කතන්දර කියන එක සහ කතන්දර අහන එක මම හිතන්නෙ මිනිස් වර්ගයාගෙ මූලාරම්භයෙ අර්ධ වානර මිනිසා භාෂාවක් කියල එකක් යම්තමට හදාගත්තු කාලෙ ඉඳලම අඛණ්ඩව පැවත එන දෙයක්. උගුරෙන් මතුවෙන යම් යම් අව්‍යාක්ත ශබ්ද මාර්ගයෙන් සිදුවූ දළ අදහස් හුවමාරුවෙන් පස්සෙ මිනිස් ස්වරාලය අනුක්‍රමිකව දියුණු වෙලා ස්වර තන්ත්‍ර හැඩ ගැහිල භාෂාවක් කියල මෙවලමක් නිපදවාගත්තට පස්සෙ අපේ ආදී මුතුන් මිත්තො මම හිතන්නෙ මුලින්ම කරන්න ඇත්තෙ කතන්දර කියන එක.
සාර්ථක දඩයමක් ලැබුණු දවසක බඩ කටපුරා සන්තර්පණය වෙලා තමන් යන්තමට ස්වභාව ධර්මයෙන් වන හදි හතුරුකම් වලින් බේරිලා වාසය කරන ගල් රුකුල ඉස්සරහ රත්පැහැයෙන් පුළිඟු නඟමින් දැල්වෙන ගිණි මැලය වටේ ඉඳගෙන කණ්ඩායමේ නායකයෙක් නැත්නම් වැඩිහිටියෙක් කියන කතන්දර අහගෙන ඉන්න ගෑණු පිරිමි ළමා ළපටි පිරිසක් හිතේ මවා ගන්න. හිටපු ගමං ගල්ලෙන පිහිටලා තියෙන පොඩි කඳු ගැටය පාමුල මහ වනාන්තරයෙන් මතුවෙලා රූස්ස ගස් වෙව්ලුවා ලමින් දසත පැතිරෙන රුදුරු වන සතෙකුගෙ ගෙරවිල්ලකට එක විඩේම කතන්දෙරේ නවතිනව.
ගෑණු සහ දරුවො එක පොදියට තුරුල්වෙලා ලොකු කර ගත්තු ඇස් වනාන්තරේ දිහාට යොමු කරගෙන බය බිරාන්ත වෙලා ඉන්නව. ඒත් ටික වෙලාවකින් සියල්ල සන්සුන් වෙනවා. ඔහොම තවත් ටික වෙලාවක් හැලහොල්මනක් නැතුව ගෙවුනට පස්සෙ " කෝ ඉතිං අර කතන්දරේ? ඒක කියල ඉවර කලේ නෑනෙ. අනේ ඒක කියනවද? " එකට ගුලි ගැහිල ඉන්න පොඩි එවුං තලේ අතරිං හීං කටහඬක් මතුවෙනව. ඉතිං ආයෙම කතන්දරේ පටන් ගන්නව.
කතන්දර ගැන අපේ නොනිමෙන ඇල්ම එහෙමයි. ඉතිං කතන්දර කීමේ කලාව ගැන මේ පොඩි පූර්විකාවක් කිව්වෙ අද සටහනට ප්‍රවිෂ්ඨ වීමක් විදිහටයි. හරි..ඉස්සෙල්ලම පල්ලෙහායිං තියෙන කතාව කියවල ඉමුකො. මේ කාලෙකට ඉස්සර ගරු කටයුතු පොඩ්ඩි මැතිණියගෙ වියුණුවට මම කමෙන්ට් එකක් හැටියට ලියපු කතාවක්. මම ලියපු කතාවට මගේ හිතවත් සිත්තමී තරුණ නෝනා මහත්මිය තව කොටසක් එකතු කලා. ඊට පස්සෙ එතුමී ලියපු කොටසත් එකතුකරල මම තව දුරටත් කතාව ලිව්ව. හරි මෙන්න ඒ කතාව. ඉටැලික්ස් වලින් තියෙන්නෙ සිත්තමී ලියපු කොටස.
