Tuesday, April 8, 2025

708 - දිඹුලාගල මතක සටහන් - 3


ඔය අපේ අත්තනකඩවල ක්වාටර්ස් එකේ..
වමේ මම (කොහොමද ඒ කාලෙ මගෙ කොණ්ඩෙ?) 
මැදිං ඉන්නෙ සුමනේ..දකුණෙ අපේ ඉවුම් පිහුම් 
කරපු ගෝල බාලයා..කරුණාතිලක..

"නම පවතින්ට නම් වැඩේ කරල ඉවරයක් කරන්න ඕනනෙ බීඑම් මහත්තය.."

"ඔව්  ඔව්..වැඩේ කරල ඉවරයක් කරන්න ඕන තමයි සුමනෙ..මම නුවර ඉපදිච්චි මනුස්සයෙක්නෙ..අර නුවර වැව වටේ තියෙන්නෙ වළාකුළු බැම්ම..අන්න ඒ වගේ වළාකුළු බැම්මක් ගහන්ට ඕන ඔය වතුර මල වටේ..අනික වතුර මල සම්පූර්ණයෙන්ම ටයිල් කරන්ටත් ඕන..."

ඔන්න ඔය වෙනකොටනම් මචං මගෙ ඉවසීමෙ සීමාව පනින්ට ඔන්න මෙන්න..ඇයි යකෝ මේ මනුස්සය මේ පොඩි එකෙක් වගේනෙ කතා කරන්නෙ..ඒ කියන්නෙ මේ වගේ වැඩකට යන වියදම ගැන මේ මනුස්සයට කිසිම අයිඩියා එකක් නෑ..

"හරි ඔය වළාකුළු බැම්මයි වතුර මලයි ටයිලුත් කරලා අපි හදනව කියමුකො..බීඑම් මහත්තය හිතාගෙන ඉන්නෙ ඔය වැඩේට කීයක් විතර යයි කියලද? " බැරිම තැන මම ඇහුවා..

"වියදම ප්‍රශ්නයක් නෑ සුමනෙ..හෙඩ් ඔෆිස් එකෙං සල්ලි දුන්නෙ නැත්තං මම මගෙ අතිං දාල හරි ඕක කරනව කරනවාමයි..යංකො අපි ගෙට ගිහිල්ල ඉඳගෙන කතා කරමුකො.."

අපි ගෙට ගිහිල්ල සාලෙ ඉඳගත්තා වේවැල් පුටු සෙට් එහෙක..බීඑම් මහත්තය ෆ්‍රිජ් එක ඇරල කොකා කෝලා බෝතල් දෙකක් අරගෙන කඩලා එකක් මට දුන්නා..ඔය මනුස්සය කොකාකෝලාමයි බොන්නෙ..මේ වැටිල තියෙන අමාරුවෙං ගොඩ එන්නෙ කොහොමද කියල කල්පනා කරලම මගෙ උගුර කටත් වේලිලයි තිබ්බෙ..ඇයි යකෝ..බීඑම් මහත්තය මේ අහකයන නයෙක් අරං රෙද්ද අස්සෙ දාගත්තට ඔය වැඩේ නොකෙරුනොත් එහෙම ඕකෙං මහවැලියෙ අපි ඔක්කෝගෙම සායමනෙ යන්නෙ.....දන්නවනෙ දිඹුලාගල හාමුදුරුවන්ගෙ කට?  

"දන්නව දන්නව..මමත් සෙවණපිටියෙ ඉන්න කාලෙ අපේ D.R.E. ඔෆිස් එක විවෘත කරල පිරිතක් කිව්වනෙ..ඒකට ආවෙ ඔය දිඹුලාගල ලොක්කා..අප්පට උඩු ඇවිල්ල අර අපේ පොඩි  කෙල්ලොත් ඉන්න තැන කටේ තොලේ නොගෑවී කියපු කතා..ආ..මෙන්න මේ සේපාලයටත් තියනව දිඹුලාගල ලොක්කා ගැන ඒ වගෙ මරු කතාවක්.." එහෙම කිව්වෙ මම...

