Wednesday, May 28, 2014

262. විමලෙගෙ වාංපතුල් කතා 12… හීතල රෑක කතාවක්… Saga Of A Very Cold Night….

Image : Vincent Giarrano 

අපෙ ඔය රෑ ජාමෙ කොත්තමල්ලි සුට්ටක් විතර පානය කරද්දි කට්ටිය ඔය නොයෙක් කතන්දර කියනවය කියල මම කලින් පාර කිව්ව මතකනෙ. මේත් එහෙම කිව්ව තවත් කතාවක්...

මේ කතාවෙ කතා නායකයත් අර මම කලිං කියාපු කතාවෙ පීතර අයියගෙ ජාතියෙම පොරක්, ඒ කිව්වෙ දිනපතාම අර වැඩේ ඕනමයි, ඒ අතිං බලනකොට පීතර අයිය තව හොඳා, ඒ මනුස්සය රෑට විතරයි, මේ කතාවෙ සාපිං ගොයියට ඕකට වෙලාවක් කලාවක් නැහැ, රෑත් එකයි දවාලත් එකයි,

ඉතිං සාපිංගෙ බාරියාව, ඒ කිව්වෙ මැගිලිංටත් මේ වැඩේ එපාම වෙලා තිබුනෙ, ඇයි, දෙයියෝ සාක්කි, ඕනම අමුර්තයක් තිස්ස දෙවේලෙ බොන්ට ගිහාම වහ කදුරු වගෙ වෙනව කියල ආය කියන්ටත් දෙයක්ය. නැද්ද?

දවසක්දා ඔන්න ගිණි මද්දහනෙ මැගිලිං අක්ක කුස්සියෙ මිරිස් අඹරනව. සාපිං අයිය කුස්සියට ආවෙ ආය අනේ එහෙම දේකට නම් නෙවෙයි. මේ දිව ගිලෙන්ට යන තිබාසෙට කළගෙඩියෙං හීතල වතුර එකක් නවාගෙන බොන්ට කියල. ඒත් මැගිලිං අක්ක ඉහිං කණිං දාඩිය දමාගෙන මිරිස් ගල එක්ක ඔට්ටුවෙනව දැකල සාපිං අයියගෙ තිබාසෙ අමතක වෙලා ගියේ එක මොහොතෙං. හැට්ටෙ පිටටම ඇලිල. දණිස්සට කැටිකරාන ඉන්න රෙද්ද හින්ද පස්ස එහෙම නෙරල පේනව ආය නෑ...හෙහ්,හෙහ්,

ආය මොනවද සාපිං අයියට ඉහිලුං නැතුව ගියා. එහෙම්ම පිටිපස්සෙං ගිහිල්ල මැගිලිං අක්කව බදාගන්ට තැනුවෙ නැද්ද මේ මනුස්සය...

උදේ ඉඳල ගෙදර අර වැඩේටයි මේවැඩේටයි නැහිල නැහිල පාං කියාගන්ට බැරුව හිටපු මැගිලිං අක්කට නේද? ආය නෑ යකු නැග්ග.

" මොකක්ද, ඕයි, මේ මල කරුමෙ, තමුසෙට මේ වැඩේට රැයක්, දවාලක්, වෙලාවක්, කලාවක් කියල නැහැනෙ, අම්මප මම කපල දානව ඕක වෙලාවක, ඕක තියෙන නිසා නෙව මේ වදේ " මැගිලිං අක්කා පුපුරා හැලුනා,

 " කෑගහන්ට එපා යෝදියෙ..ආය බෑ කිව්වනං ඉවරනෙ..රටේ ලෝකෙ හැමෝන්ටම ඇහෙන්ට බෑඟිරි ගහන්නෙ.."


එහෙම කියාගෙන සාපිං අයිය විජහට කුස්සියෙ එළිපත්ත ගාවට ඇවිදිල්ල වටපිට බැලුව , මැගිලිං අක්කහෙ කෑගැහිල්ල කාටවත් ඇහුනද කියල..හතර විළි ලැජ්ජාවයි නෙව එහෙම උනානං...

හරියටම ඔන්න ඔය වෙලාවෙ සාපිං අයියලගෙ ගේ අද්දරිම්ම  තියෙන දෙවට දිගේ පන්සලේ හාමුදුරුවොයි දායක සබාවෙ සබාපති තුමයි දෙන්නත් එක්ක යනව පන්සල පැත්තට. කොහේ හරි දවල් දානෙකට වැඩල වෙන්ට ඕන හාමුදුරුවො. සාපිං අයිය දකිනකොටත් ඒ දෙන්න ගේ පහුකරල වැට මායිමටම ගිහිල්ල. ඒත් දෙන්නත් එක්ක මොකකට හරි දේකට හිනා වෙනව සාපිං අයියට හොඳටම ඇහුණ. සාපිං අයියට ඉර හඳ වගෙ විස්වාසයි මේ දෙන්න හිනාඋනේ මේ මැගිලිං අක්ක සාපිං අයියට අර නොහොබිනා විදිහට බැණ අඬගාපු එක ඇහිලය කියල.

සාපිං අයියට ලැජ්ජාවට වැඩියි කේන්තිය, කේන්තියට වැඩියි ලැජ්ජාව,

" හිටපංකො, උඹ කරදර වෙන්ඩ ඕන නැහැ, මම්ම කපල දාඤ්ඤංකො, කිව්වත් වාගෙ මේක තියෙන නිසානෙ මේ ඔක්කොම "

මෙහෙම කියල සාපිං අයිය පිහි කොටේකුත් අරගෙන, මිදුලෙ දෙල්ගහ යට හරහ දාල තිබ්බ කොස් කොටේ ගාවට ගියා. ඒ කරල හිට ගේ පැත්තට පිටි පාල සරම උස්සල කොස් කොටේ ගාව කෙළිං කටිං වාඩිවෙලා පිහියෙං කොටේට පාරක් ගහල " බුදු අම්මෝ " කියල සද්දයක් එහෙම දාල දෙපරැන්ද පැත්ත අත් දෙකෙං මිරිකගෙන ගෙට ඇවිත් මැගිලිං අක්ක දැක්ක කිව්ව " හරි දැං මීට පස්සෙ උඹට කරදරයක් වෙන්නෙ නැහැ, බය නැතුව ඉඳිං, මං ඒක කපලම දැම්ම " කියල

දැං ඔන්න ඔහොම සතියක් හමාරක් ගත උනාය කියමුකො,

මැගිලිං අක්කටත් ආය නෑ හොඳටම විස්වාසයි 
සාපිං අයිය උන්දැගෙ පුරුස නිමිත්ත කපලම දැම්මය කියල.

අපරාදෙ කියන්ට බෑ මැගිලිං අක්කට දැං කිසිම කරදරයක් නැහැ,රෑ නිදා ගන්ඩ ගියාමත් දෙන්න දෙපැත්තට හැරිල නිදාගන්නව එච්චරයි,

ඔන්න මහේ කුඹුරු අස්සද්දන කාලෙත් ආව. වැහි වලාකුලු නිතර දෙවේලෙ ආකහේ වහගෙන පැතිරුනා.

එක දවසක් දවල් පටං ගත්තු වැස්ස රෑ වෙනකල් එක 
සීරුවට  වැස්ස එක මොහොතක් තුරල් නොකර. ඒ මදිවට හීතල. ගස් කොලං අඹරවාගෙන එන හීතල හුළඟ ඇඟේ හීගඩු පිපෙන්නෙ බලා ඉන්දැද්දි. 

එදා රෑ නිදාගන්ඩ ගිහිල්ල, සුපුරුදු පරිදි සාපිං අයියා අනික් පැත්තට හැරිල නිදාගත්තට මැගිලිං අක්කට නම් නින්ද ම්හු,මැගිලිං අක්ක එහාට මෙහාට පෙරලි පෙරලි හිටිය, මේ දැඟලිල්ලට සාපිං අයියටත් ඇහැරුනා,

" මේ යෝදියෙ… එහෙ මෙහෙ පෙරලුනාට වැඩක් නැහැ, තමුසෙත් නිදාගන්ඩ බලනව, දැක්කනෙ එදා මම කපලම දැම්මනෙ, " සාපිං අයියා ඒ පැත්ත බලාගෙනම කිව්වා,

ටික වෙලාවකින්, " මේ ඒයි....මේ ඒයි......" මැගිලිං අක්කා සාපිං අයියගෙ උරෙස්සෙන් අල්ලල හෙල්ලුවා,

" දැං මම එක පාරක් කිව්වනෙ, ඒක කැපුවනෙ, තමුසෙත් දැක්කනෙ, ඉතිං මේ ඒයි කිව්වට වැඩක් වෙන්නෙ නැහැ"

" නෑ, එහෙම නෙවෙයි, පොඩ්ඩක් බලනවකො, පොඩි කොට කෑල්ලක්වත් ඉතුරුවෙලා නැද්ද කියලා " මැගිලිං අක්කා ඇහෙන නෑහෙන හඬින් බැගෑපත් ඉල්ලීමක් කලා,

Sunday, May 25, 2014

261. සමුගැන්ම - The Farewell


A Painting by Raymond Leech

සෙනෙහසක අරවින්ද ඉපිද ගිය හද විලක, 
නිලහසක රඟන විහඟුනට රැකවල් කොහිද?
තුරුහිසක එතුනු මකරන්ද විඳගනු පිණිස,
ගිරිහිසක හෙට දිනෙක නුඹ යලිත් හිඳීවිද?

නොමැලවුනු කුසුම් පෙති අතුල මාවත සොඳින,
වතරැඳුනු සිනහකැන් සැලින කිංකිණි ලෙසින,
පිණි ඉසුනු රොබරෝසි කළඹ දෝතට රැගෙන,
නෙත දිලුනු විදුලි සර හදරිදුම්දුනි එසැන,

විකසිතව යලි මියෙන කුමුදු මල් පෙති සිඹිමි,
ලවැලිතල මත ඇඳුනු සහස් පියවර දකිමි,
අවරගිර කරා පියඹන ලිහිණියක වෙතිනි,
කුමරියක නෙතඟ ඇඳි කඳුලු බිඳු ගැන අසමි.

මල් සුවඳ ළය පුරා රැගෙන එන මඳනලයි,
නිල් උපුල් විකසිතව හිනැහෙනා විල් තෙරයි,
පුල් අහස නිදැල්ලේ පාවයන වළාවයි,
නුඹ ලවන නිබඳ රැඳි සොඳුරු මඳහස මමයි.



විශේෂ ස්තූතිය - කඳු

Wednesday, May 21, 2014

260. පස් වසරක ශේෂ පත්‍රය නොහොත් 2009 - 2014 The First Five Post War Years.


Google Images

නන්දිකඩාල් කලපුව අබියස ප්‍රභාකරන් මියගියා. ඒ අවුරුදු පහකට ඉස්සෙල්ල. 2009 මැයි 18 වෙනිද.දකුණෙ මිනිස්සු රතිඤ්ඤ පත්තුකලා.කිරිබත් කෑව. එහෙම කලාය කියල වැරැද්දක් කියන්න බෑ. ප්‍රභාකරන්ගෙ මරාගෙන මැරෙන බෝම්බ කරුවන්ගෙන් දකුණෙ වෙච්ච හානිය, ඒ වගේම දකුණෙ ජනජීවිතයට කරපු බලපෑම ඒ තරම් දරුණුයි.ඒ වෙලාවෙ ආණ්ඩුවෙ ජනමාධ්‍යය පුන පුනා කිව්වෙ මේ කරන්නෙ දෙමළ ජනයාට විරුද්ධ යුද්ධයක් නෙවෙයි ත්‍රස්තවාදයට විරුද්ධ යුද්ධයක්ය කියල. Catch Phrase එක වෙලා තිබ්බෙ ත්‍රස්තවාදයට එරෙහි මානුෂික මෙහෙයුම.ප්‍රභාකරන් විමුක්තිය උදා කරල දෙන්ට දත කාපු දෙමළ මිනිස්සු ප්‍රභාකරන්ගෙම ග්‍රහණයෙන් මුදවාගන්ටයි මේ මෙහෙයුම ක්‍රියාත්මක වෙන්නෙ. එහෙමයි උදේ දවල් රෑ රේඩියෝව රූපවාහිනිය මොර දුන්නෙ. ලේක් හවුස් පත්තරවල පල වුනේ. 

යුද්දෙදි බොහෝ නිරායුද වැසියන් මියයන්ට ඇති. යුද්දෙකදි ඒ වගෙ දේවල් වළක්වන්න බෑ. අවම කරගන්න එක විතරයි කරන්න පුලුවන්. අමරිකාව වියට්නාමෙදිවත්, රුසියාව ඇෆ්ඝනිස්තානෙදිවත්, ඊටත් පස්සෙ අමරිකාව ඉරාක ආක්‍රමණයෙදිවත් ඔය යුද ආචාර ධර්ම පිළිපදින්ට නැතුව ඇති. කවුරුවත් එහෙම කරන්නෙ නෑ. එහෙම කරල මම හිතන්නෙ නෑ යුද්දයක් දිනන්ට පුලුවනිය කියල. විශේෂයෙන් ත්‍රස්තවාදී සංවිධානයක් එක්ක කරන ගරිල්ලා යුද්ධයක්...ඊටත් එල්.ටී.ටී.ඊ. සංවිධානය වගෙ අමානුෂික, නිර්දය ත්‍රස්තවාදී සංවිධානයක් එක්ක කරන යුද්දයක්.

මානුෂික යුද්දයක් කලාය කියල ආණ්ඩුව දහ අතේ දිවුරුවට කිසි කෙනෙක් ඒ කතාව විශ්වාස කරන්නෙ නෑ.අපි මොහොතකට ඒ මානුෂික මෙහෙයුම් කතාව පැත්තකින් තියමු. හරි දැන් කොහොම හරි 2009 මැයි මැද වෙනකොට යුද්දෙ ඉවර උනානෙ. ආණ්ඩුවෙ හමුදා කොටි සංවිධානය සමූල ඝාතනය කරල ජයග්‍රහණය කලා.
දැන් එතකොට යුද ජයග්‍රහණයෙන් පස්සෙ ඉස්සොරෝම කරන්ට ඕන මොකක්ද? යුද්දෙ ඇති උනේ මොකක් හින්දද? මොන මොන හේතු හින්දද? කියල හොයල බලල වහාම ක්‍රියාත්මකවන පරිදි ඒ හේතු නැතිකරල ආයම මෙහෙම අවුලක් අර්බුදයක් කවදාවත්ම ඇති නොවෙන්ට වග බලා ගන්න එක..ඒක නේද වෙන්න ඕන?

ඇත්තටම අවංකව තමන්ගෙ පපුවට තට්ටු කරල තමන්ගෙ නිදාගෙන ඉන්න හෘද සාක්ෂිය අවදි කරල මේ ප්‍රශ්නෙ ඇහුවොත් මොකක්ද ලැබෙන උත්තරේ..මේකයි ප්‍රශ්නෙ...යුද ජයග්‍රහණයෙන් ඉක්බිති ඉක්ම ගිය පස් වසර තුල එවන් අර්බුදයක් යලි ඇති නොවනු උදෙසා රජය විසින් ගන්නා ලද ( එවන් පියවරක් ගත්තේ නම් ) පියවර පිළිබඳව ඔබට අවංකව සෑහීමට පත්විය හැකිද?

උතුරෙ චන්දෙකුත් තිබ්බ තමයි..ඒත් අර පුලුවන් තරම් වැඩේ මඟ ඇරල ,යටිතල පහසුකම් මදිය, තාමත් අවතැන් වූවන් නැවත පදිංචි කරවනවය, බිම් බෝම්බ ඉවත් කරල ඉවර නැතිය, ජන ජීවිතය යතා තත්වයට පත් කරගෙන යනවය..අරකද මේකද කිය කිය ඉඳල බැරිම තැන බෙල්ල මුලටම හිර උනහම, චන්දෙ නොතිය කොහොමත්ම බැරි උනහම උතුරෙ චන්දෙ නම් තිබ්බ තමයි.

