Sunday, October 16, 2011
විශ්වය නිහඬ වූ ඉක්බිති...............1
අසුරු සැණින් මුළු මහත් විශ්වය නිහඬ විණි.......මම ලියාපු ඒ කතාවට ප්රතිචාරයක් ලියල තියනව අපේ කවිකාරි නංගි.... සිතුවිලි සිත්තමට නැගෙනා කවිපොත.......දන්නවනෙ බොහොම සංවේදී ඒ වගේම සිත් කාවදින සුලු ආරකින් ලියන දක්ෂ ලේඛිකාවක්........
මගෙ තියනවනෙ අර ලියන්ට ගියාම තිරිංග ක්රියා විරහිත වෙන අසනීපයක්...අන්න ඒක අපෙ කවිකාරිටත් තියනව මදි නොකියන්ට..... හෙහ්...හෙහ්....
මේ කතාව මෙතනින් නවත්වන එක මගෙ හිතට හරි මදි කොහෙත්ම...ඒ නිසා ඊළඟට මම කියන්නම් මෙතන ඉඳල කතාව...එතකල් කියවල බලන්නකො සිත්තමීගෙ කතාව.....
.----------------------------------------------------
සීල් තැබූ මිනී පෙට්ටිය අසළ හිඳ සිටි ඇගේ දෑසේ ගලා යාමට තවත් කඳුළු ඉතිරිව තිබුණේ නැත. රතු වී ඉදිමී තිබූ දෑසත්, දෙකොපුල් මතම වියළී ගොස් තිබූ කඳුළු ගලා ගිය සලකුණුත් ඇගේ හද තුළ තෙරපෙමින් තිබූ වේදනාව පිලිබිඹු කිරීමට සමත් නොවූ තරම්ය. හඬා වැළපෙන හදවතින් නැගී ආ ඉකියකින් විටින් විට ඇගේ දෙවුර ගැස්සුනි.
මේ නිසලව නිදා සිටින්නේ මුළු පළාතේම ආදරය ගෞරවය දිනාගත් අවංක, නිර්භීත පොලිස් නිලධාරියාය, රටේ ප්රබල ඇමති වරයෙකුගේ ප්රධාන ආරක්ෂක නිලධාරියාය, හඬා වැළැපෙන මව් පිය යුවළකගේ එකම පුතණුවන්ය, ඇගේ සදාදරණීය සැමියාය. ඇගේ කුස තුළ වැඩෙන සිඟිත්තාගේත්, උදෑසන පිටව ගිය අප්පච්චි නැවත පැමිණෙන තුරු බලා හිඳිනා අද දින සිව් වැනි වියට පා තබනා දියණියගේත් ආදරණීය පියාණන්ය. මැති ඇමතිවරුන් නිලධාරීන් කවරෙකු පැමිණියද එතෙක් නො එසවූ හිස ඈ මදකට එසවූයේ දියණිය පිළිබඳව විමසා බැලීමටය. අප්පච්චි එන තෙක් බලා සිටිනා කවුළුව අසළ වූ සිය සුපුරුදු අසුන මතම ඇය නින්දට වැටී ඇත. ඇගේ දෑතට සිරවී තිබුණේ අප්පච්චිගෙන් එදින උදෑසන ඈ ලද උපන්දින තෑග්ගයි. සිදුව ඇති කිසිවක් නොදන්නා දඟකාර සුරතලිය සිහින ලෝකයේ හිඳිමින් ඔහුගේ තුරුළේ නැළැවෙනවා විය යුතුය.
***
" අප්පච්චී....." පුංචි දියණිය නින්දෙන් පිබිදුණු විගස පියා සොයා දිව එන විට ඔහු උදෑසන ආහාරය නිම කරන්නට ආසන්නව සිටියේය.
" ආ මගෙ පැහිච්ච ආච්චි නැගිට්ටද..." යැයි අසමින් ඇයව උකුළට ගත් ඔහු තම තේ කෝප්පයෙන් උගුරක් ඇයට පොවන්නට උත්සාහ කළේය.
" ම්හු! මට එපා, " දැරිය මුහුණ ඉවතට හැරවූවාය.
" අර මොකෝ?"
