Tuesday, June 23, 2026

135 සහ 495. සියපතක මකරන්ද සුවඳ වින්දෙමි...

රවීගේ නොසිතූ, නොකල්, අකල් සමු ගැනීමත් සමග වේදනාවටත් කම්පාවටත් පත් නිදහස් සිතුවිලි සහෘදයින් (ඉයන් ඇතුලු) කිහිප දෙනෙකු ම රවීගේ ලිපියක් මසකට වරක් හෝ නැවත පළ කරන මෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම ඉටු කරන්න ආරම්භයක් වශයෙන් අප දෙදෙනා විසින් ම නෙළුම් යාය 2016 වෙනුවෙන් විශේෂයෙන් ලියන ලද ලිපිය මෙලෙසින් බෙදා ගන්න හිතුවා.
අප දුටු/නුදුටු නෙළුම් යාය

නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල 2016, 2017 මාර්තු මස 25 වන සෙනසුරාදා වන ඊයේ දිනයේ අපගේ සිත් ඇදගන්නාසුලු ආකාරයට පවත්වනට කටයුතු යොදා තිබුණා.



අපි තොරණ බලන්න ගියාම තොරණ හැදුවේ කොහොමද, කවුද සල්ලි දෙන්නේ, කවුද ෆ්ලැෂ් කොටේ කරකවන්නේ, කවුද චිත්‍ර අඳින්නේ, කවුද බල්බ් වැල් ස්ථාන ගත කරන්නේ වගේ දේවල් ඒ හැටි හොයන්නේ නැහැ වගේ ම මෙම උත්සවයේ ඒ අංශය ගැනත් සොයා බැලීමක් මගෙන් වන්නේ නැහැ ඔන්න! හැබැයි එකක්!, රජයේ වැඩක් නොවන නිසා, ඒ සංවිධායකයින් තමන්ට කැමති කෙනෙකු ගෙන්වා, තමන්ට කැමති තැනක උත්සවය පවත්වා, කැමති වියදමක් දැරීම ගැන ඒ හැටි දෙයක් හිතන්න නැති බවයි රන්දිල්ගේ හැඟීම.

නොකඩවා තෙවැනි වරටත් සංවිධානය කෙරුණු එහි, අංශ දෙකක් යටතේ අපගේ නිදහස් සිතුවිලි බ්ලොග් අඩවිය ද නාම යෝජනා වී තිබෙන බව දින කිහිපයකට උඩදි අපට දැනුම් දුන්නේ, උත්සවයට පෙරත් උත්සවය පුරාමත් නොසෑහෙන වෙහෙසක් දරා කටයුතු කළ අපේ සුමිතුරු සුමිත් කළණසිරි විසින්. ඔහුගේ කැපවීම, උනන්දුව මේ අවුරුදු තුන පුරාම අපි හොඳින් ම අත්දැක්ක දෙයක්. (නැතිව බැහැනේ ඩොලර් කුට්ටිලු ලැබෙන්නේ :D )

ඉතිං මාත් මගේ මුලු පවුලමත් ලෙසින් අපි ඒ උත්සවයට සහභාගි වුණා. උත්සවයක් වුණාම එහි උත්කර්ෂවත් බවක් තිබීම සහභාගි වන්නන්ගේ සිත සතුටු කරවන්නක්. ඊයේ උත්සවයේ උත්කර්ෂවත් බවින් පැමිණි සිටි බොහෝ දෙනෙකු සතුටු වූ බව ඔවුන්ගේ අදහස් වලින් අපි දැන ගත්තා.

ආරම්භක දේශනය කරපු මහින්ද දේශප්‍රිය මහත්මයා ඉතාමත් තර්කානුකූලව, මාතෘකාවට ආදාළව වැදගත් කාරණා බොහොමයක් අප ඉදිරියේ ගෙන හැර පෑවා. කරු මහත්මයාගේත් රාජිත මහත්මයාගෙත් කතා තොරතුරු දැන ගැනීමේ පනත පිළිබඳවත්, ඖෂධ පනත පිළිබඳවත් මූලික කරගනිමින් දිව ගියා.




නාලක මහත්මයාගේ කතාව කවදත් වගේ අපි වෙනුවෙන්ම කරපු, වැදගත් කතාවක් වුණා. අන්තර්ජාල පිවිසුම් වෙනුවෙන් ගෙවන්න වී ඇති අධික බදු පිළිබඳ ව දේශපාලකයින් දෙදෙනා ඉදිරිපිට කරුණු ඉදිරිපත් කිරීම ම වැදගත් දෙයක්. අපි මේ රට ගැන, රටේ ක්‍රියාත්මක වන දේවල් ගැන දරණ අදහස් ඔවුන්ට දනවන්නට මෙවැනි අවස්ථා හොඳ වේදිකාවක් කරගැනීමට අපට හැකියාව තිබෙද්දි දේශපාලකයින් කැඳවීම පිළිබඳ ව නොරොක් වීම ඵලක් නැති දෙයක් හැටියටයි මට හිතෙන්නේ.

දේශන අතරතුරේ විවිධ අංශ යටතේ සම්මාන බෙදා දීම සිදු කෙරුණා. උත්සවයට පෙර සිට ම සුමිත් හා ලක්මාල් (අටම්) සම්මානලාභීන් සම්බන්ධ කරගනිමින් මනා වූ ජාලයක් ගොඩ නගා ගනිමින් සිටි බව අපට දැනුනත් සම්මාන ලබා දෙන අවස්ථාවේ ඒවා ලබා ගන්න කිහිප දෙනෙකුට එන්න බැරි වී තිබුණා පමණක් නොව ඒ වෙනුවෙන් සහෘදයකු නම් කරන්නට පවා ඔවුන් කටයුතු කර තිබුණේ නැහැ. එය සංවිධායකයින්, සම්මාන ප්‍රදානය කරන්නට වේදිකාවට පිවිස සිටි ආරාධිතයින් හා අනෙකුත් පිරිස යම් පමණකට අපහසුතාවට පත් කළ කාරණයක් වුණා. 

විටින් විට දැනුම්දුන් පරිදි ඔබට සම්මාන පිළිබඳ පිරියක් නොවේ නම් කලින් ම දැනුම් දීමේ පහසුකම තිබුණා. නැතහොත් වෙනත් කෙනෙකු නම් කර එය ඒ අවස්ථාවේ ලබා ගැනීමේ අවස්ථාව උදාකර තිබුණා. මොන හේතුව නිසා හෝ කිහිප දෙනෙකු ම ඒ අවස්ථාව අහිමිකරගෙන තිබුණු අතර ජීවන ප්‍රනාන්දු සහෝදරයා ඉදිරි පෙළ අසුනක සිට ඒ බොහෝ සම්මාන ලබා ගැනීමට ඉදිරිපත් වී අවස්ථාවේ වූ කඨෝර බව සමනය කළ බව කිව යුතුයි. (ඔහු ඒ බර ඔසවාගෙන ගෙදර ගියේ කෙසේ දැයි පසුව අසා දැනගත යුතුය)

අපි මචං කණ්ඩායම, ජනයි ප්‍රියයි දෙදෙනා, ඔපෙරා නාට‍්‍යය, වේදිකා නාට්‍යය හා භාරත නර්තනය ආදී වූ විවිධාංග මැදින් උත්සවය දිව ගියා. සමහර අංග දිගු වැඩි වූ බවත් අවස්ථාවට නොගැලපෙන බවත් සමහර කෙනෙකුගේ අදහස වුණා. ඒ කතාවේ යම් සත්‍යයක් තිබුණා සේම, ‘සම්මාන ගන්න ආවා නං ඒවා අරගෙන යෑම‘ විනා එයින් එහාට නිස්කාංසුවේ වාඩි වී අනෙකුත් අංග රසවිඳීමේ නුහුරු ගතියත් ඒ අදහස් දැක්වීමට හේතුවන්නත් ඉඩ නැතිවා ම නෙමෙයි.



ඇත්තටම හවස 2 පමණ සිට රාත්‍රි 8 වනවිටත් කෑමට බීමට යමක් නොලබා සිටීම අපහසුකාරී දෙයක්. අතරමැද විවේක කාලයක් යෝජනා කරන්නටද අපහසුවන්නේ කෑමෙන් බීමෙන් පසු සතා සරුපයාවත් රඳන්නේ නැතැයි යන කියමන අකුරට ම ඉෂ්ට කරන පිරිසක් ද සිටින නිසයි. :D මී ලඟ වර උත්සවය සංවිධානය කිරීමේ දී මේ කාරණා ගැන සංවිධායකයින් අවධානය යොමු කරනු ඇතැයි අපට සිතේ.

බ්ලුක්ස් (බ්ලොග් වලින් ආ බුක්ස්-පොත්) සඳහා අළෙවි ස්ථානයක් සුදානම් කර තිබෙන බවක් පෙර සිටම දැනුවත් වී සිටියත් එම ස්ථානයට පොත් බර ඔසවාගෙන ගිය පසු එවැන්නක් නැති බව දැනගන්නට ලැබී තිබෙනවා. ඒ අවස්ථාවේ ක්‍රියාත්මක වුනු බෝධිනි සමරතුංග (අනිත්කොන බ්ලොග් අඩවිය) හා තරුරසි ප්‍රනාන්දු (තරුරසි බ්ලොග් අඩවිය) යන අේ මිතුරියන් ඒ සඳහා තැනක් සූදානම් කරගෙන පොත් සියල්ල ස්ථානගත කොට මුලු කාලය පුරා ම එම කාර්යය කරගෙන යෑමට උර දුන්නා. අප හැමට ම අමතක වූ කාරණය නම් නිවේදක කටයුතු කළ දෙදෙනා අතින් ඒ පිළිබඳ ව සභාව දැනුවත් කිරීමයි. එයින් බොහෝ දෙනෙකු බ්ලුක්ස් තිබූ බව නොදැන පිටව ගිය බව පසුව දැනගන්නට ලැබුණා.




නාලක ගුනවර්ධනයින් ගිය වරත් මේ වරත් පැවසූ පරිදි බ්ලොග් අවකාශය යනු ‘ගරුසරු නැති තැනකි‘. ඉතිං අපි ඒ වචනයට ගරු කරන්නත් එැපැයි. නැද්ද මං අහන්නේ! ඒ නිසා සභාව පැවැත්වීගෙන යද්දී ම රාජිත ආමාත්‍යවරයාට විවර කළ කෑම මේසය දිගට ම විවර ව පවත්වාගෙන ගොස් එය හිස් කිරීමට උදව් දීමට සෑම දෙනාම පාහේ එකාවන් ව පෙළ ගැසුණා. :D රසවත් කෙටි කෑම මාලාවකින්, පළතුරු සලාද වලින්, මෘදු බීම හා තේ පැන් වලින් සමන්විත වූ ඒ සංග්‍රහය අප සියලු දෙනා ම කිසිඳු අවලාදයකින් තොරව රසවිඳි බව සටහන් කළ යුතු වනවා. (තව ලස්සන ලස්සන පිංතූර තිබුණත් මගේ පිංතූරයෙන් විතරක් සෑහීමට පත්වන්නට මට සිදු වනවා :D )




පරිවර්තන අංශය වෙනුවෙන් යෝජනා වී තිබූ මගේ ලිපිය ඒ අං‍ශයෙන් තෙවන ස්ථානය ලබා සම්මානයට පාත්‍ර වූ අතර අපේ සුමිතුරු, සදාදරණීය බ්ලොග් රචක, මගේ බ්ලොග් සහකරු රවී වීරසිංහ වසරේ බ්ලොග්කරු ලෙස අබිසෙස් ලැබුවා. කවදත් වගේ ඒ සම්මානයත් මගේ දෑතින් ලබා ගැනීමට මම වාසනාවන්ත වුණා. ඒ වගේ ම මා සම්මාන ලබා ගන්නා දර්ශන ඊයේ දිනයේ හිරු ටීවි රාත්‍රි 9 30 ප්‍රවෘත්ති විකාශනයෙන් රටට ම පෙන්වීම නිසා මගේ දුරකථනය හා අනෙකුත් පණිවුඩ මාර්ග අවිවේකි කරන තරමට සුභ පැතුම් ලබන්නට මා වාසනාවන්ත වුණා.



ඉතිං සමස්තයක් ලෙස ගත්තහම රන්දිල්ගේ හා ඇගේ මිතුරියන්ගේ අදහස මේ සම්මාන උළෙල ඉතාමත් හොඳ මට්ටමක තිබුණු බවයි. මේ සම්මාන උළෙල සංවිධානය කිරීම පිළිබඳ ව අජිත් ධර්මකීර්ති, සුමිත් කළණසිරි හා ලක්මාල් කන්දෙවිදාන යන සොයුරුන්ට අපගේ ස්තුතිය හිමිවිය යුතුවා සේම එයට අමතරව මේ කටයුත්තට උරදෙන, මා නමින් නොදන්නා සියලු දෙනාටඒ ස්තූතිය නොඅඩුවම හිමිවනවා.



කාන්තාවන් හැටියට ආටෝපයට සාටෝපයට කැමති අපට ලස්සන ලස්සන පිංතූර සෑහෙන ප්‍රමාණයක් ගන්නත් මෙය හොඳ අවස්ථාවක් වුණා. (හැබැයි ඉතිං හැම උත්සවයක් අවසානයේදී ම ‘අනේ අහවල් අයත් එක්ක පිංතූරයක් ගන්න බැරි වුණා නේද?‘ යනුවෙන් ඉතිරි වන සිතුවිලි නම් නොඅඩුව ඉතිරි වෙලා තියෙනවා) අපි මිතුරු මිතුරියන් හමු වී කතාබස් කොට විනෝදයක් ලැබුවා. මෙතෙක් නොදුටු අය දැක හඳුනා ගත්තා. ඉතිං තව වෙන මොනවද? 



.........................................................................
 
රන්දිල් නෝනා මහත්මිය (ග.ක.) විසින් ලියන ලද නෙළුම්යාය සම්මාන උළෙල පිළිබඳ ඉහත සටහනට එකතුකරනු ලබන මගේ අදහස් දැක්වීමයි මේ........

ඊයේ පැවැත්වුනු නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙලට සහභාගි වන්නට නොලැබීම මගේ ජීවිතේ ඉතාම කණගාටුදායක අවස්ථාවක්. අපි හැමෝගෙම ජීවිතවල වගේම මගේ ජීවිතෙත් එහෙම කණගාටුදායක අවස්ථාවන් කීපයක් තියනව. ඉතිං නිසැකවම ඊයෙ එයින් එකක්....

මක්කෙයි කොරන්නෙ? එහෙම තමයි ජීවිතේ හැටි...

ඉතිං ඉස්සෙල්ලාම නමෝ විත්තියෙන්ම හා හාපුරා කියල රන්දිල්ට ස්තූති කරලා ඉන්න ඕනමයි...

"මිස්ටර් රවී...මගෙ බ්ලොග් එකේ ලියන්නකො ඔය කතන්දර..."

2010 අවුරුද්දෙ මුල කාලෙ වගෙ දවසක චැට් එකකදි රන්දිල් එහෙම කිව්වෙ අපි දෙන්න කාලයක් එකට වැඩ කරපු කොම්පැණියෙ වෙච්චි අපූරු සිද්ධියක් මම ඇයට කිව්වට පස්සෙ. 

