Friday, December 28, 2018

621. මව් ගුණ සමර - 3 - "මයෙ අම්මේ යමු යංඩ"


"මයෙ අම්මේ යමු යංඩ" - නාගොල්ලාගම ධර්මසිරි බෙනඩික්


මේ ලියන එකත් මට දැන් එපාම වෙලා තියෙන්නෙ…

මම හිතන්නෙ කාලෙන් කාලෙට මිනිස්සුන්ට (මිනිස්සු කිව්වම මම අදහස් කරන්නෙ පිරිමි කියන එක නෙවෙයි හොඳද?...පොදුවේ ගෑණු පිරිමි දෙගොල්ලම...හුමන් කයින්ඩ් කියන එක..කොටින්ම මිනිස් වර්ගයා..හරිනෙ? පැහැදිලියිනෙ? නේ? ගෑණු පිරිමි කිව්වම මතක් උනේ..අපි පොඩි කාලෙ ගෑණු පිරිමි මල් පළතුරු කියල සෙල්ලමක් කලා..ඔහෙලත් කොරයිය? ඒ කීඩෑව කරන්නෙ මෙහෙමයි...කීඩෑව කිව්වම මතක් උනේ..කීඩෑව නං කීඩෑව වංජාව හොඳ නෑ...කවුද දන්නවද එහෙම කිව්වෙ? අපේ පළමුවෙනි විධායක බලැති ජනාධිපති තුමා...වෙන කවුද ඉතිං? ...ඉතිං අර කීඩෑව කරන්නෙ මෙහෙමයි...හතර පස් දෙනෙක් වටවෙලා ඔන්න ඇක්සයිස් පොතක උඩ ඉඳන් පහලට රූල් ගහගෙන එහෙම ලෑස්තිවෙනව. එක්කෙනෙක් ඔන්න අකුරක් කියනව..අපි හිතමු වයන්න කියල. එතකොට කට්ටියම වයන්නෙන් එන ගෑණු නමක් පිරිමි නමක් මලක් සහ පළතුරක් ලියන්න ඕන...උදාහරණයක් වසයෙන් ගත්තොත් ගෑණු නම ඇවිල්ල හිට වසන්තයේ අග හමුවූ සොඳුරිය, පිරිමි නම වාකරේ ඉන්න ජයන්ත මල්ලි..මල වරුසාවට අහුවෙලා බිම වැටුනු අරලියා මල...පලතුර වල් ගොල්ලට වැටිල පෙරලිලා ගිහිල්ල ඇළට වැටුනු දූරියං ගෙඩිය...ඔය ලියන වචන වල අකුරු ගාණටත් වෙනම ළකුණු දෙනව..ඒ හින්ද අපි බලන්නෙ පුලුවන් තරං දිග නම් ලියන්ට......ඕකට දෙන්නෙ කාලය එකේ ඉඳල විස්සට ගණං කරනකල් විතරයි. එක්කෙනෙක් පැත්තක ඉඳල ගණං කරන වැඩේ බාර ගන්නව...) ඔහොම වෙනව..ඒ කියන්නෙ කාලයක් ආසාවෙන් කරපු දෙයක් එපාම වෙලා යනව..මම හිතන්නෙ ඒක සම්පූර්ණ සොබාවිකයි...කාලයක් කරපු දේ එපා වෙලා සම්පූර්ණ වෙනස් දේකට හිත යොමු වෙනව...

හරි..හරි..ඒ ගැන දැන් ඇති...අම්ම ගැන ලියන්න කියල ඉඳගත්තට පහුගිය සටහනේ තනිකර ලියවුනේ වෙන වල්පල්. අර එළිසබෙත් අක්ක ගැනනෙ සීයට අනූනමයක්ම ලියවුනේ. හරි අද තනිකරම අම්ම ගැනම ලියමුකො එහෙනම්...

මම පහුගිය පෝස්ට් එකේ ට්‍රැක් පැනල මහේසිකාවුන්නාන්සෙ ගැන ලිව්වට මට ලියන්ට ඕන උනේ ඒත් මම ඔය මහවැලියෙන් අස්වෙලා ගෙදර ඇවිල්ල හිටපු මාස දෙකේ නැත්නම් තුනේ වෙච්චි දෙයක් ගැන. ඒත් හොඳ වෙලාවට මට ඒ ගැන ලියන්ට බැරිවුනේ..හෙහ්..හෙහ්..දන්නවද ඒ මොකැයි කියල? මට මේ ඊයෙ පෙරෙයිද වගෙ මතක් උනා හදිස්සියෙම අඩේ මම ඒ කතන්දරේ කලින් ලිව්ව නෙවදැයි කියල...පස්සෙ පොඩි සේච් පාරක් දාල බැලින්නං ඇත්තම තමයි මේ තියෙන්නෙ දිළිසි දිළිසි...

පස්සෙ ආයම මට හිතුන එක්කොත් ඒකම ආයම දානවයි කියල..මොකද ඒ වගෙ ආදර්සමත් කතාවක් ආයම කියෙව්වයි කියල ඔබ තමුන්නාන්සෙලට කිසිම පාඩුවක් වෙන්නෙ නෑ..මම ඒකට ගැරන්ටි එකක් දෙනව එකහෙලාම...

ඔන්න එහෙනම් ඒ කතාව...

අසභ්‍ය වදන් ගැන කියද්දි මතක්වෙන තව කතාවක් තියනව. එහෙනං ඔන්නොහෙ ඒකත් කියලම දාමුකොයි නැද්ද? මේ කතාව අර කලින් එක වගෙ දුරාතීතයෙ සිද්ද වෙච්චි එකක් නම් නෙවෙයි. මේ බොහොම මෑතක. හරියටම කිව්වොත් නයින්ටීන් නයින්ටි නයින්..

ඒ මම අර වාරිමාර්ග ව්‍යාපෘතියෙ රස්සාවෙන් අයින්වෙලා ගෙදර ඇවිදින් ගෙවෙන මුල්ම මාසෙ වගෙ. අලුත් රස්සාවක් හම්බවෙනකල් මම පේරාදෙණිය පාරෙ N.I.B.M. එකේ පරිගණක පාඨමාලාවක් කලා. ඒකෙ පංති පැවැත්වුනේ සති අන්තයෙ. ඒ හින්ද සතියෙ දවස්වල මම නිදහස්. ඒ කාලෙ මම හිටියෙ අපේ මහගෙදර. අපේ එතුමීටත් ඔය හදිස්සියෙ නුවරට ස්ථාන මාරුවක් ගන්ට නොහැකිවුන නිසා එවුන්දැ එවුන්දැගෙ මහ ගෙදර ඉඳල ඉස්කෝලෙට ගියා. එවුන්දැ එහෙ. මම මෙහෙ. ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ.

ඔය කාලෙ ගෙදර හිටියෙ අපෙ අම්මයි තව අම්මගෙ අයිය කෙනෙක් බැඳල හිටපු නැන්ද කෙනෙකුයි. ඒ වෙනකොට ඒ මාම නැතිවෙලත් සෑහෙන කලක්. නැන්දගෙ දරුවොත් ලොකු මහත් වෙලා දීග තලග ගිහිල්ල හින්ද අම්මගෙ තනියටත් එක්ක ඒ නැන්ද අපේ ගෙදර ඇවිල්ල හිටිය.

ඔය කාලෙ කවුදෝ අසමජ්ජාතියෙක් රෑට රෑට ටෙලිෆෝන් එකෙන් ගෙදරට කතා කරල අනම් මනම් මනමාල කතා කියන්ට පටන්ගෙන තිබ්බ. ඔහොම ඉන්නව විශේෂයෙන් ඔය Night shift වැඩ කරන අසනීප කාරයො. ඔය මොකක් හරි නම්බර් එකකට කතා කරල ඒ ගෙදර ගෑණු විතරයි ඉන්නෙ එහෙම කියල දැනගත්තම ඔය තමන්ගෙ අසහනේ පිටකරගන්ට බලනව.

"අනේ පුතේ මේක හරි කරදරයක්නෙ. මේ කාලකන්නිය රෑ තිස්සෙ කතා කරනව. ටෙලිෆෝන් එක නොගෙන ඉන්ටත් බෑ කාගෙන් හරි හදිසි පණිවිඩයක්ද දන්නෙ නෑනෙ"

අම්ම මා එක්කල කිව්වෙ ගෙදර ආපු දවසෙමයි. අපේ ඒ කාලෙ තිබ්බෙ අර රේඩියෝ ටෙලිෆෝන් එකක් හින්ද සී.එල්.අයි (Caller line identification) දාල ඒ යකාගෙ නොම්බරේ හොයාගන්ටත් බෑ. එකම ප්‍රතිකර්මෙ ටෙලිකොම් එකට පැමිණිළි කරල ඒ යකා කතා කරන නොම්මරේ හොයාගෙන මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්න එක.

"හරි හරි ඉන්ඩකො. මම දැං ගෙදර ඉන්නවනෙ. අම්ම කලබල නැතුව ඉන්නකො" මම එහෙම කිව්ව. 