පොඩ්ඩි සහ සිත්තමී.... ඔබ දෙදෙනාටම බොහොමත්ම ස්තූතියි.
*************************************************
" ලොකු පුතා හෙට නිවාඩු දාන්න හොඳද?" අම්ම කිව්වේ කුසල් ගෙයින් එලියට බහිද්දි.
'' ඇයි අම්මෙ?.....'' ආපහු හැරිල කුසල් ඇහුව.
'' හෙට මල්ලිට මනමාලියක් බලන්ට යනව ඔයත් එන්නම ඕනෙ,''
'' මම එන්නම ඕනද?....හෙට වැඩ ගොඩක් තියනව කරන්ට''
'' අනේ ලොක්ක.....එහෙම කියන්ට එපා.....ඔයත් එන්න.''
'' හරි අම්මෙ යමුකො එහෙනං....'' කුසල් අම්ම දිහා බලල හිනාඋනා.
ඉස්සෙල්ල තමන්ට, ඊට පස්සෙ මල්ලිට…. මනමාලියො බලන්ට යන එක කුසල්ට එපාම වෙලා තිබුනෙ......වෙසක් කූඩු වගෙ සරසල,රටේම තියන ක්‍රීම් පවුඩර් මූණෙ උලල ප්‍රදර්ශණ භාණ්ඩ වගෙ ඉස්සරහට එක්කරගෙන එන කෙල්ලො ගැන කුසල්ගෙ හිතේ තිබුනෙ අනුකම්පාවක්.
*************************************************
අම්මයි තාත්තයි මල්ලියි එකට ඉඳගනිද්දි, කුසල් පැත්තක තිබ්බ පුටුවක ඉඳගත්තෙ නිවිහැනහිල්ලෙ හෙට ලියන්ට හිතාගෙන ඉන්න ලිපිය ගැන කල්පනා කරන්ට හිතාගෙනයි.
වැඩිහිටියො එයාලගෙ කතාබහේ යෙදෙද්දි කුසල් බර කල්පනාවක හිටියෙ ලිපිය ගැන. එක පාරටම ඇති වෙච්ච නිශ්ශබ්දතාවය නිසා කුසල් ඔලුව උස්සල බැලුව. සාලෙ දොරටුවෙන් ඇතුලුවෙලා හෙමිහිට ඉදිරියට එන යුවතිය දැක්කම කුසල් එතනම ගල් ගැහුණ. පොත්වල ' එකෙනෙහිම ඔහු පාෂාණිභූත වූයේය' කියන්නෙ මෙන්න මේ වගෙ අවස්තාවන්ට වෙන්න ඇතිය කියල කුසල්ට හිතුන..ඒත් ඒ වෙලාවෙ නම් නෙවෙයි....පස්සෙ ගෙදර ඇවිත් ඒ ගැන ආයෙම කල්පනා කරනකොට...ඒ වෙලාවෙ නම් පොත් වල තියන දේවල් තියා කවුරු හරි නම ඇහුවත් කුසල්ට හරි උත්තරයක් දෙන්ට වෙන එකක් නෑ. ඒ තරමට නුහුරු නුපුරුදු හැඟීම් රාශියක් හිත අතුලෙ නලියනව කියල විතරයි කුසල්ට තේරුනෙ.
ඇගේ මුහුණ...ගමන.....ඇඳ සිටි බෝරිච්චි අත් යෙදූ හැට්ටය....චාම් ඔසරිය...දිගු වරලස....එක බැල්මෙන්ම කුසල් මේ සියල්ල හිතේ ඇඳගත්ත.......ඒ වැඩේ වැඩි අමාරුවක් උනේ නැත්තෙ ඒ රූපය සෑහෙන කාලෙක ඉඳල කුසල්ගෙ හිතේ ඇඳිල තිබුණු නිසයි.කුස රජ්ජුරුවො වගෙ රන් රූපයක් හැදුවෙ නැති උනාට කවදාහරි තමන්ගෙ සහකාරිය විය යුත්තෙ මෙන්න මේ වගේ යුවතියක්ය කියල කුසල්ගෙ හිතෙත් ඇඳිල තිබුන රූපයක්...... ඒ රූපයට පණ ආව වගේ වැඩක් මේ උනේ.
