Monday, November 19, 2012

145. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....26


එදින රාත්‍රියෙහි , රාත්‍රිය නොව සත්‍ය වශයෙන්ම ඒ හිමිදිරිය යනුවෙන් නිවැරදි විය යුතුය, උක්ත යුවතිය තම සංවේගජනක අන්දරය පවසා අවසන්වන විට අරුණළු පතිත වනු වස් ඉතිරිව තිබුනේ හෝරාකට මඳක් අධික කාලයක් බැවිනි.

පෙරදිග අහස පැහැපත්වන්නට ආරම්භ වන හෝරාව ආසන්න වන විට ද ඇය ඔහු උරහිසට වාරුවීගත් අයුරු එලෙසම සිටියාය. පිළිවෙලට ඉහළ පහළ වැටෙන ඇගේ ආශ්වාසයෙහි දීර්ඝ සහ ගැඹුරු ස්වභාවය ඇය තද නින්දට පත්ව සිටින අයුරු කියා පෑවේය.

ඔහුගේ සුරත ඇගේ හිස පිරිමැදීම නතරකොට මේ වනවිට ඇගේ උරහිස වටා ගොස් ඈ ඔහු වෙතට වාරුකොටගෙන තිබිණි. අතැඟිලි වලින් ඇරඹි හිරිවැටීමක් සුරත පුරා කෙමෙන් විහිද ගියද ඔහු ග්‍රහණය ලිහිල් නොකොට ඒ ඉවසා සිටියේ ඇගේ නින්දට බාධා කිරීමට වූ දැඩි අකමැත්ත නිසාමය.

හිමිදිරි අහස පැහැපත් වෙද්දී උඩුකයට සහ දෙදණට යටින් අත් යවා ඇය ඔසවාගත් දඩයක්කාරයා ගෙපැල තුලට ගොස් පෙට්ටගම අද්දර එලා තිබූ මුවසමෙහි ඇය දිගාකලේය. ඇය පොරවාගෙන හුන් රෙදිකඩ පරෙස්සමින් සකස් කොට, ඇලයකට හැරී සුරත මත තබාගත් හිසැතිව නිදන ඇය දෙස මොහොතක් බලා සිටියේ, ගෙපැල දොරකඩ ආවරණය කල බට පැළැල්ල වසා දමා සුපුරුදු පරිදි ගෙපිල මතුයෙහි දිගා වූයේය.

උදෑසන දඩයක්කාරයා අවදිවන විට හොඳින් එළිය වැටී තිබිණි. ඔහු එක් වරම අවදි වූයේ සවණට වන් නුපුරුදු කිසියම් ශබ්දයක් හේතුකොටගෙන බව නිදිමත නම් වලාවන් අතරින් පායන හිරු මඬලක් පරිදි ක්‍රමයෙන් හැඟී ගියද ඒ කවර ශබ්දයක්දැයි එකහෙලා සනිටුහන් කොටගත නොහුනු හෙයින් හේ එක් වරම දෑස් විවර නොකොට මඳක් පොරොත්තු වූයේය.

එහෙත් කිසිදු ලෙසකිනුදු ඒ හඬ කුමක්දැයි හඳුනාගත නොහැකිවූ කල්හි ඔහු සෙමෙන් දෑස විවර කළේය.

දඩයක්කාරයාගේ නිවහන වූ ගෙපැල ඉදිරිපිට වූ රූස්ස කොහොඹ රුක පිළිබඳව මේ කථාවෙහි කිහිප විටකදී මීට පෙර සඳහන් කෙරුණු බව ඔබගේ මතකයෙන් ගිලිහී ගොස් නොමැත්තේයයි යන උපකල්පනයේ පිහිටා සිට ඉදිරියට කථාව පැවසීමට මට අවසර දයාබර සහෘදය / සහෘදිනිය........

උක්ත කොහොඹ රුක සෙවණෙහි ඇය ගෙමිදුල අමදිමින් සිටියාය. අසල වූ වන බූටෑවෙන් සිඳ ගත්තේයැයි සිතිය හැකි හරිත වන් අතු රිකිලි කිහිපයක් එකට බැඳ නිමවාගත් දළ මුස්නයක් ආධාරයෙන් ඇය ගෙමිදුල අමදිමින් සිටියාය.

හිණෙන් නැවී ඉතා කඩිසර ලෙස ඇය එම කාර්‍ය්යෙහි නිරත වූවාය. පැය විසි හතරකට ද අඩු කාලයකට පූර්වයෙහී ජිවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් මහෝඝයෙක ගසාගෙන පැමිණ, ආශ්චර්යයකින් මෙන් දිවි ගලවාගත්තියකගෙ කිසිදු ලක්ෂණයක් ඇය කෙරෙන් කිසිසේත්ම විද්‍යාමාන නොවීය.ඒ එසේමය. ජව සම්පන්න තාරුණ්‍යයෙන් මොනවට සපිරී ඔද වැඩුණු ඕ තොමෝ වහා අතීතයෙහි දුක්ඛ දෝමනස්සයන් යටපත් කොට ලා පියා ජීවිතය ඉදිරියට ගෙන යාමට ඉටා ගත්තාක් මෙනි.

කෙලින් වී හිඳ බිත්තියට වාරු වූ දඩයක්කාරයා ඔහුට පිටුපා අනලස්ව දැඩි අවධානයෙන් තම කර්තව්‍යයෙහි යෙදෙන ඈ දෙස අඩවන් දෙනෙතින් යුතුව බලා සිටියේය. මොහොතකින් ඔහු දෙතොලට මන්දස්මිතියක් නැඟුනේ නිරායාසයෙනි. ඒ මන්දස්මිතිය දෙතොල් විවරවන සිනහවක් බවට පත්වන්නට වෙර දරද්දී කිසිවෙකු තමා දෙස බලා සිටිනා වග සවනේන්ද්‍රියකින් දැනුනාක් මෙන් ඇය ඇමදීම එක වරම නවැත්වූවා සෙමෙන් හිස හරවා උරහිසට ඉහලින් ඔහු දෙස බැළුවාය.

ඉක්බිති ඇය සිනාසුණාය.

යෙදී හුන් කාර්‍යය එකෙණෙහිම නතර කල ඕ තොමෝ මිදුල අමදිමින් සිටි බෝලත්ත ද රැගෙන සෙමෙන් දඩයක්කාරයා වෙත පිය නැඟුවාය. එකද පරඬැලක් හෝ වියළි පත්‍රයක් ඉතිරි නොවනසේ මනාව අතුගා තිබූ ගෙමිදුල සුදු වැල්ලේ ඇගේ පා සටහන් එකිනෙක පසුපස සටහන් වූයේ බොහෝ ප්‍රවේශමෙන් ඇඳි චිත්‍රයක් මෙනි. පා සලකුණු පරීක්ෂාකිරීමෙන් ඕනෑම පුද්ගලයකුගේ දේහ ලක්ෂණ මෙන්ම ගතිගුණ පිළිබඳවද නිවැරදි අනාවැකි පැවසිය හැකිබව මහ දඩයක්කාරයා පැවසූවා මතු නොව ඒ ශාස්ත්‍රය ඉගැන්වූ බව ද දඩයක්කාරයාගේ සිතට එක වරම නැඟිනි.

එහෙත් දීර්ඝ කාලයකට ඉහත මහ දඩයක්කාරයා ඉගැන්වූ එම ශාස්ත්‍රය භාවිතයෙන් තොරවීම හේතුකොටගෙන මතකයෙන් මැකීගොස් තිබිණි.ඒ නැවත සිහියට නඟාගැන්මට කල උත්සාහය අසාර්ථක වූ කල ඔහු ඒ වෑයම අතහැර දැමීය.

දඩයක්කාරයා ආසන්නයෙම පිළෙහි හිඳගත් ඈ වරක් ඔහු දෙස හැරී බලා යලි ඉවත බලාගත්තී වදන් ඉතා ප්‍රවේශමෙන් තෝරාගනිමින් කථා කළාය.

'' මම ඊයෙ මයෙ කතාව කිව්ව අයියට.......අයිය කැමතිනම් විතරක් අයියගෙ කතාවත් මට කියන්න...''තම කථාව කෙසේ ආරම්භ කලයුත්තේද යන්න තීරණය කිරීම, ජීවිතයේ කිසිදිනක එක දිගට වචන දහයක් හෝ විස්සකට වැඩි සංඛ්‍යාවක් තෙපලා නොමැති දඩයක්කාරයා හට මහත් අපහසු කරුණක් වූයේය.

තම ජීවිත කථාව අරඹනුයේ කොතැනකින්දැයි තීරණය කරනු පිණිස දඩයක්කාරයා මොහොතක් දෑස් පියා ගත්තේය.

'' අයියගෙ නම මොකක්ද? ''ඈ එසේ ඇසුවේ දෑස් පියාගත්වනම පසුවන ඔහු දෙස මොහොතක් බලා සිටීමෙන් අනතුරුවය.

ඒ පැණයෙන් තිගැස්සුනු ඔහු වහා දෑස් හැර ඇය දෙස එක එල්ලේ බලා සිටියේ විශ්මය පත් දෑසිනි.

ඔහුගෙ බැල්ම දුටු ඇය හඬනඟා සිනාසුණාය.

'' මොකද මේ තුස්නිම්බූත වෙලා වගේ?...අයියට නැද්ද නමක් කියල එකක්?..'' ඇය තවමත් සිනාසෙන්නීය.

'' ඇත්තටම මට නමක් නෑ තමයි....'' ඇගෙ සිනහව කෙමෙන් වියැකී ගිය ඉක්බිති පැතිර ගිය නිශ්ශබ්දතාවය බිඳලමින් දඩයක්කාරයා තෙපලීය.

'' ඈ???? "'.....ඇගේ මුව විවර වූ අයුරු ඔහු දෙතොලට සිනගවක් ගෙන ආයේය.

