Showing posts with label විමලෙගෙ වාං පතුල් කතා...... Show all posts
Showing posts with label විමලෙගෙ වාං පතුල් කතා...... Show all posts

Friday, March 31, 2017

497. විමලෙගේ වාං පතුල් කතා - 46 - චන්දරේගේ මළගෙදර විත්ති - 5 - අරක්කු මූඩි ප්‍රක්ෂේපනයෙහි ආදීනව සහ උපායමාර්ගික පසු බැසීමෙහි වැදගත්කම


සතාසිවම් ඝාතන නඩුවිභාගය අලලා
මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා
ලියූ ග්‍රන්ථය ඉහත ඡායාරූපයෙහි දැක්වේ.

ඔය වගෙ මූඩිය නිකම්ම කැරකෙන බෝතල් කඩන්ඩ ක්‍රමයක් තියනව. එක අතකිං බෝතලේ තද කරල අල්ලගෙන අනික් අතේ අල්ලෙං අඩියට ටිකක් තද පාරක් ගහන්ට ඕන. එහෙම කලාම බෝතලේ ඇතුලෙ තියන ගෑස් එහෙක පීඩනය හින්දද මන්ද කොහොම හරි මූඩිය ගැලවිල වීසිවෙලා යනව. සමහරවෙලාවට ටිකක් සලකලා පාරක් වැදුනොත් මූඩිය කෙලින්ම වීසිවෙලා ගිහිල්ල සීලිමෙත් වැදිලයි ආපහු වැටෙන්නෙ. ඒ හින්ද බොහොම පරිස්සමින් කොන්ට්‍රෝල් එකේ ඔය අඩියට ගහන වැඩේ කරන්ට ඕමනයි.

සමරෙට ආයෙ අහවල් කොන්ට්‍රෝල්.....ඌ මළටත් එක්ක කෙළල ඇරියෙ නැද්දෙ බෝතලේ අඩියට ඇති වීරියෙං..

"ඒයි යකෝ බලාගෙන…" කියල මට කෑගැස්සුන.. 

කෑගැස්සුන තමයි. වැඩක් නෑ...ඒ වෙනකොටත් ඩබල් ඩිස්ටිල්ඩ් බෝතලේ මූඩිය නීල් ආම්ස්ට්‍රෝං, එඩ්වින් ඕල්ඩ්‍රින් සහ මයිකල් කොලින්ස් යන අජටාකාශගාමීන්ද රැගෙන සඳ බලා ගමන් කිරීමට නියමිත ඇපලෝ - 11 අභ්‍යාවකාශ යානයද සමඟ පෘථිවියේ ගුරුත්වාකර්ශණයෙන් මිදී කක්ෂ ගතවනු උදෙසා ෆ්ලොරිඩාවේ කෙනඩි තුඩුවෙන් ගුවන් ගතවුනු සැටර්න් රොකට්ටුව වගෙ ගුවන් ගත වෙලා අහවරයි.

මම ඔය අපි මත්පැන් පානය කරපු කාමරය ගැන කියනකොට කලින්ම කිව්ව මතකද ඒ කාමරේ ලී සීලිමක් තිබ්බ හැබැයි ඒක තිබ්බෙ කාමරෙන් බාගයයි කියල. ඒ විස්තරේ මම කලින්ම කිව්වෙ හේතුවක් ඇතුව. ඒ කියන්නෙ අපි හිටපු කාමරේ සාලෙ පැත්තට වෙන්ට තිබ්බ කොටසෙ උඩ සිවිලිමක් නහී. සමරය ආය නෑ දෙවෙනි ලෝක යුද්ධෙ ඩන්කර්ක් සටනෙදි බ්‍රිතාන්‍ය හමුදාවන් ඉලක්ක කරල හරියට කිරල මැනල නියමිත ප්‍රක්ෂිප්තයට අනුකූලව වෙඩි තියන ජර්මන් කාලතුවක්කු සෙබලෙක් වගෙ හරියටම බෝතලේ ඉලක්ක කලේ අර සීලිම නැති කොටසට.

බෝතලෙන් මිදුනු මූඩිය එක සැණෙකින් අර සිවිලිම නැති කොටසෙන් ඉහළට ගිහිල්ල බිත්තියේ මුදුනත් පහු කරල ඊලඟට තිබ්බ ඝණ අඳුරට මුහුවෙලා අතුරුදන් වුනා. අපි හුස්ම ඉහළට නොගෙන අහගෙන හිටිය "ටලාං" යන අනුකරණයෙන් මූඩිය සාලෙ බිමට වැටෙන සද්දෙයි ඊට පස්සෙ එතන ඇතිවෙන ගාලගෝට්ටියයි අහන්ට. තත්පර දහයයි...විස්සයි...තිහයි...හතළිහයි...පණහයි...මිනිත්තුවයි....මිනිත්තු දෙකයි....තුනයි....ම්හු එහෙම සද්දයක් නම් නෑ. ඒත් සාලෙන් මෙච්චර වෙලා ඇහිච්චි කතාබහ කරන සද්දෙ නම් ඔන්න නැවතුනා. ඒත් ඒ එක්කම ආයම ඒ සද්දෙත් පටන් ගත්ත.

අන්න එතකොටයි අපි හැමෝම උඩට අල්ලගෙන උන්නු හුස්ම ආපහු පල්ලෙහාට දැම්මෙ.

"දෙයියංගෙ පිහිටෙං අවුලක් නෑ වගේ" මම හෙමිහිට කියල තාමත් පාසානිබූත වෙලා වගෙ බෝතලෙත් අතේ අරං ඉන්න සමරෙගෙං බෝතලේ ගන්ට කියල හැදුවා.

"ඒයි..මූඩිය කොහ්හා..ට්ටද බං වැට්ටු...නෙ?" සමරෙ රහසිං වගෙ ඇහුවෙ බෝතලෙත් හයියෙං අල්ලගෙන.

"අනේ මේ…..ඇති ඔයිං ගියා...තව ලැජ්ජ නැතුව මූඩියක් ගැන අහනව...මෙන්න මෙහෙ දියං ඔය බෝතලේ…" මම සමරෙගෙං බෝතලේ උදුරගෙන මගෙ වීදුරුවට එකක් වක්කරගත්ත. 

"එතකොට මූඩියට මොකද බං කරන්නෙ?" ගුණේ ඇහුව..

"මූඩියට ආය අහවල් දෙයක්ය කියල කරන්නද? ඒක වැටුන සද්දයක් ඇහුනෙ නෑනෙ. ඔය උඩ කොහෙ හරි රැඳෙන්ට ඇති. මේ......ඒකෙං වැඩක් නෑනෙ දැං...ගනිං විජහට ගන්න හරියක්...ඊටපස්සෙ බත් ටිකක් කාල යන්ට යමු"

ඔක්කොමල ඒ පාර ෂොට් එක ගානෙ දාගත්ත. ඔහොම මිනිත්තු පහක් හයක් තරම ගත වෙන්ට ඇති මහිතේ. මෙන්න එක පාරටම  බොහොම කළබලෙං දොරට ගහන සද්දයක් ඇහුන. අනිවාර්යයෙන්ම චන්දරේ වෙන්ට එපාය.

"මේකා මොකද මේ ඒ පාර දොර කඩන්ට හදන්නෙ? මූම නේද අපිට කිව්වෙ අනේ මචංලා සද්ද කරන්ට නම් එපාය කියල..මූමනෙ ඒ පාර දොර කඩන්ට හදන්නෙ.." මම දොර දිහාට හැරිල එහෙම කියල අතේ තිබ්බ වීදුරුව කනප්පුව උඩ තියල නැඟිටින්ට ලෑස්තිවුනා.

"හරි හරි ඉඳහං ඉඳහං මේ එනවා මේ එනවා….." මට කලිං ගුණේ ගිහිල්ල දොර ඇරිය. 

චන්දරේ දාඩියත් දාගෙන කාමරේට ආව නෙවෙයි කඩා පැන්න. "යකෝ උඹලට කොච්චර නම් මං කිව්වද? කෝ උඹල සතපහකට ගණං ගත්තද? දැං බලපං ඔක්කොම ඉවරයිනෙ…"

"ඇයි ඇයි බං? මොකද වෙලා තියෙන්නෙ?" මට ඇඳෙං නැඟිට්ටුනා උගෙ විලාසය දැක්කම. 

"මොකද වෙලා තියෙන්නෙ?.... වෙලා තියෙන්නෙ උඹලගෙ අරක්කු මූඩියක් සාලෙට විසිවෙලා.. දැං වැඩේ නෝන්ඩි වෙලා තියෙන්නෙ ඔක්කෝටම. අයියෝ හතර විලි ලැජ්ජාවයි. අපේ ලොකු මාමයි නැන්දයි ඒ ඔක්කොමත් සාලෙ ඉන්නව"

චන්දරය බඳින්ට කතා කරල තිබ්බෙ උගෙ ලොකු මාමගෙ දුව. ඒ කෙල්ල උපාධි ගුරු. ඔන්න ඔය හාලිඇල සෙන්ට්‍රල් එකේද කොහෙද ඉගැන්නුවෙ. හොඳ හුරුබුහුටි කෙල්ල. චන්දරය මට ෆෝටොස් එහෙම පෙන්නල තියනව.

"හරි හරි බං පැහැදිලිව කියාපංකො වෙලා තියෙන්නෙ මොකක්ද කියල?" කරුණෙ අයිය ඇහුව..

"හරි..ඉඳපංකො මෙතන වෙච්චි දේ කියන්ට ....බෝතලේ කඩද්දි මූඩිය කැඩුණෙ නෑ... කැරකෙන්ට ගත්ත. ඒ පාර මේ සමරෙ අඩියට ගැහුව පාරක්. ඒ ගමන මූඩිය ඔය බිත්තියට උඩිං සාලෙ දිහාට විසිවුනා නම් තමයි. ඒත් බං අපි අහගෙනනෙ හිටියෙ.. මූඩිය බිමට වැටෙන සද්දයක් ඇහුනෙ නෑනෙ" මම වෙච්චදේ බොහොම සහසුද්දෙං චන්දරේට පැහැදිලි කලා.

"ඇහුනෙ නෑ තමයි..ඇහුනෙ නැත්තෙ මූඩිය බිමට වැටුනෙ නැති හින්ද" චන්දරය දත්මිටි කාගෙන කිව්ව.

"ඉතිං බං එහෙනං අවුලක් නෑනෙ.." මම සැනසුම් සුසුමක් හෙලුව.