කොහොම හරි ඊට පස්සෙ ඒ වල් ඌරා කතා කලෙත් නෑ.

සතියකට වගෙ පස්සෙ දවසක මගෙ පරණ යාලුවෙක් අපෙ ගෙදර ආව මාව හම්බ වෙන්ට. ආගිය තොරතුරු කතාකරල මනුස්සය මට කිව්ව යමු බං එහෙනං හීන්වට මොනවහරි කරන්ට කාලෙකින්නෙ හම්බ වුනෙත් උඹව කියල. මාත් ඉතිං හාංය කියල ගියා කියමුකො. අපි ගියේ කිරිබත් කුඹුරෙ රේල් ගේට්ටුව ගාවම තියෙන දුම් රිය කෞතුකාගාරය දැකල ඇති නේද? අන්න ඊට පිටිපස්සෙ ඒ දවස්වල තිබ්බ පොඩි රෙස්ටෝරන්ට් එකක්. අන්න ඒකට. කොහොම හරි දන්නවනෙ පොඩිවට කරන්ට ගිය වැඩේ අන්තිමට තව යාලුවො දෙන්නෙකුත් කෝල් කරල ගෙන්න ගෙන මෙගා ප්‍රොජෙක්ට් එකක් නොහොත් මහා පරිමාණ ව්‍යාපෘතියක් වෙලයි අහවරයක් වුනේ.

මම ගෙදර ආවෙ අඩි දෙකක් පොළවට උඩිං. අපේ ගෙදරට එන්ට එදවස තිබ්බෙ එකහමාරෙ මැටල් ගල් දාපු සුට්ටි අඩි පාරක් වගෙ එකක්. ඒ මැටල් ගල් වලිං සීයට අනූවක්ම මම යන්තමට දනිපණි ගාගෙන ගෙදර ඉස්සරහ දොර ගාවට ලඟාවෙනකොට තිබ්බෙ පාරෙං පල්ලෙහා වෙලේ ඔන්න කොටිම්ම. එච්චරම මනරංජනීයයි චිත්තාකර්ෂණීයයි එදා අඩිපාර දිගේ මගේ ගමන... ඒ වෙලත් අපේම හින්ද අවුලක් නෑ.

"නිල් නුවං පෙනෙන පඳුර වලා සුරාවෙන් වෙලී…………………"

"ට්‍රීං..ට්‍රීං.." මම බෙල් එක ගැහුව. 

අම්ම ඇවිල්ල දොර ඇරිය..

"අම්ම මොකෝ මේ නිදියන්නෙ නැතුව කරන්නෙ?" මම ගේ ඇතුලට විසිවෙන අතරෙ ඇහුව..

"හ්ම්ම්ම්..නිදි තමයි..කොහෙද පුතා ගියේ? හොඳටම බීල නේද?" අම්ම ඉව ඇල්ලුව..ආය ඉවක් අල්ලන්ට දෙයක් නෑ..බැලූ බැල්මට පේනව කිලෝ මීටර් දෙකකට වගෙ එහා ඉඳල....හෙහ්,හෙහ්,

"මොන? ඒ හැටි බිව්වෙ නෑ ආයෙ…"

"නෑ තමයි...මට පේනව..ඇති ගෙදරටවත් ආව..කාලද ඉන්නෙ?"

"නෑ කෑවෙ නම් නෑ..ඒත් දැං කන්ට නම් බෑ මොන විදිහකටවත්.....මම වොෂ් එකක් දාල නිදාගන්නව. අම්මත් ගිහිල්ල නිදාගන්න. කෝ නැන්ද?"

"නැන්ද නිදි..ආ..ඒක නෙවෙයි පුතා අර කාලකන්නියා අද කතා කලානෙ හතර පස් පාරක්ම.."

"මොන කාලකන්නියද?"

"අර මං කිව්වෙ රෑට රෑට කෝල් දීල ඒක මේක කියනව කියල... අන්න ඒකා.."

"හරි ආයම කතා කලොත් මම ඌට කතා කරන්නං..අම්ම ගිහිල්ල කාමරේ දොර වහගෙන නිදාගන්ටකො."

වොෂ් එකක් දාගෙන ඇවිල්ල මම නිදාගන්ට ගියා විතරයි මෙන්න ටෙලිෆෝන් එක රිං වෙන්ට ගත්ත. මම ආව සාලෙට. අම්මත් නැඟිටල ආව.

"අම්ම ගිහිල්ල දොරත් වහගෙන නිදාගන්ට...."

"මොකද ඔයා කරන්ට යන්නෙ?"

"වෙන ආය අහවල් දෙයක් කරන්ටද ඒ මිනිහට බොහොම කරුණාවෙන් කියන්ට යන්නෙ මේ වැඩේ වහාම නවත්වන්ටෙයි කියල. හරි මම ඒක කරන්නං..අම්ම ගිහිල්ල නිදාගන්ට..දොරත් වහගෙන…ප්ලීස්"

අම්ම මා දිහා ටික වෙලාවක් බලාගෙන ඉඳල ගිහිල්ල දොර වහගත්ත. ටෙලිෆෝන් එක දිගටම රිං වෙනව....

මම ටෙලිෆෝන් එක ලඟම තිබ්බ පුටුවෙ ඉඳගෙන දීර්ඝ සහ සුහද සාකච්ඡාවකට සුදානමින් හරිබරි ගැහුන. ඊට පස්සෙ හෙමීට රිසීවරේ අරං කණේ තියාගත්ත. හැබැයි වචනයක් වත් කතා කලේ නෑ..

"හෙල්ලෝ?……" එහා පැත්තෙං ඇදපැදල කිව්ව.."මොකද අනේ ඔයා ටෙලිෆෝන් එක ගන්ට මෙච්චර පරක්කු උනේ?"

මම හොඳ හුස්මක් ඉහලට ගත්ත.කටහඬ පිටතට නෑහෙන්ට වමතිං රිසීවරේ ආවරණය කරගත්ත. 

"මෙච්චර වෙලා පරක්කු උනේද? පරක්කු උනේ මම ගිහිල්ල හිටිය තොගෙ ***** *****, තෝ දැනගං වල් පඳුරු **** ****, තෝ මේ කරන දහදුරා වැඩේ අදම නැවැත්තුවෙ නැත්තං මම තොගෙ *****************," (එතුමාගේ පවුලේ අනෙකුත් සාමාජිකයින් පිළිබඳව මවිසින් ක්‍රියාත්මක කරන්නට අපේක්ෂිත ක්‍රියාමාර්ගයක් පිලිබඳව මම මෙහිදී එතුමා දැනුවත් කළෙමි )

"තෝ දන්නවද තොපි වාගෙ එවුං උප්පාද වෙන්නෙ ******** ගාල්වල ********* ****** වෙලාවල්වල…" ( එතුමා එතුමන්ගේ ගරු මෑණියන්ගේ ගර්භාෂය තුල පිළිසිඳගත් පරිසරය සහ ඊට උපස්ථම්භකවූ කරුණු කාරණා මෙහිදී මවිසින් එතුමාට මනාව පැහැදිලි කලෙමි ) 

"ඒ හින්ද මේ ටික හොඳට අහගං ******** ********* මම කලිං කිව්ව විදිහට මේ වැඩේ අදම නවත්තපං. නැත්තං නොකිව්වයි කියන්ට එපා මම තොගෙ ටෙලිපෝන් නොම්මරේ හොයාගෙන තොගෙ ගෙදරටම ඇවිල්ල ******** *******" ( මේ අවස්ථාවේහිදී එතුමාගේ ගෙදර වසන ගිරවා, බල්ලා පූසා ආදී සුරතල් සත්වයින් අරභයා මවිසින් ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වන ක්‍රියා මාර්ග පිළිබඳව මවිසින් එතුමා ඉතා සුහදව දැනුවත් කරන්නට යෙදුනු බව සැලකුව මනාය )

කොහොමහරි මට හිතෙන්නෙ මේ වෙලාවෙ තමයි මිනිහට හරි සිහිය ආවෙ. සම්මා සතිය....මෙච්චර වෙලා මිනිහ තුස්නිම්බූත වෙලා ඊට අමතරව අන්දුන් කුන්දුන් වෙලා ඉන්ට ඇති ටෙලිෆෝන් රිසීවරෙත් කණේ ගහගෙන. Totally Unexpected හෙවත් කිසිම අයුරකින් බලාපොරොත්තු නොවුනු දෙයක් එක පාරට උනහම මිනිස්සුන්ට එහෙම වෙනව. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නෙ Being Paashaaniboothaized කියල. හෙහ්..හෙහ්...අයි නෝ පුතා..මට එහෙම වෙලා තියනව.

ඉතිං සම්මා සතිය පහල උන ගමං මිනිහ දඩස් ගාල ටෙලිෆෝන් එක තිබ්බ.එච්චරයි. එදයිං එදයිත් හරි මිනිහ ආ හලෝ කොහොමද සැප සනීප කියල අහන්ටවත් කතා කලේ නම් නැත. May be still paashaaniboothized..heh, heh..who knows?

