Showing posts with label මගේ කරණවෑමි කතා..... Show all posts
Showing posts with label මගේ කරණවෑමි කතා..... Show all posts

Monday, October 1, 2018

609. මගේ කරණවෑමි කතා - 3 - භීෂණ සමය…..


කරණවෑමිහලෙහි බාග දොර..Google Images

ඔවුන් කෙතරම් හොඳින් තම කටයුතු ඉටුකොට ඇත්දැයි අපට පසක් වූයේ හදිසියේම එක් මධ්‍යම රාත්‍රියක අපගේ කුඩා නගරයට ආසන්න ගම්මාන දෙකක් වැටලූ හමුදා භටයින් අපගේ ප්‍රබල ක්‍රියාධරයින් දොළොස් දෙනෙකු අත් අඩංගුවට ගත් ඉක්බිතිය.

අපගේ ඔත්තුකරුවන් කොපමණ විපරම් කලද සතියක පමණ කාලයක් ගතවනතුරු අපට ඔවුන්ට කුමක් සිදුවීද යන්න පවා සොයාගත නොහැකි විය. 

ඉක්බිති වැසි වළාකුලින් අහස මුලුමනින්ම වැසීගිය එක් උදෑසනක අප වාසය කල ගම්මානය පසුකොට ඈත කඳුකරය දක්වා දිවෙන බොරළු ඇතිරූ පාර අසල ගම්මානයේ එක් අන්තයකට වන්නට හුදකලාව ජීවත්වන මහල්ලෙක් වේගයෙන් හුස්ම ගනිමින් දිවගෙන පැමිණ සැලකලේ ඔහුගේ නිවස අසල දියපාරෙහි වැල් ගොල්ලක පැටලුනු මළසිරුරු කිහිපයක් ඇති බවය.

ඒ ආරංචිය කණ වැකුණු වහාම මගේ සිත මහත්වූ භීතියකින් පිරී ඉතිරී යන්නට වූයේ නිතැනිණි.

අප උපකල්පනය කල ලෙසම දිය පහරෙහි වූයේ සතියකට පමණ පෙරාතුව පැහැරගන්නා ලද අපගේ ක්‍රියාධරයින්ගෙන් පස් දෙනෙකුගේ මළ සිරුරුය. දැඩි වධබන්ධන පණවා තිබූ බවට සාක්ෂි වශයෙන් සිරුර පුරා තුවාල කැළැල් දක්නට වූ අතර ඔවුන් මරා දමා තිබුනේ ගෙල සිර කිරීමෙනි. 

මළසිරුරු දෙකක ගෙල වටා ඔවුන්ගේ ප්‍රාණය නිරුද්ධ කිරීමට යොදාගත් පියානෝ කම්බි භාවිතාකොට තනාගත් මළ පුඩු දක්නට ලැබිණි. අපගේ සගයින් මරාදැමීමෙන් ඉක්බිති මලපුඩු ගෙල වටා තව දුරටත් තිබෙන්නට හැරීමෙන් ඝාතකයින් අපේක්ෂා කලේ නිසැකවම කැරළි කරුවන් අතර භීතිය පැතිරවීම බවට කිසිදු සැකයක් නොවූ අතර ඔවුන්ගේ ඒ අපේක්ෂාව එළෙසින්ම ඉටුවිය.

අපගේ විමුක්ති හමුදාව සටන් කලේ කිසේත්ම වෙනම පාලන තන්ත්‍රයක් වෙනුවෙන් හෝ එවන් අන් මහා බරපතළ යමක් උදෙසා නොවේ. අපගේ පරමාර්ථය වූයේ අප අඳ ගොවියන්ලෙස දවස පුරා දහදිය වගුරන වගාබිම්හි අයිතිය ලබා ගැනීමය.

මේ ප්‍රදේශය පුරා ඇසට අසුවන මානය තෙක් පැතිර ගිය කළු පැහැති සාරවත් පසින් යුතු වගාබිම්වල හිමිකරුවෝ බහුතරයක් ජීවිතයේ එක් වරක් හෝ අවම වශයෙන් තම ඉඩ කඩම් දැක හෝ නැත.

ඔබ ජීප් රථයක ගමන් ගන්නේනම් හෝරා පහක හෝ හයක පමණ දුරකින් පිහිටි ප්‍රාන්ත අගනුවර අලංකාර තණබිම් සහ මල් උයනින් වටවූ දෙතුන් මහල් මන්දිරයන්හි වාසය කල ඔවුහු මසකට වරක් පමණ සුළු වැටුපක් වෙනුවෙන් සේවය කල කළමණාකාරවරයෙක් තම වගාබිම් වෙත එවා ඔහු ලවා තොරතුරු සොයා බැලූහ. 

තොරතුරු යනු හුදෙක්ම මෙවර කොපමණ අස්වැන්නක් පොළවෙන් ලබාගත හැකිද යන්න පමණක්ම විය. අස්වැන්න පැසීගෙන එන සමයේහි සතියක් පමණ ගම්මානයේ මුලාදෑනියාගේ නිවසෙහි නවාතැන් ගන්නා කළමණාකාර වරයා සියළු අස්වැන්න එකතුකොට අඳ පංගුව වශයෙන් ඉන් හතරෙන් එකක් වගාකල ගොවියන්ට ලබාදී ඉතිරිය එතනදීම විකුණා වෙළෙඳුන්ගෙන් ලැබුණු මුදල්ද පොදි බැඳගෙන නගරය බලා පිටත්ව යන්නේය.

වසරකට පමණ පෙර අඳගොවීන් සංවිධානය වී උද්ඝෝෂණයේ යෙදීමට තීරණය කල අවස්ථාවේදී අපගේ ඉතාම සාධාරණ සහ යුක්තිසහගත අරගලය ආයුධ සන්නද්ධ කැරැල්ලක් දක්වා ව්‍යාප්තවනු ඇතැයි උද්ඝෝෂණයේ පුරෝගාමීන් කිසිවෙකු නොසිතූ බවට මම නිසැකවම දනිමි. ඒ මම ද එවන් පුරෝගාමියකු වූ නිසාය.

අපගේ උපකල්පනය වූයේ උපරිම වශයෙන් මාස තුනක් පමණ ගතවන කල්හි රජය මැදිහත්ව අපවෙත යම් සහනයක් ලබාදීමට කටයුතු කරනු ඇති බවය. එහෙත් අප කිසිසේත්ම අපේක්ෂා නොකල අයුරු ඔවුන් ප්‍රතිචාර දැක්වූයේ අනුකම්පා විරහිත මර්දනයක් දියත් කිරීමෙනි. ඊට පිළිතුරු ලෙස අපටද ආයුධ සන්නද්ධ වනු හැර වෙනත් කිසිදු විකල්පයක් නොවිණි.

