Thursday, April 28, 2016

409. You Need Only To Keep Your Eyes Open…Everything Around Us Is Definitely A Miracle

From Google Images

Where have you seen the most amazing sun set of your life? If you are not sure or can't remember let me describe the most breathtaking sun sets I have ever seen. 

When the dying sun which before dipping below the horizon, most reluctantly it seems to be, turns entire shimmering western sky surrounding him to brilliant purple red and crimson hues in a whiff. This surely must be the sun going down in all his glory. If you haven't lived some time in dry zone in my opinion you couldn't possibly have seen that amazing miracle materializing right before your own eyes.

Even if you have lived all your life in Dry zone you may not have observed this truly awe inspiring spectacle; the pyrotechnics of nature if you don't have a keen and observant eye tuned constantly to wonders of nature that are taking place right outside your threshold every minute, every hour and every day.

To be totally intoxicated, flabbergasted and completely astonished by wonders of nature you don't really need to visit mist covered hills of Nuwara-Eliya. Or lie on sparkling beaches of Hikkaduwa.Or climb Adam's Peak to be in time for that renowned phenomenon called " ඉර සේවය. " 

More often than not it would be more than enough just to take a leisurely walk through your garden or look through your window to wonder and mutter to yourself "Oh dear, what am I missing right under my nose."

About three decades back I was stationed on the eastern boundary of north central province right in the middle of dry zone jungle working attached to an irrigation and settlement project. Obviously I was an inexperienced youth just trying to find my feet in life in an alien environment. 

To top it all " අලි මදිවට හරක් " as that pithy Sinhala proverb describes aptly, I was going through a severe crisis in my life for good measure. Suffice it to say that aforesaid crisis was a matter related to heart and soul than the body. Keeping elaborating further regarding that crisis to another day let me tell you about the relevance of that crisis to what I am writing about today i.e. wonders of nature.

I was so naive, impulsive and emotional at that particular time my friends actually feared for my life. I had a real hard time convincing them that I am not likely to do something so drastic. In retrospect I am sure that taking my life didn't cross my mind at all but I can't blame my friends for thinking so considering the mindless state that I found myself inexorably drawn into.

Well let me tell you how I finally overcame that melancholy state of mind that I had immersed myself, by my own free will. Generally you would have thought that it has to be from some sound advice from a respected relative or from a close to heart friend. But not to be in my case. 

Believe it or not it was the most mundane object you can ever think of. A spider web...."What? A spider web?" I can almost hear your shocked voice..."A spider web? you crazy or some thing?" No. my dear friends, it is the truth, the whole truth and nothing but the truth.

After a night of trying in vain to draw my sorrows in that so called remedy for all, I woke at around ten in the morning feeling like hell to find myself immersed in white sunlight streaming through my half open window. Sitting up on my bed and stretching myself to get some life into my still sleepy arms and legs I turned my neck slowly one way then the other breathing deeply and exhaling even deeply to get toxic remnants from last night out of my system.

Just when I had my neck fully stretched to left looking right at the window that something unusual happening there caught my eye. It was something shining in brilliant hues of blue, yellow, purple and even gold.

I was so astonished that I kept staring at that very spot from where that numerous rays of color emanated. But it seemed to be a one off phenomena because I could not discern anything extraordinary thereafter. Presently I was in a quandary being undecided whether to get up and go about starting my day or to lie back again on the bed and go back to sleep or at least just lie there hovering on the border of slumber land.

Still undecided, just for a single moment I turned my head and looked again at the window. May be unconsciously I was still searching for that extra-ordinary thing that happend just a little while ago. By providence or something else I am yet to understand, at that very moment that brilliant light in numerous hues again decided to show itself in all its glory. Naturally I could not restrain myself and wearily but with an increasing curiosity got up and approached the window, where all this amazing display is taking place.

When I reached the window there was nothing remarkable there but an ordinary spider's web stretched vertically on the welded mesh fixed to the window frame to prevent animals coming inside and wreaking havoc. Especially those annoying pests, monkeys. And there were tiny dew drops hanging like pearls from every string of the cob web just on the brink of dropping but like they were unable to make up their mind whether to drop or to hang there a little more.

I was curious and waited there watching the dew drops when the owner and creator of this intricate design came in to view, tentatively at first and then more sure of herself. (Usually only the females of the species make webs) The vibrations caused by her passage although very insignificant were more than enough to cause those dew drops hanging precariously on strings to fall off one by one. they fell on the lower string and caused dew drops already there to fall off to the rung right beneath. 

I was watching this spectacle engrossed when the Sun decided to come out from a cloud and a burst of sunshine came through and shone right on the spider's web making the dew drops dropping from one string to another shine brilliantly in a unworldly sheen.

" this is what I saw" I murmured shaking my head in amazed wonder.

And you know what? It was as if that spider knew I was watching and may be even how depressed I was and decided to do something about it. It sure looked like that. She started dancing away on the web; it sure was dancing because I don't know any other word to describe whirls, spins and gyrations she performed on that web that day.

And she danced her way from one end to the other of her web with dew drops falling like little gems all the way sparkling like tiny sapphires, rubies, garnets and emeralds.

I watched her superlative performance mesmerized with wonder and a sense of fulfillment seeping through and filling me up. Would you believe my dear friends that all that listlessness and all that melancholy that was distressing me just went away as if by magic. 

Yes I thought, what the hell am I doing just loafing around bring despondent about some thing that has already happened and done with that definitely belonged to my past. There are so much more amazing things to do in life, so much more exceptional and beautiful vistas to behold instead of just being foolhardy and wasting away a life that's God given.

Well my dears that’s it, I never looked back from that day onwards and I always remember that little spider and her web when some crisis comes upon my life.

I never saw that amazing sight again, dew drops shining brilliantly like little gems falling off from one strand to another but some times I think may be it was the way it meant to be. I mean it happened once with a purpose or else what happened that day was only in my mind. Well my dears, who knows? however it happened it definitely served it's purpose. Isn't it enough?

Saturday, April 23, 2016

408.දතට කිරුළ නොහොත් Crown For My Tooth.

මම ඔය දත් පිරෙව්වෙ ක්‍රවුන් දැම්මෙ එහෙම මෙන්න මෙතන

අද ලියන්ට යන්නෙ තනිකරම දත් ගැන.එහෙම ලියන්ට උත්තේජනයක් නොහොත් ගැම්මක් ආවෙ මේ පහුගිය සතියෙ මට දත් දොස්තර ගාවට යන්ට සිද්ද වුන හින්ද. මයෙ දත් වහල්ලෙ අප්සෙට් තැන් තුනක් තියනව. එකක් උඩු ඇන්දෙ දකුණු පැත්තෙ පිටිපස්සෙ ඉඳල ම්ම්ම්ම්..ඉන්ටලාකො පොඩ්ඩක් බලන්ට කට වඩබා මුකේ වගේ ඇරගෙන දකුණු දබරැඟිල්ල කටේ ගහගෙන උඩු ඇන්දෙ පිටිපස්සෙ ඉඳල දත් ගනං කරගෙන එන්ට එපාය පණුවො කාපු දත කීවෙනි එකද කියල බලන්ට. ඔය අස්සෙ අර මේ ගෙදර ඉන්න පොඩි වසවර්තිය ආවොත් මේකෙ වසල හමාරයි. ගමටම ඇහෙන්ට කෑගහයි මෙන්නෝ රවි අංකල් කට ඇරගෙන කටේ ඇඟිල්ලකුත් ගහගෙන මොනවද කරනවෝ කියල

හරි අදාල දත ඇවිල්ල හක්කෙ පිටිපස්සෙ ඉඳල ගණං කරගෙන එනකොට හතරවෙනි එක. රයිට් ඔය දත පණුවො කාල පුරවගන්ට උනේ මම අර කැළේ මැද රස්සාවට ගිය අලුතම වගෙ. ගිහිල්ල ඕනනම් මාස හත අටක් යන්ට ඇති වැඩිම.එහෙ රස්සාවට ගිය අලුතම මට නොසෑහෙන්ට ඔය එක එක අසනීප හැදුන.එහෙම තමයි ඉතිං. හා පුරා කියල ඒ වගෙ දුෂ්කරපළාතක වැඩට ගියහම ඔය වගෙ නොයෙක් ලෙඩ දුක් අතුරු ආන්තරා වලට මූණ දෙන්ට වෙනව. එහෙම මූණ කට දීල තමයි අපේ සරීරෙ ඔය කෝකටත් ඔරොත්තු දෙන්ට හැඩ ගැහෙන්නෙ. එහෙම නැත්තං පත්තියං වෙන්නෙ.

වැඩට ගිහිල්ල මාසයක් යන්ට කලිං මට හැදුන ලැට් ඩෝස්.අප්පටසිරි ආය ඕනම නෑ.මගෙ අන්තිම එපාම කරපු හතුරට උනත් මම ප්‍රාර්තනා කරන්නෙ නම් නෑ ලැට් ඩෝස් හැදෙන්ඩයි කියල.ලැට් ඩෝස් එකෙත් තියනව කැටගරීස් තුනක්. මට හැදුනෙ උපරිම දරුණු එක.හරි ඒ ගැන වෙනම පෝස්ට් එකක් ලියන්නං. නැත්තං අද මේ කියන්ට ආපු කතාව කියන්ට බැරි වෙනව. 

හරි ඊළඟට මට හැදුන ඇපෙන්ඩිසයිටිස්. ඒ පාර වහාම ජීප් එකක් කතා කරගෙන ආව මහ රෑම ගෙදර. මොකද ඒ දවස්වල ඇපෙන්ඩිසයිටිස් ඔපරේෂන් කලාම දැන් වගෙ පහුවදාම ටිකට් කපන්නෙ නෑ, දවස් තුනක් ඇඳේම ඉන්න ඕන.ඉතිං ඔය දවස් තුනට කවුරුහරි ලඟ ඉන්ටත් එපාය. එහෙ කවුද ඔව්ව කොරන්ට ඉන්නෙ? ඒ හින්ද රෑම ගෙදර ඇවිල්ල පහුවෙනිද පාන්දරම නුවර ඉස්පිරිතාලෙට ඇඩ්මිට් වෙලා එදාම හවස ඔපරේෂන් කලා. ඒකත් අපූරු කතාවක්..ආයම දවසක කියන්නංකො

ඊලඟට ඔන්න දතක අමාරුවක් ආපි. අප්පේ මොන විදිහටවත් ඉන්ට නම් බෑ. ඒ පාර ඔය කුරුඳු තෙල් අනම්මනම් ගොඩ වෙදකම් කරල රෑ ජාමෙ ගෙවාගෙන පහුවදා පාන්දරම ඒත් ආව නුවර. ඇවිල්ල නුවර ඔර්ලෝසු කණුව ලඟ ඒ කාලෙ තිබ්බ ඩෙන්ටල් සර්ජරි එකක්. දැං ඔය ෆැෂන් බග් එකද මොකක්ද ඇඳුම් කඩයක් තියෙන්නෙ. අන්න එතන උඩ තට්ටුවෙ. පල්ලෙහා තට්ටුවෙ ඒ කාලෙ තිබ්බෙ බ්‍රිටිෂ් කවුන්සිල් එක. බ්‍රිටිෂ් කවුන්සිල් එක පැත්තකින් උඩට යන්ට තිබ්බ පඩි පෙළක්. ඒකෙ නැඟල යන්ට ඕන ඩෙන්ටල් එකට. ඩොක්ටර්ගෙ නම වීරකෝන්. මම ඉතිං ඔතනට ගිහිල්ල අර අප්සට් දත සුද්ද කරල පුරව ගත්ත.

