සියලු මිතුරු මිතුරියන් වෙත දන්වා සිටින වග නම්..........................
අද පටන් ලබන 19 වන දින දක්වා අපේ කන්තෝරුවේ අවුරුදු නිවාඩුව කාලයවේ.
මට හිතෙන අයුරට ඒ කාලය තුල නිදහස් සිතුවිලි බ්ලොග් අඩවියටත් නිවාඩු දෙන්නට සිදුවේ. හේතුව අපේ නව නිවසට තාමත් අන්තර්ජාල (අ)පහසුකම ලබාගෙන නොමැති වීමත් ලබා ගත්තද, අම්මා කෙනෙකු, බිරිඳක, වශයෙන් කොම්පියුටරය ඉදිරිපිට වාඩි වී කී බෝඩය ඔබ ඔබා සිටිනවාට වඩා වැඩ මේ අවුරුදු කාලේ මට ඇති නිසාත්ය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjCSKzCfQJyKoVtoxZ4E0eqzXT6hOqBqdOxunXTjsfOetwOHX0I8EWkTCXgdVpVTSjrhpFOQ8yPrI6cBha6xi-aDR048Fgp643XX092zyCsag_7SgcyhRoLKzhukZyWfUDTtWld0DmSdwjY/s320/lady-on-computer-cartoon.jpg)
බ්ලොග් මැරතන් දුවන්නටද ආසා නැත්තේම නොවේ.එහෙත් ඕවා කරන්නට ගොස් අගේට ඉන්න මහත්තයාගේ ඉවසීමේ සීමාව පැන පැන ගියහොත් මට දුවන්නට පාරද මදිවනු ඇත.
තාම කිසිදාක තනිවම සාදා නැතත් මේ පාර මගේ අතින්ම කැවුම් කොකිස් ටිකක් හදා ගන්නට හිතේ මනාපයක් ඇත. මහත්තයත් අගේට සතුටු වනු ඇත. ඇයි 'බිරින්දෑට දැන් ඒකත් පුළුවන්' කියලා මහත්තයාට හිතෙද්දී මට ලකුණු කිහිපයක් වැටී ආදරය තව තවත් වැඩිවනු ඇත. ඉතිං වැඩ ටිකක් පෙන්වීමට මේ නිවාඩු කාලය යොදා ගැනීමට සිතාගෙන සිටිමි. (චූටි නංගීට කෝල් එකක් දී ගෙන්වා ගැනීමට සිදුවේ. තනිව කීවාට තනිවම හැදුවෝත් මටවත් කෑමට බැරි යම්කිසි වෙනයම් ආහාරයක් නිපදවීමට ඉඩඇති බව, නැති කරගත යුතුව ඇත).
මේ වර වෙන වර වලට වඩා අපේ ආර්ථිකයේ යම්කිසි දරුණු පසුබෑමක් දකින්නට ලැබේ. දූගේ කටයුතු නිසා නොදැනීම කල් ගිය වෙඩින් ඇල්බම් එකේ කටයුතු කඩිමුඩියේ සම්පූර්ණ කර ගත්තේ අවුරුද්දට එන පිරිසත්, අපි යාමට හිතාගෙන සිටින දිහාස් වල පිරිසත් එය දැකීමට ඉමහත් මනාපයකින් පසු වීමය. කෙසේ හෝ එය සම්පූර්ණ වීම සතුටට කාරණයක් වුවද හිතුවාට වඩා වැඩි මුදලක් ඒ සඳහා වැය වීම පසුම්බියට දරුණු ආබාධයක් සෑදෙන්නට එක් හේතුවක් විය. කවදා හරි අපේ මතකයද අමතක වන වයස එළඹී කල ඒ දිනයේ සුන්දර මතකයන් වශයෙන් ඉතිරි වන්නේ එය පමණක් නිසා පසුතැවිල්ලක් නම් නැත.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhzopYbf6sUYXTkP5hCQagan9faSToei2qeqJ3jQCg5iJHv261sYu0MSAIwr2uMOqO3DVt_D_wltpzT0frqRRPqUvokfVzZoFF-NtZ1tz-qralTXKkGpLAFLwjTWx4k150IXjLT6h6FnGAm/s320/sb10064237b-003.jpg)
කුමක් කරන්නදෝ හෝයි හදවත ලබ්...ඩබ්...ලබ්...ඩබ්... කියමින් අසයි. ඩොන් නෝ ඩොන් නෝ යි මොළය පිළිතුරු සපයයි.
අනේ අම්මේ කී දෙනෙක් කියලාද? ප්රධාන පිරිස දුවත් අපි දෙන්නත් එක්කම එකලොස් දෙනයි. පරිවාර පිරිස තාම ගණන් සාදා නොමැත. සාදන්නට දැන්ම බලාපොරොත්තුවක්ද නොමැත. පුංචි පවුල රත්තරන් කියලා එහෙම කියපු කෙනාට හිතෙන්න ඇත්තේ මේවගේ අවුරුදු කාලෙක වෙන්න ඇති. කොහොම හරි ප්රධාන පිරිස සමඟ අවුරුදු සමරා වැඩේ අහවර කරනු මිස පෙර සිතා සිටි පරිද්දෙන් අම්මාගේ ගම් පළාතේ යාමට නොසිතිය යුතුව ඇත. ගියානම් සියල්ල සතුටු වනු ඇත. එයාලාටම පෙන්වන්න ඕනෑ නිසා කඩිමුඩියේ සාදා ගත් ඇල්බම් එකත් (අයියලා මල්ලිලාගේ භාෂාවෙන් කියනවා නම්) කිරි ටොයියා වගේ බැබලි බැබලි තියෙන නිසා ආඩම්බරෙන් පෙන්වන්නට පුළුවන. අම්මෝ ................. ඕනෑ නැත. ආපු වෙලාවක පෙන්වන්නට සිතාගත යුතුව ඇත. වත්කමේ හැටියට පිංකමක් කරගෙන අවුරුද්ද සතුටින් සැමරීමට සිතාගත්තෙමු.
එවිට,
අවුරුද්දත් කිට්ටු කිට්ටු...................... පසුම්බියට තට්ටු තට්ටු...................... කියා ගීතය සංශෝධනය නොකර,
අවුරුද්දත් කිට්ටු කිට්ටු..................... එරබදු මල් පොට්ටු පොට්ටු..............ම කියාගෙන සිටිය හැකිවනු ඇත.
අක්කලා නංගිලා අයියලා (වගේ ඉන්න අංකල්ලා ) මල්ලිලා ඇතුළු සැම දෙනාටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා !!!!!!!!!!!!!!!! කියා පතමින් අදට මගේ කථාව මින් අවසන් කරමි.