ඇය ඔලුව උස්සනකල් කුසල් හිටියෙ නොඉවසිල්ලෙන්....කුසල්ගෙ හිතේ තිබුනු රූපෙ...ඇස්... දිගටියි...නිල් පාටයි......
සාලෙ මැදට ආපු ඈ ඔලුව උස්සල බැලුව.....කුසල්ගෙ ඇසිපිය නොහෙලා ඒ ඇස් දෙක දිහා බලා හිටියෙ ගිණිකන වැටුන වාගෙ.....හරියටම හරි.....නිල් පාටයි....දිගටියි.......එයත් එක පාරටම කුසල් දිහාවෙ බැලුව..ඒ ඇස් දෙකෙත් මොනවදෝ වෙනසක් උනා. ඈ කුසල් දිහාට පියවරක් තිබ්බ...." "දෝණි මේ පැත්තට "....අම්මගෙ විධානයට අනුව ඈ ජයනාත්ට බුලත් හෙප්පුව පිළිගැන්නුව.
ඊට පස්සෙ සාලෙ කෙරිච්ච කතාබහ මොකවත් කුසල්ට ඇහුනෙ නෑ. ජීවිත කාලයක් හිතේ ඇඳී තිබුනු ඒ රුව ජීවමානව තමන් ඉදිරියේ...ඒත් ඈ තම එකම සොහොයුරාට යෝජිත මනාලිය........බොහොම අමාරුවෙන් ඈ දෙස නොබලා තව ටික වෙලාවක් ඉඳල කුසල් හෙමිහිට එළියට බැස්ස.
මිදුලෙ කෙළවරක වෙල්යායට මූණලා තිබුන බංකුවක්.....කුසල් ඒකෙ ඉඳගත්ත...වෙල්යාය පිසගෙන එන හීතල හුළඟ කුසල්ගෙ හිත නිවන්ට නම් කොහෙත්ම සමත් උනේ නෑ...ඒත්.....ජීවිතේ සමහර දේවල් තියනව අපිට උරුම නෑ.....ඈතින් ඉඳල දැකීමෙන් පමණක් සැනහෙනව මිසක් අයිති කරගන්ට වාසනාව නැති බොහොම දේවල් මේ ජීවිතේ තියනව කියන එක කුසල්ට අමුතුවෙන් කියල දෙන්ට ඕන කමක් තිබුනෙ නෑ...
හිතට අවුලක් ආවම හැමදාම කුසල් කලේ කවියක් ලියාපු එක....මේ වෙලාවෙත් එහෙම කරන්ට කියල කුසල් සාක්කුව අතගාල බැලුව....උදේ එද්දි අම්ම දුන්නු කොලේ තිබුන උඩ සාක්කුවෙ "පුතේ මේ එහාට යන විදිහ ඇඳල කපු මහත්තෙය දුන්නු කොලේ...පුතා ළඟ තියාගන්ට "
ඒ කොලේ අනික් පැත්තෙ කුසල් කුරුටු ගාන්ට පටන් ගත්ත.
හදේ ඇඳි රුවක් විය,
කිසිදින දකින්නට සිතා නොසිටිය,
නෙතු ඉදිරියේ දිලුනු ඒ රුව,
සදා මා හට අහිමිය,
දුරින් ඉඳ බලා සැනසෙමි,
හිමි කර ගැනීමට නොවෙහෙසෙමි,
ජීවිතේ මට හිමි,
එපමණකි මම දනිමි,
බෝ දුරක ඇවිද ගිය,
මහද අවසන නතර විය,
අබියස ඔබේ දෙනයන,
කියූ රහස ද ගොළු විය,
නෙත කඳුලු වියැකී,
සුසුම් හද නොමැකී,
මට අහිමි ළඳුනී,
සදා ඔබ මට මිණි පහනකී,
එක පාරටම කාගෙදෝ කටහඬක් ඇහිල කුසල් ඔලුව උස්සල බැලුව.