ඉක්බිති නොවැළැක්විය හැකි අයුරු දෙපාර්ශ්වයෙන්ම මිනිසුන් බොහෝ දෙනෙකු මියගිය අතර ඒ මහත් අභාග්‍ය සම්පන්න තත්ත්වය අප සංවිධානයේ නායකත්ව මණ්ඩලයේ සාමාජිකයින් අතර සමහරවිට දරුණු මතභේදයන් හටගැන්මට පවා තුඩුදුන්නේය. 

දිනෙන් දින ඉහළයන මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව කෙසේ හෝ වැළැක්විය නොහැකිනම් අරගලය අත්හැර දැමියයුතු බවට සුළු තරයකගේ මතය විය. එහෙත් බහුතරය එකහෙලාම පවසා සිටියේ කෙසේ හෝ අපගේ අරගලය ජයග්‍රහණය දක්වා මෙහෙයවිය යුතු බවය.

නායකත්ව මණ්ඩලයේ නිල නොලත් ප්‍රධානියා ලෙස කටයුතු කල මා තම පාර්ශ්වයට එක්කොට ගැන්මට දෙපාර්ශ්වයම බලවත් සේ උත්සාහ කල නමුදු මේ ප්‍රශ්ණයේදී අපක්ෂපාත වන්නට මවිසින් කලින්ම ගනු ලැබූ තීරණය වෙනස් කරවීමෙහිලා දෙපක්ෂයම අපොහොසත් වූහ.

සත්‍යය එළෙසම පැවසුවහොත් මගේ අපක්ෂපාතිත්වයට හේතු වූයේ දෙපාර්ශ්වයම මගේ සගයින් වීම නිසාම නොව එක් තීරණයකට එළඹීමට වූ නොහැකියාව නිසාය. 

කාලාන්තරයක් මුලුල්ලේ අපහට විඳින්නටවූ බලවත් අසාධාරණයන් තව දුරටත් විඳින්නට අපගේ මතු පරම්පරාවට ඉඩ නොතබා ආරම්භකල අරගලය ජයග්‍රහණය දක්වා ඉදිරියට ගෙන යාමට මගේ සිතෙහි එක අර්ධයක් මට අණකරන අතර අනෙක් අර්ධය නෙත පිරි කඳුළෙන් යුතුව මගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියේ තවත් තරුණ ජීවිත රාශියක් නිකරුණේ විනාශ වන්නට ඉඩ නොතබා අරගලය අත්හිටුවන්නට කටයුතු කරන ලෙසය.

ඝාතකයා අප අතරට සැපත්වූයේ එළෙස අප අරගලය පිළිබඳව දෙගිඩියාවෙන් යුතුව කල් ගත කරද්දීය.

ඝාතකයාගේ සම්ප්‍රාප්තියෙන් පසු තරුණ මළසිරුරක් හෝ දෙකක් අතුරු මාර්ගයක් ආසන්නයේ හෝ ළඳු කැළෑවක් මධ්‍යයේ තිබී හමු නොවුනු උදෑසනක් වූයේ එහෙමත් දිනකය. ක්‍රමයෙන් ඝාතකයා අපේක්ෂා කල පරිදිම මරණ බිය අපේ ක්‍රියාධරයින්ගේ මෙන්ම ඔවුන්ගේ අඹු දරු දෙමව්පිය ඥාතී හිතවතුන්ගේද සිත් සතන් පුරා පැතිර යන්නට වූයේය.

මේ අතර එක් දිනක හිරු උදාවූයේ මගේ බාල සොහොයුරන් දෙදෙනාද අතුරුදන්ව ඇති බව දන්වන අමිහිරි පණිවිඩය ද සමඟය. ශෝකයෙන් ඇලලීගිය මම අනුයත සතියක පමණ කාලය ගත කලේ මගේ සගයින්ද සමඟ ඔවුන් පිළිබඳව කිසියම් ආරංචි මාත්‍රයක් හෝ පිළිබඳව සොයා බලමින් දවස පුරා මෙන්ම මධ්‍යම රාත්‍රිය ඉකුත්වන තුරුම තදාසන්න ගම්මානයන්හි මෙන්ම කැළෑබද ප්‍රදේශයන්හිද සැරි සරමිණි.

කිසිදු සැකයකින් තොරව ඔවුන් රඳවාගෙන ඇත්තේ ඝාතකයාගේ කඳවුරේ බව මගේ සගයින් බහුතරයකගේ මතය වූ අතර රාත්‍රි අඳුරට මුවාවී කඳවුරට ප්‍රහාරයක් එල්ල කිරීමටද දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් යෝජනා කළහ. එහෙත් මගේ සහෝදරයින් වෙනුවෙන් තවත් තරුණ ජීවිත ගණනාවක් බිලි දීම මම තරයේ ප්‍රතික්ෂේප කලෙමි.

තවත් දින කිහිපයක් මෙලෙස ගෙවී ගියේය. මේ වනවිට මම මගේ සොහොයුරන් යලි පණ පිටින් දැකීමේ අදහස අත්හැර දමා සිටියෙමි. කොතෙකුත් නිවසෙහි සයනයෙහි දිගාවී වහළ දෙස නෙතු යොමාගත්වනම කල්පනා කරමින් පසුවීම තව දුරටත් කල නොහැකි වූ කල්හි මම කඩ මණ්ඩියෙහි මගේ කරණවෑමි හල උදෑසන විවෘත කොට එහි රැඳී සිටින්නට වීමි. 

පළමු දිනයෙහි කිසිදු ගනුදෙනු කරුවෙකු නොපැමිණි නමුදු දෙවන දිනයෙහි එක ගණුදෙනු කරුවෙකුද තෙවන දිනයෙහි ගනුදෙණු කරුවන් තිදෙනෙක්ද මගෙ සේවය ලබා ගැනීම උදසා පැමිණියහ. ඔවුන් සියල්ලන්ම මා කුඩා කල සිට හොඳින් හඳුනන්නෝ වූ නමුදු කිසිවෙකු සතුටු සාමීචියෙහිලා එක වදනක් හෝ දෙඩීමට පමණ නිර්භීත නොවීය. මම ද නිහඬව ඔවුන්ට අවශ්‍ය පරිදි කෙස් සහ රවුලු බෑමෙහි නිරතවූයේ ඔවුන් පත්ව ඇති තත්ත්වය පිළිබඳව මට හොඳින්ම වටහාගත හැකි වූ නිසාය.

කිසිදු වදනක් නොබිණූවද අවම වශයෙන් ඔවුන් මා වෙත පැමිණීම පිළිබඳව සත්‍යය වශයෙන්ම මම ඔවුන්ට ස්තූති කල යුතුබව මට කල්පනා වූයේ සවස සෙමෙන් සෙමෙන් මගේ නිවස වෙත ඇවිදගෙන යද්දීය. 