'' එතකොට මිනිස්සු ඔයාට කතා කරන්නෙ... ඒයි මේ.... කියලද?...'' ඇගේ සිනා හඬ යලිදු ගෙමිදුල පුරා පැතිර ගියේ කොහොඹ අතු පතර සැඟව හුන් කොබෙයියන් යුවලක් වේගයෙන් පියාපත් සලමින් කොහේදෝ ඈතකට පළවා හරිමිනි.

'' මිනිස්සු මට කියන්නෙ දඩයක්කාරය කියලයි....'' සිනහව මැකීගිය ඉක්බිති දඩයක්කාරයා පැවසූයේ බැරෑරුම් ස්වරයකිනි.

'' ඒ ඉතිං අයිය දඩයං කරන නිසා වෙන්නැති...එහෙම නෙවෙයි ඔයයිගෙ අම්ම තාත්ත ඔයාට කතා කලේ මොනව කියලද?...''

'' පුතා කියල ...නැතුව ආයෙ වෙන අහවල් දෙයක් කියන්නද?...''
ඔහුගේ හඬෙහි වූ අවංක භාවය ඔහු මේ කරනුයේ රැවටිල්ලක් නොවන බව ඇයට ඒත්තු ගැන්වීය.

'' ආ...එහෙමද?......'' ඇය අවසානයේදී එය පිළිගත්තාය. එනම් දඩයක්කාරයාට දඩයක්කාරයා හැරුණු කොට වෙනත් නමක් නොමැති බව ඇය පිළිගත්තාය.

එසේ පිළිගත්බව ඇය හැඟවූයේ දෙතුන් වරක් හිස ඉහලට සොලවමින් ඔහු දෙස බලා සිනාසීමෙනි.

'' එතකොට අයියගෙ අපුච්චගෙ නම? ''හදිසියේම මතක් වූ පරිදි ඇය යළි විමසූයේ එක් වනමය.

'' ඒත් දඩයක්කාරයම තමයි.... '' ඔහුගෙ ස්වරයේ යාන්තමට තැවරී තිබූ නොඉවසිල්ල වටහා නොගත්තා හෝ නො එසේනම් වටහාගත්තද ඒ බව නොපෙන්වූවා විය හැක ඇය යලිදු සිනාමුසු මුහුණින් පිළිවිසියාය.

'' එතකොට අපුච්චයි අයියයි දෙන්නම දඩයක්කාරය කියල... ''ඇගේ පැණය අවසන් කිරීමට පෙර ඔහු කථාකලේය.යම්කිසිවෙකු පැණයක් විමසූ කල ඒ පිළිබඳව බොහෝසේ කල්පනාකොට ඉක්බිති ප්‍රවේශමෙන් වදන් තෝරා බේරාගෙන කෙටි පිළිතුරක් දෙනු විනා කිසිවෙකුගේ කථාවට බාධා කිරීමෙහිලා කිසිවිටෙක නොයෙදුනු බැවින් තමන්ගේ මේ හැසිරීම දඩයක්කාරයාටම මහත් විශ්මයට කාරණයක් විය.

'' නෑ අපුච්ච ඉන්න කාලෙ උන්දැ මහ දඩයක්කාරය...මම පොඩි දඩයක්කාරය...උන්දැ මියැදුනාට පස්සෙං පහු තමයි මම දඩයක්කාරය උනේ. ''

'' හරි, හරි.... ඒ කාලෙ අයිය පොඩි දඩයක්කාරය දැන් මහ දඩයක්කාරය..ආ..නෑ...නෑ...පොඩි දඩයක්කාරයෙක් දැන් නෑ නෙව ඒ නිසා අයිය නිකම්ම දඩයක්කාරය....එතකොට ආයෙම පොඩි දඩයක්කාරයෙක් ඉන්න දවසට අයිය මහ දඩයක්කාරය වෙනව...''
ඇය ඔහු දෙස නෙත් කොණකින් බැලුවාය.

'' එහෙමද දඩයක්කාර අයියෙ?......'' ඇය යලිත් වරක් හඬනඟා සිනාසුණාය.

ආයෙම පොඩි දඩයක්කාරයෙක් ඉන්න දවසට....එවන් අවස්ථාවක් පිළිබඳව සිහිනෙනුදු මින් පෙර සිතා නොසිටි දඩයක්කාරයා එක වරම කුමක් පැවසිය යුතුදැයි සිතාගත නොහුනේ නිරුත්තරව යුවතියගේ සිනාසෙන දෑස දෙස බලා සිටියේය.

දඩයක්කාරයා දෙස බලාගත්වනම සිටි ඇගේ සිනහව එක වරම අතුරුදන් වූයේය.

'' හරි හරි...අයියගෙ නම දඩයක්කාරය...අපුච්චගෙ නම මහ දඩයක්කාරය ..ඒ ටික දැන් මට කිව්වනෙ...දැන් අයිය කියනකො බලන්න අයියගෙ කතාව.... ''
දඩයක්කාරයා බොහෝ වෙලාවක් කොහොඹ ගස දෙස බලා සිටියේ තම ජීවිත පුවත යුවතිය හා සමඟ පවසනු පිණිස සිතුවිලි තෝරා බේරා එකලස් කරගනු පිණිසය. යුවතියද ඔහු කථාව ආරම්භ කරන තුරු නිසොල්මන්ව ඉවසිල්ලේ බලා සිටියාය.

අවසන සිතෙහි තව ජීවිත කථාව ගොණු කොටගත් දඩයක්කාරයා කථාව ඇරඹීය.

'' ඔන්න මෙහෙමයි අපෙ අප්පච්චි මට කිව්ව විදිහට අපේ කතාව.................... ''

හෝරා දෙකකට ආසන්න කාලයක් දඩයක්කාරයා තම කථාව ඇය හා සමඟ පැවසීය. කිසිදු හරස් ප්‍රශ්න විචාරීමකින් තොරව ඕ ඒ සාවධානව අසා සිටියාය.

කථාව මුළුමනින්ම පැවසීමට හෝරා දෙකකට ආසන්න කාලයක් ගත වූයේ දඩයක්කාරයාට එක් දිගට බොහෝ වේලාවක් කථා කොට පුරුද්දක් නොවීම හේතු කොට ගෙනය. ඔහුගේ කථාව අතරතුර දීර්ඝ නිශ්ශබ්දතාවයන්ගෙන් ගෙවී ගිය විරාමයන්ද බොහෝ තිබුණි.

අවසන දඩයක්කාරයා කථාව නිමකලේය. ඒ අතර සෙමෙන් ඔහු වෙත ඇදී ඒ යුවතිය ඔහුගේ උරහිසට යලිත් වරක් හිස තබා වාරු වූවාය. ඉක්බිති නිරායාසයෙන්ම සිදුවිය යුතු ඊලඟ පියවර ලෙස දඩයක්කරයා ඇගේ උඩුකය වටා තම සුරත යවා ඇය වැලඳ ගත්තේය.

මම මෙහෙ නවතින්නද අයියා?...ඇය ඔහුගෙන් කිසිදිනෙක ඇසුවේ නැත.

ඔයා එහෙනම් මෙහෙ නවතින්න.....ඔහු ඇයට කිසිදිනෙක පැවසුවේද නැත.

එහෙත් ඒ තමන්ගේ ඉරණම බව තමන්ගේ දෛවය බව ඔහු මෙන්ම ඇයද එක පැහැර දැන සිටියෝය.ජීවිත ගමනේ නොයෙක් කම් කටොළුවලට බඳුන් වී මංමුලා වුනු මනුෂ්‍යයින් දෙදෙනෙකු වූ ඔවුහු ජීවිතයට මුහුණ දීමෙහිලා තමන්ගේ උරුමය මේ යයි හොඳින් වටහා ගත්තෝ ඊට නොපැකිල මුහුණ දීමට සිත් දැඩි කරගත්තෝය.

මතු සම්බන්ධයි........

Wednesday, November 14, 2012

108. වසර හයකුත් තවත් ටිකක් ගත වී ගිය සඳ....

හිටි හැටියේ ඇවිත් අවුරුදු 6 1/2ක් විතර පරණ තැනක ඉඳන් අද වෙනකම් දිග කියැවෙන කථාවක් කියන්නයි මේ යන්නේ.

2006 මැයි මාසේ දවසක මම කලින් වැඩ කරපු තැන මාත් එක්ක වැඩ කරපු අක්කා කෙනෙක්, වෙනත් ආයතනයක සේවය කරන එයාගේ යාළුවෙක් නිසා හිස් වෙන තනතුරක් ගැන තොරතුරක් මට දුන්නා. ඒ තොරතුරට අනුව මම මගේ ජීව දත්ත සටහන් පතක් ඉහතින් කිව්ව යාළුවා මගින් එම ආයතනයට යොමු කලා. ඒ යොමු කිරීම අනුව දින කිහිපයකින් එම ආයතනයේ ප්‍රධානී තනතුරු උසුලන මහත්මයා දුරකථනයෙන් අමතලා සම්මුඛ පරීක්ෂණය සඳහා දින යොදා ගනු ලැබුවා. ඉතිං එදා සම්මුඛ පරීක්ෂණයට ගිය වෙලාවේ ගේට්ටුව ගාව හිටපු තරමක් උස කොන්ඩය ‍එහෙම පොඩ්ඩක් විතර සුදු පාට වුනු මහත්මයෙක්ගෙන් තමයි මං මුලින්ම මේ එතැනම ද කියලා හරියට දැන ගත්තේ. හැබැයි මට හරියටම කියන්න බැහැ, ඒ ඒ කාලේ අපේ කන්තෝරුවේ වැඩ කරපු ඉංජිනේරු මහත්මයාද, නැත්නම් ප්‍රමාණ සමීක්ෂක තනතුර දරපු මහත්මයාද කියලා. මොකද දෙන්නාම ටිකක් එක වගේ.

