Showing posts with label කවිකාරියකගේ ප්‍රේමය. Show all posts
Showing posts with label කවිකාරියකගේ ප්‍රේමය. Show all posts

Monday, December 23, 2013

236. කවිකාරියකගේ ප්‍රේමය…..22


Cesar Legaspi - Untitled - Oil - 1979

අනෝමලා හිටපු ක්වාටර්ස් එකට හැරෙන තැනදි අපි නැවතුනා. 

" එහෙනං බං සුජා හම්බ උනයින් පස්සෙ මට විස්තරේ කියපං...ඒත් උඹ කැමතිනම් විතරයි…"

" අපෝ එහෙම ප්‍රශ්නයක් නෑ..මම කියන්නං..ඒත් මම හිතන්නෙ නෑ මගෙ තීරණය වෙනස් වෙයි කියල. උඹට දැම්මම ඕනිනම් කියන්නං.." 

" එපා..එපා..හිතක් කියන එක වෙනස් වෙන්ට මහවෙලාවක් යන්නෙ නෑ.මට වැඩේ ඉවර වෙලාම කියාපංකො.." 

" ඕකේ මැඩම් විල් ඩූ සෝ….."


මම එහෙම කියල අපෙ ක්වාටර්ස් පැත්තට හැරුන. අඩි හත අටක් ගිහිල්ල මම නැවතිල ආපහු හැරුන.

" මේ ඒයි......."

අනෝමත් නැවතිල ආපහු හැරුන

" යස් සර්? "

" තෑන්ක්ස් සෝ මච් ෆො ඕල්.."

" දැට් වෝස් අ ප්ලෙෂර්, ඩෝන්ට් මෙන්ෂන් …"
අනෝම හිනාවෙලා ආපහු හැරුන.

ඊළඟ සතියෙ බ්‍රහස්පතින්ද නිවාඩුවක් වැටිල තිබ්බ. පෝයක්. මගෙ යාලුවෙක් හිටිය කුරුණෑගල යග්ගපිටියෙ. කලින් මා එක්කම වැඩ කරල අවුරුද්දකට දෙහෙකට වගෙ උඩදි දඹුල්ල කිට්ටුව අපෙ ප්‍රොජෙක්ට් එහෙකට මාරුවෙලා ගියා. අසේල නම. ඔය යග්ගපිටියෙ කට්ටි කඩපු ඉඩමකින් පර්චස් 20 අරගෙන ලෝන් එකක් දාල ගෙයක් හදාගත්ත. යග්ගපිටිය තියෙන්නෙ කුරුණෑගල - දඹුල්ල පාරෙ බඩගමුව වන රක්ෂිතය කිට්ටුවම. මම අසේලට ගත්ත කෝල් එකක් උගෙ ඔෆිස් එකට.

" මචං මේ පෝය දවසෙ උඹ ගෙදර ඉන්නවද?..."

" ම්ම්..වැඩ නම් නෑ. ඒත් ගෙදර උන්දැ මොන මොනව දාගෙන ඉන්නවද මන්ද..ඒකෙන් කමක් නෑ..මොකක්ද උඹට කෙරෙන්න ඕන.."

" උඹෙ බයික් එක ඕන මට එදාට. වැඩි දුරකට නෙවෙයි මචං මේ වැව රවුමට යන්ට. උඹට වැඩක් මොකක් හරිනම් මාව ගිහින් දාපං, ඒත් ඇති."


ඒ දවස්වල ගහක් ගලක් ගානෙ ත්‍රී වීලර්ස් තිබ්බෙ නෑ.

" හරි හරි ඒක මොනවහරි කරගන්ට බැරිය .උඹ කීයටද එන්නෙ? "

"' ම්ම්..දහයට වගෙ. "

" හරි මම උඹට වයිෆ්ස්ගෙනුත් අහල බලල පණිවිඩේ දෙන්නම්. උඹලගෙ ඔෆිස් එකට දැන් ටෙලිෆෝන් තියනව නේද? " 

" ඔව් බං…. ගත්තනෙ ටෙලිෆෝන්..අනෝම උඹ දන්නවනෙ. පණිවිඩේ කියපං මට කියන්ට කියල. "

සුජාතගෙ හොඳම යාලුව හිටියෙ කුරුණෑගල වැව රවුමෙ. එහෙට මට එන්නෙයි කියල කිව්ව පෝය දවසෙ උදේ.

බදාද හවස ගෙදර ගිහිල්ල 
පහුවෙනිද නවය වෙනකොට මම ගියා අසේලයගෙ ගෙදර. .

" බයික් එක අරං පළයං බං අවුලක් නෑ.  පහ වගෙ වෙනකොට උඹ එනවනෙ. හවස පන්සල් පැත්තෙ ගිහිල්ල එන්ටවත් එපාය. " තේකක් එහෙම බිව්වට පස්සෙ අසේල කිව්ව

" අපොයි එච්චර වෙලා යන්නෙ නෑ බං මම අද ගෙදර යන්ටත් එපාය. "

" පිස්සුද? හෙට උඹ කොහොමත් නිවාඩුනෙ ..කොච්චර කාලෙකින්ද හම්බ උනේ..අද ඉඳල පල…"

" හරි ඒක මොක හරි බැරිය....එහෙනම් මම ගියා …"
අසේලගෙ තිබ්බෙ හොන්ඩා සී. එම්. කස්ටම් බයික් එකක්. ආන්න බයික්.

වැව රවුමෙ දිය දහරා හෝටලේ යාළුවන්ගෙ නෑදෑයන්ගෙ මඟුල් දෙක තුනකට ඒ වෙනකොට මම ගිහිල්ල තිබුණ. ඒ හැම දාකම ඔය වැවේ වතුර තිබුනෙ මැද්දෑවට වෙන්ට බොහෝමත්ම පොඩිත්තයි. අදත් ඒකෙ වෙනසක් නෑ. ඒ දවස්වල හෙල්මට් දාන එක තහනම් කරපු එක ඔළු ගෙඩියෙ ආරක්සාව සම්බන්දව කොහොම වෙතත් ඉහිං කණිං දාඩිය දාන එක වලක්වා ගැනීම සම්බන්දයෙන් නම් නම් ලොකු උදව්වක් උනා. ඉස්සෙල්ල මුහුණු ආවරණ තහනම් කරල විජය ඝාතනයෙන් පස්සෙ ඒ වෙනකොට හෙල්මට්ස් සම්පූර්ණයෙන්ම තහනම් කරලයි තිවුනෙ.

වැව් කණ්ඩියෙ වංගුවත් එක්කම වම් පැත්තෙ පාරෙන් පල්ලෙහ බාගෙට කපරාරු කරපු පොඩි ගෙයක් කියලයි සුජා මට කිව්වෙ. ඉස්සරහ අරලිය ගහකුත් තියේය කිව්ව. හරි..ඔය තියෙන්නෙ...මේක වෙන්න ඕන...අරලිය ගහකුත් ඔය තියෙන්නෙ. රතු අරලිය පොකුරු දෙකකුත් පිපිල.

මිදුල මැදම අඹගහක් තිබුන. වටේට කළුගල් පෙලක් අල්ලල. මැද පස් පුරවල ඩුබායි රෝස වවල. රෝස සහ සුදුපාට මල් පිපිල.බයික් එක මම අඹ ගහ හෙවණෙ නවත්තල බැස්ස. එත්කොටම සුජාතා ගේ ඇතුලෙ ඉඳල ඉස්තෝප්පුවට ආව. සුදු බ්ලව්ස් එහෙකුයි නිල්පාට කලිසමකුයි ඇඳල.

" එන්න ..එන්න.." සුජාතා හිනාවුනා.

ඉස්තෝප්පුව වට කරල බැඳල තිබ්බෙ අඩි තුනක් වගෙ උස මිටි බිත්තියක්. ඇතුල් වෙන්ට තිබ්බෙ දෙපැත්තට ඇරෙන යකඩ ගේට්ටුවකින්. මම වහල තිබ්බ ගේට්ටුව ලඟ නතර වෙලා වටපිට බැලුව. 

" මොකද? ඇතුලට එන්නෙ නැද්ද? " 

සුජාතා ආයෙම ඇහුව අතේ තිබ්බ තුවායක් වගෙ මොකක්ද මිටි බිත්ති කණ්ඩිය උඩ තියන අතරෙ.

" කෝ ගෙදර වෙන කවුරුවත් නැද්ද? " 

ගේට්ටු පොඩ්ඩ ඇරල ගල් පඩි දෙක නැඟල ඉස්තෝප්පුවට ගොඩ උනෙ මම හිනාවෙලා එහෙම අහගෙන.

" වෙන කවුරුවත් මොකටද මම හිටියම මදිද?..." සුජාතා හිනාඋනේ ඇස් දෙකෙන්.

" මානෙල්, මගෙ යාලුවයි….. එයාගෙ මහත්තයයි ගියා එයාලගෙ මහ ගෙදර ගිහිල්ල එන්න. මේ කිට්ටුව ..ගැට්ටුවානෙ....දවල්ට කාල එහෙම එයි...මොනවද බොන්නෙ?....තේ හොඳයි නේද? "

" හොඳයි හොඳයි……"

" හොඳ නැති උනත් ඉතිං වෙන කරන්න දෙයක් නෑ..තේ තමයි බොන්න වෙන්නෙ..මෙහෙ වෙන මොකවත් නෑ.හිහ්, හිහ්, " සුජාතා ආයෙම හිනාඋනා..

" වෙන ආය අහවල් දෙයක්ද?..." මම සුජාතගෙ මූණ බලල ආයෙම බිම බලාගත්ත.

" හිහ්, මම දන්නව... විජිත මට කිව්වනෙ…." සුජාතගෙ මූණෙ හිනාව මැකිල ගියා.

ඈත වැව මැද්දෑවෙ ඉතුරු වෙලා නලියන වතුර කඳට උදෑසන ඉර එළිය වැටිල දිළිසෙනව දිහාවෙ අපි දෙන්නම බලාහිටියෙ කියන්ට දෙයක් හිතාගන්ට බැරුව. ඒ කතාව එතනින් එහාට ගෙනියන්නෙ කොහොමද කියල මට හරියකට තේරුමක් තිබුනෙ නෑ. ඒත් අද මෙතනින් පිටත් වෙලා ආපහු යන්ට ඉස්සරවෙලා කොහොම හරි ඒ කතාව ඇදිල එනව විතරක් නෙවෙයි ඒකට උත්තරේකුත් හොයන්ට වෙනවයි කියල මම හොඳාකාරවම දැනගෙන හිටිය.

" ඉන්න මම තේ එකක් ගේන්නං …"

එකපාරටම එහෙම කියල නිශ්ශබ්දතාවය බිඳදාපු සුජාතා ගෙට ගියා. ඉස්තෝප්පුවෙ තිබ්බ වේවැල් පුටු දෙකක්. දකුණු පැත්තෙ බිත්ති කණ්ඩිය උඩ කණාටු වෙච්ච රෝස පැලයක් ඉන්දවපු මැටි පෝච්චියක්. එක වේවැල් පුටුවක් බිත්ති කණ්ඩිය අයිනටම ඇදල මම ඉඳගත්ත. ඒ එක්කම වැව පැත්තෙං හමාගෙන ආපු හුළඟෙ තිබ්බෙ සිසිලසක් නම් නෙවෙයි තවත් දාහය වැඩි කරන උණුහුමක්....කමිසෙ උඩ බොත්තං දෙක ගලවල බිත්ති කණ්ඩිය උඩ රෝස පැලේට පිටිපස්සෙන් තිබ්බ පත්තරේකිං මම මූණෙයි පපුවෙයි දාඩිය නිවාගන්න උත්සාහ කලා.

තේ එකක් බන්දේසියක තියාගෙන සුජාතා ආව." රස්නෙයි නේද? මේ ඇස්බැස්ටස් හින්ද තවත් රස්නෙ වැඩියි. රස්නෙං තේ බීල තවත්......."

" නෑ..මේ වෙලාවෙ තේ එකක් තමයි හොඳ...කූල් බිව්වම ඒ වෙලාවට පහසුවක් දැනුනට පස්සෙ ආයම දාඩිය දාන්ඩ ගන්නව තිබ්බටත් වැඩිය."

" හිහ්..ඔයා ඉතින් මොකෝ? ඕන එකකට උත්තරයක් තියනවනෙ…"
සුජාතා අනික් වේවැල් පුටුවෙ ඉඳගත්ත.

" ඉතිං ඒක හොඳ නැද්ද? තර්කානුකූල පැහැදිලි කිරීමක් ඕනම ප්‍රශ්නෙකට තියෙන්න ඕනමයි නේද?...." තේ උගුරක් බොන ගමන් මම කිව්වෙ සුජාතා දිහාවෙ බාගෙට හැරිල. ඒත් මම කිව්ව දේ නෑහුනා වාගෙ එයා ඈත වැව් පිටිය දිහාවෙ බලන් හිටිය.

තේ එක හෙමිහිට බීල ඉවර වෙනකලුත් සුජාත වචනයක්වත් කතාකලේ නෑ. මම දෙතුන් පාරක් හොරැහින් බැලුවත් ඈ ගල් පිළිමයක් වගෙ ඈත බලාගෙනම හිටිය. සුජාතා තේ එක ගෙනාපු බන්දේසිය තිබ්බෙ බිත්ති කණ්ඩිය උඩ. තේ බීපු කෝප්පෙ බන්දේසියෙ තියන්න මට නැඟිටල සුජාතා පහුකරගෙන යන්න උනා. ඒ යනගමනුත් මම හොරැහින් බැලුව. තාම අර හිටපු විදිහටම බර කල්පනාවක.

" ජීවිතේ හැම ප්‍රශ්නෙකටම තර්කානුකූල පිළිතුරු හොයන එක වැරදියි කියල ඔයාට හිතෙන්නෙ නැද්ද? "

සුජාතා එහෙම ඇහුවෙ මම හිස් කෝප්පෙ බන්දේසියෙ තියන කොටම. බන්දේසිය උඩ තියාපු කෝප්පෙ එහෙම්මම අල්ලගෙන මම එතනම ගල් ගැහුන. මොකක්ද කියන්නෙ කියල කල්පනා කරද්දි සුජාතා ආයෙමත් කතාකලා.

" මම කියන්නෙ හදවතට පපුවට ඉඩ දෙන්න ඕන, එහෙම ඉඩ දෙන්ඩ වෙන අවස්තාත් තියෙන්න පුලුවන්, එහෙම තියෙනව කියල ඔයාට හිතෙන්නෙ නැද්ද ....රවී????? "

මම ඈ දිහා බලල යාන්තමට තොල් මෑත් කරල හිනාඋනා. ඊට පස්සෙ ඈ ළඟින්ම ආපහු ගිහිල්ල 
කලින් මම ඉඳන් හිටපු වේවැල් පුටුවෙ ඉඳගත්ත. උත්තරයක් විදිහට කියන්නෙ මොනවද කියල මම කල්පනා කලේවත් නෑ. මොකද උත්තරයක් විදිහට කියන ඕනම දෙයකින් නොහිතූ පැත්තකට,  නැහැ හරියටම කියනවනම් මම උත්තර නැතුව අපහසුතාවයට පත්වන තැනකට කතාව යොමුවෙන්නට පුලුවන් කියල මම හොඳාකාරවම දැනගෙන හිටපු නිසා. 

මගෙන් උත්තරයක් නැතිකොට ඈ නැඟිටල මා දිහා ටික වෙලාවක් බලා ඉඳල බන්දේසියත් අරගෙන ගේ ඇතුලට ගියා.උණු තේ එකක් බිව්වට පස්සෙ පරිසරය එක්ක ශරීරයෙ තියෙන උෂ්ණත්ව සමතුලිතතාවය බිඳ වැටෙනව. ආයම අලුත් සමතුලිතතාවයකට පත්වෙන්ට ශරීරය කරන්නෙ දහදිය පිටකරන එක. දහදිය වාෂ්ප වෙන්නෙ ශරීරයෙන් උෂ්ණත්වය ලබාගෙන. ඒ අයුරෙනුයි නව සමතුලිතතාවයකට ශරීරය පත්වෙන්නෙ. ජීවිතේ වෙන ඕනෑම දේකදිත් අපි එහෙමනේද කියල මට ඒ එක්කම හිතුනා.සුපුරුදු සමතුලිතතාවය බිඳ වැටුනම ආයම මොන ක්‍රමයකින් හරි අලුත් 
සමතුලිතතාවයකට  ලඟාවෙන්ට නේද අපි හැමෝම උත්සාහ කරන්නෙ? 

සුජාතා ආයම ඇවිල්ල පුටුවෙ ඉඳගත්ත. ඈ වෙතින් නිකුත්වෙච්චි ජැස්මීන් විලවුන් සුවඳක් හෙමිහිට සුළඟත් එක ඇවිල්ල මගෙ පපුව පුරා පැතිරුනා. මෙච්චර වෙලා මට එහෙම සුවඳක් නොදැනුනෙ මොකද කියල මට හිතුන ඒ එක්කම.

" මම සති දෙහෙකට වගෙ ඉස්සර අපෙ ගෙවල් කිට්ටුව තියන ඉස්කෝලෙකට මාරුවක් හදාගෙන ගියා.." සුජාතා එක පාරටම කිව්ව.

" ආ..ඇත්තද?....ඒක හොඳයි...."

" ඇයි හොඳයි කිව්වෙ?..."
ඇගේ බැම හැකිළුනා..

" නෑ..මම මේ කිව්වෙ කොහොමත් ගෙවල් කිට්ටුවට යන එක හොඳයි කියලයි."

" විජිත දෙපාරක් ආව මාව මුණගැහෙන්ට…" යාන්තමට හමන හුළඟට හෙමිහිට හෙල්ලි හෙල්ලි තිබ්බ අඹගහේ කොළ නිසොල්මන් උනේ එක වංගියෙම.

" එයා කරපු වැරැද්ද පිළිගන්නවලු. මගෙන් ඇහුව මට අතීතය අමතක කරල අලුතෙන්ම පටන් ගන්න බැරිද කියල......"

මම කිසිවක් නොපවසා ඇගේ වත දෙස බලා සිටියෙමි.

" මම කිව්ව මට කියන්ට තියෙන්නෙ කලින් කියාපුදේම විතරයි. ඒ තීරණය තාමත් එහෙමමයි.අනික ඒ තීරණය ගන්නට හේතුවුනු කාරණා එකක්වත් කිසිම විදිහකින් වෙනස් වෙලාවත් ඒ සිද්ධවුනු දේ ගැන මගෙ ආකල්පය කිසිම විදිහකින් වෙනස් වෙලා නැති නිසාත් තිරණය වෙනස් කරන්ට හේතුවක් මට පේන්නෙ නෑ කියල. "

වැව දිහායිං හමාගෙන ආපු රත්වෙච්ච හුළඟ දාහය නිව්ව නෙවෙයි තවත් වැඩිකලා.මම ඉඳගෙන හිටපු කිට්ටුවම බිත්ති කණ්ඩිය උඩ තිබ්බ දෙකට නවපු පත්තරයක්. ඒක අරගෙන මම දාඩිය නිවාගන්න උත්සාහකලා.

" ඉන්න මම ෆෑන් එක අරං එන්නං. "

සුජාතා ගිහිල්ල ටේබල් ෆෑන් එකක් ගෙනැල්ල බිත්ති කණ්ඩිය උඩම තියල ක්‍රියාත්මක කලා. හීතල හුලං පාරෙ සනීපෙට මම එහෙම්ම ඇස් පියාගත්ත.

" එතකොට මිස්ට රවී ආයමත් පාරක් මම අහන්නම්....  මගෙ ඉල්ලීම ගැන මොකද ඔයා කියන්නෙ?...නෑ එහෙම නෙවෙයි අහන්න ඕන..මගෙ ඉල්ලීම ඔයා ප්‍රතික්ෂේප කලානෙ...වැඩේ කියන්නෙ මට ඒක හැම වෙලාවෙම අමතක වෙනව.හරි...ඒකට කමක් නෑ. ඒ ඔයාගෙ තීරණය...මම මෙහෙම අහන්නම්කො..මගෙ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න මොනවද හේතු?....වෙන කොයිම කෙනෙක්ගෙන් වත් මම මෙහෙම අහන එකක් නෑ. ඒත් මොන දෙයක්ද මන්ද මට ඔයාගෙන් ඒකට පැහැදිලි උත්තරයක් ඕනෙ. "

බිත්ති කණ්ඩියම උඩ තිබ්බ ෆෑන් එක එකපාරටම නැවතුනා. මොකක්ද සුජාතගෙ ප්‍රශ්නෙට දෙන උත්තරේ කියල කල්පනා කරමින් හිටිය මම ඔලුව හරවල ඒ දිහා බැලුව.

" ලයිට් ගිහිල්ල වගේ …" සුජාතා නැඟිටල ඉස්තෝප්පුවෙ ලයිට් එකේ ස්විච් එක දාල බලල කිව්ව.

" ඔයාගෙ ප්‍රශ්නෙට මම මෙහෙම උත්තරයක් දෙන්නද?.මේක වැල් වටාරමක් වගෙ ඔයාට පේන්ට පුළුවනි. ඒත් වෙන විදිහක් මට තේරෙන්නෙ නෑ. ජීවිතේ සමහර දේවල් තියනව මැඩම් අපිට හරියටම පැහැදිලි කරල දෙන්ට බැරි. දැන් දෙකයි දෙකයි එකතු කලාම හතරයි. එතන වෙන උත්තරයක් නෑ. ඒත් ජීවිතේ ප්‍රශ්න වලට එහෙම කෙලින්ම උත්තර නෑ බොහෝ වෙලාවට. ජීවිතේ අපි ගන්න තීරණ වලටත් හරියටම හේතු දෙන්නත් බැරිවෙන්න පුළුවන්. මම මේ කියන්නෙ තවත් කෙනෙකුට ඒත්තු යන විදිහට හේතු දෙන්න බැරිවෙන්න පුලුවන්ය කියලයි "

සුජාතා ටිකක් වෙලා මගෙ මූණ දිහාවෙ බලා හිටිය.

" Let me be frank Ravi, that’s a lot of words only. You didn't say anything at all, "

" හෙහ්, හෙහ්, හෙහ්, " මම හිනා උනා…" You are so blunt aren't you? But I like that and do you know there's a saying…. Saying nothing sometimes says the most.."

" Yes…Emily Dickinson …" සුජාතා ඉගැන්නුවෙ ඉංග්‍රීසි කියල මම කලින් කිව්වනෙ නේද?

" සුජාතා මම එවපු ලියුමෙ ලියල එව්ව මතකයිද ජීවිතේ සමහර දේවල් අපිට ඕන විදිහට සිද්ධ වෙන්නෙ නෑ. දෛවය හෝ ඉරණම හෝ වෙන මොකක් හරි හෝ අපිට ජීවිතය ලබාදෙන දේ පිළිගන්න වෙනව. ඒක සාධාරණ නෑ තමයි. ඒත් එහෙම තමයි ඒකෙ හැටි." 

" එතකොට ඔයා මට කියන්නෙ විජිතට සමාව දීල ඒ ඔක්කොම අමතක කරන්න කියලද? "

" අපොයි නෑ..මම එහෙම කිසිම දෙයක් ඔයාට කියන්නෙ නෑ. තවකෙනෙකුගෙ ජීවිතය ගෙනියන්න ඕන කොහොමද කියල උපදෙස් දෙන්න මට මොකක්ද තියෙන අයිතිය?. ඒක සම්පූර්ණයෙන්ම ඔයා තීරණය කරන්න ඕන දෙයක්...ඉට්ස් යුවර් ලයිෆ් "

ආපහු ලයිට් ආවද කොහෙද..එක පාරටම ෆෑන් එක වැඩ කරන්න ගත්ත.දහදිය ගලන මුහුණ ඒ පැත්තට හරවල මම සනීපෙට දෑස් පියාගෙන පුටුවෙ පස්සට දිග ඇදිල හොඳට හේත්තු උනා.


