පියා ද සමඟ පළමු වරට දඩයමේ ගිය අවස්ථාව දඩයක්කාරයාගේ මතකයේ රැඳී ඇත්තේ කිසිදාක නොමැකෙන පරිදිය.
'' පුතා කවදාවත් අනවශ්‍ය විදිහට සතෙක් මරන්න එපා. වෙන කරන්න දෙයක් නැති නිසාම මෙහෙම කලාට, අපි මේ කරන්නෙ වරදක් කියන එක කිසිම වෙලාවක අමතක කරන්න එපා.වරදක් කලා උනත් ඒ ගැන පසුතැවෙනව නම් ඒ වරදෙ භාරදූර කම යම් ප්‍රමාණයක් ලිහිල් වෙනව කියලයි අපි විශ්වාස කරන්නෙ...අපෙ පරම්පරාවෙන් පැවත එන විශ්වාසය එහෙමයි.''
පියාගේ උපදෙස් වරින්වර නින්නාදව සවන් තුල රැව් දෙද්දී දඩයක්කාරයා හීං ඇලේ දිය වක්කලම අබියස වූ අතු පතර විහිද ගොස් වක්කලමට ගිනිගෙන දැවෙන දිවාකාලයේ පවා සිත සනහන සිහිලසක් දුන්, රූස්ස කෝන් ගස පාමුළ හිඳ හුන්නේ අඩක් සපිරි සඳ මඬලේ රැස් දිය මත පතිතව නෙක රටා මවනායුරු නරඹමිණි.
මහ දඩයක්කාරයා සිටියේ ඔහුට පසුපසින් වූ මහ ගල්කුළකට වාරුවී හිඳගෙනය. පියා නොදුටුවේ වී නමුදු ඔහුගේ රූපකාය දඩයක්කාරයාගේ මනස තුල රැඳී පැවතියේ දෑස් ඉදිරිපිට දෘශ්‍යමාන වන පරිදිය.
සඳ එළිය තැවරුණු වක්කලමේ ගල් කුළු අතර දිය ස්වල්පයක් රැඳි දිය වලවල් කිහිපයෙහි දඟලන මසුන්ගේ හඬින් පමණක් අඳුරු වනයේ තුරු අගිසිමතින් ඇරඹ විසල් කඳන් වෙලා ගනිමින් පොළෝ මතුපිටට බට දැඩි නිශ්ශබ්දතාවය බිඳීගිය ඒ සීතල රාත්‍රියෙහි දඩයකාරයාගේ දෑස් කෙමෙන් පියවෙමින් තිබුනේ නිදිමතටද වඩා අලස කම නිසාමය.
අඩ නින්දේ ඒ මේ අත සැහැල්ලුවෙන් පාවෙමින් හුන් දඩයක්කාරයා එක්වරම තිගැස්සී අවදි වූයේ පියා විසින් කල අණකිරීමක් හේතුවෙනි. නින්දෙන් වහා අවදිවන ලෙස කල ඒ සංඥාව දඩයක්කාරයාගේ සිතට පිවිස ඔහු සැණෙකින් අවදි කිරීමට සමත් විය.
දෑස් විදාහල දඩයක්කාරයාගේ නෙතට ලක්වූයේ පියවර පසළොසකට පමණ එපිට වක්කලමේ දිය රැඳි ගල් දෙබුක්කාවක බැස දිය පානය කරන දිවියෙකි.හිස නූස්සාම තව බොහෝ වේලාවක් දිය පානය කල දිවියා දෙස දඩයක්කාරයා බලා සිටියේ වශී වූ පරිද්දෙනි.ගස් අතු අතුරින් පෙරී ආ සඳ එළිය නිශාචරයාගේ රත් පැහැ පුල්ලි විසිරුණු සම මත නොයෙක් රටා මැවීය.තමා දෙස ඇසිපිය නොහෙළා බලා සිටින මනුෂ්‍ය ප්‍රාණියා පිළිබඳව සවනේන්ද්‍රියකින් දැනුනා විය හැක; නිශාචරයා දියබීම එක්වරම නවතා හිස නූස්සාම මොහොතක් ගත කළේය. අනතුරුව සෙමින් හිස එසවූයේ දඩයක්කාරයාගේ දෑස් දෙස එක එල්ලේ බලා සිටියේය.
මිනිසා ද තිරිසනා ද එකිනෙකාගේ දෑස් දෙස එක එල්ලේ බලා සිටි යම් කාල ප්‍රාන්තරයකට පසු දඩයක්කාරයාගේ දෑස කෙමෙන් පියවෙන්නට වූයේ ලැබුණු කිසියම් විධානයක් අනුවය. දෑස් පියවන්නා හාම මහ දඩයක්කාරයාගේ මඟ පෙන්වීම අනුව නිමේශයකින් දඩයක්කාරයගේ සිත තමා ඉදිරිපිට එතෙකුදු උක්කුටිකයෙන් හිඳ දෑස් නොපියා බලා සිටිනා වන මෘගයාගේ සිතට පිවිසියේය.