"අවුලක් නැත්තෙ නෑ ...අවුලක් තියනව... මූඩිය වැටිල තියෙන්නෙ කෙලින්ම අප්පච්චිගෙ බඩ උඩට"

"මොකක්????? හුටා....." ඇස් දාසයකුයි කටවල් අටකුයි ඇරුනෙ එක විඩේ..

"මළ කෙළියයි ජූලි හතයි මගේ පුතා ඔක්කොම කයි….." යංතං සිහි එලවාගත්තු හැටියෙ මට කියවුනා.

"ඉතිං බං දැං මොකද එතන සීන් එක? ෆුල් අප්සෙට්ද? උඹ ෂේප්මන්ට් එකක් දැම්මෙ නැද්ද?"

"උඹල මේ මඟුලක් කතා කරනව..මොන ෂේප්මන්ට්ද? මාමල බාප්පල නැන්දල ආතල ඔක්කොම අහන්ට ගත්තෙ නැද්ද කොහොමද මේ අරක්කු මූඩියක් මිනිය උඩට වැටුනෙ කියල."

"ඉතිං උඹ මොකද කිව්වෙ?"

"මම කිව්ව ඔය මීයෙක්වත් අරං යන ගමං වැටෙන්ට ඇති කියල"

"ඒකෙං වැඩේ ෂේප් උනාද?"

"නෑ බං ඒක හරි ගියේ නෑ. අපේ අර දියවරකාවෙ ආතා කියල ඉන්නව අප්පච්චිගෙ බාප්ප වෙන මනුස්සයෙක්. ඒ මනුස්සය හෙණ රෙගුලාසි කාරය. ඔය තරුණ කාලෙ බණ්ඩාරවෙල ටවුමෙ පෙරකදෝරුවෙක් ලඟ ලියන්න විදිහටත් ඉඳල තියනව අවුරුදු විස්සක් විතර. තාම ගමේ මිනිස්සු ඔය ඉඩ කඩං නඩු හබ වලදි ඉස්සෙල්ලම උපදෙස් ගන්නෙ මිනිහගෙං"

"ඉතිං... ඉතිං?"

"ඉතිං මිනිහ මගෙං හරස් ප්‍රශ්ණ අහන්ට ගත්තෙ නැද්ද අර කොල්වින් සතාසිවම් නඩුවෙදි ඇහුව වගෙ"

(සටහන 1 - සතාසිවම් නඩුව යනු පණස් වන දශකයේදී මෙරට පමණක් නොව ලොව පුරාම ප්‍රසිද්ධියට පත්වූ අපරාධ නඩුවකි. තම බිරිඳ මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක මහාදේවන් සතාසිවම් මහතා ඔහු වෙනුවෙන් පෙනීසිටි නීතිඥ කොල්වින් ආර්. ද සිල්වා මහතාගේ දක්ෂ හරස් ප්‍රශ්න ඇසීම සහ නවසීලන්ත ජාතික ශ්‍රීමත් සිඩ්නි ස්මිත් මහතාගේ අධිකරණ වෛද්‍ය සාක්ෂිමත නිදොස් කොට නිදහස් කරනු ලැබීය. මෙම නඩු විභාගය අලලා මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මීට වසර කිහිපයකට පෙර "A Murder In Ceylon" නමින් අගනා ග්‍රන්ථයක් රචනා කලේය.) 

"මොනවද ඉතිං ඇහුවෙ?"

"ඉස්සෙල්ලම ඇහුව මීයෙක් අරං යන්ට උනත් මේ ගෙදරට අරක්කු මූඩියක් ආවෙ කොහොමද? මෙහෙ කවුරුවත්ම රා අරක්කු බොන්නෙ නෑනෙ කියල"

"ඉතිං?"

"ඉතිං මම කිව්ව ඔය අහල පහළ කොහෙං හරි මීය ඔය අරක්කු මූඩිය ගේන්ට ඇති කියල"

"ඒ පාර ඒක ෂේප්?"

"මොන ෂේප්ද? මේ මනුස්සය ගොඩ පෙරකදෝරුවනෙ. ඒ පාර මිනිහ ඇහුව මීයෙක් යනවනං යන්නෙ බිත්තිය උඩින්නෙ. එතකොට කොහොමද මේ සාලෙ මැද තියල තියන මිනියෙ බඩ උඩට මේ මූඩිය වැටුනෙ කියල"

"අම්මට උඩු, කොහොමද ඒ ලෝ පොයින්ට් එක? මේ මනුස්සය අමර පොරක්නෙ...ඉතිං උඹ මොකද කිව්වෙ?"

"මම මොනව කියන්ටද? කට වහගෙන හිටිය."

"උඹට කියන්ට තිබ්බෙ මීය බිත්තිය උඩිං යන ගමං එක පාරට නැවතිලා අර රොමාරියෝ ෆ්‍රී කික් එකක් ගහනව වගෙ අරක්කු මූඩියට පා පහරක් එල්ල කරන්ට ඇතිය. ඒ පා පහරේ ප්‍රබලත්වය නිසාම අරක්කු මූඩිය වීසි වෙලා ගිහිල්ල මිනිය උඩට වැටෙන්ට ඇතිය කියල…." මම හිනාවෙවී කිව්ව.

(සටහන 2 - එදවස අපගේ ප්‍රියතම පාපන්දු ක්‍රීඩකයකු වූයේ බ්‍රසීල කණ්ඩායමට ක්‍රීඩාකල රොමාරියෝය.) 

"මේ උඹ මගෙං කුණුහරප අහගන්නෙ නැතුව හිටහං හරිද?" චන්දරේ මට රවාගෙන කෑගැහුව.

"හරි හරි...චන්දරේ කලබල නොවී ඉඳහංකො. වීරෙ උඹත් ඔය අනම් මනං කියවන්නෙ නැතුව මේකට මොකද කරන්නෙ කියල කල්පනා කරහං පොඩ්ඩක්.." කරුණෙ අයිය සාම දූතයා නොහොත් එරික්  සෝල්හයිම්ගෙ පාට් එකට එන්ටර් වුනා.

(සටහන 3 - හැබැයි ඇත්තම කියනවනම් එරික් සෝල් හයිම් ගැන අපි දැනගත්තෙ මීට ගොඩක්ම පස්සෙ) 

"හරි හරි චන්දරේ වෙරි සොරි මචං වෙච්චි වැඩේට. තනිකරම අපි අතිං මිස්ටේක් එක වුනේ..අපි මෙහෙම කරමුද? උඹලගෙ ඥාතී පරම්පරාවට ඇත්තම කතාව කියමු" මම චන්දරේට කිව්ව. 

"බෑ..බෑ..උඹට පිස්සුද? ඒක හරියන්නෙ නෑ"

"එතකොට උඹේ විසඳුම මොකක්ද කියපංකො"

"මෙහෙම කරමු. මම කොහොම හරි එතන කට්ටිය ෂේප් කරගන්නං. උඹල කුස්සිය පැත්තෙං එළියට බැහැල පිළිකන්න දිගේ ගිහිල්ල ජීප් එකට නැඟල ෂේප් එකේ පලයල්ල. කෝ මුතුබණ්ඩා? "

මුතුබණ්ඩා කිව්වෙ ජීප් එකේ රියදුරු. මතකයිනේ?

"මුත්තා කාල එහෙම ජීප් එකේ නිදි."

"හරි එහෙනං අවුලක් නෑ..මම හෙමීට ගිහිල්ල කුස්සිය පැත්තෙ දොර ඇරල ජනේලෙං උඹලට කියන්නං. එහෙනම් එකා එකා සද්ද නැතුව ගිහිල්ල ජීප් එකට නැඟහල්ල"

ඉතිං වෙන මොකද කරන්නෙ? ඉතුරු බයිට් සුට්ට කොලේක ඔතාගෙන විජේ අතට ගත්ත. අරක්කු බෝතලේ කටට ඇඟිලි දෙකක් ඔබාගෙන ඒක මම ගත්ත. අපි එකා පස්සෙ එකා සිංගල් ෆයිල් පිළිකන්න දිගේ ටොප් සීක්‍රට් ඔපරේෂන් එකකට ගිහිල්ල වැඩේ වැරදිල උපාය මාර්ගිකව පහුබහින (Tactical Withdrawal) දිගු දුර විහිදුම් බලකායෙ (L.R.R.P.) ප්ලැටූන් එකක් වගෙ ගිහිල්ල ජීප් එකට නැග්ග. ඒ කරල මුත්තත් ඇහැරවගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි මළගෙදරිං විත්ඩ්‍රෝ වුනා.

පාරට දාල ටික දුරක් යද්දි සමරය කෑගැහුව "යකෝ...බෝතලේ දාලනේද ආවෙ?" කියල 

"කෑනුගහ ඉඳු..මාගාව බෝතලේ තියනව" මම කිව්ව. 

"අඩේ ඕකෙ මූඩිය නෑ නේද? ඕක හැලෙයි…" ඌ ආයෙම කෑගැහුව.

"නෑ බං මම මේ ඇඟිලි දෙකක් දාගෙන ඉන්නෙ... හැලෙන්නෙ නෑ"

"ෂක් අපරාදෙ අපිට චන්දරයගෙං මූඩිය ඉල්ලං එන්ට තිබ්බෙ" ඌ ආයෙම කිව්ව….අපි ඔක්කෝටම බකස් ගාල හිනා ගියා…

ඊට පස්සෙ අපි බණ්ඩාරවෙල ටවුමට කිට්ටු කරල පාලු තැනක නතර කරල බෝතලේ ඉවරයක් කලා. ඒ කරල කලිං බයිට් ගත්තු කොත්තු කඩෙන්ම කොත්තුත් කාල දෙයියනේ කියල පිටත් වුනා ආපහු එන්ට…. පාන්දර එක විතර වුනා කෑම්ප් එකට එනකොට..

ඒ එද්දි මනම්පිටියට පොඩ්ඩක් මෙහාදි අපි ජීප් එක නැවැත්තුව කට්ටියටම පම්ප් එකක් කාරිය දාල, ෂියේට් එකක් එහෙම ගහල, කොඳු එහෙම දිග ඇරගෙන එහාට මෙහාට සුට්ටක් විතර ඇවිදල කකුල් අතපයේ හිරි ඇරගන්ට. 