දැං ඉතිං ඔය දත පිරවිල්ල අවුරුදු තිහක් තිස්සෙම නිරුපද්‍රිතව තිබ්බ නිකං බබා වගෙ.ඔය කාලය ඇතුලත ඒ දතෙං හපල මොන මොන දේවල් නම් වළඳන්ට ඇද්ද?එහෙම බොහොම දීර්ඝ කාලයක් නිහඬව සේවය කරපු ඒ දතේ අර පුරවපු එකෙං කෑල්ලක් මේ සති දෙහෙකට වගෙ ඉස්සර කැඩිල පලච්චි.සිකුරාද දවාලක පොඩි එකක් ගන්න ගමං මස් කෑල්ලක් හපද්දි ඥරස් කියල අර දතේ පිරවිල්ලෙං කෑල්ලක් කැඩිල මස් කෑල්ලත් එක්කම ගලනාලය සහ ස්වරාලය හරහා පිත්තාසෙ දක්වාම පල්ලම් බැස්ස.

ඉතිං මොකද කරන්නෙ? ආය ඉතිං මක්ක කියල කොරන්නෙයි? තව ටිකක් ගහල කාල නිදාගත්ත. දත පුරවපු එකෙං බාගයයි කැඩුනෙ. ඒ හින්ද ඒ හැටි අවුලක් එහෙම නම් නෑ. ඒත් ඉතිං කනකොට එහෙම සෑහෙන අපහසුවක් වගෙ දැනෙනව. ඒ හින්ද මම හිතාගත්ත මේ මාසෙ පඩි හම්බ වුන ගමන් ගිහිල්ල ඕක පුරව ගන්නවයි කියල. මෙහෙ ඔය වෛද්‍ය ප්‍රතිකාර කටයුතු අස්ප ගණං. ආණ්ඩුවෙයි මහා පරිමාණ කොම්පැණි වලයි වැඩ කරන උදවියට නොමිලේ එව්වයිං දෙනව මෙඩිකල් ඉන්ෂුවරන්ස්. එහෙම තියනවනම් ඉතිං කල්ල මරේ තමයි.ආය මොනවද යම්තමට දවස් දෙකක් එක දිගට ඇහිබැමේ මස් නැටුවද පහුවදාම ගියා දොස්තර කෙනෙක් ගාවට.

ඔය වගෙ මෙඩිකල් ඉන්ෂුවරන්ස් තියෙන මගෙ යාලුවෙක් ඔය කාගෙද ලණුවක් කාල ගිහිල්ල දොස්තර ගාවට. මිනිහට තියෙන ප්‍රශ්නෙ අර අරව තියෙන්නෙ...අරව කිව්වෙ අරව ...අර දෙකක් තියෙන්නෙ..අන්න හරි එව්ව තමයි.... එව්ව තමයි ඔය දන්නෙ...එව්වයිං එකක් අනිකට වැඩිය පාතලු.ඇත්තටම කියනවනම් ස්වාභාවිකවම එහෙමයිලු පිහිටල තියෙන්නෙ. ඔන්නම් තමන්ටම සෙල්ෆ් ඩයග්නෝසිස් එකක් කරලත් තහවුරු කර ගත්තෑකි. හරි හරි දැම්ම ඕන නෑ..ඒක පස්සෙ කරගන්ටලා. දැන් මේ මගෙ කතාව කියවල ඉන්ට. තව විනාඩි දහයක් පළහක් ගියයි කියල එව්වයෙ මොකවත් වෙනසක් වෙන එකක් නෑ. පාත්වෙලා තියෙන එව්ව එහෙමම පාත්වෙලා තියේවි.ඉස්සිලා තියෙන එව්වත් ඒ විදිහටම ඉස්සිලා තියේවි.

හරි ඉතිං මගෙ අර ඉන්ෂුවරන්ස් තියෙන යාලුවා ගියා දොස්තර ලඟට. දොස්තර දන්න විදිහට කිව්ව බය වෙන්ට දෙයක් නෑ. ඔය ඔව්ව කුට්ටම තියන විදිහම තමයි කියල. මොන? මූ කියන එක අහන්නෙම නෑ. එතන පැල් බැඳගෙන කනිපින්දම් කියනව. ඒක ලෙඩක්ලු. ටෙස්ට් හත අටක් කරන්ඩලු. ඉන්ජෙක්ෂන් ගහන්ටලු එක වැඩයි. බැරිම තැන ඩොකාට යකු නැඟල මූට බැණල එලවගෙන.හෙහ්

ඔය සීන් කෝන් එක ආරංචි වෙලා උගෙ යාලුවො ඔක්කොම යන්ට පටංගති දොස්තර ලඟට. ඒ ඔක්කෝටම තිබ්බ අසනීපෙ අර ලෙවල් මට්ටම් දෙකේ ප්‍රශ්නෙ. බැරිම තැන දොස්තර ගැහුව නෝටිස් එකක් දොරේ.

For The Information Of All Sri Lankans - 

Those two are naturally NOT ON THE SAME LEVEL. As such please refrain from bothering me or my staff complaining about level differences. In fact you should consult me if they are on the same level. 

ඉතිං ඒ මට්ටම් දෙකේ ප්‍රශ්නය පිළිබඳ අතුරු කතාවෙන් ඉක්බිති ආපසු පෙරළා එමු මගෙ දතේ කතාවට.

ඉතිං ඔය ෆිලිං එක බාගෙට ගැලවිලා ඕක මහ හිරිහැරයක් උනාය කියල මම කිව්වනෙ. ඒ හින්ද මම හිතුව ෆිලිං එක ආයම දාගන්ට. ඒ එක්කම මීට අවුරුද්දකට වගෙ ඉස්සර මගෙ යටි ඇන්දෙ දතකුත් නරක් වෙලා පුරව ගත්ත. ඒ පිරවුම මාස තුනක් වගෙ යන්ට කලිංම ගැලවිලාම ගියා. ඩෙන්ටල් සර්ජන් මට කිව්වෙ එතන දතේ ෆිලිං එක තියන විදිහට කොහොමත් ගොඩක් කල් ඔරොත්තු දෙන්නෙ නැතය, ඒ හින්ද බොහොම ඉක්මණකට ක්‍රවුන් එකක් දාගන්ට වෙයිය කියල.

ක්‍රවුන් එකක් දාන්නෙ මෙහෙම.

ක්‍රවුන් දැමිල්ලෙ නම් අවුලක් නෑ. ඒත් මම අර කලිං කිව්වනෙ මෙහෙ මෙඩිකල් කෙයා චාජස් අස්ප ගණං කියල. ගණං හිලව් අහල බැලූ කොට දතට කිරුළ දාන්ට යනව හැට දාහක් වගෙ. ඒ කාලෙ මට පඩිත් නැතුව බොහොම අසීරු ජීවිතයක් ගත කලේ. ඒ හින්ද ෆිලිං එක විතරක් කරගෙන දතට කිරුළ පළන්දන එක ටිකක් කල් දැම්ම. කොහොම කොහොම හරි ඊට පස්සෙ මූල්‍ය තත්වය යහපත් වුනත් කිරුළු වැඩේ දවසින් දවස කල් ගියා. ඔය හින්ද මම කල්පනා කලා ආය මොකටද තවත් කල් දාන්නෙ මේ පාර උඩු ඇන්දෙ දතේ රී-ෆිලිං එක කරගන්න කොටම අර යටිඇන්දෙ ෆිල් කරල තියෙන දතට කිරුළු පැළඳීමත් කරගන්නවය කියල.

ඉතිං ඔන්න මේ පහුගිය බදාදා නෙවෙයි ඊට කලිං බදාදා හවස මම කෝල් එකක් දීල එපොයින්ට්මන්ට් එකක් අරගෙන ගියා දත් දොස්තර හම්බවෙන්ට.මිනිහා ඇවිල්ල කේරලයිට් කෙනෙක්. ඒ කිව්වෙ ඉන්දියාවෙ කේරළ ප්‍රාන්තෙ වැසියෙක්. මිනිහ ඉස්සෙල්ලම මගෙ නමයි මොබයිල් නම්බර් එකයි අහල කම්පීයුටරේ ඩේටා බේස් එකේ මගෙ විස්තර චෙක් කලා. අයිඩෙන්ටිටි කාඩ් එකේ නම්බර් එක ගාවට මෙහෙ අනන්‍යතාවය තහවුරු කර ගන්ට බොහොම වැදගත් වෙන්නෙ මොබයිල් නම්බර් එක.

"Mr. Ravi …It seems I have filled one of your teeth ..mmmm..let's see…. about 8 months ago…yes, August last year"

"Yes, Doctor…and I have another filling to do ..actually it’s a re-filling……."

ඉතිං ඔහොම විස්තර කතාකරල ඩොකා මට කිව්ව අපි චෙක් කරල බලමු කියල. මම ගිහිල්ල අර ඩෙන්ටිස්ට් චෙයාර් එකේ ඉඳගත්ත. ඇසිස්ටන්ට් විදිහට හිටපු ෆිලිපීන් කෙල්ල මගෙ බෙල්ල වගේ නිල්පාට බිබ් එකක් ගැටගැහුවා. ඩොක්ටර් මගෙ කට ඇරවල පරීක්ෂා කලා. ඉනික්බිති මගෙ ෆිලිං එක ගැලවුනු දතට දෙතුන් පාරක් මොකක්ද අඬුවක් වගෙ එකකිං තට්ටු කරල බලල නළල රැලි කරගත්ත. 

ඉම්පස්සෙ පොඩි මැග්නිෆයිං ග්ලාස් එකකුත් දාල තව කිට්ටුවෙලා බැලුව. පොරගෙ ඇහි බැම උඩ ගියා.

"Mr. Ravi... Sir…I can't believe it Sir.." මෙන්න ඩොකා තටම තටම කියන්ට ගත්ත. අප්පටසිරි මගෙ අර කලින් කියාපු එකම මට්ටමේ නැති අවයව දෙකේ ඉඳල පටං ගත්ත හීතලක් බඩ පපුවත් පහුකරගෙන උඩහට ආව..

"බොබ්.ගොල්බ්....බහ්...බොබ්... " මම යන්තමට එහෙම කිව්ව. ඒ මොකක්ද ඒ බාසාව කියල ඇහුව? ඇයි බොලව් අර යස්ස ඩොකා උගෙ අත්දෙකෙම්ම මගෙ කට අප්පල්ලෙ වගෙ දෙපැත්තට ඇදල අල්ලගෙන ඒ මදිවට පොඩි අඬු මිටියක් වගෙ එකකකුයි මග්නිෆයිං ග්ලාස් එකකුත් කට ඇතුලට දාගෙන ඉද්දි ඔයිට වඩා පැහැදිලිව කතා කරන්නෙ කොහොමද? ඔහොම බොබ්..ගොල්බ් බහ්..බොබ්..කියල ඇහුනට මට කියන්ට ඕන කලේ මෙහෙමයි. " ඇයි ඩොක්ට? මොකක් හරි අවුලක්ද?"

