 |
| "No one in this world can love a girl more than her father" |
අවුරුදු දෙහෙකට වගෙ ඉස්සර මම ලිව්ව ඩවුන් සින්ඩ්‍රෝමය නොහොත් ඩවුන් සහලක්ෂණය ගැන වියුණු සටහනක්.
මගෙ පිලිපීන ජාතික මිතුරෙකුගෙ කුඩා දියණිය එම රෝගයෙන් පෙළෙන්නියක වීම තමයි ඒ වියුණු සටහනට නිමිත්ත වුනේ. ඒ එක්කම ඩවුන් සහලක්ෂණය ගැන ලියවුනු අමරසිරි පීරිස් ගයන ගීතයක් ගැනත් මම ලිව්ව.
මගෙ මිතුරගෙ නම එමර්සන්. ඒ කිට්ටුවම වගෙ මම වෙන ආයතනයක රැකියාවකට ආව නිසා ස්වභාවිකවම සිදුවිය යුතු ලෙස එමර්සන් සහ මම අතර සබඳකම් දුරස්වුනා.
ඒ තමයි ලෝකෙ හැටි. ජීවිත ගමනෙදි අපට දහස් සංඛ්‍යාත මිනිසුන් සහ ගැහැණුන් හමුවෙනව. ඒ අතරින් බොහොම සුළු ප්‍රතිශතයක් එක්ක පමණයි අපි තවත් දුරටත් සම්බන්ධතා පවත්වගන්නෙ. බහුතර ප්‍රතිශතයක් එක්ක සබඳතා ළඟින් ආශ්‍රය කරපු කාලෙට සීමා වෙනව.
“Some people come into our lives and quickly go. Some stay for a while, leave footprints on our hearts, and we are never, ever the same.” ― Flavia Weedn
මේ දවස් තුන හතරකට වගෙ ඉස්සරවෙලා සුපර් මාකට් එකක බඩු ගන්ට ගිහිල්ල ඉද්දි මට හම්බවුනා එමර්සන්ගෙත් මගෙත් යාලුවෙක් වුනු ඉන්දියානුවෙක්. නම ජයචන්ද්‍රන්. කාලෙකට පස්සෙනෙ හම්බවුනේ. අපි දෙන්න ලහි ලහියෙ බඩු ගන්න අනික් පරිභෝගිකයින්ට ඉඩ දීල පොඩ්ඩක් පැත්තකට වෙලා සතුටු සාමීචි කතා බහක නියැලුනා. කතාව අපේ පරණ පොදු (Mutual) යාලුවන් කෙරෙහි යොමුවුනා. මම එමර්සන් ගැන ඇහුව.
"Jaya what about Emerson? Do you two still work for the same company?"
"It's a really sad story Ravi…."
"What happened?"
"Emerson had a little daughter & I don't know if you are aware that…………"
"Yeah, I know she had down syndrome..Emerson once invited me for a Christmas lunch. I met his daughter there... Melody was her name.. A really sweet little girl…"
"Oh..then you know that he adored her…"
"Yes I remember him hugging her and calling her my little angel…"
"Yes, she died about six months back…"
"Oh no…"
"And Emerson resigned from the job and went back to Philippines with his wife and the son…"
"Oh I am really sorry to hear that…"
"Me too…you know Emerson was devastated….She was the whole world to him…"
තමන් එතරම් ආදරය කල දියණියගේ වියෝව පිළිබඳව එමර්සන්ට දැනුනු අන්දම ගැන කවියක් දෙකක් ලියන්ට ඕන කියල මම හිතාගත්තෙ එදා ආපහු එනකොටමයි.
