේ සිව් වනක් පිරිසගේ කුකුස් විසඳා ලමිනි. 

කොසොළ් රජ තෙමේ නොඉවසිලිමත්වැ වහ වහා උන්වහන්සේ සමීපයට එළඹියාහු පා නැමැද පසෙකටවී එකත්පස්වැ මුනිවත රකිමින් හුන්නෝය. බුදුන් වහන්සේද තමා අසලට පැමිනෙන මෙන් රජුට සන් කොටැ මඳ සිනහවක් පාමින් මෙසේ විචාළෝය. 

" කිමෙක්ද මහ රජතුමනි, උදෑසනක් සේම මා හමුවට පැමිණියේ මන්ද? ඔබ සිත පෙළන යම් කරුණක් වේද වහා පවසා තැවුල් දුරු කොට ගත මැනවි " 

එසේ බුදු රදුන්ගෙන් ලද අවසර ඇත්තාවූ කොසොල් රජතුමෝද එකත්පස්වැ හිඳ මෙසේ පවසන්නට යෙදුණෝය. 

" එසේය ස්වාමීනී, ගත වූ රාත්‍රියෙහි ඉතා බියකරු, බලවත් චිත්ත වික්ෂෝභයට හේතුවන ස්වප්නයක් දර්ශනය කළෙම්හ. ඒ කුමන දරුණු ව්‍යසනයක පෙර නිමිතිදැයි නොදන්නේ දැඩි භීතියෙන් වෙළුණු සිතැතිව පසුවන්නෙමි " 

මෙසේ පවසන්නට යෙදුනාවූ රජ තෙමේ බුදුන් වත දෙසමැ ඇසි පිය නොහෙලා බලා සිටියෝය. 

එබස් ඇසූ බුදුන් වහන්සේ මඳ සිනහවක් පාමින් සිය සුරත දිගුකොට රජුට ආශීර්වාද කලේ මෙසේ පැවසූ සේක. 

" නොබා හිඳිනු මැන මහ රජ තුමනි, පෙර තොප දර්ශනය කල ස්වප්නයෝ සතළොසක් කිසිදු අපහසුවෙකින් තොරවැ විසඳා ලූවෝ මම් නොවෙම්ද? එසේ හෙයින් නොබා පැවසුම මැන. මේ සවප්නයත් එලෙසින්ම විසඳා ලා පියා තොප සිත් බිය සහ කුකුස් දුරු කරන්නමෝ " දැයි පවසා මඳහසින් යුක්තවැ පොරොත්තු වූවෝය. 

තදින් පියාගත් දෙනෙතින් යුක්තවැ ඇඳිලි බැඳගත් වනම මොහොතක් පසුවූ රජතුමෝ යලි දෙනෙත් හැර බුදුන් වහන්සේගේ අපරිමිත කරුණා ගුණයෙන් හෙබියාවූ වත මඬල දෙස එක එල්ලේ මොහොතක් බලා සිට මෙසේ කටහඬ අවදි කලෝය. 

" ස්වාමීනී., පසුගිය රාත්‍රියෙහි සිහිනයෙන් මම එක් නුවරෙක වීදි සංචාරය කරමින් සිටියෙමි. එනුවර බැලූ බැලූ අත ශ්වේත හස්තීහු එහා මෙහා සංචාරය කරන්නෝය. ඒ සියළු හස්තීන්ගේ පශ්චාත් භාගයෙහි කොසොල් රාජ අන්තර් ජාතික ශ්වේත හස්තියා යන වදන් පෙල නොමැකෙන සේ හණ ගසා ඇත්තාහ.ඒ සියල්ලටම වඩාලාත් විශ්මය දනවන කරුණ නම් මේ සියළු හස්තීහු ඔසවාගෙන යන්නාහු මෙපුර වැසියෝය. ඔවුහු හස්තීන් ඔසවාගෙන යන්නාහා තබා තම සිරුරු වාරු කරගත නොහැකි තරමට කෘශවූ කෙසඟයෝ පිරිසක් වෙති. එහෙත් මේ ශ්වේත හස්තීහු කිසි ලෙසකින් උන්ගේ කරමතින් බිමට නොබසින්නෝය. එසේ හෙයින් කුමක් කරන්නමෝදැයි විපිලිසර ඒ අසරණයෝ වික්ෂිප්තවැ හස්තීන් කරමත තබාගත්වනමැ දිවි ගෙවන්නාහුය. " 