" කෝ මගේ හැපි බර්ඩ්ඩේ උම්මා එක? ''
'' අද ඔයාගෙ හැපි බර්ත්ඩේ එකද? පියා විහිළුවට මෙන් ඇසුවේය. ''
මුහුණ නරක් කරගත් දැරිය පියාගේ උකුළෙන් බිමට බැස්සාය. "මං තලහයි!" ඇය සාලයේ කෙළවර කවුළුව අසළ වූ සිය කුඩා අසුන මත ගුලි වී හිඳගත්තාය. පියාගේත් දුවණියගේත් හුරතල් බලා සිනා සැලූ මව කැබිනෙට්ටුව මත වූ පාර්සලය දෙස බලා ඉඟි කළාය. ඒ පෙරදා රැයේ දියණියට හොරෙන් ඔවුන් දෙදෙනා එක්ව ඔතා සූදානම් කළ ඇගේ උපන්දින තෑග්ගයි. වරක් ඔරලෝසුව දෙස බලා එය අතට ගත් පියා මව සමග දියණිය වෙත ගියාය. "චූටි දෝණී..." දැරිය කතා නැත. පියා ඈ අසළින් දණගසා ගත්තේය. "කෝ අපේ බර්ත්ඩේ ගර්ල්?"
සිනහ නැගුණු මුහුණ උල් කරගෙන අහක බලාගත් දියණියගේ මුහුණද නළලද සිපගත් පියා එතෙක් සඟවාගෙන සිටි තෑග්ග ඈ අතට දුන්නාය. මවගෙන්ද උණුසුම් හාදු ලද පුංචි දැරිය අතේ වූ තෑග්ග දෙස උනන්දුවෙන් බැලුවාය. "ඉතිං ඕක ඇරලා බලන්න.." මවගෙන් ඇරයුම ලද විගස දියණිය යුහුසුළුව එය විවෘත කරන්නට උත්සාහ දැරුවාය. පියාගේද සහය ඇතිව විවර වූ කවරය තුලින් මතු වූ පොත අතට ගත් ඇය එහි පිටු එකින් එක පෙරළමින් සුවඳ වින්දාය.
'' ලස්සනද? ''
'' ලාස්සනායි '' ඇය පිළිතුරු දෙමින් පියාගේ බෙල්ලේ එල්ලී හාදුවක් දුන්නාය. ඈ වඩාගෙන සිටගත් පියා "කෝ අම්මට?" යැයි කියමින් මව වෙත ලං කළේය. අනතුරුව "චූටි දෝණී," යැයි නැවතත් ඇමතුවේය.
' ම්? '' ඇය පියාගේ මුහුණ බැලුවාය.
'' ඔයාට ලඟදිම තව තෑග්ගක් හම්බ වෙයි... '' පියා එසේ කීවේ මව දෙසද බලා සිනහවක් පාමිනි.
'' තව තෑග්ගක්? ''
'' ඔව්... බෝනික්කෙක්... පණ තියෙන බෝනික්කෙක්...''
'' පණ තියෙන බෝනික්කෙක්? '' ඈගේ දෑස විස්මයෙන් විසල් වූ අතර මුව සිනහවකින් පුළුල් විය.
'' ඔව්...''
" කවද්ද එයාව මට හම්බවෙන්නේ? ''
'' ම්... තව මාස... හතරකින් විතර...''
'' ඇයි එච්චර කල්? ''
'' මෙයාගෙ ප්රශ්න වලට උත්තර දීලා අද අප්පච්චිට වැඩට යන්නත් පරක්කු වෙයි.'' මව එසේ කීවද දියණියගෙන් පියාට ගැලවිල්ලක් නොමැත.
'' ඔන්න මට මල්ලි බෝනික්කෙක් තමයි ඕන හොඳද? නංගි බෝනික්කො ගොඩාරියක් මට ඉන්නවනේ... '' එබස් ඇසූ මවත් පියාත් මුහුණින් මුහුණ බලාගත්තේ සිනාසෙමිනි.
'' එන්නකෝ එයා ඔයත් එක්ක කතා කරයිද බලන්න,'' දියණිය සමග පහත් වූ පියා මවගේ කුස මතින් ඇගේ කුඩා මුහුණ තැබුවාය. මොහොතකින් ඇය හිස ගස්සා ඉවතට ගත්තේ පුදුමයෙනි. "කවුද ඒ?" මවත් පියාත් හඬනගා සිනාසුණහ.
'' ඒ තමයි ඔයාගෙ බෝනික්කා.... ඔයා එයාව හොඳට බලාගන්නවා නේද? ''
'' ඉතිං එයා මට ගහනවනේ...''
