Saturday, November 30, 2019

644. මැද පෙරදිගට ආයුබෝවන් සහ චිතගොං සිට කොල්කතා දක්වා ආදරය සොයා ගිය කරණවෑමියකුගේ කතාව…

අන්තිම දවසේ රිංකු සමඟ
මැදපෙරදිග වසර එකොළහක් ගත කරල පහුගිය මාසෙ ආපහු සිරි ලංකාද්වීපයට සැපත් වුනෙමි. වැඩේ සිද්ද වුනේ නොසිතූ නොපැතූ ලෙසට කියල තමයි කියන්න තියෙන්නෙ. මම හිතං හිටියෙ තව අවුරුද්දක්, උපරිම දෙකක් වගෙ ඉඳලම නැවත නොයන්නම ආපහු එන්නෙයි කියල. පහුගිය ජූලි මාසෙ වාර්ෂික නිවාඩුවට ලංකාවට ආපු වෙලාවෙ හම්බ වෙච්චි හිතමිතුරන්ටත් මම එහෙමයි කිව්වෙ..

එවුං හුඟ දෙනෙක් (විශේෂයෙන්ම මහවැලියෙ මා එක්ක වැඩ කරපු එව්වං) ප්‍රතිචාර දැක්කුවෙ මෙන්න මේ විදිහටයි.

"මොන මඟුලක්ද බං? උඹ හැමදාම කියන්නෙ ඔය බණේනෙ...තව අවුරුද්දයි මචං තව දෙකයි බං..කවද්ද බං ඔය කියන අවුරුද්ද හරි දෙක හරි ගෙවෙන්නෙ? මෙන්න මෙහෙ වරෙං බං ඔය මදැයි හිටිය......."

ඉතිං තව අඩුම ගානෙ අවුරුද්දක්වත් ඉන්නම්ය කියල හිතාගෙන ආපහු ගියාට ගිහිල්ල සතියක් යන්ට ඉස්සෙල්ල මගෙ අතිජාත මිත්‍රයෙක්වන අජිත් අභාවප්‍රාප්ත වෙච්චි ආරංචිය ඇහුවට පස්සෙ මගෙ හිත නිකං එක පාරටම අප්සට් ගියා. යකෝ මේ අපිට වැඩිය අතපය හයිය ඇතුව හොඳ උස මහතට හිටිය හැම්සන් හාදයා..ඔලුවෙ එක කෙස් ගහක් පැහිල එහෙම නෑ. මට වැඩිය අවුරුද්දක් වගෙ තමයි වැඩිමල්. 

ඉතිං අර ගහක් ගලක් වගෙ හිටිය අජිතයට එක පාරටම සිද්ද වෙච්චි දේ ගැන කල්පනා කරනකොට මටත් ඉබේටම වගෙ හිතුන යකෝ සාක්කි ජීවිතේ කියන්නෙ මොන තරම් අස්ථිර දෙයක්ද කියල. 

ඔය ජීවිතේ අනිත්‍යය කියන එක කොච්චරදෝ නම් මෙනෙහි කලා වුනත් තමංගෙ කිට්ටු ඥාතියෙකුට, නැත්නම් ඉතාම හිතමිත්‍රයෙකුට එහෙම දෙයක් උනහම තමයි ඒ කතාවෙ සනාතන සත්‍යය කිතුල් පොල්ලකින් ඔලුව මැද්දෑවට පත බෑව වගෙ සාක්ෂාත් වෙන්නෙ. දැන් ඉතිං වයසත් ඒ හැටි හොඳ වයසක් නෙවෙයි. අනික අසනීප කටයුතු, හන්දි කැක්කුං එහෙමත් ඕසෙට. එතකොට එන්න එන්න එලොවට කිට්ටුවෙනව මිසක මොකෝ ආය තිරිහං වෙන එකක්ය? 

ඔන්න ඔයාකාරව හිතමින් ඉන්දැද්දි මෙන්න අපේ කොම්පැණියෙ මානව සම්පත් කළමණාකරු නොහොත් එච්.ආර්.මැනේජර් ගොයිය මට පණිවිඩයක් එවල තිබ්බ ඇවිල්ල උන්දැව මුණ ගැහෙන්ටය කියල. මමත් ඉතිං උඩ තට්ටුවට ගිහිල්ල මනුස්සයව මුණ ගැහුන.

"Mr. Weerasinghe, I am really sorry…as two or three projects we were hoping to start within the next month or so have been put on hold, our management has decided to terminate some of our employees…"

"So you are saying…"

"Yes, unfortunately, you are also on that list..but we can extend your resident permit for another 2 or 3 months if you want to look for some other employment here…."

ඔක්කොම වෙන්නෙ හොඳටයි කියල හිතල මම ක්ෂණික තීරණයක් ගත්ත. 

"No, I will be leaving…."

ඉතිං ඔන්න ඔය විදිහට මම වසර එකොළහක විදේශ සේවයෙන සමුගෙන බෑක් ටු ශ්‍රී ලංකා සැපත්වුනෙමි.

කටාර්වල මට අමතකම කරන්ට බැරි මොකක්ද දන්නවද? හිනාවෙන්ට එහෙම ඔට්ටු නෑ හොඳේ…What I miss most about Qatar is a head massage…

එහෙ ඉද්දි මම දැන් අවුරුදු හත අටක් තිස්සෙම රැවුල සහ කොණ්ඩෙ කපන්ට යන්නෙ මම හිටපු එපාට්මන්ට් එකේ ඉඳල පයින් යන දුරින් ඒ කිව්වෙ මීටර් හාර පන්සීයක් එහායින් තියන කරණවෑමි හලකට නොහොත් බාබර් සාප්පුවකට. කේරළයෙක් තමයි ඒකෙ අයිතිකාරය. ඉන්දියන් සහ බංග්ලාදේශ් වැසියන් තමයි එතන වැඩකරන අයගෙන් බහුතරයක්.

එතන කරණවෑමියන්ගෙන් මා එක්ක බොහොම හිතවත් වුනා රිංකු කියල බංග්ලාදේශී/ඉන්දියානුවෙක්. ඒ කිව්වෙ මිනිහ උපතින් බංග්ලාදේශ්. ඉපදිල හැදිල වැඩිල තියෙන්නෙ තියෙන්නෙ චිතගොංවල. පස්සෙ මනුස්සය ඉන්දියාවෙ කොල්කතාවලට ඇවිල්ල පදිංචි වෙලා.ඒ ආදරයක් පසුපස ආපු ගමනක්. 

රිංකුගෙ පෙම්වතියගෙ මව්පියෝ සහ නෑදෑ සනුහරය මේ දෙන්නගෙ සම්බන්ධයට තදින්ම විරුද්ධ වෙලා. මිනිහ මට ඒ විරුද්ධත්වයට හේතුවක් හරියටම කිව්වෙත් නෑ. මම හාර හාර ඇහුවෙත් නෑ. බොහෝ විට මට හිතෙන්නෙ කුළ කේස් එකක් වෙන්න ඇති. කොහොම හරි ඒ ගෑණු ළමයගෙ අම්මගෙ පවුලෙ හැමෝම වගෙ බංග්ලා දේශයෙන් පිටවෙලා සෑහෙන කාලයක් තිස්සෙ පදිංචි වෙලා ඉඳල තියෙන්නෙ ඉන්දියාවෙ කොල්කතාවල. 

සුද්දො ඉන්දියාව යටත් කරගෙන හිටපු කාලෙ කාලෙ කල්කටා කිව්වෙත් ඔය කොල්කතාවලටම තමයි. එහෙම සුද්දන්ගෙ කාලෙ භාවිතාවුනු නගර නාම බොහොමයක් එකදාස් නමසිය අසූ ගණං වල වගෙ ඉන්දීය ආණ්ඩුව වෙනස් කලානෙ. මැඩ්‍රාස්-චෙන්නායි, බැංගලෝර්- බෙංගලූරු, බොම්බාය-මුම්බායි, ඒ එහෙම උදාහරණ කීපයක්...

