ජීවිත කාලයක් කියන්නෙ කොච්චර දිග කාලයක්ද?...ජීවිත කාලයක් මුලුල්ලෙ අපි කොච්චර නම් පිරිමි කොච්චර නම් ගැහැණු එක්ක ගනුදෙනු කරන්න ඇතිද?....ජීවිතේ කියන්නෙ දිග ගමනක් කියල කවුරු හරි බටහිර දර්ශන වාදියෙක් කියල තිබුණයි කියල මම අහල තිබුණ.මට හරියටම වචන මතක නෑ..ඒත් අදහස මෙන්න මේ වගෙ දෙයක්..අපේ ජීවිතය කියන්නෙ දිග ගමනක්...ඒ යන අතරමඟ නොයෙක් ගැහැණු , පිරිමි හම්බ වෙනව..සමහරු අපි නොසිතන විදිහට අපෙ ජීවිතයට ඇතුල් වෙනව...ඒත් අපි එක්ක රැඳිල ඉන්නෙ කීයෙන් කී දෙනාද? අතක ඇඟිලි ගණනටත් අඩු ප්‍රමාණයක්..
එහෙම රැඳිල ඉන්න අයට අමතරව අඩු ගණනෙ කාලයක් ගිහාම, අවුරුදු විසි පහක් තිහක් විතර කියමුකො... අඩු ගානෙ මතක තියෙන්නෙවත් කීයෙන් කීදෙනෙක් ගැනද?...එක අතකට එහෙම මතක නැති වෙල යන එකත් හොඳයි කියලත් මට වෙලාවකට හිතෙනව. ඔය අපෙ ජීවිතේට කාලෙන් කාලෙට කිට්ටුවෙන හදවතට සමීප වෙන, හැමෝම ගැන මතකය හැමදාම නොමැකී තිබුනොත් ඒක මහම බරක් වෙන්න පුළුවන්. ජීවිතේ මහ කළු ගලක් කර උඩ තියාගෙන කන්දක් නගිනව වගෙ කරගන්න ඕන නැහැනෙ. ඒ නිසා එහෙම ඒ සබඳතා අමතක වෙල යන එක හොඳයි..ඒත් හදවත් උයන මතුයෙහි පිය සටහන් තබා යන සොඳුරු මතක සටහන් එහෙම ලේසියෙන් අමතක කරන්න බැහැ. සදාකාලයටම ඒ මතක අපි එක්කම තියේවි.
අපෙ අප්පච්චිගෙ ගම මාතර....අප්පච්චිගෙ අම්ම අපෙ ආතම්ම අසනීපෙන් කියල එක පාරක් අම්ම මට ලියුමක් එවල තිබ්බ. මම එතකොට අර කැළේ මැද වැඩ කරන කාලෙ. අවුරුදු විසිපහකටත් එහා තරම. මාසෙකට වරක් මම ගෙදර ආවෙ දවස් දෙක තුනක නිවාඩුවක් දාල.
" පුතා..මේ පාර ගෙදර එනකොට සතියක්වත් නිවාඩුවක් දාල එන්න...මාතර ගිහිල්ල ආවොත් හොඳයි..අප්පච්චිටත් ඔය දුර බැහැර යන්ට සනීපයක් නෑ මේ දවස්වල…" අප්පච්චිට ඒ කාලෙ පපුවෙ හතියක් වගෙ ආව විඩින් විඩේ.
