Friday, December 20, 2019

645. නිදිගේ නිවහනේ සුහද හමුව....


බොරැල්ල මංසන්ධියේ ඩියුරෝයි අවන්හල....

පහුගිය බදාදා ඒ කිව්වෙ දෙසැම්බර් එකොළහ ඇවිල්ල හිට පසළොස්වක පෝය....

ඊට දවස් තුනකට විතර කලින්... මට මතක විදිහට ඉරිද වෙන්න ඕන...අපගේ සන්මිත්‍ර ප්‍රාජේ මහතාණෝ මා ඇමතූහ. 

"රවී...අර සිරිබිරිස් මතකද?"

"සිරිබිරිස් කිව්වෙ?"

"අර ඔයාගෙ බ්ලොග් එකේ කමෙන්ට් එහෙම දාන්නෙ සිරිබිරිස් කියල..අන්න ඒකා.."

"ඉතිං?"

"සිරිබිරිස් මේ දවස්වල නිවාඩුවකට ඇවිල්ල ඉන්නෙ..ඉතිං ඔයාව හම්බවෙන්නම ඕන කිව්ව...."

"හරි...නෝ ප්‍රොබ්ලම්..අපි හම්බවෙමු..."

"මේ... අපි දෙතුන් දෙනෙක් මේ පෝය දවසෙ ලන්ච් එකට සෙට් වෙන්න හිතුව නිදිගෙ ගෙදර..."

"නිදි කිව්වෙ? අර නිදිගෙ පංච තන්තරේ ලියන්නෙ?"

"ඔව් ඔව්..එයා තමයි... නිමල් දිසානායක...සිරිබිරිස් තමයි වැඩේ ඕගනයිස් කලේ..ඉතිං මම කිව්ව ඔයාට නම් එන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ කියල...මොකෝ කියන්නෙ එන්න පුලුවන්ද?"

"මේ දවස්වල නම් පොඩි ප්‍රශ්ණයක් තියනව ප්‍රා..මගේ භාර්යා තොමෝගෙ අක්කගෙ දුවට ඩෙංගු හැදිල ටිකක් විතර සීරියස් කේස් එක..."

"ආ...එහෙමද?"

"ඔව් මාතලේ හොස්පිට්ල් එකේ ඉන්නෙ අයි.සී.යූ. එකේ.."

"ඇත්තද?"

"ඔව්..ඒ හින්ද මට එන්න වෙන එකනම් කියන්න අමාරුයි ප්‍රා.."

"හරි හරි. ප්‍රශ්ණයක් නෑ..ලබන වීක් එන්ඩ් එකේ නෙවෙයි ඊලඟ වීක් එන්ඩ් එකේ විතර මම කොහොමත් නුවර පැත්තෙ එන්නයි හිතාගෙන ඉන්නෙ...මම සිරිබිරිස්ටත් කිව්ව මා එක්කම ගිහෑකි කියල.."

"අන්න හොඳයි ප්‍රා..අපි එහෙනම් එතකොට හම්බවෙමු..අපේ ගෙදර ඇවිල්ල ඔය බත් ටිකක් එහෙම කාල..දන්නෙ නැද්ද..හෙහ්..හෙහ්....."

ප්‍රා කතාකරන වෙලාවෙත් මම හිටියෙ මාතලේ...අර මම කිව්ව අක්කගෙ දුවට ඔය ඩෙංගු වලට ඉතාම ගුණදායකයි කියන පාරම්පරික සිංහල වෙද මහත්මයකුගෙ බෙහෙතක් අරගෙන ගිය ගමන්...ඒ වෙද මහත්මය ඉන්නෙ මාතලේ ඇල්වල... ඔය නා නා ප්‍රකාර පාරම්පරික ප්‍රතිකාර ක්‍රම ගැන මගේ ඒ හැටි විශ්වාසයක්නම් නෑ. ඒත් ඒ එක්කම අපි නොදන්න දේවල් බොහොමයක් මේ ඉර හඳ යට තියෙන්න පුලුවන් කියන එක මම ඉතා දැඩිව විශ්වාස කරනව 

Reality is not only stranger than we suppose but stranger than we can suppose.
- J. B. S. Haldane

ඉහත උද්ධෘතයට උදාහරණ ලෙස මෙන්න මේ සබැඳි වලට ගිහිල්ල පොඩ්ඩක් බලන්න...