දෙනෙත් පියාගත් වනමැ පෙරයම දුටු ස්වප්නය යලි සිහියට නඟාගත් රජතුමෝ තම බියරැඳි හඬ යලිදු මෙසේ අවදි කලෝය. 

" එසේමැ ස්වාමීනී බැලූ බැලූ මානයෙහි සියලුම තන්හි කෝසල රජ යන නාමය විසල් අක්ෂරයන්ගෙන් හණ ගසා ඇත්තේය. රාජ පාක්ෂික වන්දිභට්ට නාඩගම් කරුවෝ තම විසූක දස්සන නුවරුන්හට පෙන්වනුයේ කෝසල රාජ රඟහලෙහිය.මහා කලාකරු යන විරුදාවලිය සට්ටඹි යන පදයට සාර්ව සම වූ මෙන්ම ශබ්ද කෝෂයන්හි පර්යාය පදයක් ලෙස භාවිත වන්නේය....එකද නෞකාවකුදු සැපත් නොවන්නේ වී නමුදු භූමිය කැණ තැනූ මහා ජල තටාකය වනාහී කෝසල රාජ ජල තටාකයයි.සියොතුන් සහ වන හස්තීන් පමණක් සැරිසරන්නාවූ අහස් යානා තොටුපොළ ද කොසොල් රාජ ගුවන් තොටුපොළ සේ නම් ලද්දේය." 

කොසොල් රජතෙමේ මඳක් නිහඬවැ බුදුන් වහන්සේ වත දෙස හිස ඔසවා බැලුවෝය. එතුමෝද නිහඬවම සුරතින් සන් කෙරෙමින් රජුහට කථාකිරීමට දිරි දුන්නෝය. 

" ඒ සියල්ල පසෙක තිබියේවා ස්වාමීනී, මහත්මැ ව්‍යසනය නම් ඒ පුරවරයෙහි කිසිදු පුරුෂයෙකු හෝ ස්ත්‍රියක රාත්‍රි කාලයෙහි නිදා නොගන්නාහ. උදෑසන අවදිවන කල්හි ඔවුන්ගේ පුරුෂ සහ ස්ත්‍රී නිමිති වටා කොසොල් රාජ පුරුෂ නිමිත්ත හෝ කොසොල් රාජ ස්ත්‍රී නිමිත්ත යනුවෙන හණ ගසාපියා ඇත්තේවීයයි දැඩි බියෙන් ත්‍රස්තව වෙසෙන්නාහු ඔවුහු කිසි ලෙසකින් නින්දට නොයන්නාහ. " 

මෙසේ තම ස්වප්න විස්තරය නිම කල රජ්ජුරුවෝ උදක්මැ බුදුන් වහන්සේගේ වත දෙස නෙතු යොමාගත්වනම පසුවූවෝ එතුමන්ගේ සවප්න විවරණය කුමනාකාර වේදයි දැඩි කුකුසින් මඬනා ලද සිතින් යුතුවය. 

දෑස් පියාගත්වනමැ මඳක් සමවත් සුවයෙන් කල්ගෙවූ බුදුන් වහන්සේ දෙනෙත් හැරපියා රජතුමාහට මෙසේ පිළිවදන් දුන් සේක. 

