කිරුළ සහ සෙනෙහස ……2
කිරුළ සහ සෙනෙහස ……3
කිරුළ සහ සෙනෙහස ……4
කිරුළ සහ සෙනෙහස ……5
කිරුළ සහ සෙනෙහස ……6
කිරුළ සහ සෙනෙහස ……7
කිරුළ සහ සෙනෙහස ……8
කිරුළ සහ සෙනෙහස ……9
කිරුළ සහ සෙනෙහස ……10
කිරුළ සහ සෙනෙහස ……11
කිරුළ සහ සෙනෙහස ……12
පුරා සඳ තුදුස් වරක් වනගහනය සඳ රැසින් නහවමින් නැගෙනහිර දෙසින් වූ කඳු වලල්ල මතින් මුදුන්ව යළි බැස ගියේය. කුඩා කඳුගැටය මත වූ ගල් ගුහාවෙහි වසන්නන්ගේ දිවි ගමනද කිසිදු හැල හැප්පීමකින් තොරව නිදැල්ලේ ගලා ගියේය.
දින කිහිපයකට වරක් දඩයමෙහි ගොස් ගෝනකු හෝ මුවකු වැනි සතකු මරාගැනීමත් ඉන්පසු හම ගසා කුඩා තීරු වලට සිහින්ව වෙන් කල මස් නිවස්නය වූ ගල් ගුහාව ඉදිරිපිට වූ සමබිමෙහි එක් අන්තයක සකසාගත් මැස්සක අතුරා ගින්නෙන් වියලා ගැන්මත් හැරුණු කොට විජය විසින් ඉටුකල යුතු අන් කාර්යයක් නොවීය.එබැවින් කුවණ්ණා හා සමඟ අල්ලාප සල්ලාපයෙහි මෙන්ම ආලිංගනයෙන් පසුවනු උදෙසා ඔහුට අවශ්‍ය පමණද ඉක්ම යන පරිදි කාලය ඉතිරි විය.
කුඩාවුන් සමඟ කෙළි දෙලෙන් පසුවීමටද ඔහු බොහෝ ප්‍රිය කලේය. ඒ සියලු කටයුතු හැරුණු කොට ඔහු ඉතිරි කාලය ගත කලේ හුදකලාවේ වනය පුරා සරමිනි. පුරා දශක දෙකකුත් අඩකට ආසන්න වූ තම ජීවිතයේ මුල් යුගය තුල අර්බුද, සටන්, නොදැමුණු ක්‍රියාවන්හි යෙදීම් සහ පසුගිය ආසන්න වසර කිහිපය තුල රාජ්‍ය පාලනයෙහි විවිධ සංකීර්ණ වූ ගැටලු විසඳීමෙහි එමෙන්ම විවිධ දේශපාලන කුමන්ත්‍රණ මැඩපැවැත්වීමෙහි සහ රට වැස්සන්ගේ සුබ සාධනය උදෙසා අවදිව හුන් මුළු කාලයම යෙදවූ විජය මේ ලද නිදැල්ලේ තමනට රිසි පරිදි ගත කල හැකි විශ්‍රාම කාලය සැලකූයේ දෙවියන් විසින් ප්‍රදානය කල වරදානයක් ලෙසිනි.
බොහෝ ඈත අතීතයක මෙවන්ම වූ ගල්ලෙනක තම මුත්තණුවන් විසින්ම සිරකරනු ලැබ පියාණන්, මෑණියන් සහ මිත්තණියන් දිවි ගෙවූ අන්දම පිළිබඳව ඔහුට පැහැදිළිව වැටහීගියේ වනවාසයට පැමිණි පසුවය.කුඩා දරුවකුව සිටි අවදියෙහි තම නිවුන් සොයුරා වූ සුමිත්තද සමඟ මිත්තණියන්ගේ දෙපා අබියස හිඳ ඈ දෙනයනින් සහ වක්ත්‍රයෙන් අභිනයන් පාමින් රස කර පැවසූ වන ගත ජීවිතය මෙවැන්නක් යැයි විජය පිරිසිඳ වටහාගත්තේ ඒ ප්‍රායෝගිකව අත්විඳීමෙන් අනතුරුවය.