" එතකොට රවී මොකක්ද ඔයා මට කියන්නෙ? "

" Sujatha, please understand, at least make a try..Some things in life are just meant not to be. It's neither your fault, mine or anyone else's. It’s just the way it happens, just the way it's destined to be. That's all. Most probably there would have been a much happier ending with just a little bit changing of circumstances but unfortunately it was not to be. let us accept what life offers us. "

ඉර ඇතුගල එහා පැත්තෙං බැහැගෙන ගියා. වැව ඉස්මත්තෙ සුදුපාටට තිබ්බ වළාකුළුවල පරිමිතිය පමණක් රතු පාටට දිලිහුනෙ රතු පීත්ත පටියක් ඇල්ලුව වගේ.දාස් දෙන අව්ව අඩුවෙනවත් එක්ක රස්නෙත් ටික ටික අඩුවෙන්ට ගත්ත. ඒත් වැව් පිටිය සිසාරා හමාගෙන එන ගිණියම් හුළඟෙ පීඩාව අඩු උනේ නම් නෑ. එහෙම තමයි එක පාරටම එහෙම වෙන්නෙ නෑ. දාහය අඩුවෙන්ට තව වෙලා යනව. එව්ව සිද්ද වෙන්නෙ අපිට ඕන වෙලාවට නෙවෙයි.

" එතකොට ඔයාට කියන්න තියෙන්නෙ එච්චරම තමයි නේද? " ඇගේ කටහඬට මම ඇස් ඇරිය.

" ඔව්..මාත් එක්ක තරහ වෙන්න එපා…" මම කිව්වෙ ඇය දිහාවෙ යන්තමට බලල ආපහු වතුර හිඳිච්ච වැව දිහාවෙ හැරිල පුටුවෙ කෙලින් වෙලා ඉඳගෙන.

" කමක් නෑ, ඔයාගෙ තීරණය ඒකනම් මම මොනව කියන්නද? …" ඇය කිව්වෙ තවත් ටික වෙලාවකට පස්සෙ.

" මේ මගෙන් පුංචි තෑග්ගක්, " කුරුණෑගල බස් නැවතුම්පලේදි සමු ගනිද්දි ඇය මට දුඹුරු පාට කඩදාසියක ඔතපු පාර්සලයක් දුන්න.

" මේක මම ගෙනාවෙත් ඔයාට…" මම ඇගෙ දෑස් දිහාවෙ බලාගෙන කිව්ව.....ඇගේ දෑස්වල තිබ්බෙ මොකක්ද මට වටහගන්ට බැරි හැඟීමක්.

ඇය මුල්වරට හමුවූ දවසෙ කුරුණෑගල බස් එකේදි මම ඇයට කියවන්ට දුන්නු ආතර් සී.ක්ලාක්ගෙ නවකතාව මතකයි නේද? මම ඒක ඇයට දුන්න සිහිවටනයක් විදිහට. ඒක උනේ හදිස්සියෙ මට වෙන මොකවත් තෝරගන්ට වෙලාවක් තිබ්බෙ නෑ.

පොතේ අන්තිම පිටුවෙ මම මෙහෙම ලිව්ව....

Sometimes we need to stop analyzing the past .. stop planning the future .. stop trying to figure out precisely how we feel .. stop deciding with our mind what we want our heart to feel and sometimes we just have to go with "whatever..happens..happens" and let things decide by themselves. It may not be the best policy but more often than not, the alternatives would be far worse.

නුවර බස් එකට නැඟල ජනේලෙ අයිනෙ සීට් එකක වාඩිවෙලා මම ඇය දුන්නු පාර්සලේ ලිහුව. පොත් දෙකක්...මලගිය ඇත්තෝ සහ මලවුන්ගේ අවුරුදු දා...පොත් දෙක දිහා බලාගෙන බොහොම වෙලාවක් ගතකරපු මම සීට් එකට හේත්තුවෙලා උඩට ඇදගත්තු දිගු සුසුමක් පහලට හෙලුව පපුව ඔක්කොම හිස් වෙලාම යන්ට.

සකුරා මල් පිපුණු ගිම්හානෙක සවස,
පියවර මැන ගියා මතකයි අප දෙදෙන,
රැඳුනේ අපේ හමුවීමේ මුල් දවස,
වෙන්වන ලෙසින ඉරණම නළලේ කෙටුව,

සෙනෙහස බැඳුනි ඔබ වෙත මම නොදැනීම,
අරුතක් ඇතිද නොඅසමි මම කිසිදාක,
මෙදියත හැම දෙයම සිදුවනුයේ එලෙස,
අරුතක් හැම දේම සොයනුයෙ අප කෙලෙස,

සමුගෙන ගියෙමි ඔබෙ අවසර නොපතාම,
යන්නට සිදුවුනේ මම නොසිතූ විලස,
සකුරා මල් පිපෙන සවසක මතුදාක,
හමුවෙමු යලිත් මළවුන් අවුරුදු දාක,


පසු සටහන - ජීවිතයේ යම් යම් අවස්ථාවන්හි අප ගන්නා තීරණ පිළිබඳව ප්‍රත්‍යාවලෝකනයේදි අපි බොහෝ විට පසුතැවෙමු. එහෙත් ඔබට පරම සත්‍යයක් පවසමි මා ප්‍රිය මිතුර/මිතුරිය.මගේ ජීවිතයෙහි එසේ මා පසුතැවෙනා තීරණ ඇත්තේ ඉතාම අල්පයකි. එසේම ඒ පිළිබඳව මා පසුතැවෙන්නේ ද ප්‍රත්‍යාවලෝකනයෙහි සහායෙන් හෙයින් ඒ විශේෂිත තත්ව හමුවෙහි දී නැවතත් මවිසින් ඒ තීරණයම නොගන්නා බවට මට සහතික විය නොහැක. එසේ නොවන මට අතීතය වෙනස් කොට ගත හැකිනම් බොහෝසෙයින් මවිසින් වෙනස් තීරණයක් ගනු ලබන එක් අවස්ථාවක් වනුයේ නිසැකවම සුජාතා පිළිබඳ සිද්ධියයි.

විජිත මාස කිහිපයකට පසු අප ආයතනයෙහි සේවයෙන් ඉවත්ව ගියේය. ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් ඉන්පසු මට දැනගැන්මට නොලැබිණි. ප්‍රස්තුත සිද්ධියෙන් වසරකටත් අඩු කාලසීමාවක් තුල මම මගේ නිවසට වඩාත් ආසන්න අප ආයතනයේම වෙනත් අංශයක ව්‍යාපෘතියකට ස්ථාන මාරුවක් ලබා පැමිණියෙමි.එහෙයින් විජිත පිළිබඳ වැඩිමනත් තොරතුරු දැනගැනීමේ අවස්ථාවට ඉන් නිතැණින්ම වැට බැඳිණි. සත්‍යය එලෙසින්ම පවසතොත් මම ඒ උදෙසා කිසිදු උත්සාහයක් 
ද නොදැරුවෙමි. සුජාතා පිළිබඳවද එසේමය. 

නිදි නැති බොහෝ රාත්‍රිකාලවල මම සෙමෙන් සයනයෙන් නැඟිට තද නින්දේ පසුවන බිරින්දෑ දෙස මොහොතක් බලා හිඳ නිදන කාමරයෙන් එක එල්ලේ පිවිසිය හැකි සඳළුතලයට පිවිස කිසිදු අරමුණකින් තොරව රාත්‍රි අහස දෙස බලා හිඳිනෙමි.හන්තාන කඳුවැටිය ඉහල අහසේ එක් වරම ඇඳී එසැණින් නිවීයන උල්කාශ්ම මම බොහෝවිට දැක ඇත්තෙමි.අප කිසිසේත් බලාපොරොත්තු නොවන මොහොතක ඉහළ අහසේ ප්‍රාදුර්භූත වන උල්කාවෝ එක් නිමේශයක් හාත්පසම ආලෝකවත් කොට යළි කිසිදිනෙම අප දෑසට දිස්නොවනසේ එක් සැණෙකින් අපගේ දර්ශන පථයෙන් සදහටම 
ඉවත්ව යන්නෝය. එදෙස දෑස් දල්වා බලා හිඳිම හැර අප වෙන කුමක් කරන්නද? 

සුජාතාද එසේ එක්වරම මගේ ජීවිතය නම් අහස් කුසෙහි මුදුනත අනපේක්ෂිතව එක් මොහොතක් දිළී එසැණින් සදහටම නිවීගිය උල්කාශ්මයක් සේ සැළකීමට මම කැමැත්තෙමි.

Tuesday, December 17, 2013

235. කවිකාරියකගේ ප්‍රේමය…..21


ඔන්න තව සතියක් වගෙ යන්ට ඇති...සුජාතා ආයම කෝල් කලාද නම් මන්ද...අනෝමා ඒ ගැන මා එක්ක මොකවත්ම කිව්වෙ නෑ. අනෝම එක්ක ඔය වල් පල් කතාකරකර හිටපු දෙතුන් පාරක්ම ඒ ගැන අහන්ටත් හදල මම ආයම වචන ගිල ගත්ත. 

" මොකෝ අර එදා කතාකරපු නමක් ගමක් නැති ගෑණු ළමෙය අයම කතා කලාද?" කියල අහන්ටය…

" ඉතිං උඹ එදා කිව්වෙ එහෙම ගෑණු ළමේක් දන්නෙත් නැත. නාඳුනන ගෑණු ලමයිංගෙං එන කෝල් වලය උඹ බයය අරකද මේකද කියල.... ඉතිං මොකෝ මේ හදිස්සියෙ එහෙම අහන්ට හිතුනෙ? "

ආය දෙකක් නෑ ඕකි ඔහොම අහන එක අහනව..ඔක්කොටමත් වැඩිය මට විඳින්ට බැරි ඔහොම අහන ගමං ඒ යෝදි කට කොණකිං හිහ්, හිහ් ගාල දාල නෝන්ඩි හිනහව...

කෙල්ලන්ට ඉව කියන්නෙ ආය නිකංය.." උඹ මොනවත් මගෙං අහන්ට එහෙම ගිහිල්ල නිකං මේ මේ ලැජ්ජයි ලැජ්ජයි වගෙ හිතිල ආයම ගිල ගන්නවයි කියල මට හිතෙනව.. ඒ මොකෝ ඇත්තට? "

දවසක රාත්තිරියෙ ඔෆිස් එකේ මූණට මූණට බලාගෙන කතාකරකර ඉන්න ගමං අනෝමා එක පාරටම අහපි.

එදා හෙඩ් ඔෆිස් එකෙන් ඔය හාෆ්ෂීට් ෆයිල් කවර එහෙම තොගයක් ගේනවය කියල මෙසේජ් එකක් ඇවිල්ල තිබ්බ. අපේ ඔෆිස් එක තමයි මඩකලපුවෙ ඉඳල කොළඹ පැත්තට යද්දි අන්තිමටම තියෙන්නෙ. ඉතිං සාමාන්‍ය සම්ප්‍රදාය ඇවිල්ල ඔය දුර බැහැර ඔෆිස් වලට බඩු බෙදල ආපහු කොළඹ යන ගමනෙ අන්තිමට අපෙ ඔෆිස් එකට ඇවිල්ල ගෙනාපුව බාලා කරලා යන එක.

ලිපිකරු තනතුරේ කියල අපෙ හිටියෙ අනෝම කෙලී විතරයි නෙව. ඒ නිසා ඒකිට ඉන්ට උනා ඔපිස් එකේ ලොරිය ඇවිල්ල බඩු බෑවට පස් සෙ ජී ආර් එන් එක අස්සං කරල දෙන්ට ජී ආර් එන් කිව්වෙ ගුඩ්ස් රිසීව්ඩ් නෝට් නොහොත් භාණ්ඩ භාරගැනීමේ සටහන් පත… 

එදා වෙලාවටම අපේ ඔෆිස් එකේ ඉන්න අනික් කෙල්ලො දෙන්නම නිවාඩු ගිහිල්ල. ඔය වගෙ වෙලාවට වනිතාවන්ට තනි රකින්ට අහුවෙන්නෙ මම තමයි.."' ආ..උඹම තමයි හොඳ ඒ වැඩේට...වනිතා කටයුතු ඇමතිනෙ උඹ " ඔන්න ඔහොම කියල අනික් එවුං ඔක්කොමල්ල මඟ අරිනව.මම ඉතිං උංගෙ අම්මලාට බැන බැන වැඩේ බාර ගන්නව.

" මේ විකාර කියවන්නෙ නැතුව ඉන්නවද ඔහොම?....අහන්ට ගිහිල්ල ගිල ගන්නව..හුහ්..මම උඹට බයේනෙව එහෙම ගිල ගන්නෙ.." මට එක පාරට තරහ ගීයා

" හිහ්..හිහ්..හිහ්……" අනෝමා ඔලුව පස්සට වීසිකරල හිනාඋනා…

" මේ අඩේ..ඔහොම හිනාවෙනවද බොල ගෑණු ළමස්සියො උනහම?.....අම්මාපල්ල දැං ලොක්කත් එනව මොකද්ද මේ විකාරෙ කියල බලන්ට..."

මම කිව්වෙ දත්මිටිකාගෙන ..ඇත්තටම ලොක්කයෙ නිල නිවාසෙ ඔෆිස් එකට ඒ හැටි දුරින් නෙවෙයි තියෙන්නෙ. මේ යෝදිගෙ කැකිරි පැලිල්ල නෙවැරදීම ලොක්කයෙ ගෙදෙට්ට නං ඇහෙන්ටම ඇති.

එක පාරට සුවිච් එකක් ඕප් කලාහේ අනෝමයෙ සිරික්කිය නැවතුනා. ඕකි ඔය මට එහෙම පාට් දැම්මට අපෙ ලොක්කට පණ බයයි. ලොක්ක ඔය හැමෝම බය කොරගෙන ඉන්නෙ අනම්මනම් පාට් දාල. අනෝම දනි පනි ගාල නැඟිටල ඔපිස් එකේ දොර ගාවට ගිහිල්ල එබිල බැලුව.

" නෑ බං කවුරුවත් පේන්ට නෑ..ලොක්කගෙ ගෙදර ලයිටුත් නෑ. "

" මේ මනුස්සය කොහෙ ගියාද ? හවසත් මම දැක්කනෙ ටී ටී ගහනව…"


ඔපිස් එක ඉස්සරහ අතුපතර විහිදවාගෙන සෙවණ දුන්නු මයිල ගහේ කොල අතු සිරි සිරි ගෑවිල්ලෙ හමාගෙන ආපු හීතල හුළඟ ඇතුලට කඩා වැදිල මගෙ හීගඩුත් පිප්පෙව්ව.

" හප්පා හීතල.. වහීද මන්ද …." මමත් නැඟිටල අත් දෙක පෙරවගත්ත.

" දොර වහන්ටද? …." අනෝමා බාගෙට ඔලුව හරවල මා දිහා බලල ඇහුව.

" පිස්සුද බං? ආය එකක් ඒ පාර..මෙන්න මෙහෙ වරෙං ඇවිල්ල ඉඳගනිං …"

" හරි හරි ඉතිං කෑනොගහ ඉඳහං….. මම විහිලුවට කිව්වෙ…."

" මට ඉස්සෙල්ල එක පාරටම හිනහ ගියෙ මොකද දන්නවද? "


බඩු ආහම අත්සන් කරල දෙන්ට ලෑස්ති කරල තිබ්බ ජී.ආර්.එන්. එක එහාට මෙහාට කරකවන ගමං අනෝම ඇහුවෙ ටික වෙලාවක් පැවතිච්චි නිහඬතාවයකට පස්සෙ. අනෝමගෙ අත්දෙක මැද කැරකෙන ජී. ආර්.එන්. එක දිහා බලා හිටිය මිසක මම මොකවත්ම කිව්වෙ නෑ.

" මට තේරුණ උඹට තරහ ගියයි කියල...මට හිනාගියෙ ඒ හින්ද…."

" තරහ යන්නෙ නැද්ද පිස්සු විකාර අහනකොට "


" හිහ්,හිහ්..ඇත්ත කියනකොටත් සමහරුන්ට තරහ යනව කියල මම අහල තියනව…" අනෝම ආයෙම හිනා උනා..

මම කිසි දෙයක් කිව්වෙ නෑ..මොනව කියන්ටද? මේ යෝදි කියන්නෙ සම්පූර්ණ ඇත්තකොට මොනවයි කියල කියන්ටද?

" මම කිව්වෙ ඇත්ත නේද?...." අනෝමා ආයෙම ඇහුවෙ බොහොම හෙමිහිට..

" ඔව්........" මම කිව්ව..ආය මොනවටද බොරුවක් කියන්නෙ?

" ඒක තමයි..මම මොකද නොදන්නෙ ඔයා ගැන...." අනෝමා මට ඔයා කියල අමතන්නෙ මොකක් හරි සීරියස් කතාවකට කියල මම දන්නව.

" එදා අර කතා කලේ සුජාතා නේද?......."

මම එක වංගියෙම ඔලුව උස්සල බැලුව. අනෝමගෙ දෙතොලග තිබ්බෙ සරදම් හිනාවක් එහෙම නෙවෙයි. කොහොමද දන්නෙ කියල අහන්න ඕන උනත් මම එහෙම අහන්නෙ නෑ. ..

" එදා කියපු වෙලාවටම සුජාතා කතාකලා.පස්සෙ මම කිව්ව ඔයා ඇවිල්ල යන්ට ගියාය කියල.එයා එක පාරටම ෆෝන් එක තිබ්බ. දවස් දෙක තුනකට පස්සෙ එයා ආයෙම කතා කලා. එදා තරමක් දුරට මට විස්තර කිව්ව.ඊටත් පස්සෙ මේ පහුගිය පෙරෙයිද කතා කරල තමයි මට සම්පූර්ණ විස්තරේම කිව්වෙ...විස්තරේ කියල මගෙන් ඇහුව ඔයාගෙයි මගෙයි අතර කිට්ටු හිතවත්කමක් තියනවද කියල "

" ඉතිං ?......"

" මම කිව්ව මෙහෙම...ඔව්..ඇත්තටම අපි බොහොම කිට්ටුවෙන් ආශ්‍රය කරනවය ..අපි හොඳම යාලුවො කියල... කමක් නෑනෙ නේද එහෙම කිව්වට? "

" හෙහ්,හෙහ්, කමක් නැද්ද කියල අහන්නෙ එහෙම කියල දවස් ගාණකට පස්සෙනෙ.." මම හිනා උනා.." නෑ අනෝමා මම විහිලුවට එහෙම කිව්වෙ..කිසිම ප්‍රශ්නයක් නෑ ඔයා එහෙම කියපු එකට ඉතිං?...."

" ඒ පාර මගෙං ඇහුව ඔයාට කියන්ට බැරිද කියල එයාට කතාකරන්ටෙයි කියල……."

" මම කිව්ව මම උත්සාහ කරල බලන්නම්ය කියල…"


දැඩි නිහඬබවින් හාත්පස වෙලාගත්තු විනාඩි කීපයක් ගෙවිල ගියා. පිටිපස්සෙ කාමරේට යන තැන ආරුක්කුව උඩ එල්ලල තිබ්බ බිත්ති ඔරලෝසුවෙ ටිකිස්, ටිකිස් සද්දෙ විතරයි ඔපිස් එක ඇතුලෙ එක දිගටම ඇහුනෙ...

දොර පලුව එහෙම්ම ඇරල. ආයෙම ගලාගෙන ආපු හීතල හුලඟකුත් එක්ක වේලිච්ච මයිල කොල දෙක තුනකුත් ඔපිස් එක ඇතුලට ගහගෙන ආව.

" පව් අනේ ඔයා එයාව එක පාරක් හම්බ උනොත් හොඳ නැද්ද? "

ඔෆිස් එක ඉස්සරහින්ම යන පාර හරි කෙලින් ඉද්ද ගැහුව වගෙ විහිදෙනව දෙපැත්තටම කිලෝ මීටර් දෙක තුනක් විතර. ලොකු බොහොම බර ලෝඩ් එකක් පටවගෙන එන ලොරියක සද්දෙ ඇහෙන්ට පටන්ගත්ත විඩෙං විඩේ හුළං අත මේ පැත්තට අල්ලනකොට.

" හෙඩ් ඔෆිස් එකේ ලොරියද දන්නෙ නෑ…….. "

අනෝමා නැඟිටල මිදුලට බැස්ස. මාත් ඒ පස්සෙන්ම ගියා. ගේට්ටුව ඇරගෙන අපි දෙන්න පාරටම ගියා. ආයම හුළං අත මාරු උනහම ලොරියෙ සද්දෙ හොඳට ඇහෙන්න ගත්ත.

" නෑ ඒ අපේ එක නෙවෙයි. මේක මේ හෙණ ලෝඩ් එකක් එක්ක බොහොම අමාරුවෙන් අදින ලොරියක්. නෑ මේක වෙන්න බෑ...මෙහෙට එනකොට අපේ ලොරියෙ ඉතුරු වෙන්නෙ අනෝමා…. අපිට ගේන පොඩ්ඩ විතරයි. ඔහොම බෑඟිරි ගහගෙන අදින්න හේතුවක් නෑ. ඔය අර සමූපකාරෙට එන ලොරිය වෙන්නැති. "

අපෙ කෑම්ප් එක පහුකරල තව කිලෝමීටර් තුන හතරක් ගිහාම පැරණි මුස්ලිම් ගම්මානයක් තිබුණ. ඒකෙ සමුපකාරෙට සතියකට වගෙ සැරයක් කදුරුවෙලින් ගේනව බඩු ලොරියක් පුරවල.

තව ටික වෙලාවකින් ඔන්න ඈත ගණ අන්දකාරෙ ඉරාගෙන හෙඩ් ලෑම්ප්ස් දෙහෙක එලිය පේන්ට ගත්ත.

" යමු ඇතුලට.. සීතලයි …" මම කිව්ව..

" ඉන්ට පොඩ්ඩක් අපි මේක මොකක්ද කියල බලලම යමු. "

අනෝම මගෙ උරහිසට අත තියල කිව්ව. මම කිව්ව වගේම ඒ සමුපකාරෙ ලොරිය තමයි.

" මම කියනවට එක පාරක් සුජාතව හම්බ වෙන්ට ගිහිල්ල………"

අනෝම ආයෙම කිව්ව පුටුවෙ ඉඳගෙන වැලමිටි වලින් මේසෙට බරවෙලා ...කෙලින්ම මයෙ ඇස් දෙක දිහා බලාගෙන…

" එයාට කියන්ට තියන දෙයක් කෙලින්ම කියන්ට මූණටම..එච්චරයි..ඒ මොකක්ද කියන එක මම දන්නෙ නෑ. ඒක මට අදාලත් නෑ..මම කියන්නෙ මොක හරි කෙලින්ම මූණටම කියන්ට කියලයි. "

අනෝමගෙ ඇස් දෙකේ තිබුනෙ ආයාචනාත්මක බැල්මක්..පව්..මට දුකක් වගෙ හිතුන….