මේ "Universe is a computer simulation" තියරි එකේ බොහොම සිත් ඇදගන්නාසුළු අපෝහනයන් කීපයකුත් තියනව. එකක් 2016 අමරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් නොසිතූ වීරූ ලෙස ජයගැනීම. මේ තියරි එකෙන් කියන්නෙ Computer simulation එක මෙහෙයවන Supreme beings හිතමතාම ට්‍රම්පච්චිව ජයග්‍රහණය කෙරෙව්වයි කියල. 

ඒ කියන්නෙ ඒ වගෙ අනපේක්ෂිත සංසිද්ධියකට මිනිස්සු ප්‍රතිචාර දක්වන්නෙ කොහොමද? ඒ වගේම දීර්ඝ කාලීනව එහෙම දේකින් ඇතිවන හොඳ හෝ නරක ප්‍රතිඵල කොහොම වෙයිද? කියල නීරීක්ෂණය කිරීමයි ඔවුන්ගෙ අභිප්‍රාය. අන්න එහෙමයි ඒ තියරි එකෙන් කියන්නෙ. පිස්සු පීකුදු නේ? ඔය Brexit අර්බුදයත් එහෙම එකක්ලු.

ඒ තියරි එකේ කියවෙන හැටියට අර Supreme beingsල කරන්නෙ මනුෂ්‍ය වර්ගයා Extreme Conditions භාජනය කරවල ඒ ඒ තත්වයන්ට මුහුණ දෙන්නෙ කොහොමද? කියල අධ්‍යයනය කරන එක. 

ඉතිං ඔය තියරි එක ගැන ගැඹුරට කල්පනා කරද්දි මට එක පාරටම මෙහෙම කල්පනාවකුත් ආව. දෙයියෝ සාක්කි මේ වසවර්ති මාරයො නොවැම්බර් 16 වෙනිද ලංකාවෙ මිනිස්සුන්ගෙන් 69 ලක්ෂයකගෙ මොලේ විකෘති කලා වෙන්න බැරිද? කරුණු කාරණා සිද්ධ වෙච්චි හැටියටනම් Most probably that's what happened on that day. There is no other rational explanation for that collective madness of majority of Sri Lankans.

හරි මගේ තියරි ගැන ඒ ඇති...හෙහ්...හෙහ්...

හැල්ඩේන්ගෙ උද්ධෘතයට අමතරව තවත් මෙහෙම දේකුත් තියනව. ජීවිතේ අපිට ඕන හැටියටම කටයුතු කරන්න බෑ. ඉතිං තමන් අවට ඉන්න ඥාතීන් හිත මිත්‍රාදීන්ගෙ අදහස් උදහස් වලටත් අනිවාර්යයෙන්ම සවන් දෙන්න එව්වට ඉඩ දෙන්න වෙනවාමයි තමන් කැමති උනත් අකමැති උනත්..ජීවිතයට ඉඩ දෙන්න කියල කියන්නෙ අන්න ඒකට කියලයි මම හිතන්නෙ.

"මේ අර ඇල්වල වෙද මහත්තයෙක් ඉන්නවලු ඩෙංගුවලට බෙහෙත් දෙන. එයාගෙ බෙහෙත් ආය නෑ ටක්කෙටම හරියනවලු. ඔයාට බැරිද ගිහිල්ල ඒ බෙහෙත් බෝතලයක් අරගෙන එන්න?..."අපේ බිරින්දෑ තොමෝ එහෙම කිව්වම ආය මොකෝ මට බැහ් කියන්නයැ... නැද්ද?

ඔය ඇල්වල වෙදමහත්තයගෙ බෙහෙතට අමතරව මම ගිය අඟහරුවාද හවස අර වේවැල්දෙණියෙ හාමුදුරු කෙනෙක් තෙලක් හදල දෙන්නෙ නලල දෙපැත්තෙ ගාන්න ඩෙංගු වලට..අන්න ඒ බෙහෙත් තෙල් කුප්පියකුත් අරගෙන ආව.

ඉතිං අර ඇල්වල බෙහෙතෙ බලයෙන්ද, වේවැල්දෙණියෙ තෙලේ බලයෙන්ද, නැත්නම් ඉස්පිරිතාලෙ ප්‍රතිකාරවල බලයෙන්ද, එහෙමත් නැත්නම් ඒ තුනේම ඒකාබද්ධ බලයෙන්ද, නැත්නම් ඔය තුනෙන් දෙකක බලයෙන්ද කියන්න දන්නෙ නෑ පොඩි එකීට අඟහරුවාද වෙනකොට සෑහෙන ගුණයක් තිබ්බ. 12 ට බැහැල තිබ්බ ප්ලේට්ලට් කවුන්ට් එක ආයම 22 ට වගෙ වැඩිවුනා. දැන් බයවෙන්න දෙයක් නෑ කියලයි ඉස්පිරිතාලෙන් කිව්වෙ.

