Showing posts with label අනුලා........... Show all posts
Showing posts with label අනුලා........... Show all posts

Friday, October 10, 2014

284. අනුලා, රජිතා සහ එවන් තවත් සහසක් ගැහැණුන්ගේ කතාව……2


අම්මාපල්ල, මෙවුංට එක දවසක් ඉවසං ඉන්ට බැරි හැටියක්...හෙහ්,හෙහ්, මං හිතාන උන්නෙ අනුලගෙ කතාවෙ දෙවෙනි කොටස හෙට දාන්ටෙයි කියල. ඒ අස්සෙ අර අරූ කියාපි උන්දැට සම්පූර්ණ කතාව එකට කියවන්ට ඕන කියල. ඔන්න සිත්තමී ඒ පාර පොඩ්ඩිගෙ පරණ පෝස්ට් එකට සබැඳියකුත් දාපි.විලියොං කොලූගෙ නැන්ද කිව්ව වගෙ " මදැයි!!!! " හෙහ්,හෙහ්, ඒ හින්ද ඔන්න දෙවෙනි කොටසත් අදම දාන්ට මම කල්පනා කලා ඒ පාර...

අනුලා රැජින ගැන නොදන්න අයට දැනගන්ටත් එක්කල මුලින්ම දාන්නං සයුරී ඉතිහාසඥීය විසින් අනුලාවන් ගැන ලියාපු වියුණු සටහනක්..ඔය සයුරි ඇවිල්ල මහානාම හාමුදුරුවන්ගෙ ඇවැස්ස නෑන ඒ කාලෙ. දන්නවනෙ මහානාම හාමුදුරුවො කියන්නෙ කවුද කියල? රොෂාන් මහානාමගෙ කවුරුවත් එහෙම නෙවෙයි .මහානාම හාමුදුරුවො තමයි ඇවිල්ල මහාවංශෙ ලියැව්වෙ.ඉඳගෙන ලිව්ව එහෙම නෙවෙයි හොඳද? ඇවිල්ල ලිව්වෙ...හෙහ්,හෙහ්, 

ඔබට ස්තූතියි ..සයුරි. 

වළගම්බා රජතුමා ක්‍රි. පූ. 77 දී මිය පරලොව ගියාට පස්සේ මී ළඟට රජ කම ලැබෙන්නේ ඛල්ලාටනාග ගේත් අනුලා දේවිය (පසුව වළගම්බා රජු ගේ බිසව වූ) ගේත් පුත් "මහාචූලී මහාතිස්ස" ට - ක්‍රි. පූ. 76 -62 (බු. ව. 468 - 482). 

මේ රජතුමා සාමයෙන් අවුරුදු 14 ක කාලයක් රට පාලනය කරන අතරෙදි "නාග" කුමාරයා, එහෙමත් නැත්නම් වළගම්බා රජතුමා ගේත් සෝමා දේවිය ගේත් පුත්‍ර රත්නය, ජිවත් වෙන්නේ පෙරළි කාරයෙක් විදියට. සොරකම්, මං පැහැරීම් වැනි දේවල් කරපු නිසා ඔහුට "චෝරනාග" කියලා නමකුත් පට බැඳෙනවා. කට්ටියට මතක ඇති නේද කලින් ලිපියෙදි කිව්වා වළගම්බා රජ පවුල පලා යද්දී සෝමා දේවිය රථයෙන් බිමට බැහැලා අනිත් අයට පැනලා යන්න ඉඩ සලසලා දීපු හැටි. ඉන් පස්සේ සොලීන් දේවිය අල්ල ගෙන ගියා නේ. ඉතින් ඊට පස්සේ අවු. 14 ක් ගිහින් සෝමා දේවිය නැවත ගෙන්වා ගන්න තෙක්ම නාග කුමාරයා හැදුනේ වැඩුනේ මව් සෙනෙහස අහිමිව. වළගම්බා රජතුමාට වෙන බිරිඳක් හිටපු නිසාත් (අනුලා), ඇයටත් පුතෙක් ඉඳපු නිසාත් නාග කුමාරයා මොන වගේ පිඩනයක ඉන්න ඇත්ද කියලා අපිට හිතා ගන්න පුළුවන් නේද? එහෙම වෙන එක දැන් කාලේ වගේම ඒ කාලෙත් ඇත්තටම ස්වාභාවිකයි. ඉතින් "නාග", "චෝරනාග" බවට පත් වීම එතරම් පුදුම වෙන්න කාරණයකුත් නෙමෙයි මම හිතන්නේ. 

කොහොම උනත් මහාචූලී මහාතිස්ස රජතුමා ක්‍රි. පූ. 62 දී මිය ගියාට පස්සේ චෝරනාග කුමාරයාට රජකම ලැබෙනවා - ක්‍රි. පූ. 62 - 50 (බු. ව. 482 - 494). මේ චෝරනාග රජතුමාගේ බිසවගේ නමත් "අනුලා". චෝරනාග රජ උනාට පස්සේ තමන් පෙරළිකාරයෙක් ව සිටි කාලයේදී තමන්ට සහය නොදීපු විහාර 18 ක් විනාශ කරලා දැම්මලු. මේ ආකාරයෙන් රජකම් කරපු චෝරනාග රජතුමා අවුරුදු 12 කට පස්සේ වස දීමක් නිසා මිය යනවා. එතුමාට වස දුන්නේ කවුද කියන එක ටිකක් විවාදාත්මකයි. සමහරු කියන්නේ වස දුන්නේ ඔහුගේ බිසව "අනුලා" විසින් කියලා. තවත් සමහරු කියන්නේ රජුගේ අරක්කැමියා විසින් වස දුන්නා කියලා. 

