Wednesday, October 26, 2011

55. අංක 14 දරණ කුටියට සීතල සඳ එළිය ගලා එමින් තිබිණි......1


පොලවටම ඇල්ලූ ඇඳ සහ බිත්තියටම සවිකල මේසය හැරුණු විට මතක ඇති කලෙක සිට ඔහුගේ වාසස්ථානය වූ සුදු හුණු පිරියම් කල කුඩා කුටියෙහි වූයේ අවපැහැ ගැන්වුනු කමිස සහ කලිසම් කිහිපය තැන්පත් කල බිත්තියෙන්ම නිමැවූ කුඩා කබඩය පමණි.

කළු පැහැ තීන්ත ආලේප කල රෝහල්හි භාවිතා වන වර්ගයේ ඇඳෙහි විට්ටමට වාරුවී ලෑල්ලක් සේ තැලුනු කොට්ට යුගලයට හේත්තු වී ඉදිරි බිත්තියෙහි යකඩ කම්බි පාස්සා සැදුනු කොටු දැලකින් ආවරණය වූ කවුළුවෙන් ඔහු පසුබිමෙහි වූ සැඳෑ හිරුරැසින් ආලෝකමත් වූ සුදු පැහැ වළාවන් තරඟයට මෙන් පෑල දිග අහස කරා පලායනු බලා සිටියේය.

අද පුන්සඳ පායන රාත්රිය බව ඔහු කිසිදු සැකයකින් තොරව දැන සිටියේය.ඒ දිනය ස්ථිරව දැන සිටින්නේ කෙසේද යන්න පිළිබඳව ඔහුට කිසිදු අවබෝධයක් නොවූවද ඔහු එබව දැන සිටියේය. ඔහුට අවශ්ය වූයේද එපමණකි. දින විසි අටකින් මත්තෙහි එළඹෙන පසළොස්වක පොහෝදින ඔහු මෙවරද උදක්ම බලාපොරොත්තු විය. සත්ය වශයෙන්ම ඔහුගේ ජීවිතයේ එකම බලාපොරොත්තුව පොහෝදින රාත්රිය පමණි. ඔහු ජීවත් වූයේ ඒ එකම බලාපොරොත්තුවේ පිහිටෙනි.

පුන්සඳ කෙමෙන් කෙමෙන් මුදුන් වී කුටිය සඳරැසින් නැහැවීය.පිටත කවුළුවට මඳක් ඔබ්බෙන් පිහිටි අඹ ගසෙහි පත් මඳ සුලඟේ සැලෙන සිහින් රාවය ඔහුට ඇසුනේද යන්න සැක සහිතය.සෙමෙන් ඇඳෙන් බැස කවුළුව අසලට පියනැඟූ ඔහු කොටු දැල තරව ගෙන අඹ ගසට ඔබ්බෙන් පිහිටි සේපාලිකා පඳුරෙහි පිපි තැඹිලි පැහැ නටුවෙන් යුතු සුදු පැහැ මල් සඳ එළියේ දිලෙනයුරු බලා සිටියේය. එක් වරම සීතල සුලං රැල්ලක් හා මුසුවී හමා ආ සිත් මත් කරවන සුළු මල් සුවඳ පපුව පුරා පුරවා ගත්වනම දෙනෙත තදින් පියාගත්තේය.

ඇය පැමිණෙන හෝරාව සැකයකින් තොරව දත් හෙයින් හෙතෙම සෙමෙන් නැවත මේසය මත රැඳි දර්පණ කැබැල්ලෙන් වත නරඹා මඳක් දිගට වැඩුනු තැනින් තැන සුදු පැහැ ගැන්වුණු කෙස් වැටිය අතැඟිලි වලින් පීරා සකස් කොට ගත්තේය. නැවත පොඩි වුනු කමිසයද හැකි පමන රැලි සකස් කොට මුවඟ රැඳුනු තෘප්තිමත් සිනහවකින් යුතුව සයනයෙහි කෙලවරක හිඳ ඇකය මත බැඳගත් දෑතින් යුතුව මහත් අපේක්ෂා සහගතව කල් මැරීය.

" පාලිත "

කවුළුව දෙස බලාගත්වනම දැහැන් ගත වී හුන් ඔහු ආසන්නයේම ඇසුණු ඇගේ හඬින් තිගැස්සිණි.

'' සුබා ''

අප්රමාණ සෙනෙහසින් ඇය ඇමතූ ඔහු වහා නැඟිට ඈ වෙත ගොස් ඇය වැළඳ ගත්තේය.