" නොබා හිඳිනු මැන මහරජතුමෙනි, මේ ස්වප්නය කිසි ලෙසකිනුදු තොපට හෝ තොපගේ රාජ්‍යයට වන විපතක් පිළිබඳ අනතුරු හැඟවීමෙක් නම් උදක්මැ නොවන්නේමය. මෙයින් වසර දෙදහස් පන්සියයෙක් පමණ ගෙවීගිය කල්හි මේ දඹදිවට ආසන්න අනෙක් දේශයෙක සිදුවන්නකි.එරට රාජ්‍ය බලයට පත් වන්නෝ තම කීර්ති නාමය සුවාසූ කල්ප ලක්ෂයක් පවත්වා ගන්නමෝදැයි සිතා අඥාණ වූ පුරෝහිතයින්ගේ උපදෙස් ලබන්නාහු සෑම ඉඳිකිරීමෙකම සියනාමය සුවිසල් වූ අක්ෂරයන්ගෙන් හණ ගසා තිබෙනු දැකීමේ සමනය කොට ගත නොහෙන දොළකින් පෙළෙන්නෝය. " 

" මෙසේ බලවත් හීන මානයෙකින් පෙලෙන්නාවූ හෙයින්මැ බැලූ බැලූ තන්හි තම නාමය දිදුලනු දැක්මේ මැඩගත නොහුණු ආශාවෙන් පරිපීඩිත වෙමින් රාජ්‍යය පුරා සියළු ඉදිකිරීම් සිය නාමයෙන් හඳුන්වන්නාහුය.කොපමණ විචාර බුද්ධියෙන් තොරවූයේද යත් සිය අසූචි පවා මහා සුගන්ධයෙන් යුතුයැයි සන්ධියක් සන්ධියක් පාසා හඬනඟනා අන්තේවාසික කැණහිලුන් නොව නැණැසින් ලොව දක්නා අවශේෂ පුරවැසියන් හමුවේ තමන් කෝණංගියකු බවට පත් ඇති බව නොදක්නාහු මුඪ පාරාදීසයෙක කල් ගත කරන්නාහ. " 

" මඳකට සමාවන්න ස්වාමීණී,.....එහෙත් යම් රාජ්‍යයක සුවිසල් ඉඳිකිරීමෙක් එරට පාලකයා නමින් නම් කිරීමෙහි වරදක් ඇත්ද?.." 

මෙහිදී රජතුමා බුදුන් වහන්සේගෙන් විමසාලූහ. 

" නැත, මහරජතුමෙනි, එහි කිසිදු වරදෙක් නැති. එහෙත් එසේ වනුයේ ඒ ඉඳිකිරීම පාලකයාගේ පෞද්ගලික ධනය වැයකොට කෙරෙන්නක් නම් පමණි.සැවැත්නුවර අනාථ පිණ්ඩික සිටුහු සිය පෞද්ගලික ධනය වැයකොට ඉඳිකල ආරාමය අනාථ පිණ්ඩික ආරාමය නම් වෙයි. එහි දොසක් දකිනු හැකි වනුයේ කවරෙකුටද? කොසඹෑ නුවර ඝෝෂිත සිටුහු තම ධනයෙන් ඝෝෂිතාරාමය ඉදි කලහ. එලෙසම කුක්කුට සිටුහු කුක්කුටාරාමයද පවාරික සිටුහු පවාරිකාරාමයද ඉදි කළෝය. ඒ කිසිදු ඉදිකිරීමෙක් තම නමින් නම් කිරිමෙහි කිසිදු වරදක් ඉඳුරාම නැත්තේය. මක් නිසාද ඒ ඉදිකිරීම කෙරෙනුයේ ඔවුන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන්ම බැවිනි. එළෙසම ඒ සියල්ල ගෞතමාරාම ලෙස නම් කිරීමට මට ඉතා පහසුවෙන්ම හැකියාව තිබුනද මම එසේ නොකලෙමි. මාගේ නාමයෙන් වෙහෙර විහාර නම් නොකලද තවත් වසර දෙදහස් පන්සියයකට අධිකවූ කාලාන්තරයක් මුලුල්ලේ අසංඛ්‍ය සංඛ්‍යාත මිනිසුන් මුව මාගේ නාමය නිතොර කියැවෙනා බැව් මම හොඳහැටි දන්නා බැවින් එසේ කිරීමෙහි අවශ්‍යතාවයෙක් කිසිසේත් මාහට නොවීය. " 