ඉතිං රිංකුගෙන් කෙල්ල බේරගන්න ඕන නිසාම කෙල්ලගෙ අම්මයි තාත්තයි පවුල් පිටින්ම ඇවිල්ල කොල්කතාවල පදිංචි වෙලා. රිංකුත් වැඩේ අත ඇරල නෑ. මිනිහත් කොහොම හරි අවුරුද්දක් දෙකක් මහන්සිවෙලා සල්ලි ටිකක් ඉතුරු කරගෙන කොල්කතාවටම ඇවිල්ල. කොහොම හරි අන්තිමට මේ යකාගෙන බේරෙන්නම බෑනෙව යකෝ..කියල හිතලද නැත්තං කෙල්ලගෙ අම්මටයි තාත්තටයි මේ මනුස්සය ගැන අනුකම්පා හිතිලද මන්ද  කැමැත්ත දීල. දැන් මිස්ටර් ඇන්ඩ් මිසිස් රිංකුට දරුවො දෙන්නෙකුත් ඉන්නව.

මම ඔය පස්පොළ කලුවෙන්ට ගත්තු කාලෙ ඉඳලම රැවුල කපන්නෙම බාබර් සාප්පුවකින්. අපෙ ප්‍රියම්බිකාතොමෝ එහෙමත් මට සෑහෙන්න වගපල කියනව "මොකක්ද අනේ මේ වැඩේ තේරුම? සතියකට සැරයක් බාබර් සාප්පු හොය හොය දුවන්නෙ..හැමදාම උදේට ගෙදරදි රැවුල කපාගන්ට පුරුදු වෙන්නකො..." කියල. 

ඒත් මට ඔය රැවුල කපන එක මහ මරන්නා වගෙ වැඩක්. ඊට වඩා කොච්චර පහසුද බලමුකො සනීපෙට පුටුවක් උඩ දිග ඇදිල ඉන්න ගමං බාබරය ලව්ව රැවුල කප්පව ගන්න එක.

මම ඔය බකමූණෙ ඉද්දි එහෙ ලර්නර්ස් එකක් කරපු කොලුවෙක් අපි එක්ක සෑහෙන්න පෑල් වුනා. අපි කිව්වෙ මතකනෙ ..මම සහ මගෙ මිත්‍රයා සුමනෙ...ඔය ලර්නස් පොරගෙ නම විජිත. විජිතගෙ යාලුවෙක් පස්සෙ විජිතගෙ ඇඳුනුම් කමට ඇවිල්ල බකමූණෙ බාබර් සාප්පුවක් දැම්ම..

"අයියා ඔන්න බලන්නකො වජිරයගෙ බාබර් සාප්පුවට ගිහිල්ල එක දවසක්..ඌ හෙඩ් මසාජ් එකක් දෙනව අයිය ආය නෑ ඇස් දෙකෙං කඳුළු පයිනව…" විජිතය දවසක් සුමනෙයි මායි එක්ක කිව්ව හවසක මධුර හෝටලේ කිඹුලෙක් කාල ටී එකක් ගහන ගමං..

"පලයං බං..මසාජ් වල මොනවද ආය ඔය හැටි අරුමෙ?...කොයි බාබර් සාප්පුවෙත් කරන්නෙ එකම මසාජ් එකනෙ බං.." මම එහෙම කිව්ව. 

"නෑ..නෑ..අයිය මම කිව්වට එක දවසක් ගිහිල්ල බලන්නකො..මූ සිංගප්පූරුවෙ බාබර් සාප්පුවකත් අවුරුදු තුනක්ද කොහෙද වැඩ කරල තියනව..සුපර් වැඩ කාරය ඔන්න බලන්නකො.."

ඉතිං විජිතයගෙ යාලුව වජිර බාබර් සාප්පුව ඇරියම මමත් ඌ එක්කම ගියා ඇරපුදාට පහුවදාම. අම්මට වූඩු කියල වැඩක් නෑ..ඈ..උගෙ මසාජ් එක තමයි මසාජ් එක..විජිතය කිව්ව වගේම කඳුළු පනිනව...මසාජ් එක ඉවර වුනාම ආය නෑ ඔලුවෙන් රැස් විහිදෙනව වගෙ දැනෙනව. ඔය බුදු හාමුදුරුවන්ගෙ එතකොට යේසුස් වහන්සෙගෙ ඔලුව වටේ අර චිත්‍ර වල එහෙම තියෙන්නෙ රැස් වලල්ලක් විහිදෙනව. අන්න ඒ විදිහමයි.

මට ඉතිං බකමූණෙං එන්ට උනාට පස්සෙ ඔය රැස් වලලු වැඩේ එහෙම්මම අහෝසි උනා. වජිරගෙන් පස්සෙ ඔය රැස් විහිදෙන්ට මසාජ් එකක් දෙන්ට පුලුවන් හාදයෙක් මට හම්බ උනේ ඔන්න ඔය රිංකු. ඔය රැස් විහිදෙන්ට මසාජ් එක දෙන අතරෙ තමයි මනුස්සය එයයිගෙ ජීවිත කතාව මා දැක්ක කිව්වෙ...

ඉතිං ඔය මගේ කරණවෑමි කතා කියල සීරීස් එකකුත් මම පටන්ගත්තනෙ. ඒත් ඒකෙ මට මතක විදිහට එපිසෝඩ් හතරයි නැත්නම් පහයි ලියන්ට උනේ. ආයම ඒ සීරීස් එක පටන් ගත්තහම රිංකු ඔහුගේ ආදර කතාව සහ ඔහුගේ රැස් විහිදෙන සම්බාහනය ගැන සවිස්තරව ලියන්නම්ය.

පලි- මම ආපහු ලංකාවට ඇවිල්ල පහුවදාම අර මොනවද බං උඹ කවද්ද ආපහු එන්නෙ දැං මදැයි ඔය හිටිය කියල නාහෙං අඬපු එකෙක්ට කෝල් එකක් ගත්ත…

"හලෝ.."

"හලෝ වීරෙ..උඹ ආයෙමත් ආවද? මෙච්චර ඉක්මනට?....අඩේ මේ ඊයෙ පෙරෙයිද නේද නිවාඩුවට ඇවිල්ල ආපහු ගියේ?"

"හුහ්...නිවාඩුවට ඇවිල්ල? නිවාඩුවට ඇවිල්ල තමයි..යකෝ උඹලගෙ ඇඬියාව හින්ද අන්න මට කෙලවුනා…"

"ඈ ඒ කොහොමද?"

"කොහොමද තමයි..ආපහු ගිහිල්ල සති දෙකයි ගියේ..උං මාව අස්කලානෙ.."

"නෑ?"

"නෑ නෙවෙයි ඔව්..අප්පෝ උඹල කොහෙද මෙතන පොළවෙ පස් කෑවනෙ ..ඒ මුස්පේන්තු කම හින්දම තමයි තමයි මට ටිකට් එක ඇදුනෙ...උඹල තමයි දවසකටවත් යාලුවො.."

"හෙහ්..හෙහ්..හෙහ්…"

Tuesday, November 5, 2019

643. වාර්ෂික ඉසුඹුව උදෙසා ලංකාද්වීපයට සැපත්වීම සහ සහෘදයින් හමුවීම..... - 5


ගලහ හන්දියේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨය
අසල මලින් බර වූ රබරෝසියා තුරු පෙළ....

වාර්ෂික ඉසුඹු විස්තරේ අහවරක් කරන්ට ඉස්සෙල්ල තව එක සිද්ධියක් විතරක් කියන්නං. 

දැං මම ලංකාවට ආවනෙ. ඇවිල්ල මගෙ ළඟ ටෙලිෆෝන් නොම්මර තිබ්බ මගෙ කිට්ටුම යාළු මිත්‍රයො දෙතුන් දෙනෙකුට කතා කරල කියනව ඔන්න බං මම ඇවිල්ලයි ඉන්නෙ කියල. එවුං එතකොට කරන්නෙ උං ගාව නොම්මර තියෙන අනික් එවුන්ට කතා කරල පණිවිඩේ දෙනව. එතකොට ඒ අනික් අය මට කතා කරනව. 

සාමාන්‍යයෙන් එහෙම තමයි මෙතෙක් වැඩේ වුනේ. මේ පාර කියලත් වෙනසක් නෑ  ඒ විදිහටමයි වැඩේ සිද්ධ උනේ. මම ආපු ආරංචියට බොහොම දෙනෙක් මට කතා කලා. ඒ අතර තුන් හතර දෙනෙක්  හිටිය තමන්ව අඳුන්වල දෙන්නෙ නෑ... කවුද කියල කියන්නෙ නෑ...කොමළ කරනව..

"හෙලෝ....."

"හෙලෝ ...මේ මිස්ටර් වීරසිංහද කතා කරන්නෙ?"

"ඔව්..වීරසිංහ තමයි..මේ කවුද කතා කරන්නෙ?"