"හැබැයි එකක් තියනව චන්දරය උගෙ අම්ම මළ දවසටනං පරණ පැදුරක ඔතල කැළේ ගහනව මිසක මළ ගෙදරක් නං ගන්න එකක් නෑ."

එතන තිබ්බ බෝක්කුවක් උඩ වාඩිවෙලා ගෝල්ඩ් ලීෆ් එකක් ඇද ඇද හිටපු ගුණෙය එක පාරටම කිව්ව. අපි බඩවල් අල්ලගෙන හිනාවුනා .

චන්දරය සතියකිං විතර වැඩට ආව.

"මොකද බං අරක්කු මූඩි කේස් එකට වුනේ? අප්සට්ද?" ඌ ආහම මම ඇහුව.. 

"නෑ...වැඩේ වුනේ අර දියවරකය...ඌට ඕන නැති මඟුලක් නෑ. පස්සෙ මම කලේ ලොකු මාමට ඇත්තම සීන් එක කිව්ව. මනුස්සය පස්සෙ දියවරකයවත් ෂේප් කරගෙන වැඩේ යට ගහල දැම්ම. එතනිං ඒක ඉවරයි"

ඊටත් අවුරුදු හතර පහකට පස්සෙ චන්දරේ අර උගෙ නෑනව බැන්ද. ඒ වෙනකොට මම එහෙං ට්‍රාන්ස්ෆර් වෙලා දියබෙදුමට ගිහිල්ල. ඒ හින්ද මට උගෙ මඟුල් ගෙදරට යන්ට උනේ නෑ. සමරෙ එහෙම ගිහිල්ල තිබ්බ මඟුල් ගෙදර. 

"දැං චන්දරයගෙ ගෙදර සීලිං ගහල ඒ හින්ද උගෙ අප්පච්චිගෙ මළගෙදරදි උනාවගෙ සීන් එකක් නම් කොහොමවත් වෙන්ට විදිහක් නෑ"

පස්සෙ දවසක නුවරදි අහම්බෙං වගෙ හම්බවෙලා වයිට් හවුස් එකේ තේ එකක් බොද්දි සමරෙ මා එක්ක හිනා වෙවී කිව්ව.

Wednesday, March 29, 2017

496. විමලෙගේ වාං පතුල් කතා - 45 - චන්දරේගේ මළගෙදර විත්ති - 4 - පියාණනී මා නැවත උපන්නොත් ......



පියාණනී මා නැවත උපන්නොත්
ගීතය ගයනා අබේවර්ධන බාලසූරිය

චන්දරේ ඇවිල්ල ඇඳක කොණේ ඉඳගත්ත. "අනේ බං සද්දෙ නං හොඳටම වැඩියි. සාලෙටත් ඇහෙනව. එතන හිටපු අපෙ අර නැන්දම්ම කෙනෙකුත් ඇහුව මොකද්ද පුතේ ඔය සද්දයක් ඇහෙන්නෙ? කියලත්"

"ඉතිං උඹ මොකක්ද කිව්වෙ?"

"මොන පිස්සුද නැන්දම්මෙ අහවල් සද්දයක්ද? කියල මම එතනිං හෙමිහිට මාරුවුනා. ඉතිං අනේ මචංලා ඒ හින්ද සද්දෙ අඩුකරපල්ල දෙයියන්ගෙ නාමෙන්……" චන්දරේ බොහොම බැගෑපත්ව ඉල්ලා සිටිය.

"හරි බං හරි හරි උඹ කිසිම දේකට බයවෙන්ට එපා..හොඳද? කොහොමත් තව ටිකකිං අපි කතා කරන එක ෂම්පූර්ණෙංම නවත්තනව..තේරුණේ?"

"ඈ..ඒ කොහොමද?"

"ඒ කොහොමද කියල අහන්නෙ? ඇයි බාං සිංදු කියන ගමං කතා කොරන්නෙ කොහොමද?"

"ඈහ්හ්හ්..සිංදු කියන්ට? උඹල දැං හදන්නෙ මේක ඇතුලෙ සිංදුත් කියන්ටද?"

"එහෙනං ආය? මචං උඹ දන්නවනෙ පොඩි එකක් ගත්තම සුට්ටං ෂින්දුවක් කියන එක අපේ අනාදිමත් කාලයක ඉඳල පැවත එන චාරිත්තරයක්ය කියල"

"ඒත් යකුනේ මේක මළ ගෙදරක්..අනික වෙන කාගෙවත් නෙවෙයි අපේ අප්පච්චිගෙ මළ ගෙදර…"

"හරි හරි බාං අපි දන්නව ඒක..අපි ඒ හින්ද කියමු පියගුණ ගීත..හරිනෙ... අවුලක් නෑනෙ.." මම කිව්ව. 

"අන්නහරි....ඕ...පියා...පියා...ඕ...පියා...පියා....අ...ප්..පි..කි..ය..මු..ඔය....තිත්.......තියෙන්නෙ.......පිප්පිය.......ගුන ගීත....." සමරෙ තව එකක් වක්කරගත්ත. 

"මේ සමරෙ මෙතන මරු කියවන්ට එපා බං..පිප්පිප් පියගුණ ගීත කෙහෙල්මල...ඕ..පියා පියා කියල සිංදුවක් නෑ ගස් ගෝනො.... ඕ ප්‍රියා ප්‍රියා කියල හින්දි සිංදුවක් නම් තියනව.." මම කිව්ව.

"ඕහ්..ඉ...ෂ්දැට්ෂෝ?...රි..ය..ල්ලි...ෂො..ෂ්...ෂො..රි…" සමරෙ ගොත ගැහි ගැහි සමාව ඉල්ලුවා.

ඔය සමරයට දෙකක් බඩට යනකොට කඩුව අතට එනව. අමුවෙං ඉන්න වෙලාවට ඕක මැරුවට කඩු වචනයක් දාන්නෙ නෑ කටිං එළියට. කොටිම්ම උදේට ගුඩ් මෝනිං කියල කියව ගන්ට ඕකගෙ බෙල්ල මිරිකන්ට ඕන.

(සටහන - ඕ ප්‍රියා ප්‍රියා ගීතය එන්නෙ 1990 විතර තිරගතවුනු "දිල්" චිත්‍රපටයෙ. හින්දියෙන් දිල් කියන්නෙ හදවත. චිත්‍රපටයෙ රඟපෑවෙ මධුරි ඩික්සිට් සහ අමීර් ඛාන්. ඒ කාලෙ ඔය දීපිකාල, ප්‍රියංකල එතකොට අයිෂ්වර්යාල ගැන අපි අහලවත් නෑ)



"හරි හරි චන්දරේ…. සමරෙට වැඩියිද කොහෙද උඹ ඌ කියන එව්ව ගණං ගන්ට එපා..අපි කියමු පියාණනී මා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා ඔබේම පුතු වේවා…" මම චන්දරයව අස්වසන්ට ට්‍රයි කලා.

ආය අහවල් අස්වැසිල්ලක්. උගෙ ඇස් දෙකෙං ගින්දර විසිවුනා. "ඔය ඉතිං ඕකනෙ කියන්නෙ මොන රෙද්දක්වත් කියන්ට එපා යකුනේ..තොපිට මම කියන එක තේරෙන්නෙ නැද්ද හැබෑටම. ....උඹලට මෙතන හයියෙං කතාකරන්ට වත් එපාය කිව්වම ඒ පාර ලෑස්තිය සිංදු කියන්ට..." චන්දරේ දෑතින්ම ඔලුව බදා ගත්ත. 

චන්දරයට හිතුවට වඩා සද්දෙං කෑගැහුන ඒ ටික කියනකොට.  කිව්වනෙ අපි ඉන්න කාමරේට සාලෙ ඉඳගෙන ඉන්න කට්ටිය ඔය කතාවෙන එව්ව යම්තමට වගෙ ඇහෙනව කියල. චන්දරෙයගෙ කෑගැහිල්ලට එක පාරට සාලෙං ඇහිච්ච සද්දෙ නතර වුනා. අපිත් මූණිං මූණ බලාගෙන හිටිය අර මොනවද කාපු මොක්කුද වගේ. දෙයියංගෙ පිහිටෙං ටිකකිං ආයම සද්දෙ ඇහෙන්ට ගත්ත. ඒ කියන්නෙ අවුලක් නෑ.

"අන්න දැක්කද ඕක තමයි මං කීවෙ...හරිනෙ..මෙතන කතාවෙන එව්ව සාලෙට ඇහෙනව. ඔය අපිට සාලෙ කතාවෙන එව්ව ඇහෙනව වගේම තමයි. ඒ ඔක්කොමත් තියෙද්දි උඹලගෙ ලෑස්තිය මෙතන සිංදු කියන්ට…."

"හරි බං අවුලක් නෑ. ඒ කියන්නෙ කාමරේ ඇතුලෙ ඉඳල සිංදු කියල සාලෙට ඇහුනොත්නෙ අවුල..අපි මෙහෙම කරන්නං ...හොඳට අහගනිල්ල දැං මෙහෙමයි වැඩේ කෙරෙන්නෙ..අපි වැඩේ ලස්සනට කරමු..." මම චන්දරය ලඟින් ඉඳගෙන උගෙ උරහිසට අතක් තියල මිරිකුවා.. 

"අර මුල්ම කොටස තියනවනෙ. පියාණනී මා නැවත උපන්නොත් කෑල්ල...මම ඒ කෑල්ල කියාගෙන දොර ඇරගෙන යනව සාලෙට. ගිහිල්ල සාලෙට වෙලා ඔලුව බිමට හරවගෙන ඉන්නව මිනිය ලඟ බොහොම දුක්බර විලාසෙං ....ඊට පස්සෙ කරුණෙ අයියයි සමරෙයි ඊලඟ කෑල්ල කියාගෙන එනව සාලෙට.... ශිල්ප සතරදී සිහසුන හිඳුවා ඔබට අහිමි ලොව මා රජ කරවා.....ඊලඟට අන්තිමට විජෙයි ගුණෙයි එනව අන්තිම කෑල්ල කියාගෙන ...මොකක්ද බං ඊලඟ කෑල්ල..ඔන්න මට ඒක අමතකම වුනානෙ"

"හිත මිතුරන් මා හැරගිය දවසේ…" විජේ මට මතක් කරල දුන්න. 