පලි - පහුවදා උදේ වරුවම ඔලුව පුපුරන්ඩ තරං කැක්කුම. ඒත් යාන්තමට එක විදිහක් උන ගමන්ම අම්ම එපා කියද්දි මම අර වෙලේ තිබ්බ මැටල් ගල් එකතු කරල ආයම පාරට දැම්ම. නකතං වෙන්ට දාල එකහමාරෙ මැටල් උඩිං රෑට රෑට රූට රූට එන එකෙත් මාරම ආතල් එකක් තියනව.ඒක පට්ට.....හෙහ්,හෙහ්

මේ කතාවෙ ඌණ පූරණයකුත් තියනව ඇත්තම කිව්වොත්...

දවස් දෙක තුනකට පස්සෙ අම්මයි මායි විතරයි දවල් දවසෙ ගෙදර. අර නැන්ද එයාගෙ පුතා රෙස්ටුරන්ට් එකක් කරනව මෙන්න මේ වටවල පැත්තෙ..අන්න එහෙ ගිහිල්ල..එහෙම හිතුනම ඒ අම්මණ්ඩි ගිහිල්ල සතියක් හමාරක් ඉඳල ආයම පුතා එක්ක මොකක් හරි කොක්කක් දාගෙන ආපහු එනව...හෙහ්..හෙහ්..අපි මට මතක විදිහට ඉස්තෝප්පු කෑල්ලෙ අර දම් රෝ පුටු දෙකක් තියාගෙන ඉඳගෙන හිටියෙ. උදේ වත්ත පිටිය උදලු ගාල මම ඉහිං කණිං දාඩිය දාගෙන හිටියෙ ෂර්ට් එකත් ගලවල..

"පුතාට තේ එකක් ගේන්නද?" අම්ම බල බලා හිටපු ලංකාදීපෙ පාතට කරල මා දිහා බලල ඇහුව. 

"එපා අම්ම තවම දාඩියයි..තව ටිකකින් දාඩිය එහෙම නිමුනම බොමු.." මම පපුවට පූස් පූස් ගාල හුළං පිඹින ගමන් කිව්ව.

අම්ම එහෙම්මම මගේ දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය. උන්දැ ඔහොම ඉන්නෙ මොකක් හරි මගෙං අහම්දෝ නාහම්දෝ කියල හරියටම හිතාගන්ට බැරුවය කියල මම අත්දැකීමෙන්ම දන්නව..

"මොකෝ අම්මෙ? මොකක්ද අහන්න තියෙන්නෙ?....."

"ඒ මොකෝ පුතා එහෙම හිතුවෙ? මම මොකක් හරි අහන්නයි යන්නෙ කියල…"

"හෙහ්..මම දන්නෙ නැද්ද දැං අවුරුදු තිස් හයක් තිස්සෙ අම්ම ගැන…"

"හරි හරි මම මේ අහන්නමයි හිටියෙ..එදා රෑ ඔයා අර මිනිහට මොකක්ද කිව්වෙ?"

අම්ම මේ අහන්නෙ කොයි රෑ ගැනද කොයි මිනිහ ගැනද කියල සහසුද්දෙන්ම දන්නව උනත් මම බබා පාට් එකක් ඇට් කලා. 

"මොන රෑද?.... මොන මිනිහද?"

"නිකං බොරු කරන්න එපා පුතා..ඔයා හොඳටම දන්නව මම මේ කියන්නෙ මොකක් ගැනද කියල.."….අම්මට හිනා…

"හරි හරි ඉතිං? මොකක්ද ඒ ගැන අහන්න තියෙන්නෙ?"

"එදා රෑ ඔයා මොනවද ටෙලිෆෝන් එකෙන් ඒ මනුස්සයට කිව්වෙ?"

"ආ...බොහොම සුහදව කිව්ව ඒ යකාට මොකක්ද සහෝදරය ඔයා මේ කරන වැඩේ? ඇත්තටම හොඳයි කියල කියන්න පුලුවන් වැඩක්ද ඔයා මේ කරන්නෙ? ඒ හින්ද කරුණාකරල මේ වැඩේ නවත්වන්න...ඔන්න ඔහොමයි මම කිව්වෙ…" මම එහෙම කියල අහක බලාගත්තෙ මගෙ මූණෙ පිපිච්ච හිනහව අම්මට නොපෙනෙන්ට...

"අනේ දෙයියනේ……" අම්ම එහෙම කියල කම්මුලේ අතකුත් තියාගන්නව හොරැහින් බලපුවම මම දැක්ක..

"ඇයි?"

"ඇයි තමයි..එහෙමම තමයි නේද කිව්වෙ?..හ්ම්ම් තව මොනවද කිව්වෙ?"

"ආය කිව්ව මම ඔබතුමාගෙ ආගම මොකක්ද කියල දන්නෙ නම් නෑ. ඒත් බුදුහාමුදුරුවොවත් යේසුස් වහන්සෙ වත් නබිතුමාවත් කොහොමවත් අනුමත කරන එකක් නෑ ඔබතුමාගෙ මේ හැසිරීම. ඒ හින්ද කරුණාකරල මෙහෙම හැසිරෙන්න එපාය කියල මම බැගෑපත්ව ඉල්ලා සිටිනව..ඒ වගේම ආයාචනා කරනව. ඔන්න ඔහොමත් කිව්ව.."

"හ්ම්ම්ම්...ඔව්..ඔව්..මට යන්තමට වගෙ ඇහුණනෙ ඔයා කියපුව….ඔහොම පින්වත් කතාවක් නම් ඇහුනෙ නෑ හැබැයි මට මතක විදිහට..හිහ්..හිහ්..."

"හ්ම්ම්ම්..ඔන්න ඉතිං ඕකනෙව කියන්නෙ..මම අම්මට මොකක්ද කිවෙ? ගිහිල්ල කාමරේ දොර වහගන්නෙයි කියල නේද? අම්ම මොකටද අහගෙන හිටියෙ හොරෙං?"

"නෑ..නෑ..මම එහෙම හොරෙන් අහගෙන හිටියමත් නෙවෙයි.."

"එහෙනං?"

"මට දොරවහගන්ට කියපු හින්ද සැක හිතිල මම දොර යම්තමට ඇරල කන්දිහාගෙන හිටිය…."

"හ්ම්ම්ම්..එහෙමද?... ඉතිං මොනවද ඇහුනෙ? "

"කටුකුටු ගානව මිසක එහෙමට දෙයක් පැහැදිලිව ඇහුනෙ නම් නෑ..ඒත් යම්තමට ඇහිච්ච ටික……" අම්ම එහෙම කියල ඉතිරි වචන ගිල ගත්ත..

"හරි හරි...ඒ ඇහිච්ච ටික අමතක කරල දාන්ටකො..දැන් කොහොම හරි ඒ කරදරේ ඉවරයිනෙ..Alls well that ends well කියලත් කියමනක් තියනවනෙ..ඒ කියන්නෙ ළිඳේ වැටිල ඉවරවෙන ඕනම දෙයක් හොඳයි කියලයි කියන්නෙ.."

"ඈ? ඒකද ඒ කියන්නෙ? "

"එහෙනං ආය වෙන අහවල් දෙයක්ද? "

"හරි හරි..එව්වයිං වැඩක් නෑ….දැං ඔන්න දාඩියනම් නිවිල..ගිහිල්ල අර තේ එක හදාගෙන එන්නකො මගෙ හොඳ අම්ම වගෙ.."

නාගොල්ලාගම ධර්මසිරි බෙනඩික් කියන්නෙ කවියක තියෙන්න ඕනය කියල විදග්ධයින් පිළිගන්න අංග ලක්ෂණ වලින් මිදිල අමුවෙන්ම කවි ලියන කවියෙක්. 

මට හිතෙන්නෙ රංචාගොඩ ළමයගෙ ඒ ඌරුවට කවි ලියපු කෙනෙක්...

මෙහෙව් රටේ රංචාගොඩ ඉපදීලා
රුහුණු රටට මම දීලා ඉලව්වේ
දෙමට පොතු කකා කට හම යන වායේ
හැම දෙවියනේ මගෙ වාහේ රකෝ රකෝ

මේ කවියෙ අදහස වෙන්නෙ රංචාගොඩ ඉපදුනු තරුණියක් රුහුණු රටට දීග යනව. ඒත් ඇයට සැමියාගෙන් ආදරය කරුණාව ලැබෙන්නෙ නෑ. අඩුම ගානෙ විටට බුලත්වත් සැමියාගෙන් නොලැබෙන කොට ඇයට විකල්පයක් විදිහට දෙමට පොතු කන්ට සිද්ද වෙනව. දෙමට පොතු ඉඳහිටල බුලත් වෙනුවට කෑවට දිගටම කන්ට අමාරුයි. කොහොමත් නොපුරුදු අයට අමාරුයි. කට හම යනව....ඒකයි ඇය මේ කියන්නෙ.....අන්තිම පදේ නම් උත්ප්‍රාසයක් (Sarcasm )

රංචාගොඩ ළමයගෙ කවිවල අක්ෂර දෝෂ එහෙම තියනව කියල විවේචනය කරපු හාමුදුරුකෙනෙකුට ඇය මූණටම ඇහුවලු "දුකට කියල කවි වලට අහවල් අක්ෂරද හාමුදුරුවනේ?" කියල..

