Wednesday, March 27, 2013

173. ගම්ලත් රාලලාගේ පුංචි මැණිකේ සහ ඌෂා චෞද්රී…..මේ ඔවුන්ගේ කතාවයි.

පහුගිය හෙනහුරාදට කලිං හෙනහුරාද මතකයි නේද?...අර ධවාන්ය කියන කොළුව හනුම දර පලන්නැහෙ ඔස්ටේලියං කාරයිංට එලෝ එලෝ තඩි ගැහැව්වෙ.අර අති ගෞරවාර්හ ධුරන්ධර N.G.P. ලලනාව මෙරිල් ලොක්කි ගැන මට කිව්වෙ…..ආං එදා. 

ඔන්න මේ හෙනහුරාදත් මම කලිංදා වගේම ඕස්ටේලියා ඉන්දියා ( කලිං බැලුවෙ තුංවෙනි ටෙස්ට් එක. මේ පාර හතර ) මැච් එක බලබල උන්නයි කියමුකො. ඕන්න ආයෙම ටිං ගාල ආව සද්දයක්. බැලුව කම්පියුටර් ස්ක්‍රීන් එකේ පල්ලෙහා දකුණු කෙරෝල දිහා..දෙයියෝම සාක්කි... 

" Oh, no... not her again…….What have I done to deserve this? " 

" මොකද බං?....." 

මම ඇහැව්ව ටිකක් විතර සැරට..නුහුගුණ හරි නැතුව හරි බබලත්තු එක්ක ටිකක් ඉන්ට ඕන කැත්තට පොල්ල වගෙ. නැත්තං බලන්නෙ කරේ උරේම නගින්ට. කරේ උරේ..කරේ උරේ......මම ඉතිං ඔව්වයෙ අත්දැකීං තියනවනෙ දැං දීර්ග කාලයක් තිස්සෙ...හෙහ්, හෙහ්, 

කිව්වම මොකද ලලනා තොමෝ ටිකක් බය උනා...ආය බොරුවක් කියන්නෙ මොකටද? 

" අනේ සොරි මම ඩිස්ටර්බ් කලාද..අයියෙ ? " 

ඔන්න උන්දැ ඇහුව බෝම බයපක්සපාතව. 

දන්නවනෙ මම ඔය සැර පෙන්නුවට මයෙ පපුව උනු වෙනව එක මිලි තප්පරේට. 

" නෑ, නෑ..මම මේ මැච් එක ඩිංගක් බල බල හිටියෙ..කියාපං …" 

" අයියෙ….මගෙ යාලුවෙකුට ෆෙමිනා එවෝඩ් එකක් හම්බ වෙලා…" 

" අඩේ මරුනෙ..දැං ඔය කියන යාලුවා කොහේ කෙනෙක්ද? " 

" එයා ඇවිල්ල රාජස්තාන්වල……"

ඔන්න පඳුරු තැලිල්ලකට කාලෝ අයංතේ..... 


******************************** 

රාජස්තාන්....රාජස්තාන් කියනකොටම මට මතක් වෙන්නෙ F ස්ටොප්ස් ඇට් රාජස්ථාන්......ඒ ඇවිල්ල ඡායාරූප ප්‍රදර්ශනයක්.... 

මට මතක විදිහට අනුව දශකයෙ අන්තිම අවුරුද්දෙ විතර තිබ්බෙ. කොළඹ කලා භවනෙ... 

මම ඔය හැමදාම කියන්නෙ උතුරු මැද සහ නැගෙනහිර පළාත් මායිමේ අර්ධ රාජ්‍ය ව්‍යාපෘතියක සේවය කලාය කියල. අනූව දශකයෙ අග භාගෙදි අපෙ ආයතනයෙ ක්‍රියාත්මක උනා ස්වේච්ඡා විශ්‍රාම ගැනීමේ වැඩ පිළිවෙලක්. විශ්‍රාම ගැනීමෙ කිව්වට විශ්‍රාම ගැන්වීමෙ කිව්වනම් තමයි හරියටම හරි. ඒ කියන්නෙ සේවයෙන් ඉල්ලා අස්වෙන අයට සේවය කරපු කාල සීමාව අනුව වන්දි මුදලක් ගෙවනව. 

සේවක අතිරික්තයක් තියනවයි කියල තමා ඔය වැඩේ ක්‍රියාත්මක කලේ. මටත් හිතුන මදැයි මේකෙ හිටිය මෙච්චර කාලයක්..බලමු අයිං වෙලා අතට ගානකුත් හම්බවෙන එකේ කියල... 

අපෙ පිරියම්බිකා තොමෝ මද්‍යස්තව හිටිය. එපා කිව්වෙත් නෑ. දැඩි කැමැත්තක් පෙන්නුවෙත් නෑ. ඔයයිගෙ කැමැත්තක් කිව්ව 

අන්න ඒ ඉල්ලා අස්වීම සම්බන්දව මොහොකට හරි මම ආව දවසක් කොළඹ.හයිඩ් පාක් එක ගාව තිබ්බෙ අපෙ ප්‍රධාන කාර්යාලෙ. එතනට ගිහිල්ල ඒ වැඩෙත් කරගෙන මහජන පුස්තකාලෙ තිබ්බ මොකක්දෝ පොත් ප්‍රදර්ශනයක් …ඒකටත් ඔලුව කාරිය ඩිංගක් විතර දාල, හතරයි දහයෙ සෙංකඩගල මැණිකෙට තව වෙලාව තියන නිසා මම කලා භවන ඉස්සරහ පාරෙ ඔහෙ ඇවිදගෙන ගියා. ඒ දවස්වල නම් ආනන්ද කුමාරස්වාමි මාවත . මේ ඊයෙ පෙරෙයිද ඒක නෙළුම් පොකුණ මාවත උනානෙ. මොකද කොරන්නෙ ඉතිං ඉතිහාසය කියන්නෙ මොකක්ද? ඒ ඉතිහාසය අපිට රැකල දුන්නු යුග පුරුෂයො කවුද කියල මෙලෝ හසරක් නොදන්න මිනිස්සු අපි හැමෝම වෙනුවෙන් තීරණ ගන්න බලය තියෙන තැන් වලට පත් උනහම ඔහොම විලම්බීත සිද්ද නොවුනොත් තමයි පුදුම වෙන්න ඕන. 

කලා භවනෙ තිබ්බ ඉස්සරහ නෝටිස් බෝඩ් එකක්. “ එෆ් ස්ටොප්ස් ඇට් රාජස්ථාන්.. “ ඡායාරූප ප්‍රදර්ශනයක්. ඡායාරූප ශිල්පියා පද්ම කුමාර මෙත්තසේන.ඔව් අර සුප්‍රසිද්ධ පුද්ගලයා තමයි. කලා භවන ඇතුලට එක අඩියයි තිබ්බෙ. මම අමුතුම ලෝකෙකට ඇතුලුවුනා කියලයි මට හිතුනෙ. ආනන්ද කුමාරස්වාමි මාවතේ එහා මෙහා යන වාහන වල ශබ්දය නෑසුණාම නම් නෙවෙයි. ඒත් ඒ ශබ්දය මගෙ මොලේට වැටුනෙ නෑ. කාන්තාර වල දුඹුරු කහ පැහැය, තද නිල් රතු, කහ දුඹුරු පැහැයෙන් බබලන මාළිගාවන් සහ බල කොටු, ඒ වගේම දීප්තිමත් වර්ණ වලින් යුතු ඇඳුම් හැඳි යුවතියන්...මම එදා කලාභවනෙ ගත කල හෝරා අඩකට ආසන්න කාලය ගත කලේ වෙනම විචිත්‍රවත් ලෝකයක. 

අපෙ ජීවිතේ එක එක බලාපොරොත්තු ඇතිවෙනව නේද කාලෙන් කාලෙට?...සමහර එව්ව ඉස්ට උනහම අමතක වෙලා යනව. තවත් සමහර එව්ව මම හිතන්නෙ බහුතරයක් ඉස්ට නොවීම අමතක වෙලා යනව. ඒත් තවත් සමහර බලාපොරොත්තු මහ අමුතුයි. ඉස්ට වෙනකල් හිතේ කොහෙ හරි මුල්ලක රැඳිල තියනව. සමහරවිට අපි දන්නෙත් නෑ එහෙම එකක් තියනවය කියල. ඒත් තියෙනව. එදා කලා භවනෙදි ඒ සන්ධ්‍යාවෙදි මයෙ හිතට ආවෙත් ඒ වගෙ සදා කල් රැඳී තියෙන බලාපොරොත්තුවක්. වෙන මොකවත් නෙවෙයි.කවදාක හරි රාජස්තානෙට යන්ටම ඕනෙය කියන හිතුවිල්ල... 

අතීතාස්මරණ නොහොත් ගොමු තැලීම අංක එක මෙතෙකින් නිමියේය. 

******************************** 

ක්ෂනික ඡේදනය වර්තමානයට...කාලය - පසුගිය සෙනසුරාදා ස්ථානය - කාර්යාලයෙහි මගේ මේසය 

" අයියෙ….මගෙ යාලුවෙකුට ෆෙමිනා එවෝඩ් එකක් හම්බ වෙලා…" 

" අඩේ මරුනෙ..දැං ඔය කියන යාලුවා කොහේ කෙනෙක්ද? " 

" එයා ඇවිල්ල රාජස්තාන්වල……" 

" අඩේ ෆෙමිනා එවෝඩ්ස් හම්බවෙන්නෙ නිළියන්ට නෙව. මම දැනගෙන හිටියෙ නෑ බොලේ උඹ බොලිවුඩ් නිලියොත් ආස්සරේ කරනවයි කියල...හෙහ්, හෙහ්, " 

" නිළියන්ටත් දෙනව තමයි. ඒත් ඒකෙ තව කැටගරි එකක් තියනව ෆෙමීනා විමෙන් ඔෆ් අචීව්මන්ට් කියල, අන්න ඒ එවෝඩ් එකක් තමයි මගෙ යාලුවට හම්බ උනේ…" 

" දැන් මොකටද ඔය එවෝඩ් එක හම්බ උනේ?...හරි කියන්න ඕන නෑ මම දන්නව..උඹ වගෙ පිස්සු හටනක් ආස්සරේ කරනවයි කියන්නෙ බාං දෙන්න ඕනෙ නිකං එවෝඩ්ස් එහෙම නෙවෙයි දහසින් බැඳි පියලි...හෙහ්, හෙහ්, දහසින් බැඳි පියලි…" 

" මේ පිස්සු කියවන්නෙ නැතුව මේක අහගං...මගෙ යාලුවා වොලන්ටරි වැඩ කරනව රාජස්තාන් වල ළමා විවාහ වලට විරුද්ධව. අන්න ඒකටයි එයාට මේ පාර තෑග්ග හම්බ වෙලා තියෙන්නෙ. " 

******************************** 

ළමා විවාහ......ගොමු තැලීම...දෙවන භාගය 

" යං සුට්ටි පුතේ අර මයියොක්කා පඳුරක් ගලවල අල තියනවද බලන්ට. දවල්ට මයියොක්ක තම්බන්ට පුතා කනව නේද?..." 

" මම කනව. ඒත් පුළුං වගෙ තියනව නම් තමයි මම කැමතිම..ඇයි අත්තම්මෙ මයියොක්ක තම්බද්දි පියන වහන්නෙ නැත්තෙ? " 

මගෙ පුංචි උදලු කෙටියත් කර තියාගෙන උන්දැ පස්සේන් යන ගමං මම අහනව. 

" පියන වහල තැම්බුවම පුතේ හරියට තැම්බෙන්නෙ නෑනෙ ඒකනෙ. " 

" අත්තම්ම දන්නෙ කොහොමද? වහල තම්බල බැලුවද? " 

මයෙ අත්තම්ම..අම්මයෙ අම්ම..සුට්ටං එකා කාලෙ මයෙ ජීවිතේට ලොකුම බලපෑමක් කලේ උන්දැ....මම ඉපදිල සතියකින් විතර දුවයි මුණුබුරේයි බලන්ට තැම්බුං හොදිත් හදාන ආපු ගමන උන්දැ දිගටම අපෙ ගෙදර නැවතුනා. ආපහු ගියේ ඒ මුණුබුරාත් ඇතුලු හතර දෙනෙක්ගෙ කරපිටිං....හරි ඒ කතාව සහ උන්දැගෙයි මගෙයි තවත් දහසකුත් එකක් පයුරු පාසානං ගැන වෙනම ලියන්නම් වෙලාවක..දැනට මේ මාතෘකාවට අදාලව කතා කොරමුකො. හොඳද? 

හයේ නැත්නම් හතේ පංතියෙ මට මතක විදිහට., සමාජ අධ්‍යයනය කියල විෂයයක් තිබුන අපිට ඒ කාලෙ. ඕකට අපිට කිව්ව අපේ පරම්පරාව අම්මගෙ පැත්තෙනුයි අප්පච්චිගෙ පැත්තෙනුයි දෙපැත්තෙන්ම ඊට ඉහළ මට්ටම දක්වා පරම්පරා සටහනක් අඳින්නෙයි කියල. සමාජ සම්බන්ධතා වගෙ මොකක් හරි ගැන උගන්වන්නයි එහෙම කිව්වෙ. 

අප්පච්චිගෙනුත් විස්තර අහගෙන මම ඔය සටහන හැදුව. පංතියෙ ඒ පාඩම ඉවර උනා. ඊට පස්සෙ මට හිතුනා එක එක්කෙනා උපන් වර්ෂ එහෙම දාල ඔය සටහන ටිකක් වැඩි දියුණු කරන්න. අප්පච්චිත් එක්ක ආයෙම එකතුවෙලා ඒ වැඩේ කරද්දි මට ආව පොඩි ප්‍රශ්නයක්. අම්මලගෙ පවුලෙ වැඩිමලා අපෙ ලොකු මාම. ඒ සටහනේ හැටියට ලොකු මාම ඉපදෙනකොට අත්තම්මගෙ වයස දාහතයි. 

සෞඛ්‍යය සහ ස්වස්ථතාව විෂයයට ඒ වෙනකොට ප්‍රජනක පද්ධතිය, ගර්භණී කාලය ගැන එහෙම යමක් ඉගෙන ගෙන තිබ්බ නිසා මේ දත්ත ඇත්තම නම් අත්තම්ම විවාහ වෙන්ට ඇත්තෙ අවුරුදු දාසයෙවත් වෙන්ට ඕනය කියල මට හිතුන. 

" අම්මෙ..අත්තම්ම කසාද බැඳල තියෙන්නෙ අවුරුදු දාසයෙන්ද? " 

" ඔව්, ඒ දවස්වල එහෙම තමයි, ගොඩක් අඩු වයසෙන් ගෑනු ලමයි කසාද බඳිනව…" අම්ම මා එක්ක කිව්ව. 