ආ..මට කියන්න අමතක වුනා ප්‍රා කතා කරපු වෙලාවෙ මම සිරිබිරිස්ගෙ නම්බර් එක ඉල්ලගෙන සිරිබිරිසට කතා කලා. 

"මේ මිස්ට සිරිබිරිස්ද?"

"ඔව්ව්ව්..කව්ද මේ?"

"මම මේ රවි කියල කෙනෙක්..අර නිදහස් සිතුවිලි කියල බ්ලොග් එකක් එහෙම ලියන්නෙ..අන්න ඌ...."

"ආ..මේ රවි අයියනෙ..ඉතිං අයියෙ කොහොමද?"

සිරාටත් මම කිව්වෙ ප්‍රාට කියපු එකම තමයි. පෝයදා සුහද හමුවට බොහෝවිට එන්න බැරිවෙයි කියල..

ඉතිං අඟහරුවාද ඒ කියන්නෙ පෝය දවසට කලින් දවසෙ අක්කගෙ දුවගෙ තත්ත්වය හොඳ අතට හැරුනම මම තීරණය කලා නිදිගෙ නිවහනේ පහුවදා පැවැත්වෙන සුහද හමුවට සහභාගි වෙන්ට ඕමනයි කියල. මම ඒ ගමන ප්‍රා සහ සිරාට දැනුම් දුන්න "Hey guys I am coming after all " කියල...

ඒ කරල පේරාදෙණිය ස්ටේෂන් එකට ගිහිල්ල උදේ 6.15 ට කොළඹ යන ඉන්ටර්සිටි එකට ටිකට් එකක් ගත්ත. පහුවදා පෝය හින්ද අවුලක් නෑ ටිකට් තිබ්බ. නැත්නම් ඔය ඉන්ටර්සිටි එකේ ඔය හදිස්සියට ටිකට් ගන්න එක බොරු.

මම කොහොමත් පුලුවන් තරම් දුම්රියේ තමයි ගමන බිමන..මගෙ දැන් කාලෙක ඉඳල තියනව දණිස් අමාරුවක්. දකුණෙ විශේෂයෙන්ම. වැඩේ කියන්නෙ මගෙ දණහිසටත් මගේ වයසමනෙ. නිකමට හිතල බලනනකො මේ අවුරුදු 56 ක දීර්ඝ කාලය තුල ඔය දණහිස කී පාරක් නම් නැවෙන්න ඇත්ද? කීපාරක් නම් දිග ඇරෙන්න ඇත්ද? ගෙවල් වල දොර සරනේරු අවුරුදු උපරිම අටක් දහයක් යනකොට මැදින්ම ගලවල යන විදිහට අපේ දණිස් ඔහොම තියන එකත් ලොකු දෙයක්නෙ නැද්ද මං අහන්නෙ?

ඉතිං කෝච්චියෙ යද්දි තියෙන චාන්ස් එක තමයි දණිස් රිදීගෙන රිදීගෙන එනකොට ටිකක් සීට් එකෙන් නැඟිටල එහාට මෙහාට ඇවිදල කාරිය පොඩ්ඩක් හිරි ඇර ගන්ට තියෙන හැකියාව. එහෙම නැතිඋනත් පොඩි එකා කාලෙ ඉඳලම මම ප්‍රබල දුම්රිය ලෝලියෙක් (A train buff)

මරදානෙන් බැහැල මම රාජගිරියට 176 බස් එහෙක නැඟල ආව. 176 හෙට්ටියාවත්ත-කරගම්පිටිය බස් කාලයක් මගේ ලඟම හිතවතුන් වෙලා තිබුන. ඒ ඉස්කෝලෙ යන දවස්වල. 

රාජගිරියෙ ඉඳල මහරගම නිදි නොහොත් නිමල්ගෙ ගෙදරට මම ආවෙ ප්‍රා එක්ක. නිමල් ගෙ නිවහනට මම යනකොට උදේ 10වත් වෙලා නැහැ. දිවා ආහාරයට තැනකට යද්දි උදේ දහයට යන සිරිතක් නම් නෑ. ඒත් ඉතිං මක් කරන්නද? 

ඉතිං අපේ සුහද හමුව ඉතාම සාර්ථක ලෙස පැවැත්වුනා. මම ප්‍රා සහ සිරිබිරිස්ට අමතරව අටමා සහ කොළොම්පුරේ සහභාගි වුනා අපේ බ්ලොග් සගයින් හැටියට. ඊට අමතරව නිමල්ගෙ බාල සහෝදරයෙක් සහ නිමල්ගෙ තවත් හිත මිතුරන් තුන් හතර දෙනෙකුත් සාදයට එක්වුනා.

