Wednesday, December 31, 2014

297. අවසන මුවා මැරූ සලමන්ගේ පිහිට පැතීමට සිදුවූ ජාතිය බේරාගත් මහාවීර තෙමගේ දුක්ඛ දායක කථා වස්තුව සමඟ මෝහාන්ධකාර සහ තානාපතිවරුන්ගේ ගුටි කෙළි ගැන කථා


Daily Mirror - Cartoon by Awantha Artigala

මෝහාන්ධකාරගේ කථාව

ටන්න ටනා ටන ටන ටන්න ටනා ටන ටන ටන්න ටනන ටන්න ටනන ටන්න ටනා… 

" ආයුබෝවන්...අදත් අප ඔබ සමඟ ..හීතල උඳුවප් මහේ මේ ජඩාධිපතිවරණ උණුසුමේ අදත් ඔබට හටන ඉදිරිපත් කරමින් මම සඳුන් ඉරුගල්බණ්ඩාර....අද අපි මුලින්ම වේදිකාවට කැඳවන්නේ හන්තර්ජාතික කටයුතු පිළිබඳ ජඩාධිපති උපදේශක මෝහාන්ධකාර සරමනායක මහතා..." 

" ආයුබෝවන්..මෝහාන්ධකාර මහත්මයා." 

" ආයුබෝවන්.සඳුන්...." 

" පළමුවෙන්ම මම ඔබගෙන් අගන්ට කැමතියි මේ වර්තමාන ජඩාධිපති තුමාට බොහොම බරපතල චෝදනා තියනව..රටේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටිලය..එතුමා ඒ ගැන කිසිවක් කරන්නෙ නෑය කියල. මොකක්ද ඔබට ඒ ගැන කියන්ට තියෙන්නෙ? " 

" සඳුන් නීතියේ ආධිපත්‍යය බිඳවැටිලය කියන මාතෘකාව ගැන කතාකලොත් අපිට ඒ ගැන මෙහෙම කියන්ට පුලුවන්. බටහිර රටවල් අපේ රට අස්ථාවර කරන්ට දත කට මැදගෙන පිටපොට ගහගෙන ඉන්නෙ මෙතුමා බලයට පත්වුනු දවසෙ ඉඳලමයි." 

" මම ඇහුවෙ මෝහාන්ධකාර මහත්මයා ඒක නෙවෙයි...." 

" හරි හරි මම එතනට එනවා..සඳුන් පහලොස්වන ශතවර්ෂයෙ මෙක්සිකෝවේ තිබුනු ඉතාම දියුණු ඉන්කා ශිෂ්ඨාචාරය වසරක් ඇතුළත.... "

" මහත්මයා..මම ඇහුවෙ.. "

" හරි හරි සඳුන් මම එතනට එනව..මම එතනට එනව...ඒ ඉතාම දියුණු ඉන්කා ශිෂ්ඨාචාරය වසරක් ඇතුළත විනාශවෙලා ගියා...ඇයි එහෙම උනේ?....එහෙම උනේ ස්පාඤ්ඤ ආක්‍රමනිකයින් ඔවුන් සමූල ඝාතනය කල නිසයි. "

" හරි ඒක එහෙමයි කියමුකො...හරි මෝහාන්ධකාර මහත්මයා කරුණාකරල මගේ ප්‍රශ්නෙට.... "

" හරි සඳුන් මම එතනට තමයි එන්නෙ. ලෝක ඉතිහාසය පුරාම අමරිකන් අධිරාජ්‍යවාදය තිබුණ සඳුන්....1972 අවුරුද්දෙ ඕස්ට්‍රේලියාවෙ අගමැතිවරයා වශයෙන් පත්වුනා විට්ලම් කියල මහත්මයෙක්..ඔහු ඕස්ට්‍රේලියාවෙ අමරිකන් බලපෑම් ගැන පාර්ලිමේන්තුවට දැනුම් දුන්න. ඔහුව තනතුරෙන් පහ කලා. "

" හරි..හරි ..ඒකෙ ප්‍රශ්නයක් නෑ..ඒත් මම ඇහුවෙ…"

" අමරිකාව ඉරාකයට පහරදීල මිනිස්සු දහස්ගණනක් මියගියා. ඊට පස්සෙ ඒ දවස්වල හිටපු අමරිකන් රාජ්‍ය ලේකම් මැඩ්ලින් ඕල්බ්‍රයිට්ගෙන්...." 

" හරි මම කියන්නම් ඉතුරු හරිය..........වාර්තාකාරයෙක් ඇහුව ඔබ මේක සාධාරණීකරණය කරන්නෙ කොහොමද කියල? මැඩලින් ඕල්බ්‍රයිට් කිව්ව..ඉට් වෝස් අ හාඩ් ඩිසිෂන්........" 

" අහ්..සඳුන් ඔබත් දන්නව එතකොට ඒ කතාව." 

" ඔව් මෝහාන්ධකාර මහත්මය ඔය කතාව ඔය විදිහටම කියනව මම මීට කලින් හත් අට පාරක්ම අහල තියනව..මට දැන් කට පාඩම් මැඩලින්ගෙ කතාව.. "

" ඉතින් සඳුන් මම මේ කියාගෙන ආවෙ.. "

" හරි මෝහාන්ධකාර මහත්මයා අපි මොහොතකට පිළිගනිමු එහෙම බටහිර බලපෑමක් තියනවය කියල අපේ රට අස්ථාවර කරන්ට..ඒ ඇයි ? " 

" ඉතාම පැහැදිලියිනෙ සඳුන්..බටහිර ජාතීන් කැමති නෑ..උඩු රැවුලක් තියෙන ප්‍රතාපවත් නායකයින්ට..."



මුවා මැරූ සලමන්ගේ කථාව 

බටහිර මැදිහත්වීම් ගැන අප මෙතරම් බියවන්නේ කුමකටදැයි මට නොතේරේ.එලෙසම තුවාලය සුවකොට ගැනීමට මැළිවන්නා ඉහඳ පණුවන් ගැන බියවියයුතු බව ද ඒහා සමඟම මසිතට නැඟේ. 

පසුගිය දිනක මන්ත්‍රී වරයකුගේ පහරදීමකට ලක්ව තම පදවියෙන් ඉල්ලා අස්වූ බ්‍රිතාන්‍යයේ හිටපු මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් එම තනතුර දැරූ කාලයෙහි මේ දූෂිත රජය වෙනුවෙන් කිසිදු හිරිකිතයක් නොමැතිව සුදු හුණු ආලේප කිරීමේ කටයුත්තෙහි යෙදුනේය. 

"An ambassador is an honest gentleman sent to lie abroad for the good of his country." තානාපතිවරයකු යනු තම රටේ යහපත වෙනුවෙන් අසත්‍යය පවසනුවස් විදේශයකට පිටත්කොට හරිනු ලබන අවංක පුද්ගලයෙකි. 

ඒ සුප්‍රසිද්ධ ඉංග්‍රීසි කියමනකි. ඒ උද්ධෘතය වෛද්‍ය නෝනිස්ට අදාල නොවනුයේ ඔහු අසත්‍යය පැවසූයේ රටේ යහපත වෙනුවෙන් නොව එක් පුද්ගලයෙකුගේ යහපත වෙනුවෙන් බැවිනි.ඉතා ව්‍යක්තව ඉංගිරිසි බස හැසිරවීමෙහිලා තම නිපුණත්වය ඔහු යොදාගත්තේ පාලක පෙලැන්තියේ ආරක්ෂාව උදෙසා කටයුතු කිරීම වෙනුවෙනි. 

සති කිහිපයකට පෙර අන්තර්ජාලයෙහි මා කියවූ පුවතක් මෙසේය. පුවතෙහි සත්‍යාසත්‍යතාව පසෙක තිබියේවා ඉන් කියවෙන්න කෙරෙහි අපගේ අවධානය යොමු කල යුතු බැව් මගේ හැඟීමයි. නෝනිස් මහතා මහ කොමසාරිස් පදවියෙන් ඉල්ලා අස්වූ පසු යම් සාදයකදී බ්‍රිතාන්‍ය විදේශ ලේකම් පිලිප් හැමන්ඩ් මහතා ඔහු අමතා මෙසේ පැවසූ බව එහි සඳහන් විය. " I hope at least now you got to know the real face of the regime you were defending so vigorously. And I also hope now you can understand why we were so insistant on implementing good governance in your country " 

වර්තමානයෙහි බහුතරයක් දේශප්‍රේමය නිවැරදිව නිර්වචනය කොටගැනීමේ සහ වටහා ගැනිමෙහිලා අසමත් වන්නෝය.ඔවුනගේ දේශප්‍රේමය වනාහී පාලකයාහට කොන්දේසි විරහිතව පක්ෂපාතිත්වය ප්‍රකාශ කිරීම මෙන්ම එලෙසම කොන්දේසි විරහිතව පාලක තන්ත්‍රය ආරක්ෂා කිරීමය.දේශප්‍රේමය යනු කිසිසේත්ම පාලකයා ආරක්ෂා කිරීම නොව තමන් උපත ලද දේශයට ආදරය කීරිම බව ඔවුහු නොදනිති. නො එසේනම් දේශ ප්‍රේමය යනු හුදෙක් පවතින පාලන තන්ත්‍රය රැකගැනීම යන විකාරරූපී අදහස ඔවුන්ගේ හිස් තුලට සට කපට දේශපාලුවන් විසින් හුදෙක් තම වාසිය උදෙසා ඇතුළු කොට නොමැකෙන ලෙස හංවඩු ගසා ඇත. 

පාලකයාගේ අගතිගාමී දුර්දාන්ත පාලනය රට විනාශ මුඛය කරා ගෙන යන බව සක්සුදක්සේ ඇස් පනා පිට දිස්වන කල්හි දේශ ප්‍රේමය වනුයේ හැකි විගස ඔහු බලයෙන් පහකොට පළවා හැරීම බව නොදන්නෝ අඳබාලයෝ නොවන්නෝද? 

වර්තමාන පාලනය අවම වශයෙන් හෝ නොඑසේනම් නාමමාත්‍රිකව හෝ ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යනුයේ විදේශ බලපෑම් හේතුකොටගෙන බව නොදන්නේ කවුරුද? ඔවුහු උතුරු-නැගෙනහිර පළාත් සභා මැතිවරණය පැවැත්වූවෝ 2013 වසරේ සැප්තැම්බර් මාසයේදීය. ඒ ත්‍රස්තවාදය පරාජයකොට වසර හතරකටත් අධික කාලයක් ගතවූ පසුවය. ඉන්දියාව සහ බටහිර රටවලින් පැමිණි බලපෑම් හමුවේ රජයට එම මැතිවරණය පැවැත්වීමට සිදුවිය. ඒ විදේශ බලපෑමෙන් වූයේ අනර්ථයක් යයි පවසන යමෙකු වේ නම් ඔහු උග්‍ර අන්තවාදියකු මිස අනෙකෙකු නොවේ. 

විදේශයක රැකියාව කිරීමෙහිදී අප බොහෝ දෙනෙකු මුහුණ දෙන ගැටළුවක් නම් මව්බිමෙහි රාජ්‍යානුග්‍රහයෙන් සිදුවන ලොව කිසිදු යුක්ති ධර්මයකට හෝ සාධාරණත්වයකට එකඟ නොවන නොපනත්කම් පිළිබඳව අප හා එකට සේවය කරන සහෝදර විදේශිකයින් අසන පැණයන්ට පිළිතුරු දීමේ අපහසුවයි. භාග්‍යකටමෙන් බහුතරයක් මෙහි සේවය කරන විදේශිකයෝ අන්‍ය රටවල සිදුවන දෑ පිළිබඳව කිසිදු උනන්දුවක් නොදක්වති. 

වසර හතරකට පමණ මම සේවය කල සමාගමෙහිදී මගේ සහෝදර නිලධාරියකු වූ පිලිපීනුවෙකුගේ ප්‍රශ්න කිරීම් ඉදිරියේ මම බොහෝ සේ අපහසුතාවයට ලක්වුනෙමි.ඔහුගේ ප්‍රශ්න කිරීම් කිසිසේත් මා අපහසුවට ලක්කිරීමේ අටියෙන් නොවූ බවද මෙහිලා පැවසිය යුතුය. අන්තර්ජාතික සබඳතා පිළිබඳව ශාස්ත්‍රපති මට්ටමේ උපාධියක් ලබා සිටි ඔහු තම විෂය පිළිබඳව වූ උනන්දුව නිසාම අන්තර්ජාතික කටයුතු පිළිබඳව නිතර අධ්‍යයනයෙහි යෙදුනෙකි. අප එකිනෙකාගේ රටවල දේශපාලන තත්වය පිළිබඳ අපේ අවංක අදහස් දැනගැන්මට ඔහුට අවශ්‍යය විය. 

ලංකාවේ දේශපාලනයෙහි කරුණු කාරණා සිදුවන ආකාරය ඔහු විපිලිසර කිරීමෙහිලා සමත්වූ බව වෙසෙසින් පැවසිය යුත්තක් නොවේ. ජන්මයෙන් පිලිපීනුවකු වුවද බ්‍රිතාන්‍යයෙහි බොහෝකලක සිට පදිංචිවසිටි ඔහු එහි ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මකවන ආකාරය පිළිබඳව නොමද අත්දැකීම් ලබා සිටියේය. 2010 මහ මැතිවරණයෙන් පසු ලංකාවේ සිදුවූ කිසිදු හිරිකිතයක් නොමැති පිල් මාරුකිරීම් ඔහුගේ විශ්මයට ලක්වූ අතර ඒ පිලිබඳව ඔහුගේ ප්‍රශ්න කිරීම් හමුවේ මම නිරුත්තර වීමි. 

වියයුතු පරිද්දෙන්ම මගේ රුධිර පීඩනය ඉහළනැඟ මා රෝගාතුර වීම හෝ විකල්පය ලෙස ඉවසීමේ සීමාවත් පැන්නා, වළහා කිඹුලගෙ හොම්බට ඇන්නා යනුවෙන් ළමා කතන්දර පොතක සඳහන් පරිදි මවිසින් බ්‍රිතාන්‍ය / පිලිපීනුවාගේ හොම්බට ඇනීමට පෙර මගේ ඉටු දෙවියන් පිහිටවූවාක් මෙන් ඔහු අප සමාගම ඇරඹූ නව වැඩ බිමට ස්ථාන මාරුකොට තිබිණි. 