මුදු ගැහුනු කෙස් කැරලි එකින් එක අතගගා,
සෙමින් සිපගතිමි මුව කිරිසුවඳ වෑහෙනා,
දුවේ හාපුරා කියා නුඹේ වත දුටු එදා,
මතකයක් තවත් නැත එලෙස සිත සුවදෙනා,
ස්නේහයේ අසනි වැසි හද තෙමා ඇද වැටුනු,
දිනක මතකයක් ඇත මගෙ නෙතට කඳුළු ඉනු,
මියෙන දා අවසාන සුසුම නික්මෙනා තුරු,
නුඹේ මුදු සිනහ බිඳ නැඟේ මසිතට සොඳුරු,
ජීවිතය විඳින්නට කියා දුන්නේ නුඹය,
සිත තවන වේදනා මකා හැරියෙත් නුඹය,
තාත්තේ කියා හදදොරින් එබෙනා සඳය,
මගෙ දුවේ නුඹේ මදහසත් කිරුළක්සේය,
නුඹ අකල් වැස්සක්ය මදිවි කතරට පතිත,
නෙතඟ රස අඳුනක්ය සිතෙහි ගිණි නිවාලන,
විහඟ ගීතයක්මය සවන් සනහා ගැයෙන,
සෙනෙහෙබර කවියක්ය සදා මුවගෙහි රැඳෙන,
**********************************
ඒ එක්කම අපූරු අහඹු සිද්ධියකුත් වුනා. පියකුගේ මරණය දියණියකට දැනෙන අන්දම ගැන ලියවුණු අපූරු කවි පෙළක් මම වත් පොතේ දැක්ක.
මේ අපූරු කවි පෙළ මම ඇත්තටම මීට කලිනුත් කියවලයි තිබුනෙ. මේ පාර පළකරල තිබ්බෙ ශානිකා ශෂිප්‍රියාගෙ වෝල් එකේ....
මේ පියා සහ දියණිය සාමාන්‍ය පියෙක් සහ දියණියක් එහෙම නෙවෙයි. අපේ ජාතියේ ආදිතමයා හැටියට ජනකතාවල කියවෙන සිංහයා සහ ඔහුගේ දියණිය සිංහ සීවලී. කවි පෙල ලියල තියෙන්නෙ ඉසුරි උදානි කරුණාතිලක......
සිංහයාගේ දියණිය
------------------------------
තාත්තේ මම සිංහ සීවලී වුණා නම්
ගල් ලෙනෙන් යන්නැතුව ඉන්නවා,
කවුළුවෙන් එබී ගෙන තාත්තා එනතුරා
හැමදාම හවස්වරු ගෙවනවා.
නින්ද එනකම් රෑට ඔබේ උරහිස් තලේ
හිස හොවා කතන්දර අහනවා,
මහා භයානක සද්ද කැලෑවෙන් ඇහෙනකොට
අත් පසුරෙ ගුලි වෙලා නිදනවා.
අයිය ලෙන් දොර ඇරන් යන්න යමු කීවාම
බෑ කියා මම ලෙනේ ඉන්නවා,
නියං දුර්භික්ෂ මැද අපේ හාමත නිවා
බඩගින්නෙ හිටපු හැටි මැවෙනවා.
නුවර මං පෙත් වැසූ ලෙන් දොරට ඇතුලතින්
මට මහා නිදහසක් දැනෙනවා,
නුවරු මුව පුරවගත් චාටු වදනට වඩා
මට ඔබේ ගර්ජනා වටිනවා.
වීදිවල සරද්දී සිංහ බා සොයාගෙන,
තාත්තාගෙ පස්සෙන්ම දුවනවා,
අයිය දුණු දිය ඇදන් ඊතලේ ගන්නකොට,
පළිහක්ව මැදින් හිට ගන්නවා.
තාත්තේ මම සිංහ සීවලී වුණා නම්,
නාටකේ අග වෙනස් කරනවා,
තාත්තට මියෙන්නට නොදී එසැණින් ඇවිත්
ඊ හිසට පපුව පා මැරෙනවා.
සිංහබා බලද්දී වැටුණු කඳුලක දෙකක
තාත්තේ මං ඔබව සොයනවා,
එදාටත් වඩා අද ඔබෙ උරිස්සේ සුවය
නැති අඩුව මට තදින් දැනෙනවා.
- ඉසුරි උදානි කරුණාතිලක -