මව්පිය දෙදෙනා නැවතත් සිනාසුණි. "එහෙම තමයි, එයා මේ කාලෙදි ගහන්නෙ ආදරේට. ඔන්න මේ බලන්නකෝ එයා අප්පච්චිටත් දෙනවා හොඳ හොඳ පාරවල්..." ඔහු අතක් මවගේ කුස මතින් තබා සිනාසුණේය. අනතුරුව නැවතත් කෙළින් වී දියණිය ඇමතුවේය. "චූටි දෝණි, අප්පච්චි දැං යන්න ඕනෙනෙ පැටියෝ... මං හවසට එනකං අම්මයි ආච්චියි සීයයි එක්ක පරිස්සමෙන් ඉන්න හොඳේ දඟ නොකර..."
'' අප්පච්චි අද ඉක්කනට එනවා නේද? '' මඳක් කල්පනා කළ පියා හිස සැලුවේය. "මං කේක් කපන්නේ අප්පච්චි ආවට පස්සෙයි ඔන්න!" එයටද පියා හිස වනා එකඟ වූවේය. "මට අද මේ පොත කියලා දෙනවද?"
'' දැං ඇති පුතේ, අප්පච්චිට පරක්කු වෙනවනේ... අප්පච්චි වැඩ ඇරිලා හවසට ආවම අපි ආයෙ කතා කරමුකෝ. '' මව දියණියව ඔහුගේ දෑතින් මුදාලන්නට උත්සාහ කළාය.
'' කියලා දෙනවා නේද? '' ඔහුගේ දෑතින් බසින අතරේද ඇය ඇසුවාය.
'' ඔව් මගෙ පැටියෝ. අම්මා හදන රස..ම රස කේක් එකෙන් කෑල්ලක් හැන්දෑවට ඔයාගෙ මේ චූටි අතින් කාලා ඉවර වෙලා අප්පච්චි මේ පොත ඔයාට කියලා දෙන්නංකෝ...''
***
එවන් සොඳුරු උදෑසනකින් ඇරඹුනු දිනය මෙලෙසින් නිමා වේයැයි ඇය මොහොතකටවත් සිතුවේ නැත. සිය සැමියාගේ රැකියාව අනුව ඔහුගේ ජීවිතය දැඩි අවදානම් තත්ත්වයක තිබුණු බව දැන සිටි බැවින් ඇය සුසුමක් පාසා, සිතුවිල්ලක් පාසා නිරන්තරයෙන්ම පැතුවේ ඔහුගේ ආරක්ෂාවයි. ඒ සියල්ල අද නිශ්ඵල වී ඇත. දියණියගේ සිතේ බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳ තමාගේ හිසද සිඹ පොලිස් නිල ඇඳුමින් සැරසී උදෑසන පිටත්ව ගිය ඔහු දෙස ඈ බලා සිටියේ කෙතරම් ආඩම්බරයකින්ද... ගෞරවයකින්ද... එහෙත් ඔහු ඒ පිටව ගියේ සිය අවසන් ගමන බව සිහිනෙකිනුදු සිතන්නේ කෙලෙසද... ඒ ඔහුගේ මුහුණ දැකගන්නට ලැබුණු අවසන් මොහොත බව සිතන්නේ කෙලෙසකද... සිය දයාබර හිමියන්ගේ නිසල දේහය දැකගැනීමට පවා ඇයට වරම් නැත. තවත් එක් වරක් හෝ එම මුහුන සිපගන්නට, එම දෑතින් අල්ලාගන්නට, එම දෙපා යුග නමදින්නට ඇයට වරම් නැත. ඉකි ගසා වැළැපෙන හදවතේ වේදනාව දරාගත නොහැකිව ඈ මොහොතකට දෑස් පියාගෙන බිත්තියට හිස තබාගත්තාය.
'මෙන්න දැන් ලැබුණු විශේෂ ප්රවෘත්තියක්. අමාත්ය ..... රැගත් රථ පෙළට මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක්. තුවාල ලැබූ ඇමතිවරයා ඇතුළු අට දෙනෙක් රෝහල්ගත කෙරේ. ආරක්ෂක පොලිස් නිලධාරීන් තිදෙනෙක් සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇතැයි වාර්ථා වේ. වැඩි විස්තර බලාපොරොත්තු වන්න.'