ඒ කතාව මම තවම ලිව්වෙ නෑ. ඒක මේ රෙජී රණතුංග මහත්මය මතකයි නේද? අන්න ඒ මහත්මයගෙ මරණය හා සම්බන්ධ කථාවක්...

මම ඒ වෙලාවෙ කිව්වෙ "පිස්සුද ළමයො. ඔය වගෙ මේ එලොවටත් නැති මෙලොවටත් නැති කතන්දර වලින් කාටද වැඩක් තියෙන්නෙ? ඔව්ව හොඳයි ඔය පොඩි ආතල් එකක් ගන්න වෙලාවට කියන්ට..අනික ඒ වගෙ එව්ව උනත් ඕනනම් බ්ලොග් පෝස්ට් දහයක් ලියන්ට තියෙයි. එච්චර තමයි" අන්න එහෙම......... 

ඒ වෙලාවෙ රන්දිල් කිව්ව "හරි,හරි... ඒ පෝස්ට් දහය හරි කමක් නෑ ලියන්නකො ඔන්න මම ඔයාව ඇඩ් කරනව බ්ලොග් එකට" කියල. 

ඒ පාර ඉතිං මොනව කරන්නද? "හා..හා..ඉතිං ඕන කෙහෙල්මලක්...ලියන්නම්කො බලන්න මොනවහරි" කියල මාත් හාංය කිව්ව. නැත්තං ආය මේකෙ වසන්ටය කණක් ඇහිල?

ඉතිං කොහොමින් කොහොමින් හරි ඔන්න ඔයාකාරයෙනුයි මම නිදහස් සිතුවිලි බ්ලොග් එකේ පාට්නර් කෙනෙක්, නොහොත් කෝ-රයිටර් කෙනෙක් විදිහට පත්වීම් ලැබුවෙ. ඒ 2010 අවුරුද්දෙ නොවැම්බර් මාසෙ...අවුරුදු හයහමාරකට වගෙ ඉස්සර...බලාගෙන යනකොට එච්චර කාලෙකුත් නෙවෙයි. අනික් අතට සෑහෙන කාලයකුත් තමයි...

හැබැයි ඉතිං එකක් තියෙන්නෙ ලියන්ට දේවල් නැතිය කියල හිතුවට ලියන්ට ගියාම තමයි තේරුනෙ දෙයියෝ සාලෙ..කොච්චරක් නම් දේවල් තියනවද ලියන්ට කියල. විශේෂයෙන්ම මේ ඉර හඳ තරු යට, මහ පොළවෙ පය ගහල අඩ සියවසකට අධික කාලයක් ජීවත් වෙච්චි කෙනෙකුට කොයිතරම් නම් අත්දැකීම් තියනවද බෙදා හදා ගන්ට කියල මට සක්සුදක්සේ, අතැඹුලක්සේ පැහැදිලි වුනේ කොම්පියුටරේ ඉස්සරහ ඉඳගෙන කී බෝඩ් එකට කොටන්ට ගත්තට පස්සෙ.

හරි වැඩි විස්තර ඕන නෑ.අවුරුදු හයාමාරක් තිස්සෙ මම ලියපු වැල්වටාරං කියවපු, එව්වට කමෙන්ට් කරපු ඔබ තමුන්නාන්සෙලා දන්නව ඇතිනෙ ඒ විස්තර මට වඩා හොඳට. හරි එහෙනම් මේ අවස්ථාවෙ මගේ පාඨක ජනතාව වන ඔබ තමුන්නාන්සේලා හැමෝටම මගේ ගෞරවාදර භක්ති පූර්වක, සාතිශය ස්තූතිය පිරිනමමි!

මේ වෙලාවෙ අනිවාර්යයෙන්ම ස්තූති කරන්ට ඕන දැනට බ්ලොග් නොලියන අංගනාවියන් කීපදෙනෙකුට. 

එක පොඩි කුමාරිහාමි. ඒ යෝදිගෙ බ්ලොග් එකේ මාගල් වගෙ කමෙන්ට් ලියල තමයි මම දැනගත්තෙ යකෝ මටත් මොන මොනවහරි ලියන්ට පුලුවන් නේද කියල. 

ඊට පස්සෙ මායි අපේ තව දිගැසියන් කීප දෙනෙකුයි එකතුවෙලා අන්දර මල් දම කියල සාමූහික බ්ලොග් එකකුත් ලිව්ව. ඒක දැනට නැවතිලා තියෙන්නෙ. අන්න ඒ මල්දමේ කට්ටියටත් ස්තූති කරන්ට අවශ්‍යමයි.

ඊලඟට නෙළුම්යාය සම්මාන උළෙල සංවිධායක මණ්ඩලයට. බ්ලොග් වලට සම්බන්ධ අයගෙන් ම දන්නෙ අජිත්, කළ්‍යාණ, තරුරසී සහ අටම් ගැන විතරයි...Thanks My Friends!

පලි - මම මගෙ ජීවිතේට ප්‍රසිද්ධ වේදිකාවකට නැඟල දේශපාලනඥයෙක්ගෙන් තෑග්ගක් අරගෙන තියෙන්නෙ එකම පාරයි. ඒ 1974 අවුරුද්දෙ කෑගල්ල නගර සභා ශාලාවෙදි. 

1972 මැයි 22 වෙනිද ඒ කාලෙ තිබ්බ සමගි පෙරමුණු ආණ්ඩුව ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයෙන් සහමුලින්ම වෙන්වුනු ජනරජයක් කියල ප්‍රකාශයට පත් කලානෙ.ඊට පස්සෙ දිගටම හැම අවුරුද්දෙම මැයි 22 වෙනිද ජනරජදින සැමරුම් උත්සව පවත්වාගෙන ආවා රාජ්‍යානුග්‍රහයෙන්. ඒ වෙනුවෙන් පාඨශාලාන්තර නැටුම්, ගැයුම්, වාදන තරඟ පැවැත්වුනා. 

74 අවුරුද්දෙ නැටුම් අංශයෙන් පළවෙනි ස්ථානය ලැබුනෙ කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයට. ඒ නැටුම් කණ්ඩායමේ මමත් හිටිය දෙවෙනි පෙළේ. අපි නැටුවෙ ගජගා වන්නම....."දෙව්පූර ඇතේකී..කුඹු දහසයකී..දිගදළ ආටකී..සත් ගෑබකී.." අන්න එහෙමයි ගජගා වන්නම. ඔය කියන්නෙ සක්කර ගොයියගෙ ඇතා ගැන. ඓරාවණ ඒ ඇතාගෙ නම.......

ඉතිං අපිට තෑගි දුන්නෙ ඒ කාලෙ කෑගල්ල මන්ත්‍රී, නාවික සහ සංචාරක ඇමති පී.බී.ජී. කළුගල්ල මහත්මය. අපි නැටුම් කණ්ඩායමම (දොළහක්ද කොහෙද හිටිය මට මතක විදිහට) ස්ටේජ් එකට එකපාර ගිහිල්ල සහතිකපත් ගත්ත. 

ඉතිං මට කියන්න තියෙන්නෙ ඊයෙ රන්දිල් නෙළුම්යාය වේදිකාවට නැඟල කරු ජයසූරිය මැතිතුමා අතින් තෑග්ග ගත්තට ඒ වෙලාවෙ ඔබ තමුන්නාන්සේලා සියළු දෙනාම ඒ කියන්නෙ මේ අවුරුදු හයාමාරක් තිස්සෙ මම ලියපු දේවල් කියවල, ඒ ගැන කමෙන්ට් කරල, විවේචනය කරල, ප්‍රශංසා කරල, අනේක අයුරින් මාව දිරිමත් කරපු මගේ සහෘදයින් සහ සහෘදිනියන් හැමෝම රන්දිල් එක්ක වේදිකාවට නැග්ග කියලයි මම හිතන්නෙ...එපමණයි!!!

Thanks Again All Of You!!!

Monday, June 15, 2026

168. රවී

    ලිවීම යනු හුදෙක් ලිවීමේත්, කියවීමෙත්, අදහස් පළ කිරීමේත්, නොතිත් ආශාවන් හී සංකලනයක් පමණක් වූ… පමණක් ම වූ සමයෙක, සිංහල බ්ලොග් අවකාශය දෙදර වූ මා මිතුරනි, 

    ‘නිදහස් සිතුවිලි’ ලෙසින් අහඹු ලෙස මා නම් තැබූ මේ බ්ලොග් අඩිවිය, දශකයකට වඩා වැඩි කලක් පුරා, සැබවින් ම නිදහස් සිතුවිලි වලින් සැරසූ මා මිතුරා අප සිත් දැදුරු කරමින් නික්ම ගියේ ය.


14.11.1963 - 11.06.2026










නිදහස් සිතුවිලි‘ට කුමක් කරන්නදැයි මට නොතේරේ.










Saturday, August 16, 2025

711 - දිඹුලාගල මතක - 6 සමඟ සත්‍යා සහ කසුන් ගැන ....

අර දිඹුලාගල කේස් එක ගැන මම පෝස්ට් පහක් ලිව්වනෙ..තව පෝස්ට් දෙකක් ලියන්ට ඕනය කිව්වට නොයෙක් නොයෙක් කාරණා හින්ද ඒ වැඩේ දිනෙන් දින අතපහු වෙලා ගියා...ප්‍රධානම කාරණේ මගෙ ලැප් ටොප් එකට කෙලවුනානෙ..හුටස් ගාලා ස්ක්‍රීන් එක නැති බංගස්තාන වෙලාම ගියා..අර හඳුනා ඇහුවෙ "ඉන්ටනෙට් එක හොහ් ගාලා ගියොත් මොකක්ද කරන්නෙ?" කියල..ඉතිං එහෙම්මම උනා කියහල්ලකො...

අපේ ගෙදර අපේ බිරින්දෑ තොමෝගෙ යාලුවෙක් දුන්නු තින්ක්පෑඩ් එකක් නම් තියනව..ඒකෙ මේ හිච්චං ස්ක්‍රීන් එකේ ටයිප් කරනකොට සසර කල කිරෙනව අප්පා..කලිං මයෙ ලැපා තියෙද්දි උනත් මම ඔය බ්ලොග් එක එහෙම ලිව්වෙ ලැපාට කනෙක්ට් කරපු 24" ක මොනිටර් එහෙක..ඉතිං හිටපු ගමං 12" විතර පෑඩ් එහෙක ලියන්ට ගත්තම ඔලුව නරක් වෙනව...

ඉතිං ඔහොම දැහැමෙන් සෙමෙන් කාලය ගත කරද්දි ගිය සුමානෙ හිටපු ගමං මට කෝල් එකක් දුන්නා අපේ සත්යා නිර් මාණි නැඟණිය..එයැයි එයැයිගෙ දයාබර ස්වාමි පුරුෂ තෙමේ වන කසුන් නයනජිත් දෙන්නත් එක්ක ඒ කාලෙ බ්ලොග් එකක් කලා "අහසෙන් එන්න.." කියලා..

2019 අවුරුද්දෙ (මම එතකොට කටාර් වල වැඩ කලේ) වැකේෂන් එකකට ලංකාවට ආවම සත්‍යා සහ කසුන් දෙන්නා සත්‍යාගෙ දෙමව්පියනුත් එක්ක අපේ ගෙදර ඇවිල්ල දවල්ට කාලා එහෙම ගියා.....

සත්‍යාගෙ ගම්පලාත් ඇවිල්ල අපේ ගෙවල්වල ඉඳල කිලෝමීටර් 14 වගෙ එහායිං තියෙන්නෙ..මහවැලි ගඟෙන් එගොඩ...පේරාදෙණිය යුනිවකුටි එක පහුකරල ගලහ පාරෙ කිලෝ මීටර් හයක් වගෙ ගිහිල්ල ආයම දකුණට හැරිල ගියාම ගම්පොළට ගිහෑකි..දොළුව පාර ඒකට කියන්නෙ..ඔය සත්‍යාලගෙ ගෙවල් තියෙන්නෙ ඔන්න ඔය දොළුව පාරෙ..

"අයියෙ ලබන සතියෙ අපි දෙන්නා අපේ ගෙදර එනවා...අපි හිතාගෙන ඉන්නෙ අයියලගෙ ගෙදරත් ඇවිල්ල අක්කවත් බලල යන්න.." සත්‍යා මට කතාකරල එහෙමයි කිව්වෙ..අක්කයි කිව්වෙ අපේ බාරියා තුමී...

"අනේ බං අක්කට සනීප නෑනෙ... චිකුන්ගුන්යා හැදිල දැං මාසයකටත් වැඩියි..තාම හරියකට සනීපයක් නෑ..වලලුකර මැණික් කටුව එහෙම ඉදිමිලා තියෙන්නෙ.."

(දුහුණන් දැනුම් උදෙසා - ඔය ලෙඩේ නියම නම ඇවිල්ල හිට චිකන්ගුන්යා නෙවෙයි චිකුන්ගුන්යා..ඕක ඇවිල්ල ස්වාහිලි හරි මොකක් හරි අප්‍රිකානු බාසාවක වචනයක්)

"හප්පේ එහෙමද? ඉතිං මොකද කරන්නෙ?" 

"මෙහෙම කරමු උඹලගෙ ප්‍රෝග්‍රම් එකත් එක්ක බලල නිවාඩුපාඩු තියන වෙලාවක මම විතරක්වත් එන්නම් එහෙනම් බොලාගෙ දිහා ඇවිත් යන්න..මහ දුරක් නෙවෙයිනෙ.."

"හරි අයියා එහෙනම් දවල් කෑමට ඇවිල්ල යන්න..යන ගමං අක්කට පාර්+සලයක් ඔතාගෙන යන්නත් පුලුවන්නෙ.."

"හරි හරි බාං..ඒක මොකක් හරි බැරුවාය.. "

හරි ඉතිං කොහොම හරි පහුගිය හෙනහුරාදා දවල් මම එහෙ ගියා කියහල්ලකො..ඉතිං කසුන්, සත්‍යා සහ ඔවුන්ගේ සය හැවිරිදි දියණිය සමඟ ඉතා සුහද එමෙන්ම හෘදයාංගමවූ හෝරා කිහිපයක් ගත කරල දවල් භෝජනයත් අරගෙන තව අමතර බත් පැකට් එහෙකුත් ඔතාගෙන ඔවුන්ගෙන් සමුගෙන ආපිට එන්ට ආවා..

ඒ සුහද කතාබහේදි නියත වශයෙන්ම වියයුතු ලෙස වසර දහයකට පහළොවකට වගෙ ඉස්සර බ්ලොග් ලිවීම ගැනත් අපි කතා බහ කලා..රන්දිකා, මුදිතා, වර්+ෂා එහෙම සත්‍යාගෙ හොඳ යාලුවො..අපි ඉතිං එයාල ගැනයි තව ඉතිං ඉන්න අපේ මියුචුවල් ෆ්‍රෙන්ඩ්ස්ලා ගැනත් කතා බහ කලා...

"අයියා ගොඩ දවසකින් බ්ලොග් එක ලිව්වෙ නෑ නේද?" කසුන් එහෙම ඇහැව්වා..