"හරි බං එව්ව පස්සෙ බැරිය..සුමනෙ කතාව කියහංකො.." සේපාලයා තව ෂොට් එකක් දාගෙන වඩේ කෑල්ලක් හැපුවා.."සෝක් වඩේ ඈ? බෝ ගහ ගාව අලුතෙං දාපු කඩේකිං ගත්තෙ.."

ආයෙම සුමනෙගෙ කතාවට.....

ඉතිං බං ඔය වතුර මලේ වැඩේ නොකරුනොත් එහෙම ආයෙ මහවැලියෙ අපි ඉතිං මේකෙ වසල හමාරයි..හාමුදුරුවො පංසලට එන එන ආන්ඩුවෙ නිලදාරිනුයි අවසේස මනුස්සයොයි එක්ක ඕක කියවයි අපේ රෙදි නැතිවෙන්ට....ඊට පස්සෙ ඉතිං කන්න රැස්වීමකටවත් ගිහිල්ල හමාරයි...උං අපිට හිනාවෙන්නෙ කටිං එහෙම නෙවෙයි...

මගේ සටහන - කන්න රැස්වීම කියන්නෙ හැම කන්නයක්ම පටන් ගන්ට  ඉස්සෙල්ල ගොවි මහත්තුරුයි, ගොවි සංවිධාන නායකයොයි, වගා කටයුතු වලට සම්බන්ධ මහවැලි  නිලධාරිනුයි, අදාල අනෙකුත් රජයේ නිලධාරිනුයි ඔක්කොම රැස්වෙලා තීරණය කරනව ඉදිරි කන්නෙ කොච්චර ඉඩම් ප්‍රමාණයක් වගා කරනවද එතකොට වවන්නෙ වී ද නැත්නම් ගොඩ බෝගද වතුර ඉස්සෙල්ලම නිකුත් කරන්නෙ කවද්ද? මුර වතුර (මුර වතුර කියන්නෙ කුඹුරු වලට දිගටම වතුර  නොදී යම් කාලසීමාවකට විතරක් වතුර දෙන එක..වතුර හිඟ උනාම එහෙම තමයි කරන්නෙ..) නිකුත් කරන්නෙ කවදා ඉඳලද? අන්තිමට වතුර නිකුත් කරන්නෙ කවද්ද? ආ..වැදගත්ම කාරණෙ..කොච්චර වතුර දෙනවද?..ඔන්න ඕවා තීරණය කරන්නෙ ඔය කියන කන්න රැස්වීමෙදි..

ආ..කන්න රැස්වීම කියනකොට මතක් උනේ..පොඩි පඳුරු තැලිල්ලක්නම් කරන්නම වෙනව..මටම වෙච්චි ආතල් සීන්ස් එකක්..මේක මම කලිං ගමනක් ලිව්ව නම් තමයි..කමක් නෑ ඔන්න ඔහෙ ආයෙ කියවහල්ල..

මම 1991 අවුරුද්දෙ මහවැලි අධිකාරියෙ ඉංජිනේරු අංශයෙ ඉඳල උසස් වීමක් හම්බවෙලා ගියා ජනාවාස අංශයට...

පත්වීම හම්බ උනේ බකමූණ කලාපයෙ අත්තනකඩවල කොට්ඨාශයට..91 නොවැම්බර් මුල වගෙ වැඩ බාරගත්තෙ..වැඩ බාරගෙන පහුවදාම තිබ්බ එහෙ කන්න රැස්වීම..

