Wednesday, October 5, 2011
52. අසුරු සැණින් මුළු මහත් විශ්වය නිහඬ විණි...........
රෑ පුරා ගුගුරමින් ඇද වැටුනු වර්ෂාව හිමිදිරියත් හා සමඟ තුරල් කල නමුදු විටින් විට සුළඟත් සමඟ මුසු වී වැගිරෙන පොද වැස්ස අවම වශයෙන් වරුවක් පමණ හෝ පැවතේයයි සාලයේ ජනේලයෙන් ඉවත බලා සිටින ඔහුට එක්වරම හැඟිණි.
මුහුණ දී සිටින තත්වයේ බැරෑරුම් ස්වභාවය අනුව වර්ෂාව වරුවක් පවතීද දවස පුරා පවතීද වැනි වෙනත් දිනයකදී කිසිසේත්ම හිතට නොගන්නා ප්රසශ්නයකට පිළිතුරක් සෙවීමට තම සිත උත්සුක වීම එක්වරම ඔහුගේ දෙතොලට සිනහවක් ගෙන ආවේය.
එහෙත් එක් අතකට එහි අරුමයක්ද නැත.ජීවිතයේ බැරෑරුම් අවස්ථාවන්ට මුහුණ දෙනවිට කොතෙකුත් ඒ ගැන මෙනෙහි කිරීමෙන් මානසික සමබරතාවය ගිලිහී යා නොදී රැක ගැනීමට මෙවන් නොවැදගත් දේ සම්බන්ධව සිතීමට පෙලඹීම නිරායාසයෙන් සිදුවන්නක් බව කොහේ හෝ කියවූ මතකයක් ඔහු සිතට නැඟිනි.
එක්වරම අත් ඔරලෝසුව දෙස බැලූ ඔහු ඉක්මන් ගමනින් නිවසේ එකම නිදන කාමරයට ඇතුලු විය. තනි ඇඳක්, කුඩා මේසයක් හැරෙන්නට එහි වූයේ මුල්ලකට හේත්තු කල අඩි තුනක් පමණ උස් තැනින් තැන රසදිය අවපැහැ ගැන්වුනු රාමුවක් රහිත කන්නාඩියක් පමණි.
කන්නාඩිය ඉදිරියේ සිටගත් කල දර්ශනය වූයේ සිරුරේ උදර ප්රදේශය වුවද, ඒ හොඳටම ප්රමාණවත් වූ බැවින්, ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොමැතිව , ප්රතිබිම්බය ප්රවේශමෙන් නරඹා අව පැහැගැන්වුනු සුදු පැහැ කමිසය හොඳින් කලිසමට යට කොට සකස් කරගත් හෙතෙම අවසන් වරට කාමරය සිසාරා බැල්මක් හෙලූයේ කිසිවක් අතපසු නොවූ බව ස්ථිර කර ගැනීමටය.
දොර අගුළු දමා යතුර ඒ අසලම වූ ජනේලයෙන් නිවස තුලට දමා පහත් වී අබලන් වූ කළු පැහැති කාන්තා කුඩයක් අතට ගත් හෙතෙම මද වැස්සේම කුඩය දිගහැර නිවෙස ඉදිරිපිටින් ප්රධාන මාර්ගය කරා දිවෙන අතුරු මාර්හයට පිළිපන්නේය.
අතුරු මාර්ගය ප්රධාන මාර්ගය හා හමුවන ස්ථානයේ පිහිටි තෝස කඩය වෙනදා මෙන්ම බොහෝ ජනාකීර්ණ ස්වභාවයක් ඉසිලීය. එදෙස නොබලා පියමං කිරීමට උත්සාහ කලද, තෝස කඩයෙන් නිකුත්ව, තෙත් බරිත උදෑසන වායු ගෝලයට එක්වන වඩේ බැදෙන සුවඳ මුලින් ඔහුහේ ගමන් වේගය බාලකොට අවසන ඔහු නතර කරවීය.අවිනිශ්චිත හැඟුම් සමුදායක ප්රථිඵලයක් ලෙස නිකුත් වූ දිගු සුසුමකට පසු ආපසු හැරී තෝස කඩයට ඇතුලු වී තම සුපුරුදු කෙළවර අසුනට බරදුන් ඔහු ඉදිරියේ තෝස දෙකක් සම්බල සහ වඩ දෙකක් කෙසෙල් කොලයක තැබූ රිදී පැහැ තැටිය වේටර් කොලුවා ගෙනවිත් තැබුවේ ඇණවුමකින් තොරවමය.