" එහෙත් මෙපවත් අසනු මැන. අධික පොළියක් සමඟ දශක ගණනක් තුල ගෙවිය යුතු පරිදි ගිවිසුම් අත්සන්කොටැ සියළු පුරවැසියන් දෙපා අවසඟ මහල්ලාගේ පටන් මව් ඇකයේ කිරි උරනා බිලිඳා දක්වා සියලු පුරවැසියන් උගසට තබා ණය වශයෙන් ලබාගත් මුදල් වැයකොට කල ඉදිකිරීම් තම නමින් හැඳින්වීමෙහි ඇත්තේ කුමන සාධාරණත්වයක්ද? " 

" වන්නාටය මහරජ...කලියුගයේ මෙවන් විපරීත ක්‍රියා සිදුවීම කිසිසේත්ම විශ්මයට පත්වියයුතු කරුණෙක් නම් නොවේමය. ඒ කෙසේ වුවද තොප දුටු සිහිනය කිසිසේත් තොපට හෝ තොපගේ රාජ්‍යයට මෙවකට වන්නාවූ අනර්ථයක් හඟවන්නක් නම් නොවේමය. එසේ වූ හෙයින් නොබා සිත් සනහා ගනු මැනැවියි " පවසා එසඳ බුදු රජාණන් වහන්සේ කෝසල රජු සිත් සනසවා ලූ බව මෙයින් දත යුත්තේය. 

කෝසල සිහින අටළොස් වැන්න නොහොත් ශ්වේත හස්ති වස්තුව මෙසේ නිම වූ වගයි….. 

Monday, January 28, 2013

157. කෝසල සිහින - සතළොස් වැන්න


පසල් දනව්බද වාර්ෂික චාරිකාවෙහි සතියකට අධික කාලයක් මුළුල්ලේ නියැළුණු පසේනදී කොසොළ් රජ තෙමේ සාවත්‍ය නුවර බලා පෙරළා පැමිණියේ අධික විඩාව කරණ කොටගෙන රාත්‍රි භෝජනය නිමකල වහා සිරියහන් ගැබට වැද නින්දට වන්නේය. 

එහෙත් රජ තෙමේ රාත්‍රියෙහි පශ්චිම භාගයෙහිදී මහත්සේ බියපත්වැ දහදිය වැකුනු සිරුරැතිව නින්දෙන් අවදිවූයේ සයනයෙහි හිඳගත්වනම උකටලීවැ දෑත් හිසෙහි ගසාගත් වනමැ බලා සිටියෝය. 

එකල රජුගේ අග මෙහෙසිය වූ මල්ලිකාවෝ ද සිය සමුණානන් නිදි වර්ජිතව බලවත් සේ වික්ෂෝපශීලීවැ හිඳිනු දුටුවේ වහා නැඟී සිට පියා මෙසේ විචාලෝය. 

'' මා ප්‍රිය හිමියනි. ඔබ කුමන හෙයින් මේ පශ්චිම යාමයෙහි නිදි වර්ජිතවැ පසුවන්නෝ වේදැයි '' මහත් වූ සෙනෙහසින් යුතුව විමසුවෝය. 

එකල්හි රජ තෙමේ මහත් බිය රැඳි නෙතින් යුක්තවැ මල්ලිකාවන් අමතන්නේ මෙසේ පැවසුවෝය. 

'' මින් පෙර මවිසින් දක්නා ලද සොළොසක් වූ ස්වප්නයෝ තොපට මතක ඇතැයි සිතනෙමි. මා ප්‍රිය දේවිය. මෙවර මවිසින් දක්නා ලද්දේ ඒ සියළු ස්වප්නයන්ට වඩා බියකරුවූ ස්වප්නයෙකි. අහෝ, බලනු මැන ..ඒ සිහිවන කල්හි පවා මා සියොලඟ රොමෝද්ගමනය වන අයුරු..'' 

