Google Images |
මත්ලෝලීන්ගෙන් සපිරුණු ප්‍රසිද්ධ සුරාසලක් තුල පවත්නා නිරතුරු ගාලගෝට්ටියට වෙනත් සමකල හැක්කක් මම නොදනිමි.
එවන් ස්ථානයක මත්පැන් පානය කොට පළපුරුදු ඇත්තෝ මා පවසන්න එක් පැහැර වටහාගන්නා බවට සැක නැත. එසේ නොමැත්තෝ අවම වශයෙන් කාර්ය බහුල හෝරාවක සුරාසලක් ඉදිරියෙන් ගමන් කොට හෝ ඇත්නම් ඔවුනටද මේ ඝෝෂාකාරිත්වය අමුත්තක් නොවනු ඇත.
සුරාසලක් තුල පවත්නා ගාලගෝට්ටිය මත්ලෝලීන්ගේ සුරාමත ඉහළ යන්නා හාම ඊට අනුලෝමව සමානුපාතිකව ඉහළ යයි. ඒ සමඟම අනේක සංඛ්‍යාත දුම්වැටි දවා හළු කරමින් නිකුත්වන දුමාරය හතර අතින් ඇවුරුණු කුඩා ඉඩ ප්‍රමාණය තුල කැරලි ගැසෙනුයේ හැඳ සිටිනා ඇඳුම් ඇඟලුම් ආදියෙන් පවා අමිහිරි වූ කටුක ගන්ධයක් නිකුත් කරවමිනි.
එතෙකුදු මත්ලෝලීහු මේ කිසිදු අපහසුවක වගේ වගක් නොමැතිව කුඩා රවුම් කනප්පු වටා හිඳ මහ හඬින් දොඩමින්, වරෙක කොක් හඬලා සිනහසෙමින් බදින ලද හුරුල්ලන්, තෙම්පරාදු කොටගත් තැම්බූ කඩල හෝ වෙනත් එවන් කටගැස්මක් වරින්වර සපමින් අසෝක වීදුරුවෙහි කට්ටය මට්ටමට පුරවා සෝඩා හෝ වෙනත් මිශ්‍රකයකින් තනුක කොටගත් අරක්කු ගිල දමන්නෝය.
මේ අපූර්ව දසුන් නරඹමින් මුහුදෙහි රළ නඟන ඝෝෂාව මෙන් වරින්වර උස්ව නැඟෙමින් යලි බැසයන මත්ලෝලීන්ගේ ගාලගෝට්ටියට සවන් දෙමින් ප්‍රසිද්ධ සුරාසැලක අඩ අඳුරින් වැසුණු මුල්ලක හිඳ සෙමින් සෙමින් පරණ අරක්කු වීදුරුවක් හෝ පරණ අරක්කු මිශ්‍ර කල බීර තඹලේරුවක් තොල ගෑමට මම බොහෝ සේ ප්‍රිය කළෙමි.
එතෙකුදු වුව සරණ බන්ධනයට ඇතුලත් වන්නාහාම මවිසින් කළයුතු වූ කැපකිරීම් අතර එකක් වු ඒ සුරාසල් මත්පැන් පානයෙහි රුචිය මවෙතින් කෙමෙන් ගිලිහී ගියේ මා නොදැනුවත්වමය.
ජීවිතයේ දෙවන දශකය ගෙවීයන්නාහාම ස්ථිර රැකියාවක් ලද නමුදු මත්පැන කිසිසේත් නිවසට වද්දා නොගතයුතු දුෂ්චරිතයක් සේ සැලකූ මගේ මවුපියන් හේතුකොටගෙන නිවසෙහිදී මම කිසිවිටෙක මත්පැන් පානය කොට නොමැත්තෙමි.
එදවස මගේ පළමු රැකියාව වූයේ උතුරුමැද සහ නැගෙනහිර පළාත් මායිම් අතර හෙක්ටෙයාර දසදහසකට අධික වපසරියක් පුරා පැතිරගිය රාජ්‍ය වාරිමාර්ග සහ කෘෂිකාර්මික ජනපද ව්‍යාපෘතියක තාක්ෂණ අංශයට සම්බන්ධවය.