ධර්මසිරිත් අන්න ඒ ගණයෙ කවියෙක්. ඇත්තම කිව්වොත් ඒ කවි ආරට මගේ ඒ හැටිම කැමැත්තක් නැතිවුනත් ධර්මසිරිගෙ කවිවල තියෙන අමු ගතියට මම කැමතියි. 

හරි එහෙනම් සවන්දෙමු ධර්මසිරිට....

"තාත්තා පහේ පන්තියේ බුද්ධාගම පොත අරන් එන්නම් කියා කොළඹ ගිය ගමන පුංචි අම්මා කෙනකු ඉතිරිකොට අම්මාත් මාත් තනි කළේ ය. ඔවුන්ගේ කූඩුවට ගල් නොගසා අපේ අම්මා එතැන් පටන් තනිව ම මාව රක්ෂා කළා ය. අම්මා කුලී වැඩ කළා ය. ධනවත් ගෙවල්වල වළං සේදුවා ය. පොළ රවුමේ ගියා ය. වරෙක කසිප්පු ද වික්කා ය. කුඩා දරුවකුව මා කුස්සියේ තුන්වේලට ම සම්බෝල හදන්නට පොල් ගාන විට බීමත්ව වෙරි වූ මිනිස්සු අම්මාගේ තනයෙන් ඇද්දෝ ය. බොහෝ මිනිසුන් රාත්‍රියට අපේ ගෙපැලේ ලෑලි දොරට තඩිබාන විට අම්මාගේ චීත්තෙ වතුසුද්ද මල් පෙතිවල පිවිතුරු බව රැකගැනීමට වගබලා ගත්තා ය. ලැජ්ජාවට වඩා ආදරය උකු බැව් මම ඔබට පවසමි. අකුරු නොදන්න අම්මා මේ සෑම සියලු දෙය ම කළේ මට ඉගැන්වීමට හා මගේ කුසගින්දර නිවීමට බව ඔබට අහිංසකව පවසමි. ඇය ඒ සඳහා නින්දා,ගැරහුම් ලබමින් අතිමහත් වෙහෙසක් ගත්තී ය.අවුරුදු විස්සක විසිපහක සිට පුවත්පත්වලට කුරුටුගෑවත් මගේ යැයි කියා පොතක් මම කිසි දවසක පළ නොකළෙමි. එනමුදු නොනවත්වාම ජීවිතය ගැන කටුගෑවෙමි. අවනීතියට, අසාධාරණයට, අයුක්තියට, දරිද්‍රතාවට එරෙහිව ලීවෙමි. තැලුණු, පෑගුණු, මිරිකුණු සහ ඒ මතින් මිය ඇදුණු මිනිසුන් ගැන කටුගෑවෙමි. එහි අත්දැකීම් හා ආභාසය පෙරටුකොටගෙන එහි පන්නරය ලබමින් මේ කඳුළු පොල්කටුව ඔබට පිරිනමමි. මේ හිස් දෑතින් ඔබට දෙන්නට ඇත්තේ මේ පොත, මගේ හදවත, මගේ ජීවිතය පමණි."

"සීතලින් පිරීගිය තනිය ඇවිදින් හිසට
අම්මාව හිත්ගොමුවෙ අත ගගා හොයනවා
අම්මගේ සොහොන් කොත අසල වැස්සදා ගෙඹි පැටව් 
කෑ ගසා ළය පැලී මැරෙනවා...."

නාගොල්ලාගම ධර්මසිරි බෙනඩික් රචනා කළ "මයෙ අම්මේ යමු යංඩ" කෘතියෙන්.....


Tuesday, December 18, 2018

620. මව් ගුණ සමර - 2 - ස්වදේශික සැලූන් සහ රැජිනගේ සීගිරි ගමන....

මේ පිළිමතලාවෙ ඔර්ලෝසු කණුව ..ඔතනම පොඩ්ඩක්
එහායින් තමයි ස්වදේශික සැලූන් එක තියෙන්නෙ...

අනූනමයෙ අවුරුද්දෙ මම මහවැලියෙන් ඉල්ලා අස්වෙලා ගෙදර ආව. 

අර දවස් දෙක තුනකට ඉස්සෙල්ල අති ගරු මරා මහත්තය ඉල්ලා අස්වුනා වගේ සුබ නැකතකින් උත්සවාකාරයෙන් එහෙම නෙවෙයි හොඳද? නිකම්ම ඉල්ලා අස්වුනා. ඊට පස්සෙ ඇඳන් පුටු මේස කෑලි තිබ්බ ලට්ට ලොට්ට අපේ ඔෆිස් එකේ ඉසුසු ලොරියෙ පටවගෙන ගෙදර ආව.

අපේ ප්‍රියම්බිකා තොමෝ ගෙ ඉස්කෝලෙ ගෝලයො තමයි හත් අට දෙනෙක් ඇවිල්ල බඩු පැටවීම් බෑම් වලට එහෙම බොහොම මගන්සි වෙලා උදව් කලේ. අපරාදෙ කියන්ට බෑ. අපේ උන්දැගෙ ගිය ගිය තැන ඉස්කෝලවල ගෝලයො උන්දැට පන ඇරල. 

මම මේ පම්පෝරියකට එහෙම කියනව නෙවෙයි. ඒක තමයි ඇත්ත. මොකද අපේ යෝදි ආය නෑ රාජකාරිය කරන්නෙ බොක්කෙන්මනෙ. ඒකයි. බොක්ක කිව්වට බොක්කටත් අඟල් හයක් විතර යටින් තියෙන්නෙ අර පිත්තාසෙද ඇලදිවද කියල මොකද්ද එකක්. අන්න ඒකෙන් තමයි ඔවුන්දැ රාජකාරි කරන්නෙ. කරන්නෙ කිව්වට ඇත්තටම නම් කලේ කියල නිවැරදි වෙන්න ඕන. මොකද උන්දැ මේ වෙනකොට විශ්‍රාම අරගෙන.

ඉතින් අදත් මම මේ කියන්න යන්නෙ මගේ මව් ගුණ සමර මතක සැමරුම් මාලාවෙ තවත් එක කතාවක්…

ඉතිං ඔහොම තිබ්බ ලී බඩු කෑලි ටික අපේ ගෙදර දාල මම ගෙදර පදිංචි වුනා. මම ඔය ගෙදර ආවෙ ජූලි මාසෙ දවසක...ඒ හින්ද අවුරුද්ද අවසානෙ ඒ කියන්නෙ දෙසැම්බර් වෙනකල් එතුමියට ස්ථාන මාරුවක් ගන්න බැහැ. සාමාන්‍යයෙන් ප්‍රබල දේශපාලන බලපෑමක් නැත්තං ගුරුවරුන්ට ගුරුවරියන්ට වසර මැද ස්ථාන මාරු දෙන්නෙ නැහැ. අපිට ඉතින් කොහෙන්ද දේශපාලන සම්බන්ධකම්?...අපිට කොයින්දෑ ඉතිං භූල් භල්ලො කිව්වලු...

ඉතිං වෙන අහවල් දෙයක් කොරන්නෙයි?...එතුමිය මාතලේ එතුමියගෙ ගෙදර ඉඳල ඉස්කෝලෙට ගියා. මම අපේ ගෙදර නැවතුනා. සති අන්තයෙ මම යනව එයාලගෙ ගෙදර. ඒ කරල සති අන්තය එහෙ ගත කරල සඳුද උදේ පාන්දර පහේ බස් එකේ එනව දෙන්නත් එක්ක මාතලේට. ඊලඟට එතුමිය ඔය බකමූණ නැත්නම් ගිරිතලේ බස් එකක නැඟල ඉස්කෝලෙට යනව. මම නුවර බස් එකක් නැඟල ගෙදර එනව.

ඔය වෙනකොට අපෙ ගෙදර හිටියෙ ලොකු නංගියි අම්මයි විතරයි. පොඩි නංගි බැඳල ගිහිල්ල බදුල්ලෙ. ලොකු නංගිත් හත වෙනකොට වැඩට යනව. ආය ගෙදර එන්නෙ රෑ හතත් පහුවෙල. එයයි වැඩ කලේ පේරාදෙණිය පාරෙ පරිගණක අධ්‍යාපන ආයතනයක. ඉතිං දවල් දවසෙ මමයි අම්මයි විතරයි ගෙදර. 

මම ආයම රස්සාවකට ගියේ සැප්තැම්බර් නැත්නම් ඔක්තෝබර් මාසෙ. එතකල් ගත වෙච්චි මාස දෙක හෝ තුනක වගෙ කාලය මම හිතන්නෙ අපේ අම්මගෙ ජීවිතේ ඉතාම සතුටුදායක කාලයක්. මේක මගෙ හිතලුවක් නෙවෙයි. අම්මම මා එක්ක එහෙම කිව්ව. මොකද අම්මගෙ එකම පුතා ඒ වගේම පවුලේ වැඩි මහළු දරුවා විදිහට අම්ම මට පුදුම විදිහට ආදරේ කලා. 