සිව්වන දිනය ද උදාවිය. එදින මධ්‍යාහ්නය ලඟාවන තුරුම කිසිවෙකු මගේ කරණවෑමි හලට නොපැමිණියෝය. එහෙත් කිහිප දෙනෙක් කරණවෑමි හල ඉදිරිපස වූ කැන්වස් රෙද්දකින් සැදි ආවරණය යටටවිත් දෙපළු බාග දොර ඉහළින් එබී බලා ඒ සමඟම යම් වැදගත් කාර්යයක් සිහිපත් වූවාක් මෙන් ඉක්මන් පියවරින් නික්ම ගියෝය.

මේ අසාමාන්‍ය චර්යාව පිළිබඳව මසිතෙහි යම් කුකුසක් හටගත්තේ වුවද මම මා හිඳසිටි අසුනේම දිග ඇදී සිටියේ නැඟිට ගොස් ඒ පිළිබඳව සෝදිසි කිරීමට පමණ උනන්දුවක් පහළ නොවූ බැවිනි.

බොහෝ විට එලෙසම දිගාවී හුන් මගේ දෑස අඩ නිදිමතේම පියවෙන්නට ඇත. 

එක්වරම මම ගැස්සී අවදිවූයේ කරණවෑමි හලේ දෙපළු බාග දොර පියන් පත් මහත් හඬින් පැද්දී විත් යලි උළුවස්සේම ගැටෙනා හඬිනි. යලි පොළා පැනුනු පියන් පත් තම සුවිසල් දෑතින් තදින් ග්‍රහණය කොටගත් වනම දොරටුව මධ්‍යයේ සිටගෙන සිටියේ අඩි හයකට අධික උසකින් යුතු දැවැන්ත පුරුෂයෙකි. 

කිසිදා දැක නොතිබූ නමුදු මේ ඝාතකයා බව මම කිසිදු සැකයකින් තොරව එක් පැහැර හඳුනා ගතිමි.

Saturday, September 22, 2018

608. මගේ කරණවෑමි කතා - 2 - දුන්හිඳ අද්දර, කිංග්ස් සැලූන්, කොන්ටිකි යාත්‍රාව සහ ඝාතකයා නොහොත් කර්නල් රොඩ්රිගුවේස්ගේ ආගමනය…..

වේරගම්පිට කච්චේරි නිල නිවාසෙ ලැබෙන්ට ඉස්සර මාස තුනක් විතර අපි හිටියෙ නූපෙ. නූපෙ තියෙන්නෙ මම හිතන්නෙ මාතර නගරයට ඉස්සෙල්ල. ඒ කියන්නෙ ගාල්ල පැත්තෙන් යනකොට. රාහුලේ එහෙමත් තියෙන්නෙ ඒ කිට්ටුව නේද? 

රාහුල මාෆියා එක මතකද? හෙහ්..හෙහ්..රාහුල මාෆියා එක තිබ්බෙ ච.බ.කු.ගෙ පාලන කාලෙ. ච.බ.කු. නොහොත් C.B.K. ඒ රාහුල මාෆියා එකේ හිටියෙ ජනාධිපති ලේකම් කුසුම්සිරි බාලපටබැඳි (ලසන්ත වික්‍රමතුංග ද සන්ඩේ ලීඩර් පත්තරේට ලියපු දේශපාලන ලිපියෙ මිනිහව හැඳින්නුවෙ The cheap belt wearer කියල. ඒ  දේශපාලන ලිපිය ලසන්ත ලිව්වෙ සුරනිමල කියන අන්වර්ථ නාමයෙන්.) ඊලඟට ආරක්ෂක ලේකම් චන්දානන්ද ද සිල්වා. තව කීප දෙනෙක් හිටිය උසස් නිලතල දරපු අය. 

ඒ ඔක්කොම රාහුලේ ආදි ශිෂ්‍යයො. හැබැයි මොනව උනත් ඒ මිනිස්සු ඊට පස්සෙ ආපු එවුං වගෙ මං පහරන්නො නෙවෙයි. ලලිත් වීරතුංග එතකොට ගාමිණී සෙනරත් ඊටත් පස්සෙ මේ ඊයෙ පෙරෙයිද කජු සිරාගෙ ගෝලය..කතා කරල වැඩක් නෑ. පට්ට හොරු...

මම උපන්නෙ බදුල්ලෙ කියල මම කලින් කියල තියනවනෙ. ඒ වෙනකොට අප්පච්චි වැඩ කලේ බදුල්ලෙ කච්චේරියෙ. අම්ම බදුල්ලෙ ඉස්පිරිතාලෙ. අපි හිටියෙ රිවර්සයිඩ් වල ගෙදරක. අර අපේ සන්මිත්‍ර කළ්‍යාණමිත්‍ර තෙමේ නම් ඔය දිහාස් ගැන හොඳ හැටිම දන්නව. රිවර්සයිඩ් කියන නමෙන්ම කියන විදිහට (Self explanatory) ඒ ගෙදර තිබ්බෙ ගඟ අයිනෙ. 

ගඟ කිව්වට ඒක ඇත්තටම නම් බදුලු ඔය. ඔය අපි හිටපු ගෙවල් පහු කරල තව හැතැම්ම පාළහක් වගෙ ගලා ගෙන ගිහිල්ල එක පාරටම මහ විසාල ප්‍රපාතෙකින් පාතට පැනල දුන්හිඳ දියඇල්ල නිර්මාණය කරන්නෙත් ඔය බදුලු ඔයම තමයි.

බදුලු ඔයෙන් කිරි කඳුළක් ගන්නට පෙරුම් පිරුවෙ...ඒ දීපිකා ප්‍රියදර්ශනී....

බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මඳක් නිවාගන්න
ඔබේ සතුටු මුහුණ අපට ටිකක් හොඳින් බලාගන්න
මහත්වරුනි බදුලු ඔයෙන් කිරි කඳුළක් අපිත් ගන්න
කාසි ඇතොත් මේ බෙලිමල්කඳුළු වතුර පොදක් බොන්න

කැලේ ගිහින් නිදි වැරුවා කැපුන සඳුන් දණ්ඩ දනී
ඒ සඳුනෙන් හිත තැවරූ සුවඳ පවා සිහින වැනී
අඳුරට දුක එකතු වෙලා නින්ද බිදුණු පැලට වඩී
අපට නැතත් බදුලු ඔයට හෙටත් උදෑසනක් වඩී

රෑන ගිරව් කටුසා කොබෙයි උරග නාග සපුණි වනේ
නුඹට වගේ මයි අපටත් දුක් පීඩා විඩා දැනේ
කඳු ඉස්මත්තෙන් පාවී වැගිරෙන දුන් හිඳ හීනේ
පුංචි එවුන්ටයි ලස්සන කිරිගරුඩෙන් කවිය වුණේ

පද -රුචිර පරණවිතාන 
සංගීතය- රෝහණ වීරසිංහ
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී



දුන්හිඳ ගැන කියනකොට මට අනිවාර්යයෙන්ම මතක් වෙන්නෙ දුන්හිඳ අද්දර. අශෝක හඳගමගෙ මම හිතන විදිහට පළමු ටෙලි චිත්‍රපටය..අනෝමා ජනාදරී..කෞෂල්‍යා ප්‍රනාන්දු...එතකොට රුක්මල් නිරෝෂ්...