" කවුරුවත් දැක්කෙ නැද්ද ඔයා එනව?........."

" නෑ, මම වෙනද වගේම හොරෙන්ම ආව....එයාල කොහෙද මාව අල්ලන්නෙ? " ඇගේ දඟකාර සිනහව, ඈ රූ නෙත් ගැටුණු පළමු දින සේමය.

" ඉතිං?........... " සයනයේ හිඳගත් ඇගේ වත දෙස එබෙමින් ඔහු විමසුවේ සිනා සෙමිනි.

" ඉතිං......ඉතිං කිතුල් " ඇය පැවසුවේ හඬ නගා සිනාසෙමිනි.

" ෂ්ෂ්........." ඔහු ඇගේ දෙතොලට දබරැඟිල්ල තබමින් වසාතිබූ දොරටුව දෙසට ඉඟි කලේය.

" බයවෙන්ට එපා අනේ.....කාටවත් ඇහෙන්නෙ නෑ......." ඇය පැවසූයේ ඔහුගේ උරහිස මත හිස රඳවමිනි.

කාමර පෙළ ඉදිරියෙන් දිවෙන බරාඳය කෙළවර කුඩා මේසයේ, පොතක් කියවමින් සිටි රාත්රී මුරය භාර සේවකයා 14 වන කාමරය දෙසින් ඇසුණු සිනහ හඬින් එක්වරම හිස ඔසවා බලා, මදක් වේලා නලල ද රැලි කර ගනිමින් හොඳින් කන් දුන්නේය.

පොත කියවීම පසෙක ලා මදක් සෝදිසි කල යුතුයැයි හුනස්නෙන් නැඟීසිටීමට තැත් කල ද, විවෘත කොට තිබූ කවුළුවෙන් නෙත ගැටුණු, පායා තිබූ පුන් සඳ ඔහුගේ නලලේ රැළි පහකලේය.ගැටළුවකට පිළිතුරක් සොයාගත් කල නැඟෙන තෘප්තිමත් මද සිනහවක් මුවගට නඟා ගත් හෙතෙම, නැවත පොත දිගහැර ලේ විලක් මැද මරා දමා තිබූ තරුණියගේ මළ සිරුර පරීක්ෂා කිරීමට පිටත් වූ රහස් පරීක්ෂකයාගේ සහයට එක් විය.

මේ අතර 14 දරණ කුටිය තුලට ද සඳ එළිය ගලා එමින් පැවතිණි.සයනය මතට පතිත සඳ කැන් ඔහු ද ඇය ද නහවමින් දෝරේ ගැලීය. ඇය තවමත් ඔහුගේ උරහිසට හිස තබා දෑස් පියාගත් වනම සිටියාය. සෙමෙන් හිස පහත් කොට නැඹුරු වූ ඔහු ඇගේ පියවුණු දෑස අපමණ සෙනෙහසින් සිප ගත්තේය.

ඔහුගේ මනසෙහි එක් වරම මෙසේ ඇගේ පියවුණු දෑස සිපගත් අවස්ථා දෙකක්, ඔව්, එකම දිනයේදී සිපගත් අවස්ථා දෙකක් සැනෙකින් ඇඳී ගියේය. ඒ කොපමණ කලකට ඉහත දැයි වටහා ගැනීමට ඔහු තැත්කලේ වමතින් නලල පිරිමදිමිනි.

" අවුරුදු විස්සක්..... " ඇය සෙමින් කොඳුලාය.

තම සිතැඟි ඇය එකෙනෙහිම වටහා ගත්තේ කෙසේද යන්න විමසීමට තැතක් නොදරාම හිස වනා ඔහු එකඟ විය.

" ඔව්, අවුරුදු විස්සක් "

නිසල විල් තලය මත පුන් සඳෙහි පිළිබිඹුව පිපි කුමුදු මල් අතර දිලුනේය. වරින් වර ජලයෙන් මතුවූ මසෙකු නිසා නැඟෙන රැළි, සඳ සහස් කඩකට වෙන් කල මුත්, නැවත ඒ සඳ කැබලි නිසල විල් දිය මත එකතුවී, පෙර ලෙසම සඳ වත මැවෙන අයුරු ඇය බලා සිටියේ මෙලෙසම ඔහුගේ උරහිස හිස තබාගෙනය.

පුරා වසර දහයක් නිදැල්ලේ ගලාගිය සෙනෙහස් අන්දරයකින් පසු, පෙම් ලොව කිරුළු පලඳා හරියටම ගෙවී ගොස් තිබුනේ තෙදිනක් පමනකි. මේ ඔවුන්ගේ මධු සඳ කාලයෙහි අවසන් රාත්රියයි.