" හරි ඔයා කියන එකේ ඇත්තක් තියනව...මම යන්නං….."

" තෑන්ක්ස් අනේ..මම දන්නවනෙ ඔයා මම කියන දෙයක් නොකර ඉන්නෙ නෑ කියල.."

" හරි හරි උඹෙ බටර් ඇති..මේ දැන් මදැයි මේ ඔයා මෙයා කියල කතා කලා..උඹට උඹ නොකිය ඔයා මෙයා බාසාවෙන් කතා කරන එකත් මහ වදයක් බං.."

" ඉඳපං තව විනාඩි පහක් මේ ඔයා මෙයා මූඩ් එකේම ඉමු. …."


අනෝමා ලාච්චුවෙං යතුරක් අරගෙන නැඟිටල ගිහිල්ල ආරුක්කුව අයිනෙ බිත්තියට හේත්තු කරල තිබ්බ චුට්ටි මේස පොඩ්ඩක් උඩ තිබ්බ ටෙලිෆෝන් එකේ අගුල ඇරිය.

" ඔය මොකද බං කරන්න හදන්නෙ? "

මේ යස්සනී කොරන්න හදන්නෙ මොකද්ද කියල මට එතකොට මීටර් වෙලයි තිබ්බෙ..

" ඒයි මේ පිස්සු කෙලින්න නම් ලෑස්ති වෙන්න එපා.." 

මමත් නැඟිට්ටා. අනෝමා එතකොටත් ටෙලිෆෝන් එකේ නොම්මර ඔබල ඉවරයි. කහපාට රිසීවරේ කණට තද කරගෙනම ඒකි මා දිහාට හැරිල ඉඟි මැරුව. ටෙලිෆෝන් එක රිංවෙන සද්දෙ රාත්තිරියෙ නිස්සද්දතාවයත් එක්ක මට පැහැදිලිවම ඇහෙනව.

" තියාපිය ඕක…" මම සද්දෙ නෑහෙන්ට දත් මිටි කාගෙන කිව්ව.

" හිටපං කෑනුගහ…" අනෝමත් ඒ විදිහටම කිව්ව. එතකොටම රිං වෙන සද්දෙ නැවතුනා.

" හෙලෝ........"

අනෝමා කතා කලා..මම රවාගෙන හිටිය. ඒකි මට විරිත්තුවා..

" හෙලෝ... මේ…. මට සුජාට කතා කරන්ට පුළුවන්ද?...."

" ………………………………….."

" නෑ..නෑ..මම මේ සුජාගෙ යාලුවෙක්…"

" ………………………………….."

" ආ..ඔව්...පොළොන්නරුවෙ තමයි...හා..හරි…"

" සුජා නානවලු …" 
එහෙම කිව්වෙ මට.

" අනේ උඹ බම්බු ගහපං…" මම දත්මිටි කාගෙනම කිව්ව.

" හිකිස් …" අනෝමට දෙවුර අකුලල හිනාඋනා..

" හරි…. හරි..මට කතාකරන්න කියන්නකො දැන්මම..අනෝමා කිව්වම සුජා දන්නව…" අනෝමා රිසීවර් එක තිබ්බ.

" සුජා නානවලු. නාල ඉවරවෙලා කෝල් එකක් දෙයි.."

" මට ඇහුණ..උඹ හිතුවෙ මං බීරෙක් කියලද?..." මම කිව්වෙ නැඟිටල එලියට බහින ගමං.

" මේ රෑවෙලා නාන්නෙ ….අනේ මන්ද " ...අනෝම කියනව මට ඇහුන.

" එයාගෙ කොණ්ඩෙ කොටයි.ඒ හින්ද අවුලක් නෑ……" මම කිව්ව නෙවෙයි මට කියවුණා…

" ඈ...ඔහොම හිටපං ඔහොම හිටපං…" අර යෝදි කෑගහද්දි මම නෑහුණවගෙ එළියට බැස්ස.

ඔෆිස් එකෙන් එළියට බහිනකොටම තිබ්බෙ කපරාරු නොකරපු ගඩොල් කුළුණු තුනකින් දරාගෙන ඉන්න පියස්සකින් ආවරණය වෙච්චි පොඩි ඉස්තෝප්පුවක් වගෙ කොටසක්. මයිල ගහේ කොළ අස්සෙං ඈත කන්දකඩුව ආකහෙ හඳ එල්ලිල තිවුනෙ දෑකැත්තක් වගෙ. Sickle Moon කියල කියන්නෙ ඉංග්‍රීසියෙන් ....

ඉස්ලාම් ආගමේ සංකේතයත් ඒකමනෙ. දෑකැති සඳ සහ තනිතරුව...තනි තරුවයි හඳ පළුවයි....තනි තරුවකුත් හඳ පළුව එක්ක පල්ලෙහයිං තියද කියල බලන්ට ඕනය කියල මට එක පාරට හිතුන.ඉස්තෝප්පුවෙන් මිදුලට තිබ්බ පඩි දෙක බැහැල මයිල ගහ පහුකරල මම ගේට්ටුව දිහාවෙ ගියෙ යටි පහුවෙන බොරළු ඇනිල යටි පතුල් රිදුම් දෙද්දි.

මගෙ රබර් සෙරෙප්පු දෙක ඔෆිස් එකේ මේසෙ යට ගලවපු ගමං. මට තරහ ගිය පාර ඒකත් නැතුවයි එළියට බැහැල තියෙන්නෙ. හඳ පළුව තිබ්බට තනි තරුවක් නම් ඔහෙ තිබ්බ එකක් නෑ. හීතල හුළඟ පපුව පුරා පුරවගෙන එහෙම්මම අහස දිහා බලාන උන්න මම.

හීතලත් එක්ක පරිසරය වහගෙන තිබුනු දැඩි නිහඬතාවය මැටි කළගෙඩියක් උස්සල ඇති විරියෙං පොළවෙ ගැහුව වගෙ එක පාරටම බිඳිල ගියෙ කාර්යාලය ඇතුලෙ දුරකථනය නාද වෙන්ට පටන් ගත්තු සද්දෙට.

අනෝමා රිසීවරේ උස්සයි කියල මම එහෙම්මම හිටිය කන්දිහාගෙන. ඒත් දිගටම ටෙලිෆෝන් එක වදිනව.

" මේ උඹ ඇවිල්ල මේකට උත්තර දෙනවද නැද්ද? සුජාතා කතා කරන්නෙ…"

අනෝමගෙ කටහඬ ඇහුණ දුරකථනයෙ සද්දෙත් මැඩගෙන. ඔෆිස් එකට කිට්ටුවම තිබුනෙ සුළු සේවකයින්ගෙ නේවාසිකාගාරෙ. ඒකෙ පිටිපස්සෙ වතුර ටැංකිය ගාව රෑට කාපු පිඟාන හෝදමින් හිටිය සිරිසේන අයිය වෙන්න ඕන, සිරිසේන අයිය කියන්නෙ අපෙ ට්‍රැක්ටර් රියදුරු. මිනිහ තමයි අපෙ කෑම්ප් එකේ උසම මනුස්සය.සිරිසේන අයිය පිඟානත් අරගෙන පිළිකන්නට ඇවිල්ල මේ පැත්තට එබිකම් කලා. මේ යෝදිගෙ කෑගැහිල්ල එහාටත් ඇහුණද කොහෙද..අනෙ අම්මාපල්ල.

" හිටපං කෑනුගහ මම එනකල්……"

මම සද්දෙ බාල කරල කිව්ව එකට තද කරගත්තු දත් අතරින්..

" ඉතිං වරෙං…. මොකද ඔය එළියෙ කරන්නෙ? ගෙම්බො අල්ලනවද? හිහ්, හිහ්.."

අම්මාපල්ල මේ අම්මණ්ඩිව මට....බොරළු ඇනෙමින් ආපහු මම ගියා. බොරළු ඇනෙන පය රිදවන....එක විඩේම දුරකථනය නිහඬ උනා. ආයම කෑලි කපන්ට පුළුවන් නිශ්ශබ්දතාවයක් දසතම වෙලාගත්ත.

" හ්ම්ම්ම්ම්…."

දිග සුසුමක් හෙලුනෙ මට ඉබේටම. ඒ බලාපොරොත්තු කඩවීමක් නිසා හෙලුනු සුසුමක්ද නැත්නම් සැනසුම් සුසුමක්ද? නැත්නම් ඒ දෙකේම සම සම මිශ්‍රණයක්ද? ඒ ප්‍රශ්නෙට උත්තර හොයන්ට මට උවමනාවක් තිබුනෙවත් වෙලාවක් තිබුනෙවත් නෑ.

" ඔහොම හිටහං ටිකක්.... එයා කතා නොකලත් මම හරි කතා කරල මේක බේරුමක් කරනව. ඇයි යකඩො?..මේක මාර වැඩක්නෙ..කියන්ට තියන දෙයක් ගිහිල්ල ඒ මනුස්සයගෙ මූණටම හම්බවෙලා කියන එක නේද මනුස්සකම?...අනේ මන්දන්නෙ නෑ උඹලගෙ පිරිමි කම...."

අනෝමා එහෙම තමයි. කියන්ට තියන දේ කියනව ලබ්බ ගලේ ගැහුවවගෙ. මම ඕකිට කැමතිත් ඒකම තමයි.

" උඹ තරහද? …"

ආයෙම අනෝම හෙමිහිට ඇහුවෙ බිම බලාගෙන..

" නෑ බං මම තරහ නෑ. උඹ මොනව කිව්වත් මම තරහ වෙන්නෙ නෑ.," මම හිනාවෙලා අනෝමගෙ උරහිසට අත තියල මිරිකුවා.

" ඒත් උඹෙ කතාවට උත්තරයක් දෙන්න ඕනනෙ. පිරිමිකම ගෑණුකම කියල වෙනම දෙකක් තියනවද? මම හිතන්නෙ තියෙන්නෙ මනුස්සකම විතරයි කියල.එහෙම පිරිමිකම කියල එකක් තියනව කිව්වත් ඒක අර්ථ දක්වන්නෙ කොහොමද?.....හෙහ්, හෙහ්, "

" මේ මම ඒ වචනෙ ඉල්ලල අස් කරගන්නං..එහෙම කරන එක ලාබයි වගේ…...නැත්තං උඹ මෙතන පටං ගනියි ගෑණු කමයි පිරිමි කමයි අර්ත දක්වන්ට " අනෝමා කිව්වෙ සීරියස් පිට..

" හරි හරි බං ඒක අල්ලලදාමු..මට කියන්න ඕන උනේ...." 

මට වාක්‍යය ඉවර කරන්න උනේ නෑ..ආයම දුරකථනය හඬ නඟන්න ගත්ත.

අනෝමා එහෙමම ඉඳගෙන යටි තොල දික්කරල මට ඉඟියෙන් ටෙලිෆෝන් එක පෙන්නුවා. මමත් ඒ විදිහටම යටිතොල පෙරලල ඔලුව දෙපැත්තට වැනුව.මට හිනායන්නත් එනව. අනෝම මා දිහා රවාගෙන ඉඳල ගිහිල්ල රිසීවරය ගත්ත.

" හෙලෝ..

"…………….."

" ආ..ඔව්...අනෝමා තමයි..ඉතිං සුජාත කොහොමද?................"

"…………….." 

" ආ..ඔව්,ඔව්..ඔයා මට කිව්වනෙ......" 

"…………….."

" ඇත්තද? ඒක හොඳයි....."

"…………….."

" ඔව් අනේ….කොච්චර හොඳද? "


"…………….."

" මේ ඒකනෙවෙයි අඳුරන කෙනෙක් ඉන්නව ....ආ..ඉන්න මම එයාටම දෙන්නම්…"


අනෝමා රිසීවරය එක අතකින් වහගෙන මට ඔලුවෙන් කතාකලා. මම ආයෙම ඔලුව වැනුව තිරස්ව..

" මෙහෙ වරෙං බං….." සද්ද නෑහෙන්ට දත්මිටි කාගෙන කිව්වත් ඒකිගෙ ඇස් දෙකේ තිබ්බෙ හිනාවක්...මම ගිහිල්ල රිසීවරේ ගත්ත.

" හෙලෝ......."

මිනිත්තු බාගයක්වගෙ යනකල් කිසිම ප්‍රතිචාරයක් නැතිතැන මම ආයම කතා කලා..

" සුජාතා ඔයා ඉන්නවද? "

" ඔව්........"


ආයම නිහඬතාවයක්…

" මොකද මම එවපු එක ලියුමකටවත් උත්තර එව්වෙ නැත්තෙ?....."
සුජාතගෙ හඬේ තිබුනෙ තරහක්ද? කණගාටුවක්ද?...මට හරියට තේරුම්ගන්න පුළුවන් උනේ නෑ...මොනවයි කියල කියන්නද?..

" හෙහ්, හෙහ්….." මම හිනාඋනා....

" හිනා වෙන්න එපා...හරිද? "

" හා……"


" ලියුම් වලින් ඇහුවට උත්තර දෙන්නෙ නැහැනෙ. දැන් මම කෙලින්ම අහන්නම්කො..මාව හම්බවෙන්න එනවද?......"

" හා..මම එන්නම්......."


වෙන මොනව කියන්නද? 

...........................................................

මතු........හෙහ්, හෙහ්, එක්කොත් ඒක ඕන නෑ....අම්මට මේ දවස්වල ටිකක් සනීපත් මදි වගෙ. දැන් වයසයිනෙව. ඔය අස්සෙ හෙම්බිරිස්සාවත් හැදුනොත් තව එකක්.....අනික තව කාරණාවක් තියනව...කතාවක් කොටස් 21 කින් ඉවර කරන එක අසුබ පල දෙනවලු.විසේසයෙන්ම කියවන ඔබ තමුන්නාසේලාට.අංක විද්‍යාව අනුව මෙහෙමයි ඒක වෙන්නෙ.

21 = 2 + 1 ,

2+ 1 = 3,

3 x 3 = 9,

9 කියන්නෙ ඉතාම අසුබයි. යක්ෂයාගේ අංකය.....

Friday, November 29, 2013

232. කවිකාරියකගේ ප්‍රේමය…..20



ලියුම ලියල පහුවදාම දැම්ම තැපෑලට.ඕක කල් දැම්මොත් ආය මොන මොනව හිතෙයිද දන්නෙ කවුද? හිත කියන එක එහෙම තමයි.ලියුම තැපැල් කලාම වැඩේ ඉවරයිනෙ. ඊට පස්සෙ ඔන්න වෙන දෙයක් වෙයිනෙ.ඔව්ව ගැන ඕනවට වඩා හිතන්ට ගියොත් මොළ ගෙඩියත් එක්ක නරක් වෙලයි පස්ස බලන්නෙ. 

ඇත්තම කිව්වොත් මගෙ කේන්දරෙත් කියල තියනව සිහිය ජුංඩක් විතර එහා මෙහා වෙන්ට ඉඩ තියනවයි කියල. ඔය කේන්දර කියන එව්ව ගැන මයෙ විස්වාසයක් නෑ ඇත්තම කිව්වොත්. මෙහෙම කිව්වොත් වඩාත්ම හරියි කියලයි මට හිතෙන්නෙ. කේන්දර කියන එව්ව විස්වාස කරන්ට මම අයනු ආයනු ඉයනු ඊයනු කියපු දවසෙ ඉඳල ඉගෙන ගත්තු සාස්තරේ අනුව මට බොහොම අමාරුයි. ඒත් මම ඇවිල්ල ඕපන් ඉකොනොමි. එහෙමත් නැත්තං ඕපන් හාට් සර්ජරි පොරක්. ඒ කියන්නෙ විවෘත මනසකින් ඉන්නෙ. අනික මගෙ කේන්දරේ කියල තිබ්බ සමහර කාරණා ඇත්තම ඇත්ත වෙලා තියනව.

ඔය කේන්දරවල කියනදේවල් පස්සෙ ඇත්ත වෙන්ට තමන්ගෙම මනසත් බලපාන්ට පුලුවන්ය කියලත් මට වෙලාවකට හිතෙනව. ඒ කියන්නෙ දැන් කේන්දරේ කියල තිබ්බොත් විවාහය අසාර්තක වෙනවයි කියල ඒ මනුස්සය කොයි වෙලාවෙත් ඒ මූඩ් එකෙම්මනෙ ඉන්නෙ.සර්ව අසුබවාදී විදිහට විවාහය දිහා බලනකොට ඕනම විවාහයක් අසාර්තක වෙන්න තියන ඉඩ කඩ වැඩියි. කේන්දර අනාවැකි සැබෑවීම ගැන මෙහෙම කතාවක් අහල තියනවද?

එක තරුණයෙක් හිටිය ඔන්න මිනිහ ඇවිල්ල සාර්ථක වෙළඳ ව්‍යපාරයක් කරගෙන ගිය පාරම්පරික ධනවතෙක්. කසාදයක් කරගන්ට හිතිල මිනිග ගියා කේන්දරෙත් අරගෙන රටේ සුප්‍රසිද්ධ දෛවඥයෙක් ගාවට..කේන්දරේ බලල දෛවඥ තෙමේ නළලෙ අත ගහගත්ත.

" මහත්තය මම මෙහෙම කිව්වට අමනාප වෙන්න එපා. ඒත් නොකියම බැරිනිසයි මම මේ කියන්නෙ මේ කේන්දරේ හැටියට ඔය මහත්තය ජීවත් වෙන්නෙ හරියටම තව මාසයයි. "

එහෙම කියල දෛවඥ තෙමේ ඔන්න දුන්න දිනයක් මේ මනුස්සය එදාට අනිවාර්යයෙන් මැරෙනවයි කියල. ඔන්න කියමු ජූනි 18 කියල

තරුණයා මොකද කලේ දැං ඉතිං මොනව කරන්නද? මැරෙන්න තියන එකේ මේ අන්තිම මාසෙ ෆුල් ජොලියෙ ඉන්ට ඕනය කියල විකුණල දැම්ම මුළු සේසතම. යාලුවන්ට නෑයින්ට දුන්න බාගෙට බාගයක්. ඉතිරි සල්ලි වලින් ගත්ත රටේම තියන හොඳම හෝටලේ උඩම තට්ටුවෙ හොඳම කාමරේ.උඩම තට්ටුව කිව්වෙ හතළිස් වෙනි තට්ටුව හොඳේ?......මාසෙම කලේ කෑව බිව්ව නැටුව..වෙන ඔය අනික් අනම්මනම් කලා. ෆුල් ජොලියෙ හිටිය. ඔන්න මැරෙන දිනෙත් උදා උනා. මිනිහ ඉතිං ෆුල් සූට් එකක් එහෙම ගහගෙන ඇඳ උඩ ඉන්නව දිගාවෙල මැරෙන කල්.

ඔන්න දවස ටිකින් ටික ගෙවිල ගියා.අප්පටසිරි මැරෙනව තියා මැරෙන සේයාවක්වත් නෑ.දොළහ එක දෙක තුන ඔහොම ගෙවිල ගිහිල්ල රෑ දොළහටත් කිට්ටු උනා..මළ කෙළියක්නෙ මළේ නෑනෙ. මාරම අප්සට් එක..දැන් මොකද කරන්නෙ? තිබ්බ සබ්බ සකල මනාවමත් ඉවරයි. අතේ සත පහක් නෑ. කොටින්ම හෝටලේ බිල ගෙවාගන්ටවත් විදිහක් නෑ. අන්තිමට රෑ දොළහ ගෙවෙන කොටම මිනිහ කලේ බැල්කනියට ගිහිල්ල ටිකක් වෙලා කල්පනා කලා. ම්හු කරන්නම දෙයක් නෑ..එක දෙයයි කරන්න තියෙන්නෙ..පැන්න බැල්කනියෙන් පහළට.

ඉතිං කේන්දර ගැන කතාව ඔන්න ඔහොමයි. මගෙ කේන්දරේ අර කියල තිබ්බනෙ ටිකක් සිහිය එහෙ මෙහෙ වෙන ළකුණු තියනවයි කියල. මේ පහුගිය නිවාඩුවට ගිය වෙලේ ඔන්න අපි දෙන්න හවසක එලියෙ පුටු දෙකක් එහෙම තියාගෙන ඔය රටේ නැති වල් පල් කතාකර කර ඉන්නව. ඔය අතරෙ කේන්දර ගැනත් කතාව ඇදිල ආපි. මම ඒ පාර අර කතාව කිව්ව.

" ඔන්න බලන්ටකො අනේ..මගෙ කේන්දරේ බලල ඒ දවස්වල කිව්වලු මගෙ සිහිය ටිකක් එහෙ මෙහෙ වෙන්ඩ ඉඩ තියනවයි කියල.."

දන්නවද මුන්දැ ගත්කටටම කියාපු එක..

" ඔව් අනේ මට නම් හිතාගන්ටවත් බෑ ඒ වගෙ කිරිගහට ඇන්නැහෙ අනාගතය කියන ඉරිසින්නාන්සෙල වගෙ අය දැනුත් ඉඳල හිටල ඉන්නව තමයි."

" ඈ???? …"


විවරවූ මුවින් යුතුව මම එයයි දිහා බැලුව. මොන... යන්තමටවත් හිනාවක් නෑ මූණෙ.ෆුල්ම සීරියස්..දෙයියෝ සාක්කි මේ මහගෙ ඇත්තටම වත්ද මන්ද එහෙම කිව්වෙ? මොකෝ එහෙම අහන්ටය ඉතිං ආය ? නැද්ද හා?

අර පඳුරු තලනව වැඩිය කියල මගෙ ඇඟට ගොඩවෙන මානවිකාවටයි මේ කියන්නෙ..හොඳද?...මේ කේන්දර කතා ඇවිල්ල පඳුරු තැලිල්ලක්මත්ම නෙවෙයි ..කතාවට අදාලයි හරි? රයිට් අනාවැකි කීම ගැන තව එක පොඩි කතාවක් විතරක්ම කියල අපේ කතාවට ආයෙම එමු..

ඔන්න යාලුවො කට්ටියක් කතාවෙනව ඔය මැරෙන වෙලාව හරියටම කියන ඉරිසිවරු ගැන.

" හිමාල වනේ ඉන්නවලු මචං ඉරිසින්නාන්සෙල මැරෙන දවස හරියටම කියනවලු. ආය නෑ හරියටම හරිලු…" එකෙක් කිව්ව.

තව එකෙක් මෙහෙම කිව්වලු. " හිහ්..දවස විතරද බං ඉරිසින්නාන්සෙල කියන්නෙ? අපෙ ලොකු මාම, අම්මගෙ ලොකු අයිය, මැරෙන දවස විතරක් නෙවෙයි හරියටම වෙලාවයි මැරෙන තැනයි මැරෙන විදිහයි සියලු විස්තර ඊට මාසෙකට විතර කලින් කිව්වනෙ. " 


" නෑ? කවුද බං එහෙම කිව්වෙ?...ඉරිසින්නාන්සෙ කෙනෙක් වෙන්න ඇති ෂුවර් එකටම.."

" නෑ බං එහෙම කිව්වෙ නඩුකාරය…"


හරි කේන්දර කතා ඉවරයි ආපහු සුජාගෙ කතාවට...

