ඒ දෙදහස් දහයෙ අවුරුද්ද. මාසෙ ඔක්තෝබර් කියල හිතාගන්ට පුලුවන් කාරණා දෙකක් හින්දා.
පළවෙනි කාරණය - ශීත කාලෙ හරියටම පටන්ගන්නෙ ඔක්තෝබර්වල. යාන්තමට කහ පාටට වැටෙන හිරු එළියෙං හරියකට ඇඳුමක් වේල ගන්ට බෑ අපේ ගේ පිටිපස්සෙ බැඳල තිබ්බ රෙදි වැලේ වනල නම්. ඒ නිසා වහල උඩට ( මෙහෙ සීයට අනූ නවයි දශම නවයයි නවයක්ම ගෙවල්වල වහල කොන්ක්‍රීට් ස්ලැබ් එකක්...) Clothes Dryer එකක් අරගෙන ගිහිල්ල තමයි අපි තෙත ඇඳුම් වේලා ගන්නෙ. ඔන්න ඔහොම වේලෙන්ට දාපු කලිසමකුයි ෂර්ට් වගේකුයි අරං එන්ට වහළට නැඟපු වෙලාවක තමයි මම මේ සිද්ධිය දැක්කෙ...
දෙවෙනි කාරණය - ඒ දවස්වල මම බ්ලොග් ලියන්න පටන් අරං නෑ. මේ සිද්ධිය දැකල ඇති වෙච්චි හැඟීම් අලලලා මම ලිව්ව කෙටි කතාවක් ඒ දවස්වලම ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවියෙ පල උනා.දෙදාස් දහයෙ නොවැම්බර් මාසෙ මම බ්ලොග් ලියන්න පටන් ගත් නිසා මේ සිද්ධිය උනේ අනිවාර්යයෙන්ම ඔක්තෝබර් මාසෙ වෙන්නම ඕන. දිනේ හරියටම හොයාගන්ට ක්‍රමයක් නැහැ ටබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය දැන් අක්‍රිය හින්ද...
අපෙ අපාට්මන්ට් එක ඉස්සරහම පාරෙන් එහා පැත්තෙ තිබ්බෙ තට්ටු හතරක තවත් අපාර්ට්මන්ට් බ්ලොක් එකක්. ඒකෙ තුන්වෙනි තට්ටුව හරියටම අපෙ බ්ලොක් එකේ රූෆ් ටොප් එකට එක ලෙවල්.
වෙලාව ඒ වෙනකොට හවස පහමාර විතර වෙන්න ඇති.ශීත කාලෙ කලින්ම කළුවර වැටෙන නිසා වීදි ලාම්පු එහෙමත් දල්වල තිබ්බ මට මතකයි.ඉස්සරහ එපාර්ට්මන්ට් එකේ තුන්වෙනි තට්ටුවෙ ජනේලයක් එක්කො ඇරල තිබ්බ. එහෙම නැත්තං ජනේලෙ වහල තිරේ ඇරල තිබ්බ. ශීත කාලෙ නිසා බොහෝවිට ජනේලෙ වහල තිරේ ඇරලයි තියෙන්න ඇත්තෙ. ඒ මොක උනත් කාමරේ විදුලි පහන දල්වල තිබුනු නිසා ඇතුල බොහොම පැහැදිලිව මට පෙනුන.
පිලිපීන් වෙන්න ඕන බොහෝ විට, ඔව් ඒ පෙනුම තමයි ඒ කෙල්ලො දෙන්නගෙ තිබ්බෙ. අපේ අපාර්ට්මන්ට බ්ලොක් එක කිට්ටුවම තිබ්බ සුපර් මාකට් එකේදි මට බොහෝ විට ඔය කෙල්ලො දෙන්න හම්බවෙල තියනව. යන්තමට හිනාවෙලා හෙලෝ කියනවට වඩා දැනහැඳුනුමක් අපි අතරෙ තිබ්බෙ නෑ. ඒත් මම විශේෂයෙන්ම දැකපු කාරණයක්, ඒ දෙන්නා හැම වෙලේම අත් අල්ලගෙන හිටියෙ. හරියට පෙම්වතුන් නැත්නම් විවාහක යුවලක් වගෙ.මට ඉතිං ඇත්තම කියනව නම් ඕකෙ මොකවත් මහ අමුත්තක් තිබ්බෙ නෑ. ඔය ගැන කියවල චිත්‍රපට බලල ඒ වගේම පෞද්ගලිකව අත්දැකීම් ලබලත් තිබුණ මම ඒ වෙනකොට.