මෙසේ පවසා උදක්මැ මහත් අසරණ විලාශයෙන් මල්ලිකාව දෙස බලා සිටියාහුය. 

එකල කොසොල් රජුගේ බිය දුරු කරනු වස් මල්ලිකාවෝ මෙසේ සැනසුම් බස් තෙපලූයේ උන් අස්වසාලීය. 

'' නොබා හිඳිනු මැන මහ රජතුමනි, පෙර දුටු ස්වප්න සොළොස විභාග කොට ඒ පිළිබඳ නිසි තතු ඔබට සැලකොට ඔබේ අස්ථාන භීතිය තුරන් කලෝ ලොව්තුරා බුදු රජාණෝය. එතුමෝ මෙවරද ඔබට සරණ වනු සැකයෙක් නැති. හෙට දින උදෑසනක්ම දෙව්රම් වෙහෙරට ගොස් එතුමා බැහැදැක මෙපවත් පවසනු මැන. එතෙක් සිතෙහි කනස්සළු උදෑසන නැඟෙන ළහිරු රැසින් මිහිදුම් පහවයන්නාක් මෙන් දුරුකොටැ සුවසේ සැතපෙනු මැනැව '' යයි සෙනෙහස් පෙරදැරි කොටමැ පැවසූහ. 

කොසොල් රජ තෙමේ නින්දත් නොනින්දත් අතර රාත්‍රියෙහි ඉතිරිය ගෙවාදැමූයේ උදෑසන අහර කිස නිමකල වහා රාජ සභාවට හෝ සහභාගී නොවූයේ ශ්වේත වර්ණයෙන් බබලන්නාවූ අසුන් සිව් දෙනෙකු යෙදූ සිය රාජකීය රථයට පැන නැංගේ එකෙණෙහිම දෙව්රම් වෙහෙර බලා පිටත් වූවෝය. බුදුන් වහන්සේ උදෑසන අහර වැළඳීම නිමා කොට ධර්ම ශාලාවෙහි වැඩ හිඳ පෘථග්ජනයින්ට පැණනැඟෙනා ධර්මය සමබන්ධ වූ කුකුස් විසඳීමෙහිලා යෙදෙමින් උන්නෝය. අනඳ තෙරුන්ගේ අවසරයෙන් එහි පිවිසි කොසොල් රජතුමෝ බුදුන් නැමද පසෙකට වී එකත්පස්වැ හිඳ සිටියෝය. උන් උකටලී මුහුණ දුටු බුදු රජානෝ මන්දස්මිතියක් පාමින් මෙසේ විචාලෝය. 

'' කිමෙක්ද මහරජ?..තොප කිසියම් සිත් තැවුලෙකින් පෙලෙන බවක් හැඟෙයි. නොවලහා පවසනු මැන...තොප සිත් පෙලන කාරණය… '' 

මෙසේ බුදුන් වහන්සේගෙන් අවසර ලද රජ්ජුරුවෝ සිත් දිරිගෙන යලිදු දොහොත් මුදුන් දී නමස්කාර කොට මෙසේ පැවසුවෝය. 

'' ස්වාමීනී. ඊයේ රාත්‍රියෙහි ඉතා භයානක සිහිනයෙක් දුටුවෙම්. ඒ මොහොතේ පටන් මාගේ රාජ්‍යයට යම් විපතක් දෝයි සිත් කනස්සසල්ලෙන් පසුවෙම්හ. ඔබ වහන්සේ මින් පෙර සිහින සොළොසවිසඳා මා සිත් තැවුල් දුරු කල ලීලායෙන් මෙවරද මසිත් සහහාලන බවට වූ අචල විශ්වාසයෙන් උදෑසනම ඔබ තුමන් බැහැදැකීමට පැමිණියෙමි. '' 

එසඳ බුදුන් වහන්සේ සුරත ඔසවා රජුට ආශීර්වාද කලේ මෙසේ පැවසූ සේක. 