ඉතින් මාතර වේරගම්පිට ඉන්න කාලෙ මට වයස ඔන්නම් ඇති උපරිම තුනක් නැත්නම් හතරක් විතර. ඒ කාලෙ මගෙ කොණ්ඩෙ බොහොම අක් බඹරුයි. අක් බඹරුයි කියන එක දන්නවනෙ නේද? Curly hair කියන එක බොලව්. වෙන අහවල් කෙංගෙඩියක්වත් නෙවෙයි. "අක් බඹරු සිනා නොදැක බැඳුනු ආදරේ...ඇගෙ අහංකාර බැල්මට බැඳි ආදරේ..." කියල අර ප්‍රසිද්ධ ගීතයක් එහෙමත් තියෙන්නෙ

ඉතිං මාසෙකට වගෙ සැරයක් මගෙ කොණ්ඩෙ කපන්ට අම්ම මාව එක්කං යනව මාතර ටවුමෙ තිබ්බ සැලූන් එහෙකට. නම මට මතක විදිහට කිංග්ස් සැලූන් වගෙ. අර උස බාබර් පුටුවෙ ඉඳගත්තම මගෙ මොකවත්ම කණ්නාඩියෙන් පේන්නෙ නෑ. 

ඒ හින්ද කරණවෑමියානෝ කරන්නෙ පුටුවෙ අත් දෙක උඩට ලෑලි කෑල්ලක් තියනව. ඒ ලෑලි කෑල්ල එහෙම මං වගෙ දොඩං ගෙඩි දෙකක් තරංවත් උස නැති හිච්චි එවුං ආහම උංව ඉන්දවන්නටම විශේෂයෙන් කුෂන් කරල එහෙම හදපු එකක්. 

හැමදාම පුරුද්දක් විදිහට කොණ්ඩෙ කපල ඉවර උනහම අම්ම ඒ බාබර් සාප්පුවටම අල්ලල තියෙන හෝටලෙන් මට අයිස්ක්‍රීම් එකක් අරගෙන දෙනව. අර දිග නැට්ටක් තියෙන වීදුරු අයිස්ක්‍රීම් කප් එහෙක පෙත්තටම පුරවල තියෙන කහපාට අයිස්ක්‍රීම් එකේ වේෆර්ස් විස්කෝත්තකුත් ගහල තියනව. 

මම විස්කෝතු කියල නොකිය විස්කෝත්තක් කියල කිවෙ දකුණෙ භාෂා ව්‍යවහාරය අනුවයි. පත්තර පිට්ට, ලන්න, සාළුව, පනිට්ටුව..... මාලිම්බඩ හිටපු අපේ ලොකු නැන්දගෙ පුතාල කතාකලේ අන්න එහෙමයි.

හරි හරි ඒ විස්තර පස්සෙ කතා කරමුකො. දැන් එමු අර මම මුලින්ම කිව්ව ලතින් අමරිකානු කතාවට. රන්දිකා නෝනගෙ නගරාධිපතිගේ දත කතාවට මම දාපු කමෙන්ට් එකක් හින්දනෙ මගෙ මේ කරණවෑමි කතා මාලාව ලියන එක ඉක්මන් වුනේ. නැත්නම් මම හිතාගෙන උන්නෙ ඔය අහුකොන් ඉතිරිවෙලා තියන, ඒ කිව්වෙ අනන්‍යාගෙ කතාව, කුමරියකට පෙම් කළෙමි, අහල්‍යාගෙ කතාව වගෙ එව්ව ඉවරයක් කරල දාලම කරණවෑමි කතා පටන් ගන්ට. 

කොහෙද ඉතිං ජීවිතේ අපි හිතං ඉන්න දේවල් වලින් සීයට අනූනමයක්ම ඒ විදිහට කරගන්ට ලැබෙන්නෙ නෑනෙ නේද? සිතු දේ නොමවේ නොසිතු දෙයක් වේ ලෝ දම් කැරකෙනවා...එතකොට ලොව නිසසලවී නවතින මොහොතේ යටිහිත් මතුකොට සිනහ සලා ලොව දොඩමලුවී නෙත් මානන කල අප දෙදෙනා ඉමු තරහ වෙලා...

ඔය මම කියන කතාව පලවුනේ නවයුගය සඟරාවෙ. ඒ කාලෙ ඒ කිව්වෙ හැත්තෑවෙ දශකයෙ මැද භාගයෙ විතර නවයුගය කියන්නෙ දැනුම් සාගරයක්. මාසෙකට දෙපාරයි නිකුත් වුනේ. 12 වෙනිද සහ 26 වෙනිද. ගෞතමදාස කියල මහත්මයෙක් තමයි හැමදාම මුල් පිටුවෙ චිත්‍රය ඇන්දෙ. ජී. ඇල්. ගෞතමදාස....චිත්‍ර නිකං ආය නෑ පණ පිටින් ඉන්නව වගෙ…

ජී. ඇල්. ගෞතමදාස මහතා.

මට තවම මතකයි තෝර් හෙයර්ඩාල්ගෙ කොන්ටිකි චාරිකාව ගැන නවයුගයෙ කවරයේ කතාව පළවුනු දවසෙ මුල් පිටුව පුරා තිබුනු ගෞතමදාස මහත්මයා ඇඳපු ඒ යාත්‍රාවෙ චිත්‍රය. 

තෝර් හෙයර්ඩාල් කියන්නෙ නෝවීජියානු විද්‍යාඥයෙක්. ඔහු අදහසක් ඉදිරිපත් කලා දකුණු අමරිකාවෙ ඉන්කා වරුන් අවුරුදු හයසියයකට පමණ ඉස්සෙල්ල බල්සා නම් ඉතාම සැහැල්ලු ලීයෙන් කල පහුරුවල නැඟී පැසිෆික් සාගරය පුරා සැරි සැරුවයි කියල. 

තෝර් හෙයර්ඩාල් මහතා.

ඒ අදහස ඔප්පු කරන්න ඔහුත් ඒ විදිහට නවීන තාක්ෂණය කිසිසේත් උපයෝගී කොටනොගෙන තැනූ බල්සා පහුරක නැඟිල තම මිතුරන් කිහිප දෙනෙකු සමඟ ඒ ගමන ගියා පොලිනීසියානු දූපත් දක්වා. දුර සැතපුම් 4300ක්. මේ ගමනට දින 101 ක් ගතවුනා. කොන්ටිකි යාත්‍රාව කියල ඒ ගමන අලලා ඔහු ලියපු පොත ඉතාම ජනප්‍රිය වුනා.