ඉතිං එදා සම්මුඛ පරීක්ෂණය පැවැත්වුනා. ආයේ ඉතිං මොනවද නේද? අනේ ඔයා කොහොම හරි අපේ කන්තෝරුවට එන්න, එන්න කියලා මාව බඳවා ගත්තේ..... : D

 මහ අමුතු කන්තෝරුවක්. මුළු කන්තෝරු කාර්යය මණ්ඩලයෙන් ම කාන්තා නියෝජනය මං එනකොට 0%. යාන්තං මං ආවාට පස්සේ එම අගය 7%ක් වගේ වුනා. ඒ වගේම එච්චර කල් නිදහස් කුරුල්ලෝ වගේ එහේ මෙහේ පියාඹමින්, කැමති තැනක කැමති විටෙක දුම් වැටියක් දල්වාගෙන, තිරිංග විරහිත වදන් මාලාවන් මුදා හරිමින්, හිටිය ඉතිරි 93% නිකං හිරේ විලංගුවේ දැම්මා වගේ වුනා කියලා මං දැන ගත්තේ ඊටත් ගොඩක් කාලෙකට පස්සේ. කොච්චරද කිව්වොත්, මම රාජකාරි නිමා කරලා, මගට ඇවිත් ආයේ මොනවා හරි අමතක වෙලා කන්තෝරුවට ගියොත් දොර ඇරිය ගමන් මට කන්තෝරුව පෙනෙන්නේ චිත්‍රපටවල පෙන්වන දිව්‍ය ලෝකයක් වගේ.......... දුම් වලා අතරින් එක එක අය ටිකෙන් ටික පේන්න ගන්නවා........ :)

ඇත්තටම කිව්වොත් කලින් වැඩ කරපු කන්තෝරුවේ වැඩ කරපු අවුරුදු 1 1/2 තුල ඇතිවුනු ගජමිතුරු කම් මේ කන්තෝරුවේ අද වෙනකම් වත් ඇති වෙලා නැහැ. ඒත් මේ හැමෝම ඉන්න වටපිටාවක ඉන්න එක අමාරු දෙයක් නෙමෙයි. කොටින් ම කිව්වොත් මේක යූසර් ෆ්‍රෙන්ඩ්ලි කන්තෝරුවක්.

ඉතිං මේ කන්තෝරුවේ මගේ ආසනය පිහිටලා තිබුනේ පහත මාලයේ. පහත මාලයේ අය එක්කවත් එච්චර කථා බහ කරන්න තරම් කාලයක්වත්, මාතෘකාවත් මට තිබුනේ නැහැ.ඉතිං ඉහළ මාලය ගැන කවර කථාද? ඉහල මාලයේ කාමර වශයෙන් 5ක් තිබුණා. එයිනුත් එකක් කාමරයක් බව මං දැන ගත්තේ අවුරුදු 2කට විතර පස්සේ මං හිතන්නේ. එච්චර කල් මං හිතන් හිටියේ ඒක තවත් වැසිකිළියක් කියලා. හපොයි මං ඒක කාත් එක්ක හරි කියලා, ඒ කෙනා ඒ කාමරය අයිති කෙනාටත් කිව්වා මං මෙහෙම කිව්වා කියලා. මට ලැජ්ජා හිතුනට එයාලා කට්ටිය නං හොඳට හිනා වුනා.

ඉතිං ඔය ඉහළ මාලයේ කාමර තුනක අධ්‍යක්ෂ වරු තිදෙනා වැඩ වාසය කල අතර අනෙක් කාමරයක (අර වැසිකිළිය කියලා හිතපු කාමරයේ) රථවාහන කළමණාකාර තැන හිටියා. ඉතිරි කාමරය වෙන් වෙලා තිබුණේ ප්‍රමාණ සමීක්ෂක වරුන්ට. ඔයිනුත් මට වඩා අවුරුදු 5ක් 6ක් වැඩිමහල් කෙනෙක් හිටියා. එයා එක්ක තමයි ගිය වෙලාවකවත් මං කථා බහ කරන්නේ. ඊට මෙහා පැත්තේ ආසනයේ හිටියේ ප්‍රධාන ප්‍රමාණ සමීක්ෂකතුමා. පුහ්.............. උන්දැගේ ආඩම්බර............ ලොකු ඇස් කණ්නාඩි කුට්ටමකුත් දාගෙන, එක අතක් මේසයට තියාගෙන, ඒ අත උඩ නිකට තියාගෙන, ඒ නිසා උඩ ගිය මුහුණේ තියෙන ඇස් දෙක කණ්නාඩියට යටින් මොනීටරයට යොමු කරගෙන, ඉන්න උන්දැ ගැන අපොයි මොන කථාද?

දැන් ඔහොම කිව්වාට ඉස්සර මට ඔහොම හිතුනේ නැහැ මං හිතන්නේ. බොහොම බය පක්ෂපාත හැඟීමක් තමයි ඒ කාලේ තිබුණේ. කාලයක් යනකොට මට දැනගන්න ලැබිලා තිබුනා උන්දැ එංගලන්තේ මහ රැජිණගෙනුත් ඩික්ටේෂන් ගන්න තරම් ඉංගිරිසි දැනුමැත්තෙක් වග. ඒ නිසා වෙන්න ඕනෑ, මගේ හොඳම යෙහෙළිය බරපතල ලෙස අසනීප වෙලා රෝහල් ගතව ඉන්න වෙලාවේ, ඇයගේ ඉල්ලීමකට අනුව ඇය වෙනුවෙන් රැකියාවෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් සකසා ගන්න එතුමා ගාවට යන්න මට හිතුනේ.

මං ආයේ කවදා ලිව්ව ඉල්ලා අස්වීමේ ලියුං ද, ඉතිං මං ගිහින් කිව්වා අනේ මට මෙහෙම එකක් ලියලා දෙන්නය කියලා‍. ඒ පාර උන්දැ කිව්වා, හා ඔය ළමයා ලියාගෙන එන්න අපි බලමු මොකද කරන්න පුළුවන්නේ කියලා. හ්ම් ඉතිං ලියාගෙන ගියා, පොඩ්ඩක් හලලා පොඩ්ඩක් එකතු කරලා ලස්සනට වැඩේ කරලා දුන්නා. මං හිතන්නේ ඒක තමයි මට මතක පළමු සිදුවීම.

ඊට පස්සේ ඉතිං මං ඔය එක එක පොත් ගෙනියලා, දවල් ආහාර ගන්න ගමන් කියවද්දි දැක්කොත්, පොත බලලා, "ආහ්... ඔයාත් කියවන්නේ නියම පොත්නේ", "ෂා... ඔය පොත නියම පොතක්" වගේ දේවල් කිව්වාත් මතකයේ තියෙනවා. ඒ වෙලාවට මට හිතුනේ, 'ඈ බොලේ මෙයා පොත් ගැනත් දන්නවද?' කියලා තමයි. පොතක් කියවනවා තියා අතින් අල්ලන කෙනෙක් කියලාවත් මට ඒ වෙනකොට හිතිලා තිබුනේ නැහැ.

තවත් මතක් වෙන දෙයක් තමයි. සමහර අය බක බක ගගා හිනා වෙවී, විහිළු කථා කියද්දි, මෙතුමා මූණ බැරෑරුම් ව හදාගෙන කියන දේවල් වලට අනිත් අය හිනා වෙද්දී, මට හිතා ගන්න බැරුව යනවා මේ කිව්වේ විහිළුවක්ද ඇත්තක්ද කියලා. ඔය හ‍ඳේ හාවාගේ මල්ලී‍ගේ පුතාගේ කසාදය වගේ දෙයක් ගත්තොත් ඒක ඇත්තටම වුනා වගේ මූණ හදාගෙන දින වකවානු එක්ක හරි කියන්න හැකියාවක් තිබුණා. ඇත්තටම එහෙම කථා කියද්දී බලාගෙන ම ඉන්න වැඩේ.‍........ අනිත් අය හිනා වුනත් මට නං හිනාවෙන්නද, බක පණ්ඩිත ‍විදිහට ඔළුව වනන්නද, නැත්තං ඇහුනේ නැහැ වගේ ඉන්නද කියලා හිතා ගන්නම බැරුව යනවා. :D

ඔය කොහොම වුනත් මේ කොට්ටෝරුවටත් නියම කෙසෙල් ගහක් අහුවුණු වැඩක් වුනා දවසක්. ඒක මං ඒ කාලේ මගේ පරණ බ්ලොග් එකේ ලිව්වා. ඒ බ්ලොග් එක මයි බ්ලොග් ඩොට් එල් කේ එකේ තිබිලා, දැන් මැකිලා ගිහින්. නැත්තං අද මං ඒකේ ලිංක් එකක් මෙතැන දානවා, අපේ කථානායකතුමා නෙළුම් කොලේ, කරවල බැදුමත් එක්ක ඇල් හාලේ බත් කාපු හැටි හුදී ජන පහන් සංවේගය උදෙසා දැන ගන්නත් එක්ක. සමහරවිට මං නොකීවට එතුමා ම ඔය ගැන කොයි වෙලාවේ හරි කියයි මං හිතන්නේ.

ඉතිං ඔය වගේ සවුත්තු වැඩ වගේම කලින්දා කන්තෝරුවේ උත්සවයකදී මූණ සාක්කුවේ හිටින තරමට යම් යම් දේවල් වලින් අනුමත වීම වගේ වැඩත් එතුමාට වෙලා තියෙනවා. ඒ වගේ මූණ සාක්කුවේ දාගන්න අනිත් අයට වගේ නෙමෙයි, ඔය මොන දේ වුනත්, රැකියාවේදී ඔහුට පහළ නිලයන් පමණක් නොවෙයි, ඉහළ නිලයන් පවා ඔහු කෙරේ යම්කිසි ගෞරවනීය හැඟීමකින් පසුවුනු වග නොරහසක්. ඒවා තමයි මිනිස්සුන්ගේ පැවැත්මේදී ඇති කරගන්න පෞරෂය සම්බන්ධ යම් යම් වැදගත් කාරණා.