මාතර ගිහිල්ල එහෙම සතියකට පස්සෙ සඳුද දවසක මම ආපහු වැඩට ආවෙ..මෙන්න එනකොට පැමිණීමෙ පොත ක්ලෝස් කරල රතු ඉර ගහල....උදේම නුවරින් ආවත් දවල් 12.30 නැත්නම් 1.00 වගෙ වෙනව කාර්යාලයට එනකොට. සාමාන්‍යයෙන් දුර බැහැර දුෂ්කර සේවයෙ යෙදෙන අපිට සහනයක් හැටියට පැමිණීම අත්සන් කරන පොත ක්ලෝස් කරන්නෙ නෑ..පොත්වල පැමිණීම දැන් වෙනකොට අත්සන් කරනවද කියල නම් මම හරියටම දන්නෙ නෑ..ඒත් අත්සන් කරන අය දන්නව ඇති පොත ක්ලෝස් කරනව කියල කියන්නෙ මොකක්ද කියල උදේ අටට රතු ඉරක් ගහල ඊට යටින් වෙලාව දානව....ඊට පස්සෙ ආපු අයට යටින් පස්සෙ වෙලාවක් තමයි දාන්න වෙන්නෙ. එහෙම දවස් තුනක් මාසෙකට එකතු උනාම වරුවක් නිවාඩු වලින් කැපෙනව. මාසෙකට සැරයක් ගෙදර යන මට ඕක එක දවසක් ඉරට යටින් අත්සන් කලාට කිසිම අවුලක් නෑ. ඒත් කවදාවත් නොවිච්ච වැඩක් නෙව මේක..ඒ දවස්වල අපෙ ඔෆිස් එකේ ලිපිකරුවො කවුරුත් හිටියෙ නෑ. ඒ වැඩත් ඔක්කොම කලේ කා.කා. ස. තැන්පත් ජයතුංග ගොයිය.....
" ජයතුංග......." මම කෑගැහුව.." කවුද බං අද කවදාවත් නැතුව පොත ක්ලෝස් කලේ?..."
" සර්...මම පොත ක්ලෝස් කළේ...ලොකු සර් මට කිව වෙලාවට පොත ක්ලෝස් කරන්නයි කියල..."
ඇහෙන නෑහෙන ගාණට එහෙම කටහඬක් පිටිපස්සෙං ඇහුන. මම කරේ එල්ලං හිටපු ට්‍රැවලිං බෑග් එක එහෙම්ම මේසෙ උඩ තියල ආපහු හැරුන. අපෙ ඔෆිස් එකේ පිටිපස්සෙම පොඩි කාමරයක් තිබ්බ ඔය ෆයිලිං කැබිනට් එහෙම තිබ්බ ඒකෙ. ඒ කාමරේ දොර ගාව හිටගෙන මා දිහා ඇස් විදහගෙන බලාහිටියෙ ලානිල් පාට බ්ලවුස් එකක් සහ තද නිල් පාට ස්කර්ට් එකක් ඇඳගෙන හිටපුකොන්ඩෙ උරහිස තරමට වවල හිටපු ගෑණු ළමයෙක්. ඇය ඒ තරම් සුදු නෑ. ඒත් ඒ දිගටි නහය සහ ලොකු ඇස්. ඒ වෙලාවෙ ඒ ඇස් බයෙන් වගෙ මා දිහා බලාගෙන හිටපු විදිහ මට තාම මතකයි මේ ඊයෙ වෙච්චි දෙයක් වගෙ.
" ආ..නෑ..නෑ...මම මේ……."
මට එක පාරටම මොකවත් කියාගන්ට බැරිඋනා...ඇහිපිය නොහෙලා ඒ ලොකු ඇස් දිහාවෙ එහෙම්මම බලාගෙන හිටපු මට එක පාරට ම තේරුණා එහෙම කන්ට වගෙ බලා ඉන්න එක හරි නැහැ කියල ඊටත් මේ දෙයියනේ කියල අදම දැක්ක කෙල්ලෙක් දිහාවෙ…
" සොරි මම යන්නම්……"එහෙම කියල මම බෑග් එකත් උරෙස්සෙ දාගෙන ඔෆිස් එකෙං එළියට ආව.
ඇඟ පත හෝදගෙන කාල මම එහෙම්මම ඇඳේ ඇලවුනා ඒ දවස්වල නුවර තිබ්බ කේ.වී.ජී ද සිල්වා එකෙන් ගෙනාපු පොතකුත් අරගෙන. දන්නෙම නැතුව මට නින්ද ගිහිල්ල...