"අන්න හරි...අන්න හරි..හිත මිතුරන් මා හැරගිය දවසේ...ලොවම එරෙහිවී තනිවුනු මොහොතේ...පස්සෙ අන්තිමට අපි ඔක්කොමල එකටම අර සිංදුවල ඔය තියෙන්නෙ අන්තරාසර්ග ග්‍රන්ථිය ද අන්තරා භවයද කොහෙද කියන්නෙ අන්න ඒ කෑල්ල... ඒ කිව්වෙ මේ සිංදුවෙ නම් පියාණනී මා කොටසනෙ. ඉතිං අපි ඔක්කොමල එකට පියානනී මා කෑල්ල කියල සිංදුව හමාර කරනව...සිංදුව ඉවර වෙනවත් එක්කම අපි ඔක්කොම අප්පච්චිගෙ මිනියට දණගහල වඳිනව....කොහොමද නියමයි නේද? බලාපං උඹලගෙ අප්පච්චිට දෙන්ට පුළුවන් ඊට වඩා ගෞරවයක් තියනවද?"

පියාණනී මා නැවත උපන්නොත්
අපාර වූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා...
ඔබේම පුතු වේවා...

ශිල්ප සතර දී සිහසුන හිඳුවා
ඔබට අහිමි ලොව මා රජ කරවා
ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ
නෑ ඔබ වන් පියවරු හමුවන්නේ...

පියාණනී මා...

හිත මිතුරන් මා හැර ගිය දවසේ
ලොව ම එරෙහි වී තනිවුන මොහොතේ
ඔබේ පැලේ නැත දොරගුළුලන්නේ
ඔබේ සෙනේ ගඟ නැත වියලෙන්නේ...

පියාණනී මා...

පද රචනය : සුනිල් ආරියරත්න
ගායනය: අබේවර්ධන බාලසුරිය
සංගීතය: වික්ටර් රත්නායක.



චන්දරය ඔලුව උස්සල බැලුව. උගෙ ඇස් දෙකේ ඒ වෙලාවෙ කඳුළුත් තිබ්බද කොහෙද...මට හිතෙන්නෙ ඌටම ෂුවර් නෑ ඩෝප් මරගාතෙ අපි ඔය කියපු විදිහටම කරයිද කියල. ඇයි ඕකත් දන්නවනෙ බීල කරපු නාඩගංවල දිග පළල හෙහ්,හෙහ්, 

කරුණෙ අයිය මට කට ඇද කරල ඉඟියක් කලා. ඒකෙං කිව්වෙ මම හිතන්නෙ ඔය ඇති කියල වෙන්ට ඕන. මම චන්දරයගෙ මූණට එබුන. "උඹ බයවෙන්ට එපා බං. අපි මේ පොඩි ජෝක් එකක්නෙ දැම්මෙ. එහෙමත් කරනවද බං උඹේ නම සවුත්තු වෙන්ට?...හෙහ්,හෙහ්, "

ඉතිං ඊට පස්සෙ ආයම පාරක් අපි සිංදු කියන්නෙ එහෙම නැතිය සද්දෙට කතාකරන්නෙ එහෙම නැතිය කියල හගිස්සවාගෙන චන්දරය කාමරෙං පිටවෙලා ගියා. අපි ඉතිං ඔහෙ හෙමිහිට වැඩේ කරගෙන ගියා. ඔන්න ග්‍රැජු ග්‍රැජුවලි දෙවෙනි බෝතලෙත් ඉවර වෙන්ට වගෙ ආව. 

"මේ අඩේ මේ කාමරේ මොනවට හදපු එකක්ද? බලාපං අර ජනේලෙ පොඩි....ඒ හින්ද බෙඩ් රූම් එකක් වෙන්නත් බෑ" හිටපු ගමං ගුණෙය ඇහුව. ඔය ගුණය අපි වාගෙ කොයි වෙලෙත් වක්කඩ කැඩුව වගෙ කියවන්නෙ නෑ. අවට වටපිටාව ගැන බොහොම සෝදිසියෙං ඉන්නෙ කොච්චර ගැහුවත්.

"මේක මචං බොහෝවිට කිළි කාමරේ වෙන්න පුළුවන්. මට හිතෙන්නෙ එහෙමයි" මම කිව්ව. 

"මොකක්ද කිළි කාමරේය කියන්නෙ?" ඒ කරුණෙ අයිය. 

"මෙහෙමයි අයියෙ, ඔය පරණ වළව්වල තිබ්බලු කළුවර කාමරයක් කිළි කාමරේ කියල. එක්කො ජනේලයක් නෑ. තිබ්බත් බොහොම පොඩි ජනේලයක්. වළව්වෙ බබලත් උදවිය කිළි උනහම ඒ කියන්නෙ ඔසප් උනහම ඔය කාමරේ තමයි රඳවල තිබ්බයි කියන්නෙ ඒ දවස් පහු වෙනකල්"

"අඩේ මම ඔය ඔහොම කතාවක් ඇහුවමයි. වීරෙ දන්නෙ කොහොමද?" කරුණෙ අයිය ආයම ඇහුව. 

"මම ඔය මේ මාස දෙක තුනකට ඉස්සෙල්ල කියවපු පොතක ඔය විස්තරේ තිබ්බ. අර ඔසප් කේස් ඇරුණම ළමයි හම්බ වෙන්ටත් පාවිච්චි කරයි කියන්නෙ ඔය කිළි කාමරේ. ආ..තව එකක්. ගෑණු ළමයි ලොකු උනහමත් ඔය කාමරේ තමයි රඳවල තිබ්බයි කියන්නෙ"

අනික් එවුං කට ඇරගෙන අහගෙන හිටියෙ මගෙ විස්තරේ. "ඉතිං? ඉතිං?..."

"ආ..තව එකක් කියන්න තියනව. ඔය කිළි කාමරේ බාල්කෙක වගෙ හයිය තැනක ගැට ගහල පල්ලෙහාට එල්ලෙන්ඩ දාල තිබ්බලු හොඳ හයිය ලණු දෙපොටක්. හරියට අර ඔංචිල්ලාවක් වගෙ. දරුවෙක් ලැබෙන කොට ඒ අම්ම අර ලණු දෙපොට අල්ලගෙනලු වාරු ගත්තයි කියන්නෙ" 

"ඉතිං බං කෝ මේ කාමරේ එහෙම ළණු දෙපොටක් නෑනෙ.." ගුණේ වටපිට බලල කිව්ව. 

"පිස්සුද බං උඹට? මම ඔය කිව්ව කරුණු කාරණාවලට ඒ කිළි කාමර පාවිච්චි කලේ දැනට අවුරුදු තිහ හතළිහකට වගෙ ඉස්සර. දැං කවුරුත් එහෙම දේවල් වලට කිළි කාමර පාවිච්චි කරන්නෙ නෑ. ඉතිං ඒ ළණු පොටවල් තියෙයිද මෙච්චර කල්?"

"ඒකත් ඇත්ත..අපි චන්දරේගෙං අහමුකො ආහම මේ කාමරේ ඒ විදිහෙ ළණු දෙපොටක් බාල්කෙක වගෙ ගැට ගහල තිබ්බද කියල"

"හරි..හරි..අහපං අහපං..ඕකට මේ වෙලාවෙ මාරාවේස වෙලා ඇත්තෙ. උඹට අම්ම මෝ නැතුව දෙකක් අහගත්තෑකි. හෙහ්...හෙහ්…" කරුණෙ අයිය එහෙම කියල හිනාවුනා.

ඕක තමයි කියන්නෙ මේ මත්පැන් පානයට ඔය හැමෝම , විශේෂයෙන් අපේ කාන්තා පාර්ශ්වය විරුද්ධ වුනාට ඔන්න බලන්ටකො ඒ නිසාම කොපමණ දැනුම් සම්භාරයක් එකතු වෙනවද කියල...හෙහ්,හෙහ්,

අනික දැන් මේක කියවන ඔබ තමුන්නාන්සේලා උනත් කී දෙනෙක් දැනගෙන හිටියද ඔය කිළි කාමර ගැන?..බොරුද මං කියන්නෙ? 

අන්න ඒකයි කියන්නෙ විනෝදය, සතුට සමඟ දැනුම ලබාදීම කියල. අර පහුගිය සෙනසුරාද උදක තොංගලේදි කියවපු හේතුපාටෙ උනත් තිබ්බයි කියන්නෙ. "දැනුම , විනෝදය, ජුගුප්සාව ලබාදෙන සහ ඒ සමඟම විළිබිය නැතිකරවන......" අන්න එහෙම. කොහොම උනත් ඒ හේතු පාටෙ ගැන මගේ නෑ කිසිම පැහැදීමක්. අපේ අර කළ්‍යාණයයි කියනවනෙ ඔය හේතු පාටෙ ලිව්වෙ..අනෙහ්..එයයි මායි දන්න හේතුපාට...එයයි දනී ගිරීස්මෙ ඉහිං කණිං දාඩිය දානකොට අහිංසක කම්කරුවෙක් හෙල්මට් එක සුට්ටකට අයිං කරල ඔලුවෙ දාඩිය නිවාගන්නව දැක්කොත් ඒ අහිංසකයගෙ දවසෙ පඩිය කපන්ට බෙල්ල කැපුවැහෙ....

හරි ඒ යස්සය ගැන ඔය ඇති..... ආපහු කතාවට.......

මේ වෙනකොට තුන්වෙනි බෝතලෙත් ඉවරයි...දැන් නං හොඳ ගණං.. චන්දරය ඔය වෙනකොට තව දෙපාරක් විතර ඇවිල්ල තත්වය බලාගෙන ගියා..අවුලක් නෑ..වැඩේ යනව මල් හතට…

"දැං කීයද බං වෙලාව?" ගුණේ ඇහුව බොහොම අමාරුවෙං ඇස් ඇරගෙන…

"තුනහමාරයි" මම කිව්ව…

"අඩේ අද යන්ටත් ඕන නේද? මොකද කරන්නෙ? එහෙනං ඔය තියන දෙයක් කාල පිටත් වෙමුද? කොහොමත් පැය හත අටක්වත් යයිනෙ ආපහු කෑම්ප් එකට යනකොට.." කරුණෙ අයිය ඇහුව.

බලනකොට තව බෝතලයකුත් තියනව. බයිටුත් ඉතුරුයි..අපරාදෙ කියන්ට බෑ කොත්තු පොට් එකේ පොර සළකල කොත්තු දෙක දාල දීල තියනව. 

"මේ මේකත් ගහලම යමු බං..මොනවද ආය දෙපාරක් වටේ යනකොට ඕක ඉවරවෙයි" ගුණේ ඇස් තද කරල පියාගෙන කිව්ව. 