කොහොම වුනත්, රැකියාවටම ඇලුනු, පිටත ලෝකයට වැසුනු මනසකින් හිටින කෙනෙක් කියලා මගේ හිතේ තිබුණු ප්‍රතිරූපය, ඔය පොත් කියවිල්ල වගේ දේවල් වලින් බොහොම සුළු වශයෙන් වෙනස් වුනත් එක කාරණයක් සිදුවීමෙන් පසුව හිතුවාට වඩා බොහෝ සෙයින් වෙනස් පුද්ගලයකු නේද යන්න මට වැටහෙන්න වුනා.

මේ කථාව නං ඔය දන්න කියන කිහිප දෙනෙකුටම මීට කලින් මං කියලා තියෙනවා.

ඒ තමයි අපේ විවාහයට පෙර එළඹුණු අවසාන ආදර සැමරුම් දිනය වෙනුවෙන් මං මහපු කතිර මැහුම් රූපයේ කතන්දරය. ඒක මං මහන දවස් වල එක දවසක් කන්තෝරුවේ පරණ ම සේවකයකුගේ විවාහ මංගල්‍යය උත්සවයක් නිසා බොහෝ පිරිසක් ඒ සඳහා පිටත්ව යන්නට යෙදුනා. ප්‍රමාණ සමීක්ෂක මහත්වරු දෙදෙනාත් මාත් හැර කන්තෝරු කාර්යය මණ්ඩලයේ එක්කෙනෙක් දෙන්නෙක් හිටියා  වගේ තමයි මතක. ඉතිං පහළ මාලයේ ඉන්න කම්මැලි නිසා, මැහුමත් අරගෙන ප්‍රමාණ සමීක්ෂක  කාමරයට ගිය මම කණිෂ්ඨ ප්‍රමාණ සමීක්ෂක තුමාගේ වැඩට බාධා ඇතිවන පරිද්දෙන් ඕපදුප කියවමින් මැහුම කරගෙන ගියා. ඔය අතරේ මගේ මැහුමේ තිබුණු වාක්‍යය මම මැහැව්වේ අග සිට මුලට. ඒ ඇයි කියලා මට මතක නැහැ. අවසානයේදී මුල්ම වචනය වෙච්චි, LOVE යන්න මහගන්න නූල් මදි වුනා. ඒක වෙන පාටකින් මහන්න සිදුවුනා. දැන් මොන පාටින්ද මහන්නේ කියලා මං දහ අතේ කල්පනා කරන අතරේ මගේ මිතුරාගෙනුත් ඒ ගැන අදහස් විමසුවා. ඒ බැරැරුම් ගැටළුවට මැදි වෙලා අපි දහ අතේ කල්පනා කරන අතරේ, ප්‍රධාන ප්‍රමාණ සමීක්ෂකතුමා සිය ආසනයෙන් නැගී හිටියා.

"හ්ම්......... මොන කරදරයක්ද ළමයා මේ....... හ්ම්... හ්ම්... කෝ බලන්න ඔය තියෙන නූල් ටික"යි කිව්ව ගමන් මට හිතන්නත් වෙලා මදි වුනා මේ මොකද වුනේ කියලා. මං පුදුම වුනාට කණිෂ්ඨ ප්‍ර. ස. නම් පුදුම වෙලා තිබුනේ නැහැ. සමහරවිට උන්දැ, මුන්දැගේ මේ හැකියාවන් ගැන දැනගෙන හිටියා වෙන්න පුළුවන්. මම ඉතිං නූල් පෙට්ටිය පෙන්වූවා.

"හා... හා... ඔය තියෙන්නේ රතු පාටක්. වචනේ ලව් නේ. මහන්න ළමයා රතු පාටින්" කිව්වා. අනේ හැබෑටම ලව් වලට රතු පාට ඈ............. ලව් වලට රතු පාට තියා ලව් කියලා එකක් ලෝකේ තියෙන වගක්වත් මුන්දැ දැනගෙන ඉන්න ඇති කියලා මං ඒ කාලේ කීයටවත් හිතලා තිබිලා නැහැ කියලා ඒ වෙලාවේ මට හිතුනා.

ඉතිං ඔය වැඩේ වුනේ, 2008 ඔක්තෝබර් අග වෙන්න ඕනෑ........ ඊට පස්සේ දෙසැම්බර් මුල අපේ විවාහය යෙදී තිබුනා. ඒකට මං එතුමාටත් ආරාධනා පත්‍රය දුන්නා. ආසනයෙන් නැගී හිටලා, දෝතින් පිළිඅරගෙන අපිට සුභ පැතුව නමුත් ඒ වෙනකොටත් එන්න වෙන්නේ නැහැ කියලා අපි හැමෝම දැනගෙන හිටියා. ඒකට හේතු වුනේ, පිට රට රැකියාවක් සඳහා නොවැම්බර් අග පිටත්ව යාමට තිබුණු නිසායි. ඔය සඳහා අවශ්‍ය කරන සියලු ලියැකියවිලි, ඒ වැඩේට උදව් කරපු එතුමාගේ යාළුවාට ඊ මේල් කිරීම ආදිය සිදුවුනේ මගේ අතින්. ඒකට හේතුව ඊමේල් කිව්වහම දුන්නෙන් ඊ තලයක් මාර්ගයෙන් යවන ආකාරයේ ලියුම් විශේෂයක් වියයුතු වග මිසක ඒ ගැන වගේ වගක් එතුමා දැන නොසිටීමයි. ඉතිං එහෙම බැහැනේ. ඒ ගැන දැනගන්නම එපැයි රට යනවා නම්. ඉතිං ජී මේල් හා යාහූ වර්ගයේ ඊමේල් ලිපින දෙකක් සාදා, දුනු ඊතල නොමැතිව ලියුං යවා ගන්න හැටි පහදා දුන්නේ මේ මං තමයි හිතවතුනි, ඔය දැන් ලොකු ලොකු වැඩ දැම්මාට... : D

ඉතිං ඔහොම රට ගියා. කාලෙත් ගියා. ටික කලක් ගත වද්දී, මේ සිංහල බ්ලොග් අවකාශේ, කොළොම්බස් ඇමරිකාව හොයා ගත්තා වගේ මං හොයා ගත්තා. නොයෙකුත් ලිපි ලිව්වා. මගේ මහත්තයා ගැන මගේ දුව ගැන සහ කන්තෝරුව ගැනත් ලිව්වා. ඔය අතරේ ඉංගිරිස්කාරයෙක් කොමෙන්ට් කරනවාත් ඉඳ හිට මං දැකලා තියෙනවා. මහත්තයා ගැන ලිව්ව එකකට ලියලා තිබුණු කොමෙන්ට් එකකින් ඔන්න ඒ නම් අපේ කථානායකතුමා ම වග මට වැටහුණා. ඒ ගැන කල විමසීමේදී, ඔහු මගේ බ්ලොග් එක කාලයක් තිස්සේ කියැව්වත් ඒ මං ම දැයි සැකයකින් පසූවූ බවත්, මහත්තයාගේ පිංතූරයක් එකතු කර තිබුණු ලිපියෙන් සැකය දුරු වූ වගත් පැවසුවා.

කන්තෝරුවේදී දැන හිටි පුද්ගලයාට වඩා බොහෝ සෙයින් වෙනස් පුද්ගලයකු අන්තර්ජාලය තුලින් මුණ ගැහුනා. සමහර විටෙක අනිත් අන්තර්ජාල මිතුරන් සේ ඔහුද හඳුනාගනු ලැබුවේ අන්තර්ජාලයෙන් ම වගෙයි මට දැනෙන්නේ. පසු පසුව, බොහෝ බ්ලොග් වල කොමෙන්ට් අතර ඔහුගේ අගනා (ලිපි තරම් දිග) කොමෙන්ට් දිස් වන්නට වුනා. ඒ ඔස්සේ කරපු කථා බහකට අනුව අවසානයේ නිදහස් සිතුවිලි හවුල් බ්ලොග් අඩවියක් බවට පත් කෙරුනා. ඒ කාලේ මගේ සමහර අන්තර්ජාල යාළුවෝ ඉතිං මට දෝස් මුරේ නොදැම්මාමත් නෙමෙයි...... : D ඒ වෙලාවට මං ඔය මොකක් හරි කියලා බේරිලා යනවා. ආ ඒ මගේ මාමා කෙනෙක්. එහෙමත් නැත්තං බාප්පා කෙනෙක් වගේ උත්තරයක් දීලා එදා දවසට බේරී සිටිමේ න්‍යායකුත් අනුගමනය කලා...... :) ඒත් එදා දෝස්මුරේ දැම්මත් ඒ සමහර යාළුවෝ අද සතුටු වෙනවා ඇති, අපේ සහෘද රවීගේ ලස්සන ලියැවිලි නිදහස් සිතුවිලි වලින් කියවලා. (ඇත්තම කිව්වොත් දැනටත් බනින අය ඉන්නවා, මොකද්ද යකෝ අර යාං හෑල්ල, දඩයක්කාරයාගේ කථාව කියලා........ :D මං එතකොට කියනවා අනේ මන්දා අනේ, මාත් තාම කියවලා නැහැ කියලා)

ඉතිං ඔයාලා බොහොම දෙනෙක් හොඳින් හඳුනන ඔහු බොහොම හිතවත්, මිතුරුකම් පවත්වන්නට හිතෙන ජාතියේ කෙනෙක් වග මුණ ගැහිලා තියෙන අය ඇවිත් කියයි. ඇත්තටම නොයෙකුත් අවස්ථා වලදී, දැනටත් රාජකාරීමය කටයුතු වලට මම ඔහුගෙන් උදව් ලබා ගන්නවා. බරපතල රාජකාරී ලියුම් ලියා ගන්න ගියාමත් එහෙමයි. ඔය අන්තර්ජාල වාසී මිතුරු මිතුරියන් අහන ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු මං අහලා කියන්නේ  ඔහුගෙන් ම තමයි.