කාමරේ ඇතුලෙ මේ කෙල්ලො දෙන්න සිප වැලඳ ගන්නවයි මම දැක්කෙ.අතට ගත්ත කමිස කලිසම් ටික ප්ලාස්ටික් බාස්කට් එකට දාන්ට යනකොටයි මම ඔය දර්ශනය දැක්කෙ.එහෙම්මම ඇඳුම් ටිකත් අතේ තියාගෙන මම ගල් ගැහිල වගෙ ඒ දිහා බලා හිටිය තත්පර තිහක් විතර වාගෙ.ඒ දෙන්නට ගානක් නෑ. එයාලගෙ ලෝකෙ එයාල. එක පාරට මට මතක් උනා එහෙම බලා ඉන්න එක හරි නැහැ නේද කියල.ටිකක් විතර තදට කළුවර පැතිරිලා තිබ්බ නිසා බොහෝ විට ජනේලෙ පැත්ත හැරිල බැලුව උනත් ඒ දෙන්න මාව දකින එකක් නැහැ.ඒත් එහෙම නොදැක්ක උනත් බලාඉන්න එක කොහොමත් හරි නැහැනෙ. මම ආපහු හැරිල අඳුම් ටිකත් අරගෙන ආව පල්ලෙහාට.
ඒ කිට්ටුවම ආපු සති අන්තයෙ සුපුරුදු පරිදි අර යුවතියන් දෙන්න මට හම්බ උනා, සුපර් මාකට් එකේදි. වහල උඩදි අහම්බෙන් උනත් මම දුටුව දර්ශනය මගෙ මතකයෙ නොමැකෙන විදිහට රැඳිල තිබුනු නිසා ඔවුන්ට මුහුණ දෙන්නට අපහසුතාවයක් වගෙ ගතියක් මට දැනුනා ඇත්තටම. සුළු වෙලාවකට හරි උනත් මම බලාගෙන ඉන්නව ඔවුන් දැක්කද කියන පුංචි සැකයත් ඊට තව හේතුවක්. ඒත් බයවෙන්න දෙයක් තිබුනෙ නෑ, ඒ දෙන්න වෙනදා වගේම මා එක්ක හෙලෝ කියල හිනාවෙලා අත අල්ලගෙන එලවළු, පලතුරු ගොඩ ගහල තිබුණු රාක්ක දෙපේලිය අතරින් හෙමිහිට ඇවිදගෙන ගියා. එහෙම යන අතරෙ වරින්වර ඔවුන් එකිනෙකා දිහා බලා හිටියෙ දිලිසෙන ඇස් වලින්. ආදරය කියන එක ආදරයමයි. සෙනෙහස කියන්නෙ සෙනෙහසමයි. මොන තරාතිරමක, මොන ජාතියක, මොන කුලයක, මොන ආගමක, මොන වයසක දෙදෙනෙක් අතර ඇති උනත් ආදරේ කියන්නෙ ආදරේම තමයි.ඒ වගේම තමයි ආදරේට ලිංග භේදය හරියටම කිව්වොත් ලිංග භේදයක් නැතිකම උනත් බල පාන්නෙ නෑ.එදා සුපර් මාකට් එකේදි මගේ හිතේ ඇතිවුනේ ඇත්තටම පසුතැවීමක් වගෙ හැඟීමක්. නොදැනුවත්වම හරි ඒ දෙන්නගෙ ආලිංගනය දිහා බලා ඉඳල මම වරදක් කලා කියලයි මට ඒ වෙලාවෙ හිතුනෙ.