ඒ මීට වසර හතරකට පමණ ආසන්න කාලයකට පෙරය. එදවස සේවය කල ආයතනයෙන් ඉවත්වූ මම පසුගිය වසරේ අලුතින් ඇරඹි ආයතනයක සේවයට බැඳුනෙමි.මාස තුනකට පමණ ඉහතදී මහජන සම්බන්ධතා නිලධාරීවරයකු වශයෙන් ඉන්දියානුවකු අප ආයතනයෙහි සේවයට බැඳුණේය. මේ රටේ මහජන සම්බන්ධතා නිලධාරී නොහොත් P.R.O. යනුවෙන් හැඳින්වෙනුයේ යම් ආයතනයක සේවකයින්ගේ වෛද්‍ය සහතික, නේවාසික අවසරපත්‍ර, වීසා සහ ගමන් බලපත්‍ර යනාදිය ඒ ඒ අදාල රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණ කටයුතු කොට නිසි පරිදි නියමිත කලට යාවත්කාලීන කිරීමේ රාජකාරිය භාරව සිටින්නාය. 

ඉන්ෂාන් අලි නම්වූ ඔහු ඉන්දියාවේ බෙංගලූරු නගරයේ වැසියෙකි. ඔහු හා මා අතර හුවමාරුවුනු මුල්ම දෙබස මෙබඳුය. 

" I did knew another Inshan Ali…. but that was around 40 years ago…" 

" Oh is that so?.... who was he if I may ask ? " 

" He was a West Indian cricketer during middle seventies..an off spinner if I remember right..actually a West Indian of Indian origin…" 

එසේ ඇරඹි අපගේ ආශ්‍රය සීග්‍රයෙන් වර්ධනය වූයේ ඉන්ෂාන් දෙවරක් ශ්‍රී ලංකාවෙහි සංචාරය කොට තිබීම මෙන්ම මම වරක් බෙංගලූරු නගරයට ගොස් තිබීම හේතුකොටගෙනය.බෙංගලූරු සරසවියෙහි ඉංජිනේරු උපාධියක් හැදෑරූ ඉන්ෂාන්ගේ බාල සොයුරාගේ එහි හොඳම මිතුරා වූයේ පානදුර ප්‍රදේශයේ ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණයෙකි. බෙංගලූරු නගරයෙහි බොහෝ ලාංකික තරුණ තරුණියන් උසස් අධ්‍යාපනය ලබන බව මම හොඳින් දැන සිටියෙමි. මගේ මිතුරන් දෙදෙනෙකුගේ දරුවෝ එහි අධ්‍යාපනය ලැබූහ. 

පසුගිය නොවැම්බර් මස ජනපතිවරණය ප්‍රකාශ කල ඉක්බිති වියයුතු ලෙසම දිවා ආහාර විවේකයෙහිදී අප ප්‍රධාන වශයෙන් කථා කලේ ඒ සම්බන්ධයෙනි.ශ්‍රී ලංකාවෙහි දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳ යම් අවබෝධයකින් පසුවූ ඉන්ෂාන් මා අපහසුතාවයට පත්කරන ප්‍රශ්ණ ඇසීමෙන් චේතනාන්විතවම වැළකුණු බව මට රහසක් නොවීය. 

එහෙත් ඊයේ දහවල අප දිවා ආහාරය ගනිද්දී ඉන්ෂාන් මා අමතා මෙසේ විමසුවේය. 

" Ravi..please forgive me if I am putting you into a difficult position..but I am curious and I have to ask this." 

" Ok Inshan, no problem..go ahead.. 

" It's about Salman Khan supporting your president in his election campaign..what do you think? Are your voters so foolish or stupid as to vote for Your President because Salman Khan says  that Mahinda is an amazing man? " 

" Inshan let me tell you this ..I totally agree with Salman on that point . MR is an amazing man definitely. Who else would stoop so low & be so foolish as to bring an actor from a neighboring country and hope it will win him the presidency? Anyway to answer your question may be Mahinda thinks so... that the voters are so foolish......." 

ඒ කෙසේ වුවද " Mahinda Rajapakse is an amazing man " යනුවෙන් සහතිකයක් පමණක් නිකුත් කළ මුවා මැරූ සලමන් එක් දිනක් ලංකාවේ ගතකොට යලි නික්ම ගියේය. 

වසර තිහක් මුළු දිවයිනම වෙලාගත් ත්‍රස්තවාදයෙන් රට බේරාගත් ඒ මහා ධීර වීර පුරුෂයාහට යන්තමට ඉන් වසර පහමාරක් ගතවුණු සඳ ඒ තමන් බේරාගත් මිනිසුන්ගේ කැමැත්ත ලබාගනු පිණිස ඉන්දීය චිත්‍රපට නළුවකුගේ පිහිට පැතීමට සිදුවීම දෛවයේ කුරිරු සරදමක් විනා අන් කවරක්ද? 

අද දෙසැම්බර් 31 වෙනිද. 2014 අවුරුද්දෙ අන්තිම දවස..හෙට අලුත් අවුරුද්දක්..ඒ 2015 නව වසර...2014 උදාවෙද්දි තිබුණට වඩා නැවුම් බලාපොරොත්තුවක් අනාගතය ගැන සුභවාදී අපේක්ෂාවක් දෝතින් අරගෙනයි 2015 අවුරුද්ද උදාවෙන්නෙ..එහෙනම් තව දවස් අටකින් උදාවෙන ඒ සුබ දවසෙ අපි අලුත් වෙනසක් කරමු .......ඔබ සැමට නව වෙනසක් සහිත සුබ නව වසරක්!!! 

Friday, December 26, 2014

296. සොබා දහම කල මහා ව්‍යසනයක මතක සටහන්..Painful Reminiscences of Tsunami..A Decade Later...






හරියටම අදට අවුරුදු දහයකට ඉස්සෙල්ල...2004 දෙසැම්බර් 26 වෙනිදා...දවස ඉරිදාවක්..මම ඒ වෙනකොට වැඩකලේ ගම්පොළ-නුවර එළිය මාර්ගය ඉදිකිරීම් කටයුතු කල චින සමාගමේ. තවලම්තැන්න ප්‍රදේශයේ මාර්ග නිර්මිත ඉදිකිරීම් අධීක්ෂණය මගෙ රාජකාරිය. කලින් දවසෙ නත්තල් දවසෙ හදිසි කටයුතු කිහිපයක් යෙදිල තිබුනු හින්ද මට ගෙදර යන්ට විදිහක් තිබ්බෙ නෑ. මොබයිල් එකක් මට තිබ්බෙ නෑ ඒ දවස්වල. තිබ්බ එක අපි හිටපු ක්වාටර්ස් එකට ටෙලිෆෝන් නැති නිසා අපෙ උන්දැ ගාව තිබ්බෙ. තවලම්තැන්න සබ් පෝස්ට් ඔෆිස් එකෙන් කෝල් එකක් අරගෙන එදා ගෙදර එන්නෙ නෑ කියල නිසි බලධරයට දැනුම් දීල මම වැඩ ඉවරවෙලා එදා රෑ එහෙ නැවතුනා. එහෙම හදිස්සියෙ රෑට ගෙදර යන්ට බැරිඋනහම නවතින්ට අපි දෙතුන් දෙනෙක් එකතුවෙලා ගෙස්ට් හවුස් එකක කාමරයක් අරන් තිබ්බ. රෑ නමයට වගෙ වැඩ ඉවර උනේ. පට්ට හීතල ඉවසන්ට බෑ. බාර් එකෙන් හැනපියර් එකකුත් අරගෙන කොත්තු දෙක තුනකුත් දාගෙන ඇවිල්ල කාමරේට වෙල බීල කාල බ්ලැන්කට් එක ඔලුවෙ ඉඳල පෙරවගෙන නිදිය ගත්ත. 



පහුවදා 26 වෙනිද......දනිපනිගාල අට වගෙ වෙනකොට නැඟිටල මූණ කට හෝදගෙන ගියා සයිට් එකට.ගම්පල - නුවර එළිය පාරෙ ගියපු අයට මතක ඇති රම්බොඩ උමඟ...ලංකාවෙ මහා මාර්ගයක තියන දිගම උමඟ. 2004 වෙනකොට ඒ උමඟ හදන්ට මූලික විමර්ශන කටයුතු කෙරෙමින් තිබුනෙ. ඔය උමඟ පටන් ගැන්මට මීටර් හාරසීයක් වගෙ කලින් තිබ්බ පොඩි පාළමක ඒ වෙනකොට ඉදිකිරීම් කටයුතු කෙරෙමින් තිබුන. 26 වෙනිද උදේ එතන Abutment එකට හැඩයම් ( Formwork ) ගහනව. අපේ සයිට් වල වැඩකලේ 99% ක්ම අවට වතුවල දෙමළ කම්කරුවො. මාරි මුත්තු එතන කම්කරුවන් කණ්ඩායමේ නායකය. 

දහයට වගෙ තේ වෙලාව. ඒ වෙලාවට ගෙදරින් ඔතාගෙන එන රොටියක් වගෙ මොනවහරි කාල ඒ ලඟ තිබ්බ තේ කඩෙන් ප්ලේන්ටියක් ගහන එක ඒ මිනිස්සුන්ගෙ සිරිත. 

" මාත්තය කමු රොටි කෑල්ලක්.." මාරිමුත්තු මටත් පත්තරේක ඔතල තිබ්බ රොටියක් දික්කලා 

ලංකාවෙ වතු කම්කරුවො වගෙ දුක් විඳින මිනිස්සු ජාතියක් මම මෙතෙක් කාලෙකට දැකල නෑ. ඒත් ඒ මිනිස්සුන්ට එව්වයෙ ගානක් නෑ.හවසට ගෑණු පිරිමි දෙගොල්ලම එකතුවෙලා ඇම්බැසඩර් රා බෝතලයක් ගහල ඔය තියන දෙයක් කාල පරණ කම්බිලියක් පෙරවගෙන නිදාගන්ට තිබ්බනම් ඒ මිනිස්සුන්ට ඉහටත් උඩින්. ඔය තොණ්ඩමන් වගෙ අවස්ථාවාදී දේශපාලුවන්ට තවම වතු කම්කරුවන්ගෙ නායකයො විදිහට ඡන්ද වෙන්දේසියෙ දාන්ට පුලුවන් වෙලා තියෙන්නෙ මේ හින්දමයි. 

ඉතිං මේ අහිංසකයො බොහොම අමාරුවෙන් හදාගෙන එන රොටිය කන්ට මගෙ කැමැත්තක් තිබ්බෙ නෑ. ඒත් එහෙම බොහොම ආදර ගෞරවයෙන් යමක් දුන්නම බෑ කියන එකත් හරි නෑනෙ. 

" හරි මාරිමුත්තු..ඔක්කොම එපා..මට ඕකෙන් කෑල්ලක් දීහං..ඒ ඇති…" කොච්චි මිරිස් තලල සම්බලක් වගෙ හදල රොටිය මැදට දාල තිබ්බ. ආය නෑ කෙලින්ම ඉස් මුදුනට දාඩිය දාල මූණ කටත් එක්ක රතු වෙනව. සීතලට මරු. 

" ඉතිං මොකද මාරිමුත්තු තව සුමාන දෙකකින් විතර කරන්ට හිතාගෙන ඉන්නෙ? හෙල්බොඩ යනවද?..." 

එතනම තිබ්බ ගල් තලාවෙ ඉඳ ගන්න ගමන් මම ඇහුව. මේ හරියෙ වැඩ තව සුමානයක් දෙකක් වෙනකොට ඉවරයි. ඊට පස්සෙ මේ හරියෙ වැඩ කරන අයට යන්ට වෙන්නෙ තව කිලෝමීටර් පහක් හයක් වගෙ එහා හෙල්බොඩට. ගොඩක් දෙමළ කම්කරුවො එහෙම දුර යන්ට කැමති නෑ. ඒකයි මම මාරිමුත්තුගෙන් එහෙම ඇහුවෙ. 

" බලන්ට ඕන මහත්තය...තවම හරියට ඒ ගැන කල්පනා කලේ නෑ.." මාරි මුත්තු එහෙම කිව්ව. 

" යමුද තේ එකක් බොන්ට.." මම ගල් තලාවෙන් නැඟිට්ට. ඒ එක්කම මම දැක්ක මීටර් සීයකට වගෙ එහා පාර අයිනෙ තිබ්බ තේ කඩේට ඒ අහල පහල වැඩ කර කර හිටපු මිනිස්සු එක පොදියට දුවනව. 

" අර මොකද බං ? අර මිනිස්සු ඔක්කොම සුන්දර්ගෙ කඩේට දුවන්නෙ? "
අත දික්කරල මම එහෙම ඇහුවම මාරිමුත්තුත් නැඟිටල ඒ පැත්ත බැලුව.. 

" මොකද දන්නෙ නෑ. සුන්දර් අයියට ආයම අසනීප උනාද දන්නෙ නෑ." 

ඊට මාස දෙහෙකට වගෙ කලින් ඔය තේ කඩේ මුදලාලි සුන්දර් ( මිනිහට ඇති වයස හැටක් වගෙ ) හදිස්සියෙ කලන්තෙ දාල කඩේ ඇතුලෙම වැටිල කට්ටිය එකතුවෙලා ඉස්පිරිතාලෙ ගෙනිහිල්ල. හාට් ප්‍රශ්නයක්...අන්තිමට ගම්පොල ඉස්පිරිතාලෙ සුමාන දෙකක් වගෙ ඉඳලයි මනුස්සය ආපහු ගෙදර ඇවිල්ල තියෙන්නෙ. 

" කියන්ටත් බෑ තමයි..යමං යමං විජහට මොකද කියල බලන්ට…" 

මාරිමුත්තුයි මායි පය ඉක්මන් කරල කඩේ දිහාවට යද්දි මුරුගන් කඩේ ඉඳල එනව හම්බ උනා. 