" ඒයි උඹ මොකද අර කෙල්ලට පාට් එකක් දැම්මයි කියන්නෙ අද? ..."
විමලෙගෙ කෑගැහිල්ලට මට ඇහැරුනෙ...එක පාරට කොහෙද ඉන්නෙ කියල හිතාගන්ට බැරුව අන්ද මන්ද වෙලා මම ඇඳේ ඉඳගත්තෙ බිම වැටිල තිබ්බ පොත අතට ගන්න ගමන්..විමලෙ උළුවස්සට අතදෙක තියාගෙන කාමරේට නැවිල මා දිහා බලා හිටියෙ හිනා වීගෙන.
" මොන කෙල්ලද බං? "
ඒ කියන්නෙ කවුරු ගැනද කියල ඉත්තේරුවෙන්ම දැනගෙනත් මම ඔහෙ ඕනවට එපාවට වගෙ ඇහුව…
" වසන්ති බං...ගිය සුමානෙ ආපු අලුත් ක්ලාක්....හොඳ අපූරු කෙල්ල බං.."
" හ්ම්ම්..ඉතිං මට මොකද කියන්නෙ?...."
" උඹට මොකවත් කියන්නෙ නෑ මම......." විමලෙ කාමරේට ඇවිල්ල එහා ඇඳේ ඉඳ ගත්ත......
" ඒ කෙල්ල හොඳටම බය වෙලා..උඹ කෑගැහුවයි කියල පොත ක්ලෝස් කරපු එකට.."
" මම දන්නවද බං වසන්තියෙක් ගැන..මම හිතුවෙ අර ජයතුංගය පොත ක්ලෝස් කරලයි කියල...වෙනද කවදාවත් නොකරන දෙයක් හින්දයි මම ඇහුවෙ.."
" මේ ලොක්කගෙ වැඩ දන්නෙ නැද්ද?...මුලින්ම කවුරුහරි වැඩට ආහම වැඩ කෝටියයිනෙ හරියට වැඩ කරන්ට කියල උපදෙස් දෙනවනෙ..එවුනුත් ඉතිං බයටම හරියටම වැඩේ කරනව…"
" මොකද එයා කිව්වෙ?..."
මම ඇහුවෙ නැඟිටල පුටු ඇන්ද උඩ දාල තිබ්බ තුවාය කරේ දා ගන්න ගමං…
" මගෙං ඇහුව උඹ ගැන විස්තර....මම ඉතිං කිව්ව...වසන්ති ගිණිගත්හේනෙ..නුවර ඉඳල වැඩි දුරකුත් නෑ...."
" මේ උඹ එන්ට එපා මට නුවර ඉඳල ගිණිගත්හේනට තියන දුර කියල දෙන්ට…"
මම කාමරෙං එළියට එන ගමං ආපහු හැරිල කියාගෙන ආව…
" හෙහ්, හෙහ්, හෙහ්….."
විමලෙය හිනාවෙන සද්දෙ මට කුස්සියෙං පිටිපස්සෙ තිබ්බ ටැංකිය ගාවට යනකල්ම ඇහුණ.
වසන්ති පහුවදා උදේ මට ඔෆිස් එකේදි හම්බ උනා. කෙල්ල මා දිහා බලල හිනාවෙල බිම බලාගත්ත..
" මේ මොකද අර විමලෙයට බොරු කිව්වෙ?...මම ඔහෙගෙ ඇඟට ගොඩ උනයි කියල….."
මම එයයිගෙ මේසෙට අත්දෙක තියල බර වෙලා කෙලින්ම මූණ දිහාබලාගෙන ඇහුව..ටිකක් විතර සැරට…
" අනේ නෑ මිස්ට වීරසිංග මම එහෙම මොකවත් කිව්වෙ නෑ……"
වසන්ති ඔලුව උස්සල මා දිහා බලල ආයෙම බිම බලාගත්ත.