"ඔව් බං අප්‍රේල් මාසෙන් පස්සෙ ලිව්වෙ නෑ..අන්තිමට ලිව්වෙ අර දිඹුලාගල මතක කියල පෝස්ට් පහක්ද කොහෙද..වැඩේ උනේ බං හුටස් ගාල මගෙ ලැප් ටොප් එකට කෙලවුනානෙ..ඉතිං ඊට පස්සෙ ලියන්ට වෙන්නෙ එක්කො ෆෝන් එකේ නැත්නම් අර පොඩි තින්ක් පෑඩ් එකේ..ඒ දෙකෙම ලියන එක මට මරන්නා වගේ බං..ඒ හින්ද ඉතිං දැං මාස හතරකිං විතර මොකක්වත්ම ලියවුනේම නෑ.."

"ෂහ්..අපරාදෙනෙ..මේ අපේ කසුන් අයිටී නෙ කරන්නෙ..අද අයියා ලැප් එක ගෙනාවනම් කසුන්ට තිබ්බා  මොකක්ද කරන්න පුලුවන් කියල බලන්න.." සත්‍යා එහෙම කිව්වම "ඒකනෙ මට එහෙම සීන් එකක් මතක තිබ්බෙ නෑනෙ..." මම කිව්වා..

"හරි අපි හෙට හවස ආපහු යනවනෙ..කෝච්චියෙ යන්නෙ..පේරාදෙණියෙන් අපි නඟින්නෙ...අයියට ලඟයිනෙ..ලැප් එක ගෙනත් දුන්නොත් මම කොළඹ අරගෙන ගිහිල්ල බලන්නං මොකද වෙලා තියෙන්නෙ කියල.." කසුන් ආයම කිව්වා..

"අනේ ඒක හරි නෑනෙ බං..උඹල දෙන්නට අමතර බරක්නෙ..ඔන්න ඔහෙ ඕන නෑ....එනිවේ තෑන්ක්ස් සෝ මච් ෆො ද ඔෆර්..." මම ඉතිං වැඩේට කැමති උනේ නෑ..

සත්‍යා ඉතිං මතක් කලා මම ඒ කාලෙ ලියපු අනන්‍යා එතකොට අහල්‍යා තව ඉතිං චුට්ටි ගැන එහෙම..එහෙම කියනකොට ඒ පරණ මතක ආයෙම ගලාගෙන එනකොට මටත් හිතුනා අඩේ අර සුට්ටං පෑඩ් එකේ හරි කමක් නෑ ආයම බ්ලොග් එක ලියන්ට ඕන කියල..

ඉතිං ඉරිදා උදෙත් කසුන් මට කෝල් එකක් දීල කිව්වා "අයියා ඔයාගෙ ලැප් එක ගෙනල්ල දෙන්න..මහ ලොකු බරක් නෙවෙයිනෙ ඕක..මම මහරගම අරං ගිහිල්ල බලන්නං" කියල..උං දෙන්න දැං පදිංචි වෙලා ඉන්නෙ මහරගම..

පස්සෙ ඉතිං ආයම මෙච්චර කියන එකේ කියල හිතල මම ඉරිදා දවල් පේරාදෙණිය ස්ටේෂන් එකට ගිහිල්ල ලැප් එක කසුන්ට දීල ආවා..ඒ කරල ඒකෙ දෙකිං එකක් වෙනකල් හෝ අලුතෙං ලැප් එකක් ගන්නකල් මට හිතුන අර පෑඩ් එකේ ලියන්න..

ඒ හින්ද ඔන්න දිඹුලාගල මතක සටහන් - 6 මෙතැන් සිට..

මේ කතාවටත් දිඹුලාගල හාමුදුරුවො සම්බන්ධයි..ඒත් මේක මගේ පළමෝත (First Hand) අත්දැකීමක් එහෙම නෙවෙයි හොඳද? "ඒවං මේ සුතං.." නොහොත් මා විසින් මෙසේ අසන ලදී.. 

මේකත් ඔය මහවැලියෙ 85/86 කාලෙදි වගේම වෙච්චි වැඩක්..අපේ හිටිය සීනියර් එන්ජිනියර් කෙනෙක් සිරාම බෞද්ධයා..උදේට දවසෙ වැඩ රාජකාරි පටන් ගන්න ඉස්සර ඔෆිස් එක ඉස්සරහ ස්ටාෆ් එක ඔක්කොම රැස් කරවල පන්සිල් එහෙම අරං තමයි වැඩ පටං ගන්නෙ..එහූ බුවා..

ඉතිං පොර ඔන්න අලුතෙං ගෙයක් හැදුවා..දැං ඉතිං තියෙන්නෙ ගෙවදීමේ උත්සවේ..අපේ මෙතුමාට ඕනකලා මේකට දිඹුලාගල ලොක්කට ආරාධනා කරන්ට..

ඉතිං ඔන්න වාහනයක් එහෙම යවල දිඹුලාගල ලොක්කා ගෙන්නල ගෙවදීමේ උත්සවේ පටං ගන්නයි ලෑස්තිය..

"අපෙ හාමුදුරුවනේ එහෙනං සෙත් පිරිත් සජ්ජායනේ අපි ආරම්භ කරමු නේද?" අපේ ලොක්කා දණ නවල වැදල හාමුදුරුවන්ට ආරාධනා කලා.

"හරි හරි මහත්තයෝ..ඊට කලිං අපි ටිකක් මේ මන්දිරේ ඇවිදල බලමුද? ෂුහ්..සක්‍ර බවන වගේනෙ..ඇස්වහක් කටවහක් නෑ බොහොම උදාරයි..ඒ වගේම අලංකාරයි.." දිඹුලාගල ලොක්කා එහෙම කිව්වම අපේ කථානායකයා "එහෙමයි හාමුදුරුවනේ..එහෙනම් උඩට ගිහිල්ලම එමුකො" කියල ඉස්සර උනා..

මන්දිරේ තට්ටුම තුනයි..ආය නෑ හාන්දුරුවො කිව්ව වගේම තමයි..සක්‍ර බවන පරාදයි..

ඉතිං අපේ දිඹුලාගල හාමුදුරුවො ගෙහිමියා එක්ක  උඩ තට්ටු දෙකේම අස්සක් මුල්ලක් නෑර ඇවිදල පල්ලෙහා තට්ටුවට බැස්සා කියමුකො පදම්කල තේක්ක ලීයෙන් නිමකල ප්‍රධාන පියගැට පෙල දිගේ..පල්ලෙහා ඉතිං අපේ බොස්ගෙ ඥාතී හිතමිත්‍රාදීන් රැස් කමින් බලා ඉන්නව හාමුදුරුවො මන්දිරය නරඹලා අහවරක් කරල පහළට බැහැලා සෙත් පිරිත් සඤ්ජායනා කරල නව මන්දිරයට ආශිර්+වාද කරනකල්..

ආ..මට කලින් කියන්ට අමතක මතක බැරි උනානෙ අපේ ලොක්කගෙ  සදාදරණීය බාරියා  තොමෝද ආණ්ඩුවෙ මොකක් හරි උසස් රැකියාවක් කලේ..එදා ඉතිං එතුමියගෙ ස්ටාෆ් එකේ එකට වැඩ කරන නෝනා මහත්මීන්ද ඇවිදිල්ලා හිටිය ආය නෑ නිකං මිහිබට සුරඟනන්සේ සැරසිලා මේ උත්සවේට සහභාගි වෙන්ට..

හාමුදුරුවො ඉතිං පියගැට පෙලෙං බැහැල ඇවිල්ල අර සෙනඟ තලේ ඉස්සරහම අපේ ලොක්කා දිහාට හැරුනා..

"හම්මේ ඉතිං..සක්‍රයගෙ වෛජයන්ති ප්‍රාසාදය වගෙ මාළිගාවක් හදල තියෙන්නං...නන්දා නම් දිව්‍යාංගනාව වගෙ රූපශ්‍රියාවෙන් යුතු බාරියා රත්නයකුත් මේ ඉන්නෙ.." කියල අපේ ලොක්කගෙ බිරිඳ දිහා හැරිලා බැලුවා..

"අඩු පාඩුවක් උනොත් මේ තවත් ඉන්නෙ සුරදූතියො අසූ තුන් කෙළක්ම නොවුනත් ඇතිවෙන්න .." කියල අර බිරිඳගෙ ස්ටාෆ් එකේ යාලුවංගෙ මූණු බලාගෙන බලාගෙන ගියා..

"ඉතිං මොන අඩුපාඩුවක්ද හැබෑටම ඈ? සැප..විඳින්ටයි තියෙන්නෙ..සැප..සැප..සැප ඈ " කියල අපේ ලොක්කගෙ පශ්චාත් භාගයට අත දිගඇරල පාරක් දුන්න චටාස් ගාලා..

ලොක්කගෙ මූණ කට රතු උනා ආය නෑ පිණි ජම්බුවක් වාගෙ..රැස්වෙලා උන්නු  නෑදෑ හිතවත්තු මූණිං මූණ බලාගත්තා..කාන්තා පක්ෂය විළියෙන් මිරිකී පියා මූණු හංග ගත්තා..

"හරි එහෙනං අපි සෙත් පිරිත පටංගමුකො.." හාමුදුරුවො කිසිම දෙයක් නොවුනු ගාණට කියල පනවලා තිබුනු ආසනයෙ අසුන් ගත්තා..

මේ දිඹුලාගල ලොක්කාගෙ බ්‍රේක් නැති කට ගැන තවත් කතාවක්..

අපේ ඔය අලුතින් ඕපන් කරපු මහවැලි ඔෆිස් එකකටත් සෙත් පිරිතක් කියන්ට ඔන්න දිඹුලාගල ලොක්කට ආරාධනා කලා..සෙත් පිරිත එහෙම කියලා පහුවදා දවල් දානෙට ඉස්සෙල්ල බුවා මරු අනුශාසනාවක් කලා..මෙන්න මෙහෙම...

"හ්ම් බොහොම සන්තෝසයි මේ හද්ද කැලෑවට ලංකාවෙ හතර දිබ්බාගයෙං මේ වගෙ තරුණ ගෑණු ළමයි, පිරිමි ළමයි මහ ගොඩක් ඇවිල්ල ඉන්න එක රටේ සංවර් ධනය වෙනුවෙන්..(ඒ කාලෙ ඉතිං අපේ හිටපු ස්ටාෆ් එක සීයට අනූනමයක්ම අවිවාහක යොවුන් වියේ පසුවුනු කොල්ලො කෙල්ලො) ඒත් ඉතිං කණගාටුවෙං උනත් කියන්ට ඕන මේ තරුණ තරුණියො එදිනෙදා ජීවිතේ කාරණා කාරණා ගැන දැනුවත් භාවය බොහොම අඩුයි..හරි වෙන මොකවත් ඕන නෑ..දැං අපි ස්නානය කරනවනෙ..ඒ කිව්වෙ නානවනෙ.....කවුද දන්නෙ අපි කොච්චර වෙලා නාන්න ඕනද කියල?"

ඉස්සරහ බිම පැදුරු උඩ ඉඳං හිටපු කෙල්ලො කට්ටිය මූණෙං මූණ බලාගත්තා මිසක වචනයක් කිව්වෙ නෑ..අපි කොල්ලො හිටියෙ පිටිපස්සට වෙලා හිටගෙන..

"හරි දන්නෙ නෑනෙ ..මම කියල දෙන්නං..නාන්ඩ ඉස්සෙල්ල හොඳට මුත්‍රා බොක්ක හිස් වෙනකල් මුත්‍රා කරන්න ඕන..ඊට පස්සෙ ආයම මුත්‍රා බර හැදෙනකල් නාන්ට ඕන..දැං තේරුණා නේද ඔය ළමයින්ට?.."

කෙල්ලො එකෙක්වත් සද්දයක් නෑ..මූණු රතුකරගෙන බිම බලං හිටිය..අපිට මැරෙන්ඩ හිනා.

පස්සෙ හාමුදුරුවො හයියෙං හිනාවෙලා කිව්වා "කොහෙද මේ මේ ළමයි ලැජ්ජයිනෙ..ඔහොම නම් බෑ..තව තියනව බැන්දට පස්සෙ එහෙම ඒ ඒ කටයුතු කරන ආකාරය ගැන උපදෙස් මාලාවක්..හරි අදට ඔය නිවැරදිව නාන විදිහ දැනගත්තම හොඳටම ඇති..අනික් එව්ව මම පස්සෙං පහු කියල දෙඤ්ඤම්කො.."

අපි ඉතිං ඊට පස්සෙ ඔෆිස් එකේ කෙල්ලොංගෙං දැක්ක තැන අහන්ට ගත්තා "ඒයි ළමයි බොලා දැං අර හාමුදුරුවො කියල දීපු විදිහටද නාන්නෙ එහෙම? " කියල..උං කුණුහරප කිව්වෙ නැති එක විතරයි..හෙහ්..හෙහ්..හෙහ්..


Sunday, April 20, 2025

710 - දිඹුලාගල මතක සටහන් - 5


දිඹුලාගල පන්සල...

"බීඑම් මහත්තය කොහෙද මේ වෙලාවෙ ඇත්තෙ?"

"ගෙදර තමයි සර්..ආපහු ඔෆිස් එක පැත්තෙ නම් ආවෙ නෑ..."

මම ඒ ගමන තකහණියක් ගියා බීඑම් මහත්තය හම්බ වෙන්ට..

ගේ ඉස්සරහ බයික් එක නවත්තනකොටම බීඑම් මහත්තය දොර ඇරගෙන ආවා එළියට.."ආ..එන්ඩ එන්ඩ සුමනෙ.."

බීඑම් මහත්තයා පිටිපස්සෙං ආවා හොඳ උස මහත සුදු ගාම්බීර පෙනුමක් තියන ගෑණු කෙනෙක්..

"සුමනෙ මේ මගෙ නෝනා.."බීඑම් මහත්තයා අඳුන්වල දුන්නා.."ලලිතා මේ සුමනෙ..මෙහෙ මගෙ ලඟම හිතවතා.."

"ආයුබෝවන්..."  බීඑම් මහත්තයාගෙ නෝනා මට දෑත් එකතු කරල ආචාර කලා.....

"ආ..ලලිතා දන්නවද සුමනෙත් මෙහෙම හිටියට හොඳ වළව් කාරයෙක් තමයි..හරි හරි එව්ව ඕන නෑ....අපි  යංකො පොඩ්ඩක් හුළං වදින්ටත් එක්ක  එළියට පුදුම රස්නෙයි.." බීඑම් මහත්තයා මගෙ අතකිනුත් අල්ලගෙන ඇදගෙන වගෙ ගෙයිං එලියට බැස්සා..

"ඉතිං අනේ රස්නෙයි නං මේ ෆෑන් තියෙන්නෙ... අහවල් දේකටද් එලියට යන්නෙ?" නෝනා දොරකඩට ඇවිල්ලා ඇහුවා..

"ඒ ෆෑන් හරියන්නෙ නෑ අනේ මේ රස්නෙට..ස්වාභාවික හුළඟ වදින්ට ඕන..ස්වාභාවික හුළඟ.."

බීඑම් මහත්තයලගෙ ක්වාටර්ස් එකේ මිදුලෙ තිබ්බ පේර ගහ යට ලී බංකුවක් හදල තිබ්බා..අපි දෙන්නා ගිහිල්ල ඒකෙ ඉඳ ගත්තා..