'' බිය නොවන්න, මහ රජතුමණි, නොවලහා පවසනු මැන ඔබ දර්ශනය කල ඒ ස්වප්නය. '' 

'' එසේය ස්වාමීණී..නොයෙක් වෙසින් යුතු රුදුරු සතුන් රැලක් මම දුටුවෙමි. ඔවුහු කුමන වර්ගයකට අයත්වන්නේද යන්න අවිනිශ්චිතය.එහෙත් ඔවුහු මහා භයංකර ගර්ජනා කෙරෙමින් දුටු දුටුවනට කඩා පනිමින් ඉතා රුදුරුව හැසිරෙති. මහජනයාගෙන් බහුතරයක් උන්ගේ විප්‍රකාර නරඹමින් ප්‍රීතියෙන් ඔල්වරසන් දෙන්නාහ. එසේම ඔවුන් හා එක්වැ ඔවුන් පසුපස යමින් පිලී හිස සිසාරවමින් අනුග්‍රහ දක්වන්නාහ. මේ විප්‍රකාර පිළිකෙව් කරනා වූ සුළුතරය කිසිවක් කරකියාගත නොහැකිව උකටලීවැ බලා සිටින්නාහ. මෙවන් ක්‍රියාවන් වැළක්වීම තම රාජ කාර්යය වූ ආරක්ෂක රාජ පුරුෂයෝ ද මොවුන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නාහ. රට කරවන පාලකයෝද අවස්ථානුකූල වාසි තකා කිසිත් නොකොටැ උදාසීනවැ බලා සිටින්නාහ. ස්වාමීනී, මේ මාගේ රාජ්‍යයට පැමිණෙන යම් විපතක පෙරනිමිති වේ දෝයි සිතා කනස්සලු වන්නමෝදැයි '' පවසා සිටියෝය. 

එකල්හි බුදුන් වහන්සේ කෝසල රජුන් අමතා මෙසේ වදාලෝය. ඒ කෙසේද යත්., 

'' නොබා හිඳිනු මැන මහ රජ තුමනි, ඔබට බියවීමෙහිලා කිසිදු කරුණක් නැත්තේමය.මේ ඔබට හෝ ඔබගේ රාජ්‍යයට වන විපතක පෙර නිමිති නොවේ. බොහෝ කලක් ඇවෑමෙන් මේ දඹදිව ආසන්නයේම අනෙක් රාජ්‍යයක සිදුවන්නකි. මගේ ධර්මය සුපිරිසිදුව පවත්නා එකම දේශය ඒ බවට කටමැත දෙඩූවද ඒ දේශයෙහි එදවස පවතිනුයේ කිසිලෙසකින්වත් මවිසින් වදාල ධර්මය නොවේ.පාලකයෝ තමනට රිසි පරිදි රිසි දේ කරති. තමන් පත් කරන ලද්දේ මහජනයා විසින් බව අමතක කොට ලාපියා තම සුඛ විහරණයම උදර පෝෂණයම මුඛ්‍ය පරමාර්ථ කොට ගත්තේ මුළු මහත් දේශයම කෙළි මඬලක් සේ සලකා කටයුතු කරන්නාහ. '' 

'' පාලකයින් යහ මඟ යැවීමෙහි කාර්ය භාරය හිමි පැවිද්දෝ ලාභ ප්‍රයෝජන යාන වාහන ආදී ලෞකික සම්පත් මහත් කොට සලකන්නේ පාලකයින්ට පිරිත් නූල් බැඳීම තම ප්‍රධානම කාර්යය සේ සලකන්නෝය. ජේෂ්ඨ පැවිද්දන් එසේ අඳ ගොළු බිහිරන්සේ හැසිරෙන අතර අනෙකුත් ලාබාල පැවිද්දෝ තමන් කෙරෙහි අවධානය යොමු කරවා ගැනීම උදෙසා නොයෙකුත් විගඩම්හි යෙදෙන්නෝය.මාගේ ශාසනයෙහි ආරක්ෂකයින් වශයෙන් තුමූම පත් කරගත්තාහු කලින් කලට නොයෙකුත් කලි කලහ කරන්නෝය.වරෙක අන්‍යාගමික පූජ්‍ය ස්ථාන වලට කඩා වැදී රා කල සොලොසක් පානය කොට මත්වූහස්තීන් මෙන් කිසිදු සංවරයකින් තොරවැ හැසිරෙන්නාහ. " 