"ආහ්..අයෑම් සොරි සර්…" එහෙම කියල ඩොකා අර මගෙ කටට දාල තිබ්බ අඬුබඬු එළියට අරගෙන කට දෙපැත්තට ඇදල අල්ලගෙන හිටිය එකත් අතෑරියා.

ඔන්න ඒ පාර ඇස් දෙක පියාගෙන හොඳ හුස්මක් එහෙම අරගෙන මම ඇහුව ඩොකාගෙන්..."ඩොක්ටර් මොකද ප්‍රශ්ණෙ? ඇයි අර එක පාරටම බය වුනා වගෙ උනේ?"

"මිස්ටර් රවී මම මෙහෙම එකක් මීට කලින් දැකලම නෑ. මේ ඇත්තමයි..මම මේ ගැන අහල තිබ්බට මේ දැක්කමයි" මේ යකා විකාර කියවනව මිසක මොකක්ද වෙලා තියෙන්නෙ කියල කියන්නෙම නෑනෙ. මම ඔලුව හරවල  අර ඇසිස්ටන්ට් ෆිලිපීන් කෙල්ලගෙ මූන දිහා බැලුව ඒ මනුස්සයටවත් මේ යකා මේ කියන මලදානෙ තේරෙනවද කියල බලන්ට. මොන? ඒ කෙල්ලත් තුස්නිම්බූත වෙලා බලා ඉන්නව කටත් බාගෙට ඇරගෙන.

"ඩොක්ටර් මේ කරුණාකරල කියනවද මොකද වෙලා තියෙන්නෙ කියල?" මම බොහොම කොන්ට්‍රෝල් එකේ ඇහුව. "නැත්තං මම අඹරවන එක අඹරවනව අර උඹේ එක මට්ටමට නැති අවයව දෙක..දෙයියම්පල්ල..ගෝඩ් ප්‍රොමිස්"' මම එහෙම සුටු පුටුගාල කට ඇතුලෙං කිව්ව.

"මේ ෆිලිං එක සර් කොයිකාලෙද කරගත්තෙ?" ඩොකා බොහොම ගෞරව සම්ප්‍රයුක්ත බැල්මක් මා දෙසට හෙලා එහෙම ඔන්න අහනව.

"ම්ම්ම්..අවුරුදු තිහක් නැත්නම් තිස් එකකට වගෙ ඉස්සර.."

"ඒකනෙ" The doc said and high fived his assistant, the Filipina girl, who although being completely bewildered went through the motions.

"ඒ කාලෙ ඔය ෆිලිං කරපු ක්‍රමේ දැං බොහොම වෙනස් වෙලා. කොටින්ම අපි ඉගෙන ගන්න කොට ඔය සර්ගෙ දත පුරවලා තියන ක්‍රමේ ගැන ඉගෙන ගත්ත දන්ත වෛද්‍ය ශාස්ත්‍රයෙ ඉතිහාසය යටතෙ. ඒත් කිසිම දවසක මම ඒ ක්‍රමයට පුරවපු දතක් දැකල තිබුනෙ නෑ. මම මේ එහෙම එකක් දැක්කමයි..මේ ඇත්තමයි..." ඩොකා ආයෙම දිවුරන්ට පටං ගත්ත.

"හරි හරි ඩොක්ට දැං ඉතිං මොකද ඩොක්ට කියන්නෙ?" 

"මම සර් ගැන ලියන්නං අපේ කේරල මෙඩිකල් ජර්නල් එකට. මට සර් එක්ක ෆොටෝ එකකුත් ගන්ට ඕන. ඒ එක්කම සර්ගෙ දතේ හොඳ පැහැදිලි ෆොටෝ දෙකක් විතරත් ගන්ට ඕන."

"හරි හරි ඒකට මක් වෙනවද? ෆොටෝ ගන්ටකො." ඔන්න මම අර දන්ත ශල්‍යාගාර පුටුවෙ දිග ඇදිල නිල්පාට බිබ් එකකුත් පැළඳගෙන ඉඳිද්දිම ඩොකා මගෙ පිටිපස්සෙං හිටගත්ත. අර ෆිලිපීන් ඇසිස්ටන්ට් කෙල්ල අපි දෙන්නගෙ ෆොටෝස් දෙකතුනක්ම ගත්ත.

"දැං සර් දතේ ෆොටෝස් දෙක තුනක්?" ඩොකා බැගෑපත් ඉල්ලීමක් කලා. 

ආය දතේ ෆොටෝ එකක් ගත්තට ගෙවෙනවය? ඔන්න ඔහෙ ඕන එකක් කරගත්තාවෙ..මම එහෙම හිතල ඔලුව වනල අනුමැතිය දුන්න. ඒකත් හරි කියමුකො. ඔන්න මම දැං බලා ඉන්නව ඩොකා ෆිලිං එක කරනකල්..ම්හු..මූ වැඩේ පටං ගන්න පාටක් පේන්ට නෑ. එහාට මෙහාට කරකැවි කැවි ඉන්නව. 

බැරිම තැන මම ඩොකාට කතා කලා. "ඩොක්ටර් දැං මොකක්ද ප්‍රශ්ණෙ? මගෙ ෆොටෝසුත් ගත්ත. මගෙ දතේ ෆොටෝසුත් ගත්ත. ඉතිං ඇත්තටම මොකක්ද දැං ඔහෙට තියන ප්‍රශ්ණෙ? "

"නෑ සර් මම මේ බැලුවෙ...ඇත්තම කිව්වොත් සර්ගෙ ඔය දත දන්ත වෛද්‍ය ඉතිහාසෙ සිහිවටනයක්. ඇත්තටම කිව්වොත් පුරාවස්තුවක් වගෙ එකක්. ඔය ෆිලිං එක උඩිං ආයම අලුතින් ෆිල් කරනව කියන්නෙ පුරාවස්තු විනාශයක් කොටින්ම. ඒ හින්ද බැරිද ඕක පුරවන්නෙ නැතුව ඉන්න?"

මට උතුර දකුණ මාරුවුනා ඔන්න ඒ කතාව අහල.

" පිස්සුද ඩොක්ට? මම මේ හරිම අපහසුවෙන් ඉන්නෙ මේ ෆිලිං එකේ කෑල්ලක් කැඩිල හින්ද. ඒකයි මම මේ ඒක පුරවගන්න මෙතෙන්ට ආවෙ. ඩොක්ටර් ඒක අස්සෙ මේ සිහිවටනයි පුරාවිද්‍යාවකුයි ගැන කියවනව. ඔය කෙහෙල්මල් පුරාවිද්‍යාවෙන් මට ඇති වැඩක් නෑ. කරුණාකරල මගෙ දත පුරවනවද?"

මම එහෙම කිව්වෙ අර ඩේන්ටිස්ට් චෙයාර් එකෙන් නැඟිටල බිබ් එකත් ගලවල දාල. 

"හරි හරි සර් කලබල වෙන්ට එපා.සර්ට ඕනම නං අපි ඔය දත පුරවල දාමු. ඒකෙ අවුලක් නෑ." ඩොකා බොහොම කලබලෙන් වගෙ කිව්ව. 

"ඔව්. මට මේ දත පුරවගන්ට ඕනමයි. ඒ හින්ද කරුණාකරල ඒ වැඩේ කරන්ට" මම දඩස් ගාල අර ඩෙන්ටිස්ට් චෙයාර් එකේ ඉඳගෙන කටත් අප්පල්ලෙ වගෙ ඇරල මගෙ පුරවන්ට ඕන දතට ඇඟිල්ලක් දික්කරගෙන කිව්ව. 

"හරි හරි සර් කලබල වෙන්ට එපා..අපි දත පුරවමු." ඩොක්ටර් අවශ්‍ය අඩුම කුඩුම සහ ආම්පන්න අරගෙන වැඩේට ලෑස්තිවුනා.

ඉතිං දතට කිරුළ කතාව ඔච්චරයි. එදා ඩොකා ඒ දත පිරෙව්ව. පස්සෙ ඊළඟ සුමානෙ ගිහිල්ල මම අර කලින් පුරවගත්ත දතට කිරුළකුත් පැළඳ ගත්තා.

අපූරු පොතක් කියවල තියනවද ඔය කට්ටිය "Grass For My Feet" කියල? රචකයා ජේ. විජයතුංග මහත්මයා.. අන්න ඒ වගෙ කවදකහරි මේ කතාව මම පොතක් විදිහට පලකරනවනම් මම දාන නම තමයි "Crown For My Tooth"

Monday, April 18, 2016

407. 21 වන වර්ණදේහය සමඟ ඔබ සහ මම සමවෙන තැන……

අවුරුදු තුනහමාරකට වගෙ ඉස්සර..ඔව්..හරියටම 2012 අවුරුද්දෙ නත්තල් දවසෙ සිද්ධියක් ගැන විස්තර කරලයි මේ කතාව පටන් ගන්න වෙන්නෙ.මම ඒ දවස්වල වැඩ කරපු සමාගමේ ගණකාධිකාරී විදිහට හිටියෙ පිලිපීනුවෙක්. අපි මෙහෙ හඳුන්වන විදිහටනම් පිල්ලෙක්. මුස්ලිම් රටක් විදිහට මෙහෙ නත්තල් දවස රජයේ නිවාඩුවක් නොවුනට බටහිර රටවල සමාගම්, ඒ කිව්වෙ ඔය අමරිකන්, එංගලන්ත, ජර්මන්, ස්පාඤ්ඤ වගෙ එව්ව බහුතරයක නත්තල් සහ ජනවාරි පළමුවෙනිදා නිවාඩු.

දෙසැම්බර් විසි හතරවෙනිද දවල් කන ගමන් එමර්සන් මට ආරාධනාවක් කලා. එමර්සන් කිව්වෙ අර එකවුන්ටන්ට් පිල්ලගෙ නම. ඔය පිල්ලන්ගෙ පිල්ලියන්ගෙ මහ අමුතු නම් තියෙන්නෙ. හූස්ටන්, රැම්පේජ්, ෆිලඩෙල්ෆියා, මිචිගන්, බෲස්ටර් ඔය මම දන්න පිලිපීන නම්.ඉතිං අර එමර්සන් කියන නම ඇහෙනකොටම මට මතක් වෙන්නෙ 19 වන ශතවර්ෂයෙ එංගලන්ත ආණ්ඩුව යටතෙ ලංකාවෙ සේවය කල ඒ වගේම ලංකාව ගැන පොත් කීපයක්ම ලියපු සර් එමර්සන් ටෙනන්ට්.

"Ravi…I want to invite you to lunch tomorrow, just a little get together to celebrate Christmas. You would be free tomorrow I hope…."

"Yeah, no problem there. Ok….I will definitely come Emerson and many thanks for the invitation.."

"No problem. Pleasure is mine. But I have to tell you something beforehand Ravi…"

"Yes, Emerson?"

"I think you know that I have two children,"

"Yeah, You have told me sometime back that you have a boy and a girl."

"But what I didn't tell you is that my daughter has Down's Syndrome."

" that so? I am so sorry Buddy…."