ලියුම තැපැල් කලා කියල මම කිව්වනෙ..ජීවිතේ ආයෙම සුපුරුදු හැල්මේ ගලායන ගංගාවක් වගෙ දැහැමෙන් සෙමෙන් ගලායන්ට පටන් ගත්ත. විජිත කිව්වත් වාගෙම හෙඩ් ඔෆිස් එකට මාරුවක් හදාගෙන ගියා. ඊට පස්සෙ මනුස්සය ගැන කිසිම ආරංචියක් නැතුව ගියා. උවමනාවක් තිබ්බනම් මට ඔය හෙඩ් ඔෆිස් ඉන්න යාලුවන්ගෙන් විජිත ගැන විස්තර දැනගන්න එක ඒ හැටි අමාරු වැඩක් නෙවෙයි. ඒත් මොකටද ඔව්ව හොයන්නෙ කියලයි මම හිතුවෙ.

ජීවිතේ එක කාල පරිච්ඡේදයක් එතනින් අහවරයි කියල ඒ මතකයන් වළදාන්නයි මට ඕන උනේ.විජිතත් එක්කම සුජාගෙත් මතකයන්.....මගෙ යාලුවො ආයෙම ඒ ගැන වචනයක්වත් කතා කලේ නෑ. උංගෙ හැමෝගෙම තියන එක හොඳ ගතියක් ඒක. අනුන්ගෙ දේවල් හාර අවුස්සන්ට යන්නෙ නෑ. අපි ඔක්කොමලා අනෙකාගෙ පෞද්ගලිකත්වයට උපරිමව ගරු කලා. තවම අපි අතර ආශ්‍රය එදා වගේම පවතින්නෙත් මම හිතන්නෙ අන්න ඒ හින්දමයි.

දවසක් විමලෙයි මායි විතරක් චමරියෙ හිටපු හැන්දෑවක විජිතය ගැන මොකක්ද කතාවකදි ඇදිල ආව…

" විමලෙ අයියෙ..සුජාට මගෙ හිතේ කැමැත්තක් තිබිලත් මම ඒ වැඩේ අතෑරියෙ මොකද දන්නවද?"…..මම ඇහුව.

" විජිතය හින්ද නේද? "

" ඔව් ඇත්තම කිව්වොත් අයියෙ මට බය හිතුන.."

" ඈ? බය හිතුනය කිව්වෙ? "

" එදා මතකද අර දවසෙ රෑ විජිතය මෙතන ඇවිල්ල යකා නටපු හැටි..පහුවදා ඌ මාව හම්බ වෙන්ට සයිට් එකට ඇවිල්ල බොහොම හොඳට කතා කරල මගෙං සමාවත් ඉල්ලුව තමයි. ඒත් මට මිනිහව සත පහකට විස්වාස නෑ. එහෙම මූඩ් වෙනස් වෙන එක ආපහු අර කලින් මරු මුස් මූඩ් එකට යන්ටත් මහ වෙලාවක් යන්නෙ නෑ. අනික විජිත එදා මගෙං සමාව ඉල්ලුවෙ අවංකවමද කියලත් මට සැකයක් තියනව. සමහර විට උගෙ වැඩේ කරගන්ට දාපු මොත්තයක්ද කවුද දන්නෙ? "


" ඇත්ත බං උඹ කියන එක හරි, මිනිස්සු කියන ජාතිය ආය කාල බලන්ටය…" විමලෙ හිනාවෙලා එකඟ උනා.

" ඒ ඔක්කෝටමත් වැඩිය අයියෙ මට බය හිතුනෙ සුජා එක්ක මම සම්බන්ධයක් පටන් ගත්තොත් විජිත වහ බොයිවත්ද කියල..කියන්ට බෑනෙ ඔය වගෙ මිනිස්සු..බොහොම ආවේගශීලීයි. හිතට වේගයක් ආහම තමන් කරන්නෙ මොනවද කියන්නෙ මොනවද කියල අඳෝ සංසාරයක තේරුමක් නෑ. එහෙම මිනිහෙකුට වහ ටිකක් බීල ජීවිතේ නැතිකරගන්න එකත් ඒ හැටි දෙයක් නෙවෙයි. බැරි වෙලාවත් එහෙම එකක් උනානං අයියෙ ඒක මගෙ මුලු ජීවිතේටම මට අමතක කරන්ට බැරිවෙයි. අවදියෙන් ඉන්න මොහොතක් මොහොතක් ගානෙ අවදියෙන් විතරක් නෙවෙයි නිදාගත්තම හීනෙං පවා මට විජිතයගෙ මූණුවර මැවිල පෙනෙයි.එහෙම අවදානමක් ගන්න මට කැමැත්තක්වත් හැකියාවක්වත් තිබ්බෙ නෑ. අන්න ඒ නිසයි මම ඔය වැඩේ අතෑරලම දැම්මෙ....."

විමලෙට ඒ කිව්ව කතාව බොරුවක් නෙවෙයි. ඇත්තටම මට හිතුන අර පිස්සු යකා වහවත් බිව්වොත් මොන දෙයියන්ට කියන්ටද කියල...ඒ එක්කම මගෙ පරිකල්පන ශක්තියත් වැඩ කරන්ට ගත්ත ඕවර් ඩ්‍රයිව් මෝඩ් එකේ. ඔන්න මෙහෙමයි සීන් එක.

ඔන්න මමයි සුජායි ඒ මංගල්ල චාරිත්‍ර වාරිත්‍ර ඔක්කොම ඉවරවෙලා මදුසමයට යන්ට එලියට බහිනවනෙ සුබ මොහොතින්...අපෙ වෙඩිම ගත්තු හෝටලේ ඉස්සරහ තියනව දාර නුග ගහක්..මිදුලට පය තිබ්බ විතරයි..." අනේ රවී .." සුජා කෑගහගෙන මගෙ බෙල්ලෙ එල්ලෙනව.. නුග ගහේ පාතම අත්තෙ ගැටගහපු ලණුවකින් එල්ලිල යන්තමට පැද්දි පැද්දි ඉන්නෙ ..විජිත.....

එහෙම නැත්තං අපි යන කාරෙක හෝටලේ ගේට්ටුවෙං මහ පාරට දානකොටම .....දඩීං " මහත්තය කවුද කාරෙකට පැන්න නේද?..." ඩ්‍රයිවර් කෑගහනව..මම බැහැල බලනව..කාරෙක ඉස්සරහ වැටිල ලේ පෙරාගෙන ඉන්නෙ විජිත…

එහෙමත් නැත්තං මමයි සුජායි පෝරුවෙන් බහිනකොටම අර පොලේට කොටනවනෙ..දඩෝං ....ඒ එක්කම ඩීං ගාල සද්දෙකුත් ඇහෙනව. මගෙ පපුවට මොකක්ද මහ හයියෙං වදිනව..දෙයියෝ සාක්කි ලේ නේද? " ඒයි අල්ලපල්ල ඕකව..." කට්ටිය විජිත පස්සෙ පන්නනව..මගෙ දෙපතුලේ ඉඳල ඉස් මුදුනට හෙමීට හීතල වීගෙන එනව. හත් පණේ කිරිහාමි මට මතක් වෙනව.." අනේ රවී..." සුජා මගේ ළඟ දණ ගහගෙන මගෙ ඔලුව අත ගානව.

බොලාට කියන්ට ඔය සීන් රෑ හීනෙනුත් පේන්ට ගත්තම මම රෑ දෙගොඩහරියෙ යටිගිරියෙං කෑ මොර ගහගෙන ඇඳෙං බිමට පනින්නෙ..

" මේ යස්සය දවල් තිස්සෙ මල් ගහනව. ඒ කරල රෑට දෙයියනේ කියල අපිට එක ඩිංගක් ඇහැ පියාගන්ට දෙනවද? ගිරිය යටින්නෙව බෑඟිරි ගහන්නෙ.."

මයෙ රූමා කුමාරය අපෙ මෑණියන් වහන්සෙට පින්දිදී නැඟිටල ලයිට් එක දාල මට සාලෙ මේසෙ උඩ තියන ගුරුලේත්තුවෙං හීතල වතුර එකක් ගෙනැත් දෙනව." මේක බීල බුදියගං පංසිල් ඇරගෙන…"

ඔහොම ගියා මාසයක් තරම මයෙ හිතේ..සුජා මට ආයම ලියුමක් එව්ව..වැඩි විස්තරයක් තිබ්බෙ නෑ. බොහොම කෙටි ලියුමක්...ආයම හිතවත් වීරසිංහ මහතා වෙත කියලයි ආමන්ත්‍රණය කරල තිබ්බෙ...මාව හම්බවෙන්ට ඕනය කියලයි තිබ්බෙ...මම ඒ ලියුමට උත්තරයක් යැව්වෙ නෑ..මොකටද යන්තමට සමහං වේගන එන හිත් ආයම ඔද්දල් කරවා ගන්නෙ..එහෙම හිතල මම උත්තරයක් නොයවා කරබාගෙන උන්න.

සති ඔන්නම් දෙකක් යන්න ඇති ආයම ආව ලියුමක්..ප්ලීස් මීට් මී ඇට් ලීස්ට් ෆො වන්ස් කියල..හිත තද කරගෙන මම ඒ ලියුමටත් කිසිම උත්තරයක් නොයව නිකං හිටිය.


ඔය අතරෙ අපෙ ඔෆිස් එකට ඔන්න ටෙලිෆෝන් ආව. මම මේ කියන්නෙ ලංකාවට ඉස්සොරෝම ජංගම දුරකථන ගෙන්නපු කාල වකවානුව ගැන. සෙල්ටෙල් තමයි මට මතක විදිහට මුලින්ම ආවෙ.අපි හිටපු හරියට ගස් උඩ නැඟල හරි කතා කරන්න සිග්නල් තිබ්බෙ නෑ.

ගෙදරට කතා කරන්ට හදිස්සියකට, මලක් දෙකක් කඩන්ට එකම පිහිට ලෑන්ඩ් ටෙලිෆෝන්ස් තමයි. ඒකටත් යන්ට ඕන කිලෝ මීටර් හත අටක් එහා තිබ්බ පෝස්ට් ඔෆිස් එකට. අම්මපා ඔය හින්දම අපේ ඔෆිස් එකට ටෙලිෆෝන් එකක් ගත්තය කියන්නෙ අපිට ආය නෑ රජ මඟුල් වගෙ.හැමෝටම ඕන උනා ඕකෙං කතා කරන්ට. කසාද බැඳපු එවුන්ට අල්ලපු ගෙදර බබලතාට, නොබැඳපු සිංගල් එවුන්ට අම්ම තාත්තට, සීයට ආච්චිට...ඩබල් එවුන්ට නැචුරලි ඉතිං මල් කඩන්ට.

මේ වැඩේ කොච්චර දුර දිග ගියාද කිව්වොත් ලොක්කට අන්තිමට සිද්ද උනා ලී පෙට්ටියක් හදල ටෙලිපෝං රාජයා ඒකට දාල වහල තියන්ට.වහල තිබ්බය කිව්වට කෝල් එකක් ගන්ට නොම්මර ඔබන හරිය විතරයි පෙට්ටි පියනෙං වැහිල තිබ්බෙ. ඉන්කමිං කෝල් එකක් ගන්ට පුලුවනි... අවුලක් නෑ

යතුර ලොක්ක ගාව. වැරි ඒජන්ට් කොහොල්ස් එකක් නම් පොතක් තිබ්බ ඕකෙ විස්තරේ ලියල ලොක්කගෙං අනුමැතිය ගත්තට පස්සෙ තමයි ඔන්න යතුරු රාජයා අතට ලැබෙන්නෙ..ඔය වෙනකොට අපෙ හිටිය කලාක් යුවතියක්. නම අපි කියමුකො අනෝමා කියල..හරි.... අනෝමා හොඳයි..අනෝමා ආවෙ වසන්තිට පස්සෙ..මතකනෙ වසන්ති නේද?.

දවසක් හවස මම වැඩ ඇරිල ඇවිත් ජීප්පෙකෙං බහිනකොටම සැමිය ආව එතනට.

" මහත්තය ..මහත්තයට ආපු ගමම්ම ඔෆිස් එකට එන්ට කිව්ව…"

" කවුද බං ලොක්කද? "

" නෑ අනෝමා මිසී... "


හෙහ් ඒ මොකද බොලේ ඒ?..ලොක්ක ආයම ලියුමක් වත් ගහලද?..ම්ම්... බලමු ලඟපාතක මත්පැන් පානයෙන් අනතුරුව උස් හඬින් අසභ්‍ය ගීතා ගායනා කලෙත් නෑ.එතකොට මුදල් නොමැතිව මත්පැන් ලබාදෙන ලෙස ඉල්ලා සමාජශාලා භාරකරුට තර්ජනය කලෙත් නම් නෑ...එතකොට මොකක්ද මේ කේස් එක?

මම යනකොට ඔෆිස් එකේ හිටියෙ අනෝමා විතරයි.

" මොකද බං උඹේ මේ මල වදේ? මම මේ ආව විතරයි ..පාං කියාගන්ට බැරුව ඉන්නෙ...අද මැරුන උදේ ඉඳලම.." මම ඔෆිස් එකට ගොඩ උනේම කෑගහගෙන

අනෝමා හරිම හොඳ කෙල්ල..මාත් එක්ක උඹ, බං බොලං මට්ටමෙං තමයි ආස්සරේ කලේ...ඒ සුහද මිතුරු ඇසුර ඊලඟ පියවර දක්වා වර්ධනය වෙන්ට හොඳටම ඉඩකඩ තිබ්බ. ඒ වගේම අපි දෙන්නගෙම කැමැත්තකුත් නොතිබ්බ නෙවෙයි. ඒත් අපි ආස්සරේ කරපු විදිහට එහෙම පියවරක් ගන්ට මගෙ හිතේ නිකං විචිකිච්චාවක් වගෙ දෙයක් තිබ්බ. අනෝමටත් ඒ තත්වය එහෙමමයි කියල එයාගෙ කතාබහෙන් මට තේරුනා යස අගේට. මොනව කරන්නද? එව්වයෙ හැටි සුබාව එහෙම තමයි..

" පේනව පේනව..හොහ්,…. පේනව නෙවෙයි දැනෙනව,,උඹ ගාව දාඩියගඳ බං හරියට ගස් ගෙඩි කඩන එවුං ගාව වගෙ.. .." ඒකි හක හක ගාල හිනා උනා..

" මම කිව්වයි කියල හිතාගං..යකෝ අපි මේ උඹල වගෙ උදේ ඉඳල පෑං යටට වෙලා පයිල් එකක් දිගෑරගෙන කරන ජොබ් එකක් නෙවෙයි කරන්නෙ..දවසක වරෙංකො මම එක්කං ගිහිල්ල පෙන්නන්ට "

" හා ඒක බැරිය..කෝකටත් ටිකක් එහාට වෙලා කතා කරපං…" ඒ යෝදි නහයත් මිරික ගත්ත.

" අම්මපා ඉඳපං මම උඹට …"

මම වටපිට බලල අනෝමව බදාගන්ට වගෙ ගියා.කෙල්ල හිකි හිකි ගාගෙනම පුටුවෙං නැඟිටල ඔෆිස් එකේ පිටිපස්සට දිව්ව..

" මේ මෙහෙ වරෙං මම උඹව බදාගන්න එකක් නෑ..මහන්සියි බං.ගිහිල්ල වහාම ක්‍රියාත්මක වන පරිදි නාගන්ට ඕන..කියාපං මට ඇයි එන්ට කිව්වෙ? ලොක්ක ආයම ලියුමක් වත් ගහලද?..මේ පාර මොකක්ද කේස් එක? "

" ලියුමක් නෙවෙයි අනේ..අද දවල් දෙකට විතර ඔයාට කෝල් එකක් ආව…"

" ඈ..කාගෙන්ද?."
ඔය ටෙලිපෝන් ගත්තත් හරි මට කෝල් එකක් ආවමයි..

" ගෑණු ළමේක්….." අනෝමා යන්තමට හිනාවෙලා මාදිහා බැලුව.." කවුද බං ඒ? "

" මම දන්නෙ කොහොමද? උඹනෙ කෝල් එක ගත්තෙ..නම අහගත්තෙ නැද්ද? "

" මම ඇහුව නම කිව්වෙ නෑ...පහ මාරට ආයම කතාකරනව කියල උඹට කියන්ට කිව්ව ඇවිල්ල ඉන්ටය කියල...මම මේ මෙච්චර වෙලා ඔෆිස් එකේ හිටියෙත් ඒක හින්දමයි "


මම වෙලාව බැලුවා. පහයි දහයයි..ඇත්ත තමයි පහට ඔෆිස් වහනවනෙ…

" මේ හොඳ කෙල්ල වගෙ කියාපං මම තාම ආවෙ නෑ කියල වැඩ ඇරිල..එක්කොත් උඹ ඔෆිස් එක වහල දාල පලයං..වැඩේ ඉවරනෙ.."

" බෑනෙ මම පොරොන්දු උනා පහමාර වෙනකල් ඉන්නවය කියල..ඇත්තටම කවුද බං ඒ?..." සුජාගෙ කේස් එක අපි හත් අටදෙනෙක් ඇරෙන්ට වෙන කවුරුවත් දන්නෙ නෑ.

" ඔය ඉතිං ආයම අහනව..මට දිවියඥානෙ තියනවද බොල..මම දන්නෙ කොහොමද? "

" එහෙනං උඹ මොකද කෝල් එක ගන්නෙ නැත්තෙ?."

" නම් ගම් දන්නෙ නැති ඒ වගේම නම් ගම් කියන්ට අකමැති ගෑණු ලමයිගෙ ඇමතුම් වලට මම බයයි නංගියේ..මම බයයි නංගියේ…"


" හිහ්, හිහ්, ඒකත් හරි තමයි.." අනෝමා ආයෙම හිකි හිකි ගෑවා..

" අනික උඹ දන්නවනෙ නාඳුනන තුවක්කුකරුවො කියන කස්ටිය..බොහොම බයානකයි..වෙරි ඩේන්ජරස්..නාඳුනන ගෑණු ළමයින්ගෙන් එන කෝල් ඇවිල්ල ඊටත් වඩා බොහොම බයානකයි."


ඒ ඇවිල්ල නාඳුනන තුවක්කු කරුවන්ගේ යුගය..විජය කුමාරණතුංග ඝාතනය කරල ඒ වෙනකොට මාස දෙකක් වත් ගිහිල්ල තිබ්බෙ නැති තරං..

" හරි නෝන මහත්තුරු..එහෙනං උඹට ඕන එකක් කරපං...හැබැයි මම එන්නෙ නෑ කෝල් එකට ආන්සර් කරන්න එච්චරයි.."

මම අනෝමගෙ උරහිසට පාරක් ගහල හිනාවෙලා ඔෆිස් එකෙං එළියට බැස්ස.


මතු සම්බන්ධයි..


" අම්මට උඩු..මේකා දීයාම කාපිය..අදත් මතු සම්බන්දයි නේද?..."

" හරි හරි බං ඉඳිං තව දවස් තුන හතරක් ඉවසල..යකෝ අල බහිනකල් ඉන්ට පුලුවන් බොලාට අල තැම්බෙනකල්නෙ ඉවසන්ට බැරි.."

Tuesday, November 26, 2013

231. කවිකාරියකගේ ප්‍රේමය…..19


නකතං වෙන්ට ගහල බඩ පැලෙන්ට බතුත් කාල අපි දෙන්න පොඩි ඇලට් එකක් ගැහුව කුඹුක් ගහ යටම..

" අයි...යෙ….." විජිතය තටමල වගෙ කියා ගත්ත..

" මො..ක්..ක..ද මලේ? " මාත් ඇස් ලොකු කරල ඇහුව.." මොකෝ බොලේ කබ්රාල් වත්ද? "

" නෑ..නෑ...එහෙම එකක් නෙවෙයි…..අර්..ර ..ඉස්..සෙල්ල කි..කි..කිව්වෙ ඇත්ත..මද? "

" මො...න? "

" ඕන **** පණං අටයි කියල...."


" හෙහ්, හෙහ්, බොරු බං ….."

" ඈ?..... එතකොට?..."

" පණං හතරෙ එව්වත් ඔය ඕන හැටියෙ තියනව...හෙහ්, හෙහ්, හෙහ්, "


විජිතයයි මායි හිනාවෙන සද්දෙට කුඹුක් ගහේ වහන්ට ආපු දියකාවෝ දෙන්නෙක් බය වෙලා ආපහු පියාඹගෙන ගියා වැව් ඉස්මත්තෙ සිරිතේක්කුවගෙ බෝදිය දිහාට...

අපි දෙන්නටම එහෙම්මම නින්ද යන්ට ඇති මහිතේ...ඇහැරෙනකොට ඉර හැරිල දිඹුලාගල කඳු වලල්ලටත් මුවාවෙන්ට ඔන්න මෙන්න..මම කෙලින් වෙල හැරිල බැලුව..විජිත මට කලින් නැඟිටල..අත් දෙක ඔලුව පිටිපස්සෙ බැඳගෙන කුඹුල් ගහේ කොළ අතු හීල් හුළඟෙ එහෙ මෙහෙ නටන දිහාවෙ බලා ඉන්නව.

" අයියෙ…." විජිත කතා කලේ එහෙම්ම උඩ බලාගෙන..

" ඔව් විජිත කියන්න….."

" අයියෙ... මට නෙවෙයි ඇත්තටම සුජාතා හරියන්නෙ..අයියට..ඒ නිසා මම කියන්නද..මම සුජාතගෙන් ඈත් වෙනව සදහටම..මම ඔය දෙන්නට සුබ පතනව.."
විජිත කඳුළු පිරුනු දෑසින් හිනා උනා..

අම්මාපල්ල, මයෙ වකුගඩුව හෝස් ගාල පත්තූනා.

" මල්ලි විජිත...මල්ලි …" මට වචන පටලැවි පටලැවි එච්චරයි කියාගන්ට පුලුවන් උනේ......

ඈහ්හ්හ්??? මේ මොන කෙහෙල්මලක්ද බොලේ මම මේ ලියන්නෙ? අර හෙන්රි නම් වූ වියුණු සරන්නගෙ බූත කමෙන්ට් එකට මම ලියාපු අබූත කතාව නේද මම මේ දිගටම ඒ පාර ලියන්නෙ...හෙහ්, හොඳ වෙලාවට දැක්කෙ...

විජිත මා ලඟටම ආව. මගෙ අත් දෙක අල්ලගෙන ඇස් වලට එබුන.

" අයියෙ…. මම මේ බැගෑපත් ඉල්ලීමක් කරන්නෙ ..සුජාටයි මටයි අයිය බාදාවක් වෙන්න එපා. අපේ ජීවිත වලින් කරුණාකරල අයිය අයින් වෙන්න. මම ඉල්ලන්නෙ එච්චරයි. "

අප්පට සිරි ඉතිං මොකේදැයි පොඩි නම දං වළඳන්නේ? එහෙම ඇහුවෙ ලොකු හාමුදුරුවො...මොකක් කියන්ටද කියල හිතාගන්ට බැරුව මම තක්කු මුක්කු වෙලා විජිතය දිහාම බලාන උන්න.