" මොකද බං ? " මම ඇහුව. 

මුරුගන්ට එච්චරම සිංහල බෑ.. මිනිහ චට පට ගාල මොනවද දෙමළෙන් මාරිමුත්තු එක්ක කිව්ව. 

" මොනවද බං වෙලා තියෙන්නෙ? " මම නොඉවසිල්ලෙං ඇහුව... 

" හරි වැඩක්නෙ මහත්තය...මුහුද ගොඩ ගලනව කියන්නෙ...." 

" මොකක්? මුහුද ගොඩ ගලනව? පලයං බං පච ගහන්නෙ නැතුව..මුහුද ගොඩ ගලන්නෙ කොහොමද? රජකාලෙනං එහෙ උනා කියල මම අහල තියනව..ඒත් එව්ව නිකං කතා විතරයි.." 

විහාරමහාදේවිගෙ කතාව එකපාරටම මතක් වෙලා වෙලා මම එහෙම කිව්ව. 

" නෑ මහත්තය බොරු නෙවෙයි..අර කඩේ රේඩියෝ එකෙං කියනවය කියන්නෙ." 

ඒ පාර අපි දෙන්න දුවල ගියා කඩේට. ඇත්තම තමයි. රේඩියෝ එකේ විශේෂ ප්‍රවෘත්තියක් විදිහට විස්තරේ කිව්ව. හම්බන්තොට, ගාල්ල, මාතර එහෙම මුහුදුබඩ පළාත් ඔක්කොම ඉවරයි. කටත් ඇරගෙන අපි අහගෙන හිටිය විස්තරේ. එදා හවස ගෙදර ආපුවම තමයි හරි විස්තරේ ටී.වී. එකෙන් බලා ගත්තෙ. අපෙ උන්දැයි මායි ඇස් අදහාගනු නොහී බලා හිටිය අම්ම මුත්ත කාලෙ නාහපු මේ විනාසෙ දිහා. 


ඔය සුනාමිය වෙලාවෙ තමයි අපෙ එතුමා මහා පරිමාණ ගැහිල්ල පටන්ගත්තෙ. මතකයි නේ? හෙල්පිං හම්බන්තොට...හෙල්පිං හම්බන්තොට නඩුව අහල එතුමා නිදොස් කොට නිදහස් කරපු එතකොට අග විනිසුරු සරත් සිල්වා පස්සෙ මේ ඊයෙ පෙරෙයිද කිව්වනෙ මහින්දට විරුද්ධව ප්‍රබල සාක්ෂි තියෙද්දිත් රටේ අනාගතය ගැන හිතල මිනිහව නිදහස් කලාය කියල. ඒ ගැන පසු තැවෙනවය කියල..හෙහ්,හෙහ්, කාටද මෙව්ව කියන්නෙ? සමාවෙන්ට ඕමනයි. දේශපාලනයට කිසිම කැමැත්තක් නැති පාඨකයො සහ පාඨකාවියො..මෙතන වැඩේ මෙහෙමයි..අර අපේ කතාවක් තියෙන්නෙ..කොස් කාලෙට හමුදුරුවන්ගෙ සිවුරෙත් කොහොල්ලෑ කියල. අන්න ඒ වගේ මේ දවස්වල ලියවෙන ඕනම දේකට දේශපාලනය ගෑවෙනව ස්වයංක්‍රීයව. 

සුනාමියට අහුවෙලා මගෙ යාලුවෙක්ගෙ නංගි, එයාගෙ මහත්තය සහ දරුවො දෙන්නගෙ ජීවිත අහිමි වුනා. නුවර සුප්‍රසිද්ධ සංචාරක හෝටලයක මහා කළමනාකාර විදිහට සේවය කරපු මගෙ යාලුවගෙ මස්සිනා වර්ෂ අවසානයෙ හෝටලය ගානෙ දෙන හොලිඩේ පැකේජ් එක ගත කරන්ට තෝරාගෙන තිබුනෙ යාල සෆාරි බීච් හොටේල් එක. ඊට අවුරුදු හතරකට පස්සෙ මම කොළඹ ආසන්නව ඉදිකිරීම් සමාගමක සේවය කරද්දි මට යන්ට උනා යාල අභයභූමිය ඇතුලෙ අපෙ සමාගම කරපු වැඩ වගයක් සම්බන්ධව කටයුතු කරන්ට. ඒ කිට්ටුවමයි යාල සෆාරි හොටේල් එක තිබ්බෙ. ඒ වෙනකොට යන්තමට ෆවුන්ඩේෂන් එක විතරයි ඉතුරුවෙලා තිබ්බෙ සුනාමියෙන් පස්සෙ. 

දසවසරකට පෙර නොසිතූ වීරූ ලෙස අප අතරින් වියෝ වූ සහසක් සහෝදරයිනි / සහෝදරියනි ඔබ සැමට සුගතියක්ම වේවා!!!! 

අවුරුදු හතරකට ඉස්සෙල්ල මම සුනාමිය ගැන ලියපු කෙටිකතාවක් මේ......... 

එදින හතරවන අසරුවා පැමිණියේය....When the Fourth Horseman came riding on the second wave... 

මුහුද දෙසින් එක වරම හමා ආ සුළං රැල්ල නයනිගේ කෙහෙ රැල් අවුල් කර දැමීය. කණිෂ්කගේ වමතට සිරවී තිබුණු සුරත මුදාගත් ඈ නොඉවසිල්ලෙන් කෙස් රොද හිස පසුපසට තද කලාය. එහෙත් ඇගේ ඇඟිලි වලින් මිදුනු කෙහෙරල නැවත ද දඟ කරන්නට වූයේ ඇයට කරදර කිරීමටම ඉටාගත් කලෙක මෙනි. 

මෙලෙස අකීකරු කෙස් හා ඇය පොරබදන අතර හිටිහැටියේම හැමූ සුළඟ අතුරුදන් වූයේ යතුරක් ඔබා විදුලි පහනක් නිවා දැමූ පරිද්දෙනි. 

සුසුමක් හෙලූ ඇය කණිෂ්ක දෙස නෙත් කොණින් බැලුවේ ඔහුගේ වමතෙහි මෙතෙක් දැවටි සුරත උකුල මත තිබූ පොත් කිහිපය මත තබා ගණිමිනි. 

ඔහු ඉදිරියට නැවී දෙදණ මත රඳවාගත් දෑත මතට බරදුන් මුහුණින් යුතුව ඈත මුහුඳ දෙස බලා සිටියේය. 

කොටු පවුර අසල වූ කොන්ක්‍රීට් අසුනෙහි එකිනෙකා ගැටෙන නොගැටෙන පරිදි හිඳ සිටි ඔවුහු තවත් මිනිත්තු දහයක් පමණ නිහඬතාවයේ වෙලී ගත කලෝය. 

අවසන නිහඬ බව තවත් ඉවසිය නොහැකිවූ කල නයනී සිතට දිරිගෙන හඬ අවදිකලේ ඈත මුහුද දෙස අරමුණකින් තොරව බලා සිටිමිනි. 

'' කණිෂ්ක.....'' 

'' ම්ම්......'' ඔහු පිළිවදන් දුන්නේ ඇසෙන නෑසෙන හඬිනි. 

'' අපි මොකද දැන් කරන්නෙ? '' 

'' මට තේරෙන්නෙ නෑ නයනී...මට තේරෙන්නෙ නෑ...'' එවර ඔහුගේ හඬ මඳක් උස් වූවාසේම ඔහු කතා කලේ අසුනෙහි කෙළින් වී ඇගේ වත දෙස ඉඳුරාම බලමිනි. 

'' එහෙම කියල බැහැනෙ අනේ... මේකට අපි මොනව හරි කරන්න එපාය....'' 

'' කරන්න ඕන නම් තමයි ඒත් අපි මොනව කරන්නද?...දැන් කොච්චර දවස්ද දින පහුවෙලා ?.....'' 

'' සුමාන තුනකටත් වැඩියි..මගෙ කවදාවත් එහෙම වෙන්නෙ නෑ...මේ උනාමයි'' 

නැවත දෙදණ මතට වාරුකල දෑතට හිසෙහි බර දුන් ඔහු කෙස් අතරින් ඇඟිලි යවා හිස පිරිමදින්නට වූයේ ආවේශ වූ කලෙක මෙනි. 

" තාත්ති අද උදේ මගෙන් ඇහුව අලුත් අවුරුද්ද පටන්ගන්ටත් ඉස්සරවෙලා මේ ඉක්මනට ආයෙම ක්ලාස් පටන් ගන්නවද කියල...ටිකක් සැකෙන් වගේ තමයි ඇහුවෙ....'' 

'' .................................'' 

'' මට තව වැඩි කාලයක් මේ වැඩේ වසං කරගෙන ඉන්න බෑ.....කණිෂ්ක,'' 

'' .................................'' 

'' මට මැරෙන්න තමයි වෙන්නෙ මූදටවත් පැනල.....'' 

එක්වරම තිගැස්සුණු ඔහු නැවතද කෙලින් වී ඇගේ දෑස් දෙස බලා සිටියේ විපිළිසර වූ දෑසිනි. 

ඔහුගේ හැඟීම් බර දෑස දෙස තවත් බලා සිටිය නොහැකිවූ ඇය දෑස ඉවතට ගෙන අරමුණකින් තොරව වමතෙහි බැඳි අත් ඔරලෝසුව දෙස බැළුවාය. .....පෙ.ව.9.25 

**************************************** 

'' ජගත්, කවදද හරියටම නැකත තියෙන්නෙ?......'' කොටු පවුර අසල තණ බිස්සේ එලූ කලාලය මත හිඳසිටි පුෂ්පා ඇසූයේ ඒ අසල හිටගෙන ඔවුන්ගේ කුඩා දරුවන් දෙදෙන මහත් ප්‍රීතියෙන් සිනාසෙමින් එකිනෙකා හඹායන අන්දම සිනාමුසු මුහුණින් නරඹමින් සිටි තම සැමියාගෙනි. 

'' ජනවාරි හයට දාගත්ත....බ්‍රහස්පතින්දනෙ...දවසත් හොඳයි.....අනික දවස් දහයක් විතර තියනවනෙ... වැඩ ටික කළබලයක් නැතුව හෙමිහිට කරගත්තෑකි.'' 

වසර හතකට පෙර වැඩිහිටියන්ගේ දැඩි අකමැත්ත මධ්‍යයේ තනි කැමැත්තට විවාහ වූ ඔවුන්ගේ විවාහ දිවියේ මුල් වසර දෙක ගතවූයේ අනන්ත දුක් කම්කටොළු විඳිමිනි.හරි හැටි නිවෙසක් පවා නොමැතිව හිතවතුන්ගේ නිවෙස් වල කාමරයක දිවි ගෙවූ ඒ කාලය නිමා වූයේ ජගත් ට මැද පෙරදිග රැකියාවක් ලැබීමෙන් අනතුරුවය.වසර පහක් එහි ගතකල ඔහු මෙවර පැමිණියේ නැවත තම කුටුම්භයෙන් වෙන්ව නොයන්නෙමැයි යන අදිටනිනි. මුල් වසර තුනෙහි ඉතිරි කරගත් මුදල් නව නිවෙසක් තැනීමට වැයවූ අතර ඉතිරි වසර දෙකෙහි ඉපයූ මුදල් ඔවුන් දැඩි අරපරෙස්සමින් ඉතිරි කලේ තමන්ගේම වූ ව්‍යාපාරයක් ඇරඹීමටය. 

කන්දක් නැඟිවිට අනිවාර්යයෙන් පල්ලමක් හමුවේය යන්න සත්‍යයක් බව ස්ඵුට කරමින් ඔවුන් සිතූ ලෙසම ප්‍රමාණවත් මුදලක් ඉතිරි කරගැනීමට මේ අවසන් වසර දෙක තුලදී ඔවුහු සමත් වූහ. එහෙයින් සති දෙකකට පෙර ජගත් ආපසු දිවයිනට පැමිණියේ රැකියාවට සමුදීමෙන් අනතුරුවය. තමන්ට සුපුරුදු ඉඳිකිරීම් ක්ෂේත්‍රයෙහි නියැලීමට ඉටාගත් ඔහු මිතුරන් දෙදෙනෙකුද හා එක්ව ඉඳිකිරීම් සමාගමක් ඇරඹීමෙහිලා යුහුසුළුවිය. නොබෝ දිනකින් එනම් ජනවාරි හයවන දින විවෘත වන්නේ ඒ සමාගමයි. ජීවිතය මෙපමණ විගස ජයගත හැකිවේයයි සිහිනෙනුදු නොසිතූ හෙයින් පුෂ්පාගේ සිත තුල වූයේ උතුරා ගලා යන තරමේ ප්‍රීතියකි. 

නිදැල්ලේ දුව පනින කුඩාවුන් දෙදෙනාගේ සුරතල් සිනාපිරි වතින් යුතුව මොහොතක් නැරඹූ පුෂ්පාගේ නෙත යොමුවූයේ ඊට මඳක් ඔබ්බෙන් කොටු පවුර යාබද බංකුවක හිඳ සිටි ලාබාල පෙම්වතුන් යුවල වෙතය. තවමත් පාසල් වියෙහි යයි නිසැකවම අනුමාන කල හැකි ඔවුන් දුටු ඇගේ සිත නිතැනින්ම බොහෝවිට සුන්දර එසේම විටින්විට අසුන්දර මතකයන්ද කැටිවුණු ඔවුන්ගේ අතීතය කරා මොහොතක් දිව ගියේය. 

'' ජගත් අර කපල් එක දැක්කම ඔයාට මොනව හරි මතක් වෙනවද? '' 

'' පව් අර අහිංසක කොල්ලා....'' ජගත් පැවසුවේ හඬ නගා සිනා සෙමිනි. 

පුෂ්පා ද ඒ සිනහවට හවුල් වූවාය..... 

