![]() |
| Kandy City Center |
සිව් වසරකට පසු 1 - Here we go around the mulberry bush.
සිව් වසරකට පසු 2 - කෙට්ටු කොලූ, Full metal jacket...
සිව් වසරකට පසු 3 - උරායා හීප්, ප්‍රේම කතාවක....
සල්ලි ආපහු දෙන්න කියල කිව්වහම කෙට්ටය ටිකක් කලබල වුනා. "ආ..නෑ...නෑ..සර් අපි එහෙනම් කෝට් එක නැතුව ගමු. උරහිස් එක මට්ටමට වගෙ තියාගෙන හිටියොත් මම හිතන්නෙ අවුලක් වෙන එකක් නෑ."
අර හම්පඩ කෝට් බෑය අඳිනව තියා කොටින්ම මම ඒක එල්ලල තිබ්බ කාඹරේ පැත්ත පළාතෙවත් ගියේ නෑ. ලේන්සුවෙන් මූණෙ දාඩිය පිහගත්ත. තියෙන කෙස්ගස් දෙක තුන අතිම්ම තලල දැම්ම. ලක ලැහැත්තිවීම එපමණයි.
"හරිද?" කෙට්ටය ඇහුව.
"හරි හරි මෙහෙම ගමු" මම කිව්ව.
ආයම කෙට්ටය අර සුදු කුඩ එහෙම අටවල මාව ස්ටූල් එකේ ඉන්දවල ආපහු පෝටොස් දෙක තුනක්ම ගත්ත.
"දැංවත් හරියයිද?" මම ස්ටූල් එකෙන් නැඟිටල සාක්කුවෙං ලේන්සුව එළියට ගන්න ගමං ඇහුව. දාඩිය පිහලම ලේන්සුව දැන් තෙතබරියං වෙලා.
"හරියයි බොහෝවිට, අපි බලමුකො"
ආයම ඔන්න කෙට්ටය කම්පියුටරේ ඉස්සරහ ඉඳගත්ත. මම කමිසෙ මේ පාර බොත්තං ඔක්කොම ඇරිය. ඔලුව නැවුව පාතට. "ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්..."
ඔහොම විනාඩි දෙකක්, තුනක්, හතරක් වගෙ ගෙවිල ගියා. කෙට්ටය පරිගණක තිරේට එබීගෙන ඉන්නව දත්මිටි කාගෙන.
"ඔලුවෙ සයිස් එක නම් හරි" කෙට්ටය හිනාවෙලා උඩ පැනල කිව්ව."හෙඩ් සයිස් ඇප්රූව්ඩ්"
"හප්පා යන්තං ඇති.ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්...මම මේ ඇඟේ ලේ වතුර වෙලා හිටියෙ ඔලුව ලොකු කරගන්නෙ කොහොමද කියල.....ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්....ඔන්න ලොකු වැඩියි කිව්ව නම් දඬු අඬුවකට අල්ලල තද කරල සුමානයක් දෙකක් තියල හරි ඔලුව පුංචි කරගන්ට තිබ්බ. ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්...දෙයියෝ සාක්කි. ඒත් ඔලුවක් ලොකු කරගන්නෙ කොහොමද?"
"හරි හරි උරහිස් ලෙවලුත් හරි…"
"දෙයියංගෙ පිහිටයි..ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්."
කෙට්ටය පුටුවෙ ඉඳගෙනම කකුල් දෙකෙන් වාරු අරගෙන රෝද තුන උඩ ලිස්සගෙන මාගාවට ඇවිල්ල පහක් දැම්ම. ඊට පස්සෙ ආපහු ගියා කම්පියුටරේ ගාවට.
"කං දෙක...ම්ම්ම්ම්..කං දෙක..ඉන්ට බලන්ට.."
"ඈ මොකද බොලේ..කං දෙක ඇප් රූව් උනේ නැද්ද? ෆූස්..ෆූස්...ෆූස්. මාර කෙලියක්නෙ..ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්. උපංදා ඉඳං තිබ්බ මගෙ අගේ ඇති කංදෙක.."මම කන්දෙක බොහොම ආදරෙන් අතගාලත් බැලුව.
"මොකද එහෙං කියන්නෙ? කං ලොකු වැඩියි කියනවද? ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්. පොඩි වැඩියි කියනවද?"