තමා අතින්ම සකස් කළ දියණියගේ උපන්දින කේක් ගෙඩිය සාලයේ මේසය මතින් තැන්පත් කරන අතරේ සවණට යොමු වූ එම වදන් පෙළ ඇගේ සිරුරේ ලොමු දැහැගන්වන්නට සමත් විය. "දුවේ..." රූපවාහිනිය නරඹමින් සිටි පියාගේ හඬද සසල වී තිබුණි. එක එල්ලේම දුරකථනය වෙත ගිය ඇය සැමියාගේ දුරකථනයට ඇමතුමක් ගන්නට උත්සාහ කළාය. එය ක්රියාවිරහිත බව කියැවෙන පණිවුඩයට සවන් දෙන අතරේ ඇගේ දෑසට කඳුළු උනා එන්නට විය. දහ දොළොස් වතාවක් උත්සාහ කළද ප්රිතිචාරය එයම වූ බැවින් ඇය සැමියාගේ හොඳම මිතුරා වූ ඔහු සමගම සේවය කළ අරවින්දගේ දුරකථනය අමතන්නට උත්සාහ කළාය. එයටද ලැබුණේ පෙර ප්රතිචාරයමය. පපුව දවාගෙන එන වේදනාවත් සමග ඇය අරවින්දගේ නිවෙසට ඇමතුමක් ගත්තද අනෙක් පසින් නාද වූ දුරකථනයට කිසිවෙකුත් පිළිතුරු දුන්නේ නැත. පසුව සැමියා රාජකාරි නියමව සිටි පොලිස් ස්ථානයටද ඔහුගේ තවත් මිතුරන් කිහිප දෙනෙකුටද ඇය ඇමතුම් ලබාගත්තද ඔවුන් කිසිවෙක් නිසි තොරතුරක් නොදැන සිටි අතර යමක් දැනගත් වහාම ඇයට දන්වන බවට පොරොන්දු විය.
නැවතත් රූපවාහිනියේ සිද්ධිය පිළිබඳව වාර්තා වන බව ඇසුනෙන් ඇය එදෙසට ගියාය. 'අද දින උදෑසන 10.30 ට පමණ ..... උද්යානය අසළ ප්රධාන මාවතේදී අමාත්ය ..... රැගත් රථ පෙළට මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් එල්ල වී ඇත. බරපතළ තුවාල ලැබූ ඇමතිවරයා මේ වන විට ..... රෝහලේ ප්රතිකාර ලබමින් සිටියි. ආරක්ෂක පොලිස් නිලධාරීන් තිදෙනෙක් සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇති අතර රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව තවත් අයෙකු මිය ගිය බවට වාර්ථා විය.' ඒ සමගම පෙන්වනන්ට වූ රූපරාමු දුටු සැණින් ඇය විලාප දී හඬා වැටෙන්නට වූවාය. වහා නැගිට ඇයව වාරු කරගත් පියා ඇයව අසුනක් මතින් හිඳුවා හිස අතගෑවේය. "කලබල නොවී ඉන්න දරුවෝ... අපේ පුතාට නපුරක් වෙලා නැතුව ඇති..." ඒ සමගම නිවසේ දුරකථනය නාදවන්නට විය. ඇය අසුනින් නොසෙල්වී දෑස් පියා වැඳගෙන සිය හිමියන්ගේ ගුණත් තුණුරුවන්ගේ ගුණත් මෙනෙහි කරන අතරේ පියා වෙව්ලන දෙපයින් දුරකථනය වෙත ලඟා වූවේය.
'' හෙලෝ! ''
........................
'' ඔව්, එහෙ තමයි...''
...................
'' ටීවි එකේ දැක්කා සිද්දියනං, ඒත් තවම අපේ පුතා ගැන-''
..............................
'' අනේ දෙයියනේ....''
...............................
'' මගෙ රත්තරං පුතා........... ''
එතැනින් එහාට ඇසුණු කිසිවක් ඇයට මතක නැත. මුළු ලෝකයම තමා වටා භ්රමණය වන්නට පටන්ගත් සෙයක් ඇයට දැනුණි. පතුලක් නොපෙනෙන ගැඹුරු ආගාධයකට ඇද වැටෙනා බවක් දැනුණෙන් වහා ඇගේ නෙත් විවර විය. තමා මෙතෙක් දුටු සියල්ල සිහිනයක්දැයි ඇයට මොහොතකට සිතුණි. එම බලාපොරොත්තුව විශ්වාස කිරීමට ඇයට උවමනා වුවද විවර වූ දෙනෙත් හමුවේ තිබූ සිංහ ධජයෙන් වැසුණු පෙට්ටිය දැකීමෙන් ඇගේ දෑසට නැවතත් කඳුළු උනා එන්නට විය.