කන්න රැස්වීම කියන්නෙ යල මහ කියල කන්න දෙකක් තියනවනෙ..ඒ එක් එක් කන්නෙට වතුර නිකුත් කරන්ට ඉස්සෙල්ල වතුර නිකුත් කරන කාල වකවානු එතකොට සම්පූර්ණ කුඹුරු කරන්ට පුලුවන් තරමට ප්‍රමාණවත්ව වතුර දෙනවද? එහෙම  වතුර ප්‍රමාණවත් පරිදි නැත්තං කොච්චර ප්‍රමාණයක් ගොඩ බෝග කරන්ඩ ඕනද කියන කාරණා ගොවි මහත්වරුන්ට දැනුම් දෙන රැස්වීම..

මම ඉතිං ඔව්ව ගැන අඳෝ සංසාරයක් දන්න එකක්ය..මගෙ විෂය ක්ෂේත්‍රයට කෙලින්ම අයිතිත් නෑ..එක අතකට නෑ කියන්ටත් බෑ..ගොවීන් එක්ක වැඩ කරනකොට ඔය හැම ක්ෂේත්‍රයක්ම ඒ කිව්වෙ ජලපාලන, වාරිමාර්ග, කෘෂිකර්ම, ජනාවාස සේවා එතකොට ප්‍රජා සංවර්ධන, ආයතන සංවර්ධන ඔය ඔක්කොම එකකට එකක් බැඳෙනව..නැත්තං සාර්ථකව අපේ රාජකාරිය කරන්න බෑ..

ඉතිං අර 1991 අවුරුද්දෙ නොවැම්බර් මාසෙ පවත්වපු අත්තනකඩවල කන්න රැස්වීමට ආපහු ආවොත් ඒ රැස්වීම කරගෙන යන්ට ගොවි මහත්වරු ඉඩ දුන්නෙම නෑ..පටං ගත්තු වෙලාවෙ ඉඳල ගොවියො ගේම ඉල්ලුවා..අන්තිමට එක දිගට හූ කිව්වා..

එහෙම හූ හඬින් පලාතම දෙවනත් වෙද්දි රැස්වීමක් කරගෙන යන්ට බෑනෙ..අන්තිමට රැස්වීම නවත්තල ආපු නිලධාරි කට්ටිය යන්ට ගියා..ගොවි මහත්වරුත් හූ කිය කිය ගෙවල් වලට ගියා..මට ඉතිං හරි පුදුමයි මේ වෙච්චි දේ..ඇසුයි කටයි දෙකම ඇරගෙන බලා ඉඳල මමත් ඉතිං මම ඒ කාලෙ නැවතිලා හිටපු බකමූණෙ ක්වාටර්ස් එකට ගියා..

පහුවදා අපේ කොට්ඨාශ කළමනාකාර නොහොත් Block Manager නොහොත් බී.එම්.මහත්තයා සියළුම නිලධාරීන්ට රැස්වීමක් කැඳවල තිබ්බ උදේ නමයට..මමත් ඉතිං ඕකට ගියා..ඒකෙදි බී.එම්. ලොක්කා ඊයෙ කන්න රැස්වීමෙදි වෙච්චි දේ ගැන බොහොම හිත් අමනාපෙන් සහ තරහිං කතාකරල එක පාරටම මා දිහාට හැරුන..මම වාඩිවෙලා හිටියෙ තුන්වෙනි පේළියෙ විතර..

"වීරසිංහ මහත්මයා ඊයෙ කන්න රැස්වීමට සහභාගි උනා නේද?"

මම නැඟිටල "ඔව් බී.එම්. මහත්තයා.." කියල උත්තර දුන්නා..

"හරි එහෙනම් මට කියන්ට පුලුවන්ද ඇයි ඒ ගොවි මහත්තුරු ඒ වෙලාවෙ එහෙම හැසිරුනේ? වෙනත් වචන වලින් කිව්වොත් ඇයි ඒ වෙලාවෙ ගොවියො හූ කිව්වෙ?..." කියල බී.එම්. ලොක්කා මගෙං අහපි ගහෙං ගෙඩි එන්නැහෙ..

