
මම මොනවත්ම කිව්වෙ නැහැ.රන්බණ්ඩා ඒ ප්‍රශ්නෙ ඇහුවෙ මගෙන් උත්තරයක් බලාපොරොත්තුව නොවෙන බව මම දන්න නිසයි ඒ.
එතනම දොරකඩ ගාව මල්ලි වැටිල හිටිය.පිහි ඇනුම් තුවාල වලින් ඒ වෙනකොටත් ලේ ගලන එක නතර වෙලා
මම එහෙම්මම කෙලින් වෙලා බිත්තියට හේත්තු වෙලා මල්ලි දිහාවෙ ටික වෙලාවක් බලන් ඉඳල ඔලුව උස්සල මලී දිහා බැලුවා.
ඒකි හෙමිහිට මා ලඟ වාඩිවෙලා මගෙ පපුවට ඔලුව තියාගත්ත. මලීගෙ ඉසකෙස් වලින් හමනා සුවඳින් මගෙ පපුව පිරෙද්දි මට හිතුනෙ මේ මොහොත ගැන මම කොච්චර හීන දකින්න ඇතිද, ඒත් අන්තිමට ඒ අවස්තාව ආවෙ මොන තරම් නොහිතපු විදිහකටද කියලයි." මහත්තයට නැත්ද ඒ වගෙ සිදුවීම් වලට මූණ දුන්නු අත්දැකීම්? "
" ඔය කියන විදිහෙම නම් නෙවෙයි, ඒත් නැහැමයි කියන්නත් බැහැ රන්බණ්ඩා, ඉතිං ඊළඟට? "
" ඔහොම බිම් කලුවර පාත් වෙනකල්ම, අපි දෙන්න එහෙම්මම හිටිය. ඒ හිටපු කාල සීමාව මගෙ ජීවිතේටම මට අමතක වෙන්නෙ නැහැ මහත්තය මම අවුරුදු සීයක් ජීවත් උනත් "
අන්තිමටම මලී ඔලුව උස්සල, කඳුලු පිරුනු ඇස් වලින් එක එල්ලේ මා දිහා බලාගෙන ඉඳල හෙමිහිට ඇහුව," ඇයි මයෙ අයියෙ අපිට මෙහෙම උනේ? මේ වෙන්ඩ තිබ්බ හොඳම විදිහ කියලද අයිය හිතන්නෙ?" කියල
" හොඳම විදිහද නැද්ද කියන එක තීරණය වෙන්නෙ මලී අද නෙවෙයි, තව අනාගතයේ දවසක.සමහරවිට ඇත්තටම මේ හොඳම විදිහ වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්, කවුද හරියටම ඒ ගැන දන්නෙ. එකම දෙයක් නම් ඉස්තිරයි. මේ තමයි වෙන්න නියම වෙලා තිබ්බ විදිහ. වෙන විදිහක් නැහැ. අපිට ඉතින් ඒක පිළිගන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ"
" මේ හැම දෙයක්ම උනේ මගෙ වැරැද්දෙන් කියලයි මම නම් තාමත් කියන්නෙ " මලී කිව්වෙ කම්මුල් දිගේ ගලන කඳුළු පිහදාමින්,
" නෑ, ඒකටත් මට කියන්න තියෙන්නෙ මේ තමයි වෙන්න නියම වෙලා තිබුනු විදිහ, එච්චරයි "
බිම් කලුවර ගෙට ගොඩ වෙද්දි අපි දෙන්න අවසන් වතාවට එකිනෙකාගෙ ඇස් දිහාවෙ බලාගෙන එතනින් නැඟිට්ටා. ඊට පස්සෙ ඒත් පළවෙනි සහ අන්තිම වතාවට මම මලීගෙ නලල සිප ගත්තා.මලී මොනවත් කිව්වෙ නැහැ. හීන් ඉකි බිඳුමක් විතරක් එයාගෙන් පිට උනා.එදා මම ගමේ යන්ඩ පිටත් වෙච්චි වෙලාවෙ වගේම "මලී, මම යන්නම්" කියල කිව්වා. ඒත් එදා වගේ නෙවෙයි මේ තමයි අවසානය කියල මමත් දැනං හිටිය, එයත් දැනං හිටිය. ඒ කරල අඩ අඳුරෙම මම එළියට බැස්සා.