ඒ වගේම අර උතුරු වසන්තය මොකක්ද කියල එකකුත් කරනව තමයි. පාරවල් හදනවලු. විනාස වෙච්ච ගොඩනැඟිලි හදනවලු. නොයෙක් දේවල් කරනවලු. හරි එව්වත් කෙරෙන ඕන තමයි. ඒත් මූලික අවශ්‍යතා සම්පූර්ණ කලාට පස්සෙ වහාම කෙරෙන්න තිබ්බෙ උතුරට තමන්ගෙම කියල පාලන ක්‍රමයක් ලබාදෙන එක. පළාත් සබා වලටත් එහා ගිය බලතල දෙනවයි කියල රට කරවන ඇත්තොම කියලත් තිබ්බ. තර්ටීන් ප්ලස් කියලයි ඒ දවස්වල කිව්වෙ...ඒ කටට ආවට කියන එව්ව.... මම හිතන්නෙ මේ ලෝකෙ යකෙක් ඒ කියන එව්ව ගණං ගන්නෙ නෑ.

අනික් කාරනේ මේ අවුරුද්දකට සැරයක් පවත්තන යුද ජයග්‍රහණ සැමරුම් නාඩගම. කෝටි ගානක් නිරපරාදෙ වියදම් කරල ආණ්ඩුවෙ ලොක්කොම පොඩි සිඟිති ආතල් එකක් ගන්නව මිසක මොකක්ද ඕකෙන් මෙලොව යකෙකුට සෙතක් වෙනවද? යුද ජයග්‍රහණය අවුරුදු පහකට ඉස්සරවෙලා ලැබුවනෙ. හරි... අපි කිරිබත් කෑව. සිංහ කොඩි වැනුව. රතිඤ්ඤ දැම්ම. ඒක එතනිං ඉවරයි. අවුරුදු පතා ඕක සමරන්ඩ ඕනද? කාටහරි යටත් වෙලා ඉඳල නිදහස ලබපු දවස සමරනව වගෙ.

ඒ එක්කම අපි ජයග්‍රහණය සමරනවනම් ඒ එක්කම උතුරට එයාලගෙ මළවුන් සමරන්ට නිදහස තියෙන්ට ඕන. අඩු ගානෙ පහනක් පත්තු කරල වත්...නෑ...ඒකටත් ආණ්ඩුව ඉඩ දුන්නෙ නෑ. ඒකටත් බයයි..ඒකයි වෙලා තියෙන්නෙ. බය වෙන්න ඕන එහෙම සැමරුම් වලට නෙවෙයි. ඒ වගෙ දේකටවත් ඉඩ නොදුන්නම හිත්වල කැකෑරෙන බුබුලු දමන විරෝධාකල්ප හැඟීම් වලට. අසහනයට. කොයි වෙලාවෙ හරි පුපුරල මතුවෙන්නෙ ඒ අසහනය. අවුරුදු තිහක යුද්දෙන් කිසිම පාඩමක් ඉගෙන ගෙන නැති එක නෙවෙයිනම් වෙන මොකක්ද මේ කියන්නෙ?

එතකොට ආණ්ඩු හිතවාදියො ගේන තර්කයක් තමයි ත්‍රස්තවාදීන් සමරන්ට ඉඩ දෙන්ට බැහැය කියන එක. දකුණෙ ඉල්මහ විරු සමරුව කියල ජ.වි.පෙ. සමරන්නෙත් ඒ විදිහට බලන කොට ත්‍රස්තවාදීන් තමයි. එතකොට ජ.වි.පෙ. ට තියන ඒ නිදහස උතුරට ඇයි නැත්තෙ?

එල්.ටී.ටී.ඊ. සංවිධානය මොන තරම් දරුණු ත්‍රස්තවාදී සංවිධානයක් උනත් ඔවුන් දිවි පිදුවෙ ඔවුන් හිතන විදිහට දෙමළ ජනතාවගෙ විමුක්තිය උදෙසා. ඔය මොනව උනත් මම හිතන්නෙ ඒ කාරණය සාමාන්‍ය දෙමළ ජනතාවගෙ හිත් වලින් අකා මකා දාන්න ලේසි වෙන්නෙ නෑ. One person's terrorist is another's freedom fighter. ඒ එක්කම යුද්දෙ අවසාන මාස කීපය සහ කූට ප්‍රාප්තිය, 2009 මැයි මාසය කියන්නෙ දෙමළ ජනයාට බොහොම දුක් කම්කටොලු දරාගන්ට සිද්ද වෙච්ච පණපිටින් අපාගත වුනු කාලයක්.

මගෙ දෙමල යාලුවෙක්ගෙ වයස්ගත දෙමව්පියො ඔය අවසාන යුද්දෙදි ගිරේට අහුවෙච්චි පුවක් ගෙඩිය වගෙ සන්තකේටම තිබ්බ සබ්බ සකලමනාවම අහිමිවෙලා අනාතයො වගෙ කිලෝමීටර් ගණනාවක් රෑ දවල් නැතුව පයින් ගිහිල්ල යාන්තං වෙඩි කන්නෙ නැතුව පණබේරගෙන තියෙන්නෙ. මගෙ යාලුව ඒ කතාව මා එක්ක කිව්වෙ අඬ අඬා...ඉතිං ඔන්න ඔහොම අපි මේ අවුරුදු පතා සමරන යුද ජයග්‍රහණය දෙමල මනුස්සයෙක් ඇහිං බැලුවම අමතක කලයුතු ඛේදවාචකයක්.

මම කියන්නෙ මේකයි.එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීම කිසේසේත්ම අවතක්සේරුවකට ලක් කරනව නෙවෙයි මේ. ඒත් දැන් මදැයි ඔය නාඩගම කියල හිතෙන්නෙ නැද්ද? දෙමල-සිංහල සංහිඳියාව ඇතිකරන්ට කලයුත්තෙ මේ වගෙ යුද ජයග්‍රහණ සමරන එකද කියන එකයි මට තියෙන ප්‍රශ්ණෙ.. අනික් අතට ඉතිං ආණ්ඩුවටත් මේ අවුරුදු පහට කලාය කියල පෙන්නන්ට හරිහමං දෙයක් නැති කොට ඔහොම සංදර්ශනයක්වත් පෙන්නන්ට එපාය මිනිස්සුන්ට ආතල් එකක් ගන්ට. ඒක තමයි මට හිතෙන්නෙ එකම හේතුව.

දැං ඔය යුද ජයග්‍රහණ සැමරීමට පක්ෂව ගේන එක තර්කයක් තමයි ලෝකෙ හැමතැනම ඕක කෙරෙනවය. දෙවෙනි ලෝක යුද්දෙ ජයගත්තු එක මිත්‍ර පක්ෂය අදටත් සමරනවය, ප්‍රංශ විප්ලවය ජූලි 14 වෙනිද සමරණවය කියන එක. ඒත් අරෙහෙ කරනව මෙහෙ කරනව ඒ නිසා අපිත් කරන්ට ඕන නෑනෙ. අපි කරන්න ඕනෙ විචාරශීලීව , මැදහත් සිතින් කල්පනා කරල බලල අපේ අනාගතයට වැදගත්වෙයි කියල හිතෙන දේ කරන එක.

මම හිතන්නෙ නෑ ජනවාර්ගික සංහිඳියාව අවංකවම ප්‍රාර්ථනා කරන කිසිම මනුස්සයෙක් මේ යුද ජයග්‍රහණ සැමරුම ඒකට උදව් වෙනවයි කියල හිතයි කියල. ඒත් අනික් අතට ආණ්ඩුවට ඕන මේ ප්‍රශ්ණෙ විසඳන්නෙ නැතුව යම් ප්‍රමාණයකට අවුලුවල තියාගන්න නම් මේ කරන දේවල් හරියටම හරි. බිල්ලෙක් පෙන්නල මිනිස්සු ටිකක් බයකරල තියාගන්න එක ආණ්ඩුවෙ පැවැත්මට කොහොමත් හොඳයි. එන්.ජී.ඕ. බටහිර කුමන්ත්‍රණ, ඩයස්පෝරා..විදුලි පුටුව...ඔය කාලෙන් කාලෙට එලියට එන නාඩගම් තමයි.

මේ අවුරුදු පහක කාලය ඇතුලත ආණ්ඩුව කරපු එක දෙයක් උගත් පාඩම් සහ සංහිඳියා කොමිසම පත් කිරීම. ඒත් ඒකත් ජාත්‍යන්තර බලපෑමෙන් බේරෙන්ටම බැරුව. නැතුව කොහොමවත්ම අවංක චේතනාවකින් නම් නෙවෙයි පැහැදිලිවම. දැන් ඒකෙ වාර්තාව ජනාධිපතිට භාරදීලත් සෑහෙන කාලයක් ගියා. තවම නෑ ඒකෙ නිර්දේශ ක්‍රියාත්මක කරන්ට වගක්වත්. ජාත්‍යන්තර ප්‍රජාව ඒ ගැන ප්‍රශ්න කලාම කියන්නෙ එහෙම එක පාරට එව්ව ක්‍රියාත්මක කරන්න බැරිය. ඒකට තව කල් ඕනය. ඒ ගැන පාර්ලිමේන්තුවෙ අදහස් ගන්න ඕනය.ඔන්න ඔය වගෙ බයිලා.


එතකොට රටේ වැදගත්ම ප්‍රශ්නය වෙච්චි ජනවාර්ගික අර්බූදයට විසඳුමක් යෝජනා කරන්න තමයි කල් ඕන. අගවිනිසුරුවරිය ගෙදර යවන්න ගියෙ දවස් තුනයිද කොහෙද..පාර්ලිමේන්තුව මහ රෑත් එක්ක රැස්වෙලා ඒ යෝජනාව සම්මත කරගත්තෙ.එතකොට බොහොම හදිස්සියෙ සම්මත කරගත්ත ජනාධිපතිගෙ නිලකාලය දෙවරක්ය කියල සීමා කරල තිබ්බ ව්‍යවස්ථාවෙ වගන්තිය සංශෝධනය කල යුතුය කියන යෝජනාව.එතනිං ගිහාම අර ස්වාධීන කොමිෂන් සභා බල රහිත කිරීමේ යෝජනාව. අපරාදෙ කියන්ට බෑ. එව්ව නම් බොහොම කඩිමුඩියෙ සම්මත කරගන්නව. උතුරෙ ප්‍රශ්නයට විසඳුමක් ගෙනෙන්ට තමයි තව කල් වේලා ඕනය කියන්නෙ...ඉතිං කාටද අම්මප මෙව්ව කියන්නෙ?

අවංකවම ඔබේ හදවතට එකඟව කියන්න මේ අවුරුදු පහ ඇතුලත ආණ්ඩුවෙ කල්ක්‍රියාව නැත්තං කැරැට්ටුව ගැන ඔබ සෑහීමට පත් වෙනවද? අපි අනික් කාරණා පැත්තක තියමු. හම්බන්තොට වරාය, ගුවන් තොටුපොල, නීතිය ක්‍රියාත්මක නොවීම, ආණ්ඩු පක්ෂයේ දේශපාලකයින්ගේ දූෂණ සහ මැරක්‍රියා, සම්මුතිය තුට්ටුවකට නොසලකා තමන්ට අවශ්‍යය පරිදි අත්තනෝමතිකව බලය තහවුරුකරගැනීම , අධිකරණය අතකොළුවක් කර ගැනීම ...ඒ ඔක්කොම පැත්තක තියමු. වසර තිහක් තිස්සෙ රටේ ජාතික ධනය කෙල කෝටි ගණනක් කාබාසීනියා කරපු මිනිස් ජීවිත දස දහස් ගණනක් විනාශ කරපු යුද්ධයකට හේතුවුනු ජනවාර්ගික අර්බුදය විසඳීමට පසුගිය අවුරුදු පහ ඇතුලත් මේ ආණ්ඩුව ගෙන ඇති පියවර පිළිබඳව ඔබ සෑහීමට පත් වන්නේද?

Saturday, May 17, 2014

259. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 20 - I Just Called To Say I love You


Image : bambalapitty.blogspot.com/

ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 15 - කොටසෙදි මම මෙහෙම කිව්ව. 

/ රයිට් ආපහු යමු මුලටම..කතාරම්බයට...අන්තිමට කොහොම හරි අපෙ ලොක්කත් ඇවිල්ල රැස්වීමත් තියල දවල් එකට වගෙ බත් ටිකකුත් කාල මම බස් එකේ නැග්ග මාතලේ එයාලගෙ ගෙදර යන්ට. /

/ ඒ දවස්වල එයාලගෙ ගෙවල් පැත්තට යන්ට ඒ හැටි බස් තිබ්බෙ නෑ. මාතලේ ඉඳල යන්ට ඕන කිලෝ මීටර් 10 -12 වගෙ.ගහේ නඟිනව වගෙ කන්දක් නැඟල ආපහු බැහැපුවාම තියෙන බොහොම ස්වභාව සෞන්දර්යයෙන් අනූන නිම්න භූමියක තමයි එයාලගෙ ගෙදර තියෙන්නෙ. වටේටම කඳු. දෙසැම්බර් කාලෙට හේම ඔය වටේට තියන කඳු වළල්ල මුළු දවසෙම බාගයක් විතර මීදුමෙන් වැහිල තියෙන්නෙ. සමහර වෙලාවට කඳු මුදුන් මීදුම් වළාවට ඉහලින් පෙනෙනව. පුදුම ලස්සනක්. /

ඔතනදි තමයි චුට්ටි අයිය ගැන කතාව ඇදිල ආවෙ..හරි දැන් චුට්ටි අයිය ගැන කතාව ඉවරයිනෙ. ආපහු යමු ආයම මම මාතලෙන් බස් එකේ නැඟල එයාලගෙ ගෙදර යන තැනට...

මාතලේ -දඹුල්ල පාරෙන් වමට හැරිල කන්දක් නඟින්ට තියනව එයාලගෙ ගමට යන්ට. ඒ කන්ද මුදුනට කියන්නෙ මුදුන කියල. ඊට පස්සෙ ආයෙම පල්ලම් බහින්ටයි තියෙන්නෙ.

ඔය කන්දෙ මැද හරියෙ වගෙ තියනව බීරිදෙවොල කියල තැනක්...පොඩි සිල්ලර කඩයක් දෙකක් සහ මහ විසාල නුග ගහක් තියනව. එතනම කෝවිලකුත් තියනව. ඔය නම මහ අමුතුයිනෙ..බිරිදෙවොල...ඔය අමුතු නම් ගම් ඇහුවම මම ටිකක් හොයල බලනව ඒ ගැන. මොකද එව්වයෙ පසුබිම් කතාවල් බොහොම වෙලාවට හරිම අපූරුයි.

" මොකද ඔය බිරිදෙවොල කියන්නෙ ඔතනට? " මම ඉස්සෙල්ලාම අපෙ උන්දැගෙන් ඇහුව.

" හරියටම තේරුමක් නම් දන්නෙ නෑ අනේ..අප්පච්චි දන්නව ඇති අහල බලන්ට…"

අප්පච්චිගෙන් ඔන්න මම ඇහුව . එයත් හරියට විස්තරයක් දැනගෙන හිටියෙ නෑ. මම ඉතිං ග්‍රාමනාම උත්පත්තිය පිළිබඳව මගේ පර්යේෂණය තාවකාලිකව අමතක කරල දැම්ම.

ඔය අපෙ උන්දලගෙ ගමට යන පාර බොහොම කඳු සහිත දුර්ග මාර්ගයක්. වැලමිටි වංගුම තමයි දිගටම. පාර දෙපැත්තෙම මාන කැලේ. කන්ද කපල හදපු පාර නිසා පාරෙ දකුණු පැත්ත සම්පූර්ණයෙන් මාන ගාල. බස් එක හදිස්සියෙන්වත් කොට පටවගෙන පළාපත්වල දිහා මෝලකට යන ලොරියකට ඉඩදෙන්ට අයින් කලොත් මාන ගාල කෙලිම්ම බස් එකේ ජනේලෙන් ඇතුලට ඇවිල කටේ හිටං..තුහ්ප්....තුහ්ප්...

ඒ දවස්වල ඔන්න ආපි ප්‍රාදේසීය සබා චන්දයක්.එහෙ සබාපති තුමත් දනිපනිගාල ඉසගිනි ගත්තකු එගිනි නිවනසේ වැඩ කරන්ට ගත්ත. පාරවල් වලට තාර දාගෙන ගියා ගිනි කසේට. පාර දිගේ ඉස්කෝලෙ යන පොඩි එවුන්ගෙ කකුල්වලට හිටං තාර දැම්ම.ගමේ ලයිට් නැති පාරවල දිගේ ලයිට් කණු ගෙනල්ල ගොඩ ගැහුව. " අංක 19 කලු මල්ලී වැඩිම මනාපයෙන් සබරගමු පළාත් සබාවට " ලයිට් කණුවට අලවල තිබ්බ දැන්වීම ඉරන්ට හදල තිබ්බට ඒ අකුරු තවමත් කියව ගන්ට පුලුවන්. පාන්දර වැඩට ගිය මිනිස්සු රෑ ඇටපල් කලුවරේ හිත් හෝදිසියට ආපහු එනකොට ඔය ලයිට් කනුවල කකුල් හප්පගෙන ඇඟිලි පොඩි කරගත්ත. ඇයි දෙයියෝ සාක්කි. උදේ යද්දි නොතිබිච්ච ලයිට් කණු තොගයක් පාරෙන් බාගයක් වැහෙන්ට ගොඩගහල තියනකොට, රෑ කලුවරේ ඕකට ඔට්ටුවෙන එක ආය වෙනම කියන්ටත් දෙයක්ද? නැද්ද?

