Showing posts with label කිරුළ සහ සෙනෙහස..... Show all posts
Showing posts with label කිරුළ සහ සෙනෙහස..... Show all posts

Monday, August 12, 2013

210. කිරුළ සහ සෙනෙහස ……13


කිරුළ සහ සෙනෙහස ……1 


කිරුළ සහ සෙනෙහස ……2 

කිරුළ සහ සෙනෙහස ……3 

කිරුළ සහ සෙනෙහස ……4 

කිරුළ සහ සෙනෙහස ……5 

කිරුළ සහ සෙනෙහස ……6 

කිරුළ සහ සෙනෙහස ……7 

කිරුළ සහ සෙනෙහස ……8 

කිරුළ සහ සෙනෙහස ……9 

කිරුළ සහ සෙනෙහස ……10 

කිරුළ සහ සෙනෙහස ……11 

කිරුළ සහ සෙනෙහස ……12 

පුරා සඳ තුදුස් වරක් වනගහනය සඳ රැසින් නහවමින් නැගෙනහිර දෙසින් වූ කඳු වලල්ල මතින් මුදුන්ව යළි බැස ගියේය. කුඩා කඳුගැටය මත වූ ගල් ගුහාවෙහි වසන්නන්ගේ දිවි ගමනද කිසිදු හැල හැප්පීමකින් තොරව නිදැල්ලේ ගලා ගියේය. 


දින කිහිපයකට වරක් දඩයමෙහි ගොස් ගෝනකු හෝ මුවකු වැනි සතකු මරාගැනීමත් ඉන්පසු හම ගසා කුඩා තීරු වලට සිහින්ව වෙන් කල මස් නිවස්නය වූ ගල් ගුහාව ඉදිරිපිට වූ සමබිමෙහි එක් අන්තයක සකසාගත් මැස්සක අතුරා ගින්නෙන් වියලා ගැන්මත් හැරුණු කොට විජය විසින් ඉටුකල යුතු අන්  කාර්යයක් නොවීය.එබැවින් කුවණ්ණා හා සමඟ අල්ලාප සල්ලාපයෙහි මෙන්ම ආලිංගනයෙන් පසුවනු උදෙසා ඔහුට අවශ්‍ය පමණද ඉක්ම යන පරිදි කාලය ඉතිරි විය.

කුඩාවුන් සමඟ කෙළි දෙලෙන් පසුවීමටද ඔහු බොහෝ ප්‍රිය කලේය. ඒ සියලු කටයුතු හැරුණු කොට ඔහු ඉතිරි කාලය ගත කලේ හුදකලාවේ වනය පුරා සරමිනි. පුරා දශක දෙකකුත් අඩකට ආසන්න වූ තම ජීවිතයේ මුල් යුගය තුල අර්බුද, සටන්, නොදැමුණු ක්‍රියාවන්හි යෙදීම් සහ පසුගිය ආසන්න වසර කිහිපය තුල රාජ්‍ය පාලනයෙහි විවිධ සංකීර්ණ වූ ගැටලු විසඳීමෙහි එමෙන්ම විවිධ දේශපාලන කුමන්ත්‍රණ මැඩපැවැත්වීමෙහි සහ රට වැස්සන්ගේ සුබ සාධනය උදෙසා අවදිව හුන් මුළු කාලයම යෙදවූ විජය මේ ලද නිදැල්ලේ තමනට රිසි පරිදි ගත කල හැකි විශ්‍රාම කාලය සැලකූයේ දෙවියන් විසින් ප්‍රදානය කල වරදානයක් ලෙසිනි. 

බොහෝ ඈත අතීතයක මෙවන්ම වූ ගල්ලෙනක තම මුත්තණුවන් විසින්ම සිරකරනු ලැබ පියාණන්, මෑණියන් සහ මිත්තණියන් දිවි ගෙවූ අන්දම පිළිබඳව ඔහුට පැහැදිළිව වැටහීගියේ වනවාසයට පැමිණි පසුවය.කුඩා දරුවකුව සිටි අවදියෙහි තම නිවුන් සොයුරා වූ සුමිත්තද සමඟ මිත්තණියන්ගේ දෙපා අබියස හිඳ ඈ දෙනයනින් සහ වක්ත්‍රයෙන් අභිනයන් පාමින් රස කර පැවසූ වන ගත ජීවිතය මෙවැන්නක් යැයි විජය පිරිසිඳ වටහාගත්තේ ඒ ප්‍රායෝගිකව අත්විඳීමෙන් අනතුරුවය. 

" එහෙත් මිත්තණියනි, ඔබ මුත්තණුවන්ට බලවත් ලෙස ආදරය කලේ වී නම් ඔහු හැර දමා ගල් ලෙන දොරටුව බිඳ දමා පළායන්නට ඔබගේ පුතණුවන්ට එනම් මපියාණන්ට ධෛර්යය සහ සහයෝගය ලබා දුන්නේ මන්ද? අවම වශයෙන් ඔබට හෝ ගල්ලෙනෙහි රැඳී සිටිමට යුතුකමක් තිබුණා නොවේද? " 

එවකට දොළොස් හැවිරිදි වියේ පමණ වූ තමන් මිත්තණියගේ දෑස් දෙස එක එල්ලයේ බලා විමසූ අන්දම ඊයේ සිදුවාවාක් මෙන් පැහැදිලිව ඔහුගේ මතකයෙහි තවමත් රැඳී ඇත. 

මඳ වේලාවක් විජයගේ දෑස දෙස බලා සිටි සුප්පාගේ දෑස වේදනාවෙන් බරවිය.නෙත් කෙවෙණි අග නැඟි කඳුලු වලකාගැන්මට හෝ ඒ කුඩා දරුවාගෙන් වසන් කිරීමට හෝ ඒ කාර්යයන් දෙකම උදෙසා හෝ දෑස් තදින් පියාගත්වනම ඕ ඉවතට හැරුණීය. 

ඇය බොහෝ වේලාවක් ඉවත බලාගත්වනම නිසොල්මන්ව හුන්නීය. ඔහුගේ පැණයට පිලිතුරක් නොලැබෙන බවට විජයට හැඟී යන්නට විය. ඒ හා සමඟම සුප්පා කථා කලාය. එහෙත් ඒ ඉවත බලාගත් වනමය.සුපුරුදු ගාම්භීර ස්වරය වෙනුවට එහි වූයේ සිහින් සංවේගී ස්වරයකි. ඇය කියන්න හොඳින් ශ්‍රවණය කිරීම උදෙසා ඔහු දෙඅත්ල මත වත රඳවාගත්වනම ඉදිරියට නැඹුරු වූයේය. 


" පුත, දෛවය අප මෙලොව එළිය දකින විටම අප ඉටුකල යුතු යම් කාර්‍ය භාරයක් නියම කරයි. ඔබ පූර්ව භවයක් පිළිබඳ අදහන්නේ නම් ඒ ඔබ පූර්ව භවයෙහි පතා ආ අන්දම යයි ඔබට නිගමනය කල හැක. නැතහොත් තාරකාවන් පිළිබඳ ඔබ විශ්වාස කරනුයේ නම් ඒ තාරකාවන් විසින් ඔබ වෙනුවෙන් නියමකොට ඇති ඉරණම යයි ඔබට තීරණය කල හැම. ඒ කෙසේ හෝ වේවා මෙලොව ජීවිතයෙහිදී අපහට සෑමවිටම අපගේ සිතැඟියාවන් අනුව, අපගේ හැඟුම් අනුව තීරණ ගත නොහේ. හැඟීම් වලට වහල් නොවී අනාගතය උදෙසා, මතු පරපුරෙහි අභිවෘද්ධිය උදෙසා අපගේ අපේක්ෂාවන් හෝ රුචිය එකහෙලා කැපකල යුතු අවස්ථාවන් එලඹෙනු ඇත " 

" මම එදා මුහුණ දුන්නේ එවන් අවස්ථාවකටය. මහිමියන් කෙරේ බැඳි සෙනෙහස සහ පුතු කෙරේ බැඳි දාරක ප්‍රේමය අතර මම වල්මත් වූයෙමි. බොහෝ කල් ගත කොට මහද කීතු කීතු කොට ඉරා බලා අවසන මම දාරක ප්‍රේමයට ඉඩ දුන්නෙමි. එදවස ඔබගේ පියාණන් සහ මෑණියන්හට පලා යාමට ඉඩදී මම ගල්ලෙනෙහි නැවතුනි නම් කිසිදිනෙක වනයෙන් පිටතට පා තබා නොමැති ඔබගේ මව්පිය දෙපල නගරයෙහිදී මහත් වූ ව්‍යසනයකට මුහුණ දෙනු නිසැකය. එසේ හෙයින්ම මසිතට විරුද්ධව වුවද මම ඒ තීරණය ගත්තෙමි.එහෙත් මේ මොහොත දක්වා මම ඒ පිළිබඳව දුක්වෙමි. එහෙත් පසුතැවිලි නොවෙමි.අද වුවද යලිත් එවන් තීරණයක් ගැන්මට බල කෙරෙනු ලැබූවහොත් මා ගන්නේ ඒ තීරණයම මිස අනෙකක් නොවේ. " 

සුප්පා හිස හරවා විජය දෙස බැලුවාය. ඔහු විසල් කොටගත් දෑසින් ඈ දෙස බලා සිටියේය. 

" මපුත, කිසිදිනෙක ඔබට එවන් තීරණයක් ගැනීමට බල කෙරෙනු නොලැබේවා යන්න මගේ එකම ප්‍රාර්ථනයයි. එවන් සංවේගජනක අත්දැකීමක් ඇති ඔබගේ මිත්තණිය කියන්නට හොඳින් සවන් යොමු කල මැන. ඒ කිසිසේත් ප්‍රියජනක අත්දැකීමක් නම් නොවන්නේය.එහෙත් කෙතෙක් ප්‍රියජනක නොවූවද ජීවිත කාලය පුරා ඒ වෙනුවෙන් දුක් විඳීමට සිදුවුවද අවශ්‍යය වූ විටෙක එවන් තීරණයක් ගැනීමට ඔබ කිසිසේත් පසුබට නොවිය යුතුය. "


සුප්පා දෑත් දිගුකොට විජය වැළඳ ගත්තීය. ඇගේ ළය මඬල මතුයෙහි හිස හොවාගත් ඔහුගේ සිරුර සිය මුහුණ මතට ඇද හැලුනු ඇගේ කඳුලු බිඳක සිහිලස හේතුකොටගෙන වෙව්ලා ගියේය.

එවන් තීරණයක් ගැනීමට තමන්ට කිසිදිනෙක බල කෙරෙනු නොලැබේවා යන්න විජයගේ ඒකායන ප්‍රාර්ථනය වූයේය. එහෙත් පසුගිය මාසයක පමණ වූ කාලය තුල ඔහුගේ සිතෙහි විටින් විට මෝසම් වර්ෂාවට පළමු ඈත කඳු වළල්ල මතුයෙහි දිලී එසැණින් අතුරුදන්වන විජ්ජු ලතාවන් මෙන් ඉපිද එසැනින් මැකීයන්නාවූ අතෘප්තිකර හැඟීම් දහරාවන්ට හේතු කිමෙක්ද? ඉච්ඡා භංගත්වයක් හෝ ජීවිතයේ යම් හිස් බවක් පිළිබඳ මේ දැනෙනා සිතුවිලි හට ගනුයේ කවර නම් නිසාද? 

වාසිෂ්ඨී වෙත සරණ පතා පැමිණ දින කිහිපයක් ඇතුලත ඔවුන් වසන ප්‍රදේශය පිලිබඳ විස්තර පවසා වාසිෂ්ඨීගේ විශ්වාසවත් අතවැසියකු අත උපතිස්ස වෙත සංදේශයක් යැවීමට විජය අමතක නොකළේය. ගල්ලෙන ඉදිරිපිට සමබිමෙහි රූස්ස වනස්පතිය සෙවණෙහි හිඳගත් කල ලංකාපුරය කරා දිවෙන මාර්ගය ඉතා හොඳින් දර්ශනය වේ. ගල්ලෙනෙහි වාසයට පැමිණි මුල් කාලය තුල විජය විවේකයක් ලැබුණු සෑම විටම වනස්පතිය සෙවණේ අසුන්ගත්වනම එදෙස නෙතු යොමා හිඳීම පුරුද්දක් කොට ගත්තේය. 

මුල් කාලයේදී එසේ එදෙස නෙතුයොමා සිටියේ ඈත ක්ෂිතිජයෙහි මතුවන දූලිවලාවක් එනම් ලංකාපුරය දෙස සිට පැමිණෙන අසරුවකුගේ සංඥාව කිනම් මොහොතක මතුවේදැයි සිත පුරා පිරීගිය භීතියකින් වුවද මේ පසුගිය සති කිහිපය තුල ඒ භීතිය මැඩගෙන එවන් දසුනක් දකින අපේක්ෂාව තම සිත තුල අරක්ගෙන ඇත්දැයි යන සිතුවිල්ල විජය අවදියෙන් සිටිනා සෑම මොහොතකම ඔහුගේ සිතට වද දුන්නේය. 

එසේම ගතවීගිය කාල සීමාව පුරා රාත්‍රී නින්දෙහිදී ඔහු දුටු සිහින බහුතරයක් ලංකාපුර රාජ සභාවෙහි මුලසුන් අරා හිඳිනු, එසේ නොවතුදු සපිරිවරින් ගම් නියම් ගම් පරීක්ෂාවෙහි යෙදෙනු හෝ අධිකරණ ශාලාවෙහි විනිශ්චයෙහි යෙදෙනු වීම ඔහු සිත මහත් සේ ව්‍යාකූල වීමට හේතුවූයේය. 


එවන් සිහිනයෙක ගැලී හිඳ සැණෙකින් අවදිව තම ඇලපතට තුරුළුව සෙමෙන් පිලිවෙලට හුස්ම ඉහල පහල හෙලමින් නිදන කුවණ්ණාවන්  දෙස බොහෝ වේලා ඔහු බලාසිටියේ ඔහුටම වටහාගත නොහැකි වරදකාරී හැඟීමක් වැන්නක් සිත් තුල පුපුරු ගසන අතරතුරය.

සිතෙහි වියවුල නිසාම යලි නින්දට සැපත්වීම උගහට වූ එවන් බොහෝ රාත්‍රි යාමයන්හි සහසක් තරු පිරි අහසයට ගල්ලෙන ඉදිරිපිට තැනිතලාවෙහි භාවනානුයෝගීව සිත් සමනය කොට ගැන්මට වෙර දරමින් ඔහු බොහෝ වරක් කල් ගත කොට ඇත.ඒ සියල්ල ඇය නොදන්නීය යනුවෙන් ඔහු උපකල්පනය කලද ඔහුගේ මේ සිත් වියවුල මෙන්ම ඊට හේතුභූත වූ උපස්ථම්භක කරුණු සියල්ලම මනා විචාර බුද්ධියෙන් යුතු විචක්ෂණ ඉතිරියක වූ කුවණ්ණා මනා කොට දැන සිටියාය. 

ඔහු මධ්‍යම රාත්‍රියෙහි ගල්ලෙනෙන් පිටත භාවනානුයෝගීව පසුවනු ගල්ලෙන් ද්වාරයෙහි සිට බලා සිටිනා ඇය වරක් දෙවරක් ඔහු වෙත යාමට තීරණය කලද පසුව ඒ තීරණය වෙනස් කොට යලි ආපසු ගොස් දරු දෙදෙන අසලින් වැතිර ගත්තාය. 