" හ්ම්ම්ම්..එහෙම නං කමක් නෑ...." මම තොල් හපාගෙන ආපහු හැරිල ආව..
වසන්ති මා ගැන උනන්දුවක් තියන බව මට වැඩිකල් නොගොහින්ම තේරුණා...ඒත් ඒ දවස්වල මම කාලෙක ඉඳල තිබ්බ දීර්ඝ පෙම් පලහිලව්වක පැටලිලා හිටියෙ..ඒ වෙනකොට ඒ කුළුඳුල් ප්‍රේම පුරාණයෙ අවසාන භාගයට ක්‍රමයෙන් ළඟා වෙමින් හිටියෙ. ඒ නිසා වසන්තිගෙ මා කෙරෙහි තිබ්බ උනන්දුවට නිසි පරිදි ප්‍රතිචාර දක්වන්න හැකියාවක්වත් ඒ ගැන පෙළඹවීමක්වත් මගෙ තිබුණෙ නෑ..
" මේ යකෝ පිස්සු කෙලින්න එපා..වසන්ති කියන්නෙ දාහකින් හොයාගන්න බැරි රත්තරං කෙල්ලක්..උඹ මේ අතට ආපු වාසනාවට පයිං ගහන්ට එපා බං…"
විමලෙ මට එහෙම කිව්වෙ එක පාරක් දෙපාරක් නෙවෙයි. ඒත් මම දන්නෙ නෑ. ඒක මගෙ උරුමෙද මගෙ කරුමෙද කියල මට එහෙම දේකට හිත හදාගන්න බැරිඋනා.
" රවී........" අපෙ ඔෆිස් එකේ හැමෝම මට වීරෙ කියල කිව්වත් අපි දෙන්න විතරක් ඉන්න තැන වසන්ති මට කතාකලේ රවී කියලයි…" ඔයාට ලියුමක් තියෙනව……"
අපිට එන ලියුම් දාන්න වෙනම පෙට්ටියක් තිබුනත් මට එන ලියුම් වසන්ති වෙනම තියාගෙන ඉඳල මගෙ අතටම දෙන එක පුරුද්දක් වෙලයි තිබුනෙ. එයයිගෙ හිත රිද්දන්නෙ මොකටද කියල මම ඒ ගැන මොකවත් කියන්ට ගියෙත් නෑ.
ලියුම් කවරෙ අකුරූ වලින්ම මම දැනගත්ත ඒ කාගෙන්ද?... ඒ ලියුමෙන් කියන්නෙ මොකක්ද?... කියල...ඒ තමයි මගෙ ප්‍රථම ප්‍රේමයේ මළගම සනිටුහන් කෙරුණු අවසාන නිවේදනය.
කොහොම හරි මට අද වෙනකල් හිතාගන්ට බෑ වසන්ති කොහොමද ඒ ගැන දැනගත්තෙ කියල ...ඒත් එයා ඒ වෙලාවෙ කතාකරපු ස්වරයෙන් මම අනිවාර්යයෙන් දැනගෙන හිටිය එයා මේ ලියුමෙන් කියවෙන්නෙ මොකක්ද ඒකෙන් කියවෙන අවසාන තීරණය මොකක්ද කියල දැනගෙන හිටියයි කියන එක..මගෙ ඛෙදජනක ප්‍රේම පුරාණෙ විස්තර මම කිව්වෙ නැතිඋනාට ඕන තරං හිටිය කට්ටිය වසන්තිට ඒව කියන්ට.
කළු වළාකුළු මාස ගාණක ඉඳල අහස වහගෙන තිබුණු විදිහට කොයි වෙලාවෙ හරි ගුගුරල වහියි කියල බලාපොරොත්තු උනාට අන්තිමට වැස්සම කොහොම උනත් ඒක දරාගන්ට අමාරුයි.