" එහෙත් මිත්තණියනි, ඔබ මුත්තණුවන්ට බලවත් ලෙස ආදරය කලේ වී නම් ඔහු හැර දමා ගල් ලෙන දොරටුව බිඳ දමා පළායන්නට ඔබගේ පුතණුවන්ට එනම් මපියාණන්ට ධෛර්යය සහ සහයෝගය ලබා දුන්නේ මන්ද? අවම වශයෙන් ඔබට හෝ ගල්ලෙනෙහි රැඳී සිටිමට යුතුකමක් තිබුණා නොවේද? "
එවකට දොළොස් හැවිරිදි වියේ පමණ වූ තමන් මිත්තණියගේ දෑස් දෙස එක එල්ලයේ බලා විමසූ අන්දම ඊයේ සිදුවාවාක් මෙන් පැහැදිලිව ඔහුගේ මතකයෙහි තවමත් රැඳී ඇත.
මඳ වේලාවක් විජයගේ දෑස දෙස බලා සිටි සුප්පාගේ දෑස වේදනාවෙන් බරවිය.නෙත් කෙවෙණි අග නැඟි කඳුලු වලකාගැන්මට හෝ ඒ කුඩා දරුවාගෙන් වසන් කිරීමට හෝ ඒ කාර්යයන් දෙකම උදෙසා හෝ දෑස් තදින් පියාගත්වනම ඕ ඉවතට හැරුණීය.
ඇය බොහෝ වේලාවක් ඉවත බලාගත්වනම නිසොල්මන්ව හුන්නීය. ඔහුගේ පැණයට පිලිතුරක් නොලැබෙන බවට විජයට හැඟී යන්නට විය. ඒ හා සමඟම සුප්පා කථා කලාය. එහෙත් ඒ ඉවත බලාගත් වනමය.සුපුරුදු ගාම්භීර ස්වරය වෙනුවට එහි වූයේ සිහින් සංවේගී ස්වරයකි. ඇය කියන්න හොඳින් ශ්‍රවණය කිරීම උදෙසා ඔහු දෙඅත්ල මත වත රඳවාගත්වනම ඉදිරියට නැඹුරු වූයේය.
" පුත, දෛවය අප මෙලොව එළිය දකින විටම අප ඉටුකල යුතු යම් කාර්‍ය භාරයක් නියම කරයි. ඔබ පූර්ව භවයක් පිළිබඳ අදහන්නේ නම් ඒ ඔබ පූර්ව භවයෙහි පතා ආ අන්දම යයි ඔබට නිගමනය කල හැක. නැතහොත් තාරකාවන් පිළිබඳ ඔබ විශ්වාස කරනුයේ නම් ඒ තාරකාවන් විසින් ඔබ වෙනුවෙන් නියමකොට ඇති ඉරණම යයි ඔබට තීරණය කල හැම. ඒ කෙසේ හෝ වේවා මෙලොව ජීවිතයෙහිදී අපහට සෑමවිටම අපගේ සිතැඟියාවන් අනුව, අපගේ හැඟුම් අනුව තීරණ ගත නොහේ. හැඟීම් වලට වහල් නොවී අනාගතය උදෙසා, මතු පරපුරෙහි අභිවෘද්ධිය උදෙසා අපගේ අපේක්ෂාවන් හෝ රුචිය එකහෙලා කැපකල යුතු අවස්ථාවන් එලඹෙනු ඇත "
" මම එදා මුහුණ දුන්නේ එවන් අවස්ථාවකටය. මහිමියන් කෙරේ බැඳි සෙනෙහස සහ පුතු කෙරේ බැඳි දාරක ප්‍රේමය අතර මම වල්මත් වූයෙමි. බොහෝ කල් ගත කොට මහද කීතු කීතු කොට ඉරා බලා අවසන මම දාරක ප්‍රේමයට ඉඩ දුන්නෙමි. එදවස ඔබගේ පියාණන් සහ මෑණියන්හට පලා යාමට ඉඩදී මම ගල්ලෙනෙහි නැවතුනි නම් කිසිදිනෙක වනයෙන් පිටතට පා තබා නොමැති ඔබගේ මව්පිය දෙපල නගරයෙහිදී මහත් වූ ව්‍යසනයකට මුහුණ දෙනු නිසැකය. එසේ හෙයින්ම මසිතට විරුද්ධව වුවද මම ඒ තීරණය ගත්තෙමි.එහෙත් මේ මොහොත දක්වා මම ඒ පිළිබඳව දුක්වෙමි. එහෙත් පසුතැවිලි නොවෙමි.අද වුවද යලිත් එවන් තීරණයක් ගැන්මට බල කෙරෙනු ලැබූවහොත් මා ගන්නේ ඒ තීරණයම මිස අනෙකක් නොවේ. "
සුප්පා හිස හරවා විජය දෙස බැලුවාය. ඔහු විසල් කොටගත් දෑසින් ඈ දෙස බලා සිටියේය.