කොහොමහරි අන්තිමට චෝරනාග මිය ගියාට පස්සේ රජකම ලැබෙන්නේ මහාචූලී මහාතිස්ස ගේ පුත් "කුඩාතිස්ස" (ක්‍රි. පූ. 50 - 47) ට. ඔහුට රජකම් කරන්න ලැබෙන්නේ අවුරුදු 3 ක් පමණයි. ඔහුත් වස දීමක් නිසා මරණයට පත් වෙනවා. ඉන්පසු "ශිව" නම් රජ වාසල ආරක්‍ෂකයෙකු සමඟ විවාහ වන අනුලා බිසව ඔහුට රාජ්‍යය පවරා දෙනවා. වැඩි දවස් නොගොස් ඔහුටත් වස දී හදිසියේ මිය යන නිසා "වටුක" නම් දමිළ වඩු කාර්මිකයා සමඟ විවාහ වන අනුලා දේවිය ඔහුට රාජ්‍යය පවරා දෙනවා. වැඩි දවසක් යන්න මත්තෙන් ඔහුටත් අත් වෙන්නේ ශිව ට අත් උන ඉරණම මයි. ඉන්පසු අනුලාගේ ස්වාමියා සහ රජු බවට පත් වෙන්නේ "දාරුභාතිකතිස්ස" නම් දර ගෙන යන්නෙක්. ඔහුත් අභිරහස් ලෙස මරණයට පත් වීමත් සමඟම "නීලිය" නම් බමුණා සමඟ විවාහ වන අනුලා ඔහුට රාජ්‍ය බාර දෙනවා. මේ විදිහට වසරක් ඇතුලත කිහිප දෙනෙක්ම තමන්ගේ ස්වාමියා කරගෙන රජකම බාර දුන්නත් නොනිල වශයෙන් රාජ්‍යය පාලනයේ යෙදුනේ අනුලා බිසව කියලා හිතන්න පුළුවන්. මේ මරණ වලට වගකිව යුත්තා වන්නේ අනුලා බිසව බව බොහෝ දෙනෙකුගේ මතය වුවත් එය එසේමද යන්න ටිකක් අපැහැදිලි කාරණයක්. 

අවසානයේදී ඇය ස්වාමියන්ට රජකම බාර දීම පසෙක තබා තමාම රාජ්‍ය පාලනය බාර ගන්නේ හෙළයේ පළමු රැජිණ ලෙස ඉතිහාසගත වෙමින්. සැමියන්ට වස දීමේ සිද්ධිවල ඇත්ත නැත්ත කෙසේ වෙතත් කාමාධික කාන්තාවක් ලෙස අනුලා චරිතය හංවඩු ගැසීම එතරම් සාධාරණ නොවන බව මගේ පුද්ගලික මතයයි. "අනුලා රැජිණ" (ක්‍රි. පූ. 46 - 42) මේ ආකාරයට රට පාලනය කිරීම ඇරඹුවත් ඇයට එය කරගෙන යන්න ලැබෙන්නේ අවුරුදු 4 ක් පමණයි. මහාචූලී මහාතිස්ස ගේ දෙවැනි පුත්, එහෙම නැත්නම් කුඩාතිස්ස ගේ සොහොයුරු වන "කුටකණ්ණතිස්ස" අනුලා රැජිණ මරා රාජ්‍ය පවරා ගන්නවා. 

ලක් ඉතිහාසයේ අඳුරු යැයි සම්මත කාල පරිච්චේදයක් මෙසේ නිමා වන අතර දරුණු විදියට හංවඩු ගැසූ චරිතයක් ලෙස අනුලා රැජිණ ඉතිහාසයට එක් වෙනවා. ඒක කොයි තරම් දුරට සාධාරණයි ද කියලා හිතන එක ඒ චරිතය දිහා සානුකම්පිතව බලන්න පුළුවන් අයට බාරයි :) 


**********************************


" අපේ කඳවුරු භූමිය මැද තිබුන විසාල නුග ගහක්.......මේ නුග ගහේ බැඳල හිටියෙ අජිත.........ඒ වටේට වළල්ලක් වගෙ රැස් වෙලා හිටිය අනික් කට්ටිය ඔක්කොම.......මොන තරම් දරුණු සැඩපරුෂ පුද්ගලයො උනත්, එදා ඒ හැමෝම හිටියෙ බිමට හැරවුනු නෙතින්....මොකද හැමෝම අජිතට කැමතියි ඒ වගේම චෝරනාගගෙ නීතිය අනුව අජිතගෙ ඉරණම මොකක්ද කියල හැමෝම දැනගෙන හිටිය......." 

" අනුලා......එන්න කුමරියනි ඉදිරියට......" ඒ චෝරනාග. 

" මම හෙමිහිට ඉස්සරහට ගියා,........ ඇත්තටම ගියා නෙවෙයි යැවුන කිව්වොත් තමයි නිවැරදි, .....කට්ටිය දෙපැත්තට වෙලා මට ඉඩ දුන්න.....මම අජිත ආසන්නයටම ගියා.........එයාගෙ දෑසෙ තිබ්බෙ කිසිම ආකාරයකින්, බියක් එහෙම නෙවෙයි.......එයා මා දිහා බලල හිනා උනා........." මම ඔයාට ආදරෙයි අනුලා...".....අජිත එහෙම කිව්වෙ කාටත් ඇහෙන්ට.......මම හිතන්නෙ එයා දැනගෙන හිටිය එයාගෙ ඉරණම මොකක්ද කියල........ඒ නිසා එයා මගෙ ඇස් දෙක දිහාවෙ බලාගෙන ඒ වචන හතර කිව්වෙ දැඩි විශ්වාසෙකින්..." 

" හහ්...හහ්......හා.......අජිත නම් අනුලාට ආදරෙයිලු.....හරි අනුලා මොකද කියන්නෙ?.........ඔයත් අජිතට ආදරෙයිද?........චෝරනාගගෙ සමච්චල් ස්වරය නිසා මට ඇති උනේ අමුතුම ධෛර්යයක්........මේ මෘගයා මාවත් මෙතනම මරල දැම්මත් ඇත්ත කියන්ට ඕනය කියල මට හිතුන. " මමත් ඔයාට ආදරෙයි අජිත " මම කිව්වෙ අජිතගෙ ඇස් දෙක දිහාවෙ එක එල්ලේ බලාගෙන.......ඔහුගෙ මුහුණ සිනහවකින් විකසිත උනා......" 

" වියරුවෙන් සිනාසෙමින් චෝරනාග මා වෙතට පැමිණෙනු දුටු මම එලෙසම සිට දෑ පියාගත්තෙ මගේ මරණය ආසන්න බව පැහැදිලි වුනු නිසා.......ඒත් චෝරනාග මා ළඟට ඇවිත් මගේ අතේ කිනිස්සක් තිබ්බ......හහ්...හහ්.....එහෙම ලේසියෙන් ඔයාට මැරෙන්ට දෙන්න බෑ අනුලා.......දැන් ගන්න මේ කිනිස්ස හොඳ ළමය වගෙ......අජිත ඔයාට ආදරෙයි කිව්වනෙ......මම අහල තියනව ආදරෙන් පිරිච්ච හදවතක් සිදුරු කරන්ට බෑ කියල විශේෂයෙන් ආදරය කරන අතින්ම අනින කොට...හරි අපි ඒ න්‍යාය අද පරීක්ෂා කරල බළමු. දැන් ගිහිල්ල බලන්ට අජිතගෙ හදවත මේ කිනිස්සෙන් සිදුරු වෙනවද කියල....හහ්.....හහ්....හා....." 

