"ක්‍රිෂ්...මම අහගෙන ඉන්නෙ... දැන් කරුණාකරල පටන් ගන්න….."
ගුරුජී අනුකම්පා විරහිත එහෙත් එහෙත් ඉතාම සෞම්‍ය ස්වරයකින් එහෙම කිව්ව.
ඉතින්...ඉතින්....ඉතින්...මම මගේ කතාව කියන්න පටන් ගත්තා……
ඔන්න එහෙනම් සහෘදයිනි...මේ තමයි මගේ අතීත කතාව....
වසර තුනකට පෙර…
ඒ අමිහිරි දවසෙ තාත්ත ගෙදර ආවෙ මහ රෑ දොළහත් පහුවෙලා. වෙලාව ගැන මට සහතික කරල කියන්න පුලුවන් කෑම කාමරේ බිත්ති ඔරලෝසුවෙ රෑ දොළහ වදිනව මම ගණං කරපු හින්ද. මම එහෙම ඔරලෝසුවෙ වෙලාව වදිනව ගණං කලේ මට වෙන කරන්න දෙයක් නැති හින්ද.
මම හිටියෙ සාලෙ සෝපාව උඩ වාඩිවෙලා හිස පහත් කරගෙන. දෑතින්ම හිස බදාගෙන. මගෙ ඔලුව පුපුරන්න තරම් කැක්කුමක් ඒ වෙලාවෙ තිබ්බ. ඒ ඔලුව කැක්කුව විඳ දරාගෙන මම හිටියෙ තාත්ත හම්බවෙලා කතා කරන්න. තාත්ත ගෙදර එන වෙලාවක් හරියටම කියන්න මමවත් අම්මවත් දැනගෙන නොහිටිය හින්ද කීය වෙනකල් හරි සාලෙ ඉඳගෙන ඔහු එනකල් ඉන්න මට සිද්ද වෙලා තිබුන.
මෙහෙම ඉන්න එකෙන් කිසිම ප්‍රයෝජනයක් වෙන්නෙ නැතිය කියල මට සීයට අනූනමයයි දසම නමයයි නමයක්ම සහතික උනාට අර අන්තිම සීයට දසම බින්දුවයි එක ගැන පුංචිම හරි බලාපොරොත්තුවක් හිතේ කොණක හංගගෙන මම තාත්ත එනකල් බලා හිටිය. ඇත්තම කිව්වොත් මට තාත්තගෙ පිහිට ඇර මේ වෙලාවෙ වෙන කිසිම සරණක් නෑ. ඒ හින්ද තාත්තගෙයි මගෙයි අතර සම්බන්දෙ වෙනත් සාමාන්‍ය පිය - පුතු සම්බන්දෙකින් කොච්චර දුරස් උනත් මට වෙන කිසිම විකල්පයක් තිබ්බෙ නෑ තාත්තගෙ පිහිට ඉල්ලා හිටිනව ඇරෙන්න.
ඉස්සරහ දොර ඇරල ඇතුලට ඇවිල්ල තාත්ත සාලෙට ඇතුලුවෙන තැන තිබ්බ පුටුවෙ වාඩි වුනේ සපත්තු ගලවන්ට. තාත්ත කවදාවත් සපත්තු දාගෙන ගේ ඇතුලට ආවෙ නෑ. ඒ එයාගෙ හමුදා විනය. තාත්තගෙ හමුදා විනය ඉතාම දැඩිලෙස පෞදගලික ජීවිතයටත් ඈඳන්ට ගිහිල්ල ඔහු අම්මගෙයි මගෙයි ජීවිත ඉතාම අමිහිරි කරල නේද තියෙන්නෙ කියල මට හිතෙන්න ගත්තෙ යම්තමට දැනුම් තේරුම් වෙන්ට ගත්තු කාලෙදිමයි.
"තාත්තෙ...." සපත්තු ගලවල තාත්ත සාලෙට ඇතුල්වෙනකොටම මම හෙමිහිට කතා කලා.