" මපුත, කිසිදිනෙක ඔබට එවන් තීරණයක් ගැනීමට බල කෙරෙනු නොලැබේවා යන්න මගේ එකම ප්‍රාර්ථනයයි. එවන් සංවේගජනක අත්දැකීමක් ඇති ඔබගේ මිත්තණිය කියන්නට හොඳින් සවන් යොමු කල මැන. ඒ කිසිසේත් ප්‍රියජනක අත්දැකීමක් නම් නොවන්නේය.එහෙත් කෙතෙක් ප්‍රියජනක නොවූවද ජීවිත කාලය පුරා ඒ වෙනුවෙන් දුක් විඳීමට සිදුවුවද අවශ්‍යය වූ විටෙක එවන් තීරණයක් ගැනීමට ඔබ කිසිසේත් පසුබට නොවිය යුතුය. "
සුප්පා දෑත් දිගුකොට විජය වැළඳ ගත්තීය. ඇගේ ළය මඬල මතුයෙහි හිස හොවාගත් ඔහුගේ සිරුර සිය මුහුණ මතට ඇද හැලුනු ඇගේ කඳුලු බිඳක සිහිලස හේතුකොටගෙන වෙව්ලා ගියේය.
එවන් තීරණයක් ගැනීමට තමන්ට කිසිදිනෙක බල කෙරෙනු නොලැබේවා යන්න විජයගේ ඒකායන ප්‍රාර්ථනය වූයේය. එහෙත් පසුගිය මාසයක පමණ වූ කාලය තුල ඔහුගේ සිතෙහි විටින් විට මෝසම් වර්ෂාවට පළමු ඈත කඳු වළල්ල මතුයෙහි දිලී එසැණින් අතුරුදන්වන විජ්ජු ලතාවන් මෙන් ඉපිද එසැනින් මැකීයන්නාවූ අතෘප්තිකර හැඟීම් දහරාවන්ට හේතු කිමෙක්ද? ඉච්ඡා භංගත්වයක් හෝ ජීවිතයේ යම් හිස් බවක් පිළිබඳ මේ දැනෙනා සිතුවිලි හට ගනුයේ කවර නම් නිසාද?
වාසිෂ්ඨී වෙත සරණ පතා පැමිණ දින කිහිපයක් ඇතුලත ඔවුන් වසන ප්‍රදේශය පිලිබඳ විස්තර පවසා වාසිෂ්ඨීගේ විශ්වාසවත් අතවැසියකු අත උපතිස්ස වෙත සංදේශයක් යැවීමට විජය අමතක නොකළේය. ගල්ලෙන ඉදිරිපිට සමබිමෙහි රූස්ස වනස්පතිය සෙවණෙහි හිඳගත් කල ලංකාපුරය කරා දිවෙන මාර්ගය ඉතා හොඳින් දර්ශනය වේ. ගල්ලෙනෙහි වාසයට පැමිණි මුල් කාලය තුල විජය විවේකයක් ලැබුණු සෑම විටම වනස්පතිය සෙවණේ අසුන්ගත්වනම එදෙස නෙතු යොමා හිඳීම පුරුද්දක් කොට ගත්තේය.
මුල් කාලයේදී එසේ එදෙස නෙතුයොමා සිටියේ ඈත ක්ෂිතිජයෙහි මතුවන දූලිවලාවක් එනම් ලංකාපුරය දෙස සිට පැමිණෙන අසරුවකුගේ සංඥාව කිනම් මොහොතක මතුවේදැයි සිත පුරා පිරීගිය භීතියකින් වුවද මේ පසුගිය සති කිහිපය තුල ඒ භීතිය මැඩගෙන එවන් දසුනක් දකින අපේක්ෂාව තම සිත තුල අරක්ගෙන ඇත්දැයි යන සිතුවිල්ල විජය අවදියෙන් සිටිනා සෑම මොහොතකම ඔහුගේ සිතට වද දුන්නේය.