බොහෝ වේලාවක් ඒ දෙස නිසොල්මනේ බලා සිටි ඔහු කැබලි වලට කැඩූ වඩ හා මිශ්ර කරගත් සම්බල සමඟ බොහෝ කල්පනාකාරීව තෝස අනුභව කලේය.
තෝස කඩයෙන් පිටවූ ඔහුගේ කුස පිරී තුබූ අතර දකුණතෙහි කඩදාසි බෑගයක බහාලූ වඩ දෙකක් විය.
මේ වන විට වර්ෂාව නැවතී තිබුනු නමුදු, ඔහු අබලන් කුඩය තවමත් ඉහලාගෙන සිටියේ සිරුර තෙත් වේදෝ යන බියෙන් ද, නැතහොත් මුලු ලොවෙන්ම සැඟව සිටීමේ අටියෙන් ද, එසේත් නැතහොත් මේ අරමුණු දෙක නිසාම ද, යන්න දැන සිටියේ ඔහුම පමණකි.
ප්රධාන මාර්ගයෙන් හැරී සුවිසල් අතු පතර විහිදී ගිය මාර ගසින් සෙවණ ලැබූ පටු මඟකට අවතීර්ණ වූ ඔහු, පසුකර යන කිසිවකු දෙස නෙත් යොමු නොකොට බිමට හරවාගත් නෙතින් යුතුව, සමාන පරතරයෙන් යුතුව, රිද්මයකට පා තබනා සොල්දාදුවකුගේ ගමනින් පියවර තබන්නට විය. වරින් වර හමන සුළඟින් අතු පතරින් ගිලිහුනු වැහි බිඳු, පොද වැස්සක් මෙන් කුඩය මත පතිත වුවද ඒ ඔහුට ඇසුණේ ද යන්න පවා සැක සහිතය.
පටු මඟ අවසානයේ වූයේ නගර මධ්යයේ වූ උද්යානයේ පසුපස දොරටුවයි.අඩක් විවෘතව තිබූ දොරටුවෙන් උද්යානයට පිවිසි ඔහු, උද්යානය හරහා පසුපස දොරටුවේ සිට ප්රධාන දොරටුව දක්වා දිවෙන, කළුගල් ඇල්ලූ පෙත් මඟ ඔස්සේ පෙර ලෙසම සොල්දාදු පියවරින් ගමන් කල නමුදු, වේගය ක්රමයෙන් බාල වූයේ ඔහු ද නොදැනුවත්වය.
ගිනි දහවල පවා අඳුර පූර්ණව පහව නොයන, උද්යාන මධ්යයේ වූ රූස්ස තුරු වදුලට වටා ගමන් කරන පෙත් මඟ, තුරු වදුලේ එහා අන්තයේදී තරමක් පළල් වී උද්යානයේ ප්රධාන දොරටුව දක්වා දිව යයි.
