මේක මේ සතවර්ස වලින් කිව්වොත් කාලකට එහා පැත්තෙ වෙච්චි දෙයක්...මම ඒ කාලෙ වැඩ කරපු ආයතනයෙන් ඔන්න එක පාරටම ගහෙං ගෙඩි එන්නැහෙ කියාපි බොලාට බොලාගෙ රස්සාව හරියට කොරන විදිහ ගැන වැඩිදුර පුහුණුවක් දෙන්ටයි අපි මේ තනන්නෙ ඒ නිසාවෙන් ලෑස්ති වෙයල්ල ලබන සුමානෙ තුම්මාසෙක පුහුණුවකට යන්ට කියල.සේකියුලර් එක ආහම ඔන්න අපි දනිපනි ගාල ගිහිල්ල බැලුව නෝටිස් බෝට් එකේ. අපි හතර දෙනෙක් අපේ වැඩපලෙං තේරිලා...මයෙ නම තියනව මුලිම්ම...
මයෙ ප්‍රාණ සම මිත්තරයත් තේරිල වැඩේට... කුමාර….එදා රෑ කෑම කන ගමන් කට්ටිය කතාව ඒ ගැන තමයි...
" මොකක්ද බං මේ ලොක්ක අර කිව්ව කතාව?...රස්සාව හරිහැටි කරන්න පුහුණුවක් දෙන්නයි හදන්නෙ කිව්වෙ?..එතකොට මෙච්චර කල් අපි මේ රස්සාව කලේ වැරදි විදිහට කියලද ඒ කියන්නෙ?මට හිතෙනව මේක දමල ගහල නිකං ඉන්න….."
අපෙ ඔය ලොක්ක හිටපු ගමං ඔය වගෙ කතා කියනව..සිරාද නිකං ජොලියටද කියල හිතාගන්නවත් බැරි සයිස් එකට...
එක පාරක් ඔන්න දීප වියාප්ත මහා වැඩ වර්ජනයක් ප්‍රකාසයට පත් කරල තිබ්බ එක් දින.....අපිටත් ඕකට සහබාගි වෙන්ටය කියල අපෙ වෘත්තීය සමිතියෙන් දන්නල තිබ්බ.සහබාගි වෙනවද නැද්ද කියල අපි හිටියෙ දෙගිඩියාවෙං මොකද ඔය වැඩ වර්ජන ගැන අපෙ ඒ තරම පැහැදීමක් තිබ්බෙ නෑ. ඔය අතරෙ අපෙ එකෙක් හිටිය ලොක්කට පේන්ට බැරි, වැඩක් බාර දුන්නොත් කවදාවත් හරියට කරන්නෙ නෑ ....ලෝක කම්මැලිය කියල ලොක්ක ඌට පළු යන්ට බැන බැන හිටියෙ. ඔන්න වැඩේ හැටි කියන්නෙ මේ මනුස්සය මූලිකත්වය ගත්ත මේ වැඩේට. වර්ජනේට සහබාගි වෙන්ටම ඕනමය කියල එක හෙලා කියා හිටිය...පොලවෙ පස් කෑව. අන්තිමට " ආ, එහෙනං උඹම ගිහිල්ල ලොක්කට කියාපංකො අපි හෙට වර්ජනේ කරනවයි කියල " එහෙම කියල අපි ඌව පිටත් කලා ලොක්කගෙ ගෙදරටම.
ඔන්න මූත් ගියා " හා, මම කියන්නං මොකද එයාට බයේද?...වැඩ වර්ජනය කිරීම අපේ මූලික අයිතියක්… " ඔන්න ඔහොම කියව කියව...