ඉතිං මම අර කියපු ගන සැරේට මානා වැවිල තිබ්බ දහ අට වංගු පාරෙත් දෙපැත්තෙ කැළේ කැපුන. කැති, වීසි කැති, මන්න පිහි අරගෙන සබාපතිගෙ ගෝල බාලයො ටික හිටු කියල වැඩේට බැස්ස. සතියක් යනකොට පාර එලිඋනා බලන්ට ලස්සනයි. ඊළඟ පාර එයයි මායි වීක් එන්ඩ් එකේ ඔන්න ගෙදර එනව. කන්ද මැදක් නඟිනකොට තියනව සමන් පිච්ච වවපු කෑල්ලක් අක්කර පහක වගෙ. මාතලේ කෝවිලට මල්මාලා හදන්ටයි ඒ සමන් පිච්ච මල් ගන්නෙ. ඊට අමතරව ඔය සමන් පිච්ච වත්තෙන් කොළඹ බොහොම ප්‍රසිද්ධ කෝවිල් කීපයකට මල් යවනව කියල මට කිව්වෙ අපෙ උන්දැගෙ අප්පච්චි. අරූ දවස් තුන හතරකට කලින් ලියපු පෝස්ට් එකෙත් ඒ බව කියල තිබ්බ. අනික මම ඔය ගැන පොඩ්ඩක් හෝදිසි කලාම තව බම්බලපිටිය ගැන ලියන බ්ලොග් එහෙකත් ඒ කතාවම තිබ්බ.

රෑ ඔය හරියෙන් එනකොට හුළඟ එහෙම තදට තිබ්බෙ නැත්තං සමන් පිච්ච සුවඳ පපුව පිරිල ඉතිරිල යනව. ඔය දෙවියො වඩිනකොට සමන් පිච්ච සුවඳ හමනවයි කියන කතාව අහල තියද? මට දෙතුන් පාරක්ම එහෙම දැනිල තියනව. අහල ගං හතක සමන් පිච්ච පඳුරක් නැතුව තියෙද්දි එක පාරට රෑ දෙගොඩ හරියෙ එනව නාහෙ කඩාගෙන යන්ට සමන් පිච්ච සුවඳ.....

මට අවුරුදු දොළහක් වගෙ කාලෙදි......අපෙ මිදුලෙ ලාවුලු ගහයට පිට ලෑලි පලුවක් හරහ දාල හදල තිබ්බ බංකුව උඩ අත්තම්මයි මායි ඉඳගෙන ඉන්නව ආකහේ දිහා බලාගෙන. අහසෙ එක වළාකුලක්වත් නෑ...පුරා හඳ රබානකට සුදු තීන්ත ගෑවහේ දිළිහෙනව. ලවුළු ගහේ කොළ යන්තමට සර සර ගෑවිල්ලෙ හමන හීතල හුළඟත් එක්ක ඔන්න සමන් පිච්ච මල් සුවඳක් ගලාගෙන එනව..

" මොකක්ද අත්තම්මෙ ඒ සුවඳ? " මම අත්තම්ම දිහාවෙ හැරිල අහනව..

" ෂ්...ෂ්...කෑ ගහන්ට එපා..අපි යමු ගෙට …" අත්තම්ම හෙමිහිට මගෙ අතත් අල්ලගෙන නැඟිටිනව.

" ඇයි අත්තම්මෙ? "

" යංකො ගෙට මම ගෙට ගියහම කියන්නං…"

" ඔය විදිහට සමං පිච්ච සුවඳ හමන්නෙ දෙයියො මිදුල උඩින් වඩිනකොට. ඒ වෙලාවට මුලිච්චි වෙන්ට ඉන්ඩ හොඳ නෑ…"
ගෙට ගිහිල්ල කොරිඩෝවෙ බිත්තියට හේත්තුකරල තියන ඩිවාන් එකේ ඉඳගෙන අත්තම්ම මා දැක්ක කියනව.

මේ මෑතක අපෙ ගෙදර එළියෙ ජපන් අරලිය ගහ ගාව ඔහොම හඳ පායලු දවසට රෑට කාල එහෙම වේවැල් පුටු දෙකකුත් තියාගෙන අපි දෙන්න ඔහෙ ඉඳගෙන ඉන්නව.ගම්පල පැත්තට යන බඩු කෝච්චියක සද්දෙ ටික ටික තුනී වෙල යනව. හන්තාන පැත්තට වවුල්ලු හත් අටදෙනෙක් එක රංචුවට පියාඹන යනව. ඔන්න එක පාරටම සමන් පිච්ච මල් සුවඳකින් පපුව පිරෙන්නෙ හුළඟ පොදක්වත් නැතුව.

" කොහෙන්ද ඒයි ඒ සමන් පිච්ච සුවඳ? " හුස්මක් උඩට ඇදල පෙණහළු පුරවගෙන ඈ අහනව.

" යංකො ගේ ඇතුලට...." වේවැල් පුටුවත් උස්සගෙන මම නැඟිටිනව..

" ඔහොම සමන් පිච්ච සුවඳ හමන්නෙ දෙවියො වඩිනකොට..ඒ වෙලාවට පේන්ට ඉන්ට හොඳ නෑ…"

" කවුද ඔය විස්තර කිව්වෙ ඔයාට?.."

" අපෙ අත්තම්ම...."


එයාලගෙ ගමට යන පාරෙ අර චන්ද කාලෙ කැලේ කැපුනම, සමන් පිච්ච වවල තිබ්බ කෑල්ලට පල්ලෙහයින් පාරෙන් උඩහට ගුරු පාරක් මතු උනා. කලිනුත් ඔතන පරණ යකඩ ගේට්ටුවක් වගෙ පේන්ට තිබ්බට ඒකෙ තුන්කාලක් විතරම මාන කැලේට වැහිලයි තිබ්බෙ. ඒ ගේට්ටුව එක්කම පැත්තකිං කළුගලෙන් බැඳපු නාම පුවරුවක් පැහැදිලිව පේන්ට ගත්ත. ඒ කලුගල් නාම පුවරුවෙ සුදුපාට තිරුවාණ ගල් අල්ලල පාරට පේන්ට ඉංගිරිසි අකුරු වලින් මෙහෙම ලියල තිබ්බ. Brindwell Bungalow.....

බංගලාව කිව්වම අපි පොඩි කාලෙ කියපු සිංදුවක් මතක් උනා ඔන්න. අම්මල එහෙම ඉන්න තැන අපි මෙව්ව කියන්නෙ නෑ...සිංදුව දිගට තිබ්බ..මුල හරිය විතරයි මතක.

සීයා මනමාලයා…
නාකි ඉලන්දාරියා...ඕ..ඕ..ඕ..... 
බංගලාවෙ බත්ම කාල…..
එන්න එන්න ලස්සනයි...
එන්න එන්න ලස්සනයි...

ඔන්න ඒ වෙලාවෙයි මට මීටර් උනේ බිරිදෙවොල කියල ඒ හරියට නම වැටිල තියෙන්නෙ මේ කියන Brindwell ඉංගිරිසි වචනෙන්ය කියල.. අපේ මිනිස්සුන්ගෙ කටට උච්චාරණය පහසු විදිහටයි එහෙම හදාගෙන තියෙන්නෙ.

ඒ සමාන තව හදාගත්තු එව්ව තියනව. කරුණාසේන ජයලත් මහත්මයගෙ රිදී නිම්නය පොත කියවල තියද? ඒකෙ කියවෙනව Silver Valley කියල පොල් වත්තක් රජයට අරගෙන කුඩා කොටස් වලට කඩල ඉඩම් නැති මිනිස්සු අතරෙ බෙදා දුන්නු කතාවක්. ඒ වත්තෙ ඇතිවෙච්චි ගම්මානෙ මිනිස්සු හඳුන්වල තියෙන්නෙ සිල්ලර එළිය කියල. ඒ අර සිල්වර් වැලී කියන නම කටට පහසුවට උච්චාරනය කරපු විදිහ.අරූගෙ අලුත්ම පෝස්ට් එකේ කියවුනා මිලාගිරිය සෙන්ට් පෝල්ස් ගැන. දන්නවද ඔය මිලාගිරිය නම හැදුනු විදිහ? ඔතන බොහොම පරණ පල්ලියක් තිබිල තියනව. පෘතුගීසි කාලෙ එකක්. ආශ්චර්යේ අප ස්වාමිදියණියගේ දේවස්ථානය. Church of Our Lady of Miracles ....සම්පූර්න නම කිව්වොත් අන්න එහෙමයි. අවර් ලේඩි ඔෆ් මිරකල්ස්...පෘතුගීසි භාෂාවෙන් මිරකල්ස් කියන්නෙ මිලාග්‍රේ කියල. අන්න ඒ මිලාග්‍රේ කියන වචනෙන් තමයි මිලාගිරිය ඇවිල්ල තියෙන්නෙ.

මසංගස් වීදිය කියන්නෙ ඒ පාර දෙපැත්තෙ මසංගස් තිබ්බ නිසා නෙවෙයි. මුල් නම ඇවිල්ල Messenger Street. …..Messenger කියන ඉංගිරිසි වචනෙ දේශීය ඌරුවට කියවුනේ මසංගස් කියලයි.

මේ තවත් ලස්සන කතාවක්...අපි ඔය කැලේ මැද්දෑවෙ ඉන්දැද්දි අපෙ යාලුවෙක් හිටිය ජයේ කියල. ජයේ අපිට වඩා ටිකක් විතර වැඩිමහලු තලත්තෑනි මනුස්සය. ජයේ ගැන තියනව අපූරු කතා මහ ගොඩක් පස්සෙ වෙලාවක කියන්නං..ජයේ කතෝලික..ගම ජා-ඇල..අර රුක්මණී ප්‍රතිමාව තියෙන්නෙ..ඒ හරියට කියන්නෙ කුරණද කොහෙද නේද? අන්න ඒ ප්‍රතිමාවට හංදි දෙකක් විතර එහා ජයේගෙ ගෙදර.

එක නත්තලක ජයේ අපි දෙතුන් දෙනෙකුට එන්ට කිව්ව එයාලගෙ ගෙදර.අන්තිමට කොහොම හරි එහෙ යන්ට සෙට් උනෙ කුමාරයි මායි විතරයි.කොටුවෙන් ජා-ඇල ට ඇවිල්ලද කොහෙද අපි ඔන්න කේක් ගෙඩියක් එහෙමත් අරං නැග්ග ජයේලගෙ ගෙදර යන්ට. සෙනඟත් ඒ හැටි නෑ. නත්තල් දවසනෙ. කොන්දොස්තර කොලුව මඟ දිගට කෑගහනව ඉස්සරහට එන හෝල්ට් එකේ නම කියල.

ඔන්න මූ එක පාරටම කෑගහන්ට ගත්ත " නෝ බෝල් හන්දිය බහින්ට..ආ..නෝ බෝල් හන්දිය බහින අය ඉස්සරහට එන්ට.." කියල..

" මේ මොන කුණුහරපයක්ද බොල මේ? " කුමාරයි මායි මූණෙං මූණ බලාගත්ත." නෝ බෝල් හන්දිය???…. ඈ???? "

ජයේගෙ ගෙදර ගිහිල්ල උගෙ අතට කේක් ගෙඩිය දුන්නු ගමං මම ඇහුවෙ ඕක..

" මේ මචං මොකක්ද අර නෝ බෝල් හන්දිය කියන්නෙ? අපි එන බස් එකේ කොන්ද කෑගැහුවෙ නෝ බෝල් හන්දිය බහින්න, නෝ බෝල් හන්දිය බහින්න කියල.."

" හිහ්,හිහ්……." ජයේ මහ හයියෙං හිනා උනා. " අර ඉන්නෙ බං අරූ…" ඒ දවස්වල හිටපු ප්‍රසිද්ද ෆාස්ට් බෝලර් කෙනෙක්ගෙ නම කියල ජයේ ආයෙම ගේ දෙකක් වෙන්ට හිනාඋනා.

" ඔයි යකා ඕවර් එකකට නෝ බෝල් දෙකක්වත් දානවනෙ අනිවාර්යයෙන්. මිනිහගෙ ගේ තියෙන්නෙ ඔය හන්දියත් එක්කම දකුණු පැත්තෙ. ඒ හින්ද ඔතනට නෝ බෝල් හන්දිය කියලයි දැං හැමෝම කියන්නෙ...හිහ්...හිහ්…"

ඉතිං මාතලේ ඉඳල බිරිදෙවොල අරක මේක ඔක්කොම පහුකරගෙන ඇවිල්ල එයාලගෙ ගෙවල් ගාව හෝල්ට් එකේ මම බැස්ස මගෙ මල්ලත් කරේ දාගෙන.බැහැල පොඩි ගම් සබා පාරක් දිගේ යාර දෙතුන් සීයක් යන්ට ඕන එයාලගෙ ගෙදරට.පාරෙ වම් පැත්තෙ කලුපාට යකඩ බට වලින් හදාපු ගේට්ටුවෙන් ඇතුලු උනහම වත්ත මැද්දෑවෙයි එයාලගෙ ගෙදර තියෙන්නෙ. එතනම වම් පැත්තෙ වැට දිගටම වතු සුද්ද පඳුරු හදල තියනව හත අටක්ම.

ගමන් මල්ල වම් උරහිසින් දකුණට මාරුකරල මම ගේට්ටුව ඇරගෙන ඇතුල් උනා. එයාලගෙ අම්ම පොඩි පංකොළ වට්ටියකට වතුසුදු මල් කඩමින් ඉඳල ගේට්ටුව ඇරෙන සද්දෙට හැරිල බැලුව.

" පුතා???? අද එන්නෙ නැතිවෙයි කියලයි චුට්ටි දුවනම් කිව්වෙ? " අම්මා මා දිහා බලල හිනාඋනා…

" ඔව් අම්මෙ, වැඩ වගයක් තිබුණ නිසා නෑවිත් ඉන්නයි හිතුවෙ. ඒත් පස්සෙ ඒ වැඩ ටික දවසක් දෙකක් කල්ගියා.." මම අම්මට එහෙම කියල ඉස්තෝප්පුවට ගොඩ උනා.

එතකොටයි මට මතක් උනේ..දෙයියෝ සාක්කි..අම්මට සනීප නෑ කියල නේද මුන්දැ ඊයෙ හවස ආවෙ.එතකොට? අර ....හරි අම්මට බෙහෙත් අරන් දීල එක්ක එන්න ඇති.ඒත්......

මම හෙමිහිට අපෙ කාමරේට ගියා. එයා ඇඳේ බිත්තිය පැත්තට හැරිල නිදි. බෑග් එක බිත්තිය අයිනෙ තිබ්බ ලියනමේසෙ උඩ තියල මම එයා ලඟින් ඇඳේ ඉඳගත්ත. විනාඩියක් දෙකක් එයා නිදියනව බලා ඉඳල මගෙ කොට්ටෙ උස අතර ඇඳ විට්ටමට හේත්තුකරල කොට්ටෙට ඇලවුනා.එයා තාමත් බරටම නිදි. හුස්ම ඉහල පහල දානව ඇහෙන විදිහෙන් එහෙම කිව්වැකි ටක්කෙටම.

මටත් මම හිතන්නෙ එහෙම්මම නින්ද ගියාදත් මන්ද. එක පාරට ගැස්සිල ඇහැරිල බලනකොට මෙන්න එයා ඇහැරල මා දිහාවෙ බලගෙන ඉන්නව. දෙතොලග යන්තමට ඇඳිල තිබ්බෙ මද සිනහවක්. මම නැමිල හෙමිහිට ඇගෙ නලල සිපගත්ත. ඈ ආයෙම හිනාවුනා.

" අම්මට බෙහෙත් අරං දුන්නද ඒයි? …" මම ඇහුව....