"අඩේ වීරෙ..උඹට මගෙ කටහඬ අඳුරන්ට බැරිද?"

"එහෙමට මතකයක් නම් නෑනෙ..කවුද මේ?"

"බොරු නේද උඹ ඔය කියන්නෙ?"

"බොරු කියන්නෙ අහවල් රෙද්දටද බූරුවො? මට අඳුනන්ට බෑ..උඹ එක්කො නම කියපං..නැත්තං XXXXX XXXX නැතුව ෆෝන් එක තියපං.." එහෙම හිතුවට මම එහෙම කිව්වෙ නම් නෑ..කිව්වෙ මෙහෙමයි.."බොරු නෙවෙයි..මට ඔයාගෙ කටහඬ අඳුනගන්ට බෑ..කරුණා කරල කියනවද ඔය කතා කරන්නෙ කවුද කියල…"

එහෙම තදින් කිව්වමත් අහන්නැතුව තවත් ජෝගි නටන්ට ලෑස්ති වෙන එවුන් එක්කල මට ඉතිං මලම පනිනව. අම්ම මෝ නැතුව අමතන්ට තමයි ඒ වෙලාවට හිතෙන්නෙ. එකට අවුරුදු ගාණක් වැඩ කරන්ට ඇති. බොහොම කිට්ටුවෙන් ආශ්‍රය කරන්ටත් ඇති. මම නෑ කියන්නෙ නෑනෙ. ඒත් දෙයියෝ සාක්කි අවුරුදු විසිපහකට තිහකට පස්සෙ උංගෙ කටහඬවල් අඳුරගන්ට  මොකෝ මගෙ වොයිස් රෙකග්නිෂන් සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරල තියනවය? නැද්ද හා?

ඉතිං මම ආපහු මැද පෙරදිග ගියේ අගෝස්තු දාහතරවෙනිද. ඊට කලින් දවසෙ දවල් කෑමට ආරාධනා කරල තිබ්බ අපේ ප්‍රියම්බිකා තෝමෝගෙ බොහොම කිට්ටු මිතුරියකගෙ ගෙදර. ගලගෙදර කිට්ටුව. පස්සෙ දැන් ඔන්න අපි ආපහු ගෙදර එන්ට එනව කියමුකො. වැස්ස කියන්නෙ ආය නෑ පාර නොපෙනෙන තරමට වැස්ස. අනික ඊට පහුවදාද කොහෙද අන්තිම දළඳා පෙරහැර. පාරෙ ට්‍රැෆික් කියන්නෙ එක තැන විනාඩි දහය පහළව වාහන නවත්තගෙන ඉන්ට වෙනව.

දැන් ඔය කවුරුහරි වාර්ෂික නිවාඩුවට ගෙදර ගිහිල්ල ආපහු එනකොට ඔෆිස් එකේ අහල පහල ඉන්න යාලුවන්ට ඔය රසකැවිලි වගෙ මොනවහරි ගේන එක සිරිතක්. 

උඩ පේරාදෙණියෙ (උඩ පේරාදෙණියට පේරාදෙණිය කැම්පස් එක මැදින් තියන පාරෙ කිලෝ මීටර් දෙකක් වගෙ ගිහිල්ල වමට හැරිල තව කිලෝමීටර් හතරක් වගෙ යන්න ඕන) ඉන්නව අපේ උන්දැගෙ ලොකු අම්ම කෙනෙක්ගෙ පුතා. ඒ අයිය මම ආපු ආරංචියට අපේ ගෙදර එනකොට කිරි ටොෆී පැකට් දෙකක් අරගෙන ඇවිල්ල තිබ්බ. අප්පට උඩු මාරම රසයි. ඉතිං ආපහු යන්ට දවස් දෙකකට වගෙ කලින් මම අපෙ උන්දැ ඔය යනකොට මොනවහරි අරං යන චාරිත්‍රය ගැන මතක් කලා. මම කලින් ආපු හැම පාරම වගෙ ඔය මොන මොනව හරි අරගෙන ගියා කියල උන්දැට මතකයි.

"මේ දැන් ඔයා යනකොට මොනවහරි ගෙනියන්ට වෙයි නේද?"

"එහෙනං... එහෙනං...මම මේ කියන්ටමයි හිටියෙ..හෙට දිහාට නුවර ගිහිල්ල ඔය රසකැවිලි මොන මොනවයින් හරි ටික ටික අරං එන්නම්කො.."

"අර එදා උඩපේරාදෙණියෙ අයියල ගෙනාපු කිරි ටොෆී නම් ෂෝක් නේද?"

"ආ...ඒව නම් නියමයි තමයි. ෂහ්, එදා අහගන්ටවත් බැරි උනානෙ කොහෙන්ද එව්ව ගත්තෙ කියල.."

"මම ඇහුව.. ඒ ගොල්ලන්ගෙ ගෙවල් ගාව ගෙදරක හදන එව්වලු. හදල පැකට් කරල කඩ වලට දානවලු. අයිය කිව්ව පැකට් හතර පහක් ගෙනත් දෙන්නම්ය කියල. එකක සීයක්ද කොහෙද තිබ්බ නේද?"

"අඩේ එහෙනං හොඳටම ඇති...වැඩිත් එක්ක.."

ඉතිං දැන් අපි අර ගලගෙදර ඉඳන් එන ආපහු එන ගමනෙ ධාරානිපාත වැස්සෙ දබ ට්‍රැෆික් එකත් මැද්දෙ ගාට ගාට එන කොට ඔන්න අර උඩපේරාදෙණියෙ අයිය කෝල් කලා. අපේ උන්දැගෙ ලොකු අයිය වාහනේ ඩ්‍රයිව් කලේ. මම ඉස්සරහ සීට් එකේ. එතුමිය පස්ස සීට් එකේ. එතුමියගෙ ෆෝන් එකට කෝල් එක ආවෙ. 

"හෙලෝ..නංගි මම මේ කතාකලේ අර කිරි ටොෆී පාර්සලේ අද මම ගිහිල්ල ගත්ත. ඔයාල කොහොමද අද ඇවිල්ල ගන්නවද?....මල්ලි හෙට නේද යන්නෙ?"

"ඔව් අයියෙ..අපි මේ පොඩි ගමනක් ගිහිල්ල ආපහු එමින් ගමන ඉන්නෙ..තව විනාඩි විස්සකින් වගෙ ගලහ හන්දියට එන්ට පුලුවනි. පුදුම ට්‍රැෆික් එකක් අයියෙ. අයියට පුලුවන් නම් කිරි ටොෆී ටික ගලහ හන්දියට ගෙනල්ල දෙන්ට පුලුවන්ද?"

"හරි හරි නෝ ප්‍රොබ්ලම්..මම ඇවිල්ල පෝස්ට් ඔෆිස් එක ලඟ පාර අයිනෙ ඉන්නම්කො. කිට්ටු කරල මට කෝල් එකක් දෙන්ට.." පේරාදෙණිය පෝස්ට් ඔෆිස් එක තියෙන්නෙ ගලහ හන්දියෙ.

"හරි අයියෙ තෑන්ක්ස්…"

ගලහ හන්දිය කිට්ටු වෙනකොට වැස්ස තවත් තද කරපි. පෝස්ට් ඔෆිස් එකට මීටර් පණහක් වගෙ තියල අපි එක තැනම ඉබ්බ තිබ්බ වගෙ හිටිය විනාඩි පහක් විතර. 

"මේ මල්ලි... බැහැල ගිහිල්ල අර පාර්සලේ අරගෙන ආපහු ආව නම් ලේසියි නේද? වාහන මූව් උනොත් අපි හෙමීට එන්නම් ඉස්සරහට ඔයා මඟදි නගින්ට" එයාලගෙ ලොකු අයිය කිව්ව. 

"නෑ ඒයි... පොඩි කුඩේ විතරයි තියෙන්නෙත්. ..මේ දබ වැස්සෙ ඔයා තෙමිල අසනීප උනොත් එහෙම හෙට ගිහිල්ලත් ඉවරයි...ඔයා ඉන්ටකො මම ගිහිල්ල පාර්සලේ අරගෙන එන්නම්…" අපේ උන්දැ එහෙම කියල මහ වැස්සෙම කුඩෙත් අරං බැස්ස. 

අපි එතන තව විනාඩි පහක් වගෙ හිටිය. ඔන්න එතකොට වාහන ටිකක් මූව් වෙන්ට ගත්ත. 