ඕන්න හැරෙන තැපෑලෙං මූ ආපහු ආපි ගියාට වැඩිය ඉක්මනට. " මොකද බං උනේ ?...උඹ කිව්වද? ලොක්ක මොකද කිව්වෙ?....." අපි ඇහුවට මූ නෝ කතා නෝ සිනා.කෙලින්ම කාමරේට ගිහිල්ල දොර වහ ගත්ත. ටික වෙලාවකිං උගෙ හොඳම යාලුව යවලයි අපි විස්තරේ දැන ගත්තෙ. හිනා වෙලා මැරුන අපි ඒක අහල.
ඔන්න මු යනකොට ලොක්ක සාලෙ ඉඳගෙන ඉන්නවලු පත්තරේකුත් බල බල. මූ වීරය වගෙ ලඟටම ගෙහුං කිව්වලු " බොස් අපි හෙට ස්ට්‍රයික් කරන්නයි හිතාගෙන ඉන්නෙ " කියල.ලොක්ක පත්තරේ පැත්තක තියල කන්නාඩිය එහෙම පාත් කරල මූ දිහා බලාගෙන හිටියලු ටික වෙලාවක්. " මචං....ලොක්කගෙ ඒ බැලිල්ල තමයි බං කාල ඉන්ට බැරි. අන්තිම නෝන්ඩි විදිහට මයෙ දිහා බැලුවෙ. " ඌ ඔය කතාව කියපු උගෙ යාලුව එක්ක කියල තියනව. රයිට්. ලොක්ක ඊලඟට කියපු ටික කියන්ට ඌට දෙන්ට වෙනව නමක්. හරි අපි කියමු මහින්ද කියල...
ලොක්ක කණ්ණාඩිය උඩිං මූ දිහා බලාගෙන ඉඳල කට කොනකිං හිනා උනාලු.ලොක්කගෙ තියනව එහෙම හිනාවක්. ආය හොදි ඕන නෑ...
" ආ, මහින්ද....ඇත්තෙයි මහින්ද?....හෙට ඉඳල වර්ජනේ කරන්ටද යන්නෙ...ආ, හොඳා හොඳා..බොහොම හොඳා..ඒත් මහින්දට කියන්ට මහින්ද මම මේ වෙනකල් හිතාගෙන හිටියෙ මහින්ද මේ ඔෆිස් එකට ආපු දවසෙ ඉඳලම වැඩ වර්ජනය කරලයි ඉන්නෙ කියල...."
කොහොමද අපෙ ලොක්ක?...එල පවුසි නේද?
මහින්දට ඊට පස්සෙ ලොක්කගෙ නම කිව්වත් ඇති දත්කූරු කන්නෙ බර බර ගාල….
හරි ඒ ලොක්කගෙ කතා මදෑ ….ආයෙම අර අපෙ පුහුණු කේස් එකට...ඉතිං මගෙ යාලුව...උගෙ නම කුමාර....එහෙම කිව්වනෙ...ලොක්ක මොකක්ද ඒ කියපු කතාව මට නං යන්ට හිතෙන්නෙත් නෑ ඔය කෝස් එකට අරකද මේකද කියල.
මම කිව්ව " යකෝ පිස්සු නොකෙල යමං ..මොර මල්ලකුත් හම්බ වෙන එකේ..කොළඹ පැත්තෙ මාස තුනක් ඉඳල ඔය කෙල්ලෙක් දෙන්නෙකුට පාණියක් කාරිය දාල එමු " කියල. මොර මල්ල කියල අපි ඒ දවස්වල හැඳින්නුවෙ හදිසි ධන ලාභ, ඔය මේ ලොතරැයි වගෙ එව්ව නම් නෙවෙයි . එව්ව කොහෙද අපිට ඇදෙන්නෙ....මම හිතන්නෙ මම දැනට අරගෙන ඇති මතක ඇති කාලෙක ඉඳල ලස්සම දෙහෙකට කිට්ටු වෙන්ට රුපියල් වලිං ටිකට්..ලොකුම ගාන කීයද දන්නවද ඇදිල තියෙන?...පන්දාහයි..පන්දාහයි...ඒකත් ඇදුනට වඩා හොඳයි අනෙ අම්මප....අතිං කාල හරක් බලන වැඩක් ඔන්න මට උනේ.ඕක උනේ අපි බැඳපු අලුත. නුවර ගිය වෙලාවක මාකට් එක ඉස්සරහ ලොතරැයි පලෙං ඔන්න මාස ගානක ටිකට් බැලුව ඇදිලද කියල එකිං එක,.....හප්පා. එතන ටිකට් වල නොම්බර බලන එකත් එක විදිහක යුද්දයක්...පොරකන්ඩ ඕන ඒකටත්.