පහුවදා මොකක් හරි නිවාඩුවක් තිබිල අපෙ සගයො බොහොම දෙනෙක් ගෙවල් වලට ගියා.එදා වැඩි වැඩක් තිබ්බෙත් නැති නිසා මම දවල් ඉඳලම පොඩ්ඩ පොඩ්ඩ ගත්ත..හවස් වෙනකොට හොඳ ගනං.... රෑට කන්නෙත් නැතුව නිදාගත්ත. මහ රෑ මට ඇහැරෙනකොට ඉහිං කණිං දාඩිය දාල...උණ ..වෙව්ලනව කට කට ගෑවිල්ලෙ ..මැලේරියාව...
අපෙ ගෝලය සැමී විතරයි හිටියෙ.." .දෙයියෝ සාක්කි..මහත්තයට හොඳටම උණ නේද?...බෙහෙත් ගෙනෙන්ට යමුද?..." සැමී පහුවදා උදෙම මම නැඟිටින්නෙ නැති නිසා කාමරේට ඇවිත් බලල මගෙ නලලට අත තියල කිව.
" ඕන නෑ බං..මේ මැලේරියාව..අර පෙති දිගටම ගත්තම හරියයි…."
මැලේරියාවට දෙනව පෙති කෝස් එකක් එක දිගට සතියක් ගන්න ඕන...ඒ පෙති බිව්වම මැලේරියාවට හපං...
දවල් වෙනකොට මට සහලවාලා උණ. හීනෙං වගෙ මට දැනුන කවුදෝ සීතල තුවායකින් වගෙ මගෙ මුහුණ බෙල්ල හරිය පිහදානව..අමාරුවෙන් ඇහැ ඇරල බලනකොට වසන්ති......මගෙ මූණ බෙල්ල පපුව ඔක්කොම සීතල වතුරෙන් පිහදාල රෙදිකෑල්ලකට ඕඩිකොලොන් දාල ඒකත් මගෙ නලලෙන් තියල එයා යන්න නැගිට්ටම මම එයයිගෙ අත තද කරල මිරිකුවෙ කියාගන්න බැරි මගෙ ස්තූතිය, කෘතඥතාවය පලකරන්ට...
ඔය සිද්ධියෙන් පස් සෙ වසන්තියි මායි බොහොම කිට්ටු උනා. ආදරය ගැන කෙලින්ම වචනයෙන් කතා නොකල උනත් කෙල්ලගෙ හිතේ මා ගැන ආදරයක් තියෙනවයි කියන එක මට රහසක් උනේ නෑ. ඒත් මගෙ හිතේ වසන්ති ගැන තිබ්බෙ මොන වගෙ හැඟීමක්ද කියන එක අදටත් මට හිතා ගන්න බෑ.
වසන්ති සහ මම අතර නිර්වචනය කල නොහැකි සබඳතාවක් පැවැත්වෙමින් මාස හය හතක් ගෙවුනා.
" රවී, ලබන වීක් එන්ඩ් එකේ අපේ ගෙදර එන්නකො…."
" ඈ..ඒ මොකටද?...."
" වෙන මොකටවත් නෙවෙයි මගෙ උපන් දිනේ..ඒකයි..ලන්ච් එකට එන්න...."
ගම්පොල හිටිය අපෙ ඔෆිස් එකේම මගෙ තව යාළුවෙක්...ප්‍රියන්ත.
" හරි මම එන්නම්කො ප්‍රියන්තත් එක්ක….." තනියම වසන්තිලගෙ ගෙදර යන්ට මට පොඩි පසුබෑමක් වගෙ හිතුන.
" ම්ම්ම්….." වසන්ති ටිකක් වෙල කල්පනා කලා.." හරි කමක් නෑ..ප්‍රියන්තත් එක්කම එන්නකො එහෙනං….."
ඉතිං ප්‍රියන්තයි මායි ගියා වසන්තිලගෙ ගෙදර..ගිණිගත්හේන හැටන් පාරෙ එයාලගෙ ගෙවල්........එයාගෙ අම්මල තාත්තල අපිව බොහොම සාදරෙන් පිළිගත්ත.දවල්ට කාල හවස් වෙල අපි ආපහු ආව.