"චෝරනාග මට දුන්නු කිණිස්ස මම එහෙම්මම බිම දැම්මෙ සර්පයෙක් අතේ දැවටුනා වගෙ."

" හිනාවෙමින්ම බිමට නැවුණු චෝරනාග කිණිස්ස අහුලල ආයෙම මගෙ අතට දුන්න."

" අනුලා.....සෙල්ලම් කලා ඇති.....කරුණා කරල මම කියන විදිහට කරනවද?.......නැත්නම් මම ම ඒ වැඩේ කරනව.....ඒ කරල ඊට පස්සෙ වාරය ඔයාගෙ........හැබැයි මම කියන විදිහට කලොත් ඔයාගෙ ජීවිතේ බේරෙනව....මොකද කියන්නෙ?....තීරණය ඔයාගෙ......හහ්. හහ්...හහ්......චෝරනාගගෙ වියරු හිනා හඬ ආයෙත් කඳවුරු භූමිය සිසාරා පැතිරිලා ගියා." 

" අසංක........ මට ඒ වෙලාවෙ තීරණ තුනක් ගන්න අවස්ථාව තිබුන.....එක....... කිණිස්සෙන් ඇනල චෝරනාග මරල දාන එක......ඒ වැඩේ ලේසි වෙන්නෙ නෑ මොකද, චෝරනාග සන්නාහ පැළඳ ගෙන හිටියෙ ඒ වෙලාවෙ.......මෙහෙම තත්වයක් ගැන කල්තියා දැනගෙන හිටිය වගෙ.......සන්නාහයෙන් ආවරණය නොවුනු ස්ථානයක් හරියටම බලල ඇන්න උනත් මම දැනගෙන හිටිය අනිවාර්යයෙන් චෝරනාගගෙ සඟයො ඊට පස්සෙ කොහොමවත් මාව ඉතුරු කරන එකක් නැතිය කියල...........ඊට පස්සෙ අනිවාර්යයෙන් අජිතවත් මරනව." 

" දෙක.......අජිතව නොමරා ඉන්න එක......ඒත් මම දැනගෙන හිටිය චෝරනාග කිව්වදේ කරන කෙනෙක් කියල......මංකොල්ල කණ්ඩායමක නායකයෙක් හැටියට, අනික් සාමාජිකයන්ගෙ ගෞරවය හරිම වැදගත්. කිව්ව දෙ නොකලොත් අනිවාර්යයෙන් ඒ ගෞරවය නැතිවෙලා යනව......එහෙම උනොත් වැඩිකාලයක් නොගිහින් කණ්ඩායමේ නායකත්වයට තව කෙනෙක් සටන් වදිනව..........ඒ තත්වය වළක්වා ගන්ට නම් නායකය කිව්ව දේ කරන්ට ඕන.....ඒ නිසා මේ විදිහට වෙන්නෙත් අජිතයි මමයි දෙන්නම මිය යන එක." 

" තුන.....අන්තිම විකල්පය තමයි අජිතව මරන එක.......ඒකෙන් මගෙ ජීවිතේ බේරෙනව......ඒත් මට හිතාගන්ට බැරිඋනු දේ තමයි එහෙම දෙයක් කරල........මට ආදරය කරන අහිංසකයෙක් මරල දාල මට ජීවිතේ ඉතුරු කාලෙ මගෙ හෘදය සාක්ෂිය එක්ක ගත කරන්ට පුලුවන් වෙයිද කියන එක........" 

" මම කිණිස්සත් අතේ අරගෙන, දෙගිඩියාවෙන් එකෙල මෙකෙල වෙවී ඉන්දැද්දි අජිත කතා කලා.....බොහොම පැහැදිලි ස්වරයෙන්....." 

" අනුලා........වෙන කරන්ට දෙයක් නෑ......ඔයා චෝරනාග කියන විදිහට කලේ නැත්නම්, අපි දෙන්නටම මැරුම් කන්ට වෙනව.......ඒකෙ කිසිම තේරුමක් නෑ අනුලා........මම වෙනුවෙන් මගෙ ආදරය වෙනුවෙන් ඔයා ජීවත් වෙන්ට ඕන...........ඔයා මෙහෙම ජීවිතේ අවසානයක් කර ගන්ට ඕන කෙනෙක් නෙවෙයි.......මා වෙනුවෙන් ජීවත් වෙන්ට..........." 

" ඒ වචන ඇහුණම මටත් කල්පනාවට ආව අජිත කියන්නෙ ඇත්ත නේද කියල." 

" අසංක......මම හෙමිහිට අජිත ළඟට ගිහිල්ල, එයාගෙ ඇස් දෙක දිහාවෙ ටික වෙලාවක් බලා හිටිය....එයත් මා දිහා ඇහිපිය නොහෙලා බලා හිටිය......ඒ කරල මම ඇස් දෙක පියාගෙන කිණිස්ස ඉස්සුව....." 

" අනුලා ඇස් දෙක අරින්න.......මට ඔයාගෙ ඇස් දෙක දිහාවෙ බලාගෙන මැරෙන්න ඕන.....අජිත හෙමිහිට කිව්වෙ මට විතරක් ඇහෙන්ඩ....." 

" මම ඇස් ඇරිය අසංක............මට ආදරය කරන ඒ ඇස් දෙක දිහාවෙ එක එල්ලේ ඇහිපිය නොහෙලා බලාගෙන මම අජිතට කිණිස්සෙන් ඇන්නා..........." 

" ඒ වෙලාවෙ මම දැක්ක දේවින්නාන්සෙගෙ ඇස් වල යන්තමට කඳුළු දිළිහෙනව.........මම ඔය එතුමිය කිට්ටුවෙන් ආශ්‍රය කරන්ට ගත්තට පස්සෙ එතුමියගෙ කඳුළු කියල දැක්කෙ එදා විතරමයි..........." 

" කඳුළු වලකාගන්නට දෝ දෙතුන් වරක වේගයෙන් ඇසිපිය හෙලල දේවීන්වහන්සෙ ආයෙම කතා කරගෙන ගියා......" 


" එදා ඒ නුග ගහ යට මම මැරුන අසංක......අද මේ ඉන්නෙ ඊට කලින් හිටපු අනුලා නෙවෙයි.........මුලු ලෝකෙටම වෛරකරන, විශේෂයෙන් පිරිමි සංහතියෙන්ම පළිගන්ට අධිෂ්ඨාන කරගත්තු , අනුලා කුමරියක් තමයි එදා ඒ නුග ගහ මුල අජිතගෙ ලෙයින් තෙමී ගිය කිණිස්ස අත ඇරියෙ......." 