ඔන්න මා ළඟ තිබ්බ එක ටිකට් එහෙකට ඇදිල තිබ්බ එදා පංදහක්..අම්මප මට විස්වාස කරන්ටත් බෑ..ඒ වගෙ ගානක් ඔය මට ඇදුනමයි.ඒ දවස්වල පංදාහ කියන්නෙ සෑහෙන ගානක්. ටිකට් එක පෙන්නුවම ඔන්න එතන එලවුන්ස් කරන පොරක් ඉන්නවනෙ මයික් එක කටේ ගහගත්තු ගමං. ඕං ඌ ලෑස්ති වෙච්චි අර නුවර ටවුමෙ දෙනෝ දහක් මැද ගිණි මද්දහනෙ මගෙ විස්තර කියන්ට. හතර විළි ලැජ්ජාවෙ පස්වෙනි එක. මේ ඕයි වචනයක් වත් කියනව එහෙම නෙමෙයි ඔන්න. තොගෙ බෙල්ලත් මිරිකල මගෙ බෙල්ලත් මිරිකගෙන මම මැරෙනව මෙතනම නොකිව්වයි කියනට එපා ඔන්න..ඔන්න ඔහොම කියල තර්ජනේ කරල තමයි යන්තම් ඒ විකාරෙ නවත්ත ගත්තෙ.
ඔන්න යන්තං වදෙං පොරෙං පන්දාහත් අරගෙන එතනිං සේප් උනයි කියමුකො.ඔන්න දැං අපි දෙන්න යනව දළඳා වීදිය දිගේ උඩහට. ඔය දවස්වල මම ෆ්‍රිජ් එකක් අරගෙන තිබ්බ සිංගර් එකෙං වාරික දහයකිං ගෙවන්ට. පොඩි පොළියකුත් ගෙවන්ට වෙනව ඒකට. ඔය නිසා මම හිතාගෙන හිටියෙ මේ නොහිතූ වීරූ හදිසි දන ලාබෙං දෙයියනේ කියල ඒ ලෝං එක ගෙවල හිට අහවරයක් කරල දාන්ට. ඒකත් හිතට එක නිදහසක් නෙව.
" මේ ඒයි....."
ඒ අපේ උන්දැ…
" යස් මැඩම් ….මොකද? "
" දැං මොකද ඔය පන්දාහට කරන්න හිතාගෙන ඉන්නෙ?...."
" ඇයි එහෙම අහන්නෙ?..."
මට ඇල්ලුවෙ නෑ මේ එන පිළිවෙල…
" මම හිතුවෙ අර ෆ්‍රිජ් එකේ අපි ගෙවන්ට ඕන සල්ලි ටික ගෙවල ඉවරයක් කරල දාන්ට එතකොට ඒක ඉවරයිනෙ. "
" හ්ම්ම්ම්ම්...එහෙමද?....."
ඔන්න ඊට පස් සෙ මෞන ව්‍රතය රකිමින් ගෙවුන විනාඩි පහක් හයක් තරම...
" එහෙම නෙවෙයි ඒයි…"
ඔන්න ආයෙමත් ඒ විඩේ සද්දෙ බොහොම අඩු කරල...
" එහෙනං කොහොමද ඒයි?....."
මමත් ඒ විදිහටම ඇහුව රහසක් කියනව වගේ.