මම ගෙදරින් වෙන් වුනේ අවුරුදු දොළහක් වගෙ වයසෙදි. ඊට පස්සෙ උසස් පෙළ කරල අනුරාධපුරේ කාර්මික විද්‍යාලයෙ ආධුනික සැළසුම්ශිල්පී පාඨමාළාව හදාරපු වසරක කාලය සහ ඊටත් පස්සෙ සංස්කෘතික ත්‍රිකෝණයෙ සේවය කරපු වසරක වගෙ කාලය ඒ කියන්නෙ වසර දෙකක් දෙකහමාරක් වගෙ කාලය හැරුනම මට එක දිගට ගෙදර ඉන්න අවස්ථාවක් ලැබුනෙම නෑ.

ඉතිං මේ මම දවසම ගෙදර ඉන්න එක අම්මට හරියට ඉහේ මලක් පිපුනා හා සමානයි ඔන්න කොටින්ම. මට ඒ දවස්වල අනම් මනම් කාල තේ බීල ඉවරයක් නෑ. අම්මට නිතරම කහට තේ ඕනෙ. ඉතිං එයා කරන්නෙ එයාට හදාගන්නකොට මටත් කෝප්පයක් අරං එනව. ඕක එපා කියල නිකම් මොකටද අම්මගෙ හිත රිද්දන්නෙ කියල මමත් බැරි මරගාතෙ බීල දානව.

ඒ දවස්වල මගේ දිනචරියාව මෙහෙමයි. හතට වගෙ නැඟිටල වත්ත පිටිය ඔක්කොම අතුගාල දානව. සතියකට සැරයක් වගෙ ඉණිමඟ (අපෙ තිබ්බ ලී ඉණිමඟක්...මේ පාර අම්මගෙ මළ ගෙදර ගිය වෙලේ මම දැක්ක ඒ ඉණිමඟ තවම තියනව බොහොම අබල දුබල තත්වයෙන් ගේ පිටිපස්සෙ දරමඩුවෙ පැත්තක දාල) හේත්තු කරල වහලට නැඟල වහලෙ කාණු වල තියන කොළ රොඩු ඔක්කොම සුද්ද කරනව. 

අපේ ගේ වටේටම තිබ්බෙ මහ විසාල ගස් හෝටාවක්. කොස්,අඹ,අලිපේර,මහෝගනි වගෙ සාරෙට හැදිච්චි ගස් එක දහයකට වැඩිය තිබ්බ ගේ වටේට..ආ..ඇඹරැල්ල ගහකුත් තිබ්බ..තව ජම්බු ගහකුත්. ඉතිං ඔව්වයෙ වේලිච්ච කොළ වැටිල වහලෙ වැහි පීලි නිතරම පිරෙනව. අව්ව සැරට වැහි පීලි ඇඹරිල වගෙ තිබ්බ හින්ද (එදවස Ultra-violet Stabilized PVC හොයාගෙන තිබ්බෙ නැද්ද කොහෙද මං හිතන්නෙ..) වහළට නැඟල කොළ රොඩු සුද්ද කලේ නැත්නම් වෙන්නෙ වහිනකොට පීළි උතුරල වඩිම්බුයි සීලිමයි ඔක්කොම තෙමෙන එක.

ඉතිං ඔය වත්තෙ පිටියෙ වැඩ ටික ඉවර කරල අපේ ගෙදර මිදුලත් එක්කම පල්ලෙහයින් තියන ලිඳෙන් ඇඟපත එහෙම හෝදගෙන මම පයින්ම යනව පිළිමතලාවට. අපේ ගෙදර ඉඳල පිළිමතලාවට මහ පාරෙන්නම් ඇති කිලෝ මීටර් දෙකහමාරක් තුනක් වගෙ. ඒත් මහපාරට නොගිහින් පන්සල ගාවින් රේල්පාරට ගොඩ උනහම අච්චර දුරක් නෑ. අනික රේල්පාරෙ සිල්පර කොටෙන් කොටේට අඩිය තියන හින්ද කොහොමත් ගමන ඉක්මන්.කොහොම උනත් උපරිම විනාඩි විස්සකින් ගිහෑකි පිළිමතලාවට.

පිළිමතලාවට ගිහිල්ල ඔය ගෙදරට ඕන එළවළු එහෙම දෙක තුනකුත් මම ගන්නව අම්ම ගේන්න කිව්වොත්. පිළිමතලාවෙ ඔර්ලෝසු කණුව ගාව පාර දෙපැත්තෙම ඒ දවස්වල තිබ්බෙ පොඩි පොඩි එළවළු කඩ. සතියකට සැරයක් වගෙ මම රැවුල කපාගන්නෙත් පිළිමතලාවෙන්. රැවුල කපාගන්න මම යන සුවිශේෂී බාබර් සාප්පුවක් තිබ්බ. අප්පට උඩු බාබර් සාප්පුව කියනකොට ඔන්න මතක් වුනේ..මගේ අර කරණවෑමියගෙ කතන්දරේ තවම ඉවරයක් කලේ නෑ නේද? මතකදත් මන්දා ඔබ තමුන්නාන්සෙලට? අර ඝාතකයගෙ කතාව..හරි හරි ඒක එහෙනම් විගහට ලියල ඉවරයක් කරන්නම්කො...

ඉතිං ඔය ස්වදේශික සැලූන් එකේ (ස්වදේශික සැලූන් තමයි මම අර යන එන බාබර් සාප්පුවෙ නම) විශේෂත්වය මොකක්ද දන්නවද? ඒක ඇවිල්ල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැලූන් එකක්. අර වවුල් දොරවල් දෙකේ ඉඳල ඔලුවට මූනට වතුර විදින තඹ පාට දඟරයක් පොරොප්පෙට සවිකරපු සුදුපාට ලොකු බෝතලේ, එතකොට හම්පටියෙ උළන කරකැත්ත නොහොත් දැලිපිහිය එතකොට බිත්තියෙ එල්ලපු පස්වන ජෝර්ජි අපමහ රජිඳාණන්ගෙ පෝටොස්... එව්ව ඔක්කොම ඒකෙ තියනව කිසිම අඩුපාඩුවක් නැතුව.ආ..පස්වන ජෝර්ජි කියන්නෙ අපෙ එළිසබෙත් අක්කගෙ අත්තා නොහොත් ග්‍රෑම්පා...

ආ..ඊට ඉස්සරහ බිත්තියෙ තියනව එළිසබෙත් අක්ක ලංකාවට ආපු වෙලාවෙ මම ඔය කියන්නෙ 1981 ආපු එක නෙවෙයි ඊට කලින් 1954 අවුරුද්දෙ ආපු එක..ඒ ආපු වෙලාවෙ ගත්තු පෝටොස් රාමු කරල...

ඒ දවස්වල ලංකාවෙ අගමැති සර් ජෝන්...එළිසබෙත් අක්ක සීගිරි නගිද්දිනෙ අර හුළඟට ගවුම උඩ ගිහිල්ල සර් ජෝන් පස්සෙන් හිටපු ෆොටෝග්‍රෆර් කෙනෙකුට කෑගැහුව කියන්නෙ ගනිං යකෝ ගනිංය කියල.

ඔතන ඔය අදාල ෆොටෝග්‍රෆර් ඇවිල්ල හිට අර රියන්සි විජේරත්න කියල හිටියෙ ජේෂ්ඨ ඡායාරූප මාධ්‍යවේදියෙක්..අන්න එයාලු..කොහොමහරි ඔතන සිද්ද වෙච්චි ඇත්තම කතාව වැඩි දෙනෙක් දන්නෙ නෑ. 

මම අර දඹුල්ලෙ කාර්මික විද්‍යාලෙ අර පාඨමාලාව (තුන් අවුරුදු/සන්ධ්‍යා/ අර්ධකාලීන ) කරන කාලෙ සති අන්තයෙ ගිහිල්ල නැවතුනෙ සීගිරියෙ. මම කලින් අර කිව්වෙ එහෙ හිටිය මම කලින් සංස්කෘතික ත්‍රිකෝණෙ වැඩ කරද්දි අඳුන ගත්තු අතිජාත මිත්‍රයෙක්... කට් රොල් මල් ලියද්දි මම අර කිව්වෙ ඒ යස්සය ගැන තමයි. ඔන්න තව ඌණපූරණය කලයුතු කතාවක් මතක් වුනා. හෙහ්...හෙහ්..අහල්‍යාගෙ කතාව...

ඔන්න බලන්න පුදුම අහඹු සමපාතයක් (Coincidence) කියන්නෙ මම ඔය අහල්‍යාගෙ කතාව ලියල තියෙන්නෙ අදට හරියටම අවුරුදු හතරකට ඉස්සෙල්ල. ඒ කියන්නෙ 2014 දෙසැම්බර් 18 වෙනිද...