" එදා ඉඳල මම කලේ ඒ මගේ අධිෂ්ඨානය ක්‍රියාත්මක කරපු එක...........චෝරනාග රජකමට පත් නොවුනානම් මගේ ඒ අධිෂ්ඨානය මාත් එක්කම වැළලිල යන්ට තිබ්බ පස් අස්සෙ.......ඒත් චෝරනාගගෙ කර්මය ද මගේ කර්මය ද.......ජාතියෙම කර්මය ද මට හිතාගන්ට බෑ එයා රජ උනා...........සාමාන්‍ය ගැහැණියක් නෙවෙයි අගරැජින හැටියට මට මගේ අධිෂ්ඨානය ක්‍රියාත්මක කරන්ට අවස්ථාව ලැබුනා...." 

" චෝරනාගට මගෙ අතින්මයි මම වස දුන්නෙ...........අවුරුදු පහලවකට පස්සෙ මිනිහගෙ තුන් හිතකවත් තිබුනෙ නෑ, මම පලි ගනියි කියල.චෝරනාග වස මිශ්‍ර මිදියුෂ බීල, පපුව අල්ලගෙන කෙඳිරිගාන දිහාවෙ මම බලා හිටියෙ පුදුම සතුටකින්.....ඒ වෙලාවෙ මිනිහගෙ ඇස් වල තිබ්බ මරණ බය.........මගෙ හිතට ගෙනාවෙ පුදුම සතුටක්........අසංක හිතන්නෙ මම මහ කුරිරු යක්ෂණියක් කියලද අසංක? " 

" නෑ දේවීන්වහන්ස....ඔබ තුමිය ඔය කටුක අතීතය අමතක කරල දානව නම් මම කැමතියි....ඒත් මම කවුද ඔබතුමියට උපදෙස් දෙන්න.............ඔබ තුමිය මුහුණ දුන්නු සිද්ධියට මම මුහුණ දුන්න නම් මමත් බොහෝ විට ඔය දේම කරන්න තිබුණ......" 

" අන්න හරි අසංක.......මම කැමතියි කෙලින් කතාකරන පිරිමින්ට.......දැන් මෙහෙම හිතමු.....මම එදා පත්වෙච්චි තත්වෙ ගැන හිතාගන්ට මම අසංකට උදව්වක් කරන්නම්.........හරි.....දැන් මම කිව්වොත් අසංකට රජිතට කිණිස්සකින් ඇනල මරන්ට......නැත්නම් මම දෙන්නවම මරවනව කියල........හිහ්......හිහ්......හිහ්, "

" දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ........දේවින්නාන්සෙ මයෙ නමත් දන්නවද?..........." සවන් අදහා ගත නොවුනු මම බියපත් දෑසින් අසංකගේ මුහුණ බැලීමි. 

" ඒකනෙ කියන්නෙ......මමත් ඕකම ඇහුව," 

" දේවින්නානසෙ රජිත ගැන දන්නවද?......" මම ඇසූයේ බියපත් දෑසිනි."

" මොකෝ අසංක බය උනාද?.........බය වෙන්ට කාරණාවක් නෑ.....මාළිගාවෙ ආරක්ෂක සේනාංකයේ උප ප්‍රධානිය ගැන හැම දෙයක් ම අගරැජින දැනගෙන ඉන්ට ඕන නේද?............එහෙම නැත්නම් කොහොමද රාජ්‍ය පාලනය හරි හැටි කරන්නෙ?......දැන් තේරුණා නේද අසංකට?........දේවීන්නාන්සෙ ඇහුවෙ කොක් හඬලා හිනාවෙන ගමන්," 

" දේවින්නාන්සෙගෙ හිනාව එක පාරටම නැවතුන......ඊට පස්සෙ එතුමිය කතා කලේ මම කවදාවත් නාහපු හැඟීම්බර කටහඬකින්.........ආසන්නයෙම හිටපු මටත් ඇහෙන නෑහෙන ගානට......" 

" අසංක.......අර මහ කැළේ නුග ගහ යට සිද්ධිය මම අසංකට කිව්වනෙ............එදා ඉඳන් පිරිමින්ගෙන් පළිගන්න ගමන් මම හෙව්වෙ අජිත වගෙ පිරිමියෙක්......මගෙ හදවතේ එක අර්ධයක් පිරිමින්ගෙන් පළිගන්න දත් කූරු කන අතර අනික් අර්ධය ආදරය ඉල්ලල හඬා වැටුනයි කිව්වොත් ඒ කතාව හරියටම හරි අසංක........." 

" මේ අවුරුදු දහ අටක කාලෙදි මට හම්බ උනු පිරිමි දස දහස් ගානක් අතරෙ අජිතල එකම එක්කෙනයි හිටියෙ අසංක............." 

" දේවීන්නාන්සෙගෙ හඬ ටික ටික අඩුවෙලා ගිහිල්ල, අන්තිම කොටස කිව්වෙ රහසක් කොඳුරනව වගෙ........ මම එතුමිය දිහ බලාහිටියෙ මේ මොකවත් තේරුම් ගන්ට බැරුව.ඊට පස්සෙ එතුමිය හෙමිහිට නැඟිටල මා ලඟට ආව. ඒ කරල නැමිල මගෙ නලල සිප ගත්ත." 

" මම මොකවත් කරකියාගන්ට බැරුව එතුමිය දිහා බලන් හිටිය......." 

" ඔව් අසංක ඒ ඔබ..........ඒත් බයවෙන්ට කාරියක් නෑ.....මම රජිතටයි ඔයාටයි, අබ මල් රේණුවකින් වත් බාධාවක් වෙන්නෙ නෑ......මම දන්නව ආදරේ අගය......අමතක කරන්න එපා මමත් වතාවක් ඒ සුවය විඳපු කෙනෙක් බව........මම ඔයාගෙ නළල සිප ගත්තෙ තේරුමක් ඇතුව.......අජිත මාව සිප ගත්තු එකම එක වතාවෙ, එයා සිප ගත්තෙත් මගෙ නළල........ඒත් අපි දෙන්නම දැනගෙන හිටියෙ නැහැ ඒ සිපගැනීම කියන්නෙ අපි දෙන්නගෙ සමු ගැනීම කියල.........මමත් දැන් ඔයාට සමුදෙනව අසංක.........ඔයා යන්න....මම ඔයාව සේවයෙන් මුදා හරිනව....කොහොමත් රටේ තත්වය එච්චර සුබ නෑ......ඒ නිසා රජ මාළිගයෙන් පුලුවන් තරම් බැහැර වෙන තමයි නුවණට හුරු......යන්න අසංක, රජිතා වෙතට යන්න.....මගේ සුබ පැතුම්ද සමඟ," 