'' ඒත් මට පේන්නෙ ඒ දෙන්න මොකක් හරි ප්‍රශ්නයකට මැදිවෙලා වගෙ....'' යුවළ දෙස මොහොතක් පරීක්ෂාවෙන් බලා සිටි ජගත් පැවසුවේ ඈ අසලම හිඳගනිමිනි. 

'' ප්‍රශ්න නැත්තෙ කාටද?...ඒ කාලෙ අපටත් මොකෝ ප්‍රශ්න තිබ්බෙ නැතුවය?'' 

'' අපි යමුද එහෙනම්.....පුතා ....'' ජගත් දරුවන්ට අඬගසමින් නැඟීසිට අත් ඔරලෝසුව දෙස බැලීය. 

උදෑසන නිවසින් පිටත්ව එද්දී ඔරලෝසුව අමතක වූ බව ඔහුට සිහි වූයේ හත්වන හෝ අටවන වතාවටය....'' කියද පුෂ්පා වෙලාව.....'' 

'' ම්ම්ම්....9.25 යි ...''තම අත් ඔරලෝසුවේ දෙස බැලූ ඈ එසේ කියමින් නැඟී සිටියාය...'' යමු එහෙනම්...'' 

*************************************** 

කළු පැහැති ප්‍රාඩෝ රථය කොටු බැම්ම පේන තෙක් මානයේ නතර කල රිචඩ් මුදලාලි අත් තිරිංග ක්‍රියාත්මක කොට, රියදුරු අසුනින් බැස රියේ බොනට්ටුවට හේත්තු වී කලිසම් සාක්කුවෙන් ගත් ගෝල්ඩ් ලීෆ් පැකට්ටුවෙන් සිගරටයක් ගෙන දල්වා ගන්නට උත්සාහ කලේය. දැඩි සුළඟ නිසා දෙතුන් වරක්ම උත්සාහය අසාර්ථක වූ ඔහු එවර දකුණු පස දොර විවෘත කොට රිය තුලට හිස රුවා සිගරටය දල්වා ගත්තේය. 

එතෙකුදු රථයෙන් නොබැස වම් පස අසුනේ සිටි විල්බට් දෙස ඔහු හෙලූයේ නොපහන් බැල්මකි. '' මොකද බං තවත් මේක ඇතුලෙ කරන්නෙ?. බැහැපං.. අද මේ වැඩේ කතා කරල ඉවරයක් කරන්න ඕනෙ.'' 

ඇල්බට් රියෙන් එළියට බැස්සේ තවත් ස්වල්ප වේලාවක් රිය තුල රැඳී සිටීමෙන් අනතුරුවය. 

'' හරි ....මුදලාලි දැන් මොකද කියන්නෙ? '' 

දුම් උගුරක් දෙකක් පිටකල රිචඩ් හාත්පස නීරීක්ෂණය කළේය. යම් දුරකින් සුදු පැහැති මෝටර් රථයක් අසල තණ බිස්සේ එලූ කලාලයක් වැනි යමක හිඳසිටිනා යුවලක් හැරුණු විට ඔහුගේ දෙනෙතට කිසිවෙකු හසු නොවුනද ඔහු කතාකලේ හැකිතරම් පහත් ස්වරයෙනි. 

'' මට වැඩේ කෙරෙන්ඩ ඕන....හැබැයි මගෙ නම ගෑවිලාවත් තියෙන්න බෑ....ගෙදර කොල්ල කන්ඩ ගිහිල්ල වෙච්චි දෙයක් විදිහට වැඩේ කරපං..... දන්නවනෙ.....යසපාල ලබන සතියෙ සඳුද වෙනකොට ඉවරයක් කරල තියෙන්න ඕන,බාර් එකේ ටෙන්ඩර් එක සඳුද දෙනව....මම ලොක්ක එක්ක කතාකලා...ලොක්ක කියන්නෙ අපි දෙන්නම චන්දෙදි උදව් කරපු නිසා පැත්තක් ගන්ඩ බෑ කියල....යකෝ මම වියදම් කරපුව හම්බ කරගන්ඩ වෙන ක්‍රමයක් නෑ....'' 

'' මෙතන බාගයක් තියනව ..ඇඩ්වාන්ස්.....ඉතුරුව වැඩේ අවුලක් නැතුව කෙරුනට පස්සෙ....'' රියේ පසුපස අසුනේ රබර් කලාලය ඔසවා දුඹුරුපැහැ ඝන කඩදාසියකින් හොඳින් එතූ පාර්සලයක් ඉන් පිටතට ගෙන ඇල්බට් දෙසට දිගු කරමින් රිචඩ් වමතෙහි උදෑසන හිරු එළිය පතිතව දිදුලන රන් ආලේපිත ඔරලෝසුව දෙස බැලීය. ..9.25 

**************************************** 

ක්‍රිස්ටෝපර් නොහොත් කිට්ටා ද තණ බිස්ස මත වැතිර සිටියේය.එහෙත් කාලය අවට සිදුවන දේ හෝ අවම වශයෙන් මුහුදු සුළඟ විටින්විට අඩු වැඩි වන හඬ හෝ ඔහුට නෑසුණි.දින දෙකකින් හරි හැටි අහරක් හෝ නින්දක් නොලැබුණ ද ඔහුගේ ගත මෙන්ම සිත් ද දඬු අඬුවකින් තෙරපා මිරිකා හරින්නක් මෙන් දැනෙන ඉවසිය නොහැකි වේදනාවට හේතු වූයේ ඒ එකද කරුණක් හෝ නොවේ. කිට්ටා පෙළෙමින් සිටියේ නිෂ්ක්‍රමණ ලක්ෂණයන්ගෙනි. ( withdrawal symptoms ) 

ගාලු පුරවරයෙහි ප්‍රධාන බෙදාහරින්නා දින දෙකකට පෙර කිට්ටා සොයා ඔහුගේ නිවහනටම පැමිණියේ කිට්ටා අවදි වීමටද පෙරාතුවය. 

'' අඩෝ, ****** පුතා, තෝ දැන් දවස් තුනක් සල්ලි නොදී බඩු ගත්තා, කෙඳිරි ගාන නිසා මමත් අනුකම්පා කරල දුන්න...අදිං පස්සෙ ඒ සෙල්ලං බෑ හරිද?.....හිඟ සල්ලි ඔක්කොම ගෙනත් දීපං එතකල් බඩු නෑ......'' 

ඒ තහනම් නියෝගය එලෙසම ක්‍රියාත්මක විණි. කිට්ටාට දිව ඔසුව බෙදාහරින සෑම තැනකම දොර වැසී ගියේය. ඒ දින දෙකකට ඔබ්බෙනි. 

මුළු සිරුරම වෙව්ලන හෙයින් කිට්ටා නැඟී සිටියේ අසල තිබූ පහන් කණුවකට බර දීමෙනි. කෙමෙන් දැඩි වන උදා හිරු රැසින් රත් පැහැවී කඳුළු ගලන දෙනෙත් මුවාකර ගැනීමට සුරත දිගහැර නළලට තැබූ හෙතෙම අවසඟ දෙපා වාරුවෙන් පහන් කණුවට බර දී අවට බැලීය. කොටු බැම්ම අසල නවතා තිබූ කළු පැහැති වාහනයක් ඉදිරිපස දෙදෙනෙක් කතා කරමින් සිටියහ. එතරම් දුරක නොවුනද දැඩි සුළඟ හේතුවෙන් ඔවුන් කතාකරන හඬ නෑසිණි." සල්ලි කාරයෙක් වගේ, හෙමිහිට වාහනෙං මොනව හරි ඉස්සුවොත්......... " මිනිසුන් දෙදෙනා සිටියේ රථයේ ඉදිරිපස බැවින් ඔවුනට නොපෙනී වාහනයේ පසු පසට ලඟාවීමට නම් කොටු බැම්ම දිගේ ගමන් කල යුතුය. 

කිට්ටා සෙමින් සෙමින් කොටු බැම්ම දිගේ පියවර තැබීමට පටන් ගත්තේය. කිසි දිනක ඔරලෝසුවක් භාවිතා නොකල ද වේලාව පිළිබඳ කිසිදු හැඟීමක් නොවූවද කිට්ටා ඒ මොහොතේ අත් ඔරලෝසුවක් පැළඳි යමෙකුගෙන් වේලාව විමසුවේ වී නම් මෙසේ පිළිතුරු ලැබෙනු ඇත. 9.25 යි. 

**************************************** 

ඔහුට නමක් නොවීය. මෙලොව කිසිදු ඥාතියකු හෝ මිතුරකු ද නොවීය. අතීතය පිළිබඳ පැහැදිළි කිසිදු මතක සටහනක් ද නොවුනු හෙයින් ඔහු කවුරුද යන්න අන් කිසිවෙක් තබා ඔහු ද නොදන්නේය. විටින් විට මිහිදුම් සළු අතරින් මතුවන අපැහැදිලි ඡායාවන් රැසක් මෙන් සුවිසල් මන්දිරයක්, විශාල වතු යායක් සහ යාන වාහන රැසක් ඔහු මනසේ මොහොතක් දිස් වී අතුරුදන් වුවද ඒ මොනවාද යන්න පවා ඔහුට හැඟීමක් නොවීය.එහෙත් කිසිදු දුක් දොම්නසක් නොවූ ඔහු මෙලොව වාසය කල ප්‍රීතිමත්ම මිනිසා විය. 

අනුකම්පා කලවුන් බොහෝ වූ හෙයින් ඔහුට හාමතින් ගත කිරීමට සිදුවූයේම නැති තරම්ය.එළෙසම හාමතින්  වේලක් හෝ දෙකක් ගත වූවද එ ගැන ඔහුට කිසිදු හැඟීමක් ද නොවීය. 

නත්තල් දින සවස් භාගය .....කොටුවේ දෙව් මැදුරේ ප්‍රධාන පියතුමා නත්තල් දේව මෙහෙයෙන් පසු විවේක ගනිමින් සිටියේය. 

'' ඩේවිඩ්... අන්න අර මනුස්සය එනව,'' පියතුමා බිරිඳගේ හඬින් අසුනින් නැඟී සිටියේය. 

'' කවුද? '' 

'' හිහ්, හිහ්, නමක් නැති මනුස්සය...ඔයාගෙ යාළුව,'' 

'' එහෙමද?....සැන්ඩ්‍රා,,....ලන්ච් එකෙන් ඉතුරු එව්වයින් පාර්සලයක් හදන්න.....'' 

බිරිඳ සකස් කරදුන් පාර්සලය සහ මත්පැන් බෝතලයක් ද රැගෙන පිටතට පැමිණි පියතුමා මෙලොව ප්‍රීතිමත්ම මිනිසා පියවරින් පියවර ලඟා වනු බලා සිටියේ සිනාමුසු මුවිනි. 

කොටු බැම්ම පාමුළ රෑ කල ගත කල ප්‍රීතිමත්ම මිනිසා අවදි වූයේ මුහුණට පතිත වූ දැඩි හිරු රැස් කරණ කොටගෙනය.ඊයේ රාත්‍රිය ගත වූ අන්දම පිළිබඳව කිසිදු මතකයක් ඔහුට නොවීය. සෑම අතින්ම සාමාන්‍ය පුද්ගලයෙකු වුවද ඔහු පෙරදින රාත්‍රිය ගත කල අයුරු ගත කලේ නම් කිසිදු මතකයක් ශේෂ නොවන බවට කිසිදු සැකයක් නොමැති කල ඔහු පිළිබඳව කවර කතාද?...වැතිරී සිටගෙනම අතපත ගා අඩක් අවසන් වූ මත්පැන් බෝතලය සුරතට ගත් ලොව ප්‍රීතිමත්ම  මිනිසා සුන්දර සිනහවක් මුවට නගා ගනිමින් බෝතලය මුවට ඇල කොට ගත්තේය. 

වේලාව යන්න පිළිබඳව හැඟීම් මාත්‍රයකුදු ඔහු තුල නොවූ බව සැබෑවකි. ඒ එසේ වුවද මේ වන විට වේලාව උදෑසන 9.25 වූ බව ද ඒ ලෙසම සැබෑවකි. 

**************************************** 

ගාළු පුරවරයට බොහෝ ඈත දේශ දීපංකරයකට එපිට සුමාත්‍රාව අසල කල්ප අසංඛ්‍යය සංඛ්‍යාවක් දැඩි නිද්‍රාවක ගැලී සිටි මෘගයෙකු මේ වන විට තම අති දීර්ඝ කාලීන නිද්‍රාවෙන් ඇඟ මැලි කඩා අවදි වූයේ,  සත් සමුදුර තරණය කොට බටහිර දෙසට ගමන් කරමින් සිටියේය. ගාළු කොටු බැම්ම අසල තම විවිධ ප්‍රශ්න විසඳා ගැනීමට තැත් කරමින් හා / හෝ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු පිළිබඳව සුබ සිහින මවමින් හා / හෝ ඒ කිසිත් නොමැතිව ජීවිතය සිතූ පරිදි විඳිමින් හා / හෝ සිටි කිසිවෙකු මේ මෘගයා පිළිබඳව හාංකවිසියක් හෝ නොදැන සිටි බව වෙසෙසින් පැවසිය යුත්තක් නම් නොවේමය. 

**************************************** 

නොගිනිය හැකි කලෙක සිට නිසලව උන් සයුර එක් වරම සෙමින් සෙමින් ගොඩට ගලන්නට විය. 

'' කණිෂ්ක...අර මුහුද ගොඩට ගලනව නේද?....'' නයනී ගේ බියපත් හඬින් හිස ඔසවා බැලූ කණිෂ්ක වහා නැඟී සිටියේය. 

'' ඔව් නේද?......මේ මොකක්ද වෙන්න යන්නෙ? '' 

**************************************** 

'' ජගත් අනේ ඉක්මනට එන්න මුහුද ගොඩ ගලනවා..'' පුෂ්පා කෑගැසුවේ පිස්සියක මෙන් දරුවන් දෙසට දිවයමිනි. 

**************************************** 

'' මුදලාලි අර මූද ගොඩට එනව නේද?......'' 