එසේම ගතවීගිය කාල සීමාව පුරා රාත්‍රී නින්දෙහිදී ඔහු දුටු සිහින බහුතරයක් ලංකාපුර රාජ සභාවෙහි මුලසුන් අරා හිඳිනු, එසේ නොවතුදු සපිරිවරින් ගම් නියම් ගම් පරීක්ෂාවෙහි යෙදෙනු හෝ අධිකරණ ශාලාවෙහි විනිශ්චයෙහි යෙදෙනු වීම ඔහු සිත මහත් සේ ව්‍යාකූල වීමට හේතුවූයේය.
එවන් සිහිනයෙක ගැලී හිඳ සැණෙකින් අවදිව තම ඇලපතට තුරුළුව සෙමෙන් පිලිවෙලට හුස්ම ඉහල පහල හෙලමින් නිදන කුවණ්ණාවන් දෙස බොහෝ වේලා ඔහු බලාසිටියේ ඔහුටම වටහාගත නොහැකි වරදකාරී හැඟීමක් වැන්නක් සිත් තුල පුපුරු ගසන අතරතුරය.
සිතෙහි වියවුල නිසාම යලි නින්දට සැපත්වීම උගහට වූ එවන් බොහෝ රාත්‍රි යාමයන්හි සහසක් තරු පිරි අහසයට ගල්ලෙන ඉදිරිපිට තැනිතලාවෙහි භාවනානුයෝගීව සිත් සමනය කොට ගැන්මට වෙර දරමින් ඔහු බොහෝ වරක් කල් ගත කොට ඇත.ඒ සියල්ල ඇය නොදන්නීය යනුවෙන් ඔහු උපකල්පනය කලද ඔහුගේ මේ සිත් වියවුල මෙන්ම ඊට හේතුභූත වූ උපස්ථම්භක කරුණු සියල්ලම මනා විචාර බුද්ධියෙන් යුතු විචක්ෂණ ඉතිරියක වූ කුවණ්ණා මනා කොට දැන සිටියාය.
ඔහු මධ්‍යම රාත්‍රියෙහි ගල්ලෙනෙන් පිටත භාවනානුයෝගීව පසුවනු ගල්ලෙන් ද්වාරයෙහි සිට බලා සිටිනා ඇය වරක් දෙවරක් ඔහු වෙත යාමට තීරණය කලද පසුව ඒ තීරණය වෙනස් කොට යලි ආපසු ගොස් දරු දෙදෙන අසලින් වැතිර ගත්තාය.
ඔහුගේ දෛවය කුමක්ද? ඔහුගේ ඉරණම කුමක්ද? තම මතු ජීවිතය කෙසේ විය යුතුද යන්න අන් කවරකුගේ හෝ බලපෑමකින් තොරව ඔහුම තීරණය කල යුතුය. ඊට මම කෙලෙසකින්වත් බලපෑමක් නොකරමි. මෙසේ සිත එකඟ කරගත් ඇය දරුවන් තුරුළු කොටගෙන බොහෝ විප්‍රකාර වූ සිහින සපිරි, එහෙයින්ම කිසිසේත් සුවදායක නොවූ නින්දකට වන්නාය.
එලිමහනේ භාවනානුයෝගීව හුන්නද විජය කිසිසේත් තම සිත එකඟ කරවා ගැන්මෙහි සමත් වූයේ නොවේ.
" අනුරාධ.... එසේනම් මවිසින් පැවසූ අයුරු පසල් දනව් වැස්සන්ට සහන සලසනු මැන. අප මේ රටේ පාලකයින් වුව පාලකයා යනු කිසිසේත්ම වැසියන්ගේ හෝ මෙහි සියලු සම්පත්හි ඒකල හිමිකරු නොවන බව සෑම විටම මතක තබා ගත යුතුය.පාලකයා යනු මේ භූමියෙහි භාරකරුවා පමනි. ඔහුගේ වගකීම මෙන්ම යුතුකම වනුයේද හැකි සෑම විටම තම ආත්ම පරිත්‍යාගයෙන් පවා අවශේෂ පොදු ජනයාගේ සුබසිද්ධිය සැලසීමයි. "
" එසේය රජතුමනි. " අනුරාධ නැඟීසිට හිස නවාගත්වනම පැවසීය.