"හරි එහෙනං එහෙම කරමු…" මම එකඟ වුනා.

රථාචාර්ය තැන්පත් මුතුබණ්ඩා මහතා පාන්දරම කට කපල ෂොට් දෙකක් ලඟ ලඟ නවාගෙන ගිහිල්ල බතුත් කාල ජීප් එකට වෙලා නිදි. රෑ දෙගොඩ හරියක් වෙනකල් සුක්කානම කරකවන්ට ඕන හින්ද අපි සාමාන්‍යයෙන් ඔය වගෙ දුර බැහැර ගමනක් ගියාම රියදුරු සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියා පටිපාටිය එහෙමයි. අනික එහෙම උනහම අපිට බය නැතුව ආතල් එක ගන්ටත් පුලුවෙනි.

ඒ පාර "හරි එහෙනං මේකත් ගහමු... මම කඩන්නං" කියල සමරය බැරි බැරි ගාතෙ ගත්ත බෝතලේ අතට...ඌට තමයි දැං බලනකොට වැඩිම..

"සමරෙ මේ දීපං ඕක මෙහාට මම කඩන්නං" මම අත දික්කරා බෝතලේ ගන්ට. 

"ඇයි? උම්බ හිත්තුවෙ මට ඩෝප් කියලද? ඉඳහං..ඔන්න..බල්ලපං මම බෝතලේ කඩන හැටි" එහෙම කියල සමරෙ ඇති වීරියෙං ඩබල් ඩිස්ටිල්ඩ් බෝතලේ මූඩිය කැරකුවා.

ඔය අරක්කු බෝතල් වල මූඩිය කඩන්ට එක ක්‍රමයක් තියනව. හෙමිහිට තද වෙන්ට මූඩිය ඇඟිලිවලින් අල්ලගෙන බෝතලේ කටට තෙරපගෙන කරකවන්ට ඕන. එහෙම නැතුව ඇති වීරියෙං කැරකුවොත් වෙන්නෙ මූඩිය කැඩෙන්නෙ නෑ නිකම්ම බෝතලේ කට වටේ කරකැවෙනව. සමරෙ අල්ලපු ඇල්ලිල්ලට මූඩිය නිකම්ම කැරකෙන්ට ගත්ත.

"හරිනෙ…. ඔන්න උඹ කරා වැඩේ..දැං හරිනෙ..දැං හරිනෙ" ගුණේ කෑගැහුව.."දැංවත් ඕක මෙහාට දීපං පුලුවං එකෙකුට…"

සමරෙ ඌ දිහා රවල බැලුව.."අනෙහ් මේ..කැක්..කෑනුගහ ඉන්දහං උඹ මෙතන. මමයි මේ බෝතලේ කඩන්නෙ.."

ඔය වගෙ මූඩිය නිකම්ම කැරකෙන බෝතල් කඩන්ඩ ක්‍රමයක් තියනව. බෝතලේ එක අතකින් තද කරල අල්ලගෙන අනික් අතේ අල්ලෙං අඩියට ටිකක් තද පාරක් ගහන්ට ඕන. එහෙම කලාම බෝතලේ ඇතුලෙ තියන ගෑස් එහෙක පීඩනය හින්දද මන්ද කොහොම හරි මූඩිය ගැලවිල වීසිවෙලා යනව. සමහරවෙලාවට ටිකක් සලකලා පාරක් වැදුනොත් මූඩිය කෙලින්ම වීසිවෙලා ගිහිල්ල සීලිමෙත් වැදිලයි ආපහු වැටෙන්නෙ. ඒ හින්ද බොහොම පරිස්සමින් කොන්ට්‍රෝල් එකේ ඔය අඩියට ගහන වැඩේ කරන්ට ඕමනයි.

To be continued....Next episode would be the last..God promise....:)

Friday, March 24, 2017

494. විමලෙගේ වාං පතුල් කතා - 44 - චන්දරේගේ මළගෙදර විත්ති - 3


Under an image of liquor bottles the caption says
ALCOHOL - Because no good story ever starts "So...I was eating a salad"

චන්දරේ අපිට ලෑස්ති කරල දුන්නෙ මිනිය තැන්පත් කරල තිබ්බ සාලෙත් එක්කම එහා පැත්තෙ පරණ ගබඩා කාමරයක් වගෙ එකක්. කැටයම් දාපු පරණ ඇඳන් දෙකක් තිබ්බ දෙපැත්තෙ. ඒ මැද කකුල් හතරෙ පෙට්ටගමක් තිබ්බ. කාමරේ අනික් හරිය තනිකරම පැදුරු අකුලල කෙලින් හිටවල බිත්තියට හේත්තු කරල තිබ්බ. කාමරේ එකක් තියෙන්නෙ හැබැයි පිරිසිදුයි. දූවිල්ල එහෙම නෑ.

චන්දරේ අලුත් පැදුරු දෙකක් දාල දුන්න ඇඳන් දෙකට. රවුං කනප්පුවක් ගෙනල්ල මැදිං තිබ්බ. 

"එහෙනං මචං අනේ සද්ද කරන්ට එහෙම එපල්ල. මේ ජනේලෙ බාගෙට වගෙ ඇර ගනිං ඕනනං. මෙතනම එහා පැත්තෙ සාලෙ. ඒ හින්ද බොහොම සයිලන්ස් එකේ වැඩේ හොඳද?...මම ගියාට පස්සෙ මේ දොර වහල සොයිබෙ දාගනිං හොඳද? මම හෙමිහිට දොරට ගහල කතා කලොත් ඇරෙන්න දොර අරින්ට එහෙම එපා…"

"හරි බං හරි හරි අපි එහෙම පිස්සු කෙලින්නෙ නෑ..උඹ බය නැතුව ඉඳහං………" මම එහෙම කියල උගෙ පිටට තට්ටු කලා. 

චන්දරය එළියට ගියායිං පස්සෙ මම දොර වහල සොයිබෙ දැම්ම. පරණ මළකාච්ච සොයිබයක්. ඒකෙ සද්දෙ කිරීස්ස්ස්ස්ස්ස්...ගාල ඇහුනෙ අර අවතාර ෆිල්ම් වල දොරවල ඇරෙන සද්දයක් වගෙ. 

"යකෝ හෙමීට හෙමීට…" සමරය කිව්ව.

"හෙමීට කියන්නෙ බං මේ කෙහෙම්මලට තෙල් දාල නෑ මට පේන්නෙ හයි කරපු දවසෙ ඉඳලම. ඉතිං ඔහොම සද්දයක් ඇහෙන එක පුදුමයක්ද?"

"හරි……. හරි.... වරෙං…. වරෙං…… ඉඳ ගං..ඔන්න ඕක කඩල ගං කඩල ගං විජහට" සමරෙය කෑගැහුව. 

ඌට තමයි බොනකල් සිහියක් පතක් නැත්තෙ. අර කලින් කතන්දරේක කනප්පුවට ගහල ගල් බෝතලයක් බිම දාල කුඩු කලෙත් ඔය සමරයම තමයි. ඒ කතාවෙ මම ඌව හඳුන්වල තියෙන්නෙ චන්දරේ කියල. 

එහෙම එව්ව වෙනව. මොකද මම ඔය මගෙ යාලුවන්ට අන්වර්ථ නම් දාලයි මේ කතා ලියන්නෙ. ඉතිං එහෙම ලියනකොට නැචුරලි ඒ නම් මාරු වෙනව. මොකද එකම නම් සෙට් එකක්නෙ වටේට කැරකෙන්නෙ. මයෙ මාමණ්ඩි කියන්න වගෙ "අන්න ඒකයි පුතේ ඒකෙ අවයවය" හෙහ්,හෙහ්,....ආන්න එහෙම එව්වට ඔය විද්වත් මණ්ඩල වල එහෙම ඉන්න කස්ටිය කියන්නෙ අත්වැරදීම් සහ අක්‍රමිකතා කියල. නිල වශයෙන් පිළිගත් වචනෙ ඇවිල්ල අවභාවිතාවන්.

"මොනවද බං බයිට්?"  කරුණෙ ඇහුව.

"කොත්තු දෙකක් දාගෙන ආව...තව රෝල්ස් වගයක් තිබිල එව්වත් හත අටක් ගෙනාව" සමරෙ කිව්ව.

"සෝඩ?"

"බෝතල් හතරක් ගෙනාව අයියෙ."

ඒ දවස්වල අපි ෂැන්ඩිවලට ගත්තෙම සෝඩා. කෝක් සහ ස්ප්‍රයිට් වලින් අරක්කුවල ආවේණික රස මැකිල යනව කියල අපි හැමෝගෙම පිළිගැනීමක් තිබ්බ. හැබැයි ඉතිං ඔය මූන් ෂයින් සුට්ටක් පානය කරන කොට නම් කොකා කෝල ඩිංගිත්තක් විතර වාගෙ මික්ස් කරගත්ත. නැත්තං සැර වැඩියි. උගුර කට පිච්චීගෙන යනව.

"හරි ඒ ඇති...ඒත් යකෝ මෙව්ව දාන්ට පිඟානක් වත් ඉල්ලගත්තෙ නෑ නේද චන්දරයගෙං…"

"ෂෙහ් ඒක අමතක වුනානෙ..හරි හරි ඉඳහං මම ගිහිල්ල ඕකව හොයාගෙන එන්නං" සමරෙ හෙමීට කාමරේ දොර ඇරල එළියට ගියා. අපි ඇතුලෙන් දොර වහල සොයිබෙ දාගත්ත. කිරීස්ස්ස්ස්ස්ස්.

ටිකකිං සමරෙ ආපහු ආව. දොරට හෙමිං සැරේ තට්ටුවක් දාල "ඒයි දොර ඇරපල්ල මම ..මේ මම…" කියල යම්තමට ඇතුලට ඇහෙන විදිහට කිව්ව..

"යකෝ මේක මාර කෙළියක්නෙ..මේ අරක්කු ටිකක් බොන එක හෙණ සීක්‍රට් ඔපරේෂන් එකක් වුනානෙ. මඟුල.." එහෙම කියව කියව විජේ ගිහිල්ල දොර ඇරිය. සමරෙ යන්තමට ඇරිච්ච දොරෙන් ඇතුලට ඇවිල්ල ආයම දොර වැහුව.

"කෝ බං පිඟාන?..." මම ඇහුව. 