'' අප්පච්චි... ඇයි පලක්කු? '' හඬ ආ දෙසට ඇය නෙත් යොමු කළාය. එතෙක් නිදා සිටි කුඩා දියණිය අවදිව පෙට්ටිය අසළින් තබා ඇති පියාගේ රුව අභියස හිටගෙන සිටියි. "හලි නලකයි, මං කිව්වනේ අද ඉක්කනට එන්න කියලා..." දියණිය දෙස බලා සිටි නෑදෑ හිතවතුන්ද කඳුළු සලන්නට විය. ඇයට සිය වේදනාව දරාගත නොහැකි විය. "දෝණී..." ඇය හැඬුම්බර හඬින් දියණිය ඇමතුවාය.
දැරිය වහා ඈ අසළට ආවාය. "අම්මා ඇයි අඬන්නේ? මේ මොකද්ද මේ මෙතන තියෙන්නේ?" ඇය පෙට්ටිය දෙසට අත යොමු කරමින් ඇසුවාය. එහෙත් මවගෙන් පිළිතුරු ලැබෙන තෙක් නොසිට නැවතත් කතා කළාය. "කෝ මගෙ කේක් එක? මේ බලන්න මෙච්චර ගොඩාරියක් ඇන්ටිලා අංකල්ලා ඇවිල්ලා ඉන්නවා මගෙ බර්ඩ්ඩෙ එකට, අප්පච්චි විතලයි තාම පලක්කු....."
දියණිය තුරුළු කරගෙන කඳුළු සලනවා විනා ඇගේ පැනයන්ට දෙන්නට පිළිතුරු මව වෙත තිබුණේ නැත. ඔවුන් වෙත ආ කුඩා දැරියගේ ලොකු අම්මා ඇගේ හිස අතගෑවාය. "අප්පච්චි ගිහිං පුතේ..." දැරිය හිස ඔසවා ඈ දෙස බැලුවාය. "කොහෙද?" අනතුරුව මව දෙස හැරුණාය. "කොහෙද අම්මා අප්පච්චි ගියේ? ඇයි මගෙ බර්ඩ්ඩේ එක දවසෙම ගියේ, මට බොලු කියලා?"
වදන් ගලපාගැනීමට පෙර මව වේගයෙන් හිස දෙපසට වැනුවේ එසේ නොවන බව දියණියට හඟවන්නටය. "අප්පච්චි කොහෙවත් ගියෙ නෑ මගෙ චූටි දෝණි... අප්පච්චි අපි ලඟම ඉන්නවා, හැමදාම..." ඉකිගැසීම පාලනය කරගැනීමට ඇය මඳක් නතර වූවාය. "දෝණිවයි, දෝණිගෙ බෝනික්කවයි, අම්මවයි, ආච්චිවයි, සියවයි දාලා අප්පච්චි කොහෙවත් යන්නෙ නෑ... මගෙ පැටියා දැං ලොකු අම්මත් එක්ක ගිහිං දොයිය ගන්නකෝ, දැං ගොඩාක් රෑ වෙලානේ... මගෙ හොඳ දෝණි වගේ යන්න, ගිහිං දොයියගන්න..." දියණියගේ හිස සිඹ ලොකු අම්මාගේ අතට බාර දුන් ඇය හදේ තෙරපෙමින් තිබූ වේදනාව පිට කිරීමට මෙන් දිගු සුසුමක් හෙලුවාය.
"මිසිස් වනිගසූරිය..." තමා අසළටම පැමිණ ඇමතූ නිලධාරියා දෙස ඇය හිස ඔසවා බැලුවාය. "අපිට ගොඩක් කණගාටුයි මේ වෙච්ච දේ ගැන... මං සබ් ඉන්ස්පෙක්ටර් අමරසේකර... සුමේධයි අරවින්දයි මිනිස්ටර්ගෙ සෙකියුරිටි එකට ජොයින් වෙන්න කළිං අපේ පොලිස් ස්ටේශන් එකේ වැඩ කළේ..."
'' මට මතකයි...'' ඇය දුර්වල කටහඬකින් පිළිතුරු දුන්නාය. "ඉඳගන්න..." ඇය අසළ වූ අසුනක් පෑවාය.
'' අද මිනිස්ටර් ඔය තරමිං හරි බේරුණේ මේ දෙන්නා නිසා. ඒත් අපරාදේ රටට වටින පොලිස් නිලධාරියො දෙන්නෙක්, හොඳ කොල්ලො දෙන්නෙක්...''
'' අරවින්දත්...? ''
'' ඔව් මිසිස් වනිගසූරිය, මං මේ එහෙටත් ගිහිං ආවේ... පව්, බැඳපු නැති නංගිලා දෙන්නෙකුත් ඉන්නවා මිනිහට...''