අපි ගිහිල්ල නතරවුනෙ සරත්ගෙ නිල නිවාසෙ. එතනම එහා පැත්තෙ තියෙන්නෙ පුරාවිද්‍යා සර්කිට් එක නොහොත් සංචාරක නිවාසය. ඕකෙ භාරකාරය විදිහට ඒ දවස්වල හිටියෙ ජෝන් අයිය. ඒ වෙනකොටත් මම ඔය කියන්නෙ අසූ ගණන් වල අග හරිය. අපි ඔය පාඨමාලාව කලේ 1985-1988 වෙනකල් වයස හැත්තෑවකට වගෙ කිට්ටු කරල ඇති මයෙ හිතේ.

දවසක් අපි ඉනාමළුවෙ හන්දියෙ බාර් එකෙන් ඩබල් ඩිස්ටිල්ඩ් බෝතල් දෙකක් එහෙම අරගෙන ගිහිල්ල සරතගෙ ක්වාටර්ස් එකේ පොඩි ආතල් එකක් ගත්ත.ඒ සෙනසුරාද දවසක්. පහුවදා ඉරිද පෝය හෝ වෙන මොකක් හෝ ප්‍රසිද්ධ නිවාඩුවක් හින්ද අපිට ලෙක්චර්ස් නෑ. ඒ හින්ද අවුලක් නෑ. කීයට හරි ආපහු ඔෆිස් එකට ගියානම් අත්සන් කරන්ට ඉඩ තියනව. රතු ඉර ගහන්නෙ නෑ. අර වසන්ති දවසක් රතු ඉර ගහල වෙච්චි අලකලංචිය ඔබ තමුන්නාන්සෙලාට මතකයිනෙ නේද? හෙහ්...හෙහ්..

සර්කිට් එකේ ජෝන් අයියටත් සරත ආරාධනා කලා සාදයට. ජෝන් අයිය මරු පොර. පරණවිතාන මහත්තය එක්කත් ඒ කාලෙ වැඩ කරල තියනව.ඊට පස්සෙ රාජා ද සිල්වා, සද්ධාමංගල කරුණාරත්න වගෙ කොමසාරිස්වරු යටතෙත් වැඩ කරල තියනව.

ඒ ඔක්කෝටමත් වැඩිය එදා සරතගෙ ක්වාටර්ස් එකේ මිදුලෙ මයිල ගහ යට රවුමට පුටු තියාගෙන අපි මධුවිත සප්පායම් වෙද්දි නියම කතාවක් කිව්වජෝන් අයිය..

"හෙහ්,හෙහ් මහත්තයල දන්නවද නමසිය පණස් හතරෙ මහේසිකාවුන්නාන්සෙ (අපෙ අත්තම්මත් එළිසබෙත් අක්කට කිව්වෙ මහේසිකාවුන්නාන්සෙ කියල. මම හිතන්නෙ එහෙම තමයි ඒ කාලෙ ලොක්කිට ගෞරව පුරස්පරව ආමන්ත්‍රණය කරන්න ඇත්තෙ) සීගිරියට ආපු වෙලාවෙ මමත් ඒ කිට්ටුවෙන්ම පස්සෙන් ගියානෙ ගල මුදුනටම.."

"නෑ ඇත්තටම?" අපේ කවුරුහරි කටත් ඇරගෙන ඇහුව..

"එහ්හෙන්නං..මම මොකටද ආය බොරු කියන්නෙ?"

"හරි හරි ජෝන් අයිය කතාව කියන්නකො…" සරත කිව්ව.

"හරියටම ඔය සිංහපාදයෙන් ටිකක් උඩහට වෙන්ට තියනව යකඩ පඩි පෙළක් (මගේ සටහන - ඔතන තියෙන්නෙ සිංහ පාදයක් නෙවෙයිය ගුරුළු පාදයක්ය නැත්නම් ගරුඬපාදයක්ය කියල මේ දවස්වල බොහොම ලොකු ආන්දෝලනයක් තියනව නේද රට පුරා?) ඔය පඩි පෙලේ මහේසිකාවුන්නාන්සෙ නඟිනකොටම එක පාරටම තද හුළඟක් ඇල්ලුවනෙ..."

"හුටා ඒ පාර තමයි එහෙනම් අර සර් ජෝන්…" මට කියවුනා..

"එහ්හෙන්නං එහ්හෙන්නං..අගමැතිතුමාට ඒ වෙලාවෙ තමයි එහෙම කියවුනෙ…"

"අඩේ ඔය කතන්දරේ අනන්ත පත්තරවලින් කියවල තිබ්බට ඇත්තටම ඒ වෙලාවෙ එතන ඉඳල වෙච්චි දේ ඇස් දෙකෙන්ම දැක්ක කෙනෙක්ගෙ කටින්ම ඒ ගැන දැනගන්න ලැබෙන එකත් එක්තරා විදිහක වාසනාවක්…" මම කිව්ව.

"හෙහ්..හෙහ්..මහත්තයල ඇත්තටම සිද්ද වෙච්චි දේ දන්නෙ නෑනෙ" ජෝන් අයිය අහක බලාගෙන කිව්ව..

"ඈ? මොක්කද ඇත්තටම සිද්ද වුනේ? "

"එතන ඇත්තටම සිද්ද වෙච්චි දේ කිසිම පත්තරේක පලවුනේ නෑ. මොකද එතන අපි කීප දෙනයි හිටියෙ. ඒ කාලෙ අපි ඉතින් ඔව්ව අතන මෙතන කියන්න ගියෙත් නෑ…" ජෝන් අයිය කට කොණකින් හිනාවෙලා කිව්ව..

"හරි හරි මොකක්ද ජෝන් අයියෙ එතන උනේ? කියන්නකො තවත් එහාට මෙහාට අදින්නෙ නැතුව.."

"මහත්තයො හුළඟක් ඇවිල්ල මහේසිකාවුන්නාන්සෙගෙ ගවුම උඩ ගිය වෙලාවෙ අගමැතිතුමා ගනිං ගනිං කියල කෑගැහුවනෙ. ඒත් උන්නැහැ කොච්චර කලබල උනාද කිව්වොත් කෑගැහුවෙ සිංහලෙන් නෙවෙයි ඉංග්‍රීසියෙන්...Take.. you bloody rascal... take කියල"

"නෑහ්? අඩේ රැජිනටත් ඇහෙන්න ඇති නෙ.."

"ඇහුනදත් අහනව...එතුමිය හිටියෙ පඩි දෙක තුනකට උඩින් නෙව..ඉතිං නෑහී තියෙයිය?"

"ඊට පස්සෙ?..." අපි ඔක්කොමලහෙ ඇස් ජෝ අයියගෙ කට දිහාට එල්ලවෙලා තිබ්බෙ ඒ වෙලාවෙ.

"ආය මොනවද මහේසිකාවුන්නාන්සෙ එහෙම්මම ආපහු හැරුන... ඉඳා ගනිං කියල ගවුම ඉස්සුව"

"සිංහලෙන්ද එහෙම කිව්වෙ?" සරත ඇහුව. 

"පිස්සුද මහත්තයො මොකෝ මහේසිකාවුන්නාන්සෙ සිංහල දන්නවය? එතුමිය කිව්වෙ OK I don't mind..Take you bloody rascal take... කියල ගවුම ඉස්සුව" ජෝන් අයිය එහෙම කියල හක හක ගාල හිනාවුනා...

පසු සටහන - 

මව් ගුණ සමර ලියන්ට කියල දතකට මැදගෙන ලැහැත්ති උනාට සීයට අනූඅටක්ම ලියවිල තියෙන්නෙ බහුබූත පල් හෑලි සහ පඳුරු තැලිලි..

මොකක් කොරන්නෙයි? එව්වයෙ හැටි එහෙම තමයි..අම්ම උනත් ඔය ඉන්න තැනක ඉඳල බලල කියවල මම නොදන්නවැයි මගෙ පුතාගෙ හැටි කියල හිනාවෙයි..මට ඒ ඇති ඉහටත් උඩිං....හෙහ්,හෙහ්,

පසු පසු සටහන - 

මේ දවස්වල ටෙස්ට් ක්‍රිකට් තරඟාවලි දෙකක් පැවැත්වෙනව. එකක් ඉන්දියා-ඕස්ට්‍රේලියා සහ අනික ශ්‍රී ලංකා-නවසීලන්ත. ඉන්දියා ඕස්ට්‍රේලියා තරඟාවලියෙ පළවෙනි තරඟය ඉන්දියාව දිනුව. ඒත් අද දැන් මේ පැය තුන හතරකට ඉස්සෙල්ල පර්ත්වල පැවැත්වුනු දෙවෙනි ටෙස්ට් එකෙන් ඕස්ට්‍රේලියාව ලකුණු 146 කින් දිනුව. ස්ටිව් ස්මිත් සහ වෝනර්ගෙ අජූත සීන් එකෙන් පස්සෙ අන්තිමට වැටිල හිටපු ඕස්ට්‍රේලියාවට මේ ජයග්‍රහණය ලොකු දෙයක්. 

ඊගාවට අපේ මැච් එක. ලංකාව පලමු ඉනිම ලකුණු 282යි. නවසීලන්තෙ ගැහුව 578ක්.දෙවෙනි ඉණිමෙ ඊයෙ අපි එක වෙලාවක 20/3 වෙලා තිබුන. 