"කවුද?..." තාත්ත මා දිහාට හැරුන....."ආ මේ මගේ පුතණ්ඩියනෙ…." ඔහු එහෙම කිව්වෙ සෝපාහාසාත්කම ස්වරයකින්...."මොකද මේ කවදාවත් නැතුව?"
ඊට පස්සෙ ඔහු මගේ කේශාන්තයේ ඉඳල පාදාන්තය දක්වා දෙතුන් පාරක් බැලුවෙ හරියට හමුදාවෙ පෙරෙට්ටුවකදි ඔහු ඉස්සරහ සීරුවෙන් හිටගෙන ඉන්න සොල්දාදුවෙක් පරීක්ෂා කරන අන්දමට.
"මොනවද අයිසෙ ඔය ඇඳගෙන ඉන්නෙ? ඔහොමද තමුන් ගෙදර ඉන්නකොට අඳින්නෙ?"
මම පුදුමයට පත්වෙලා කෝකටත් කියල ඔලුව නවල ආයම පරීක්ෂා කලා මොනවද මම ඇඳගෙන ඉන්නෙ කියල.......හරි අවුලක් නෑ මගෙ දුඹුරු පාට කොට කළිසමයි සුදු පාට ටී ෂර්ට් එකයි. තාත්ත කතා කරපු විදිහට මට හිතුනෙ මට කොට කළිසම අඳින්ට අමතක වෙලා දෝ වත්ද කියලයි.
"ඇයි?.... මම රෑට අඳින්නෙ මෙහෙම තමයි" මම කිව්ව..
"මම අහන්නෙ තමුන්ට නැද්ද ඔය කොට කළිසමයි ටී ෂර්ට් එකයි ඇරෙන්න වෙන සිලාචාර රෑ ඇඳුමක්..මම මේ කිව්වෙ පිජාමා සූට් එකක් වගෙ..අන්න එව්වනෙ රෑ ඇඳුම් කියන්නෙ…"
කෙහෙම්මල් පිජාමා...මම මේ ඔලුව ගිණි අරං ඉන්නව. මෙයා එනව මෙතන පිජාමාවක් ගැන කියන්ට. මම හිතෙන් එහෙම කිව්ව. හිතෙන් එහෙම කියල කටින් මෙහෙම කිව්ව.
"තාත්තෙ මම මේ තාත්ත එනකල් බලාගෙන හිටියෙ මම රෑට අඳින ඇඳුම් ගැන කතා කරන්ට නෙවෙයි."
"ඔව්...මට හිතුන කවදාවත් නැතුව මම එනකල් මග බලා ඉන්නකොට. ඉතිං එහෙනං කියමු බලන්ට කාරණාව..."
"මම ගෑණු ළමයෙකුට ආදරේ කරනව…"
"හහ්..එහෙනං තමුං විස්ව විද්‍යාලෙටද කොහෙද ගිහිල්ල ඉහළට ඉගෙන ගන්නවයි කියල තමුන්ගෙ අම්ම මහ ලොකුවට පුරාජේරු කියෙව්වට මට පේන්නෙ තමුන් එතන ගිහිල්ල කරන්නෙ ඉගෙන ගන්න එකම විතරක් නෙවෙයි වගෙ.."
තාත්තගෙ කට කොහොමත් එහෙමයි. හමුදාවෙ ආචාර ධර්ම වලින් එයාට පිහිටල නැත්තෙ ඔන්න ඕක විතරයි. ඒ කිව්වෙ අවශ්‍යදේ විතරක් කතා කරන එක. තාත්ත කතාකරන්න ගියාම ඕන එකයි එපා එකයි ඔක්කොම කියවනව.