'' මොකක්?......අම්මප ඇත්තම නේද?.....මේ මොනවද වෙන්න යන්නෙ? නැගපං, නැගපං, ඇල්බට්...යමං හනිකට මෙතනිං'' 

**************************************** 

මේ වන විට කිට්ටාගේ පූර්ණ අවධානය වාහනයේ පසුපස අසුන මත වූ කළුපැහැ ගමන් මල්ල දෙස යොමු වී තිබූ හෙයින් මුහුද ගොඩ ගැලීම පිළිබඳ ව ඔහු කිසිසේත්ම නොදත්තේය. 

**************************************** 

මුහුද ගොඩ ගලනවා දුටුවද ලොව ප්‍රීතිමත්ම මිනිසාට එහි අරුමයෙක් නොවන බව නිසැකය. කෙසේ වුවද ඔහු මේ කිසිවක් නොදුටුවේය. වැතිරී සිටි අයුරින්ම මත්පැන් උගුරක් නැවත මුවෙහි ලාගත් ඔහු ඒ ගිල දමා මහත් ප්‍රීතියෙන් සිනා සුණේය. 

**************************************** 

සුමාත්‍රාවේ සිට ගමන් ඇරඹූ යක්ෂයා ගාල්ලට ළඟාවී සිටියේය. කලකින් නොදුටු තම ඥාතී හිතවතුන් බැහැදැක සතුටු සාමීචියෙහි යෙදෙනුවස් දෝත පුරා තෑගි බෝග දුර බැහැරක සිට පැමිණෙනා ඥාතියකු / හිතවතකු පැමිණියාක් මෙන් ස්වල්ප දුරක් ගොඩ බිම අභ්‍යන්තරයට ගමන් කල හෙතෙම අහිංසක ලෙසම ආපසු සයුරු තෙරටම බැස ගියේය. සයුරෙහි මෙතෙක් රඳවාගෙන සිටි සීමා මායිම් පසුකොට බොහෝ දුරකට බැස ගියේය.

මේ සයුර සිඳීයන ආශ්චර්යය නරඹනු වස් නයනී සහ කණිෂ්ක ද, පුෂ්පා සහ ජගත් සමඟ දරු දෙදෙනා ද, රිචඩ් මුදලාලි සමඟ ඇල්බට් ද අයාගත් මුවින් යුතුව සයුරු තෙර වෙත රොක් වූහ. 

කිට්ටා ප්‍රාඩෝවෙහි පසුපස අසුන මතවූ ගමන් මල්ල අතට ගත්තේය. ලොව ප්‍රීතිමත්ම මිනිසා තවත් මත්පැන් උගුරක් ගිල දමා නැවත ද සිනා සුණේය. 

සමුදුරෙහි බොහෝ ඈතට ගමන් කල යක්ෂයා අවසන් ප්‍රහාරය උදෙසා බලමුළු තරකරමින් ශක්තිය කුළුගන්වා ගනිමින් මොහොතක් ගත කලේය.ඉන්පසු කන් බිහිරිකරවන ඝෝෂාවකින් හාත්පස වෙවුලුම් කවමින් ගාළු පුරවරයට කඩා වැදුනේය. 

වේලාව - පෙරවරු 9.30..... දිනය - 2004 දෙසැම්බර් 26, 

***************************************** 

ඉනික්බිති දෙවන රළ පැමිණියේය. 

Lo and behold...... there comes the second wave with the Fourth horseman on a pale horse named death riding on it, * 


* The Four Horsemen of the Apocalypse are described in the last book of the New Testament of the Bible, called the Book of Revelation of Jesus Christ to Saint John the Evangelist at 6:1-8. The chapter tells of a book or scroll in God's right hand that is sealed with seven seals. The Lamb of God, or Lion of Judah (Jesus Christ), opens the first four of the seven seals, which summons four beings that ride out on white, red, black, and pale horses. Although some interpretations differ, in most accounts, the four riders are seen as symbolizing Conquest,War, Famine, and Death, respectively. The Christian apocalyptic vision is that the four horsemen are to set a divine apocalypse upon the world as harbingers of the Last Judgment. 

Tuesday, December 23, 2014

295. සිද්ධාර්ථ ගෞතමයෝ ද මෙසේ වදාළෝය.




" ඊයෙ සිරසෙ ගිය සටන ප්‍රෝග්‍රම් එක බැලුවද? " 

මේ පහුගිය ඉරිද රාත්තිරියෙ හතට වගෙ කතා කරද්දි අපෙ ප්‍රියම්බිකා තොමෝ එහෙම ඇහුව. 

" ඇයි එහෙම ඇහුවෙ? මොකක්ද විශේෂෙ? " 

" නෑ ඔයාගෙ යාලුව ආව ඊයෙ.." 

" මගෙ යාළුව? කවුද බොලේ ඒ?.." 

" ගාමිණී වියන්ගොඩ..." 

ගාමිණී වියන්ගොඩ කියන්නෙ මම ප්‍රියකරන මනුස්සයෙක්.පරිවර්තකයෙක් හැටියට ගාමිණී බොහොම ප්‍රසිද්ධ උනාට මට මතක විදිහට මම මනුස්සයගෙ පරිවර්තන කියවලාම නෑ. රාවය පත්තරේ මම පුරුද්දක් විදිහට ගත්තෙ සඟරාවක් විදිහට මුලින්ම නිකුත් වුන කාලෙ ඉඳල.රාවයට ගාමිණී වියන්ගොඩ ලියපු අවරදිග ආවර්ජනා තීරු ලිපිය මම හැමදාම බොහොම ආසාවෙන් කියෙව්ව. 

පරිවර්තන කියවන එක මම අතඇරලම දාල හුඟක් කල්.ලංකාවෙ බොහොමත්ම ප්‍රසිද්ධ සහ ජනප්‍රිය පරිවර්තකයො / පරිවර්තිකාවන්ගෙ පොත් හත අටක් මම කියවල තියනව එච්චරයි. ෂර්ලොක් හෝම්ස් පොත් පරිවර්තනය කරල බොහොම ජනප්‍රිය වෙච්චි එක් මහත්මයෙක් " Bohemian Life " කියන වචන දෙක පරිවර්තනය කරල තිබ්බෙ " බොහීමියන් ජාතිකයකුගේ ජීවිතය " කියලයි. Bohemian කියන වචනෙට ඉංග්‍රීසි භාෂාවෙ අර්ථ දෙකක් තියනව කියල ඒ මහත්මය දන්නෙ නෑ. බොහීමියානු වැසියෙක්... ඒ ඇවිදිල්ල හිට එක අර්ථයක්. ඒත් පොතේ ඒ අවස්ථාව අනුව යෙදෙන්නෙ අනික් අර්ථය. ඒකෙන් කියවෙන්නෙ සම්මතයට එරෙහි දිවි පෙවෙතක් ගත කරන ඒ වගේම නාට්‍ය, චිත්‍ර ශිල්පය ආදී කලා කටයුතුවල යෙදෙන පුද්ගලයෙක් කියන එක. 

ඔය වගේ තවත් මට හැමදාම හිනා යන එකක් තියනව." හමුදා බුද්ධි අංශය එල්.ටී.ටී.ඊ. ආයුධ ගබඩාවක් සොයාගනී. " ටික කාලෙකට ඉස්සෙල්ල නිතරම පත්තරවල රූපවාහිනියෙ ගිය ප්‍රවෘත්තියක් ඔය. හමුදා බුද්ධි අංශය කියන්නෙ මම හිතන්නෙ ඔය දැනුම මිනුම තරඟ වලට සහභාගි වෙන්ට කියල හදපු සෙබළු සෙබළියො කාණ්ඩයක් වෙන්ට ඕන...වෙන ඉතිං මොකක්ද හිතාගන්ට ඇහැකි? 

තවමත් මම හිතන්නෙ ඔය " බුද්ධි " කෑල්ල පාවිච්චි වෙනව. ඒකත් ඔය ඉංග්‍රීසි භාෂාවෙ Intelligence කියන වචනෙට තේරුම් දෙකක් තියනවයි කියල නොදන්න බක පණ්ඩිතයෙක්ගෙ පරිවර්තනයක්. මට පුදුම එහෙම ඒ වගෙ සම්පූර්ණ වැරදි භාවිතාවක් දැන් කාලෙක ඉඳල කරගෙන එන එකටත් වඩා කවුරුවත්ම ඒ වැරැද්ද හදන්නෙ නැති එකට. 

පස්සෙ ඉතිං ඔන්න සෙනසුරාදා සිරස රූපවාහිනියෙ ප්‍රචාරය වෙච්ච සටන වැඩ සටහන මම ඊයෙ රෑ බැලුව.. චම්පික, රාජිත සහ ආචාර්ය හර්ෂ ද සිල්වා සමඟ ගාමිණී වියන්ගොඩ සාකච්ඡාවට සහභාගි වුනේ. 

වැඩ සටහන අවසාන හරියෙදි ගාමිණී වියන්ගොඩ මෙහෙම කිව්ව. 

" දැන් මේ රටේ ප්‍රශ්නයක් තියනව ඉස්සරහට වෙන්නෙ මොකක්ද? මෙතනින් එහාට මොකක් වෙයිද? තිබුනු තත්වයටත් වඩා නරක් වෙයිද? ඔන්න ඔය වගෙ දෙගිඩියාවක් තියනව.මම කැමතියි මේ වෙලාවෙ බුදු හාමුදුරුවො දේශනා කරපු කරුණක් ඇසුරුන් යම් පැහැදිලි කිරීමක් කරන්න..මේක කවියට නැඟුවෙ ශ්‍රෙෂ්ඨ නාට්‍යවේදී බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්. එක්දාස් නමසිය හැත්තෑවෙ අවුරුද්දෙ විතර බ්‍රෙෂ්ට්ගෙ මේ කවිය සිංහලට නැඟුවෙ මහාචාර්ය කාලෝ ෆොන්සේකා. ඒ දවස්වල මම කටපාඩම් කරගත්තු ඒ කවිය මෙහෙමයි.... "

තණ්හාවේ දෝසේ- දුටු බුදුන් වහන්සේ, 
තණ්හාව නසා- විමුක්තිය පතා, 
නිවන් මග මේ යැයි- පෙන්වා දුන් සේක. 
ඉක්බිතිව දවසක්, ගෝලයෝ පිරිසක්, 
ඇසුවෝය හිමිගෙන්, එක්තරා පැනයක්.......

තණ්හාව හල විගස, සැණයකින් අප ලබන,
ඔබ කියන ඔය නිවන කෙබඳුදැ යි කියනු මැන,
එවිට අප සියලූ දෙන- තණ්හාව නසනු ඇත.
බඹ ලොවට පිවිසීම වාගේද නිවන් සුව,

ඉර මුදුන් වෙලාවේ, විලක් මැද තනි වෙලා, 
කුසීතව පාවෙමින් සිටින්නා වාගේද,
ඔබ කියන ඔය නිවන, පැහැපත් ද පියකරු ද,
නොඑසේ නම් එය- සිත නැති කය නැති, 
කිසිම දෙයක් නැති දෙයක්දෝ ස්වාමීනි? 

මෙය ඇසූ හිමි සඳ - හෝරා ගණනක් වැඩ හිඳ නිසලව, 
කීවේ මෙලෙස ය: 

ඔබ ඇසූ පැනයට- පිළිතුරු නැත මට,
එහෙත් එම දිනයේ- සැන්දෑ සමයේ,
බෝ රුක් සෙවණේ වැඩ සිටි සමිඳා,
පැන ඇසූ සිය සිසු පිරිස ගිය පසු, 
එහි සිටි සෙසු දන සැම අමතාලා,
දෙසූහ මේ සුළු කතාව උපමා.....

දවසක් මම ගෙයක් දුටිමි- එය ගින්නට හසුව තිබුණි,
රත් පැහැ ගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි,
එහි තුළ මම දනන් දුටිමි- දොර හැර ඔවුනට හඬගා,
පිටවන්නැ යි මම කීවෙමි. 

එහෙත් එදන සැලූණේ නැත- හදිසි බවක් පෙන්නුවෙ නැත, 
එක් අයෙකුගේ රැවුල පවා පිළිස්සෙද්දි ඔහු ඇසුවේ, 
ගෙයින් පිටත මීට හොඳද- වැසි වසීද සුළඟ තදද,
දැවෙන නිවෙස දමා ගොසින්- ඉන්න ගෙයක් තියෙනවාද? 
මෙවැනි ප‍්‍රශ්න රාශියක් ය. 

මම පිළිතුරු නොදී ඔහුට- නැවත වරක් වුණෙමි නිහඬ, 
මට සිතුණා මේ දරුවන්, 
නගන ප‍්‍රශ්න නවත්තන්නේ,
ගින්නෙන් නැසුනාම කියා. 

සත්තකින්ම ප‍්‍රිය දරුවනි, 
යම් මිනිසෙකු පොලෝ තලේ,
තැබූ දෙපා දැවෙන තුරා,
වෙන තැනකට නොයාවි නම්,
ඒ දන හට සරණ යන්න- බණක් නැතිය මට කියන්න,

ඔන්න ඔහොමයි ගාමිණී වියන්ගොඩ මහත්මයගෙ කතාව... 

බුදුහාමුදුරුවො තුන්කල් දකිනව කියන්නෙ කට කහනවටය? එතුමා අවුරුදු දෙදාස් පන්සීයකට ඉස්සෙල්ල දැකල තියනව ලංකාවෙ අද තත්වෙ...ඒකනෙ ඔහොම කියල තියෙන්නෙ. හැබැයි අනික් අතට අර පනාපුත්‍ර සට්ටඹිය කට එහෙම අඹර අඹර ඇස් දෙකත් ලොකු කරගෙන කිව්ව විදිහට එතුමාගෙම පරම්පරාවෙං පැවතෙන කෙනෙක් තමයි මේ අලකලංචි ඔක්කෝටම මුල. 