ඒ වෙනකොට මට අවුරුදු දොළහක් ඇති ඕනනම්. ඊට අවුරුදු හතරක් වැඩිමල් වයසෙ ගෑණු ළමයෙක් කසාදයක් බඳිනව කියන එක මට හිතාගන්නවත් බැරිඋනා. ඒ නිසාම දවසක් මොර හූරන වරුසාව වෙලාවක අත්තම්ම මැටි කබලක වැලි උඩ දාල බැදපු රටකජු පොතු ඇරල එකිං එක කටේ දාල හපන ගමං මම උන්දැගෙං මෙහෙම ඇහුව. 

" ඈ අත්තම්මෙ ..කසාද බඳින්ට අත්තම්මට බයක් වගෙ හිතුනෙ නැද්ද? " 

" සුට්ටි පුතා මොනව අහනවද මන්ද? " 

අත්තම්මගෙ එක පාරට මයෙ මූණ දිහා බලල කිව්ව. ඒ හඬේ තිබ්බෙ නොරිස්සුම් ගතියක්මත් නම් නෙවෙයි..ඒ නිසා මම ආයෙම " කියන්නකො අත්තම්මෙ ඉතිං " කියල ඇහුවෙ රටකජු පොතු කාණුවෙ ගලාගෙන යන වතුර පාරට වීසි කරන අතරෙ. 

වැස්ස උළු වහලට වැටෙන සද්දෙයි අත්තම්ම රට කජු පොතු අරින සද්දෙයි විතරක් ඇහුනු විනාඩි කීපයක් ගෙවිල ගියා. ආයම ඒ ගැන කතා නොකරන්ට කියල මම හිතාගත්ත. 

" ලොකු අත්ත ඉස්සරලම අපේ ගෙදර ආපු වෙලාවෙ මම දුවල ගිහිල්ල වත්ත පහල තිබ්බ පිදුරු මඩුවෙ හැංගුණා. " 

මම ඔළුව හරෝල අත්තම්ම දිහා බැලුව. උන්දැගෙ මූණෙ තිබ්බෙ සොඳුරු මතක සැමරුම් අතරින් මතු උන සුන්දර හිනාවක්. 

ඊට පස්සෙ අත්තම්මගෙම කටින් විඩෙන් විඩේ පිටවෙච්චි මතක සැමරුම් ඒ වගේම අම්මා, මාමලා සහ පොඩි අම්මගෙන් කියවුනු සොඳුරු මතකයන් පෙලගස්වාගෙන ජී. ආර්. පුංචිමැණිකේ ගෙ කතාව මගෙ හිතේ මම ඇඳගත්ත. ඒක ලියන්න ඕනය කියල මම හිතාගෙන ඉන්නෙ වියුණුවක් ලියන්න පටන්ගත්ත මුල්ම කාලෙ ඉඳලම. 

පුංචිමැණිකේ ඇත්තටම වාසනාවන්තයි. ඇයට දීගයන්ට සිදුවූ පුරුෂයා ඇයට වඩා බොහෝසේ වැඩිමහලු උනත් ඉතාම නිවුණු තැන්පත් ගතිගුණ ඇත්තෙක්. රජයේ දුම් රිය සේවයේ Head Fireman ලෙස සේවය කල ඔහුට දාව ඇය දරුවන් දස දෙනෙකු ලබනවා.ජීවිතයේ සැඳෑසමය නිවී සැනසිල්ලේ ගෙවන ඇය මිය යන්නේ අනූ හතර වියැතිව. 

ඒ ගම්ලත් රාලලාගේ පුංචිමැණිකේ නොහොත් මගේ අත්තම්මාගේ කතාවයි. 

අතීතාස්මරණ නොහොත් ගොමු තැලීම අංක දෙක මෙතෙකින් නිමියේය. 

******************************** 

මගේ මිත්තණිය එසේ භාග්‍යවත් වූවද මෙසේ විවාහ බන්ධනයට බලහත්කාරයෙන් ඇතුලත් කෙරෙන බොහෝ ලාබාල දැරියන් මුහුණදෙනුයේ බොහෝ දුක්ඛදායක සහ රුදුරු ඉරණමකටය. නන්නාඳුනන බොහෝවිට තමන්ගේ පියාගේ සමවයස්ක වූ පුරුෂයින් හා විවාහ වීමට බල කරනු ලැබ දෙමව්පියන් නෑදෑ හිතවතුන් සහ යෙහෙළියන්ගෙන් එක් සැනෙකින් වෙන් කරනු ලබන්නාවූ ඔවුන්ගේ ඉතිරි ජීවිත කාලයම ගෙවනුයේ බොහෝ සෙයින් හැඬූ කඳුලිනි. ළමා විවාහය යනු අසල්වැසි භාරත දේශයෙහි ඉතා සුලභය. භරතය යනු පරස්පර විරෝධයෙහි ජන්ම භූමිය යැයි කිව හැකි තරමට එරට ඕනෑම සංසිද්ධියක පරම අන්ත දෙක අතර දෝලනය වනුයේ ඇසිපිය ගසන වේගයෙනි. 

ඉන්ක්‍රෙඩිබල් ඉන්ඩියා යනු ඉන්දීය සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ඉන්දියාව විදේශිකයින් අතර ප්‍රචලිත කිරීමට යොදා ගන්න තේමා පාඨයයි. 

ඔවුන් ඒ යොදාගැන්මෙහිදී බලාපොරොත්තුවන අර්ථය මෙන්ම ඊට සපුරා විරුද්ධ අර්ථයක් උදෙසාද මේ තේමා පාඨය බොහෝ පහසුවෙන් යොදා ගත හැක. 

ලෝකයේ තොරතුරු තාක්ෂණයෙහි ඉහලම ස්ථානයක වැජඹෙන බෙංගලූරු නගරයෙන් බොහෝ ඈත නොවන ගම්මාන වල අද ද කිරිකැටි ගැහැණු දරුවන් උපන් විගස මරා දැමෙන්නේ ඔවුන් පවුලට දැරිය නොහැකි බරක් වගකීමක් ලෙස සැළකීමෙනි. 

න්‍යාෂ්ඨික බලාගාරවලින් විදුලිය නිපදවාගන්න ඉන්දියාවේ තවමත් වයස 13 හෝ 14 වන දැරියන් බලහත්කාරයෙන් ඔවුන්ගේ වයස මෙන් දෙගුණයකටත් වඩා අධික නාඳුනන පුරුෂයින්හට පාවා දීම සාමාන්‍ය සිද්ධියකි. 

******************************** 

නැවතත් ක්ෂනික ඡේදනය වර්තමානයට...කාලය - පසුගිය සෙනසුරාදා ස්ථානය - කාර්යාලයෙහි මගේ මේසය 

" දැන් මොකටද ඔය එවෝඩ් එක හම්බ උනේ?...හරි කියන්න ඕන නෑ මම දන්නව..උඹ වගෙ පිස්සු හටනක් ආස්සරේ කරනවයි කියන්නෙ බාං දෙන්න ඕනෙ නිකං එවෝඩ්ස් එහෙම නෙවෙයි දහසින් බැඳි පියලි...හෙහ්, හෙහ්, දහසින් බැඳි පියලි…" 

" මේ පිස්සු කියවන්නෙ නැතුව මේක අහගං...මගෙ යාලුවා වොලන්ටරි වැඩ කරනව රාජස්තාන් වල ළමා විවාහ වලට විරුද්ධව සහ පොදුවේ ගැහැණුන්ට වෙන අසාධාරණ වලට විරුද්ධව. අන්න ඒකටයි එයාට මේ පාර තෑග්ග හම්බ වෙලා තියෙන්නෙ. " 

ඇය නොනවත්වා කතා කලාය. මම වචනයකුදු නොදොඩා ඇයට සවන් දුන්නෙමි. 

" එයාගෙ කතාව අහපංකො පොඩ්ඩක්...එයාත් වයස දහ හතරෙදි විතර කවුද මනුස්සයෙකුට බලෙන්ම බන්දල දෙන්න හදල දෙමව්පියො. සාමාන්‍යයෙන් වෙන්නෙ එහෙම උනාම ගෑණු ළමය අකමැත්තෙං උනත් වැඩිහිටියංගෙ බහට නැමෙනව. ඒත් මෙයා කැමති වෙල නෑ ඒකට. බෑම කියල……" 


මම හිඳසිටිඅසුනේම පසුපස ඇන්දට හේත්තුවී දෑස පියාගතිමි.ඇගේ කටහඬ කෙමෙන් මැකී ගොස් අවසන අතුරුදන් විය. කාර්යාලය ඉදිරිපිටින් දිවෙන ප්‍රධාන මාර්ගයේ නිතොර ඇසෙන අනවරත වාහන ගමන් ගන්නා ශබ්දය ද කෙමෙන් හීනව ගොස් අවසන නෑසී ගියේය. 

ඒ වෙනුවට අඹ ගසක පත්‍ර මඳ සුළඟේ සෙලවෙන නාදය මගෙ සවන් පුරා පැතිර ගියේය.එසේය ඒ අඹ ගසකි. ග්‍රීෂ්ම සෘතුවේ අහසෙහි අනුකම්පා විරහිතව දිලෙන සැඩ හිරුරැසින් බොහෝ පත් හැලීගොස් ඉතිරිවූ පත්‍ර කිහිපය මඳ සුළඟේ සෙලවෙමින් තමනට හැකි පමණ සෙවණක් ලබා දුන්නෝය. 

එසේය. රාජස්ථානයෙහි ග්‍රීෂ්මය යනු ගත මෙන්ම සිත ද අනුකම්පා විරහිතව පෙලනු ලබන කාලයකි. 

ඒ අඹ සෙවණෙහි දැරියන් තිදෙනෙක් යම් ක්‍රීඩාවක නිරත වෙමින් සිටියෝය.තැනින් තැන නූල් පෑදී කඩමාලුවීගිය එහෙත් කලකට පෙර තද වර්ණයන්ගෙන හෙබි බවට දෙස් දෙන ඇස්වටය දක්වා දිගුවූ සායක් සහ වැලමිට දක්වා දිගු අත් ඇති හැට්ට වලින් සැරසුණු ඔවුහු දහහතර හෝ පහලොස් වන් වියෙහි පමණ පසුවන්නියෝ වූහ. 

" ඌෂා..........." 

ඒ අසල වූ ගෙපැලින් නික්මුනු තවමත් තරුණ විය නොඉක්මවූ ගැහැණියක් ඔවුන් වෙතට එමින් හඬගෑවාය. 

දැරියන් තිදෙන අතරින් හිණ දක්වා වැඩුනු කාල වර්ණ වරලසකින් යුතුවූ සිහින් දැරිය නැඟී සිටියාය. 

" අම්මා........." 

" මෙහෙට එන්ට..තාම සෙල්ලම..ඇවිල්ල ඔය මූණ ටිකක් හෝදගෙන මේ ඇඳුම දාගන්ට….." 

කෙසඟ ගැහැණිය පැවසූයේ රතු සහ කහ පැහැයෙන් සිත්තම් වූ සායක් සහ ඊටම ගැලපෙන හැට්ටයකින් සැදුනු අලුත්ම ඇඳුමක් ඇය වෙත පාමිනි. සතුටින් පිනාගිය දැරිය වහා මව වෙත දිවගියේ හඬ නඟා සිනාසෙමිනි. ඒ පසුගිය ඉරුදින චිත්තෝර් කඩ මණ්ඩියෙන් මෑණියන් මිලදීගෙන ආ ඇඳුමයි. 

" ඇයි අම්මා මේ ඇඳුමක් ගත්තෙ මේ හදිස්සියෙ?..." 

ඌෂාට අලුත් ඇඳුමක් ලැබෙනුයේ වසරකට වරක් එළඹෙන කුම්භ මංගල්‍යය දිනයේ පමනක් බැවින් ඇය එසේ විමසුවාය. මවගෙන් ඇයට කිසිදු පිලිතුරක් නොලැබුනද අලුත් ඇඳුම හේතුවෙන් උද්දාමයට පත්ව හුන් ඇය ඒ පිළිබඳව වැඩි දුර නොසිතුවාය. 

අලුත් ඇඳුම හැඳගත් දැරිය සිය මව සමඟ කුඩා නිවසේ ඉදිරිපස කොට බිත්තියෙන් ආවරණය වූ කොටසෙහි අසුන් ගෙන හුන් අමුත්තන් ඉදිරියට ගියාය. ඔවුන් ඇය දෙස බලමින් පහත් හඬින් කතාබහෙහි යෙදුනද අලුත් ඇඳුමෙහි තාන් සුවඳ පපුව පුරා පිරීයනසේ විඳිමින් හුන් ඌෂා ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකලාය. 

දින කීපයක් ගෙවී ගියේය. සුපුරුදු ලෙස අඹ ගස සෙවනෙහි දැරියෝ කෙලි දෙලෙන් පසුවූවෝය. 

" ඌෂා මදැයි ඔය සෙල්ලම.....මෙහාට ඇවිල්ල මට ටිකක් උදව් වුනා නම් නරකයිද?...තව මාස තුනකිං දීහ යන්ට ඉන්න ගෑණියක් නේද?..." 

එකවරම ගෙමිදුලට බට කෙසඟ ගැහැණිය හඬගෑවාය. 

ඌෂාගේ ලෝකය කඩා වැටුනේ අසුරු සැනෙනි. ඇය හිඳ හුන් තැනින් නැඟිට්ටේද නිවස වෙත පා තැබුවේද සිහිනෙන් ඇවිදින්නියක මෙනි. 

" මොකක්ද අම්මා කිව්වෙ?...මම දීග යනවා?...ඒ මොකටද? කා එක්කද? …" 

සිහි එලවා ගත් සැනින් ඇය ලිප අසල බිම ඇණ තබාගෙන ගින්නෙහි කැකෑරෙන කුමන හෝ හොද්දක් හැඳි ගාමින් සිටි අම්මා අසල බිම හිඳගෙන අසූයේ හීන් හඬිනි. 

" ගෑණු ළමයි උනාම දීග යන්නෙ නැද්ද?..දැං වයසත් හරිනෙ..අර එදා ආවෙ...උස හීන්දෑරි මනුස්සය..එයා තමයි....හමුදාවෙ වැඩ කරන්නෙ...හොඳට සල්ලි හම්බ කරනවා...ඔයාට දුකක් නැතුව ඉන්න පුලුවන්…" 

ගැහැණිය පැවසූයේ හොද්ද හැඳිගෑම මොහොතකට හෝ නොනවත්වමිනි. 