"තාත්තෙ මේ නිකං බොරුවට අනම් මනම් කියවන්නෙ නැතුව මම කියනදේ පොඩ්ඩක් අහන්නකො. ඒ ගෑණු ළමය හරිම හොඳ කෙනෙක්. එයාගෙ තාත්ත අපිට අයි.අයි.ටී. එකේදි උගන්වපු ප්‍රොෆෙසර් කෙනෙක්…"
"ආ...ඔය කියන්නෙ..තමුන් එහෙනම් ඕක තමයි අයි.අයි.ටී. යනවයි අයි.අයි.ටී. යනවයි කියල ගිහිල්ල කරල තියෙන්නෙ…"
"මේ...නිකම් පිස්සු කියවන්ට එපා තාත්තෙ. මොකක්ද ඒ කතාවෙ තේරුම? මම අයි.අයි.ටී. එකට ගිහිල්ල ජීවිතේ නාස්ති කරගත්තෙ නැහැනෙ. මම එහෙං උපාධියක් ගත්ත. මට දැන් රස්සාවක් තියනව. මම තව මාස දෙකකින් නැත්නම් තුනකින් එම්.බී.ඒ. එකක් කරන්න රෙජිස්ටර් වෙනව. ඉතිං මොකක්ද ප්‍රශ්ණෙ?"
"නෑ නෑ. මට කිසිම ප්‍රශ්ණයක් නෑ. දැන් මම නෙවෙයිනෙ කතා කරන්න තියනවයි කිව්වෙ. තමුන් තමයි කිව්වෙ කතා කරන්න ඕන කියල. ඒ හින්ද කියමු බලන්න මොකක්ද තමුන්ගෙ ප්‍රශ්ණෙ කියල."
තාත්ත එහෙම කියල මා ඉස්සරහ තිබ්බ හාන්සි පුටුවෙ ඉඳගත්ත. ඉඳගෙන එක පාරක් ඔලුව උස්සල මා දිහා බලල ආයම බිම බලාගත්ත.
"ගෑණු ළමයගෙ තාත්ත ඒ කිව්වෙ අර ප්‍රොෆෙසර් ලෑස්ති වෙන්නෙ ඒ ළමයව පිටරට එක්ක යන්න. එහෙ ගිහිල්ල කාටහරි බන්දල දෙන්න…"
"ආ..ඒ කියන්නෙ ගෑණු ළමයගෙ තාත්ත තමුන්ට කැමති නෑ? "
"නෑ…."
"ඇයි ඒ කැමති නැත්තෙ? "
"අපිට එයා එක්ක පොඩි පොඩි ප්‍රශ්ණ වගයක් තිබ්බ."
"අපිට කිව්වෙ?"
"අපිට කිව්වෙ මටයි මගෙ කිට්ටුම යාලුවො හතර පස් දෙනෙකුටයි.."
"මොනවද ඔය තමුන් කියන පොඩි පොඩි ප්‍රශ්ණ? "
"මේ..විනය සම්බන්ධ ප්‍රශ්ණ වගයක්…"
"විනය සම්බන්ධ ප්‍රශ්ණ වගයක්?...විනය සම්බන්ධ ප්‍රශ්ණ වගයක්?... හුහ්..අපූරුයි... කොහොමද ඒක කිව්ව ලස්සන...මම ඇවිල්ලා අවුරුදු තිහකට වැඩි සර්විස් එකක් තියන යුද හමුදා නිලධාරියෙක්..මගේ එකම පුතා විශ්ව විද්‍යාලෙ විනය විරෝධී වැඩ කරනව. බොහොම අපූරුයි මම මෙච්චර අමාරුවෙන් මෙච්චර කැපකීරිමක් කරල ගොඩ නඟා ගත්තු මගේ කීර්තිනාමය තමුන් එක දවසින්...."
දිගටම කතා කරල තාත්තට කැස්සක් වගෙ ආව හින්ද එයා කතාව පොඩ්ඩකට නැවැත්තුව. මම ඒ අවස්තාවෙන් වහා ප්‍රයෝජන ගත්ත.
"තාත්තෙ..ඒ ඔක්කොම ඉවරයි. ඔව්ව ඔය සෑහෙන කාලෙකට කලින් උන එව්ව. එව්ව දැන් ඉවරයි.."