බොහොම කාලෙකට ඉස්සරවෙලා මගෙ ස්ත්‍රි සමලිංගිකතාව ගැන අත්දැකීමකුත් තිබුන. ඒ ගැන මතකය සහ වහල මත සිට දුටු දර්ශනය දෙකම මගෙ හිතේ කැලතිල අන්තිමට එලියට ආවෙ කෙටි කතාවක් හැටියට.
වියුණු සටහන්වලට ලිව්ව ටීකා හැරෙන්නට මගේ නිර්මාණයක් හැටියට වියුණු ලෝකයෙ මුලින්ම පලවුනේ ඒ කෙටි කතාව..පූර්ව නිශ්චිත සමුගැනීමක් - A Pre-determined Farewell - පලවුනේ වර්තමානයේ අක්‍රියව පවත්නා ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවියේ - ටැබූ සබ්ජෙක්ට්ස් - සාමාන්‍යයෙන් නොකියන කතා...
හරි හදිස්සියෙම මේ පරණ කේස් මතක් උනේ මොකද දන්නවද? පහුගිය සඳුදා ( අප්‍රේල් 22 ) මිහිකත දිනය කියල දන්නව නේද?...මම මෙහෙ නැවතිල ඉන්නෙ තව යාලුවෙක් එක්ක. අර තාරාවෙක් බේක් කලේ..අන්න ඒ අපි දෙන්න තමයි...ඉතිං මේ යාලුව ඉන්නෙ එයාගෙ බිරිඳ සහ දරුවන් එක්ක. පොඩි එවුං දෙන්නෙක් ඉන්නව. මෙහෙ ඉස්කෝලෙ යනව. ලොක්ක ඇවිල්ල තුන වසරෙ. මිහිකත දිනයට පොඩි විස්තරයක් ලියාගෙන එන්න කිව්වය කියල ඉස්කෝලෙං පහුගිය සුමානෙ මට වදේ මොනව හරි ලියල දෙන්නෙයි කියල. ඒ පාර ඉතිං බැලුව එහාට මෙහාට සර්ච් පාරක් දාල. අර්ත් කියල මුලින්ම ගැහුවම අර්ත් ඩේ එකට අමතරව ඔන්න ආපි අර්ත් ෆිල්ම් එක ගැනත් විස්තරයක්. ඔන්න ආයෙම මතක මං පෙත ඔස්සේ අතීතයට.ඩවුන් මෙමරි ලේන්...දීපා මේහ්තාගෙ තුන් ඈඳුතු සිතුවම් පට ( Elements Trilogy ) ...Fire, Earth & Water....
දන්නවානෙ මගෙ ලිවීමේ ශෛලිය කොහොමද කියල...ගොමු තැලීම ශාස්ත්‍රීය කලාවක් මට්ටමට ඉහල නැංවීම වනාහී මගේ එකම අරමුණයි. කිසිසේත්ම මාගේ මේ ව්‍යායාමය රජසැප පිණිස නොවන්නේය. හුදෙක් රට දැය සමය දියුණුව පිණිසමය.දුටුගැමුණු රජ්ජුරුවො ඔන්න ඔහොම කිව්වය කියල දන්නව නේද? එතුමා එහෙම කිව්වෙ ජිම් එකේ ඉඳල එලියට බහිද්දිය කියලත් දන්නව නේද? ආන්න ඒ වගෙ මගෙ මේ ව්‍යායාමයද හුදෙක් ගොමු තැලීමේ කලාවෙහි අභිවෘද්ධිය උදෙසාමය.
හරි..දැනට ඒ ඇති...යමු කෙලින්ම 1977 ට. ආන්න......හැත්තෑවේ දශකය..අපේ කාලෙ.......70-77 සමඟි පෙරමුණු ආණ්ඩුව යටතෙ දේශීය චිත්‍රපට පෙන්වීම වගේම විදෙස් චිත්‍රපට ගෙන්වීමෙත් ඒකාධිකාරිය තිබ්බෙ රාජ්‍ය චිත්‍රපට සංස්ථාවට. මහා කළමනාකාර විදිහට හිටියෙ නිහාල්සිංහ මහත්මය. ඩී. බී. නිහාල්සිංහ...වැලිකතර චිත්‍රපටයේ අධ්‍යක්ෂ...