"සාලෙ මැදිං පිඟං ගේන්ට බෑ කියල චන්දරේ නාහෙං ඇඬුව. ඒ පාර අන්තිමට කිව්ව කුස්සියෙ කට්ටිය ටිකක් එහෙ මෙහෙ වෙනකල් ඉඳල පිඟං දෙකක් ගෙනල්ල අර ජනේලෙට තට්ටුවක් දාන්නංය... එතකොට ජනේලෙ ඇරල පිඟං දෙක කාමරේ ඇතුලට ගන්ටය කියල."

"හයියෝ මේ ගස් ගෝනා කීයට පිඟං ගෙනෙයිද දන්නෙ නෑ. එතකල් බලා ඉන්ට බෑ. ඔන්න ඕක කඩල ගං විජහට. අරූ පිඟං ගේනකල් ඔය කොත්තුව ඔහොම්මම දිග ඇරගමු. ආය ඩබල් ඩිස්ටිල් එකෙන් දෙකක් වදිනකොට අහවල් පිඟංද?" සමරෙ කියව කියවම ඇඳගාව බිම තිබ්බ සිමෙන්ති කවරෙං බෝතලයක් එළියට අරගත්ත. 

"හරි බං, එහෙම නෙවෙයිනෙ. පස්සෙ මොනව උනත් වැඩේ පටන් ගන්ට එපයි ලකයක් ඇතුව. හෙහ්..හෙහ්." මම එහෙම කියල සෝඩ බෝතලයක් අතට ගත්ත.

හැබෑටම කිව්වත් වාගෙ ඒ හැටි වෙලාවක් ගියෙත් නෑ. කාමරේ තිබ්බ එකම ජනේලෙට හෙමීට තට්ටුවක් දානව ඇහුන. 

"අන්න අර හෝතඹුව ඇවිල්ලද කොහෙද? ගිහිං බලපල්ල එකෙක්." සමරෙ ඔලුවෙන් ජනේලෙ පෙන්නන ගමං එකක් වක්කරගත්ත. ඒ වෙනකොට බෝතලෙං බාගයක් වගෙ කිට්ටු වෙන්ට ඉවරයි.

මම ගිහිල්ල සොයිබෙ පන්නල ජනේලෙ ඇරිය. එළියෙ හිටියෙ චන්දරය. "අප්පෝ උඹලගෙං තියන මල කරදරයක්…" ඌ ෂර්ට් එක අස්සෙ ගහං හිටපු ප්ලාස්ටික් පිඟං දෙකක් ජනේලෙ සිරස්ව හිටවල තිබ්බ යකඩ කම්බි අතරිං ඇතුලට දික්කලා. 

"ආපෝ උඹ වගෙ නසරානියෙක්. යකෝ ඔව්වට කන දේවල් දාන්නෙ. උඹ ඔහොම ඔව්ව කිහිල්ල අස්සෙ ගහගෙන ආහම අපි කොහොමද බං ඔව්වට කන දේවල් දාන්නෙ?"

"මේ.....මගෙං කුණුහරප අහගන්නෙ නැතුව ඉඳහං වීරෙ...මම මෙව්ව ආය කිහිල්ලෙ ගහගෙන ආපු කෙහෙම්මලක් නෑ.. ඉඳා...ගන්නවනං ගනිං..නැත්තං නිකා ඉඳහං" චන්දරයට මලම පැන්නම යටි තොල වෙව්ලන්ට ගන්නව කිසි කිසි ගාල.

"හරි හරි උඹට ඔච්චර කෑගහන්ට දෙයක් මම කිව්වෙ නෑනෙ. ඔය තොල කොන්ට්‍රෝල් කරගනිං…" මම පිඟං දෙක අතට ගන්න ගමං කිව්ව.

"අනේ මෙහ්……රෙද්දෙ තොල" චන්දරේ තෙමේ එසේ පවසා හස්තාංගුලිකා ආධාරයෙන් ලිංගික කාය කර්මයෙහි යෙදෙන ආකාරය අභිනයෙන් දක්වා ආපසු හැරී පසු නොබලා ඉක්මන් පියවරින් නික්ම ගියේය. 

ඉතිං චන්දරය තොලත් වෙව්ල වෙව්ල පස්ස නොබලම යන්ට ගියා.

"මොකද බං අරූ කියන්නෙ?" සමරෙ ඇහුව. ඌ දැනටම ඩබල් එකේ දෙක තුනක්ම දාගෙන මට පේන්නෙ. ඔය තියෙන්නෙ දාඩිය පොල්ල එහෙම නළලට දාල.

"උඹ කෑගහනව වැඩියි කියන්නෙ. එළියට උඹේ සද්දෙලු වැඩියම ඇහෙන්නෙ…"

"අනේ උගෙ අම්මට...සද්දෙ තව පෙන්නුවෙ නෑ මම ඌට...එනව මෙතන අපිට රෙගුලාසි දාන්ට."

"හරි හරි බං කෑගහන්ට එපා. මෙතන උංගෙ ගෙදරනෙ. අනික උගෙ අප්පච්චිගෙ මළගෙදර. අපි අන්න ඒ ගෞරවේ තියන්ට ඕන" කරුණෙ අයිය හෙමිහිට කිව්ව. 

"නෑ..කක්..කරුණෙ අයිය..ම ම්..ම්..ම ද න්නව ඒක්ක..ඒත් මූට වටිනවද මට එහ්..හෙ...ම්...ම කියන්ට"

"හරි හරි බං ඔන්න ඕක අල්ලල දාපං... දාගනිං තව එකක්" මම සමරෙව කූල් ඩවුන් කලා.

ඔහොම ඉතිං වැඩේ නැඟල ගියා. සමාරම්භක බෝතලේ ඉවර වුනා සං සං ගාල. කොහොමත් එහෙම තමයි. කට්ටිය පළවෙනි ෂොට් එක ගහන්නෙ මේ තව පැයකිං මුලු ලෝකෙම මත්පැන් ඔක්කොම තුරන් වෙනව කියල හිතල වගේ. ඊට පස්සෙ ඔන්න වැඩේ නෝමල් වෙනව. ඔන්න ඊට පස්සෙ හෙමිහිට කතා කර කර ටයිම් අරගෙන ගහන්ට ගන්නව. සාමාන්‍ය නෝමල් ඩ්‍රිංකිං ප්‍රොසීඩියර් එක එහෙම තමයි.

අපි හිටපු කාමරේ සාලෙටම අල්ලලයි තියෙන්නෙ කියල චන්දරය අපිට කලිම්ම කිව්වනෙ. සාලෙ තමයි මිනිය තැම්පත් කරල තිබ්බෙ. අපි හිටපු කාමරේ බාගයක් වගෙ වැහෙන්ට ලී සිවිලිමක් තිබ්බ. පේන හැටියට නම් සොල්දරයක් වගෙ මොකක්ද එකක්. සාලෙත් සීලිමක් නෑ. ඒ හින්ද සාලෙ වටේටම බිත්තිය අයිනට කරල තියල තිබ්බ පුටුවල ඉඳගෙන ඉන්න උදවිය හෙමිහිට කතා කරන සද්දෙ අපි හිටපු කාමරේටත් ඇහෙනව. වචන පැහැදිලි නෑ. ඒත් සද්දෙ ඇහෙනව. 

සාලෙං සද්දෙ අපිට ඇහෙනව කියන්නෙ අපි කතා කරන එව්වත් සාලෙට ඇහෙන්ට ඕන. ඒ තියරි එකට කියන්නෙ "කෙකුලේගේ මළ ගෙදර ශබ්ද පැතිරීමේ න්‍යාය" කියල ඉංගිරිසියෙං කීවොත් "Kelule's Murdur House Acoustical Propagation Theory". ඇඩ්වාන්ස් ලෙවල් ෆිසික්ස් වලට ඔය තියරිය ගැන ඉගෙන ගත්ත හින්ද විනාඩි පහෙන් පහට වගෙ කාලාන්තර වලදි මම "ෂ්..ෂ්..ෂ්..ෂ්...වොලියුම් ඩවුන් ප්ලීස්" කියල ගැජු ග්‍රැජුවලි වැඩිවීගෙන එන සද්දෙ අඩු කරන්නට කටයුතු කලා.

දෙවෙනි බෝතලේ අරිනකොටම වගෙ අපි අර ජනේලෙත් ඇරිය. ඉන්ටම බෑ දාඩිය. එකා එකා ජනේලෙ ගාවට ගිහිල්ල ගෝල්ඩ් ලීෆ් දුම් පිටකලා ජනේලෙං කූරු අතරිං එළියට. ඒකත් මහ විකාර වැඩේ. දුම්පානය කරන එකත් එක්ක එපා වෙන මඟුලක් ඒක. සිගරට් එකක් ගහන්ට තියෙන්න ඕන ෆුල් රිලැක්ස් එකේ. මේක එහෙමද අර ජනේලෙ ගාව නැමිල යකඩ කූරු අස්සෙං මූණෙං බාගයක් එළියට දාල ඇති වැරෙං දුම් පිටකරන්ට ඕන. මොකද එළියෙ හුළඟ සැරයි. එහෙම නැති උනොත් දුම් ආපහු කාමරේ ඇතුලට එනව. එහෙම උනොත් සීලිමකුත් නැති හින්ද අනිවාර්යයෙන්ම සිගරට් ස්මෙල් එක සාළෙට යනව. 

අපි ඔය මළගෙදර ගියවෙලාවෙ සීයට අනූපහක් වගෙම හිටියෙ වයසක උන්දැල. දවල් දවස නිසා වෙන්නැති. සාමාන්‍යයෙන් මළ ගෙවල් වලට සහභාගිත්වය එහෙමයි. දවල් දවසෙ ඇවිල්ල පාලු කපන්නෙ ඔය එහෙමට වැඩක් පොළක් නැති වයසක උදවිය. රස්සාවලට එහෙ මෙහෙ යන තරුණ පහේ කට්ටිය මළගෙවල් වලට එන්නෙ රෑට රෑවෙලා.

ඉතිං අපි යන වෙලාවෙ එක්කෙනෙක්වත් අපි දැක්කෙ නෑ සිගරට් එකක් එහෙම පත්තුකරගෙන ඉන්නව. එහෙම දුම්පානයෙන් සපුරාම තොර තැනක් උනහම සිගරට් ගඳ බොහොම ඉක්මනට පැතිරෙනව.