ඉතිං කවියෙ විදිහට ගිනිගත් නිවස්නයකින් පණනල බේරාගෙන පළායනව වගෙ වහාම ප්‍රතිකර්මයක් යොදන්ටම වෙනව. ජනවාරි 8 වෙනිද..ඒ අපිට හම්බවෙන අන්තිම අවස්ථාව වෙන්ට හොඳටම ඉඩ තියෙනව..ඉඩ තියෙනව නෙවෙයි ඒ තමයි අන්තිම අවස්ථාව...ලාස්ට් චාන්ස් ලාස්ට් චාන්ස් කියල කෑගහමින් ඒ දවස්වල අපේ ගෙවල් පාරෙ හවස පහට වගෙ යනව ස්වීප් ටිකට් කාරයෙක්. මිනිහගෙ ස්වීප් පොල්ලෙ තියෙන්නෙ එක ස්වීප් එකයි. ඔය මිනිහ බොරු කරන්නෙ සාක්කුවෙ තව ස්වීප් තියනවයි කියලයි අපෙ මාම නම් ඒ දවස්වල කිව්වෙ. හරි ඒක මොකහරි. ජනවාරි අටවෙනිද ලාස්ට් චාන්ස්. ඒ අවස්ථාව හරියට ප්‍රයෝජන ගත්තෙ නැත්තං ලංකාව සිම්බාබ්වේ වගෙ වෙලා තමයි නවතින්නෙ. මට ඒකනං සීයට දෙසීයක්ම ෂුවර් ඇන්ඩ් ෂොට්.... 

අපිට වෙනසක් අවශ්‍යයයි කියල ඔබට හිතෙන්නෙ නැද්ද? අපි පොඩි කාලෙ සිංහල අලුත් අවුරුද්ද ලබනකොට අලුත් ඇඳුමින් සැරසුනා විතරක් නෙවෙයි ගෙවල් සුද්ද කරල, අතු පතු ගාල, මකුලු දැල් එහෙම කඩල, ලිප ගාව ගොම මැටි ගාල, නැකතට ලිපේ තිබ්බෙ නැවුම් වළං...ඇයි ඒ? ජීවිතේට අලුත් වෙනසක් ඕන හින්ද..ජීවිතේ අලුත් වෙන්න ඕන නිසා....පාලන තන්ත්‍රයටත් එහෙම තමයි. වෙනසක් ඕන කාලෙ ඇවිල්ල තියෙන්නෙ. එහෙම වෙනසක් ඕනය කියල මිනිස්සුන්ටම හිතුනම ඒක වෙනස් කරන්න අමරුයි. දැන් ඒ තත්වය උදා වෙලා තියෙන්නෙ. කළගුණ සැලකුවා හොඳටම ඇති. 

විශේෂ ස්තූතිය - ගෞතම බුදුන් වහන්සේට....., බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්, කාලෝ ෆොන්සේකා සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන්ට 


Thursday, December 18, 2014

294. නිල් කට්රොල් මල්.......



 පියුමක් රැගත් ළඳ - අජන්තාවේ සිතුවමකි 

සූව දශකයෙහි මැදභාගයෙහි පමණ දඹුල්ලෙහි කාර්මික විද්‍යාලයක් ඇරඹුනු වහාම මම රැකියාවන්හි නියුක්තවූවන් උදෙසා එහි පැවැත්වෙන බවට රජයේ ගැසට් පත්‍රයෙහි පළකොට තිබූ අර්ධකාලීන වෘත්තීය පාඨමාලාවක් සඳහා අයදුම් කළෙමි. 


අපොස උසස්පෙළ විභාගයෙන් අනතුරුව සැලසුම්කරණය පිළිබඳ එක් අවුරුදු කාර්මික විද්‍යාල පාඨමාලාවක් හැදෑරීමෙන් අනතුරුව මම රැකියාවක් කිරීමට තීරණය කළෙමි. මේ වනවිට මගේ මව්පියන් දෙදෙනාම විශ්‍රාම ලබා සිටියෝය. රජයේ සේවයෙන් ලැබුණු වැටුප හැරුණුකල වෙනත් කිසිදු ආදායම් මාර්ගයක් නොවූ ඔවුන්හට දරුවන් තිදෙනෙකුට ආහාරපාන, ඇඳුම් පැළඳුම් සහ අධ්‍යාපනය ලබාදෙනවාට අමතරව තම පවුල් වෙනුවෙන්ද මාස්පතා යම් වියදමක් දැරීම අනිවාර්ය වූයෙන් සැලකියයුතු මුදලක් මහජන බැංකුවෙහි පවත්වාගෙන ගිය ඔවුන්ගේ හවුල් ගිණුමෙහි කිසිදිනෙක ඉතිරි නොවීය. 



එබැවින් විශ්‍රාම ලැබූ මතු එතෙක් පදිංචිව හුන් රජයේ නිල නිවස ආපසු භාරදුන් ඉක්බිති ඉඳුම් හිටුම් ගැටළුව මතුවන බව දත් ඔවුහු විශ්‍රාම යාමට වසරකට පමණ පෙර තමන් වැර වෑයමෙන් ඉතිරිකොට තිබූ සුළු මුදල සහ ඉඩමක් මිළදී ගැනීම උදෙසා එදවස රජයේ සේවකයින්හට රාජ්‍ය බැංකුවලින් ලබාදුන් ණය මුදල ද උපයෝගී කොටගෙන මවගේ පාරම්පරික නිවස ආසන්නයේම පැරණි මාදිලියේ නිවසක් සහිත කුඩා ඉඩම් කැබැල්ලක් මිලයට ගත්හ. 



1984 වසරෙහි ජූනි මස මුල් සතියේ දිනෙක පුරා සතළිස් වසක රජයේ සේවයට සමුදුන් මපියාණෝ සියළු රජයේ සේවකයින්ට පොදුවූ ස්ථානමාරු ලැබ දිවයින පුරා කල සංචාරයට තිත තබා වසරකට පෙර මිළදීගත් නිවසෙහි අඹුදරුවන්ද කැටුව පදිංචි විය. 



ඒ වනවිට මගේ කුළුඳුල් රැකියාවෙහි නිරතව හුන් බැවින් මම අනුරාධපුරයෙහිම නතර වූයෙමි. කාර්මික විද්‍යාල පාඨමාලාව හදාරන අවදියෙහි දැන හඳුනාගත් මිතුරකුගේ මාර්ගයෙන් ඔහුගේ නිවසට යාබද නිවසෙහි මාස කිහිපයක් ද ඉන්පසු තවත් මගේ කාර්මික විද්‍යාල මිතුරකු හා සමඟ ඔහුගේ බන්ධනාගාර නිළ නිවසෙහිද මම කල් ගත කළෙමි.( දෙවනුව සඳහන් කල මා මිතුරා කාර්මික විද්‍යාල පාඨමාලාව අතරමඟ අතැර බන්ධනාගාර සේවයට එක්වූ බව මෙහි ලා සඳහන් කල යුතුය ) 



මාසය අවසානයෙහි සැළකිය යුතු මුදලක් අතට පත්වුනු, එසේම දෙමව්පිය අධීක්ෂණයකින් තොරව ගතවුනු වසර අඩකට ආසන්න ඒ කාලය සිහිපත් වන කල අදටද මසිතේ හටගනුයේ සියුම් සතුටක් හා සමඟ මුසුවුනු කණගාටුවක් වන් හැඟීමකි. 

යන්තමට අකුරු කියවිය හැකි අවධියට එළඹෙන්නාත් සමඟම අතට අසුවන ඕනෑම පොතක් දිවා රාත්‍රී නොතකා කියවීමේ පුරුද්ද හේතුකොටගෙන පුරාණ ඉතිහාස කථා කෙරෙහි මසිත හටගත් නොතිත් ඇල්ම වඩාත් වර්ධනය වූයේ එවකට රට පාලනය කල සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් යුතු සමගි පෙරමුණු රජය විසින් නව විෂයමාලා නිර්දේශය යටතේ සයවන පංතියෙහි පටන් ඉගැන්වීමට නියම කොට තිබුණු සමාජ අධ්‍යයනය විෂයය හේතුකොටගෙනය. 

නයිල් නදී ශිෂ්ඨාචාරයෙන් ඇරඹී දෙගංමැදි රාජ්‍යය, හොවැංහෝ නදිය අසබඩ පැනනැඟි චීන ශිෂ්ඨාචාරය හරහා මොජෙන්ජෝදාරෝ හරප්පා කරා ඇදී ආ මානව සංවර්ධනය ඉන්පසු ග්‍රීක සහ රෝම සභ්‍යත්වයන් වෙත යොමුවු අයුරු විෂයභාර ගුරුවරයා වූ ජයසේකර මහතා විස්තර කරනු තුදුස් වියේ පමණ පසුවූ අප අසා සිටියේ අයාගත් දෑසිනි. 

සමාජ අධ්‍යයනය විෂයයට අදාල එක් ක්‍රියාකාරකමක් ලෙස ඒ ඒ විෂයය ඒකකයට සම්බන්ධ රූප හෝ වෙනත් යම් චිත්‍ර සටහන් එක් රැස්කොට අලවා අප එකිනෙකා විසින් C.R.‍ ප්‍රමාණයේ පොතක් සකස් කිරීම අනිවාර්ය විය. ( ඒ හැඳින්වූයේ ක්ෂේත්‍ර පොත නොහොත් Scrap Book යන නාමයෙනි. ) 

ප්‍රධාන පොත්හල්වලින් මිළදීගත හැකි ජාතික වීරයින්ගේ රූප අඩංගු පත්‍රිකාව හැරුණු විට වර්තමානයෙහි මෙන් අන්තර්ජාලය මඟින් අවශ්‍ය ඕනෑම රූපයක් එකෙණෙහි බාගත කොට ගැනීමෙහි පහසුකම් පිළිබඳව සිහිනෙන් හෝ අසා නොතිබුණු අප බොහෝවිට කලේ චිත්‍රශිල්පයෙහි දක්ෂ වැඩිමල් සොහොයුරකු / සොහොයුරියක ලවා හෝ මව්පියන්ගෙන් කෙනෙකු ලවා අදාල චිත්‍ර අන්දවා ගැනීමය.මපියා චිත්‍ර ශිල්පයෙහි සැළකියයුතු නිපුණත්වයක් දැක්වූයෙන් ඒ කාර්යය ඔහුට භාරවූයේ නිරායාසයෙනි. 

ඔහු විසින් පැන්සලෙන් ඇඳ ඉන්දියානු තින්තෙන් හැඩ දැමූ සුමේරියානු පූජකවරයෙකුගේ උඩුකය පිළිමයක රේඛා චිත්‍රය මොහොතක් දෑස පියාගත් කල මට දැනුදු මැවී පෙනෙනුයේ දශක සතරක කාලය එක් සැනෙකින් නිමේශයකට හකුළුවා ලමිනි. 

මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා විසින් පර්සියාවේ ඩේරියස් රජු තීරණාත්මකව පරාජයකල අර්බෙලා හි සටන පිළිබිඹුවන සිතුවම ද එලෙසම මගේ මතකයෙහි නොමැකෙන ලෙස සටහන්ව ඇත. 

මෙලෙස ඉතිහාසය පිළිබඳව මසිත පිරී ඉතිරුනු අසීමිත ආශාව සහ උනන්දුව නිසාම කුළුඳුල් රැකියාව ලෙස ඉතිහාසය සහ පුරාවිද්‍යාව අධ්‍යයනයෙහි සහ සංරක්ෂණයෙහි නිරත ආයතනයකට සම්බන්ධ වන්නට ලැබීම මම පෙරකල පුණ්‍ය කර්මයක් පළදීමක් ලෙස සැළකීමි. 

අනුරාධපුර අභයගිරි දාගැබ සහ ඒ අවට අක්කර දහස් ගනනක් පුරා පැතිරි සංඝාවාස, විවේක ශාලා, සන්නිපාත ශාලා, රෝහල් ආදියෙන් සැදුම්ලත් අභයගිරි විහාර සංකීර්ණයෙහි සංරක්ෂණ කටයුතුවලට සම්බන්ධව ජීවිතයෙහි අරුණෝදයෙහි ගතකල ඒ වසරකට මඳක් අධික කාලය පසු කලෙක මගේ ජීවිතයෙහි මහත් බලපෑමක් ඇතිකල බව කිවහොත් ඒ කිසිසේත්ම අසත්‍යයක් නොවේ. 

සඳ පහන් රැයක අභයගිරි දාගැබෙහි සළපතල මළුවෙහි එරමිණිය ගොතා හිඳින සඳ, සඳ රැසින් නැහැවී ගිය මළුවෙහි වසර දහස් ගණනකට පෙර සුදුවතින් සැරසුණු සහස් සංඛ්‍යාත උවසුන් උවැසියන් දොහොත් මුදුන් තබා හිටිපියවර සෙල්මුවා පිළිම මෙන් හිඳ සෑය නමදිනු මම දුටුවේ වරක් දෙවරක් නොවේ. එසේ වැඳුම් පිදුම් ලැබූ මේ අසහාය චෛත්‍යරාජයාණන් අද වල් බිහිව නටබුන්ව ගොස් ඇති අයුරු ජීවිතයේ අනිත්‍යය මෙනෙහි කිරීමට අපූර්ව නිමිත්තක් නොවේද? 

මහමෙවුනාවේ කොහොඹ තුරු පත් අතරින් පුන්සඳ එබී බලනා රාත්‍රියක සමාධි පිළිමය ඉදිරිපිට හිඳ බුදු හිමියන්ගේ ශාන්තවූ වත දෙස අනිමිස ලෝචනයෙන් බලා හිඳීමෙන් සිතට දැනෙනා නිරාමිස සුවය මෙදියත වෙන කිසිදු අයුරකින් ලබාගතහැකිවේ යයි මම කිසිසේත්ම නොසිතමි. 

භාරතයෙහි ප්‍රථම අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරු තුමා දිවයිනට පැමිණි සෑම විටෙකම සමාධි පිළිමය අසල සුළු කාලයක් හෝ ගත කිරීමට අමතක නොකළේය.ඉන්දීය නිදහස් අරගලයේදී බ්‍රිතාන්‍යයන් විසින් සිරගත කල කල්හි ඔහුගේ සිතට මහත් සැනසුමක් ගෙන දුන්නේ සමාධි පිළිමයේ කුඩා අනුරුවක් බව නේරු චරිතාපදානයෙහි සඳහන්වන බව මගේ මතකයේ ඇත. 