" විහිළු නෙවෙයි ඒයි...අපි මෙහෙම කරමු…"
මම මොකවත්ම කිව්වෙ නෑ. උන්දැගෙ ඔය අයිඩියාස් ගැන බොහොම හොඳට දන්න නිසා මම වචනයක් වත් කිව්වෙ නෑ.මම මොකවත් කිව්වය නැතුවය කියල එයයිට ගානක් නෑ.කතා කරගෙන ගියා එක දිගටම.
" ගිය සුමානෙ ස්වර්ණ මහල් එකේ මම දැක්ක හරිම ලස්සන බ්‍රේස්ලට් එකක්.මෙ සල්ලි අපිට නොහිතපු වෙලාවකනෙ මේ හම්බ උනේ. කොහොමත් ෆ්‍රිජ් එකට අපි හිතාගෙන හිටියෙ ඔයාගෙ පඩියෙං වාරික විදිහට ගෙවන්ටනෙ. ඒක ඒ විදිහට කරමු. මේ හම්බ උන සල්ලි වලින් අර බ්‍රේස්ලට් එක ගම්මු.ඒක කොහොමත් ඉතිරියක්නෙ. "
ඔයයිගෙ තර්ක ඔහොම්මම තමා. ආය එව්ව බිඳින්ට ලේසි නෑ. බොහොම තර්කානුකූලව තමයි අදහස් ඉදිරිපත් කරන්නෙ.මමත් ඉතිං කම්පනා කලා. ඇත්ත තමයි මුන්දැ කියන කතාව. මේ හදිසි ධනලාභෙන් අර ණය ගෙව්වොත් ඒක එතනිං ඉවරයි. ඒත් ඔය මොනවහරි රත්තරං බඩුවක් ගත්තොත් දෙයියනේ කියල ඒක ඉතුරුවක්. අතේ සතේ නැතුව හිඳිලම ගිය වෙලාවට බැංකුවෙ තියන්ඩ හරි බැරුවය....
" හා එහෙනං යමුකො...."
මම කිව්වා…
අම්මද බොල බලන්ට එපාය හිනාව. වොට් දාහෙ බලුප් එකක් පත්තු කලා වගෙ...
" ආ..මිස් එන්න එන්න….."
සාප්පුවෙ හිටපු කොලුව අපෙ උන්දැව පිළිගත්තෙ කාලෙකට පස්සෙ නෑනව දැක්ක මස්සිනා වාගෙ.
" හරි වැඩේනෙ මිස් ..එදා මිස් බලපු බ්‍රේස්ලට් එක නම් දැන් නෑ. ඒත් මේ ඊටත් වඩා ලස්සන තව බැච් එකක් ආව...."
ඔන්න වීදුරු පෙට්ටිය ඇරිල මෙරූන් පාට විල්ලූද පෙට්ටිය එළියට ආව.බ්‍රේස්ලට් එකින් එක ඒකෙ පිළිවෙලට අඩුක් කරල..
" අනේ ඒයි ....මේක ලස්සනයි නේද? "
" හ්ම්ම්ම්...කොච්චරක් වෙනවද ඕක?..."
ඒකනෙ වැදගත් ප්‍රශ්නෙ...
කඩේ එකා බ්‍රේස්ලට් එකේ එල්ලල තිබ්බ ලේබල් එකක් හරවල බලල කැල් එකක් අරගෙන ඔබන්ට පටං ගත්ත.
" මිස් මේක රුපියක් අටදාස් හාරසීයක් වෙනව. "
හප්පච්චියෙ ඉතිං මොකේද දං වළඳන්නෙ?...හදිසි ධන ලාභය ඔක්කොමත් රුපියල් පන්දාහයි.
" ආයෙම ටිකට් එකක් ඇදෙනකල් ඉන්න තමයි වෙන්නෙ. "
එලියට බැහැල මම කිව..
" හ්ම්ම්ම්.... "
එයා කිව්ව අහක බලාගෙනම…
" මේ ඕක දැං ඕනමද?....."