ඔහුගේ දෛවය කුමක්ද? ඔහුගේ ඉරණම කුමක්ද? තම මතු ජීවිතය කෙසේ විය යුතුද යන්න අන් කවරකුගේ හෝ බලපෑමකින් තොරව ඔහුම තීරණය කල යුතුය. ඊට මම කෙලෙසකින්වත් බලපෑමක් නොකරමි. මෙසේ සිත එකඟ කරගත් ඇය දරුවන් තුරුළු කොටගෙන බොහෝ විප්‍රකාර වූ සිහින සපිරි, එහෙයින්ම කිසිසේත් සුවදායක නොවූ නින්දකට වන්නාය.

එලිමහනේ භාවනානුයෝගීව හුන්නද විජය කිසිසේත් තම සිත එකඟ කරවා ගැන්මෙහි සමත් වූයේ නොවේ. 

" අනුරාධ.... එසේනම් මවිසින් පැවසූ අයුරු පසල් දනව් වැස්සන්ට සහන සලසනු මැන. අප මේ රටේ පාලකයින් වුව පාලකයා යනු කිසිසේත්ම වැසියන්ගේ හෝ මෙහි සියලු සම්පත්හි ඒකල හිමිකරු නොවන බව සෑම විටම මතක තබා ගත යුතුය.පාලකයා යනු මේ භූමියෙහි භාරකරුවා පමනි. ඔහුගේ වගකීම මෙන්ම යුතුකම වනුයේද හැකි සෑම විටම තම ආත්ම පරිත්‍යාගයෙන් පවා අවශේෂ පොදු ජනයාගේ සුබසිද්ධිය සැලසීමයි. " 

" එසේය රජතුමනි. " අනුරාධ නැඟීසිට හිස නවාගත්වනම පැවසීය. 


ඒ එක්වරෙක අනුරාධ පාලනය කල පසල් දනව්වක පැතිරගිය දුර්භික්ෂයක් හේතු කොටගෙන ඇතිවූ වියවුලකදී රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ධාන්‍ය බෙදාහැර සයින් පීඩිත ජනයාහට සහන සලසන මෙන් රජ සභාවෙහි බහුතර මතයට පවා විරුද්ධව යමින් අනුරාධට විජය නියෝග කල අන්දමයි.

හැකි සෑමවිටම රාජ්‍ය සම්ප්‍රදාය නොතකා හැර හෝ වැස්සන් කෙරෙහි උපරිම සාධාරණය ඉටු කරනු වස් තමන් උපරිම උත්සාහය දැරූ බව විජය සිහිපත් කලේ සිත් පුරා පැතිරගිය ආහ්ලාදයකිනි. 


ලංකාද්වීපය වන් ළදරු රාජ්‍යයක මතු චිරස්ථිතිය රඳා පවතිනුයේ හුදෙක් එවන් සාධාරණ සහ යුක්තිසහගත පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම මත  බව විජය මනාකොට දැන සිටියේය. එහෙත් රාජ සභාවෙහි උපතිස්ස හැරුණු කල එසේ සිතනුයේ අතළොස්සක් බවද ඔහු හොඳින් දැන සිටියේය. රාජසභාවෙහි බහුතර බලය අනුරාධ වන් අත්තනෝමතිකයකු අතට පත්විනි නම් ඒ මහත් ව්‍යසනයක පෙර නිමිති බවද විජය එළෙසම දැන සිටියේය.


ඒ අතර වාසිෂ්ඨීගේ ඔත්තුකරුවන්ගෙන් ලත් පණිවිඩ ද කිසිසේත් සිත් සනහාලන්නක් නම් නොවීය. විජය උපකල්පනය කල අයුරුම ලංකාපුර රාජ සභාවෙහි බල අරගලය හේතු කොටගෙන රාජ්‍යය පුරා නොසන්සුන්තාවයන් මතුව ඒ කැරළි කෝලාහල තත්වයෙන් ඔබ්බට වර්ධනයවී සිවිල් යුද්ධයක් බවට රූපාන්තරණය වීමට ආසන්නව පැවතුනේය.රාජ සභාවෙහි පූර්ණ පක්ෂපාතීත්වය එක හෙළා ලබාගැන්මට සමත්වූයේ විජය පමණක්ම වූ බැවින් වර්තමානයෙහි පවතින අරාජික තත්වය කිසිසේත් විශ්මයට කරුණක් නොවීය. මේ නොසන්සුන් තත්වයෙන් ප්‍රයෝජන ගැන්මට සිතූ යක්ඛ ගෝත්‍රිකයෝද පසල් දනව්හි නොයෙක් විප්‍රකාරවල යෙදෙමින් ලංකාපුරයට තවත් හිස රදයක් බවට පත්වූවෝය.

ඒ අසුබ තොරතුරු රැගෙන සතියකට වරක් පමණ කුඩා කඳු ගැටය සැරයටියක වාරුවෙන් නැඟ ඔවුන් වෙතට පැමිණියෝ වාසිෂ්ඨී තොමෝමය. දරුවන් වෙනුවෙන් ගෙන ආ කුමන හෝ රස මසවුලක් ඔවුනතට දී ඔවුන් හා මොහොතක් ගත කරන මහළු ප්‍රභූ වරයා ඉන්පසු කුවණ්ණා හා සමඟ සතුටු සාමීචියෙහි යෙදෙයි. අවසන ගල්ලෙන ඉදිරිපිට වූ වනස්පතිය සෙවණෙහි අසුන් ගන්නා ඔහු තමන් ඉදිරියෙහි හිඳ සිටිනා විජය සහ කුවණ්ණාහට නවතම තොරතුරු දැනුම් දෙන්නේය. 


" පුතණුවනි, මා දයාබර මිණිපිරියගේ ස්වාමියා වශයෙන් ඔබ මගේද මුණුපුරා වන්නේය. එසේම ඔබ ස්ව කැමැත්තෙන් කිරුළ හැරදා කුවණ්ණා කෙරෙහි බැඳි සෙනෙහසට ප්‍රමුඛස්ථානය දී වනගත වූවද මෙරට රාජ්‍යයට එකම හිමිකරු තවමත් ඔබය. එලෙසම මේ මගේ රට, යක්ඛ ගෝත්‍රිකයින් සිහලුන් මෙන්ම අවකන්, යවන යෝනක ආදී මෙහි තම වාස භූමිය කරගැන්මට රුචි සියල්ලන්ටම අභය භූමියක් වන වියවුලින් තොර ශක්තිමත් පාලන තන්ත්‍රයකින් හෙබි නිදහස් රාජ්‍යයක් සේ පවතිනු දැකීම මගේ එකම අභිප්‍රායයි. "

" එහෙත් ලංකාපුර රාජ සභාවෙහි බල අරගලය හේතුකොට පවතින වර්තමාන තත්වය කෙලෙසකවත් හිතකර තත්වයක් නම් නොවේ. මේ වියවුල් තත්වය ප්‍රයෝජනය ගෙන යාබද දඹදිවින් පවා අප වෙත ආක්‍රමණ එල්ල වීමේ අවදානමද නොතකා හල නොහැක.මේ අරාජික තත්වය සමනය කල හැක්කේ පුත ඔබට පමණි. එහෙත් ඒ තීරණය ඉතා අසීරු මෙන්ම භාරදූර බවද මම දනිමි. එබැවින් ඔබ දෙදෙනට ඒ සඳහා අවස්ථාව ලබා දෙන්නෙමි. ඔබ දෙපල එළඹෙන ඕනෑම තීරණයකට මගේද අනුමැතිය හිමිවන බව පමණක් පවසමි. " 

මෙසේ පැවසූ වාසිෂ්ඨයෝ නැඟීසිට ගල්ලෙන මුවදොර අබියස කෙළි දෙලෙන් පසුවෙමින්හුන් කුඩාවුන් දෙදෙනා දෙසට නික්ම ගියෝය. 


වනස්පතිය සෙවණෙහි හිඳගත්වනම විජය බොහෝ වේලා නිසොල්මන්ව සිටියේය. කුවණ්ණා ද තම සිතුවිලි ලොවෙහි තනිව ඔහු අසල හිඳ සිටියාය. අවසන සිතෙහි රැඳි සියලු සෝ දුක් වා තලයට මුදා හරින්නාක් මෙන් දිගු සුසුමක් හෙලූ ඕ ඔහු වෙතට පැමිණ ඔහුගේ උරහිස මතුයෙහි හිස හොවා ගත්තීය. ඇගේ සිරුර වටා තම සුරත යැවූ ඔහු ඇය තරව වැළඳ ගත්තේය.


" කුමරුණි..ඔබ ගන්නා ඕනෑම තීරණයකට මම ද එකහෙලා එකඟවෙමි.  මුත්තණුවන් මේ මොහොතකට පෙර පැවසූ ලෙස ඔබ ගන්නා තීරණය මත මුළු රාජ්‍යයක අනාගතය රැඳී පැවතිය හැක. මගේ හද පුරා පැතිරගිය සෙනෙහස අහිමිවීම කොතරම් මසිත පාරන්නේ වුවද ඒ පරිත්‍යාගය කරනුයේ රාජ්‍යයක අනාගත අභිවෘද්ධිය උදෙසා බැවින් මම බොහෝ අසීරුවෙන් වුව ද සිත සනහා ගන්නට උත්සාහ කරන්නෙමි. " 

දෙනෙත් අග පිරීයන කඳුලු වළකා ගැන්මට කිසිදු උත්සාහයක් නොගත් ඔහු පහත්ව ඇගේ කඳුළු පිරි දෑස් දැඩි සෙනෙහසින් සිප ගත්තේය. 

ඉන් නොබෝ දිනකට පසු ඒ දිනය උදාවිය. සුපුරුදු ලෙස වනස්පතිය සෙවණෙහි හිඳ හුන් විජය ඈත වන පෙත අතරින් ඉද්ද ගැසුවාක් මෙන් දිවෙන ලංකාපුරය දක්වාවූ මාර්ගයෙහි ඉමෙහි මතුවූ දූලි වලාවන් දුටුවේ, ඒ දෙසම නිසලව බලා සිටියේය.හෝරාවකට පමණ පසු වේගයෙන් පැමිණි අසරුවෝ මහා නදිය වෙතට ලඟා වූවෝය. අංගාරක්ෂක පිරිවර භට පිරිස මහා නදිය මෙගොඩ තොටුපොළෙහි නතරකොට උපතිස්ස හුදකලාව කඳු ගැටය නැඟ ගල්ලෙන අබියස සමබිමට පිවිසියේය. 

" උපතිස්ස …" විජය පෙර ගමන් කොට තම අතිජාත මිතුරා වැළඳ ගත්තේය. 

" කුමරුණි….." උපතිස්ස පැවසූයේ බිඳුනු හඬිනි. 

" උපතිස්ස, එන්න මේ තුරු සෙවණට…" විජය පැවසූයේ උපතිස්සගේ සුරත රැගත්වනම වනස්පතිය සෙවණට පා නඟමිනි. 

" කුමරියණි…. මට සමා වුව මැන.." උපතිස්ස හිස නවමින් පැවසූයේ ගල්ලෙන ද්වාරයෙන් නික්ම ඔවුන් දෙසට පා නඟන්නට වූ කුවණ්ණා දෙසට හැරෙමිනි. 

" ඔබට සමාව අයැදීමට කිසිදු කරුණක් නැති හිතවත් ඇමතිතුමනි, මේ කිසිවකට ඔබ වගකිවයුතු හෝ මේ කිසිවක් ඔබ විසින් කළ දේ නොවන බව මම හොඳින්ම දනිමි. ඒ වනාහී දෛවය විසින් නියම කල අයුරුයි. ඒ එසේම ඉටු විය යුතු බව ද මම දනිමි. " කුවණ්ණා පැවසූයේ මඳ සිනහවක් නඟමිනි. 

මලහිරු අවර අහස රත්පැහැයෙන් සරසමින් බැස යන්නට සැරසෙමින් සිටියේය. ඉහල අහසේ හී මූණතක හැඩගත් සේ කාණ්ඩ ගැසී නැගෙනහිර දෙසට පියෑඹූ මුහුදු ලිහිණින් ගේ තියුණු සවන් විනිවිද යන නාදය කඳුගැටය මස්තකයෙහි හැපී නින්නාදව පහත වන ගහනයෙහි තුනීව මැකී ගියේය. 

විජය තම දරුදෙදෙනා වැලඳ කඳුළු පිරි දෙනෙතින් යුතුව ඔවුන් ගේ වත සිප නැඟී සිටියේය. කුවණ්ණා වෙලෙවි ගමනින් ඔහු වෙත පැමිණ ඔහුට තුරුළු වූවාය.කිසිවක් පැවසීමට අවශ්‍ය වූයේ නොවේ. එකිනෙකා වෙත කිවයුතු සියල්ල ඔවුහු ඊට පෙර පවසා අවසාන කොට තිබූ හෙයින් ශේෂව තිබුණේ සමුගැනීම පමණකි. එසේය, එදා වසර දෙදහස් පන්සියයකට පෙර මහානදී තෙර අසබඩ දුම්රක්ගල නෙත ගැටෙන මානයේ පිහිටි කුඩා කඳු ගැටයක් මතදී ඔවුහු සමුගත්තෝය.දේශයක අනාගතය උදෙසා තම සෙනෙහස කැපකොට ඔවුහු සමුගත්තෝය. 

********************************************** 

කොටස් තුදුසකින් යුතු විජය කුවණ්ණා සෙනෙහසේ අන්දරය මෙතෙක් බොහෝ ඉවසිල්ලෙන් කියවූ මගේ දයාබර සහෘද/සහෘදිනියන් වූ ඔබ සැමට මසිත නැඟෙනා අවංක ස්තූතිය පුදකිරීමට මේ අවස්ථාව කර ගනිමි.

සරළ ලිහිල් බස් වහරින් ලියවුනු සටහන් කෙරෙහි බහුතරයකගේ රුචිකත්වය හිමිවන අතර යම් තරමකට හෝ ලිඛිත බස මුල් කොටගනිමින් ලියැවුණු මේ සටහන් පෙළ නොකඩවා කියවූ ඔබට ඒ සමඟම මාගේ ගෞරවාදරයද නිතැනින්ම හිමිවන බවද අවසාන වශයෙන් සටහන් කරමි. 

Tuesday, July 30, 2013

206. කිරුළ සහ සෙනෙහස ……12

කිරුළ සහ සෙනෙහස ……1 


Google Images

මහානදිය එතෙර වීමට ශක්තිමත් වූ මිල්ල දඬු එකිනෙක වෙළු කැවී කිරිල්ල වැලින් වෙලා සකස් කොට තිබූ පහුරකි. අසුන් දෙදෙන ගෙනයාමට පහුර මෙගොඩ තොටුපොළට ගොස් යළි පැමිණෙනතෙක් ඔවුහු එගොඩ මහ නුග වනස්පතියක් සෙවණෙහි විවේක ගත්හ. මෙවන් සුවිසක් දිය පහරක් කිසිදින නුදුටු වීරූ කුඩාවෝ මහත් හර්ෂයෙන් ප්‍රීති නාද නංවමින් නොගැඹුරු දියෙහි ශ්වේත වර්ණවූ සුසිනිඳු ඇල්ල මත පෙරැළී කෙළිදෙලෙන් ගත කළහ. 