ඉතිං දැන් කිහිප දෙනෙකුම දන්නවානේ මං මේ තකහනියේ අද මොකද මේ ලිපිය ලිව්වේ කියලා. අද, නිදහස් සිතුවිලි වාසී, අපේ සහෘද, රවී වීරසිංහගේ උපන් දිනය. ඉතිං ඒ උපන්දිනයට සුභ පතන්න තමයි මේ යාං හෑල්ල මං ලිව්වේ. (යාං හෑල්ලකින් මොන සුභ පැතුම් ද නේද? ඒත් මේ ටික ලියන්න කියලා මං දැන් කාලෙක ඉඳන් හිතාගෙන හිටියේ. ඒක නිසා ඔන්න ඔහේ ලියලා දැම්මා. මොකද දැනටත් සමහර අය සමහර වෙලාවට කියනවානේ අර ඔයාගේ මාමා කාරයා කියලා............ :D :D :D )

Wednesday, November 7, 2012

144. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....25


වැසි වළාවන් පසුපස සැඟව ගත් බැවින් අඩසඳෙන් ගලා ආ මඳ එලිය ද අතුරුදන් විය. තුරුපත් සිලිසිය අතරින් හමා ආ සිහිල් සුළඟ ද එක් වරම නතර වූ කල ගත කිලිපෙවූ සිහිලස ද පහව ගියේය. 


'' එදා මුලු දවසම වැස්ස එක දිගටම....අපුච්චයි මායි දවසම අම්මණ්ඩිට තනි රැක්කා. කලින් දවසෙ දවල් මම ඔහෙ නිකමට වගෙ ඉඟුරු කරල් හත අටක් තැම්බුව. එව්වත් හොඳටම වේලිල තිබ්බෙ.එව්වයින් ඉතුරු වෙලා තිබ්බ කරල් තුන හතරක්..හවහ අඳුරු වැටීගෙන එනකොට...දවසම පැල් බැඳගෙන වැස්ස නිසා අමුතුවෙං ආයෙ අඳුරක් වැටෙන්ට කියල එකක් තිබ්බෙ නෑ....බඩ ගින්දර වැඩි නිසාම මම ඉඟුරු කරක් දෙකක් කාල අපුච්චටත් දෙකක් ද කොහෙද දුන්න. ...එදා රාත්තිරියෙ නම් මට හොඳටම නින්ද ගියා...තෙහෙට්ටුවටම...අපුච්ච පහුවදා මට කතා කරනකොට ඒත් මහ පාන්දර....'' 

'' දරුවො..අපි පිටත් වෙන්ට ඕන...වතුර එන්ට එන්ටම වැඩි වෙනව...අද දවල් වෙනකොට මෙහෙටත් අල්ලයි....'' 

" අපුච්චගෙ හැමදාමත් තිබ්බ කිසිදේකට කලබල නොවෙන ගති සොබාව ඒ වෙලාවෙත් උන්දැ ගාව තිබුන...මෙච්චර දෙයක් වෙලත් ඒ ඇස් දෙකේ තිබුනෙ පුදුම නිවිච්ච පෙනුමක්. මයෙත් හිතට ඒ නිසාම කිසිම බයක් හැකක් දැනුනෙ නෑ අයියෙ... ''

'' ගෙදරින් පිටවෙලා මඟට බහිනකොටම මට ඉවෙං වගෙ තේරුනා ආයෙම මෙතනට නම් එන්න වෙන්නෙ නෑ කියල. ඒ එක්කම මම කිසිම දෙයක් ගත්තෙ නෑ. ඒ වගෙ වෙලාවක ජීවිතේ ගැනවත් විස්වාසයක් නැතිව දොට්ට බහිනකොට වෙන මොනව අරං යන්ටද අයියෙ?........අනික එහෙම අරං යන්ට කියල දෙයක් අපෙ පැලේ තිබ්බෙත් නෑ...පැලේ දොරකොඩ ගාවට වෙලා මම ඔලුව උස්සල ආකහේ දිහාවෙ බැලුව. එතකොටත් වහිනව ආකහේ හිල් වෙලා වතුර වැක්කෙරෙන්නැහෙ. අඩි දහයක් දුර පාර පේන්නෙ නැති තරමයි වැස්සයි අඳුරයි හින්ද. '' 

'' ආපහු නොබලාම එහෙම්ම මඟට බැහැල වළලුකරට එරෙන මඩේ මම අඩි දහයක් පහලවක් ගිහිල්ල නැවතුනා. ඔලුව උස්සල ආකහේ දිහාවෙ බලා හිටිය. වැස්ස හරියට ගල් ගහන්න වගෙ. ඇස් කෙවෙනි අස්සට වැහි බිංදු කොච්චර වටුනද කිව්වොත් ඇස් පුපුරු ගහන්ට ගත්ත. '' 

'' දෑස් දෙක පියාන එහෙම්මම බිම බලාගෙන ටික වෙලාවක් ඉඳල මම හෙමිහිට ආපහු හැරුන. අපුච්ච එතකොටමයි ගෙපැලෙ දොරකඩින් එලි බැස්සෙ....දෑතිම්ම අම්මණ්ඩිවත් හරහට වඩාගෙන.....දණිස් යටිනුයි උරෙස්ස යටිනුයි අත් දෙක දාලයි උන්දැව උස්සාන හිටියෙ. '' 

'' අම්මණ්ඩිගෙ එක අතක් පාතට වැටිල ඔහේ එල්ලුනා. අපුච්ච අඩියක් අඩියක් තියන පාරක් පාරක් ගානෙ ඒ අත එහාටයි මෙහාටයි හෙල්ලුනා. බෙල්ල කඩං වැටිල ඔලුවත් එහෙම හෙල්ලුනෙ නැත්තෙ උන්දැ අම්මණ්ඩිගෙ ඔලුව කෙලින් කරල පපුවට හිප්පාගෙන අතකිං තද කොරානත් උන්නු හන්දයි....'' 

'' අපුච්ච මා ළඟට එන්ට ඉස්සරවෙල කඩුල්ලෙං පැනල පාරට ආව .අපෙ ගෙපැල තිබ්බෙ ඩිංගක් විතර උස බිමක. ඒ උස් බිමෙං පාතට බැස්සම අපිට යන්ට උනේ දණක් ඉතර වතුරෙ බැහැල. දවස් දෙහෙකිං විතර හරි හැටි කෑමක් නැති අහේමෙත් එක්ක හිතේ අමාරුවත් එකතුවෙල මම ඒ වතුරෙ පයක් උස්සල පයක් තිබ්බෙ හීනෙං ඇවිදින්නැහෙ. එක පාරක් මම ආපහු හැරිල බලද්දි අපුච්ච නැවතිල මා දිහා බලා ඉන්නව. මාත් එතනම නැවතිල උන්දැ දිහා බලා හිටිය.මෙ වෙනකොට වතුර අපේ ඉණ ගාවට විතර ඇවිල්ල. එහෙම්මම මා දිහා බලා හිටියට මට තේරුණ උන්දැට මාව පේන්නෙ නෑ ක්ක්යල. උන්දැ එක්කො සිහි විකල් වෙලා නැත්නම් බර කල්පනාවක හිටියෙ ඒ වෙලාවෙ. '' 

'' අපුච්චා....... මම එතනම ඉඳගෙන මහ හයියෙං කෑගැහුව...මට පුලුවන් වෙර යොදල කෑගැහුවට යාන්තමට උගුරෙං අඬක් පිට උනා විතරයි කියලත් මට තේරුණා..දාරානිපාත වරුසාවෙ ඉවරයක් නැති සද්දෙ හන්ද අපුච්චට මයෙ බෑඟිරි ගැහිල්ල ඇහුනද නම් මන්ද..ඒත් උන්දෙ එක පාරට නිංදෙං හෑරියා වගෙ මා දිහාවෙ බලල ආයෙම වතුරෙ දණිපනි ගාල එන්ට පටං ගත්ත. ටිකෙං ටික වතුර ගැඹුරු උනා...අපිට ඇලපාර හොයාගන්ටත් බැරි තරමයි. ඇල පාරෙං එගොඩ වෙලා අපුච්ච කොහෙ යන්ට තනනවද කියල මං දැනගෙන හිටියෙ නෑ. ඒත් අපුච්ච කොහෙ හරි මාව එක්කං යයිනෙ ආරක්සාව තියෙන තැනකට ආං ඒ විස්වාසෙ පිට මම කිසි දෙයක් නාහ උන්දැත් එක්කම පස්සෙං ගියා. '' 

'' වතුර පාර එන්ට එන්ටම සැර උනා.අන්තිමට අපුච්ච එහෙම්මම නැවතුනා.. ...මයෙ දිහා බොහොම කණගාටුවෙං වගෙ බලා ඉඳල දිග හුස්මක් හෙලල කිව්ව ..... දුවේ , සුද්දියෙ, මෙතනිං අපි තුං දෙනාට වෙං වෙන්ට වෙනව...අම්මණ්ඩිව කියාපං අපි යන්ට යනවයි කියාල ..."' 

'' මම අම්මණ්ඩිගෙ මූණයි ඇස් දෙකයි අත ගෑව. ......ඒ කරල දෑතිම්ම මූණ වහගෙන ඇඟිලි අස්සෙං බලාන උන්න.අපුච්චි අම්මව මේ වෙන කොට බොහොම සැරේට ගලායන වතුර පාරෙං හෙමීට තිබ්බ. '' 

'' අම්මණ්ඩි වතුර පාරෙ ඔහේ පාවෙලා ගියා...මුලින් හෙමීට ..ඒත් හැඩ පාර මැද්දෑවට සේන්දු උනාම වේගෙ ටික ටික වැඩිවෙල ගිහිල්ල අන්තිමට කුඹුක් ගස් අස්සෙං ඈතටම පාවෙලා....... නොපෙනීම..... යන්ට.... ගියා...... යන්ටම.....ගියා....අයිය...යන්ටම ...ගියා....'' 