"මල්ලි ජනේලෙ පොඩ්ඩක් පාත් කරල  බලන්ට නංගි එනවද කියල...මට මේ වැස්ස හින්ද මොකවත්ම පේන්නෙ නෑ…" ලොකු අයිය කිව්ව. 

දැන් අපි ඔන්න ටික ටික ඉස්සරහට යනව. පෝස්ට් ඔෆිස් එක පේන මානයටත් ආපි. ඒත් අපේ උන්දැ නෑ පේන්ට.

මම ඉතිං ජනේලෙත් බාගෙට ඇරගෙන ඔලුවත් එලියට දාගෙන බලනව මේ මනුස්සය කොහේ ගියාද කියල. පොඩ්ඩක්වත් ස්ලෝ කරන්ටත් බෑ පිටිපස්සෙන් එන එවුන්  එක සීරුවට හෝන් ගහනව.

ඔය අස්සෙ ඔන්න මගෙ ෆෝන් එක රිං වෙන්න ගත්ත….

"මේ මඟුල මේ වෙලාවෙම …" එහෙම කියල මම උඩ සාක්කුවෙන් ෆෝන් එක අරගෙන ආන්ස්වර් කලා. "හෙලෝ.."

"මේ මිස්ටර් රවී ද?"

"ඔව් කතා කරනවා…"

"මල්ලි මම පොඩ්ඩක් ස්ලෝ කරන්නං... බලන්ට නංගි ඉන්නවද කියල.." ඒ අස්සෙ අයිය කිව්ව.

අලි මදිවට හරක් හරක් මදිවට කිණිතුල්ලො කිව්ව වගෙ ඔලුවෙ ඉඳල කාකි රේන් කෝට් එකක් දාගත්තු රාළහාමි කෙනෙක් ඒ අස්සෙ වාහනේ ගාවට ඇවිල්ල ඇතුලට එබුන. "මොනවද හලෝ කරන්නෙ?.... පේන්නෙ නැද්ද ට්‍රැෆික් එක?.... යනවල... යනවල"

"හෙලෝ..කවුද මේ?"  මම ෆෝන් එක උරහිසට තද කරගෙන ජනේලෙන් එබිල වටපිට බලන ගමන් ඇහුව.

"අනේ..අනේ..ඔන්න යාලුවො..මාව අඳුනන්න බෑ නේද?...."

"මේ...හලෝ මට අඳුරගන්න බැරි නිසානෙ කවුද කියල අහන්නෙ?...කරුණාකරල කවුද කියනවද?.."

ඒ අස්සෙ වාහනේ දැන් ඔන්න පේරාදෙණිය පෝස්ට් ඔෆිස් එකත් පහුකරගෙන යනව. 

"මල්ලි බලන්න නංගි ඉන්නවද කියල?" ලොකු අයිය වැස්ස හින්ද පාර පැහැදිලි නැති නිසා පොඩ්ඩක් ඉස්සරහට නැවිල ඩ්‍රයිව් කරන ගමන් ඇහුව..

"මේ ඇත්තටම මාව අඳුරගන්නම බැරිද?" ටෙලිෆෝන් එකේ එහා කෙළවරේ ඉන්න කෝණංගිය ආයමත් බබාහුකුං දානව.

ඒ පාරනම් මගෙ ඉවසීමේ සීමාව ඉක්මවල කට්ට රෙඩ් සෝන් එකටම ගියා. "මේ අයිසෙ තමුසෙට මම දැන් එක පාරක් නෙවෙයි දෙතුන් පාරක්ම කිව්වනෙ. මගෙන් කුණු හරප අහගන්නෙ නැතුව තියනව ෆෝන් එක.." මම එහෙම කියල ෆෝන් එක කට් කලා.

"කවුද ඒ?" අයිය ඇහුව.

"කවුද මන්ද පිස්සු යකෙක්... කවුද කියල ඇහුවට කියන්නෙත් නෑ.. අඳුරන්ට බැරිද අඳුරන්ට බැරිද කියල අහනව…"

ඒ එක්කම වගෙ අපෙ උන්දැ දුවගෙන ඇවිල්ල වාහනේට නැග්ග.."හරි වැඩේනෙ උනේ...මම ආපහු ගියාම ඔයගොල්ලො ඉස්සරහට ඇවිල්ල.."

"ඔව් එතන නැවතිල ඉන්ට දෙන්නෙ නෑ. පොලීසියෙන් එලවනව…"

ඒත් එක්කම ආයම ෆෝන් එක රිං වෙන්ට ගත්ත. මම ඒ දිහා බලල ආන්ස්වර් නොකර ආයම සාක්කුවට දාගත්ත. 

"ඇයි? කවුද කියල බලන්නෙ නැද්ද?" එතුමිය ඇහුව. 

"මේ කොහෙද යන පිස්සු හටනක්.....කවුද කියන්නෙ නෑ..අඳුරන්ට බැරිද අඳුරන්ට බැරිද කියල අහනව…"

"හරි හරි බලන්නකො ආයම..කවුරු හරි ඔයාගෙ යාලුවෙක්නෙ කතා කරන්නෙ.."

"යාලුවෙක් තමයි.." එහෙම කියල මම ෆෝන් එකට ආන්ස්වර් කලා. "හලෝ.."

"අනේ රවි අයිය තරහ වෙන්නෙ එපා..මම බන්දුල…"

බන්දුල කියන්නෙ අවුරුදු හතර පහකට ඉස්සර කටාර්වල හිටපුු මගෙ  යාලුවෙක්. දැන් මනුස්සය ලංකාවෙ ඔය මොකක් හරි ප්‍රොජෙක්ට් එකක වැඩ…

" අනේ මල්ලි වෙරි සොරි...ඔය කට්ටිය කතා කරල කවුද කියල කියන්නෙ නැතුව අඳුනන්න පුලුවන්ද කියල අහන එක මට එපා වෙලා තිබ්බෙ. ඒකයි බං උඹට බැන්නෙ...අනික අපි මේ යාලුවෙකුගෙ ගෙදර ගිහිල්ල ආපහු ගෙදර එන ගමන්..වැස්සයි..ට්‍රැෆික් එකයි..ඒ අස්සෙ වයිෆ් බැහැල ගියා පොඩි වැඩකට..එයාත් නෑ..ඔය ඔක්කොම හෙයියම්මාරු අස්සෙ තමයි උඹ කතා කලේ...වෙරිම සොරිම සොරි හොඳද?"

"හරි හරි නෝ ප්‍රොබ්ලම් මගේ වැරැද්දනෙ..මම මේ කතා කලේ කවද්ද ආපහු යන්නෙ එහෙම කියල දැනගන්ට.."

"හෙට යනව මල්ලි ආපහු…"

Friday, November 1, 2019

642. වාර්ෂික ඉසුඹුව උදෙසා ලංකාද්වීපයට සැපත්වීම සහ සහෘදයින් හමුවීම..... - 4


අපේ  ගෙදර ආපු දවසෙ උදේ දළඳා මාළිගාවෙදි
සත්‍යා සහ කසුන්...

වත් පොතෙන් ලබාගත් ඡායාරූපයකි.

මෙතන ඉඳල නිව්ට අපිට කියපු විදිහටම කතාව කියන එක ලේසියි මම හිතන්නෙ..

"ඔන්න බං මාත් ඉතිං සුද්ද එක්ක ගිහිල්ල උගෙ පිකප් එක නැග්ග.."

"යකෝ උඹ ගුඩ් මෝනිං කියලවත් කිව්වෙ නැද්ද? මාර පොරක්නෙ.." එකෙක් ඇහුව..

"කිව්ව බං කිව්ව කිව්ව…"

"ඉතිං?"

"ම්හු... සුද්දගෙ නෑ කිසි කතාවක්..ම්හ්ම්..ගාල උගුර පාදනව වගෙ සද්දයක් කලා එච්චරයි…"

"ඉතිං?"

"ඉතිං ඔන්න අපි ගියා කන්දකඩු පාර දිගේ...ගිහිල්ල ZD ඇලේ ට්‍රේස් එක දිගේ කැළේ සුද්ද කරලනෙ තියෙන්නෙ…"

(ඇළක් හරි පාරක් හරි වැව් බැම්මක් හරි ඉදිකරන්ට ඉස්සරවෙලා නමෝ විත්තියෙන්ම කරන්නෙ බුල්ඩෝසර් දාල ඒකෙ සෙන්ටර් ලයින් එක දිගේ නියමිත දුරක් දෙපැත්තට කැළේ සුද්ද කරන එක..ට්‍රේස් එක කියන්නෙ ඒ සුද්ද කරපු ලයින් එකට)

"ඔන්න සුද්ද ට්‍රේස් එක මැදට ගිහිල්ල පිකප් එක නැවැත්තුව"

"නවත්තල?"