ඔය දවස්වල රාජ්‍ය චිත්‍රපට සංස්ථාවෙන් ක්‍රියාත්මක කලා විදේශීය විශේෂයෙන් ඉන්දීය සම්භාව්‍ය චිත්‍රපට ආනයනය කරල ලංකාවෙ පෙන්වන වැඩ සටහනක්.සමාන්තර සිනමාව ( Parallel Cinema ) කියන වචනෙ මුලින්ම 1971 වගෙ නිර්මානය උනෙත් මේ යථාර්ථවාදී චිත්‍රපට කුලකය හඳුන්වන්න.නව රැල්ලේ සිනමාව කියල හැඳින්නුවෙත් මේ වර්ගයේ මිහිමත පයගසා නිර්මානය වූ ( Down to Earth Films ) චිත්‍රපටම තමයි.
ඊට වසර කීපයකට පස් සෙ නිර්මාණය වුනු හංස විලක්, පළඟැටියෝ, දඩයම, කැඩපතක ඡායා වගෙ චිත්‍රපට වර්ගීකරනය උනෙත් මේ යටතෙ. 1979 විතර සම්භාව්‍ය පස්වන මණ්ඩලය කියල වෙනම චිත්‍රපට ශාලා රාශියක් වෙන් කෙරුනා ප්‍රදර්ශන පෝලිමේ නොසිට ඉක්මනින් මේ ගණයෙ චිත්‍රපට ප්‍රදර්ශනය කරන්ට.
හරි..ඒ ඔක්කොම මාතෘකාවෙන් පිට.ආපහු එමුකො කියන්ට ගිය එකට.ඒ දවස්වල අපි හිටියෙ අනුරාධපුරේ.ආණ්ඩුවෙන් ගෙන්නල ඒ දවස්වල බයිසිකල් ( රෝද දෙකේ ) දුන්න සහන මිලකට රජයේ සේවකයින්ට. හේතුවක් නම් මට මතක නෑ ඒත් ඒ බයිසිකල් ගන්ට ලංගම ඩිපෝවට තමයි යන්ට උනේ..ආර්. එම් . අයි ( Road Master of India ) අප්පච්චි මටත් සයිකලයක් අරං දුන්න. අනුරාධපුරේ පාරවල් ආය කියල වැඩක් නෑ. සැලසුම් කල නගරයක් නෙව. ලංකාවෙ පලවෙනි සැලසුම් කල නගරය කියලයි කියන්නෙ. පාරවල් බොහොම පළලයි.තනි කෙලින්... ඉද්ද ගැහුව වගෙ.ඒ එක්කම තනිකර තැන්න. එහෙ කොහෙද ආය කඳු....
මයෙ වැඩේ ඉතිං දවස තිස්සෙම ඔය පාරක් පාරක් ගානෙ බයිසිකලේ පදින එක.ඔහොම ගියා එක පාරක් මම නුවර වැවේ සොරොව්ව ලඟට. ගොද ගොද ගෑවිල්ලෙ හොරොව්වෙං පිටවෙල වතුර ගලනව ඇළ දිගේ. එතනම වැව් බැම්මෙ බෑවුමේ තිබ්බ චිත්‍රපට ගැන දැන්වීම් අලෝපු පුවරුවක්.සිත්තම්පලම් කියල ඒ දවස්වල තිබ්බ අනුරාධපුරේ ෆිල්ම් හෝල් එකක්.නමෙන්ම තේරෙනවනෙ. අයිතිය දෙමල ව්‍යාපාරිකයෙකුට. ඒ හින්දම 1983 කළු ජූලිය වෙලාවෙ ඒ හෝල් එක ගිණි තියල විනාශ කලා.