මේ වෙනකොට රෑ දොලහත් පහුවෙලා මයෙ හිතේ. ටිකක් හීතල ගතියකුත් අවටින් දැනෙන්න පටන් අරන් තිබුනා. දන්නෙම නැතුව දෙවෙනි බෝතලෙත් සෑහෙන්න ඉවර වෙලා.රන්බණ්ඩා තව පොඩ්ඩක් වීදුරුවට වක්කරගන්න ගමන් මගෙ දිහා බැලුව. "නැහැ, මට එපා, ඔක්කොම දාගන්න, තව ඕන නම් තව එකකුත් තියෙනව " මම කිව්ව. මගෙ කටහඬ මටම ඇහුනෙ හීන ලෝකෙක ඉඳන් කතා කරන හඬක් වාගෙ.මට හිතුනෙ මම තාම පියවි ලෝකෙට ඇවිත් නැහැ වගේ කියල.
ඉතිරි හරිය දැන ගන්ඩ මට ලොකුවට ඕන කම තිබ්බට මම රන්බණ්ඩගෙන් ඇහුවෙ නැහැ. මිනිහටම කතාව ඉවර කරන්ඩ දීල මම බලා හිටියා.
" නඩුව තිබ්බෙ නුවර උසාවියෙ.ආත්මාරක්ෂාවට කියල ආණ්ඩුවෙන් මට කතාකරපු පෙරකදෝරු මහත්තය තර්ක කලාට අවුරුදු විස්සකට මම හිරේට නියම උනා. කොහොමත් නඩුව ඇහෙන දවස් වල මම හරි සිහියකින් හිටියෙ නැහැ මහත්තය, උසාවිය, නඩු කාරය, පෙරකදෝරුවො ඔක්කොම මට නිකම් හීනෙන් වගෙ තමයි මතක,අවුරුදු දොලහක් හිරේ ඉඳල අද පොසොන් හින්දා නිදහස් කරපු හිරකාරයො ගොන්නට මාවත් අයිති උනා.අද උදේ තමයි මම බෝගම්බරින් නිදහස් උනේ මහත්තය "
තව අරක්කු තිබ්බට බොන්ඩ අපි දෙන්නටම ආයෙ පිරියක් තිබ්බෙ නැහැ. එහෙම්මම හඳ එළිය, අඳුර, කණාමැදිරියන්, දිහාවෙ බලාගෙන ගත වෙච්ච විනාඩි දහයකට පාළහකට පස්සෙ මම හීනෙකින් අවදිඋනා වගෙ පුටුවෙන් නැගිට්ට.
" රන් බණ්ඩ, බත් ටිකක් කමු නේද? "
" කාරියක් නැද්ද? මටත් නම් බඩගින්නකුත් තියනව, දවල්ටත් හරි හමං කෑමක් නැහැ "
" හපොයි පිස්සුද, ඉන්න මම බත් එකක් අරන් එන්නම් "
මම බත් පිඟන් දෙකක් බෙදාගෙන ඇවිත් රන්බණ්ඩට එකක් දුන්න. හෙමිහිට හෙමිහිට බත් කාල ඉවර වෙලා රන්බණ්ඩ නැඟිට්ට.