මම එතනම නැවතිලා ඇහුව. එයා යන්තමට හිනා උනා..
" ඉතිං ඒ උනාට සල්ලි නෑනෙ.......නේද? "
" මගෙ පොතේ සල්ලි ටිකක් ඇති. ඕනම නම් ඒකෙං ඉතුරු ගාන අරගෙන ගමු…"
" හා........"
එයාට හිනාගියා.
" ඒත්....ඒ ටික අරගෙන කමක් නැද්ද?....එච්චරම නේද තියෙන්නෙ හදිස්සියකටවත්…"
" කමක් නෑ. මේකත් හදිස්සියක් තමයි...."
පන්දාහක් ඇදිල අතිං කාල හරක් බලන වැඩක් මට උනේ කියල මම කලින්ම කිව්වෙ ඒකයි. මොර මලු ගැන කියන්ට ගිහිල්ලනෙ මේ රටේ නැති හෑලි කියන්ට උනේ...හරි ආයෙම මොර මලු ගැන. මොර මල්ලක් හම්බ වෙනව කියල අපි ඒ දවස්වල කිව්වෙ හදිසි ධන ලාභ වලට. අපේ ඔය වාර්ෂික වැටුප් වර්ධක එහෙම එන්නෙ අවුරුද්දකට විතර පස්සෙ ඒකත් හෙඩ් ඔෆිස් එකට ලියුම් තුන හතරක් යැව්වට පස් සෙං පහු. හැබැයි වර්ධකේ අනුමත වෙල ආහම ඇරියසුත් එක්ක හම්බ වෙනව. එහෙම එව්වට තමයි අපි කිව්වෙ මොර මළු කියල. මේ කෝස් රාජයා කොරන කොට කොළඹ නැවතිලා ඉන්ට වෙන නිසා ඒ සම්පූර්ණ කාලසීමාවටම ගෙව්ව අපිට යැපීම් දීමනා..සබ්සිස්ටන්ස් නොහොත් පරණ ව්‍යාවහාරයෙ හැටියට ඒකට කිව්වෙ බටා..ඒකයි මම අර කලින් කිව්වෙ මොර මල්ලක් හම්බ වෙනව කියල මේ වැඩේට කියල...හෙහ්, හෙහ්,
ඉතිං ඔන්න මමයි කුමාරයි ඔන්න ආව කොලඹ අර පාඨමාලාවට. පැවැත්වුනේ රත්මලාන කාර්මික විද්‍යාලයෙ. ඉදිකිරීම් පුහුණු සහ සංවර්ධන ආයතනය තමයි පාඨමාලාව සංවිධානය කලේ.කුමාරගෙ නැන්දල කට්ටියක් ඉන්නව බොරලැස්ගමුව කිට්ටුව. මිනිහයි මායි එහෙ නැවතුනා. රත්මලානට යන්ටත් ලේසියි නෙව. දෙහිවල හන්දියට විනාඩි විස්සයි . එතන ඉඳල රත්මලානට ඒත් තව විනාඩි පහළවයි.
මාසයක් විතර කෝස් එක කරගෙන යද්දි අපිට ආරංචියක් ආව ඔන්න අපේ යාලුවෙකුගෙ තාත්ත නැතිවෙලයි කියල. මලගෙදර ඇවිදිල්ල හිට පොතුහැර. දන්නවනෙ නේද?.කුරුණෑගලයි පොල්ගහ වෙලයි අතර මැද්දෑවෙ.ඔන්න එක දවසක් නිවාඩු ඉල්ලගෙන අපි දෙන්න ඒ කිව්වෙ කුමාරයි මායි ගියා මලගෙදරට සහබාගි වෙන්ට. කුරුණෑගල පොල්ගහවෙල පාරෙනුත් හැරිල තව කිලෝ මීටරයක් තරම යන්ට ඕන ගම මැදට. දවල්ට එහෙම්ම කාල ඔන්න අපි දෙන්න ආව පාරට අපහු කොලඹ එන්ට.