සිත්තම්පලම් හෝල් එකේ පෙන්නනවය කියල අර දැන්වීම් පුවරුවෙ දාල තිබ්බ " අංකූර් " කියල චිත්‍රපටයක් හින්දි කියල වරහන් ඇතුලෙ ලියලත් තිබ්බ චුට්ටි අකුරෙං. නළු නිලියො ගැන තිබ්බ විස්තරෙං මට මතක ශබානා ආස්මි ගැන විතරයි. එදා ඒ නමත් මතක හිටියෙ වෙන මොකවත් නෙවෙයි ආස්මි කියන්නෙ පොඩි කාලෙ මගෙ ආසම කෑමක්. අන්න ඒ නිසා...
ශබානා |
චිත්‍රපටයෙ කතාව මට මතක හිටියෙ නම් නෑ. ඒත් ආපහු පාරක් මේ ලඟදි මතක් වෙලා යූ ටුබ් එකේ මම අංකූර් බැලුව. කාලෙකට ඉස්සර අවුරුදු තිස්පහකට හතළිහකට වගෙ කලින් බලපු චිත්‍රපට ආයෙම බලන එක හරිම චමත්කාර ජනක අත්දැකීමක්.එහෙම මේ ළඟදි මම ආයෙම බලපු චිත්‍රපට කීපයක් තමයි Reincarnation of Peter Proud, Blue Lagoon, High Plains Drifter, The Man with No Name...
ශබානා ආස්zමි.....ඊට පස් සෙ මට හමුවෙන්නෙ මේ බොහොම මෑතකදි...1998 කාලෙදි විතර දීපා මේහ්තාගෙ ෆයර් චිත්‍රපටයෙන්.
කාන්තා සමලිංගිකත්වය ගැන බොහොම විවෘතව කතා කරපු ෆයර් චිත්‍රපටයේ ශබානා සමඟ ප්‍රධාන චරිතය රඟ පාන්නෙ නන්දිතා දාස්.....
නන්දිතා |
රඟපෑම කියන්නෙ මොකක්ද?....අපි ඔය ගෙදර එහෙ මෙහෙ යනව, හිනා වෙනව, තේ බොනව, දවල් උනාම බත් කනව. රණ්ඩු වෙනව...කතා නොකර ඉන්නව..ආයෙම යාලු වෙනව....ඒ එහෙම සාමාන්‍ය නෝමල් විදිහට හැසිරෙන විදිහටම කැමරාවක් ඉස්සරහ හැසිරුනහම , එහෙම නිරූපනයක් කලාම ඒක රඟපෑමක් වෙනවද? එහෙමනම් අපෙ ගෙදර සාලෙ චිත්‍රපට කැමරාවක් හයි කරල අපි ගෙදර හැසිරෙන විදිහ රූගත කලොත් ඒක කලා නිර්මානයක්ද?
ස්වභාවික චරිත නිරූපණයක් කියන්නෙ ඒකද?...එහෙමත් නැත්නම් සත්‍ය ජීවිතයේ අපි යම් සිදුවීමකට මුහුණ දෙනවිට හැසිරෙන හැඟීම් ප්‍රකාශ කරන විදිහයි චිත්‍රපටයක චරිතයක් නිරූපණය කරද්දි හැසිරෙන්න ඕන විදිහයි..කොටින්ම රඟ පාද්දි හැසිරෙන්න ඕන විදිහයි අතර වෙනසක් තියනවද? සාර්ථක චරිත නිරූපණයක් කියන්නෙ අධි රඟපෑමයි නිකම් ඔහෙ ගෙදර ඉන්නව වගෙ හැසිරෙන එකයි අතරෙ මැදක වගෙ තියෙන එකක්ද?
මේ ප්‍රශ්නවලට උත්තර මොනව උනත් කෘතහස්ත නළුවෙක් නිළියක් කියන්නෙ රංගනයේ මේ අර්ථ නිරූපණය මනාව වටහා ගත්තු ඒ වගේම ඒ සීමාවන් තුල හැසිරෙන්න අනවරතයෙන් වග බලාගන්නා ශිල්පියෙක් කියලයි මට හිතෙන්නෙ. චරිතාංග නළුවෙකු / නිළියකගෙයි මේ නිකම් දෙකයි පනහෙ නළුවකු / නිළියක ගෙයි වෙනස අන්න ඒකයි.