" කුවණ්ණා..මා දියණිය..ඔබ සිව් දෙනාට වාසය පිණිස මම මගේ නිවස්නය ආසන්නයේම මනා ඉඩ පහසුකමින් යුතු නව නිවස්නයක් තැනීම දැනටමත් අරඹා ඇත. දින දෙකකින් පමණ එහි වැඩ කටයුතු නිමවනතෙක් ඔබට මා සමඟ වාසය කළ හැක. " 

වාශිෂ්ඨයෝ දරුවන්ගේ දඟකාරකම් මන්දස්මිතියකින් යුතුව බලා මොහොතක් නරඹමින් සිටියෝ ඔවුන් දෙසට හිස හරවා පැවසූහ. 

විජය කුවණ්ණා දෙස ක්ෂණිකව බැල්මක් යොමුකොට යලි ප්‍රීතියෙන් ඔල්වරසන් හඬ නඟන දියණිය සහ පුත්‍රයා දෙසට හැරුනේය. මේ පිළිබඳව ඔවුහු දුම්රක්ගල කරා පැමිණෙන අතර වාරයෙහිදී සාකච්ඡා කොට තීරණයකට එලඹ තිබිණි. 

" මුත්තණුවනි..ඔබ අමනාප නොවන්නේනම්……." 

කුවණ්ණා වාසිෂ්ඨී දෙස බැගෑපත් බැල්මෙන් බලා සිටියාය. 

" කුවණ්ණා..මා අමනාප වන්නේ කුමකටද? ඔබගේ සිතැඟියාවන් නොවලහා පවසනු මැන.. "

" මුත්තණුවනි.. අප ඔබගේ ගම්මානයෙන් මඳක් දුරස්ව වන මැද සුදුසු ස්ථානයක දිවිගෙවනු කැමැත්තෙමු. "


" වන්නාටය! ඔබගේ කැමැත්ත එසේනම් ඒ එසේම වනු ඇත. ගම්මානයෙන් බොහෝ දුර බැහැර නොවන්නාවූ කුඩා කඳුගැටයක මස්තකයෙහි පිහිටි ඉඩ පහසුකම් ඇති මනා ආවරණයෙන් යුතු ගල් ලෙනක් පිළිබඳව මම දනිමි. ඒ ඔබට මනා ආරක්ෂක ස්ථානයක් වනු නිසැකය. "

වාසිෂ්ඨී පැවසූයේ සිනා මුසු මුහුණිනි. 

විජය ප්‍රීතියෙන් ඉපිලගිය හදින් යුතුව කුවණ්ණා දෙස බලා සිනාසුනේය. කුවණ්ණාගේ මුත්තණුවන් ගේ ආරක්ෂාව ඔවුනට අත්‍යාවශ්‍ය වුවද පූර්ණ වශයෙන් ඔහුගේ ත්‍යාගශීලීතාවය මත රඳාපවතිමින් ඔහු සෙවණේ වසන්නට විජය කිසිසේත් කැමති නොවූයේය. 

ස්වභාවයෙන්ම ප්‍රෞඪ සහ අනම්‍ය චරිත ස්වභාවයක් උරුමවූ ඔහු එමෙන්ම දින දෙකකට ඉහත වනතෙක් මුළු මහත් ලංකාද්වීපයෙහිම අසහාය නායකයා වූ එබැවින්ම ඒ මානසිකත්වයෙන් තවමත් අත්මිදිය නොහැකිවීමට බොහෝවිට ඉඩ ප්‍රස්ථාව ඇති හෙයින්ද වාසිෂ්ඨීගෙන් සෙවණේම නොව යම්තරමකට දුරස්ව වාසය කිරීම ප්‍රඥාගෝචර බව සිතූ කුවණ්ණා ද ඔහුගේ අදහසට එකහෙලා එකඟ වූවාය. 

එසේ වුවද කුවණ්ණා ලක් කිරුළ විජයට පවරාදීම නුරුස්සනා යක්ඛ ගෝත්‍රිකයන් මෙන්ම විජය අත්හැර ලූ ඒ ලක් කිරුළ ට අයිතිවාසිකම් කියන්නාවූ ඔහුගේම සගයින් යන දෙකොටසින්ම ඔවුනට විය හැකි අනතුරු වලින් ආරක්ෂාවනු පිණිස වාශිෂ්ඨී ගේ වාසභූමිය අසල බොහෝ දුරකින් නොවන රක්ෂාවරණිත ස්ථානයක වැදගත් කමද කුවණ්ණා මෙන්ම විජයද මනා කොට දැන සිටියෝය. 

ඔවුනගේ වාසස්ථානය ලෙස වාශිෂ්ඨී යෝජනා කල ගල්ලෙන මේ සියළු කරුණු කාරණා මනා ලෙස තෘප්ත කරන්නක් වීම ඔවුන්ගේ මහත් අමන්දානන්දයට හේතුවූයේය.ඒ ඔවුන් සිව්දෙනාට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඉඩ කඩ සහිත විය.

වසරේ මුල් මාස කිහිපය මුලුල්ලේ දිවයිනේ නැගෙනහිර වන ගහනයට අනවරතව ඇද හැලෙනා ඊසාන දිග මෝසම් වර්ෂාවෙන් මෙන්ම ඒ හා සමඟම පැමිණෙන තද සුළඟින් ආරක්ෂාවීම උදෙසා සිරස් ගල් පර්වතයෙන් ඉදිරියට නෙරා ගිය පියස්සක් වන් ආවරණයකින් රක්ෂාව සැළසුනු සුවිසල් ගල්ලෙනෙහි පොළොව තීව්‍ර වර්ෂා සමයෙක්දී වුව අපහසුවකින් තොරව ගිනි මැලයක් දල්වා පවත්වාගත හැකි පමණ වියළිව පැවැතිණි.

ගල්ලෙන ඉදිරිපිට වූ සුවිසල් නුග රුකෙකින් සෙවණදුන් සමතල භූමි භාගයෙකි. ඒ වනස්පතිය පාමුළ හිඳගත්තෙකුට කඳුගැටය හාත්පස ඇසට අසුවන මානය තෙක් පැතිරි නිල් වනගහණය මෙන්ම හෝරාවෙක පමණවූ ඇවිදයන දුරෙකින් වූ වාශිෂ්ඨීගේ වාසභවනය වටකොටගත් ඔහුගේ අනෙකුත් සගයින්ගේ නිවෙස් ද ඒ සියල්ල වටා ඉදිකොට තිබූ ආරක්ෂක දඬු වැටද පැහැදිලිව දර්ශනය වේ. 

එලෙසම දඬු වැටෙහි ප්‍රධාන ද්වාරයෙහි සිට ඉද්ද ගැසුවාක් මෙන් එක එල්ලේ මහානදී ඉවුර අසබඩ තොටුපොළ දක්වා දිවෙන බොරළු අතුල මාර්ගයද නදියෙහි එහා ඉවුරෙහි වූ තොටුපොළෙන් ඇරඹී ඈත වනගහණය හරහා පැතිර හරිතවන් තුරු අගිසි අතරේ අතුරුදන් වන ලංකාපුරය දක්වා දිවෙන මාර්ගයද උදෑසන හිරු පායාවිත් හෝරාවක් දෙකක් පමනවනතුරු වියැකී නොගොස් ගුලි ගැසෙනා මිහිදුම් පටල තුනී ගිය කල්හි දැකිය නොහැක්කේ නොවේ. 

ඔවුන්ගේ ප්‍රධාන ආහාරය වූයේ මවිසින් ඔබට මින්පෙර සඳහන් කල යව සහ මෙනේරි ඇඹරූ පිටියෙන් තනාගත් තුනී රොටී විශේෂයයි. ඔවුනට දින කිහිපයකට සෑහෙන පමණ ඒ පිටි තම සහචරයකු අත එවීමට වාශිෂ්ඨී පළමුව යෝජනා කල මුදු කුවණ්ණා ඒ එකහෙලාම ප්‍රතික්ෂේප කලාය. ඒ වෙනුවට ඕ දින තුනකට පමණ වරක් දරුවන්ද කැටුව ජනාවාසයට ගොස් තමනට අවශ්‍ය ධාන්‍ය ප්‍රමාණය තමන්ම අඹරා ගල්ලෙනට රැගෙන ආවාය.

එසේම ලබාගන්නා ධාන්‍ය වෙනුවෙන් විජය විසින් විද මරණ ලද මුව හෝ ගෝන මස් ගාතයක් හෝ දෙකක් කොළ පිරිවැස්සක ඔතා ඔවුන් වෙත ගෙන යාමටද ඇය කිසිදු විටෙක අමතක නොකළාය. වාශිෂ්ඨී කොතෙක් මේ ක්‍රියා පිළිවෙළට විරුද්ධව කරුණු දැක්වූ මුදු කිසිවෙකුට තමන් බරක් විය නොයුතු බව තරයේ ප්‍රකාශ කොට සිටි කුවණ්ණා ඔහු බසට නොනැමුණීය. 

ඔවුන් දෙදෙනගේ ජීවිතය මෙසේ මෙසේ කිසිදු හැල හැප්පීමකින් තොරව ගලාගියේ ගල්ලෙන ඉදිරිපිට වූ සමතල භූමි භාගයෙහි හිඳ දැකගත හැකි මහානදී තොමෝ දැඩි හිරු රශ්මියෙන් වනගහනය පීඩාවට පත්වන්නාවූ නියං සමයෙක ලැසි ගමනින් ගලායන්නාවූ පරිද්දෙනි. 

" කුවණ්ණා...මපියාණන් සහ මෑණියන්ද එදවස ඔවුන් කුඩාවුන් කල දිවි ගෙවා ඇත්තේ ද මෙවන් වූ මහා ගල් ලෙනකය. එමතුද ඔවුන් දෙදෙන උපත ලබා ඇත්තේද එහිදීමය.සිංහ පුරයෙහි රජ මැඳුරක ඉපිද හැදී වැඩුණු මම කිසිදු දිනෙක මෙසේ මහ වන මධ්‍යයෙහි ගල් ලෙනක දිවි ගෙවන්නට වේයැයි සිහිනෙනුදු නොසිතුවෙමි.හෙහ්, හෙහ්..හෙහ්..." 

ක්ෂිතිජ රේඛාවෙන් ඔබ්බෙහි නැගෙනහිර මුහුදු තීරය ඉහළින් පෑයූ සඳ මඬල අහස මුදුනතට අනවරත ගමනෙහි අඩක් ගෙවා තුනී දුහුල් සළුවක් වන් වූ වළාපෙලක් පැළඳ සිටියේය.නෙතු ගැටෙන මානය පුරා පැතිරගිය වන ගහනය ශ්වේත වර්ණයෙන් බැබලියේ සුළු අත් වැරැද්දෙකින් ගෙබිම ඉහිරීගිය කිරි බඳුනක් සිහියට නංවමිනි. 

මහා නදියේ නිසල ජල තලය මත සඳරැස් පතිතව දිලිනි. තොටුපොලින් එගොඩ ලංකා පුරය කරා දිවෙන මාර්ගයෙහි තුරු ලතා සෙවණෙන් තොර පෙදෙස් පැහැදිලිව දැක ගත හැකිවූයේය. ගල්ලෙන ඉදිරිපස වූ වනස්පතියෙහි තුරු පත් සැලුනේ ඈත මුහුදුකරයේ සිට හමා ආ සිහිල් මඳ නල හේතු කොටගෙනය. 

ඒ සිහිල් සුලඟේ දැවටී පැමිණි මල් සුවඳ කුමන වර්ගයේ මලකින් නිකුත් වන්නක්දැයි මල් පිළිබඳ පුළුල් දැනුමකින් යුතු කුවණ්ණා පවා දැන සිටියේ නැත. ඒ පිළිබඳව ඔවුනතර වූ බොහෝ වාද විවාද වලින් අනතුරුව දිවා කාලයෙහි කිහිප වරක් කඳුගැටයේ හාත්පස පීරා සොයා බැලූවද එවන් මලක් දැකගත නොහැකි විය. 

" මේ අපූර්ව සුවඳ හමනුයේ රාත්‍රී කාලයෙහි විකසිතව අළුයමට පෙර මුකුලිත වනා වූ පුෂ්පයකින් විය යුතුය. " 

එවන් අසාර්ථක ගවේෂණ චාරිකාවකින් ඉක්බිති පෙරළා ගල්ලෙන වෙත පැමිණෙමින් කුවණ්ණා පැවසුවාය. 

" මම ද එසේම සිතන්නෙමි. ඒ සුගන්ධය හමනා රාත්‍රිකාලයකම අපි ඒ පිළිබඳව සොය බැලියයුතුය."

විජය ඇයට එකඟවූයේය.  

හෙත් ඉන්පසු බොහෝ රාත්‍රි කාලයන්හි ඒ සුගන්ධය සුපුරුදු පරිදි හැමුවේ වී නමුදු ඔහුහු ද ඒ සුපුරුදු ලෙසම ළය පුරා උකහා ගත් නමුදු ඒ පිළිඅබඳ වැඩිදුර ගවේෂණය කිරීම දිනෙන් දින අත පසු වී ගියේය. 

ඔවුන් හිඳසිටියේ ගල්ලෙන ඉදිරිපිට නුගගස සෙවණේය. වියළි දර ඉපල් රැස්කොට ඇවිලවූ ගිණි මැලය බුර බුරා ඇවිලියේ අහසට ගිණි පුළිඟු නංවමිනි. උණුසුම් වායු දහරාවන්හි දැවටී ඉහල නඟිනා ගිණි පුළිඟු සහසක් වනස්පතියෙහි අතු පතර අතර එසැණින් සැණෙළි නිකුත් කරමින් නිවී යනයුරු බලා සිටි කුවණ්ණා දිගු සුසුමක් හෙලා ඔහුගේ දසරුවට වාරු වූවාය. 

" එහෙත් කුමරුණි ඔබගේ පියාණන් ඒ ගල්ලෙනෙහි කල් ගෙවූයේ කිසිදු සිත සතුටකින් නොවෙන බව ඔබම මා හා පවසා ඇත්තේය.එසේ හෙයින් ඔබ ද එලෙසම කෙදිනක හෝ මේ ගල්ලෙන හැරදාපියා නික්ම යාදෝයි මසිත නිරතුරු බියෙන් තැවෙයි. සොවින් පිරවෙයි…" 

" කුවණ්ණා...ඔබ සිතෙහි කොතෙකුත් මේ විච්කිච්ඡාව මාහට කිසිසේත් වටහාගත නොහැක.අප සිව්දෙන කොතරම් සතුටකින් මෙහි දිවිගෙවන්නෙම් වේද? කියනු මැන මා සොඳුර මේ නඳුනුයන නොවේනම් අන් කුමක්ද? " 

ගල්ලෙන තුලින් ඒ සමඟම නැඟී ආයේ ජීවහත්ථ හෝ දිසාලා සිහිනයෙන් යමක් දොඩන රාවයයි.වහා හිස ඔසවා ඒ දෙසට නෙත් යොමුකල කුවණ්ණා ඒ හඬ නෑසීගිය ඉක්බිති යලි ඔහු උරහිසට බර වූවාය. 