ඒත් අද ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් දෙන්නම ශතක වාර්තා කරල අපේ කට්ටිය යම් ගෞරවාන්විත මට්ටමකට ගෙනාව. මුලු ලකුණු 259/3 (මැතිව්ස් 117 නොදැවී සහ මෙන්ඩිස් 116 නොදැවී) 

හෙහ්..හෙහ්..කාලෙකට පස්සෙ ක්‍රිකට් ගැන කියවල ලේ කෝප නොවුනු දවසක්...

මේ මැතිව්ස් ලොක්ක සෙන්චරිය ගහල පිච් එක මැද Push-ups ගහනව.
ඒ ඔය හතුරුසිංහට එහෙම කින්ඩියට. දැන් මාස හතර පහක
ඉස්සෙල්ල මැතිව්ස්ගෙ ෆිට්නස් මදි කියල මිනිහව වන්ඩේ ටීම්
එකෙන් අයින් කලානෙ. ඒහින්ද මිනිහ ෆිෆ්ටියක් සෙන්චරියක්
ගහපු හැම වෙලාවෙම ඩ්‍රෙසිං රූම් එක පැත්තට හැරිල
හතුරුසිංහට කෝචොක් එකක් දාන්න අමතක කරන්නෙ නෑ
..හෙහ්..හෙහ්..අවුලක් නෑ ලොක්කා... ඕන කින්ඩියක් දාපන්..
ඔහොම්මම ඩබලකුත් ගහපං...හෙහ්..හෙහ්

Friday, December 14, 2018

619. මව් ගුණ සමර......අම්මා පෙව් කිරි සුවඳ මතක් වෙන්නේ....


පහුගිය නොවැම්බර් 25 වෙනිද පාන්දර මගේ මෑණියන් අභාවප්‍රාප්ත වුනා.

ඊට කලින් දවසෙ සෙනසුරාදා හවස මගේ බිරිඳ මට කතා කලා. "මේ..අම්මව ඉස්පිරිතාලෙ නතර කලානෙ…" ඇය කිව්වා..

"අප්පට සිරි…. ඒ මොකද?" මම එකපාරටම එහෙම ඇහුව. 

අම්මට වයස අසූ හතරක්. ඇය අභාව ප්‍රාප්තවී දින දෙකකින් ඇගේ අසූ හතරවන උපන් දිනය එළඹුනා. ඇය උපන්නේ 1934 නොවැම්බර් 27 වෙනිදා.

"මොකද මේ හදිස්සියෙම?" මම ආයෙත් බිරිඳගෙන් ඇහුව. 

මම එහෙම ඇහුවෙ වයසට යනකොට කාටත් ඇතිවන ඔය ඇඟේ පතේ අමාරුකම් ඇරුනම මගේ මෑණියන් ඇගේ අවසාන කාලය දක්වාම තමන්ගෙ වැඩ කටයුතු කිසි අඩුපාඩුවක් නැතුව තමන්ම කරගන්නට හැකිවන අන්දමට හොඳ සෞඛ්‍යය තත්ත්වයකින් පසුවුන හින්දයි. මේ ළඟක් වෙනකල් ඇගේ ඇඳුම් පවා ඇයම සෝදා ගත්තා.

ඇය මතක ඇති කාලයක සිට පීඩා වින්දේ ආතරයිටීස් නොහොත් සන්ධි ප්‍රදාහය රෝගයෙන් පමණයි. ඊට අමතරව වසර විස්සකට පමණ පෙර හෘදයාබාධයකටත් ගොදුරුවූ නමුත් නිසි ප්‍රතිකාර නොකඩවා ලබාගත් නිසා ඊට පසුව එවන් රෝගී තත්වයක් යලිත් ඉස්මතුවූයේ නැහැ.

ඇයට ආතරයිටීස් වැළදුනේ 1976 වසරේ. ඒ අපි අනුරාධපුරේ පදිංචියට ගිහිල්ල මාස හයක් ගතවන්නටත් ප්‍රථම. එදා ඉඳල අභාවප්‍රාප්ත වනතෙක් ඒ කියන්නෙ වසර හතළිස් දෙකක් ඇය ආතර් අයිය එක්ක ජීවත් වුනා. ආතරයිටීස් රෝගයට ආතර් අයියා කියල නම දැම්මෙ මම.

කොහොම හරි අන්තිමට රෝගය ඇගේ ශරීරයට පත්තියම් වුනා වෙන්න ඕන මට හිතෙන විදිහට. ඇගේ කකුල් සහ අත්වල ඇඟිලි බොහොම කාලෙකට ඉස්සෙල්ල ඇද වුනා. ඒත් ඒ ඇදවුනු ඇඟිලිවලින් ඇය කෙසේ හෝ තමගෙ කටයුතු තනිවම කරගන්නට පුරුදු පුහුණු වුනා. ඇය එහෙමයි. යම් පමණකට මාන්නාධික කාන්තාවක් වූ ඇය කිසිවකුගේ පිහිට පතන්නට කිසිසේත්ම කැමතිවුනේ නැහැ. යටත් පිරිසෙයින් ඇගේ දරුවන්ගේ පවා.

"නෑ අර අම්මට කන්න බැරි නිසා ඇඟ හොඳටම දුර්වල වෙලා. ඒ හින්ද අර ඩොක්ටර් සමන්තිට කිව්වම කිව්වලු එහෙනම් හොස්පිට්ල් ඇඩ්මිට් කරන්නෙයි කියල…"

ඩොක්ටර් සමන්ති කියන්නෙ අම්මගෙ අතිජාත මිතුරියකගෙ දියණිය. අම්මයි ඒ ඩොක්ටර්ගෙ අම්මයි බොහොම දීර්ඝ කාලයක් හෙදියන් විදිහට සේවය කලා මම හිතන්නෙ මුලින්ම මහනුවර මහ රෝහලේ සහ ඉන් අනතුරුව කෑගල්ලෙ රෝහලේ. ඔවුන් කෑගල්ල රෝහලේ සේවය කලේ 1968-1975 අතර කාලයෙ. ඒ මිතුදම ඊට පස්සෙත් නොබිඳී පැවතුනා මේ පසුගියදා මගේ මව මියයන තෙක්ම.

අම්මට ඔය කන්න බැරි අසනීපය හැදිල දැන් මාසයක්වත් නැහැ. මුලින්ම ඝණ ආහාර ගිලින්න බැරුව ගියා. එතකොට කැඳ වගෙ දේවල් විතරයි බිව්වෙ. ඒත් පස්සෙ එව්වත් උගුරෙන් පහළට යන්නෙ නැතුව ගියා. අන්තිම දවස්වල අර ඩ්‍රින්කිං යෝගට් විතරයි උගුරෙන් පහළට ගිහිල්ල තියෙන්නෙ. 

එහෙම යෝගට් විතරක් බඩට ගියාට කොහොමත් මදිනෙ මිනිස් සරීරයක් නඩත්තු කරන්න. ඒ හින්ද ඉස්පිරිතාලෙට ඇතුල්කලාම දොස්තරල උගුරෙන් පල්ලෙහාට බටයක් දාන්න උත්සාහ කරල තියනව. කොහොම හරි දෙතුන් පාරක් උත්සාහ කලත් ඒ වැඩේ සාර්ථක වෙලා නැහැ.

මට හිතෙන්නෙ නම් ඒ අසාර්ථක වීම පසුපස එහෙම බට දැමිල්ලට අම්මගෙ තිබ්බ දැඩි නොකැමැත්තත් හේතු වෙන්ට ඇති. කතා කරගන්ට බැරුව උනත් බැරි බැරි ගාතෙ අම්ම මගේ භාර්යා තොමෝ එක්ක කියල තියනව ..."මටනම්  ඔය බට එහෙම උගුරට දාන්න එපා දුව..එහෙම ජීවත් වෙනවට වඩා හොඳයි...

ඇය වසර විසිහතරක කාලයක් සේවය කල පල පුරුදු හෙදියක් නිසා මම හිතන්නෙ එහෙම උගුරට බට දාල කෑම බීම ඒ බටේ දිගේ බඩට යවල නිකම් ජීවත් වෙනව වෙනුවට ඇඳක් උඩ ජීවත් වුනු රෝගීන් ඉහේ කෙස් ගාණට දැකල ඇති. මම හිතන්නෙ ඇගේ ආත්මාභිමානය ඇයට එහෙම තත්ත්වයක් අත්වෙනවට කොහෙත්ම කැමති වුනේ නැතුවා වෙන්න ඕන. ඇයට ඒකට කිසිම දොසක් කියන්නත් බැහැ එක අතකට. ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සාඩම්බරව තම දිවිය ගෙවූ උඩරට වංශවත් කුළ කාන්තාවක්. මම හිතන්නෙ ඇගේ එකම ප්‍රාර්ථනය වෙන්න ඇත්තෙ ඒ සාඩම්බර කම රැකගෙන මියයන එක වෙන්න ඕන.