"නවත්තල ඇහුව කෝ දැන් මට පෙන්නපන් බ්‍රිජ් එකේ ලොකේෂන් එක කියල…"

"අම්මට උඩු... සුද්දට සිංහලත් පුලුවන්ද?" සමරෙද කොහෙද ඇහුව…

"කුණු හරප කතා කරන්ට එපා බං..සුද්දෝ කොහෙද බං සිංහල දන්නෙ?....ඌ ඇහුවෙ ඉංග්‍රීසියෙන්.." නිව්ටට මළ පැනල මහ හයියෙං කෑගැහුව…

"උඹට හරියටම තේරුණාද දන්නෙත් නෑනෙ සුද්ද අහපු එක..කෝකටත් කියපංකො ඌ අහපු විදිහ.." මම නිව්ටගෙන් එහෙම අහන්ටත් හදල ආයෙත් ඕකට මළ පැනල ඉන්න වෙලාවෙ මයෙ හොම්බට දමල අනින්ටත් බැරි කමක් නෑ නෙවද කියල හිතල සද්ද වහල නිකං හිටිය.

"හරි හරි බං කලබල වෙන්ට එපා..ඉතිං මොකෝ උනේ උඹ ලොකේෂන් එක පෙන්නුවද?"

"ඉඳපංකො කියනකල්..මම එදා සර්වේයර්ස්ලගෙන් ටේක් ඕවර් කරද්දි මතක තියාගත්ත ඔය ZD ඇළේ ට්‍රේස් එක කන්දකඩුව පාර ක්‍රොස් වෙන තැන ඉඳල වම් පැත්තට මීටර් පණහකින් වගෙ තමයි පාළමේ ලොකේෂන් එක කියල.ඒ හින්ද මම බය නැතුව කිව්ව සුද්දට ඕකේ..කම් අයි විල් ෂෝ යූ කියල…"

"ඉතිං දැං උඹ ඉස්සරහින් යනව..සුද්ද පස්සෙන් එනව එහෙමද? "

"ඔව්..ඔව්...බං ඒත් කේස් එක කියන්නෙ මම මීටර් පණහක් විතර ගියාට බං ඒ සර්වේ ලයින් එකේ කූඤ්ඤ එකක්වත් හම්බ උනේ නෑ කියහංකො…"

"හුටා ඒ කියන්නෙ උඹට තැන මාරුවෙලා?"

"නෑ නෑ බං ඒ සර්වේ ලයින් එක ගියේ මහ විසාල පළු ගහක් යටින් ..මට හොඳටම මතකයි ඒ පළු ගහ..යකෝ පළු ගහත් තියනව එදා වගේම..ඒත් කූඤ්ඤ එකක්වත් නෑ"

"අප්පට උඩු ඒ මක් වෙලාද බං?"

"ඒකනෙ කියන්නෙ..පස්සෙ මෙන්න මම ටිකක් නැමිල බලනකොට ඒ පළාත පුරහම හරක් කුර.."

"නෑ?..... ඒ කියන්නෙ?"

"ඒ කියන්නෙ මම ලයින් එක බලාගත්තට පස්සෙ හෙණ හරක් මැලයක් ඇවිල්ල ඒ පළාතම වනසල…"

"එතකොට කූඤ්ඤ?"

"ආය අහවල් කූඤ්ඤද? එක කූඤ්ඤයක්වත් හොයාගන්ට නෑ"

"හුටා…"

සර්වේ ඩිපාර්ට්මන්ට් එකෙන් ඔහොම ලයින් එකක් පෙන්නුවම අපි කරන්නෙ හැකි ඉක්මනින් ඒ ලී කූඤ්ඤ තියන තැන් වලට කොන්ක්‍රීට් කූඤ්ඤ ගෙනිහිල්ල හිටවන එක. මොකද ලී කූඤ්ඤවලට ඔය වගෙ අතුරු ආන්තරා බොහොමයි. ඒත් වෙලා තියෙන්නෙ ඒ දවස්වල අපේ ගබඩාවෙ කොන්ක්‍රීට් කූඤ්ඤ තිබිල නෑ. කොහොම හරි ආයම කූඤ්ඤ ගේනකොට නිව්ටට ඔය වැඩේ අමතක වෙලා ගිහිල්ල.

"ඉතිං මොකද ඊට පස්සෙ උනේ?"

"ඔන්න මම බිම බලාගෙන එහාට මෙහාට ඇවිද ඇවිද අඩුගාණෙ එක කූඤ්ඤයක් වත් මේ XXXX හරක් රැල ඉතුරු කරලද කියල හොයන්ට ගත්ත.."

"සුද්ද?"

"සුද්ද ඉණට අත්දෙකත් තියාගෙන බලා ඉන්නව..ගිණි අව්වෙ ජම්බෙ වගෙ රතු වෙලා…"

"හෙහ්..හෙහ්..මාර ආතල් වැඩේනෙ බං…"

"උඹ මේ මඟුලක් කතාකරනව..අහවල් ආතල් එකක්ද? සුද්දගෙ මූණට අබ අහුරක් වීසි කලානම් උගෙ මූණට අඩියක් කිට්ටුවෙනකොට අබ ටික පුපුරනව සට සට ගාල…"

"හෙහ්..හෙහ්...හරි හරි කතාව කියපං...කතාව කියපං…"

"ටිකකිං සුද්ද බෙරිහන් දීල කෑගැහුව…."

"කොහෙද XXXXX පුතෝ කූඤ්ඤ? කියල නේද?" මම ඇහුව.

"ඔව් ඔව් කොහොමද උඹ දන්නෙ? "

"එහෙම නැතුව ඉතිං උඹෙ ආච්චි ලොකු උනේ වයස කීයෙදිද කියල සුද්ද අහයිද බං? හෙහ්..හෙහ්…"

"උඹට මම කිව්වය කියල හිතාගං...." නිව්ටා මා දිහා රවාගෙන හිටිය විනාඩි දෙකක් විතර…

"හරි හරි මේ මේ වීරෙ..උඹ අනම් මනම් කියල නිව්ටව කුලප්පු කරන්නෙ නැතුව ඉඳහංකො...හරි නිව්ට උඹ කියහංකො සුද්ද කොහොමද බෙරිහන් දුන්නෙ කියල…"

"Hey fellah, what the hell are you doing walking here and there? Where's this bloody fucking location peg? ඔන්න ඔහොමයි බං ඌ කෑගැහුවෙ.."

"අම්මප? ඉතිං උඹ මොකද කිව්වෙ? උඹ බයවුනාද?"

"මම කිව්ව Pegs here some where this palu tree.."

"ඒ ගමන?"

"ඒ ගමන සුද්ද කිව්ව..What? What nonsense are you jabbering?"

"හෙහ්..හෙහ්…"

"මමත් ඇරියෙ නෑ..මම කිව්ව This all bulls fault..no pegs I can't see…"

"ඇති සුද්ද උඹව උස්සල පොළවෙ ගැහුවෙ නැතුව.."

"පොළවෙ නම් ගැහුවෙ නෑ..ඌ ඒ පාර මාව කන්ට වගෙ ටිකක් වෙලා බලා ඉඳල මෙන්න කඩාගෙන බිඳගෙන ගිහිල්ල පිකප් එකට නැඟල ස්ටාට් කලා.."

"නයි කයිද රෝස්පාන් කිව්වලු..උඹව අර මහ කැළේ මැද දාල?.."

"ඒකනෙ කියන්නෙ බං මූ අමුවෙං කෑවට හිත් වදිනවද? මම ඒ පාර කෑගැහුව Hey Stop කියල..මොන ස්ටොප්ද? මූ යන්ට යන්නෙ. මළ කෙලියයි ..මම ඒ පාර දුවගෙන දුවගෙන ගිහිල්ල පිකප් එකේ පිටිපස්සෙ බක්කියට පැන්න.."

"ඒ කියන්නෙ උඹ ආපහු වැලිකන්දට ආවෙ සුද්දගෙ පිකප් එකේ බක්කියෙද? හතර විලි ලැජ්ජාවයිනෙ බං.."