'' හ්ම්...''
'' අද වෙච්ච දේ ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා පාර්ක් එකේ මේන් ගේට් එකේ සෙකියුරිටි. මිනිහා ඔක්කොම විස්තරේ කිව්වා. උදේ පාර්ක් එකේ මේන් ගේට් එක පැත්තට වෙන්න ඉඳලා තියෙනවා කපල් එකක්, ඒක ඉතිං ඒ හැටි අමුතු දෙයක් නෙවෙයි, පාර්ක් එකට නිතර ඔහොම අය එනවනේ. ඒත් මිනිහට අමුත්තක් දැනිලා තියෙනවා මොකද දෙන්නා වෙන වෙනම ඇවිත් තියෙන්නේ. කෙල්ල ප්රෙග්නන්ට්. බැඳපු ජෝඩුවක්නං සාමාන්‍යයෙන් ඔහොම වෙලාවක පාර්ක් එවෙන්නෙ නෑ, අනික වෙන වෙනම එන්න ඕනෙත් නෑනේ. ඉතිං මොකක් නමුත් හොරයක් තියෙන බව දැනිච්ච නිසා මිනිහා දෙන්නා ගැන ඇහැ ගහගෙන ඉඳලා තියෙන්නේ. පැයකින් විතර කොල්ලා නැගිටලා ගේට් එක පැත්තට ඇවිත් තියෙනවා. සෙකියුරිටිටත් හිනාවක් දාගෙන ගිහිං තියෙන්නේ. මිනිස්ටර්ගෙ වාහන පේළිය ඈතින් එනවා මිනිහා දැකලා තියෙන්නෙ පස්සේ. මිනිහට මුකුත් හිතාගන්න හම්බවෙලා නෑ, අර එළියට ගියපු එකා පාරට පැනලා, ඒ එක්කම ඉස්සරහින්ම ආපු සෙකියුරිටි බයික් එක ස්පීඩ් කරලා ඇවිත් මිනිහව හප්පලා. ඒකා කොටියෙක්, සුයිසයිඩ් බොම්බර් කෙනෙක්. බයික් එකේ ඉඳලා තියෙන්නේ සුමේධයි අරවින්දයි. ඉස්සරහින් ආපු අනිත් බයික් එකේ දෙන්නත් බ්ලාස්ට් එකට අහු උනා... නිලධාරියා කතාව මදකට නවත්වා සුසුමක් හෙලුවේය. "මේ දෙන්නා ස්පීඩ් කරලා ඇවිත් කොටියව හප්පපු නිසා මිනිස්ටර්ගෙ වාහනේට ඩැමේජ් එක අඩු වුනා කියලා තමයි ගේට් එකේ සෙකියුරිටි කිව්වේ. හිත එකලාසයක් වෙච්ච ගමං මිනිහා බලලා කොටි කෙල්ල කොහෙද කියලා, අනිත් ගේට් එක පැත්තට ඇවිදගෙන යනවා දැකලා. මිනිහා එවෙලෙම නිව්ස් එක දීලා, මේ වෙද්දි කෙල්ලව අරෙස්ට් කරල ඇති මම හිතන්නෙ,"
ඔහුගේ දිගු කතාව අසමින් වදනකින් හෝ ප්රතිචාරයක් නොදැක්වූ ඇය නිහඬවම මිනී පෙට්ටිය දෙස බලා සිටියාය. 'කොටි... මගෙ රත්තරං මනුස්සයව මරාගත්තා... මගෙ දරුවංගෙ අප්පච්චිව උදුරගත්තා... මේ කිරිකැටියව ඇහැටවත් නොදැක එයාට යන්න උනා... මං කොහොමද දෙයියනේ එයා නැතුව ජීවත් වෙන්නේ....... ඒ ගෑණිටත් බබෙක් හම්බවෙන්න නේද ඉඳලා තියෙන්නේ... කොහොමද දෙයියනේ ජීවිතයක් හැදෙන හැටි බල බල තවත් ජීවිත මේ වගේ විනාස කරන්නේ...... මේ රට වනසන්ඩ ආපු හැතිකරේ... මමත් යනවා.... ඔව්.. මමත් යනවා ඕකුංව මරාගෙන මැරෙන්න... ඇයි උන්ට විතරද පුළුවං......' හදිසියේම කුස තුළ හුන් දරුවා දඟලන්නට පටන්ගත්තෙන් ඇගේ සිතුවිලි දාමය බිඳ වැටුණි. සිය සැමියා නිදාහුන් පෙට්ටිය මතින් දමා තිබූ සිංහ ධජයේ කඩුව මිටමොළවාගත් අත වෙත ඇගේ දෑස් යොමු වී තිබුණි. කුස මතින් දෑත තබාගත් ඇය මහ හඬින් වැළපෙන්නට විය.