" ඇ..ඇයි අයියෙ?....මගෙ ඉල්ලීමට හා කියන්ට බැරිද අයියට? "


" විජිත මෙතන වැඩේ මේකයි..මම කිසිදවසක ඔය දෙන්න අතරට බාධාවක් වෙලා නම් නෑ. ඒ නිසා මම හාය කිව්වොත් ඒ කියන්නෙ මම එහෙම බාධාවක් වෙලා හිටියය කියල මම පිළිගන්නවයි කියන එක.ඒ නිසා මට එහෙම පොරොන්දුවක් වෙන්න උවමනාවක් නෑ කොටින්ම.අනික මටත් තියනව මල්ලිගෙන් ප්‍රශ්නයක් අහන්න. උඹ මගෙ ඇඟට නිරපරාදෙ ගොඩවෙන්ට තනපු වෙලාවෙ ඉඳල මේක මගෙ හිතේ කැකෑරෙන ප්‍රශ්නයක්. ඔය විදිහට මා එක්ක පැටලෙන්ට මොකද්ද ඇත්තටම හේතුව? උඹ කොහොමද කියන්නෙ හරියටම මම උඹල දෙන්නට බාධාවක්ය කියල. මම මාස තුනකට වගෙ පස්සෙ පෙරෙයිද  ආවෙ කෑම්ප් එකට..ඉතින් උඹ ඔහොම වැරදි අවබෝධයක් ඇතිකරගෙන තියෙන්නෙ මගෙන් කියවෙච්චි දෙයක් හෝ මගෙ හැසිරීමකින් වෙන්ට බෑ..ඇත්ත කියාපං මොකක්ද උඹට මං ගැන ඔහොම හිතෙන්න හේතුව? "

මම එක දිගට කියවගෙන කියවගෙන ගියා.....

විජිතය අර මල බද්දෙ හැදිච්චි බසු තඩියෙක් වගෙ මගෙ දිහා ඇස් ලොකු දෙකත් දොඹ ගෙඩි හේ කරගෙන බලාන උන්න මිසක වචනයක් කිව්වෙ නෑ…

" ඉතිං කතා කරපං බාං......, "

මට ඔන්න ඒ පාරනම් යස්සය ආරූඩ උනා. ඇයි යකෝ..මේ ගොං වස්ස ඊයෙ නිස්කාරණේ මගෙ ඇඟට ගොඩ උනේ අම්ම මුතුං කාලෙවත් මම නාහපු කතන්දර කියාගෙන. අද එහෙම කිව්වෙ මොකද කියල ඇහුවම මෙන්න බලා ඉන්නව වචනයක්වත් නොකිය ඇස් දෙකත් නෙරවාන...

" ආය මොකටද උගුරට හොරා...උඹටනෙ කියන්ට බැරි..ඉඳපං මමම අහන්නංකො…..කියාපං සුජාතා මොකවත් එහෙම දෙයක් ගැන කිව්වද උඹ එක්ක? "

විජිත එක පාරටම අහක බලා ගත්ත……..

අපි අතර මොකවත්ම සද්දයක් නැතුව බොහොම හිතට බර මිනිත්තු කීපයක් ගත උනා.ආයම මේක අඬන්ඩවත් ලෑස්ති වෙයිදෝ කියලත් මට එක වෙලාවකට හිතුන. ඔහෙ ඕන එකක්..අඬල දොඩල විලාප ගහල හරි මේකෙ දෙකින් එකක් විසඳ ගන්ට එපාය. එහෙනං ආය.....මොන මංගල්ලයද්ද මේ?

" කතාකරහං යෝදයො කටේ පිට්ටු හිරකරගෙන වගෙ ඉන්නෙ නැතුව...."


මම ටිකක් විතර සද්දෙට කිව්ව. ඇයි යකෝ..මූට මගෙං අරවගෙ ඉල්ලීමක් කරන්ට පුලුවන් නම් මට අයිතියක් නැද්ද මෙහෙම අහන්ට…

විජිත හැරිල මයෙ මූණ දිහා බලල ආයෙම අහක බලාගත්ත...

" එහෙම දෙයක් කෙලින්ම කිව්වෙ නම් නෑ අයියෙ...ඒත් මට එහෙම තේරුණා කතාබහෙං.."

" හ්ම්ම් ඒකත් එහෙමද?.....හරි එහෙමෙයි කියමුකො..එතකොට මේකත් කියාපං උඹ මගෙං මේ වගෙ ඉල්ලීමක් කරන්න ඉස්සරවෙලා සුජාතට ඔය ගැන කිව්වෙ නැද්ද? එහෙමත් නැත්තං කෙලින්ම ඇහුවෙ නැද්ද? "



" කොහෙ අහන්නද සුජා මාත් එක්ක ඉන්නෙ පුදුම තරහකිං..මට කිසිදෙයක් කියන්න දුන්නෙම නෑ...අනික කොච්චර උනත් මට සුජා ලඟ ඔය හැටිම සෙකන්ඩ් වෙන්නත් බෑනෙ අයියෙ..ඒකයි මම අයියගෙන් මෙහෙම ඉල්ලිමක් කරන්ට හිතුවෙ.." 

හෙහ්..මූට යන්තමට හරි කොන්දක් කියල එහෙකුත් තියනව එහෙනං..මට එහෙම හිතුන....

" හරි විජිත දැං මෙහෙම හිතමු. මගෙන් අවුලක් නැතත් මල්ලි සුජාගෙ ඔයා එක්ක තියන අප්සෙට් එක එහෙමමයිනෙ..ඉතිං කොහොමද ඔයා හිතාගෙන ඉන්නෙ ඔය වැඩේ ෂේප් කරගන්න? "


" මෙහෙමයි අයියෙ..සුජාගෙ කේන්තිය තව ටික දවසක් යනකොට අඩුවෙයි.මම හිතාගෙන ඉන්නෙ ඊට පස්සෙ හෙමිහිට එයාව හම්බ වෙලා කතාකරන්න. කතාකරල වැඩේ ගොඩ දාගන්ට...ඉතිං අයිය මගෙ ඉල්ලීමට එකඟ වෙනවනම් මට සීයට දෙසීයක් ෂුවර් මගෙ බලාපොරොත්තුව මට ඉෂ්ට කරගන්ට පුලුවනිය කියල. "

" හ්ම්ම්ම්. එහෙමද?....විජිතගෙ ඔය හේතු දැක්වීමට මම කොහෙත්ම එකඟ වෙන්නෙ නම් නෑ..ඒත් කමක් නෑ. මෙච්චර කාලෙකට මම මල්ලි උඹට බාධාවක් උනෙත් නෑ. ඒ වගේම ඉස්සරහට බාධාවක් වෙන්නෙත් නෑ."


මම විජිතයගෙ අත් දෙක අල්ලගෙන කිව්ව..

" තෑන්ක්ස් අයියෙ තෑන්ක්යූ සෝමච්..අයිය දන්නෙ නෑ අයියගෙ ඒ වචන ටික මගෙ හිතට කොච්චර සහනයක් උනාද කියල."


විජිත මගෙ මූණ බලල හිනා උනා...මට සහතිකයි උගෙ ඇස් දිලිසුනෙ කඳුළු හින්දය කියල. මගෙත් ඇස් දෙකට කඳුලු පුරාගෙන එනව වගෙ දැනුන නිසා මම විජිතයගෙ අත් දෙක අතෑරල පැත්තකට හැරිල ඇස් තදින් පියාගෙන හුස්මක් උඩට ඇදල පපුව පුරව ගත්ත. මම කලිනුත් කියල ඇතිනෙව. මම ඇවිල්ල බොහොම සංවේදියි..මතකනෙ අර මොන්ත ක්‍රිස්තෝ සිටුවරයගෙ කතාව තුන්වෙනි පාරද හතරවෙනි පාරද කොහෙද තමයි මම හිත හයි කරගෙන කියවල ඉවරයක් කලේ...

" අයිය මම මේ සිකුරාද වෙනකල් විතරයි මෙහෙ වැඩ කරන්නෙ…."

"ඈහ්හ්හ්??? ඒ මොකද මලේ?..."

" මම හෙඩ් ඔෆිස් එකට ට්‍රාන්සර් එකක් හදා ගත්ත...ලොක්කට කිව්වම වැඩේ කරල දුන්න. මම හිතුවෙ අයියෙ අලුත් තැනකට ගිහාම ජීවිතේ අලුතෙන්ම පටන් ගන්න පුලුවන් වේවිය කියල.ඒත් අයියෙ මට සුජාතව නම් කොහොමවත් අමතක කරන්න බෑ..මම කොහොම හරි එයාට කරුණු පැහැදිලි කරල දීල ආයෙම මට කැමති කරව ගන්නව.."


" හොඳයි විජිත...මගේ සුබ පැතුම් "

මම විජිතයගෙ උරෙස්සට මගෙ අත් දෙක තියල කිව්ව..

"තෑන්ක්ස් ෆො එව්රි තිං අයියෙ..තෑන්ක්යූ සෝ මච්...මා එක්ක තරහ නෑ නේද? "

විජිත එහෙම ඇහුවෙ මාව වැළඳගෙන ටික වෙලාවක් ඉඳල ආයෙම අඩියක් දෙකක් පස්සට තියල මගෙ ඇස් දෙක දිහාවෙ බලාගෙන..

" නෑ මල්ලි මම එක පාරක් කිව්වනෙ. එව්ව මයෙ හිතකවත් නෑ...ඉට්ස් ඕකේ..ජස්ට් ෆොගෙට් ඉට්.."

" අනේ බං උඹ වගෙ මෝඩයෙක්...කෙල්ලත් උඹට කැමතිනං උඹත් කෙල්ලට කැමතිනං ආය කෙහෙල්මලද....එක එකා ගැන හිතන්ට ගිහිල්ල අන්තිමට ඔන්න බලාපං උඹට වෙන වැඩේ…"


එදා රාත්තිරියෙ සුපුරුදු පරිදි රවුම් කනප්පුව වටේ වාඩි වෙලා අපේ වියත් සබාව පවත්වද්දි එහෙම කිව්වෙ ජයේ.......

" එහෙමමත් නෙවෙයි බං....අර මනුස්පයගෙ මූණ බලාගෙන මම කොහොමද ..."

එතනිං කතාව නවත්තල 
මම කනප්පුව මැද්දෑවෙ පත්තුවෙන ඉටිපන්දමේ කහපාට දැල්ල දිහා බලාගෙන හිටිය. 

එදා හවහම මහ වැස්සක් කඩාපාත් උනා නොහිතූකොට. හත්දා වැස්ස වැහැල පරාක්කරම සමුද්දරේ වාං දාන උඳුවප් මහේ ඇරුණුකොට ඒ වන්නිකරේට ආය එහෙමට වහින්නෙ නෑ. ඒත් දැං හැමදේම වෙනස් වෙලා ගිහිල්ල නෙව. වහින්නෙත් වැස්ස වලාහක දෙයියන්නාන්සෙලගෙ හිතූ මනාපෙට.

වීර පළු ගස් අඹරවාන පාත්වෙච්ච වැස්ස වැඩි වෙලාවක් අල්ලල හිටියෙ නෑ.ඒ වැස්සත් එක්කම පළාතම දෙදරවාගෙන ගහපු හෙණ ගෙඩිය නිසා අපේ කෑම්ප් එකේ විතරක් නෙවෙයි ඒ අහල ගං හතේම ලයිට් ගියා.ඔන්න ඔය හින්දයි රවුං කනප්පුව අර ඉටි පන්දමක් පත්තු උනේ.

වැස්ස වැඩි වෙලාවක් නොගොහිම්ම පෑයිය නම් තමා. ඒත් ඒ එක්කම පාත් උනේ කං කැක්කුං අල්ලන හීතලක්.මගෙ ඒ දවස්වල තිබ්බ බතික් බෙඩ් ෂීට් එකක්. ඕක තමයි හීතලට මගෙ පොරෝනෙ. ඔය පොරෝනාව ඒකාංස කොට පොරවගෙන බුදු හාංදුරුවො පාරිලෙයිය වනයෙ අර දඹ ගහ හෙවනෙ වැඩ උන්න වගෙ තමයි මම හිටියෙ ඔය වෙලාවෙ කකුල් දෙකත් පුටුව උඩට ඇරගෙන.

සරීරෙම හීගෝතු පුප්පගෙන, හෑයි ගාල ඇරල තිබ්බ ප්‍රන්ස ජනේලෙං කඩා වැදිච්චි හීතල හුලං පොදක් ඉටි පන්දම නිවල දැම්මෙ නැතැයි...

හෙහ්, හෙහ් ගෙදරක දොර ජනෙල් හායි ගාල ඇරල දාල කියනව මිසක්ක හෑයි ගාල ඇරලය කියල කියනව අහල තියද? අපි අර ඉස්කෝලෙ නිල නිවාසෙ හිටපු කාලෙ ඒ මණ්ඩලේ එක ගුරුවරියක් කියන්නෙ එහෙම..." මොකද අනේ ඔයාලගෙ ගෙදර දොර ජනෙල් ඔක්කොම හෑයි ගාල ඇරල දාල...දෙන්නත් එක්ක කොහෙද මේ ගියේ? " අපෙ එතුමියටයි මටයි මැරෙන්ඩ හිනා!!!!

අද උනත්..... ඒයි මේ දොර ජනෙල් හෑයි ගාල ඇරල දාල..කියල කියන පමාව විතරයි තියෙන්නෙ.......අපි දෙන්නටම හිනාව නවත්ත ගන්ට බෑ...හෙහ්, හෙහ්…

ඇටපල් කලුවරේ ඇහැට ඇන්නත් පේන්නෙ නෑ..

" සැමී අරං වරෙං බං ගිනි පෙට්ටියක්.." විමලෙ කෑගැහුව.." ඔන්න ඔය ජනේලෙත් වහ දාපං.."

" මේ ජයේ මහත්තයනෙ ජනේලෙ අරින්නෙ කොයි වෙලාවෙත්. …" ගිනි කූරක් ගහල ඉටි කෑල්ල පත්තු කරල සැමිය තොල මතුර මතුර ගියා ජනේලෙ වහන්ට.

" ඒයි එක පලුවක් විතරක් වහපං,…. නැත්තං රස්නෙ.." ආන්න ඒ ජයේ....

" මේ මගෙං මොකවත් අහගන්නෙ නැතුව ඉඳු..කෙහෙම්මල රස්නෙ...අපි මේ වෙව්ලනව..උඹ නම් මීහරකෙක්ද කොහෙද? සැමී වහ දාපං පලු දෙකම…." විමලෙ කාමරේට ගිහිල්ල තව ඉටි පන්දමක් අරගෙන ආව.

" ඉතිං මල්ලි මොකෝ උඹේ අවසාන තීරණය?..." විමලෙ ආයෙම ඉඳගෙන මගෙ දිහාට හැරුන.

" මට ඒක කරන්ට බෑ අයියෙ..මම වැඩේ අල්ලල දානව.ඔහොම ප්‍රශ්නයක් තියාගෙන මම කොහොමද............." …..ආයම මම ඉතුරු ටික ගිල ගත්ත.

" හරි ඒකෙ අවුලක් නෑ..උඹේ ජීවිතේ..උඹට හොඳයි කියල හිතෙන විදිහක් කරපං...මොකද කියන්නෙ බොලා?...තව එකක් ගේනවද? "

" මට නම් ඇති..අද නෑ මුද්‍රික පාන මූඩ් එකක්..අනික මේ කලුවරේ...." මම එහෙම කියල නැඟිට්ට..

" යස් මටත් එහෙමයි..එහෙනම් කාල නිදියමු…" විමලෙත් කිව්ව..

එහෙම දවස් තියනව. මේ දාඩිය පොල්ල දෙකංසෙං පෙරෙනව. ඒත් මධු පානයටමයි හිත. ආයම ඔන්න පට්ට හීතල. ඒත් කිසිම ආසාවක් උනන්දුවක් එන්නෙ නෑ. ඒ තමයි ඒකෙ හැටි..

එක ගිණිකූරයි මුලු ගෙදරම තිබුනේ….
ඒකෙන් කුප්පි ලාම්පුව දල්වා ඔබට ලියන්නට ඉඳගත්තා…
හුළඟ හරි සැරයි වහින්න වාගේ...කුප්පි ලාම්පුව ...නිවුනා....
ආදරයට කොහිදෝ බාදා නැත්තේ…


ඒ අපි පොඩි දවස්වල ජනප්‍රිය සින්දුවක්..ගායිකාව නම් මතකයක් නෑ....

එක ගිනි කූර නම් නෙවෙයි ගිනි පෙට්ටියක්ම තිබ්බ..අනික කුප්පි ලාම්පුවක් නෙවෙයි ඉටිපන්දමක්....ඒත් ඉතුරු ටික නම් හරි වගෙ. ගිනි කූරක් ගහල ඉටිපන්දම පත්තු කරල මේසෙ කොනේ ගහල ඔබට ලියන්නට ඉඳ ගත්තෙමි.

මේ පළමු සහ අවසාන ලිපියයි ඔබට ලියන මා හිතවතිය.....අහ්..හරියටම කියනවනම් ලියපු දෙවෙනි ලියුම. ඒත් පලවෙනි ලියුම කවම කවදාකවත්ම ඔබට දකින්න හම්බ වෙන්නෙ නැති නිසා නිල වශයෙන් මේ තමයි පළවෙනි ලියුම..වැස්සත් පායල..හුලඟකුත් ඒ හැටිමත් නෑ..ඒත් ආයම ඉතිරි පදේ හරි..ආදරයට කොහිදෝ බාධා නැත්තේ??????

හිතවත් සුජාතා...එහෙම ලියල ආයම කල්පනා කරල හිතවත් කෑල්ල කැපුව..හ්ම්ම්..නිකම්ම සුජාතා...ආය මොන මඟුලක්ද? ලිව්ව ආයම ඒ කොලේ ඉරල දාල….

හිතවත් සුජාතා,

කොළඹ පැවති පුහුණු පාඨමාලාවෙන් පසු මම ආපසු මෙහි පැමිණියේ දින දෙකකට පෙරය. ඔබ ඒ පිළිබඳව හොඳින් දන්නා බවද මම දනිමි. මේ සියලු දේ සිදුවූයේද ඒ පාඨමාලාව හේතුවෙන් බව පැවසූවහොත් ඒ ද අසත්‍යයක් නොවේ.එහෙත් සිදුවිය යුත්ත එලෙසම සිදුවිය යුතුය. ඒ වැළැක්වීමට සමතෙක් මේ මිහිමත නොවේ.

එබැවින් මවිසින් සිතාමතා ඔබගේ ලිපියට පිළිතුරු ලිවීම අතපසු කලේ යයි කරුණාකර නොසිතනු මැන.

මා දයාබර නැඟනිය, ජීවිතයේ අප බලාපොරොත්තු වන දේ සහ අපට ලැබෙනදේ යනු එකක් නොව දෙකකි. තමනට ලැබෙනුයේ දෛවය අනුව ඉරණම අනුව තමනට හිමි වූව පමණකි.

ගණඳුර රජයන රාත්‍රිකාලයන්හි දළ රළ පෙල නැඟෙන මහ සමුදුරෙහි එකිනෙක පසුකොට යන බොහෝ නෞකාවෝ වෙති. ඔවුහු එකිනෙකා පසු කරද්දී මඟ පෙන්වනා ආලෝක කදම්බයෙන් මොහොතකට අනෙකාගේ සියොලඟ ඒකාලෝක කෙරෙති. එහෙත් ඒ අසුරු සැණක් වන් මොහොතකට පමණි. ඒ හා සමඟම ඒ නෞකාවෝ තමන්ට නියමවූ ගමන් මඟ අනිවාර්යයෙන් අනුගමනය කල යුතුමය.

දෛවයෙන් ඉරණමින් ඔවුනට නියම කොට ඇති ගමන් මඟ අතහැර තමනට රිසි පරිදි කටයුතු කිරීමේ කිසිදු නිදහසක් සත්‍ය වශයෙන්ම ඔවුනට නැත. ඔබද මමද එවන් නෞකාවන් යයි උපකල්පනය කොට සිත් සනසා ගනිමු. ගණඳුරු රැයෙහි එකම එක වරක් පමණක් එකිනෙකාගේ ආලෝකයෙන් එකළු වීමට වරම් ලද්දාවූවෝ වෙමු යනුවෙන් සිතා සිත් සනහා ගනිමු..මා දයාබරවූ නැඟනියනි.

What you expect from life and what you get from life are two entirely different things. I know its not fair, but who told you that life is fair?

මේ වැකිය ඔබට මෙන්ම මටද එකසේ අදාලය. එපමණක් පවසමින් නවතිමි. ඔබගේ අනාගතය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා යයි ඔබ පැතූලෙසම මමද පතන්නෙමි.

මම,

රවි අයියා.


මතු සම්බන්ධයි......

Wednesday, November 13, 2013

230. කවිකාරියකගේ ප්‍රේමය…..18



මේ වෙනකොට ඉර මුදුං වෙලා හොඳටම...වැවෙං ගලාගෙන එන හුළං රැල්ලෙත් අර කලිං තිබ්බ හීල් සිසිලස මැකිල ගිහිල්ල.තොප්පිගල පැත්තෙ ඉඳල පියාඹගෙන ආපු දියකාවො රංචුවක් එකා පස්සෙ එකා වැවට පාත් වෙලා දඩයම පටංගත්ත. 


" පිටිං බලන කෙනෙකුට මගෙ ජීවිතේ කිසිම අඩුපාඩුවක් නෑ කියල හිතෙයි අනිවාර්යයෙන්ම. අපෙ අම්ම පවුලෙ එකම දරුවා. අම්මගෙ එකම දරුවා මම . ඒ නිසා ආච්චිගෙ නමට තියෙන වතුපිටි කුඹුරු ඔක්කොම මට තමයි ආච්චිගෙන් පස්සෙ. එතකොට මට දෙය්යනේ කියල සෑහෙන පඩියක් හම්බුවෙන රස්සවක් තියනව. අතපය හතර අඩුවක් නැතුව තියනව. ඒ ඔක්කොමත් හරි..ඒත් අයිය දන්නවද මනුස්සයෙකුට ඔය මොනව තිබ්බත් ජීවිතේ අවශ්‍ය තව දෙයක් තියනව. ඒක නැතුව ජීවත් වෙනවයි කියන්නෙ ඒ මනුස්සය ජීවත් උනත් මැරිල වගෙ. අයිය දන්නවද ඒ මොකක්ද කියල? ..." 

විජිත දෙවෙනි පාරටත් ඔලුව හරවල මගෙ මූන බැලුව. උත්තරේ මම හොඳාකාරවම දැනගෙන හිටියත් මම මොකවත් කිව්වෙ නෑ. යන්තමට තොල් මෑත් කරල හිනා උනා… 

" ඔව්..මම දන්නව අයිය ඒ මොකක්ද කියල දන්නවයි කියල ඒ තමයි ආදරය..ඒ තමයි ආදරය..ඒ තමයි ආදරය.." විජිත එහෙම තුන් පාරක්ම කිව්ව. 

මම ආය ඉතිං මොනවයි කියල කියන්ටද? යන්තමට දෙතොල මෑත්වෙච්ච හිනාව එහෙමම රඳවගෙන දියකාවො රංචුව වැවේ මාළු අහිනක් වටකරනව බලාගෙන හිටිය.ඒක බලන්ටම වැඩේ..ඔන්න දියකාවො බොහොම සංවිධානාත්මකව තමයි මේ වැඩේ කරන්නෙ...කට්ටියම වැවේ එක පැත්තකින් පටන්ගෙන.... 

" මගෙ ජීවිතේටම මම ආදරය කලානම් කලේ ඒ මගෙ අම්මට විතරයි…" 

විජිත කතාව කියාගෙන යනව. ඒ කතාව අහගෙනම මම දියකාවො මාළු වටකරනව බලා හිටිය. 

" ආච්චිට මගෙ හිතේ තිබ්බෙ ආදරේකට වඩා ගෞරවයක්. ...අපෙ අම්මගෙ එක ෆොටෝ එකක්වත් ගෙදර නෑ කියල කිව්වොත් අයිය විස්වාස කරනවද? අම්මගෙ හැඩහුරුකම මට මතක නිකං හීනෙන් දැකපු බොඳ වෙච්චි රූපයක් වාගෙ...." 