"අනේ බං මේ උඹල නං කියයි. විලි ලැජ්ජාව වගේද අර අලි කොටි වළස්සු ඉන්න කැළේ අතරමං උනොත් එහෙම.."

"ඒකත් හරි තමයි බලාගෙන යනකොට..ඉතිං ඒ පාර? "

"ඒ පාර මම බක්කියට නැඟල අර යකඩ බට ෆ්‍රේම් එකක් තියෙන්නෙ....ඒක ඇති වීරියෙං අල්ලගත්ත. සුද්ද මචං පිකප් එක එහාට කපනව..මෙහාට කපනව.."

"ඒ මොකෝ බං ඒ?"

"ඒ මොකෝ කියන්නෙ ඌ ෆුල් ට්‍රයි කලේ මාව පිකප් එකෙං වට්ටන්ඩමයි..හුහ් මා එක්ක කොහෙද එව්ව? මමත් දත්මිටි කාගෙන අල්ලගෙන හිටිය….."

"යකෝ මාර සීන් එකනෙ..හැත්තෑ ගණංවල සිංහල ෆිල්ම් එක වගෙ..ෂෙහ් නියමෙට තියෙන්ට ඇතිි. සුද්ද ඉංග්‍රීසියෙං අමු කුණු හබ්බ කිය කිය Fuck you you... you bloody bastard...දත්මිටි කාගෙන පිකප් එක එහාට කපනව මෙහාට කපනව..මූ ඉතිපිසෝ ගාතාව කිය කිය දෑත බදල අර යකඩ ෆ්‍රේම් එකේ අත් දෙකෙම්ම එල්ලිල ඉන්නව..හිනාවෙල පණයන වැඩක්නෙ බං ඒක.." 

මම එහෙම කියල බඩත් අල්ලගෙන හිනාවුනා. අනික් එවුනුත් එහෙමයි. ඔක්කොමල හිටිය හිටිය තැනවලම දෙකට නැවිල හිනාවෙන්ට ගත්ත.

"ඔව් තොපිට නම් හිනා..මම පිකප් එකෙං වැටිල මළත් ඔච්චර තමයි..අම්මප උඹල වගෙ යාලුවො.." 

නිව්ට එහෙම කියල නැඟිටල උගෙ කාමරේට ගිහිල්ල දඩාං ගාල දොර වහගත්ත. අපි කට්ටියම කොහොමත් තව පැය කාලක් විතර සීන් එක මතක් කර කර හිනාවුනා...

ඉතිං එදා අපේ සුහද හමුව ඉවර වෙලා මගේ සහෘදයින්ගෙන් බදා සිප වැළඳ සමු අරගෙන මම ආපහු ගෙදර ආව..........

පහුවදා ඉරිද..ඊට පහුවදා සඳුද මම උදේම කසුනට කෝල් එකක් දුන්න. 

"මල්ලි මොකෝ කියන්නෙ? අද මොකද උඹලගෙ ප්‍රෝග්‍රෑම්ස්? මම උඹලගෙ ගෙදර එන්නද? නැත්නම්...."

"අයියෙ මෙහෙමයි අපි අටට විතර යනව දළඳා මාළිගාවට...."

"ඊට පස්සෙ?"

"ඊට පස්සෙ යනව වත්තේගම නැන්ද කෙනෙකුගෙ ගෙදර…"

"හරි එහෙමනම් මෙහෙම කරපං... උඹල දවල් කෑමට අපේ ගෙදර වරෙල්ල…"

"අපි දෙන්න එක්ක සත්‍යාගෙ අම්මයි අප්පච්චියි දෙන්නත් යනව අයියෙ.."

"හරි හරි බං නෝ ප්‍රොබ්ලම් කට්ටියම වරෙල්ල…"

"හරි එහෙනං අයියෙ අපි එන්නං දොළහ දොළහමාර වගෙ වෙනකොට…"

"හරි පාර දන්නවනෙ...පේරාදෙණිය රේල්වේ ස්ටේෂන් එක ළඟට ඇවිල්ල කෝල් එකක් දීපං..මම එන්නං පාර අයිනට.."

පස්සෙ අපෙ ප්‍රියම්බිකා තොමෝයි මායි දෙන්නම එකතුවෙලා ඉව්ව. එදා උදේ ඉඳලම වැස්ස. හැබැයි දහය වගෙ වෙනකොට දාරානිපාත වැස්ස තුරල් කලා. ඒත් අව්ව රැල්ලක් වත් වැටුනෙ එහෙම නෑ. අහසත් වැහි වලාකුලෙන් බරවෙලා තිබ්බෙ. එක පහුවුනා විතරයි කසුනගෙන් කෝල් එකක් ආව.

"රවි අයියෙ..අපි මේ දැන් පේරාදෙණිය ස්ටේෂන් එක පහුකලා......"

"හරි මල්ලි ඔහොම්මම එන්න ඉස්සරහට…..පැණිදෙණිය හන්දියෙන් වමට හරවල පරණ ගම්පොළ පාර දිගේ එන්න. ම්ම්..මීටර් හාරසීයක් වගෙ ඇති ..මම දැන් එන්නම් පාර අයිනට.."

කිව්වත් වාගෙම මම පාර අයිනට ගිහිල්ල විනාඩි පහක් ගියේ නෑ...කසුන්ල කට්ටිය ආව. ඒ පාර අපි ගෙදරට ගිහිල්ල දවල්ට කාල එහෙම බොහොම සුහද සහ ප්‍රියමනාප හෝරා දෙක තුනක් ගත කලා. අපි දෙගොල්ලගෙම මියුචුවල් ෆ්‍රෙන්ඩ්ස් නොහොත් පොදු සහෘදයින් පිළිබඳව ඒ වගේම බ්ලොග් ලිවීම ගැන ඔන්න ඔය වගෙ ඉතාම රසවත් සතුටු සාමීචියකින් ප්‍රිය සම්භාෂණයකින් අනතුරුව කසුන් සත්‍යා ඇතුළු පිරිස අපි දෙන්නගෙන සමුගෙන පිටත් වෙලා ගියා.

සත්‍යාගෙ ගෙවල් ඇවිල්ල හිට දොළුවෙ. ගෙදර ගිහිල්ල සත්‍යා මට කතා කලා. 

"රවි අයියෙ..අපි ගෙදර ආවයි කියන්නයි මම මේ කතාකලේ. ඒ එක්කම බොහොමත්ම ස්තූතියිි කියලත් කියන්න ඕන ඔයාටයි අක්කටයි දෙන්නටම.."

"හරි හරි මැඩම්...ඒක මොකක්ද?"

"අනේ තව දෙයක් අමතක උනානෙ.."

"ඒ මොකක්ද?"

"අනේ අපිට අක්කයි ඔයයි එක්ක ෆොටෝ එකක ගන්න අමතකම වුනානෙ.."

හුටා ඒ කියනකොටයි මටත් ඒක මතක් වුනේ …"ඒකනෙ ඔන්න මටත් දැනුයි ඒක මතක් වුනේ...ෂෙහ්.."

..................................

අකමැත්තෙන් උනත් මතු සම්බන්ධ කරන්න වෙනව..තව එකම එක කොටසක් තියනව...

Wednesday, October 30, 2019

641. වාර්ෂික ඉසුඹුව උදෙසා ලංකාද්වීපයට සැපත්වීම සහ සහෘදයින් හමුවීම..... - 3

ඉතිං ඔය මිනුම් සළකුණු හෑන්ඩ් ඕවර් කරනකොට වැලිකන්දෙ ඉඳල කිලෝමීටර් දොළහක්ද කොහෙද ටේක් ඕවර් කරල තියෙන්නෙ අපෙ නිව්ටනය. ඉතිං ZD එකෙන් අර පාලමේ ලොකේෂන් එක ගැන දැනගන්ට එයාලගෙ එන්ජිනියර් කෙනෙක් එවන්නම්ය කිව්වම නිව්ටන්ගෙ ලොක්ක නිව්ටන්ට කතා කරල කිව්වලු…........

"නිව්ටන් අන්න අර ත්‍රිකෝණමඩු පාරයි මේන් කැනල් එකයි ක්‍රොස් වෙන තැන හරියටම බලාගන්ට හෙට උදේ ZD එකෙන් එන්ජිනියර් කෙනෙක් එයි."

"හරි බොස්"

"නිව්ටන් නේද ඔය හරිය ටේක් ඕවර් කලේ සර්වේ ඩිපාර්ට්මන්ට් එකෙන්?"

"ඔව් බොස්.."