ඌෂා දෑස් පියා ගත්තාය. යාබද නිවසකින් අතමාරුවට රැගෙන ආ කලු පැහැ වේවැල් කැඩුණු පුටුවෙහි හිඳගෙන හුන් කට දෙපසින් පහතට නැවීගිය ඝන උඩු රැවුලකින් හෙබි කෙසඟ පුරුෂයා ඇය වෑයමෙන් සිතට නඟා ගත්තීය. ඔහු බොහෝ විට තමාදෙසම දැඩි උනන්දුවෙන් බලා සිටි බව ඒ සමඟම ඇයට සිහිවිය. 

දෑස් පියාගත් වනම ලිපෙහි ගිනිදලුවල උනුසුම විඳිමින් තවත් නිමේශයක් ගත කල ඌෂා තීරණයකට එලඹියාය. 

එක් තැනැත්තකු හෝ තැනැත්තියක එක් මොහොතකදී ගන්නා එකම තිරණයක් නිසා දහස් සංඛ්‍යාත මිනිසුන් ගැහැණුන්ගේ ඉරණම සම්පූර්ණයෙන්ම වෙනස් විය හැක බව/ වෙනස් වූ බව මම අමුතුවෙන් කිවයුතු නොවේ. ඌෂා එදින ඒ මොහොතේ ගත් තීරණය නිසා ද දහස් සංඛ්‍යත නොවූවද සැලකියයුතු මිනිසුන් කෙසේ වුවද ගැහැණුන් සංඛ්‍යාවකගේ ඉරණම වෙනස් වූ බව මෙහිලා සටහන් කර තබනුයේ තම ඉරණම පරාජිත මානසිකත්වයෙන් භාරගැන්ම ප්‍රතික්ෂේප කොට ඊට විරුද්ධව නිර්භයව සටන් වැදුනු ඔවුන්ට මෙන්ම ඒ වෙනුවෙන් අවශ්‍ය පන්නරය නොමසුරුව ලබාදුන් ඌෂාට ද උපහාර පිණිසය. 

" නෑ මම බඳින්නෙ නෑ….." 

එක්වරම ඉද්ද ගැසුවාක් මෙන් නැඟී සිටිඇය සෙමෙන් එහෙත් ස්ථිරසාර හඬින් පැවසුවාය. 

නැවත මම මගේ සුපුරුදු අසුනට පිවිසියෙමි. මගේ යෙහෙලියගේ හඬ යලිත් කෙමෙන් මා සවන් පුරවා ලන්නට විය. 

" අඬල කෑ ගහල. .....පණ නහගන්නවයි කියල. අන්තිමට ගෙදරින් යන්නත් ගිහිල්ල වෙන කවුද නෑදෑ කෙනෙකුගෙ ගෙදරක නවතින්න. අන්තිමට අර මනමාලයගෙ කට්ටියට බලා ඉඳලම එපා වෙල ඒ අය වෙන අතක් බලාගෙන. මගෙ යාලුව තමන්ගෙ උත්සාහයෙන්ම ඉගෙන ගෙන එම්. ඒ. එකකුත් කරල. එයා ස්වේච්ඡා සංවිධානයක් පිහිටුවාගෙන ඒ වගෙ බලෙන් බන්දල දෙන්ට යන ගෑණු ලමයින්ට එතකොට ඔය දෑවැදි ප්‍රශ්න නිසා මනුස්සයගෙ පවුලෙ උදවිය අතින් අතවරයට පත් වෙච්ච කාන්තාවන්ට පිහිට වෙන්ට.එයා දැන් සම්පූර්ණ කාලයම යොදවන්නෙ ඒ වෙනුවෙන්. එන්න ඒකට තමයි මේ පාර ෆෙමීනා එවෝඩ් එක එයාට ලැබුණෙ. " 

කවුරුන් හෝ විද්වතෙක් පැවසූවක් මෙහිදී මගේ මතකයට පැමිණේ. 

" The true measure of a civilization is not how tall the buildings are nor how wide the highways are, its how they treat their women and children " 

ළමා විවාහයන් යනු කාන්තාවන් සහ ලමුන් යන දෙපිරිසම එක්වර අපයෝජනය කිරීමකි. 

ළමා විවාහයන් අනුමත කරන සමාජයක් ශිෂ්ඨාචාරයක් ඇගයීමට ලක් කරනා නිර්නායක දෙකින්ම එක්වරම අසමත් වේ. 

******************************** 

විශේෂ ස්තූතිය - එක් සුවිශේෂී අධිෂ්ඨානයකින් සහ අප්‍රතිහත ධෛර්යයකින් හෙබියා වූ ද දෛවයෙන් නියම කෙරුනු ඉරණමට එරෙහිව සටන් වැද ජයග්‍රහණය කිරීමෙන් තෘප්තිමත් නොව ඒ සමාන ඉරණමකට මුහුන දෙන තම සොහොයුරියන් රැසකගේ ජීවිත වලට සෙනෙහෙබර ආලෝකයක් ගෙන දෙන්නා වූද අයෝමය යුවතියක පිළිබඳ සොඳුරු සැමරුම් අප හා බෙදා ගැන්ම වෙනුවෙන් මා හිතවත් යෙහෙළිය ...යලිත් වරක් ඔබට

Monday, March 25, 2013

172. නුහුගුණාපිත කතන්දර තුනක්....

කතන්දර කියන එව්වට අපි හැමෝම ආසයි. පොඩි කාලෙ අපි නිදා ගන්නෙත් අත්තම්මගෙ නැත්නම් ලොකුඅත්තගෙ කතන්දර අහගෙන. එහෙම නින්ද ගිහාම හීනෙනුත් පේන්නෙ ඒ කතන්දර ....මමත් ඔය කතන්දර අහන්ට වගේම කියන්ටත් බොහොම මනාපයි නෙව..මේ පහුගිය සුමානෙ එක පාරටම ආව කං කකියන්ඩ හීතලක්. ඉතිං රාත්තිරි ආහාරයට පෙර පොඩිවට එකක් නවාගෙන බුලංකේට්ටුව අස්සෙ ගුලිඋනහම රටේ නැති විකාර හිතුවිලි මයෙ ඔලුව අස්සෙ කැරකෙනව. ඒ එහෙම මට හිතිච්ච පොඩි කතන්දර ම්ම්..කතන්දරමත් නෙවෙයි කිව්වම මොකද.... සිද්ධීන් කියමුකො..හරි සිද්ධීන් දෙක තුනක්.මෙව්ව ගැන වැඩි දුරට හිතන්ට යන්ට එපල්ල. ඔහෙ කියවල අමතක කරල දාන්ට.

****************************************

පලවෙනි සිද්ධිය මේකයි. මේක මම දැනට වැඩ කරන කම්පනි එකේ වෙච්චි දෙයක්. දැන් මේකෙ අතීත කතාව නැත්තං පසුබිම එහෙමත් නැත්තං නිදාන කතාව ( Treasure story ) මෙන්න මෙහෙමයි.

කම්පනි එක පටන් ගත්තු කාලෙ බොහොම අමාරුවෙන් දුවල තියෙන්නෙ. ඒ කියන්නෙ පටං අරගෙන අවුරුදු දෙකක් යනකල් කිසිම ප්‍රොජෙක්ට් එකක් හම්බ වෙලා නැහැ. නොයෙක් අංශවල මැනේජර්ස්ල විදිහට හතර පස් දෙනෙක්ම ඔය කාලෙ ඇතුලත වැඩ කරල තියනව. ඒත් ඒ කිසි කෙනෙකුට පුළුවන් වෙලා නෑ එකම ව්‍යාපෘතියක්වත් අපිට ලැබෙන තැනට වැඩ කරන්න.ඉඳිකිරීම් ක්ෂේත්‍රයෙ විතරක් නෙවෙයි ඔයාල දන්නව වෙනත් ඕනම ක්ෂේත්‍රයක උනත් ආදායමක් එන්නෙ නැතුව තනිකර වියදම් විතරක් කරල වැඩිකලක් කිසිම ආයතනයකට පවතින්න බෑ. ආයතනයකට විතරක් නෙවෙයි මේ කතාව පුද්ගලයින්ටත් අදාලයි.

අපිට කන්න බොන්න අඳින්න පලඳින්න වගෙ අත්‍යාවශ්‍ය දේවල් වලට අනිවාර්ය වියදමක් යනව. ගමන් බිමන් විනෝදාංශ ටිකකට අමතක කරමුකො.ඉතිං මොනවහරි එක්කො වතුපිටි වලිං එහෙමත් නැත්තං රැකියාවකිං මොනවහරි ආදායමක් ලැබුණෙ නැත්නම් බොහොම ඉක්මනට ගෙල වැළලාගෙන මිය යන්නයි වෙන්නෙ.

ඉතිං ඔන්න ඔයවගෙ ගෙල වැළලාගතයුතු අවස්ථාවට අපේ කොම්පැණිය පත්වෙලා ඉන්නකොට එක අල්ලපු රටේ පුද්ගලයෙක් වැඩ බාරගෙන තියනව ව්‍යාපාර ප්‍රවර්ධන කළමණාකාර හැටියට. බිස්නස් ඩිවලප්මන්ට් මැනේජර්..මිනිහ හොඳ වැඩ කාරය...අපේ කලින් හිටපු ඒ අංශයෙ මැනේජර්ල ඇතිකරල තිබ්බ ක්‍රියා පිලිවෙල සම්පූර්නයෙන්ම උඩු යටිකුරු කරල මනුස්සය අළුත්ම වැඩ පිළිවෙලක් හඳුන්වා දුන්නලු මුලින්ම. ලු කියන්නෙ ඒ දවස්වල මම මෙතන වැඩට ඇවිත් නැති නිසයි. මම දන්නෙ ඔය එක එක්කෙනා කියන එව්ව..ඒවං මේ සුතං...මා විසින් මෙසේ අසන ලදී.කොහොම හරි මිනිහා බොහොම උනන්දු වෙලා අනික් කට්ටියත් අභිප්‍රේරණය ( Motivate ) කරල ඔන්න ප්‍රොජෙක්ට්ස් දෙකක් අරගෙන තියනව.

ඇත්තටම අපෙ කොම්පැණිය අද පවතින්නෙ මිනිහ හින්ද. ඒක තමයි ඇත්ත.ඒ මුල් ව්‍යාපෘති දෙක මිනිහ අරං තියෙන්නෙ අතට යටින් පොඩි ගේමක් දීලයි කියල තමයි අපේ කට්ටිය හැමෝම කතා වෙන්නෙ.රයිට්,ඒකෙ ප්‍රශ්නයක් නෑ. ඒ වෙලාවෙ අපි වැටිල හිටිය අමාරුවෙ හැටියට මොන දහංගැටේ ගහල හරි මොන මංගල්ලෙ කරල හරි එහෙම කරපු එකත් මදෑ...ඒ වෙනකල් ගැටළුවක් නෑ. හැමෝම එකඟයි ඒ අර්ථකථනයට..

රයිට් ඔන්න දැන් තමයි ප්‍රශ්නෙ එන්නෙ....දැන් ඊට පස්සෙ අපි අළුතෙන් තව ව්‍යාපෘති කීපයක් ගත්ත. එව්වට තියනවනෙ පිළිගත්ත ක්‍රමයක් ..අන්න ඒ විදිහට වැඩ කරල. දැන් ප්‍රශ්නෙ මෙන්න මේකයි. අර මනුස්සයට මේ ක්‍රමේ තේරෙන්නෙ නෑ. මිනිහ දන්නෙ අර අතට යටිං ක්‍රමේ විතරයි. ඒ විදිහට වැඩ කරන්ට ගිහිල්ල මිනිහ හත් පලේ ගාගෙන තියෙන්නෙ..ඒ මදිවට වැඩේ කියන්නෙ අපේ කොම්පැණියෙ කීර්ති නාමය තමයි මේ මනුස්සය හින්ද බල්ලට යන්නෙ.

වැඩේ කියන්නෙ මේ මනුස්සය අයිං කරන්ටත් බැරි සයිස් එකක් තියෙන්නෙ. වැහෙන්ට ඔන්න මෙන්න කියල තිබ්බ කොම්පැණිය බේරල දුන්නෙ මෙයා නෙව. මිනිහත් හැබැයි අපරාදෙ කියන්න බෑ දවස් දෙක තුනකට සැරයක් ඕක අපිට මතක් කරල දෙනව. මම අරමයි කලේ මම මෙහෙමයි කලේ කියල. ඒත් ප්‍රශ්නෙ එහෙම කලාය කියල මිනිහ දිගටම තියාගන්න එක පාඩුවක් නම් මොකද කරන්න ඕන?..අයිං කරල දාන එක නේද කරන්න ඕන?....කියන්න බලන්න ඔයාලගෙ අදහස්........

තව කාරණයකුත් කියන්නම ඕන. අපි කවුරු හරි මොකක් හරි තනතුරකට පත් කරගන්නෙ රයිට්, උඹට අපි මෙච්චර පඩියක් දෙනව.මේ මේ පහසුකම් දෙනව. උඹ මෙන්න මේ මේ දේවල් කරන්න ඕනය කියල එකඟතාවයකට ඇවිල්ල. එතකොට ඒ මනුස්සයට කලින් හිටපු මිනිස්සු තමන්ට බාර දුන්නු වැඩේ හරියට නොකරා වෙන්න පුළුවන්. ඒත් මේ මනුස්සය බාරගත්තු වැඩේ අකුරටම කලා. ඒක හරි. මිනිහ බාර දුන්නු වැඩේ කලා එච්චරයි. එතනිං එහාට ඒක මහා ලොකු දෙයක් වෙන්නෙ කොහොමද කියල මට නම් තේරෙන්නෙ නෑ. විශේෂයෙන්ම ඊට පස්සෙ දිහටම නාගන්න මනුස්සයෙක්. ඒ වැඩේ හරියට කලයි කියල ඊට පස්සෙ වැඩ කරන්නෙ හරියට අර බැළතණ ගහේ රුන්න බළල් ගෙඩිය වගේ නම් මොකද අපි කරන්න ඕන? ඒකත් කියන්නකො බලන්න ඔයාලම...

****************************************

දැං මේ දෙවෙනි කතාව...කතාව කිව්වට මේක මේ මම දැක්ක හීනයක්...ඒත් හැබහිංම උනා වගෙයි මට දැනුනෙ. ඒ තරම්ම සජීවී හීනයක්. ඔන්න මේක උනේ අපෙ ගමේ. අපෙ ගමේ ඉතිං කට්ටිය බොහොම සාමකාමීව පිනක් දහමක් කරගෙන හවසට හවසට ටීටර් සිංදුවක් දෙකක් කියාගෙන හිටියයි කියන්ඩකො. අපෙ ගමට එහායිං තිබ්බ මහ කැලෑවක්. අපේ අය ඔය අලයක් හාරගන්ට සතෙක් මරාගන්ට ගියේ ඔය කැලෑවට. ඔන්න ඔය කැලෙං හිටපු ගමං මතු උනා මං පහරන මිනී මරුවෙක්..... රාස්සයෙක් වගෙ....