මම නේද අන්දුන් කුන්දුන් උනා කිව්වොත් ඒත් ඒ වෙලාවෙ මගෙ හිතට ආපු හැඟීම හරියට විස්තර කරන්ට බෑ..උතුර දකුන මාරු උනා..කරකවල අතෑරියා..තුස්නිම්බූතයිස්ඩ් උනා..ඔය ඔක්කොම කිව්වත් මදි..

යකෝ මම මේ දවස් දෙකයි මෙහෙට ඇවිල්ල වැඩ බාරගෙන..මම කොහොමද ඕයි දන්නෙ ගොවියො හූ කිව්වෙ මොන මඟුලකටද කියල?..මේ මනුස්සයට නුහුගුණෙද? පිස්සුද නැත්තං හැටිද? ඔහොම කල්පනා කරකර මම දහ අතේ හිතුව මොකක්ද යකෝ මම දැං කියන්නෙ? කියල..රැස්වීමෙ ඔක්කොමලා මා දිහා බලාගෙන..

ඔන්න එතකොට මට මතක් උනා උදේ අපේ සහෝදර නිලධාරීන් කට්ටියක් කතාවෙනව මට ඇහුන වෙල්පහු වතුර මදි උන හින්දයි පහුගිය කන්නෙ කුඹුරු හුඟක් මැරුනෙ...ඒක හින්ද ගොවියො ලොකු හිතේ අමාරුවකින්ය ඉන්නෙ කියල..අප්පට සිරි  ඔය තියෙන්නෙ බඩු..දැං ඉතිං කාට බය වෙන්ටද? 

වෙල්පහු වතුර කියන්නෙ මොනවද?  එහෙම වතුරක් ඇත්තටම තියනවද? තියනවනම් ඒ වතුර කලුද සුදුද? කියලවත් මම දන්න ඉටිගෙඩියක් නෑ..ඒ උනාට ඉතිං එහෙම හිත හිත ඉඳල හරියන්නෙ නෑනෙ..මොනවහරි කියන්ටත් එපාය..බී.එම්. ලොක්කා  මාදිහා කන්ට වගෙ බලාගෙන ඉන්නව...

මම කෙලින්ම සිංහය වගෙ බී. එම්. ලොක්කා දිහාබලාගෙන කතාකලා.."බී.එම්. මහත්තය අර වෙල්පහු වතුර පහුගිය ටිකේ හරියට ලැබුනෙ නෑනෙ.."

"ඉතිං?" ඇසුත් උඩ තියාගෙන බී.එම්. ඇහුවා..

"ඉතිං ඒ හින්ද තමයි ගොවි මහත්තුරු හූ කිව්වෙ.."

බී.එම්. විනාඩියක් විතර මගෙ මූණ දිහා කන්ඩ වාගෙ බලා හිටිය.."එතකොට වීරසිංහ මහත්තය කියන්නෙ ගොවියො හූ කිව්වෙ වෙල්පහු වතුර ලැබුනෙ නැති හින්ද..එහෙමද?"

"ඔව් බී.එම්. මහත්තය... ඒක තමයි හේතුව.."

බී.එම්. ලොක්කටත් යන්තමට හිනාවක් ගියාද නැත්තං ඒ මට පෙනිච්චි හැටිද මන්ද..

"හරි හරි..වීරසිංහ මහත්තයා ඉඳගන්ට.." කියල බී.එම්. මහත්තයා කිව්වා..

මම ඉතිං ආයම කියනකල් හිටියෙ නෑ.. ඉඳගත්තා...

පලි - 

වෙල්පහු වතුර කියන්නෙ කුඹුරකට වතුර දුන්නම ඒ වතුර කුඹුරෙ ලියද්දෙං ලියද්දට ගලාගෙන ගිහිල්ල අන්තිම ලියද්දෙං පිටතට ගලාගෙන යනව..ආං ඒ වතුරට..