" හිහ්...හිහ්…" ඈ හිනාවුනා.

" මොකද හිනා වෙන්නෙ? " මම ඇඳේ කෙලින්වෙලා ඉඳගත්ත.

" අම්මට තිබ්බ අසනීපයක් නෑ."

" ඈ???. එතකොට? "


" මම ඒ බොරුවක් කියලයි ඊයෙ ආවෙ? " ඇගෙ ඇස් දෙක දිහාවෙ මොහොතක් බලා ඉඳල මම අහක බලාගත්ත.

" ඇයි එහෙම බොරුවක් කිව්වෙ? …" මම ඇහෙන නෑහෙන ගාණට ඇහුව.

" පුතා...දැන්මම තේ බොනවද? මූණ කට හෝදගෙන ඉන්නවද? " අම්ම කාමරේ දොරගාවට ඇවිල්ල ඇහුව.

" දැන්ම එපා අම්ම. වතුර ටිකක් ඇඟට දාගෙනම ඉන්න ඕන…" මම හඬ උස් කරල කිව්ව අම්මට ඇහෙන්න…

" හා එහෙනං.." අම්මගෙ සෙරෙප්පු සද්දෙ කුස්සිය දිහාට විහිදුනා.

" ඇයි එහෙම බොරුවක් කිව්වෙ?..." මම ආයෙම ඇහුව…

" බොරුවක් කියල මම ගෙදර ආවෙ ඇයි කියල ඔයා හොඳටම දන්නව…" ඇගේ මුහුනෙ තිබ්බ හිනාව ටික ටික මැකිල යනව මම දැක්කෙ නැතුවට මට එහෙම හැඟුන.

" ඔයාට ඕන වෙල තිබ්බෙත් ඒකනෙ. හා, නෑ කියන්ටකො බලන්ට පුලුවන්නම්.." ඈ මගෙ මූණ දිහා එක එල්ලේ බලාගෙන ඇහුව. ආයෙම මට අහක බැලුන.

" එතකොට හදිසි වැඩ තියනවයි අරකයි මේකයි කියල උඩ පැන්න මනුස්සය මේ තකහනියක් ආවෙ මොකටද? " ඒ දිහාවෙ නොබැලුවත් ආයෙම ඈ හිනාවෙනව කියල මට තේරුන ඒ ස්වරයෙන්.

" මම නොකිව්වට ඒ ඇයි කියල මම හිතන්නෙ ඔයා හොඳටම දන්නව. " මම තොල් හපාගෙන කිව්වෙ ඇඳෙන් නැඟිටල බෑග් එක අරින ගමන්.

" සික් හදිස්සියෙනෙ ආවෙ…. සරමක් ගෙනල්ලත් නැද්ද කොහෙද? මේ..අප්පච්චිගෙ සරමක්වත් දෙන්ටකො."

ඈ නැඟිටල බිත්ති මුල්ලෙ තිබ්බ අල්මාරිය ඇරිය…

" ආ….." මම ඈ දිහාට හැරුන. ඇගේ අතේ තිබ්බෙ මගෙ කහපාටයි දුඹුරු පාටයි බතික් සරම.

" මේක කොහෙන්ද මෙහාට? " මම සරම අතට ගන්න ගමන් ඇහුව.

" මම ඊයෙ එනකොට අරගෙන ආව."

" ඒ මොකටද? "

" ඔයා අද එනවයි කියල මම දැනගෙන හිටිය. " ඈ මගෙ අතක් අල්ලගෙන කිව්ව. මම ඈ මගෙ පපුවට තුරුලු කරගත්ත.

" ඇති…. දැන් අම්මත් එයි..ආයම තේ බොනවද කියල අහගෙන " ඈ මගෙන් ඈත්වෙලා දොර ගාවට ගියා.

දොර රෙද්ද මෑත් කරල ආයෙම හැරිල මට දිව දික්කරල හිකි හිකි ගාල හිනාවෙලා ඈ යන්ට ගියා.

අද 2014 මැයි 17....එකුන් විසි වසරක ශේෂපත්‍රය.......

වසර දහනමයක්....ජීවිත කාලයක් වගේ....ඔව්...සෑම දිනක් පාසාම යලි යලිත් ඉපදුනු ජීවිත කාලයක්….

හෝරාවකට පමණ පෙර මම ඇයට ඇමතුමක් ගත්තා....

"I Just Called To Say I Love You"

No New Year's Day to celebrate
No chocolate covered candy hearts to give away
No first of spring
No song to sing
In fact here's just another ordinary day

No April rain
No flowers bloom
No wedding Saturday within the month of June
But what it is, is something true
Made up of these three words that I must say to you

I just called to say I love you
I just called to say how much I care
I just called to say I love you
And I mean it from the bottom of my heart

No summer's high
No warm July
No harvest moon to light one tender August night
No autumn breeze
No falling leaves Not even time for birds to fly to southern skies 

No Libra sun
No Halloween
No giving thanks to all the Christmas joy you bring
But what it is, though old so new
To fill your heart like no three words could ever do 

I just called to say I love you
I just called to say how much I care, I do
I just called to say I love you
And I mean it from the bottom of my heart 

I just called to say I love you
I just called to say how much I care, I do
I just called to say I love you
And I mean it from the bottom of my heart, of my heart,
of my heart

Monday, May 12, 2014

258. විමලෙගෙ වාංපතුල් කතා - 11….පස්වන අගනා භාර්යා වර්ගය.- The Fifth Category of Great Wives



හෙටද කොහෙද වෙසක් පෝය නේද? බණ කතාවක්ම ලියමුකො එහෙනං..පුදුම වැඩේ කියන්නෙ හැලපෙත් මේ ඊයෙද කොහෙද ලියල තිබ්බ මීට බොහොම සමාන කතාවක්. 

මත්පැන් පානය ගැන නිතරම කතාකරනවය, එතනිං ගියහම බොනවය කියන්නෙ මහා ලොකු දෙයක්ය කියල හැඟෙන ආකාරයට කතා ලියනවය කියල මගෙ ඇඟට ගොඩ උනා අපේ මනේකා නෝම් මහත්තය. ඔය බබලත්තු යමක් කිව්වම එහෙම නෙවෙයි, අරමය, මෙහෙමය කියල ගහ පහ දෙන්ට යනවට වඩා දාහෙන් සම්පතයි එසේය මැතිණිය.... කියල එකඟ වෙලා ඒ කියන විදිහකට කරන එක. එහෙම උනාම එයාලටත් ඕක අමතකයි වරුවක් යන්ට ඉස්සෙල්ල. එහෙම නැතුව උඩ පැනල නටල කෑගහල වාද කරන්ට ගියානං වෙන්නෙ ඕක එයාලටත් මතක හිටිනව.

නෝ ප්‍රොබ්ලම් ඩියර් මැඩම්, ඈස් යූ විෂ්, එහෙම නැත්තං එසේය ගරු මැතිණියනි, ඔබගේ අණ පිළිපැදීමට සැදී පැහැදී සිටින්නෙමි. ඔහොම කිව්වම හරි. ඒත් දෙතුන් පාරක් ඔහොම කියනකොට ඒකටත් බණිනව. මොකද ඔක්කොම කෝළමක් කරගෙන ෂේප් වෙන්ඩද හදන්නෙ? ඔන්න ඔහොම කියල..ඉතිං කාටද මේ අවනඩු කියන්නෙ?

තිසර මලය ඒ පාර දුන්න උපදෙසක් අයියෙ උඹ මීට පස්සෙ එහෙනං අරක්කු නොකියා කොත්තමල්ලි, අමාවතුර , උණුකර නිවාගත් ජලය, ඔන්න ඔය වගෙ වචනයක් කියාපං එතකොට ඔය දෙහි කැපිලි නැතිවෙයි කියල.බලාගෙන යනකොට ඒකත් ඇත්ත.

1997-98 වගෙ චන්ද්‍රිකා ජනාධිපති කාලෙ යුද්දෙ ගිණි සැරේට කෙරෙද්දි ඔන්න ආණ්ඩුවෙන් දැම්ම පුවත් වාරණයක්. යුද්දෙ සම්බන්ද කිසිම පුවතක් පලකරන්ට බෑය කියල.පුවත් බලධරය හැටියට පත්කලේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ තනතුරේ හිටපු ආරිය රූබසිංහ මහත්මය.ඒ දවස්වල තිබ්බ යුක්තිය කියල ටැබ්ලොයිඩ් ප්‍රමාණයෙ පත්තරයක්.කර්තෘ හිටියෙ සුනන්ද දේශප්‍රිය.දැං ඔය ප්‍රවෘත්ති සාකච්ඡා එහෙම තියල අපේ ලේ පිරිසිදු කරන කෝණංගියගෙ භූමිකාව බාරගෙන ඉන්න මහින්ද දේශප්‍රිය නොහොත් මැ.කො. කියන්නෙ සුනන්දගෙ මල්ලි.

එක අතකට මැ.කො. හරි. මේ ආණ්ඩුව එක්ක වැඩකරන්ඩ නම් කිසිම දෙයක් සීරියස් අරගෙන බෑ. ඔක්කොම විහිලුවකට අරගෙන හිනාවෙලා හිටියම හරි. නැත්තං කලින් හිටිය මැ.කො. වගෙ ආතතිය හදාගෙන තමයි පැංසොං පලච්ච දාට ගෙදර යන්ට වෙන්නෙ.

හරි, කෝණංගීන් සහ ආතතිය ගැන ඒ ඇති. යුක්තිය ගැන ආයමත්. ඉතිං ඔය යුද පුවත් වාරණය දාපු වෙලාවෙ යුක්තිය කලේ යුද්දෙට යුද්දෙ නොකියා සැණකෙළිය කියල ඒ ගැන වාර්තා පලකරපු එක.

" උතුරේ සැණකෙළිය පසුගිය සතියේ ඉතාමත් උණුසුම් ලෙස පැවතිබව අපට වාර්තාවේ. දකුණු සැණකෙලි කරුවෝ දාහතර දෙනෙක්ද උතුරු සැණකෙළි කරුවෝ දහ අට දෙනෙක්ද සැණකෙළියේ අධික උණුසුම දරාගත නොහැකිව දෙව් ලොව බලා ගිය බවද ආරංචි මාර්ග සඳහන් කරයි. "

ඒ කාලෙ මොනව උනත් අදට වඩා විවේචනය කිරිමේ නිදහස තිබ්බ. මහජන මුදල් බිලියන ගණනක් වියදම් කරල හදපු ආසියාවෙ ලොකුම මොණර අභය භුමිය සහ ලෝකයෙ ලොකුම රට හාරා තැනූ වතුර වල බලන්ට විපක්ෂයේ මන්ත්‍රීවරු ගිහාම එවුංට බිත්තර සහ ගල් මුල් වලින් පහර දෙන්ට එන ගම් වැසියන්වත් ගම්වැසියන්ගෙ ප්‍රහාරයෙන් ඔවුන් බේරාගැනීමට සෙරෙප්පුත් නැතුව උපන්දා සිටම එල්ලාගෙන ඉන්න පිස්තෝලය වනමින් සහ පොඩි එකාගෙ සෙල්ලම් පිස්තෝලය අමෝරාගනිමින් දුවගෙන එන නගරාදිපතිවරුන්වත් එදා හිටියෙ නෑ.

කොටින්ම ඒ කාලෙ හිටියෙ විරුද්ද පක්සෙ වේදිකාවෙ සිංදු කියපු ගායකයෙක්ගෙ උනත් ඔලුවෙ උකුණො ඉන්නවයි කියල ආරංචි උනහම තමංගෙ ආරක්සාවට ඉන්න බටයො යවල ඔලුවට පෙට්රල් දම්මවල කොණ්ඩෙ කප්පවල ඒ කලයුතු අනෙකුත් සත්කාර නොපිරිහෙලා ඉස්ට කරපු රාජ්‍ය නායිකාවොයි. අන්න එහෙමයි ඒ කාලෙ...හෙහ්,හෙහ්,

මදැයි, වෙසක් එකට බණ කතාවක් කියන්ට ආවෙ...රටේ නැති බහුබූතනෙ මේ කියවල තියෙන්නෙ.හරි එගෙනං ඔන්න කතාව ..............

අපි ඔය ඒ කාලෙ හවහට මිදුලෙ පැත්තක ගිණිමැලයක් එහෙම ගහල ඒ කිටුව රවුමට පුටු කාරිය තියාගෙන කොත්තමල්ලි වතුර බෝතලයක් දෙකක් ගහන පුරුද්දක් තිබ්බනෙ.ඔහොම ගහද්දි ඉතිං නොයෙක් කතන්දර කියවෙනව. මොකද ඔය කොත්තමල්ලි පානය ඇවිල්ල සෝෂල් ඉන්ටර් ඇක්ටිං අවස්තාවක් ඇත්තටම. පත්තරවල තිබ්බ එව්ව, රේඩියෝ එකේ නැත්තං ටී.වී. එකේ ගිය එව්ව, නැත්තං ගෙදර ගිහිල්ල ආපු උදවිය කියන ගෙවල් වල වෙච්චි ආතල් කේස්, බස් එකේ වෙච්චි එව්ව, එහෙමත් නැත්තං කවුරුහරි කියපු යාං හෑලි ඔය ඔක්කොම. මේ කතාවත් අන්න එහෙම ගිණිමැලයක් වටා ඉඳගෙන කොත්තමල්ලි බොද්දි කියපු කතාවක්...

දෙන්ට බලන්ට එහෙනං සාදුකාරයක් කාරිය...

සාදු!!!.......සාදු!!!.......සා................දු!!! රා...යි...ට්....දැන් කතාව....

මේකෙ කතානායක සහ නායිකාව තමයි පීතර අයියයි,ඇසිලිං අක්කයි. දෙන්න අවුරුදු පනහ එහෙම පහුකරපු, දරුවො දීග තලග දීල, නිවාඩු පාඩුවෙ ගොවිතැනක් බතක් එතනින් ගිහාම පිනක් දහමක් එහෙම කොරගෙන, පාඩුවෙ හිටපු දෙන්නෙක්,

පීතර අයියා, වයස්ගත උනාට මිනිහට හැමදාම රාත්තිරියට අර වැඩේ නම් ඕනමයි, දන්නවනෙ.... මොකක්ද කියල, හරි, දන්නෙ නැති අය දන්න අයගෙන් අහ ගන්ඩකො,

ඇසිලිං අක්කටනම් මේ වැඩේ මහ මළ වදයක් වෙලා තිබ්බෙ,ඇයි දවස තිස්සෙ නැහිල නැහිල ටිකක් ඇහැ පියා ගන්ඩ ගිහාම පීතර අයිය එනව, " ඒයි....... ඒයි..... මේ .... මේ...... " කියාගෙන. කසාද මනුස්සය හින්ද " උඹ කුද ගහගනිං " කියන්ඩත් බැහැ නෙව. අනේ ඉතිං ඇසිලිං අක්ක කරන්නෙ "මොන මළ කරදරයක්ද මන්ද මේ මිනිහගෙං, දවල් තිස්සෙ මේ සුමේ කරල කරල ඩිංගක් ඇහැ පියාගන්ඩ දෙනවයි මේ මිනිහා, මූට මේකමනෙ ඕනෙ, ආ ඉඳා............." කියලා ඇඳන් ඉන්න රෙද්ද උස්සනවා. පීතර අයියත් ඉතිං අවශ්‍ය දේ කරගන්නව. ඊට පස්සෙ දෙන්නම බුදි. ඉතිං ඔහොම තමයි මේ දෙන්නගෙ දින චරියාව හැමදාම අහවර වෙන්නෙ,

දැං තමයි ඇත්තටම බණ කතාවට එන්නෙ,

එදා වෙසක් පුර පෝය දවසෙ පංසලේ බණ. ඊස් මීස් නෑ සෙනග. බණ ගෙයි පිරිල, එලියෙ හිටං. ලොකු හාමුදුරුවො බණ කියනවා. අපේ ජෝඩුව ඉතිං ඉස්සරහම ඉඳගෙන ඉන්නව බොහොම සර්දා බක්තියෙං වැඳගෙන කාරිය.

ටිකකිං ඇසිලිං අක්කට අනේ එහෙම්මම නින්ද ගියා, මහන්සියටම. පව්….. වැඩේ නින්ද ගියා විතරක් නම් මදෑ ගොරවන්ඩත් පටන් ගත්තා. ටික ටික සද්දෙ වැඩි උනා.ලොකු හාමුදුරුවොත් දෙතුන් පාරක් වටාපතට යටින් බැලුවා රබර් ඇහැ දාල. මොන?..... එන්ඩ එන්ඩම සද්දෙ වැඩියි නෙව.