ඇය අවසාන වදන් කිහිපය පැවසූයේ වදනින් වදන නවතමින් මෙන්ම එම වදන් උසුරුවීම සිතට මහත් වෙහෙසක් ගෙන දෙන්නාක් මෙනි. ඇගේ සිතෙහි උතුරායන සංවේගය වටහාගත් දඩයක්කාරයා ඈ වෙත තම සුරත දිගු කලේය. 

පෙරදී මෙන් ඉකිබිඳ නොහැඬූ නමුදු ඇය ඔහු වෙත වාරුව යලිදු උරහිසෙහි හිස සඟවාගත්තීය. 

'' අපුච්ච අම්මණ්ඩි නොපෙනී යනව බලා ඉඳල මා දිහාට හැරුන. ඉවරයි..මගේ ජීවිතේ එක යුගයක් ඉවරයි. දුවේ , අපි කොහොම හරි මේ හැඩ පාරෙං එගොඩ වෙන්ට ඕන. ඒක ලේසි වෙන්නෙ නෑ. ඒත් අපි තුන්දෙනා කුරා කූඹියෙකුටවත් හිතාමතා වරදක් කරල නැතිබව ඇත්තක් නම් ඒ වැඩේ එච්චරම අමාරු වෙන්න විදිහකුත් නෑ.යමු. උඹට හොඳට පීනන්ට පුලුවනිනෙ. මගේ ලඟින්ම වරෙන් හොඳද?...... මට මොනව උනත් උඹ ජීවිතේ අනතුරේ දාගෙන මට උදව් කරන්ට එන්ට එපා. මා ගැන නොසලකා උඹ ජීවිතේ බේරගනිං... උන්දැ නැමිල මගෙ නලල ඉම්බ...මට හිතෙන්නෙ උන්දැටත් හිතෙන්න ඇති ඒ මාව දකින අන්තිම මොහොතෙයි කියල...'' 

'' උන්දැයි මායි එක ලඟින්ම පීනුවට හැඩ පාරෙ මැදක් යනකොට වතුර ගලාගෙන ආවෙ නිකං පිස්සු වැටිල වගේ...ඒ වතුර පාරෙ සැරට අපුච්චට මාත් එක්ක පීනන්ට බැරිඋනා.පස්සෙ අපි දෙන්නම ගහගෙන යන්ට පටන් ගත්ත පහළට. දියවැලකට අහු උනා වගේ අපිව ගහගෙන ගියේ. '' 

'' දියවැලකට අහු උනාම කවදාවත් දියවැලට විරුද්දව පීනන්ට එපා කියයි මයෙ අපුච්ච මට කියා දීල තිබුනෙ......දුවේ, සුද්දියෙ හොඳට මතක තියාගනිං, දියවැලකට අහු උනොත් කවදාවත් දියවැල යන අතට විරුද්දව පීනල බේරෙන්ට තනන්ට එපා. ඒකෙං කිසිම පොරෝජනයක් වෙන්නෙ නෑ. නිකං හති වැටිල අන්තිමට දියේ ගිලෙන්ටයි වෙන්නෙ.බේරෙන්ට තියන එකම විදිහ තමයි දියවැල ගහගෙන යන අතට ඒත් එක්කම පාවෙලා යන්ට දීපං...ඒ කරල හෙමීට දිය වැලේ සැර ගතිය අඩු උනාම ඒකෙං බේරිල පැත්තකට වෙලා ඊට පස්සෙ ගොඩට පීනපං..තේරුණා නේද මයෙ දුවේ... ඒ කාලෙකට ඉස්සරයි අපුච්ච මට කියා දුන්නෙ. තේරුනා අපුච්චි.....මම ඒ වෙලාවෙ ඔලුව වැනුව....'' 

'' මම දියවැල දිගේ ගහගෙන ගියා පහලට. අපුච්චිත් ඒ එක්කම එනව මම දැක්ක.ටික වෙලාවකිං දියවැලේ සැර අඩු උනා...අපුච්චියි මායි දිය පාර මද තිබුණු ලොකු ගල් කුලකට ගොඩ වෙන්ට තැනුව...ගල ලිස්සන නිසා වැඩේ ලේසි උනේ නෑ. එක පාරටම මහ විසාල වතුර කඳක් කොහේදෝ ඉඳල ආව. අපුච්චි අන්තිම මොහොතෙ පුලුවන් වෙර දාල මාව ගල් තලාව උඩට තල්ලු කලා. ඒත් ආපු දිය පාරෙ සැරට උන්දැට ගොඩ වෙන්ට ලැබුනෙ නෑ. උන්දැ ගහගෙන ගියා පහලට.අපුච්චී...... මම කෑගැහුව උන්දැ ගහගෙන යනව බලා ඉඳල. එක පාරක්....තව පාරක්...තවත් පාරක්...ඔව්..තුන් පාරක් උන්දැ දිය යට ගිහිල්ල ආයෙම මතු උනා...ආයෙමත් මතු වෙයි කියල මම ඇස් දෙකත් ලොකු කරගෙන බලා හිටියට ආයෙම මම දැක්කෙ කැරකි කැරකි ගලායන වතුර කඳ විතරයි...මයෙ අපුච්ච ආයෙ මතු උනේ නෑ අයියණ්ඩී...'' 

යුවතිය යළි නිහඬ වූවාය. ඇගේ දුක්බර කථාවට සවන් දෙමින් සිටි දඩයක්කාරයාගේ සිතෙහි ඈ කෙරෙහි දැඩි අනුකම්පාවක් මෙන්ම ඇගේ කතාව අවසානයේ ඈ කුමක් අයැද සිටිනු ඇතිද?...තමනට සුපුරුදු ජීවන රටාව වෙනස් කොට ඇය හා සමඟ........ඔහුගේ සිතුවිලි දහර එක්වනම බිඳී ගියේ ඈ යලි කථාව ඇරඹූ හෙයිනි. 

'' එහෙම්මම ගල් ගැහිල මම ඒ ගල් තලාව උඩ හිටිය...කඩාගෙන බිඳගෙන එන වතුර පාර මං හිටපු ගල්තලාවෙ හැප්පෙන්නෙ මහ සද්දෙං...ඒ කරල දෙපැත්තට බෙදිල ගලාගෙන යනව පහළට. පොඩි වතුර රැල්ලක් විතරක් ගල් තලාව උඩට ගලා ඇවිල්ල මයෙ දෙපා තෙමනව...ඔහොම ගල් ගැහිල වගෙ ඒ දිය රැළි දිහා බලා ඉඳල එක පාරටම මම පැන්න අර මහ වතුරට...දැං උනත් මේ මොහොතෙ උනත් අයියෙ මම එහෙම පැන්නෙ ඇයි කියල මට හිතාගන්න බෑ...සමහරවිට ජීවිතේ එපාම වෙලා වෙන්න ඇති...... අම්මණ්ඩියි අපුච්චයි නැතුව මම විතරක් ජීවත් වෙලා මොටද කියල හිතුන වෙන්නත් පුළුවන්...නැත්නම් මැරිල ගියොත් මේ ඔක්කොගෙන්ම සහනයක් වෙයි කියල හිතුන වෙන්නත් පුළුවන්, ඔය මොකක් හරි මම ඒ වෙලාවෙ වතුරට පැන්න එච්චරයි මම දන්නෙ. '' 

ඇය නිහඬව හුන්නීය. ඔහුගේ උරහිසෙහි හිස හොවාගත් අයුරු නිහඬවම හුන්නීය. ඔහු ද නිහඬව හුන්නේය. ඈ වැලඳගත් සුරතින් ඇගේ හිස පිරිමදිමින් නිහඬවම හුන්නේය. 

ඇගේ හද ගැහෙනා රාවය ඔහුටද ඔහු හද ගැහෙනා රාවය ඇයටද පැහැදීලිව ඇසුණු ඒ කල්පාන්තයට මොහොතකට පෙර ඇතිවන්නේ යයි කියන දැඩි නිශ්ශබ්දතාවය බඳු නිහඬතාවයේ වෙලී ඔහු ද ඇය ද තම අනාගතය පිළිබඳ අවිනිශ්චිත හැඟුම් සමුදායක වෙළී කොහොඹ ගස වටා ගුලි ගැසෙන ඝණ අඳුර දෙස හිස් බැල්මෙන් බලා සිටියෝය. 

මතු සම්බන්ධයි........ 

Thursday, November 1, 2012

143. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....24


සත් දිනක් මුලුල්ලේ ඇදහැලුනු වර්ෂාව ඇණහිට ගතව ගියේ දින දෙකක් පමණි. 

පායා මුදුන්වූ දෑකැත්තක් වන් අඩ සඳෙහි අවම වූ ආලෝකය ද වරින් වර ඒ වසා පැතිර ගිය තවමත් ජලයෙන් ගැබ්බර වැසි වළාවන් කරණ කොටගෙන පොළවට පතිත වූයේ බොහෝසෙයින් ඉඳහිටය.ක්‍රමයෙන් රෑ බෝ වී එද්දී කොහොඹ ගස වටා රැව්දුන් මා වවුලන්ගේ කලබැගෑනියද තුනී වී ගොස් එක් වරම මැකී ගියේ හාත්පස දැඩි නිහඬතාවයක ගිල්වමිනි. 

අඩ සඳ වැහි වලාවන්ගෙන් වැසීයාමෙහිදී සිදුවූ අඳුර පැතිරයාමහෝ වවුලන් ගේ කලබැගෑනියෙහි උච්චාවචනය පිළිබඳ ඒ යුවතියට කිසිදු හැඟීමක් නොවීය. ඇගේ ශෝකජනක වූ ජීවිත කථාව දඩයක්කාරයා හා පැවසීමෙහිදී නොවැළැක්විය හැකිලෙස ඒ සිත් පාරවන සිද්ධීන් යළි ස්මරණයට නැගීමෙන් සිත් කැලඹී ගිය ඕ තොමෝ වරින් වර දෙනෙත් පිරී යන කඳුලු වැළැක්වීමෙහිලා නිරර්ථක ප්‍රයත්නය අතැර දැම්මේ අවසන හිස උකුලේ හොවාගත්තී ඉකිබිඳ හැඬුවාය. 