කොන්ටිකි යාත්‍රාව පොතේ පිටකවරය

තෝර් සහ ඔහුගේ මිතුරන් සමඟ මේ චාරිකාවට සභභාගිවුනාලු තවත් කෙනෙක් අනාරාධිතවම. ඒ කකුළුවෙක්. බල්සා කොටයක ගුලක් හාරගෙන ඒකෙ පදිංචි වෙලා මේ කකුළුව ඔවුන් ගමන අරඹා දින දෙක ඇතුලත ඔවුන්ගේ චාරිකාවට එකතු වුනාලු. විටින් විට පහුර මතට ගොඩවන මේ කකුළුවට ඔවුන් ආහාරත් දුන්න කියල සඳහන් වෙනව. ඒ විතරක් නෙවෙයි ඔවුන් මේ අනාරාධිත මිත්‍රයා "ජොහැන්නස්" කියල බෞතීස්මත් කලාලු. ඔය කොන්ටිකි චාරිකාව ගැන පාඩමක් තිබ්බ අපේ සිංහල - 7 නැත්නම් 8 පොතේ.

දෙයියම්ප මට එක හිතකිං එක මාතෘකාවක් ගැන ලියන්ට බැරි හැටියක්. හිත ආයාලේ යනව කියන එකේ සීමාවක් නෑ. "අයාලේ ගිය සිතක සටහන්" ඒ මම බොහොම ප්‍රියකරන පොතක්. රචකයා නැසීගිය තිස්ස අබේසේකර මහත්මයා.

අයාලේ ගිය සිතක සටහන් පොතේ පිටකවරය

ඒත් අනික් අතට එහෙම නිශ්චිත අරමුණක් නැතුව ඔන්න ඔහේ ඔලුව හැරිච්චි දිහාවෙ යමුය කියල හිතල ගමනක් පිටත්වෙන එකෙත් තියනව අමුතුම ආතල් එකක්. අර පරණ පොත්වල හිස හැරුණු අත ඉබාගාතේ ගියෝය කියල කියන්නෙ අන්න එහෙම අවස්ථාවකට. හැබැයි සටනකින් පැරදිල පලා යන්නෙ නම් හිස් ලූ ලූ අත. 

වෙධය බණ්ඩාරයන්ගේ අසමසම රණශූරත්වය හමුවේ බියෙන් ත්‍රස්ත වූ පෘතුගීසීහු හිස් ලූ ලූ අත පළාගියෝය. එහෙම තියෙන්නෙ සුනේත්‍රා නොහොත් අවිචාර සමය පොතේ. කර්තෘ ඩබ්ල්යු. ඒ. සිල්වා මහත්මයා. වැල්ලවත්ත ආරච්චිගේ ඒබ්‍රහම් සිල්වා.

අපේ පළමුවන ජනාධිපතිතුමා ජේ.ආර්. ජයවර්ධන මහත්මයා කිව්වෙ පෘතුගීසීන් කියල නෙවෙයි පෝචුගීන් කියල. එතුමටම ආවේණික වචන මාලාවක් තිබ්බනෙ. රෝහණ විජේවීරට කිව්වෙ රොහාන් විජයවීර. ජෙප්පොන්ට කිව්වෙ ජේ.වී.පී. සමාගම කියල.

ඩබ්ල්යු. ඒ සිල්වා කියල මම ලියන්නෙ එතුමා තමන්ගෙ නම ලිව්වෙ ඒ විදිහට නිසා. එතකොට මාටින් වික්‍රමසිංහ මහත්මය තමන්ගෙ නම ලිව්වෙ මාර්ටින් වික්‍රමසිංහ කියල. එතුමා ලියපු ගම් පෙරළිය පොත අවසන් වෙන්නෙ මේ විදිහට. "හුදීජන පහන් සංවේගය උදෙසා සිංහල වංශ කථාවෙහි අංශු මාත්‍රයක් පවසනු පිණිස කොග්ගල මලලගම නිවැසි මාර්ටින් වික්‍රමසිංහයන් විසින් විරචිත ගම් පෙරළිය මෙතෙකින් නිමියේය."

හරි හරි කතාව කියමුකො අදවත්.....

වාතාවරණය දිනෙන් දින අභාග්‍යසම්පන්න වන්නට විය. අපගේ ගරිල්ලා භටයින් මෙන්ම රජයේ හමුදාභටයින්ද කඳුකරයේ සැඟවී සිට කල පහරදීම් වලදී මියගියේ බුරුතු පිටිනි. කඳුහෙල් දියඇළි සහ දුර්ගයන්ගෙන් සපිරුණු භූමියෙහි පිහිටීම් පිළිබඳව මනා අවබෝධයකින් යුක්තවූ හෙයින් ගරිල්ලා භටයෝ ඉතා මැනවින් සැඟවී සිට පහර දීමට සුදුසු ස්ථාන තෝරාගැන්මෙහිලා විචක්ෂණවූහ. එබැවින් මහත්ම හානි සිදුවූයේ රජයේ හමුදාවන්ටය.

හුදෙක් හමුදා ක්‍රියාන්විතයන්ගෙන් මේ අරගලය පරාජය කිරීම උගහට බැව් වටහාගත් අගනුවර හමුදා මූලස්ථානයෙහි නායකයෝ රැස්ව යුද උපක්‍රමයන් පූර්ණ වශයෙන් සංශෝධනය කිරීමට තීරණය කළෝය.

ඒ අනුව "ඇසෑසීනෝ" නොහොත් ඝාතකයා ලෙස රටපුරා කුප්‍රකට කර්නල් රොඩ්රිගුවේස් අපගේ ප්‍රදේශය භාර හමුදානිලධාරියා ලෙස පත්කොට එවනු ලැබීය. 

ඔහුට රටේ ඉහළම ප්‍රධානියාගෙන් ඕනෑම උපක්‍රමයක් භාවිතා කොට අරගලය තෙමසක් ඇතුළත මර්දනය කරන ලෙස පෞද්ගලිකව උපදෙස් ලැබුණු බවටද අපට ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබිණ.

එසේ ආරංචි නොවූවද රොඩ්රිගුවේස් පැමිණියේ එවන් අධිකාරි බලයක් සහිතව බව වැඩි දිනක් ගතවන්නට පෙර ඔහුගේ ක්‍රියාකලාපයෙන් මොනවට පැහැදිලි විය. ඔහු හමුදා මුර සංචාර නතර කලේය. ඔහු යටතේවූ හමුදා භටයෝ තම කඳවුරෙන් පිටතට පැමිණියේ දින දෙක තුනකට වරකි. ඒද දැඩි ලෙස සන්නද්ධව අපගේ කුඩා නගරය වටා තම ජීප් රථවලින් ගමන්කිරීමට පමණි. 