තුරු වදුලෙන් නිබඳ නැඟෙන කපුටු නාදය ද වැසි බර කාළගුණය හේතුකොටගෙන ඇසුණේ ඉඳහිටය. පෙත් මඟෙහි නැම්මට ළඟාවූ ඔහු, එක්වරම නැවතී යාර පණහකට පමණ ඔබ්බේ පිහිටි, ප්රධාන දොරටුවට මුහුණ ලා, තුරු වදුල අද්දරම සවිකර තිබූ ගලින් කල ආසනය දෙස නෙත් හෙලීය. ප්රධාන දොරටුව දෙසට මුහුණ ලා හිඳ සිටින ඇයගේ ගෙල සහ හිසෙහි පසුපස කැරළි ගැසුනු කෙස් වැටිය දෙස අනිමිස ලෝචනයෙන් මොහොතක් බලා සිටි ඔහු, දීර්ඝ සුසුමක් හෙලා සෙමින් පා නඟමින් පෙත් මඟ ඔස්සේ ගොස් ,ඇය අසලම ආසනයෙහි හිඳ ගත්තේය.
හැරී ඔහු දෙස නෙත් යොමු කල ඇගේ සහ ඔහුගේ නෙත් එකිනෙක පැටළිනි.
සෙමින් සුරත දිගුකොට ඇගේ වමත අල්ලාගත් ගත් ඔහු ඒ තම උකුල මතට ගෙන පිරිමදින්නට වූයේ, ඇගේ වත වෙත යොමුවූ දෑස ඉන් මුදාගෙන උද්යානයේ ප්රධාන දොරටුව වෙත යොමු කරමිනි.
ඇයද නැවතත් දෑස එදෙසටම යොමු කලේ ඔහුගේ සුරත දැඩිව මිරිකා ගනිමිනි.
තව නොබෝ වේලාවකින් මේ ප්රධාන දොරටුවෙන් පිටවී, ඔහු ඇගෙන් සදහටම වෙන්වී යන බව ඔවුන් දෙදෙනම දැන සිටියහ.
වැහි වලාවකට මුවා වී තිබූ හිරු එක් වරම ඉන් මිදුනෙන්, කහ පැහැ මළානික ආලෝකයක් උද්යානය පුරා විහිදී ගියේය.එක් වරම ඇගේ අත අත්හල ඔහු, ආසනය මත තිබූ තෙල් පැල්ලම් ගැහුණු කඩදාසි බෑගය ඈ වෙත දිගු කළේය. විමසුම් බැල්මක් හෙලමින් ඒ සුරතට ගත් ඇය එතුලට අත යවා වඩයක් පිටතට ගෙන ඉන් කැබැල්ලක් ඔහු වෙත දිගු කලේ පපුවෙන් නැඟ ආ ඉකියක් වලක්වා ගනිමිනි.
ඔහු සෙමින් දෙපසට හිස වැනූයේ සුසුමක්ද හෙලමිනි. ඇසට නැඟි කඳුලක් පිස දැමූ ඈ, නැවතද ඔහු වෙත වඩේ කැබැල්ල දිගු කලාය. එවර ඇගේ දෑස දෙස මොහොතක් බලා සිට ඔහු ඒ අතට ගත්තේය.
" දුක් වෙන්න එපාය කියන්න මට අයිතියක් නෑ.....මම ඒක දන්නව...ඒත් අපි මුල ඉඳන්නම දැනගෙන හිටිය මේ අපෙ ඉරණම කියල...... මම ඔයාට අපේ මේ කතාව ඉවර වෙන්නෙ මේ විදිහටයි කියල අනන්ත වාරයක් කියල ඇති, "
ඔහු කතා කලේ අතෙහි තැවරුනු තෙල් කඩදාසි බෑගයෙහි පිසදමමිනි. එහෙත් ඉන් සිදුවූයේ බෑගයෙහි වූ තෙල් ඔහු අතෙහි තැවරීමයි. නොරිස්සුමින් නලල රැළි කොට අත්ල විහිදුවා ඒ දෙස මොහොතක් බලා සිටි ඔහු අත්ල එකිනෙක පිරිමදින්නට වූයේ ඈ දෙස බලා යලි මද සිනහවක් පාමිනි.
යම් අනපේක්ෂිත දෙයක් සිදු වූ කල ඔහුගේ දෑස් සිහින්වී නළල රැළි ගැසෙන අන්දම හොඳින් පුරුදු ඇයට ද නොදැනුවත්වම සිනහවක් පහල විය.