" මොකක්ද බීඑම් මහත්තයා මේ....." මම පටං ගන්නකොටම බීඑම් මහත්තයා අතක් උස්සල මාව නැවැත්තුවා..

"සුමනෙට පුදුම ඇති මම මේ වෙසක් පහුවෙනකල් එන්නෙ නෑය කියපු මනුස්සය එක දවසකිං ආපහු ආවෙ මොකද කියල නේ? අර වඳින්ට ගිය දේවාලෙ ඉහ මත කඩා පාත් උන  මනුස්සයට වෙච්චි එකේ අනික් එකනෙ සුමනෙ මට උනේ..මම ඔන්න ඊයෙ ගෙදර ගියානෙ..අපේ නෝනා කියාපි අනේ වෙසක් පෝයට දිඹුලාගල ගල උඩට හඳ එලිය වැටුනම හරිම ලස්සනයිලු නේද? මගෙ ඉස්කෝලෙ හොඳම යාලුවෙක් අවුරුදු තුන හතරකට කලිං එහෙම ගිහිල්ල වෙසක් පෝය රෑ දිඹුලාගල ගල උඩ හිටියලු..අනේ හෙටම අපි දෙන්න ආපහු යමුකො..අනිද්දනෙ වෙසක්. එතකොට මට පුලුවං වෙසක් පෝයට දිඹුලාගල පන්සලේ සිල් ගන්ටත්.."

"ඉතිං බීඑම් මහත්තයට තිබ්බෙ  මොනවත් බොරුවක්.."

"පිස්සුද සුමනෙ අපේ නෝනා ඔය විසාකා සිටුදුව වගෙ හිටියට මහම මහ මොරෝමයි..ඒ ඔය පරම්පරාවෙම හැටි තමයි..එයාට යමක් හිතුනොත් හිතුනම තමයි..අනික ඕනවට වැඩිය මම පස්ස ගැහුවොත් ඔය අම්මණ්ඩි වෙන මඟුලක් හිතන්ටත් බැරි නෑ..ඉතිං ඒ ගමන ඔන්න උදේම පිටත් වෙලා ආවා.."

"ඉතිං බීඑම් මහත්තය මොකද දැං කරන්නෙ? හෙටනෙ වෙසක්..නෝනා සිල්ගන්ට එහෙම ගියොත් මල ජංජාලයක්නෙ වෙන්නෙ..හාමුදුරුවො නෝනත් ඉස්සරහ හොඳ හරුපවලිං කිව්වොත් එහෙම වතුර මලේ විස්තරේ ආය රෙදි නෑනෙ.."

"ඔව්..ඔව්..කොහොමත් මේ මනුස්සය සිල් ගන්ට නම් එක්ක යන්ට බෑ..හෙට ක්වාටර්ස් එකෙං එක අඩියක්වත් එළියට තියන්ට දෙන්ට හොඳ නෑ.."

"ඉතිං කොහොමද ඒක කරන්නෙ? "

"මම එන ගමං ඒකටත් පොඩි සුකුරුත්තමක් කල්පනා කරගෙන ආවෙ..මගෙ අවුරුදු දෙකකට වගෙ කලිං තිබ්බ දනිස් අමාරුවක්..මාසයක් විතර සිංහල බෙහෙත් කරලයි ගොඩ ගියේ..මම මේ අද එන ගමං අපෙ උන්දැට කිය කිය අවෙ ආයම අර මගෙ දණිස් අමාරුව මතුවෙන්ඩ එනව වගෙ දැනෙනව කියල.."

"හෙහ්..ඒ කියන්නෙ බීඑම් මහත්තය ලෑස්ති දණිස් අමාරුව පිටදාල හෙට ගෙදරටම වෙලා ඉන්ඩ නේද? එහෙනං ඔබගේ අපේක්ෂාව සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා මම හද පත්ලෙන්ම ප්‍රාර්ථනා කරමි.."

මම එහෙම කියල බංකුවෙං නැඟිට්ටා..

"ස්තූතියි ස්තූතියි..." කියල බීඑම් මහත්තය ලාවට වගෙ නොන්ඩි ගගහ ගේ පැත්තට ගියා..ෂුවර් එකටම නෝනා ජනේලෙංවත් බලා ඉන්නව දකින්ට ඇති..බීඑම් මහත්තයා තමයි දවසකටවත් මිනිහා ..හෙහ්..හෙහ්..මම ඉතිං තනියම හිනාවෙවී එන්ට ආවා..

පහුවදා ඉතිං වෙසක් පෝයනෙ..වෙනදා පෝය දවසට අපි දෙන්නා ඉතිං අට නමය වෙනකල් නිදාගන්නව..අපි දෙන්නා කිව්වෙ මමයි වයිෆුයි....මෙදා කොහොම හරි දිඹුලාගල කන්දෙං ඇහෙන ගෝසාවට අපේ වයිෆ්ට හතාමාර වෙනකොට ඇහැරිලා..එලියට බැහැලා තවත් හොඳට අහගෙන ඉඳල දුවගෙන ආවා කමරේට..

"මේ ඒයි නැඟිටින්ඩකො නැඟිටින්ඩකො..අර ගිහිල්ල අහගෙන ඉන්ටකො දිඹුලාගල හාමුදුරුවොද කොහෙද මොනවද කියන්නෙ කියල.."

"ඈ මොනවද කියන්නෙ?" මමත් දනිපනිගාල නැඟිටල දිව්වා මිදුලට..අම්මාපල්ල දිඹුලාගල ලොක්කා නෙවෙන්නං..හැබැයි ඉතිං මීට කලිං පෝය දවස්වලට  දිඹුලාගල කන්ද මුදුනෙං ඇහෙන බණ මෙච්චර සද්දෙට අපේ කෑම්ප් එකට ඇහුනෙ නෑ නෙව..මේ මොකද අද විතරක් මෙච්චර සද්දෙට ඇහෙන්නෙ? රයිට් මට ඔලුවට ආවා හේතුව..ස්පීකර් ඔක්කොම අද අපේ කෑම්ප් එක පැත්තට හරවලා..දිඹුලාගල ලොක්ක එක්කත් සෙල්ලං නෑ..හෙහ්..හෙහ්..

"මොනවද අනේ ඔය කියන්නෙ? කාටද ඔය බණින්නෙ?" බිරින්දෑ තොමෝ මා ලඟට ඇවිල්ල ඇහුවා..

"අපේ බීඑම් මහත්තයටනෙ ...ආය ඉතිං වෙන කාටද? " මම හිනාව කාගෙන කිව්වා..

එතකොටමත් හුළං අත මේ පැත්තට හැරිලද කොහෙද ඔන්න සද්දෙ කනේ තිබ්බ වගෙ ඇහෙන්ට ගත්තා..

"ඔය යකා ඔය අර අඟහරු ලෝකෙං ආපු එකෙක් වගෙ ඉන්නෙ අන්න ඒකා මාව හම්බවෙන්ට ඇවිල්ල ඇහුව අපෙ හාමුදුරුවනේ මොකක්ද මගෙං කෙරෙන්ට ඕන මේ විහාරස්ථානයට කියලා..මම කිව්වා..නෑ මහත්තයො.."

ඔන්න සද්දෙ බාල වෙලා ගියා හුළං අත මාරුවෙන්ට ඇති..

"ඉතිං උපාසක උපාසිකාවනි..ඔය මිනිහා කරපු අපරාදෙ දන්නවද? " ආයෙමත් සද්දෙ බාල උනා ..හුළං අත..හුළං අත..."..මම කිව්වා වෙසක් පෝයට කලිං..අද උදේ අපේ උපාසකම්මලා දෙන්නෙක් පය ලිස්සලා පත බෑවුනා මේ පන්සලේ මිදුල මැද්දෑවෙ තියන මහ පතහට..හිටපු කට්ටිය විගහට බේරගත්තු ...දෙයියම්පල්ල මට ඔය මිනිහා එක්ක එන්නෙ.."

ඔය විදිහට හාමුදුරුවො ලවක් දෙවක් නැතුව බැණගෙන බැණගෙන යනවා..

"ඇයි අනේ බීඑම් මහත්තයට ඔහොම බණින්නෙ? 

"අර වතුර මලේ වැඩේ හින්දනෙ......මම අර ඔයාට කිව්වෙ.."

"එතකොට ඔය අඟහරු ලෝකෙං ආපු කතාවක් කියන්නෙ?"

"ඒ අපේ බීඑම් මහත්තයගෙ හැඩරුව ඒ වගේ හින්ද වෙන්ටැති...."

"මචං උඹලා දෙන්නා ඒ බීඑම් මහත්තයාව දැකල තියනවද?" සුමනෙ අපි දෙන්නගෙං ඇහුවා..

"නෑ අනේ ඔය කාලෙ අපි දෙන්නම හිටියෙ ඉංජිනේරු අංසෙනෙ..අනික මම සේනපුර..සේපාල දෙහිඅත්තකණ්ඩියෙ..ඒ හින්ද අපි දෙන්නටම ඔය බීඑම් මහත්තයා මුණ ගැහිල නෑ..."

"මචං ඒ බීඑම්ගෙ කොණ්ඩෙ නිකං මහ අමුතුයි..ඉත්තෑකූරු වගේ..මූණත් කෙට්ටුයි..ඒ හින්දයි හාමුදුරුවො ඔය අඟහරු ලෝකෙ කතාව කිය කිය බැන්නෙ..හරි ඉතිං මම ඒ ගමංම ගියා බීඑම් මහත්තයගෙ ගෙවල් පැත්තෙ..යනකොට ඔන්න ඇහෙනව ගේ ඇතුලෙං මහ සද්දෙං පිරිත් දේසනාවක්..බීඑම් මහත්තයා ගාව තිබ්බා හොඳ සවුන්ට් සෙටප් එකක්..ඒකෙ දාලා කරණීය මෙත්ත සූත්‍රයද රත්න සූත්‍රයද මොකක්ද එකක් කංඅඩි දෙදරන්ට.."

"මොකෝ බීඑම් මහත්තයා මේ? " මම බීඑම් මහත්තයගෙ කණට කට ලංකරලා කෑගහලා ඇහුවා..

"අර ඇහෙනව නේද අර යකා මට අම්ම මෝ නැතුව බණිනවා?" බීඑම් මහත්තයත් කෑගහලා කිව්වා..

"ඔව් ඔව් මට ඇහුනා..ඒකමයි මම මේ පැත්තෙ බලන්ට කියල ආවෙ.."

"ඔය මට බණින එව්වා අපේ උන්දැට ඇහුනොත් එහෙම ඔය අම්මණ්ඩි හෙටම මාව ඩිවෝස් කරනව ආය ඒකෙ දෙකක් නෑ..ඒ බැණිල්ල උන්දැට නෑහෙන්ඩයි මම මේ සද්දෙට පිරිත් දැම්මෙ.."

ඔන්න එතකොටම නෝන ආවා කුස්සියෙ ඉඳල.." ගුඩ් මෝනිං..සුමනෙ කිව්වා නේද නම? "

"ඔව් මැඩම්...." මම කෑගහලා කිව්වා..

" ඒකනෙ බලන්නකො සුමනෙ මේ අපේ මනුස්සයා කංඅඩි පැලෙන්ඩ පිරිත් දාලනෙ..මට අද දිඹුලාගල යන්ටත් නෑ මෙයාගෙ මේ අසනීපෙ හින්ද....අඩු ගණනෙ ගෙදර ඉඳල ධර්ම දේසනාවට ඇහුං කං දෙන්ටත් නෑ මේ පිරිත් දැමිල්ලක් හින්ද.." නෝනා කිව්වා..

"අනේ එයාගෙ කෙහෙම්මල් ධර්ම දේශනා..ඒ වගේද මේ උතුම් වෙසක් පෝය දවසෙ පිරිත් ටිකක් ඇහුවම? නැද්ද සුමනෙ? " බීඑම් මහත්තය මා දිහාට හැරිල ඇහැක් වැහුවා..

"එහෙනං..එහෙනං..මේ මොනව කියනවද? පිරිත තමයි ඉතිං උතුම්...." මම හද පත්ලෙන්ම එකඟ උනා..

"ඉතිං ළමයි...ඔන්න ඕක තමයි  දිඹුලාගල වතුර මලේ කතාව..." සුමනෙ කතාව ඉවර කලා..

"ඉතිං ඊට පස්සෙ මොකද උනේ? "

"බීඑම් මහත්තය වැඩි කාලයක් හිටියෙ නෑ එහෙ..මාස දෙක තුනකිං ට්‍රාන්ස්ෆර් එකක් හදාගෙන ගියා මම හිතන්නෙ ඔය නොච්චියාගම පැත්තට.."

"ඉතිං වතුර මලේ වැඩේට මොකද උනේ?"

"ඒ කාලෙම ඒ පැත්තෙ ලොකු වැවක් පටං ගත්තා ඉද්දපිච්ච වැව කියලා..ඒක කරන්ඩ ආවෙ මේ කැකිරාව පැත්තෙ ප්‍රසිද්ධ කන්ට්‍රෑක්ටර් කෙනෙක්..මිනිහට මේ වතුර මලේ සීන් එක කවුදෝ කියල..මිනිහ ඇවිල්ල හාමුදුරුවො හම්බවෙන්ට..හාමුදුරුවො ඉතිං සම්පූර්ණ විස්තරේ කියල..අඟහරු ලෝකෙං ආපු එකයි ඔක්කොම...ඒ ගමන මිනිහා එයාගෙ වියදමෙං වතුර මල හදලා දුන්නා.."

"ඒ කිව්වෙ වලාකුලු බැම්මක් එහෙම දාලා එතකොට ටයිලුත් අල්ලලා එහෙමද? " ඒ ඇහුවෙ මම..

"මම දන්න වලාකුලක් නෑ බං..මම කොහොමහරි දිඹුලාගල තව අවුරුදු තුනක් විතර හිටියා..ඒ අවුරුදු තුනටම ඔන්න මම දිඹුලාගල පන්සලට එක අඩියක් තිබ්බෙ නෑ..යමල්ලා යමල්ලා ඔය අන්තිම ෂොට් එක දාගෙන කන්ඩ යමල්ලා.."

සුමනෙ එහෙම කියල පුටුවෙං නැඟිටල අතපය හිරි ඇරගත්තා..

ඔය දිඹුලාගල ලොක්කා සම්බන්ධව සේපාලගෙ කතාවකුයි මගෙ කතාවකුයි වසයෙන් තව කතා දෙකකුත්  තියනව..හැබැයි මගෙ කතාවට දිඹුලාගල ලොක්කා කෙලින්ම සම්බන්ධත් නම් නෑ..හරි කොහොම හරි ඒ කතා දෙක ඊලඟට ලියඤ්ඤං..හොඳෙයි?

Saturday, April 12, 2025

709 - දිඹුලාගල මතක සටහන් - 4


පේර ගහට ආපු රිලවා....

"මම ඔය වැඩේ මගෙ අතිං වියදං කරල හරි කරනව..ඒත් මගෙ අතේ මේ වෙලාවෙ එහෙමට සල්ලියක් නෑ..වයිෆ් ලඟනම් සල්ලි තියනව..ඒත් මට වයිෆ්ගෙං ඉල්ලන්ටත් බෑ.." බීඑම් මහත්තය එහෙම කියල දිග සුසුමක් හෙලුව..