කුඩා නගරය යනුවෙන් මවිසින් හඳුන්වනු ලැබූවද මෙහි වූයේ කුඩා කඩමණ්ඩියක් සහිත කඩ වීදියක් පමණි. මා සතුව කඩ වීදියෙහි මධ්‍යයට වන්නට පිහිටි කරණවෑමි හලක් විය. එහි එකම කරණවෑමියා වශයෙන් මම කටයුතු කළෙමි. මීට පෙර මගේ පියාණන්ද ඔහුගේ පියාණන්ද වශයෙන් අපගේ පරම්පරාවම කරණවෑමියෝ වූහ.

මගේ මළනුවන් දෙදෙනා කරණවෑමි රැකියාව ප්‍රිය නොකල අතර ඔවුහු පාරම්පරික ධනවතකුගේ තිරිඟු ගොවිපලක අඳ ගොවීහු ලෙස සේවය කලහ. අපගේ අරගලය පැන නැඟුනේ ප්‍රධාන වශයෙන් මේ ඉඩම් හිමි රදළයින්ට එරෙහිවය.

රොඩ්රිගුවේස්ගේ උපක්‍රම කිසිසේත් සම්මත හමුදා උපක්‍රම නොවීය. පලමුව ඔහුගේ ඔත්තු කරුවෝ කිහිප දෙනෙක් නගරයෙහි රැකියා සොයා පැමිණෙන අවට කඳුකර වාසීන් ලෙස වෙස්වලා පැමිණ නගරයට ඇතුළු වූහ. ඒ පිළිබඳව අපට ඔත්තු ලබුනු ලැබුණු නමුදු ඔවුන් කවුරුන්දැයි ස්ථිර වශයෙන්ම හඳුනා ගැන්ම ඉතා ප්‍රවේශමෙන් කලයුතු කාරයයක්විය.

වැරදි හඳුනාගැන්මකින් අප අතින් අහිංසකයකු මරණයට පත්වුවහොත් ඒ අපගේ සංවිධානයේ කීර්ති නාමයට දැඩි කැළලක් ඇතිකරන බවට අපි තීරණය කළෙමු. එබැවින් ඔත්තු කරුවන් නිවැරදිව හඳුනාගැන්ම සඳහා අප මිඩංගු කල කාලය තුල ඝාතකයාගේ ඔත්තු කරුවෝ නිසි නින්දේ තම කටයුතු ඉටුකොට ගත්හ.

ඔවුන් කෙතරම් හොඳින් තම කටයුතු ඉටුකොට ඇත්දැයි අපට පසක් වූයේ හදිසියේම එක් මධ්‍යම රාත්‍රියක අපගේ කුඩා නගරයට ආසන්න ගම්මාන දෙකක් වැටලූ හමුදා භටයින් අපගේ ප්‍රබල ක්‍රියාධරයින් දොළොස් දෙනෙකු අත් අඩංගුවට ගත් ඉක්බිතිය.

Friday, September 14, 2018

607. මගේ කරණවෑමි කතා - 1 - අනන්‍යාගේ තර්ජනය, කරණවෑමියාගේ සම්බාහනය සහ වේරගම්පිට රජමහා විහාරය...


වේරගම්පිට රජමහා විහාරය - Image from Google 

රන්දිල් නෝනා මේ පහුගිය දවසක ලියපු නගරාදිපතිගෙ දත ගැන කතන්දරේට මම මෙහෙම ප්‍රතිචාරයක් දැම්ම ඔබ තමුන්නාන්සෙලාට මතක ඇති මහිතේ...

/මට රචකයගෙ නම සහ කතාවෙ නම අමතකයි ඒත් තවත් ලතින් අමරිකානු ලේඛකයෙක් ලියාපු මේ වගේම කතාවක් තියනව කරණවෑමියෙක් ගැන. 

රචකයගෙ නම අමතක වුනාට අවුරුදු හතළිහකට වගෙ ඉස්සර කියවපු ඒ කතාවෙ දෙබස් පවා තවම මතකයි. අර "මගේ කරණවෑමි කතා" කතා මාලාවෙ ඉස්සෙල්ලම මම ලියන්න ඉන්නෙ ඒ කතාව...හෙහ්..හෙහ්. /

ඉතිං මම කල්පනා කලා ආපහු අනන්‍යාගෙ කතන්දරේ ලියන්ට යන්ට ඉස්සරවෙලා ඒ කතාවත් කියලම ගියානම් මොකද කියල. 

ඇත්තම කිව්වොත් අනන්‍යාගෙන් මේ දවස්වල මට හරිම කරදරයි. විසේසයෙන් සතිඅන්තෙ ඔය මොකවත් කර්මාන්තයක් කලහම ආය ඉතින් මට නින්දක් ඇත්තෙම නෑ. රෑ දෙගොඩ හරියෙ ඔන්න මම බයවෙල වගෙ ඇහැරල බලනකොට මෙන්න අනන්‍යා ඉන්නව මගෙ ලියන මේසෙ පුටුවෙ වාඩිවෙලා. මා දිහා රවාන. ඇස් දෙක නිකං ගිණි කබල් දෙකක් වගෙ.

"මොකද හලෝ? මොකක්ද තමුන්ට වෙලා තියෙන්නෙ? මොකද ඔතන කොරන්නෙ මේ දෙගොඩහරි ජාමෙ?"

මම ටිකක් සද්දෙට එහෙම අහනව. එහෙම මුලින්ම ඇඟට ගොඩවෙල කොන්ටෝල් කොරගත්තෙ නැත්තං ඔය බබලත්තු එක්ක ඉහ ගහල ජීවත්වෙන්ට අමාරුයි. මම ඉතිං දන්නවනෙ ඔය සාස්තරේ..හෙහ්..හෙහ්..

ඒත් ඉතිං ඇත්තම කිව්වොත් මට ඔය සාස්තරෙං පොරෝජං ගන්ට වෙලා නෑ කවදාවත්. අපේ උන්දැ එක්ක ඒ සෙල්ලං හරි යන්නෙ නෑනෙව. ඒක තමයි ඔය පුරාන ඉරිසින්නාන්සෙල කිව්වයි කියන්නෙ සාස්තරේ දන්න එක එකක් ඒකෙං පොරෝජං ගන්න එක තවත් එකක් කියල. මම සාස්තරේ දැනගත්තට ඒකෙං පොරෝජං ගන්ට පිනක් නැති ගොබිලෙක්...අහෝ තුකකි ඉරකි තිතකි.