මිනිහටම ලෑස්තිවෙලා හිටිය ඒ වගේම රාස්සයො රැලක්. මේ වසවර්තියො කරන්නෙ රෑ පානෙ කැළෑව අයිනෙ තියෙන ගෙවල් වලට පැනල මිනිස්සු ගෑනු ලමයි ඔක්කොම අමු අමුවෙ මරල දාල අතට අහුවෙච්චි සබ්බ සකල මනාවම අතගාගෙන ආයෙම කැළෑ පයින එක. ඔහොම පටන් ගත්ත වැඩේ අන්තිමට ගිනි මද්දහනෙ ගමට පැනල මිනීමරන්ට තරං දුර දිග ගියා. ගමේ මිනිස්සු කොටින්ම දවාලකට උනත් එලියට පහලියට බහින්ට බයේ හිටියෙ. මේ මල කරදරෙන් බේරල දෙන්ටය කියල ගම් නායකයො කීප දෙනෙක්ම පත් කර ගත්තත් ඒ කවුරුවත් වැඩේ හරියට කලේ නෑ. ඔන්න අන්තිමට එක මනුස්සයෙක් කිව්ව  මම ඔය වැඩේ කරඤ්ඤංය මාව පත් කොරගනිල්ලය කියල. අනේ මිනිස්සුත් අනේ හොඳයිය. එහෙනං මෙයයි පත් කොර ගනිමුය කියල ඔන්න ඒ මනුස්සය පත් කොරගත්ත කියමුකො. අනේ කිව්වත් වගෙ ඇස්වහක් නෑ, කටවහක් නෑ..මේ මනුස්සය කිව්ව වගේම වැඩේ නං කොලා.

ඒ කිව්වෙ අර පල් හොර දෙටුවයි උගෙ සහචරයො ටිකයි හොයාගෙන ගිහිල්ල උං ඔක්කොම නැත්තටම නැතිකරල දැම්ම සුන්නද්දූලි වෙලා යන්ටම. ගමේ මිනිස්සුන්ට නේද? සංතෝසෙ කියන්නෙ ඉහේ මල් පොකුරක්ම පිපුන වගෙ. ගම් නායකතුමාට දෙයියන්ට වගෙ තමයි සැලකුවෙ.

හැමෝම හිතුවෙ දැං ඉතිං අර හොර දෙටුවත් ඉවරයි, මොනවද ගම නිකං තව්තිසා දිවිය ලෝකෙ වගේ වෙයි. අපිට තියෙන්නෙ තෙලෙන් කා කිරෙං අත සෝදා අපේ මේ ජීවිතේ ගෙවනා . මොන පිස්සුද? ගම් නායකය කලේ ගමේම ඉන්න හරක් හොරු ටිකයි. මිනී මරුවොයි, කුපාඩියොයි ටික ලං කරගත්ත. මිනිහගෙ හත්මුතු නෙවෙයි දාහතර මුතු පරම්පරාවටම තනතුරු නැත්තං තනතුරු හදල දුන්න.කිසි කෙනෙක් කියන දෙයක් බලු මයිලක තරංවත් ගනං ගන්නෙ නෑ. මයි කාර් මයි පැට්‍රොල්, හූ ටු වට් වට් කියල පටං ගත්ත ජෝගි නටන්ඩ.

දැං ඔන්න ගමේ මිනිස්සු බලා ඉන්නව අර ශෛලතලාමස්තකයෙහි ශරීර කෘත්‍යය කොට වදාළ බිළාල පෝතක තෙම උකටලිවැ හාත්පස බලමින් පසුවන්නේ යම්සේද ආන්න ඒ වාගෙම...

****************************************

දැං ඕං තුන්වන හෙවත් අවසාන කථා වස්තුව. කතාවක් කිව්වට මේක ඇත්තම සිද්ධියක්.අපෙ අම්මගෙ පොඩි අයිය මයෙ මාමණ්ඩිය හිටියෙ අපෙම අල්ලපු වත්තෙ.මිනිහ නාහෙට අහන්නෙ නෑ. කිසිම බරක් පතලක් නෑ. ලිවිං තවුසන්ඩ් ඩෙඩ් තවුසන්ඩ් තමයි මනුස්සයගෙ මොටෝ එක. ඒ කිව්වෙ තේමා ගීතය. ගම පුරාම ගිහිල්ල අතන මෙතන හැමතැනම බොනව. හද්ද කුණුහරුප කියනව. මිනිස්සුන්ට තඩි ගහනව එකක් නෙවෙයි. ඒ කරල හවස ගෙදර ඇවිල්ල පවුලටයි ලමයින්ටයි අල්ලගෙන ගහනව උං කෑගහද්දි.

ගමේ මිනිස්සුන්ටත් හැමදාම මේ යකාගෙ කරදරේ විඳින්ට පුලුවන්ය. ඔන්න දවසක් ගමේ වැඩිහිටියො ඔක්කොම එකතු වෙලා ආව අපේ වැට මායිමට. 


" මේ ගොයියො ඔහොම මේ වැඩේ කොරන්ට බෑනෙ. උඹට මෙහෙම හැසිරෙන්ට ඉඩ දෙන්ට බෑ. උඹේ කල්කිරියාව වහාම වෙනස් කරගන්ට ඕන. නත්නං අපි නරක මිනිස්සු කියන්ට එපා හොඳද? "

ඔහොම කියල කට්ටිය ගියා යන්ට. එයාල යනකල් සද්ද නැතුව හිටපු අපෙ මාමා මෙන්න ඊට පස්සෙ බණින්ට පටං ගත්තෙ.


" හුහ්, එවුං කොහොමද එහෙම මට නීති දාන්නෙ? උං කවුද මගෙ? මගෙ බල්ලවත් ගණං ගන්නෙ නෑ ඔය කියන එව්ව..."

ඒ විතරක් නම් මදැයි අපිටත් බැන්න නෙව. 

" මම මේ උඹල ඔක්කොම වෙනුවෙන් වැඩ කරන්නෙ.ඒත් උඹලගෙ නෑ කිසිම කෙලෙහි ගුණයක්.දන්නවද මේ ගමේ එවුං අපිට ඊරිසියයි. ඔවුංට ඕන කොහොම හරි අපිව පාගල දාන්ට. දැනගනියව්. මම ඉන්නකල් එව්වට ඉඩ දෙන්නෙ නෑ. ඕන නං මාව එල්ලයි. නැත්තං අර තියෙන්නෙ බැට්රි පුටුවක්ද මොකක්ද කියල එකක්. ඒකෙ තියල මාව මරල දායි. ඒත් මම ලෑස්ති නෑ උංට ඕන විදිහට වැඩ කරන්ට."

ඔහොම කිය කිය දේයි දේයි කියල පපුවට ගහගන්ට ගත්තෙ නැද්ද අර සත්තෝද්දියානෙ ඉන්න ගෝරිලි තඩියෙක් වාගෙ.

අපේ ගෙදර ඉන්න අයටත් ඉතිං ඔය මාමණ්ඩිය කියන ඔක්කොම හැබෑ....මේ මනුස්සය අපිව බේරගන්ට පණ උනත් දෙන්ට සූදානම්ය කියන්නෙ උන්දැම දාගන්න කුණ්ඩවාලි වලින්ය කියල තේරෙන්නෙ නැති හැටියක් හැබෑටම....

Disclaimer - All characters appearing in this work & incidents reported herein are absolutely genuine. Any resemblance to fictitious persons, living or dead, is purely coincidental.


Thursday, March 21, 2013

171. විමලෙගෙ වාං පතුල් නොහොත් ලාංකේය බෞද්ධ සාහිත්යයෙන් අංශු මාත්රයක්....


විමලෙය බටු මිරිස් පාගාගෙන ගිය කතාව අන්තිමට මම කිව්ව් බොලාට මතකෙයි ? උගෙ වාංපතුල් කතාව ඊලඟට කියඤ්ඤංය කියාල හිට තමයි හිතාන හිටියෙ. ඒ කතාව කියන්ට ගිහිල්ල අර කොහෙද යන කබරයෙක් එක්ක ඔට්ටුවෙලා වෙච්චි වැඩේ ඒ කතාව කියන්ට බැරිම වෙලා ගියා. ඊටත් පස්සෙ නයි ගැනයි මාලිංගලා ගැනයි කොන්ත නෝනල ගැනයි අන්තිමටම අර ලලනාව නිසා මෙරිල් ලොක්කි ගැනයි ලියන්ට වෙච්චි නිසා වාංපතුල් කතාව ඩිංගෙං ඩිංග මගෑරිලා ගියා. හරි අද ඔන්න ඒක කියන්ටයි මේ හදන්නෙ..... 

රයිට් එන්ඩ බලන්ඩ කට්ටියම පං පැදුරු එහෙම උහාගෙන. දිගඇර ගන්ට ඔය ඉඩ තියෙන තියෙන කොහෙං හරි...බණ අහන්ට ගිහිල්ල වගෙ නිදාවැටෙන්ට ඔට්ටු නෑ හොඳද? 

බණ අහන්ට ගිහිල්ල නින්ද ගිය චාලට් අක්කගෙ කතාව අහල තියද?..එක්කොත් ඕන නෑ.. ඒක සුට්ටක් විතර අසබ්බිය පැත්තට බරයි.කාලෙකට ඉස්සර මම ඔය කතාව ලිව්ව අන්තිම පේළියෙ. 

මොනම දේකට හරි පුරුදු උනහම ඒක අතෑර ගන්ට බෑ. දැං මේ පඳුරු වටේ තැලිල්ලටත් වෙලා තියෙන්නෙ අන්න ඒක. මටත් ඒක ඇබ්බැහි වෙලා. ඔබ තමුන්නාන්සෙලත් මෙතෙන්ට එන්නෙ පඳුරු වටේ තලනව බලන්ටම හිතාගෙන. එහෙම තලන්නෙ නැතුව ලබ්බ ගලේ ගැහුව වගෙ කතන්දරේ කියැව්වොත් මට නෙසෑහෙන්ට වගපල කියන්ටත් බැරි නෑ..හුහ්, කොයි බොල උඹෙ පඳුරු තැලිල්ල? අපි මේ ආවෙ ඒක බලන්ටමය. බොට වටිනවය තැලිල්ල අතෑරල මෙහෙම එක පාරට කතාව කියන්ටය...අරකද මේකද කියල. ඒ නිසා ඉන්ටලාකො සුට්ටං පඳුරු තැලිල්ලක් කරලම ඉන්ට. 

මේ පඳුරු තැලිල්ල බණ අහනවාට අදාලයි හොඳද? ඔන්න එක ගමක් තිබ්බලු. ගමේ එක පන්සලක් තිබ්බලු. පන්සලේ එක හාමුදුරුකෙනෙක් හිටියලු. මේ ගමේ හිටියලු ටිකක් වයසක පාහෙ හීරළුවෙක්.හීරළුවයි කියන්නෙ සිවුර ලූ කියන තේරුමෙන්. දෙහිගහ උඩ වනල යනව කියන්නෙත් ඕකටම තමයි. 

" හුහ්, ඒ උන්නාන්සෙගෙ කල්කිරියාව නං මට ඇල්ලුවෙම නෑ. දැක්කනෙ අර තේඋඩිච්චියො රැලත් වට කොරගෙන බෝ මළුවටම ඇහෙන්ට පලාපු කැකිරි පැලිල්ල. මයෙ ඉහේ උකුණො බිමට පැන්නෙ නැතුව විතරයි, මේ ඇත්තමයි. තව ඒ හැටි කාලයක් යන්නෙ නෑ මම අද කිව්ව කියල හිතාගනිල්ල. ඔය උන්නාන්සෙ චීවරේ දෙහිගහේ වනල ඔය මාර දූතියක් එක්ක හඳ පානෙ ගියේ නැත්තං මට ඉජුහ් ඉජුහ් කියාපල්ල.... ඉජුහ් ඉජුහ්..." 

එහෙම තමයි දාහක් බුදුන් බුදුවන පාලොස්සක පෝය දවසෙ දස සිල් සමාදං වෙච්චි අපේ සර්දාවන්ත උපාසිකාවො. ඔව්, විසාකා,සාමා, බන්දුල මල්ලිකා යනාදී වසයෙන් වූ බවුද්ද සාසනයේ මහා උපාසිකාවන්ගේ පරපුරෙන් පැවත එන්නාවූ මහෝපාසිකාවො බෝ මලුවෙ ඉඳගෙන දර්ම සාකච්චා පවත්වන්නෙ... 


ඔය හීරලුව කියන එක ටිකක් විතර අපහාසාත්මක වගෙ හින්ද අපි මෙතන ඉඳල යොදමු උපැවිදි කියන වචනෙ.බොලාට ඒ වචනෙ පුරුදු වෙනකල් මම විතින් බ්‍රැකට්ස් තුල දාන්නං හීරළුවා කියල මෙන්න මෙහෙම . උපැවිද්දා ( හීරළුවා ) උපැවිද්දා කිව්වම නිකං දුන්නෙං විද්දා වගෙ අදහසකුත් එනව වගෙ නේද?...හෙහ්, හෙහ්.... 

හරි කොහොම හරි අර උපැවිද්දා ( හීරලුවා ) ඇවිල්ල මහම වාතයක් ඇණයක්, තුවාලයක්,පේන් ඉන් ද ආස් වෙලා හිටියෙ අර මම කියාපු හාමුදුරුවන්ට. 

උපැවිද්ස්ගෙ ( හීරල්ස් ) හාමුදුරුවරු එක්ක පුදුම තරහක් තිබ්බෙ. එහෙම වෙන්ට හේතු කීපයක් තිබ්බ. එක හේතුවක් විතරක් කියන්නම්. මොකද අනික් හේතු කියන්ට ගියොත් අර බී.බී. එස්. ( Bloody Bull Shit ) කස්ටිය රෙදි... සමාවෙන්න, චීවර කරට අරගෙන එන්ට බැරි නෑ මේ පැත්තෙ. 

ඒ කියන්ට පුලුවන් හේතුව තමයි ඔය ලංකාවෙ පංසල් වල පැවතගෙන එන පංසලේ අයිතිය පරම්පරාවට බාර දෙන සිරිත. මේ කාලෙ නම් කොහොමද කියන්ට දන්නෙ නෑ ඒත් අපි හිච්චි එවුං කාලෙ ඔය සිරිත තදේටම තිබ්බ. පංසලේ නායක ගොයිය අපවත් වෙන්ට කිට්ටු වෙනකොට තමංගෙ පරම්පරාවෙ කවුරුහරි පොඩි එකෙක් මහණ කරනව තමංගෙං පස්සෙ පංසලේ අයිතිය බාරවෙන විදිහට වැඩේ සැට් කරල. 