"මොකද එහෙං කියන්නෙ? කං ලොකු වැඩියි කියනවද? ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්. පොඩි වැඩියි කියනවද?"
"ඉන්ඩබලමු......ආ..නෑ...නෑ...කංදෙකත් අනුමතයි."
"එහෙමද හප්පා යතං ඇති.ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්. උපංදා ඉඳල තියන මගෙ මේ කං දෙක කපන්ට එහෙම උනානං වස වැරැද්දයි. දැං අවුලක් නෑ. දෙයියො මගෙ මූණ බැලුව. නෑ..නෑ..කංදෙක දිහා බැලුව"
දැං මට ඕන වුනේ ඇසැප් නොහොත් හැකි විගස මේ ආච්චිගෙ රෙද්දෙ උඩුගත කිරිල්ල අහවරයක් කරගෙන මේ ඉහිං කණිං දාඩිය ගලන ගුබ්බෑයමෙං එළියට පනින්ට. ඒ හින්ද මම කෙට්ට කොලූ අමතා මෙහෙම කිව්ව.
"ප්‍රිය දරුව , එසේ හෙයින් සියලු අවයව අනුමත වූ මේ අනගි අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගෙන වහා මා ඡායාරූපය උඩුගත කල මැන..." කෙට්ටය ඔලුව හරවල මා දිහා බැලුව.
මම හිතුවෙ "සර් මේ ප්ලීස්... සිංහලෙන් කියනවද කියන මඟුලක්" වගෙ මොනව හරි ඌ කියයි කියල. එහෙම වුනේ නෑ. ඌටත් යමක් කමක් තේරෙනව.
"එසේය මහතාණනි. එසේය" එහෙම කියල කොලුව ආපහු පරිගණකෙ දිහාවට හැරුන.
"ෆොටෝ එක අප්ලෝඩ් කරල තියෙන්නෙ. දැන් තියෙන්නෙ එහෙං වැඩේ හරි කියල නිල නිවේදනය දෙන්ට විතරයි. එතකොට වැඩේ ක්ලෝස්."
"හරි හරි බං ඕන මඟුලක්. විජහට ඔය කරන මඟුලක් කරපං"
"හරි සර්..." කොලුව කිව්ව.
මමත් එතනම තිබ්බ ස්ටූල් එහෙක වාඩිවෙලා පරිගණක තිරේට එබුන. අප්පටසිරි ඔය ඉන්නෙ මිස්ටර් රවී නිකං කිං පයිසාල් වගෙ..හෙහ්,හෙහ්,
"හරි සර් තව මිනිත්තු දෙකයි වැඩේ ගොඩ...හෙහ්,හෙහ්" කොලූ තෙමේ බොහොම සන්තෝසෙං හිනා වුනා. "ෂිට්" ඒත් එක්කම ඌට කියවුනා.
"ජලා හුටා" කියල මට කියවුණා. මොකෝ දන්නවයි හේතුව? දඩස් ගාල ලයිට් ගියා. පරිගණකය අර බීප්..බීප්..නාදය නිකුත් කරන්ට ගත්ත.
මම නැඟිටල ජනේලෙ ගාවට ගියා. මොන? ඒක අරින්ඩ බෑ, සීල් කරල තියෙන්නෙ. සීල් කරල කියන්නෙ ඔය ලොකු සිරා බිරා වැඩ මොකවත් එහෙම නෙවෙයි හොඳද? ඇණ හත අටක් ජනෙල් පියනට ගහලයි සීල් කරල තියෙන්නෙ..හරි ඉතිං ඒ කොහොම වෙතා ජනේලෙ අරින්ට නම් බෑ මේක ඇතුලෙ එකෙක්ගෙ පණ ගියත්.
"හරි වැඩේනෙ සර් උනේ" කොලුවත් නැඟිටල ආපි.
"ඒ කියන්නෙ පුතා මගෙ වැඩේ කෙරුනෙ නැද්ද?"
"ඒකතමයි මටත් ෂුවර් නැත්තෙ. ෆයිනල් කන්ෆර්මේෂන් එක දීල විනාඩි තුන හතරක් ගිහිල්ලනෙ ලයිට් ගියේ. ඒ හින්ද එයාලගෙ වෙබ් සයිට් එකට අප්ලෝඩ් වෙන්න වෙලාවනම් ඇති හොඳටම. ඒත් කියන්ට බෑනෙ" කොලුව එතන තිබ්බ පත්තරේ අරගෙන පවං ගහගන්ට ගත්ත.