"ඉවර වෙලා නෑනෙ..ඉවර වෙලා නෑනෙ...තමුන්ට එව්ව ඉවර උනාට මට පේන විදිහට අර ප්‍රොෆෙසර්ට එව්ව ඉවර වෙලා නෑ වගේ. ඒකනෙ එයා තාම ඒ පස්සෙම පන්නන්නෙ....හරි බොරුද මම කියන්නෙ?"
"ඔව්..ඔව්...ඒකම තමයි මෙතන තියෙන ප්‍රශ්ණෙ.."
"හරි…. තමුන්ගෙ අම්ම දන්නවද මේ ගැන?"
"ඔව් මම අම්මට කිව්ව."
"ඉතිං ඇයි ඒ මනුස්සය මට මෙව්ව ගැන කලින් කිව්වෙ නැත්තෙ?..... කවිතා......." තාත්ත මූණත් රතුකරගෙන බෙරිහන් දුන්න.
තාත්තගෙ රැලි වැටුනු සුදු පාට කොණ්ඩ රැල් කීපයක් ඇස් ඉස්සරහට වැටුන. තාත්ත නොඉවසිල්ලෙන් ඒ කොණ්ඩ රැල් අතින් පස්සට කරගත්ත.
මේ වෙනකල් අම්ම කාමරේ නිදාගෙන හිටියෙ. තාත්ත බෙරිහන්දෙන සද්දෙට ඇහැරිල ඈ එක අතකින් දෑස් පිසදමමින් එලියට ආව.....
"මොකද වෙලා තියෙන්නෙ? ඇයි මේ කෑගහන්නෙ?" අම්ම තාත්තයි මායි දිහා මාරුවෙන් මාරුවට බලමින් ඇහැව්ව.
"ඇයි මෙයා මේ යාලු වෙලා ඉන්න ගෑණු ළමය ගැන මට කලින් කිව්වෙ නැත්තෙ?" තාත්ත මා දිහාට ඇඟිල්ලක් දික්කරල ආයම බෙරිහන් දුන්න.
"පුතා මට ඒ ගැන කියල ඒ හැටි කාලයක් නෑ ...මේ සතියක් නැත්නම් දෙකක් වගෙ ඇති උපරිම…" අම්ම කිව්ව.
"හරි සතියයි දෙකයි කියමුකො..ඒත් උඹ මගෙන් ඒක වසං කලා...උඹ මහ බැල්ලියක්…"
"තාත්තෙ මේ මම එකක් කියන්නං අම්මට එහෙම කතා කරන්න එපා.."
මමත් තාත්තට කෑගැහුව. මම තව දෙක තුනක් කියනව. ඒත් අද මට මේ මනුස්සයගෙ උදව් ඕන කරල තියන දවස.. ඒ හින්ද මම බොහොම අමාරුවෙන් මගෙ කේන්තිය පාලනය කරගත්ත.
අම්ම එතන තිබ්බ වේවැල් පුටුවෙ වාඩිවෙලා අත්දෙකෙන් මූණ වහගෙන අඬන්න ගත්ත. මට පේන විදිහට නම් වැඩේ එන්න එන්නම නරක අතට යන සයිස් එකක් තියෙන්නෙ. තවත් තත්වය දරුණු වෙන්න ඉස්සෙල්ල මම කල්පනා කලා කෙලින්ම මගෙ ඉල්ලීම ඉදිරිපත් කලානම් හොඳයි කියල.
"තාත්තෙ කරුණාකරල සන්සුන්වෙලා මම කියන දේ අහන්නකො. තාත්තට බැරිද මම වෙනුවෙන් ගිහිල්ල ඒ ප්‍රොෆෙසර්ව මුන ගැහිල මේ ගැන කතා කරන්න. තාත්ත ගිහිල්ල කතා කලොත් සමහරවිට ප්‍රොෆෙසර් එයාගෙ තීරණය ගැන ආයෙම පාරක් කල්පනා කරයි කියල මට හිතෙනව.."