පාර අයිනෙ බස් හෝල්ට් එක කිට්ටුවම තියනව තේ කඩයක්, අපි දෙන්න බලාගෙන හිටිය කඩේ මොකක් හරි කලබලයක්. කුරුණෑගල් පැත්තට යන බස් වලින් බහින අයත් ඔන්න කඩේට ගොඩ වෙනව. මිනිස්සු කාණ්ඩ ගැහිල බොහොම කලබලෙං මොනවද කතා කරනව.
" ඒයි මොකක්ද කේස් එකක් වගෙ. "
ඔය භීෂණය පටන් ගත්තුම කාලෙ වගෙ.එහෙම් මෙහෙන් ඝාතනයක් දෙකක් උනා විතරයි. පූර්ණ භීෂණය පටන් ගත්තෙ තව පහුවෙලා. ඒත් හිතේ සැකේ නිසා අපි කඩේ ගාවට කිට්ටු කලා.
" මේ... මොකද වෙලා තියෙන්නෙ? "
අපි ඇහුව එතන හිටපු අපේ වයසෙ වගෙ එකෙක්ගෙං
" විජයට වෙඩි තියල....."
" නෑහ්!!!!!!..."
" අද දවල්......දැං ඔය රේඩියෝ එකේ කියන්නෙ……"
විජය කුමාරණතුංග.....මම මුලින්ම බලපු විජයගෙ චිත්‍රපටය තුෂාරා....ඒත් මට හොඳින්ම මතක තියෙන්නෙ වසන්ත ඔබේසේකරගෙ දියමන්ති..ඊට පස්සෙ බඹරු ඇවිත් පාර දිගේ ....
විජය දේශපාලනයට එකතු උනාම මුලින්ම මගෙ හිතේ ඇති උනෙ සතුටක්. විජය යාපනේ ගිහිල්ල එල්.ටී.ටී.ඊ. නායකයො එක්ක සාකච්ඡා කරපු වෙලාවෙ ඒ සතුට ගෞරවයකට හැරුනා. ඒ දවස්වල තිබ්බ යුදමය වතාවරණය පසුබිමේ විජය කරපු ඒ වැඩේ මගෙ යාලුවො අතර කොහොමවත්ම ජනප්‍රිය උනේ නෑ. විජය වෙනුවෙන් කතාකරපු මම ජනප්‍රිය උනෙත් නෑ කියල අමුතුවෙන් කියන්ට දෙයක් නෑනෙ නේද?...විරුද්ධ මතයක් ඉවසා දරාගන්ට කොහෙත්ම හැකියාවක් නොතිබ්බ මගෙ සමහර සඟයො නිසා විශේෂයෙන්ම මත්පැන් සාද වගෙ අවස්ථාවල ඔය ගැන අදහස් ප්‍රකාශ කිරීමෙන් මම වැළකිල ඉන්ට පුරුදු උනා පහු වෙනකොට. විජය කරපු ඒ වැඩේ අල්ලල ගියේ මම හිතන්නෙ මටත් වැඩිය මා තුල හැංගිලා හිටපු සම්මතයට විරුද්ධව උඩු ගං බලායන්නට කොයි වෙලෙත් සැදී පැහැදී උන්නු රැඩිකල් මත ධාරියාට....
එක්සත් ජාතික පක්ෂයෙ දුර්දාන්ත ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය ගැන අප්‍රසාදයෙන් ඒ වගේම විපක්ෂයේ අකර්මන්‍යතාවය ගැන කලකිරීමෙන් හිටපු මම වගෙ අයට විජයගෙ ආගමනය ලොකුම ආශ්වාදයක් උනා කිව්වොත් වැරදි නැහැ මම හිතන්නෙ.