බැරිම තැන එතුමා බණ නැවැත්තුවා. ඒ කරල පීතර අයියා දිහා බැලුවා. පීතර අයියට වස ලැජ්ජාව. බණ මඩුවෙ හැමෝම මේ දිහා බලාගෙන. පීතර අයියා කරපු වැඩේ, " ඒයි..ඒයි.....මේ......මේ " කියලා ඇසිලින් අක්කගෙ උරහිසෙන් අල්ලල හෙලෙව්වා,

අනේ පිංවතුනි, ඔන්න බලන්න, සිදුවූ විපැත්තියක මහත, පීතර අයියා මෙසේ " ඒයි.... ඒයි.... මේ....මේ " යනුවෙන් පවසමින් උරහිස සොලවනවිට නිදි මරගාතේ සිටි ඇසිලිං අක්කා සිතූයේ තමන් මේ නිවසේ තම සුපුරුදු සයනයේ නිදා සිටින අතර තම ස්වාමියා වෙනදා මෙන් ඔහුගේ අවශ්‍යතාවයට තමන් අවදි කරවන බවයි.

එසේ සිතූ ඕ තොමෝ, සුපුරුදු ලෙස "මොන මළ කරදරයක්ද මන්දා............... ආ ,ඉඳා" යනුවෙන් සැමදා පවසන උදාන වාක්‍යය ද මහ හඬින් පවසමින් තම ඇඳිවත උනා ලා ****** ප්‍රදේශය නිරාවරණය කලාහුය.

ලොකු හාමුදුරුවෝද මේ අනපේක්ෂිත දර්ශනයෙන් වික්ෂිප්ත වූවාහු වහා තම වටාපත ඔසොවා මුහුණ වසාගත් සේක.

බණ අසමින් සිටි සැදැහැවත්හු එකෙනෙකා පරයමින් නැඟිට මේ දර්ශනය නැරඹීමට තැත් කරන අතර පීතර අයියා තෙමේ, වහා එතෙකුත් අඩ නින්දේ සිටි ඇසිලිං අක්කාද ඇදගෙන වහ වහා සෙනඟ පීරාගෙන ගොස් අතුරුදහන් වීය.

ඔන්න ඉතිං බණ කතාව නම් අහවරයි, දෙන්ඩ බලන්ඩ සාදුකාරයක්.... සා....දු!!!.... සා....දු!!!...සා....දු!!!!!

තව ටිකෙං මේ ටික අමතක වෙනව, එදයින් පස්සෙ ඇසිලිං අක්කයි පීතර අයියයි දෙන්නම කොහෙ ගියාද මොනව කරනවද කියල දෙයියො තමයි ඕන්න දන්නෙ.

පලි - දැං ඔය හොඳ බාර්යාවො හතර වර්ගයක් ඉන්නවයි කියලනෙ කියන්නෙ. මාතු භාර්යාව,භගිනි භාර්යාව, සඛී භාර්යාව සහ දාසි භාර්යාව.

ඒත් ඇත්තම කිව්වොත් හොඳ භාර්යාවො පස් වර්ගයක් ඉන්නව. මමඔය කියාපු ඇසිලින් අක්කල වගෙ අය තමයි පස්වෙනි වර්ගය. එයාලට කියන්නෙ යෝනිදානී භාර්යා කියල.

Friday, May 9, 2014

257. විමලෙගෙ වාංපතුල් කතා 10 -වික්ටෝරියා මහේෂිකාව, රජ්ජුරුවෝ පසඟ පිහිටුවා හිරුට වැඳීම,ඉන්දියානු සාම සාධක හමුදාව සහ ජැකී චෑන්

විමලෙ අයිය මතකයි නේද? මොකෝ අමතක…. නැද්ද? මොකෑලන්ත වාසී සත්ගුණවත්, අතිගෞරවාර්හ, ධුරන්ධර හෙහ්,හෙහ්,....... විමලෙ අයියගෙ වාංපතුල් කතා නොහොත් පඳුරු තැලීම් කියල මම ලිව්ව කතා බර ගාණක්. හරියටම කිව්වොත් ඇපිසෝඩ් නොහොත් කථාංග නවයක්. පහත සඳහන් පරිදි........

විමලෙගෙ වාංපතුල් කතා - 1….. බටු, මිරිස් , තක්කාලි සමඟ සඟක් ගැන කතාවක්.....

විමලෙගෙ වාංපතුල් කතා - 2….. වාං පතුල් ගැන නොහොත් දෙයියෝ සාක්කි කබරය ඉස්සරහ.....

විමලෙගෙ වාංපතුල් කතා - 3…..විමලෙගෙ වාං පතුල් නොහොත් ලාංකේය බෞද්ධ සාහිත්යයෙන් අංශු මාත්රයක්....

විමලෙගෙ වාංපතුල් කතා - 4….. විමලෙගෙ වාං පතුල් කතාව නොහොත් තෝස් ලාම්පු, මුගටි සහ පොහොරි ගැන

විමලෙගෙ වාංපතුල් කතා - 5…..පූර්ණ කාලීන පඳුරු වටා තැළීම - Beating around the bush full time

විමලෙගෙ වාංපතුල් කතා - 6….. වාං පතුල් කතාව තව දුරටත් - විමලේගෙ භාණ්ඩ තත්ව පරීක්ෂා උපක්රම සමඟ බුද්ධ ප්රතිමා නඟා සිටුවීම

විමලෙගෙ වාංපතුල් කතා - 7….. වාං පතුල් කතාව තව දුරටත් - ලෝකයේ වැඩිම මීදුම සහිත ගම්මානය සහ ජීප් රියදුරන්ගේ කතා....

විමලෙගෙ වාංපතුල් කතා - 8….විමලෙගෙ වාං පතුල් කතාව - මෙන්ටලි චැලේන්ජ්ඩ් උදවිය, ඡායාරූප ශිල්පයේ නව ප්රවණතා සහ බාවය උද්දීපනය වීම

විමලෙගෙ වාංපතුල් කතා - 9…..විමලෙගෙ වාං පතුල් කතාව - ලොක්කිගෙ මොරෝම ගති, ඉම්රාන් ඛාන්ගේ බත් ඉවීම සහ වැසි මැවිසුරුගේ අනපේක්ෂිත ස්නානය

විමලෙගෙ කතාවල අන්තිම කථාංගය ලිව්වෙ 2013 මැයි 9 වෙනිද. අදට හරියටම අවුරුද්දක් වෙනව. ඊට පස්සෙ විජය-කුවේණි කතාව සහ ඊටත් පස්සෙ ගුරුවරියක සමඟ මගේ ජීවිතය ලියන්ට පටන් ගත්තු නිසා විමලෙය අමතකම වෙලා ගියා. රයිට්..ආයම විමලය ගැන ලියන්ට කියලයි මයෙ කම්පනාව. අද මේ සංවත්සරේ සමරන්ඩත් එක්කලා.

සංවත්සරේට ඉංග්‍රීසියෙන් කියන්නෙ ජුබිලිය කියල. ජුබිලි කණුව හන්දිය දන්නව නේද? නුගේගොඩ කෝට්ටෙ පාරෙ තියෙන්නෙ. ඔතෙන්ට ජුබිලි කණුව කියල කියන්නෙ ඔතන තමයි පිහිටුවල තියෙන්නෙ වික්ටෝරියා මහ රැජිණගෙ මෞලි මංගල්‍යයෙ හැටවන සංවත්සරය නොහොත් වජ්‍ර ජයන්තිය සිහිවෙන්ට නිර්මාණය කරපු සිහිවටන කුළුණක්. එතුමී රාජ පදවිප්‍රාප්ත වෙලා තියෙන්නෙ 1837 අවුරුද්දෙ. එතකොට ඔය ජුබිලි කණුව පිහිටුවන්ඩ ඇත්තෙ 1897 වෙන්න ඕන.

එතනම තියෙන්නෙ අර ලාෆ්ස් ගෑස් කොම්පැණියෙ සුපර් මාකට් එකක්. සෙන්ට්‍රාද කොහෙද නම...මම මේ කියන්නෙ හැබැයි අවුරුදු හය හතකට ඉස්සරවෙලා. තාම ඒ කුළුණ තියනවද නම් දන්නෙ නෑ. හරි මම කලින් කියාපු සෙන්ට්‍රා සුපර් මාකට් එක ඉස්සරහ පාරෙන් අනික් පැත්තෙ පේව්මන්ට් එක මැද තමයි ඔය වික්ටෝරියා අම්මණ්ඩිගෙ කුළුණ තියෙන්නෙ. අපි ඉස්කෝලෙ යන කාලෙ ඕක තිබ්බෙ හරියටම පාර මැද..මම හිතන්නෙ පස්සෙ කාලෙකදි පාර පළල් කරද්දි කුළුණ පේව්මන්ට් එකට වැඩමවන්ට ඇති.

ආය වික්ටෝරියාගෙ කුළුණ නම් අහවල් දෙයක්ද ජනාධිපති මන්දිරේ උද්‍යානෙ තිබ්බ එතුමියගෙ මහ විසාල පිළිමයක් තුනට හතරට ගලවල කටුගෙයි පිටිපස්සෙ හරහ දාල තිබ්බය කියන්නෙ අවුරුදු ගාණක්. පස්සෙ ඒත් ඔය චාර්ලිස් කුමාරයද කවුද එක පාරක් ලංකාවට එන ආරංචියට දණි පණි ගාල ඒ පිළිමෙ අරං ගිහිල්ල හයි කලා මම හිතන්නෙ විහාරමහා දේවී උද්‍යානයෙ. 

Google Images

ඔය පිළිම වලට යන කල දසාව ඔහොම තමයි. 1981 තිබ්බ ලංකාවට සර්ව ජන ඡන්ද බලය ලැබීමේ ස්වර්ණ ජයන්තිය සැමරීමේ මහා ප්‍රදර්ශනයක් ලන්ඩන් වල. ඕකට එහෙට අරංයන්ට ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින් හැදුව ගල් විහාරෙ සැතපෙන පිළිමෙ ආකෘතියක්. අවුකන පිළිමෙත් එකක් හැදුව. ප්‍රදර්ශනෙන් පස්සෙ ඔය පිළිම ආපහු ගෙනල්ල වරායෙ පරණ ගුදමක් පිටිපස්සෙ දමල තිබ්බලු. බල්ලො බලල්ලු ලගිනව පිළිම උඩ. එතකොට ඒ පිළිමෙ ඇතුල හිස්නෙ. ඒක ඇතුලෙ තමයි වරායෙ සේවකයො බූරුව එහෙම ගහන්නෙ. ඒ අතරෙ වෙන වෙන නොහොබිනා කටයුතුත් පිළිමෙ අස්සෙ වෙනවය කියල ඔන්න එක පාරක් පත්තරවල ගියා ලොකුවට හාහූවක්.

හාමුදුරුවරු විරෝධය පෑවා, ජනාධිපතිට ලිව්වා. ඒ දවස්වල ඔය BBS සුමෝ සංවිධානය තිබ්බෙ නෑ. දැන් නිකමට බලන්ට ඔය BBS සමාගමේ බික්සූං ඉන්නව නේද මේ උඹල අපි වගෙ සාමාන්‍ය තරමෙ දේහදාරී එකෙක්වත් ඉන්නවද? ඔක්කොමල අර හැලපෙ කිව්වෙ ඌරංගෙ කර අඹන විදිහ.... ආං එහෙම කර අඹාපු ඌරො වගෙ. ඔය ඉර හැරුණට පස්සෙ නොකා තව...හෙහ්,හෙහ්, තුංවේලම කාපිනං තව කොහෙද? තල්මස්සු පාරෙ යනව වගෙ තියෙයි.

ඉතිං අර පිළිම ගැන විරෝදෙ ආහම ආණ්ඩුව කලේ එව්ව උස්සං ඇවිල්ල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉස්සරහ පන්සලක් හදල එතන හයි කරපු එක. තාමත් එව්ව එතනම තියනව. එහෙම කරන්ට තව හේතුවක් තිබ්බ. ඔය සම්මන්ත්‍රණ ශාලාව ඉස්සරහම තියෙන්නෙ කතෝලික පල්ලියක්. ඉතිං ඔය මහ සමුළුවක් එහෙම ඉවර වෙලා රට රට වලින් ආපු රාජ්‍ය නායකයො ප්‍රධාන දොරටුවෙන් පිටවෙනකොටම ඉස්සරහ පල්ලියක් දර්සනේ උනහම ඒක ලෝකෙ එකම බෞද්ධාගමික රට වශයෙන් අපේ රටේ කීර්ති නාමයට කැළලක්ය කියලත් හිතලයි අර පිළිම ඔතන ගෙනල්ල හිටෙව්වෙ.

අර විට්ටෝරියා මහේසිකාවුන්නාන්සෙගෙ රජගෙදර තිබ්බ පිළිමෙට උනාය කියන්නෙ නම් මෙන්න මෙහෙමයි. අපේ මහරජතුමා ඉන්නවනෙ...ආයුබෝ වේවා මහරජාණනේ!!!..ආන්න එයා තමයි . එතුමා වෙනුවෙන් ඔය ගීතය ලියාපු මහත්මය නමින් මහරගම පැත්තෙද කොහෙද පාරක් නම් කලාලු. හැබැයි හැමෝම ඒ පාරට කියන්නෙ වන්දිබට්ට මාවත කියලලු. හරි ඔය පාරවල්, හන්දි, ගම් වලට නම් තැබීම ගැන තියනව එලෝ කෝටියට කතා. වෙනම කියන්නං ඒ ගැන...

දැං ආපහු අපේ විට්ටෝරියා උන්දැට වෙච්ච දේ ගැන....රජතුමා ඔය ඉන්දියාවෙ හිමාල වනේ තපස් රකින සුප්‍රසිද්ද දයිවක්ඥයෙක් හම්බවෙලා උපදෙස් ගත්තයි කියනවනෙ.ඒ දයිවක්ඥය තමයි අර බෝලෙ එහෙම ජීවං කරල දීල තියෙන්නෙ.ඔය බොහොලෙ එතුමා රෑට නිදාගත්තම එර්දියෙං වඩිනවලු හිමාල වනේට. රෑ එලිවෙනකල් අර දයිවක්ඥ තුමා බොහොලෙ ආයම ජීවං කරනවලු. උදේ පාන්දර එතුමා අවදිවෙලා එහෙම දොට්ට පිළට යන්ට ඉස්සරවෙලා ඔය බෝලෙ ආපහු වඩිනවලු එතුමගෙ අතට.

දෙදාස් එකොළහෙ ලෝක සූරතාවෙ වෙලාවෙ ඉන්දියං ආන්ඩුව කොලාය කියන්නෙ හිමාලය වටේටම ප්‍රහාරක ජෙට් යානා දාල අර බෝලෙ එන එක වැලැක්කුව. දිනපතා කරන ජීවං කිරිල්ල මඟ ඇරිච්චි නිසා බොහොලෙ බලේ බිඳුන. ලංකාව පැරදුනෙ අන්න ඒ නිසයි....

ඔය බෝලෙ තියන මහාර්ග බලය වැඩිවෙන්ට නම් හැමදාම හිමිදිරි පාන්දර ඉර පායන වෙලාවට අමු නිරිවස්තරෙං බෝලෙ දකුණු අතේ තදින් මිරිකගෙන තුං පාරක් කෙලින්ම ඉර දිහා බලාගෙන පසඟ පිහිටුවා වඳින්ට ඕනය කියල අර හිමාලෙ ඉන්න තවුස් තුමා කිව්වලු.

පසඟ පිහිටුවල වඳිනවයි කියන එක දන්නවනෙ නේද? වැඳීමේ ක්‍රම තුනක් තියනව...උක්කුටිකයෙන් වැඳිම, 
සඟ පිහිටුවා වැඳීම සහ දණ්ඩ නමස්කාරය. පසඟ පිහිටුවල වඳිනකොට නළල දෙවැලමිට සහ දෙදණ බිම වදින්ට ඕන. ඒ පස් තැන බිම වදින නිසයි පසඟ පිහිටුවා වැඳීම කියන්නෙ.හැබැයි පොඩි කේස් එකක් වෙනව නිරුවතින් ඔය වැඩේ කරන්ට ගියාම. පහක් නෙවෙයි ඊට වැඩි ගාණක් තැන් බිම වදිනව...හයක් හතක් හෝ සමහරවිට අටක්...