" මම යන්නම් මහත්තය, මම මේ කතාව මෙහෙම සහසුද්දෙං කාටවත්ම මීට කලියෙං කියාල නැහැ. කොටිම්ම මා වෙනුවෙං කතාකරපු පෙරකදෝරු මහත්තයටත් මම මේ විස්තර ඔක්කොම කියැව්වෙ නෑ.ඒත් මොන දෙයක්ද මටම හිතාගන්ඩ බෑ, මහත්තය දැක්කම මට හිතුන පළවෙනි පාරටයි අන්තිම පාරටයි මගෙ මුලු කතාවම මහත්තයට කියන්ඩ ඕනය කියල "
" රන්බණ්ඩ දැන් කොහෙද යන්නෙ? දැන් මෙහෙ ඉඳල උදේ යන්න "
" බෑ මහත්තය බොහොම ස්තූතියි, ඒත් මම දැන්මම යන්න ඕනෙ, හඳ එළියත් තියනවනෙ.මම දැන් මයෙ ගෙදර යන්නයි යන්නෙ. අපෙ අප්පොච්චි එහෙම ඉන්නවාද දන්නෙත් නැහැ. මම ඒ අයට කිව්ව මාව බලන්න එන්න එහෙම එපයි කියල. අප්පොච්චි හිටියා නැතා මම ගමේ ඉන්නෙ නැහැ මහත්තය, ඊටත් එහා අන්න අර කන්දෙ තියෙන ආරණ්‍යයට යන්නයි මගෙ කල්පනාව"
" මගෙ ජීවිතේ දැන් වැඩි බලාපොරොත්තු කියල දෙයක් නෑ මහත්තය. හෙට දවස ඔහෙ කාටවත් කරදරයක් නොවී ගත කර ගත්තොත් ඊට පස්සෙ අනිද්ද ගැන හිතන්නෙ අනිද්දට. ඔන්න ඔහොමයි මම දැන් දවසින් දවස තමයි ජීවිතේ ගත කරන්න හිතාගෙන ඉන්නෙ.අපි ඉපදෙනකොටම අපේ ඉරණම තීරණය වෙලයි තියෙන්නෙ මහත්තය ඒ ගැන අකම්පාල විස්සෝප වෙලා වැඩක් නැහැ.මම යන්නම් මහත්තය, මහත්තය මට මුණ ගැහුනෙත් මම හිතන්නෙ මගෙ ඉරණමේ ලියවිලා ඇති.අපි ආයෙම හම්බ වෙන එකක් නැහැ මහත්තය.බොහොම පිං, මහත්තය කරපු උදව් වලට "
මමත් රන්බණ්ඩ එක්ක වැට ගාවටම ගියා.
අන්තිමට කම්බි වැටෙන් පැනල රන්බණ්ඩා " යන්නම් මහත්තය එහෙනම් " කිව්ව.
" ආ, රන්බණ්ඩ, මලීට මොකද උනේ කියල කිව්වෙ නැහැනෙ නේද? "
" මම හිරේ ගිහිල්ල සතියකට පස්සෙ, ඒ කෙල්ල වහ බිව්ව මහත්තයා " මේ කතාව කියද්දි කිසිම විටක මම නොදුටු කඳුලු බිඳු දෙකක් රන්බණ්ඩගෙ දෑසින් ගිලිහිල කම්මුල් දිගේ ගලා හැලුනා.
------------------------------------------------------------------------------------------------
රන්බණ්ඩා විසින් එක් පුන්සඳ පෑයූ නිසල රාත්‍රියක පූර්ව යාමයේ මා සමඟ පැවසූ පරිදි ඔහුගේ ශෝචනීය වූ කථාව මම මෙසේ ඔබ වෙත ඉදිරිපත් කලෙමි. මේ සිදුවීම් පිළිබඳව වගකිව යුත්තන් නොහොත් වැරදි කරුවන් නිශ්චය කිරීමට මම කිසිම විටක තැත් නොකලෙමි. ඒ මම රන්බණ්ඩා පැවසූ ලෙසම ඔහුගේ කතාව ඔබට පැවසූ කතාකරුවා විනා මිනිස් සිත්සතන්හි හට ගන්නා හැඟුම් හෝ සිතුවිලි වල නිරවද්‍ය භාවය විනිශ්චය කරන්නකු නොවන බැවිනි.
හිතවත / හිතවතිය, ඒ පිළිබඳ විනිශ්චයකට එළඹිය යුතුයයි ඔබ සිතන්නේ නම් ඔබට ඒ සඳහා පූර්ණ නිදහස ඇත.
සමුගැනීමට පෙර තවත් එක් කාරණයක් පමණක් පැවසිය යුතුය. රන් බණ්ඩා පැවසූ මේ අනුවේදනීය කතාව ඒ දිනවල මම මුහුණ දී සිටි දිවි එපාකරවන සුලු සිත් තැවුල් වලින් යම් තරමකට හෝ මිදීමට මට ඉවහල් විය.ඒ ගැන මම රන්බණ්ඩාට අදත් ණයගැති වෙමි.
"මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි, පායුග නැති ඔබ දකින තුරා,
කුංකුම චන්දන ඉල්ලා හැඬුවෙමි, නෙත් අඳ ඔබ නෙතු දකින තුරා"
අවසාන වශයෙන් රන්බණ්ඩා වෙනුවෙන්, ඔහුගේ කතාව අසාසිටි ඔබ සැමට ස්තුතිය පලකිරීමට මට ඉඩ දෙන්න.