මම ඉතිං ටිකක් සද්දෙට මොකද හලෝ? මොකක්ද තමුන්ට වෙලා තියෙන්නෙ? කියල ඇහුවම අනන්‍යා ඔන්න මගෙ ඇඟට ගොඩ වෙනව.

"හුහ් ඒක අහන ලස්සන..ඔහේ නෙවෙයි මමයි එහෙම අහන්න ඕන.."

"මොකක් ගැනද මේ කියන්නෙ? මම ඔහෙට කිසිම වරදක් කරපු බවක් මටනම් මතක නෑ නෙව.."

"මතක නෑනේද? ඉන්නවකො එහෙනං මම මතක් කරල දෙන්ට..ඔහෙ නෙවෙයිද මම ගැන ඔහෙගෙ අර බ්ලොග් පඩංගුවෙ ලියන්ට ගත්තෙ?"

"ඔව්..ඔව්..මම ඉතිං එහෙම ලියන්ට ගත්ත නම් තමයි.."

"හරි..ලියන්ට ගත්තනෙ..එහෙම පටන් ගත්තෙ මම කියලද?"

"නෑ..නෑ..මටම හිතිලයි ඔහේ ගැන ලියන්ට ගත්තෙ.."

"ආ..අන්න එහෙනම් හොඳ හිතින් ඒ ලියන්ට පටන් ගත්තු එක ලියල ඉවරයක් කරල දානව..හොඳද?"

මටත් ටිකක් මල පැන්න ඒ වංගියෙ නම්. මොකෝ මම ඔය තර්ජන, ගර්ජන, පුස්පාට්, බලපෑම් අරව මෙව්වට කොහොමවත් කැමති මනුස්සයෙක් එහෙම නෙවෙයි...

"හොඳයි මම ඔහේ ගැන ආයම නොලිව්වොත් එහෙම?"

"ආ..නොලිව්වොත්ද? හොඳයි ඒක මම ඒ වෙලාවට බලාගන්නම්කො…"

එහෙම කියල අනන්‍යා ගිණි පිටවෙන දෑසිං මා දිහා රවාගෙන හිටිය ටික වෙලාවක්. රතු පාටිං දිලිසෙන ඒ දෑස් දිහා බලා ඉන්ට බැරුව මම බිම බලාගත්ත. මෙන්න ටික වෙලාවකින් මිණි කිංකිණියක් වයනව වගෙ හිනා අඬක් ඇහෙන්ට ගත්ත. ඔලුව උස්සල බලනකොට අනන්‍යා දකුණු අතින් කට වහගෙන හිනාවෙනව. 

"මොකද ඒ පාර කැකිරි පලන්ට ගත්තෙ?" මම නොමනාපෙන් ඇහුව.

"මම විහිලුවක් අනේ කලේ...ඔයා බයවෙයිද බලන්ට…"

"හුහ්... බය? මම බය උන ඇති එකක් නෑ…"

"හරි හරි ඒකෙං වැඩක් නෑ..මේ ඒක නෙවෙයි මගෙ කතාව ලියල ඉවර කරනව නේද?" අනන්‍යා බොහොම සෙනෙහෙබර හඬකින් ඇහුව. 

ඉස්තිරියාවක් ඔය විදිහට ඇහුවම මට කොහොමත් බෑ කියන්ට හිතෙන්නෙම නෑ…"හරි හරි ලියන්නං ලියන්නං…" මම හිනාවෙලා කිව්ව..

"වෙරි ගුඩ් බෝයි..හරිම හොඳ ළමයා.." අනන්‍යා එහෙම කිව්ව.

O.K. Then, After that brief prelude let's get back to my Barbers Stories. හරි ඒ කෙටි පූර්විකාවෙන් පසු මගේ කරණවෑමි කතා වෙත අපි නැවත ප්‍රවිෂ්ඨ වෙමු.

මම දැනට අඩ සත වර්සෙකුත් වසර කීපයක් වෙච්චි මගෙ මුලු මහත් ජීවිත කාලෙටම බාබර් සාප්පුවකින් නැත්නම් සැලූන් එකකින් ඇර ගෙදරදි මවිසින්ම රැවුල කපාගෙන නැහැ කියල කිව්වොත් සමහරවිට ඔබ තමුන්නාන්සෙලා විස්වාස කරන එකකුත් නෑ. ඒත් ඒක තමයි ඇත්ත.අර කවුද කියනව වගෙ තිත්ත ඇත්ත.

එහෙම වෙන්ට හේතු දෙකක් තියනව. එකක් ඔය මූණ පුරා සබං උලාගෙන කන්ණාඩිය ඉස්සරහට ගිහිල්ල බොහොම පරිස්සමින් රේසරේ එහාට මෙහාට උලල රැවුල කපන එක මට වසම වස කම්මැලිම කම්මැලි වැඩක්. අපෙ අත්තම්ම කියන විදිහට නම් මරන්නා වගෙ වැඩක්. අන්න ඒ එක හේතුවක්.

හේතු අංක දෙක....සැලූන් එකකට ගිහිල්ල හොඳට අතපය දිග ඇරල අර සනීප පුටුවෙ දිගාවෙලා බාබරය ඒ කලයුතු සියලුම පහිණිපත් කරල රැවුල කපනකල් ආතල් ද බ්‍රේව් එකේ ඇස් දෙකත් පියගෙන මගේ පරිකල්පන ශක්තිය අවදි කරවල මනෝ ලෝකෙ සැරිසරන එකේ තියන විද්ග්ධ සන්තර්පණය වෙන කොයිම කර්තව්‍යකින්වත් ලබන්නට නොහැකි වීම..අන්න හේතු අංක දෙක....ඇත්තම කිව්වොත් මම ඔය ලියන කතන්දර බහුතරයක් හිතේ මවා ගන්නෙ සැලූන් එකේ පුටුවෙ දිග ඇදිල ඉද්දි.

ආ..තව වැදගත්ම කාරණේකුත් කියන්ටම ඕමනයි. මෙහෙ තියන සැලූන් බොහොමයක රැවුල් කොණ්ඩා කැපිල්ලට අමතරව හෙඩ් ඇන්ඩ් බොඩි මසාජ් එකකුත් දෙනව කිසිම අමතර අයකිරීමකින් තොරව. බොඩි කිව්වට ෆුල් බොඩි නෙවෙයි හොඳේ...ගෙල පෙදෙස,  දසරුව සහ පිට පෙදෙස පමණයි.

මෙහෙ අපෙ ගෙවල් කිට්ටුවම ඒ කිව්වෙ විතින් පයූව් මිනිට්ස් වෝකිං ඩිස්ටන්ස් තියනව බංගාලියො ඒකිව්වෙ බංග්ලා දේශ් ජාතිකයො කරන බාබර් සාප්පුවක්. අන්න ඒකෙ ඔය මම කියපු සම්බාහනය දෙනව තනිකර ඇඬෙන්ඩ. මම ඒකට යද්දි පොඩි තුවා කෑල්ලකුත් සාක්කුවෙ දාගෙනයි යන්නෙ. 