" මේ..අම්මල මට බල කරනව ඉක්මනට බඳින්ට කියල…."
ගිණිගත්හේන ගමනින් සතියකට විතර පස් සෙ වසන්ති මා එක්ක කිව. ඒ වෙලාවෙ ඔෆිස් එකේ අපි දෙන්න විතරයි හිටියෙ..මම එයාගෙ මුණ බලල ආයෙම බිම බලාගත්ත..
" ඉතිං?..."
" ඉතිං කියන්නෙ මට කියන්න දෙකිං එකක්....."
" ඔයා දන්නවනෙ නංගිල බඳිනකල් මට කසාදයක් ගැන හිතන්න බෑ කියල……"
ඒත් ඇත්තම හේතුව ඒක නෙවෙයි..එහෙම ප්‍රශ්නෙකුත් තිබ්බ තමයි. ඒත් මම එක හෙලා කියාහිටියනම් බඳින්ටම ඕනය කියල අම්මල අප්පච්චිල මොකවත් කියන්නෙ නෑ. මට ඒක සහතිකයි. ඇත්තම හේතුව වසන්ති ගැන මගෙ හිතේ තිබ්බෙ මොන වගේ හැඟීමක්ද කියන එක මටම ප්‍රශ්නයක් වෙලා තිබ්බ එක.වසන්තිට මම ගොඩාක් කැමතියි. ඒත් ජීවිත සහකරුවෙක් අපේ අනාගතය බෙදාගන්න අපි තෝරගන්න කෙනෙක් ගැන ඊට වඩා මොකක් හරි බැඳීමක්, එහෙම කෙනෙක් ගැන ඊට වඩා මොකක් හරි හැඟීමක් තියෙන්න ඕනය කියන එකයි මට හිතුනෙ.මගෙ මනෝ විකාර වෙන්න ඇති සමහරවිට..ඒත් ඉතිං එහෙම තමයි මට හිතුනෙ....
මම ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න එකේ තේරුමක් නැතිය කියල ස්තිරවම දැනගත්තම වසන්ති එයාලගෙ ගෙවල් කිට්ටුව තිබ්බ අපෙ ආයතනයෙම ව්‍යාපෘතියකට ස්ථාන මාරුවක් අරගෙන ගියා.
අන්තිමට සමුගන්න දවසෙ මාලඟට ඇවිල්ල මගෙ අත අල්ල ගත්ත.
" හෙට මම ගෙදර යනව ආයෙ සමහරවිට කවදාවත් ඔයාව දකින එකක් නෑ. මා එක්ක නුවරට යන්න ඔයා එනව නේද?...."
දවල් එකොලහ වගෙ වෙනකොට අපි නුවරට ආව. කතරගම දේවාලෙ ඉස්සරහ ලියෝන්ස් එකෙන් දවල්ට කාල අපි දළඳා වීදිය දිගේ ඉහළට ඇවිදගෙන ගියා. නුවර වැව රවුම දිගේ මල්වතු විහාරෙ දිහාවට ගියේ ක්වීන්ස් එක කිට්ටුව සෙනඟ වැඩි හින්ද. මල්වතු විහාරෙ පහු වෙච්ච ගමන්ම විසාල මාර ගහක් යට තිබ්බ ගල් බංකුවක අපි දෙන්න ඉඳගත්ත.වැව උඩින් කෙලින්ම ඉස්සරහ දළඳා මාළිගාවෙ රන් වියන දිළිසුනෙ ඇස් නිලංකාර කරවමින්...හංසයො දෙන්නෙක් අපි හිටපු කිට්ටුවම ඉවුර අයිනෙ එහාට මෙහාට පීනමින් හිටිය.