දෙයියෝ සාක්කි.......ඒ යුවතිය සමඟ සොයුරා තමා සිටින දෙසට එනු දුටු කුසල් වහා කවි ලියූ කොලය නවා සාක්කුවේ දමා ගත්තේය.
" මොකෝ අයියේ? ඔතන ඉඳගෙනත් කවි ලියනවද? '' ජයනාත් දුරසිටම හඬනඟා ඇසීය. කලබලයෙන් හිඳසිටි අසුනින් නැඟිටින අතරේ කුසල්ගේ දෑස යලිත් ඒ යුවතියගේ දෑස හා ගැටිණි. තම මුහුණට ලේපුරා එන බව දැනුනු කුසල් වහා ආපසු හැරී වෙල්යාය ඈත කෙළවර දෙස බලාසිටියේය.
'' ආ, මල්ලි.. මං ලඟටම එනකල් දැක්කෙ නෑනේ... මං මේ මිදුලට පොඩ්ඩක් ආවා ඇතුලේ කම්මැලියි... ''
'' ලස්සන විව් එක නේද... අයියා ආසම විදිහෙ පැත්තක්... '' වෙල්යාය දෙස බලා ජයනාත් කීවේය.
'' හ්ම්.........''
'' පබෝධා දන්නවද, මේ අපේ අයියා මාර ලස්සන කවි ලියනවා..., චිත්‍රත් අඳිනවා......'' ජයනාත් පබෝධා දෙසට හැරී කීවේය.
ඇගේ නම.....පබෝධා.......
'' ඇත්තද? අයියගෙ නම මොකද්ද?''
'' මම කුසල්. '' වෙල් යාය දෙස බලාගෙනම කී කුසල් වහා නැඟී සිටියේය.. "එහෙනං ඔය දෙන්නා ඔහොම ඉන්නකෝ, මං ඇතුලට යනවා."
'' නෑ නෑ, අයියා ඉන්න... '' ජයනාත් වහා කුසල්ගේ කර වටා අතක් දමාගත්තේය. "බලන්නකෝ, පබෝධා කැමතිත් නෑනේ මං අහන ජාතියේ සින්දු වලට..." ඔහු බංකුව මත හිඳගත්තේ කුසල් ද සමගිනි. "එන්න පබෝධා," ඔහු ඇයටද බංකුව පෑවේය. අර්ධ කවාකාර විසල් බංකුව මත තිදෙනාටම පහසුවෙන් හිඳගැනීමට ඉඩකඩ තිබුණි. "මෙයා කැමතිත් අයියා කැමති ජාතියේ ඒවටමලු."
'' එහෙමද?'' සොයුරන් දෙදෙනාට මඳක් ඈතින් ඈ අසුන් ගන්නා අතරේ කුසල් ඈ දෙස බැලුවේය. පබෝධාට වහා බිම බලා ගත්තීය.
එවිටම ජයනාත්ගේ ජංගම දුරකථනය නාද වන්නට විය. "එක්ස්කියුස් මී." ඔහු දුරකථනයද රැගෙන නැගිට මිදුලේ කෙළවරට ඇවිද ගියේය. පබෝධා නැවතත් සිය ඔසරි පොට අඹරන්නට පටන්ගෙන තිබුණි.
'' නංගිත් කවි වලට කැමතියි නේද?''
පබෝධා දෑස් විසල් කරගෙන කුසල් දෙස බැලුවාය. "කොහොමද දන්නේ?"
'' ඉස්කෝලේ සාහිත්‍යයනෙ උගන්නනවා කිව්වේ..''
ඇය රතු වී බිම බලාගත්තාය. "මං චිත්‍ර වලටත් ආසයි. අඳින්නනම් බෑ, ඇඳපුවා බලන්න ආසයි... මං මේ ලඟදි පත්තරේ කියෙව්වා ලිපියක් චිත්‍ර කලාවයි සාහිත්‍යයයි ගැන හරි ලස්සන විදිහකට එකට ගලපලා ලියලා තියෙනවා"
කුසල් වහා ඈ දෙස හැරී බැලුවේය. "ජනදින පත්තරේද?"
'' ඔව්. අයියත් ඒ ලිපි කියවනවද?''