ඒ එක්වරෙක අනුරාධ පාලනය කල පසල් දනව්වක පැතිරගිය දුර්භික්ෂයක් හේතු කොටගෙන ඇතිවූ වියවුලකදී රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ධාන්‍ය බෙදාහැර සයින් පීඩිත ජනයාහට සහන සලසන මෙන් රජ සභාවෙහි බහුතර මතයට පවා විරුද්ධව යමින් අනුරාධට විජය නියෝග කල අන්දමයි.
හැකි සෑමවිටම රාජ්‍ය සම්ප්‍රදාය නොතකා හැර හෝ වැස්සන් කෙරෙහි උපරිම සාධාරණය ඉටු කරනු වස් තමන් උපරිම උත්සාහය දැරූ බව විජය සිහිපත් කලේ සිත් පුරා පැතිරගිය ආහ්ලාදයකිනි.
ලංකාද්වීපය වන් ළදරු රාජ්‍යයක මතු චිරස්ථිතිය රඳා පවතිනුයේ හුදෙක් එවන් සාධාරණ සහ යුක්තිසහගත පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම මත බව විජය මනාකොට දැන සිටියේය. එහෙත් රාජ සභාවෙහි උපතිස්ස හැරුණු කල එසේ සිතනුයේ අතළොස්සක් බවද ඔහු හොඳින් දැන සිටියේය. රාජසභාවෙහි බහුතර බලය අනුරාධ වන් අත්තනෝමතිකයකු අතට පත්විනි නම් ඒ මහත් ව්‍යසනයක පෙර නිමිති බවද විජය එළෙසම දැන සිටියේය.
ඒ අතර වාසිෂ්ඨීගේ ඔත්තුකරුවන්ගෙන් ලත් පණිවිඩ ද කිසිසේත් සිත් සනහාලන්නක් නම් නොවීය. විජය උපකල්පනය කල අයුරුම ලංකාපුර රාජ සභාවෙහි බල අරගලය හේතු කොටගෙන රාජ්‍යය පුරා නොසන්සුන්තාවයන් මතුව ඒ කැරළි කෝලාහල තත්වයෙන් ඔබ්බට වර්ධනයවී සිවිල් යුද්ධයක් බවට රූපාන්තරණය වීමට ආසන්නව පැවතුනේය.රාජ සභාවෙහි පූර්ණ පක්ෂපාතීත්වය එක හෙළා ලබාගැන්මට සමත්වූයේ විජය පමණක්ම වූ බැවින් වර්තමානයෙහි පවතින අරාජික තත්වය කිසිසේත් විශ්මයට කරුණක් නොවීය. මේ නොසන්සුන් තත්වයෙන් ප්‍රයෝජන ගැන්මට සිතූ යක්ඛ ගෝත්‍රිකයෝද පසල් දනව්හි නොයෙක් විප්‍රකාරවල යෙදෙමින් ලංකාපුරයට තවත් හිස රදයක් බවට පත්වූවෝය.
ඒ අසුබ තොරතුරු රැගෙන සතියකට වරක් පමණ කුඩා කඳු ගැටය සැරයටියක වාරුවෙන් නැඟ ඔවුන් වෙතට පැමිණියෝ වාසිෂ්ඨී තොමෝමය. දරුවන් වෙනුවෙන් ගෙන ආ කුමන හෝ රස මසවුලක් ඔවුනතට දී ඔවුන් හා මොහොතක් ගත කරන මහළු ප්‍රභූ වරයා ඉන්පසු කුවණ්ණා හා සමඟ සතුටු සාමීචියෙහි යෙදෙයි. අවසන ගල්ලෙන ඉදිරිපිට වූ වනස්පතිය සෙවණෙහි අසුන් ගන්නා ඔහු තමන් ඉදිරියෙහි හිඳ සිටිනා විජය සහ කුවණ්ණාහට නවතම තොරතුරු දැනුම් දෙන්නේය.