"ඇයි ඒ මනුස්සය එහෙම කරන්නෙ?"
"ප්‍රොෆෙසර්ගෙ තාත්තත් හිටපු හමුදා නිලධාරියෙක්. ඒ හින්ද ප්‍රොෆෙසර් හමුදා නිලධාරීන්ට බොහොම ගෞරව කරනව.ඒ හින්දයි මම කිව්වෙ තාත්ත ගිහිල්ල එයාව හම්බ වෙලා කතා කලොත්…"
"හරි ඒකත් එහෙමයි කියමුකො.. ඊලඟට ඇයි මම යන්නෙ ඒ මනුස්සය හම්බවෙන්න? "
"තාත්තට යන්න කියල මම කියන්නෙ මම ඒ ළමයට ආදරේ හින්ද. ඒ ළමය පිටරටකට ගිහිල්ල වෙන කෙනෙක් බඳින කල් බලා ඉන්න මට බැරි හින්ද.."
"තමුන් ඔය ආදරේ කියල හිතාගෙන හිටියට ඔය ආදරේ නෙවෙයි. ඕක මේ නිකං ඔය වයසට ඇතිවෙන…"
මෙච්චර වෙලා වේවැල් පුටුවෙ වාඩිවෙලා අත්දෙකෙන් මූණ වහගෙන හිටපු අම්ම මේ වෙලාවෙ අත්දෙක අහකට අරගෙන ඔලුව උස්සල කතා කලා. ඇගේ දෑස් කඳුලින් පිරිල තිබ්බ.
"ඔන්න ඔය කිසිම වැඩකට නැති කතාව අත ඇරල දාන්න ක්‍රිෂ්..මම කලින්ම කිව්වනෙ...මේ මනුස්සය ඔයා කියන කිසිම දෙයක් ගාණකටවත් ගන්නෙ නෑ. දැක්කනෙ මට කතා කරපු විදිහ. ඔයා දන්නෙ නෑ පුතා ඔයා හොස්ටල් එකේ ඉන්දැද්දි මම මොන තරම් දුකක් වින්දද කියල…"
තාත්ත ඉඳගෙන හිටපු පුටුවෙන් නැඟිටල අම්ම ඉන්න දිහාට අඩියක් දෙකක් ගියා ගහන්ට වගෙ දකුණු අතත් මිටි ගුලිකරගෙන. තාත්ත යකා වගෙ එනව දැකල අම්ම පුටුවෙන් නැඟිටල අත්දෙකෙන් මූණ වහගත්ත. මට තවත් ඉවසන් ඉන්න පුලුවන් උනේ නෑ. මම නැඟිටල අම්මව පස්සට කරල ඈ ඉස්සරහින් හිටගත්ත.
"අත තියන්න එපා අම්මට…" මම දබරැඟිල්ල උරුක් කරල තාත්තට කිව්ව.
"උඹ කවුද මිනිහො මට එහෙම කියන්න?" තාත්ත එහෙම කෑගහන අතරෙ මගෙ දකුණු කම්මුලට වැරෙන් පාරක් ගැහැව්ව.
මම එතන තිබ්බ කෑමමේස පුටුවක ඉඳගත්ත. ඉඳගත්ත නෙවෙයි හරියටම කිව්වොත් ඉන්දවුනා.
"කරුණාකරල අපිට අපේ පාඩුවෙ ඉන්ට දීල ඔයා යන්න. අපිට ඔයාගෙන් කීයක්වත් එපා. අපිට නිදහසේ ඉන්ට දීල යන්න එච්චරයි මම ඔයාගෙන් ඉල්ලන්නෙ…." අම්ම අඬ අඬා දෑත් එකතු කරල තාත්තට වැන්දා.
අබේවර්ධන බාලසූරිය ගයන "පියාණනී මා නැවත උපන්නොත්..." ගීතයට ඔබට පහත වීඩියෝවෙන් සවන්දිය හැක.