"ඒයි යකෝ..තව ටිකක් මූණ කිට්ටු කරපං ඔය ජනෙල් කූරු වලට. සිගරට් දුම ආපහු කාමරේට ආවොත් විනාසයි" මම එහෙම කසුකුසුවෙං කෑගැහුවෙ විජෙය ලෝඩ් බකිංහැම් වගෙ ජනේලෙ ගාවට වෙලා නැමෙන්නෙ වත් නැතුව සිගරට් එකක් උරල දුම් පිටකරනව දැකල.

"හරි හරි එළියට තමයි දුම යවන්නෙ…" විජේ ආපහු හැරිල මා දිහාට රැව්ව.

ඔය වෙනකොට අපි කට්ටියටම ගාණට වැදිල. දේශපාලනය, ආර්ථිකය, ක්‍රීඩා, අම්මල ගේන මංගල යෝජනා, අනාගත අපේක්ෂාවන්, පෙම්වතියන්, දරුවන්ගේ කටයුතු ගැන හිටු කියල සාකච්ඡාව. සද්දෙ නැඟල යන වාරයක් පාසා මම හරි කරුණෙ අයිය හරි ශබ්ද පරිපාලක වශයෙන් කටයුතු කලා. 

ඒ අතර කාමරේ දොරට හෙමීට තට්ටු කරනව ඇහුන. "මචං දොර ඇරපල්ල. මම මේ චන්දරේ.."

"ඒයි අඩේ චන්දරය ඇවිල්ල...දොර ඇරපං" විජේ ගිහිල්ල දොර ඇරිය. 

ඒ එක්කම චන්දරය ඇතුලට ආවෙ "වහපං වහපං දොර…වහපං" කියල දත්මිටිකාගෙන කියමින්. 

"හරි හරි දොර වහන්ට බැරිය..උඹ ඉස්සෙල්ල ඇතුලට වරෙංකො"

චන්දරේ ඇවිල්ල ඇඳක කොණේ ඉඳගත්ත. "අනේ බං සද්දෙ නං හොඳටම වැඩියි. සාලෙටත් ඇහෙනව. එතන හිටපු අපෙ අර නැන්දම්ම කෙනෙකුත් ඇහුව මොකද්ද පුතේ ඔය සද්දයක් ඇහෙන්නෙ? කියලත්"

"ඉතිං උඹ මොකක්ද කිව්වෙ?"

"මොන පිස්සුද නැන්දම්මෙ අහවල් සද්දයක්ද? කියල මම එතනිං හෙමිහිට මාරුවුනා. ඉතිං අනේ මචංලා ඒ හින්ද සද්දෙ අඩුකරපල්ල දෙයියන්ගෙ නාමෙන්……" චන්දරේ බොහොම බැගෑපත්ව ඉල්ලා සිටිය.

"හරි බං හරි හරි උඹ කිසිම දේකට බයවෙන්ට එපා..හොඳද? කොහොමත් තව ටිකකිං අපි කතා කරන එක ෂම්පූර්ණෙංම නවත්තනව..තේරුණේ?"

"ඈ..ඒ කොහොමද?"

"ඒ කොහොමද කියල අහන්නෙ? ඇයි බාං සිංදු කියන ගමං කතා කොරන්නෙ කොහොමද?"

Tuesday, March 21, 2017

493. විමලෙගේ වාං පතුල් කතා - 43 - චන්දරේගේ මළගෙදර විත්ති - 2


චන්දරේගේ නිවස පිහිටි කැබිල්ලවෙලට ආසන්නයේ
පිහිටි ඉතා දර්ශනීය සංචාරක ආකර්ෂණයක් වන
Lipton's Seat නොහොත් ලිප්ටන්ගේ ආසනය.
මෙහි සිට ශ්‍රී ලංකාවේ පළාත් නවයෙන් පහක්
( ඌව, නැගෙනහිර,මධ්‍යම, සබරගමු සහ දකුණු )
සහ දිස්ත්‍රික්ක හතක් දැකගතහැකියයි කියවේ.


"මේ මචං දැං කොහොමද බොන්ඩ මොකවත් හොයාගන්නෙ?"

"බොන්ඩ කිව්වෙ අරක්කුද?"

"නැතුව ආය උඹ හිතුවෙ තැඹිලි කියලද?.."

"අනේ මචං කියන තැනකට වඳින්නං බොන්ඩ නං ලෑස්ති වෙන්ඩ එපා මෙතන.."

"ඈ ඒක මාර කෙළියක්නෙ ඒ මොකද එහෙම කියන්නෙ?"

"එහෙම කියන්නෙ අපෙ අප්පච්චි අරක්කු බිංදුවක් කටේ තියපු කෙනෙක් නෙවෙයි.."

"හරි බං ඒ උඹලගෙ අප්පච්චිනෙ. ඒ අප්පච්චිගෙ මළගෙදරනෙ අපි දැං මේ ඇවිල්ල ඉන්නෙ. අනික අප්පච්චි අරක්කු නොබිව්වට උඹ බොනවනෙ. ඒ හින්ද අපිට ඔය බෝතල් තුන හතරක් ගෙනල්ල තැනකුත් ලැහැත්ති කරල දීපං.."

"කොහෙද? මෙහෙ? "

"මෙහෙ නැතුව ආය?"

"අනේ මචං මෙහෙ නම් බොන්න බෑ….."

"මොකක්? යකෝ ඒක මාර වැඩක්නෙ. උඹ අපේ එවුංගෙ මලගෙවල් කීයක ගිහිල්ල කුදාර්වෙන්ට ගහල ඇද්ද? අර මතකද එක පාරක් සෙනෙවියගෙද කොහෙද මළ ගෙදරක ගිහිල්ල ඌට කචල් එකකුත් ඇද්දෙ බයිට් හොඳ නැතිය....හරියට ඕගනයිස් කරගන්ට බැරිනං මළගෙවල් නොගෙන ඉඳහංය කියල. එහූ දසය උඹ දැන් කියනව මෙහෙ බොන්ට දෙන්ට බෑය කියල"

"අනේ මචං මම කියන එක පොඩ්ඩක් තේරුං ගනිංකො. අපේ අප්පච්චි කාලෙකට ඉස්සර මෙහෙ ගම්මුලාදෑනිය. අප්පච්චිගෙ අප්පච්චිත් එහෙමයි. අපේ පරම්පරාවෙ කවුරුවත් අරක්කු තියා රා ටිකක්වත් කටේ තියල නෑ. අපේ ගෙදර ඉස්සරහිං යනකොට රා බීල යන එකා උනත් සරම පාතට දාල පාරෙ අනික් පැත්තෙන් යන්නෙ. ඉතිං එහෙම එකේ මම කොහොමද උඹලට මේ ගෙදරම බොන්ට ලෑස්ති කරන්නෙ?"

"හුටා…. සරම පාතට දානව කිව්වෙ?.... බිමටම? එතකොට ඌ අමු නිරිවස්තරෙන්නෙ "

චන්දරේ මා දිහා රවාගෙන හිටිය හරියට අර ආලවකය හනුමන්ත දිහා රවාගෙන හිටිය වගෙ "ඔව්..ඔව්...එහෙම අමු නිරිවස්තරෙන් තමයි යන්නෙ..ඉවරයිනෙ..." ඌ ඊටපස්සෙ ගසල බසල දාල යන්ට ලැහැත්ති වුනා ආපහු ගෙට. පඬි ටෝක් දීල අර එක පාරක් නානසාරය වැලිකඩ රිමං එකේ කල්දේරං දානෙ වැළඳුව වගෙ ඇණගෙන වදාරන්ට ඕන නැති හින්ද මම චන්දරය පස්සෙං ගිහිල්ල ඌව කූල් අප් කරන්ට ට්‍රයි කලා.

"හරි මට තේරෙනව උඹ කියන එක. හැබැයි ගොයියො උඹ දන්නවනෙ අපේ එවුංගෙ හැටි. එවුංට දැන් බොන්ටම ඕන. බදුල්ලෙ ඉඳල උං දත කට මැදගෙන ඉන්නෙ ඔය වැඩේට. කරුණෙ අයියගෙ කටේ බලේටයි මෙච්චර වෙලා උංව කොන්ට්‍රෝල් කරගෙන හිටියෙ. හරි මෙහෙම කරමු. උඹ මේකට සහභාගි වෙන්ට ඕනම නෑ. මම දැක්ක කිලෝ මීටර් හතරකට වගෙ එහා හන්දියෙ බාර් එකක් තිබ්බ. අපි ජීප් එකේ ගිහිල්ල බඩු ගේන්නං"

"හරි එහෙම ගෙනාවයි කියමුකො... ගෙනල්ල බොන්නෙ කොහෙ ඉඳලද? "

"බොන්නෙ ඉතිං වෙන කොහෙ ඉඳලද? ගෙදර ඇතුලෙ තැනක් ලෑස්ති කරල දෙන්ටත් උඹ අකමැති නං ඉතිං ජීප් එක ඇතුලෙම තමයි බොන්ට වෙන්නෙ"

"අඩේ මචං ජීප් එක මේ ගෙදර වත්තෙ තියාගෙන නං ඒක කරන්ට එපා බං... පිංසිද්ද වෙයි."

"හරි හරි උඹට අවුලක් වෙන්නෙ නැතුව අපි වැඩේ කරන්නංකො. ජීප් එකේ පිටිපස්ස දොර වහගෙන බොන්නං"

"ඒක කෙරෙන වැඩක් නෙවෙයිනෙ බං. ඕකෙ දොරවල් වහගෙන බොන්ට පුලුවන්ද? උඹල ටිකකිං එළියට බැහැල සිගරට් එකක් එහෙම ගහන්ට ගනියි. එතකොට වැඩේ අතේ කෝට්"

"හරි අපි එහෙනං මෙතනිං එළියට ගිහිල්ල පාර අයිනෙ කැළෑ මණ්ඩියක් බලල නවත්තල වැඩේ කරන්නං..ආ..එද්දි අපි පහුකරල ආව ෂෝක් දොළ පාරක්...එතන මරු…"

"මේ………... පිස්සු කෙලින්ට එපා.."

"ඇයි? "

"ඇයි කියල අහන්නෙ? ගමේ හැමෝම දන්නව මම වැඩ කරන්නෙ කොහෙද කියල. අනික මේ ජීප් එකේ ආවෙ මගෙ යාලුවො කියලත් දන්නව. මේකෙ දොරේ මේ පොල් අකුරෙං ලියලත් තියෙන්නෙ. අනික මම දන්නවනෙ දෙක වදිනකොට උඹල කලිසං ගලවල ජොක්කු පිටිං පනිනව දොළට. ඊට පස්සෙ මටත් වෙන්නෙ අප්පච්චිත් එක්කම වලට පනින්ට."