මා හා සමකාලීනව සීගිරිය ව්‍යාපෘතියෙහි නේවාසික සැළසුම් ශිල්පී ලෙස සේවය කල සරත් අනුරාධපුර කාර්මික විද්‍යාලයෙහි මට එක් වසරක් ජේෂ්ඨයකි.නොයෙක් නේවාසික වැඩමුළු ආදියට සහභාගිවන කල අප නවාතැන් ගත්තේ සීගිරිය පැරණි පුරාවිද්‍යා සංචාරක නිවාසය පිටුපස පිහිටා තිබූ ඔහුගේ නිල නිවාසයෙහිය. 

මා පිය මිතුර/මිතුරිය, කාලය මෙසේ ගෙවී ගියේය. පුරාවිද්‍යා ආයතනයෙහි සේවයෙන් ඉවත්වූ මම අර්ධ රාජ්‍ය වාරිමාර්ග ආයතනක සේවයට එක්වූයේ ආර්ථිකය මෙන්ම මතු දියුණුවද සැළකීමෙනි. 

මේ වනවිට අප මිලදීගත් පැරණි පන්නයේ නිවසෙහි පදිංචිව හුන් මව්පියෝ එහි සැළසුම සම්පූර්ණයෙන් වෙනස් කොට නව නිවෙසක් ඉදිකිරීමේ කටයුත්තට මුල පුරා සිටියහ. වැර වෑයමෙන් ඔවුන් ඉතිරිකොටගත් මුදලින් මේ වනවිට සැලකියයුතු ප්‍රතිශතයක් වැයවී තිබුණෙන් බොහෝවිට නිවසෙහි ඉදිකිරීම් කටයුතු කෙරුණේ මවිසින් ඉතිරිකොට යැවූ මුදලිනි. එබැවින් මේ කියන කාල වකවානුව වනවිට මා සතුව සෑමවිටම පැවතියේ එදිනෙදා වියදමට ද නොසෑහෙන අයුරු ස්වල්ප මුදලකි. එහෙත් රැකියාවෙහි මතු දියුණුව උදෙසාම සහ අනාගත ආයෝජනයක් ලෙස මම දඹුල්ල කාර්මික විද්‍යාලයෙහි පාඨමාලාව හැදෑරීමට තීරණය කලෙමි. 

මා සමඟ සේවය කල මිතුරෝ කිහිප දෙනෙක්ද මා සමඟම පාඨමාලාවට අයදුම් කළෝය.දේශන පැවැත්වෙනුයේ සතියේ දින හතරක සවස්කාලයේ බව අයදුම්කිරීම පිළිබඳ විස්තර පළවූ ගැසට් පත්‍රයෙහි පළවිය.එහෙත් විදුහල්පති තුමා සමඟ සාකච්ඡා කොට පංති පැවැත්වීම සති අන්තයට යොදා ගැන්මට අපි සමත්වීමු. සෙනසුරාදා හිමිදිරියෙහි කඳවුරෙන් පිටත්ව දඹුල්ලට පැමිණ සම්පූර්ණ දවසම පංතිවලට සහභාගීවන අප බොහෝවිට එදින රාත්‍රිය ගත කලේ සීගිරියෙහි අප හිතවත් සරත් හා සමඟ ඔහුගේ නිල නිවාසයෙහිය. 

( සමාවන්න....මෙපවත් ඔබට පැවසීමට අතපසු විය. එකල මා හා සමඟ එකම පුරාවිද්‍යා ආයතනයෙහි සීගිරිය ව්‍යාපෘතියෙහි සේවය කල මා මිතුරු සරත් ද අප සමඟ පාඨමාලාව හැදෑරීමට එක්ව සිටියේය. ) 

පාඨමාලාවෙහි පළමු වසර ගෙවී ගියේ අසුරු සැණෙකිනි. දෙවන වසරෙහිද අඩක් පමණ ගෙවීයන්නට ඇත.එක් සතිඅන්තයක ඉරිදාව පසළොස්වක පොහෝ දිනයකි. සෙනසුරාදා පංති අවසානයේ මගේ මිතුරෝ සියළුදෙන තම නිවෙස් බලා පිටත්වූයේ කල් ඇතිවම ඊලඟ සතියේ මුල් දින දෙක හෝ තුන නිවාඩු අනුමත කොටගෙනය. ඒ ආසන්නම බෘහස්පතින්දා මාසික වැටුප ලබාදීම ද මේ නිවෙස් බලා යෑමට ඉවහල් විය. හදිසියේ මපියාණන් රෝගී වූ හෙයින් දින තුනක් නිවාඩු ලබා නිවෙස බලා ගිය මම නැවත සේවයට වාර්තාකලේ ඉකුත් බදාදා බැවින් යලි ගෙදර නොගොස් සෙනසුරාදා පංති අවසානයේ ආපසු වැඩබිම බලා යාමට මම තීරණය කොටගෙන සිටියෙමි. 

" දැං උඹ මොකටද බං මේ රෑ තනියම යන්නෙ? හෙට මොකවත් අත්‍යාවශ්‍ය වැඩක් තියෙනවද? " 

කදුරුවෙල බසයක් බලාපොරොත්තුවෙන් මා හා සමඟ දඹුල්ල මංසන්ධියෙහි රැඳී සිටි සරත් එක්වරම මදෙස හැරී බලා විමසීය. විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ඇරඹීම හේතුවෙන් දඹුල්ල නොනිදන නගරය යනුවෙන් විරුදාවලි ලැබීම තවත් වසර කිහිපයක් අනාගතයේ වූ එදවස රාත්‍රි හතේ කණිසම ආසන්න වෙද්දී සියළු කඩපිල් දොර ලෑලි වලින් ආවරණය වී තැනින් තැන වැතිර පසුවන අයාලේ යන ගවයින් කිහිප දෙනෙකු හැරෙන්නට දඹුල්ල නගරය නින්දට යන්නේය. 

" එහෙමට අත්‍යාවශ්‍ය වැඩක් කියලනං නෑ මචං..ඒත් මම යන්න හිතුවෙ උඹලගෙ ක්වාටර්ස් එකට ගියාය කියල ආය මොනව කරන්නද? සර්කිට් එකේ තියන දෙයක් කාල බුදියනව මිසක..ආය හෙට උදේ ආපහු යන්ට එපාය අලුතෙන්ම ලෑස්තිවෙලා...හෙහ්,හෙහ්," 

" මේ හෙට පාළොස්වක නේද?අද හඳ පායල තියෙයි නියමෙට..මට මතකයි උඹ ඒ කාලෙ ඉඳල කිව්ව පුරා හඳ පායපු පාළොස්වක දවසක සීගිරිය ගල උඩ පැය තුන හතරක් ඉන්ට ආසයි කියල. ඒ ගැන කොච්චරවත් කතා කලාට උඹට මචං ඒ අත්දැකීම විඳින්ට බැරිවුනානෙ. මොකද කියන්නෙ? අද යමු රෑ සීගිරි නඟින්ට හඳ පානෙ.." 

අනුරාධපුරයෙහි අභයගිරි ව්‍යාපෘතියෙහි සේවය කල සමයෙහි සිටම පුරා සඳ පෑයූ රාත්‍රියක සීගිරි පව්ව තරණය කිරීමට මා තුල වූයේ බලවත් ආශාවකි. ඒ ආශාව වඩාත් තීව්‍ර වූයේ හත් අට වරක්ම ඒ අත්දැකීම ලබාසිටි සරත්ගේ ඒ පිළිබඳ වර්ණනාව ඇසූ අනතුරුවය.එහෙත් පුරාවිද්‍යා ව්‍යාපෘතියේ සේවයෙන් ඉවත්වනතෙක්ම මට ඒ සඳහා අවස්ථාවක් නොලැබිණි. 

" අන්න මල්ලි වැඩේ...යමු..යමු..යමු...මගෙ ඒ කාලෙ ඉඳලම දොළ දුකක්නෙ ඕක...උඹට මතකනෙ.." 

සුරත සරත්ගේ ගෙල වටා යවා ඔහු තරව වැළඳ ගනිමින් මම පැවසූයෙමි. 

" බඩ පුරා බත්කාල සීගිරි නඟින්ට බෑ බං..ඉඳහංකො යන ගමන්ම සර්කිට් එකේ අප්පුහාමි අයියට කියල යමු රොටි හත අටක් හදල ලුණු මිරිසකුත් කොටල තියන්ටෙයි කියල. උණුවතුර බෝතලේට තේ එකකුත් දාගෙන යමු. ආ....මේ ගල උඩ මාර හීතලයි. හුලඟත් එක්ක. උඹට මම දෙන්නං ජර්සි එකකුයි කං වැහෙන්ට බූල් තොප්පියකුයි..." 

හබරණ මාර්ගයේ ධාවනය වූ අප රැගත් පෞද්ගලික බස් රිය ඉනාමළුව මංසන්ධියෙන් දකුණට හරවනවාත් සමඟම සරත් මදෙස හැරී බලා පැවසීය. 

සීගිරිය පැරණි සංචාරක බංගලාව ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා තිස් හෝ හතළිස් වන දශකයේ වසර දහස් ගණනක් පොළව තුල වැලලී තිබූ සීගිරි ආශ්චර්යය යලි මතුකොට ගනු උදෙසා කැණීම් කරන අවධියේ ඔහුගේ නවාතැනයි.එහි ආලින්දයෙහි සිහගිරි පව්ව එක එල්ලේ දර්ශනය වන එක කෙළවරක ඒ මහා පුරුෂයා දවස පුරා කල කැණීම් වලින් වෙහෙසට පත්ව විවේකගත් වේවැලින් වියන ලද කළුවර දික් සඟලා පුටුවක් මා මේ කියන දශක දෙකහමාරකට පෙර ද එහි තිබිණි. 

සඳ කිරණින් නැහැවීගිය සිහගිරිය පර්වත මස්තකයේ මනහර දර්ශනය සිත අමන්දානන්දයට පත්කලේ නිරායාසයෙනි.සීගිරියට නැගෙනහිර දෙසින් සඳ රැසින් නැහැවෙමින් බබලන්නේ පිදුරංගල විහාරයයි.. සීගිරියෙහි වැනි වූ බිතු සිතුවම් බොහෝ ගනනක් එහි ලෙන් වලද ඇතිමුත් ඒවා බොහොමයක් කාලයේ රුදුරු ග්‍රහණයට හසුව විනාශවී ගොසිනි. හාත්පස නරඹමින් සිසිල් සුලඟෙහි පහස විඳිමින් බොහෝ වේලාවක් ගත කල මම ගඩොලින් බැඳි පියගැට පෙල තරණය කොට කාශ්‍යපයන්ගේ මාළිගා සංකීර්ණයට ඇතුල් වූයෙමි. එදවස ආලකමන්දාධිපති කුවේරයින් මෙන් සර්වාභරණ විභූෂිතව කාශ්‍යප රජතුමන් අහසේ දිදුලන විදුලි දහරාවන් සේ ලෙලෙනා රූමත් නාටිකාංගනාවන්ගේ අයස්කාන්ත රැඟුම් නැරඹීමට භාවිතා කලේ යයි ප්‍රචලිත පර්වත මස්තකයේ නැගෙනහිර දෙසට ආසන්නව පිහිටි ශෛලමය ආසනය මත බද්ධ පර්යංකයෙන් හිඳගත් මම උඩ සාක්කුවෙහි වූ කඩදාසියක එතූව ප්‍රවේශමෙන් දිගහැර කලිසම් සාක්කුවෙන් ගත් ගිණිපෙට්ටියෙන් කූරක් ගසා දල්වා ගතිමි. 

ළයපුරා ඉහලට ඇදුනු දුම බොහෝ වෙලා රැඳී සිට ඉක්බිති නාසයෙන් සෙමින් පිටවූයේ මා දෑස් තරව පියවමිනි. සුළං රැල්ලත් සමඟ පැතිර ගිය ඊටම ආවේණික නාසය විනිවිදින කටුක ගන්ධයත් සමඟ යාර දහයක පමණ මෑතින් වූ පොකුණ අසල හුන් සරත් වහා මදෙස හැරී බලා පියගැටපෙල නැඟ එන්නට විය. 

" කොහෙන්ද බං ඔය? " 

පියගැට පෙල මැදදීම ඔහු මහ හඬින් විමසීය. 

" කෑනොගහ මෙන්න මෙහෙ වරෙං බං...මේක මම සර්කිට් එකේ අප්පුහාමි අයියට කියල ගෙන්න ගත්ත. උඹ අර නාගන්ට කියල ගිය වෙලාවෙ. " 

" මල මඟුලයි..උඹත් කරන වැඩ..දැන් අප්පුහාමි අයිය සැක කරයි මාත් මේකට සම්බන්ධයි කියල…" 

" පිස්සුද බං ? අප්පුහාමි අයිය සැක කරන්නෙ නෑ.." 

" ඈ? ඒ කොහොමද උඹ ෂුවර් එකටම කියන්නෙ? " 

" ආය සැක කරන්ඩ දෙයක් නෑ බං .මම ඒ මනුස්සයට කිව්වෙ මෙව්ව උඹටයි කියල…" 

" තොගෙ *******……" 

සරත් මහ හඬින් සිනාසුනේය. ළය පුරා තවත් වරක් ඇදි දුමාරයෙහි බලපෑම දැඩිව දැනෙන්නට වූයෙන් මම ද ඔහු හා එකව හඬ නඟා සිනාසුනෙමි. 

" දියං මටත් උගුරක්….." 

සරත් සුරත දිගුකලේය. කමිසයේ උඩ සාක්කුවට වමතෙහි දබරැඟිල්ල සහ මැදගිල්ල සීරුවෙන් ඇතුල්කොට මම එහිවූ තවත් කඩදාසියක එතූවක් පිටතට ගෙන ඔහු වෙත දිගු කලෙමි. 