බීඑම් මහත්තයගෙ වයිෆ් ඔය මැද මහනුවර පැත්තෙ වළව්වක කුමාරිහාමි කෙනෙක්..අළුගොල්ල වලව්වද ඔය මොකක්ද එකක්..අපේ බීඑම් මහත්තය ගෙ එහෙම වළව් සීන් එකක් නැති හින්ද ගෙදර වැඩ කටයුතු කෙරෙනවයි කියන්නෙ වයිෆ්ගෙ හිතුමනාපෙට..ඔව්ව ඉතිං අපිට ආරංචි වෙනවනෙ..හැමතැනම එහෙමනෙ..මේ ලෝකෙ ඉතිං රහස් කියල දෙයක් නෑනෙ..

ඊලඟ දවස් දෙක තුනේ මට සෑහෙන ෆීල්ඩ් එකේ වැඩ වැටිච්චි හින්ද ඔෆිස් එක පැත්ත පළාතෙවත් යන්ට උනේ නෑ..ඒ හින්ද බීඑම් මහත්තයාගෙ "වලාකුල් බැම්ම සහිත ටයිල් ඇතුරූ මහා ජලපුෂ්ප ව්‍යාපෘතියේ " (එහෙම තමයි අපි වාරිමාර්ග අංශෙ උදවිය බීඑම් මහත්තයගෙ වැඩේ බෞතීස්ම කරල තිබ්බෙ) ප්‍රගතිය ගැන කිසිම යාවත් කාලීන වීමක් උනේ නෑ...

රෑ ගෙදර ඇවිල්ල ඕනනම් බීඑම් මහත්තයාගෙ ගෙවල් පැත්තෙ ගිහිල්ල විපරම් කරල එන්ට තිබ්බ උනත් දඩ පෑවිල්ලෙ දවස් තිස්සෙ ඇලවල් කුඹුරු ගානෙ ගියාම හවස් වෙනකොට ඇඟට පුදුම තෙහෙට්ටුයි..වයිෆ් ගෙදර ඉන්න හින්ද හැමදාම පොඩි එකක් දාගන්ටත් නෑ..ඒ හින්ද මමත් කාල නිදාගත්තා මිසක බීඑම් මහත්තයලගෙ ගෙවල් පැත්තෙ හෝදිසි කරන්ට ගියේ නෑ..

ඔන්න තුන්වෙනි නැත්තං හතරවෙනි දවසෙ රෑ අටට වගෙ  මම පාන් ගෙඩි දෙකක් ගේන්ට ගියා අපේ කෑම්ප් එක ලඟම තිබ්බ සිල්ලර කඩේට..පාං අරං බයික් එකට නැග්ග විතරයි මෙන්න කලුවෙරේම මතු වෙච්චි හතරෙ ඇලේ ගොවි සංවිධානෙ සභාපතියා..නම හේරත් බණ්ඩා..කෑගල්ල පැත්තෙ මුල් ගම්බිම්....

මනුස්සය දිඹුලාගල හාමුදුරුවන්ගෙ දකුණු අතයි වං කකුලයි දෙකම ඔන්න කොටිම්ම..පන්සලේ දායක සබාවෙත් කාරක සබිකයෙක්ද කොහෙද..ගොවි සංවිධාන කටයුතු හින්ද මිනිහ මගෙ හොඳ හිතවතා..

"ආ..මහත්තය හම්බ උන එක නම් කීයත් වටිනව..මම හවස මහත්තයලගෙ ගෙවල් පැත්තෙ එන්ටත් හිතල ආයම ඉතිං කරදර කරන එක හරි නෑනෙ කියල නිකං උන්නා..දවල් මම ඔෆිස් පැත්තෙත් ගියා..මහත්තය මේ ටිකේම වැඩිය ඔෆිස් පැත්තෙ ආවෙ නෑ කියල කිව්ව.."

"ඔව් බං මේ ටිකේ ටිකක් ප්‍රශ්න වැඩියි..ඒ හින්ද වැඩිපුර ෆීල්ඩ් එකේමයි හිටියෙ..ඇයි හේරත් මාව හෙව්වෙ? අර විසි එකේ ඇලේ ප්‍රශ්නෙටද? "

"අනේ නෑ මහත්තය..ඒක මේ මේ කපේදි විසඳන්ට පුලුවං ප්‍රශ්නයක් නෙවෙයිනෙ..ඒකෙ ඉන්න ගොවියො සමඟි වෙලා එක කතාවකට එනකල් ඒකෙ වතුර ප්‍රශ්නෙ එහෙමම තමයි..මම මහත්තයව හෙව්වෙත් නම් වතුර ප්‍රශ්නෙකටම තමයි හැබැයි හරියටම කිව්වොත් වතුර මල් ප්‍රශ්නෙකට.." 

හේරත් එහෙම කියල හක හක ගාල හිනාඋනා..මටත් හිනාගියා මිනිහා ඒක කියපු විදිහට..

"ඔව්..බං මම දන්නව උඹ ඔය කියන්ට එන්නෙ මොකක්ද කියල.."

"ඔව් මහත්තය..හාමුදුරුවො මාත් එක්ක හුඟක් කිට්ටුයිනෙ..දැං දෙතුං පාරක් මහවැලි ඔෆිස් එකට එන්ටයි ලෑස්ති උනේ බීඑම් මහත්තය හම්බවෙලා මේකෙ දෙකිං එකක් විසඳ ගන්ටෙයි කියල..දන්නවනෙ හාමුදුරුවංගෙ කට..හේරත් මම ඔය මිනිහා මනම්පිටිය හන්දියට යනකල් ගගහ එලවලා දාලයි පස්ස බලන්නෙ..ඔන්න ඔහොමයි කෑගැහැව්වෙ..."

"හප්පච්චියේ එහෙමද?"

"මම ඉතිං කියල කියල ටිකක් සේප් කරල දැම්ම..අන්තිමට කිව්ව හරි තමුසෙ එහෙනං ගිහිල්ල ඒ යකා එක්ක කතා කරල මේ වැඩේ එකලාසයක් කරල දානවා..හැබැයි ගොයියෝ මතක තියාගන්න්ව උගෙ රෙXX වලාකුලු බැම්ම යකාට ගියාවෙ....වෙසක් පෝයට ඉස්සෙල්ල තිබ්බ විදිහටවත් වතුර මල හදල නොදුන්නොත්  මම ඔය බීඑම් කියන එකා බෙල්ලෙං ඇදගෙන ඇවිල්ල මේ වතුර වලේම ඔබනව..ඔබන එකත් ඔබනව..හේරත් දන්නවනෙ මගෙ හැටි....."

"හරි හරි හේරත් මම හෙට අනිවාර්යයෙංම බීඑම් මහත්තය මුණ ගැහිල අහන්නං මොකද අපි දැං මේකට කරන්නෙ කියල..මම එහෙම කියල එතනිං ආව.."

කිව්වත් වාගෙ මම පහුවදා ඔෆිස් ගිහිල්ල බීඑම් මහත්තය මුණ ගැහුන..මම යනකොට එතුමා ඔන්න මොකක්ද ෆයිල් එකක් දිග ඇරගෙන බරටම වැඩ..

"ආ..එන්ඩ සුමනෙ..ඔයා ආපු එකත් හොඳයි..මම මේ පණිවිඩයක් යවන්ඩත් හිටියෙ..මොකෝ මේ ටිකේ පේන්ට නොහිටියෙ? "

"ටිකක් වැඩ වැඩිවුනා බීඑම් මහත්තය..ඒක නෙවෙයි ඊයෙ රෑ මම පාං ගේන්ටය කියලා අර අතන හන්දියෙ කඩේට ගිය වෙලාවෙ මෙහෙ ගොවි සමිතියෙ සභාපති හම්බ උනා..බීඑම් මහත්තය මිනිහව දන්නෙ නෑ මං හිතන්නෙ.."

"ඉතිං? "

"මිනිහා දිඹුලාගල හාමුදුරුවංගෙත් හොඳ හිතවතා..මිනිහා මා එක්ක කිව්වෙ අර වතුර මලේ ප්‍රස්නෙ ගැන තමයි බීඑම් මහත්තය..හාමුදුරුවන්ට හොඳටම යකා නැඟලලු ඉන්නෙ.."

( මගේ සටහන -  ඔය ඇවිල්ල හිට මල පනින්ට ඉස්සර යුගය..ඒ කාලෙ මල පනිනව වෙනුවට යකා නඟිනව....)

"ඒක තමයි සුමනෙ මමත් මේ ඔලුව නරක් වෙලා ඉන්නෙ මොකද මේකට කරන්නෙ කියල.."

"බීඑම් මහත්තය එදා කිව්වනේද යන වියදම හෙඩ් ඔෆිස් එකට කියල විශේෂ ප්‍රතිපාදන යටතෙ වෙන් කරගන්න බලනවය කියල? මොකෝ ඒකට උනේ? "

"සුමනෙ කිව්වා හරියටම හරි..නිල වශයෙන් ඉල්ලන්න ඉස්සෙල්ල මම ෂේප් එකේ මගෙ හොඳ හිතවතෙක් ඉන්නව ඩීජී ගාව මිනිහගෙං අහල බැලුව..පිස්සුද යකෝ කතා කරන්නවත් එපා එහෙම සල්ලි වෙන් කිරිල්ලක් ගැන..දිඹුලාගලට කියපු ගමං කුණු හරප තමයි අහන්න වෙන්නෙ..ඔන්න ඔහොමයි මගෙ යාලුවා කිව්වෙ.."

බීඑම් මහත්තය එහෙම කියල ඇඬුං මූණෙන් මා දිහා බලා හිටියා බොහොමත්ම අසරණ ලීලාවෙන්..ඒ මූන දැකල බං මටත් ඇඬෙන්ඩ ආව බං දෙයියම්පල්ල..

මේ වෙනකොට බෝතලෙං තුං කාලක් විතර ඉවරයි..පොඩි වැස්සක් වගෙත් එන්ට එනව..ඒ අස්සෙ සුමනෙගෙ ගේ ඉස්සරහ තිබ්බ ඇඹුල් පේර ගහට රිළවෙකුත් ඇවිදිල්ලා කියහල්ලකො..

"ෂෙහ් මේ යකා එන්ට තිබ්බෙ පහුගිය 15 වෙනිද අපේ ගෙවල් පැත්තටනෙන..මම රිලව්, මොනරු පෝරම කොලේ නිකම්ම ආපහු ඇරියා අපේ ග්‍රාම නිලධාරිනීට  මම බලාගෙනම හිටිය මේ ලෝකෙ සතෙක් ආවෙ නෑ මිස් මේ පැත්ත පළාතෙ කියල යටිං ලියල..."මම නැඟිටල රිලාස් තුමාගෙ පෝටොස් එකකුත් ගත්තා..

"හරි හරි බං රිළා වඳුරු කතා පස්සෙ පුලුවං..සුමනෙ කතාව ඉවරයක් කරහංකො ..ගෙවල් වලට යන්ටත් එපාය.."ඒ අපේ සේපාලයා..

"ඉතිං බීඑම් මහත්තය අඬන්න ඔන්න මෙන්න කියල මූණ හදාගෙන මාදිහා බලා ඉන්නව..මමත් මෙන්න මෙහෙම මූණ හදාගෙන බීඑම් මහත්තය දිහා බලා ඉන්නව.."

සුමණයා මූණ ඒ විදිහට හදල පෙන්නුවා අපිට මැරෙන්ට හිනා..

"ඒ මූණ දැක්කම නම් තව එකක්  දාගන්ට ඕන.." සේපාලයා එකක් වක් කරගත්තා..

"ඒයි මටත් එකක් දීපං ..." මම කිව්වා...

ඒ ගමන තුං දෙනාම ෂොට් එකක් එක දාගත්තා කියහංකො..දැං ආයම සුමණෙගෙ කතාව..

"ඉතිං බං සරළවම කියනවනං වතුර මලේ වැඩේ කෙරුනෙ නෑ..කොහේ තියන සල්ලිද ඔහොම දඩ වතුර මලක් හදන්ට?..ඒ හින්ද දිඹුලාගල හාමුදුරුවො පණිවිඩ පිට පණිවිඩ එව්වට බීඑම් මහත්තය ඒ වෙලාවට මඟ අරිනව නැත්තං ඔය කටට ආපු එකක් කියනව.."

"පුදුමයි හාමුදුරුවො සිවුරත් කරේ තියාගෙන ඔෆිස් එකට ආපු නැති එක.." මම කිව්වා..

"අර ගොවි සංවිධාන සභාපති හේරත්ගෙං මම ඔය ප්‍රශ්නෙම ඇහුවා බං..උඹලා දන්නවද පොර මොකක්ද කිව්වෙ කියල?..හේරත් මම ඔය ඔෆිස් එකට ගියොත් එහෙම අර යකාගෙ බෙල්ල මිරිකනව..මේ වෙලාවෙ ආණ්ඩුවෙ ලොක්කො මා එක්ක හොඳ නෑ..ඉතිං එහෙම දෙයක් උනොත් කෙලිම්ම මාව ඇතුලට දානව..ඒ හින්ද මම ඔය පැත්ත පලාතෙ යන්නෙ නෑ..ඔන්න ඔය හින්දයි හාමුදුරුවො අපේ ඔෆිස් එකට ඇවිල්ලා නැත්තෙ.."

"බීඑම් මහත්තයගෙ හොඳ වෙලාව.." සේපාල කිව්වා..

"ඉතිං හාමුදුරුවංගෙ ඩෙඩ් ලයින් එක වෙසක් පෝයනෙ..වෙසක් පෝයට දවස් හතර දෙහෙකට වගෙ කලිං බීඑම් මහත්තය නිවාඩු දාලා ගෙදර ගියා..සුමනෙ මම ගෙදර යනව..වෙසක් පහුවෙලයි ආපහු එන්නෙ..යන්ට කලිං මට කිව්වා..ඔව් ඉතිං කමක් නෑ..වෙන අහවල් දෙයක් කරන්නද? බීඑම් මහත්තයා මමත් කිව්වා.."

"එතකොට එච්චරයිද කතාව?" සේපාල නැඟිට්ටා..

"නෑ..නෑ..ඉඳහංකො දැං තමයි හොඳම හරිය.." මම සේපාලයගෙ අතින් අල්ලල ආපහු පුටුවෙ ඉන්දුවා..මම අර කලිං කිව්වෙ සුමනෙයි මායි එක ක්වාටර්ස් එකේ ඉන්න කාලෙ මම ඔය කතාව අහල තියනව හත් අට පාරක්ම සුමනෙගෙ කටින්ම..

ඉතිං මෙන්න යකෝ වෙසක් පහුවෙනකල් එන්නෙ නෑ කියල ගෙදර ගිය මනුස්සය පහුවදාම ආපහු ආව කියහල්ලකො..එදා උදේ මම ෆීල්ඩ් ගිහිල්ල දවල්ට කන්ඩ එනකොට අපේ ගේට්ටුවෙ වොචර් මාව නවත්තල කිව්ව...

 "සර් අපේ  බීඑම් සර් ආපහු ආවනෙ.."කියල..මගෙ කටත් ඇරුන අප්පල්ලෙ වගේ..