මම ඕක සහසුද්දෙම්ම දන්නෙ මටත් පොඩි කාලෙ ඔහොම ඔෆර් එකක් ආපු හින්ද....හෙහ්, හෙහ්, අපෙ අම්මයෙ මාම කෙනෙක් වෙන හාංදුරු කෙනෙක් උන්න ඔය ටිකක් දුර බැහැර පංසලක නායක පදවියෙ. ඉස්තානෙ ඇවිදිල්ල හිට රජමහ විහාරයක් දන්නවද? සෙල්ලං නෑ හරිය?....ඉතිං අම්ම මයෙං ඇහුව..පුතේ උඹ කැමතිය මහණ වෙන්ට? කියල....ඒ දවස් වල මයෙ බඩ බැඳ ගත්තු යාලුව තමයි ගල් වල ගාව ගෙදර ජයසීලි..මම කිව්ව හා. මං කැමතියි, හැබැයි ජයසීලිවත් එක්ක යන්ට ඕනෙ කියල. එහෙම බෑනෙ කියාපි අම්ම. එතනිං රජමහ විහාරෙ නායක පදවිය පිළිබඳ ඔෆර් එක අහවරයි. 

පස්සෙ ඒ ඔෆර් එක අපෙ පුංචි අම්මයෙ පුතාට ආව. ඒකා නම් මහණ උනා. ඒත් අර නායක උන්නාන්සෙ අපවත් වෙනකල් වත් ඒ අසමජ්ජාතිය හිටියෙ නෑ සිවුරෙ. දෙහිගහේ වනල ආව..යස්..උපැවිදි උනා… 

අම්මප මට අනන්ත හිතිල තියෙනව අපරාදෙ එදා ඒ ඔෆර් එක බාර ගත්තෙ නැත්තෙ කියල..අම්මද බොල එහෙනං කොහොමද මම අද?...යාන වාහනද? කන්ට බොන්ටද? අතට පයට රූමත් මානවිකාවන්ද? ශිහ්, කියල වැඩක් නෑ..මොකදෑ කොරන්නෙ ඉතිං?..ලැබීම නෑ ළමයි. ලැබීම නෑ... 

Right after a spot of B.A.B. ( Beating about the Bush ) now lets get back to the story...පඳුර වටේ තැලීමකින් අනතුරුව යලි ප්‍රධාන කථා වස්තුව වෙත.... 

ඉතිං අර උපැවිද්දටත් වෙලා තීයෙන්නෙ ඔන්න ඕක. වෙනත් නොයෙක් දුක් කරදර, සිත් බිඳීම් ඔක්කොම විඳ දරාගෙන පන්සලේ හිටියට අන්තිමට ඒ ඔක්කොම එපා වෙලා තියෙන්නෙ ලොකු හාමුදුරුවො පංසල බාර දෙන්ට හිතාගෙන තමංගෙ බෑණෙක්ව ගෙනල්ල මහණ කරපු දවසෙ.එදා මිනිහ රෑ දෙගොඩහරියෙ පංසලට ආයුබෝවන් කිව්ව සදහටම. පස්සෙ පවුලක් පංසලක් කරගෙන දෙයියනේ කියල හිටියට මිනිහගෙ අර හාමුදුරුවරු එක්ක තිබ්බ තරහ හිතේ පැහැව පැහැව තිබ්බ. 

ඉතිං මිනිහ කලේ මොකක්ද පෝය දවසෙ හාමුදුරුවො බණ කියනවනෙ. ඔන්න ඉන්නව ඉස්සරහටම වෙලා. ඒ කරල හාමුදුරුවො කියන බණ කතාවෙන් මොකක් හරි කොටසක් අල්ලගෙන කිසිම තේරුමක් නැති ප්‍රශ්න අහල හාමුදුරුවො විහිලුවට ලක් කරල දානව.හාමුදුරුවන්ට මේ වැඩේ හින්ද ජීවිතෙත් එක්ක එපා වෙලයි තිබුනෙ. දවසක් අල්ලපු ගමේ පන්සලේදි හාමුදුරුවො මේ විස්තරේ කිව්ව එහෙ හාමුදුරුවො එක්ක බොහොම දුකසේ. 

" හැබෑට? ඒකත් එහෙමද?...හරි ස්ථවිර බයවෙන්ට ඕන කමක් නෑ. ලබන බදාදනෙ පාලොස්වක පෝය. මම එන්නම් එදාට බණට...." 

අල්ලපු ගමේ පන්සලේ හාමුදුරුවො කිව්ව. තට්ටෙත් අත ගගා… 

ඔන්න දවසක් හවස ගමට එන අන්තිම බස් එක .....පොල් පටෝල සෙනඟ. ආය නෑ ඇඟිල්ලක් ගහන්ට ඉඩක්. අපෙ ජේමිස් මාමත් ඉන්නව බස් එකේ ඉස්සරහ හාමුදුරු සීට් එක ගාවම හිටගෙන. උන්දැ එදා කොරටුවෙ බුලත් ටික ටවුමට අරං ගිහිල්ල විකුණල හන්දියෙ බාර් එකෙන් කාලක් ක්‍රියාකරල අප්පමාදෝ අමර පදං වෙලයි හිටියෙ. බස් එකේ කවුලුවලිං එන හුලං පාරට මතේ තවත් වැඩි වෙල හීංවට වගෙ නින්දකුත් යනව. ඔය අස්සෙ බස් එක එලවන කිරි බණ්ඩ ෆුල් ඩම් දාල හිටගෙන කපනව ස්ටියරිං එක... වැලමිටි වංගුනෙ පාර දිගටම.බස් එක වංගු ගන්නකොට ජේමිස් මාම එහෙම්මම පැද්දිල ගිහිල්ල නතර වෙන්නෙ අර ඉස්සරහම සීට් එකේ ඉඳගෙන හිටපු හාමුදුරුවංගෙ කරේ හාමුදුරුවොත් දෙතුං පාරක්ම ඔළුව උස්සල ජේමිස් මාම දිහාවෙ රවල බැලුව. මොන? උන්දැට කොහෙද එව්ව පේන්නෙ මේ වෙලාවෙ..... 

ඔන්න ආයෙම වැලමිටි වංගුවක්..කිරි බණ්ඩ ආයෙම නැඟිටල කැපුව. ජේමිස් අයිය ආයෙම පාවෙලා ගිහිල්ල මේ පාරනම් ඉන්ද උනා හාංදුරුවංගෙ කර උඩම. හාමුදුරුවන්ට මෙදා පොටේ නම් තද උනා කියන්නෙ තට්ටෙත් එක්ක රතු උනා පිනිජම්බුවක් හා සමානව.. 

" හා, හා, නගිනව නගිනව මගෙ ඔලුව උඩටම….." 

හාංදුරුවො ගර්ජනා කලා ඉවසුං නැති කේන්තියෙං, 

ඔන්න ඒ සද්දෙට තමයි ජේමිස්සයියගෙ හොඳ සිහිය ආවෙ. උන්දැ අඩවන් වෙල තිබ්බ ඇස් දෙතුන් පාරක් ඇහිපිල්ලං ගහල ඊට පස් සෙ ඇස් හීං කරල එබිල බැලුව හමුදුරුවො දිහාවෙ. ආයෙම නලලත් රැලිකරගෙන බලා හිටිය හාමුදුරුවන්ගෙ තට්ටෙ දිහාවෙ. ඒ කරල නැමිල වැන්ද හාමුදුරුවන්ට… 

" අවසර ….නෑ කමක් නෑ අපෙ හාමුදුරුවනෙ..අද මට සුට්ටක් වැඩියි වගෙ. ඔතන ලිස්සන්ට ඇහැකි, මම මෙතනම ඉන්නං, ආරාදනාවට බොහොම ඉස්තූතියි " 

උන්දැ එහෙම කියල ආයෙම හාමුදුරුවංගෙ කරට හේත්තු උනා. 

ඔන්න ඉතිං කිව්වත් වගෙ පෝය දවසෙ අල්ලපු ගමේ පන්සලේ හාංදුරුවො වැඩපි බණට.ඊස් මීස් නෑ සෙනඟ. ඔන්න හාමුදුරුවො දැහැත් විටක් කාරිය සප්පායං වෙල පටන් ගත්ත බණ දේසනාව. සිදුහත් කුමාරය බුද්ධත්වයට පත්වීම තමයි එදා මාතෘකාව. 

" ඉතිං පිංවතුනි, මේ සිදුහත් තාපසය සුජාතා සිටුදියණිය පූජ කරපු කිරිබත් අනුභව කරල එහෙම ඒ අසලින්ම ගලාගිය නේරංජනා ගංගාව අසලට ගිහිල්ල මේ විදිහට අධිෂ්ඨානයක් කරනවා……….අද දින මගේ සම් මස් ඇට නහර……...." 

හාමුදුරුවන්ට එච්චරයි කියන්ට හම්බ උනේ. අපෙ කතානායක උපැවිදි තෙමේ නැඟී සිට මෙසේ පැවසීය. 

" අවසර අපෙ හාමුදුරුවනේ, මට පොඩි ගැටළුවක් ඇතිඋනා,  ඒ ගැන ඔබ වහන්සෙගෙන් විමසන්ට අවසරද? " 

ගමේ හාමුදුරුවො අදාල පුද්ගලයව කලින්ම පෙන්නල දීල තිබ්බෙ මේ ආගන්තුක හාමුදුරුවන්ට.." අන්න අර ඉන්නෙ..ඔය යකා තමයි දෙවිදත්තරය" කියල. 

ඉතිං අර බණ කියන හාමුදුරුවොත් සිනා මුසු මුහුණින් කිව්ව මෙහෙම…. 

" නෑ, නෑ, උපාසක මහත්මය ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ. ඇත්තටම මම හරිම සන්තෝෂයි. අපි බණ අහනකොට ඔය කියන ඔක්කොම අහගෙන ඉඳල අන්තිමට සාදු...සාදු කියල වැඩක් නෑ. බණ අහද්දි හිතේ ඇතිවෙන යම් යම් කුකුස්, ගැටළු ඒ වෙලාවෙම අහල විමසල විසඳ ගන්ට අවශ්‍යයයි.බොහොම හොඳයි උපාසක මහත්මය . කියන්න බලන්න ඔබට ඇතිවුනු ගැටළුව.." 

" මේකයි අපෙ හාමුදුරුවනෙ. මට ඇතිවුනු ගැටලුව..දැන් ඔබ වහන්සෙ ඔය නේරංජනා නම් ගංගාව ගැන කිව්ව නෙව. එතකොට ඔය නේරංජනා නම් ගංගාව පටං ගන්නෙ කොතනින්ද? මට දැනගන්ට ඕනෙ අන්න ඒක……" 

" ආන්න බලන්න පින්වතුනි. මේ උපාසක මහත්මයට ඇතිවෙලා තියෙන්නෙ එසේ මෙසේ පුද්ගලයෙකුට ඇතිවෙන ගැටළුවක්, ප්‍රශ්නයක්, කුකුසක් එහෙම නෙවෙයි. ඉතාම බුද්ධිමත් ඒ වගේම සසර පුරා ධර්ම ගවේෂණයේ යෙදෙන මහ පිනැති බුද්ධිමතෙකුට පමණයි මේ වගෙ විචිකිච්ඡාවන් පහළ වෙන්නෙ.ඇත්තටම මේ වගෙ ගැඹුරු ධර්ම කාරණා පිළිබඳ ඔය හැමෝටම කියා දෙන එකත් තේරුමක් නැති වැඩක්. ඒ නිසා මම ඒ ගැටලුවට පිළිතුර ඔය උපාසක මහත්මයට විතරක් කියන්නම්. එන්නකො ඔය උපාසක මහත්මය මේ මාලඟට. හරි තව ටිකක් එන්න. හරි අපි ආයෙම බලමු මොකක්ද මේ ගැටළුව කියාල...නේරංජනා නම් ගඟ පටං ගන්නෙ කොතනින්ද? ඒක නේද ඔය මහත්මයගෙ ගැටළුව? " 

" එහෙමයි අපෙ හාමුදුරුවනේ……" 

" හරි මේ කණ පත් කරන්ටකො මෙහාට..ආන්න එහෙම…….නේරංජනා ගඟ පටං ගන්නෙ තොගෙ ****ගෙ රෙද්ද අස්සෙං " 

" මම හිතන්නෙ ඒ උපාසක මහත්මයගෙ සියලු සැක දුරුවෙලා ඒ ධර්ම ගැටළුවට නිසි පිළිතුරක් ලැබුනයි කියල මම හිතනව.... මේ අනෙකුත් පිංවතුන්ටත් අවශ්‍යනම් ඒ පිළිතුර මේ උපාසක මහත්මයගෙන් නිවාඩු පාඩුව අසා දැනගන්ට පුළුවනි. හරි මම මේ කිය කිය හිටියෙ එතකොට සිදුහත් තාපසය නේරංජනා ගං ඉවුරට ගිහිල්ල..........." 

Sunday, March 17, 2013

170. හැත්තෑව දශකයේ ප්රේමයක් හෙවත් උපංගෙයි නුහුගුණේ. A love affair of the seventies and built-in lunacy.

ඉතාම සොඳුරු අතීතාස්මරණයට බොහෝවිට හේතුවනුයේ ඉතාම අහඹු සිදුවීම්ය. මේ දිනවල ඉන්දියාවේ පැවත්වෙන ඕස්ට්‍රේලියා ඉන්දියා ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ පවැත්වෙන ශ්‍රී ලංකා - බංග්ලාදේශ ක්‍රිකට් තරඟාවලියට පරදවා මගේ අවධානය දිනාගැන්මට සමත්වී ඇත. ඉන්දීය සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් දෙකේම දැඩි තරඟකාරිත්වයට අමතරව ගාල්ලේ පැවැත්වුනු බංග්ලාදේශය හා ප්‍රථම ටෙස්ට් තරඟය කිසිදු උනන්දුවක් ජනිත කරවීමට අසමත්වූ ඇල් මැරුනු තරඟයක් වීම ඊට බොහෝ සේ බලපෑවේය. 

ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් තරඟ වලදී සිරිතක් ලෙස කරුණු කාරණා සිද්ධ වනුයේ පහත සඳහන් අයුරෙනි. 1. මහේල හෝ සංගා ශතකයක් හෝ ද්විත්ව ශතකයක් රැස්කරයි. 2. ශ්‍රී ලංකාව ප්‍රථම ඉනිමෙහිදී ලකුණු 400 හෝ 500 රැස්කරගනී.3. අවම වශයෙන් එක් ඉණිමක හෝ රංගන හේරත් කඩුළු පහක් හෝ හයක් බිඳ හෙලයි. 4. දින තුනක් ඇතුලත, උපරිම වශයෙන් සිව්වන දින දිවා ආහාර විවේකයට පෙර තරඟය නිමා වන්නේ ශ්‍රී ලංකාවට බොහෝ විට ඉණිමක ජයක් අත්කර දෙමිනි. 