ඉතිං හවස පහ වගෙ වෙනකල් සාදය බොහොම උත්කර්ෂවත් ලෙස පැවැත්වුනා.සුහද සාකච්ඡා, විහිලු තහලු, විවේචන, අගය කිරීම්, ආගිය තොරතුරු කතා බහ මෙකී නොකී සියළු දෑ....

මෙව්ව ඔක්කොම අවසානයෙ ආපහු ගෙදර යන්නත් එපාය...මහරගම - මහනුවර බස් සේවයක් පැවැත්වෙන බව මම දැනගෙන හිටිය. ඒ හින්ද සිරිබිරිස් මල්ලි එක්ක මම ගිහිල්ල මහරගම බස් ස්ටෑන්ඩ් එකේ බැස්ස. 

මගෙ වෙලාව කියන්නෙ තව විනාඩි පහළවකින් ඒ කියන්නෙ 5.45 ට මහනුවර යන අන්තිම බස් එක පිටත්වෙන්ට සූදානමින් බස් ස්ටෑන්ඩ් එකේ ගහල තිබ්බ. එදා පෝය නිසා වෙන්න ඕන සෙනඟ හිටියෙම නැති තරම්. සිරිබිරිස් මා එක්ක බස් එක ලඟටම ආව. ඌට "බායි බ්‍රෝ.. සී යූ අගේන්..." කියල මම නැඟල ජනේලයක් අයිනෙ සීට් එකක් බලල ඉඳ ගත්ත.

අප්පමාදෝ අමරපදං වෙලා හිටිය හින්ද සීට් එකේ ඉඳගත්ත විතරයි මට කට කපල නින්ද ගියා..කොන්දොස්තර ඇවිල්ල මාව ඇහැරවල ටිකට් එක දුන්න. සල්ලි දීල ඉවරවෙලා මම ආයම නිදාගත්ත. 

අවුරුදු තිහකට වගෙ ඉස්සර ඒත් ඔහොම බීල බස් එකේ යන්ට ගිහිල්ල මට වෙච්චි විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බැරි සීන් එකක් කියන්ට ඕමනයි කියල මම කල්පනා කලා හුදී ජන පහන් සංවේගය උදෙසා...

ඒ මම මහවැලියෙ ඉන්න කාලෙ...අපේ යූනියන් එකේ වාර්ෂික මහ සභාව පැවැත්වෙන්නෙ කොළඹ 7 ආනන්ද කුමාරස්වාමි මාවතේ මහවැලි හොරස්කෝප් එකේ නොහොත් මහවැලි කේන්ද්‍රයෙ. 2105 දි පැරදිල ගෙදර ගිය මරාගෙ ආණ්ඩුවෙන් නෙළුම්පොකුණ මාවත කියල නම වෙනස් කලේ ඔන්න ඔය ආනන්ද කුමාරස්වාමි මාවතේ තමයි. ආනන්ද කුමාරස්වාමි කියන්නෙ කවුද? ඒ මනුස්සය අපේ රටට කල සේවය කොතරම් වටිනවද? කියල අඳෝ සංසාරක් නොදන්න ගොං හරක් පාලකයො හැටියට පත් උනහම ඔහොම දේවල් වෙන එක ආය පුදුම වෙන්ට දෙයක් නෙවෙයි. හරි එව්ව ඇති. ආපහු මගෙ කතාවට යමු.

ඉතිං අදාල දවසෙ ඒ.ජී.එම්. එක ඉවරවෙලා අපි හතර පස් දෙනෙක් බොරැල්ලෙ ඩියුරෝයි රෙස්ටෝරන්ට් එකට විත්ඩ්‍රෝවුනා. පහුගිය පෝය දවසෙ මම මරදානෙ ඉඳල රාජගිරියට යද්දි දැක්ක දැං එතන ඩියුරෝයි එක තිබ්බ තට්ටු දෙකේ බිල්ඩිම සම්පූර්ණයෙන්ම කඩල දාලද කොහෙද..වටේටම තහඩු වලින් වැටක් ගහල තිබ්බ..මොකක් හරි තට්ටු දහයක දොළහකවත් බිල්ඩිමක් අලුතින් ගහනව වෙන්නැති.