" හෙහ්, හෙහ්..ඔබට ඇසුනේද සොඳුරිය..ඒ අපේ දියණිය හෝ පුත්‍රයා මා පැවසූව සැබෑවක් බවට එකඟතාවය පලකල අයුරුයි. " 

කුවණ්ණා මදහසක් පෑවද ඒ ඇගේ දෙනෙත් කරා පැතිර නොගිය හෙයින් දෙනෙතෙහි රැඳි ශෝකී පෙනුම එලෙසම පැවති බව ඈ දෑස කෙරෙහි එබුනු ඔහුට මනා ලෙස පසක් විය. 

" කුවණ්ණා අප දිවි ගෙවනුයේ මහත්වූ සතුටකින් නොවේද? අප පතූ සියල්ල එළෙසින්ම ඉටුවී ඇතුවා නොවේද? එසේම අපගේ මගේ නඳුන් උයනයි.අපගේ සතුටට කිසිදු බාධාවක් පෙනෙන තෙක් මානයේ නොමැතිව ඔබ අස්ථානයේ සිතින් මවා ගන්නා ලද යම් අනතුරකට බිය වී ඇති සේ මම දකිමි. " 

" එසේමය කුමරුණි..අප මේ විඳිනා මහත්වූ සතුටම මට මහත් බියක් ගෙන දෙන්නේය. මාගේ දයාබර පියාණන් නිතර පැවසූවක් ඔබට සිහිපත් කිරීමට මට අවසර..කුවණ්ණා මා දියණිය...කිසිදු බාධාවක් නොමැතිව ඔබ පැතූ සියල්ල ඉටුවන්නේනම් ඒ ඉතා අස්වාභාවිකය. ලෝකයෙහි, දෛවයෙහි ස්වභාවය කිසිසේත් එසේ නොවේ.එබැවින් සියල්ල සිතූ පරිදි ඉටුවන්නේනම් දියණියනි, ප්‍රවේශම් වන්න...එසේම ඔබ පැවසූ ලෙසම කුමරුණි. මේ නම් නඳුන් උයනයි... ඒ සැබෑවකි. එහෙත් ඒ ද මා සිත බියපත් කරවන්නකි.නඳුන් උයනෙහි සිට එක එල්ලේ නරකාදියට යාමට සිදුවුවහොත් ඒ මා කෙළෙස නම් ඉවසා ගන්නෙම්ද? " 

කුවණ්ණා තම කඳුළු පිරි දෙනෙත් ඔහු වෙත යොමුකරමින් සිහින් හඬකින් පිළිවිසියාය. 

මතු සබැඳි - සැබවක්ම පවසමි මා ප්‍රිය සබඳ / සබඳිනිය....ඒනම් තුදුස්වන සහ අවසාන කොටසමැයි. 

Monday, July 22, 2013

203. කිරුළ සහ සෙනෙහස ……11

කිරුළ සහ සෙනෙහස ……1 

කිරුළ සහ සෙනෙහස ……10 

මහා නදියෙහි තොටුපොළ දක්වා දිවෙන මාර්ගය උපතිස්ස පැවසූ සේම බොහෝ සෙයින් ජනශූන්‍යව පැවතිණි.මධ්‍යාහ්නය වන තුරු ගමන් කල ඔවුහු දැඩි හිරුරැස් දරාගත නොහැකි පමණට චණ්ඩවත්ම මාර්ගයෙන් මදක් ඉවත වූ තුරු ගොමුවක සෙවණේ නතර වූහ.පසුගිය දින කීපය මුළුල්ලේ වට වැසි හේතුවෙන්, දැඩි හිරු රැසින් පෙලුණේ වුවද ගස් ගොමුවෙහි වූයේ ගත මෙන්ම සිතද සනහා නිවාලන්නාවූ සිහිලසකි. 

කිසිදු හදිසියකින් තොරව ඇවිදයන වේගයට මඳක් වැඩි හැල්මේ ගමන් කල බැවින් අසුනට සැලකියයුතු වෙහෙසක් නොවූවද ඒ අසල වූ දිය පහරක් වෙත උන් කැඳවාගෙන ගිය විජය ඔවුනට සිත්සේ ජලය පානය කිරීමට ඉඩ හලේය.
 
ඉක්බිති රුක් ගොමුවෙන් මඳක් එපිට ඇස ගැටෙන මානයෙන් එහා නොයන ලෙස ඔවුන් දිගේලි කල හෙතෙම ඔවුනට සිත්සේ තණ කෑමට ඉඩ හලේය. 

කුවණ්ණා මේ වන විට දරුවන් දෙදෙනාහට ඈ රැගෙන ආ යව සහ මෙනේරි ඇඹරූ පිටියෙන් තැනූ පූප නමින් හැඳින්වුනු තුනී රොටී වන් ආහාරයක් පිළිස්සූ මුවමස් තීරුද සමඟ කවමින් උන්නාය.ඈ අසල අඹ තුරක සෙවණේ වැතිරගත් විජය බැඳගත් දෑත් මත හිස වාරුකොට ගත්තේ ඒ සිහිල් තණ පිටිය මත වැතිර ගත්තේය. 

" කුවණ්ණා..කුවණ්ණා..මගේ සොඳුරිය කුවණ්ණා..මේ තමයි ජීවිතය..හිසෙහි කිසිදු බරක් නොමැතිව, සහසක් රාජ්‍ය පාලන ගැටළු මහිස දරා නොගනිමින් සැහැල්ලු වූ සිතින් යුතුව ඊලඟ අහරවේල සපයාගනුයේ කෙසේද යන සනාතන ගැටළුව විසඳීමෙහිලා පමණක් සිත වෙහෙසවමින් අපගේ දරුවන් දෙදෙන දෙපසින් හිඳුවාගෙන ඔබ හා තුරුළුව මෙසේ සැනසීමෙන් කල් යවනුයේ කෙදිනකද යන්න පිළිබඳව දිවා රෑ සිතූයෙමි. අවසන ඒ මා උදක්ම පැතූ අවස්ථාව මවෙත ළඟා වී ඇත. " 

සිය පියාණන්ගේ ඉමහත් ප්‍රීති ප්‍රමෝදය කුඩාවුන් දෙදෙනාට මහත්ම ආහ්ලාදයක් ගෙන දීමට සමත් විය. ඔවුහු ද ආහාර අනුභවය එකෙණෙහිම නවත්වා මුව පුරා පැතිරුණු අහිංසක සිනහ රැල්ලෙන් යුතුවූවෝ පියාණන් සහ මෑණියන්ගේ දෙස වරින්වර නෙතු යොමුකරන්නට වූහ. 

එහෙත් කුවණ්ණා ඔවුන්ගේ ප්‍රීති ප්‍රමෝදයට එක්විමෙහිලා මඳක් පසුබට වූවාය. ඇගේ මන්දෝත්සාහීභාවය මනා ව වටහාගත් විජය ඉනික්බිති ඒ පිළිබඳව තව දුරටත් කථා කිරීමෙන් වැළකී සිටියේය. 

සාගිනි නිවුනු කුඩාවෝ ඉක්බිති අසුන් සිටි දෙසට ගොස් ඔවුන් හා සුරතල් වන්නට වූවෝය. 

" පුතණ්ඩ, දියණියනි..අපගේ දෑසට හසුවන මානයෙන් ඉවත නොයනු මැනව.." 

කුවණ්නා ඔවුන් දෙස හැරී හඬනඟා පැවසුවාය. 

ආපසු හැරුණු ඈ ඉතිරි ආහාර ස්වල්පය ඔහුට පිළිගැන්වූවාය. 

" එන්න කුවණ්ණා, අප දෙදෙනම මෙය සමව බෙදාගනිමු. " 

නිහඬවම අහර ගන්නා කුවණ්ණා දෙස කීප වරක් තම ඝනව වැඩුණු බැම සඟල යටින් බැලූ විජය ඉක්බිති ඇය ඇමතූයේ සෙනෙහස පිරී ඉතිරීගිය හඬකිනි. 

" කුවණ්ණා....ඔබ සිතෙහි යම් තැවුලක්, අර්බුදයක් පවතින බව මට රහසක් නොවේ. අප එකිනෙකාගේ සිතැඟි අනෙකාට වසන් කල නොහැකි පමණට දැඩි සෙනෙහසින් බැඳී සිටිනා බව ඔබ හොඳාකාරවම දන්නෙහිය. එබැවින් වහා මා හා පවසන්න කුමරිය ඔබ සිත් පෙලන කාරණය කිමෙක්දැයි කියා…" 

ඇය හිස ඔසවා ඔහු දෙස බැලුවාය. කඳුළු පිරී නොතිබුනේ වුවද ඇගේ දෑස් දිළිසෙනු තුරුගොමුවෙහි මධ්‍යාහ්නයේ පවා පැවති මඳ අඳුරෙහි වුවද ඔහුට පැහැදිලිව දැකිය හැකි විය. 

" කුමරුණි..ඔබ සිත් පුරා පිරි ප්‍රීති ප්‍රමෝදය මට ද මහත් ආහ්ලාදයට කරුණෙකි.එහෙත් මසිත සපුරා ඒ ප්‍රීති ප්‍රමෝදය විඳීමට මැලිවෙයි. මසිත පිරී ඇත්තේ අද මේ මොහොත පිළිබඳව සිතනා කල්හි උපදින නිම් හිම් නොමැති ප්‍රීතිය සහ ඒ සමඟම අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවය, එළෙසම බිය අතර සම්මිශ්‍රණයකිනි. "


" කුවණ්ණා.... කුවණ්ණා..ඔබ සිතෙහි අනාගතය පිළිබඳව බියක් පවතිනු යනු ඔබ මා කෙරෙහි විශ්වාසය තබා නැත්තේය යන්න නොවේද?...මා විශ්වාස කරන්න සොඳුර..මා විශ්වාස කරන්න...." 

" කුමරුණි..මා ඔබ අවිශ්වාස කළාම නොවේ. ඔබේ මා කෙරෙහි සහ දරු දෙදෙන කෙරෙහි ඇති සෙනෙහස සහ කැපවීම මම හොඳින්ම දනිමි. එහෙත් කුමරුණි..ඔබ සාමාන්‍ය මිනිසකු නොවේ. ඔබ තවමත් මෙරට කිරුළු පලන් නරේන්ද්‍රයාය.කිරුළක් පැලඳීම සහ සිහසුනක හිඳගැන්මට වඩා කිරුළ ඉවත් කිරීම සහ සිහසුන අත්හැරීම අසීරු විය හැකි බව මම මීට පෙරද දීනක් ඔබට පැවසුවා ඔබගේ මතකයෙහි රැඳී ඇතැයි සිතමි. " 

" එසේමය කුවණ්ණාවනි එහෙත්....." 

සුරත ඔසවා ඇය ඔහු වැළැක්වූයාය. 

" මා කියන්න පළමුව අසනු මැන..එදවස ඔබ රුව මා නෙත ගැටීමටද වසර කිහිපයකට පෙර එක් අනාගත වක්තෘවරියකද වන්නාවූ යෝගිනියක හමුවීමට මපියාණන් සමඟ මම ද ගියෙමි. දියණිය ඔබ ගන්නා වූ එක තීරණයක් හේතුකොටගෙන මේ දිවයිනෙහිම අනාගතය වෙනස් වනු ඇත. ඒ එදින ඇය මා අමතා පැවසූ අනාගත පුරෝකථනයයි. එළෙස සිදුවීමට නම් ඔබ මෙරට රාෂ්ඨ්‍ර පාලකයා, නරේන්ද්‍රයා වශයෙන් කටයුතු කල යුතුමය. හුදෙක් කුවණ්ණා නම් හිටපු කිරුල හිමි කුමරියගේ සැමියා වශෙයෙන් දිවි ගෙවීමෙන් ඔබට ඒ අනාවැකිය ඉටු කිරීම අපහසුය. " 

කුවණ්ණා මඳක් නිහඬව ඔහු දෙස බලා සිටියාය. 

" එබැවින් ඔබ දෛවය ඔබ යලිත් ලක්දිව රජ කිරුළ වෙත රැගෙන යන බවට මම සැක කරන්නෙමි. එලෙස මට නිරතුරු හැඟෙයි. එවිට ඔබ පසෙකින් මට හෝ අපේ දරු දෙදෙනාට නියමිත ස්ථානයක් නැත. එබැවින් මසිත අවිනිශ්චිතාවයෙන් සහ එනයින්ම හට ගන්නා සිත් තැවුලෙන් පිරී තිබීම අරුමයෙක් නොවේ. "

ඇගේ ඒ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් කිවයුතු කිසිවක් එක්වර හිතට නොනැඟි හෙයින්ම විජය මොහොතක් දෑස් පියාගත්වනම නිහඬව හුන්නේය. කුඩාවුන් දෙදෙනා කෙළි දෙලෙන් නඟනා සිනා හඬ සහ ඔවුනට සෙවනදුන් තුරු පියසේ සැඟවී හුන් යම් පරවියකු වන් පක්ෂියෙකු වරින්වර නඟනා කූජනය හැරුනු විට අවට පැවති දැඩි නිහඬතාවය බිඳීනු වස් වෙනත් කිසිදු හඬක් නොනැඟුනු කාල ප්‍රාන්තරයකට පසු අවසන ඔහු ඉදිරියට නැවී ඇගේ සුරත ගෙන සිප ගත්තේය. 

" ඔබගේ සිතෙහි ඇති බිය සහ අවිනිශ්චිතතාව සහේතුක බව මම දනිමි, කුමරියනි...එසේම ඒ බව පිළිගන්නෙමි. එහෙත් මාගේ හෘදය විදාරණය කොට මේ මොහොතේ ඔබට පෙන්වාලිය හැකිනම් මා කියන්න ඔබට දිවිහිමියෙන් විශ්වාස කල හැකිබව ඔබට එකහෙලා පැහැදිලිවනු ඇත.කුවණ්ණා..මම බැගෑපත්ව ඔබගෙන් ඉල්ලා සිටින්නෙමි. සොඳුර මා කෙරෙහි විශ්වාසය තබනු මැන. " 

ඔහුවෙත ඇදී ආ ඇය ඔහුගේ උරහිස මත හිස හොවා ගත්තීය.තම වමත ඇගේ දසරුව වටා යවා ඇය තුරුළු කරගත් විජය සෙමෙන් ඇගේ හිස පිරිමදින්නට වූයේය. තුරු පියසෙහි සැඟව ගී ගයමින් හුන් කුරුල්ලා අතු පතර සොළවමින් ඈත කොහේදෝ පියඹා ගියේය. ඒ හේතුකොටගෙන ගිලිහුණු හරිතවන් පත්‍රයක් කරකැවෙමින් බොහෝවෙලාවක් ගනිමින් තණ පලසට පතිත වූයේ ඔවුන් අසළින්මය. 

සුරත දිගුකොට ඒ පත්‍රය අතට ගත් ඈ හඬ අවදිකලේ ඒ දෙස නෙත් යොමුකොටගත්වනමය. 