එදා බස් එකේ කොළඹ එද්දි හැමෝම වගෙ කතාව ඒ ගැන. දවස් දෙහෙකට විතර පස්සෙ කුමාරයි මමයි පොල්හේන්ගොඩ මලගෙදරත් ගියා. ඒ භීෂණ සමයෙ නිරපරාදෙ ඝාතනය කරපු සිය දහසක් දෙනා අතරින් විජය එක් පුද්ගලයෙක් පමණද? නැත්නම් ඔහු ජීවත්ව හිටියනම් ලංකාවෙ අනාගතයෙ යම් වෙනසක් කිරීමට ශක්තියක්, උවමනාවක් සහ හැකියාවක් තිබූ මහා පුරුෂයෙක්ද?..මෙව්ව උත්තර නැති ප්‍රශ්න.අපිට උපකල්පනයක්, අනුමානයක් කරන්න විතරයි පුලුවන්.
අනික් අතට විජය ඒ විදිහට ඝාතනය නොවී රටේ නායකය උනා නම් සමහරවිට ඔහු ගැන අපිට අද කතාකරන්න වෙන්නෙ වෙනම දෘෂ්ඨි කෝණයකින් බලල වෙන්නත් බොහොම ඉඩ කඩ තියනව. මොකද අපි දාහක් බලාපොරොත්තු තියාගෙන හිටපු මිනිස්සු/ගෑණු අන්තිමට ඒ බලාපොරොත්තු විනාස කරල දැම්මෙ මත් ගජිඳෙකුගේ පයට පෑගුණු මකුළු හුයක් වගේ නිසා. ආය වැඩිදුර යන්න ඕන නෑ..විජයගෙ ප්‍රියම්බිකාව...චන්ද්‍රිකා තමයි හොඳම උදාහරණය.
නමසිය අනූ හතරෙ ජනාධිපතිවරණෙට චන්ද්‍රිකා ඉදිරිපත් උනාම අපේ සගයො බහුතරයක් ( උං ප්‍රබල යූ.ඇන්. පී. කාරයො ) චන්ද්‍රිකාට කිව්වෙ විස්කි මැඩම් කියල. රටේ ඒ දවස්වල පැතිරිච්ච මතයක් චන්ද්‍රිකාට විස්කි නැතුවම බෑ කියල.
" මචං උඹ දන්නවද?...චන්ද්‍රිකා දවසට විස්කි බෝතලයක් ගහනවලු තනියම….."
එහෙම කිව්වෙ ඔය දවස්වල කොළපාට ෂර්ට් එක බුදියනකොටවත් ගැලෙව්වෙ නැති මගෙ යාලුවෙක්...
" ඉතිං බලාපං..මේ උඹල අපි ගල් කාලක් ගැහුව ගමං ඔළුව සාක්කුවෙ. ඒ මනුස්සය දවසට විස්කි බෝතලයක් ගහල කෙලින් ඉන්නව කියන්නෙ නම් බාං ජනාදිපති කමට හරියන්නෙ එවුන්දැම තමයි....."
ප්‍රතිරූප වන්දනාව අතෑරගන්ටම බැරි අපිට හොඳම පාඩමක් නොමිලෙම කියල දීල චන්ද්‍රිකාවෝ අවුරුදු දොළහකට පස්සෙ ගෙදර ගියා.
මේ මතක මංපෙත ඔස්සේ අතීතයට යන්ට සිද්ද උනේ පහුගිය පෙබරවාරි 16 වෙනිදට විජය ඝාතනය කරල අවුරුදු 25 ක් සම්පූර්ණ වෙච්චි නිසාවෙන්. විජය නිසා මතක සැමරුම් පටන් ගත්තට ලියල ඉවරවෙලා බැලින්නං වැඩිහරියක් මාතිං ලියවිලා තියෙන්නෙ වෙන අනං මනං වැල් වටාරං...හෙහ්, හෙහ්, මක්කොරන්නෙයි ඉතිං ..එව්වයෙ හැටි එහෙම තමයි.....හෙහ්, හෙහ්,