'' වරෙක ගිහියන්හට සිටිය යුතු දරුවන් ගණන නියම කිරීම පවා තමන්ට අයත් කාර්යයක් සේ සලකා කටයුතු කිරීමෙන් සමච්චලයට ලක්වන්නාහ. ඒ එසේම මාගේ නමින් අවන්හලක් පවත්වාගෙන යන බවට චෝදනා කරමින් මහා ගාලගෝට්ටියක් කරන්නාහ.රජතුමනි මාගේ ශාසනයෙහි මවිසින් අනුදැන වදාලේ ධර්මයට ද පෙර විනය ප්‍රමුඛස්ථාබයෙහි තබා කටයුතු කරන ලෙසටය. එහෙත් මොවුනගේ නොමේරූ හැසිරීම ධර්මය කෙරෙහි ආසක්ත වන්නාවූ බුද්ධිමත්හුද ඒ කෙරෙහු කලකිරවා එයින් ඈත් කෙරෙති. '' 

'' ස්වාමීනී. මඳක් සමාවුව මැන. එහෙත් ඔබ වහන්සේ නමින් අවන්හලක් පවත්වාගෙන යාම ඔබ වහන්සේට කරනා නිගරුවෙක් නොවේද? ඉන් ඔබ වහන්සේට අපහාසයක් නොවන්නේද?... '' 

රජතුමෝ දෑඟිලි බැඳගත්වනම විමසූවෝ හිස නමා ආචාර දක්වමිනි. 

'' ඒ කෙසේද මහරජ...මා නමින් අවන් හලක් පවාගෙන යාම මට අගරුවක් වන්නේ කෙසේද?...අඳ බාල පුරුෂයින් කිහිප දෙනෙක් එකතුව එසේ කල පමණින් මාගේ කීර්තිය පළුදු වේ හෝ එසේත් නැත්නම් ධර්මය කිලිටි වේ යයි උපකල්පනය කල හැක්කේ ඊටද වඩා අඳ බාල පුද්ගලයෙකුටමය. එසේම මගේ ධර්මයට කිසි දිනෙක ආරක්ෂක සේවාවක්ද අවශ්‍ය නොවේ.ධර්මය විසින්මැ ධර්මය රැමෙනු ඇති. ධර්මයෙහි හැසිරෙන්නා ද ධර්මය විසින්මැ රැකෙනු ඇති. මාගේ ධර්මයට තමන් විසින්මැ රැකෙනු නොහැකිවැ ආරක්ෂක සේනාවක පිහිට අවශ්‍ය වන්නේ යම් දිනකද එදින එකෙනෙහිම ධර්මයෙහි වලංගුතාවය, ධර්මයෙහි සදාතනික භාවය, ධර්මයෙහි සර්වකාලීන බව අහෝසි වෙයි.එකල්හි මාගේ ධර්මයද නැසී යන්නාහ. සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය බව මවිසින් වදාල බව මතක තබා ගනු මැනව. මාගේ ධර්මයද ඒ සංස්කාර ධර්මයන්ටම අයිති වන්නාහ. මාගේ ධර්මය අහෝසි වීමට නියමිත කල් එලඹිකල කිසිවෙකුට කිසිදු ආරක්ෂක සේනාවකට ඒ වැලැක්විය නොහැක. '' 

බුදු රජානන් වහන්සේ මෙසේ පවසා කෝසල රජුන්ගේ බිය දුරුකොට ඔහු සිත් සැනසවූ වග මෙසේ දත යුත්තේය. 

කෝසල සිහින සතලොස් වැන්න මෙසේ නිම වූ වගයි 

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...