ඩවුන් සහලක්ෂණය ගැන මම යන්තමට අහල තිබ්බට වැඩි විස්තරයක් දැනගෙන හිටියෙනෑ. එදා ඒ වෙලාවෙ එමර්සන් මට ඒ රෝගය ගැන සෑහෙන විස්තරයක් කිව්ව. ඊට පස්සෙ මම අන්තර්ජාලයෙනුත් තවත් විස්තර හොයාගත්තා.

මම අනුරාධපුරේ ඉන්න කාලෙ අපි යාලුවො කට්ටිය තිසාවැවේ නාන්ට ගියාම පුරුද්දක් විදිහට ඉසුරුමුණිය පහුකරල තව පොඩ්ඩක් එහාට ගිහාම වැව් බන්ඩ් එකත් එක්ක පාවුල තියන පොඩි පොල් අතු කඩෙං ඔය කිඹුලෙක් එහෙම නැත්තං සීනි බනිසක් කාරිය කාල පෙලේන්ටියක් ගහනව. හීල් හෙවණෙ පොල් මණ්ඩියෙ ගඩොල් හත අටක් උඩ බැලන්ස් කරල තියාපු පිටලෑලි උඩ ඉඳගෙන. 

ඒ කඩේ මුදලාලියි හාමිනෙයි දෙන්නම අවුරුදු පණහකට වැඩි මිසක අඩු නෑ පෙනුමෙ හැටියට. කඩේ පැත්තක යාලත්තක් බාල තිබ්බ. ඕක ඇතුලෙ බූරු ඇඳක වාඩිවෙලා ඉන්නව අපි දකිනව කොයි වෙලාවෙත් අවුරුදු අටක දහයක වගෙ පිරිමි ළමයෙක්.මූණ කට එහෙම අමුතුයි. ඇස් නිකං උඩට හැරිල වගෙ. කට කොයි වෙලෙත් බාගෙට ඇරගෙන. හරියට කතා කරගන්ට බෑ. වචන කෑලි කියන්නෙ. එහෙමත් නැත්තං උගුරෙං එන මහ අමුතු සද්දෙකිං කතා කරන්නෙ. 

"ඔය අපේ පුතා මහත්තයො. උපදිනකොටම ඔහොමයි. ග්‍රහ අපල කියල තමයි හැමෝම කියන්නෙ. සෙත් සාන්ති පුලුවන් තරමක් කලා.මොන? කිසිම ගුණයක් නෑ"

ප්ලේන්ටී හතරක් බෙලෙක් පිඟානක තියාගෙන ඇවිල්ල අපිට දෙනගමන් එහෙම කිව්වෙ තේ කඩේ මුදලාලි.

"මොකක්ද බං ඒ ළමයට තියෙන අසනීපෙ?"

බයිසිකල් තල්ලු කරගෙන තව අවුරුදු දෙකකින් ප්‍රේමදාස මහත්තයගෙ ගම් උදාව පැවැත්වෙන භූමි භාගය අසලින් එද්දි එහෙම ඇහුවෙ ජයේ...ඒ හරියට ඒ කාලෙ නම් කිව්වෙ කොරකහවැව. 

"අනේ මන්ද බං.... මට නම් පේන්නෙ මොනවහරි මානසික ලෙඩක් වගෙ...පව් මොනව උනත්…"මම එහෙම කියල බයිසිකලේට නැග්ග."ඒයි යමල්ල විජහට..දැන් හයටත් කිට්ටු ඇති"

එදා ඒ තේ කඩේ මුදලාලිගෙ පුතාට හැදිල තිබ්බෙ ඩවුන් සහලක්ෂණය කියල මට තේරුණෙ එදා අර නත්තලට කලින් දවසෙ එමර්සන්ගෙ විස්තරේ අහගෙන ඉඳල ඊටත් පස්සෙ ඒ රෝගය ගැන අන්තර්ජාලයෙ එහෙම විස්තර හෙව්වට පස්සෙයි.

ඩවුන් සහලක්ෂණය ඇතිවෙන්නෙ වර්ණදේහ වල විකෘතිතාවයක් හින්ද. වර්ණදේහවල තමයි අපේ ශරීරයේ සියලුම අවයව, එතකොට පද්ධතීන්, හමේ වර්ණය, ඇස්වල වර්ණය, යනාදී එක් එක් මනුෂ්යයාට ආවේණික ගති ලක්ෂණ තීරණය වෙන ජාන අඩංගු වෙන්නෙ. අපේ සෑම සෛලයකම වර්ණදේහ 46 ක් තියෙනව, යුගල 23ක් වශයෙන්.වර්ණදේහ 23 ක් මවගෙන් සහ 23ක් පියාගෙනුයි අපිට ලැබෙන්නෙ.

එතකොට අනිවාර්යයෙන් ඩිම්බ හෝ ශුක්‍රාණු වල තියෙන්නෙ වර්ණදේහ 23 ක් විතරයි. ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එකතුවෙලා යුක්තාණුවක් (යුක්තාණුව කියන්නෙ කළලයක මූලාරම්භය.ඒ එක යුක්තාණුව නැවත නැවත ප්‍රකෝටි වාරයක් බෙදිල වර්ධනය වෙලා තමයි ඔබ මම අප හැම හැදිල තියෙන්නෙ) හැදෙනකොට ඒ යුක්තාණුවෙ තියනව ආයම වර්ණදේහ 46ක්. 

මේ කියන්නෙ සාමාන්‍ය නෝමල් විදිහ. ඕකෙ පොඩි වෙනසක් වෙන්න පුලුවන් මේ විදිහට. ඩිම්බයක් හෝ ශුක්‍රාණුවක් හැදෙද්දි වර්ණදේහ යුගලයක් හරියට වෙන් නොවෙන්න පුලුවන්. එහෙම ඩිම්බයක හෝ ශුක්‍රාණුවක වර්ණදේහ 23 වනුවට 24 ක් තියෙන්න පුලුවන්. එතකොට ඒ ඩිම්බය හෝ ශුක්‍රාණුව සාමාන්ය වර්ණ දේහ 23 ක් තියෙන ඩිම්බයක් හෝ ශුක්‍රාණුවක් එක්ක එකතුවෙලා හැදෙන යුක්තාණුවෙ වර්ණදේහ 46 ක් නෙවෙයි 47 ක් තියෙනව.

ඊ ළඟට ඒ යුක්තාණුව පිටපත් වෙලා විභේදනය වෙලා ඇතිවන කළලයේ සෑම සෛලයකම වර්ණදේහ 47 ගානෙ තියනව. ඒ කළලයෙන් ඇතිවන දරුවගෙ ශරීරයෙත් එහෙමයි. සෑම සෛලයකම වර්ණදේහ 47 ගානෙ තියනව. එහෙම උනහම වෙන්නෙ දරුවගෙ වර්ධනය එතකොට අනෙකුත් ක්‍රියාකාරකම් නියමිත පරිදි සිද්ධ වෙන්නෙ නෑ.

ඩවුන් සහලක්ෂයෙන් පෙළෙන්නෙ අන්න එහෙම අංක 21 දරණ වර්ණදේහයෙ අතිරේක පිටපතක් සිරුරේ සැම සෛලයකම අඩංගු දරුවො කියලයි පර්යේෂණ වලින් හොයාගෙන තියෙන්නෙ.

21 වන වර්ණදේහයේ අතිරේක පිටපත

මෙතනදි සිද්ද වෙන්නෙ මේ අතිරික්ත වර්ණදේහයෙ බලපෑම හින්ද ශරීරයෙ නොයෙක් වෙනස් කම් ඇතිවෙනවට අමතරව වර්ධනයට පවා බාධා ඇතිවෙනව. මානසික ආබාධයන්ට ගොදුරුවීමේ වැඩි සම්භාවිතාව,ඉගෙනීමේ අපහසුව, පළල් පැතලි මුහුණ, කෙටි නාසය, අසාමාන්‍ය ලෙස විශාල දිව,දත්වල විකෘතිතා,සහජ හෘද රෝග, අසාමාන්‍ය ලෙස විශාල වූ මහාන්ත්‍රය, එකිනෙකට ඈතින් පිහිටන පා ඇඟිලි, එල්ලා වැටෙන පේශි, අසාමාන්ය ශ්‍රෝණි මේඛලාව; මේ සංකූලතාවයන් ඩවුන් සහලක්ෂණයෙන් පෙලෙන්නන්ගෙන් බොහෝ දෙනෙකුට පොදුයි.

හැබැයි මෙහෙම දේකුත් තියනව. මේ ලක්ෂණ හැමෝටම එක විදිහට බලපාන්නෙත් නෑ. පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස්. ඒ වගේම ඒ සංකූලතාවයන් බලපාන තීව්‍රතාවයත් එහෙමයි.හැමෝටම එක විදිහට බලපාන්නෙ නෑ. ලෝකයෙ ඩවුන් සහලක්ෂයෙන් පෙලෙන උදවිය බොහොම දෙනෙක් ඉන්නව තමන්ගෙ සීමාකාරි සාධකත් එක්ක රැකියාවක් කරමින් සාර්ථක ජීවිත ගතකරන අය. ඒ වගේම විවාහ වෙලා දරුවන් ලබාපු අයත් ඉන්නව.

ඉතින් ඔවුන්ට අවශ්‍ය ඔබගේ අනුකම්පාව නොව ආදරයයි. ඔවුන්ද අප වන්ම වූ මිනිසුන් බව කිසිදු කොන්දේසියකින් තොරව පිළිගැනීමයි.

මේ සටහන මවිසින් ලියවෙන්නට හේතුවූ ඒ නිධාන කථාව පවසන්නට දැන් මට අවසර....අමරසිරි පීරිස් කියන්නෙ මගේ ප්‍රියතම ගායකයෙක් කියල මම හිතන්නෙ අමුතුවෙන් කියන්න ඕන නෑ. 

"මචං අමරසිරි පීරිස්ගෙ අලුත් සිංදු වගයක් දාල තියනව යූ ටියුබ් එකේ..අන්න අහපංකො…"

පහුගිය සිකුරාදා එහෙම කිව්වෙ මෙහෙ ඉන්න මගෙ යාලුවෙක්. ඔය නිකමට වගෙ සැපසනීප අහන්ට කෝල් එකක් දීල විස්තර කතා කර කර ඉඳල අන්තිමට ඕකේ දෙන් සී යූ ටකේ කරේ කියල ටෙලිපෝන් එක කට් කරන්ට මොහොතකට ඉස්සෙල්ල.

"අහ් ඇත්තද?.... තෑන්ක්ස් මචං ආරංචියට...." එහෙම කියල මම ඒ වෙලාවෙම පොඩ්ඩක් සෝදිසියක් දාල බැලුව. එහෙම අහපු ගීයක් තමයි මේක....

මේ ඩවුන් සහලක්ෂණයෙන් පෙලෙන සුවහසක් අප සහෝදර සහෝදරියන් වෙනුවෙන් ගැයෙනා අමරසිරි පීරිස් මහතාගේ හෘදයාංගම හඬ...

මෙතැන් සිට මම උපුටා දක්වන්නේ ඒ මහඟු සත්කාර්යය වෙනුවෙන් කැපවූ ඔවුන්ගේ වදන්ය.

ඔබ සහ මම සමවෙන තැන,
සුවදෙයි සිත...... සුවඳයි මට,
කම්පිත මිනිසුන් මැද සුවදෙයි සුවදෙයි මට ඒ සිත,
තෙත් වුණ කදුළක් ළඟ ගිලිහෙන සුසුමක් නැත,
සිතුවිලි පොකුරක් ඇත,
ඒ ඔබ වෙත එවන්න.....