" පුතණුවනි, මා දයාබර මිණිපිරියගේ ස්වාමියා වශයෙන් ඔබ මගේද මුණුපුරා වන්නේය. එසේම ඔබ ස්ව කැමැත්තෙන් කිරුළ හැරදා කුවණ්ණා කෙරෙහි බැඳි සෙනෙහසට ප්‍රමුඛස්ථානය දී වනගත වූවද මෙරට රාජ්‍යයට එකම හිමිකරු තවමත් ඔබය. එලෙසම මේ මගේ රට, යක්ඛ ගෝත්‍රිකයින් සිහලුන් මෙන්ම අවකන්, යවන යෝනක ආදී මෙහි තම වාස භූමිය කරගැන්මට රුචි සියල්ලන්ටම අභය භූමියක් වන වියවුලින් තොර ශක්තිමත් පාලන තන්ත්‍රයකින් හෙබි නිදහස් රාජ්‍යයක් සේ පවතිනු දැකීම මගේ එකම අභිප්‍රායයි. "
" එහෙත් ලංකාපුර රාජ සභාවෙහි බල අරගලය හේතුකොට පවතින වර්තමාන තත්වය කෙලෙසකවත් හිතකර තත්වයක් නම් නොවේ. මේ වියවුල් තත්වය ප්‍රයෝජනය ගෙන යාබද දඹදිවින් පවා අප වෙත ආක්‍රමණ එල්ල වීමේ අවදානමද නොතකා හල නොහැක.මේ අරාජික තත්වය සමනය කල හැක්කේ පුත ඔබට පමණි. එහෙත් ඒ තීරණය ඉතා අසීරු මෙන්ම භාරදූර බවද මම දනිමි. එබැවින් ඔබ දෙදෙනට ඒ සඳහා අවස්ථාව ලබා දෙන්නෙමි. ඔබ දෙපල එළඹෙන ඕනෑම තීරණයකට මගේද අනුමැතිය හිමිවන බව පමණක් පවසමි. "
මෙසේ පැවසූ වාසිෂ්ඨයෝ නැඟීසිට ගල්ලෙන මුවදොර අබියස කෙළි දෙලෙන් පසුවෙමින්හුන් කුඩාවුන් දෙදෙනා දෙසට නික්ම ගියෝය.
වනස්පතිය සෙවණෙහි හිඳගත්වනම විජය බොහෝ වේලා නිසොල්මන්ව සිටියේය. කුවණ්ණා ද තම සිතුවිලි ලොවෙහි තනිව ඔහු අසල හිඳ සිටියාය. අවසන සිතෙහි රැඳි සියලු සෝ දුක් වා තලයට මුදා හරින්නාක් මෙන් දිගු සුසුමක් හෙලූ ඕ ඔහු වෙතට පැමිණ ඔහුගේ උරහිස මතුයෙහි හිස හොවා ගත්තීය. ඇගේ සිරුර වටා තම සුරත යැවූ ඔහු ඇය තරව වැළඳ ගත්තේය.
" කුමරුණි..ඔබ ගන්නා ඕනෑම තීරණයකට මම ද එකහෙලා එකඟවෙමි. මුත්තණුවන් මේ මොහොතකට පෙර පැවසූ ලෙස ඔබ ගන්නා තීරණය මත මුළු රාජ්‍යයක අනාගතය රැඳී පැවතිය හැක. මගේ හද පුරා පැතිරගිය සෙනෙහස අහිමිවීම කොතරම් මසිත පාරන්නේ වුවද ඒ පරිත්‍යාගය කරනුයේ රාජ්‍යයක අනාගත අභිවෘද්ධිය උදෙසා බැවින් මම බොහෝ අසීරුවෙන් වුව ද සිත සනහා ගන්නට උත්සාහ කරන්නෙමි. "
දෙනෙත් අග පිරීයන කඳුලු වළකා ගැන්මට කිසිදු උත්සාහයක් නොගත් ඔහු පහත්ව ඇගේ කඳුළු පිරි දෑස් දැඩි සෙනෙහසින් සිප ගත්තේය.
ඉන් නොබෝ දිනකට පසු ඒ දිනය උදාවිය. සුපුරුදු ලෙස වනස්පතිය සෙවණෙහි හිඳ හුන් විජය ඈත වන පෙත අතරින් ඉද්ද ගැසුවාක් මෙන් දිවෙන ලංකාපුරය දක්වාවූ මාර්ගයෙහි ඉමෙහි මතුවූ දූලි වලාවන් දුටුවේ, ඒ දෙසම නිසලව බලා සිටියේය.හෝරාවකට පමණ පසු වේගයෙන් පැමිණි අසරුවෝ මහා නදිය වෙතට ලඟා වූවෝය. අංගාරක්ෂක පිරිවර භට පිරිස මහා නදිය මෙගොඩ තොටුපොළෙහි නතරකොට උපතිස්ස හුදකලාව කඳු ගැටය නැඟ ගල්ලෙන අබියස සමබිමට පිවිසියේය.