පහුවෙනිද ඉරිද..මෙහෙ සාමාන්‍ය වැඩ කරන දිනයක්..මම උදේ එලාම් එක තිබ්බෙ පහමාරට. ඒ කියන්නෙ ලංකාවෙ වෙලාවෙන් නම් උදේ අටයි. එලාම් එකේ සද්දෙට මම නැඟිටල මොබයිල් එක ඔන් කලා.බිරිඳගෙන් මඟහැරුනු ඇමතුම් හයක්ම තියනව. Six missed calls from ..... 

ඒක දැක්කම මට හිතුන එකත් එකටම ....හ්ම්ම්ම්...මම එහෙම්මම ටෙලිෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන මිනිත්තු තුන හතරක් හිටිය ඇඳේ දිගාවෙච්චි ගමන්. 

ඊට පස්සෙ දිග සුසුමක් හෙලල බිරින්දෑට කෝල් එකක් ගත්ත.."මේ…. අද පාන්දර අම්ම නැතිවුනා ඒයි…" ඇය හෙමිහිට කිව්ව...

අපිට කොච්චර වයස ගියත් අපේ දෙමව්පියන්ට කොච්චර වයස ගියත් කවදක හරි අපිත් අපේ දෙමව්පියොත් අනිවාර්යයෙන් මියයන බව දැනගෙන හිටියත් ඒ ආරංචිය ඇහෙනකොට පපුව මොහොතකට නැවතෙන එක හුස්ම මොහොතකට හිරවෙන එක මම හිතන්නෙ අපි කාටවත්ම වළක්ව ගන්න බැහැ. අන්න එහෙමයි සංසාරෙ අපි පතාගෙන ඇවිල්ල තියෙන්නෙ...

ඉතිං මගෙ අම්ම ගැන මෙහෙම එක සටහනකින් ලියල ඉවරයක් කරන්න කොහොමවත්ම බැහැ. ඒ හින්ද ඇය ගැන මතක බණවර ආයමත් ලියන්නම්...

මේ ඊයෙ මම වත්පොතේ සැරිසරද්දි කියවපු හෘදයාංගම සටහනක්..කඳුළු යන්තමට වියලිලා තිබුනු මගේ දෙනෙත යලි තෙත්කල සටහනක්...

අතීතයේ දවසක අම්පාර නගරයේ පැවැති සංගීත වැඩසටහනක් නිම කර කුඩා වේලාවක් විවේක ගැනීමෙන් පසු සංගීතවේදී සනත් නන්දසිරි, ගුවන් විදුලි නිවේදක ප්‍රියානන්ද විජේසුන්දර ඇතුලු පිරිස කොලඹ බලා වෑන් රථයකින් පැමිණෙමින් සිටියෝය. වඩිනාගල පසුකරමින් සියඹලාණ්ඩුව ප්‍රදේශයට එන විට මධ්‍යම රාත්‍රියත් පසුවී තිබිණ.

ඒ දිනවල එම ප්‍රදේශය ඉතා පාළු කැලෑබද ප්‍රදේශයක් වූ අතර ලාහුගල වනෝද්‍යානයේ සිටින අලි ඇතුන් ගල් ඔය වනෝද්‍යානයට මාරුවන "අලි මංකඩ" ඒ හරහා විය.

බොහෝ දෙනා අඩ නින්දේ පසු වුනත් ප්‍රියානන්ද සහ සනත් දෙදෙනා ඇහැ ඇරගෙන විටින් විට කෙටි කතා බහේ යෙදුනෝය. පාර අබලන් වූ නිසා ඔවුන් පැමිණි රථය ගමන් ගත්තේද ඉතාම හෙමිනි.

පාරේ ඈතින් කුඩා සෙලවෙන ආලෝකයක් දුටු අතර ලංවීමේදී දක්නට ලැබුනේ වයස අවුරුදු දහයක පමණ කුඩා සාමණේර හිමි නමක් රෙදි බෑග් මල්ලක් කරේ එල්ලා ගෙන පන්දමක් අතින් දරාගෙන සීතල රාත්‍රියේ දාඩිය දමාගෙන වේගයෙන් පාර දිගේ ඇවිදින අයුරුය.

හිමි නම ලංවනවාත් සමගම වාහනය මදකට නතර කර වූ ප්‍රියානන්ද "පොඩි හාමුදුරුවො කොහෙද මේ මහ රෑ දෙගොඩ හරියේ තනියම කැලේ මැද්දෙ පන්දමකුත් අරගෙන වඩින්නෙ..? පන්සලෙන් පැනල යනවද..?"

ඔහු දෙස මදක් වෙලා බලා සිටි හිමියන්ගේ ඇස් දෙක කඳුලින් බරවී අඬන්නට විය.

"අපේ අම්මට අමාරුයි කියල පණිවිඩයක් ආවා මහත්තයෝ. මාත් එක්ක යන්න කවුරුවෙත් නැති නිසා මම තනියම යනව ඉක්මනට"

"අම්මට මොකක් වෙලාද....?"

"නංගිල දෙන්න බඩගින්නෙ අඬනකොට එයාලට කන්න අල වගයක් හාරන්න බැද්දට ගිය වෙලාවේ වතුර හොයා ගෙන යන හැපින්නක් පෑගිලා. ඌ අම්මට ගහල මහත්තයෝ. අම්මට අන්තිම ලු මහත්තයෝ."

"එතකොට පොඩි හාමුදුරුවන්ගෙ තාත්ත...?"

''අවුරුදු දෙක තුනකට කලිං ගහකින් වැටිල මැරුන මහත්තයෝ"

"පවුලේ තව කවුද ඉන්නේ?"

"නංගිලා දෙන්නා විතරයි"

"ඉතිං අම්ම මොකද කරන්නෙ.....?"

"අම්ම පුලුවන් දවසට ගඩොල් කපන්න යනවා. ඒත් නංගිල පොඩි නිසා හැමදාම යන්නෙ නැහැ."

ප්‍රියානන්දට එතනින් එහාට කතා කර ගත නොහැකි විය. රථයේ සිටි සියල්ලෝම තෘෂ්නිම්භූතව බලා සිටින්නට විය.

"පොඩි හාමුදුරුවො නගින්න මේකට. අපි ගෙදරට ඇරලන්නම්"

"අපේ ගෙදරට යන පාරේ මේව යන්න බැහැ මහත්තයෝ. ගොඩාක් පාරෙන් ඇතුලෙ. දොලකින් එගොඩ වෙලා යන්නත් තියෙනව"

"කමක් නැහැ පොඩි හාමුදුරුවො නගින්න. අපි ගෙදරට යන පාර ලගදි බස්සවන්නම්"

"ඒත් මම මේ පන්දම නිව්වොත් මට ආපහු පත්තු කර ගන්න වෙන්නේ නැහැ. මගේ ගාව ගිනි පෙට්ටියක් නැහැ මහත්තයෝ"

රියදුරා ලඟ වාසනාවට ලයිටරයක් තිබිණ. ටික දුරක් එම රථයේ ගිය එහිමියන් "මහත්තයලට ගොඩාක් පිං. මම තනියම ආවේ බයෙන්. ඒත් මම අම්මට ගොඩාක් ආදරෙයි. අම්ම මාව මහණ කලේ තාත්ත මැරුනු නිසා. එදා අම්ම ගොඩාක් ඇඬුව මහත්තයෝ. තෙරුවන් සරණයි.."

රථයේ සිටි සියලු දෙනා වහාම තම අත තිබූ මුදල් හැකි පමණින් එකතු කර ඒ හිමියන්ට දී "පරිස්සමින් යන්න. අම්මට ඉක්මනට හොඳ වෙයි" කියමින් සාමනේර හිමියන්ට සමුදෙන්නට විය.

මේ සිද්ධිය සියලු දෙනාටම මහා කම්පනයක් ඇති කළ අතර එක දිනක් මේ ගැන සිතමින් සිටි ප්‍රියානන්ද මෙසේ ලියන්නට විය.

භවයෙන් භවයේ පෙරුම් පුරා මම 
බවුන් වඩා උපදින වාරේ..
දිනයක මතුදා හතර වරිගයම 
එතෙර කරන්නම් සංසාරේ..
ඉන් පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ 
ඉන්නම් කිරි සුවඳේ වෙලිලා..
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරින් එතෙර වෙලා..

බෝ මලුවේ මල් සුවඳක පැටලී
අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ..
සුපුරුදු උණුසුමකට හිත ඈඳී
ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ..
දං බෝවිටියා කැලේ මැදින්
එන්න සිතයි නුඹ ලඟට සැනින්..

එතෙර කරන්නම් හතර වරියගම
සංසාරේ යන මේ ගමනින්..
චුට්ටක් සෙල්ලම් කරලා එන්නද
පුරුදු යහලුවන් හා සැණිනේ..
එහෙම ගියොත් ඒ අය පොඩි සාධු
කියා කියනවිට වැඳ වැටිලා..
කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ
වෙල් ඉපනැල්ලේ පැන නටලා..

උපුටා ගැනිම - චාමර වන්නිආරච්චි


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...