"එහෙනම් හෙට උදේ අර එන මනුස්සය එක්ක ගිහිල්ල හරියටම පාරෙයි ඇළෙයි සෙන්ටර් ලයින් ක්‍රොස් වෙන තැන පෙන්නන්ට."

"ඕකේ බොස්.." නිව්ටනයත් එහෙම කියල වැඩේ බාරගත්ත.

එදා රෑ චමරියට (චමරිය කියන්නෙ අපි නවාතැන් ගෙන හිටපු නේවාසිකාගාරය) ඇවිල්ල රෑට කන ගමන් නිව්ටනය අපිට කිව ඔය විස්තරේ…..

"අඩෝ උඹල දන්නවද? අපෙ ආර්.ඊ.මට බාරදුන්න අර ZD එකේ එන්ජිනියර් කෙනෙකුට ත්‍රිකෝණමඩු පාරයි මේන් කැනල් එකයි ක්‍රොස් වෙන තැන ලොකේෂන් එක පෙන්නන්ට"

(R.E. = නේවාසික ඉංජිනේරු නොහොත් Resident Engineer) 

අපි ඉතින් ඔය අනම්මනම් විකාර ටිකක් කියෝල නිව්ටන්ව පොඩ්ඩක් බයිට් එකට ගත්ත.. හෙහ්..හෙහ්…

"යකෝ...බලාගෙන...ZDඑකේ එන්ජිනියර් කෙනෙක් නම් අනිවා දඩ සුද්දෙක් එනව ඇත්තෙ.......උඹ පොඩ්ඩක් පරිස්සං වෙයං.." සමරෙ කිව්ව.

"පලයං බං යන්න මම මොනවට පරිස්සං වෙන්නද?" නිව්ටන් එහෙම කිව්වෙ නැඟිටල බත්හැන්දක් බෙදාගන්න ගමන්.....

ඒ කාලෙ ඔය ZD එකේ වැඩ කලේ ඔක්කොම අටේ දහයෙ සුද්දො..අත් නැති ටී ෂර්ට් වගේ එව්වයි කාකි කොට කළිසමුයි ඇඳගෙන ඇන්කල් බූට්ස් දාගෙන හිටපු එවුංගෙං බහුතරයකගෙ අත් පපුව පුරා පච්ච කොටල තිබ්බ. ඒ පැත්තෙ අවුරුද්ද පුරා තියෙන කට්ට අව්වෙ ඉඳලම ඔය ඇමරිකන් කාරයින්ගෙ හම රතුවෙලා දිලිසි දිලිසි තිබ්බෙ. 

ඒ දිලිසිල්ලට නම් හේතුව මම හිතන්නෙ අව්වෙ සැරකමට එවුං මොනව හරි ක්‍රීම් ජාතියක් උලල වෙන්න ඕන. පස්සෙ කාලෙකදි ඔය මම කියවපු සමහර පොත් වල රෙඩ් නෙක්ස් (Red necks) කියල වචනයක් දැක්කම මට එක පාරටම මතකයට ආවෙ ඔය ZD කොම්පැනියෙ වැඩකරපු ඇමරිකන් කාරයො. අමරිකාවෙ "Red necks" කියල කියන්නෙ හරි හමං අධ්‍යාපනයක් රහිත, විශේෂයෙන්ම ගොවිතැනින් වගෙ ජීවත්වෙන පහළ පංතියෙ සුදු අමරිකානුවන්ට. ඒක අපහාසාත්මක වචනයක් විදිහටයි හැඳින්වෙන්නෙ.

ආ ඔය ZD එකේ අමරිකන් කාරයො හැමෝම වගෙ පාවිච්චි කලේ කහ/දුඹුරු පාට (Beige Color) සීට් දෙකේ ජීප්. ඒ කාලෙ ලෝකෙ පුරා ජපානෙ හදන මිට්සුබිෂි ජීප් එක ජනප්‍රිය වෙලා තිබ්බට ජීප් කියන්නෙ ඇත්තටම අමරිකන් සන්නාමයක්. ජීප් සමාගමෙන් මිට්සුබිෂි එකට "Jeep" සන්නාමය යටතෙ වාහන හදන්ට දුන්නු අයිතිය අවසන් උනාට පස්සෙ තමයි මිට්සුබිෂි සමාගම පජෙරෝ එක නිෂ්පාදනය කරන්ට පටන් ගත්තෙ. ජීප් වලට අමතරව අමරිකන්කාරයො පාවිච්චි කලා දඩ G.M.C. ඩබල් කැබ් පිකප්. එව්ව ආය නෑ පොඩි ලොරියක් විතර ඇති. ටයර් එකක් අඩි දෙකක් වගෙ පළලයි. G.M.C. කියන්නෙ සුප්‍රසිද්ධ අමරිකන් වාහන නිෂ්පාදන සමාගමක්. (General Motors Company)


ඒ දවස්වල ZD එකේ සුද්දො පාවිච්චි කලේ
මේ G.M.C. පිකප්. හැබැයි එව්ව මීට ටිකක් වෙනස්.
මොඩිෆයි කරල තිබ්බෙ Off Road විදිහට...

ඒ දවස්වල අපේ කෑම්ප් එක මායිමෙන්ම තමයි ඔය ZD ඇළ වැටිල තිබ්බෙ. අපේ කෑම්ප් එකේ වැටත් එක්කම තිබ්බ ZD එකේ සුද්දො රෑ වැඩ කරද්දි එහෙම පොඩි නින්දක් දාන්ට ගෙනාපු කන්ටේනර් තුන හතරක්. ඒ පිටිපස්සෙ සමහර දවස් වලට එවුං මස් එහෙම පුච්චගෙන කනව බොනව එහෙම. රෑට හුලං අත අපේ කෑම්ප් එක දිහාට හැරෙනකොට අපිටත් එනව මස් පිච්චෙන සුවඳ...

අපි ඔය ඒ කාලෙ බාබකිව් ගැන එහෙම අහලවත් තිබ්බෙ නෑ. වැට අයිනෙ තිබිල එක දවසක් අපේ චමරියෙ උයන්ට හිටපු ගෝලය ගෙනල්ල තිබ්බ හිස් ජැක් ඩැනියල්ස් බෝතල් දෙක තුනක්. අපේ කට්ටිය එව්ව ගත්ත වතුර පුරවල රෑට බොන්ට ඇඳ ඉහත්තාවෙ තියාගන්ට.


ජැක් ඩැනියල්ස් විස්කි බෝතලයක්...

ඉතිං පහුවදා අපි දවල්ට කන්න එනකොට මෙන්න නිව්ටනය ඉන්නව අපෙ සාලෙ ඇඳි පුටුවක පත බෑවිල..අපි කට්ටිය කොහොමත් දවල්ට කන්න එනකොට එකහමාරවත් වෙනව. මොකද අපි එක එක්කෙනාගෙ සයිට් තියෙන්නෙ එකිනෙකින් සෑහෙන්න දුරින්. ඉතිං අපේ ජීප් එක කිලෝ මීටර් විස්සක් විතර ඔය වටේ ගහල එනකොට කොහොමත් ඔය වෙලාව යනව. ඒත් පුරුද්දක් විදිහට නිව්ටන් එකොලහ වගෙ වෙනකොට චමරියට එනව. ඇවිල්ල අපි දාඩිය පෙරාගෙන එද්දි නාල කරල කාරිය කුරුල්ල වගෙ ෂපාන් එකේ ඉන්නව. ඒත් එදා උගෙ මූන ඉදිල බිමට වැටෙන්ට ඔන්න මෙන්න වැලගෙඩියක් වගෙ වෙලා තිබ්බෙ. 

"මොකෝ බං?" මම ඇහුව..

"බලපංකො අර දහදුරා සුද්ද කරපු වැඩේ…"නිව්ටන්ට ඒ වෙනකොටත් උපරිම මල.

"හරි හරි බං...කාම් ඩවුන් කාම් ඩවුන්...ඒ කියන්නෙ සන්සුන් වෙන්න සන්සුන් වෙන්න …"

"සන්සුන් තමයි අම්මප මට ඕකට.." නිව්ටන් බර බර ගාල දත්මිටි කෑව...

දැන් එදා මගෙ අර මහවැලි යාලුවො එක්ක තිබ්බ සුහද හමුවෙදි කවුරු හරි එකෙක් ඔය නිව්ටන්ගෙයි සුද්දගෙයි කතාව මතක් කලා..