වළාකුළු එකින් එක පහව යමින් තිබූ අතර හිරු එළියද මදින් මද අඳුර දුරු කලේය.
" මම දන්නව.....මම ඒ ඔක්කොම දැන ගෙන තමයි හිටියෙ මුල ඉඳල.........ඒත් එහෙමෙයි කියල ඒ වේදනාව අඩු වෙන්නෙ නෑ......ඒ වේදනාව දරා ගන්න බෑ............ඒකෙ වෙනසක් නෑ........." ඇගේ දෑස නැවතද කඳුලින් බර වන්නට වූයෙන් ඈ දෑස තදින් පියා ගත්තාය. තදින් පියවුනු ඇසිපිය අතරින් ගිලිහුණු කඳුළු බිඳු දෙකක් කොපුල් තල දිගේ රූරා බසින්නට වූයෙන් ඈ නොඉවසිල්ලෙන් ඒ පිටි අත්ලෙන් පිස දැම්මාය.
එක්වරම තිගැස්සුණු ඈ මඳ සිනහවක් පාමින් ඔහු දෙස බලා තම නෙරා ආ උදරයට අතක් තබා ගත්තාය.
" දැනුනද ? " ඔහු ඇසුවේ පහත්වී ඇගේ අත මත තම අත තබා රහසින් කොඳුරමිනි
ඇය තවමත් සිනහ තැවරි දෙතොලින් යුතුව හිස වැනුවාය...." ඔව් දැන් දවස් තුන හතරක ඉඳල......"
නැවතත් නිහඬ තාවයේ වෙලී ගිය මිනිත්තු කිහිපයකට පසු, ඔහු වෙත ඇදී ආ ඇය උරහිසෙහි හිස හොවා ඔහුගේ දෑතම තරයේ අල්ලා ගත්තීය.අපරිමිත සෙනෙහසින් පහත්වූ ඔහු ඇගේ නළලත සෙමින් සිප ගත්තේය.
මෙතෙක් මද පමණ හෝ රැස් විහිදූ හිරු, නැවත කළු වළාවකට වැසී නොපෙනී ගියේය. එක්වරම හමා ආ සීතල සුළං රැල්ලක් ඔවුන් ගතෙහි හිරිගඩු නංවා ලීය.ඈ තවත් ඔහුට තුරුළු වූයේ නැවත කිසිදිනෙක ඔහු අත් නොහරින ලෙසකින් වුවද ඒ මොහොතකට සිතට සුව දෙන මායාවක් බව ඔවුන් දෙදෙනාම නොදැන සිටියේ නොවේ.
මහා භද්ර කල්පයක් සේ ඔවුනට දැනුනු මිනිත්තු දහයක පමණ කාලයක් මෙසේ ගෙවී ගියේය.
එක වරම ජංගම දුරකථනයක් නාද වන රාවයක් මතුවූයේ ඔහුගේ කලිසම් සාක්කුවෙනි.
ඇගේ හිස සෙමින් ඉවත් කල හෙතෙම දුරකථනය අතට ගෙන ඇමතුමට කන් දුන්නේය.
එක් වරක් පමණක් ඔහුගේ මුහුණ බැලූ ඇය, තම උකුල මත රැඳි දෑත දෙස නෙත් යොමු කර ගත්තීය.
ඇමතුමට බොහෝ කාලයක් ගත නොවිනි. මිනිත්තුවකටද වඩා අඩු කාලයකදී " හරි " පැවසූ ඔහු දුරකථනය ක්රියා විරහිත කොට සාක්කුවේ ඔබා ගත්තේය.