දින තුනකින් හෝ හතරකින් ටෙස්ට් තරඟයක් නිමාවන අන්දමේ තණ තිල්ලක් සකස්කිරීම පිළිබඳව ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තනතිල්ල භාරකරු ජයනන්ද වර්ණවීරට දැඩි දෝෂාරෝපණ එල්ල වූවාට සැක නැත. ඉන් බලවත් සිත් තැවුලට පත් හෙතෙම " ඉඳා උඹලට... කාල වරෙල්ලකො, හදන්නම් මේ පාර දවස් පහක් නෙවෙයි දහයක් උනත් කිසි ගින්නක් නැතුව ගහන්න පුලුවන් පිච් එකක් "තමාටම සපථ කොට ගත්තේ එවැනි තණ තිල්ලක් තරඟය සඳහා සකස් කළේය.ඔහු එය කෙතරම් මනාව ඉටු කලේද යත් පිති කරුවෝ කඩුල්ල අසල පදිංචි වූවෝ " මුත්තාපල් නොයම් "යයි තොල් මතුරමිනි..සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සවය තෙක් තරඟය පැවත්වූයේ වුවද තීරනයක් දැකගත නොහැකිවනු ඇතැයි ප්‍රවීණ ක්‍රිකට් විචාරකයෝ එකහෙලා පැවසූහ. 

මෙලෙස ඇල්මැරුණු ස්වභාවයකින් පැවැත්වෙන ශ්‍රී ලංකා-බංග්ලාදේශ තරඟාවලිය අතහැර පසුගිය සෙනසුරාදා දිවා ආහාර විවේකයෙහිදී මම ඉන්දියා- ඕස්ට්‍රේලියා තෙවන ටෙස්ට් තරඟය නරඹමින් සිටියෙමි. තම මංගල ටෙස්ට් තරඟයට සහභාගීවන ඉන්දීය ආරම්භක පිතිකරු ශිකාර් ධවාන් කලකින් මා නුදුටු චිත්තාකර්ෂණීය පිතිහරඹයක නිරතවෙමින් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්හට පහර දුන්නේ කලකට ඉහත විවියන් රිචර්ඩ්ස් පන්දු යවන්නන් අමු අමුවේ මරා දමමින් පන්දුවට පහරදුන් අයුරු සිහියට නංවමිනි. 

තම මංගල තරඟයෙහි පිතිකරුවකු රැස්කල වේගවත්ම ශතකය කරා ධවාන් ළඟාවනු හිඳවුන් අසුනෙහි පසුපසට හොඳින් වාරුවී දෑත ළයමත බැඳගත්වනම මම බලා සිටියෙමි.එක්වරම කිසිවකු මා හා සංවාදයෙහි යෙදීමට අදහස් කරන බව දන්වන සංඥාව යාන්තමට මට ඇසිණි. 

" අයියෙ උඹ බ්‍රිජස් ඔෆ් මැඩිසන් කවුන්ටි ෆිල්ම් එක බලල තියනවද? " 

" අඩේ නෑ නෙව. මම පොත නම් කියවල තියනව. කවදාහරි බලන්න ඕනමය කියල හිතාගෙනම ඉන්න ෆිල්ම්ස් ලැයිස්තුවෙන් එකක්. මෙරිල් ස්ට්‍රීප් සහ ක්ලින්ට් ඊස්ට්වුඩ්…. මගෙ ෆේවරිට් නළු නිලියො දෙන්නෙක්. " 


මෙරිල් ස්ට්‍රීප් පිළිබඳව, ඇගේ චිත්‍රපට පිළිබඳව, ගැහැණුන් තුල නිසර්ගයෙන්ම පවතින්නේයයි ඇය පවසන ( මෙහි ඇය යනුයෙන් අදහස් කරනුයේ මෙරිල් ස්ට්‍රීප් නොව මා හා සංවාදයෙහි යෙදුනු නුහුගුණ සපිරි ලලනාව බව සැලකුව මනාය ) ඉන් බිල්ට් ලුනසි පිළිබඳව ( ඊට පර්යාය පදයක් ලෙස මා යෝජනා කල ඉන් බිල්ට් එක්සෙන්ට්‍රිසිටි නොහොත් උපන්ගෙයි නුහුගුණය යන්නට ඇය එකහෙලා එකඟවූවාය. ) බොහෝ දේ කථාකල ඉක්බිති ඇය අවසන මෙසේ පැවසුවාය. 

" ලියාපංකො බං මෙරිල් අම්මණ්ඩි ගැන. …" 

ඒ වන විට මෙරිල් අරභයා දීර්ඝ කාලයකට ඉහත ඇරඹී අද දක්වාම මසිත නිදන්ගතව පැවතියාවූ චමත්කාරය සහ ගෞරවය නැවත වරක් පණගසා දළු දමා විකසිත වන්නට තැත් දරමින් වූ බැවින් මම එකෙහෙලා ඊට එකඟ වීමි. 

********************************************* 

බොහෝ ඈත අතීතයේ කාලයේ මිහිදුමින් වැසීගිය එක් දිනෙක රාත්‍රියෙහි මම නිදි වරාගෙන ලියමින් උන්නෙමි. 

මේස විදුලි පහන පමණක් දල්වා තිබුනේ මගේ කුටි සඟයාහට ( Room Mate ) බාධා නොවනු පිණිසය. එහෙත් එක්වරම හෙතෙම නින්දෙන් අවදිව සයනයෙහි හිඳගත්තේය. 

" මොකද බං කරන්නෙ මේ දෙගොඩහරියෙ?...මොනවද ඔය උඹ *** විකාගෙන ලියන්නෙ? " 

" මේ අර වසන්තිගෙ වැඩක් බං. එයාගෙ නංගිගෙ එසයින්මන්ට් එකක්. " 

වසන්ති පිළිබඳව ඔබගේ මතකය අලුත් කිරීමට මට මඳක් අවසර. නොහැඟවූ ආදරය නමින් මා ලියූ මතක සටහන් පෙලෙහි අප කාර්යාලයෙහි එකල සේවය කල ප්‍රිය මනාප යුවතියක පිළිබඳ මම සඳහන් කලෙමි.ඒ වසන්තීය.ඇය හා මා අතර ආදරය ද නොවුනු එහෙත් ආදරය නොවන්නේද නොවුනු යම් බැඳීමක් එකල වූ බව ද මම එහිදී ඔබට පැවසුවෙමි.ඇගේ නැඟනිය ඒ දිනවල විශ්ව විද්‍යාලයීය සිසුවියක වූවාය.මම ඒ ලියමින් සිටියේ වසන්තීගේ නැඟනියට අවශ්‍ය වූ නිබන්ධනයකි. 

" ඔව් ඉතිං උඹ මොකද? චීත්තයක්,ගවුමක් කිව්වොත් මදැයි , එලිවෙනකල් හරි නිදිමරාගෙන කරල දෙයි..හා..හා..ඕන එකක් අපිට මොකද? " 

මගේ පිටට පහරක් පහරක් එල්ල කල ඔහු මහ හඬින් සිනාසෙමින් නැවත හිසේ සිට දෙපතුල දක්වා පොරෝනයෙන් වසාගෙන නිදන්නට විය. 

කවට කමට හෝ ඔහු එල්ල කල චෝදනාව පිළිබඳව කිසිවක් නොපවසාම මම ඔබට ඊට කලකට පසු සිදුවූවක් පවසමි. 

නගරාසන්නයෙන් කුඩා ඉඩම් කැබැල්ලක් මිලදීගත් නමුදු නිවෙසක් ඉඳිකිරීමට වත්කමක් නොවූ බැවින් ඒ ඇය හා මම කුළි නිවෙස් වල වාසය කල සමයයි. 

" මේ...මේක හරියන්නෙ නෑ. ඔයාට මොනවද මේ එක එකීගෙ බඩු ගෙනල්ල දෙන්න තියෙන උවමනාව? මීට පස්සෙ බඩු ගේන්න ඔයා යන්න ඕන නෑ තේරුණාද? මම යන්නම්. " 

ඒ මගේ දයාබර ප්‍රියාම්බිකාවියයි. එදවස හීරැස්සගල අප වාසය කල නිවස අසලම ඒ ආසන්නයේම පිහිටි පෞද්ගලික රෝහලක හෙදියන් වශයෙන් සේවය කල තරුණියෝ රැසක් නේවාසිකව විසූහ.ඔවුනට එදිනෙදා අවශ්‍ය සිල්ලර ආහාර හෝ සබන් දත් බෙහෙත් වන් පාරිභෝගික ද්‍රව්‍ය ඔවුන් ගෙන්වාගත්තේ මා ලවාය. 

" අනේ අයියෙ කඩේටද යන්නෙ..අපිටත් ගෙනල්ල දෙනවද පාන් තුනකුයි ලක්ස් කෑලි............ " 

එවන් කාරුණික ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරනුයේ කෙලෙසකද? උත්පත්තියෙන්ම මම එවන් දයාබර ලලනා ඉල්ලීම් හමුවෙහි, විදුලි බිල නොගෙවා විදුලිය විසන්ධි කල ඉක්බිති ශීතකරණය තුල එක් ඇසිල්ලෙකින් දියවයන වෙඬරු බිඳක් මෙන් හුණුවන්නාවූ හදවතක් සහිතව උපන්නෙක්මි. 

ඒ බැව් වටහාගැන්මට මා ප්‍රියම්බිකාවිය කිසිසේත් සමත් නොවන බව ඇය යලිත් වරක් මොනවට ඔප්පු කලාය. 

" මේ අපෙ ඉස්කෝලෙ කිට්ටුවම ඇනෙක්ස් එකක් වේකන්ට් වෙනව ලබන මාසෙ. අපි යමු ඒකට. මට ඉස්කෝලෙට පයින් යන දුර. " 

********************************************* 

මගේ වහා හුණුවන හදවත, චීත්ත, ගවුම් සහ ප්‍රියම්බිකාවිය පිළිබඳ ඒ අතුරු කථාවෙන් ඉක්බිති යළි මෙරිල් නෝනා මහත්මිය මට හමුවූ අයුරු පැවසීමට නොහොත් ප්‍රධාන ප්‍රස්තුතයට යලි පිවිසෙමු. 

ඒ ක්‍රි. ව. 1980 හෝ 1981 විය යුතුය. මසකට අවම වශයෙන් දෙවරක් හෝ එදවස මුල්වරට හොලිවුඩ් හි තිරගතවූ විගසම පාහේ කොලඹ නගරයෙහි ඉංගිරිසි චිත්‍රපට උදෙසාම වෙන් වූ චිත්‍රපට ශාලා කිහිපයෙන් එකක ප්‍රදර්ශනය වන චිත්‍රපටයක් නැරඹීම අපගේ සිරිත විය. ඒ බොහෝවිට සෙනසුරාදා සවස 3.30 දර්ශනයයි.ක්‍රියාදාම චිත්‍රපට, ආත්මාරක්ෂක සටන් කලාව පිළිබඳ නිමැවුනු චිත්‍රපට සහ කාම සම්භෝගය යන්තමින් හෝ පිළිබිඹු වන චිත්‍රපට අපගේ ප්‍රමුඛතා ලැයිස්තුවෙහි ඉහලින්ම තිබිණි. 

පසුකලෙක ඒ කඩා බිඳ දමා පිහිටි ස්ථානයේ සුවිසල් සුඛෝපභෝගී නිවෙස් සංකීර්ණයක් ගොඩ නැඟූ එම්පයර් සිනමා හලෙහි ඒ සතියේම ප්‍රදර්ශනය වීම ඇරඹුනු චිත්‍රපටයක් නැරඹීමට එක් ශනිදා සන්ධ්‍යාවෙක මගේ කිට්ටුම මිතුරන් දෙදෙනෙකු ද සමඟ ගියෙමි. චිත්‍රපටයෙහි නම මතකයට නො එන මුදු ඒ බෲස් ලීගේ චිත්‍රපටයක් බව මතකයේ රැඳී ඇත. දර්ශනය ඇරඹීමට හෝරාවකට ද ප්‍රථම ශාලාව වෙත ලඟා වූ නමුදු ඒ වනවිටද සියළු දොරටු වසා House Full යනුවෙන් සඳහන් පුවරුවක් ප්‍රදර්ශනය කොට තිබිණි. 

" ඉතින් මොකේද දං වලඳන්නෙ? ෂෙහ්, දවසම අපරාදෙ…" 

සෙමෙන් සෙමෙන් විහාර මහා දේවී උද්‍යානය අසබඩ මාර්ගය ඔස්සේ ලිප්ටන් වට රවුම දෙසට ඇවිද යමින් මම පැවසුවෙමි. 

" මේ අඩේ..ඔලිම්පියා එකේ අලුත් ෆිල්ම් එකක් දාල ඊයෙ. මම කියන්නද? අපි ඒක බලමු. " 

මගේ එක් මිතුරකු පැවසූයේ ඒ අසල පිහිටි මාර ගසක සෙවණේ නතර වෙමිනි. 

" ඊයෙ දැම්ම එකක් නම් මේ වෙනකොට එතනත් හවුස් ෆුල් තමයි. " 


" නෑ බං ඊයෙ අපෙ අයිය එතනිං එනකොටත් ඒ හැටි සෙනඟක් ඉඳල නෑ. " 

" අඩේ එහෙනං මහ ජරාවක් වෙන්ට ඇති. මොකක්ද බං නම? " 


" මොකක්ද බං ඒ අපබ්බ්‍රංස නම? " 

අනෙකා ඇසුවේ ඒ අසලම වූ කුඩා පෙට්ටි කඩයෙන් සිගරට් කිහිපයක් මිල දී ගනිමිනි. 

" වර්සස් කියන්නෙ නම් විරුද්ධව කියන එකනෙ. ඔය කියන්නෙ මම හිතන්නෙ නඩුවක් ගැන වෙන්න ඕන...." මම පැවසුවෙමි. 

" කවුද බං ඕකෙ ඉන්නෙ? " 

" මෙරිල් ස්ට්‍රීප් කියල නම තිබ්බෙ කියලයි අයිය කිව්වෙ…" 

" එහෙම නළුවෙක් ගැන ඔය ඇහුවමයි…." 

" ඔය කිව්වෙ..යකෝ මෙරිල් ස්ට්‍රීප් කියන්නෙ නළුවෙක් නෙවෙයි නිළියක්....." 

" අම්මප?.....මෙරිල් කියන්නෙ පිරිමි නමක්නෙ ...." 