" වන්නාටය..කම් නැත කුමරුණි..අනාගතයේ සිදුවන්න නිවැරදිව පුරෝකථනය කල හැකියාවක් නොමැති අප වැන්නවුන්ට ඇත්තේ උපෙක්ෂාසහගතව පොරොත්තු වීම පමණකි.එලෙසම අනාගතය පිළිබඳව කොතෙකුත් වික්ෂෝප වෙමින් සිත් රිදවා ගනිමින් වර්තමානයෙහිද තැවීමෙන් කිසිදු පලක් නැති බවද මම හොඳින් දන්නෙමි. එබැවින් සියළු දේ අනාගතයට භාර කොට නොතැවී වර්තමානයෙහි ජිවත්වීමට මම අදිටන් කොට හත්තෙමි. කුමරුණි..ඔබගේ සිතෙහි පිරී ඉතිරීයන්නාවූ දැඩිප්‍රීති ප්‍රමෝදයට මම බාධකයක් වුනු නම් මට සමාවන්න. " 

අවසන් වදන් කිහිපය ඇය තෙපලූයේ ඔහු වත ඉඳුරාම බලමින් සිනාසෙමිනි.විජය ද ඈහා එකව සිනාසුනු නමුදු ඇගේ දිළිසෙන දෑස ඔහු තුල ඇති කලේ යම් අවිනිශ්චිත හැඟීමකි. 

" පියාණනි, මේ අයියණ්ඩිය මා හට අර එපිට පිපී ඇති මල් නෙලනු පිණිස යන්නට ඉඩ නොදෙයි. " 

දිසාලා දිවගෙන පැමිණියේ පැමිණිල්ලක්ද කරමිනි. විජය ඇය තම ඇක ය මත හිඳුවා වැළඳ ගත්තේය. ඒ පසුපසම දිව ආවේ ජීවහත්ථය. 

" නැත පියාණනි..නැඟණිය එහි තනිව යාම ට ඉඩදිය නොහැකි බව පමණකි මා පැවසූයේ.." 

" එසේද පුතණුවනි?.....එසේනම් දියණිය ඔබේ සොයුරාගේ ක්‍රියාව මම ද අනුමත කරමි. කිසිම විටෙක මා හෝ මෑණියන්ගේ ඇස ගැටෙන මානයෙන් ඉවත්ව බැහැර නොයාමට ඔබ දෙදෙනම තරයේ සිහිතබා ගත යුතුයි. අපගේ ඉදිරි කාලය ගතකලයුතු වනුයේ මහ වන මධ්‍යයේ බැවින් ඒ ඔබගේ ආරක්ෂාව පිණිස මහෝපකාරී වනු ඇත. එන්න ඔබ දෙදෙනම මා සමඟ..අපි යමු ඒ මල් නෙලා ගනු පිණිස " 


විජය හිඳ හුන් තැනින් නැඟිට්ටේ කුඩාවුන් දෙදෙනාගේ දෑත් අල්ලා ගනිමිනි. 

" අප මහවන මැද ජීවත්වන්නට යන්නේ මන්ද පියාණනි?...." 

ඒ පැණය ජීවහත්ථගෙනි. 

" ඉවසිලිවත් වන්න පුතණුවනි. ඒ මක් නිසාද ? එවන් තීරණයක් මට ගැනීමට සිදුවූයේ මන්ද යන සියලු කරුණු සවිස්තරව නුදුරු දිනෙක මම ඔබ දෙදෙනාට පහදා දෙන්නෙමි. එතෙක් ඉවසිලිවත් වුව මැනවි. " 

විජයගේ දෑතේ එල්ලී තම සිඟිති දෑත් දිගු කරමින් ඔහුගෙන් කිසිවක් විමසමින් ඔහුගේ දිගු පියවර හා සමපාතවනු පිණිස වරෙක මඳක් දුර දුවමින් පුත්‍රායා සහ දියණිය ඈත පෙණෙන මල් ගොමුව වෙත ගමන් කරනු කුවණ්ණා රුක් ගොමු සෙවණැල්ලේ සිට බලා සිටියේ ළය පිපිරීයන තරමේ සෙනෙහසකිනි. 

දුම්රක්ගල පිහිටියේ ලංකා පුරයේ සිට අසුපිටින් දිනක ගමනක දුරකින් වුවද නිවීහැනේ අවට සිරි නරඹමින් කුඩාවුන් දෙදෙනා අසුපිට බොහෝවේලා ගමන් කිරීමෙහි මැලිබවක් දැක්වූ හෙයින්ම හෝරා තුන හතරකට වරක් මග අසල පිහිටි තුරු ගොමුවක නැවතී විඩා හරිමින් ගමන් කල ඔවුහු ඉලක්ක ගමනාන්තයට ළඟාවූවෝ පසුදින හිරු අස්තගතවීමට හෝරාවක් පමණ තිබියදීය. 

කුවණ්ණාගේ මුත්තණුවෝ ඔවුන් පැමිණෙන බව තම බල ප්‍රදේශයෙහි සීමා මායිම් නිරතුරු රැකවළෙහි යෙදෙන මුර භටයින්ගෙන් සැළවූයේ මාර්ගය කෙළවර මහා නදියෙහි මෙගොඩ ඉවුරෙහි ජලයට හොඳින් ඔරොත්තුදීමෙහි සමත් කුඹුක් වන් ලී දඬු සිටවා ඉඳිකොට තිබුණු තොටුපලට පැමිණ සිටියෝය.





තුඟු එසේම තවමත් ශක්තිමත් සිරුරකින් හෙබි ඔහුගේ ළය වසා සිටියේ සුදු පැහැ දිගු රැවුලකිනි.අසුපිටින් බට කුවණ්ණා වහා ඔහු වෙත ගොස් නමස්කාර කලාය. කුඩාවුන් දෙදෙනාද ඇය අනුගමනය කලෝ කිසිදු ඇණවීමකින් තොරවමය.විජයද ඔහු ඉදිරියේ දණින් වැටීමට තැත් කලමුත් වාශිෂ්ඨී; එසේය කුවණ්ණාගේ මුත්තණුවන්ගේ මේ මල් බෑයා නමින්ග් වාශිෂ්ඨී වෙයි; ඔහු වැළැක්වූයේය. 

" අහෝ..මා අබියස දණ නොගසනු මැන රජතුමනි........" 

වාශිෂ්ඨී විජයගේ දසරුවෙන් අල්ලා ඔහු නැඟිටවමින් පැවසූයේ ගැඹුරු හඬකිනි. වසසින් වසර අනූවකට ආසන්න වූ නමුදු ඔහු තවමත් තරුණයකු මෙන් ශක්තිමත් බව තම දසරුවට දැනුනු ඔහුගේ අතැඟිලිවල ග්‍රහණයෙහි දැඩි බව විජයට කියා පෑවේය. 

" මම තව දුරටත් ලංකාද්වීපයෙහි රජු නොවන්නේය, මුත්තණුවනි...මම ඊයේ උදෑසන සිට රජකම අතහැර දැමූයෙමි. " 

" එසේනම් ඔබ මෙහි පැමිණියේ කුමන තරාතිරමක අයෙකු ලෙසද යන්න දැනගනු රිසියෙමි…." 


වාශිෂ්ඨී විමසූයේ සිනා සෙමිනි. 

" ඒ ඔබගේ මිණිබිරියගේ සැමියා නො එසේනම් ඔබගේ මුණුබුරා ලෙසයි මුත්තණුවනි. ඔබගේ මුණුබුරා ලෙසයි….." 

විජයද සිනාසෙමින් පැවසූයේ කුවණ්ණා දෙස හිස හරවා බලමිනි. 


මතු සම්බන්ධයි...... 




Friday, July 12, 2013

201. කිරුළ සහ සෙනෙහස ……10













" කුවණ්ණා..කුවණ්ණා..කුවණ්ණා...වසර පහකට ආසන්න කාලයක් අඹු සැමියන් සේ යුගදිවි ගෙවූවද ඔබ මා හැඳින නොමැති බව නොවේද ඔබගේ මේ විස්මයාවහ ඉරියව්වෙන් හඟවනුයේ...ඔබ මා කෙරෙහි තැබූ විශ්වාසය කිසි කලෙක නොසැලෙන බව මම තරයේ අදහා සිටියෙමි. එහෙත් ..එහෙත්...."

විජය පැවසූයේ ගෙල තෙක් දිගුවූ කාලවර්ණ කෙස්වැටිය සැලෙනා පරිදි හිස දෙපසට සොලවමිනි. 

" අහෝ මා කුමරුණි..මම කිසිදු ලෙසකින් අංශු මාත්‍රයකින් හෝ ඔබ අවිශ්වාස කලා නොවේ. එහෙත් ..එහෙත්..එහෙත්...." 

කුවණ්ණා කඳුළු පිරි දෑස් ඔහු වෙත යොමු කරමින් පැවසුවාය. 

" හෙහ්..හෙහ්……" 

ඔහු සිනාසෙමින් පහත්ව ඇගේ දෑස සිපගත්තේය. 

" කුවණ්ණා..කුවණ්ණා..මා කෙරෙහි වූ ඔබගේ විශ්වාසය නිරුපද්‍රිතව පැවතියේද යන්න පිළිබඳව විවාද කරනුවස් අපට ඇති පමණ කාලය ඇත. එහෙත් ඒ මේ මොහොතේ නොවේ. අනලස්ව නිමේශයකුදු පවා නොවී අප ප්‍රාසාදයෙන් පිටවිය යුතුය.ප්‍රාසාදයෙන් මතුනොව ලංකාපුරයෙන්ද පිටව රක්ෂාවරණයක් සොය පළා යායුතුය. " 

කුවණ්ණා ඔහු මුහුණ දෙස බලා සිනාසුනාය. 

" හෙහ්, එවර ඔබ සිනාසෙන්නේ කුමක් නිසාද? " 

ඔහු විමසුවේ ඇය අතැර නැඟී සිටිමිනි. 

" ඔබ පළායාමක් පිළිබඳව සඳහන් කල බැවින් කුමරුනි මට සිනහ පහළවූයේ...මම මේ රාජ්‍යයෙහි පරම්පරාගත ලේ උරුමයෙන් කිරුළ හිමි කුමරියයි. ඔබ මා සමඟ සෙනෙහසින් බැඳී විවාහ වූ උරුමයෙන් කිරුළු පලන් වර්තමානයෙහි මෙහි නරේන්ද්‍රයාය. එසේ වූ අප දෙදෙන අපගේ නිල වාසස්ථානය වූ ප්‍රාසාදයෙන් මතු නොව අග නුවරින්ද පල් සොරුන් සේ පළායා යුතුයැයි ඔබ පවසනු අසා සිනහ පහළවීම කවරනම් අරුමයක්ද? " 

" කුවණ්ණා අවශ්‍ය තන්හි පළායාමට ධෛර්යය නොඅඩුව තිබීම ද රාජ්‍ය පාලනයෙහි ඉතා වැදගත්ය. නැවත දිනෙක සටන් කිරීමට ඉතිරිවන්නේ අවශ්‍ය තන්හි පළායමට පසුබට නොවන්නා බව ඔබ නොදන්නෙහිද? " 

" එසේනම් කුමරුනි..ඔබ අද මේ පළායන්නේ මතු දිනෙක යලි සටන් වැදීමෙහි අපේක්ෂාවෙන්ද? " 

කුවණ්ණා විමසූයේ දෙනෙත් ඉඟිමරමිනි. 

" කුවණ්ණා...මා නිදර්ශනයක් ලෙස කල ප්‍රකාශයක් අලලා මා වෙහෙසීම ඔබට තරම් නොවේ.." 

විජය පැවසූයේ දෑත් ඉහලට ඔසවා දිග ඇදෙමිනි. 

" ඔබට හා මට ප්‍රිය තෙපුලෙන් සුහද අල්ලාප සල්ලාපයෙන් පසුවීමට නුදුරු අනාගතයෙහි කොපමණවත් අවස්ථාව ලැබෙනු ඇත. මේ රාෂ්ඨ්‍ර පාලන හිස රදයෙන් මිදී ඔබ හා සමඟ එසේ ආලිංගනයෙන් සහ මාගේ දරුවන් සමඟ කෙළි දෙලෙන් පසුවීමට මම කොපමණ සිහින දුටුවෙම්ද? අවසන මගේ ඒ සියළු සිහින සැබෑවන්නාවූ දිනය උදාවෙයි...මසිත දැඩි ප්‍රීතියෙන් පිරී ඉතිරී යයි..සොඳුර දැඩි ප්‍රීතියෙන් පිරී ඉතිරී යයි. ඔබගේ පැනයට පිලිතුරු ලෙස අප දරුවන්ගේ නාමයෙන් මෙසේ ඔබට සපථ කොට සිටින්නෙමි කුමරියනි. යලි කිසිදු දිනෙක කිරුලට හිමිකම් පෑමෙහි මගේ කවර හෝ අභිලාෂයක් එකළාවම නැත්තේය.ඒ කිරුළ මා හිසට බර වැඩිය. කිරුළු නොපැළඳි හිසින් යුතුව ඉතා සැහැල්ලුවෙන් ජීවිතයේ ඉතිරි කාලය ඔබ හා ගත කිරීම මාගේ එකම අභිලාෂයයි. " 

මෙසේ ස්ථිරසාර ස්වරයෙන් පැවසූ විජය ඈ වෙත පැමිණ දෙවුර මත දෑත් තබා ඇගේ දෑසට එබුණේය. 

" සොඳුර කොතෙකුත් මෙතැන සාමීචියෙන් පසුවනු නොහැක. දරුවන් දෙදෙනා සහ ඉතාම අත්‍යාවශ්‍ය ඇඳුම් පැළඳුම් ස්වල්පයක් පමණක් රැගෙන සූදානම් වුව මැනව. තව හෝරාවක් ඇතුලත උපතිස්ස අසුන් තිදෙනෙක් අවශ්‍ය ආහාර, පාන සහ ආයුධ රැගෙන පිටාංගනයෙහි බිහිදොර අසළට පැමිණෙනු ඇත. නගරාරක්ෂක රැකවළුන්ගේ අවධානය ඉතාම අඩු මට්ටමක පවතිනුයේ හිරු උදාවීමට ප්‍රථම දෙහෝරාවක කාලයෙහිදීය. ඒ අවස්ථාවෙහි අප නගරද්වාරයෙන් පිටවී යා යුතුය. " 

දරුවන් නිදන ඇතුළු ගැබ දෙසට පා ඔසවමින් හුන් කුවණ්ණා හිටිපියවරම නැවතී වහා ආපසු හැරී බැළුවාය. 

" එසේනම් කුමරුණි, උපතිස්සයන්ද අප සමඟ පැමිණෙන්නේද? " 

" මම ඔහුට කිසිසේත්ම එසේ අණ නොකලෙමි. අවම වශයෙන් ඉල්ලිමක් හෝ නොකලෙමි. ඒ හුදෙක් ඔහුගේ තීරණයකි.ප්‍රධාන ඇමති තනතුර උසුලනවාට වඩා අප සමඟ වනගතවීම යෙහෙකියි ඔහු එකහෙලාම තීරණය කොට ඇත. අවසන මට ද ඊට එකඟ නොවී නොහැකි වූයේය. " 

කුවණ්ණා ආපසු ඔහු අසළට පැමිණියාය. 