"මොකක්? උඹට හොඳටම ෂුවර්ද? "

"අය ෂුවර්ද කියල අහනව..මම දන්නෙ නැද්ද බීඑම් සර්ව? ..තව කවුද නෝනා කෙනෙකුත් හිටිය ඉස්සරහ සීට් එකේ..ආ..සර්ට කියන්න කිව්ව ආපු ගමං ඇවිල්ල බීඑම් සර්ව මුණ ගැහෙන්නයි කියල.."

මතු සම්බන්ධයි ඈ...

Tuesday, April 8, 2025

708 - දිඹුලාගල මතක සටහන් - 3


ඔය අපේ අත්තනකඩවල ක්වාටර්ස් එකේ..
වමේ මම (කොහොමද ඒ කාලෙ මගෙ කොණ්ඩෙ?) 
මැදිං ඉන්නෙ සුමනේ..දකුණෙ අපේ ඉවුම් පිහුම් 
කරපු ගෝල බාලයා..කරුණාතිලක..

"නම පවතින්ට නම් වැඩේ කරල ඉවරයක් කරන්න ඕනනෙ බීඑම් මහත්තය.."

"ඔව්  ඔව්..වැඩේ කරල ඉවරයක් කරන්න ඕන තමයි සුමනෙ..මම නුවර ඉපදිච්චි මනුස්සයෙක්නෙ..අර නුවර වැව වටේ තියෙන්නෙ වළාකුළු බැම්ම..අන්න ඒ වගේ වළාකුළු බැම්මක් ගහන්ට ඕන ඔය වතුර මල වටේ..අනික වතුර මල සම්පූර්ණයෙන්ම ටයිල් කරන්ටත් ඕන..."

ඔන්න ඔය වෙනකොටනම් මචං මගෙ ඉවසීමෙ සීමාව පනින්ට ඔන්න මෙන්න..ඇයි යකෝ මේ මනුස්සය මේ පොඩි එකෙක් වගේනෙ කතා කරන්නෙ..ඒ කියන්නෙ මේ වගේ වැඩකට යන වියදම ගැන මේ මනුස්සයට කිසිම අයිඩියා එකක් නෑ..

"හරි ඔය වළාකුළු බැම්මයි වතුර මලයි ටයිලුත් කරලා අපි හදනව කියමුකො..බීඑම් මහත්තය හිතාගෙන ඉන්නෙ ඔය වැඩේට කීයක් විතර යයි කියලද? " බැරිම තැන මම ඇහුවා..

"වියදම ප්‍රශ්නයක් නෑ සුමනෙ..හෙඩ් ඔෆිස් එකෙං සල්ලි දුන්නෙ නැත්තං මම මගෙ අතිං දාල හරි ඕක කරනව කරනවාමයි..යංකො අපි ගෙට ගිහිල්ල ඉඳගෙන කතා කරමුකො.."

අපි ගෙට ගිහිල්ල සාලෙ ඉඳගත්තා වේවැල් පුටු සෙට් එහෙක..බීඑම් මහත්තය ෆ්‍රිජ් එක ඇරල කොකා කෝලා බෝතල් දෙකක් අරගෙන කඩලා එකක් මට දුන්නා..ඔය මනුස්සය කොකාකෝලාමයි බොන්නෙ..මේ වැටිල තියෙන අමාරුවෙං ගොඩ එන්නෙ කොහොමද කියල කල්පනා කරලම මගෙ උගුර කටත් වේලිලයි තිබ්බෙ..ඇයි යකෝ..බීඑම් මහත්තය මේ අහකයන නයෙක් අරං රෙද්ද අස්සෙ දාගත්තට ඔය වැඩේ නොකෙරුනොත් එහෙම ඕකෙං මහවැලියෙ අපි ඔක්කෝගෙම සායමනෙ යන්නෙ.....දන්නවනෙ දිඹුලාගල හාමුදුරුවන්ගෙ කට?  

"දන්නව දන්නව..මමත් සෙවණපිටියෙ ඉන්න කාලෙ අපේ D.R.E. ඔෆිස් එක විවෘත කරල පිරිතක් කිව්වනෙ..ඒකට ආවෙ ඔය දිඹුලාගල ලොක්කා..අප්පට උඩු ඇවිල්ල අර අපේ පොඩි  කෙල්ලොත් ඉන්න තැන කටේ තොලේ නොගෑවී කියපු කතා..ආ..මෙන්න මේ සේපාලයටත් තියනව දිඹුලාගල ලොක්කා ගැන ඒ වගෙ මරු කතාවක්.." එහෙම කිව්වෙ මම...

"හරි බං එව්ව පස්සෙ බැරිය..සුමනෙ කතාව කියහංකො.." සේපාලයා තව ෂොට් එකක් දාගෙන වඩේ කෑල්ලක් හැපුවා.."සෝක් වඩේ ඈ? බෝ ගහ ගාව අලුතෙං දාපු කඩේකිං ගත්තෙ.."

ආයෙම සුමනෙගෙ කතාවට.....

ඉතිං බං ඔය වතුර මලේ වැඩේ නොකරුනොත් එහෙම ආයෙ මහවැලියෙ අපි ඉතිං මේකෙ වසල හමාරයි..හාමුදුරුවො පංසලට එන එන ආන්ඩුවෙ නිලදාරිනුයි අවසේස මනුස්සයොයි එක්ක ඕක කියවයි අපේ රෙදි නැතිවෙන්ට....ඊට පස්සෙ ඉතිං කන්න රැස්වීමකටවත් ගිහිල්ල හමාරයි...උං අපිට හිනාවෙන්නෙ කටිං එහෙම නෙවෙයි...

මගේ සටහන - කන්න රැස්වීම කියන්නෙ හැම කන්නයක්ම පටන් ගන්ට  ඉස්සෙල්ල ගොවි මහත්තුරුයි, ගොවි සංවිධාන නායකයොයි, වගා කටයුතු වලට සම්බන්ධ මහවැලි  නිලධාරිනුයි, අදාල අනෙකුත් රජයේ නිලධාරිනුයි ඔක්කොම රැස්වෙලා තීරණය කරනව ඉදිරි කන්නෙ කොච්චර ඉඩම් ප්‍රමාණයක් වගා කරනවද එතකොට වවන්නෙ වී ද නැත්නම් ගොඩ බෝගද වතුර ඉස්සෙල්ලම නිකුත් කරන්නෙ කවද්ද? මුර වතුර (මුර වතුර කියන්නෙ කුඹුරු වලට දිගටම වතුර  නොදී යම් කාලසීමාවකට විතරක් වතුර දෙන එක..වතුර හිඟ උනාම එහෙම තමයි කරන්නෙ..) නිකුත් කරන්නෙ කවදා ඉඳලද? අන්තිමට වතුර නිකුත් කරන්නෙ කවද්ද? ආ..වැදගත්ම කාරණෙ..කොච්චර වතුර දෙනවද?..ඔන්න ඕවා තීරණය කරන්නෙ ඔය කියන කන්න රැස්වීමෙදි..

ආ..කන්න රැස්වීම කියනකොට මතක් උනේ..පොඩි පඳුරු තැලිල්ලක්නම් කරන්නම වෙනව..මටම වෙච්චි ආතල් සීන්ස් එකක්..මේක මම කලිං ගමනක් ලිව්ව නම් තමයි..කමක් නෑ ඔන්න ඔහෙ ආයෙ කියවහල්ල..

මම 1991 අවුරුද්දෙ මහවැලි අධිකාරියෙ ඉංජිනේරු අංශයෙ ඉඳල උසස් වීමක් හම්බවෙලා ගියා ජනාවාස අංශයට...

පත්වීම හම්බ උනේ බකමූණ කලාපයෙ අත්තනකඩවල කොට්ඨාශයට..91 නොවැම්බර් මුල වගෙ වැඩ බාරගත්තෙ..වැඩ බාරගෙන පහුවදාම තිබ්බ එහෙ කන්න රැස්වීම..

කන්න රැස්වීම කියන්නෙ යල මහ කියල කන්න දෙකක් තියනවනෙ..ඒ එක් එක් කන්නෙට වතුර නිකුත් කරන්ට ඉස්සෙල්ල වතුර නිකුත් කරන කාල වකවානු එතකොට සම්පූර්ණ කුඹුරු කරන්ට පුලුවන් තරමට ප්‍රමාණවත්ව වතුර දෙනවද? එහෙම  වතුර ප්‍රමාණවත් පරිදි නැත්තං කොච්චර ප්‍රමාණයක් ගොඩ බෝග කරන්ඩ ඕනද කියන කාරණා ගොවි මහත්වරුන්ට දැනුම් දෙන රැස්වීම..

මම ඉතිං ඔව්ව ගැන අඳෝ සංසාරයක් දන්න එකක්ය..මගෙ විෂය ක්ෂේත්‍රයට කෙලින්ම අයිතිත් නෑ..එක අතකට නෑ කියන්ටත් බෑ..ගොවීන් එක්ක වැඩ කරනකොට ඔය හැම ක්ෂේත්‍රයක්ම ඒ කිව්වෙ ජලපාලන, වාරිමාර්ග, කෘෂිකර්ම, ජනාවාස සේවා එතකොට ප්‍රජා සංවර්ධන, ආයතන සංවර්ධන ඔය ඔක්කොම එකකට එකක් බැඳෙනව..නැත්තං සාර්ථකව අපේ රාජකාරිය කරන්න බෑ..

ඉතිං අර 1991 අවුරුද්දෙ නොවැම්බර් මාසෙ පවත්වපු අත්තනකඩවල කන්න රැස්වීමට ආපහු ආවොත් ඒ රැස්වීම කරගෙන යන්ට ගොවි මහත්වරු ඉඩ දුන්නෙම නෑ..පටං ගත්තු වෙලාවෙ ඉඳල ගොවියො ගේම ඉල්ලුවා..අන්තිමට එක දිගට හූ කිව්වා..

එහෙම හූ හඬින් පලාතම දෙවනත් වෙද්දි රැස්වීමක් කරගෙන යන්ට බෑනෙ..අන්තිමට රැස්වීම නවත්තල ආපු නිලධාරි කට්ටිය යන්ට ගියා..ගොවි මහත්වරුත් හූ කිය කිය ගෙවල් වලට ගියා..මට ඉතිං හරි පුදුමයි මේ වෙච්චි දේ..ඇසුයි කටයි දෙකම ඇරගෙන බලා ඉඳල මමත් ඉතිං මම ඒ කාලෙ නැවතිලා හිටපු බකමූණෙ ක්වාටර්ස් එකට ගියා..

පහුවදා අපේ කොට්ඨාශ කළමනාකාර නොහොත් Block Manager නොහොත් බී.එම්.මහත්තයා සියළුම නිලධාරීන්ට රැස්වීමක් කැඳවල තිබ්බ උදේ නමයට..මමත් ඉතිං ඕකට ගියා..ඒකෙදි බී.එම්. ලොක්කා ඊයෙ කන්න රැස්වීමෙදි වෙච්චි දේ ගැන බොහොම හිත් අමනාපෙන් සහ තරහිං කතාකරල එක පාරටම මා දිහාට හැරුන..මම වාඩිවෙලා හිටියෙ තුන්වෙනි පේළියෙ විතර..

"වීරසිංහ මහත්මයා ඊයෙ කන්න රැස්වීමට සහභාගි උනා නේද?"

මම නැඟිටල "ඔව් බී.එම්. මහත්තයා.." කියල උත්තර දුන්නා..

"හරි එහෙනම් මට කියන්ට පුලුවන්ද ඇයි ඒ ගොවි මහත්තුරු ඒ වෙලාවෙ එහෙම හැසිරුනේ? වෙනත් වචන වලින් කිව්වොත් ඇයි ඒ වෙලාවෙ ගොවියො හූ කිව්වෙ?..." කියල බී.එම්. ලොක්කා මගෙං අහපි ගහෙං ගෙඩි එන්නැහෙ..

මම නේද අන්දුන් කුන්දුන් උනා කිව්වොත් ඒත් ඒ වෙලාවෙ මගෙ හිතට ආපු හැඟීම හරියට විස්තර කරන්ට බෑ..උතුර දකුන මාරු උනා..කරකවල අතෑරියා..තුස්නිම්බූතයිස්ඩ් උනා..ඔය ඔක්කොම කිව්වත් මදි..

යකෝ මම මේ දවස් දෙකයි මෙහෙට ඇවිල්ල වැඩ බාරගෙන..මම කොහොමද ඕයි දන්නෙ ගොවියො හූ කිව්වෙ මොන මඟුලකටද කියල?..මේ මනුස්සයට නුහුගුණෙද? පිස්සුද නැත්තං හැටිද? ඔහොම කල්පනා කරකර මම දහ අතේ හිතුව මොකක්ද යකෝ මම දැං කියන්නෙ? කියල..රැස්වීමෙ ඔක්කොමලා මා දිහා බලාගෙන..

ඔන්න එතකොට මට මතක් උනා උදේ අපේ සහෝදර නිලධාරීන් කට්ටියක් කතාවෙනව මට ඇහුන වෙල්පහු වතුර මදි උන හින්දයි පහුගිය කන්නෙ කුඹුරු හුඟක් මැරුනෙ...ඒක හින්ද ගොවියො ලොකු හිතේ අමාරුවකින්ය ඉන්නෙ කියල..අප්පට සිරි  ඔය තියෙන්නෙ බඩු..දැං ඉතිං කාට බය වෙන්ටද? 

වෙල්පහු වතුර කියන්නෙ මොනවද?  එහෙම වතුරක් ඇත්තටම තියනවද? තියනවනම් ඒ වතුර කලුද සුදුද? කියලවත් මම දන්න ඉටිගෙඩියක් නෑ..ඒ උනාට ඉතිං එහෙම හිත හිත ඉඳල හරියන්නෙ නෑනෙ..මොනවහරි කියන්ටත් එපාය..බී.එම්. ලොක්කා  මාදිහා කන්ට වගෙ බලාගෙන ඉන්නව...

මම කෙලින්ම සිංහය වගෙ බී. එම්. ලොක්කා දිහාබලාගෙන කතාකලා.."බී.එම්. මහත්තය අර වෙල්පහු වතුර පහුගිය ටිකේ හරියට ලැබුනෙ නෑනෙ.."

"ඉතිං?" ඇසුත් උඩ තියාගෙන බී.එම්. ඇහුවා..

"ඉතිං ඒ හින්ද තමයි ගොවි මහත්තුරු හූ කිව්වෙ.."

බී.එම්. විනාඩියක් විතර මගෙ මූණ දිහා කන්ඩ වාගෙ බලා හිටිය.."එතකොට වීරසිංහ මහත්තය කියන්නෙ ගොවියො හූ කිව්වෙ වෙල්පහු වතුර ලැබුනෙ නැති හින්ද..එහෙමද?"

"ඔව් බී.එම්. මහත්තය... ඒක තමයි හේතුව.."

බී.එම්. ලොක්කටත් යන්තමට හිනාවක් ගියාද නැත්තං ඒ මට පෙනිච්චි හැටිද මන්ද..

"හරි හරි..වීරසිංහ මහත්තයා ඉඳගන්ට.." කියල බී.එම්. මහත්තයා කිව්වා..

මම ඉතිං ආයම කියනකල් හිටියෙ නෑ.. ඉඳගත්තා...