එදවස අගලවත්ත ආසනයේ මන්ත්‍රීවරයා වූ මෙරිල් කාරියවසම් මහතා සිහිකල මම පැවසුවෙමි. 

මෙරිල් ස්ට්‍රීප් ගැන පළමු වරට මම දැනගත්තේ එදා විහාර මහා දේවී උද්‍යානය අසල ඒ මාරගස යටදීය. එකල අපේ සිනමා වීරවරියෝ වූවාහු සිල්වියා ක්‍රිස්ටල්, ජැකලීන් බිසට්, උර්සුලා ඇන්ඩ්‍රස්, බෝ ඩෙරෙක් සහ එවකට දහසය වියේ පමන වූ බෲක් ෂීල්ඩ්ස් ය. 

" යමල්ලකො මෙරිල්වත් බලාගමුකො එහෙනං " 

මාර්ග අංක 140 බස් රථයක මරදානට පැමිණි අපි ඩාර්ලි පාර ඔස්සෙ නිව් ඔලිම්පියා ශාලාව වෙත ලඟා වීමු. ඒ වනවිට දර්ශනය ආරම්භ වීමට ඉතා ආසන්න වී තිබූ නමුදු ශාලාව තුල බොහෝ ආසන හිස්ව පැවතිනි. 

" අම්මප මූට මට …...මේ මේක දහ ජරාවක් එහෙමනම් අද උඹේ ගානෙ අපි ඔක්කෝටම රෑ කෑම හරිද? ....." 

චිත්‍රපටය නරඹනුවස් අප පොළඹවාලූ මිතුරා දෙස රවා බලමින් මම දෙවන පෙළෙහි අසුන් ගතිමි. 

බිරිඳ තමා අතහැර ගිය පසුව තම කුඩා පුතණුවන් සමඟ ජීවිතයට මුහුණ දීමට වෙර දරන පියකු පිළිබඳව ගෙතුනු ඒ චිත්‍රපටය අප සියලු දෙනාගේ හද ඇද බැද තබා ගැනීමට සමත්වූයේ නිතැනිණි. 

නුපුරුදු උච්චාරණය හේතුකොටගෙන සමහර වදන් දුරවබෝධ වුවද එහි කියැවෙන භාවාතිශය එමෙන්ම සංවේදී අන්දරය වටහා ගැන්මට ඒ කිසිසේත් බාධාවක් නොවිණි. 

චිත්‍රපටයේ අවසාන දර්ශනය; අධිකරණයෙන් දරුවාගේ භාරකාරත්වය හිමිවූ මව ( මෙරිල් ස්ට්‍රීප් ) දරුවා භාර ගැන්මට පැමිණියද දරුවාගේ පියා (ඩස්ටින් හොෆ්මන් ) හටම දරුවා භාරදී ඔවුන් දෙදෙන වෙන්ව යන දර්ශනය දශක තුනකට අධික කාලයක් ගත වී ගියද තවමත් මගේ මතකයේ රැඳී ඇත. 

On the morning that Billy is to move in with Joanna, Ted and Billy make breakfast together, mirroring the meal that Ted tried to cook the first morning after Joanna left. They share a tender hug knowing that this is their last daily breakfast together. Joanna calls on the intercom, asking Ted to come down to the lobby. She tells Ted how much she loves and wants Billy, but she knows his true home is with Ted. She will therefore not take him. As she enters the elevator to go and talk to Billy, she asks her ex-husband "How do I look?" The movie ends with the elevator doors closing on the emotional Joanna, right after Ted answers, "You look terrific." 

චිත්‍රපටය අවසානයේ මරදානේ ගාමිණී ගෘහභාණ්ඩ වෙලඳ සැල අසල එකල වූ තෝස කඩයට වී අපි තෝස සහ ඉඳිආප්ප අනුභව කලෙමු. 

" දැං මොකද කියන්නෙ ? මම ඔක්කොගෙම බිල ගෙවන්න ඕනද? " 

චිත්‍රපටය නැරඹීමට ප්‍රථම මගේ තර්ජනය සිහිකරමින් තර්ජනයට ලක්වූ මිතුරා විමසීය. 

" ඕනනං ගෙවපං …...ඒත් අපි බලකරන්නෙ නෑ. " 

එකිනෙකාගේ කරට අත්දමාගෙන සිනහසෙමින් අපි ආනන්දය ඉදිරිපස බස් නැවතුම වෙත පිය නැඟීමු. 

මෙරිල් ස්ට්‍රීප් නම්වූ ඇය එලෙස මගේ ජීවිතයට අහඹුලෙස ඇතුළු වූවාය. පාසල් සමය අවසන්ව අගනුවර අතහැර ඒමට ප්‍රථම ඇගේ තවත් චිත්‍රපට දෙකල් නැරඹීමේ භාග්‍යය මට උදාවිය. එනම් " ද ඩියර් හන්ටර් " සහ " ද ෆ්‍රෙන්ච් ලෙෆ්ටිනන්ට්ස් වුමන් " යන චිත්‍රපටය. 

ද්වීතීය අධ්‍යාපනය සහ ඉන්පසු රැකියාවක් ලැබ කැළෑ වැදීමට සිදුවූ කාලයෙහිදී ඉංගිරිසි චිත්‍රපට මතු නොව සිංහල චිත්‍රපට පවා නැරඹීමට අවකාශයක් ලැබුණේ ඉතා කලාතුරකිනි. එබැවින් මෙරිල් සමඟ මගේ ඇසුර අවම මට්ටමක පැවතියද ප්‍රේම පුරාණයක රඟදුන් මානවිකාවියක් කිසිදාක මතකයෙන් එකලාව බැහැරව නොයන්නක් සේ ඇයද මසිතෙහි එක් සොඳුරු මතක ලතා මඬුල්ලක මේ ගතවූ දශක තුනකට අධික කාලය මුලුල්ලේ වසන්නීය. 

එහෙත් හැකි පමණ මම ඇගේ රංග කෞශල්‍යය පිළිබඳ තොරතුරු සොයා ගතිමි. වසර දෙකකට පෙර ඇය බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිනි මාගරට් තැචර් ලෙස ද අයන් ලේඩි චිත්‍රපටයේ රඟපාමින් තෙවන ඔස්කා සම්මානය ද දිනා ගත්තීය. 

ඇය ඔස්කා සම්මානයට 17 වරක් නිර්දේශව වාර්තාවක් ද තබා ඇත්තීය. 

අතීත මතක සැමරුම් අවසානයෙහි බොහෝ දීර්ඝතර ගොමු වටා තැලීමකින් ( Beating about the bush ) අනතුරුව ප්‍රිය සහෘදය, අප නැවත පසුගිය සෙනසුරාදා සවස වෙත පෙරළා පැමිණ සිටින්නෙමු. 

" ලියාපංකො බං මෙරිල් අම්මණ්ඩි ගැන. …" 

උක්ත නුහුගුණාපිත ලලනාව මා හා පැවසුවාය. නැත.. ඒ වනාහී ඉල්ලීමකට වඩා හුරු වනුයේ නියෝගයකටය. වන්නාටය... මම ඒ නියෝගය පිලිගෙන ඈ සඳහන් කල චිත්‍රපටය නැවත නැරඹීමි. 

උස් මහත් වූ දරුවන් දෙදෙනෙකුගේ මවක වන හතළිස් විය ද සපුරා ඇති ෆ්‍රැන්සෙස්කා ජොන්සන්, සැමියා සහ දරුවන් දින කිහිපයකට නිවසින් බැහැරව ගිය කලෙක ජීවිතයේ ප්‍රථම වරට ඇස ගැටෙන අමුත්තකු සමඟ ප්‍රේමයෙන් බැඳෙයි. ඒ අධ්‍යාත්මික ප්‍රේමයක් ම නොවේ. රාගික ප්‍රේමයක් මද නොවේ. අඩු වැඩි වශයෙන් ඒ දෙකේම සංකලනයකි. 

" And in that moment, everything I knew to be true about myself up until then was gone. I was acting like another woman, yet I was more myself than ever before. " 

මේ ඒ අපූර්ව මොහොත පිළිබඳව ෆ්‍රැන්සෙස්කාගේ නිර්වචනයයි. ඉතා තැන්පත් සහ සතුටුදායක විවාහ දිවියක් ගෙවන හතළිස් වියැති කාන්තාවක් මෙලෙස හැසිරීමට පෙළඹෙනුයේ මන්ද? උක්ත නුහුගුණාපිත ලලනාව පවසන පරිදි ඉතිරින් හට ආවේනික වූ Built-in Lunacy නිසාද? උපංගෙයි නුහුගුණේ? හේතුව එයද? පිලිතුරු නැති ප්‍රශ්න මෙලොව බොහෝ වෙති. හරිහැටි පිළිතුරක් නොවීම ම ඒ ප්‍රශ්නයෙහි චිත්තාකර්ශනීය බව වර්ධනය කරන බන මගේ හැඟීමයි. 

සතර දිනක් මුලුල්ලේ ඔවුන් දෙදෙනාගේම ජීවිත උඩු යටිකුරු කරමින් හමා ගිය චණ්ඩ මාරුතයකට ඉක්බිති ඇය නිසොල්මන්ව හිඳ තම ජීවිතය පිළිබඳව තීරණයක් ගන්නීය. ඒ තමා පිලිබඳව නොව තම සැමියා සහ දරු දෙදෙනා පිලිබඳව බොහෝ දුර සිතා එලඹ ගන්නාවූ තීරණයකි. 

Francesca: Robert, please. You don't understand, no-one does. When a woman makes the choice to marry, to have children; in one way her life begins but in another way it stops. You build a life of details. You become a mother, a wife and you stop and stay steady so that your children can move. And when they leave they take your life of details with them. And then you're expected move again only you don't remember what moves you because no-one has asked in so long. Not even yourself. You never in your life think that love like this can happen to you. 

Robert Kincaid: But now that you have it... 

Francesca: I want to keep it forever. I want to love you the way I do now the rest of my life. Don't you understand... we'll lose it if we leave. I can't make an entire life disappear to start a new one. All I can do is try to hold onto to both. Help me. Help me not lose loving you. 

එක් ධාරාණිපාත වර්ෂාවක් ඇද හැලෙන සන්ධ්‍යාවක ඔවුහු සමු ගත්තෝය. හුදෙක් සොඳුරු මතක සැමරුම් පමණක් හදතුල රඳවාගත් පියා ඔවුහු සමුගත්තෝය. 

************************************* 

විශේෂ ස්තූතිය - මගේ සෙනෙහස දිනූ තවත් එක් නුහුගුණාපිත ලලනාවක් පිළිබඳ මගේ මතක සැමරුම් යලි අවදිකොට මේ සොඳුරු සටහනට මඟ පෑදූ ඔබට, ඒ නුහුගුණාපිත මා හිතවත් ලලනාවට. 


Wednesday, March 13, 2013

169. කොන්ත නෝනාගේ කොණ්ඩය, මාලිංගගේ කොණ්ඩය සහ කාගෙ කාගෙත් විනය..Of Hairstyles & Discipline


රටේ ප්‍රශ්න අමතක කරන්ට ජනමාද්දිය මොනවා හරි විගඩමක් කරළියට අරං එනව. නාග නලඟන අල්ලාගෙන කාලයක් දැඟලුව. ඊට පස්සෙ හොරණ පොල් කෙල්ල උඩ දැම්ම. දැං මාලිංග අල්ලගෙන නටනව.ආණ්ඩුවේ රූපවාහිනී දෙකට මේ දවස්වල වැදගත්ම ප්‍රශ්නය මාලිංගගේ නොහොබිනා හැසිරීම. හෙට අනිද්දා ජිනීවා වල මානව හිමිකම් කමිටුව රැස්වෙනව. ඒ ගැන වගේ වගක් නෑ. ඒක වගේද මේ මාලිංග කොරපු එක. මූ හිටුවා පස් ගහන්ට ඕනෑය. මේක මුගේ ජම්මේ වැරැද්දය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයිං එක්ක කොන්තරත් ගහන්නෙ ඔවුන්ව එක එක මට්ටම් අනුව බෙදලාය. ඒ අනුව මාලිංග අයිති වෙන්නේ පළවෙනි මට්ටමටය. 

එහෙම තත්වෙක ඉන්න ක්‍රීඩකයන් හැසිරෙන දිහා බලලාය පුංචි එවුන් ඉගෙන ගන්නේ. ඒ නිසා ඒ ක්‍රීඩකයිං විනයක් ඇතුව ඉන්ට ඕනෑය. ආණ්ඩුව උදේ හවස ඉවරයක් නැතුව කියන්නේ ඒකය. ඇත්තම කිව්වොත් මාලිංගගේ කොණ්ඩෙට මම කැමති නැත. ඒත් උගේ යෝකර් පන්දුවට මම කැමතිය. ඔස්ට්‍රේලියන්, ඉන්දියන්, එංගලන්ත, පකිස්තාන, දකුණු අප්‍රිකානු.... ඔය කොහෙං කවුරු ආවත් මාලිංගගේ යෝකර් එක වැටෙන්නේ කෙලින්ම කකුලේ ඇඟිලි වලටය. ඒ බෝලෙට විස්තර විචාරකයන් කියන්නෙ Toe Crusher කියාය. මෙන්න මෙහෙමය.මේක වැඩ දාලා පණ පිහිටුවල කියන්නෙ ස්වර්ගස්ත උනු ටෝනි ග්‍රේග් නම් දීග ජන්තුවාය. 

" Incomes Malinga ( ටෝනි කියන්නෙ මාලිංග කියල නෙවෙයි මලිංගා කියලයි ) right arm over the wicket with his unique slinging round arm action into Pieterson…another of those trademark toe crushers of malinga, right on target as always……." 

අනික් පැත්තෙ එවුංගෙ කකුලෙ ඇඟිලිවලට හරියටම කිරල මැනල යෝකර් දානකල් මට මාලිංග එක්ක කිසිම කොක්කක් නෑ. උගෙ කොණ්ඩෙ කොහොම තිබ්බත් මට එකයි. අර කතාවකුත් තියෙන්නෙ කොන්ත නෝනගෙ කොණ්ඩෙ කොන්ත නෝනට ඕන හැටියටයි කියල. 

ඔය කොන්ත නෝනගෙ කොණ්ඩෙ කොන්ත නෝනට ඕන හැටියටය කියල කියන කතාව හැදිච්චි හැටි අහල තියද?...නියම කතාව ඒක..ඕක මේ සුද්දගෙ කාලෙ වෙච්චි එකක්. කොන්ත නෝනය කියන්නෙ මරදානෙ හිටපු නගර සෝබිනියක්..දන්නවනෙ එහෙම කිව්වම කවුද ඒ කියල නේද?..හරි හරි... ඔක්කොමල දන්නව..ඔන්න දවසක් තම වුර්තියෙ යෙදිල ඉන්දැද්දි Ms. කොන්ත නෝනව පොලිසියෙං අල්ලං ගිහිල්ල දැම්ම උසාවි.... හොඳද?...නඩුකාරය ඇවිල්ල සුද්දෙක් ....ඔන්න ඉතිං පොලීසියෙං විස්තරේ කිව්ව " My Lord, this woman has been arrested while soliciting in a public place..." 