" මට මොනවත් කියාගන්ට හැටියක් තිබුනෙ නෑ....එක අතකට මම මොනවයි කියල කියන්ටද?.........දේවින්නාන්සෙ ගැන මගෙ පපුව පුරහම මතු උනේ මහා වේදනාවක්.....මම හෙමිහිට නැගිටල එන්ට ආව....මාළිගේ අංගනෙ මම දොර ගාවදි මම මොහොතක් නැවතිල ආපහු හැරිල බැලුව දේවින්නාන්සෙ දිහාවෙ........එතුමිය ගල් පිළිමයක් වගෙ මම යන දිහාවෙ හිස් බැල්මකින් බලා හිටිය......එතන මම දැක්කෙ තමන්ගෙ ස්වාමියාට වස දුන්නු ඔහු මියයනව බොහොම සතුටින් බලා හිටපු අනුලා දේවියක් නෙවෙයි...........පිරිමින්ගෙන් පළිගැනීම තම ජීවිතයේ එකම අරමුණ කරගත්තු අනුලා දේවියක් නෙවෙයි......මම දැක්කෙ වසර දහ අටක් මුලුල්ලේ තම මියගිය ආදරය සොයමින්, ඒ මත්තේම ජීවිතය විනාශ කර ගැනීම තම එකම අධිෂ්ඨානය කරගත් අනුලා නම් තවත් එක් අප සේම ලෙයින් මසින් ආශාවන්ගෙන් සැදුම්ලත් පෘතග්ජන කාන්තාවක්...." 

අසංකගේ කතාව කොපමණ මගේ සිත කම්පනය කලේද යත් මම ඔහුගේ දසරුවෙහි හිස හොවා හඬන්නට වීමි. 

මට කිසිදු ලෙසකින් බාධා නොකල හෙතෙම මා හඬා අවසන් වන තුරු ඉවසිල්ලේ සිට මගේ නිකටින් අල්ලා සෙමින් මගෙ වත ඔහු දෙසට හරවා ගත්තේය. 

" රජී,......... ඔයා ඇඬුවෙ ඇයි කියල මම ඇහුවොත්........" ඔහු මගේ දෑසට එබී ඇසුවේය. 

" මම වෙනුවෙන්.....දේවින්නාන්සෙ වෙනුවෙන්........අතීතයේ දුක් විඳපු, අදත් දුක් විඳින, අනාගතයේදීත් අනිවාර්යයෙන්ම දුක උරුම අප්‍රමාණ කාන්තා පරපුර වෙනුවෙන්......." 

ඔහුගේ පපුවේ හිස හොවාගත් මම නැවත ද හඬන්නට වීමි. 

283. අනුලා, රජිතා සහ එවන් තවත් සහසක් ගැහැණුන්ගේ කතාව……1


අම්මාගේ එකම අයියණ්ඩිය, එනම් මගේ මාමණ්ඩිය, කඩුල්ල පැන පැමිනෙනු මා දුටුවේ මම වත්ත පහල තල වගාවෙහි වැඩී තිබූ වල් පැලෑටි උදුරමින් සිටියදීය. 



ඔහු රාජ සබාවෙහි සුළු මුලාදෑනි තනතුරක් දැරූවද, ඉහළ තානාන්තර දැරූවන් හා බොහෝ සමීපව ආශ්‍රය කල හෙයින්, රජ සබයෙහි සිදුවන්නේ කිමෙක්ද යන්න පිළිබඳව පැහැදිලි අදසක් ඔහු තුල වීය. 

ඔහු පැමිණි විට අනුරපුරයෙහි සිදුවන දෑ පිළිබඳව, නවතම තොරතුරු දැනගත හැකි බැවින්, වල් ඉදිරීම පසෙක ලූ මම හෙමිහිට නිවෙස බලා ඇදුනෙමි. 

වැඩිහිටියන්ගේ සාකච්ඡා වලට දරුවන් සහභාගීවීම, පිළිගත් චාරිත්‍රයක් නොවූ නමුදු, ඒ නොතකා මම මාමණ්ඩිය ඈඳි ගෙන සිටි පිල් කණ්ඩිය දෙසට ඇදුනෙමි. 

මා සිතූ සේම ඔවුන් සාකච්ඡා කරමින් සිටියේ, අනුරපුර දේශපාලන තත්වය පිළිබඳවය. 

" නගන්ඩිට කියන්ට මම මේ මහ වාසල සේවය කලාට, කොයි වෙලේ පරාණෙ අහිමි වෙයිද කියල පණ බයේ ඉන්නෙ, ඒ තරමට දැන් තත්වෙ භයානකයි," 

" අනේ දෙයියනේ, එහෙමෙයි? අයියණ්ඩි" 

අම්මා කම්මුලේ අත තබා ගත්තීය. 

" එහෙනං, මේ අපේ දේවින්නාන්සෙ............." 

මාමණ්ඩි කතාව නවතා වට පිට බැලූයේ බිය රැඳි නෙතින් වුවද, නිතැනින්ම පහල වූ සිනහව මම යටපත් කොට ගත්තේ ඉතා අසීරුවෙනි. 

" මේ අපේ දේවින්නාන්සෙ කරන වැඩ නිසා ඇඟේ ලේ නැතුවයි අපි කවුරු කවුරුත් මේ දවස්වල ඉන්නෙ........." 

" ඒ මොකොද අයියන්ඩි?..............අර රජවෙච්ච වටුකයත් හිටිහැටියෙම මලා කියලයි ඔන්න අපිට ආරංචි උනේ," 

" නිකම්ම  මළා නෙවෙයි නගන්ඩි........" 

මාමණ්ඩි යාන්තමට ඇහෙන ගානට හඬ පාත් කරලයි කතා කලේ.......

 " දේවින්නාන්සෙ ඒ මනුස්සයට වහ දුන්න. ඒකෙනුයි ඒ මනුස්සය මලේ" 

" සංදුක්කාරේ......." 

අම්මා නැවත වරක් කම්මුලේ අත තබා ගත්තීය........

" ඔහොම ආරංචියක් අපිටත් ආව......ඒත් මේ දවස්වල කට කතා කියන එව්ව එමට .....ඒ නිසා අපි ඔව්ව විස්වාස කොලේ නැතුවා........" 

" නැහැ....ඒක ඇත්ත......උඹල මෙව්ව තැන් තැන් වල කියනව එහෙම නෙවෙයි........" 

මාමණ්ඩි අම්මාගේද ඉන්පසු මගේද මුහුණු දෙස එක එල්ලේ බැලුවේය.