රජ්ජුරුවන්ට වෙච්චි කේස් එක නිරුවතත් හරි, බෝලෙත් අතේ,ඒකත් හරි ඒත් පසඟ හරි අටඟ හරි මොක හරි පිහිටුවල වඳින්ට විදිහක් නෑ මොකද ඉර නඟිනව පේන්නෙ නෑ අර අම්මණ්ඩිගෙ, විට්ටෝරියාගෙ පිළිමෙ තියනව හරියටම ඉස්සරහ. ඒකට ඉර මුවා වෙලා..ඉතිං මොකද කරන්නෙ?...වහාම මන්දිරේ ඇතුලට ගිහිල්ල සාටකේ එහෙම පැළඳගෙන නියෝග කලා විට්ටෝරියා ගලවල අයිං කරන්නෙයි කියල. ඔන්න ඔහොමයි විට්ටෝරියා මහේසිකාවුන්නාන්සෙට කටුහෙයි පිටිපස්සෙ ලඳු කැලෑවකට සම්ප්‍රාප්ත වෙන්ට සිද්ද උනාය කියන්නෙ...

රයිට්, ජුබිලි ගැන විට්ටෝරියා ගැන, රජ්ජුරුවන්ගෙ බෝලෙ බල ගැන්වීම ගැන ඒ ඇති.

විමලෙගෙ වාංපතුල් කතානෙ මාතෘකාව..ඉතිං අඩුගනෙ ඒ යකා ගැන මොකවත්ම හරි ලියන්ටම එපාය? නැද්ද හොඳයි?

අපේ චමරියෙ කාලයක් විමලයගෙ රූම් මේට් වෙලා හිටියෙ චන්දරය.ඕකා බොන්ඩත් ආසයි. ඒත් වැඩේ ඌට ඕන පුළුවන් අවම කාල සීමාවෙන් උපරිම මතට ළඟාවෙන්ට. කතා කර කර චුට්ට චුට්ට තොල ගගා ...අර කියන්නෙ සිප් කරනව කියල...එව්ව අල්ලන්නෙ නෑ ඕකට...බෝතලේ කඩපු ගමං ගසල අරින්ට තියෙන්ට ඕන ඩබල් එකේ..ඔන්න එක පාරක් ..ඒත් මාසෙ මැදක වගෙ..කා ගාවවත් එහෙමකට සල්ලියක් නෑ. යාන්තමට කිරි පල්ල අතගාල ඔය තියන දහය විස්ස එකතු කරල බෝතල් දෙකක් අරගෙන ආව.

ඔය අර 1987 අවුරුද්දෙ ජේ.ආර්. - රජීව් අත්සන් කරපු ඉන්දු-ලංකා සාම ගිවිසුමට පස්සෙ රජීව් ගාන්ධි ඉන්දියන් හමුදාව ලංකාවට එව්වනෙ...අන්න ඒ කාලෙ...අපි ගෙදර ගිහිල්ල ආපහු වැඩට එනකොට මඟදි ඔන්න සමහර වෙලාවට අපි එන බස් එක ඉන්දියන් හමුදාවෙ කොන්වෝයි එකක් පස්සට වැටුනොත් එහෙම සොරිම තමයි. හබරණින් පස්සෙ තමයි එහෙම උනොත්. මොකද ඉන්දියන් හමුදාව බොහෝවිට ලංකාවට ගොඩ බහින්ඩ පාවිච්චි කලේ ත්‍රිකුණාමලේ වරාය. තිකුණාමලේ ඉඳල මඩකලපුවට එහෙම යන්ට ඕන උනොත් යන්ට වෙන්නෙ හබරණට ඇවිල්ල වමට හැරිල මින්නේරිය පොළොන්නරුව හරහා.

ඔය කොන්වෝයි එකක එක පාර යනව ට්‍රක්ස් සීයක්, එකසිය පණහක් වගෙ. උං යන්නෙත් ආය නෑ හරියටම පාර මැද්දෑවෙම තමයි. ඕවර්ටේක් කරන එක හරිම භයානකයි. ට්‍රක් එහෙක වැදුනොත් එහෙම ආය මොනව කරන්ටද? පොලිසියට කියන්ටය ආය? ඒ නිසා එහෙම වෙලාවට කලේ මඟ එවුං කොහෙ හරි නවත්තනකල් හෙමිහිට පස්සෙං යන එක.

අපෙ හිටිය යාලුවෙක් කොඩිප්පිලි කියල..කොඩියගෙ ගෙදර මාවතගම. සතිදෙහෙකට සැරයක් ඕකා ගෙදර ගියේ බයික් එකේ. CD 185 එකක් තිබ්බෙ. කාර් එක වගෙ තමයි. දවස් දෙහෙකට කලින් කොඩිය ආපහු වැඩට එද්දි මින්නේරිය හරියෙදි ඉන්දියන් ආමි ට්‍රක් පෙලක් යනව මඩකලපුව පැත්තට. ඕක පස්සෙං සෑහෙන දුරක් ආවත් මුං ඉඩ දෙන්නෙ නැතිලු. මුත් ගේමට සෙට් වෙලා හෝන් එක ගහගෙනම පස්සෙන්ම ඇවිල්ල.

පස්සෙ පාර අයිනෙ පිටැන්නක් වගෙ ඉඩ තිබ්බ තැනකදි මූ කරල තියෙන්නෙ බයික් එක පාරෙං එළියට දාල ඉස්සර කරන්ට හදල. මූ එක්ක මල පැනල හිටිය ඉන්දියන් ආමි කාරයො පාර හරහටම ට්‍රක් දාල මූව නවත්තල. ඒ කරල උංගෙ බාසාවෙන් හින්දි ද ගුජරාටිද මරාටිද ආන්ද්‍රද මොකවද මන්ද..මූට බැණල..බැන්නද කියන්ට දන්නෙත් නෑ.බණින්ට ඇති කියලයි ඌ කියන්නෙ...බයික් එක දාගෙන උංගෙ ට්‍රක් එකකට. ඒ කරල මූ හැරෙන්න ඕන තැනත් පහුකරල මඩකලපුව පැත්තට කිලෝ මීටර් 30 විතර ගිහිල්ල පාළු මණ්ඩියකදි කොඩියව බස්සල බයික් එකත් එක්කම.

කොඩියට මල පැනල කියන්නෙ එතන ඉඳලම කුණුහරප වක්කරමින් ඇවිල්ල තියෙන්නෙ ආපහු කෑම්ප් එකට. ඉතින් මම කලින් කිව්වෙ...අපි අර බොහොම අමාරුවෙන් පහ දහය එකතු කරල ගෙනාවනෙ ගල් බෝතල් දෙකක්. ඔන්න ඉතිං දැං දෙයියංගෙ පිහිටයි.රතනත්තරේ සරණයි කියල බොන්ටයි ලෑස්තිය.

ඔය මම කියන දවසෙ අපෙ චමරියෙ තිබ්බෙ හෙණ පරණ කනප්පුවක්..අර කලින්  
තිබ්බ බොහොම බලගතු රවුං කනප්පුව ඒ දවස්වල පොලිස් කරන්ට අරං ගිහිල්ල.අර මම කියපු පරණ කනප්පුවෙ එක කකුලක් කැඩිල යන්තමට මාට්ටු කරල ඇණ දෙකක් ගහල තිබ්බෙ. ඒත් කිව්වට අහන්නෙ නෑ අපේ එවුං දවල්ට කාල පුටුවල පත බෑවිල කකුල් දෙක ඔය කනප්පුව උඩ තියාගෙන තමයි සිගරට් එහෙම ගහන්නෙ. ඉතිං අර කකුල එහෙ මෙහෙ වෙලා හෙල්ලෙන දත වගෙ තමයි තිබ්බෙ. ඕක උඩ සිරුවට බෝතලෙයි කෝක් එකයි ගෙනල්ල තිබ්බ සැමී. සැමී මතකනෙ ..අපෙ ගෝලය...අරක්කැමියා..සූපවේදියා... 

" සැමී පපඩම් පැකට් දෙකක් විතර බැදහං කොල්ලො " මම කිව්ව..

" හොඳයි මහත්තය…" සැමිය කුස්සියට ගියා.

" ඉතිං ඉතිං මාර වැඩේනෙ බං නේද කොඩියට වෙලා තියෙන්නෙ? "

අපි ආයෙම කොඩියට ඉන්දියන් හමුදාවෙන් වෙච්චි අසාදාරණේ ගැන කතාකරන්ට ගත්ත.

" ඒකනෙ බං කියන්නෙ...මේ ඉන්දියන් ****** පුතාල හිතාගෙන ඉන්නෙ අපි උන්ට යටත් රටක් කියලද දන්නෙ නෑ…"

" කියලා වැඩක් නෑ බං "


ඔහොම අපි හැමෝම කොඩියට වෙච්චි අකරතැබ්බෙ ගැන කතා කර කර ඉන්නව..චන්දරය පැත්තකට වෙලා ඉන්නව..පුපුර පුපුර...ඌට ඕන පුලුවන් ඉක්මනට බී ගන්ට.

" අඩේ ඔය කතාව මදෑ බං බොමුකො…" ඔන්න එක පාරක් චන්දරය කිව්ව. අපි කවුරුත් ඌව සත පහකට ගණං ගත්තෙ නෑ.

" මේ ගැන මචං කොම්ප්ලේන් කරන්ට ඕන " විජේ කිව්ව…

" පලයං බං කාට කියල කොම්ප්ලේන් කරන්ටද? රජීව්ට තමයි එහෙනං " තව එකෙක් එහෙම කිව්ව.

" මම කියන්ටද අපි ඔක්කොම ලියුමක් හදල ලොක්කට දෙමු මේ ගැන පියවරක් ගන්ටය කියල.." ආයම ඒ විජේ..

" හරි හරි බං ලියුං හදමු. කොම්ප්ලේන් කරමු. එව්ව ඔක්කොම හෙට උදේටනෙ..දැං බීල ඉඳිමුකො " චන්දරේ අඬන්ඩ වගේ…

" මං බොනව ඔන්න…" චන්දරය බෝතලේ අතට ගත්ත.

" ඒයි මේ අඩෝ කැත වැඩ කරන්ට එපා...දන්නවනෙ අපේ සිරිත් විරිත් " විජේ කෑගැහැව්ව.

බොනකොට අපේ සිරිතක් තිබ්බ එතන ඉන්න සීනියර්ම එකා තමයි මුල්ම බෝතලේ කඩල පළවෙනි ෂොට් එක දාගන්නෙ...මෙතන ජේස්ටතමය විමලෙ…

" හරි එහෙනං විමලෙ අයියෙ උඹ කඩහංකො බෝතලේ " චන්දරේ බෝතලේ ආයම කනප්පුව උඩ තියල අසෝක වීදුරුවක් එහෙම අතට අරගෙන ලක ලැහැත්ති උනා.

විමලෙ බෝතලේ අතටත් අරගෙන මගෙ දිහා බලල චන්දරයට හොරෙන් ඇහැක් ගහල ආපහු බෝතලේ කනප්පුව උඩිං තිබ්බ.

" එක අතකට මචං ඉන්දියන් හමුදාව ගෙන්නපු එකත් හොඳයි. ජේ.ආර්. පප්ප කියන්නෙ රට කපටියනෙ. මිනිහ කොහොම හරි රජීව්ගෙන් පලිය ගත්ත පරිප්පු දාපු එකට.."

" ඒකත් ඇත්ත. මේ අනුංගෙ යුද්දයක් නිසා ඉන්දියන් කාරයොනෙ මැරෙන්නෙ.."


( ඉන්දියන් හමුදාව ලංකාවට එවීමට ගත් අදූරදර්ශී තීරණය නිසා රජීව්ට තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. ඒ මවිසින් මේ සඳහන් කරන කාලයෙන් තවත් වසර තුනක් අනාගතයේදීය )

" ඇත්ත ඇත්ත කියල වැඩක් නෑ...රජීව් කොහෙද ජේ.ආර්. එක්ක හැරෙන්නෙවත් " තව එකෙක් කිව්ව..

" ඔය මොනව උනත් කොඩිය එහෙම්මම එවුනුත් එක්කම ඉන්දියාවට අරං ගියානං තමයි වැඩේ..ඕකගෙ පෙනුමත් ඉන්දියන් කාරයෙක්ගෙ වගේනෙ..මූණ පුරා රැවුලත් වවාගෙන සික් කාරයෙක් වගෙ...." මම එහෙම කියල හක හක ගාල හිනාඋනා.

" අම්මාපල්ල එහෙම උනානං නියම ආතල් එක "

අනික් එවුනුත් ඔක්කොම හිනාවෙන්ට ගත්ත. චන්දරයගෙ ඉවසීමේ සීමාව පැන්න. රතු කට්ට කෙළවරටම ගියා සිං ගෑවිල්ලෙ..

" බීපල්ලකො යකුනේ!!!!!!…" චන්දරය දකුණතේ තිබ්බ අසෝක වීදුරුව වමතට මරු කරල දකුණත මිට මොලවල ඇති වීරියෙන් කනප්පුවට ගැහුව.

චන්දරේ හිතේ වේගය ඉවසනු නොහැකිව ඇති වීරියෙන් මිට මොළවා ගැසූ පහර ඔහුගේ මෙන්ම අපේද අභාග්‍යයකටදෝ කිරා මැන එල්ල කලාක් මෙන් පතිත වූයේ යාන්තමට ඇණ දෙකක පිහිටෙන් සවිකොට තිබූ කනප්පු කකුල මතටමය. ඒ පහර දරාගනු නොහැකිවූ අබලන් කනප්පු කකුල සවිකොට තිබූ ඇණ දෙක ගැලවී කොහේටදෝ වීසි විය. එක් ඇණයක් ඒ අසලම අපේ කෑම මේසය මත තිබූ ගුරුලේත්තුවෙහි වැදී සලාං හඬක් නංවමින් මේසය මතට පතිත විය. කනප්පුව වටා රැස්ව සිටි අප සියලු දෙන එක් වරම කතාව නවත්වා අයාගත් මුවින් යුතුව චන්දරේ සහ කනප්පුව දෙසට මාරුවෙන් මාරුවට බලන්නට වීමු.

අබලන් කකුල සවිකොට තිබූ ඇණ යුවල ගැලවී ඉවත වීසී වූ නමුදු කනප්පු කකුල වරක් දෙවරක් සෙලවී කෙසේ හෝ යලි සෘජුව සිට ගත්තේය. කනප්පුව මත තිබූ අතිවිශේෂ බෝතලය අපගේ හෘදයන් නතර කරවමින් රුධිර සංසරණය නහුතයත් ඉක්මවා තවත් ශේෂයක් ඉහළ නංවමින් දෙවරක් එහා මෙහා වැනෙමින් සිට භාර්යාව ඉදිරියේ කෙසේ හෝ පුරුෂ ධෛර්යය උපදවා සෘජුව සිට ගන්නා බීමත් ස්වාමි පුරුෂයෙකුසේ කනප්පුව මත සිට ගත්තේය. ඉහළට ගත් ආශ්වාසය පහළට නොහෙලා තුෂ්නිම්භූතව එදෙස බලාහුන් අපි පෙනහළු පුරා තදකොටගෙන හුන් වායුව ප්‍රශ්වාස කොට සැනසුම් සුසුම් හෙලීමු.

එකෙණෙහිම විමලේ අයියාගේ හඬ මහේ දෙසවන් විනිවිද ගියේ මා වික්ෂිප්ත කරවමිනි..

" වීරේ අල්ලපං බෝතලේ...ඒ ඒ ඒ ඒ !!!!! "

දෑස් යලි කනප්පුව දෙසට යොමු කල මට දැකගත හැකිවූයේ හදවත භීතියෙන් මුසපත් කරවන දසුනකි. කනප්පුවෙහි අබලන් කකුල ඉන් ගිලිහී ක්‍රියාදාම චිත්‍රපටයක මන්දගාමී චලිතයක් රඟදක්වන අවස්ථාවක මෙන් තිරස්ව පෙරළී යමින් තිබිණි. ඒ හා සමඟම ස්වාභාවිකව වියයුතු ලෙසම කනප්පුව ද ඒ දෙසට ඇළව යමින් පැවතිණි.