මට හැමදාම තිබ්බ ප්‍රශ්නයක් සොලිසයිටිං කියල නගර සෝබිනී රැකියාවෙ යෙදෙනවටත් කියනව. ඒ වගේම නීතීඥයන්ටත් සොලිසිටර් කියල කියනව. ඒ කිව්වෙ ඉංගිරිසි බාසාව අනුව ඒ දෙකම එකයි කියල සලකනවද මන්ද...ඒක කොහොම වෙතත් අද බහුතරයක් පෙරකදෝරුවො හැසිරෙන්නෙ නම් ඒ දෙකම එකයි කියල ඔප්පු කරන එක තම ජීවිතයෙ එකම අභිලාෂය කරගත්තු අය වගෙ..හෙහ්, හෙහ්, 

හරි ආපහු සුද්දගෙ උසාවියට...නඩුකාර සුද්ද බොහ්..හ්..හෝම දරුණු මනුස්සය. ආය නෑ කාටවත් සමාවක්..පෙර වැරදි නැති නිසා ලිහිල් දඬුවම් ..එව්ව නෑ මිනිහ ගාව...මේ කතාව ඇහුනම මිනිහගෙ මූණ රතු උනා පිණි ජම්බෙ වගෙ. කණ්ණාඩිය පාත් කරල කොන්ත නෝන දිහා රවල බැලුව බැලිල්ලක් කොහොමද දන්නවද?....ආං හරි ඒ වගේ තමයි.... 

" Soliciting huh?..maximum fine , maximum fine...." සුද්ද බෙරිහන් දුන්න. 

කොන්ත නෝන මෙව්වයෙ අගක් මුලක් මොකවත්ම දන්නෙ නෑ..විත්ති කූඩුවට වෙලා විටකුත් හප හප නඩුකාරයගෙයි පෙරකදෝරුවංගෙයි මූණු දිහා මාරුවෙං මාරුවට බල බල හිටියෙ. 

තෝල්කය ආව විත්ති කූඩුව ලඟට. " දඩේ දහයයි. ඒක ගෙවල තමුංට යන්ට පුලුවෙනි. " බොහොම ගාම්බීර තාලෙට දැනුම් දුන්නා. 

කොන්ත නෝනට ඉහිලුං නැතුව ගියා මේ කතාවට.. 

" ඈ මහත්තයෝ, ඔය රුපියල් දහයෙ දඩේ ගෙවන එක නං ඒ හැටි කජ්ජක් නෙවෙයි. ඒත් මං අදනෙ දන්නෙ මයෙ මේකත් අයිති ආණ්ඩුවට කියල " 

ඇඳං හිටපු රෙද්ද උස්සල වටේටම පෙන්නල උන්දැ කෑගැහුව.තෝල්කය බය වෙච්ච පාර කලන්තෙ දැම්ම කියලයි කියන්නෙ. නඩුකාරයට දැන ගන්ට ඕන උනා කොන්ත නෝන කිව්වෙ මොකක්ද කියල. ඒක පරිවර්තනය කරල කිව්වම මිනිහ ඇස් දෙකෙං කඳුලු පනිනකල් හිනා උනාලු. මිනිහ කොච්චර සන්තෝස උනාද කිව්වොත් දඩෙත් අවලංගු කරලයි කියනව කොන්ත නෝනව නිදහස් කරල තියෙන්නෙ. 

මෙන්න මෙහෙමලු නඩුකාරයගෙ තීන්දුව.... 

" That’s a very sound & valid point of law ..what you showed this court a little while ago comes under strictly private property act. Or at least I think so…in that case when you generate an income renting out your own private property whether the government is entitled to tax it is a very debatable question. but anyway as there is no clear precedence in this regard, for the moment I accept your submission & hereby exonerate & release you. " 

හැබැයි තෝල්කය විරුද්ද උනාලු ඒ Interpretation එකට. 

" My Lord, I most humbly disagree with your viewpoint. At the very moment a private property is leased out with an express intention of generating an income it ceases to be strictly private. It automatically becomes a public property and therefore is liable to be taxed. " 

ඒත් නඩුකාරය එකඟ උනේ නෑ ඒ තර්කයට. මිනිහ කොන්ත නෝනව නිදහස් කලා. අන්න එහෙමයි ඒ කාලෙ ..සුද්දො ඇවිල්ල අන්තිම සාදාරණයි. 

ඔන්න ඔය කතාව ටිකක් සභ්‍ය විදිහට හරෝල තමයි ඔය කොන්ත නෝනගෙ කොණ්ඩෙ කොන්ත නෝනට ඕන හැටියට කියන කතාව ඇතිවෙලා තියෙන්නෙ... 

හරි ආයෙම මාලිංගගෙ කොණ්ඩෙට...මම මේ කිය කිය හිටියෙ ඒ මනුස්සයගෙ කොණ්ඩෙ ඒ මනුස්සයට ඕන විදිහට තිබ්බම අපිට මොකද කියන එකයි.ඒ වගේම තමා මාලිංග ටෙස්ට් ගහන්නෙ නැතුව අයි.පී. එල්. ගහන එක....ඉතිං මොකද?...හැමදාම ක්‍රිකට් වලිං හම්බ කරන්න බෑනෙ. ඉතිං පුලුවං උපරිම කාලයක් උපරිම සල්ලි හම්බ කරගන්ට මාලිංගටත් අයිතියක් නැද්ද?...මේ අපි හැමෝටම වගෙ..නෑ..එයාටත් ඒ අයිතිය තියනව...ඒක අනිවාර්යයයි.ඊලඟට අපේ මේ ජනමාද්දිය කාරයින්ට තියෙන තව ප්‍රශ්නයක් තමයි මේ ක්‍රිකට් ගහන කට්ටිය අච්චර හම්බ කරනව මෙච්චර හම්බ කරනව ගාන. ඕන්න කට්ටියගෙ නමත් එක්ක ගනන් දානව පත්තරේ මහේලට මෙච්චරයි, සංගට මෙච්චරයි....කියල. ඒ ගනං දක්කම ඉතිං මිනිස්සු කුලප්පු වෙනව..අර මිනිස්සුංට බනින්නෙ අම්ම මෝ නැතුව. 

ඇයි දෙයියෝ සාක්කි මේ යක්කුංට තේරෙන්නෙ නැති හැටි මිනිස්සු කියන ජාතිය එකිනෙකාට වෙනස් කියල. මම මහේල නෙවෙයි. මහේල කරන සෙල්ලං මට කරන්ට බෑ, ඒ මනුස්සයගෙ උපතින් ගෙනාපු සහ පස්සෙ ස්ව උත්සාහයෙන් වැඩි දියුණු කරගත්තු ක්‍රීඩා කෞශල්‍යය නිසා මහේල ලක්ස ගනන් හම්බ කරනව. ඒකෙ හැටි එහෙම තමයි.මහේලගෙ දක්ෂතාවය සංගගෙ දක්ෂතාවය බොහොම කලාතුරකින් කෙනෙකුට පිහිටන දෙයක්. ඉතිං ඒක පාවිච්චි කරල ඒ මිනිස්සු ලක්ෂ ගනන් හම්බ කරනව. ඉතිං මොකද? ඔහෙ හම්බ කරගත්තාවෙ...මේකෙ වැඩේ මිනිස්සු ඔක්කොම මේක දන්නව. ඒත් පත්තර වලින් ටී. වී. වලින් පොඩ්ඩක් ඇවිස්සුවම ඔන්න කුලප්පු වෙනව. අඩේ මුංට මොකටද ඔච්චර කෝටි ගනං සල්ලි. නරකද ඔව්වයිං කොටසක් නැති බැරි මිනිස්සුන්ට දුන්නනං....හොඳයි තමයි, ඒත් ඒක තීරණය කරන්න ඕන ඒ සල්ලි හම්බ කරන උදවිය මිසක වෙන කවුරුවත් නෙවෙයි. වෙන කාටවත්ම බෑ එහෙම කියන්න.අච්චර දීපං මෙච්චර දීපං කියන්න. 

අනික මේ දේසප්පෙරේමය. ඕන එකකට ඕක තමයි ඉස්සරහට දාන්නෙ...දැං ඔය ක්‍රිකට් ක්‍රීඩකයො ගිවිසුං අස්සං නොකර හිටපු දවස් කීපෙට රාජ්ය මාධ්‍ය ගැහුවෙම ඔය තුරුම්පුව..දේශ ප්‍රේමයේ තුරුම්පුව..අපි ක්‍රිකට් ආයතනය ගැනම බලමු. ඕකෙ සල්ලි ගැහුවෙ කෝටි ගණං වලින් ..එහෙම කිව්වෙ එක පාරක් වෙන කවුරුවත් නෙවෙයි ක්‍රීඩා ඇමති තුමාමයි. ඒත් ඒ හතර වරං ගහපු මිනිස්සුන්ට කිසිම දෙයක් උනේ නෑ. උං යස අගේට සල්ලිත් අරං අයිං වෙලා ගියා. එවුං එක්ක එකතු වෙලා හොරා කාපු තව හත් අට දෙනෙක් තවම ඉන්නව නිල තල වල.ඒ ගසා කාපුවට හරියන්ඩ තමයි ක්‍රීඩකයන්ට මෙච්චර කල් දුන්නු දීමනාවට මෙදා පොටේ බැස්ටිය දෙන්නෙ.අනේ අපි නොදන්න ලයිව්.... 

එතකොට කෝ අර හොර තක්කඩිංගෙ දේසප්‍රේමය? කෝ එවුංගෙ විනය? 

පාරවල් දිගේ ගිනි දවල් මරා ගන්නව මංත්‍රීල, සංවිධායකල. හෝටල් වල දෙනෝදාහක් ඉස්සරහ ගෑණු දූෂණය කරනව ප්‍රාදේශීය දේසපාලුවො..පාර්ලිමේන්තුවෙ මංත්‍රීල කියන එවුම්ම රටේ අග විනිසුරුට ඊටත් වඩා කාන්තාවකට වට කරගෙන නොහොබිනා කතා කියනව.එවුන්ගෙ විනය ගැන කතා කරන්ට කවුරුත් නෑ.මාලිංගගෙ විනය තමයි හැමෝටම ලොකු වෙල තියෙන්නෙ. අනේ සකෝ බල ලෝ කිව්වලු... 

අනික් කාරනේ මේකයි. දැං ඔය ක්‍රිකට් ක්‍රීඩකයො ගිවිසුං අස්සං කිරිල්ල ප්‍රතික්සේප කලේ මොකද? ඉල්ලීං හතරක් හින්ද...එතකොට සනත් ජයසූරිය ගරු මන්ත්‍රී තුමා එයාල හම්බවෙලා සාකච්ඡා කරනකල් එයාල ඒ දැඩි ස්ථාවරයෙ හිටිය. ඉල්ලීම් ලැබෙනකල් අස්සං කරන්නෙම නෑ නෑමයි කියල. ජයසූරිය ගරු දකුණු පළාත් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා එක්ක එක සාකච්චාවයි තිබ්බෙ. මෙන්න පහුවදා කිසි කතාවක් නැතුව ඔක්කොමල පෝලිමට ගිහිල්ල අස්සං කලා. දැං මොකද මෙතන වෙන්ට ඇත්තෙ?...හිතාගන්ට පුලුවන්නෙ නේද?...ජයසූරිය ගොයිය ඔය සාකච්චාවට එන්ට ඇත්තෙ ඔතන ඉන්න ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් එක්ක එකට සෙල්ලං කරපු ජේස්ට ක්‍රීඩකයෙක් හැටියටද? ඇවිල්ල මෙහෙම කියන්ට ඇති කියල හිතනවද?. අනේ සුදු මල්ලිලා මම මේ ඔයාලගෙ අයිය කෙනෙක් කියල හිතාගෙන මම කියන එක අහන්ටකො. හොඳ ළමයි වගෙ ඕකට අත්සන් කරන්ටකො. 

ජයසූරිය තේරීම් කමිටුවෙ සබාපති. තෙරීම් කමිටුවෙ සබාපති හැටියට එයාට ක්‍රීඩකයන්ගෙ ගිවිසුම් ගැන කිසිම ඇඟිලි ගැහිල්ලක් නෑ. එයයිට තියෙන්නෙ ක්‍රිකට් ආයතනය එක්ක ගිවිසුමකට බැඳිල ඉන්න ක්‍රීඩකයින් අතරින් හොඳම එකොළොස් දෙනා තෝරන එක. එතකොට මොකක් වෙන්න ඇතියි කියලද අපිට හිතන්න වෙන්නෙ?....ජයසූරිය සාකච්චාවට ආවෙ රජයේ නියෝජිතය හැටියට..ඇවිල්ල කියන්න ඇති මෙහෙම....( පරිකල්පන ශක්තිය ඇත්තෝ පරිකල්පන ශක්තිය භාවිතා කරත්වා !!! ) 

ඉතිං ඔහොම අස්සෙ තමං මාද්දිය වේදියො කියල මහ ලොකුවට හිතාගෙන ඉන්න උදවිය අනම් මනම් අහන්න ආහම තරහ යන්නෙ නැත්තෙ කාටද? 

ඔය මාද්දිය වේදියංගෙ තරම බලා ගන්ට හොඳම තැන තමයි සති පතා තියෙන රජයේ ප්‍රවෘත්ති සාකච්චාව. ඒකට ඇවිල්ල අර රජයේ මාද්දිය පොරකාසක කියන ගොබිල කියන අන්දරේගෙ කතා මීක් කියන්නෙ නැතුව අහගෙන ආපහු එන්ට පුලුවන් ලංකාවෙ මාද්දිය වේදියොයි කියල තමම්ම කියාගන්න ජාතියටම විතරයි. 

එක අතකට ඒකෙ වැරැද්දකුත් නෑ. තමංගෙ රස්සාව කරන හටි තමං දැනගන්ට එපාය..ඒක කියල දෙන්ට මට තියෙන අයිතිය මොකද්ද?...හෙහ්, හෙහ්, 

මොකදෑ කොරන්නෙ ඉතිං?..උයා ගත්තු දෙයක් කාල, වෙන දෙයක් බලාගෙන පැත්තකට වෙලා ඉන්ට තමයි වෙලා තියෙන්නෙ... 

එසඳ මම පසෙකටවී බලා සිටින්නෙමි. 

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...