" දේවින්නාන්සෙට මොන යස්සය ආරූඩ වෙලාද මට නං තේරෙන්නෙ නැතුවා ..මීට ඉස්සර අර සිව......ඒ මිනිහට වහ දුන්න......තව කීදෙනෙකුට ඔහොම කරයිද දෙයියො තමයි දන්නෙ..... "

" ඉතිං අයියණ්ඩි......ඔහොම දේවින්නාන්සෙට ඕන ඕන මිනිස්සු රජකරවන කල් රාජසබාව බලාගෙන ඉන්නෙ මොකද?" 

" මේකනෙ නගන්ඩි වැඩේ.....ඔය කවුරු රජ කලත් රට පාලනය කරන්නෙ ඇත්තටම දේවින්නාන්සෙ......ඒ වැඩේ දේවින්නාන්සෙ යස අගේට කරනව නෙව.......කාටවත් කිසිම අසාදාරනයක් නොවෙන්ට.......දැන් බලන්ට කුඹුරු වතු පිටි එහෙමටහ් හරිම සරු සාරයි නෙව........ඒ නිසා කිසිම කෙනෙක් මොකවත් කියන්නෙ නෑ කටක් ඇරල......." 

" ඒක නම් සහසුද්දෙන්ම ඇත්ත අයියණ්ඩි............දැන් මේ අපේ වැවෙන් වතුර බෙදන වැඩේ බාරව හිටපු උදක රාළ අල්ලස් ගන්නවය......වතුර බෙදන වැඩේ සාදාරනව කරන්නෙ නැතය කියාල කොයි කාලෙක ඉඳන්ද අපි රාජ සබාවට පැමිණිලි කොලේ....කොයි වැඩක් උනාය......ඔන්න පහුගිය කන්නෙ දේවින්නාන්සෙට පැබිණිලි කොලා විතරයි.......විබාගයක් තිබ්බ.....ඒ වෙලාවෙම උදකයව තනතුරෙන් පහ කොලා.........දැන් කිසිම පුරස්නයක් නෑ......සාදාරණව කාටත් වතුර ලැබෙනව......" 

" අන්න ඒකනෙව කියන්නෙ රට පුරාම ඔහොම තමයි.....ඒ නිසානෙ කවුරුවත් දේවින්නාන්සෙට මොකවත් නොකියන්නෙ........" 

තවත් ටික වෙලාවක් කතාබහ කරමින් සිටි මාමණ්ඩිය පිටත්ව ගියේ හෙට උදෑසනම ආපසු අනුරපුර යායුතු බව පවසමිනි. 

" මේ දුවේ....උඹ එහෙම මෙව්ව තැන් තැන් වල කියනව එහෙම නෙවෙයි ඔන්න හොඳට මතක තියා ගනින්......" 

මාමණ්ඩිය පිටත් ගියපසු අම්මා පැවසුවාය. 

" මං ආයෙ කා එක්ක කියන්ටද...අපෙ අම්මා........."

මම නොරිස්සුමෙන් පැවසූයෙමි. 

" අර අසංක ළමය එක්කවත් ඔව්ව කියන්ට එපා..........ඒ ළමයත් වාසල රාජකාරියක් කොරන කෙනෙක් නෙව........

අසංක යනු මපියාණන්ගේ නැගනියගේ පුත්‍රයාය...එනම් මගේ ඇවැස්ස මස්සිනාය. මපියාණන් සහ නැන්දනිය අකලට මිය ගියමුත්, ඔවුන් ජීවතුන් අතර සිටි කාලයේ අසංක හා මම විවාහ වියයුතු බවට එකඟ තාවයකට පැමිණ තිබිණි. 

එසේ නොවුනද, වැලි කෙලියේ පටන් එකට වැඩුනු අසංක සහ මා අතර පෙම් සබඳතාවයක් හට ගැනුනේ නිරායාසයෙනි. 

යොවුන් වියට එලඹුනු වහාම, රජ වාසල සේවයට බැඳුනු අසංක, දැනට වාසල මුර සේනාංකයේ උප ප්‍රධානියා වශයෙන් කටයුතු කරයි. 

අසංකට නිවාඩු ලැබෙන්නේ මසකට වරකි. අද සවස ඔහු ගෙදර එන බව ඔහු හා එකට සේවය කරන මිතුරකු අතේ ඊයේ පණිවිඩයක් එවා තිබිණි. 

අප හමුවන සුපුරුදු ස්ථානය....එනම් වැව් ඉස්මත්තේ රූස්ස කුඹුක් ගස යටට, ඉර හැරී තුන් පැයක් ගෙවීගිය පසු මම ගියේ ඒ අනුවය. අපගේ නිවසේ දී හමුවී කතාබහ කරන ලෙස අම්මා කොතෙක් පැවසූවද, කුඩා කල සිටම අප දෙදෙනම ප්‍රිය කලේ මේ කුඹුක් ගස් සෙවනටය. ඒ එහි ඇති සිසිලස මෙන්ම අපට කැමති දෙයක් නිදහසේ කතා කිරීමට ඇති හැකියාවද නිසාය. 

මා එහි යන විටත් අසංක එහි පැමිණ සිටියේය.උඩුකය වසා සිනිඳු සළුවක් දවටා සිටි ඔහුගේ පැහැපත් මුහුණෙහි වී වෙහෙසකර ස්වභාවය මසිතට ශෝකයක් ගෙන ආවේ නිතැනිණි. 

" රජිතා......." 

මා දෙස බලා සිනාසුනු ඔහු හිඳසිටි අසලම කුඹුක් මුල මතම මමද අසුන් ගතිමි. 

" මොකෝ අයියණ්ඩි බොහොම වෙහෙස වෙලා වගෙ?" 

" ඇත්ත....නංගි,මෙ දවස්වල ගතට වගේම හිතටත් නෑ කිසිම සැනසීමක්......නංගිට ලොකු කතාවකුත් කියන්ට තියෙනව මට........" 

" වාසල තත්වෙත් එච්චරම සතුටුදායක නෑ නොවද අයියණ්ඩි මේ දවස්වල?...." 

ඔහු දෙස විමසුම් බැල්මක් හෙලමින් මම ඇසීමි. 

" මොනව කියනවද නඟා........අර වටුක රජවෙලා යන්තම් අවුරුද්දනෙ ගත උනේ.......මිනිහ මලා......මලා නෙවෙයි මැරුවා....." 

" දේවින්නාන්සෙ වහ දුන්නයි කියල නේද කියන්නෙ අයියන්ඩි?..." 

" ඔව්.......එහෙම තමයි කියන්නෙ......" 