මේ සිද්ධියෙන් බොහෝ කාලයකට පසුව එනම් දැනට වසර කිහිපයකට පෙර මම මිතුරන් කිහිප දෙනෙකුද සමඟ ජැකී චෑන් රඟන රෂ් අවර් චිත්‍රපටය නරඹමින් සිටියෙමි. 1,2, 3 යනුවෙන් එහි කොටස් තුනක් ඇති අතර ප්‍රස්තුත සිද්ධිය කුමන චිත්‍රපටයේදැයි එක්වරම සිහියට නඟාගත නොහැකිය.එහි එක් අවස්ථාවක කෞතුකාගාරයක්වන් ඉතා වටිනා පුරාවස්තු රාශියක් ප්‍රදර්ශනය කොට ඇති ශාලාවක ජැකී චෑන් සහ එම චිත්‍රපටයෙහි ප්‍රධාන දුෂ්ඨයා සටන් කරමින් සිටියෝය. සටන් කරන අතරතුරම වටිනා පිඟන් මැටි බඳුනක් බිම ඇදවැටී විනාශ වීමට ආසන්න බව දුටු ජැකී චෑන් එක වරම ගුවනේ පියාඹාමෙන් ගොස් එය සුරැකිව අල්ලා රැකගත්තේය. 

Google Images

" ඒයි මචං රී ප්ලේ දාපං..රී ප්ලේ දාපං…"

තොල ගාමින් හුන් මත්පැන් වීදුරුව ටීපෝව මත තබා වහා නැඟීසිටි මම කෑගැසුවෙමි.

" ඇයි ඇයි මොකද? මොකද? " මගේ මිතුරෝ කලබලව විමසුවෝය.

" නෑ, නෑ..අර ජැකී චෑන් පියාඹලා වගේ ගිහිල්ල අර සෙරමික් වාස් එක අල්ලගන්නෙ ….ඒ සීන් එක ආයෙම දාපංකො කියන්න…" නැවතත් ජැකී පියාඹා යනු තිරයේ දිස්විය.

" කිව්වට විස්වාස කරපල්ල…. අවුරුදු බර ගාණකට කලින් මමත් ඔහොම පියාඹගෙන වගෙ ගියානෙ…"
" උඹ? පලයං පච කෙලින්නෙ නැතුව..හරි මොකක් අල්ලගන්ටද උඹ එහෙම පියාඹගෙන ගියේ?.....ජැකී චෑන් වගෙ වටිනා වාස් එකක්ද? "

" ඒ වෙලාවෙ හැටියට ඊටත් වැඩිය වටින එකක් බං.."

" හරි මොකක්ද ඉතිං ඔය ඊටත් වඩා වටිනා මහාර්ඝ වස්තුව? "

" මේ....ගල් බෝතලයක්.."


" අන්න ඒකනම් වෙන්ඩ ඇති, ගල් බෝතලයක් අල්ලගන්ඩ නම් උඹ පියාඹගෙන යන්ට ඇති තමයි " මා මිතුරෝ කොක් හඬලා සිනාසුණෝය.

" ඉතිං ජැකී චෑන් වාස් එක අල්ල ගත්ත වගෙ උඹත් පියාඹලා ගිහිල්ල ගල් බෝතලේ අල්ල ගත්තද? "

" නෑනෙ... නූලෙං මිස් උනා...අල්ලගන්ට බැරිඋනා..ගල් බෝතලේ බිම වැටිල කැඩුණා."


අති විශේෂ බෝතලය රැකගැනීමේ පරමපවිත්‍ර චේතනාව පෙරදැරි කොටගෙන දිවි පරදුවට තබා ගුවනේ ඉපිලීගිය මගේ ඉදිරියට දිගුකල සුරතේ ඇඟිලි තුඩු අග්ගිස්සෙහි ගෑවී නොගෑවී එය බිම පතිත විය..ස..ලාං......සහස් කඩකට බිඳීගිය වීදුරු කැබලි සතර අත විසිරී ගියේය.

එක් වරම විහිද ගිය මත්පැන් දහරාවෙන් මගේ දෙපය වළළුකර දක්වා තෙමිණි. අප සියළුදෙන වටවී සතර අත ගලායන මත්පැන් දහරා දෙස බලා සිටියේ නෙත් අදහාගත නොහැකි අයුරිනි. නාසයන් විනිවිද ගිය සැර මත්පැන් ගන්ධය මුහුණු ඇඹුල් කරනා අපුලක් ගෙනාවේය.පළමුව නිශ්ශබ්දතාවය බිඳදැමූයේ විජේය.

" මුගෙ අම්මට.....දැක්කද මූ කරපු දේ.." ඔහු චන්දරේ ගල ග්‍රහයෙන් ගෙන සොලවා ලූයේ කෝපයෙන් වෙව්ලමිනි.

" ඒයි මේ විජේ...නිකා ඉඳහං අතෑරපං ඕකගෙ බෙල්ල " විමලේ සහ මම වහා ඉදිරිපත්ව චන්දරේගේ ගෙල වටා ග්‍රහනය කොට තිබූ විජේගේ දෑත් ඉන් මුදා ඔහු ඉවතට ගෙන ගියෙමු.

මේ සිදුවුනු කිසිවක් වටහාගත නොහුනු චන්දරේ අප එකිනෙකාගේ මුහුණු දෙස අනුපිළිවෙලින් බලමින් යාන්ත්‍රිකව ක්‍රියාත්මක වන පිළිමයක් මෙන් හිටි පියවර හුන්නේය.

" සැමී මේ පුටු ඔක්කොම අයින් කරල වතුර බාල්දි දෙක තුනක් ගහල මේ ටික එලියට හෝදල දාපං, අර පරණ කොස්සක් තිබ්බ නේද අන්න ඒක ගනිං ඇහුනද කොල්ලො…" මම සැමී කැඳවා උපදෙස් දුනිමි.

සැමී සාලෙ හෝදල දානකල් අපි කට්ටිය මිදුලට බැස්ස. විජේ ඇවිල්ල චන්දරේගෙ දෑතම අල්ල ගත්ත.

" අනේ මචං තරහ වෙන්ට එපා. ඒ වෙලාවෙ මට මොනව උනාද දන්නෙ නෑ.."
" නෑ බං ඒක ගානක් නෑ. මගෙත් වැරැද්දනෙ " චන්දරේ බෙල්ල අත ගගා කිව්ව.

" දැං මොකද කරන්නෙ? එක බෝතලයයි තියෙන්නෙ..ඒක ඇද්ද? " මම ඇහුව කට්ටියගෙන්ම.

" බෑ..බෑ..මෙච්චර කෙලියක් වෙලා..අද තව තව දෙකක්වත් ගහන්ට ඕනමයි.." විජේ කිව්ව..

" දෙකවල් ගහන්ට කෝ බං සල්ලි?" විමලෙ ඇහුව.." කලින් ඔය දෙක ගෙනාවෙත් බොහොම අමාරුවෙං.."

" මේ කවුරු ගාව හරි තියනවනං සල්ලි දියල්ල. මම එකකට සල්ලි දෙන්නම් පඩි හම්බවෙච්ච ගමං " චන්දරේ කිව්ව..

" සල්ලි නැති එකනෙ බං වෙලා තියෙන්නෙ...මේ වීරෙ උඹේ පිහිට තමයි තියෙන්නෙ.." විමලෙ මා දිහාට හැරුනෙ..

" අනේ නෑ විමලෙ අයිය තියනවනං මම නොදී ඉන්නෙ නෑනෙ උඹ දන්නවනෙ මං ගැන.."

" නෑ බං මම ඒක දන්නව..මම කිව්වෙ පොඩි ලෝන් එකක් දාපං " විමලෙ අපේ අංගනාවියන්ගෙ ක්වාටර්ස් එක පැත්තට ඉඟි මැරුව. " අනෝමා ගාව සල්ලි ඇති. "

ඔයිට මාසෙකට කලින් මම ඒත් ඔය වගෙ වැඩකට මහ රෑ ගිහිල්ල සල්ලි ඉල්ලල අනෝම මට ඒ වෙලාවෙ සල්ලි දුන්න. පහුවදා දවල් දුන්න කන් පිරෙන්ඩ ලෙක්චර් එකක්. අද ගියොත් ආයම මට අහගන්ට වෙන
 මදි නොකියන්ට. ආය බඩුම තමයි..ඒත් මොනව කරන්ඩද? යාලුවො වෙනුවෙන් පණ උනත් දෙන එකෙක් මම. 

" හරි ඉඳපල්ල මම අනෝමගෙන් සල්ලි ඉල්ලගෙන එන්නං. "

මම මගෙ කෑලි තුනේ ටෝච් එකත් පත්තුකරගෙන එළියට බැස්ස.

Tuesday, May 6, 2014

256. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 19 - චුට්ටි අයියාගේ කතාව - පියේහි විප්පයෝගෝ.....

Google Images

" මාතලේට යනකොට අපෙ ගෙදර ඉස්සර පාරෙන් ගිහිල්ල දකුණට හරවල දෙණියෙ කඩ මණ්ඩියගාවට යනකල් තාර පාර යස අගේට පේනව හිඟුරු මල්දෙණ ගාව ගම්මාලු ගහ යටට ගියාම. මයිනර් එක ගේට්ටුවෙන් පාරට දාපු ගමන්ම මම එක පිම්මට වැටෙන් පැනල දුවගෙන ගියා ගම්මාලු ගහ යටට. මයිනර් එක හතරෙ බෝක්කුව ළඟදි පාර හරහ පැන්න කලු පාර හරකෙකුට ඉඩ දීල නවත්තගෙන හිටිය විනාඩියක් විතර. ඊට පස්සෙ කන්ද නැඟල දෙණියෙ කඩ මණ්ඩිය පහු කරල නොපෙනී ගියා. " 

" මම එහෙමම තව ටික වෙලාවක් ඉඳල ආපහු ගෙදර එන්ට හැරුන. හුලඟටද කොහෙද මම අර වෙහෙර වහපු පරඬැල් පෙරලිලා ගිහිල්ල. මේක හරි යන්නෙ නෑ. මෙහෙම ගියොත් චුට්ටි අයිය හෙට ආපහු එනකොට මේ වෙහෙරෙන් ගන්ඩ දෙයක් නැතිවෙයි. එහෙම හිතල මම තව පරඬැල් ගෙනල්ල වෙහෙර හොඳට වහල දපැත්තෙං බර වෙන්ට පරන බිඳිච්චි මුට්ටි කබලකුයි කැඩිච්චි බාල්දියකුයි තිබ්බ. "

ඊට පහුවදා මම මඟ බලාගෙන හිටිය චුට්ටි අයිය ඉස්පිරිතාලෙ ඉඳල ආපහු එනකල්. අම්මයි ලොකු අයියයි උදෙන්ම ගිය මාතලේ ඉස්පිරිතාලෙට. ගම්මාලු ගහ යට ගල් තලාවට වෙලා මම උදේ වරුවම ඔහේ අහස දිහාවෙ බලා හිටිය. හවො නරි, බල්ලො , කොටි ඔය මොකුං මොකුං අහසෙ එහෙ මෙහෙ දිව්වද එකා එකා පස්සෙ පැන්නුවද මම දැක්කෙත් නෑ. මට එව්ව බලන්ට කිසිම උවමනාවක් තිබ්බෙත් නෑ.

ඉර හැරුණටත් පස්සෙ බිසෝ මැණිකෙ ආව මාව හොයාගෙන. වෙනද වගෙ එවුන්දැ වැට ලඟ ඉන්දගෙන මහ හයියෙං ගමම දෙවනත් වෙන්ට කෑගැහුවෙ නෑ. ඔලුව පරණ සාලුවකින් වහගෙන හිඟුරුමල් දෙණ ගාවටම ආව.

" යමු චුට්ටි දෙයිය බත් කන්ට.."

මා ලඟ ඇවිල්ල ඉඳගෙන එහෙම හෙමිහිට කිව්ව.

" මට බඩගිනි නෑ බිසෝ……" මම බිසෝගෙ උරහිසට හේත්තු උනා.

" එහෙම කියල හරියන්නෙ නැහැ නෙව...දරුවෝ..උදේටත් පාන් කෑලි දෙකක් විතරනෙ කෑවෙ..යමු යමු ගිහිල්ල බත් ටිකක් කමු. …" බිසෝ මාව අතින් අල්ලල නැඟිට්ටෙව්ව.

එදා රෑ අම්මවත් ලොකු අයියවත් ආපහු ආවෙ නෑ. අම්මල චුට්ටි අයියව මාතලේ එක්කං ගිය තලකොටුවෙ ගෙදර මයිනර් එක එළෙව්වෙ පන්සල පල්ලෙහා වෙලෙන් එපිට හේන් කනත්තෙ ගෙයක් හදාගෙන හිටපු අබේ මාම. හවස පහට විතර ගෙදර යන ගමං උන්දැ කඩුල්ල ගාව නැවතිල උගුර පෑදුව. ඒ සද්දෙට ලොකු අක්ක මිදුලට බැහැල කඩුල්ල ගාවට ගියා.

" ලොකු දුවේ අම්ම අද එන්නෙ නෑ කියල කිව්ව. රෑට යනව කිව්ව හරස්ගම. " හරස්ගම තියෙන්නෙ මාතලේ ටවුම කිට්ටුවමයි. අම්මගෙ ලොකුම අක්කා අපෙ ලොකු අම්ම දීග ගිහිල්ල හිටියෙ හරස්ගමට.

එදා රෑ ලොකු අක්කයි මායි විතරයි ගෙදර හිටියෙ බිසෝ ඇරුණු කොට. පොඩි අයියයි අනික් අක්කල දෙන්නයි කොහෙ හරි ගිහිල්ල. රෑට බිසෝ රොටී හැදුව. රතුලූණුයි අමු මිරිසුයි කපල දාල ගනකමට හදන බිසෝගෙ රොටි කන්ට මම හරි කැමතියි. ඒක දන්න හින්දම තමයි මම හිතන්නෙ එදා රෑ බිසෝ රොටි තනන්ට ගත්තෙ.

" චුට්ටි දෙයියට රොටි කීයක් ඕනද? "

රොටි කබල පරණ පිහා තලේකිං හූරල සුද්ද කරන ගමං බිසෝ මගෙ දිහා බලල හෙමිහිට ඇහැව්ව.

" දෙකක්? තුනක්? "

ලිපට දාපු පොල් කට්ට ඇවිලිල ලිප වටේට ගින්දර විහිදෙනව බලාහෙන හිරමණේ උඩ වාඩි වෙලා හිටපු මම ඒ ප්‍රස්න ඔක්කොටම ඔලුව දෙපැත්තට වැනුව.

ගලේ කොටල කරපිංච එහෙම දාල මලවපු සම්බලෙත් එක්ක රතුලූණු අමු මිරිස් දාපු රොටි කනකොට වෙනද පුදුම රහක් තියෙන්නෙ. එහෙම රොටි කාල උණුවට කහට එකක් බොන්ට ඕන කිතුල් හකුරු කෑල්ලකුත් එක්ක. එදා මම කෑවෙ රොටි එකහමාරයි. කහට එක නිවෙනකල් ඔහෙ ඒක දිහාවෙ බලාගෙන ඉඳල උගුරට දෙකට බීල දාල හකුරු කෑල්ල හෙමිහිට පොඩ්ඩ පොඩ්ඩ කෑව. බිසෝ මා දිහා බලා ඉඳල ඇස් දෙක පිහ ගන්නව මම දැක්ක.

අපෙ අම්ම පහුවෙනිද ආවෙත් නෑ. ලොකු අක්ක අම්මට අඳිනට හැට්ට ඔසරි දෙක තුනක් එහෙම අරගෙන පාන්දර පහමාරෙ බස් එකේ මාතලේ ගියා. හිඟුරු මල් දෙණ ගාව ගම්මාලු ගහ යට තමයි දවසෙ වැඩි හරියක් මගෙ කාලය ගත උනේ.

හවස ලොකු අක්ක ආපහු ආව....ඇස් දෙකේ කඳුළු පුරවගෙන මගෙ ඔලුව අතගෑව. එයා මොකවත් කිව්වෙත් නෑ...මම මොකවත් ඇහුවෙත් නෑ..ඒත් මගෙ පුංචි හිතට ඉවෙන් වගෙ තේරීගෙන යමින් තිබුණ චුට්ටි අයිය ආයෙම එන එකක් නෑය කියල.