'' මට තේරෙනවා මිසිස් වනිගසූරිය- '' වහා එතැනට දිව ආ ඇගේ මව නිලධාරියාව පිටත් කර යවා ඇයව සනසන්නට වූවාය. මවගේ උරහිසේ හිස හොවාගෙන හෙම්බත් වන තෙක් වැළපුණු ඇය නැවතත් හිස එසවූවාය. එවර ඇගේ දෑස යොමු වූයේ කඩුවට පහළින් ඇති බෝ පත්රය වෙතයි.
***
'' සුමේධ...''
'' ම්? ''
'' මේ බෝ ගහ යට ඉන්න කොට හිතට හරි සනීපයි නේද? ''
'' ඇයි ඔයාගෙ හිත අසනීප වෙලාද තිබ්බේ? ''
'' ඔය ඉතිං... මං කිව්වේ මෙතන හරිම නිවිච්ච බවක් තියෙනවා...''
'' හ්ම්...''
මඳ නිහැඬියාවකි. "ඔයා ආස මේ සැරෙත් දුවෙක් ලැබෙනවටද, නැත්තං පුතෙකුටද?"
'' කවුරු උනත් කමක් නෑ, ඔයාගෙයි මගෙයි බබානේ...''
'' හ්ම්, ඒක ඇත්ත...''
'' හැබැයි පුතෙක් හම්බුණොත් මට එක ආසාවක් තියෙනවා..''
'' ඒ මොකද්ද? ''
'' ඒත් ඔයා කැමතිනං විතරයි...''
'' කියන්නකො ඉතිං...''
'' පුතාවත් පොලීසියට බන්දගන්න...''
'' අනේ සුමේධ...''
'' ඇයි? ''
'' ඒ රස්සාව හරි භයානකයිනේ...''
'' ඉතිං මේ මම ඉන්නේ...''
'' ඔයා ගැනත් මං හරි බයෙන් තමයි ඉන්නේ...''
'' මැරෙනවනං මැරෙන්නේ එකපාරයිනෙ ළමයෝ... ඒ ඉන්න කාලේ තමංගෙ රටට ජාතියට වැඩක් කරලා යන්න තියෙනවනං කොච්චර දෙයක්ද? ''
'' ෂ්... මැරෙන කතා කියන්න එපා... කමක් නෑ, අපිට පුතෙක් හම්බුණොත් එයත් එයාගෙ තාත්තා වගේම ලස්සන, උගත්, බුද්ධිමත්, අවංක, නිර්භීත පොලිස් ඔෆිසර් කෙනෙක් වෙයි...''
'' මදිනෙ විශේෂන පද ටික! ''
'' එතකොට අපෙ දෝණි පොඩ්ඩ? එයා කවුරු වෙනවටද ඔයා කැමති? ''
'' පුතා තාත්තා වගේ වෙනවනං දෝණි අම්මා වගේ වෙන්න එපැයි...''
***
ඇය වාරු ගෙන පුටුවෙන් නැගී සිටියාය. සෙමින් සෙමින් සැමියාගේ ඡායාරූපය අසළට ගොස් එය අතගෑවාය. 'ඔයාගෙ බලාපොරොත්තු එහෙමම ඉෂ්ට වෙයි මගෙ රත්තරං... මං පොරොන්දු වෙනවා... ඒත් මං දන්නෙ නෑ ඔයා අපේ දෝණිට අද උදේ දීලා ගිය බලාපොරොත්තු වලට මොනවා වෙයිද කියලා... සමහරවිට එයා මුළු ජීවිත කාලෙම අප්පච්චි එනකල් බලං ඉඳියි එයාගෙ කේක් එක කපන්න...'