ඉස්සෙල්ලම ඔලුවෙන් පටන් ගන්නෙ මසාජීස් එක. ඊට පස්සෙ කං පෙති දෙක විතරක් මසාජ් කොරනව එක විනාඩි දහයක් තරම. ඊට පස්සෙ ගෙල. නෙක්ස්ට් ෂෝල්ඩර්ස්...ඊලඟට පිට...පිට මසාජ් කරද්දි කොඳු ඇට පෙලේ කසේරුකාවන් එකක් නෑර වෙන වෙනම මසාජ් කොරනව. ආය මොනවද කෙලින් ද රෝඩ් නන් ස්ටොප් තව්තිසා තමයි.

ඊට පස්සෙ එනව දකුණු අතට. අතේ ඇඟිලි වලින් පටන් ගන්නෙ. ඉස්සෙල්ලම මාපට ඇඟිල්ල. ඊට පස්සෙ දබරැඟිල්ල..ඒ ගාවට මැදඟිල්ල. ඊගාවට වෙදඟිල්ල..

ඔය වෙදඟිල්ලට ඉංග්‍රීසියෙන් කියන්නෙ Ring finger උනාට සිංහලෙන් කියන්නෙ මුදු ඇඟිල්ල කියල නෙවෙයි. වෙදඟිල්ල කියල. ඇයි ඒ කියල එහෙම දන්නවද? 

ඉස්සර අපේ ඔය වෙද මහත්තුරු සමහර වටිනා කියන බොහොම අමාරුවෙන් හදාගත්තු බෙහෙත් ලෙඩෙකුට දෙනවයි කියන්නෙ බොහොම සුට්ටයි. අන්න එහෙම වටිනා බෙහෙතකින් බොහොම සුට්ටක් අරන් දෙන්න පාවිච්චි කලාය කියන්නෙ ඔය දකුණතේ හතරවෙනි ඇඟිල්ලෙ ටිකක් දිගට වවාගත්තු නියපොත්ත. අන්න ඒ හින්දලු ඔය ඇඟිල්ලට වෙදඟිල්ල කියල කියන්නෙ. මට මතක විදිහට අපෙ අප්පච්චි තමයි මට ඔය විස්තරේ කියල දුන්නෙ.

හරි ආපහු අර බංගලි කරණවෑමියගෙ හස්ත සම්බාහනයට ආවොත් වෙදඟිල්ලෙන් පස්සෙ එනව සුළඟිල්ලට. ඔය ඇඟිලි සම්බාහනය කරන එකත් වෙනම කලාවක්. ඒකටත් තියනව නියමිත ක්‍රියා පටිපාටියක්. ඒ ගැන සවිස්තරව කියන්නම් කරණවෑමි කතා ලිපි පෙලේ ඉදිරියෙදි ලියවෙන ලිපි වලදි. 

හරි දැනට කෙටියෙන් කියන්නම්කො. ඇඟිලි වලින් පස්සෙ එනව අල්ලට..අප්පට සෝරු..ඒ අල්ල මසාජ් කිරිල්ල තමයි මසාජ් කිරිල්ල...ෂුහ් කියල වැඩක් නෑ..ඌර්ණ රෝම ධාතුව සෘජු වෙනව. ලැන්ගර්හැන් දීපිකා සෛල සලිත වෙනව. කර්ණ පටහ පටලය එකනින්නාද වෙනව. ශ්‍රෝණි මේඛලාව සන්තර්පණය වෙනව.

හරි මගෙ කරණවෑමි කතා මාලාව පටන් ගන්නෙ අපි මාතර ඉන්දැද්දි. මම මේ කියන්නෙ 1966 සහ 1967 අවුරුදු ගැන. අප්පච්චි ඒ දවස්වල රාජකාරි කලේ මාතර කච්චේරියෙ. අපි හිටියෙ වේරගම්පිට කච්චේරි නිල නිවාසවල. සුප්‍රසිද්ධ වේරගම්පිට රජමහාවිහාරය තිබ්බෙ අපෙ ගෙදර ඉඳල යාර සීයක තරම මානයෙ.

ඔය වේරගම්පිට පන්සල හරිම ප්‍රසිද්ධ පන්සලක්. බ්‍රිතාන්‍ය පාලන සමයේ හිටපු ප්‍රකට පැවිදි පඬිවරයෙක් වන කරතොට ධම්මාරාම හාමුදුරුවො වැඩ සිටියයි කියන්නෙ මේ වේරගම්පිට පන්සලේ. ජෝන් ඩොයිලි මහත්තයත් නිතර මේ පන්සලට ආවා ගියා කියල සඳහන් වෙනව. එතකොට ගජමන් නෝනයි ඇලපාත මුදලියි දෙන්නම කරතොට හාමුදුරුවන්ගෙන් කාව්‍ය ශාස්ත්‍රය ඉගෙන ගත්තය කියන්නෙත් මේ වේරගම්පිට පන්සලේම තමයි.

වේරගම්පිට පන්සල ගැන තොරතුරු හොයද්දි මට මේ ගීතය හමුවුනා. මම මීට කලින් මේ ගීතය අහල තිබුනෙ නෑ. ගායනා කරන්නෙ සුනිල් එදිරිසිංහ සහ සමන්ති රණසිංහ.

වේරගම්පිට පන්සලේ 
පෝයදා වස් පිංකමේ 
පෙරහැරේ ගිය නුඹ දුටු දා සිට 
නින්ද නෑ මට නංගියේ.... 

රාමලාන් හඳ ආකහේ
දුටුව සිකුරාදා රැයේ 
ඔබ මා දිහා බැලු හැටි තාම 
මට නොතේරෙන කවියක් වගේ.... 

ලියවැල් පලා පෙති මණ්ඩලේ
පිපි නෙළුම් මල නුඹ නම් නඟේ 

ඔබ සාජහන්ගේ පෙළපතේ
කිරි ගරුඬ මැදුරක සඳැල්ලේ
ඒ දෙතැන කඳුළක සීතලේ..... 

වෙනසක් නොවෙයි අයියණ්ඩියේ.....

සැරසිලි නැතත් මුන්දානියේ
මා ඇඳිලි බැඳගෙන නළලතේ 

ඒ නළල බිම තබනා වෙලේ 
මට ආදරේ උණුසුම දැනේ 

හදවතයි උල්පත ප්‍රේමයේ...... 

උල්පත් වහන්නට බෑ නඟේ ...... 

ගී පද - රත්න ශ්‍රී විජේසිංහ 
ගී තනු - සමන්ත පෙරේරා 
ගායනය - සුනිල් එදිරිසිංහ සමග සමන්ති රණසිංහ



මතු සම්බන්ධයි.....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...