වෙනද ඇඳට වැටෙන්නෙ මට නින්ද ගිහිල්ල. එදා රෑ හුඟක් වෙලා යනකල් මට නින්ද ගියේ නෑ..චුට්ටි අයිය ආයෙම එන්නෙ නැතිවෙයි.එහෙමනම් එයයි මායි පටන් ගත්තු අර වෙහෙරෙ වැඩේ මම වත් ඉවර කරන්ට ඕන කියල මට හිතුන. ඔව් මම එහෙම කරන්න ඕන...මම නින්දෙන්ම වගෙ තොල මැතුරුව.

" චුට්ටි නංගි මොකෝ නින්ද යන්නෙ නැද්ද? " ලොකු අක්ක එහෙම අහල මගෙ කෙස් අස්සෙන් ඇඟිලි යවල හිස් පිරිමදින්න පටන් ගත්ත. ඒ සනීපෙත් එක්කම දන්නෙම නැතුව මගෙ ඇස් පියවුනා.

පහුවෙනිද උදේම මම නැඟිටිනකොට හිරි පොදක් වැටෙනව. ඒත් නමය වගෙ වෙනකොට වැස්ස පෑව්ව…

" ලොකු අක්කෙ මම යනව අනිල්ලගෙ ගෙදර.."

උදේට හීල් බත් කාපු ගමන්ම මම කිව්ව මගෙ පං කොල තොප්පියත් දාගන්න ගමන්…

" චුට්ටි පරිස්සමින්, වැඩි වෙලා ඉන්ට එපා....හොඳද? "

ලොකු අක්ක කුස්සියෙ බිම ඉඳගෙන පොළොසයක් කපනව. උදේ ඕක දෙබෙදුමෙ කොස් ගහෙන් කෙක්ක දාල ඇදල බිම දැම්මෙ බිසෝ...බිසෝ පේන්ට හිටියෙ නෑ ඒ වෙලාවෙ.. මයෙ හිතේ ළිඳට යන්ට ඇති වතුර කළගෙඩියත් ඇන්න.

අනිල් කිව්වෙ චුට්ටි අයියගෙ හොඳම යාලුව.....අපි ඔය වෙහෙර කර්මාන්තෙ වැඩේ පටන් ගත්තෙ අනිලුයි එයාගෙ නංගියි එක්ක...නංගි මගෙ පන්තියෙ...ධම්මිකා...

" අනිල් අයියෙ....අපි යමුද එදා කතාකර ගත්තු විදිහට ඇළෙන් වැලි අරගෙන එන්ට…"

එයාලගෙ මිදුලෙ ජම්බු ගහයට හරහට දාල තිබ්බ අඹ කොටේ උඩ ඉඳගෙන මම ඇහුව..

" ඇයි නංගි විජේ එනකල් ඉන්නෙ නැද්ද? " චුට්ටි අයියට යාලුවො කිව්වෙ විජේ කියල..

" බෑ…. චුට්ටි අයිය එන දවසක් කියන්ට බෑ..අපි එයා ගෙදර එනකොට වෙහෙරෙ වැඩේ ඉවර කරල තියමු...එතකොට එයා සන්තෝස වෙයි. "

පරණ පෝර මලු දෙකකුයි පොඩි උදැල්ලකුයි අරගෙන අපි තුන්දෙනා ගියා ඇළට...උදේ වැස්ස නිසා ඇළ දෙපැත්තෙම ගොඩ වෙලා තිබ්බ වැලි තෙමිල...හරිම බරයි...පෝර මල්ලෙ කාලක් වගෙ පිරෙව්වම උස්සං යන්ට බැරි තරමයි..ඒත් අපි තුන් දෙනා මාරුවෙන් මාරුවට වැලි අරගෙන ගිහිල්ල අපෙ මිදුලෙ කෙලවරක තිබ්බ සේපාලිකා ගහ යට ගොඩ කලා.දවල් එක වගෙ වෙනකොට සෑහෙන වැලි ගොඩක් ගොඩ ගහන්ට අපිට පුලුවන් උනා.

එදා හවස හතරට වගෙ අප්පච්චි ආව. ඒ කාලෙ එයා වැඩකලේ මම හිතන්නෙ මඩුකන්ද පැත්තෙ.....අම්ම මගෙ හිතේ පණිවිඩයක් යවන්ට ඇති. අප්පච්චි එනගමන්ම ඉස්පිරිතාලෙ ගිහිල්ල චුට්ටි අයියව බලල ඇවිල්ල තියෙන්නෙ..

" චුට්ටි දුව මූණ කට හෝදල අලුත් ගවුමක් ඇඳගන්ට...ඉස්පිරිතාලෙ යන්ට ඕන.."

අප්පච්චි එහෙම කියල ඇඳගෙන හිටපු නැෂනල් එකේ කමිසෙ ගලවල වැලේ දාල ගෙට ගොඩ උනා.

" ලොකු දුව මට කහට එකක් ගේන්ට. " ඒ එක්කම සාලෙට ආපු ලොකු අක්කට කියාගෙනම අප්පච්චි වේවැල් ඇඳි පුටුවෙ ඉඳගත්ත.

" චුට්ටි පුතා කිව්වලු චුට්ටි දුවව බලන්ට ඕන...එක්කගෙන එන්ට කියල.." කාමරේ අල්මාරිය ඇරල ගවුමක් තෝරමින් ඉන්න මට අප්පච්චි හෙමිහිට ලොකු අක්කට එහෙම කියනව ඇහුන.

මාතලේ ඉස්පිරිතාලෙ දහ අට නැත්තං දහ නමය වාට්ටුවෙ චුට්ටි අයිය හිටියෙ. අම්මයි ලොකු අයියයි එයා ළඟ හිටිය. අම්ම මාදිහාවෙ බලල යන්තමට හිනාවෙල ආයෙම බිම බලාගත්ත. සේලයින් බටයක් චුට්ටි අයියගෙ දකුණු අතට ගහල තිබ්බ. බිංදුව බිංදුව සේලයින් වැක්කෙරෙනව මම පිටිපස්සට වෙලා බලාගෙන හිටිය.

අප්පච්චි ඇඳ වටේ හිටිය සෙනඟ අතරින් ළඟටම ගියාට මම හෙමිහිට පස්සට උනේ චුට්ටි අයිය දිහා බලන්ට මොකක්දෝ බයක් වගෙ හැඟීමක් පපුව පුරා පිරිල මගෙ හුස්ම හිරකරන්ඩ වගෙ හදපු හින්ද. ඉස්පිරිතාලවල ඇඳන් උසයි. චුට්ටි අයියගෙ මූණ එහෙම මට පැහැදිලිව පෙනුනෙ නෑ..එයාගෙ ඉණ විතර වෙනකල් අපෙ නිල්පාට ඉරි ඉරි බෙඩ් ෂීට් එකක් පොරවල තිබ්බ.

අම්ම චුට්ටි අයිය දිහාවට නැවෙනව මම දැක්ක.

" මොකක්ද පුතා කිව්වෙ? " අම්ම එහෙම අහල ටික වෙලාවක් නැමිල ඉඳල කෙලින් වෙලා පස්ස හැරිල මගෙ දිහා බැලුව.

" චුට්ටි දුව..මෙන්න අයිය කතා කරනව…"

මම හෙමිහිට ඉස්සරහට ගියා. ඇඳ ළඟ හිටපු එගොඩහ ලොකු අප්පච්චි පැත්තකට වෙලා මට ඉඩ දුන්න. මම ඇඳේ මෙට්ටෙ අල්ලගෙන ඉස්සිලා බැලුවා. චුට්ටි අයිය මේ දවස් දෙක තුනට අඳුනන්න බැරි තරමහ කෙට්ටු වෙලා ගිහිල්ල. ඇස් වටේ කළු වෙලා...එයා සේලයින් බටේ ගහල තිබ්බ අත උස්සල මගෙ අත අල්ල ගත්ත.

" චුට්ටි නංගි............ "

අයිය කියන්නෙ මොනවද කියල තේරුම්ගන්ට මට කකුලෙ ඇඟිලිවලින් ඉස්සිල එයාගෙ මූනට මූණ කිට්ටු කරන්ට උනා. චුට්ටි අයිය ගාවින් ආවෙ අමුතුම සැර බෙහෙත් සුවඳක් වගෙ එකක්. තවම උනත් බෙහෙත් කැප්සියුල් එකක් පොඩි උනොත් මට දැනෙන සුවඳ මතක් කරන්නෙ එදා ආපු ඒ නහය කඩාගෙන යන සැර සුවඳ...

කොහොමහරි ඒ වෙනකොට චුට්ටි අයිය ආයෙ ගෙදර එන්නෙ නෑ කියල මට ඉස්තිරවම හිතිලයි තිබ්බෙ. ඒ නිසා මම අපි ඔයා ආහම ආපහු වෙහෙර හදමු චුට්ටි අයියෙ කියල කියන්ට ගියේ නෑ. ඇසිපිය නොහෙලා එයාගෙ සහෝදර ප්‍රේමයෙන් පිරුණු බාගෙට පියවෙච්ච ඇස් දෙක දිහා බලාගෙන හිටිය. මගෙ ඇස් දෙකට කඳුලු පුරාගෙන ආවෙ දන්නෙම නැතුව. අඬන්ඩ එපා චුට්ටි නංගි චුට්ටි අයිය එහෙම කිව්වෙ නෑ.එයත් මම හිතන්නෙ දැනගෙන හිටිය ආයම එයාට ගෙදර එන්ට ලැබෙන්නෙ නැහැය කියල.

" මම එනකල් ඉන්ට එපා..ඔයා වෙහෙර හදන්ට…"

චුට්ටි අයිය අමාරුවෙන් එහෙම කියාගත්ත. ඒහෙම කියල මගෙ අත තදින් මිරික ගත්ත. එහෙම ටික වෙලාවක් ඉන්නකොට එයාගෙ ඇස් පියවුනා. අත බුරුල් වෙලා මගෙ අතත් අතෑරුනා.

" චුට්ටි පුතාට නින්ද ගියා මගෙ හිතේ " අම්ම එහෙම කියල අයියගෙ ඔලුව අත ගෑව.

මම ඊට පස්සෙ අයියව බලන්ට ඉස්පිරිතාලෙට ගියේ නෑ. ඇසුත් යට ගිලිල චුටි අයිය ඉස්පිරිතාලෙ ඇඳ උඩ වැතිරිල අතට සේලයින් බට ගහල ඉන්නව ආයෙම බලන්ට මට උවමනාවක්වත් පුලුවන් කමක්වත් තිබ්බෙ නෑ.එදා ගිය එක ගැන උනත් මම කාලයක් යනකල් පසු තැවුනා.

එදා අපෙ ගෙදර මිදුලෙ කාර් එකේදි චුට්ටි නංගි මම ඉක්මනට එන්නම්.අපි වෙහෙර හදල ඉවරයක් කරමු මම ආවම එහෙම කියල මා එක්ක හිනාවුනු චුට්ටි අයියගෙ මූණ හිතේ මවාගෙන ඉස්පිරිතාලෙ ඇඳ උඩ දැක්ක මූණ අමතක කරන්ඩයි මට ඕන උනේ.

ඊළඟ දවස් හතරම මහ වැස්සක් නොවුනත් එක සීරුවට දවසම හිරි පොදක් ගැහුව. මම පංකොළ තොප්පියත් දාගෙන හිටියෙ යන්තමට හරි වැස්ස පෑව්වොත් ගිහිල්ල වෙහෙරෙ වැඩේ ඉවරයක් කරන්ට.අනිලුයි ධම්මිකයි ආවෙ නැතිඋනොත් මම තනියම හරි ඒ වැඩේ ඉවරයක් කරනවයි කියල මම එක හිත් හිතාන හිටියෙ. චුට්ටි අයිය ගෙදර එන්ට ඉස්සර වෙලා වැඩේ ඉවර කරල චුට්ටි අයිය ආහම චුට්ටි අයියෙ ඔන්න මම ඔයා කියපු විදිහට වෙහෙරෙ වැඩේ ඉවර කලා කියල කියන්ටයි මට ඕන වෙලා තිබ්බෙ.

පස්වෙනි දවසෙ උදේ මම නැඟිටිනකොට වැස්සක ලකුණක්වත් නෑ..අහස නිල්ම නිල් පාටයි. එදා ගෙදර හිටියෙ බිසෝ විතරයි. අනික් ඔක්කොමල ඉස්පිරිතාලෙ ගිහිල්ල. බිසෝත් ඔය යන්තමට මොනව හරි රත් කරනව ඇරෙන්ට කලේ කුස්සියෙ එලිපත්තට එහා පැත්තෙ කොට බිත්ති කෑල්ල උඩ වාඩිවෙලා බැලූ අත බලාගෙන කඳුලු පෙරන එක.

ධම්මිකාලගෙ ගෙදරට මම දුවගෙන ගියා..

" එන්ටලා..අද වහින්නෙ නෑ වගේ අපි වෙහෙරෙ වැඩේ ඉවරයක් කරමු. "

ඒ දෙන්නත් මා එක්ක ආව. පහුගිය හතර දොහේ වැස්සට වෙහෙර බාගයක් වගෙ හේදිලා ගිහිල්ල. ඒත් අපි තුන්දෙනා ආයෙම වැඩේ පටන්ගත්ත.

" නංගි අද විජේ ගෙදර එක්ක එනවද? " අනිල් අයිය මගෙන් ඇහුව වෙහෙරෙ හේදිල ගිය තැන් වලට කිරි මැටි ගාන අතරෙ.

" ඔව් අයියෙ මම හිතන්නෙ එහෙමයි…"

දවල් දොළහමාර වගෙ වෙනකොට වෙහෙරෙ වැඩේ ඉවරකරගන්ට අපිට පුලුවන් උනා.

වෙහෙර වැහෙන්ටම රතුයි කහයි හිඟුරු මල් ගහල කොත උඩට පරණ පිච්චිච්ච නිල්පාඅට චුට්ටි බල්බ් එකක් ගහල අපි ඇලෙන් ගොඩ දාල ගෙනාපු වැලි වටේට විසිරුවල වැලි මලුවකුත් හදලම ඔන්න අපි වැඩේ අපූරුවට ඉවරයක් කලා. ඒ අතරෙ ගේ පැත්තෙන් මහ සද්දෙට කලබලයක් වගෙත් ඇහුන. වාහන දෙක තුනක්ම එනව යනව හෝන් ගහනව...

" විජේ එක්ක ඇවිල්ලද දන්නෙ නෑ…" අනිල් අයිය නැඟිටල අතේ තිබ්බ මඩ කලිසමේම පිහදගෙන අපේ ගේ පැත්ත බලල කිව්ව.

" වෙන්න ඇති...අපි මේ ටික ඉවරයක් කරල දාමු. "' මම වැලි මලුවෙ අඩු පාඩු තැන්වලට තව වැලි දමන අතරෙ කිව්ව.

" නංගි තව ටිකයිනෙ ඔයා ඔය ටික ඉවරයක් කරන්න. මෙහෙම මඩ පිටින් විජේ බලන්න යන්න බෑ. අපි දෙන්න ගෙදර ගිහිල්ල ඇඳුම් මාරු කරගෙන එන්නම්…"
" හා එහෙනම්……." මම දිගටම මගෙ වැඩේ කරගෙන ගියා.

ටික වෙලාවකින් කාගෙද හෙවණැල්ලක් වැටුන මගෙ ඉස්සරහට. ඒ බිසෝ..

" චුට්ටි දෙයිය ..යමු...." බිසෝගෙ කට හඬ හිර උනා…මම හෙමිහිට නැඟිටල බිසෝ පස්සෙන් ගෙදර ගියා..

චුට්ටි අයිය හිටිය සාලෙ..අම්ම අප්පච්චි ලොකු අයිය පොඩි අයිය..අක්කල ලොකු අම්මල, ලොකු අප්පච්චිල ඔක්කොම සාලෙ එකතුවෙලා හිටිය.

" චුට්ටි දුව …"

අම්ම මා දිහාවෙ බලල මගෙ ඔලුව අත ගෑව. මම ඒ කවුරුවත් දිහා නොබල චුට්ටි අයිය ළඟට ගියා..

" චුට්ටි අයියෙ…." මම එයාට කතා කලා..

" ඔයා කියපු විදිහට මම වෙහෙරෙ වැඩේ ඉවර කලා. ඔයාට පුලුවන් වෙලාවක ඇවිල්ල බලල යන්න. මටත් කතා කරන්න මමත් එන්නම්. "

එසේ පැවසූ ඉක්බිති ඇය මා උරහිස හිස හොවා ඉකි බිඳින්නට වූවාය. මම ඇගේ හිස පිරිමදිමින් සෙමෙන් පහත්ව නළල සිප ගත්තෙමි.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...