සෙමෙන් ඈ වතට පහත් වූ ඔහු ඇගේ අඩවන් දෑස සෙමෙන් සිප ගත්තේය.

මදක් එපිටින් දිය රැලි රඟන රිද්මයට උස් පහත් වෙමින් තිබුනේ කුඩා ඔරුවෙකි.හබලක් ද ඔරු කඳ තුල ඇති බව සඳ එලියෙන් පෙණුනි.

ඒ දෙස මඳ වෙලාවක් බලාසිටි ඔහු තම උරහිස මත රැඳුනු ඇගේ මුහුණට එබී "සුබා "' යැයි කොඳුලේය.

ඇය හිස කෙලින් කොට ඔහු දෙස විමසුම් දෑසින් බැලුවාය.


අවසාන කොටස.............

10 comments:

  1. මානසික රෝහලක එහෙම නෙමේ නේද? මං දන්නෙ නැහැ ඇය් මට එහෙම හිතුනෙ කියල, මුර කාරයෙක් සඳහන් වුන නිසාද?

    ReplyDelete
  2. @ Observer,

    / රාත්රී මුරය භාර සේවකයා ....../

    හපොයි ඔබ්,.....මෙතන නම් රාත්‍රි මුරය = Night Shift කියලයි මම අදහස් කලේ.............

    ReplyDelete
  3. ආ, මදැයි! මටත් තේරුණේ ඒ මුරකාරයෙක් ගැන කියලා තියෙන්නේ කියලනේ. මාත් හිතාගෙන හිටියේ මොකක් හරි හේතුවකට මානසික රෝහලේ නතර කරලා ඉන්න මානසික ආබාධයක් නැති කෙනෙක්ගේ කතාවක් වෙන්ඩැති කියලා. එහෙමත් නැත්තං පෝය දා රෑට ඒ එන කවුරු හරිත් එයාගේ මනසේ මැවෙන කෙනෙක් විතරක් වෙන්ඩැති කියලා.

    ආයෙ පාරක් කියවලා බලන්ඩ ඕනෙ හෙමීට.

    ReplyDelete
  4. මානසික රෝහලක් කියලා තමා මටත් හිතෙන්නෙ.පුන් සඳ පායනකොට පිස්සු වැඩි වෙනවා කියලා කතාවක් තියෙනවානේ.

    ReplyDelete
  5. රාත්‍රී මුරය බාරව කෙනෙක් ඉන්ටත්, කාමරේ අංකයක් තියෙන්ටත් හේතුවක් තියෙන්ට එපැයි. මටත් හිතුනේ අර මුලින් කට්ටිය කීව දේමයි. ඒ පාර ඔන්න හිරගෙයක් මතකයට ආවා. බලමු ඊලඟ කොටසුත් කියලා. නැත්නම් ඉතින් කතාවක් ලියනවා කියලත් අහගන්ට වෙයිනේ.

    එකත්, එකටම, රහස් පරීක්ෂක කතාවක් වෙන්ටැති...:D:D:D

    ReplyDelete
  6. හිරගෙයක් වෙන්න බැහැ වගේ . නැත්නම් මේ ගැණු ළමයා හොල්මනක්වත්ද . මෙදා පොටේ නම් අනුමානය ලේසි නැහැ . අපිටත් ඉතින් ඉවසීම නැහැනේ

    ReplyDelete
  7. රවී අයියා ලියන කතා වලට මම ආසයි ඒත් බර සාර කතාවලට අකමැතියි . මේක මම කැමති ටයිප් එකේම කතාවක්

    මාතෘකාවත් මාර ගති ..හිත ඇදිලා ගියා බුසු ගාලා .

    මේ මුරකාරයා අතීත සිදුවීමක් ආවර්ජනය කරනවා එහෙම නැත්නම් හීනයක් දකිනවා එහෙම නේද ?

    ReplyDelete
  8. දෙවෙනි කතාවට යන්න ලින්ක් එකක් මේ කතාව යටින්ම දැම්ම නම් හරි අයියා. එතකොට පසුවට කියවන අයට ලේසි... දැන් දෙවෙනි කොටස ලිය හමාර නිසා ඒකෙ ලින්ක් එක මේ කතාවේ අන්තිමට දාන්න...

    ReplyDelete
  9. @ වත්,

    ස්තූතියි නංගි...ඒ අදහස හොඳයි.....ඔන්න එහෙම කළා.......

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...