අඳුරින් පිරි ගුහාවකට පිවිස හාත්පස පැතිරි මන්දාලෝකයෙන් වරින් වර එහා මෙහා දිවයන අඳුරු රූ පෙළක් නරඹනු වැනි හැඟීමක් දඩයක්කාරයාගේ සිත තුල ජනිත කරවමින් ඔහුගේ මනැසට ගෝචර වූයේ බිය රැඳි නෙතින් අවට විපරම්කාර්‍රිව නරඹමින් සිටිනා මුවදෙනක් මතට විසල් පඳුරක් පසුපස සැඟව හිඳ අයාගත් මුවින් යුතුව කඩා පනිනා දිවියකුගේ රූපකායයි.
මුව දෙනගේ ගෙල විකාගෙන සිටිනා දිවියාගේ මුව දෙපසින් ගලායන රත්පැහැ රුහිරු මෙන්ම, කිහිප වරක් මරු විකල්ලෙන් දඟලා අවසන නිසල වූ ඇගේ පසු පා යුවල තවත් නොබෝ වේලාවක් ගැහෙන අයුරු ද තුෂ්ණිම්භූතව නරඹමින් සිටි දඩයක්කාරයාගෙ සිතට පිවිසියේ අනූපම අනුකම්පාවක් මෙන්ම වික්ෂිප්ත භාවයකි.සිතෙහි හටගත් ඒ වේගය නිසාම එක් වරම ඔහුගේ දෑස් විවර විණි.
එතෙක් විශ්මයාවහ නෙතින් දඩයක්කාරයා දෙස බලා සිටි දිවියා එක් වරම පසු පස හැරුනේ, දිය වක්කලමේ ගලින් ගලට පැන අඳුරු වන ගැබ තුලට වැද අතුරුදන් විය.
සිත තුල එකිනෙක පරයා නැඟෙන නුපුරුදු සිතිවිලි සමඟ පොර බදමින් එලෙසම හිඳ හුන් දඩයක්කාරයා අබියසට පැමිණි පියා ඔහු අසල හිඳ ගත්තේ ඔහුගේ දකුණු උරහිස සිය වමත තබා ගැඹුරු ස්වරයකින් නිහඬතාවය බින්දේය.
'' පළවෙනිම පාර එහෙම තමයි පුතා, කළබල වෙන්න එපා, අනුන්ගෙ හිත් කියවන එක එච්චර ලේසි දෙයක් නොවෙනව වගේම ඒක හිත කියවන පුද්ගලයටත් පාරා වළල්ලක් වෙන්න තියෙන අවස්ථාව බොහොම වැඩියි.මනුස්සයෙක් උනත් සතෙක් උනත් ඒකෙ වෙනසක් නෑ. හිත අවුල් කරගන්ට එපා. මම ටිකින් ටික කියල දෙන්නම් ඒ ශිල්පය.''
'' මේ අපේ පරම්පරාවෙන් කාලයක් තිස්සෙ පැවත එන දැනුම් සම්භාරයක්. ඒත් මුල් කාලෙ අපෙ මුතුන්මිත්තන් භාවිතා කල දැනුමෙන් බොහෝම අංශු මාත්‍රයයයි අපි දැනට ප්‍රයෝජනයට ගන්නෙ. ඒ බොහොම ස්වල්පය උනත් ප්‍රයෝජනයට ගන්න අවසන් පුද්ගලය පුතා කියලයි මට හිතෙන්නෙ. ඒත් කමක් නෑ, කිසිම දෙයක් සදාකාලික නැහැ, හැමදේකම අවසානයක් තියෙන්න ඕන. මේ සාස්තරේ කියල ඒකෙ කිසිම වෙනසක් නෑ. මට දැනෙනව පුතා තමයි මේ සාස්තරේ ප්‍රයෝජනයට ගන්නා අවසාන පුද්ගලයා.''
එදින පටන් මහ දඩයක්කාරයා දිනපතා ඔහු මෙතෙක් රැකගෙන පැමිණි ශාස්ත්‍රය තම පුත්‍රයාට ඉගැන්වීය. ඒ අනුව දඩයක්කරයා සතකුගේ සිතට පිවිස ඒ හා ඒකාත්මික වීම , එලෙසම මරණ බිය සහ වේදනාව අවම වන පරිදි සතකු මැරීමට ද හොඳින් උගත්තේය. සතකුගේ සිතිවිළි හඳුගැන්මට වඩා බොහෝ සේ අසීරු වූ මිනිස් සිතකට පිවිසීමේ ශාස්ත්‍රය පුත්‍රයාට මහ දඩයක්කාරයා ඉගැන්වූයේ ඊට අනතුරුවය.