"මොකද ඉතිං දැං කරන්නෙ?" මම ඇහුව.
"මොක කරන්ටත් සර් ලයිට් එනකල් ඉන්ටම වෙනව. ඊට පස්සෙ අප්ලෝඩ් වෙලා තිවුනෙ නැත්තං ආයම අප්ලෝඩ් කරන්ට වෙනව"
"හරි හරි ඒක ඔයා කරගන්ඩ. මම ඇහුවෙ ආයම පොටෝස් අල්ලන්ට ඕන නෑනෙ නේද?"
"නෑ..නෑ..ආය ඕන නෑ." කොලුව හයියෙං හිනාවුනා.
ඔහොම මිනිත්තු එක පහක් හයක් හතක් වගෙ ගතවුනාය කියමුකො. දැන්නං අර පෝරණේ අස්සෙ ඉන්ටම බැරි සයිස්.
"මොකෝ පුතා...වෙනදත් මෙහෙම ලයිට් යනවද?"
"ඔව්..මේ එක ලයින් එකක් තියනව, කොහොමත් දවස් දෙක තුනකට පාරක් ලයිට් යනවම තමයි"
"හෙහ්, එහෙමද ? එහෙමත් නැත්තං බොලා ලයිට් බිල ගෙවල නැතුව ලයිට් කැපුවද දන්නෙත් නෑ..හෙහ්,හෙහ්"
"නෑ..නෑ..අපි වෙලාවට බිල් ගෙවනව. මමමයි මේ පෙරේද නැත්තං ඊට කලිං දවසෙ ගිහිල්ල සල්ලි ගෙවල ආවෙ" කෙට්ටය කිව්ව.
"හරි හරි මේ එහෙනං මෙහෙම කරමු. මම මෙතන මේ ඉහිං කනිං දාඩිය පෙරාගෙන ඉන්න එකේ කිසිම තේරුමක් නෑනෙ. ඒ හින්ද මම යන්නං..ආ..එතකොට අර මොකක්ද රිසිට් එකක් දෙනව කිව්වනේද පාස්පෝට් කන්තෝරුවට ඇප්ලිකේෂන් එකත් එක්ක අමුණල දෙන්ට"
"ආ..ඔව්..ඔව්..දැං මොකද කරන්නෙ? ම්ම්ම්... මෙහෙම කරමු. ලයිට් ආවට පස්සෙ මම හරියටම කන්ෆර්ම් කරගන්නං සර්ගෙ ෆොටෝ එක හරියට අප්ලෝඩ් වෙලා අනුමත වෙලාද කියල. විස්තරේ කියල මම කෝල් එකක් දෙන්නම්. හෙට වගෙ ඇවිල්ල සර්ට රිසිට් එක අරගෙන ගිහෑකි අදම බැරි වුනොත්."
"හරි හරි බං හදිස්සියක් නෑනෙ. රිසීට් එක හෙමීට ගම්මුකො" මම එහෙම කිව්වෙ කොහොමත් එක දවසකින් පාස්පෝට් එක ගන්න මම හිතාගෙන හිටපු හින්ද. වන්ඩේ ඉන්ටර්නැෂනල් ඒකට කියන්නෙ හෙහ්,හෙහ්,"
"හරි එහෙනං අපි ගියා මගෙ නම්බර් එක තියනවනෙ. වැඩි විස්තර කියල කෝල් එකක් එහෙනම් දෙන්න හොඳද?" එහෙම කියල මම පෝරණුවකිං එළියට පනින්නැහෙ ඉස්ටුඩියෝ එකෙං එළියට බැස්ස.
ඔර්ලෝසු කණුව ඊමම තමයි ඔය මම කියන පෝටොස් සාප්පුව තිබ්බෙ. එතනිං එළියට බැහැල දළඳා වීදිය දිගේ මම උඩහට ගියා. මට යන්ට ඕන වුනේ කැන්ඩි සිටි සෙන්ටර් එකේ තියන සරසවි පොත් සාප්පුවට.