පෙතිදිග කැකුළේ මටමද පිපුනේ,
අඩසඳ දිළිසේවිද පුන්සඳ විලසේ, 
හඬනා ගොළු හදවත ඔබගෙන් සැනහෙන්නට,
මගේ සිත අසනා මිනිසුන් වෙසෙනා,

ඝණ අඳුරෙන් අහන්න පහනද නිවුනේ, 
ඉර මැදියම බලන්න කවුරුද පිපුනේ,
වටහාගෙන බලන්න ඒකද සිහිනේ,
සුවඳයි සුවඳයි මට නුපුරුදු සිහිනේ,

ඔබ සහ මම සමවෙන තැන,
සුවදෙයි සිත...... සුවඳයි මට,
කම්පිත මිනිසුන් මැද සුවදෙයි සුවදෙයි මට ඒ සිත,
තෙත් වුණ කදුළක් ළඟ ගිලිහෙන සුසුමක් නැත,
සිතුවිලි පොකුරක් ඇත,
ඒ ඔබ වෙත එවන්න.....

ගායනය - අමරසිරි පීරිස්

පද රචනය - වසන්ත දුක්ගන්නාරාල

සංගීතය - ශමින්ද ආරච්චිගේ

අධ්‍යක්ෂණය - සජන්ති බෝපිටිය

When you judge someone based on a diagnosis , you miss out on their abilities, beauty and uniqueness.

සෑම මවකගේම පියෙකුගේම සිහිනය වන්නේ නිරෝගී දරුවකු බිහිකර ගැනීමයි. දෙවනුව පිරිපුන් බුද්ධිමත් දරුවකු බිහිකර ගැනීමයි. නමුත් විවිධ වූ සංකූලතා සහිතව මෙලොව එළිය දකින දරුවන් අප සමාජය තුළ දැක ගැනීම අද දුලබ නොවේ. ඒ අතරින් ඩවුන් සින්ඩ්‍රම් හෙවත් සෙමෙන් මනස වැඩෙන දරුවන් සුවිශේෂීය. ඔවුන් ''හෙට නවලොව දිනන්නට සිටින ජාතියේ ජීවනාලිය වන් දරුවන් '' යැයි ලොවට හඩ නඟා කියන්නට අපට නොහැකිය. 

නමුත් ලොව සුවඳවත් කරන මල් කැකුළු වන් දරුවන් යැයි ඔවුන් හැඳින්විය හැක. මන්ද යත් මෙම සෙමෙන් මනස වැඩෙන දරුවන් සතු විශේෂ හා විවිධ වූ දක්ෂතා මෙන්ම කුසලතා නිසාවෙනි. විටෙක ඔවුන් ජාත්‍යන්තර පවා දිනන්නට සමත් වූහ. විශේෂ අවශ්‍යතා සහිත වුවත් ඔවුන් අප හා සමානය. නමුත් ඔවුන්ට අවශ්‍ය වන්නේ අනුකම්පාව නොව ආදරය, කරුණාව සහ මඟ පෙන්වීමයි. 

''ඔබ = මම'' ගීතය මෙම විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් නිර්මාණය වූවකි. අප විසින් සිදු කළ මේ ප්‍රයත්නය ඔවුන් වෙනුවෙනි.

''ඔබ = මම'' ගීතයෙහි රූප රචනය නිර්මාණය කිරීමේදී එයට දායක වූ පිරිස් මෙන්ම ඒ වෙනුවෙන් තම කාලය, ශ්‍රමය කැප කළ පිරිස් ද බොහෝමය. මුදල් මත සියලු දේ පදනම් වන මෙවන් යුගයක මෙම නිර්මාණය වෙනුවෙන් ඔබ දැක්වූ දායකත්වය වර්තමාන සමාජය හඳුන්වන ඒ හැඳින්වීමට නම් වලංගු නොවේ. මේ විශේෂ ස්තූතිය ඔවුන් වෙනුවෙනි. 

කැමරා අධ්‍යක්ෂණය - සඳරුවන් කංකානම්ගේ 
කලා අධ්‍යක්ෂණය - නාලක ඉලේවතුර
ට්‍රැක් ඩොලි ක්‍රියාකරවීම - සුමිත් ඒකනායක
ආලෝකකරණය - ගයාන් රත්නායක
වේශ නිරූපනය - නිෂා ගමගේ

ඒ වගේම රූප රචනය නිර්මාණය කිරීමේදී දෙමාපියන් සහ ඥාති හිතමිත්‍රාදීන් විසින් සිදු කළ දායකත්වය ද අති මහත්ය. ඔවුන්ගේ දිරිගැන්වීම් හා මඟපෙන්වීම් අපට ශක්තියකි. 

"ඔබ සහ මම'' ගීතය ඔබ තුළ ඔවුන් පිළිබඳ සුපහන් හැඟීමක් ඇති කරලීමට සමත් වූයේ නම් ඒ අප ලැබූ ජයග්‍රහණයයි.          ( උපුටා ගැන්ම අවසන් )

මා ප්‍රිය සහෘදයනි මේ සත්කාර්යය වෙනුවෙන් දාකවූ ඔබ සැමට බොහෝසේ පින් !!!

පලි - අහ්..තව පොඩ්ඩෙංනං මට එක කතාවක් ඉවර කරන්ට අමතක මතක බැරිවෙනව. එමර්සන්ගෙ කතාව.....

පහුවදා මම පොඩි එවුන් දෙන්නට සෙල්ලම් බඩු දෙකකුත් අරගෙන එමර්සන්ලගෙ ගෙදර ගියා. එමර්සන්ගෙ පොඩි එකීගෙ නම මෙලඩි. මෙලඩි කියන්නෙ තාලය නැත්නම් තනුව.මධුර තවත් අර්ථකථනයක් දුන්න. ස්වර මාධූර්යය...පොඩි කෙල්ල මෙලඩි එකක් වගේම ලස්සනයි.අර ඩවුන් සින්ඩ්‍රම් එකේ දර්ශීය ලක්ෂණ ඉතාම පැහැදිලිව පේන්ට තිබුනා වුනත් හරිම හුරතල්. Most probably she was such a sweet little girl not despite but because of her disability.

දවල්ට කාල එහෙම හවස තුනට වගෙ මම එන්ට පිටත් වුනා. මෙලඩිත් වඩාගෙන එමර්සන් ඔවුන්ගෙ තට්ටු නිවාසෙ පහළමාලයටම ආව මාත් එක්ක.

"Say goodbye to Ravi uncle" එමර්සන් එහෙම කිව්වට ඒ කෙල්ලට තේරුමක් තිබ්බෙ නෑ. ඔහේ බලා ඉඳල යන්තමට හිනා වුනා.

"She is my life, my Little angel" එමර්සන් එහෙම කියල මෙලඩිව තුරුළු කරගෙන සිපගත්තා. ඊට පස්සෙ මට අත වනල සමුගත්තා.

පපලි - ඔබ සියලු දෙනාටම සුබ නව වසරක් වේවා!!!

Monday, April 11, 2016

406. The Story Of My Marriage - 20 - කැලරි විසිදාහක් රැගෙන පැමිණි මධ්‍යම ප්‍රමාණයේ පියාඹන පීරිසියක්

Chole Bhature : Image from

අනන්‍යා පිළිබඳ සිහින ලෝකයෙන් මට මිදෙන්නට සිදුවූයේ පියගැට පෙළ බැස ඩොලී අප අතරට පැමිණි බැවිනි. ඇය පැමිණීමට තත්පර පහකට පෙර ඇය ගැල්වූ විලවුන් සුගන්ධය අප කරා පැමිණියේය.

"හෙලෝ හෙලෝ ආන්ටිජී…. කොහොමද ඉතිං?" ඩොලී මගේ මව කරාගොස් ඇය තරයේ වැළඳගත්තාය.

"හප්පේ ඇත්තටම ඔයා නම් හරිම ලස්සනයි" මගේ මව මඳක් පසුපසට බරවී ඩොලී දෙස මදහසින් යුතුව නිමේෂයක් බලා හිඳ පැවසූයේ ප්‍රීතිය උතුරායන දෙනෙතින් යුතුව ඇගේ දෙකොපුල සිප ගනිමිනි.

ඩොලී තම මව අසලින් අසුන්ගත්තේ මදෙස බලා හිස මඳක් පහත්කොට අචාර කරමිනි.මම ද එළෙසම ඇයට ආචාර කලෙමි. මගේ මව පැවසූයේ පරම සත්‍යයකි. රන් පැහැ සිරස් ඉරි වැටුනු වයින් රතු පැහැති සල්වාරයකින් සැරසී සිටි ඇය අසාමාන්‍ය ලෙස සුදු පැහැතිය.

මගේ දෙතොල් ක්‍රමයෙන් මද සිනහවකින් විවරවන්නට වූයේ අහමදාබාද් තාක්ෂණ ආයතනයෙහි පළමු වසරේ ඉගෙනුම ලබද්දී සිදුවූවක් මතකයට නැඟුනු බැවිනි. ඒ අප විද්‍යායතනයෙහි වාර්ෂික ගොඩනැඟිලි අළුත්වැඩියාවන් සහ පින්තාරු කිරීම් කෙරෙන කාලසීමාව විය. අප නේවාසිකාගාරයට ආසන්නයේ වූ තෙමහල් ගොඩනැඟිල්ලක සුදු පැහැ තීන්ත ආලේප කරමින් හුන් පින්තාරුකරුවකුගේ අතපසුවීමකින් ගිලිහුනු තීන්ත බාල්දියක වූ තීන්තෙන් ඒ අසලින් ගමන් කරමින් හුන් මගේ නේවාසිකාගාර සගයකුවූ හෙන්රි හිස් මුදුනෙහි සිට දෙපතුල තෙක් නැහැවිණ.

තීන්ත බාල්දිය පෙරලූ පින්තාරුකරුගේ මවගේ, සුළු පියාගේ, භාර්යාවගේ, මළනුවන්ගේ සිට අළුත්වැඩියා කටයුතු ඉටුකරනා කොන්ත්‍රාත්කරුට එම කොන්ත්‍රාත්තුව ප්‍රදානය කල අප ආයතනයේ ප්‍රසම්පාදන අංශයේ ප්‍රධාන ඉංජිනේරුවරයාගේ පියාගේ, නැන්දණියගේ, වැඩිමහල් සොහොයුරාගේ, බාල පුත්‍රයා දක්වා සියල්ලන්ගේම ජාතකය හඬ නගා පවසමින් එලෙසම ඔවුන් සියල්ලන්ටම පස් පඩංගුවේ අසභ්‍ය වදනින් බැණ වදිමින් මීට සිව් වසරකට පෙර නේවාසිකාගාරය වෙත කඩා වැදුණු හෙන්රිගේ ප්‍රස්තුත අවස්ථාවේ වර්ණයද ඩොලීගේ වර්ණය හා සර්වසමය.