" උපතිස්ස …" විජය පෙර ගමන් කොට තම අතිජාත මිතුරා වැළඳ ගත්තේය.
" කුමරුණි….." උපතිස්ස පැවසූයේ බිඳුනු හඬිනි.
" උපතිස්ස, එන්න මේ තුරු සෙවණට…" විජය පැවසූයේ උපතිස්සගේ සුරත රැගත්වනම වනස්පතිය සෙවණට පා නඟමිනි.
" කුමරියණි…. මට සමා වුව මැන.." උපතිස්ස හිස නවමින් පැවසූයේ ගල්ලෙන ද්වාරයෙන් නික්ම ඔවුන් දෙසට පා නඟන්නට වූ කුවණ්ණා දෙසට හැරෙමිනි.
" ඔබට සමාව අයැදීමට කිසිදු කරුණක් නැති හිතවත් ඇමතිතුමනි, මේ කිසිවකට ඔබ වගකිවයුතු හෝ මේ කිසිවක් ඔබ විසින් කළ දේ නොවන බව මම හොඳින්ම දනිමි. ඒ වනාහී දෛවය විසින් නියම කල අයුරුයි. ඒ එසේම ඉටු විය යුතු බව ද මම දනිමි. " කුවණ්ණා පැවසූයේ මඳ සිනහවක් නඟමිනි.
මලහිරු අවර අහස රත්පැහැයෙන් සරසමින් බැස යන්නට සැරසෙමින් සිටියේය. ඉහල අහසේ හී මූණතක හැඩගත් සේ කාණ්ඩ ගැසී නැගෙනහිර දෙසට පියෑඹූ මුහුදු ලිහිණින් ගේ තියුණු සවන් විනිවිද යන නාදය කඳුගැටය මස්තකයෙහි හැපී නින්නාදව පහත වන ගහනයෙහි තුනීව මැකී ගියේය.
විජය තම දරුදෙදෙනා වැලඳ කඳුළු පිරි දෙනෙතින් යුතුව ඔවුන් ගේ වත සිප නැඟී සිටියේය. කුවණ්ණා වෙලෙවි ගමනින් ඔහු වෙත පැමිණ ඔහුට තුරුළු වූවාය.කිසිවක් පැවසීමට අවශ්‍ය වූයේ නොවේ. එකිනෙකා වෙත කිවයුතු සියල්ල ඔවුහු ඊට පෙර පවසා අවසාන කොට තිබූ හෙයින් ශේෂව තිබුණේ සමුගැනීම පමණකි. එසේය, එදා වසර දෙදහස් පන්සියයකට පෙර මහානදී තෙර අසබඩ දුම්රක්ගල නෙත ගැටෙන මානයේ පිහිටි කුඩා කඳු ගැටයක් මතදී ඔවුහු සමුගත්තෝය.දේශයක අනාගතය උදෙසා තම සෙනෙහස කැපකොට ඔවුහු සමුගත්තෝය.
**********************************************
කොටස් තුදුසකින් යුතු විජය කුවණ්ණා සෙනෙහසේ අන්දරය මෙතෙක් බොහෝ ඉවසිල්ලෙන් කියවූ මගේ දයාබර සහෘද/සහෘදිනියන් වූ ඔබ සැමට මසිත නැඟෙනා අවංක ස්තූතිය පුදකිරීමට මේ අවස්ථාව කර ගනිමි.
සරළ ලිහිල් බස් වහරින් ලියවුනු සටහන් කෙරෙහි බහුතරයකගේ රුචිකත්වය හිමිවන අතර යම් තරමකට හෝ ලිඛිත බස මුල් කොටගනිමින් ලියැවුණු මේ සටහන් පෙළ නොකඩවා කියවූ ඔබට ඒ සමඟම මාගේ ගෞරවාදරයද නිතැනින්ම හිමිවන බවද අවසාන වශයෙන් සටහන් කරමි.