පලි - 

වෙල්පහු වතුර කියන්නෙ කුඹුරකට වතුර දුන්නම ඒ වතුර කුඹුරෙ ලියද්දෙං ලියද්දට ගලාගෙන ගිහිල්ල අන්තිම ලියද්දෙං පිටතට ගලාගෙන යනව..ආං ඒ වතුරට..

ඒ පිටවෙන වතුර බැහැල යන්ට කපල තියනව Drainage Canal කියල ඉංග්‍රීසියෙං කියන අපවහන ඇළවල්..ගොවියො ඒවට කියන්නෙ කුණුඇළවල් කියල..

ඉතිං ඔය කුණුඇළවල්වල වතුරෙනුත් ගොවි මහත්තුරු ආයම කුඹුරු අස්වද්දනව..ඒ වැඩේ ඇත්තටම බොහොම හොඳයි..ඒ මොකද කිව්වොත් අපතේ යන වතුරකිං ආයම ප්‍රයෝජනයක් ගන්න එක කොහොමත් හොඳයිනෙ..

ඒත් අවුල වෙන්නෙ වතුර හිඟවෙලා වතුර දෙන ප්‍රමාණය සීමා කරන්ට උනොත්..එතකොට ඔය වෙල්පහු වතුරක් කියල එකක් නැතිම වෙලා යනව බොහෝවිට..එහෙම උනාම වෙන්නෙ අර වැඩිපුර කරපු කුඹුරු බේරගන්ටම බැරුව මැරිල යනව....ඒත් එක්කම එව්වට වියදම් කරපු මුදල්, ශ්‍රමය ඔක්කොම අපරාදෙ අපතේ යනව..

පඳුරු තැලිල්ල එතෙකින් සමාප්තයි...මගේ මලගිය මෑණියන්ට පින්පෙත් පමුණුවමින් හෝ ඒ කියවූ ඔබ සැමට ස්තූතියි...

හරි එහෙනං ආපහු සුමනෙගෙ කතාවට...

ඉතිං මම බැරිම තැන ඇහුවා.." දැං මේ සද්දන්ත සයිස් වතුර මලක් හදන්ට ඔය බීඑම් මහත්තය කියන වළාකුලු බැමියි අරව මේවා සුකුරුත්තනුත් දාලා වියදම කීයක් විත වෙයි කියලද ඔබතුමා හිතන්නෙ? " කියල..

"ඇයි සුමනෙ ඕනනං උපරිම රුපියල් දෙතුන් දාහක් යයි නේද?  සුමනෙ කියන්නෙ ඊට වැඩිවෙයි කියලද? "

ඔන්න බීඑම් මහත්තයටත් හොඳ සිහිය පහල වෙන්ට ගත්තා..මිනිහා කෝකටත් කියල අතේ තිබ්බ කොකා බෝතලේටම කට තියාගෙන ( ඉස්සරහ කණප්පුව උඩ වීදුරුවක් තිබ්බ උනත් ) බාගයක් විතර බීගෙන බීගෙන ගියා..ඒ කරල මගෙ මූන දිහා බලාගෙන හිටිය ඇසිපිය නොහෙලා..

" බීඑම් මහත්තයා ඇත්තම කිව්වොත් ඔය බීඑම් මහත්තයා හිතාගෙන ඉන්න විදිහෙ වතුර මලක් හදන්ට බෑ රුපියල් විසිදාහකිං  මෙහා පැත්තෙ..වට අඩි හතලිහක් කිව්වම සෙල්ලං සයිස් එකක්ද? අනික දැනටම අරූ අඩි පහක් විතර හාරලා..වලාකුලු බැමියි ටයිලි කිරිලියි එනකොට ඔය මම කියපු ගානට අඩුවෙන් නම් කරන්න බෑ කීයටවත් බොස්.."

"කෙලියනෙ ..සුමනෙට ඔය ගණං ෂුවර් නේද? " බීඑම් මහත්තයගෙ ඇස් දෙකත් උඩ ගිහිල්ල ..ආය දාඩියකුත් දාන්ට ගත්ත..ෆ්‍රිජ් එක එහා පැත්තෙ ස්විච් එක ලඟට ගිහිල්ල සීලිං ෆෑන් එකත් ෆුල් දැම්ම..

"ෂෙහ් මාර කෙලියක්නෙ උනේ..ඇත්තම කිව්වොත් සුමනෙ මම නම් හිතුවෙම නෑ ඔච්චර ගාණක් යයි කියල..හෙඩ් ඔෆිස් එකට ලියුමක් දාල බලනව.."

"ඒක හරියන්නෙ නෑ බොස්.."

"ඇයි? "

"ඇයි කියන්නෙ අර පෝල් පෙරේරට කුඩෙං ගහල එලවපු සීන් එක හින්ද ජේආර්ට  දිඹුලාගල  හාමුදුරුවන්ව පෙන්නන්ට බැරුව ඉන්නෙ..පුලුවන්නම් මරාගෙන කයි..ඒ හින්ද මටනම් සීයට දෙසීයක් ෂුවර් ඔය වැඩේට සත පහක්වත් අනුමත කරන්නෙ නෑ හෙඩ් ඔෆිස් එකෙං.."

"අප්පට උඩු එහෙම සීන් එකකුත් තියනවනෙ නේද? ෂෙහ් මමත් අරනිකං ඉන්ට බැරුවට කොහාටද ගිහිං පැන්න මොකාද එකා වගෙ ගිහිල්ල හාමුදුරුවන්ට වතුර මලක් පොරොන්දු උනා මිසක ඔව්ව කල්පනා කලේ නෑනෙ..අනේ මන්දා සුමනෙ අහවල් දෙයක් කරන්නදෙයි කියල....මගෙ ඔලුවත් එක්ක නරක් උනා අම්මපා මේක අහල.."

බීඑම් මහත්තය එහෙම්මම පුටුවෙ ඉඳගත්තු ගමන්ම ඔලුවත් දෑතිං අල්ලගෙන ටික වෙලාවක් කල්පනා කලා..ඊට පස්සෙ හෙමීට ඔලුව ඉස්සුවා..

"මේ සුමනෙ බැරි වෙයිද අපේ ස්ටාෆ් එකේ අයට සම්මාදම් වෙන්ට කියල..." ඒ වාක්‍යය සම්පූර්ණ නොකර බීඑම් මහත්තය මගෙ මූන දිහා බලාන හිටිය..

"පිස්සුද බීඑම් මහත්තය ඒක හරියන්නෙ නෑ..ෆීල්ඩ් ස්ටාෆ් එකත් එක්ක උපරිම අපේ ඇති 40 දෙනෙක් විතර..ඉතිං එක්කෙනා අඩුම 500/= ගානෙවත් දාන්ට වෙනව 20,000/= ක් හොයාගන්ට..අනික මාසෙ පඩියෙං 500/=ක් දීල මිනිස්සු ජීවත් වෙන්නෙ කොහොමද? ඊටත් වඩා කටක් ඇරල ඕක කියන්නෙ කොහොමද? ජපං කුණුහබ්බ අහගන්ට වෙන්නෙ.."

ඒ කාලෙ බං මම රස්සාවට ගිය අලුතනෙ..පඩිය රුපියල් 1200/= යි..ඉතිං මට වැඩිය පඩි ගන්න අය ඉන්න ඇති මුලු ඔෆිස් එකේම ඕනනම් පස් හය දෙනෙක්..අනික් ඔක්කෝටම ඊට අඩුයි පඩිය..ඉතිං කොහොමද බං උංගෙං රුපියල් පන්සීයක් දීපල්ලය කියල ඉල්ලන්නෙ?

"මම ඔය වැඩේ මගෙ අතිං වියදං කරල හරි කරනව..ඒත් මගෙ අතේ මේ වෙලාවෙ එහෙමට සල්ලියක් නෑ..වයිෆ් ලඟනම් සල්ලි තියනව..ඒත් මට වයිෆ්ගෙං ඉල්ලන්ටත් බෑ.." බීඑම් මහත්තය එහෙම කියල දිග සුසුමක් හෙලුව..

බීඑම් මහත්තයගෙ වයිෆ් ඔය මැද මහනුවර පැත්තෙ වළව්වක කුමාරිහාමි කෙනෙක්..අළුගොල්ල වලව්වද ඔය මොකක්ද එකක්..අපේ බීඑම් මහත්තය ගෙ එහෙම වළව් සීන් එකක් නැති හින්ද ගෙදර වැඩ කටයුතු කෙරෙනවයි කියන්නෙ වයිෆ්ගෙ හිතුමනාපෙට..ඔව්ව ඉතිං අපිට ආරංචි වෙනවනෙ..හැමතැනම එහෙමනෙ..මේ ලෝකෙ ඉතිං රහස් කියල දෙයක් නෑනෙ..

අදත් ඉතිං ඔන්න  මතු සම්බන්ධයි ඈ...



Friday, April 4, 2025

707 - දිඹුලාගල මතක සටහන් - 2


"දිඹුලාගල වතුර මල" කියලා ගූගල් සර්ච් කලාම ආවෙ මේක..
එදා තිබ්බ වතුර මලම වැඩි දියුණු කරලද නැත්තං අලුත්ම එකක්ද
කියල හිතාගන්න නම් බෑ ළමයි....


හරි ආයම සුමනෙගෙ කතාව අද එතැන් සිට...

අර මං කියපු බැකෝ ඔපරේටර් සමරයා මම හිටපු ක්වාටර්ස් එක පිටිපස්සෙං කටුකම්බි වැටේ පොටවල් දෙකක් උස්සල ගැටගහල කපොල්ලක් හදාගෙන තිබ්බ එතනිං පැනල ගම්මැද්දෙ තිබ්බ කසියා වාඩියකට යන්ට..

**************************

මගේ සටහන - කසියා දන්නවනෙ නේද? කසිප්පු, සුදුවා, හැලි අරක්කු, සීනි කරිඤ්ඤං කියල කියන්නෙත් එව්වටම තමයි..තව තියනව හිටපං මචං, සඟ ටොප්, ගල් බමුණා, මනෝසීල  කියල නම් කීපයකුත්..හැබැයි ඒ නම් කවුරුත් පාවිච්චි කරනව නම් මට ඇහිලා නෑ..

ඔය නම් මම අහුල ගත්තෙ සිසිර කුමාර මානික්ක ආරච්චි මහත්මයගෙ පොතකිං..ඉස්කෝලෙ පුස්තකාලෙං මම අරං ආවෙ...මට දැං පොතේ නම හරියටම මතක නෑ..මනෝසීල, මනෝජාජ්ජේ නැත්තං සිරි ලංකා ඉල්ලංකා වෙන්න ඇති..

කොහොම හරි මම ඔය නම් තිබ්බ පොත් කියෙව්වෙ අවුරුදු නමයක් දහයක් වගෙ කාලෙදි..ඒ කාලෙ ඉතිං ඔව්වගෙ බරක් පතලක් නොදැන මම ගෙදර එහාට මෙහාට යමිං එමිං ගමන "හිටපං මචං, සඟ ටොප්, ගල් බමුණා, මනෝසීල.." කියල කෑගහගෙන යනවා...මුලිං හිටපං මචං හෙමීට පටංගෙන වචනෙං වචනෙ ටික ටික සද්දෙ වැඩි කරල අන්තිමට මනෝසීල කෑල්ල කියන්නෙ යටිගිරියෙං.. 

දවසක් අප්පච්චි ඕක ඇහිල මට කතාකරල ඇහුවා "මොනවද කියලද ඔය කෑගහන්නෙ? කොහෙන්ද ඔය නම් ඉගෙන ගත්තෙ?" කියල..මම ඉතිං පොත ගෙනත් දුන්නා..අප්පච්චි පොත කියවල බලල කිව්වා "ආයම ඔය නම් කෑගහල කියන්ට එහෙම එපා.." කියල..ඒ ඇර "මොනවද මේ කියවන පොත්? ඔව්ව කියවන්ට එහෙම එපා..."..කියල සත්තමක් එහෙම දැම්මෙ නෑ..අපේ අප්පච්චි එහෙමයි..කිසිම දේකට තහංචි දාන්නෙ නෑ..

ආය මට අවුරුදු 14 වගෙ කාලෙ අප්පච්චිගෙ ඇඳයට තිබ්බ පරණ පොත් පෙට්ටියක තිබිල හම්බ උනා පරණ කාවො කාච්ච ඉංග්‍රීසි පොතක්..පිටු හැටක විතර ...නම ඇවිල්ල "Sex Before Six" මුලපිටුවෙ තිබ්බෙ බාගෙට හෙලුවෙං ඉන්නෙ කෙල්ලෙක්ගෙ රූපයක්..කතාව තිබ්බෙ හස්බන්ඩ් වැඩට ගියාම වයිෆ් වටේම ඉන්න පිරිමි එක්ක ලිංගික කාය කර්මයෙ යෙදෙන විදිහ විස්තර කරල..ඔය American Pulp Fiction  කියන්නෙ අන්න ඒ ජාතියෙ පොතක්..

මගෙත් ඉතිං පස්පොල කලුවෙන කාලෙනෙ..(අර කොහාටද කිරි උණනව කියන්නෙත් ඒ තේරුමෙන්ම තමයි) පස්පොල කලුවෙන කතාව දන්නව නේද? ඔය කතාව මම අහුල ගත්තෙ කෑගල්ලෙ සෙන්ට් මේරීස් එකේ 7,8,9 පන්ති වලට අපිට ගණිතය උගන්නපු පුංචි නිළමේ සර්ගෙං.."ඔය ඔය ඉතිං පස්පොල වේගෙන එනකොට ඉන්ට බෑ..ඉන්ටම බෑ..."  එහෙමයි ඒ සර් කියන්නෙ..පස්පොල කලු වෙනවයි කියන්නෙ යොවුන් වියට පැමිණෙනවා කියන එක..කලුවෙන පස්පොල තමයි උඩු තොල, කිහිලි දෙක, පපුව සහ කිරිපල්ල..

ඉතිං මගෙත් පස්පොල කලුවෙන කාලෙ හින්ද මම කරන්නෙ අප්පච්චි ඔෆිස් ගියාම අර පොත අරගෙන කියවල හෙමීට ආපහු පෙට්ටියට දාල තියන එක..කොහොමහරි අප්පච්චිට වැඩේ අහුවෙන්ට ඇති..ඔන්න දවසක් මම යවුමට ගිහිල්ල එනකොට ඒ පොත තියනව මගෙ මේසෙ උඩ..ඒ කියන්නෙ අප්පච්චි එහෙම තමයි මට නොකියා කිව්වෙ "තමුසෙගෙ වයසෙ හැටියට මේ වගෙ පොත් කියවන එකේ අවුලක් නෑ..කියවහං.." කියල..අන්න මල් තියල වඳින්ට ඕන අප්පච්චිල..හෙහ්..හෙහ්..

මගේ සටහන අවසානයි...හරි කසියා ගැන කියන්ට ගිහිල්ල මදැයි තලපු පඳුරු කැටිය..දන්නවනෙ එහෙම තමයි මගේ රචනා ශෛලිය නොහොත් ආඛ්‍යානය..ඒක අලුත් ෂානරයක්..මගෙ චිරාත් කාලීන පාඨකයො නම් සක්සුදක්සේ දන්නවනෙ..