කුසල් පුළුල් සිනහවක් පෑවේය. "ඒ ලිපි කියවන මට හම්බුණ මුල්ම කෙනා ඔයා තමයි.."
'' ඒවා ලියන්නෙ අයියද?''
උරහිස් හැකිලූ කුසල් මඳ සිනහවකින් ඒ එසේයයි ඇඟවීය. දුරකථන සංවාදය නිමා කළ ජයනාත් එතැනට ආවේය. "ඉතිං පබෝධා," ඔහු ඔවුන් දෙදෙනා අතරින් ඉඳගත්තේය. "ඔයාගෙ නැද්ද හොඳ යාළුවො එහෙම බැඳපු නැති?"
'' ම්.. ඉන්නවා, ඇයි?''
'' නෑ මේ අපෙ අයියට...''
'' ජයනාත්! '' කුසල් අවධාරාණාත්මක හඬකින් කීවේය.
'' මං හිතුවෙ අයියා මෙලහකට බැඳලා ඇති, නැත්තං බඳින්න කෙනෙක්වත් ඇති කියලා... '' පබෝධා පුදුමයෙන් කීවාය.
'' අපොයි මෙයාට කවුරුවත් හොයන එක ලේසි නෑ.. '' එවර ජයනාත් කීවේ සොයුරාගේ පිටටද පහරක් ගසමිනි.
'' යමංකෝ ගෙදර.. '' කුසල් මිමිණුවේය.
පබෝධාට සිනහ පහළ විය. පෙනුමෙන්, ගතිගුණ වලින් හා රුචි අරුචිකම් වලින් කෙතරම් වෙනස් වුවද මෙම සොහොයුරන් දෙදෙනා එකිනෙකාට ඉතාමත් සමීප බව ඇයට අවබෝධ විය. "ඉතිං අයියාට කළිං මල්ලි බඳින්න හදන්නේ?" ඇය ඇසුවාය.
'' මෙයාට හරියන අය හොයාගන්න කොට මටත් නාකිවෙන්ඩ වෙයි. අම්මලා මෙයාට බල කරලා කරලා බැරිම තැන තමයි ඔය මට හොයන්ඩ ගත්තේ.''
'' ඉතිං අයියා මොන වගේ කෙනෙක්වද හොයන්නේ?'' පබෝධා ඇසුවාය.
'' හරියන කෙනා හම්බ වෙන කාලෙට හම්බ වෙන්නෙ නැතැයි,'' එසේ කියමින් කුසල් නැගිට්ටේය. "මං ගෙට යනවා එහෙනං..." ඔහු ආපසු හැරී නොබලාම ඉස්තෝප්පුව කෙළවරින් නිවෙසට ඇතුල් විය.
කවුළුවෙන් ඉවත බලා සිටිනා අතරේ එම බංකුව නැවතත් ඇගේ දෑසට ලක් විය. එදින ඔවුන් පිටව ගිය වහාම එකතු කර තිබූ පැරණි පත්තර ලිපි එකතුවම ඇදගෙන එකින් එක නැවතත් කියැවූ අයුරු ඇය සිහිපත් කළාය. අන්වර්ථ නාමයකින් එම අපූරු ලිපි ලියන්නා කෙදිනක හෝ හමු වීම ඇගේ එක් සිහිනයක්ව තිබූ අතර ඔහු මෙතරම් තරුණ වියේ පසුවන්නෙකැයි ඇයට කිසිදා සිතී තිබුණේ නැත.
"දෝණි..." අම්මාත්, අප්පච්චිත්, මාමාත් තිදෙනම එක්වරම ඇගේ කාමරයට ඇතුල් වූහ. "දැංවත් මේකට උත්තරයක් දෙන්න ළමයෝ..." අම්මා ඈ අසළින් ඇඳ මත හිඳගත්තාය.
"දැං සුමානයක් වෙන්ඩත් ආවා, ඒ පැත්තෙනුත් උත්තරයක් නෑ. මාමා හෙට යනවා එහෙ, ඉතිං මේ පැත්තෙං උත්තරේ අරං යන්ඩ එපැයි..." අප්පච්චිද කීවේය.