ඉනික්බිති අවසන් වරට ඇය වැළඳ ගත් ඔහු, ඇගේ නලලත ද, පහත්වී උදරය ද සෙමින් සිපගෙන ආසනයෙන් නැගිට, ඇගේ දිලිසෙන දෑස දෙස මොහොතක් බලා සිටියේය. පුදුමයකට මෙන් ඇගේ දෑස දීප්තිමත්ව බැබලුනේ කඳුළු වලින් නම් නොවේ.හඬන්නට තවත් කඳුළු ඉතිරිව නොමැත්තේද නැතහොත් කඳුළු හෙලීමෙහි කිසිදු අරුතක් නොමැති බව ඈ වටහා ගත්තේද යන්න හරි හැටි කිව නොහැකි නමුදු ඇගේ දෑසෙහි මේ වනවිට කඳුළු වියළී තිබිණි.
" මම ඔයාට ආදරෙයි " ඔහු ඇගේ දෑසට පැවසීය......." එදා ඔයා දැක්ක මුල් දවසෙ ඉඳල අද වෙනකල්.........මගෙ ජීවිතේ තියනකල්......." මෙහිදී ඔහුගේ හඬ මඳක් වෙව්ලා ගිය නමුදු ඔහු නැවත විගස හඬ පාලනය කොට ගත්තේය....." නෑ මම මැරුණට පස්සෙත් මම ඔයාට ආදරෙයි........"
" මමත් එහෙමයි ...." ඇයද සිහින් හඬින් පැවසූයේ ඔහුගේ දෑස් දෙස එක එල්ලේ බලා සිටිමිනි.
ඔවුන්ගේ දැහැන බිඳ දැමූයේ උද්යානය වටා දිවෙන ප්රධාන මාර්ගයේ ඈත කෙළවරින් ඇසෙන්නට වූ වාහන අනතුරු හැඟවීමේ සයිරන් නලා නාදයකිනි.
වාව්......වාව්...වාව්......වාව්...වාව්......වාව්,
වහා ඒ දෙස හැරී බැලූ ඔහු, නැවත ද ඇය දෙස මොහොතක් බලා සිට හැරී, ඇයට පිටුපා ප්රධාන දොරටුව දෙසට සෙමින් පියවර තබන්නට විය.
එක දිගටම නැගෙමින් කෙමෙන් කෙමෙන් ආසන්න වන ඒ අප්රියකර මූසල නාදය මධ්යයේ සෙමින් පියවර තබමින් ඔහු ඇගෙන් වෙන්ව යනු ඇය බලා සිටියාය.ඇසිපිය නොහෙලා බලා සිටියාය.
උද්යානයේ ප්රධාන දොරටුව අසල වූ සිව් මං සල අසලදී, සියලුම වාහන අනිවාර්යයෙන්ම වේගය අඩාල කල යුතුය. සිව් මංසලට ප්රභූ ආරක්ෂක රියපෙළ, වේගය අඩුකරගනිමින් ළඟා වෙමින් තිබිණ. ප්රධාන දොරටුවෙන් පිටවූ ඔහු පදික වේදිකාව කෙලවරට ළඟා වූයේ, හරියටම රිය පෙළ එතැනට පිවිසෙනවාත් සමඟමය.
අසුරු සැනකදී කාලය නැවතී ගියේය..........විශ්වයම එක් වරම නිහඬ විය........... ඒ දැඩි නිහඬතාවය මධ්යයේ ඔහුට ඇසුනේ ඇගේ හද ගැහෙනා හඬ පමණි. ඇයට ඇසුණේ ඔහුගේ හද ගැහෙනා හඬ පමණි.
ඇය අසුන්ගෙන සිටි ආසනයට සෙවන දුන් තුරු ගොමුවෙහි, උදෑසන සිට වර්ෂාව නිසා සැඟවී සිටි කපුටුවෝ, එකවරම හාත්පස කම්පනය වූ ශබ්දයෙන් බියපත්ව එකාවන්ව නාද කරමින් වැහිබර අහසට ඉගිලුනෝය.
දෑස් තදින් පියාගත් වනම බිම බලාසිටි ඇය, දෑස් නොහැරම සුරතෙහි දබරැඟිල්ලෙන් නලලත රැඳුනු තිලකය මකා දැමුවාය.