ඈ හඬන දෙස නිමේශයක් හිස හරවා බලාසිටි අප කථා නායකයා නැඟිට ඈ වෙත ගොස් ඈ අසලින් හිඳගත්තේ ඇගේ හිස මුදුව පිරිමදිමිනි. කෙමෙන් වියැකී යමින් තිබූ ඇගේ ඉකිබිඳුම සැණෙකින් තීව්‍ර වී යන්නාක් හා සමඟම ඇය ඔහුගේ උරහිසෙහි හිස සඟවාගත්තීය. 

ඇගේ හැඬුම කෙමෙන් වියැකෙන තෙක් ඔහු සිය සුරතින් ඇගේ හිස පිරිමදිමින් ගෙපිල මත්තෙහි අඩ අඳුරෙහි බිත්තියට වාරුවී හිඳ සිටියේය.මීට පෙර ඔහුගේ මුළු ජීවිත කාලයෙහිම මෙසේ යුවතියක හා ඇඟෑලිව ගතකොට ඇති එකම අවස්ථාව වහා ඔහුගේ මතකයට නැඟින. 

ඒ මා ප්‍රිය සබඳ,ඔබ ද ඉතා හොඳින් දන්නා පරිදි ගම් නායකයාගේ දියණිය සමඟ හීං ඇළේ නැම්මේ රූස්ස කුඹුක් රුක සෙවණෙහි ගෙවූ චමත්කාර ජනක සහ සොඳුරු නිමේශයක් කිහිපය වේ.එහෙත් එදා ඔහු සිත මෙන්ම ගත ද කළඹවා පැන නැඟි හැඟුම් සම්භාරය හා වර්තමානයෙහි සිතෙහි උතුරායන හැඟුම් සමුදාය අතර එක් ප්‍රධාන වෙනසක් දඩයක්කාරයාට නිරායාසයෙන් පසක් විය. 

ඒ එසේමය. එදින සිදුවූ තවමත් ඔහු මතකයෙන් සපුරා බැහැරව නොගිය කිසිදිනෙක එසේවෙතැයි සිතිය ද නොහැකි ඒ සිදුවීම ඒ අවස්ථාවෙහිදී මතු නොව ඉන් අනතුරුව පවා මතකයට නැඟෙනා කල්හි ඔහු සිත මෙන්ම ගත ද නිරායාසයෙන් උණුසුම් වන්නේ මධ්‍යාහ්නයේ දැඩි හිරු එළියට නිරාවරණව නිරුවතින් ගෙපැල අබියස මහ ගල් තලාව මත සිටගත්වනම සැළකිය යුතු පමණ කාළයක් ගත කළාක් පරිද්දෙනි. 

එසේ ගත දවන හිරු එළියට නිරාවරණව බොහෝ වේලා ගත කල නොහැක.එසේම ඒ උණුසුම පවතින්නේද හිරුඑලියට නිරාවරණව හිඳිනා තුරු පමණි.එක්වනම අසුරු සැණින් ඒ හටගත්තාක් මෙන්ම අතුරුදන් ද වන්නේය. 

විසංසන්දනයෙහිදී (In Contrast),මේ අනපේක්ෂිතව මහෝඝයෙහි ඉපිලෙමින් පැමිණ ඔහු විසින් දිවි ගලවාගන්නට යෙදුණු සුනම්‍ය දිගු අඟපසඟින් යුත් ලලනාව හා සමඟ ලෙන්ගතුව ගතකරන කාළය අත්‍යන්තයෙන්ම සම කලහැක්කේ පුන් සඳ අහස මුදුනත ලොව එකලු කරමින් දිදුලන රාත්‍රියක ඔහුගේ ප්‍රියතම ගල් තලාව මත දිගෑදී දෝර ගලායන සඳ වතුරේ නැහැවෙමින් සිත සියලු සිතුවිලි වලින් විනිර්මුක්තව නිරාමිස ආහ්ලාදයක් විඳිමින් ගෙවූ කාලයකටය. 

එදින හා මෙදින අතර වෙනස පිළිබඳව ආවර්ජනයෙහි යෙදෙමින් ස්වයං විමර්ශනයක යෙදෙමින් ඔහු කල් ගෙවන අතර ඇගේ ඉකි බිඳුම් හඬ කෙමෙන් අඩුවී අවසන වියැකී ගියේය. 

අවසන ඇය නිශ්ශබ්දතාවය බිඳියේ ඔහුගේ උරහිසෙහි හොවාගත් සිය හිස නො ඔසවාමය.උරහිසට තද කොටගෙන සිටි මුව පමණක් මඳක් මෑත් කොටගත්තී,ඕ තොමෝ සිහින් එහෙත් පැහැදිලි ස්වරයෙන් ඔහු ඇමතුවාය. දෑස් පියාගත්වනම වුවද අවට පරිසරයෙන් නැඟෙන ශබ්දයන් කෙරෙහි සංවේදි වෙමින්ම දඩයක්කාරයා ඇයට සවන් දුන්නේ ඇගේ හිස පිරිමැදීම නොනවත්වමිනි. 


''මේ අනෝරා වැහි කෝඩෙ පටන් ගන්ට දවස් දෙකකට ඉස්සරවෙලා මයෙ අම්මණ්ඩි ලෙඩිං වැටුන. ඊට කලියෙං මං දන්න කාලෙක ඉඳලම උන්දැට ඉහෙං බහින ලෙඩක් අසනීපයක් තිබුණෙ නෑ...ගහක් ගලක් වගෙ උන්නෙ මයෙ අම්මණ්ඩි...'' ඈ නැවතත් ඉකි බිඳින්නට වූවාය. 

ඇගේ හැඬුම අවසන් වන තෙක් ඔහු උපේක්ෂා සහගතව පොරොත්තු වූයේ කාලාන්තරයකට ඉහත මියගිය සිය මෑණියන් පිළිබඳව සොඳුරු මතකයන් සිතට ගලාඑන අතරදීය. 

මෙවර ඕ තම හඬ අවදි කලා ඉකිබිඳුම වියැකී යන්නට ද පළමුවය. වරින් වර නැඟෙන ඉකිබිඳුම් අතරින් ඇසෙනා ඇගේ සොවින් මිරිකුණු හඬට සවන් දෙමින්ම ඔහු දෑස් පියාගත්තේය. 

''අපෙ අපුච්ච ලෙඩ රෝග....ඒ වගේම වෙදකං ගැන හොඳට දැනගෙන හිටිය.ඒත් මේ පාර අම්මණ්ඩිට හැදුන ලෙඩේ ගැන උන්දැත් අඳෝ සංසාරයක් දැනගෙන හිටියෙ නෑ.'' 

'' අනික මේ මුරුගසං වැහි කෝඩෙ...අපුච්ච දන්න රහස් බෙහෙත් පැළෑටි තියන නිල්ගල කන්දට යන්ට දෙතුන් පාරක්ම මහ වැස්සෙම එළියට බැහැලත් ආපහු ආව ගල්කෙම ඇල මංකඩින් එගොඩ වෙන්ට බැරුව දෙගොඩ තලා යන වතුර හින්ද...මාත් උන්දැත් එක්ක ගියා ඇල මංකඩට...අපුච්චට යස අගේට පීනියහැකි.ඒත් උන්දැ මඩ පාටට ගස් කොලං පාවේගන එන මහ වතුර කඳ දිහා බලා ඉඳල පපුව ඔක්කොම කඩාගෙන යන්ට වගෙ දිග හුස්මක් හෙලල මා දිහා බලල කිව්වෙ මෙච්චරයි.ඒ කියනකොටත් උන්දැගෙ ඇස් දෙකෙන් කඳුලු කඩා හැලුන කියල මට ඉවෙං වගෙ තේරුනට මහ වැස්ස හින්ද මම ඒ කඳුලු දැක්කෙ නම් නෑ අයියෙ... '' 

''මේ තමයි ලබා උපං හැටි මයෙ දුවේ...නිල්ගල කන්දට යන්ට මට අද වරං නෑ...පීනල එගොඩ උනත් මේ වතුර වැඩිවෙන හැටියට මම ඉත්තේරුවෙම්ම දන්නව මට ආපහු එන්ට බෑ..කරන්ට දෙයක් නෑ...අපි යමු ආපහු, '' 

'' ඒ වෙනකොට අම්මට හරි සිහියක් පතක් තිබුනෙ නෑ...උන්දැ ඔහේ ඇස් බාගෙට ඇරගෙන වහල දිහා බලාගෙන හිටිය. උන්දැගෙ ඉහ අද්දර පත්තු වෙච්චි පොල්තෙල් පාන බිත්ති අස්සෙං විඩෙං විඩේ හමාගෙන ආපු හුළං රැල්ලක් රැල්ලක් ගානෙ නිවෙන්ටම වගෙ අඩු වෙලා ගිහිල්ල ආයෙම එලිය විහිදුවල දැල්වුනා. '' 

අඩසඳ වලාවකට මුවාවී හාත්පස අඳුර ගලා ඒමද තවමත් හරිහැටි නොවියළුනු හරිත තුරු පතර රැඳි පිණි බිඳු වල සිහිලස උකහාගත් සිහිල් සුළංරැල්ලක් හමාවිත් ඔවුන්ගේ සිරුරු හිරිගඩු නැංවීම ද සිදුවූයේ එක් වරමය. 