"කැමැත්ත හරි අකමැත්ත හරි ඕන එකක් කමක් නෑ දුවේ, කියන්න... හැබැයි අකමැති වෙන්න හේතුවක්නං නෑ ඒ කටයුත්තේ..." මාමාද එක් කළේය.
"එදා හැන්දෑවේ ඉඳං මං මේ ළමයගෙන් වචනයක් ගන්න බලනවා, කෝ ඒ ගැන කටක් හොල්ලන් නෑනේ..." අම්මා නැවතත් කීවාය.
පබෝධා පත්ව සිටියේ මහත් අසීරු තත්ත්වයකටය. දැන් එහි උපරිම අවස්ථාවට එලැඹ ඇත. ඇගේ දෙමාපියන්ට සිටි එකම දරුවා තමා වූ බැවින් සිය විවාහය ඔවුන් සොයා දෙන්නෙකු සමගින් සිදු කෙරෙනු ඇති බව ඇය ඔවුනට පොරොන්දු වී සිටියේ කිසිදු පසුතැවිල්ලකින් තොරවය. මෙම යෝජනාව පැමිණියේද එලෙසිනි. එහෙත් දැන් එම යෝජනාව නිසාම ඇගේ සිත වෙනෙකෙකු සොරාගෙන ඇත. මනාලයාගේම සොයුරා විසින් සොරාගෙන ඇත.
"මං ජයනාත්ට කැමති නෑ..." ඇය අවසානයේදී සෙමින් මිමිණුවාය.
"ඉතිං ඕක කළින්ම කිව්වනං ඉවරනේ. අපි කිව්වනේ, දූගෙ අකමැත්තෙන් මේ කිසිදෙයක් අපි කරන්නෙ නෑ කියලා..." පියා ඇගේ හිසද අතගාමින් කීවාය.
"මං එහෙනං හෙට ගිහිං මේ ගැන කියන්නං නේද, කෙළිංම අකමැති බව නොකියා මං වෙන මොකක් හරි කියන්නංකෝ..." මාමාද හිඳ සිටි පුටුවෙන් නැගී සිටියේය.
"ඒ උනාට..." පබෝධා ඇසෙන නෑසෙන හඬින් යළිත් එක් කළාය. "... මං එයාට අකමැති මං එයාගෙ අයියට කැමති නිසා..."
"ඈ???" මාමා නැවතත් ඉඳගත්තේය. අම්මා කම්මුලේ අතක් තබාගත්තේය. පියාගේ නළල රැළි විය.
"ඒ ළමයනං ඔය දෙවෙනි පුතා තරං ලොකු තානාන්තරේක නෙවෙයි, පත්තර කන්තෝරුවකද කොහෙදනේ රස්සාව කරනවා කිව්වේ..."
"අනික පබා බලන්න, එයා අර මල්ලිගෙ අයියා කියලවත් කියන්න පුළුවන්ද පෙනුමෙං?ඔයාට ගැලපෙන්නෙ නෑ දරුවෝ එහෙම කෙනෙක්..."
"ඒ උනාට මං කැමති එයාගෙ විදිහට..." පබෝධා නැවතත් මිමිණුවාය.
"බෑ, බෑ මේක කරන්න බෑ. ඔයාව බලන්න ආවේ ජයනාත්. ඔයා එයාට කැමතිද නැද්ද කියලා විතරක් කියන්න. මාමා කොහොමද ඕවා ගිහිං කියන්නේ ඒ මිනිස්සුන්ට?"පබෝධා නිහඬය.
"මල්ලි, ඉස්සෙල්ලා කතාකරගත්තු විදිහට ගිහිං කියන්න හෙට... මේ මොන කෝලමක්ද!" අප්පච්චී එසේ පවසා බර අඩි තබමින් කාමරයෙන් පිට විය.
මාමා ඈ වෙත ආවාය. "අකමැති බව කියන්නද දුවේ?" පබෝධා යාන්තමින් හිස සෙලවූයේ වෙන කරන්නට දෙයක් නැති නිසාය. මාමාද, ඔහු පසුපසින් අම්මාද කාමරයෙන් පිටව ගියෙන් පබෝධා නැවත වරක් සිය සිතුවිලි අතර හුදෙකලාව අතරමං විය. ඇගේ තනියටදෝ කඳුළු බිඳු එකින් එක උනා එන්නට විය.