මෙසේ පියා සහ පුත්‍රයා තනිව ගෙපැලෙහි දිවි ගෙවූහ. බොහෝ කොට දින ගනණක් ඔවුනතර කිසිදු කතා බහක් නොවීය. එසේ වූයේ කිසිදු අමනාපයක් නිසා නොව එකේනෙකාගේ සිතුවිලි කියැවීමේ අපූර්ව හැකියාවෙහි කෙල පැමිණිපසු ඔවුන් දෙදෙනාට වදනින් කෙරෙනා අදහස් හුවමාරුව හුදු කාලය නාස්තියක් පමණක්ම වූ බැවිණි.
පිටස්තර මිනිසුන් හා ඔවුනගේ ආශ්‍රය සතියකට වරක් පමණ, මැරූ වුවකුගේ හෝ ගෝනකුගේ ගාතයක් හෝ දෙකක් කර,තබාගෙන හූ හඬ දෙකක පමණ දුරින් වූ ගම්මානයට ගොස් කුරහන්, ඉරිඟු වන් ධාන්‍ය වර්ග අවශ්‍ය පමණ හුවමාරු කොටගෙන ඒමට සීමා විය.
ලුණු, වියළි මිරිස්, පොල් තෙල් සහ රෙදි වැනි විශේෂිත ද්‍රව්‍ය ඔවුන් ලබා ගත්තේ නැගෙනහිර මුහුදුකරයේ සිට තවලම් ගොනුන් දෙදෙනකු පිට පටවාගත් භාණ්ඩ ද රැගෙන තුන් මසකට වරක් පමණ සංචාරයේ පැමිණෙන යෝනක වෙළඳ සොහොයුරන් දෙදෙනාගෙනි.
මෙසේ තමන්ටම වෙන්වූ ලෝකයක දඩයක්කාරයා සහ මග දඩයක්කාරයා දිවි ගෙවූයේ, බාහිර ලෝකය සමඟ වූ සබඳතා අත්‍යාවශ්‍ය වූ විටකම පමණක්, එවිටද හැකි පමණ අවම වූ මට්ටමක පවත්වා ගනිමිණි.
දඩයක්කාරයා කෙමෙන් යොවුන් වියට එලඹියේය. මහ වනයේ සැරිසරමින් සතුන් අතරම දිවි ගෙවූයෙන් සතුන් අතර සිදුවන රමණය ඔහුට නුපුරුදු දසුනක් නොවීය.සතුන්ගේ සිත් කියවීමේ හැකියාව හොඳින් ප්‍රගුණ කොට සිටියේ වී නමුදු රමණයෙහි යෙදෙන සතුන් දෙදෙනෙකු අතර එම අදාල අවස්ථාවේ පවා සිතුවිලි වල කිසිදු සුවිශේෂත්වයක් ඔහුට කිසිසේත් නොහැඟුණි.
එසේම මසකට වරක් හෝ දෙවරක් ගම්මානයට යන ගමනෙහිදී පවා යොවුන් වියේ පසුවූ සම වයස්ක දැරියක රූ සපුව ඔහු නෙත නොගැටුනාම සේ විය.
ඔහුගේ කඩවසම් රූපකාය කොපමණ වැඩි විය පත් ගම්වාසි දැරියනගේ නෙතට රසඳුනක් වුවද, තම ගෙපැල තුලට වැද සැඟව ගත් වනම දොර කවුළු හෝ පැළලි අතරින් එබී බැලීම හැරෙන්නට වෙනත් උකුළු මුකුළු කෙලි කවට කමක නිරතවීමට ඔවුනගෙන් එකියක හෝ නිර්භීත වූයේ නොවේ. දඩයක්කාර පිය පුතු දෙපල කෙරෙහි ගම්වාසීන් තුල අනාදිමත් කාලයක පටන් පැවතෙන බිය මෙන්ම මහ වනය තුල නිර්භයව තනිවම දිවිගෙවන ඔවුන් අමනුෂ්‍යයින් හෝ අවම වශයෙන් අමනුෂ්‍යයින් හා සමීප සබඳතා පවත්වන්නන් බවට පැවති පාරම්පරික විශ්වාසය ද මේ සඳහා හේතු විය.