ඩොලී කුඩා අවදියෙහිදී සුදු පැහැ තීන්ත භාජනයකට වැටුණේද, එසේත් නැතහොත් ඇයට ළදරු අවදියෙහිදී මව්කිරි වෙනුවට ආදේශකයක් ලෙස සුදු තීන්ත පොවන ලද්දේද යනුවෙන් පම්මි ආන්ටිගෙන් විමසන ලෙස පෙරළා නිවෙස බලා ගිය ඉක්බිති මගේ මවගෙන් ඉල්ලා සිටීමට මම අදිටන් කොට ගතිමි.ඒ සමඟම මගේ දෙතොලග නැඟුනු මද සිනහව නොදැනුවත්වම තවත් පුළුල් විය.

මිසරයේ ක්ලියෝපැට්‍රා රැජිණිය තම සමෙහි වර්ණය වඩාත් පැහැපත් කොටගනු පිණිස ඔටු කිරි පිරවූ තටාකයක බැස ස්නානය කල බැව් කලකට පෙර කියවූ ඉතිහාස පොතක සඳහන්ව තුබූ බැව් ද මට එකෙණෙහිම මතක් විය. ඩොලීද ඔටු කිරි කෙසේ වුවද පිටිකිරෙන් හෝ දිනපතා ස්නානය කරනවා විය යුතුය. 

සේවිකාවක් දෙදෙනෙක් ඇගේ නාන තටාකය දෙපස හිඳ අමුල් කිරි පිටි (අමුල් යනු ඉන්දියාවේ ඉතා ජනප්‍රිය පිටිකිරි වර්ගයකි.) කිලෝ පහේ ඇලුමිනියම් ඇසුරුම් මෙලෝ සිහියක් නොමැතිව කඩමින් නාන තටාකයෙහි පිරවූ ජලයට දමා කුඩා සවලක් පමණ වූ ලී පතු දෙකක් උපයෝගී කොටගෙන මිශ්‍ර කරමින් දිය කරනුද ඒ අසලම කුඩා තුන්පා කනප්පුවක් මත හිඳගත් ඩොලී තුවායක් පමණකින් විළිවසාගත්වනම ඒ දෙස නොඉවසිල්ලෙන් බලා හිඳිමින් සේවිකාවන්ට බැණවදිනුද ඒ හා සමඟම මසිතට නැඟුනි. 

"ඉක්මන් කරපල්ල කෙල්ලනේ. මනමාලය පල්ලෙහා ඇවිල්ලත් ඇති දැං...මම පරක්කු වෙලා මනමාලය යන්ට ගියොත් එහෙම නොකිව්වයි කියන්ට එහෙම එපා ඔය කිරි ඔක්කොම මම උඹල දෙන්නටම පොව්වනවා."

මසිතේ මැවුණු එම දර්ශණය කොපමණ හාස්යජනක වීද යත් මට නොදැනුවත්වම සිනහ පහළ විය.ඒ විගස කිසිවකු තදින් මගේ උරහිස මිරිකනු දැනී එදෙස හිස හැරවූ මට දැකගත හැකිවූයේ මහත් ප්‍රීතියෙන් ඉපිළෙමින් මුව පුරා පැතිරුණු සිනහවකින් යුතුව මදෙස ඇසිපිය නොහෙලා බලා හිඳිනා මගේ මෑණියන්ය.

"මොකද අම්මෙ?" මම එකෙණෙහිම සිනහව මුහුණින් මකා දමා දෑස් කුඩා කොට ඇසීමි. 

"හිහ්..හිහ්..ගිහ්...මොකද තමයි... කොහොමද කෙල්ල රූප රාජිණියක් පරාදයි නේද? හරි..හරි..ක්‍රිෂ්..කිසිම ප්‍රශ්ණයක් නෑ. මම දැක්ක ඔයා ඩොලී දිහා බලල බොහොම අපූරුවට හිනැහෙනව. මම මේ ඒ විදිහට ඔයා බොහොම සන්තෝසෙං හිනාවෙනව දැක්කෙ බොහොම කාලෙකට පස්සෙ. මටත් බොහොම සන්තෝසයි ක්‍රිෂ්, ඇත්තටම සන්තෝසයි...මම ටක්කෙටම දැනගෙන හිටිය මේ දරුව දැක්කගමං ඔයා.."

ඇය කියවාගෙන ගියේ මදෙසට නැවී මගේ කණට ඇගේ මුව ළංකොට කොඳුරමිනි. මම ද එළෙසම කොඳුරමින් ඇය ඇමතුවෙමි.

"මේ පිස්සු කියවන්නෙ නැතුව ඉන්නවද ඔය ඉන්න විදිහකට..මම දැං යනව යන්ට මෙතනිං නැඟිටල…"

ඇය සුරතින් කට වසාගෙන සිනහව වළක්වා ගන්නට අසාර්ථක උත්සාහයක් ගත්තාය. 

"මොකද අම්මගෙයි පුතාගෙයි සාකච්ඡාව ඔතන?" පම්මි ආන්ටි සිනාසෙමින් විමසුවාය. 

"නෑ පම්මිජී මේ ක්‍රිෂ් කියනව……"මගේ මව මා දෙස හොරැහින් බැලුවාය. 

"අම්මෙ මේ මම කිව්වනෙ ...මම යනව යන්ට ඔන්න" මම කසුකුසුවෙන් ඇයට තර්ජනය කළෙමි. 

"හිහ්..හිහ්..ඒක හොඳයි..අම්මයි පුතයි හරියට යාලුවො වගෙ...අන්න එහෙම තමයි ඉන්න ඕන" පම්මි ආන්ටි පැවසුවාය.

"හ්ම්ම්ම්ම්..යාලුවො තමයි…" මම මව දෙස නොපහන් දෑසින් යුතුව බැල්මක් හෙලූයෙමි. ඇය සුරතින් මුව වසාගත්වනම නොකඩවා සිනාසුණාය. 

"දැන් මේ ඩොලියි මායි උනත් එහෙමයි..අපි දෙන්න හරියට අක්කයි නංගියි වගෙ ඉන්නෙ. කිව්වට විස්වාස කරන්ට කවිතාජී හුඟ දෙනෙක් රැවටෙනව අපි දෙන්න අක්කයි නංගියි කියල."

හ්ම්ම් ඒක නම් ඇත්තම තමයි.... මව සහ දුව ඔවුනට නොදැනෙන ලෙස සසඳමින් මම සිතුවෙමි. එක වගේම තමයි.... නොදන්න මිනිස්සු රැවටෙන එක පුදුමයක් නෙවෙයි. අර පේන්නෙ නැද්ද දෙන්නගෙම පපුව හරිය ...යටට ගිහාම හත් අට දෙනෙකුට සාමාන්‍ය තරමෙ වැහි පොදකට හිටියැහැකි තෙමෙන්නෙ නැතුව....හෙහ්,හෙහ්, මට පුදුම මේ ගොල්ල ළමයින්ට කිරි දෙන්නෙ කොහොමද කියල පොඩි එවුංගෙ නහය තදවෙල හුස්ම හිරවෙලා මැරිල යන්නෙ නැතුව....

"මොකද දුවේ ඔයා මේ දවස්වල කරන්නෙ ?" හිඳසිටි සෝපාවෙන් නැඟිට ඩොලී අසලට ගිය මගේ මව විමසූයේ ඇගේ සුරත ගනිමිනි.

"මම බී.ඒ. පාස් වුනා ආන්ටි...."

"ඇත්තද?.... අනේ වාසනාවන්...මොන කැම්පස් එකේද?" මගේ මව එලෙස විමසන අතර මා දෙස බලා ඉඟි මැරූයේ ඔන්න දැක්ක නේද? මේ ළමයටත් උපාධියක් තියනව. යන්න නොකියා කියමිනි. 

"කැම්පස් එකක් නෙවෙයි ආන්ටි. තැපැල් මාර්ගික….ඒකෙ පාඩම් ඔක්කොම ආවෙ තැපෑලෙන්. උත්තර යැව්වෙත් එහෙමයි. "

"ඔව්..අනේ ගෙදර ඉඳන්ම උපාධියක් ගන්න පුලුවන් කම තියෙද්දි අර අහවල දේකටද කැම්පස් ගිහිල්ල දුක් විඳින්නෙ? නැද්ද?.." ඒ පැහැදිලි කිරීම පම්මි ආන්ටිගෙනි. "ආ..ඒක නෙවෙයි ඔයා ඊට පස්සෙ කරන අර කම්පියුටර් කෝස් එක ගැනත් විස්තර කියන්න මේ ආන්ටිටයි ක්‍රිෂ්ටයි….අනේ මට අමතකම වුනා, කවිතාජී තව මොනවහරි කන්න මොකවත් ගෙන්නන්නද?"

ඩොලී යමක් පවසන්නට මුව විවර කල නමුදු ඇගේ මව සහ මගේ මව යන දෙදෙනාම ඇය හදාරන පරිගණක පාඨමාලාවට වඩා කොහොමත් සිත්ගන්නා සුලු මාතෘකාවක් වූ ආහාර පිළිබඳ සාච්ඡාවකට අවතීර්ණ වී සිටිනු දැක නිශ්ශබ්ද වූවාය.

"අනේ එපා පම්මිජී... ඔයාකාර කතැහැකිය? මේ කෑව හොඳටම ඇති." මගේ මව පැවසූවද ඉන් සත්‍ය වශයෙන්ම අදහස් වූයේ කනවද නැද්ද කියල ආය අහ අහ ඉන්නවද? තියන දෙයක් ගේන්නකො බලන්න කන්ට පුලුවන්ද බැරිද කියල එතකොට අපි බලමු යන්නයි. පම්මි ආන්ටිද ඒ සැඟවුනු අර්ථය පිළිබඳ හොඳහැටි දැන සිටියාය.

"මේ මොනවද මේ කියන්නෙ? ඔයගොල්ලො එක්කො දවල් කෑමට එන්ට ඕන. එගෙම ආවෙත් නෑ. එක්කො රෑ කෑමට එන්ට ඕන ඒ දෙකම නෙවෙයිනෙ දැං….ඒ හින්ද අඩුගානෙ මට ඉඩ දෙන්ට මගේ හිතේ හැටියට රසකැවිලි වලින්වත් සංග්‍රහ කරන්ට.නැත්නම් මගෙ හිතට ඒක මහම මදිකමක්."

"රාජූ..කෝ මේ රාජූ….."ඇය හිස එහා මෙහා හරවමින් බෙරිහන් දුන්නාය, "ඒයි ගිහිල්ල අර කැවිලි බන්දේසිය අරගෙන එනවා පරිස්සමට. ආ...අර ඊයෙ ගෙනාපු චට්නි ඔක්කොගෙන්ම දීසිය දීසිය ගානෙ දාගෙන එනවා..තේරුණාද?"

රාජූ සහ තවත් සේවකයෙක් නිවසේ මුලුතැන්ගෙය දෙසට කඩිනමින් දිව ගියේ අසාධ්ය රෝගියකුගේ ජීවිතය බේරාගැනීමට ශල්‍යාගාරය වෙත වහ වහා දිවයන ශල්‍ය වෛද්යවරුන් දෙදෙනෙකු පරිදිය.

මද වේලාවකින් රාජු සහ සඟයා ආපසු පැමිණියේ මධ්‍යම ප්‍රමාණයේ පියාඹන පීරිසියක් තරම් වපසරියකින් යුත් පළඟානක් ඔසවාගෙනය. 