පසුදින රාත්‍රියේ මාමා හදිසියේම නැවතත් එහි ආවේය.
"මල්ලි හදිසියෙම? දීපංගොඩ ගියාද?"
කතාබහට මුලපුරමින් අප්පච්චි ඇසුවේය. අම්මාද ඔවුන් සමග එකතු වී සිටියෙන් මැද සාලයේ හිඳගෙන ලූනු සුද්ධ කරන අතරේ පබෝධා ඔවුනගේ කතාවට කන් දී සිටියාය.
"ගියා ගියා අයියේ, එහෙ ඉඳං තමයි මේ කෙළිංම ආවේ.. තාම ගෙදරවත් ගියෙ නෑ..."
"ඒ මොකෝ ඒ හැටි හදිසියෙන්? ඒ උදවිය මොකද කිව්වේ? දොස් කිව්වද?"
"මොන දොස්ද අක්කේ, මාව දැක්ක හැටියේ ඉඳගන්න කියලා මහ පුදුම කතාවක් තමයි කිව්වේ... පොඩි පුතා කිව්වලු එයාට පබා දෝණි ගැලපෙන්නෙ නෑ කියලා හිතෙනවා කියලා, ඒක ඇහිච්ච ලොකු පුතාගෙ මූණේ ලොකු හිනාවක් ඇඳුනලු... ඒ ලොකු එකාට මගුල් හොයන්න ඒ මහ දෙන්නා විඳපු දුකක්! කවුරු කැමති උනත් ඒකගෙ කැමැත්ත ගන්න බෑලු... දැං ඔන්න මල්ලි මෙහෙම කිව්වහම අයියා කිව්වලු 'මං ඒ ළමයට කැමතියි'කියලා... මේක අපිට කියාගන්නෙ කොහොමද කියලා හිත හිත ඒ උදවිය ඉඳලා තියෙන්නේ... කෝකටත් කියලා දෝණිගෙ කේන්දර කොපිය ලොකු පුතාගෙ එකටත් බැලෙව්වලු. ෂුහ්! පොඩි පුතාගෙ එකටත් වඩා හොඳට ගැලපෙනවලු..."
පබෝධාගේ මවත් පියාත් මුහුණින් මුහුණ බලාගත් හ.
"ඉතිං මල්ලි කිව්වද අපේ දෝණි කියපු කාරණේ?"
"නෑ නෑ, මං ඒවා කියන්න ගියෙ නෑ, මෙහෙ උත්තරේ අරං එන්නං කියලා ආවා..."
"හ්ම්... එහෙම කරපු එක හොඳයි... කෝ මේ කෙල්ල... දෝණී..."
අප්පච්චිගේ හඬගෑම ඇසුණු පරක්කුවෙන් මතු වූ ඇගේ මුහුණේ වූ සිනහවෙන් සියල්ල අවබෝධ කරගත් වැඩිහිටියෝ තිදෙන සිනාසෙන්නට පටන් ගත්හ.
සති දෙකකට පසු.........................
කුසල් ඒ බංකුවේම හිඳ සිටියේය. පබෝධා ඔහු ලඟින්ම හිඳ සිටියේ ඔහුගේ සුරත දෑතින්ම පිරි මදිමිනි.
'' අයියා....මතක ද සති දෙකකට ඉස්සර මේ බංකුවෙම අපි දෙන්න ඉඳගෙන හිටිය...''
'' හෙහ්, හෙහ්...මොකද අප්ප අමතක?....මේ මදෑ ඔය අයිය කෑල්ල...මට කුසල් කියන්න...''
'' හා...එහෙනම් කුසල්....එදා අපි මෙතනට එනකොට කුසල් මොනවද කර කර හිටියෙ?''
'' මම කවියක් ලිය ලියා හිටියෙ...''
'' කවියක්?..." පබෝධා ඔහුගේ දෑසට එබුණාය...." කා ගැනද?''