මෙසේ කිසිදු හැලහොල්මනකින් තොරව නිසසලව ගලා බස්නා ගංගාවක් මෙන් ගලා ගිය දඩයක්කාරයාගේ ජීවිතයේ සුවිශේෂී සිද්ධීන් තුනක් පමණක් මේ කාලය ඇතුලත සිදුවිය.නිසොල්මනේ ගලා යන්නාවූ දිය දහරක් එක්වනම ගල්කුළු ගහන දුර්ගයකට ප්‍රවිෂ්ඨව, පෙණ බුබුළු නංවමින් ප්‍රචණ්ඩත්වයෙන් අනූනව ගලාගොස්, යළිදු පෙර සුපුරුදු නිසල ගලායාමට පත්වන්නාසේම දඩයක්කාරයා ද මේ සිද්ධීන් නිසා කැළඹීමට පත්වූ නමුදු ඉතා ඉක්මනින් තම සුපුරුදු උපේක්ෂා සහගත නිසසල දිවියට යලි පිළිපන්නේය.
මින් පළමුව සිදුවූයේ මහ දඩයක්කාරයාගේ අභාවයයි.තමා මියයන දින පිළිබඳව මහ දඩයක්කාරයා නිශ්චිතව දැන සිටියේද යන්න පිළිබඳව දඩයක්කාරයාගේ සිත තුලද පැවතියේ අවිනිශ්චිත බවකි. ඔවුන්ගේ පාරම්පරික ශාස්ත්‍ර ඥාණය මේ වනවිට සීඝ්‍රයෙන් ඔවුගෙන් ගිලිහෙමින් පැවතීම ඊට හේතුවයි.
කෙසේ හෝ එක මධ්‍යාහ්නයක යෝනක වෙළෙඳුන් දෙදෙන පැමිණි පසු අවශ්‍ය වූ කළමනා තෝරාගන්නා දඩයක්කාරයා දෙස ගෙමිදුල කොහොඹ ගස සෙවණෙහි ඇණ තබාගත්වනම බලාහුන් මහ දඩයක්කාරයා අවසන තම පුත්‍රයා ඇමතීය.
'' පුතා, මම ගිය පාර ගේන්ට කිව්ව සුදු රෙදිකඩක් ....ඒක ගෙනල්ල ඇති, අරගෙන ගොහිල්ල අර පෙට්ටගෙමේ දාන්න,''
එබසින් තිගැස්සී ගිය දඩයක්කාරයා වහා හිස ඔසවා පියා දෙස බැලූමුත් මහ දඩයක්කාරයා ඒ වන විට ද සිටියේ දෑස් තදින් පියාගත්වනම හිස පොලොවට නැඹුරු කොටගෙනය.
මෑණියන් මියගිය දිනය එක වරම සිහියට නැඟුනු බැවින් දඩයක්කාරයාගේ සිත ශෝකයෙන් පිරීගියේය.
පියා සහ පුත්‍රයා අතර ඉන්පසු ඒ පිළිබඳව කිසිදු කථාබහක් නොවීය.
අඩ සඳ වාළිඹේ ගල මුදුනින් පෑයූ ඒ රාත්‍රිය අහස එකද වළාවකින් තොරව බැබලුණි.
රාත්‍රී ආහාරයෙන් පසු නින්දට යාමට පෙර පිළ්කඩෙහි වැතිරුනු පිය පුතු දෙදෙන සුපුරුදු ලෙස සිහිල් සුළඟේ පහස විඳිමින් ගෙමිදුල නැහැවෙන සඳ රැස් මවනා රටාවන් නරඹමින් කල් ගත කළෝය.මෙසේ ගෙවන කාලය අතරතුර ඔවුන් අතර වදනක් හුවමාරු වූයේ ඉතා කලාතුරකිනි.
එහෙත් මෙදින සුපුරුදු චර්යාවෙන් වෙනසක් සිදුවන බව දඩයක්කාරයාට හැඟුනේ එක් වරම පියා උරහිසට අතක් තබා ගැඹුරු එහෙත් සෙනෙහෙබර ස්වරයකින් ඔහු ඇමතීම නිසාය.
'' පුතා අද රෑ අර සුදුරෙදි කඩ එළියට ගන්ට වෙනවා.''
එබස් ඇසුනු දඩයක්කාරයා වහා හිස හරවා පියා දෙස බැලීය.
ඔහුගේ දෑස් දෙස එක එල්ලේ මොහොතක් බලා සිටි මහ දඩයක්කාරයා මෙසේ පැවසූයේ උරහිසෙහි ග්‍රහණය තවත් දැඩි කරමිනි.
'' කණගාටුවෙන්න දෙයක් නෑ පුතා, මේ ලෝකෙ කිසිදෙයක් ස්ථිර නෑ...ඒක තමයි ලෝක ධර්මය...දෛවය අනුව, ඉරණම අනුව, වෙන්න තියන දේ වෙයි. ඒ ගැන කණගාටු වෙලා කිසිම ප්‍රයෝජනයක් නෑ. අවශ්‍ය කටයුතු මම කියපු විදිහට කරන්න. එච්චරයි.........''
මතු සම්බන්ධයි........