අපි ඉඳගෙන හිටපු කුඹුක් හෙවණට යාර විස්සක් තරම දුරින් වැව මැදට නෙරල ගිය ගල් කුට්ටියක් තිබ්බ. හත්දා වැහි කාලෙ වැවේ වතුර කට මස්ටං පිරුනම වැව ඉස්මත්තෙ තිබ්බ පුරාණ ගමේ කොල්ලො කුරුට්ටො ඔය ගලට නැඟල තමයි බඩ පිණුං ගහන්නෙ. දියකාවො මාලු අහින එලවං යන්නෙ ඒ දිහාවට. 

" ඉස්කෝලෙ යන කාලෙ මට අයියෙ ඕන හැටියෙ කෙල්ලෙක් එක්ක යාලු වෙන්ට තිබ්බ. ඒත් ඒ කිසිම ගෑණු ළමයෙක් ගැන මගෙ හිත ගියේ නෑ. ඒ දවස්වල මටත් ඒ ඇයි කියල තේරුම් ගන්න බැරුවයි හිටියෙ. " 

දියකාවො වටේටම රැකවල් කරල මාළු ඉවුර අයිනට ගල් කුට්ටිය දිහාට එළවගෙන එනව. දිය කාවො වටය මැද වැවේ වතුර මතුපිට මාළු දඟලනව මට මෙතෙන්ටත් පේනව.මම ඉර එළිය වැටිල දිස්නෙ දෙන වැව මතුපිට සිද්ද වෙන මේ ස්වභාව ධර්මයාගෙ අපූරු ක්‍රියාවලිය තවත් හොඳට බලාගන්ට වමතෙ ඇඟිලි දිගඇරල නළලට තියල ඇස් මුවා කරගත්ත. 

" ඒත් මට එහෙම වෙන්ට හේතුව හරියටම තේරුනෙ කවද්ද දන්නවද අයියෙ? ඒ යන්තමට වගෙ වැස්සකුත් වැටිච්චි දවසක්......එදා කොහොම හරි වෙනදට වඩා කලින් ආව බස් ස්ටෑන්ඩ් එකට. හරි,කලින් දවසෙ මයෙ ඉස්කෝලෙ යාලුවෙක් ආව අපේ ගෙදර..මිනිහ එයා ෆෝස්...පාන්දරම චයිනබේ කෑම්ප් එකට යන්න ඕන නිසා මමත් එයත් එක්ක පාන්දරම ආව කුරුණෑගල්......." 

" කදුරුවෙල මේල් බස් එක ගහල තිබ්බ ස්ටෑන්ඩ් එකේ...මම නැඟල ඉඳගත්ත. බොහොම ඉක්මනට බස් එක ලෝඩ් උනා.ජනේලෙ වීදුරුවෙන් මම හිරි පොද වැස්ස වැටෙනව ඔහේ බලාගෙන හිටිය. එක පාරටම මගෙ පපුව පුරා පිරිච්ච පිච්ච මල් සුවඳක්...මම හෙමිහිට ඔලුව හරවල බැලුව....අයිය කිව්වට විස්වාස කරන්න..මගෙ ලඟ හිටගෙන හිටියෙ මගෙ අම්ම...මම කලින්ම කිව්වනෙ..අම්මගෙ ෆොටෝ එකක්වත් මා ලඟ නෑ..මූණ කට අයිරුවත් මතකෙ නිකං මීදුමක් අස්සෙං පේන බොඳ වෙච්චි චායාවක් වගේය කියල. ඒත් සුජාගෙ..මා ලඟ හිටගෙන් හිටියෙ සුජා...මූණ දැක්ක ගමන් එක පාරටම මට ඉස්තිරවම හිතුන මගෙ අම්මත් මේ වගේම වෙන්න ඕනය කියල. එහෙම කොහොම හිතුනද මම දන්නෙ නෑ. ඒත් මට ඒ ගැන එදා කිසිම සැකයක් තිබුණෙත් නෑ. අදත් නෑ..හෙටත් නෑ. ඒක ඉස්තිරයි. " 

" මිස්, ඉඳගන්න…...මම නැඟිට්ට..තෑන්ක්ස් ..එයා මා දිහා බලල හිනාවෙල ඉඳගත්ත..අන්න ඒ වෙලාවෙ සුජා මා එක්ක මුල් වරට හිනා උන වෙලාවෙ ඉඳල අයියෙ මට පිස්සු වගෙ. " 

දියාකාවො වටකරගෙන එනකොට මේ එන්නෙ මොකාටද කියල මාළුන්ට තේරෙන්නෙ නැද්ද? ඉවෙං වගෙ එහෙම තේරුණත් උං කරන්ට දෙයක් නැතිකමට පුරුද්දට වගෙ ඉවුර දිහාට පීනනවද? 

" ඊට පස්සෙ මගෙ ජීවිතයම උනේ සුජා..එතකල් මම ඔහෙ ජීවත් උනා තමයි . ඒත් කිසිම අරමුණක් අනගත බලාපොරොත්තුවක් මට තිබුනෙ නෑ.සුජා මුණගැහුනට පස්සෙ මගෙ ජීවිතේට අරමුණක් බලාපොරොත්තුවක් ආව. වැහි වලාකුළු වලින් ඉර වැහිල පළාතම අන්දකාර වෙලා තියෙද්දි එක වංගියෙම නොහිතූ විදිහට හුළඟකට වැහි වලාකුළු ගහගෙන ගිහිල්ල ඉර එළිය පළාතම එළිය කරනව වගෙ ...අයිය එහෙම අවස්තාවක් දැකල තියනවද? " 

මාළුවා දන්නවනම් තමන් කොටුවෙන්නයි යන්නෙ කියල ඇයි ඌට බැරි වතුරෙ ගැඹුරට පීනල ජීවිතේ බේරගන්ට. එහෙම පීනන්ටත් කම්මැලි මාලු ඉන්නවද? මේ මම වගෙ... 

විජිත කතාව නවත්තල ඔලුව බාගෙට හරවල මගෙ දිහා බලා ඉන්නව මම දැක්කෙ ඔන්න එතකොටයි.මගෙන් මොනවද ඇහුව වගෙත් මතකයි… 

" ම්ම්...ආ..මල්ලි මගෙන් මොකවත් ඇහුවද? " 

ඌට ඒකෙ ගාණක් නෑ..ආයෙම ඉස්සරහට හැරිල කතාව පටන් ගත්ත..මමත් ආයෙම හැරුන දියකාවංගෙ පොයියංගම දිහාවට... 

" සුජා කවි ලියනව කියල මම දැනගත්තෙ අහම්බෙන්..දවසක් බස් එකේදි එයාගෙ පොතක් ඇතුලෙ තිබිල එයා ලියාපු කවි වගයක් දැකල…" 

මම දන්නව බං ඒක..මට එහෙම කියවෙන්ඩමයි ගියේ.... 

" කොහොම හරි කවි දෙක තුනක්වත් ලියල දුන්නොත් සුජාගෙ ආදරේ තවත් වැඩිවෙයි කියලයි මට හිතුනෙ.ආදරේ හින්දම එහෙම කලා තමයි, ඒත් ඒක මහ මෝඩ වැඩක් කියල මට තේරෙන්නෙ දැනුයි. " 

උඹට කිව්වනෙ මම ඕක...ඒකත් මම කිව්වෙ නෑ..දත් දෑන්ද එකට තද කරගෙන කට ඇතුලෙ සුටුපුටු ගෑව විතරයි. 

" කවි ලියන්නෙ මම නෙවෙයි කියල සුජාට කියන්ට ඕනය කියල මම කීප දවසක්ම හිතුව. ඒක කියන්ට ඔන්න මෙන්න කියල ආයෙම මට බයක් වගෙත් හිතුන. ඒ වෙනකොට මම සුජා ගැන තේරුම් අරගෙන හිටියෙ. ඒ නිසාමයි මට වැඩියක්ම බය හිතුනෙ.අයියට මතකද මම දවසක් බලෙන්ම වගෙ අයියව සුජාට මුණ ගැස්සුව...මම එහෙම කලේ ඊට පස්සෙ කවි ලිවෙ අයියයි කියල එයාට කියන්ට හිතාගෙන..ඒත් ඊට පස්සෙ මට හිතුන එහෙම කිව්වොත් මට සුජාව නැතිවෙයිමයි කියල " 

එහෙම හිතුනෙ ඇයි?  කියල මම විජිතගෙන් ඇහුවෙ නෑ..මට එහෙම හිතුනෙ ඇයි කියල අයිය අහන්නෙ නැද්ද?  කියල විජිත මගෙං ඇහුවෙත් නෑ. විජිත එහෙම කිව්වෙ ඇයි කියල මම හොඳාකාරවම දන්න බව විජිත දන්නවය කියලත් මම දැනගෙන හිටිය. 

" අයියල කොළඹ ට්‍රේනිං එකට ගියාට පස්සෙ තමයි වැඩේ අන්තිමටම සවුත්තු උනේ. මට සුජාට ඇත්ත කියන්ටම සිද්ද උනා. සුජා කියන්නෙ අයිය අමුතුම ගතිගුණ තියෙන කෙල්ලෙක්. එයා හිතන්නෙ ඔය සාමාන්‍ය ගෑණු ළමයි හිතන විදිහට නෙවෙයි.. 

" හ්ම්ම්ම්. මම දන්නව…." මට ඉබේම කියවුනා. 

විජිතයට ඒක ඇහුනෙ නෑ මගෙ හිතේ හොඳ වෙලාවට. ඇහුණ උනත් ඒ වචනෙ දිගේ හාර අවුස්සන්න තරම් තත්වෙක ඌ හිටියෙ නෑ කියල මම හොඳාකාරවම දන්නව. 

" සුජා කිව්වෙ මොකක්ද දන්නවද?..විජිත මොන හේතුව නිසා උනත් ඔයා මට වංචාවක් රැවටිල්ලක් කලේ. ඒක මට කිසිම විදිහකින් අමතක කරන්ට නම් බැරිවෙයි. අන්තිමට සතියකට විතර පස්සෙ එයා මට කිව්ව බොහොම කණගාටුවෙන් උනත් අපි අතර තිබ්බ සම්බන්දෙ නතර කරන්ට එයා තීරණය කලාය කියල. " 

" මා එක්ක තරහ වෙන්ට එපාය කියල ඔයාගෙන් ඉල්ලන එක හරිද නැද්ද කියල මම දන්නෙ නෑ. මම දන්නෙ එක දෙයයි. ඔයා මට වංචාවක් කලා. ඒක මගෙ හිතේ හැමදාම තියේවි අළුයට හැංගුණු ගිණි පුපුරක් වගෙ. ගිණි පුපුරු හිතේ තියාගෙන එක වහලක් යට ජීවත් වෙන්න බෑ විජිත. මම දන්නෙ නෑ. එහෙම පුළුවන් අයත් ඇති. ඒත් මට බෑ. ඒ නිසා අදින් මේ සම්බන්දෙ අපි නතර කරමු..එහෙම කියල කුරුණෑගල බස් ස්ටෑන්ඩ්  එකේදි එයා මට පිටුපාල... පිටිපස්ස එකපාරක්වත් හැරිල බලන්නෙ නැතුවම යන්ටම ගියා අයියෙ... යන්ටම ගියා. " 

අන්තිම හරිය කියද්දි විජිතට ඉකි ගැහුන. දෙයියෝ සාක්කි..වැඩිහිටි මනුස්සයෙක්.... පිරිමියෙක් මේ වගෙ කාරණේකට අඬනව මම ඔය දැක්කමයි. මගෙ හිත නිකං හිරි වැටුන වගෙ උනා.මොනව කියාගන්ටද කියල හිතාගන්ට බැරුව මම විජිත දිහා බලාගෙන එහෙම්මම හිටිය. මල්ලි අඬන්ඩ එපා ඔව්ව ඔහොම තමයි කියල කියන්ටය ආය? අනික විජිත වගෙ දරාගන්ට බැරි වේදනාවකින් මිරිකිල ඉන්න කෙනෙකුට කොයි විදිහට මොනව කිව්වත් වැඩක් නෑ. තමන්ම තමන්ගෙ වේදනාවට ප්‍රතිකර්මයක් හොයාගන්ට ඕන. එතන තියෙන්නෙ එච්චරයි. බොහොම සරලයි පහසුයි. 

විජිතට ඇතිතරම අඬන්ඩ දීල මම කුඹුක් ගහට හේත්තු උනා.දියකාවො අන්තිමට මාලු අහින වැව් ඉවුරෙ ගල ගාවට කොටුකරගෙන දඩයම භුක්ති විඳින්ඩ පටන්ගෙන. මාලුවො ගැන මගෙ හිතේ ඇති උනෙ මහ දුකක්. ඒත් එහෙම තමයි ජීවිතේ හැටි. 

ඉර මුදුනටම ඇවිල්ල...දෙය්යෝ සාක්කි. මේ මනුස්සයගෙ ජිවිත කතාව අහන්ට ගියායිං සයිට් එක පැත්තෙ යන්ට බැරිඋනා. ලැම්බට් ඉන්න හින්ද අවුලක් නං නෑ. වයසක මනුස්සය උනාට අතිපණ්ඩිතයෙක් නෙවෙයි. තමන් හැමදේම දන්නවය කියල හිතාගෙන ඉන්න මනුස්සයෙකුත් නෙවෙයි. හරියටම ෂුවර් නැති තැනක් තියේනම් පටස් ගාල ඇවිල්ල අහනව. ඒ නිසා අවුලක් නෑ. ඒත් කෝකටත් ඒ පැත්තෙ ගියොත් හොඳයි. 

" විජිත මොකද කරන්නෙ? දැන්ම ආපහු යනවද? මම පොඩ්ඩක් සයිට් එක පැත්තෙ ගියොත් හොඳයි. ලැම්බට් ඔලුව තියන මනුස්සය. ඒත් කෝකටත් බලල එන්නම්.." 

මම නැඟිටල අත්දෙක උස්සල දිග ඇදිල හිරි ඇරිය. ෂෙහ්...අම්මප... පස්සත් එක්ක හිරි වැටිල මේ ගල උඩ ඉඳගෙන ඉඳල.කලිසමේ පිටිපස්සෙ රැඳිල තිබ්බ වේලිච්ච කොල එහෙම අතිං ගසල දැම්මට මට දැනුනෙ වත් නෑ. 

" අයියෙ? ….." විජිතත් නැඟිට්ට. 

" මම අයිය හම්බ වෙන්ට ආවෙ මගෙ කතාව කියන්ටම විතරක් නෙවෙයි…. ඉල්ලීමකුත් කරන්ට." 

" එහෙමද? …" මම යන්ට හැරුන එක නැවතිල ආපහු විජිතගෙ මූන බැලුව. 

" අයියෙ.... මම දන්නව අයිය හරිම හොඳ මනුස්සකං තියන කෙනෙක්ය කියල.මම ඊයෙ කියපු දේවල් වලට මට සමාවෙන්න. ඒ එකක්වත් මම හොඳ සිහියෙං කරපුව නෙවෙයි. මම දන්නෙ නෑ මට මොනව වෙලා තිබුණද කියල….." 


" හරි මල්ලි මම කිව්වනෙ එව්ව ඔක්කොම චැප්ටර් ක්ලෝස් කියල... එව්ව ඉවරයි. එහෙම නෙවෙයි මොකක්ද මගෙං ඉල්ලීමක් කරන්න තියනවය කියල කිව්වෙ? "

විජිත මා ලඟටම ආව. මගෙ අත් දෙක අල්ලගෙන ඇස් වලට එබුන. 

" අයියෙ…. මම මේ බැගෑපත් ඉල්ලීමක් කරන්නෙ ..සුජාටයි මටයි අයිය බාදාවක් වෙන්න එපා. අපේ ජීවිත වලින් කරුණාකරල අයිය අයින් වෙන්න. මම ඉල්ලන්නෙ එච්චරයි. " 

මතු සම්බන්ධයි...... 

Friday, November 8, 2013

229. කවිකාරියකගේ ප්‍රේමය…..17


හෙමිහිට ඇහෙන්ට පටන් ගත්තු අඩි සද්දයක් ටිකින් ටික වැඩි උනා. ලැම්බට් අයිය තැඹිලි ගෙඩියත් අරගෙන එනව වෙන්ට ඇති කියල හිතල මම ඇස් දෙක ඇරියෙවත් නෑ. 

අඩි සද්දෙ මා ලඟටම ඇවිල්ල නැවතුනා. මම උඩ බලාගෙනම හෙමිහිට ඇස් ඇරියා, කුඹුක් ගහේ අතු අස්සෙං පාතට ආපු ඉරු රැස් දහරක් කෙලිම්ම මයෙ ඇහැට වැටිල මගෙ ඇහැ ආයෙම පියෙව්ව. 

" අයියෙ……" 

කණ ළඟම ඇහුන ඒ කටහඬ ආයෙම මගෙ ඇස් අරවල ඔලුවත් ඒ පැත්තට හැරෙව්ව. 

ඔලුව හරවල බලනකොට කවුද මා ලඟ හිටගෙන හිටියෙ?..දෙයියංටම ඔප්පු වෙච්චාවෙ සුජා!!!!!! 

දනි පනි ගාල මට නැඟිටුනෙ ඉබේටම.. 

" සුජා නංගි ඔයා????? " 

මම එහෙම කිව්වෙ අර කාලෙකට ඉස්සෙල්ල සෙලින්කෝ ඇඩ් එහෙක ගියෙ කෑල්ලක් ….අහිංසා...ඔයා???? කියල... අන්න ඒ විදිහට .... 

සුජා කෙලින්ම මයෙ බෙල්ලෙ එල්ලුනා...ඒ කරල මයෙ පුලුල් පපුවට මුහුණ තද කරගෙන අඬන්ඩ ගත්ත.සධාතුක කරඬුවක් බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද වැඩී තුරුළු කොටගන්නේ යම්සේද එලෙස මම හද පුරා පිරීගිය බැති පෙමින්යුතුව ඇය වැළඳ ගතිමි.ඇය හෙලූ කඳුලු මගේ කමිසය තෙත් කොට ගලාගියේ මේ සසරේ අනේක ජාතීන්හි ඒ කඳුලු මගේ පපුව තෙත් කොට ගලාගියාක් මෙනි. 

" රවි අයියා……" 

ඇය තම කඳුළු පිරි විසල් නෙත් ඔසවා මා වත දෙස එක එල්ලේ බලා සිටියාය. 

" අයිය නැතුව මට ඉන්ට බෑ මයෙ අයියෙ…. ඒ නිසා ජාති ජාතීත් මම අයිය හොයාගෙන ආව වගේ ආයෙම ආව මයෙ රත්තරනේ.." ඇය කොඳුළාය. 

මම පහත්ව අපමණ සෙනෙහසින් ඇගේ නළලත සිප ගතිමි. 

" ඉන්න සුජා පොඩ්ඩක් ….." ඇගේ මල්දම් වන් දෙඅත මා ගෙලෙන් මෑත්කල මම කලිසමෙහි කකුල් ඉණ දක්වා නවා ගනිමින් ජලාශයට බැස්සෙමි. 

" අනේ රවී අයියා බලාගෙන …" සුජාතා බියපත්ව කෑගැසුවාය.. 

" ඉන්නකෝ ළමයො මම ඉන්නකල් කිසිම දේකට ඔයයි බය වෙන්න එපා….." සුදට සුදේ පිපී තිබූ ඕළු මල් ගොන්නක් නෙලාගනිමින් මම පසුපස හැරී ඇය දෙස බලා සිනාසුනෙමි. 

" ඒයි අයියෙ…. ඔන්න කිඹුලෙක් " එක්වරම ඇය කෑගැසුවාය. 

" මළ කෙළියයි…" නෙලාගත් ඕළු මල් මිටියද වැවටම අතහැර දෙදණහිස් දක්වා මඩ වැකුණු දෙපයින් යුතුව මම දණි පණිගා ගල්තලාවට ගොඩ වීමි. 

" හප්පා යන්තම් බේරුණා…" මම පපුවට දකුණු අත තබාගත්වනම පැවසුවෙමි. 

" කෝ දැං ඔය කිඹුලා?....." 

" ආං අර ඉන්නෙ……" සුජාතා දකුණත දිගු කලාය.." කිඹුලෙක් නම් නෙවෙයි අයියෙ කබර තඩියෙක්……" 

" උඹට මම මොකටද කියන්නෙ එහෙම?.... ඉඳපං ඔහොම …" මම ඇය අල්ලා ගැන්මට තැත් කලෙමි.. 

" අනේ එපා….." ඇය හඬනඟා සිනාසෙමින් මගෙන් මිදී වැව් කණ්ඩිය දිගේ දිවයන්නට වූවාය. 

කොහොමද ඒ පේමාලිංගන සීන් එක?....ආව නිකං මල් හතට නේද? පිස්සු හැදෙයි, යළි හොඳවෙයි නැවත හැදෙයි කිව්වලු..හෙහ්, හෙහ්...මයෙ හිතේ තියනව මේ කෙහෙම්මල් රස්සා බස්සා ඔක්කොම අතෑරල දාල පුල් ටයිම් ආදර කතා ලියන්ට...ඒකට පොඩි පෙර හුරුවක් විදිහට තමයි ඔය සුජාස් සහ රවීස්ගෙ ලව් සීන්ස් කෝන්ස් එක ලිව්වෙ.....හෙහ්, හෙහ්, නරකම නෑ නෙවද? 

" අයියෙ……" 

කණ ළඟම ඇහුන ඒ කටහඬ ආයෙම මගෙ ඇස් අරවල ඔලුවත් ඒ පැත්තට හැරෙව්ව. 

" විජිත...." 

මට නැඟිටුනෙ ඉබේටම..ඊයෙ රාත්තිරියෙ අන්තිමට මනුස්සය මට කිව්වෙ උඹටනම් හොඳක් වෙන්නෙ නෑ කියලනෙ. එක පාරටම මට නිකං හිතේ ගැස්මක් වගෙත් ආව මේ යස්සය මට ගහයිවත්ද කියල. 

මම ඔය ගුටි ඇණගන්න සීන් වලට කවදාවත් ඒ හැටි කැමැත්තක් දැක්කුවෙ නෑ. තුනේ පංතියෙදි විතරක් ඔන්න එකම පාරක් මට එකෙක් එක්ක ගුටි කෙලගන්න උනා. ඒත් මම මඟ අරින්ට හදල බැරිම තැන.ඒකෙං මයෙ ඉස්සරහ දතක් ගැලවුනා. ඒ දත කොහොමත් හෙල්ලි හෙල්ලි තිබ්බ නිසා ඒ හැටි අවුලක් උනේ නම් නෑ. පුංචි සන්දියෙ ගුටි ඇණ ගන්නවට වඩා මම කලේ ගුටි කෙළි සංවිධානය කරපු එක...හෙහ්, හෙහ්, 

මයෙ හිත ටිකක් විතර එහෙ මෙහෙ උනාට එහෙම කලබල වෙන්ට කිසිම උවමනාවක් ඇත්තටම තිබ්බෙ නෑ. විජිතය හිටියෙ බිම බලාගෙන.මම නැඟිටල කුඹුක්ගහට හේත්තු උනා. එහෙම නිස්සද්දවම ගෙවිල ගියා මම හිතන්නෙ මිනිත්තුවකට කිට්ටු තරම..විජිත කතා කරන පාටක් පේන්නෙ නැතිකොට නිස්සද්දතාවය ඉවසන්ටම බැරිතැන මම කතාකලා. 