ඒ පිටවෙන වතුර බැහැල යන්ට කපල තියනව Drainage Canal කියල ඉංග්‍රීසියෙං කියන අපවහන ඇළවල්..ගොවියො ඒවට කියන්නෙ කුණුඇළවල් කියල..

ඉතිං ඔය කුණුඇළවල්වල වතුරෙනුත් ගොවි මහත්තුරු ආයම කුඹුරු අස්වද්දනව..ඒ වැඩේ ඇත්තටම බොහොම හොඳයි..ඒ මොකද කිව්වොත් අපතේ යන වතුරකිං ආයම ප්‍රයෝජනයක් ගන්න එක කොහොමත් හොඳයිනෙ..

ඒත් අවුල වෙන්නෙ වතුර හිඟවෙලා වතුර දෙන ප්‍රමාණය සීමා කරන්ට උනොත්..එතකොට ඔය වෙල්පහු වතුරක් කියල එකක් නැතිම වෙලා යනව බොහෝවිට..එහෙම උනාම වෙන්නෙ අර වැඩිපුර කරපු කුඹුරු බේරගන්ටම බැරුව මැරිල යනව....ඒත් එක්කම එව්වට වියදම් කරපු මුදල්, ශ්‍රමය ඔක්කොම අපරාදෙ අපතේ යනව..

පඳුරු තැලිල්ල එතෙකින් සමාප්තයි...මගේ මලගිය මෑණියන්ට පින්පෙත් පමුණුවමින් හෝ ඒ කියවූ ඔබ සැමට ස්තූතියි...

හරි එහෙනං ආපහු සුමනෙගෙ කතාවට...

ඉතිං මම බැරිම තැන ඇහුවා.." දැං මේ සද්දන්ත සයිස් වතුර මලක් හදන්ට ඔය බීඑම් මහත්තය කියන වළාකුලු බැමියි අරව මේවා සුකුරුත්තනුත් දාලා වියදම කීයක් විත වෙයි කියලද ඔබතුමා හිතන්නෙ? " කියල..

"ඇයි සුමනෙ ඕනනං උපරිම රුපියල් දෙතුන් දාහක් යයි නේද?  සුමනෙ කියන්නෙ ඊට වැඩිවෙයි කියලද? "

ඔන්න බීඑම් මහත්තයටත් හොඳ සිහිය පහල වෙන්ට ගත්තා..මිනිහා කෝකටත් කියල අතේ තිබ්බ කොකා බෝතලේටම කට තියාගෙන ( ඉස්සරහ කණප්පුව උඩ වීදුරුවක් තිබ්බ උනත් ) බාගයක් විතර බීගෙන බීගෙන ගියා..ඒ කරල මගෙ මූන දිහා බලාගෙන හිටිය ඇසිපිය නොහෙලා..

" බීඑම් මහත්තයා ඇත්තම කිව්වොත් ඔය බීඑම් මහත්තයා හිතාගෙන ඉන්න විදිහෙ වතුර මලක් හදන්ට බෑ රුපියල් විසිදාහකිං  මෙහා පැත්තෙ..වට අඩි හතලිහක් කිව්වම සෙල්ලං සයිස් එකක්ද? අනික දැනටම අරූ අඩි පහක් විතර හාරලා..වලාකුලු බැමියි ටයිලි කිරිලියි එනකොට ඔය මම කියපු ගානට අඩුවෙන් නම් කරන්න බෑ කීයටවත් බොස්.."

"කෙලියනෙ ..සුමනෙට ඔය ගණං ෂුවර් නේද? " බීඑම් මහත්තයගෙ ඇස් දෙකත් උඩ ගිහිල්ල ..ආය දාඩියකුත් දාන්ට ගත්ත..ෆ්‍රිජ් එක එහා පැත්තෙ ස්විච් එක ලඟට ගිහිල්ල සීලිං ෆෑන් එකත් ෆුල් දැම්ම..