උරහිසට වාරුවූ ඇගේ හිස සෙමෙන් ඉවතට කල ඔහු නැඟීසිටීමට තැත් කළේය. එක්වනම කථාව නැවැත්වූ ඇය සිය විසල් දෙනෙතින් ඔහු දෙස විමසුම් බැල්මක් හෙලුවාය.සිහින් සිනහවකින් ඇය දෙස බලා සන්සුන්ව හිඳින ලෙස සන් කල දඩයක්කාරයා ඇගේ හිස සෙමෙන් බිත්තියට වාරු කොට නැඟී සිටියේය. 

ගෙතුල වූ පෙට්ටගම මත අතුරා තිබූ උදෑසන දෙකඩ කල ශ්වේත වර්ණ රෙදි කඩින් ඉතිරි කොටස රැගෙන පැමිණි හේ ඒ යුවතියගේ උඩුකය ආවරණය වන සේ දැවටීය. 

කෘතඥතා පූර්වක මන්දස්මිතියකින් ඔහුට සංග්‍රහ කල යුවතිය ක්‍රමයෙන් දැඩිවන ශීතයෙන් වැළකෙනු වස් රෙදි කඩ තුලට තවත් ගුලි වූවාය.ඈ අසලම පිළෙහි හිඳගත් නමුදු දඩයක්කාරයා ඇය තමා වෙතට ළංකොටගැන්මට උත්සාහයක් නොදැරුවා සේම යුවතිය ද පෙර මෙන් ඔහු වෙත තුරුළු වීමට කිසිදු උත්සාහයක් නොගත්තී දෑත් පොරවාගත් වනම බිත්තියට හේත්තු වූ ලෙසම නිසොල්මන්ව හුන්නීය. 

මේ වන විට නිශාචර සත්වයින්ගේ නාදයන්ද වියැකී ගොස් වන පෙත ඝණ පොරෝනයකින් ආවරණය කලාක් බඳු දැඩි නිශ්ශබ්දතාවයක වෙලී පැවතිණ.මේ ගැඹුරු නිශ්ස්ශබ්දතාවයෙහිදී දඩයක්කාරයාගේ හෘද ස්ඵන්දන රාවය ඔහුට කොපමණ තදින් ඇසුණේ ද යත් ඒ යුවතියට ද ඇසෙන්නේදැයි සැක හැර ගනු උදෙසා ඔහු ඇය දෙස හිස නොහරවා නෙත් කොණින් බැල්මක් හෙළීය. ඇය ට ඒ ඇසුණි ද නැද්ද කෙසේ වුව ද ඕ උඩුකය ආවරණය වූ රෙදිකඩෙහි ඇකිළීගත් වනම හුන්නී දෑස් පියා ගත් වනමය. 

ඔහු දෑස් ඉවතට ගැනීමට පෙරම ක්ෂනයකින් දෑස් විවර කල ඈ තම කථාව යලි ඇරඹූයේ කථාව ඇරඹීමට කිසිවෙකුගෙන් සංඥාවක් ලැබෙන තෙක් පොරොත්තුව සිට ඒ අපේක්ෂාවන් ඉෂ්ඨ වූවාක් මෙනි. 

''එදා රෑ නම් දෙකින් එකක් වෙයිමයි කියල මට නිකම් ඉවෙන් වගෙ හැඟුන. ඇහැරල ඉන්ට කොච්චර උත්සාහ කලත් දන්නෙම නැතුව මට නින්ද ගිහිල්ල තිබ්බ...වැඩියම හිතේ අමාරුවටමයි....අපුච්ච මගෙ උරහිසෙං අල්ලල හොල්ලල මාව ඇහැරවනකොට යාන්තමට එළිය වැටීගෙන එනව...එළිය කිව්වට ඒ එළියක්මත් නෙවෙයි..අහස වහ ගත්ත කළුම කළු වැහි බීරිම මැද්දාවෙං යාන්තමට බේරිල එන මලානික මූසල එළියක්...අම්මණ්ඩි දිහාවෙ බලන්ට මට ඕන උනේ නෑ අයියා...මම දැනගෙන උන්න උන්දැ මියෑදිල කියල....අම්මණ්ඩි ලෙඩිං වැටුනු දවසෙමයි මයෙ හිත කීවෙ මෙදා පාර නම් ලොකු විනසයක් වෙලා තමයි කෙලෝරක් වෙන්නෙ කියල.ඒත් එහෙම දෙයක් වෙයි කියල හිතිං හිතාගෙන ඉන්න එක එකක්.ඇස් පනා පිට තමං හිතපු දේ...තමං බලාපොරොත්තු වෙච්චි දේ ඇත්ත උනහම මනුස්සයෙකුට මොනව උනත් ඒක දරන්ට අමාරුයි. '' 

මුළු මහත් විසල් ලොවෙහි මිනිස් වර්ගයාගෙන් ශේෂව ඇත්තේ ඇය ද ඔහු ද පමණක්මය යන සිතුවිල්ල එක් වරම දඩයක්කාරයාගේ සිතට නැඟුනේ කුමක් හෙයින් ද යන්න ඔහු නොදත්තේය.එහෙත් මෙතෙක් කාලයක් මුළුල්ලේ කිසි දිනෙක ඔහු සිතට එවන් ප්‍රේමණීය (Romantic) හැඟීමක් නොනැඟුනු බැවින් එක් වරම විපිලිසර වූ දඩයක්කාරයා වහා යුවතිය දෙස හිස හරවා බැලූයේ තම වතෙහි පළවූ විපර්යාසය ඇයටද හැඟුනිදැයි දැනගැන්මටය.එහෙත් ඇය හිස් බැල්මෙන් බලාගත්වනම සිටියේ ගෙමිදුල කැටිගැසුනු ඝණ අඳුර දෙසය. 

''අම්මණ්ඩි දෙපැත්තෙ ඉඳගෙන අපුච්චයි මායි එදා දවසම හිටිය ඔහේ බලාගෙන...අයිය විස්වාස කරනවද මයෙ මේ ඇස් දෙකෙං එදා එක කඳුලු බිංදුවක්කත් ගලාගෙන ගියේ නැහැ කිව්වහම...අද මම අඬපු විදිහට අයියට පුදුම ඇති එහෙම කියනකොටත් ඒත් ඒක තමයි ඇත්ත... '' 

පිළෙහි හිඳගත්වනම ඈ නොනවත්වා කථාකරගෙන ගියාය. දඩයක්කාරයා ඈට සවන් දෙමින් පිළෙහි වැතිර සිටියේය.මේ දර්ශනය එනම් පුරුෂයෙකු හා ස්ත්‍රියක එකිනෙකා අසළ අසුන්ගෙන සුහද කතාබහක නියැළෙනු එසේත් නොමැත්තේනම් එදින ඔවුන් මුහුණ පෑ අපූර්ව හෝ සාමාන්‍ය සිදුවීම් පිළිබඳව අන්‍යෝන්‍ය අදහස් හුවමාරුවක නියැලෙනු යනු ඉතාම සාමාන්‍ය, දුටුවෙකු කිසිසේත් නැවත ආපසු හැරී බැලීමට හෝ ඒ පිළිබඳව තව දුරටත් විභාග කිරීමට පොළඹවන සුලු දර්ශනයක් නොවන බව විශේෂයෙන් ඔබට කිවයුතු නොවන බව මම දනිමි මා හිතවත / හිතවතිය. 

ඒ එසේවුවද දඩයක්කාරයා එදින පිළෙහි වැතිර ඇගේ කථාවට සවන් දෙමින් හුන්නේ සිතෙහි මොහොතින් මොහොත නැඟී එන උද්වේගයන් සමූහයකට බඳුන් වෙමිනි.තමන් විසින් උදෑසන දිවි ගලවාගත් තමා පසෙක පිළෙහි අසුන්ගෙන හිඳිනා මේ යුවතිය තම ජීවිතයෙහි කොටසක් බවට පත්වීමට නියමිත බව ඔහුට ඉඳුරා හැඟෙන්නේය.ඇය කෙරෙහි බලවත් අනුකම්පාවක් මුසුවූ සෙනෙහෙයකට බොහෝ සෙයින් සමාන වූ චිත්තවේගයක් තම සිතෙහි එක් මෙතෙක් තමන් ද නොදැන සිටි පරිශ්‍රයක ක්ෂුද්‍ර මල් කැකුළක්වැ ඉපිද මේ ගතවන මොහොතක් පාසා අනවරතව විකසිතව වර්ධනය වෙමින් තම සිත පුරා සුගන්ධය පතුරුවමින් සිත තම ආධිපත්‍යයට නතු කර ගැන්මෙහි ලා බලවත් පරිශ්‍රමයක නිරත වන බව ඔහු කිසිදු සැකයෙකින් තොරව එකහෙලා දැන සිටියේය. 

එහෙත් ඔහු නොදැන සිටි කාරණය වූයේ, නැත, වඩාත් නිවැරැදිව කිවහොත් ඔහුට තීරණයක් ගැන්මට නොහැකිවූ කාරණය වූයේ ඒ බලපෑමට ඒ හැඟීමට ඉඩ දීමට ඔහු සූදානම් ද යන වගයි.මෙතෙක් නිදැල්ලේ සිතූ මනාපයේ ගෙවූ ජීවිතය,..... හරිත වන් තුරු ගොමු අතරින් කණට ඇසෙන නෑසෙන පමණ මුණු මුණුවක් දසත පතුරමින් ලැසි ගමනින් ගලා බස්නා නිල් දිය දහරක් මෙන් ගලා ගිය ජීවිතය..එක් වරම අසුරු සැණෙකින් වැසි රහිතව නිල් අහසින් පතිත අශනි දහරක් මෙන් මේ පැමිණි විපර්යාසයට ඉඩ දීමට ඔහු සූදානම් ද යන බලවත් ලෙස ව්‍යාකූල වූ ගැටළුව තියුණු සැතක් මෙන් හදවත පාරද්දී ඔහු ඇගේ,ඒ යුවතියගේ කථාවට සවන් දෙමින් ගෙපිළ මත වැතිර හුන්නේය. 

මතු සම්බන්ධයි........ 

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...