" කුමරුණි උපතිස්ස ද අප හා පැමිණීමට වඩා ඔහු ලංකාපුරයෙහි රැඳී සිටීම වඩාත් ප්‍රඥාගෝචර බව මගේ හැඟීමයි. " 

වත්මනෙහි ද බොහෝතන්හි තවමත් සිදුවන්නාසේම එදවස ද යම් වැදගත් තීරණයකට එලඹීමෙහිදී ඉතිරින්ගේ අදහස් විමසීමක් හෝ සැළකිල්ලට ගැන්මක් උදක්ම නොවීය.එහෙත් විජය රාජ්‍ය පාලනයෙහිදී සෑම වැදගත් තීරණයකටම ප්‍රථම කුවණ්ණාගේ අදහස් විමසීම සිරිතක් කොට ගත්තේය. මම නොපණත්කම්හි යෙදෙමින් මපියාණන්ට පවා බලවත් හිස රදයක්ව කල්ගෙවූ සමයෙහි පවා ඔබ ඉතා කාර්ය බහුල වෙළඳ නැව්තොටක් ඇතුළුව ප්‍රාන්තයක් පාලනය කල සහකාර පාලිකාවක වූ බව මම කිසිදුදිනෙක අමතක නොකරන්නෙමි සොඳුරිය..විජය සහස් වරක් පැවසූයේ ඈ දෙස සෙනෙහස මෙන්ම ඒ හා බැඳුනු ගෞරවයක්ද මුසුවූ බැල්මක් යොමු කරමිනි. 

" කුවණ්ණා..ඔබගේ විචක්ෂණභාවය සහ යම් ගැටළුවක් කෙරෙහි තියුණුව විචාරාක්ෂිය යොමුකොට වඩාත් බුද්ධිගෝචර තීරණයට එලඹීමේ නිසඟ හැකියාව මම කිසිවිටෙක සැක නොකලා මෙන්ම සෑම විටෙකම ඔබගේ උපදෙස් මවිසින් එකහෙලා ක්‍රියාත්මක කිරීමෙහිලා පසුබට නොවුනු බවද ඔබ මනාව දන්නෙහිය. එබැවින් කුමරිය..පවසනු මැන...උපතිස්ස අප හා සමඟ පැමිණෙනු නොව ලංකාපුරයෙහිම රැඳී සිටීම මැනවි යයි පැවසීමට තුඩු දුන් ඔබට හැඟුනු අදහස් වහා පවසනු මැන..." 

විජය අසල වූ කැටයම් කල ආසනයෙහි දිගා වෙමින් පැවසුවේය. 

" කුමරුණි.....අප ලංකාපුරය හැරදා පළාගියද ඔබට මේ දිවයිනෙහි කිරුළට නීත්‍යානුකූලව ඇති හිමිකම එසේ පහසුවෙන් අතහැර දැමිය නොහැක.ඒ ඔබගේ නෛසර්ගික වූ උරුමයයි. යළි කිරුළ දැරීමට සිහසුනෙහි හිඳ ගැනීමට ඔබගේ කිසිදු අපේක්ෂාවක් නොමැතිබව ඔබ ද මම ද සක්සුදක් සේ දන්නා නමුදු ලංකාද්වීපයෙහි ඊලඟ පාලකයා වශයෙන් රාජ සභාව තෝරාගන්නා පුද්ගලයා ඒ නොදනී.බලය සියතට පැමිණි පසු ඒ අත්හැරීමට නොව තවත් දෘඪ ග්‍රහණයෙන් තරව ගැනීමට පෙළඹීම පෘථග්ජන මිනිස් සන්තානයෙහි ස්වභාවිකව හට ගන්නා සිතුවිල්ලකි. " 

" හෙහ්, හෙහ්..එසේනම් මා සොඳුර ඔබගේ නිර්වචනය අනුව මම් වනාහී පෘථග්ජන පුද්ගලයකු නොවේ..ඒ එසේද? " 

කුවණ්ණාගේ මුවඟට සුන්දර සිනහවක් නැඟුනෙ නිරායාසයෙනි. 

" එසේමය කුමරුණි, අතපත් කිරුල අතැර දමා පලායන්නට උත්සාහ කරන්නෙකු පිළිබඳව මම අපගේ මුඛ පරම්පරාගත වංශ කථාවල පවා ඇසූ බවක් නොදනිමි. ඒ නයින් ඔබ වනාහී සාමාන්‍ය පුද්ගලයකු නොවන බව වෙසෙසින් කිවයුතු නොවේ. එහෙත් ඔබගේ ඒ සුවිශේෂී පෞරුෂය මා දුටුවේ මීට වසර ගණනකට පෙර තම්බපණ්නී මුහුදු තීරයෙහි එක් සොඳුරු සවස් කාලයකදීය. " 

" ආහ්හ්හ්හ්….. ඒ එසේද?.....කුවණ්ණාවනි...." 

විජය හිස පස්සට වීසිකොට මහ හඬින් සිනාසුනේය. 

" නො එසේනම් කුමරුනි..නො එසේනම්....තම්බපණ්ණියෙහි රාජ්‍ය පාලිකාව වූ මම සිය පියාණන් විසින් පවා පිටුවහල් කරනු ලැබූ නොදැමුණු තරුණයකු කෙරේ සෙනෙහසින් බැඳීගියේ අන් කවර නම් හේතුවක් කරණකොටගෙනය කියාද ඔබ මෙතෙක් කාලයක් සිතා සිටියේ? " 

කුවණ්ණාද මහ හඬින් සිනාසුණාය. 

" හරි ඒ මා සිතා සිටි අන්දම පිළිබඳව අපි දෙවනුව වැඩි දුරටත් සාකච්ඡා කරමු. ඔබ පැහැදිලි කරමින් හුන් කරුණ වෙත නැවත එළඹෙමු. " 

" කුමරුණි, මට පැහැදිලි කිරීමට අවශ්‍ය වූයේ ලංකාද්වීපයෙහි ඊළඟ පාලකයා කවුරු හෝ ඔහු ඔබ ඔහුගේ බලය සහ ආඥාව පවත්වාගෙන යාමය බලවත් බාධකයක් සේ දකිනු නිසැක බවයි.එබැවින් අපට අනතුරක් කිරීමට පවා ඔහු සහ ඔහුගේ සහචරයන් පෙළඹීමේ සැබෑ අවදානමක් ඇත. එවැන්නක් වැළැක්වීමට හෝ එසේ වැළැක්විය නොහැකි වුවහොත් අවම වශයෙන් ඒ පිළිබඳව කල් තබා අනතුරු හැඟවීමට හෝ ඔබට ඉතාම හිතවත් උපතිස්ස වැන්නෙක් රජ සභාවෙහි සිටීම ඉතාම වැදගත් බව මාගේ හැඟීමයි. " 

විජය නළල පිරිමදිමින් මොහොතක් කල්පනාවේ යෙදී සිට හිස එසවූයේය. 

" එසේය..කුවණ්ණා ඔබගේ අදහස මම එකහෙළා පිළිගනිමි. සුපුරුදු ලෙස ඔබ මම කිසිවිටෙක නොසිතූ දෘෂ්ඨි කෝණයකින් මේ ගැටළුව දෙස බලා ඇති බව පැහැදිලිය.ඔබට මගේ ස්තූතිය...එහෙත් උපතිස්ස එක හෙලාම කියා සිටියේ අපත් සමඟ ඔහුද පැමිණෙන බවය. වන්නාටය..අපි ඔහු සමඟ සාකච්ඡා කොට ඔහුගේ තීරණය වෙනස් කරවීමට උත්සාහයක් දරමු. " 

" මෑණියනි....???? " 

ඇතුළු ගැබට පිවිසෙන දොරටුව අසලින් නැඟුනු ඒ හඬ ඔවුන්ගේ අවධානය වහා ඒ දෙසට යොමු කරවීමට සමත් විය..ඒ දිසාලාය..සිව් හැවිරිදි වියේ පසුවූ ඕ මෑණියන්ගේ සහ පියාණන්ගේ සිනහ හඬින් නින්දෙන් අවදි වූවා අඩක් විවරවූ දෑස් පිසදමමින් දොරටුව අසල පසුවූවාය. 

" මාගේ දියණියනි....මෙහි එනු මැන..ඔබ සහ සහෝදරයා පුබුදවනු පිණිස මම මේ ඇතුළු ගැබට යාමට සූදානම් වූවා පමණි. කොහිද ඔහු?.....තවමත් සැතපෙන්නේද? " 

දැඩි නිදිමත හේතුකොටගෙන වෙළෙවි ගමනින් කුවණ්ණා වෙත පැමිණි දිසාලා ඇගේ ළැමට තුරුළු වූවාය. 

" තවමත් හිරු උදාව නොමැත්තේ නොවේද?..මෑණියනි..පියාණනි..අප මේ තකහනියේ කොයිබක යාමටද සූදානම් වන්නේ?...." 

" මෑණියන් හා සමඟ සූදානම් වන්න මා දියණියනි..මම ඔබට අප කොහි යන්නෙහිද? කුමක් පිණිස යන්නේද? යන සියළු විස්තර ගමනේ යෙදෙන අතර පහදන්නෙමි. එබැවින් තවත් ප්‍රමාද නොවන්න. " 

" කුමරුණි..ඔබ අපට පළායාමට ආරක්ෂිත එමෙන්ම රැකවරණය සහිත ස්ථානයක් පිළිබඳව තීරණය කොට තිබේද? " 

කුවණ්ණා විමසූයේ අත්‍යාවශ්‍ය ඇඳුම් පැළඳුම් කිහිපයක් කුඩා පැසක අසුරාගන්නා අතරතුරදීය. 

" උපතිස්සයන් සමඟ මම ඒ පිළිබඳව සාකච්ඡා කලමුත් එකඟතාවයකට පැමිණීම උගහට විය කුවණ්ණා...එහෙත් අවසන දකුණු දෙස කඳුකරයෙහි උපතිස්සයන්ගේ ඉතා හිතවත් ඥාති සොයුරෙක් වෙසෙන බැවින් ඔහු වෙත ආරක්ෂාව පතා යාම සුදුසු බව අපගේ තීරණය විය." 

" කුමරුණි..මා කියන්නක් අසනු මැන..මේ පසුගිය මාස කිහිපය මා ගතකලේ ඉතාම අවිනිශ්චිත එමෙන්ම අතීරණාත්මකවය.අවසන මාගේ සහ දරු දෙදෙනාගේ ඉරණම කුමක් වේදැයි නොදැන ගතකල ඒ කාලය තුල මම අනාගතය පිළිබඳ සැලසුම් කළෙමි. " 

" කුවණ්ණා….." 

විජය ඇයට බාධා කරමින් යමක් පවසීමට තැත්කලමුත් ඈ සුරත ඔසවා ඔහු වැළැක්වූවාය. 

" පළමුව මට සවන්දුන මැනව. ......එබැවින් හදිසියේ මාළිගයෙන් පළායාමට සිදුවුවහොත් රක්ෂාවරණය ලැබිය හැකි ස්ථානයක් පිළිබඳව මම බොහෝ සේ කල්පනා කලෙමි.මාගේ මුත්තණුවන්ගේ බාල සොහොයුරා වසනුයේ ලංකාපුරයේ සිට අසුපිටින් දිනෙක ගමනකින් පසු ළඟාවිය හැකි  මහා නදියෙන් එතෙර පිහිටි දුම්රක්ගල නම්වූ පර්වතයක සෙවණේය.තම ස්වාධීනත්වය බොහෝසෙයින් අගය කළ බැවින්ම ඔහු කිසිදිනෙක සිරීසවත්ථු පුරයේ අණසකට හෝ යටත් වූයේ නැත. කුඩාකල මම කිහිපවරක් ඔහු සමඟ ඒ දුම්රක්ගල අබියස කල්ගත කොට ඇත්තෙමි. එදවස ඔහු මට බොහෝසේ ඇළුම් කලේය. දැනුදු එය එසේමය. පසුගිය සතියේ මම ඔහු වෙතට පණිවිඩයක් යැව්වෙමි.ඊට පිළිතුරු ලෙස මට සහ දරු දෙදෙනාට ආරක්ෂාව සැළසීමට ඔහු කිසිදු විටෙක පසුබට නොවෙන බව දන්වා එවා තිබිණි. එබැවින් කුමරුණි...අපි දුම්රක්ගල වෙත යමු. එහි අප සිව් දෙනාහට ආරක්ෂාව සහ රැකවරණය නොඅඩුව ලැබෙන බව මට හෙට උදෑසන හිරු පායන්නාසේ සහතිකය. " 

" එහෙත් සොඳුර…. ඔබගේ මුත්තණුවන් රක්ෂාවරණය සැපයීමට සූදානම් වනුයේ ඔබට සහ දරු දෙදෙනාටය. මට ආරක්ෂාව සැපයීමට ඔහු සූදානම්ද යන්න මට අවිනිශ්චිතය. " 

" කුමරුණි ඔබ මෙරට කිරුළ පලන් රජු වුවද ඔහුට එයින් කම් නැත. ඔබ මගේ සැමියා වීම පමණක් ඔබට ද ආරක්ෂාව සැපයීමට ඔහුට ප්‍රමාණවත්ය." 

තවත් හෝරාවකට අඩු කාලයක් ගත වෙද්දී විජය කුවණ්ණා සහ දරු දෙදෙන බිහි දිර අබියසට සැපත් වද්දී පෙරදිග අහස පැහැපත්වීම එතෙකුදු ඇරඹී නොතිබිණි. 

බිහිදොර එපිට පවුරෙහි රැඳුනු විලක්කු ආලෝකය පතිතවන සීමාවෙන් ඔබ්බෙහි අඳුරු සෙවණැලි අතර අසුන් දෙදෙනෙකු ද සමඟ ඔවුන් වෙනුවෙන් පොරොත්තු වෙමින් උපතිස්ස වූයේය. 

" උපතිස්ස ..කිමෙක්ද මේ?..අසුන් දෙදෙනෙකු පමණක්?..." 

විජය තම කලණ මිතුරාගේ දසරුව මත දෑත් තබා විචාලේය. 

" සමාවන්න කුමරුණි....මා ලංකාපුරයෙහි තවදුරටත් රැඳී සිටීම ඔබ හා සමඟ මෙපුර අතැර පළායාමට වඩා ඥාණගෝචර බව මට හැඟිණ. ..සමාවන්න..ඊට හේතු පැහැදිලි කිරීමට ........" 

විජය උපතිස්සගේ දසරුව මත රැඳි දෑත් එසේම තිබියදී හිස පස්සට වීසිකොට මහ හඬින් සිනාසුණේය. 

" හේතු කිසිසේත්ම අනවශ්‍යයයි....මා ප්‍රිය උපතිස්සයිනි..හේතු කිසිසේත්ම අනවශ්‍යයයි.මා සහ කුවණ්ණාට එදිරිව යම් කුමන්ත්‍රණයක් රාජ සභාවෙහි සිදුවන්නේ නම් ඒ වැළැක්වීමට ඔබ......" 

" එසේමය..එවැන්නක් වැළැක්වීමට මම රාජ සභාවෙහි රැඳී සිටීම අත්‍යාවශ්‍යයි මට සිතුණි....එසේම එවැන්නක් වැළැක්විය නොහැකි වුවහොත් අවම වශයෙන්.." 