ශබානා, නන්දිතා...සහ ලීසා කියන්නෙ අන්න ඒ ජාතියෙ නිළියො.ලංකාවෙ ඔය කියන ජාතියෙ නිළියො ඉන්නෙ දෙන්නයි මම දන්න විදිහට..ස්වර්ණා සහ අනෝජා....
හරි ...ලීසා රේ....ඇය රඟපෑවෙ වෝටර් චිත්‍රපටයෙ..මතකයි නේද?...අපේ අර පුංචි කෙල්ල ජාත්‍යන්තර ඇගයීමට ලක් උනේ..සරලා කාරියවසම්...
ලීසා |
මේ නිළියො... නිළියො කියනවට වඩා මම කැමති අපූර්ව ස්ත්‍රීන් කියල ඔවුන් හඳුන්වන්න....මේ අපූර්ව ස්ත්‍රීන් තුන් දෙනාව තමන්ගෙ රඟපෑමේ යම් නිසර්ග කුසලතාවක්,ආවේනික දක්ෂතාවයක් හැකියාවක් තිබුණනම් ඒ උපයෝගීකරගෙන ලබාගත් ජනප්‍රියතාවය පිළිගැනීම සහ ඒ හරහා එන සිවිල් බලය ප්‍රයෝජනයට ගත්තෙ පොදු මහජන සුභසිද්ධිය වෙනුවෙන් යම් පුරෝගාමී කාර්ය භාරයක් ඉටු කිරීමට....
ඇත්තම කියනව නම් මේ අපූර්ව ස්ත්‍රීන් තමන් රඟ දැක්වූ භූමිකාවලින් ඔබ්බට ගිහිල්ල ඒ සිවිල් බලෙන් තම විස්වාස කරන අරමුණු වෙනුවෙන් කැප වීම ජනකාන්ත වීම සමග තමන් ඉහලට ඔසවා තබන මහා සමාජයට යමක් ආපසු දීම කියන එක අපේ රටේ ඉන්න දේසපාලනේට කඩේ යන ජනකාන්ත නිලියොන්ට හොඳ පාඩමක් කියල නම් එකහෙලාම කියන්න පුලුවන් කිසිම බයක් හැකක් නැතුව.
ඔවුන්ගේ ජීවන භූමිකාවන් සැසඳුවොත් සමානතා වගේම අසමානතාත් දකින්න පුළුවන්. මුලින්ම මේ තිදෙනාම ඉන්දීය සම්භවයක් සහිත වීම. ඒ වගේම දීපා මෙහ්තාගේ චිත්‍රපටවල දැඩි මතභේදාත්මක චරිත නිරූපනය කිරීම..ඒ සමානතා…
ඊලඟට අසමානතා..ශබානා නිලියෙක් වෙන්නෙ අඩු වයසින් . ලීසා නිරූපන ශිල්පිනියක් විදිහටයි මුලින්ම වැඩ කරන්නේ . නන්දිතා කාලයක්ම සමාජ සේවා ආයතන වල වීදි දරුවන් සහ අන්ත දරිද්‍රතාවයෙන් පෙලෙන ගැහැණුන් එක්ක වැඩ කරලා වීදී නාට්‍ය වල රඟ පාලා අවුරුදු තියේදි විතර නිලියෙක් වෙන්නේ . ඔවුන්ගේ ආරම්භයන් විවිධයි .එයාලගේ නාරි ලාලිත්‍ය පිළිබඳව සැලකුවහොත් ශබානාගෙ ලාලිත්‍යය වගේම ඊට යටින් තියෙන දැඩි අනම්‍ය සෘජු ගැහැණිය , ලීසා මලක් වගේ මෙලෙක් , නන්දිතා ඇවිල්ලා සාම්ප්‍රදායික බොලිවූඩ් නිලියකගේ ලාලිත්‍ය ප්‍රමිතියෙන් ඔබ්බට ගිය වරෙක හිනා වෙන වරෙක කෝපවෙන හා එවිටම හඬා වැටෙන්නට සමත් බොහොම තියුනු අභිනයන් සහිත ගැහැණියක්...