" මේ හංසයො ගෙනැල්ල තියෙන්නෙ ජපානෙන්ද කොහෙද?....මම දැක්ක ගිය සතියෙ පත්තරේ තියනව…"
මම වසන්ති දිහා බලල ආයෙම වැවේ පීනන හංසයො දිහා බැලුවා. එයා මම කිව එක නෑහුනා වගෙ වැවේ දියරැළි මත නටන මාළිගාවෙ පිළිබිඹුව දිහාවෙ බලා හිටිය.
අන්තිමට දිග සුසුමක් හෙලල එයා කතා කලා..
" රවී මේ ටික ඔයාට කියන්නම ඕන නිසයි මම කිව්වෙ මා එක්ක අද එන්න කියල……"
" වසන්ති……" මම ඔලුව උස්සල එයා දිහා බැලුව.
" ප්ලීස්..මට කතා කරන්න දෙන්න....මේ බොහෝවිට අපි මුණගැහෙන අන්තිම දවස වෙන්නත් පුළුවන්. ඒ නිසා මට කියන්න තියෙන ටික කියන්න දෙන්න.."
හරි ඔයා කතා කරන්න මම අතින් කිව්ව …
" මම ඔයාට ආදරෙයි කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ . ඒක ඔයා හොඳටම දන්නව. එහෙම කෙලින්ම වචනයෙන් නොකිව්ව උනත් ඒක රහසක් නෙවෙයි. ඒත් ඔයාගෙ හිතේ මා ගැන එහෙම ආදරයක් නෑ කියලත් මම දන්නව.ඔයාගෙ හිතේ තියෙන්නෙ මා ගැන බැඳීමක් වගෙ මොකක්ද එකක් විතරයි..ප්‍රශ්නයක් නෑ..එහෙම තමයි ජීවිතේ හැටි..එහෙම තමයි දෛවයේ හැටි.මට අකමැත්තෙන් හරි මගෙ දෛවය පිළිගන්න වෙනව.මම යන්නම් රවි..නෑ ඔයා එන්න ඕන නෑ...මම තනියම යන්නම්... "
ට්‍රැවලිං බෑග් එකත් කරේ දාගෙන ඈ නැඟිට්ට.අන්තිමටම මා දිහා බලල යන්තමට හිනාවෙලා " Thanks for everything....." කියල කිව්ව. ඊට පස්සෙ වැව් ඉවුර දිගට පෙති කළුගල් අල්ලල හදල තිබ්බ පෙත් මඟ දිගේ ඈතට ඈතට ගිහිල්ල නොපෙනී ගියා. " යන්න එපා වසන්ති..... ඉන්න " කියල කෑගහල කියන්න මට දෙතුන් පාරක්ම හිතුනත් එහෙම කරන්න මට ධෛර්යයක් තිබුනෙ නෑ ඒ වෙලාවෙ.කතන්දරවල චිත්‍රපටවල එහෙම උනාට මගෙ ජීවිතේ ඒ වගෙ කතන්දර චිත්‍රපට දර්ශන බොහොම අඩුයි.
අවසන වසන්තී නම් වූ ඒ අපූර්ව යුවතිය මගේ ජීවිතයෙන් එසේ සමුගෙන ඉවත ගියාය.
ඔබ එදානම් සඳ වගේමැයි,
ඔබ මෙදා හිරුවී මා දවයි,
ඔබ මගේයැයි තව මට සිතෙයි,
ඔබ දමා යන්නට හිත කියයි,
නෙතේ නෑ ආදර හැඟුම්,
කොහි සැඟවුනාදෝ නෙත් කැළුම්,
ඔබේ ලෝකය නොවේ මගෙ ලොව,
මැකී යයි ආදර හැඟුම්,
ඔබ එදානම් සඳ වගේමැයි,
පිටු පුරා පෙම් කවි ලියූ,
සිත ගොළුවුනේ ඇයි රස මැවූ,
නොදන්නෙමි වැරදුනේ කොතැනද?
දෛවයද මේ අප පැතූ,