සරසවියට යන්ට මට ලොකුම ඕනකමක් තිබ්බ. ඒ වෙන මොහොකටවත් එහෙම නෙවෙයි පොතක් ගන්ට. මගෙ ඔය බෝම හිතේසිවන්ත ලලනාවියක් මේ පහුගිය දවසක පොතක් ගැහැව්වනෙ. අන්න ඒ පොත තමයි මම ඔය තකහනියක් ගන්ට ගියෙ.
අප්පා ඒ ලලනාවි නම් මා එක්ක කිව්වෙ "අනේ අයියෙ මේ ඒකකට කියනව එහෙම නෙවෙයි මගෙ පොත විකිණෙන්නෙ අවුරුදු කාලෙ උණු කැවුං විකිණෙනව වගෙ. කොළඹ කොහෙවත් හොයාගන්ට නෑ පොත.හිහ්,හිහ්, ඔන්න ඇත්තම කිව්වොත් අයියට දෙන්ට කියල මම තියාගෙන හිටිය එක පොතක්. ඔන්න අහන්ටකො වෙච්චි වැඩේ... දවසක් පාන්දර වෑන් එකක් හයර් කරගෙනම ඔය කොහෙද දුර පලාතක ඉඳල කට්ටියක් ගෙදරටම ඇවිල්ල ඉල්ලුවනෙ ඔය පොතක්. අනේ නෝනා අපි ඉල්ලන ගානක් දෙන්නං අපිට පොතක් දෙන්ට කියල. පොතක් දුන්නෙ නැත්තං ගෙදර ඉස්සරහ මාරාන්තික උපවාසයක් කරනවය කියලත් කිව්ව. ඒ පාර වෙන මොකක් කරන්ටද අයියට දෙන්ට කියල තියාගෙන හිටපු පොත ඒ අයට දුන්න"
මමත් ඉතිං වෙන මොකක් කියන්ටද? බනින්ටය? හා..හොඳයිය. ඒකත් එහෙමදය කියල නිකා හිටිය. ඉතිං ඔච්චර ජනප්‍රිය වෙන්ට මොකක්ද මේ පොතේ මෙයාකාර තියන විසේසෙ කියල බලන්ට පොතක් ගන්ට මට ලොකුවට ඕනකම තිබ්බ. ආං ඒකට තමයි ඔය මම තකහනියක් සරසවියට ගියේ.
ඉතිං සිටි සෙන්ටර් එකේ සරසවි පොත්හලට මම ගිහාම වෙච්චි දේ තමයි මේ. නාට්‍යනුසාරයෙන් ඒ සිද්ධිය මම ලිව්වෙ.
ස්ථානය - මහනුවර සිටි සෙන්ටර් සරසවි පොත්හල.
පාත්‍ර වර්ගයා -
1. ගරු කටයුතු රවී මහතා
2. පොත්හලේ වෙළඳ සේවකයෙක්,
ගරු කටයුතු රවී මහතා - (පොත්හලට ඇතුලුවෙමින් බොහෝ ගාම්බීර කටහඬකින් වහා ඉදිරියට පැමිනෙන වෙළඳ සේවකයා අමතයි.) "මේ..අර...අමතක නැති අඩි පාරවල් පොත තියනවද?"
වෙලඳ සේවක - (පුදුමයෙන් මෙන් දෑස් විදහාගෙන මඳ වේලාවක් බලා සිට) "සර් ආයම කියන්න බලන්න මොකක්ද කිව්වෙ කියල?"
ග.ක.ර.ම. - "ඇයි හලෝ කං ඇහෙන්නෙ නැද්ද? මම ඇහුවෙ අමතක නැති අඩි පාරවල් පොත තියනවද කියල"
වෙ.සේ. - "සර් මේ අර කැලේට ගිය අඩි පාරවල් පොත ගැන එහෙම නෙවෙයිනෙ නේද ඔය සර් අහන්නෙ?"
ග.ක.ර.ම.- "පිස්සුද අයිසෙ? ඒ පොත මා ගාව තියනව. ඒක නෙවෙයි මම අහන්නෙ අමතක නැති අඩි පාරවල් පොත ගැන"
වෙ.සේ. - "සර් කිව්වට විස්වාස කරයිද මන්දා. අද මගේ ජීවිතේ අමතක නොවන දවසක්. මේ අවස්තාව සෙලිබ්‍රේට් කරන්ට අපි සෙල්පියක් ගමු.කමක් නෑ නේද?"