" ඔව්..... විජිත කියන්න…" 

ඒ වංගියෙ ඔන්න මිනිහ ඔලුව ඉස්සුවා. ඇස්වල කඳුලු තිබ්බයි කියල කියන්ට තරම් මට මතකයක් නම් නෑ. ඒත් බොහොම අසරණ කමක් හිත් වේදනාවක් නම් ඒ ඇස්වලින් ගලාගෙන ගියයි කියලනම් මට සහතිකයි. 

" ඉස්සෙල්ලම කියන්න අයිය මා එක්ක තරහද?....." 

මම මොකවත්ම නොකිය විජිතගෙ මූණ දිහාවෙ බලාන හිටිය. මොකක් කියන්ටද කියල හරි හැටි හිතාගන්ට බැරුව… 

" හරි එහෙනම් මම මෙහෙම අහන්නම්කො..අයිය මට සමාව දෙනවද?..." 

අන්න ඒකට නම් මට එක එල්ලේ උත්තරයක් දුන්නෑකි. 

" හරි මල්ලි එහෙම අවුලක් නෑ..කවුරු අතිනුත් වැරදි වෙනවනෙ...එව්ව ඔක්කොම අල්ලල දාන්න.." මම නැමිල විජිතගෙ පිටට තට්ටු කලා. 

" අයියට කියන්න මට දිග කතාවක් තියෙනව….." 

මම කිව්ව මේ ගල්තලාව කුඹුක් ගහේ මුල ඉඳල වැවේ වතුර තියෙන මට්ටමට යනකල්ම වැව් කණ්ඩියෙ ආනතියත් එක්කම විහිදිලා ගිහිල්ල තියෙන්නෙ. මම හිටියෙ කුඹුක් ගහට පිටදීලා ගල් තලාවෙ මුදුනෙම හරියෙ. විජිත මට පල්ලෙහායින් ගල් තලාවෙ ඉඳගෙන කකුල දිගඇරගත්ත. මම කුඹුක් ගහ මුලම ඉඳගෙන ගහට හේත්තු වුණා. 

ඔය චිත්‍රපට, ටෙලි චිත්‍රපට වල එහෙම සීන්ස් දැකල තියද දෙන්නෙක් කතා කරනව එකිනෙකාගෙ මූණ බලන්නෙ නැතුව. අපි සාමාන්‍ය ජිවිතේදි එහෙම කරන්නෙ නෑ නේද? ඔන්න මොකක් හරි කතාකරන්ට අමාරු සබ්ජෙක්ට් එකක් කතා කරද්දි කෙලින්ම මූණ බලන්න බැරුව අහක බලාගෙන කතාකරන එක ගැන නෙවෙයි මම මේ කියන්නෙ... 

දැං ඔය පෙම් පලහිලව්වක් ඉවර කරනකොට ඒක මූණටම කියන්ට උනොත් මූණ බලාගෙන කියන්ට බෑ තමයි..එහෙම නෙවෙයි මම මේ කියන්නෙ. තනිකරම තමන් ආමන්ත්‍රණය කරන පුද්ගලයට පිටුපාල කතාකරන එක ගැන. එහෙම සංවාදයක් ටිකක් අස්වාභාවිකයි කියල හිතෙන්නෙ නැද්ද? 

සමහරවිට චිත්‍රපටවල එහෙම යොදනව ඇත්තෙ යම් ඇඟවිමක් කරන්න වෙන්න ඇති.හරි, ඒ සිනමා විශ්ලේෂණය දැන් ඇති. මම මේ කියන්ට ආවෙ එදා කුඹුක් ගහයටදි විජිත එයාගෙ මුලු කතාව කිව්වෙ මට පිටුපාල ඉඳගෙන. 

බොහෝවිට මට මූණදෙන්න බැරිගතියක් වගෙ විජිතට දැනෙන්න ඇති.ඒ මොක හරි ඒ සංවාදය කෙරුනෙ එහෙමයි. සංවාදය කිව්වට මම ඕනනම් වචන හත අටක් කතා කරන්න ඇති. විජිත මට පිටුපාල වැව දිහා බලාගෙන කතාකරගෙන ගියා. මම අහගෙන හිටිය. අන්න ඒ විදිහටයි උනේ. ඒ වෙලාවෙ මට ඒක ඒ හැටි අමුත්තක් නොවුනට පස්සෙදි මටම කල්පනා උනා අඩේ විජිත කතාව කියද්දි හිටියෙම මට පිටුපාල නේද කියල.ඒකෙ මොකක් හරි යටි ඇඟවුමක් තියනවද කියලනම් මම දන්නෙ නෑ.ඒත් වැඩේ උණේ නම් එහෙමයි. 

" මගෙ තාත්ත නැතිවෙනකොට මට වයස අවුරුදු දෙකක්වත් නැතිලු. මට තාත්ත මතක යන්තමට මීදුම මැදින් පෙනෙන නොපෙන ඡායාවක් වගෙ.අම්මයි තාත්තයි තනි මතේට කසාද බැඳල තියෙන්නෙ.... අම්මගෙ දෙමව්පියො ....ඒ කියන්නෙ මගෙ ආච්චියි සීයයි තාත්තට කැමතිවෙලාම නැහැ. ඒකට හේතුවක් මම අදවත් හරියට දන්නෙ නෑ. හිතුවක්කාරෙට පොතේ අත්සං කරල ඒ දෙන්න ගිහිල්ල පදිංචි වෙලා තියෙන්නෙ තාත්තගෙ ගමේ.."

" අයිය දන්නවද ඇඹිලිපිටිය?...... " විජිත ඇහුවෙ මාදිහාවෙ හැරිල බලන්නෙවත් නැතුව.. 

මම ඔලුව හෙල්ලුව ඔව් කියන්න. ඒත් විජිත ආයෙම කතාව පටන් ගන්නෙ නැතුව දිගටම වැවේ වතුරෙ හුළඟට හැදෙන රැලි ගල්තලාව පාමුලටම ඇවිල්ල බිඳිල යන හැටි බලාගෙන හිටිය. 

" ඔව්..මම ගිහිල්ල තියනව ඇඹිලිපිටියෙ.." අන්තිමට මම කිව්ව… 

මගෙ කටහඬින් නින්දෙන් ඇහැරියවගෙ විජිත එක පාරට ඔලුව උස්සල ආයෙම කතාව පටන් ගත්ත. 

" ඇඹිලිපිටියටත් එහා තාත්තගෙ ගම...එහාට කියන්නෙ බිංකම කියල…" 


" හදිස්සියෙම තාත්ත මැරිල පොළඟෙක් කාල....අම්ම ඊට පස්සෙ මාවත් අරගෙන ආපහු සීයයි ආච්චියි ළඟට ඇවිල්ල. අම්ම සීයයි ආච්චිගෙයි හිත් බින්දට පවුලෙ එකම දරුව නිසා අම්මට ඒ දෙන්න ගොඩක් ආදරෙන් ඉඳල තියනව. ඒ නිසාමයි හිතේ සැකයක් නැතුව අම්ම ආපහු ඇවිල්ල තියෙන්නෙ…" 


විජිත කතාව නවත්තල හිටිය මිනිත්තුවක් තරම නිස්සද්දව...ඊට පස්සෙ ආපහු කතාව පටන්ගත්ත.මේ කතාව මනුස්සය දිගටම කිව්වෙ එහෙම ...හිටිගමන් නවත්තනව...ආයෙම කතාව කියන එකක් නැතිය කියල මට හිතෙන තරමට නිස්සබ්දතාවය දිගට ඇදෙනකල් ඉඳල එක පාරට කතාව පටන් ගන්නව. 

" සීය ඒ තරම් කැමැත්තක්වත් අකමැත්තක්වත් පෙන්නල නෑ අම්මයි මායි ආපහු ආවට. ඒත් අයිය ඒ එයාගෙ හැටි...මතුපිටිං එහෙම උනාට හිත උණුවෙන මනුස්සය. ආච්චිනම් බොහොම සන්තෝසෙන් අම්මවයි මාවයි බාරගෙන තියනව. " 

" මහත්තය තැඹිලි........." 


ඔන්න වැඩේ හැටි ලැම්බට් අයියයි තැඹිලියි අමතකම වෙච්චි හැටි. ඇස්ස ගහපු තැඹිලි ගෙඩි දෙකක් දෑතිං අරගෙන ආපු ලැම්බට් අයිය හිනාවීගනම නැමිල තැඹිලි දෙක දුන්න විජිතටයි මටයි. 

ලැම්බට් අයියගෙ මුණුබුරා ඈත දුවගෙන එනව ගිණිකසය වගේ. කොල්ලට අවුරුදු අටක් විතර ඇති. නිවාඩු මාසෙම ගෙවන්නෙ ආතා එක්ක කැළේ මැද්දෑවෙ වාඩියෙ. නම සුමනසිරි...මා එක්ක හරිම එකතුයි..මොන එකක්ද මන්ද පොඩි එවුං මා එක්ක බොහොම ඉක්මනට සැට් වෙනව. සමහරවෙලාවට මහ වාතයක්, ඇණයක් වගෙ හිතෙන තරමට...හෙහ්, හෙහ්, ඒත් මම එහෙම හිතන්නෙ නෑ... 

" පුතා උඹ මොනවයි කරන්නෙ ලොකු උනාම? " මම එහෙම අහනව කොල්ල දැක්කිං. 

" මම මහත්තය ගාව වැඩ කරනව කැළේට ඇවිල්ල වාඩියෙ නතර වෙලා.." හෙහ්, ඔන්න උගෙ උත්තරේ… 

" හෙහ්, නරකම නෑ..උඹ ලොකු මහත් වෙලා වැඩට එනකල් මට කැළේම ඉන්ට කියලද සුමනසිරි මට කියන්නෙ? " මම හිනාවෙනකොට කොල්ලත් හිනා වෙනව.එතකොට ලැම්බට් ආතත් හක හක ගාල හිනාවෙනව. 

" හෙමිහිට වරෙං පුතා දැං වැටිල තුවාල කරගන්නව…" ලැම්බට් එතනම ඉඳල කෑගැහුව. 

" වීදුරු දෙකක් ගේන්න කිව්ව මහත්තය මම කොළුවට…. මහත්තයලට තැඹිලි බොන්ට.." 

" ඕන නෑ ලැම්බට් අයියෙ..තැඹිලිවල ගතිය තියෙන්න උඩ බලාගෙන ගුඩු ගුඩු ගාල ගහල අරිනකොට…" 


තැඹිලිය එක හුස්මට ගහල ඇරිය මම ...ටිකක් විතර සේට් එකෙත් හැලුන… 

" ලැම්බට් අයියෙ පලාපංකො ...ලොඳ තියනව....සුමනෙ අරං වරෙං කොල්ලො මන්නෙ…" 

සුමනෙ කියල කතා කලොත් උගෙ ඉහටත් උඩිං..කරෙත් ගිහෑකි..කොල්ල රූං ගාල ඉගිල්ලුනා ආපහු වාඩියට,… 

" මහත්තය හොඳට දන්නව ආලවට්ටං දාල වැඩ ගන්ට නේද? " ලැම්බට් අයිය ආයෙම බඩ ගෙඩියත් හොල්ල හොල්ල හිනා උනා. 

මේ සියලු කාරණා කටයුතු සිද්ද වෙද්දි විජිත යන්තමට හිනාවීගෙන පැත්තකට වෙලා බලාහිටිය විතරයි. වචනයක්වත් කතා කලේ නෑ. 

" විජිත…... කොහොමද මල්ලි ආවෙ? " ජීප් එකක් ආව නම් අනිවාර්යයෙන් මට සද්දෙ ඇහෙන්න ඕන. 

" ධර්මෙ බයික් එකේ මාව ගෙනත් දාල ගියා. මම කිව්ව පැය එක හමාරකින් දෙහෙකිං විතර ආපහු එන්නෙයි කියල…" 

පැය එකහමාරකිං..දෙහෙකිං..හ්ම්ම්ම්ම්..විජිතට සෑහෙන කතාවක් කියනට තියනව වගෙ මා එක්ක. 

" ඔන්න ඔහොම අම්මයි මායි සීයයි ආච්චියි අපි හතර දෙනා බොහොම නිස්කලංක ජීවිතයක් ගෙව්ව. සීයගෙ කුඹුරු වතුපිටි වල ආදායම් නිසා අපට කිසිම අගහිඟයක් තිබුනෙ නෑ. අපිට තිබ්බ එකම ප්‍රශ්නෙ අම්ම. අම්ම හැමදාම ලෙඩගානෙ දවසින් දවස දිරල ගියා. ඒකට හේතුව තාත්ත නැතිවෙච්චි දුක දරාගන්ට තරම් අපෙ අම්මගෙ පපුව හයිය මදි උනා අයියෙ.මට කොහොමහරි අවුරුදු හතරක් වෙන්ටත් කලින් අම්මත් නැතිඋනා..." 

විජිත අන්තිම හරිය කිව්වෙ බොහොම හෙමිහිට..හරියට කාටවත් ඇහෙයි කියල අපි ඔය කණට කරල රහස් කියන්නෙ අන්න ඒ වගේ..මොනවද කියන්නෙ කියල හරියට අහගන්ට මට දණිස් දෙකට දෑත් තියල වාරු වෙලා ඉස්සරහට නැමෙන්ටත් උනා ඔන්න කොටින්ම. 

උදේ පුපුරන්ට වගෙ තිබ්බ ඔලුවෙ කැක්කුම දැන් නිකං එක ගාණකට ඇවිල්ල. යන්තමට මිනිත්තුවකට තුන් හතර පාරක් ඔලු ගෙඩිය ඇතුලෙ ඩීං ඩීං ගෑවිල්ලෙ දෙපාරක් විතර පිටි කොටනව වගෙ දැනෙනව ඇරෙන්න වෙන උහුලන්ට බැරි අමාරුවක් හේම නෑ. ලැම්බට්ගෙ තැඹිලි ගෙඩිය හින්දද එහෙමත් නැත්තං විජිතගෙ කතාවට මයෙ අවධානය යොමුවෙලා තියෙන නිසාද නැත්තං සමෝසමේ ඒ දෙකම හින්දද? හරි එව්වයිං වැඩක් ඇත...මොක හරි කරණ කොට ගෙන ඔලුවෙ කැක්කුම අඩුවුනානං ඒ මදිද හැබෑට? 

" ඊට පස්සෙ සීයයි ආච්චියි තමයි මගෙ ලෝකෙ ඉරයි හඳයි උනේ අයියෙ..සීයා සැර පරුස මනුස්සය උනාට අම්ම මියෑදුනයිං පස්සෙං පහු මට හුඟක්ම කිට්ටු උනා. වාත අමාරුවක් වගේ බං මට..සිද්ධාර්තෙ ඩිංගක් ගාපංකො පොඩි එකෝ මේ පපුවෙ කියල මට කිව්ව දවසක් හැන්දෑවෙ. මම තෙල් ගාල අතගාද්දිම පණ හැඟඋනා උන්දැගෙ...එතකොට මම අටේ පන්තියෙ. " 

" සීය නැතිඋනයි කියල දෙයියංගෙ පිහිටෙං අපට සල්ලිය බාගෙ අඩුවක් උනේ නෑ. අපෙ ආච්චි ඒ අතිං ඕනම දේකට ඔට්ටුයි. වතුපිටි ඉඩකඩං උන්දැ අපූරුවට පාලනේ කරල ආදායං ඉපැද්දුව. මට හිතෙන්නෙ සීය හිටිය කාලෙටත් වඩා අපිට සල්ලිය බාගෙ ආව ආච්චි වැඩේ අතට ගත්තයිං පස්සෙ. අයියට මයෙ කතාව අහන එක මහ කන්දොස්කිරියාවක් වගේද?.." 

කතාව පටන්ගත්තට පස්සෙ පලවෙනි පාරට විජිත ඔලුව හරෝල මගෙ මූණ බැලුවා. 

ඊයෙ මේ මනුස්සය මම ජීවිතේට වෙන කාගෙන්වත් නාහපු වචන වලින් මට දොස් කිව්ව. කුණුහරුප වලටත් වැඩිය මගෙ හිතට වැදුනෙ උඹට නම් හොඳක් වෙන්නෙ නෑ කියල මගෙ මූණටම කීව කතාව. එහෙම කතාවක් මූණටම කියන්ට මනුස්සයෙක්ගෙ හිතේ කොයිතරම්නම් වෛරයක් ඉපදිලා තියෙන්ට ඕනද? ඉතිං ඇත්තම කියනවනං විජිතගෙ හිතේ මා ගැන එහෙම වෛරයක් තරහවක් ඇතිඋනේ ඇයිද කියල සහසුද්දෙං දැනගන්ට මයෙ හිතෙත් ලොකුම ඕන කමක් තිබ්බ.ඒත් ආයම විජිත කවමදාවත් හම්බවෙන එකක් නැතිය ඒ හින්ද ඒ කාරණේ කිසිදාක දැනගන්ට බැරිවෙයි කියලයි මම හිතාගෙන හිටියෙ. ඒත් මම තුංහිතකිංවත් නොහිතපු විදිහට මිනිහම අද මා ලඟට ඇවිල්ල මිනිහගෙ කතාව කියනකොට ඒක කන්දොස්කිරියාවක් වෙන්නෙ කොහොමද? 

" නෑ මල්ලි කියන්න කියන්න...මම බොහොම ආසාවෙන් අහගෙන ඉන්නෙ ඔයාගෙ කතාව..මට විශේෂයෙන්ම දැනගන්ට ඕන........" 

දෙය්යෝ සාක්කි ඒ ටික කියන්නෙ කොහොමද? මම එතනින් කතාව නවත්තල ඉතුරු වචන ගිල ගත්ත. විජිතත් මොනවදෝ අහන්ට වගෙ හදල ආයෙම නිස්සබ්ද උනාය කියල මට තේරුණා. විශේෂයෙන් මොනවද දැනගන්ට ඕන කියල අහන්ට හිතල ආයෙම නිකා ඉන්ට ඇති බාගවෙලාවට. 

" මම ඇඩ්වාන්ස්ඩ් ලෙවල් කරල ටික දවසක් ගෙදර හිටිය.වැඩිදුර ඉගෙන ගන්න මගෙ කිසිම ආසාවක්වත් උනනදුවක්වත් තිබුනෙ නෑ. අපෙ ආච්චිගෙ එකම නංගිගෙ දෙවෙනි පුතා තමයි අපෙ ලොක්කා. එයා තමයි මාව මේ රස්සාවට දැම්මෙ. ඒ එල් වලට මම එකවුන්ටන්සි කරල තිබ්බ නිසා වැඩ අල්ලගන්න අමාරුවක් තිබ්බෙ නෑ. " 

මේ වෙනකොට ඉර මුදුං වෙලා හොඳටම...වැවෙං ගලාගෙන එන හුළං රැල්ලෙත් අර කලිං තිබ්බ හීල් සිසිලස මැකිල ගිහිල්ල.තොප්පිගල පැත්තෙ ඉඳල පියාඹගෙන ආපු දියකාවො රංචුවක් එකා පස්සෙ එකා වැවට පාත් වෙලා දඩයම පටංගත්ත. 

" පිටිං බලන කෙනෙකුට මගෙ ජීවිතේ කිසිම අඩුපාඩුවක් නෑ කියල හිතෙයි අනිවාර්යයෙන්ම. අපෙ අම්ම පවුලෙ එකම දරුවා. අම්මගෙ එකම දරුවා මම . ඒ නිසා ආච්චිගෙ නමට තියෙන වතුපිටි කුඹුරු ඔක්කොම මට තමයි ආච්චිගෙන් පස්සෙ. එතකොට මට දෙය්යනේ කියල සෑහෙන පඩියක් හම්බුවෙන රස්සාවක් තියනව. අතපය හතර අඩුවක් නැතුව තියනව. ඒ ඔක්කොමත් හරි..ඒත් අයිය දන්නවද මනුස්සයෙකුට ඔය මොනව තිබ්බත් ජීවිතේ අවශ්‍ය තව දෙයක් තියනව. ඒක නැතුව ජීවත් වෙනවයි කියන්නෙ ඒ මනුස්සය ජීවත් උනත් මැරිල වගෙ. අයිය දන්නවද ඒ මොකක්ද කියල? ..." 

විජිත දෙවෙනි පාරටත් ඔලුව හරවල මගෙ මූන බැලුව. උත්තරේ මම හොඳාකාරවම දැනගෙන හිටියත් මම මොකවත් කිව්වෙ නෑ. යන්තමට තොල් මෑත් කරල හිනා උනා… 

" ඔව්..මම දන්නව අයිය ඒ මොකක්ද කියල දන්නවයි කියල.. ඒ තමයි ආදරය..ඒ තමයි ආදරය..ඒ තමයි ආදරය.." විජිත එහෙම තුන් පාරක්ම කිව්ව. 

මතු සම්බන්ධයි...... 

Tuesday, November 5, 2013

228. කවිකාරියකගේ ප්‍රේමය…..16


" හරි විජිත..උඹට ඕන විදිහකට මට කතා කරපං... එක අතකට මට උඹ ඔහොම නෙවෙයි කතා කරන්ට ඕන..හරි එව්ව ඇරිච්චාවෙ...උඹට අහන්ට තියෙන එක අහපංකො ඉතිං " 

ඌ කතාකරපු විදිහ හරි නෑ කියල ඌටම හිතිලද කොහෙද විජිතය කතා කලේ බිම බලාගෙන.. 

" ඇයි උඹ මට මෙහෙම කලේ? " 

ඌ එහෙම අහපු විදිහට මගෙ පපුව හෝස් ගාල ගියා.මගෙ හැටියක් ඒක පොඩි කාලෙ ඉඳලම. දුක හිතෙන සීන් එකක් තියෙන ටෙලි ෆිල්ම් එකක් මට තාමත් බලන්ට බෑ ඇස් දෙකට කඳුලු එන්නෙ නැතුව. අපෙ ලොක්කි මගෙ ඔය මර්මස්තානෙ යස අගේට දන්නව. ඇස් දෙකේ කඳුලු පුරෝගෙන කියන ඕන දෙයක් මම කරනවයි කියල උන්දැ දැනගත්තෙ අපි යාලු උන අලුතම. එදා ඉඳල ඉතිං ආය කියන්ට ඕන නෑනෙ..කඳුළු අතේ අරං ඉන්නෙ... 

දන්නවද පොඩි දවස් වල මොන්ත ක්‍රිස්තෝහි සිටුවරයා පොත කියවන්ට මට තුන් හතර පාරකට වැඩිය ට්‍රයි කරලත් බැරිඋනාය කියල. එඩ්මන් දනතිස්ස තමන් අවුරුදු ගණනක් පණමෙන් ප්‍රේම කරපු පෙම්වතිය එක්ක විවාහවෙන්ට කලින් දවසෙ දින නියමයක් නැතුව ශතෝ දීප්ත බන්ධනාගාරයෙ නිරපරාදෙ හිරකරපු සීන් එක කියවනකොට මට ඇඬෙන්නෙ නිරායාසයෙන්. 

" ඇයි උඹ මට මෙහෙම කලේ? " විජිත බොහොම හෙමිහිට එහෙම ඇහුවම අපි හැමෝටම මොකවත් කියාගන්ට බැරුව ගියා. එකිනෙකාගෙ මූණු දිහා බලල ආයෙම බිම බලා ගත්ත අපි හැමෝම. 