ඉන්පසු සෙමින් හිඳ සිටි අසුනින් නැඟිට, ප්රධාන දොරටුව අසල කෙමෙන් උත්සන්න වන ව්යාකූලතාවයට පිටුපා, අඩ හෝරාවකට පමණ පෙර ඔහු පියනැඟි පෙත්මඟ ඔස්සේ සෙමින් සෙමින් පිය මනින්නට වූවාය.
Subscribe to:
Post Comments (Atom)
ලස්සන කතාවක්. අර වඩේ ගැන කියනකොට පුදුම බඩගින්නක් ආවේ.
ReplyDeleteකතාවේ එන පුද්ගලයා නොබැඳපු කෙනෙක් . එහෙමනම් අර කාන්තාව විවාහකද? ඔය ගැන ඉතින් ලීව කෙනාවත් දන්නේ නැතුව ඇති. වැඩිය මුකුත් කියන්ට යන්නේ නෑ. කතාව ලියන්නේ ඔයාද, මමද කියලා ඇහුවොත් එහෙම. ඒ හන්දා ඉතුරු ටික නොකියම නතරවෙනවා හොඳේ.
කාලෙකින් කියෙව්ව තිගැස්මක් ඇති කරපු අපූරු කතාවක්.
ReplyDeleteඅපොයි දෙවෙනි පාරට කතාව කියවපුවාම වෙනම කතාවක්නේ. හැබැයි ඉතින් කතාව කියවන කෙනාට ඕනි දෙයක් හිතාගන්ට අවසර තියනවා නේද?
ReplyDelete// ලියන්නා කෙසේ ලීවත් බලන්නා , බලනුයේ ඔවුන්ගේ දෑසිනි. //
අනුන් නසා තමන් නැසෙන්නකුගේ පසුබිම් කතාවක් වගෙයි.. අපුරුයි.. මේ හැම ජීවිතයකම අපි නොදකින පැත්තක් තියෙනවා.
ReplyDeleteමේ කියන්නේ Sucide bomber කෙනෙක් ගැනද? දුකයි. එක මනුස්සයෙක් ගැන විතරක් නෙවේ. මිනිස්සු හැමෝම ගැන. ඇත්ත, මේ හැම ජීවිතයකම අපි නොදකින පැත්තක් තියනවා. ඒ පැත්ත පෙන්නලා දෙනවට ස්තුතියි. ලස්සන නිර්මාණයක්.
ReplyDeleteමටත් එකපාරටම Sucide bomber කෙනෙක් වගේ අයෙක් ගැන හිතුනෙ ඇය් ?
ReplyDeleteරවීගේ කතා කීමේ හැකියාව මම මෙතන කීවේ නැතත් මුලු පලාතම දන්නව නේ ! ..
ReplyDeleteකීපවාරක්ම කිවලා තමයි තේරුම් ගත්තේ ..කමෙන්ට් බලපුවාම තමයි ආයිත් තේරුම් ගත්තේ ඒවුනත් මම මේ කතාව වචනයක් ගානේ රස විඳපු බව නම් නොකියාම බෑ
@ Podi Kumarihami,
ReplyDelete@ පිණිබිඳු,
@ සරත් ලංකාප්‍රිය,
@ Chandy VIC,
@ Observer,
@ හිස් අහස,
ස්තූතියි ඔබ සියලු දෙනාටම......මගෙ හිතේ සෑහෙන කාලෙක ඉඳල තිබුනු ගැටළුවක් තමයි ස්වඝාතක ඝාතකයෙක් ඇයි ඒ තත්වෙට පත්වෙන්නෙ කියන එක, ඒකට හේතු රාශියක් තියෙන්න පුලුවන්......මෙතන මම ඒ ගැන විග්‍රහ නොකර ඔහුගේ ජීවිතයේ අවසන් දිනය පිළිබඳව මට ඇතිවූ සිතුවිලි පෙළගැස්වීමක් කලේ........ආයෙමත් ස්තූතියි ඔබ සැමටම.....මගේ ශක්තිය ඇත්තටම ඔබ සැමයි..........