" එසේය උපතිස්ස..එවැන්නක් වැළැක්විය නොහැකි වුවහොත් අවම වශයෙන් ඒ පිළිබඳව කල්තියා අපට අනතුරු හැඟවීමට හෝ ඔබට එවිට හැකියාව ලැබෙනවා. මේ සියල්ල උදෙසා ඔබ රාජ සභාවෙහි තව දුරටත් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය සාධකයකි. " 

" කුමරුනි ?????..." 

උපතිස්ස අඩක් විවරවූ මුවින් යුතුව විජය දෙස විදහාගත් නෙතින් බලා සිටියේය....ඔහුගේ විදූෂක විලාසය දුටු විජය මෙන්ම කුවණ්ණාග්ද කොක් හඬලා සිනාසුනෝය. 

" උපතිස්ස..ඔබ සිතට හැඟුනු අනතුර ඒ ලෙසටම කුවණ්ණාවන්ටද හැඟී ගොස් ඇත.ඔබ ද අප හා පැමිණෙන බව මා ඇයට සැලකල වහාම ඇය ඒ පිළිබඳව මා දැනුවත් කළාය. ඔබගේ ඒකායන ප්‍රාර්ථනය අප අහා සමඟ පැමිණීම බැවින් ඔබගේ සිත් නොතැලෙන පරිද්දෙන් එපවත් ඔබට පවසනුයේ කෙළෙසකද යන උභතෝකෝටිකයෙහි ගිලී මම මෙතෙක් පීඩා වින්දෙමි. අහා..ඔබට ද එළෙසම හැඟී ඔබ ද ඒ තීරණයටම එලඹ සිටීම මට මහත්සේ සැනසුමකි. " 

" කුමරුණි..... කුවණ්ණා කුමරියගේ ඥාණය මෙන්ම යමක් අවබෝධ කොට ගැන්මේ හුරුබුහුටි බැව් මැනවින් දත් මා හට මේ කිසිසේත්ම විශ්මයට කාරණ නම් නොවේ.ඇයට එවැන්නක් පිළිබඳව සිතට නොනැඟුනි නම් එවිටයි මා විශ්මපත් වනුයේ...එළෙසින්ම කුමරුණි..ඔබ පරිදිම මමද එපවත් එනම් මම ඔබ හා සමඟ නොපැමිණෙන බව ඔබට පවසනුයේ කෙසේද යන ගැටළුවෙන් සිත් පීඩා වින්දෙමි..වන්නාටය...සෑම සියලු දෙයක්ම සිදුවනුයේ ඒ සිදුවිය යුතු හොඳම ආකාරයෙනි යනුවෙන් පෙර සෘෂි වරුන් පැවසූවෙහි සනාතන සත්‍යය යලිත් වරක් මට අවබෝධ විය. එසේනම් තවත් කුමකට පමා වන්නෙම්ද?....යන්න කුමරුනි....හිමිදිරි අරුණළු පෙරදිග අහසෙහි දිස්වීමට පළමු මෙනුවර හැරලා පියා පළායනු මැනව. " 

" උපතිස්ස..ඔබගෙන් සමුගැන්මට පළමු තවත් එකම කාරණයක් පැවසිය යුතුව ඇත. අප සාකච්ඡා කල පරිදි කඳුකරයට නොව මහානදිය එතෙරව දුම් රක්ගල සෙවණෙහි රක්ෂාවරණය ලබනුවස් අපි තීරණය කලෙමු. එහි වසන කුවණ්ණාගේ මුත්තණුවන් අපට රක්ෂාවරණය ලබා දීමට සපථ කොට සිටියි. " 

" අගෙයි කුමරුණි..ඒ ඉතා අගෙයි...ඒ එසේනම් ඔබට සිත් තැවුල් ගැන්මට කිසිදු කරුණක් නැත.එවන් රක්ෂාවරණයක් ලැබීම වනාහී ඔබගේ සියළු ප්‍රාර්ථනා එළෙසම ඉටුවන බවට සුභ පෙරනිමිත්තක්සේ හඟිමි. එසේනම් කුමරුණි, කුමරියනි...තවත් නොපමාව වහා පිටත් වන්න.මෙහි සිට මහානදී තොටුපොළ දක්වා දිවෙන මාර්ගය ඉතාම ජන ශූන්‍යය. එහෙත් ප්‍රවේශම් වුව මැනව. ඔබ තවමත් මෙරට කිරුළු පලන් රජුය. කිසිවෙකුට ඔබ හඳුනා ගැන්මට ඉඩ ප්‍රස්ථාව නොතැබීමට වග බලා ගත මැනව. " 

උපතිස්ස විජය වැලඳ සමුගත්තේය. ඉක්බිති කුවන්ණාටද ආචාර කල හේ ජීවහත්ථ සහ දිසාලාගේ හිස් සිඹ ඔවුනට ආශිර්වාද කළේය. 

" එසේනම් මා ප්‍රාණසම මිතුර..අපට අවසරයි...හැකි විගස ලද පළමු අවස්ථාවෙහිදිම මම ඔබ වෙත අප වසන ස්ථානය දන්වා රහසිගතව පණිවිඩයක් එවන්නෙමි. එසේනම් නැවත හමුවන තුරු......!!!!! " 

විජය කුවණ්ණා සහ දරුවන් රැගත් අසුන් දෙදෙන ඉද්ද ගැසුවාක් මෙන් දිවෙන බොරළු අතුල මාර්ගයෙහි ඈතින් ඈතටම ගොස් සතර දෙසින් කැටිවන අඩ අඳුරේ නොපෙනී යන තෙක් බිහිදොර අභියස එදෙසනෙත් යොමා හුන් උපතිස්ස අවසන දිගු සුසුමක් හිමිදිරියේ සිහිල් වා තලයට මුදාහැරපියා ආපසු හැරුණේය. 


මතු සම්බන්ධයි...... 

Thursday, July 4, 2013

199. කිරුළ සහ සෙනෙහස ……9












ඒ සොඳුරු සන්ධ්‍යාවට පසු පුන්සඳ දෙවරක් ලංකාපුරය ඉහල අහසේ මුදුන්ව යලි අවපස්ව ගියේය.ඒ කාළසීමාව වනාහී කුවණ්ණාගේ ජීවිතයේ මෙතෙක් ඉතාම සිත් තැවුලින් ගතකල කාලය බව ඇයට එකහෙලා සහතිකය. 

ඇය ජීවිතය තමනට රිසි පරිදි හැඩගස්වා ගැනීමෙහිලා රුචි එමෙන්ම එසේ කිරීමට නොපැකිලෙන ඉතිරියක වූවා තම ජීවිතයෙහි දිශානතිය තීරණය කිරීමෙහි පූර්ණ බලය පිටස්තර පුද්ගලයින් කණ්ඩායමක සිතැඟියාවන් මත රැඳී පවතිනු කිසිසේත්ම නොරිස්සීය. 

එහෙත් දෛවෝපගතව නැතහොත් ඉරණමෙහි ලියවී ඇති පරිදි ඇගේ ඉරණම තීරණය කිරීමෙහි පූර්ණ බලය ලංකාපුර රජ සභාවට පැවරී ඇත.ඇය ඒ කෙතරම් නොරිස්සූවද ඒ පිළිබඳව ඇයට කල හැකි කිසිවකුදු නැත. රාජ සභාවෙහි තීරණය ඇය පිළිගත යුතුමය. 

විජය ඈ කෙරෙහි බැඳි සෙනෙහස පිළිබඳ කිසිදු සැකයක ලේශ මාත්‍රයක් වුවද ඈ සිත් තුල නොමැත්තේ වුව රාජ්‍යය පිළිබඳ බොහෝ වැදගත් වූද එමෙන්ම අනාගතය කෙරෙහි වෙසෙසින් බලපාන්නා වූ ද මෙවන් තීරණයක් ගැනීමෙහිදී ඔහුට තම හැඟුම් වලට වහලෙක්ව නො එසේනම් හදවතට ඉඩදී රාජ සභාවෙහි තීරණය එකහෙලා පිළිකෙව් කිරීමෙහි ධෛර්යයක් ඇත්ද යන සැක සංකා මාත්‍රය ඇගේ සිතෙහි විටින් විට හටගත්තේ මේ වලාවන් පසුබිම් කොට වහා දිලී එකෙණෙහි නිවීයන අසනි සැරයක් පරිද්දෙනි. 

එසේ හෙයින්ම අවසන ඇය තීරණය කලේ තමනට පාලනය කල නොහෙන කටයුතු පිලිබඳ සිත් තැවුල් වීමෙහිලා කිසිදු ආදීනවයක් නොමැත්තේ වී හෙයින් ඒ පිළිබඳව කොතෙකුත් සිත් නොවෙහෙසා දෛවෝපගතව වියයුත්ත සිදුවනුවස් ඉඩ සලසා එදෙස හැඟීම් විරහිතව බලා සිටීමටය.අවසන වෙනත් කිසිදු විකල්පය පිළිබඳ සිතාගත නොහුණු කල්හි ඔබ, මම, අප සැම මෙලෙසින්ම සිතනා අවධියකට නිතැණින්ම පත්වන නමුදු ඒ කොතරම් දුෂ්කර කර්තව්‍යයක්මවේදැයි එවන් තත්වයකට සත්‍ය වශයෙන්ම මුහුණ නොදුන්නකුට වටහා දීම පවා එතරම් පහසු නොවේ. 

මේ තීරණාත්මක කාල සීමාව තුල මදුරාපුර කුමරිය අවාහ කරගැන්මේ යෝජනාව රාජසභාවෙහි න්‍යාය පත්‍රයෙහි වරෙක ප්‍රමුඛස්ථානයට පැමිණි අතර වෙනත් නොයෙකුත් රාජ්‍ය පාලනයෙහි එදිනෙදා ගැටළු අනපේක්ෂිතව පැන නැඟි කල්හි නොවැදගත්ව යටපත්ව ගියේය. එහෙත් ඒ අළුයට සැඟැවුණු පුළිඟුවක් මෙන්, සියුම් කෙස් ගසකින් හිස මතුයේ එල්ලූ අසිපතක් මෙන් එකලාව පහව නොගොස් රැඳී පැවතියේය. 

අවසන විජය මෙන්ම කුවණ්ණා ද බලාපොරොත්තු වූ එහෙත් කිසිදිනෙක උදා නොවේවායයි නිතොර පැතූ ඒ දිනය උදාවිය. 

බහුතරයක් යක්ඛ ගෝත්‍රිකයින් විජයගේ පාලනයට අනුගතව, ඉන් ලද පෙර ස්වකීය පාලිත අවධියෙහි දක්නට නොලැබුණු වරප්‍රසාදයන් මහත් සතුටින් යුතුව භුක්ති වින්දෝය. ඒ බොහෝතන්හි දක්නාපරිදි සාමාන්‍ය පොදු ජනතාවයි. එදිනෙදා ජීවනෝපාය සරිකොටගෙන තම සුතනඹුවන් හා දිවිගෙවන ඔවුහු ලංකාපුර කිරුළ දරන්නෝ කවරෙක්වෙත්දැයි බොහෝකොට සොයා නොබලති. සොයා බැලුවද ඒ ඔවුනගේ එදිනෙදා ජීවිතයට යම් අනිසි බලපෑමක් නොකරන්නේවී නම් ඔවුහු එතෙකින්ම තෘප්තිමත් වන්නෝය.කිරුළ දරනුයේ විජය ද කුවණ්ණාද යනු ඔවුනට බොහෝසේ සිත වෙහෙසවියයුතු වැදගත් පැණයක් නම් නොවන්නේමය. 

පොදු ජන සිත් සතන් අවුල්වා ඔවුන් කැරළි කෝලාහල කෙරෙහි යොමු කරවන්නෝ තමන් අත්විඳි වර ප්‍රසාද ගිලිහීමෙන් අතෘප්තියට පත් ප්‍රභු පැළැන්තියම වෙත්.ලංකාද්වීපය පුරා විජය ක්‍රියාත්මක කල පොදුජන හිතකාමී පියවර හේතුකොටගෙන පොදු ජනයා වෙතින් ඔහු ලද මහත් ප්‍රසාදය මෙතෙක් යක්ඛ ගෝත්‍රිකයින්ගෙන් රාජ්‍ය විරෝධී කැරැල්ලක් එල්ල නොවීමට මහත් පිටුබලයක් විය. 

එළෙසම බොහෝ දෙනෙකු පුරෝකථනය කල පරිදි විජය රාජ්‍යත්වය ලබා ගත් පසු කුවණ්ණා අත්හැර නොදමා ඇය තම සහකාරිය ලෙස නිල වශයෙන් පිළිගැනීම මෙන්ම ඈ හා සමඟ අපරිමිත වූ සෙනෙහසින් බැඳී සිටීම ද යක්ඛ ගෝත්‍රිකයින් තුල ඔහු කෙරෙහි වූ ගෞරවය සහ ප්‍රසාදය සහස් වරකින් වර්ධනය වීමට හේතු කාරක වූයේය. ඒ එසේමය..කුවණ්ණා තවමත් ලංකාද්වීපය පුරා සියළු යක්ඛ ගෝත්‍රිකයන්ගේ සදාදරණීය කුමරිය වූවාය.ඇය විජයගේ බිරිඳ ලෙස දිවිගෙවනාතෙක් ඇය කෙරෙහි දැක්වූ ඔවුන්ගේ භක්තිය කිසිදු අඩුවකින් තොරව විජයටද හිමි වූයේය. 

එසේමය!!! බැලූ බැල්මට ලංකාද්වීපය වනාහී කිසිදු අවුල් වියවුලකින් තොර උත්තර භූමිය හා සාම්‍ය දේශයක් සේ දිස්වූවද අභ්‍යන්තරයෙහි ඒ විදාරණය වීමට ආසන්න යමහලක් සේ පැසෙන්නේය. මේ අභාග්‍යසම්පන්න තත්වයට හේතුකාරක ඔබට උපකල්පනය කල නොහැක්කේද මා ප්‍රිය සහෘදය / සහෘදිනිය?.....එසේය, ඔබ නිවැරදිය..ඊට එකම හේතුවනම් අනාදිමත් කාලයක සිට මෙදියත යුද, කැරළි කල කෝලාහල සියල්ලටම හේතුවන්නාවූ ඒ එකම කරුණය. එනම් මනුෂ්‍යයින්ගේ කිසිදා තෘප්තිමත් නොවෙන අසීමිත බල තණ්හාවයි. 

වත්මනෙහිද එහි කිසිදු වෙනසක් ඇති බවක් ඔබට පෙනේද? සියළු සත්වයින් කෙරෙහි ආදරය සහ කරුණාව දක්වන්නාවූ නිරාමිස අල්පේච්ඡ දිවියකට මඟ පෙන්වනා සනාතන දහමක් දෙසූ ඒ අසමසම මාර්ගෝපදේශකයානන්ගේ සුපිරිසිදු ධර්මය රැඳී ඇති මෙදියත එකම දේශයයයි කටමැත දොඩන මේ දේශයෙහි පාලකයින්ගේ පටන් පූජ්‍ය පක්ෂය මතු නොව රට වැස්සන් පවා නිතොර බල ලෝභිත්වයෙන් පෙලෙමින් සුඛ විහරණයට ලොල් වෙමින් කරනා විප්‍රකාර දැකීම පවා පූර්වයෙහි කරන ලද මහා අකුශල කර්මයක් පලදීමක්ම නොවන්නේද? 