තමන්ගෙ චරිත තුල ගැබ්වුනු මේ නිසර්ග ගති ලක්ෂණ අඩු වැඩි වශයෙන් ප්‍රයෝජනයට ගෙන තමන් පණදෙන භුමිකාව උත්තරීතර කොට ගැන්මෙහි මේ ස්ත්‍රීන් තිදෙනා සතු ප්‍රශස්ථ හැකියාව...
ශබානා, නන්දිතා සහ ලීසා....වයස බැලුවොත් මෙහෙමයි..ශබානාට 62 යි..නන්දිතා ඇවිල්ල 44 යි ලීසාට 41 යි.
A woman does not achieve her genuine magnificence until her 40th year. By that time a woman should have found her purpose of life, her providence and come to terms with her destiny. With that realization, enlightenment and contentedness comes an inner peace which is unique to every woman but makes them glow with a radiance that is breath taking in its vivacity.
Life begins at forty, You think someone said that due to mouth itching?....not me..I don't think so at all,
Well those of you ..not yet 40…,,be happy ..time of your life is yet ahead...,..and those beyond 40, you should definitely be glowing now ……..aren't you?
ශබානා ඒඩ්ස් රෝගීන් වෙනුවෙන්, ළමා අපචාර වලට විරුද්ධව, ආගමික අන්තවාදයට සහ ජාති වාදයට විරුද්ධව, මුඩුක්කු පැල්පත් වාසීන් වෙනුවෙන් බොහෝසේ කටයුතු කරපු දැනටත් කටයුතු කරන ක්‍රියාකාරිනියක්.
නන්දිතා ස්ත්‍රී සහ ළමා අයිතීන් වෙනුවෙන් ඉන්දියාව පුරා සංචාරය කරමින් වැඩමුළු සහ දේශන පවත්වන අතර ඒ වෙනුවෙන් කෙරෙන ක්‍රියාකාරකම් වල පුරෝගාමී කාර්යයක් ඉටු කරන්නියක්. ඇය ඉන්දීය ළමා චිත්‍රපට ආයතනයේ සභාපතිනියයි.
ලීසා රේ - ඇය කැනේඩියන්. පියා බෙංගාලි සහ මව පෝලන්ත....2009 වසරේ ඇයට දුර්ලභ ගණයේ පිළිකාවක් ඇතැයි සොයාගනු ලැබුවා. ඒ රුධිරයේ සුදු රුධිරාණු විනාශ කරන පිළිකා විශේෂයක්.එහෙත් යෂ්ටි සෛල ප්‍රතිකාර වලින් පසුව ඇය පූර්ණ සුවය ලැබූ බව ප්‍රකාශ වුනා. යෂ්ටි සෛල ප්‍රතිකාර පිළිබඳ වර්තමානයේ ලොව පුරා පවතිනුයේ අවිනිශ්චිතතාවයක්. ඒ ප්‍රතිකාර ක්‍රමය මානුෂීය ආචාර ධර්මයන්ට කොතරම් එකඟද කියන ගැටළුව විසඳාගැන්මට නොහැකිව විද්‍යාඥයින් සමාජ ක්‍රියාකාරීන් අතරෙ පවතින්නෙ මත ගැටුමක්.
ජීවිතේ කියන එක මහ අමුතුයි. අපි අතිං සටහන් ලියවෙන්නෙත් කලින් හිතල නෙවෙයි හුඟක් වෙලාවට. මට හිතෙන්නෙ එහෙම අනපේක්ෂිතව ලියැවුණු සටහන් වල තියෙන අමුතු ගතියක්...හෘදයාංගම බවක්...අපූර්ව ස්ත්‍රීන් තිදෙනෙකු පිළිබඳව අහම්බෙන් ලියැවුණු මේ සටහනත් ඒ වගේ එකක්ය කියලයි මට හිතෙන්නෙ...