ඉතින් කොහොම හරි පහට වගෙ පටන් ගත්තු වැඩේ ඉවර වෙනකොට නමයත් පහුවෙලා. කට්ටියටම හොඳ ගණං...ගෙවල් වලට යන එවුන් "හරි මචං එහෙනං සී යූ" කියල ගෙවල් වලට ගියා. මායි තව එකෙකුයි 103 බස් එකක් නැඟල කොටුවට ගියා. ඌ මයියංගනේ යන්ට ඕන. පිටකොටුවෙ දි "යන්නම් බං.." කියල ඌත් යන්ට ගියා. 

මමත් බැරි මරගාතෙ බෑග් එකත් කරේ දාගෙන (මම වැලිකන්දෙ ඉඳල ඊට කලින් දවසෙ පිළිමතලාවෙ අපෙ ගෙදර ඇවිල්ල එහෙ ඉඳල උදේ පාන්දර තමයි කොළඹ ආවෙ. දැන් මේ රෑ බස් එකේ පොළොන්නරුවට ගිහිල්ල උදේ පාන්දර වැලිකන්දෙ යන්නයි යන්නෙ ආපහු වැඩට) පොළොන්නරු බස් එකකට ගිහිල්ල නැඟ ගත්ත. නැඟල සීට් එකක පත බෑවෙනව විතරයි මතක කට කපල නින්ද ගියා. 

ඊට පස්සෙ ආයම ඇහැරුනේ කොන්දොස්තර කොලුව ඇවිල්ල ටිකට් දෙන්න උරහිසෙං අල්ලල හොල්ලද්දි.

"කොහාටද?" ඌ ඇහුව..

"මේ..මේ..මේ..කදුරුවෙලට.." මම කිව්ව..

පොළොන්නරුව නව නගරය තියෙන්නෙ කදුරුවෙල...මම උකුලෙ තිබ්බ බෑග් එක බිමට දාල යම්තමට පස්ස උස්සල පිටිපස්සෙ සාක්කුවෙ තිබ්බ පර්ස් එක අරගෙන මොකක් හරි ඒ දවස්වල තිබ්බ ලොකු නෝට්ටුවක් දුන්න. මට මතක විදිහට පන්සීයක්ද කොහෙද...

කදුරුවෙලට ඒ කාලෙ ඕනනම් වැඩිම රුපියල් හැත්තෑවක් නැත්නම් අසූවක් වෙන්න ඇති බස් ගාස්තුව.

කොන්දා කරපු වැඩේ දන්නවද? මට ටිකට් එක දීල.."මහත්තය මට පන්සීයක්නෙ දුන්නෙ..ටිකට් එක අසූවයි. එතකොට ඉතුරු හාරසිය විස්සයි.... මෙන්න ඉතුරු සීයයි...දෙසීයයි....තුන්සීයයි...හාරසීයයි හාරසිය දහයයි...හාරසිය විස්සයි" කියල බස් එකටම ඇහෙන්ට මහ හයියෙන් ගණං කර කර කර ඉතුරු සල්ලි මගෙ අතට දුන්න..කොන්ද සීයයි කියල මහ හයියෙන් කියල මට සීයෙ කොළයක් දෙනව..මම බිම බලාගෙන ඒක අරගෙන සාක්කුවෙ දාගන්නව..දෙසීයයි කියල ආයම සීයෙ කොළයක් දෙනව..මම ඒකත් අරගෙන සාක්කුවෙ දාගන්නව...ඔන්න ඔහොමයි වැඩේ සිද්ද වුනේ...හපොයි...

එහෙම දීල ඒ වලවෙට්ටුව මෙහෙමත් කියාපි... "මේ වගෙ මහත්තුරු ඩෝප් හිඳුනම ආයම ඉතුරු සල්ලි ඉල්ලල මගෙ ඇඟට ගොඩ වෙනව..මම ඒ වගෙ පරිප්පුවක් එක පාරක් කෑව. ඒ හින්ද මම කරන්නෙ බස් එකේ කාටත් ඇහෙන්ට ගණං කර කර තමයි ඉතුරු සල්ලි දෙන්නෙ.."

මම නේද මට නෙවෙයි වගෙ ආයම ඉස්සරහ සීට් එකට ඔලුව ගහ ගත්ත. ඒ වෙනකොට කොන්දගෙ කතාවට මගෙ ඩෝප් හිඳිලයි තිබ්බෙ. ඒත් ඒ ඔලුව ගහගත්තු එක ආයම ඔලුව ඉස්සුවෙ කදුරුවෙලටම ඇවිල්ල..අන්න එහෙමයි අපි...හෙහ්...හෙහ්...

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...