"ෂෙහ් මාර කෙලියක්නෙ උනේ..ඇත්තම කිව්වොත් සුමනෙ මම නම් හිතුවෙම නෑ ඔච්චර ගාණක් යයි කියල..හෙඩ් ඔෆිස් එකට ලියුමක් දාල බලනව.."

"ඒක හරියන්නෙ නෑ බොස්.."

"ඇයි? "

"ඇයි කියන්නෙ අර පෝල් පෙරේරට කුඩෙං ගහල එලවපු සීන් එක හින්ද ජේආර්ට  දිඹුලාගල  හාමුදුරුවන්ව පෙන්නන්ට බැරුව ඉන්නෙ..පුලුවන්නම් මරාගෙන කයි..ඒ හින්ද මටනම් සීයට දෙසීයක් ෂුවර් ඔය වැඩේට සත පහක්වත් අනුමත කරන්නෙ නෑ හෙඩ් ඔෆිස් එකෙං.."

"අප්පට උඩු එහෙම සීන් එකකුත් තියනවනෙ නේද? ෂෙහ් මමත් අරනිකං ඉන්ට බැරුවට කොහාටද ගිහිං පැන්න මොකාද එකා වගෙ ගිහිල්ල හාමුදුරුවන්ට වතුර මලක් පොරොන්දු උනා මිසක ඔව්ව කල්පනා කලේ නෑනෙ..අනේ මන්දා සුමනෙ අහවල් දෙයක් කරන්නදෙයි කියල....මගෙ ඔලුවත් එක්ක නරක් උනා අම්මපා මේක අහල.."

බීඑම් මහත්තය එහෙම්මම පුටුවෙ ඉඳගත්තු ගමන්ම ඔලුවත් දෑතිං අල්ලගෙන ටික වෙලාවක් කල්පනා කලා..ඊට පස්සෙ හෙමීට ඔලුව ඉස්සුවා..

"මේ සුමනෙ බැරි වෙයිද අපේ ස්ටාෆ් එකේ අයට සම්මාදම් වෙන්ට කියල..." ඒ වාක්‍යය සම්පූර්ණ නොකර බීඑම් මහත්තය මගෙ මූන දිහා බලාන හිටිය..

"පිස්සුද බීඑම් මහත්තය ඒක හරියන්නෙ නෑ..ෆීල්ඩ් ස්ටාෆ් එකත් එක්ක උපරිම අපේ ඇති 40 දෙනෙක් විතර..ඉතිං එක්කෙනා අඩුම 500/= ගානෙවත් දාන්ට වෙනව 20,000/= ක් හොයාගන්ට..අනික මාසෙ පඩියෙං 500/=ක් දීල මිනිස්සු ජීවත් වෙන්නෙ කොහොමද? ඊටත් වඩා කටක් ඇරල ඕක කියන්නෙ කොහොමද? ජපං කුණුහබ්බ අහගන්ට වෙන්නෙ.."

ඒ කාලෙ බං මම රස්සාවට ගිය අලුතනෙ..පඩිය රුපියල් 1200/= යි..ඉතිං මට වැඩිය පඩි ගන්න අය ඉන්න ඇති මුලු ඔෆිස් එකේම ඕනනම් පස් හය දෙනෙක්..අනික් ඔක්කෝටම ඊට අඩුයි පඩිය..ඉතිං කොහොමද බං උංගෙං රුපියල් පන්සීයක් දීපල්ලය කියල ඉල්ලන්නෙ?

"මම ඔය වැඩේ මගෙ අතිං වියදං කරල හරි කරනව..ඒත් මගෙ අතේ මේ වෙලාවෙ එහෙමට සල්ලියක් නෑ..වයිෆ් ලඟනම් සල්ලි තියනව..ඒත් මට වයිෆ්ගෙං ඉල්ලන්ටත් බෑ.." බීඑම් මහත්තය එහෙම කියල දිග සුසුමක් හෙලුව..