(වැදගත් - පියාඹන පීරිසියක ප්‍රමාණය හා /හෝ පියාඹන පීරිසි කුඩා, මධ්‍යම සහ විශාල යනුවෙන් වර්ග කොට තිබේද? එසේ නම් එළෙස වර්ග කලේ කවුරුන් විසින්ද? යන කිසිලෙසකින් හෝ අදාල නොවන ප්‍රශ්ණ ඔබ මගෙන් නොවිමසනු ඇති බවට මම උපකල්පනය කරමි මා දයාබර පාඨකය, එළෙසම ඔබ එසේ විමසුවද මම ඊට පිළිතුරු නොදෙන්නෙමි.) 

රාජූ සහ සඟයා විසින් ඔසවාගෙන එනු ලැබූ මධ්‍යම ප්‍රමාණයේ පියාඹන පීරිසිය මත නොතිබූ යම් රසකැවිල්ලක් වේනම් ඒ ඊයේ හෝ පෙරේදා සොයාගත්තක් විය යුතුය. සමෝසා, ජලාබි, චෝලේ භතූර්, කචෝරි යනාදී නොයෙක් රසකැවිලි සහ කෙටි කෑම වර්ග දීසිවල කොත ගසා මධ්‍යම ප්‍රමාණයේ පියාඹන පීරිසිය මත බැබලුනි. රක්ත, පීත සහ හරිත වර්ණයන්ගෙන් දිදුලන නොයෙක් චට්නි වර්ගද ඉහත කී ආහාර පිරිවරා සිටියෝය. ඒ මතවූ ආහාර තොගයෙහි කැලරි ධාරිතාවය අවම වශයෙන් විසිදහසක් පමණ වන බවට මට කිසිදු සැකයක් නොවීය.

(පරිවර්තක සටහන - සමෝසා පිළිබඳව ඔබ දන්නෙහිය. ජලාබී යනු අපගේ පැණි වළලු වලට බොහෝසේ සමාන රසකැවිල්ලකි. චෝලේ භතූර් යනු  පිසගත් කඩල වෑංජනයක් හා සමඟ ගැඹුරු තෙලෙහි බැදගත් තිරිඟු පිටි වලින් තනාගත් කුඩා රොටී වැනි ආහාරයක් එකතු වූ කල ඒ හඳුන්වන නාමයයි. කචෝරි යනු අර්තාපල් කඩල වැනි යමක් පුරවා තෙලෙහි බැදගත් පස්තෑල වැනි ආහාරයකි. )

"අයියෝ මේ මොනවටද පම්මිජී මේ හැටි? මට නම් කන්නත් බෑ වගෙ" මගේ මව පළමුව ඇගේ දෑත් වනා විරෝධය පළ කලාය. ඇගේ විරෝධය ප්‍රමාණවත් ලෙස පලකල ඉක්බිති මධ්‍යම ප්‍රමාණයේ පියාඹන පීරිසිය මත වූ පිඟානක් සුරතට ගත්තේ "ඔන්න ඔය සමෝසා දීසිය මෙහාට දෙන්නකො ළමයො" යයි සේවකයකු අමතා අණ කලාය.

"හරි හරි කවිතාජී ඔයාල දවල් හරි රෑ හරි කෑමකට එන්නකො පස්සෙ වෙලාවක. මේ නිකං මම පොඩි කට ගැස්මකට වගෙ ලෑස්ති කලේ." පම්මි ආන්ටි සිනාසෙමින් පැවසුවාය.

තව දුරටත් ඩොලී හා සමඟ වචනයක් හෝ කථා නොකළහොත් අනිවාර්යයෙන්ම මම වනාහී මන්ද බුද්ධියෙකුයයි ඇය සිතන්නට ඉඩඇති බව මගේ මවගේ සහ පම්මි ආන්ටිගේ විගඩම් නරඹමින් කට කොණකට නැඟුනු සිනහවකින් යුතුව හුන් මට හදිසියේම කල්පනා විය.

"මේ..මොකක්ද ඔයා කරනවයි කිව්ව කම්පියුටර් කෝස් එක?" මම ඩොලී දෙස හැරී විමසූයෙමි.

"මයික්‍රෝසොෆ්ට් වර්ඩ්, පවර් පොයින්ට්, ඊමේල් ඔන්න ඔය වගෙ එව්ව. මම හරියටම දන්නෙ නෑ අනේ. මේ ගිය සුමානෙනෙ පටන් ගත්තෙ. කොහොම හරි පේන විදිහට සෑහෙන්න අමාරුයි වගෙ."

"ඔව්..ඔව්..ඔව්...පේන විදිහට නම් ලේසි වෙන එකක් නෑ වගේ තමයි" ඒ හා සැණෙකින් මම ඒ නර්මාලාපය පිළිබඳව පශ්චාත්තාප වූයෙමි.

"මගෙ යාලුවො හැමෝම වගෙ ඔය කෝස් එක කරනව. ඒ හින්දයි මමත් ගියේ. තව දවසක් දෙකක් ගිහිල්ල බලමුකො. අමාරුයි වගේනං දමල ගහල මම නිකා ඉන්නව" ඩොලී මදෙස බලා සිනාසුනාය. "ඔයා නං මම හිතන්නෙ ඔව්ව ගැන හොඳට දන්නව ඇති නේද? "

"හ්ම්ම්ම්....ඔව්..ඔය සමහර සමහර දේවල් දන්නව."

ඩොලී සහ මම කථා කරන්නට ආරම්භ කල මොහොතේම පම්මි ආන්ටි සහ මගේ මව ඔවුන්ගේ කථාව නතර කළෝය. ඔවුන් දෑස් විසල් කොට අප දෙස බලාසිටිනා බව දැනුනු විගස ඩොලී සහ මගේ කථාවද නතර විය.

"හරි හරි අපි හිටියට කමක් නෑ. ඔයදෙන්නා දිගටම කතාකරගෙන යන්න"

පිළිවෙලින් ඩොලීගෙ සහ මගේ මුහුණු දෙස බලා මුව පුරා සිනාසුනු මගේ මෑණියෝ ඉක්බිති පම්මි ආන්ටි දෙස බලා දකුණැස වසා ඉඟි මැරුවාය. පම්මි ආන්ටිද එසේ ඉඟි මැරූ අනතුරුව ඔවුහු දෙදෙන දෑත් එක්කොට ඇස් ඉහළට යොමුකොට දෙවියන්ට ස්තූති කළෝය.

Saturday, April 9, 2016

125. ජීවිතය පස් ගොඩක... සහ තවත් කතා

බිත්තියට කෝපි කෝප්පයක්

වැනිසියේ පිහිටි, කවුරුත් හොඳහැටි හඳුනන කෝපි වෙළෙඳසලකි. මාත් මගේ මිතුරාත් දිනක් කෝපි බිඳක් තොලගානු පිණිස එහි ගොඩ වීමු.

අප කෝපි රස විඳිමින් එදිනෙදා රටතොට තොරතුරු පිළිබඳ සල්ළාපයෙහි යෙදී සිටියදි, වෙළෙඳසලට ඇතුළු වූ පුද්ගලයෙක් අප ළඟ ම තිබූ හිස් මේසයේ අසුන් ගත්තේය. සේවකයෙකු ඇමතු ඔහු සිය ඇණවුම මෙසේ ලබා දුන්නේය.

“කෝපි කෝප්ප දෙකයි. එකක් බිත්තියට...”

අපට එය අමුතු ඇණවුමක්!

කතා බහ අතරේ ම එදෙසට වරින් වර ඇස කන යොමු කරන්නත් අපි වග බලා ගතිමු. ඇණවුම කෝපි කෝප්ප දෙකක් වුවත් ඔහුට ලැබුණේ එකක් පමණි. නමුත් ඔහු දෙකකට ගෙවීම් කළ අයුරු ද අපි දුටුවෙමු.

ඔහු පිටව ගියේය. අනතුරුව සේවකයා ‘කෝපි කෝප්පයක්’ යන වදන් පෙළ සහිත කඩදාසි කැබැල්ලක් ඒ අසල වූ බිත්තියෙහි රැඳවූයේය.

අප තවදුරටත් එහි රැඳී කෝපි රස විඳිමින් සිටින අතර වෙනත් මිනිසුන් දෙදෙනෙකු වෙළෙඳසලට ඇතුළු විය.

“කෝපි කෝප්ප තුනක්. එකක් බිත්තියට...” නැවතත් පෙර පරිදීම අමුතු ඇණවුමක්!

ඔවුනට කෝපි කෝප්ප දෙකක් ලැබුණු අතර කෝපි පානය අවසානයේ තුනකට ගෙවීම් කළ ඔවුහු පිටව ගියෝය. මෙවරද පෙර පරිදීම සේවකයා ‘කෝපි කෝප්පයක්’ යන වදන සහිත තවත් කඩදාසි කැබැල්ලක් බිත්තියෙහි රැඳ වූයේය.

කුතුහලයෙන් මැඩී ගියත් එය විසඳාගත හැකි මගක් නොවීය. එම ස්ථානයට ඊට පෙර ගොඩ වැදී නොමැති අපට ඒ පිළිබඳ ව කාගෙන් හෝ විමසන්නට දිරියක් ද නොවීය. එබැවින් ගාස්තු ගෙවූ අපි පිටව ආවෙමු.

දින කිහිපයකට පසු ව එළඹුණු දිනෙක නැවත වරක් පෙර කී වෙළෙඳසල වෙත යාමට අවස්ථාවක් ලදිමු. කඩදාසි කැබැල්ලේ කතාව අමතකව සිටි අප කෝපි රස විඳිමින් සිටින අතරේ ඇඳුමෙන් පැළඳුමෙන් බොහෝ දුප්පත් පෙනුමක් ගත් පුද්ගලයෙක් වෙළෙඳසලට ඇතුලු වූයේය. හිස් මේසයක් බලා අසුන්ගත් ඔහු පෙර කී බිත්තිය දෙස හොඳින් බැලුවේය. අනතුරුව සේවකයකු අමතා “බිත්තියෙන් කෝපි කෝප්පයක්”යි පැවසුවේය.

වෙනත් ඕනෑ ම පාරිභෝගිකයෙකුට කෝපි පිළිගන්වන යම් ආකාරයක් වේද, ඒ ආකාරය ම පිළිපදිමින් සේවකයා ඔහුට කෝපි කෝප්පය පිළිගැන්වූයේය. ඔහු කෝපි පානය අවසානයේ ගෙවීමක් නොකර පිටව ගියේය.

පුදුමයෙන් යුතු වූ සිතින් හා එයින් ම උස් වූ නෙතින් යුතුව අපි බලා සිටියෙමු. ඒ මිනිසා පිටව ගිය පසු පෙර කී සේවකයා බිත්තියේ වූ ‘කෝපි කෝප්පයක්’ යන වදන රැගත් එක් කොළ කැබැල්ලක් ගලවා කසළ බඳුනට දැමුවේය.

එයින් පසු පුදුමයට තවදුරටත් ඉඩක් නොවීය. සියල්ල සක් සුදක් සේ පැහැදිලිය.

සෑහෙන තරම් මුදල් අත නොගැවසෙන මිනිසුන් හිඟන්නන් බවට පත් නොකර ඔවුන්ගේ ඕනෑකම ගෞරවනීය ආකාරයෙන් සපුරා දෙන්නට නගර වැසියන් තබා ඇති කුඩා පියවර අපේ නෙත් තෙත් කරවන්නට සමත්විය.