"ඒයි මතකද උඹලට අපේ නිව්ටනය අර ZD එකේ සුද්දට මහ ඇළේ පාලමේ ලොකේෂන් එක පෙන්නන්ට ගිහිල්ල වෙච්චි ජංජාලෙ?"

"යන්තම් මතකයි වගෙ .."

"හරි හරි ඉඳපංකො වීරෙට තමයි ඔය කතා මතක..අනික මූ ඔය කතන්දර ලියනවලුනෙ අර බ්ලොග් එකක්ද මොහොකටත්.."

"ඔව් බං ඔය දන්නැද්ද? කතන්දර දෙක තුනක් ලියනව..." මම එහෙම කියල ෂේප් වුනා...එතන හිටපු එවුන්ගෙන් මගෙ බ්ලොග් එක ගැන දැනගෙන හිටියෙ ඔය සමරෙ විතරයි...ඒකත් ඊට කලින් දවසෙ මම ඌට කියල තිබ්බ හින්ද.

"වීරේ එහෙනම් උඹ කියපං කතාව මුල ඉඳලම…" ඔන්න ඔක්කොම කට්ටියගෙන් ඉල්ලීමක් ආව..

"මේ... උඹ කතාව කිව්වට කමක් නෑ.. බොරු එහෙම කිව්වොත් බලාගං...අඬු කඩනව අම්මාපල්ල.." නිව්ටන් මට ඒ වෙලාවෙ තර්ජනයකුත් කලා. 

"පිස්සුද බං? ආය බොරු කියන්නෙ කොහොමද? උඹත් මෙතන ඉන්නවනෙ...බොරුවක් නම් ඒ වෙලාවෙම කියපං..අඩෝ බොරු කියන්ට එපා.. එහෙම නෙවෙයි උනේ මෙන්න මෙහෙමයි කියල…" මම නිව්ටන්ගෙ පිටට පාරක් ගහන ගමන් එහෙම කිව්ව.

ඉතිං ඔන්න මම එදා කතාව කියාගෙන ඇවිල්ල ඔය නිව්ට අපේ චමරියෙ මූණත් තහඩුව කුණ්ඩ හට්ටියක් වගෙ කරගෙන සුද්දගෙ හත්මුතු පරම්පරාවටම අම්ම මෝ නැතුව බැණ බැණ ඉන්න වෙලාවෙ මෙසේ උඩ තිබ්බ මගෙ ෆෝන් එක රිං වුනා. මම කතාව නවත්තල අතට අරං බලනකොට නාඳුනන නොම්මරයක්…..

"එක්ස්කියුස් මී.." එහෙම කියල මම ෆෝන් එකත් අරගෙන එළියට ගියා.."හෙලෝ...."

"හෙලෝ...මේ මිස්ට රවිද?"

"ඔව් මම තමයි රවි.."

"රවි අයියෙ...මම මේ කසුන්…"

"ආආආ....කසුන්? කසුන් කිව්වෙ?"

"මම අර අහසින් එන්න.... අන්න ඒ කසුන්.."

"අම්මට උඩු මේ මේ අපේ කසුන් මල්ලිනෙ..ඉතිං ඉතිං..කොහොමද බං සැප සනීප කාරිය?"

"වරදක් නෑ අයියෙ හොඳින් ඉන්නව...අයිය ලංකාවට ආවයි කියල ආරංචි උනා..ඒකයි මේ කතාකලේ…"

"අනේ බං කතා කරපු එක කොච්චර දෙයක්ද?..මේ ඒක නෙවෙයි කාගෙන්ද මගෙ නොම්මරේ හොයා ගත්තෙ?"

"රන්දිකා අක්ක දුන්නෙ...අයිය එහෙ ගියයි කියලත් කිව්ව"

"ඔව් බං.. පහුගිය සඳුද කොලඹ ගියානෙ... ඒ ගමන රන්දිකාලගෙ ගෙදරත් ගියා.."

"ඉතිං අයියෙ මම මේ කතා කලේ අපි දෙන්න මේ දවස්වල නුවර ඉන්නෙ…"

"ආ..එහෙමද?"

කසුන්ගෙ භාර්යා තොමෝ ඒ කිව්වෙ සත්‍යා නිර්මාණි නුවර කියල මම දැනගෙන හිටියට හරියටම කොහෙද කියල මට අයිඩියා එකක් තිබ්බෙ නෑ.

"හරි හරි සත්‍යා නුවර නේද?"

"ඔව් නුවර කියන්නෙ ගම්පොළ…"

"අහ්..එහෙමද? මම ඉන්නෙත් පේරාදෙණිය පරණ ගම්පළ පාරෙ..පැණිදෙණියෙ.."

"ඔව් මට මතකයි අයිය කීප සැරයක් බ්ලොග් එකේ ඒ ගැන ලියල තිබ්බනෙ..ඉතිං අයියෙ මම මේ කතා කලේ අපි දෙන්නට අයියව මුණගැහෙන්ට ඕන…"

"කසුන් මම ලබන බදාද ඒ කියන්නෙ දාහතරවෙනිද ආපහු යනව..ඔයාල දෙන්න කවද වෙනකල් මෙහෙ ඉන්නවද?"

"අපි හිතාගෙන ඉන්නෙ අඟහරුවාද හවස වගෙ ආපහු කොළඹ යන්න.."

"හරි එහෙමනම් හෙට හෝ අනිද්ද අපි හම්බවෙමු. ගම්පළට මහ ලොකු දුරක් නෑනෙ..මම එන්නම් ඔයාලගෙ ගෙදර..එහෙම නැත්නම් නුවර පැත්තෙ යැවෙනවනම් වරෙං අපේ ගෙදර..කෑම ටිකක් එහෙම කාල යන්ට බැරිය නිදහසේ.."

"හරි අයිය..එහෙනම් මම තියන්නම්.."

"හරි හරි බායි…" මම කසුන්ට එහෙම කියල ආපහු ගිහිල්ල වාඩි වුනා.

"ඒයි මොකද බං මෙච්චර වෙලා? කියපං කියපං කතාව කියපං…" කට්ටිය කෑගැහුව..

"හරි බං හරි මගෙ යාලුවෙක් ඒ කතා කලේ..හරි මම කොතනද කතාව නැවැත්තුවෙ?"

"ආ..අර පහුවදා දවල් කෑමට උඹල චමරියට එනකොට මූ හිටිය කිව්වෙ අර මොනවද කාපු එකා වගෙ..අන්න එතන" එකෙක් නිව්ටව පෙන්නල කිව්ව..

නිව්ට ඉන්නව මා දිහා රවාගෙන මූණත් වැලේ වගෙ කරගෙන..

"අඩේ මෙන්න බලාපං..මෙන්න මේ විදිහටම තමයි එදත් මුගෙ මූණ තිබ්බෙ…" මම නිව්ටගෙ මූණ පෙන්නල හිනා වුනා..

"යකෝ කතාව විදිහට උඹ මූණ හදාගන්න ඕන නෑ බං..නෝමල් එකේ ඉඳහං.." මම ආයම කිව්ව..

"නෝමල් එකේ? හුහ්...මම උඹට කිව්වය කියල හිතාගං..යකෝ මූ හින්ද ගෙට් ටුගෙදර් එකක් ඕගනයිස් කරල මම අහගන්න පඩත්තර කතා..අපිට ගහන්න ඕන අර හරකගෙ වේලපු මොකක්ද එකෙං…" නිව්ටන් එහෙම කියල දත්මිටි කෑව..

ආ මට කලින් කියන්ට අමතක මතක බැරි වුනා නෙව..නිව්ට ඇවිල්ල සුහද හමුවෙ ප්‍රධාන සංවිධායකයෙක්...

"හරි හරි බං වීරෙ උඹ ඔව්ව ගණං ගන්න එපා..නිව්ට ඔය බොරුවට කෑගහන්නෙ උඹ කතාව කියහං.." අනික් එවුං කෑගැහුව...

පහුවදා උදේ නමයට විතර සුද්ද ආව. ආර්.ඊ. නිව්ටන්ට කතා කරල කිව්ව...එහෙනම් මේ මහත්තය එක්ක එයාගෙ වාහනෙන්ම ගිහිල්ල ඒ පාළම එන ලොකේෂන් එක පෙන්නල එන්නකො.නිව්ටනුත් ඕකේ බොස් කියල සුද්ද එක්කම පිටත්වුනා. සුද්ද ඇවිල්ල තිබිල තියෙන්නෙ දඩ G.M.C. පිකප් එකක.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...