" අප්පට සිරි තව එකක් තියනවද? අප්පුව ගේන්නෙ පොල්අත්තාවෙ බඩු..ආය නෑ ඇපලෝ එකොළහ තමයි...හිහ්,හිහ්, " 

පොල්අත්තාව යනු පිදුරංගල විහාරයට නුදුරින් වන මැද පිහිටි කුඩා ගම්මානයකි. හේන් ගොවිතැන මෙන්ම දඩයමද එහි වසන අර්ධ වනචාරී ගැමියන්ගේ ප්‍රධාන ජීවනෝපායන් වූහ.සිහගිරි ගමනට වසර දෙකකට පමණ පසුදිනක තවත් සඳපහන් රැයක පොල් අත්තාවේ වැව අසල වූ හේනක සුවිසල් පළු රුකක තැනූ දඩ මැස්සක හිඳ ගතකල අමතක නොවන රාත්‍රියක සුන්දර මතක සටහන්ද මේ ලියන මොහොතේදී මගේ සිහියට නැඟෙන්නේ නිරායාසයෙනි. 

කෙමෙන් දණිස් වේදනා ගෙන දෙන්නට වූයෙන් මම දණිස් දිගහැර ශෛලමය ආසනයෙහි හොඳහැටි හිඳගෙන පසුපසවූ ගඩොල් බිත්තියට හිස තබා දෑස් විවර කොට එක එල්ලේ හිස් මුදුනට ඉහළින් පායා දිලෙන පුන් සඳ මඬල දෙස බලා සිටියෙමි. කෙමෙන් මා දෑස් පියවෙන්නට වූයේ අනායාසයෙනි. 

තැනින්තැන විශාල රුක් ගොමු වලින් සමන්විත වුවද හිස ගිනිලන තරමේ උණුසුමක් නිකුත් කරමින් දැවෙන තැනිතලා මුඩුබිමක් ඔස්සේ දිවෙනා කරත්ත පාරක් ඔස්සේ ගමන් කරමින් හුන්නේ යොවුන් වියේ අපරභාගයට ලඟාවෙමින් සිටිනා තරුණයෙකි. කිසිසේත් පැහැපත් නොවූ ඔහුගේ ඡවි වර්ණය කළු සහ තළ එලලු අතර වූ වර්ණයක් ගත් අතර ඝණ බැම සඟල සහ මුහුණ පුරා වර්ධනය වූ මුදු ගැසුණු රැවුල ගෙන දුන්නේ ප්‍රතාපවත් එමෙන්ම දුටුවන් සිත්හි එක්වරම තැතිගැන්මක් ඇතිකරවන සුලු පෙනුමෙකි. 

ඉතා කලාතුරකින් දුර බැහැර වන්දනාවක වන් චාරිකාවක යෙදෙන කල්හි ඒකාංශ කොට උරපලා හඳිනා ශ්වේත වර්ණ සළුවක් හැරුණු කල උඩුකය නිරාවණිතව කල්ගත කරනා පුරුෂයින් වසනා මේ දේශයට මේ තරුණතෙමේ ආගන්තුක බව ඔහුගේ උඩුකය ආවරණය වූ මල්කම් කල තුනී රෙද්දකින් නිමවූ කංචුකයකට බොහෝසේ සමාන වූ වස්ත්‍රය කියාපෑවේය.එළෙසම ඔහුගේ දකුණු උරයෙහි රැඳි ඔලගුවක් වන් ඝන රෙද්දකින් නිමවූ පැස, දෙදණ තෙක් ආවරණය වූ සරුවාලය සහ දෙපය වැසුණු පදම් කල සමින් නිමැවුණු පාවහන් යුවල ද ඔහුගේ ආගන්තුක බවට අගුල්පත් තැබීය. 

දාහයෙන් දැවෙනා තැනිතලාව පසුකොට තුරුගොමුවෙන් මනා කොට සෙවණ වූ පෙදෙසකට පිවිසි පුරුෂ තෙමේ මාර්ගය අසලමවූ ගල් තලාවක හිඳගත්තේ තම උරයෙහිවූ ඔලගුවේ බරින් සැහැල්ලු වූයේ හමා එන සිහිල් මඳ නලෙහි පහස විඳිමින් විඩා නිවන්නට වූයේය. 

අනපේක්ෂිත ලෙස ඔහු හිඳසිටි ගල් තලාව පසුපස වන බූටෑව පීරාගෙන කරත්ත පාරට පිවිසියේ මැදිවයසේ පසුවූවෙකි. එක් උරයක රැඳි දුනු හී ඔහු දඩයක්කරුවකු බවද හිස් වූ දෑත අද දින දඩයම් අසාර්ථකවූ බවද කියා පෑවේය. නොහඳුනන අමුත්තා දෙස හකුළුවාගත් දෙබැමින් යුතුව මොහොතක් බලා සිටි අසාර්ථක දඩයක්කාරයා ගල් තලාවෙහි අසුන් ගත්තේ දුනුහී පසෙක තබමිනි. 

"මේ ඇත්තො මීට කලින් දුටු පුරුදු නම් නැතුවා.කොයිබකටද මේ ගිණි මද්දහනෙ? " 

දඩයක්කාරයා විමසූයේ හිස හරවා අමුත්තා දෙස බලා යලි ඉවත බලා හනිමිනි. 

" මම මේ පිදුරංගල ගම් දෙටුවගෙ ගෙදර හොයාගෙන යන්නෙ...තමුංට ඇහැකිද මට ඒ අයිරුව කියන්ට? " 

අමුත්තා ඔලගුවද කරට ගෙන නැඟී සිටියේ වැඩි කතා බහකට නොකැමැතිබව හඟවමිනි. 

" මේ පාර දිගටම ගියාම මහ විසාල නුගයක් හම්බ වේවි. ඒ නුගේ හෙවණෙ ඉඳල දකුණු අහ එක එල්ලේ බැලුවම ගල් බොරැල්ලට ඉහත්තාවෙ මාන හෙවිල්ලල ඇත්තෙ ගම් දෙටුවගෙ නිවහන්නෙ තමා." 

අමුත්තාගෙන් පැහැදිලිව ප්‍රකාශවූ සුහද කතාබහකට වූ නොකැමැත්ත හේතුකොටගෙන නොමනාපයට පත්වූ දඩයක්කාරයා පිළිතුරු දුන්නෙ ඉවත බලාගනිමිනි. 

දඩයක්කාරයාගේ නොමනාපය නුදුටුවාසේ අමුත්තා යලි මඟ වෙත පිළිපන්නේ ගම්දෙටුවාගේ නිවහන වෙතට යුහුසුලුව පියවර මනින්නට වූයේය. 

තවත් අඩ හෝරා අඩක් පමණ ඉක්ම ගිය ඉක්බිති යථෝක්ත වනස්පතිය වෙත ලඟාවූ ඔහුට ගම්දෙටුවාගෙ නිවස්නය දඩයක්කරයා අයිරු පැවසූ අයුරින්ම බොරැල්ල එපිටින් දර්ශනය වූයේය. උරයෙන් ගිලිහී යන ඔලගුව යලි සකස්කොටගනිමින් ආගන්තුකයා සෙමෙන් ගම්දෙටු නිවස්නයේ කඩුල්ල වෙත ළඟා වූයේය. කඩුල්ල එපිටින් වූ ගෙවත්ත පුරා මලින් ගැවසි මල් ගොමු යායකි. වතුසුද්ද, කොබෝලීල, දෑසමන්, සේපාලිකා ඈනොයෙක් මල් ගොමුවලින් හමා ආ මකරන්ද සුගන්ධය ආගන්තුකයාගේ ළය පුරා පිරීගියේ ඔහු මොහොතකට පසුගිය දශක දෙකකට ආසන්න කාලයක් ඔහුගේ නිවහන වූ ආශ්‍රම පරිශ්‍රයට යළි කැඳවා යමිනි. 

දෑස් පියාගත්වනම මකරන්ද සුගන්ධය විඳිමින් හුන් ඔහුගේ දැහැන් එක්වරම බිඳීගියේ නුදුරින් ඇසුණු සිහින් හඬින් ගැයුණු ගීයක හඬිනි. එකෙනෙහිම දෑස් හැර එදෙසට සෙමෙන් හිස හැරවු ඔහුගේ දෙනෙතට ලක්වූයේ ගීයක් මුමුණමින් දෑතින් ඔසවාගත් කුඩා මැටි කළයක් වැන්නකින් කටරොළු මල් යායකට ජලය වත් කරන පැහැපත් යුවතියකි. ලෝහිත වර්ණ රෙදි කඩකින් තුඟු පියයුරු තරව බැඳගත් ඕ දෙදණ යන්තමට ආවරණය වන පරිදි නොයෙක් වර්ණයෙන් රටා මැවුණු වස්ත්‍රයක් හැඳ හුන්නාය. 

අනපේක්ෂිත මේ දර්ශනයෙන් වික්ෂිප්තවූ ඔහු ඇසිපිය නොහෙලා ඈ දෙස බලා සිටින්නට වූයේය.තමා දෙස යමෙකු බලාසිටින බව සවනේන්ද්‍රියයකින් මෙන් වැටහුණු හෙයින්දෝ ඕ කරමින් හුන් කාර්යය නතරකොට හිස ඔසවා බැලුවාය. කිසිදින නොදුටු අමුත්තකු කඩුල්ල අසල සිට තමා දෙස ඇසිපිය කොහෙලා බලා හිඳිනු දුටු ඈඑක්වරම තැතිගත් නමුදු ඒ බවක් නොපෙන්වා කතා කළාය. 

" තමුන් කවුද? මොකද මෙතන කරන්නෙ? මොකක්ද උවමනාව? " 

කොතෙකුත් ඇසිපිය නොහෙලා ඈ දෙස බලා හිඳීම කිසිසේත්ම ආචාරශීලී නොවන බව දත් අමුත්තා එවර කතා කලේ ඉවත බලාගනිමිනි. 

" සමාවෙන්න, වරදක් සිදුවූයේනම්..මම බොහොම දුර බැහැර ඉඳල පැමිණෙන්නෙක්…" 

" එතකොට මෙහි පැමිණියේ කුමන අවශ්‍යතාවයකටද? " 

සුරතෙහි වූ කුඩා කළයක්වන් භාජනය කටරොළු ගොමුව ආවරණය වන පරිදි ඉදිකල ලී මැස්ස මත තැබූ ඕ එසේ විමසූයේ දෙබැම හකුළුවා ගනිමිනි. 

" මා මෙහි පැමිණියේ ගම් දෙටුවා හමුවීමටයි. " 

" ඒ මගේ පියාණන්...ඔහු යම් කාර්යයකට බැහැරක ගොසින්. එහෙත් තව හෝරා දෙකකින් පමණ ආපසු පැමිණෙන බව නිසැකයි. එතෙක් ඔබට පොරොත්තු විය හැකිනම් අර පෙනෙන ඇහැල ගස සෙවණේ තනා ඇති මැස්සක්. එහි ඔබට රැඳී සිටිය හැකියි මපියාණන් පෙරලා පැමිණෙනතෙක්. " 

" එහෙමයි, නැඟණිය. මම ඔබගේ පියාණන් පෙරලා පැමිණෙනතෙක් රැඳී සිටින්නම්. මම බොහෝ දුර බැහැර සිට පැමිණෙන්නෙක්. මට ඔහු හා සමග සාකච්ඡා කොට මා මෙහි පැමිණි කාරණය පිළිබඳව යම් තීරණයකට එලඹ මිස ආපසු යා නොහැකියි. " 

" ඔබෙන් මෙසේ විමසීම නොතරම් නොවේනම් ඔබට මපියාණන් හමුවන්නට අවශ්‍ය කාරණය මම දැනගැනීමට කැමතියි. " 

" අහෝ එහි කිසිසේත්ම සැඟවියයුතු යමක් නැහැ. පිදුරංගල විහාරයෙහි ලෙන් වල බිතු සිතුවම් අඳිනු උදෙසා ගම් දෙටුවා සිත්තරෙකු සොයමින් සිටින බව මට සැලවුනා. මා පැමිණියේ ඒ කාර්යය ඉටුකරදීමේ වගකීම මට පවරාගත හැකිබව පවසා ඊට ඔහුගෙන් අවසර ලබා ගැනීමටයි." 

එවර ඈ ඔහු වත දෙස දෑස් ඔසවා බලා සිටියේ මන්දස්මිතියකින් දෙතොල විකසිත වෙද්දීය. 

" ඔහෝ..ඔබ එසේනම් සිත්තරෙක්? ඔබ චිත්‍ර කලාව උගත්තේ කොහිද කියා විමසීමට..නැහැ , නැහැ සමාවන්න..මම එසේ විමසීම අයුතුයි..මපියාණන්ගේ අවශ්‍ය දෑ ඔබෙන් විමසාවි. එසේනම් ඔබ මා මීට ප්‍රථම පැවසී පරිදි අර ඇසළ ගස සෙවණෙහි විවේක ගන්න." 

එසේ පවසා ඕ තොමෝ යලිදු ජල බඳුන අතට ගත්තාය. 

" ඔබට බොහොසේ ස්තූතියි නැඟණියනි..ඔබගේ නම කුමක්දැයි විමසීමට මට අවසර.." 

" මම අහල්‍යා…" 

හිස ඔසවා ඔහු දෙස බලා සිනාසුනු ඈ යලි හිස පහතට නවා කරොළු මල් ගොමුවට ජලය ඉසින්නට වූවාය. 

" අහල්‍යා?? " 

එවදන ඔහුගේ මුවින් පිටවූයේ දුනුදියෙන් නික්මෙන්නාවූ හීයක් මෙනි. යලි හිස එසවූ ඈ උදක් ඔහුගේ වත දෙස බලා සිටින්නට වූයේ විමසුම් බැල්මක් දෙනෙතට නඟා ගනිමිනි. විළියෙන් බරව හිස පහතට නවාගත් ඔහුගේ දෑසට ලක්වූයේ ජලබිඳු පතිතව ප්‍රාණවත්ව එකිනෙකාට රහස් කොඳුරමින් සිනහසෙන්නාක් බඳු නිල් කටරොළු මල් සමූහයකි. 






LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...