සෝ මයි ඩියර් ගයිස් ඇන්ඩ් ගෑල්ස්..නව් ආෆ්ටර් දැට් ලිටිල් ඉන්ටලූඩ් ඔෆ් බීටිං අරවුන්ඩ් ද බුෂ් ලෙට්ස් ගෙට් බෑක් ටු ද මේන් ස්ටෝරි..මයික්‍රෆෝනය සුමනේට නැවතත්..

**************************************

ඉතිං සමරේ එදත් සුපුරුදුලෙස කසියා වාඩියට යන්ට අපේ ගෙදර පිටිපස්සෙං වැට පනින්ට ඇවිල්ල මම මිදුලෙ ඉන්නව දැකල මා ගාවට ආවා..ආ..මේක මේ ඉන්ටරෙස්ටිං ටිට්බිට් එකක්..සමරේ සෙට් උනා ඔය කසිප්පු වාඩිය කරපු එකාගෙ නංගිත් එක්ක..ඒ කරල දිඹුලාගලම බින්න බැස්සා..ඕකගෙ ගම දකුණෙ මේ වළස්මුල්ල පැත්තෙ....

"සර්..මම මේ සර්ව හම්බ වෙන්නමයි හිටියෙ.." සමරේ මා ලඟට ආවෙ එහෙම කියාගෙන..

ඒ කාලෙ මම බැඳපු අලුතනෙ අපේ භාර්යා තොමෝත් මා එක්ක ක්වාටර්ස් එකේමයි හිටියෙ..ඔය සමරයා කසියා ගහල හීනියට සිංදුවකුත් කියාගෙන ආපහු රෑ යාමෙ ඔතනිං වැට පැනල උංගෙ ඩෝමිටරි එකට යන එකට එයයිගෙ ඒ හැටි මනාපයක් තිබ්බෙ නෑ..

"මොන ජාතියෙ මිනිස්සුද දන්නෙ නෑනෙ ඔවුං..අනික බීලත් එක්ක.." එයයි එහෙමයි කිව්වෙ..

"නෑ..නෑ..බයවෙන්න එපා..උං ඔය කෑව බිව්වට හිත හොඳ කොල්ලො..උංගෙං වචනෙකිංවත් වැරැද්දක් වෙන්නෙ නෑ.." මම එහෙම කිව්වා..

පස්සෙ ඉතිං එයාටම තේරුණා කතාව් ඇත්ත කියලා..මේ වෙලාවෙ එතුමී කුස්සියෙ දොරෙං ඔලුව දාල බැලුවා..

"ආ සමරක්කොඩි ප්ලේන්ටියක්වත් හදන්න බොනවැයි?"

"එපා නෝනා..මේ වෙලාවට ඉතිං තේ බොන්න බෑ...." සමරේ ඔලුව පාත් කරල හිනාඋනා..

"හරි හරි බං මොකටද මාව හම්බ වෙන්න උන්නයි කිව්වෙ?"..මම ඇහුවා..

"මම අද මරු වැඩක් කලානෙ  සර් "

"ඒ මොකද්ද බං ඒ මරු වැඩේ?"

"මම අර දිඹුලාගල පන්සලේ තියෙන්නෙ අර වතුර මල....."

"ඔව් ඉතිං?.."

" මම බැකෝ එක අරං ගිහිල්ල ඒක කඩල දැම්මනෙ.."

"ඈ? බොට අමු කැවිලද සමරේ? " මගෙ කටත් එක්ක ඇරුනා..යකෝ මූ දීයා කන්ට එපාය..

"නෑ..නෑ සර්..අහන්ටකො විස්තරේ..බීඑම් මහත්තයයි මට කිව්වෙ.."

" බීඑම් මහත්තය උඹට කිව්ව සමරේ ගිහිල්ල පන්සලේ වතුර මල කඩල දාන්ටෙයි කියල..ඒකද උඹ කියන්නෙ? "

"ඔව් සර්..නැතුව ඉතිං මයෙ හිතු මනාපෙට දිඹුලාගල පන්සලේ වතුර මල කඩල දාන්ට මගෙ ඔලුවෙ අමාරුවක් තියනවය?"

"ඒකත් ඇත්ත බලාගෙන ගියාම..ඉතිං වතුර මල කඩල දාල උඹ මොකෝ කලේ?"

" බීඑම් මහත්තය මට කිව්වා සමරේ එතන වට අඩි හතලිහක් වගෙ වෙන්ට වලකුත් හාරපංය කියල.."

"ඉතිං උඹ ඒකත් කලාද?"

" නැතුව? අපෙ ලොක්කනෙ එයා..එයා කිව්වම නොකර කොහොමද? "

මේ මනුස්සයට මොන යකෙක් වැහිලද මන්දා..ඒත් මොනව උනත් මූ ඉස්සරහ බීඑම්ව නෝන්ඩි කරන්ට බෑනෙ..

"හරි හරි බං..බීඑම් මහත්තය එහෙම කිව්වනං මොකක් හරි හොඳ හේතුවක්  ඇතුවනෙ එහෙම කියන්ට ඇත්තෙ..මම හෙට බීඑම් මහත්තයාගෙංම අහන්නංකො.."

පහුවදා උදේම මම බයික් එකේ ගියා බං දිඹුලාගල පන්සලට..ඊයෙ රෑ සමරක්කොඩියා කිව්වෙ ඇත්තක්මද කියල සහසුද්දෙං දැනගන්ට එපාය බීඑම් ලොක්කා මුණගැහෙන්ට යන්ට ඉස්සෙල්ල..

යකෝ පන්සලට ගියාම මගෙ ඉහමොල රත් වුනා කියහංකො..මම එහෙම්මම බයික් එකේ ඉඳගෙනම කටත් බාගෙට ඇරගෙන බලා හිටිය මෙතන කරල තියෙන විනාසෙ දිහා..වතුර මලක් කියල හොයාගන්ටත් නෑ..ඒකෙ කොන්ක්‍රීට් කෑලි පැත්තක ගොඩ ගහල තිබ්බා..වතුර මල තිබිච්ච තැන සද්දන්ත කුලේ අලි පස්දෙනෙක් විතර එක පාර නාවන්ට පුලුවං තරමේ දඩ වලක්..වලක් කියන්නෙ පතහක්..

මොනව උනත් සමරයගෙ ගණං හිලව් නං හරියටම හරි....බීඑම් වට අඩි හතලිහක වලක් කපන්ඩෙයි කියලනෙ කිව්වයි කිව්වෙ..ඒ ගාන හරි..ඕනෙම නම් අඩි පහක හයක වගෙ දෝසයක් ඇති.,,ප්ලස් ඕ මයිනස්...ගැඹුරත් අඩි පහක් විතර ..පතහෙ දැනටම අඩි දෙකක් විතර වතුර පිරිල..කලිං තිබ්බ වතුර මලට වතුර අරං තිබ්බෙ කන්ද මුදුනෙ ඉඳං බට දාල..ඒ බට අරූ කඩල දැම්මට වතුර පාර තාම වැඩනෙ..

සමරක්කොඩියා ඊයෙ රෑ අරෙම කිව්වට මම හිතුවෙ නෑ මූ මෙහෙව් විනාසයක් කරල ඇතිය කියල..මම ඉතිං එහෙම්මම බයික් එක උඩ ඉඳගෙන කටත් ඇරගෙන බලා ඉන්දැද්දි දිඹුලාගල හාමුදුරුවො ආවාස ගෙයි ඇතුලෙ ඉඳල මිදුලට බැස්සෙ නැතැයි..මම ඉතිං හත් අට ගමනක් පන්සලට ඇවිල්ල එතකොට හාමුදුරුවො අපේ ඔෆිස් එකේ ඔය තියන පිංකම් වලට එහෙම ඇවිල්ල හාමුදුරුවො මාව හොඳටම අඳුනනව..

"ආ..මහත්තය..සමාවෙන්න ඕන..මට නමනම් අමතකයි මේ වෙලාවෙ.."

"මම සුමනසිරි අපෙ හමුදුරුවනේ.." මම බයික් එකෙං බැහැල හාමුදුරුවන්ට වැන්දා..

"හරි හරි සුමනසිරි මහත්තයා...ඔබතුමා මේ පාන්දරම ආවෙ වැඩ පටංගන්ටද? "

"ඒ කිව්වෙ අපෙ හාමුදුරුවනේ? මට තේරුනේ නෑනෙ.."

"නෑ මම මේ ඇහැව්වෙ අලුතෙං වතුර මලක් හදන එකේ වැඩ පටංගන්ටද යන්නෙ උදේ පාන්දරම කියලයි.."

"වතුර මලක්? කවුද වතුර මලක් හදන්නෙ? "

"ඇයි බීඑම් මහත්තයා නෙවෙයිද මහත්තයව එව්වෙ? කිව්වෙ නැද්ද විස්තරේ?"

"මොන විස්තරේද හාමුදුරුවනේ? "

"ඊයෙ බීඑම් මහත්තයා ආවනෙ මාව මුණ ගැහෙන්ට..ඒ ඇවිල්ල මොනවද එයා ගානෙ කෙරෙන්ට ඕන කියල ඇහුවම මම අනන්ත කිව්ව මොකවත් එහෙමට ඕනකමක් නෑ කියල..ඒ ගමන එයාමයි කිව්වෙ මෙතන කලිං තිබ්බ වතුර මල කඩල අයිං කරල විසාලෙට හොඳ වතුර මලක් එයයි ගානෙ හදවල දෙන්නංය කියල..මම ඒ ගමන කමක් නැතිය කිව්ව..පස්සෙ බීඑම් මහත්තය ගිහිල්ල පැයක් ගියෙ නෑ ඔය ඩෝසරයක් ඇවිදිල්ල අර තිබ්බ වතුර මල කඩල බිඳල දාල මෙතන මේ අලි වලකුත් හාරලා ගියා.."

"අප්පට සිරි.." මට හාමුදුරුවො ඉන්නව කියලවත් මතක නැතුව එහෙම කියවුනා කියපංකො...මේ අපේ බීඑම් මහත්තය එහෙම පොරොන්දු උනාද?"

" නැතුව එහෙනං..මම ඒත් උන්දැට කිව්ව ගොයියෝ තව සති දෙහෙකිං වෙසක් පෝය..ඊට කලිං මේ වැඩේ එකලාසයක් වෙලා තියෙන්ට ඕන කියල.."

"හරි හරි අපේ හාමුදුරුවනෙ..බීඑම් ම්හත්තයා එහෙම කිව්වනම් ඒ මොකක් හරි වැඩ පිලිවෙලක් එතුමාගෙ හිතේ ඇති..මම ගිහිල්ල බීඑම් මහත්තය හම්බවෙලා කතා කරන්නංකො මේ ගැන.."

"හරි මහත්තය ගිහිල්ල කතා කරන්නකො..හැබැයි සති දෙකයි ඔන්න ඈ..නැත්තං දන්නවනෙ මේ දිඹුලාගම සරණංකර කියන්නෙ කවුද කියල..යැංකි ඩිකී එවපු මැරයටත් කුඩෙං ගහල පන්න ගත්තු මිනිහෙක් මම.." හාමුදුරුවො එහෙම කිව්වෙ දබරැඟිල්ලත් උරුක් කරල..

"හරි අපේ හාමුදුරුවනේ..මම ගිහිල්ල බීඑම් මහත්තය හම්බ වෙන්නංකො.." මම හාමුදුරුවන්ට වැඳල විගහට එතනිං ආව එන්ට..

ඒ වෙනකොට වෙලාව උදේ හතටත් නෑ..අටට තමයි ඔෆිස් ටයිම්,,මේ වෙලාවෙ බීඑම් ලොක්කා ඇත්තෙ ක්වාටර්ස් එකේ..මගෙ ක්වාටර්ස් එකේ ඉඳල තව ගෙවල් හතරකට එහායිං බීඑම් ලොක්කා හිටියෙ..මම ගෙදර පෝටිකෝව යට බයික් එක නවත්තනකොටම මම එනකල් බලාඋන්නා වාගෙ බීඑම් මහත්තයා දොර ඇරගෙන ආවා..ටී ෂර්ට් එකකුයි ෂෝටකුයි ගහගෙන..

"ආ සුමනෙ ගුඩ් මෝනිං...මම මේ මගෙ උදේ එක්සසයිස් එකට දුවනවනෙ හැමදාම....ඉතිං දැං තමයි මේ දුවල ආවෙ.."

බීඑම් මහත්තයා එතනම පෝටිකෝවෙ එක්සසයිස් කරන්ට ගත්තා..වන් ටූ අප් කියල උඩ පැනල බිත්තියෙ ගහල තිබ්බ ලී පටියක් අල්ලනව...වන් ටූ ඩවුන් කියල නැමිල බිම අල්ලනව..ඒ ගමනුත් කතාව..

"සුමනෙ දන්නවද අද මම වන් කිලෝ මීටර් කම්ප්ලීට් කලා මිනිත්තු හයකින් විතර..යූ නෝ දැට්ස් නොට් බෑඩ් ෆෝ මයි ඒජ්.."

" ම්හ්ම්..වන් කිලෝ මීටර් නෙවෙයි ගම හරහා දිවීම ප්‍රැක්ටිස් කලානම් තමයි ඉස්සරහට ප්‍රයෝජනවත් වෙන්නෙ හාමුදුරුවො පන්නං එනකොට ආත බූත කඩාගෙන දුවන්ට.."  මම සුටු පුටු ගාලා කට ඇතුලෙම එහෙම කිව්වා..

"සුමනෙ මොකවත් කිව්වද? " බීඑම් මහත්තයා නැඟිටලා කෙලිං උනා..

"නෑ නෑ මම මොකවත් කිව්වෙ නෑ..ඒක නෙවෙයි බීඑම් මහත්තයා මම මේ එන්නෙ දිඹුලාගල පංසලට ගිහිල්ලා..."

"රායිට් වෙරි ගුඩ්.." බීඑම් මහත්තයා අන්තිම පාරට උඩ පැනලා අර ලී පටිය අල්ලලා අප්පුඩියකුත් ගැහුවා.."කොහොමද අපේ ඩෝසර් කොල්ලා වැඩේ නියමෙට කරලද? "

"වැඩේ නම් කරල තියනව ආය ටොප් ක්ලාස් එකට..වලක් හාරල තියනව අලි පස් හය දෙනෙක් නෑව්වැහැකි එක පාරට.."

"අන්න හරි බිගර් ද බෙටර්..වැඩේ විසාල වෙන තරමට තමයි හොඳ..අපේ නම පවතින්නෙ එතකොටනෙ.."

"නම නම් පවතියි තමයි මටත් හිතෙන්නෙ.." මම එහෙම කිව්වා නෙවෙයි ඇත්තම කිව්වොත් කියවුනා...

"ඇත්තටම බං දැං අවුරුදු හතළිහක් ගිහිල්ලත් අපි තවම ඒක ගැන කතාකරනවනෙ..ඒ කියන්නෙ බීඑම් මහත්තයා එදා කියපු නම පවතින කතාව සහතික ඇත්ත.." සුමනෙ ඒ ටික කිව්වෙ වර්තමානෙට ඒ කිව්වෙ අළුවිහාරෙට  ඇවිල්ල අපි දෙන්නට..ඒ කිව්වෙ සේපාලටයි මටයි..


මතු සම්බන්ධයි ඈ...


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...