"පිස්සුද බං? අපි එහෙමත් කරනවද? මම උඹට පොරොන්දු වෙනව ජොක්කු පිටිං ඇළට පනින්නෙ නෑ කියල…"

"එතකොට? "

"අපි පනින්නෙ ජොකත් ගලවල....හෙහ්,හෙහ්, "

"අනේ පළයං බං යන්ට...උඹට විහිලු මම මේ ඇඟේ වතුර ලේ වෙලා ඉන්නව…"

"හරි….ගෙදර ඇතුලෙ බොන්ටත් එපානං, වත්තෙ ජීප් එක තියාගෙන ඒක ඇතුලෙ බොන්ටත් එපානං, පාර අයිනෙ ජීප් එක නවත්තල ඒක ඇතුලෙ බොන්ටත් එපානං උඹම කියාපංකො මොකද අපි කරන්ට ඕන කියල? "

"හරි හරි කමක් නෑ ගේන දෙයක් අරං වරෙල්ල... මම ගෙදරම කොහෙ හරි සෙට් කරල දෙන්නං. එතකොට මට අඩු ගානෙ උඹල නටන පිස්සු ගැන ඇහැ ගහගෙන හරි හිටියැහැකි. "

"අන්න එහෙම වරෙං මල්ලි….."

"අඩේ මම වැඳල කියන්නං..විකාර නං කරන්ට ලෑස්ති වෙන්ට එපා රජෝ...බොහොම නෝමල් එකේ බීවද නැද්ද කියල හොයන්ට බැරි විදිහට වැඩේ කරපල්ල. …."

"හරි හරි බං ඒ ගැන බයවෙන්ට එපා..මම ඉන්නවනෙ"

"උඹ?........ උඹ ඉන්න එක තමයි මට වැඩියම අප්සෙට්…." එහෙම කියල මා දිහා ටිකක් වෙලා බලා ඉඳල චන්දරේ ආපහු ගේ ඇතුලට ගියා.

"මොකෝ මල්ලි චන්දරය කියන්නෙ?" කරුණෙ අයිය මගෙන් ඇහැව්ව.

"ඌ බඩු ලෑස්ති කරල නෑ අයියෙ. අපිට ගිහිල්ල ගේන්ට වෙනව"

"යකෝ මේ පකිරින්තුව එහෙම ඕගනයිස් එකක්වත් කරල නැද්ද? කරුණෙ අයියෙ, අර  මරණාධාර දුන්නු සල්ලි ඇන්ලොප් එක ඌට දුන්නද?" අපේ කතාව ඇහිල එතෙන්ට ආපු සමරෙ ඇහුව.

අපේ ඒ කාලෙ තිබ්බ මරණාධාර සමිතියක්. පස්සෙ මරණාධාර සමිතිය කිව්වම නිකං හරි නෑ හරි නෑ වගේ කියල හිතිල නම වෙනස් කලා අවමංගල්‍යධාර සමිතිය කියල. 

මාසෙකට ඔය රුපියල් සීයක් වගෙ ගාණක් එකතුකලා සාමාජිකයින්ගෙන්. ඒ සල්ලි වලින් තමන්ගෙ පවුලෙ මරණයක් වුනාම ආධාර මුදලක් දුන්න. මරණාධාර සමිතියෙ ව්‍යවස්ථාවෙ තිබ්බෙ "සමීප ඥාතියෙකුගේ අභාවයකදී මහ සභා රැස්වීමකදී බහුතර කැමැත්තෙන් තීරණය කරගන්නා යම් මුදලක් ගෙවනු ලබන්නේය" මම තමයි ඔය ව්‍යවස්ථාව හැදුවෙ. මම දැම්ම ඒ එක්කම මෙහෙම ක්ලෝස් එකක් නොහොත් වගන්තියකුත්. "සමීප ඥාතීන් යන්නෙහි නිර්වචනය මහසභා රැස්වීමකදී බහුතර ඡන්දයෙන් තීරණය කොට ගත යුත්තේය."

මුලිම්ම අපේ ඔය මරණාධාර සමිතිය පටංගත්ත කාලෙ සමීප ඥාතීන්ගෙ නිර්වචනය මෙහෙමයි. "සමීප ඥාතීන් යන්නෙන් හත්මුතු පරම්පරාවෙහි සියළු ඥාතීන් අදහස් කෙරේ. එබැවින් අත්තා, මුත්තා, නත්තා, පනත්තා, කිත්තා, කිරිකිත්තා සහ කිරිකෑමුත්තා යන මුතුන් මිත්තන්ගේ මරණයකදී සාමාජිකයා නියමිත අවමංගල්‍යාධාර මුදල ලැබීමට හිමිකම් ලබන්නේය." අන්න එහෙමයි මම ඒ වගන්තිය ලිව්වෙ. ආය කාටවත් ඥං පචං ගාන්ට දෙයක් නෑ. බොහොම පැහැදිලිව කණ කොක් සුද වාගෙ ලිඛිතවම තියනව. 

කොකාගේ පාට අප දන්නෙ...පියාඹන දාට වැටහෙන්නේ... ඒ ජෝතිපාලගෙ ඉතාම ජනප්‍රිය වුනු ගීතයක්. ගීතය පටන් ගන්නෙ මෙහෙමයි...කොයි යන්නේ බඳ ලෙළවාලා..ලැසි ගමනේ ඉඟ නලවාලා..පාවෙන සුළඟේ වද මල වාගේ වද මල වාගේ වද මල වාගේ...චිත්‍රපටය - එදත් සූරයා අදත් සූරයා.



පස්සෙ අපිටම තේරුණා මේ හත්මුතු පරම්පරාවටම මරණාධාර ගෙවන එක කරන්ට පුලුවං කෙළියක් නෙවෙයිය කියල. ඥාතියො වැලිගම්පිටි යන එකේ කෙළවරකුත් නෑ. සමිතියෙං මරණාධාර ගෙවන එකේ කෙළවරකුත් නෑ. සමිතියෙ අරමුදල් හිඳිල ගියෙ අර බැමිණිටියාසාය කාලෙ වැව් අමුණු හිඳිල ගියා වාගෙ. ඒ පාර අපි කට්ටිය රැස්වෙලා සමීප ඥාතීන් කියන වචනෙ නිර්වචනය නොහොත් අර්ථ දැක්වීම අනුක්‍රමිකව වෙනස් කලා. හයමුතු, පස්මුතු, සිව්මුතු...අන්න එහෙම.. අන්තිමට තුන්මුතු, දෙමුතු වෙලා අවසානයෙදි එක්මුතු වුනා..පස්සෙ ඔය චන්දරේගෙ අප්පච්චි අභාවප්‍රාප්ත වෙන කාලෙ වෙනකොට සමීප ඥාතීන්ගෙ නිර්වචනය මෙන්න මෙහෙමයි. "සමීප ඥාතීන් යනු දෙමව්පියන්, භාර්යාව හෝ ස්වාමි පුරුෂයා සහ දරුවන්ට සීමා වන්නේය."

"ආහ්...මල්ලි මතක් කරපු එක හොඳයි. මට ඒක දෙන්ට අමතකම උනානෙ..තවම මගෙ සාක්කුවෙ…." කරුණෙ අයිය සාක්කුවට අත දැම්ම.

"ඕකා  මේ කරපු කැත වැඩේට අපිට තියෙන්නෙ ඔය සල්ලි වලින් බඩු අරගෙන කීයක් හරි ඉතුරු වෙන හරියක් ඌට දෙන්ට…" සමරෙ දත්මිටි කාගෙන එහෙම කිව්ව.

"හෙහ්,හෙහ්, ඒකත් නරකම නෑ අයිඩියා එක. ඒත් කමක් නෑ අපි ගාව සල්ලි තියනවනෙ. හරි එහෙනං උඹල දෙන්නෙක් ගිහිල්ල බෝතලුයි ඕන අනික් අඩුම කුඩුමයි අරගෙන වරෙල්ල." කරුණෙ අයිය කිව්ව.

ඒ ගමන සමරෙයි, විජෙයි, මුතුබණ්ඩ එක්ක ජීප් එකේ ගියා අවශ්‍ය ආම්පන්න ගේන්ට……..

"බයිටුත් මොනවහරි අරං වරෙල්ල යහමිං...චන්දරයගෙං මොකවත් ඉල්ලගන්න එක ෂුවර් නෑ….." උං යන්ට පිටත් වෙනකොට මම ජීප් එක ගාවට ගිහිල්ල කිව්ව. 

චන්දරේ අපිට ලෑස්ති කරල දුන්නෙ මිනිය තැන්පත් කරල තිබ්බ සාලෙත් එක්කම එහා පැත්තෙ පරණ ගබඩා කාමරයක් වගෙ එකක්. කැටයම් දාපු පරණ ඇඳන් දෙකක් තිබ්බ දෙපැත්තෙ. ඒ මැද කකුල් හතරෙ පෙට්ටගමක් තිබ්බ. කාමරේ අනික් හරිය තනිකරම පැදුරු අකුලල කෙලින් හිටවල බිත්තියට හේත්තු කරල තිබ්බ. කාමරේ එකක් තියෙන්නෙ හැබැයි පිරිසිදුයි. දූවිල්ල එහෙම නෑ.

චන්දරේ අලුත් පැදුරු දෙකක් දාල දුන්න ඇඳන් දෙකට. රවුං කනප්පුවක් ගෙනල්ල මැදිං තිබ්බ. 

"එහෙනං මචං අනේ සද්ද කරන්ට එහෙම එපල්ල. මේ ජනෙලෙ බාගෙට වගෙ ඇර ගනිං ඕනනං. මෙතනම එහා පැත්තෙ සාලෙ. ඒ හින්ද බොහොම සයිලන්ස් එකේ වැඩේ හොඳද?...මම ගියාට පස්සෙ මේ දොර වහල සොයිබෙ දාගනිං හොඳද? මම හෙමිහිට දොරට ගහල කතා කලොත් ඇරෙන්න දොර අරින්ට එහෙම එපා…"

"හරි බං හරි හරි අපි එහෙම පිස්සු කෙලින්නෙ නෑ..උඹ බය නැතුව ඉඳහං………" මම එහෙම කියල උගෙ පිටට තට්ටු කලා. 

ඉදිරියට පැවැත්වේ..............

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...