බිම බලාගෙනම නළල දෙපැත්ත දෑතින්ම පිරිමදිමින් ටික වෙලාවක් උන්නු මම ඔලුව ඉස්සුවා. 


" විජිත ඉස්සෙල්ල කියාපං මල්ලි මට මේක..මම උඹට මොනව කලයි කියලද උඹ හිතාගෙන ඉන්නෙ? " 

විජිතය පුටුවෙන් නැඟිට්ටෙ වෙඩි කාපු ඌරෙක් වගේමද කියල කියන්ට නම් බෑ.මොකද මම එහෙම එකෙක් දැකල නැති නිසා..කොහොම හරි ඊට හුඟක්ම සමානව වෙන්න ඕන. වෙඩි කාපු ඌරො දැකපු කට්ටිය ඒ සීන් එක හිතේ මවා ගන්ට. දැකල නැති කට්ටිය විජිත නැඟිට්ට විදිහ හිතේ මවාගෙන වෙඩි කාපු ඌරොත් ඒ වගේය කියල හිතාගන්ට... 

" මේ උඹෙ බබා හුකුං තමයි ***** මට අල්ලන්නෙ නැත්තෙ...කෙලිං කතාකරපං එහාට මෙහාට වැනෙන්නෙ නැතුව " 

" මේ විජිත උඹට මම එක පාරක් කිව්වා…" විමලෙය නැඟිට්ටෙ වෙඩි කාපු කොටියෙක් වගෙ.. 

අපි ඔක්කොමත් ඒ එක්කම නැඟිට්ට..නැඟිට්ට නෙවෙයි ඇත්තටම නැඟිටුනා. 

එතකොටම ධර්මෙ කඩාගෙන ආව එතනට වෙඩි කාපු කවුද......හරි වෙඩි කාපු ගෝනෙක් වගෙ....මතකනෙ ධර්මෙය නේද?....විජිතයගෙ රූමා… 

" කොහෙද බං උඹ ගියෙ?...මම බත් ටිකක් බෙදාගෙන එන්ට කුස්සියට ගිය ටිකට? මේ සැමී ඇවිල්ල කියනකල් මම දන්නෙ නෑ උඹ මෙහෙ ආවයි කියල...හා..යමං යමං ගිහිල්ල කාල නිදාගනිං " 

ධර්මෙ විජිතගෙ අතින් අල්ලල ඇද්ද ඌව එක්ක යන්ට... 

" බත් නෙවෙයි මට දැං කන්න වෙලා තියෙන්නෙ වහ..උඹ පලයං...මට මෙතන තියනව ප්‍රශ්නයක් කතා කර ගන්න …" විජිත මා දිහාවෙ රවාගෙන කිව්ව... 

" මේ ..උඹ මගෙං කුණු හරුප අහගන්ට එපා හොඳද?...ප්‍රශ්න විසඳගනිං හෙට උදේට..යමං යන්ට කිව්වහම ..." ධර්මෙ බලෙම්ම විජිතයව ඇදගෙන ගියා… 

" අනේ සොරි බං " කුස්සියෙං එළියට බහිනකොට ධර්මෙ ආපහු හැරිල කිව්ව.. 

" හරි බං එව්ව ගණං ගන්ට එපා...අනික උඹ කියල මොනව කරන්ටද? " විමලෙ උගෙ පිටට හෙමිහිට තට්ටු කලා.. 

අපෙ වතුර ටැංකිය පිටිපස්සෙං විජිතලගෙ චමරියට තියනව වැට අයිනෙං කෙටිපාරක්. 

" ඒයි ධර්මෙ ඉඳහං…" මම කුස්සියෙ දොර ගාව ඉඳල කෑගැවුව..දවස් තුනක් නෑ..ඔය වැට අයිනෙ ඉඳල දාර පොලඟෙක් මරල තිබ්බ අපෙ ගෝලයො කට්ටිය. 

" සැමී මගෙ ඇඳ පල්ලෙහා ඇති රතු පාට ටෝච් එක ..අරං වරෙං විගහට…" 

ටෝච් එකත් අරගෙන මම ගියා උං දෙන්න ලඟට… 

" තෑන්ක්ස් වීරෙ…." ධර්මය ටෝච් එක අතට ගන්න ගමං කිව්ව. 

අපෙ වතුර ටැංකි වටේටම දෙකේ හතරෙ ලී හිටවල ඇස්බැස්ටස් තහඩු ගහල කවර් කරලයි තියෙන්නෙ. මොකද ඔය මර පෑවිල්ල කාලෙ දාඩිය ඉහිං කණිං දාගෙන ආහම ආය කෙලිම්ම අපි කවුරුත් ඔක්ස්ෆර්ඩ් බාත් එකක් තමයි දාන්නෙ. ඔය සීන් එක දන්න නිසා අපෙ ලොක්ක චමරි ඔක්කෝගෙම පිටිපස්සෙ වතුර ටැංකි වටේටම කවර් කරවල දැම්මෙව්ව. 

විජිතය හිටියෙ අන්න ඒ ඇස්බැස්ටස් තහඩුවකට හේත්තුවෙලා. මිනිහ ඔලුව උස්සල මා දිහා බැලුව. ඇස් දෙක රතු වෙලා ඇටි කුකුළෙක්ගෙ වගේ… 

" උඹට නම් හොඳක් වෙන්නෙ නෑ…" ඌ එහෙම කිව්ව බොහොම හෙමිහිට. 

" වර යංට..මෙන්න මෙහෙ...අනෙ අම්මපා... …." ධර්මෙ ඌව ඇදගෙන ගියා. 

ධර්මෙ අඩි පාර පුරහටයි වටේ පඳුරු අස්සටයි ගහන ටෝච් එළිය ඇරෙන්න වෙන කිසිම දෙයක් නොපෙනෙන ඇටපල් කළුවරේ මම එහෙමම ගල් වෙලා හිටියෙ කිසිම දෙයක් හිතාගන්ට බැරුව.හිටිහැටියෙ ඔළුව පිටිපස්සට වැරෙං පොළු පාරක් වැදුනම මනුස්සයෙකුට හැඟෙන්නෙ මෙහෙම වෙන්න ඇතිය කියල මට එක පාරටම හිතුන

විමලෙ පිටිපස්සෙං ඇවිල්ල මගෙ බඩ මැදිං අත්දෙක දාල මාව බදාගත්ත. ඌටත් ඇහෙන්ට ඇති විජිත කියාපු එක. ඒත් ඌ එක වචනයක් වත් කිව්වෙ නෑ. ඒ වගෙ වෙලාවක සහෝදරත්වයේ උණුසුමක, ළබැඳි හදවතක ලෙංගතුකමක අගය කියා නිම කරන්ට බෑ. දෑසට නැඟුනු කඳුලු අතරින් අහසෙ පායලා තිබ්බ තරු බොඳ වෙලා පෙනුන මම ඇස් පියාගෙනම උඩ බලල ටික වෙලාවකින් ඇස් ඇරියම. 

" යමං ඇතුළට මෙතන මේ හීතලේ ඉන්නෙ අහවල් දේකටද? " 

විමලෙ එහෙම කිව්වම තමයි මටත් තේරුණෙ තදටම පින්න වැටෙනව නේද කියල...මෙහෙම පාන්දර වෙන්ටත් කලින් පින්න වැටෙන්නෙ පැලෙන්ට පායන්ට... 

" සැමී කෑම බෙදිල්ල පැත්තක දාල ගිහිල්ල පීටරය ඉන්න තැනකින් හොයාගෙන අරං වරෙං ඕල්ඩ් එකක්…" 

විමලෙ කුස්සියට ගොඩ උනේම එහෙම කියාගෙන. අපේ කෑම්ප් එකේම අපිම කොටස්කාරයො වෙච්චි ක්ලබ් එකක් වගෙ එකක් තිබ්බය කියල මම මේ කතාව නමෝ විත්තියෙං පටං ගන්නකොටම කිව්වය කියල මතකද? අන්න ඒ ක්ලබ් එකේ භාරකරු තමයි පීටර්...... 

" මචං මගෙ මේස ලාච්චුවෙ ඇති පර්ස් එක…. ඒකෙං සල්ලි ගනිං " 

ඇඳි පුටුවක ඉඳගෙන මම ඔලුව ඇන්දට හේත්තු කරල වාරු වෙලා ඇස් දෙක පියාගත්ත.. 

" නෑ..මම සල්ලි දෙන්නං…." විමලෙ උගෙ කාමරේට ගියා. 

" මචං..මට සමාවෙයං මේ ඔක්කෝටම වැරදි කාරය මම..එදා මම උඹට අර ***** ට කවි ලියල දෙන්නෙයි කියල නොකිව්වනං මේ කිසිදෙයක් වෙන්නෙ නෑ. එහෙම හිතනකොටත් මට මචං මං ගැනම මහ තරහක් ඇති වෙන්නෙ..." 

විමලය මා ඉස්සරහ ඉඳගෙන මයෙ අත් දෙක අල්ලගත්ත. අම්මාපල්ල සාලෙ සිවිලිමේ එල්ලිලා පත්තු වෙච්චි ලෑම්ප් ෂේඩ් එකක්වත් නැති විදුලි බුබුලෙ එළියෙං මම දැක්ක උගෙ ඇස් වල කඳුළු දිළිසෙනව. මගෙ පපුවත් හිරවෙන්ට ආව ඒක දැකල. 

විමලෙය කියන්නෙ මහ රූස්ස වනස්පතියක් වගෙ ඕනම දෙයක් දරාගන්ට පුළුවං පුරුසයෙක්. අපි පොඩි එවුං, ජීවිතේ හැම දේකටම උපදෙස් අනුසාසනා ගන්නත් විමලෙයගෙං .ඉතිං එහෙව් ගහක් ගලක් වගෙ ඉන්න එකාගෙ ඇස්වල කඳුළු දැක්කම පපුව හිරනොවෙන්නෙ කාගෙද? 


" නෑ අයියෙ මේ ටික මේ වෙන්ට තිබ්බ විදිහ තමා. ඒකට අයියට කරන්ට දෙයක් නෑ...යමක් වෙන්ට තියනව නම් වළක්වන්ට ඉරිසින්නාන්සෙලටවත් බෑ කියල අයියම නේද අපිට කියල දීල තියෙන්නෙ.? " 

මම ඇහුව බොහොම අමාරුවෙං යන්තමට හිනා වෙන ගමං.. 

" හ්ම්ම්ම්...ඒකත් නම් එහෙම තමයි...ඒත් මගෙ හිත වාවන්නෙ නෑ බං උඹ මේ දහපදුරා කතා අහන්ට ඕන එකෙක් නෙවෙයිනෙ..ඒකයි මට දුක…" 

" හරි හරි අයියෙ ඔන්න ඔව්ව අල්ලල දාහං…" 

" මහත්තෙය..ඕල්ඩ් ඉවරයි මෙච්චරයි තියෙන්නෙ කියල පීටර් අයිය මේ වෙන මොනවද දුන්නා.." 

පත්තරේක ඔතපු බෝතලේකුත් අරගෙන සැමී ආව. 

" ඕන මඟුලක් බං ගනිං ගනිං මේ වෙලාවෙ ඕන එකක්.. " ජයේ නැඟිටල බෝතලේ අතට ගත්ත. 

" යකෝ දෙවරක් පෙරුම උන්නැහැ..වරෙල්ල වරෙල්ල අද ගහමු... "

" හරි බොමු හැබැයි එකක් තියනව..මේ මඟුල ගැන වචනයක්වත් කතා කරන්ට බෑ හොඳද? "

මම නැඟිටල ගුරුලේත්තුවෙං ප්ලාස්ටික් ජෝගුවට වතුර එකක් පුරවන ගමං කිව්ව.ඔය වෙලාවට අය කොහෙං ෂැන්ඩි හොයන්ටද? උ.නි.ජලය තමයි. 

එදා අපි තුන්දෙනා ගැහුව මදි නොකියන්ට. සිංදු කිව්ව ගේ දෙක වෙන්ට… 

" මේ අඩේ උඹෙ අර අසබ්බිය සිංදුව එහෙම කියන්ට එපා හොඳද? මතකනෙ? " ජයේ එහෙම කියල හක හක ගාල හිනා උනා. 

ඒ ඊට මාස හයකට වගෙ ඉස්සර වෙච්චි සීන් එකක්. එදා ටිකක් විතර වැඩිපුර පෙවුනයි කියමුකො. ඊට පස්සෙ ඔන්න අසබ්බිය සිංදු කීපෙකුත් කිව්වයි කියමුකො. මයෙ සද්දෙ තමයි හොඳටම බොහොම පැහැදිලිව ඇහිල තියෙන්නෙ...ලොක්ක මට පහුවදා ලියුමක් ගැහුව...නියම වැඩේ කියන්නෙ ඒ හෝතඹුව වචන ටික අහ ගත්තෙ මගෙම්මයි. මම දන්නවය ඔහොම එකක්. මමත් වැඩර් වගෙ කියල දුන්න...අන්තිමට ඌරගෙ මාලු කතාව වගෙ තමයි ඔන්න උනේ.. 

හරි ඒ කතාව මෙතන කියන්ට බෑ. මම පඳුරු තලනව වැඩිය... ඒ නිසා කතාවට හානි වෙනවය කියල මයෙ බෝම හිතේසිවන්ත මානවිකාවියක් මට පස් පඩංගුවෙ බයිනවනෙ.ඒ නිසා මේ අසබ්බිය සිංදු සීන් එක ආයෙ වෙනම ලියන්නං.. 

පහුවදා ආය නෑ ඔලුව මගෙ නෙවෙයි වගෙ...මාස තුනක ට්‍රේනිං එකට කොළඹ ගිහිල්ල ආවෙ දවස් දෙහෙකට ඉස්සෙල්ල නිසා හරියකට වැඩක් තාම සෙට් උනේ නෑ. ඒ නිසා උදේ ගිහිල්ල පොත අස්සං කරල ආපහු ඇවිල්ල ටිකක් නිදාගන්නංය කියල මම හිතාගෙන හිටියෙ..ඒත් කොහෙද? කරුමෙ කියන්නෙ...ඔහොම දවසට තමයි මොනවහරි මරාලයක් කඩා පාත් වෙන්නෙ.. 

හදිස්සියෙ අපෙ එකෙකුට ගෙදර යන්ට වෙලා..පොඩි එකාට සනීප නැද්ද හරි මොකක් හරි එකක්..මට උගෙ සයිට් එකට යන්ට උනා..මොකෝ ලොක්කට කියන්ටය..අනේ බොස් අද නම් බෑ..ඊයෙ ගැහුව නාගසලං වෙනකල් කියල..ඕ කේ බොස් කියල ගියා ඔලුවත් අතිං අල්ලගෙන...සයිට් එක මේ කිලෝ මීටර් හතර පහක් එහා අලුතෙං හදන වැවක හොරොව්ව සහ පිටවාන... ස්ලූස් ඇන්ඩ් ස්පිල් කුම් කෝස්වේ 

ස්පිල් කුම් කෝස්වේ කිව්වමත් ඔන්න තව කතාවක් මතක් වෙනව..ඒකත් පස්සට හොඳද? දන්නවනෙ අර මානවිකාව ..හප්පා....ඔලුවත් අල්ලගෙන ගිහිල්ල ජීප් එකෙං බැස්සට අප්පටසිරි මගෙ ඔලුව කැක්කුං කොහෙං ගියාද නෑ වාඩියෙං එළියට ආපු මනුස්සය දැක්කම. ලැම්බට් අයිය...මයි වෙරිම වෙරි ගුඩේම ගුඩ් ෆ්‍රෙන්ඩ්.. 

ලැම්බට් අයියට හැටක් වගෙ ඇති. ඒ වාඩියෙ සියලු වැඩ බලාගෙන හිටියෙ මිනිහ තමයි. එකවුන්ටන් කුම් චෙෆ් කුම් එන්ජිනියර් කුම් තවත් හැම දෙයක්ම කුම්. වාඩියෙ එවුං බීලා ගහගන්නකොට ඕ.අයි.සීත් කුම්...මිනිහගෙ ගම මැදවල..කටුගස්තොට කිට්ටුව. නුවර සම්බන්දෙ නිසයි මනුස්සය මාත් එක්ක තවත් ෆිට් උනේ. ලැම්බට් ගැන කතන්දර බොහොම තියනව. එව්ව පස්සට..දන්නවනෙ අර මානවිකාවි... 

" අප්පට සිරි මේ අපේ මහත්තෙය..දැක්කෙ නෑ සෑහෙන කාලෙකිං..මං ඒත් හිතුව වෙන කොහාට හරි මාරුවෙලා ගිහිංවත්දෝ කියල.." ලැම්බට්ගෙ මූණෙං එකයි හිනාව... 

" මොන මාරුද ලැම්බට් අයියෙ..අපි මේ කොළඹ පොඩි පුහුණුවකට ගියානෙ.." 

" ඒක නෙව... මම ඒත් හිතුව මාරුවෙලා ගියා උනත් මහත්තය මට නොකිය යන්නෙ නෑනෙ කියල.." ලැම්බට් කටපුරාම හිනාඋනා.. 

" මේ ලැම්බට් අයියෙ අද මයෙ තියනව පොඩි ඔලුවෙ කැක්කුමක්...පොඩ්ඩක් කොහෙ හරි හෙවණකට වෙල හිටියනං හරි..අද මොකද කරන්නෙ?..." 

" අද අර පල්ලෙහ බට ලයින් එකට සැටලිං ගහන්ට තමයි තියෙන්නෙ…." 

" යමංකො බලන්ට එහෙනං.." 

මම ලැම්බට් එක්කම වැව් බැම්ම පල්ලෙහා වැඩ කරන තැනට ගියා. රාජකාරිය කරල ඉන්ට එපාය ඉස්සරවෙලා මොක නැති උනත්.පණං හතරක් හරි හම්බ කර ගන්නෙ මේකෙං වෙච්චි.ෂටරිං එක ( ෂටරිං එක කියන්නෙ කොන්ක්‍රීට් දාන්ට කලියෙං ලෑලි හෝ ප්ලයිවුඩ් වලින් හදන පෙට්ටියට ) දිග පලල කාරිය බලල මම ආපහු වැව් බැම්මට ගොඩ උනා. 

අලුතෙං අපි මේ ප්‍රතිසංස්කරණය කරන්නෙ මෙතන රජ කාලෙ ඉඳන් තියන පුරාණ වැවක්.එතනම පල්ලෙහයිං සෙල් ලිපියකුත් තියනව. කැළණි විශ්ව විද්‍යාලෙ පුරාවිද්‍යාව කරන ළමයි වගයක් එක පාරක් ඕක පිටපත් කරගෙනත් ගියා.මම තමයි ඒ වැඩේ සම්බන්ධීකරණය කලේ.අපූරු ගෑණු ළමයි දෙතුන්දෙනෙකුත් හිටිය ඒ නඩේ....හෙහ්, හෙහ්, කිව්වම මොකද? 

පරණ වැව් බැම්ම දිගේ මීටර් දෙසීයක් වගෙ ගියාම වැව් බැම්ම වහගෙන හැදිච්චි මහ විසාල කුඹුක් ගහක් තියනව. ඒ යට අපූරු ගල් තලාවක්.....අනික ඒ හරියෙ වැවේ තාම වතුර තියනව. ඕළු මල් පිපිල තියෙන්නෙ එකකට එකක් හිප්පෙන ගාණට. 

" මේ ලැම්බට් අයියෙ. මම අර කුඹුක් ගහ යටට යනව.මොකක් හරි ප්‍රශ්ණයක් ආවොත් මට කියන්ට ඇවිල්ල."
 
" හරි මහත්තය තැඹිලි වල්ලක් ඇති වාඩියෙ. මහත්තයට එකක් කපල ගේන්ටද? "
 
තැඹිලි? මේ කැළෑවෙ තැඹිලි හොයන එක ලේසි නෑ.. 

" කොහෙන්ද බං තැඹිලි.? "
 
" ඊයෙ මම කදුරුවෙල පොලෙන් ගෙනාව. " 

" අනේ ඕන නෑ බං ඔය තේ කහට එකක් තිබ්බම ඇති. "
 
" නෑ මහත්තය වල්ලෙ තැඹිලි හත අටක්ම තියනව. ඉන්ටකො මම ගේන්නං කපල " 

" එහෙනං අරං එන්නකො…" 

ඔච්චරම කියනවනං ආය මොකටද? අනික රෑ ටිකක් වැඩිවෙන්ට බිව්වම පහුවදා තැඹිලි ගෙඩියක් ගහන්ට ඇත්තං ආය නෑ නිවං ගියා වගෙ තමයි. 

කුඹුක් ගහ කලිං වගේම කොළ පාටට දිලිසුනා. ගල් තලාවත් එන්න එන්න මා මත සැතපෙන්න කියන්න වගෙ ආරාධනාත්මකව මා දිහා බලන් හිටිය. නිල් පාට වැව් දියේ සුදු පාටිං පිපිල යන්තමට හමන හුළඟට හෙලවුනේ ඕළු මල් යායක්. ගල්තලාවෙ ඉඳගෙන ඕළු මල් දිහාවෙ ටික වෙලාවක් බලා ඉඳල මම එහෙම්මම ඔලුව පිටිපස්සෙ බැඳගත්තු අත්දෙකට වාරුවෙලා ගල් තලාව උඩ දිග ඇදිල හාන්සි උනා. 

ඊයෙ රෑ වෙච්චි සිද්ධියෙන් පස්සෙ ඔන්න නිවී හැනහිල්ලෙ ඒ ගැන ආයෙම හිතන්ට මට අවස්තාවක් ආවෙ දැන්. ඒ සිද්ධ වෙච්චි දේවල් ගැන හිතනකොටත් මගෙ හිත වාවන්නෙ නැතුව යන්ට වගෙ වෙනව.මම මගෙ ජීවිත කාලෙට කිසි කෙනෙකුට හිතා මතා වරදක් කරපු මිනිහෙක් නෙවෙයි.මට පුළුවන් හැටියෙ උදව්වක් මිසක.
 
ඒත් එක්කම මේ සිද්ධියෙදි මගෙ අතේ කිසිම වරදක් නෑ කියල මට සහතිකයි. ඒත් අන්තිමට විජිත ඔක්කොම වැරැද්ද පටවන්නෙ මයෙ කර පිට.ඒ ඔක්කොමත් හරි අන්තිමට මනුස්සය උඹට නම් හොඳක් වෙන්නෙ නෑ කියලත් කිව්වනෙ.ඇයි දෙයියනේ මම මොනව කලාටද?
 
හෙමිහිට ඇහෙන්ට පටන් ගත්තු අඩි සද්දයක් ටිකින් ටික වැඩි උනා. ලැම්බට් අයිය තැඹිලි ගෙඩියත් අරගෙන එනව වෙන්ට ඇති කියල හිතල මම ඇස් දෙක ඇරියෙවත් නෑ. 

අඩි සද්දෙ මා ලඟටම ඇවිල්ල නැවතුනා. මම උඩ බලාගෙනම හෙමිහිට ඇස් ඇරියා, කුඹුක් ගහේ අතු අස්සෙං පාතට ආපු ඉරු රැස් දහරක් කෙලිම්ම මයෙ ඇහැට වැටිල මගෙ ඇහැ ආයෙම පියෙව්ව.
 
" අයියෙ……" 

කණ ළඟම ඇහුන ඒ කටහඬ ආයෙම මගෙ ඇස් අරවල ඔලුවත් ඒ පැත්තට හැරෙව්ව. 

මතු සම්බන්ධයි...... 

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...