වන්නාටය! වත්මන අප දිවයිනට සිදුව ඇති අභාග්‍යය පිළිබඳ කනස්සළු වීම පසෙක තබා; කිසිදු ඵලක් නොමැති කටයුතුවල යෙදීම පවා කාළය නිකරුණේ අපතේ හැරීමකි; යළිදු විජය-කුවණ්ණා කථා පුවතට එලඹීමට මට අවසර..... 

එදවස ලංකාද්වීපයෙහි අහිමිවීගිය වරප්‍රසාද පිළිබඳව නිරතුරු සිතමින් රාජ්‍යයට විරුද්ධව නැඟී සිටීමට අවශේෂ යක්ඛ ගෝත්‍රිකයින් පෙළඹවීමට උත්සාහ දරන යක්ඛ ප්‍රභූවරුන්ගේ චර්යාව අවබෝධ කොට ගැනීම එතරම් දුෂ්කර නොවූවද විශ්මයට කාරණය වූයේ විජය හා සමඟම වංග දේශයෙන් පිටුවහල්ව පැමිණි ඔහුගේ එක්කුස ඔත් බෑයන් බඳුවූ මිතුරන් ඔහුට විරුද්ධ වීමය. 

එසේ විරුද්ධ වූවෝ එළිපිට එසේ නොකල මුත් ඔවුනගේ සිත්තුල ඒ මිත්‍රද්‍රෝහී අදහස් නිසල විල් තලයක අභ්‍යන්තරයේ කරකැවෙන දියසුළියක් පරිද්දෙන් නිරතුරු දඟකැවෙන බව කිසිවෙකුට රහසක් නොවීය. 

හා.... අප වනාහී එකටම වංග දේශයෙන් පිටුවහල් කරන ලද්දෝ වෙති. ඔහු ද අප වන්ම පිටුවහලෙකි. ඔහු රජකුගේ පුතකු බව සත්‍යයකි.එහෙත් ඒ කුමාරකම් වලංගු වනුයේ වංග දේශයෙහි සතර සීමාවන් තුලදී පමණි. ලංකාද්වීපයෙහි ඔහු වනාහී පිටුවහලෙකු පමණය. අප මෙන්ම පිටුවහලෙක් පමණය. කුවණ්ණාවන් වශී කොටගෙන ඔහු රාජ්‍යත්වය ලබාගත්බව සැබවි. එහෙත් මෙහි කිරුලට ඔහුට සමාන වූ හිමිකමක් අපටද පවතින්නේය. 

මෙසේ සිතූවෝ රාජ්‍ය අභ්‍යන්තරයෙහි වියවුල් ස්වභාවයක් උද්ගතකිරීම තම සිතැඟි මුදුන්පත් කොට ගැනීමෙහිලා ඒකායන මාර්ගය ලෙස දුටුවෝ ඒ වෙනුවෙන් සියළු උපක්‍රම යෙදුවෝය. යක්ඛ ගෝත්‍රිකයින් වෙනුවෙන් විජය යෝජනාකල ආර්ථික සහ සමාජයීය ප්‍රතිසංස්කරණ එලෙසම ක්‍රියාත්මක වීම පොදු ජනයා අතර ඔහුගේ ජනප්‍රසාදය ඉහළ නංවන්නක් බව වටහා ගත් ඔවුහු හැකි සෑමවිටම කිසිවෙකුට නොදැනෙන පරිදි ඒ කඩාකප්පල් කිරීමෙහිලා පසුබට නොවූහ. එසේම හැකි සෑමවිටම යක්ඛ ගෝත්‍රිකයින් නිකරුණේ තලා පෙලා ඔවුනට හිරිහැර කලේද ඒ සියල්ල විජයගේ ගිණුමට බැරව අවසන ඔවුන්ගේ වාසියටම කටයුතු යෙදෙන බව එක පැහැර දත් හෙයිනි. 

විජය මේ පිළිබඳව සපුරා දැනසිටියද අමාත්‍ය මණ්ඩලයේම සාමාජිකයින්වූ මේ මිත්‍රද්‍රෝහීන්ට එරෙහිව කිසිදු පියවරක් ගත නොහැකිව කල් යැවූයේ අමාත්‍යවරුහු හුදෙක් ඔවුන්ගේ අණට පමණක් අඩංගුවන සෙබළුන් ගෙන් සැදුම්ලත් සේනාංක නඩත්තු කල හෙයිනි. එලෙසම සම්මත රාජ්‍යය සම්ප්‍රදාය අනුව විජය ක්ෂත්‍රිය කුමරියක අවාහ වී නොතිබීම කරණකොටගෙන ඔහුගේ ලක්දිව කිරුළට ඇති නීත්‍යානුකූල අයිතිය භාරතයේ රාජ සභාවන් පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම ද අමාත්‍යවරුන්ගේ නොදැමුණු, අත්තනෝමතික ක්‍රියාකලාපයට තවත් හේතුවක් විය. 

රාජ සභාවෙහි ඒකමතික තීරණය විජය මදුරාපුර රජ කුමරිය හා සමඟ විවාහ වියයුතුය යන්න වුවද ඒ එකම තීරණය කරා ඇමතිවරුන් එලඹියේ කණ්ඩායම් දෙකකට බෙදී හාත්පසින්ම වෙනස් වූ අරමුණු සාධනය කොටගනු උදෙසාය.විජයට අත්‍යන්තයෙන් හිතවත්වූ ඇමතිවරු මදුරාපුර රාජ්‍යය හා සමඟ යහපත් සබඳතා ගොඩනඟා ගැන්ම අභ්‍යන්තර වියවුල් සහ කුමන්ත්‍රණ මැඩපැවැත්වීමට හේතුවනු ඇතැයි යන විශ්වාසයෙන් ද බල ලෝභී ඇමතිවරු මදුරාපුර කුමර හා විවාහවනු පිණිස විජය කුවණ්ණාගෙන් වෙන්වීම යක්ඛ ගෝත්‍රිකයින් අතර ඔහුගේ ප්‍රසාදය අතුරුදන්ව අභ්‍යන්තර කෝලාහල උග්‍ර වීමට හේතුවනු ඇතැයිද යන අපේක්ෂාවෙන් ද යෝජනාවට පූර්ණ සහය පලකළහ. 

හුදෙක් විජයගේ සහ ලංකාද්වීපයෙහි අනාගත ශුභසිද්ධිය අපේක්ෂාවෙන් වේවා නො එසේනම් තම නොයෙක් සැඟවුනු න්‍යායය පත්‍රයන් මුදුන්පත් කොට ගැනීමෙහි ඒකායන අභිලාෂයෙන් වේවා රාජසභාව ඒකමතිකව තම තීරණය දැනුම් දුන් කල්හි විජය ඉදිරියේ වූයේ විකල්ප දෙකක් පමණකි.එනම් එම තීරණයට එකඟ වීම නැතහොත් කිරුළ හැරදා කුවණ්ණා සහ දරු දෙදෙනාද සමඟ සමඟ අප්‍රකටව දිවි ගෙවීමය. 

විජය තීරණයකට එලඹියේය. තම සෙනෙහස වෙනුවෙන් කිරුළ කැපකිරීමට ඔහු තීරණය කළේය. 

එසඳ අතීත කථාව අවසන අප එනම් ඔබ සහ මම ...මා දයාබර සහෘදය / සහෘදිනිය වර්තමානයට සැපත්ව සිටින්නෙමු. විජය සහ කුවණ්ණාගේ ආදර අන්දරයෙහි සමාරම්භක කථාංගයෙහි අවසන් ඡේදය කෙරෙහි ඔබේ අවධානය යොමු කරවනු වස් මට අවසර.... 

" එසේනම් උපතිස්ස මම ඔබේ තීරණයට ගරු කරනවා. තව හරියටම හෝරා දෙකකින් රාජ අංගනයේ උතුරු පස බිහි දොර අසලදී හමුවෙමු. අසුන් තිදෙනෙක්, අවශ්‍ය ආයුධ සහ ආහාර ස්වල්පයක් පමණක් රැගෙන එන්න." 

" එසේය රජතුමනි," 

" මම තව දුරටත් රජතුමා නෙවෙයි උපතිස්ස. මේ කෙහෙල්මල් රජකමට පත්වීමට පෙර මට ආමන්ත්‍රනය කල පරිදි විජය කියා මා අමතන්න," 

පියවරක් ඉදිරියට තැබූ විජය දැඩි සෙනෙහසින් උපතිස්ස වැලඳගත්තේය. 

" උපතිස්ස වසර ගනනකින් නොදැනුනු සැහැල්ලුවක් මට දැනෙනවා උපතිස්ස......ජීවිතේ ඉදිරියට ගත කරන්ට තියෙන්නෙ කොපමණ කෙටි කාලයක් වුවත් මේ සැහැල්ලුව ඒකට හිලව්වට හොඳටම වටිනවා. හරි හරියටම හෝරා දෙකකින් හමු වෙමු. කුවණ්ණාට මේ සුබ ආරංචිය දැනුම් දෙනතෙක් මට ඉවසුමක් නෑ." 

මෙසේ පැවසූ විජය රජෙකු ලෙස නොව ආදරණීය පෙම්වතකු, සදාදර ස්වාමියකු ලෙස කුවණ්නා කුමරිය හමුවීමට ගියේ සැහැල්ලු උද්දාමයට පත් වූ සිතකිනි. 

රාජ සභාව රැස්වන සන්නිපාත ශාලාව පිහිටි පිටි නුවර ගොඩනැඟිලි සංකීර්ණයට මඳක් ඔබ්බෙන් එහෙත් තැනින් තැන් සම දුරින් දැල්වුණු කැකුණ තෙල් පහනින් ආලෝකමත් වූ පියවර එක්සිය සතලිසක් පමණ දිගු පටු වරංඩයෙකින් වහා පිවිසිය හැකිවූ කුඩා ප්‍රවේශ ශාලාවෙකින් ඔබ්බෙහි වූයේ රාෂ්ට්‍ර පාලක උදෙසාම වෙන්වූ නිදන මැදිරි, ආලින්ද බරාඳ සහ මැද මිදුල් වලින් යුතු වාස භවනයයි. 

වරංඩය ඔස්සේ විජය ගමන්කලේ යුහුව වුවද ස්ථිර සාර පියවරිනි. සති කිහිපයක්...නැත මාස ගණනක් මුළුල්ලේ සිතට වදදුන් අවිනිශ්චිතතාවයකට දෙගිඩියාවකට ස්ථිරව විසඳුමකට එලඹි කල්හි සිත අභ්‍යන්තරයේ ගැඹුරෙහිම ඉපිද සිත පමණක් නොව ගත ද සනහාලමින් පැතිරයන ආශ්වාදයක සුමියුරු සුව පහස විඳිමින් ඔහු ගමන් කලේ සැහැල්ලු පියවරිනි. 

වරංඩය දෙපස රළු බිත්තියට පිටුපා තියුණු තුඩගින් යුතු විලක්කු ආලෝකයෙන් දිදුලන හෙලි සහ තෝමර දැරූ අංගාරක්ෂකයින් ඔහු පසුකරයනවිට තම සුරත් වම් පපුව මත තබා කල උත්තමාචාරයට විජය ප්‍රතිචාර දැක්වූයේ ඔවුන් දෑස දෙස එක එල්ලේ මොහොතක් බලා සිට මඳ සිනහවක් ද සමඟ හිස සැලීමකිනි. 

විජයගේ පෞද්ගලික අංගාරක්ෂකයින් වූ ඔවුහු උපතිස්සයන් විසින් බොහෝ ප්‍රවේශමෙන් තෝරාගන්නා ලද්දාහු ඉතාමත් විශ්වාස කටයුතු එමෙන්ම මනා ලෙස ආයුධ සහිත මෙන්ම ආයුධ රහිත සටනෙහිද පරිචයක් ඇත්තෝ වූහ. අභ්‍යන්තර බල අරගල කැළඹිලි ගහන මෙවන් අවිනිශ්චිත කාල වකවානුවක මෙවන් විශ්වාසනීය සේනාංකයක අත්‍යන්ත වැදගත් කම වචනයෙන් කිව නොහැකි තරම් බව විජය මනා කොට දත්තේය. 

තම ප්‍රාසාදයට ඇතුළු වූ විජය කුවණ්ණා පිටි අංගනයට ඇරුණු ද්වාරය අබියස කවිච්චියක අසුන්ගෙන හිඳිනු දුටුවේ සෙමෙන් ඈ වෙත ගියේ ඈ අසල අසුන් ගත්තේය. කුවණ්ණා හිස ඔසවා ඔහු දෙස නෙත් යොමු කළාය. ඒ දෑස් කඳුලින් බරවී නොතිබුණද මලානික විලක්කු ආලෝකයෙන් දිළිසුනු නියා කඳුලු එහි රැඳී ඇතිබැව් විජයට පසක් කලේය.පසුගිය සිව් වස මුළුල්ලේ ඇගේ දෑස් කොපමණ වරක් ඔහු නිවැරදිව කියවා ඇත්ද?...එහි රැඳි ආනන්දය, සෙනෙහස, දාරක ප්‍රේමය, සංවේගය මෙන්ම කෝපයද එක් පැහැර හඳුනා ගැන්මට ඔහු වන් සමතෙක් මෙදියත වෙනත් කොතැනක නම් සිටීද? 

ඇගේ දෙනෙත පිරි සංවේගය සහ බලාපොරොත්තු සුන් වූ ස්වභාවය ඔහු එක්වර හැඳින්නේය. 

" කුවණ්ණා.........." 

සෙමෙන් තොල මතුල ඔහු ඇගේ හිස පිරිමදින්නට වූයේ මුදුවූ දැඩි සෙනෙහසකිනි. කුවණ්ණා කඳුළු උනන දෑස් ඔහුගෙන් සඟවනු වස් ඔහු පුළුල් ළය මඬල මත මුහුණ හොවා ගත්තීය. 

" කුමරුනි..රජ සභාවේ තීරණයට මම එකඟයි. හෙට උදෑසනම දරු දෙදෙනාද සමඟ මම මේ ප්‍රාසාදයෙන් පිටවී යන්නෙමි. " 

" සොඳුර, හෙට උදෑසන වන තෙක් පොරොත්තු විය නොහැක, අද තව උපරිමව අඩ හෝරාවක් ඇතුලත අප මාළිගයෙන් පිටවිය යුතුය. " 

කුවණ්ණා වහා හිස ඔසවා ඔහු දෙස බලා සිටියාය. 

" මේ දැන්ම?....මේ මොහොතේම? අහෝ කුමරුනි, මේ මධ්‍යම රාත්‍රියෙහි දරු දෙදෙනාත් කැටුව මම කොයිබක යන්නද?..." 

" මම?...... මම කොයිබක යන්නද?...සොඳුර ඔබ මාපැවසූව හොඳින් ශ්‍රවණය කොට නොමැති බවක් හැඟීයයි. මා පැවසූයේ ඔබ මාළිගයෙන් පිටවියයුතු බවක් නොව අප මාලිගයෙන් පිටවිය යුතු බවකි. " 

" කුමරුණි……" 

විස්මයාහව දෑස් ඔහු දෙනෙත් වෙත එකලාව රඳවමින් ඈ පැවසූයේ හැඟීම් බර ස්වරයකිනි. 


මතු සම්බන්ධයි......

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...