හොඳට ලියවිලා තියෙනවා!!!
ReplyDeleteස්වයං ඝාතකයින් ගැන චිත්‍රපටි තුනක් මං දැකල තියෙනවා. දිල්-සේ එකක්. සිංහල චිත්‍රපටියේ කමල්, දිල්හානි සහ ලින්ටන් සේමගේ හිටියා මතකයි.
තුන්වැන්න රජීව් ඝාතනය ඇසුරෙන් වගේ හදපු එකක්.
@ කතන්දර,
ReplyDeleteස්තූතියි.........
හ්ම්........ කොහොම ද දරා ගන්නේ.
ReplyDeleteකතන්දර කීවත් වගේ හැමදේටමත් වඩා දිවිනසා ගැනීම වගකීමක් වෙන හෙට දිල්සේ එකේ පෙන්නුව තමයි... ඒත් කොහොමද අප්පා එහෙම කරන්නේ.හිතේ දුකක් කරදරයක් තියේ නම් මැරෙන එක ආවේගශීලිව සියදිවි නසා ගන්න අය උනත් පසුවට දුක් වෙනවා...
මට හැමවෙලේම හිතෙන්නෙ , තමන් රට වෙනුවෙන් මැරුණමයි කියමු.කවුද ඉතින් ඒකෙ ප්‍රතිඵල භුත්කි විදින්නේ, ඔන්න අඩුගානේ තමන්ගෙ ලමා ලපටි වත් නිදහසේ ඉිදියි කියල හිතනව නම් හරි කියමු. ඒත් එහෙම මැරෙන අය මැරෙන්නේ රට වෙනුවෙන්ම ද? සල්ලි නිසා ද? තමන්ගෙ පවුලෙ අය නිසා ද?
තමන්ගෙ රට, තමන්ගෙ ආගම කියල දෙයක් නැහැ. මැරිල ගිහින් ඊළඟ ආත්මෙ අනිත් පාර්ශවයේ කෙනෙක් වෙලා ඉපදුනොත්, තමන් ගිය ආත්මෙ කරපු දේ අපතෙ ගිහින් නෙව....
හා නැද්ද.....
අයියේ ඔයා කතාවක් ලියන්න ගන්න කාලය නම් බොහොම වැඩියි අප්පා.......
@ සොඳුරු සිත,
ReplyDeleteඔබ හා එකඟ වෙමි එකහෙලාම,
රට ජාතිය වෙනුවෙන් දිවි නසා ගැනීම මහ පිස්සුවක් කියලයි මගෙත් කල්පනාව....
කතාවක් ලියන එක ගැන නම් නංගි කියන්න වෙන්නෙ මේ දවස් වල වැඩ ටිකක් වැඩියි....ඉන්නකො..... පුළුවන් ඉක්මනින් මොකක් හරි කරමු
කොටස් තුනෙන් මම කැමතිම මේ කොටසට... මානව දයාව ඉතිරෙන්න දැනෙන්නේ මේ කොටසින් :)
ReplyDeleteඔව් සොඳුරු සිත කියන දේ ඇත්ත කියල මටත් හිතෙනවා.
සින්දුවක් මතක් උනා...
'නුඹ නැතිව ගියේ මටමයි
මේ රටට නොවෙයි..
මහ පොලොවට මිස මිනිස්කමට
පෙම් නොකරන මේ රටට නෙවෙයි...'
අයියෝ වැරදුනා...කොමෙන්ට් එක දාන්න හිටියේ 3 කොටසට.. සමාවෙන්න ඕනේ
ReplyDeleteඅවසන් කම්පනයට පසු මම දැඩිව කම්පනය වූෙයමි! ස්තුතියි!!
ReplyDeleteප්‍රියන්ත,
Deleteඔබටත් ස්තූතියි ප්‍රියන්ත :)