තමන්ගෙන් උපකාරය ලබන්නා කවුරුදැයි නොදැන උපකාරයකට සම්මාදම් වීම, ඒ සඳහා තෙවැනි පාර්ශ්වයක් වෙත විශ්වාසය තැබිය හැකි වීම සහ තමන්ට උපකාර වන තැනැත්තා හමුවේ මුව නොසෑහෙන සේ ස්තුති කිරීමේ උවමනාවක් නොමැති වීම ආදී අපට ආගන්තුක වූ කරුණු ගැන සිතමින් ‘බිත්තියට කෝපි කෝප්පය’ බැගින් පිරි නමා අප දෙදෙනා පිටව ආවේ ලොව තිබෙන වඩා ම ප්‍රියමනාප බිත්තිය එය විය යුතු යැයි එකිනෙකාට පවසා ගනිමිනි.

රන්දිකා රණවීර ප්‍රනාන්දු

කථාව සහ පිංතූර:


ජීවිතය පස් ගොඩක

දිනක් කොටළුවකු ගොවිපොළෙහි වූ භාවිතයෙන් අත්හැර දමා තිබූ ලිඳකට වැටිණි. අසරණ සතා, ජීවිතය යදිමින් කරන යාතිකාවක්දැයි ලිඳකට වැටුණු පසු ඕනෑ ම කොටළුවකුට නගන්නට වන වෙන අන් හඬක්දැයි පැහැදිලිව පැවසිය නොහැකි හඬක් නගන්නට වන්නේය.

ඒ ඇසී ලිඳ අසලට ආ ගොවියා, මරණ බයෙන් මුසපත් ව දඟලන සතා පිළිබඳ ව කණගාටුවෙන් යුතුව කළ යුත්තේ කුමක්දැයි කල්පනා කරන්නට වන්නේය. ඇතිව තිබූ තත්ත්වය පිළිබඳ ව සළකා බැලූ ඔහුගේ අවසාන නිගමනය වූයේ, ලිඳ සේම මහලු කොටළුවාත් තවදුරටත් කාලය නාස්ති කරමින් සිතා බැලිය යුතු දේ නොවන බවයි.

අනතුරුව අසල්වැසියන් කිහිප දෙනෙකු කැඳවා සිද්ධිය විස්තර කළ ඔහු, කොටළුවා පත්ව ඇති දුර්භාග්‍ය සම්පන්න ඉරණමෙන් හැකි ඉක්මනින් නිදහස් කරනු පිණිස කසළ පස් ගෙනවිත් පුරවා ඒ පැරණි ලිඳ වසා දැමීමට උදව් වන මෙන් ඉල්ලා සිටියේය.

තමන්ගේ සිරුර මතට කසළ පස් වැටීම ඇරඹෙත් ම කොටළුවා මහත්සේ බියටත් කලබලයටත් පත් වූයේය. ඔහුට සිය යාතිකාව හෝ නගමින් හිටි අන් හඬ හෝ අමතක ව ගියේය. දිගින් දිගටම එසේ සිදුවත්දී එක්තරා සිතුවිල්ලක් එක්වන ම විදුලියක් සේ කොටලු සිතේ පෙනී නොපෙනී ගියේය. පස් ගොඩක් වැටෙන වාරයක් වාරයක් පාසා එය ගසා දමා ඒ මතට ම ගොඩවීම තමන්ට ඇති එක ම ගැලවීම බව ක්‍රමයෙන් ඔහුට ඒත්තු යන්නට විය.

ඉඳින්, පස් වැටෙන හැමවිට ම, ‘ගසා දමන්න, ඒ මත ම නැගී හිටින්න!... ගසා දමන්න, ඒ මත ම නැගී හිටින්න!... ගසා දමන්න, ඒ මත ම නැගී හිටින්න!...’යි‍ තමන්ට ම පවසමින්, ධෛර්යය උපදවා ගත් මහලු කොටළුවා සිය කාර්යයෙහි වෙහෙස නොබලා නියැලුනේය.

හති දමමින්, පිඹිමින්, බරැති පස් ගොඩවල් ගසා දමමින් අසරණ කොටළුවා ජීවිතය වෙනුවෙන් ඒ වයසට දැරිය නොහැකි තරම් වෙහෙස වෙමින් සිටියේය. මරණය පෙනි පෙනී, බියෙන් වෙව්ලා යමින් වුවද, ‘ගසා දමන්න, ඒ මත ම නැගී හිටින්න!...’ යන සිතුවිල්ලේ අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව ක්‍රියාත්මක වෙමින් උන්නේය.

වැඩි වේලා ගත වන්නට මත්තෙන් පළමු විජයග්‍රාහී පියවර ලිං පඩිය මත සටහන් කරන්නට ජයග්‍රාහකයාට හැකිවිය. සිය කාර්යයෙහි නියුතුව සිටි මිනිසුන් පුදුමයෙන් පුදුමයට පත් කරමින්, පණ පිටින් වැළලීයාමට හේතුවන්නට තිබූ දෙයින් ම යළි ජීවිතය උපදවාගෙන මහ‍ පොළොව මත සතර පය ගසා නැගී සිටින්නට කොටළුවාට එයින් පසු තත්පරයක්වත් ගත වූයේ නැත.

රන්දිකා රණවීර ප්‍රනාන්දු

කථාව සහ පිංතූර:


මී උගුලකි - මර උගුලකි

ගොවියාත් ඔහුගේ බිරිඳත් යම්කිසි පාර්සලයක් දිග හරිනු, නිරතුරු විමසිල්ලෙන් පසු වූ මීයා බිත්තියෙහි වූ සිදුරක් තුලින් දුටුවේය.

‘ඒක මොන වගේ කෑමක් වෙන්න පුළුවන්ද?’

කවර කෑමක්ද! එය මී උගුලකි. ඒ බව වටහා ගත් සැනින් මීයා බියෙන් ත්‍රස්ත විය.

වහ වහා මිදුලට දිවගිය ඔහු කෑ මොර දෙන්නට වන්නේය.

“මී උගුලක්! මී උගුලක්! ගොවියාගේ ගේ අස්සේ මී උගුලක්!”

කෙකර ගගා, බිම පහුරු ගාමින් සිටි කිකිළිය හිස ඔසවා බැලුවාය.

“මේ ඇහුණද? මී මහත්තයෝ... මං දන්නවා දැන් ඉතිං ඔහේ මරණ බයෙන් පණ යන්න ලංවෙලා ඉන්න වග. අපටත් කණගාටු තමා. ඒත් ඉතිං එහෙම එකක් ගෙනාවයි කියලා මට මං ගැන බය වෙන්න කාරණයක් නැහැ නේද?”යි ඇසූ ඇය නැවතත් කෙකර ගගා, බිම පහුරු ගාන්නට වූවාය.

මද වේලාවක් බලා සිටි මීයා, ඌරා දෙසට හැරී කියවන්නට වූයේය.

“මී උගුලක්! මී උගුලක්! ගොවියාගේ ගේ අස්සේ මී උගුලක්!”

මඩ ගොඩෙන් හිස ඔසවා බැලූ ඌරා මවාගත් කණගාටුවකින් යුතුව මෙසේ කියන්නට වන්නේය.

“මටත් ඉතිං දුකයි තමා මී මහත්තයෝ. ඒත් ඉතිං ඔහේ වෙනුවෙන් යාඥා කරනවා හැරෙන්න මට වෙන මොනවද කරන්න පුළුවන්නේ?”

ඌරා නැවතත් මඩ ගොඩෙහි ගිලී ගියේය.

අනතුරුව මීයා හැරුණේ එළදෙන දෙසටය.

“ඉතිං මොකද මී මහත්තයෝ? මී උගුලක් නේද? ඉතිං මොකද මං මර උගුලක අහු වෙන්න යනවද? ඈ?...” වමාරා කෑම මදකට නැවතූ ඈ උදාසීන ලෙසින් අසා, නැවතත් දෙනෙත් වසාගෙන සුපුරුදු කාර්යයෙහි යෙදෙන්නට වූවාය.

සිය අසල්වාසීන්ගේ වදනින් අධෛර්යයටත් කම්පාවටත් පත් වූ මීයාගේ හිස සොවින් බර විය. අවසානයේ මී උගුලට තනිව මුහුණ දීමට සිතූ ඔහු ගොවියාගේ නිවස දෙසට පා නැගීය.

රෑ මැදියමේ ඒ නිවස තුලින් නැගුණු ආගන්තුක හඬ කියා පෑවේ මී උගුල සිය ගොදුර අල්ලාගත් බව විය යුතුය. විමසිල්ලේ පසු වූ ගොවියාගේ බිරිඳ දිවයන්නට යුහුසුලු වූයේ වදකාර මීයාගේ මළකඳ දැක ගැනීමට විය යුතුය.

නමුත් අන්ධකාරයේ ඇය නුදුටුවාට එහි වූයේ වලගයේ කොනින් මී උගුලට හසු වූ විෂඝෝර සර්පයෙකි. වේදනාවෙන් ඇඹරෙමින් සිටි සර්පයා ඇයට දෂ්ට කළේය.

ගොවියා සිය බිරිඳ රෝහල වෙත ගෙන ගියේය. ඇය නැවත නිවසට පැමිණෙන විට උණෙන් පෙළෙමින් සිටියාය. උණට වඩා ම ගුණ පානය කුකුළු සූපය යැයි පැවසේ. ඉඳින් කුකුළු සූපයක් හදා ගැනීමට අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය සපයා ගැනීමට ගොවියා සිය කෙටේරිය ගෙන මිදුලට බැස්සේය. 

කෙසේ නමුත් ඒ පානයෙන් වැඩිමනත් දෙයක් සිදු නොවූ අතර එන්න එන්න ම දුර්වල වෙමින් සිටි ගොවි බිරිඳගේ සුව දුක් විචාරීම පිණිස නෑයින් සහ අසල්වාසීන් දිනය පුරා පැමිණෙන්ට විය. ඔවුන්ගේ ආහාරය පිණිස ගොවියාගේ ආයුධයේ මී ලඟ ගොදුර වීමට ඌරාට සිදුවිය. 

අවසානයේ ගොවි බිරිඳ මිය ගියාය. මළගමට සහභාගී වූ පිරිසට ආහාර සූදානම් කිරීමේදී හරක් මස් එකතු කිරීමට ගොවියා අමතක නොකළේන් බලවත් වූ අකමැත්තෙන් යුතුව වුවද ඒ සඳහා සම්බන්ධ වීමට එළදෙනට සිදුවිය.

මෙයින් මතු, කවදා හෝ කෙනෙකු යම්කිසි උපද්‍රවයක් පිළිබඳ ව දැනුවත් කළ විට, එය ඔබට කෙසේවත් අදාළ නොවන බව සිතා අහක බලා ගැනීමට ‘ගොවියාගේ ගේ ඇතුලේ වූ මී උගුල’ ඔබට ඉඩ නොදෙනු ඇතැයි මට සිතේ.

රන්දිකා රණවීර ප්‍රනාන්දු

කථාව සහ පිංතූර:


Related Posts Plugin for WordPress, Blogger...