'' ඔයා ගැන '' කුසල් පැවසූයේ ඇගේ දෑස දෙස එක එල්ලේ බලමිනි....'' පබා ගැන''
'' මම ගැන ලියන්න...ඔයා මාව දැක්කෙත් එදානෙ....''
'' මට ඔයා දැක්කෙ එදා උනාට.....ඔයා ගැන කවියක් ලියන්න ඒක ප්‍රශ්නයක් උනේ නෑ.....මට හිතුනෙ මම ඔයාව ආත්ම ගානක ඉඳල දන්නව කියලයි....'' කුසල් පැවසූයේ සෙමින් ඇගේ කොපුල් තලය සිප ගනිමිනි.
ලැජ්ජාවෙන් ඇඹරී ගිය ඇගේ වතට ලේ පුරා ගියේ අනායාසයෙනි." කෝ ඒ කවිය.... තියනවද?"
උඩ සාක්කුවේ තිබූ හතරට නැවූ කොලය ඔහු ඇයට දුන්නේ මඳ සිනහවක් නගමිනි.
කවිය කියවූ ඇගේ නෙත් තෙත් වූයේ ඇයට ද නොදැනීමය.
" කුසල්......කවදාවත් එහෙම වෙන්නෙ නෑ...'' මිමිණූ ඇය ඔහුගේ උරහිස මත හිස හොවා ගත්තාය.
'' මම දන්නව පබා....'' කුසල් පහත් වී ඇගේ පියවුනු දෑස සිප ගත්තේය.
" හරි දැන් ලියන්නකො ඉතිං මේ කවිපෙලටම ඈඳලා නිකං ඉනික්බිති එකක් වගෙ එකක්....'' මද වේලාවකින් පසු ඇය පැවසුවේ සිනාසෙමිනි.
" හරි...මේක ඔයාගෙ පළවෙනිම ඉල්ලීම..ඉතිං බෑ කියල කොහොමද? ඉන්නකො ''
ඒ කවි පෙලටම පහලින් කුසල් නැවත කවියක් ලියන්නට වූ අතර පබා ඔහුගේ උරහිස රැඳවූ හිසින්, දෙතොලග නලියන මද සිනහවෙන් යුතුව අපමණ සෙනෙහස පිරි හදින් ඔහුගේ දෙනෙත දෙස බලා සිටියාය.
ජීවිතය පුරා මම,
සෙවූ ඒ රුව ඔබය,
නිල් දෙනෙත,
දිගු වරල,
සඳක් වූ වත මඬල,
සසර සරනා තුරා,
අත නොහැර ඔබෙ සුරත,
කැටුව යමි අනන්තෙට,
ඔබ සමඟ පියෙන් පිය,
සෙනෙහසේ නවාතැන,
සොඳුර ඒ ඔබේ හද,
මගෙ ගමන නතර විය,
ඔබේ දෙනුවන් අසල,
මෙලෙස අප හමුවුයේ,
පෙරත් අප පැතූ ලෙස,
සසර ඉම තෙක්ම එමි,
ඔබෙ සුරත අත නොහැර,
අවසානයේදී කවි පෙල මුමුණමින් කියැවූ පබා දෙනෙතින් කඳුලු ගලා හැලෙද්දී කුසල් ගේ ගෙල වැලඳ ඔහුගේ පපුවෙහි මුහුණ හොවා ගත්තීය.
*************************************************
හරි දැන් තමයි කතන්දරේට එන්නෙ...ෂරී?....සිත්තමී මේ දවස්වල ලියාගෙන යනව තවත් අපූරු කතන්දරයක්. අපරාදෙ කියන්ට බෑ අර මම ලියන කතන්දර වගේ එහෙම නම් නෙවෙයි. හෙහ්...මයෙ කතන්දරවල කොස් කපන්ට ඉඳගන්න ගෑණු ළමයි අඩුමගානෙ මාස හයක්වත් එක දිගට කොස් කපනව. එතනිං ගිහාම නිල් කට්රොල් මල් වලට වතුර දාන ළමයිත් එහෙම්මම තමයි.