" අනේ අප්පෝ, මේ දේවින්නාන්සෙ මොනව හිතාගෙන මෙහෙම අපරාද කරනවද, දෙයියො තමයි දන්නෙ " 

මම කිව්වෙ කම්මුලේ අත තියාගෙන. 

අසංක මා දෙස හැරී බලා නැවත ඈත වැව් දියෙහි පිහිනන දිය කාවුන් රෑනක් දෙස මොහොතක් බලා සිටියේය. 

ඉන්පසු ඔහු කතා කලේ මා කිසිදාක නෑසූ තැන්පත් ස්වරයකිනි, 

" රජිතා.....හැම දෙයක්ම මතුපිටින් පෙනෙන විදිහටම බාරගන්ට එපා.දේවින්නාන්සෙ වැරදියි කියල හැමෝම කියන එක ඇත්ත. ඒත් දේවින්නාන්සෙ එහෙම කරන්ට හේතු වුනු කාරණා ගැන කවුරුවත් කතා කරන්නෙ නෑ....නැත්නම් හිතාමතාම ඒ කරණා අමතක කරල දාල හැමෝම." 

" ඒ කිව්වෙ අයියණ්ඩි?" 

" මම දේවින්නාන්සෙ සමීපව ආශ්‍රය කරනව දැන් සෑහෙන කාලෙක ඉඳල........" 

" අයියණ්ඩි?............" 

මගේ විශ්මය ගැබ්වුනු රාවය ඔහු එසැනින් මවෙතට හැරවීමට සමත් විය. 

" රජිතා.....කරුණාකරල වරදවා වටහා ගන්න එපා.......දේවින්නාන්සෙ ගැන පැතිරිලා තියන කතා මම දන්නව....ඒව ඔක්කොම අමූලික අසත්‍යයත් නෙවෙයි ඇත්තම කිව්වොත්.....මාව විශ්වාස කරන්න......ඉස්සෙල්ල මම කියන්ට යනදේ අහල ඉන්න." 

 ඔහු මගේ දෑතමගෙන මාදෑසට එබී පැවසුවේය. මඳ සිනහවකින් මම අනුමැතිය පලකළෙමි. 

" නංගි දන්නවනෙ, දේවින්නාන්සෙ මුලින්ම අවාහවෙලා හිටියෙ අර චෝරනාග කියන මංකොල්ලකාරය එක්කනෙ.ඒකත් බොහොම ලාබාල වියේදි දේවින්නාන්සෙගෙ අකමැත්ත පිට බලෙන්ම වෙච්ච කසාදයක්..........ඇත්තම කිව්වොත් කසාදයක් නෙවෙයි.......දේවින්නාන්සෙව ඒ මංකොල්ලකාරය පැහැරගෙන ගිහිල්ලයි තියෙන්නෙ.......දේවින්නාන්සෙගේ පියා රුහුණු පළාතෙ සාමාන්‍ය පුද්ගලයෙක්....ඒ නිසා චෝරනාගට විරුද්ධව මොකවත් කරන්ට හයියක් තිබිල නෑ.......ඒ නිසා එයාලත් අසරණ වෙලා ඒ වෙලාවෙ......." 

" චෝරනාග රජුට විරුද්ධව රටපුරා කැරළි ගහමින්, මංකොල්ල කමින් යද්දි, ඒ ලාබාල දැරිවිටත් සිද්ධ වෙලා තියනව, චෝරනාග එක්ක රටපුරා යන්ට.......නිකමට හිතල බලන්ට, සියුමැලි බොලඳ සොලොස් වියැති කුමාරිකාවකට, ඒ වගෙ ජීවිතයක් ගත කරන්ට වුනාම.............ටික කාලයක් එහෙම නෙවෙයි.....පුරා වසර හයක්.....එතුමිය ගත කරල තියෙන්නෙ ඔය වගෙ අහිගුණ්ඨික ජීවිතයක්......දින දෙක තුනකට වඩා එක තැනක රැඳෙන්ට බෑ......හමුදාව වැටලුවොත් කියල, කූඩාරම් ඔක්කොම අකුලගෙන වෙන තැනකට යන්ට ඕන..........හරි හැටි කෑමක් බීමක් නින්දක් නෑ.......හැම වෙලේම බයෙන් තැතිගත්ත ගමන් ඉන්නෙ..........ඒ ඔක්කොමත් හරි චෝරනාගගෙ අඩුම ගනනෙ ආදරයක් වත් තිබුනනම්........ඒ ආදරය වෙනුවෙන්ය කියල ඔය දුක් හිරිහැර ඔක්කොම ඉවසන්ට තිබුන.......ඒත් ඒ හොර දෙටුව මේ අහිංසක දැරිවි පැහැරගෙන ආව විතරයි....ඊට පස්සෙ උන්නද මලාද කියල ඇහැක් ඇරල බලල නෑ." 

" අයිය ඔය විස්තර ඔක්කොම දන්නෙ කොහොමද?......දේවින්නාන්සෙ කිව්වද?...." 

" ඔව් රජිතා............මට ඔය විස්තර කිව්වෙ දේවින්නාන්සෙම තමයි......ඒත් වරදවා හිතන්ට එපා......මගෙ කතාව ඔක්කොම අහල ඉන්ට." 

අසංක ඔහුගේ උකුල මතවූ මගේ සුරත් සෙමින් පිරිමදිමින් පැවසුවේ සිනාසෙමිනි. 

" හරි, හරි ඉතින් කියන්ටකො බලන්ට " 

මම කුඩා දැරියක් සේ සුරතල් වුනෙමි. 

" චෝරනාගට මේ දැරිවි උවමනා වෙලා තියෙන්නෙ, එයාගෙ උවමනා එපාකම් පිරිමහ ගන්ට විතරයි......ඒ වගේම හැමදාම රෑට, චෝරනාග තමන්ගෙ සගයො එක්ක පවත්තපු මධුපානෝත්සව වල සංග්‍රහ කටයුතු බාරවෙලා තියෙන්නෙත්, මේ අහිංසකීට............මුළු කඳවුරේම බොහෝවිට ගැහැණියක් විදිහට ඉඳල තියෙන්නෙ දේවින්නාන්සෙ විතරයි.නිකමට හිතන්න නංගි මත්පැන් බී ගත්තු සැඩ පරුෂ මංකොල්ලකාරයො දෙතුන් සීයක් අතරෙ ඒ වගෙ ලාබාල දැරිවියක් ගත් කරන්ට ඇත්තෙ මොන වගෙ ජීවිතයක් ද කියල." 