Subscribe to:
Post Comments (Atom)
බොලා දෙන්නත් එක්ක මේ වැඩේ කොරාන්ට බෑ බං රවි අයියෙ.. උඹ මෙහෙන් ලියනකොට සිත්තමී එහෙන් ලියනවා, උඹ එහෙන් ලියනකොට එයා මෙහෙන් ලියනවා, අපට පික්ෂු හැදිලා හොදවෙලා ආයෙ හැදෙනවා.. :))
ReplyDeleteඑක්තරා වකවානුවකදී, දකින්නට ලැබුනු ජීවිත කතාවලින් එක් කතාවක්. ඇත්තම කීවොත් ආදර කතාවක් කියවලා , දුකෙන් හරි සතුටින් හරි එතනින් නැගිටනවට වඩා සම්පූර්න වෙනස් හැඟීමක් මෙතනදි එන්නේ. අමතක කරන්ට හැදුවත්, හිතේ පුංචි කොනක ඉඳන් කවුදෝ කටුවකින් ඇනලා යමක් මතක් කරලා දෙනවා වගේ.
ReplyDeleteඅප්ප්ච්චිලා නැති උන දුවලා ගැන අහනකොට පොඩ්ඩිට නම් හරි අමාරුයි. සිත්තමී හරි ලස්සනට කතාව ලියලා තියනවා.
ඇයි අපට ආපහු අර 'ආදරනීය මතකය' පැත්තේ යන්ට බැරි, ආදරය ගැන කතා කරපු.
ලස්සනයි.එ වගෙම හරි සංවේදියි.
ReplyDeleteහ්ම්...අපේ කාලයේ කතාවක්. ගොදුරු වෙන ලොක්කො ගැන කතා කලාට, පුපුරුවන, මරාගෙන මැරෙන සහ ගොදුරු වෙන සොක්කො ගැන කතාවෙනව හරිම අඩුනේ.
ReplyDeleteමගෙ තාත්තත් මාව දාල ගිහින්.....
ReplyDeleteහරියන්නේ නැත. මෙය බොහොම දරුණු සංකලනයකි. අපිට කියවනවා ඇරෙන්න වෙන මඟුලක් කරන්න සිද්ධවෙන්නේ නැති හැඩකි.
ReplyDeleteදෙවෙනි කෙටසක් ලීව එක හොඳයි තමයි.ඒත් මගේ පුද්ගලික අදහස නම්, මම වැඩියම කැමැති පලවෙනි කොටස කෙටි කතාවක් විදිහට ඉවර වෙන එකටයි.
ReplyDeleteකතාවක අවසානය , ඇයි ඒ විදිහට වුනේ කියල හරි, ඊට පස්සෙ මොකද වුනේ කියල හරි ලියන කෙනාම ලියනව නම් කතා රසය අඩු වෙනවා....
කියවන්නා කම්මැලි වෙනවා.
ඉස්සර මම ආසම නැහැ කෙටි කතා කියවන්න, මොකද ඒ කතා අවසානයේ දී ගොඩාක් වෙලාවට හිත අතරමං වෙනවා. අනේ ඇයි එහෙම වුනේ, මෙහෙම වුනා නම් හොඳ නැද්ද.කියන ප්‍රශ්ණ හිතට එනවා....
ඒත් අන්තිමට මම දැන ගත්තා , නව කතාවට වඩා වැඩි රසයක් කෙටි කතාවකින් විදින්න පුලුවන් විත්තිය.
මට තවමත් බැරි උනා , මයෙ හිතට හරියන විදිහෙ කෙටි කතාවක් ලියන්න.
අයියා, ඔයා ලීව කතා වලින් නියමමම නියම කතාව තමයි අර ටැබූගෙ බ්ලොග් එකේ පළවුනේ...
(මේ කතාව නරකයි කියනව නෙමෙයි.... පළමු කොටසට මම වඩාත්ම කැමැති බවයි කීවේ )
රවි අයියා එක කොටසකින් නවත්වන්න හිතාගෙන ලියපු මුල් ලිපිය කියවපුවාම මට මුලින්ම ඇති උනේ ලොකූ තරහක් ඒ කතාවේ චරිත ගැන. ඒකෙන් පස්සේ දවස් කීපයක්ම ගියා මට ඒ කතාව දිහා නිර්මාණයක් දිහා බලන ඇහැකින් බලන්න. ඊට පස්සෙ තමයි මට මේ විදිහේ කතාවක් ලියන්න හිතුනේ ඒ මුල් සිද්ධිය පදනම් කරගෙන. ගොඩාක් ස්තූතියි රවි අයියේ ඒ කතාව මෙහෙම පල කළාට.
ReplyDeleteප්‍රතිචාර දක්වපු ඔයාලා හැමදෙනාටමත් ස්තූතියි. ඒ කතාවෙන් හිතට දුකක් දැනුනනම් සමාවෙන්න.
කියවල කඳුළු ආවා... තව කියන්න දෙයක් ඉතුරු වෙලා නැහැනේ...
ReplyDelete