ග.ක.ර.ම.- "ආ..ඒකටනම් මක් වෙනවද? මොකෝ සෙල්පියක් ගත්තය කියල මගෙ කෑල්ලක් අඩු වෙනවය?...හෙහ්,හෙහ්"
වෙ.සේ.- "අනේ සර් තෑන්ක් යූ, තෑන්ක් යූ, තෑන්ක් යූ" (සෙල්පි කොක්ක ගෙනවිත් පෝං එක එහි අමුනා සෙල්පියක් ගනියි.)
ග.ක.ර.ම. - "හරි දැන් ඔහෙගෙ මනදොල සපිරුනානෙ. සෙල්පිය ගත්තනෙ. දැන් කියනව බලන්ට මොකක්ද මෙහෙම මේ සෙල්පි නාඩගමක් නටන්ට හේතුව? "
වෙ.සේ.- "දැං ඔය සර් ඉල්ලපු පොත තියනව නේද?"
ග.ක.ර.ම - "තියනවද? තවම ඔහේ ඒක තියනවද කියල කිව්වෙ නෑනෙ. අර සෙල්පි කොක්කක් දිග ඇරගෙන ජවුසමක් නැටුව මිසක"
වෙ.සේ - "නෑ..නෑ..සර් බය වෙන්ට එපා ඔය පොත් විස්සයි මුලින්ම ආවෙ. දැන් අවුරුද්දක් වගෙ කිට්ටුවෙන්ට ආව. අපරාදෙ කියන්ට බෑ ඇස් වහක් කටවහක් නෑ. ඒ පොත ලියපු මිසීට රතනත්තරේ පිහිටයි සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්සාවයි.එක පොතක්වත් විකුණුනේ නෑ"
ග.ක. ර.ම. - "නෑහ්?"
වෙ.සේ - "නෑහ් නෙවෙයි සර් ඕව්හ්. විකුනුනේම නෑ කියන්ටත් බෑ. ඇත්තම කිව්වොත් දෙකක් විකිනුනා. හැබැයි පහුවදාම ඒ අරං ගිය ඈයො පොත් දෙක ගෙනල්ල දීල වෙන පොත්වලට මාරු කරගත්ත."
ග.ක.ර.ම. -"හපොයි.."
වෙ.සේ - "ඒකනෙ කියන්නෙ...දැන් සර් මොකටද ඔය පොත ගැන ඇහුවෙ? "
ග.ක.ර.ම. - "පොතක් ගැන අහන්නෙ ආය වෙන අහවල් බිබික්කමකටද යෝදයො? පොත ගන්ට මිසක."
වෙ.සේ - "හප්පේ ඔය ඇත්තමද සර්? අපේ මැනේජර් මහත්තය හිටියනම් ඉහේ මල් පොකුරක් පිපුන වගෙ තියෙයි" (දුක්මුසු මුහුනින්) "ඒත් ඒ මහත්තය අද කොළඹ ගියානෙ සර්. ඉන්ටකො මම මහත්තයට කෝල් එකක් දාල විස්තරේ කියන්ට" (දුරකථනය වෙත ගොස් ඇමතුමක් ගනී.බොහෝ ප්‍රීතියෙන් සිනාසෙමින් මිනිත්තු තුන හතරක් පමණ කථාකරමින් සිට ආපසු එයි.)
වෙ.සේ - "හප්පා බොහොම සන්තෝස වුනා. අපේ මුලු ස්ටාෆ් එකටම සර් එක්ක ඉඳල ගෲප් ෆොටෝ එකක් ගන්ටත් කිව්ව. සර්ගෙ අතේ අර සර් ගන්නවයි කියපු අමතක නැති අඩි පාරවල් පොත කැමරාවට හොඳට පේන්ට ඒ පැත්තට හරවල අල්ලගෙන ඉන්ට ඕන කියලත් කිව්ව. හැබැයි සර් තව එක ප්‍රශ්නයකුත් නම් තියනව."
ග.ක.ර.ම. - "ඒ මොකක්ද ඒ පාර? "
වෙ.සේ - "මම අපේ ලෝයර් මහත්තයට කෝල් කරන්නං. සර් පොරොන්දු පත්‍රයක් අත්සන් කරන්න ඕන මේ පොත ආපහු ගෙනල්ල වෙන පොතක් ඉල්ලන්නෙ නෑ කියල."