" ඔය අතරෙ තමයි දේවින්නාන්සෙගෙ ජීවිතේ ආයෙ වෙනස් කරන්ට බැරි විදිහෙ මාර්ගයකට යොමු කරපු එක්තරා සිද්ධියක් වෙලා තියෙන්නෙ.........මම ඒක නංගි කියන්නම්......දේවින්නාන්සෙගෙ වචන වලින්ම......" 

" අසංක.....මම හිතන්නෙ නෑ කවදාවත් අසංකට, මම ඒ ගත කරපු ජීවිතේ තේරුම් ගන්ට පුලුවන් වෙයිද කියල.............ඒ තරම් දුකින් පිරිච්ච ජීවිතයක් මම ගත කලේ.....දිවිනහ ගන්ට මට හිතුනු වාර අනන්තයි....ඒත් ආයෙම මට හිතුන, මේ වගෙ මංකොල්ලකාරයෙක් නිසා, මොකටද මම මගෙ ජීවිතේ නැතිකරගන්නෙ කියල........ඔය අතර තමයි, චෝරනාගගෙ කණ්ඩායමේ හිටපු එක තරුණයෙක් කෙරේ මගෙ හිත ඇදිල ගියේ..........එයාගෙ නම අජිත..........මංකොල්ල කණ්ඩායමේ හිටියට, අජිත අනික් අය වගේ ගොරහැඩි සැරපරුෂ කෙනෙක් නෙවෙයි......බොහොම ලාබාල පැහැපත් තරුණයෙක්......." 

මොහොතක් දෑස් පියාගෙන අතීතයට සමවැදි ඈ ඒ සුන්දර මතක අතර නිමේශයක් සැරිසැරුවාය. 

" අජිතට අගේට ගීත ගයන්ට පුළුවනි........ මමත් ඒ අංශයෙන් දක්ෂ නිසා බොහොමයක් වෙලාවට මධු පානෝත්සව වලදි ගීත ගයන්ට උනේ අපි දෙන්නට......චෝරනාග ඒකට කිසිම අකමැත්තක් දැක්වුවෙ නෑ........අපිව තව උනන්දු කලා......මම හීනෙකින්වත් හිතුවෙ නෑ මේ යක්ෂයා මේ වැඩේ කලේ යමක් යටි හිතේ තියාගෙන කියල." 

" එක දවසක් මධු පානෝත්සව අවසන් වුනේ වෙනද වගේම,, අජිතගෙයි මගෙයි ගායනයකින්......හැමෝම එදා අත්පොළසන් නඟල, සතුට පලකලා මට මතකයි. එදා හැබැයි අජිත ගී ගැයුවෙ බොහෝවිට මගේ ඇස් දිහාවෙ බලාගෙන.......මමත් එයාගෙ ඇස් දිහා බලාගෙන හිටියෙ, වශීවෙලා වගෙ.........අසංක,නිකමට හිතන්ට, මම වාගෙ ආදරයක් කාගෙන්වත් නොලබන අසරණ තරුණියකට, ඒවගෙ වෙලාවක මොනව හිතෙන්ට ඇතිද කියල.............එදා අන්තිමට මම මගෙ කූඩාරමට යන්ට යද්දි, එකපාරටම අඳුරෙ ඉඳල අජිත මතු උනා.......එයා මගෙ අත් දෙක හෙමිහිට අල්ලගෙන කිව්වෙ මෙච්චරයි " මම ඔයාට ආදරෙයි....අනුලා"ඒ කරල බොහොම ආදරෙන් නැවිල මගෙ නලල හෙමිහිට සිප ගත්ත......එච්චරයි, ඒ කරල එයා අඳුරෙම නොපෙනී ගියා.....එදා රෑ තමයි මම මගෙ ජීවිතේ ගෙවපු සුන්දරම රාත්‍රිය.........මම ජීවත්වෙනවයි කියල මගෙ ශරීරයෙ ඇට මිදුළු වලට පවා දැනෙන්ට ගත්තෙ එදා...........මම සිහිනෙන් මොනව දැක්කද කියල මට මතක නෑ අසංක......ඒත් ඒ හැම සිහිනයක්ම මගෙ දෙතොලට හිනාවක් කැන්දන් ආපු බව නම් මට අද වාගෙ මතකයි......පහුවදා මම උදේ පිබිදුනෙ අමුතුම ප්‍රබෝධයකින්." 

" ඒ ප්‍රබෝධයෙන්ම මම කූඩාරමෙන් එලියට ආවෙ, ගීතයකුත් හෙමිහිට මුමුණ මුමුණ......අසංක.......ඒ ප්‍රබෝධය හිරු දුටු පිණි වගේ වියැකිලා යන්ට ගත උනේ එක මොහොතයි.........." 

" අපේ කඳවුරු භූමිය මැද තිබුන විසාල නුග ගහක්.......මේ නුග ගහේ බැඳල හිටියෙ අජිත.........ඒ වටේට වළල්ලක් වගෙ රැස් වෙලා හිටිය අනික් කට්ටිය ඔක්කොම.......මොන තරම් දරුණු සැඩපරුෂ පුද්ගලයො උනත්, එදා ඒ හැමෝම හිටියෙ බිමට හැරවුනු නෙතින්....මොකද හැමෝම අජිතට කැමතියි ඒ වගේම චෝරනාගගෙ නීතිය අනුව අජිතගෙ ඉරණම මොකක්ද කියල හැමෝම දැනගෙන හිටිය......." 

" අනුලා......එන්න කුමරියනි ඉදිරියට......" 

ඒ චෝරනාග........................


************************************************ 

මේ කාලෙකට ඉස්සෙල්ල මම ලියාපු කතාවක්..හදිස්සියෙම මතක් උනේ මේ කතාවෙ කතා නායිකාව අනුලා රැජිනියගෙ උපන් දිනේ පහුගිය සතියෙ යෙදිල තිබ්බ හින්ද. ඒ නිසා මට හිතුන මේ කතාව පලකලානම් හොඳයි කියල.මේක මේ පොඩ්ඩි අනුලා ගැන ලියපු වියුණු සටහනකට මගෙ ටීකාව..නැත්නම් කමෙන්ට් එක. ඒ දවස්වල මම කමෙන්ට් ලියන්නෙ මාගල් වගෙ...හෙහ්,හෙහ්,...මම ලියපු හොඳම ටීකාවන් ලියවුනෙ පොඩ්ඩි සහ වත්ගෙ වියුණු සටහන් වලට. එහෙම ලියපු කතන්දර මම හිතාගත්ත විඩෙන් විඩේ දාන්න ඕනය කියල නිදහස් සිතුවිලි වියුණුවෙ.. ඔබට ස්තූතියි පොඩ්ඩි....:)

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...