බීඑම් මහත්තයගෙ වයිෆ් ඔය මැද මහනුවර පැත්තෙ වළව්වක කුමාරිහාමි කෙනෙක්..අළුගොල්ල වලව්වද ඔය මොකක්ද එකක්..අපේ බීඑම් මහත්තය ගෙ එහෙම වළව් සීන් එකක් නැති හින්ද ගෙදර වැඩ කටයුතු කෙරෙනවයි කියන්නෙ වයිෆ්ගෙ හිතුමනාපෙට..ඔව්ව ඉතිං අපිට ආරංචි වෙනවනෙ..හැමතැනම එහෙමනෙ..මේ ලෝකෙ ඉතිං රහස් කියල දෙයක් නෑනෙ..

අදත් ඉතිං ඔන්න  මතු සම්බන්ධයි ඈ...



10 comments:

  1. සහසුද්දෙන්ම විස්තර ටික දැනගන්ට
    ආසයි තමා එක දිගටම කියවන්ට
    ඒත් මක් කොරන්ටද - ඉවසමි අදට
    රවිගෙ නැටුම් රවීම වයනා පදට!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි නිමල්, හැමදාම පළවෙනි කමෙන්ට් එක..

      ආදරෙයි.. මේ ආදරෙයි කියන්නෙ අර ඔබතුමා ගෝටා දිනපු වෙලාවෙ තාප්පවල චිත්‍ර ඇඳපු කොල්ලන්ට මාලු බනිස් අරගෙන ගිහිල්ල වෙච්චි අලකලංචිය වගෙ එකක් නෙවෙයි ඔන්න ඈ..ප්ලීස් ඩෝන්ට් මිසන්ඩර්ස්කර්ට් :) පියෝලි බ්‍රදර්ලි ලව් ඈ...

      Delete
    2. ඔන්න ඔන්න ඉතිං රවිත් ඕනි නැති එව්වා ඇදල ගන්නවා.
      ඉඹුල් කිරිබත්- මාළු පාන්- ගල් බෝල වගේ මිෂන්ස් නෙවෙයි, වෙනම වර්ගයේ එකක් කෙරුවා ගිය මාස දෙකේදි.
      ඒ ගැන බ්ලොගයටත් ලිව්වා 'අම්මාට පිං ඇත' කියලා.

      Delete
  2. මොනවටද මනුස්සය පරණ පෝස්ට් වල තියෙන ඒව කොපි පේස්ට් කරන්නෙ ආයෙ.

    http://ranrandil.blogspot.com/2024/09/700.html

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      හරි හරි බං මෙව්ව මිස් වෙච්චි එවුනුත් ඉන්නවනෙ..උංටයි දැම්මෙ.. :)

      Delete
  3. චැහ්... ඔහේලට තිබ්බෙ මහවැලියෙ නම බේරගන්න ඕන හින්ද ඔය තියෙන ඩෝසරයක් හරි විකුණල දාල ඔය මාළු ටැංකිය හදල දාන්න.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      හදල දුන්න බං හදල දුන්න..ඉඳහංකො ඒ විස්තරේ ඊලඟට... :)

      Delete
  4. ඉස්මණට ලියමු ඉතුරු ටික! හැබැයි ඉතින් මෙව්වාට ඉංග්‍රීසියෙන් සබ්ටොපික් එක ගහන්නත් අවස්‍යයි. එතකොට තමා අර නිදහස් සිතුවිලි කියවද්දි එන නොස්ටැල්ජික් මෙව්ව එක කම්ප්ලීට් වෙන්නෙ!

    ReplyDelete
  5. මදැයි ආපහු ලියන්න පටං ගත්තා....

    රවි අයියා තරං හොඳට වෙන කාටවත් පඳුරු තලන්න බෑ, මයේ හිතේ.....

    ReplyDelete
  6. පඳුරු තල තල හරි කතාව ලියනවා නේ . මේ උන්දැ ගේ හැටියට ඒත් මදැයි

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...