හිරිමල් යොවුන් වියේ පසුවුනු එකල මම ගෙදර පැමිණියේ බොහෝවිට මසකට වරකි.වැටුප් ලද පසු සති අන්තයක් හා යාබද දින දෙකක් හෝ තුනක නිවාඩුවකට පැමිණෙන මම පුරුද්දක් වශයෙන් වරක් හෝ දෙවරක් මහනුවර නගරයට ගියේ යම් අත්‍යාවශ්‍ය දේ මිලට ගනු උදෙසාය.
ඒ අත්‍යාවශ්‍ය දේ යනු හුදෙක් ඒ ආසන්නයේ නිකුත් වූ සිංහල හෝ ඉංගිරිසි නවකථාවන් කිහිපයකි. විජිත යාපා හෝ සරසවි පොත් හල් විවෘත කොට නොතිබුණු ඒ දිනවල පොත්ලෝලීන්හට තම මන දොල සපුරාගැන්ම උදෙසා මහනුවර නගරයේ වුයේ යටිනුවර වීදියේ පිහිටි මැකලම්,ගුණසේන හෝ සීවලී පොත්හල් සහ ත්‍රිකුණාමල වීදියෙහි වූ කේ.වී.ජී. ද සිල්වා සමාගමෙහි පොත්හල පමණෙකි.
උදෑසන ආහාරයෙන් පසු ගෙදරින් පිටවන මම දහවල් එකොළහ පමණ වනතෙක් නුවර වීදි ඔස්සේ ඉබාගාතේ සරන්නෙමි. අනතුරුව නගර මධ්‍යයේ පිහිටි වැව අසබඩ බෝට්ටු සේවයේ මෙහෙයුම් කාර්යාලය ආසන්නයෙහි වූ දැවැන්ත කොහොඹ රුක් සෙවණෙහි පනවා තිබූ අයෝමය අසුන මත දිගඇදී මඳ සුළඟේ රැලි නඟන වැව් දිය මතින් ඈත දිස්වන දළඳා මැදුර දෙස බලා හිඳින්නෙමි.
ඉර මුදුන්වන්නා හා සමඟම කුමන හෝ පොත්හලකට වැද පොත් කිහිපයක් තෝරා මිළදීගැන්මෙන් අනතුරුව මගේ දෙපා එසවෙන්නේ කොටුගොඩැල්ල වීථියෙහි එදවස වූ කාසල් අවන්හල වෙතටය.
කැසමරා හෝටලය සහ මාරබැද්ද මල් ශාලාව අතර වත්මනෙහි ඩිසයින් ක්ලබ් නිමි ඇඟලුම් වෙළඳසල පිහිටි බිම් කඩෙහි එකල වූයේ තනි මහලේ සිංහල උළු සෙවිලි කල දෙපළ පියස්සකින් සෙවණ ලත් කාසල් අවන් හලය.
කොටුගොඩැල්ල වීථියෙහි පදික වේදිකාවේ සිට ගලින් බැඳි පියගැට හතරක් හෝ පහක් නැඟ ඇතුලු විය යුතුවූ අවන් හලෙහි ඉදිරිපස වූයේ විසල් වීදුරු ජනෙල් පෙළකි.
ඒ හා සමඟම ඔබ පිවිසෙනුයේ වසර ගණනක් මුලුල්ලේ දස දහස් සංඛ්‍යාත ජනකායකගේ පා පහසින් ඔපවත්වූ රතු පැහැ සිමෙන්තියෙන් වැසුණු විසල් බරාඳයකටය. මේ බරාඳයෙහි මෙන්ම ඉන් ඔබ්බෙහි වූ ශාලාවෙහිද ඒ වටා වූ කුඩා ලී පුටු තුනක් හෝ හතරක් සහිත කළු පැහැයෙන් ආලේපිත රවුම් කනප්පු පණහකට නොඅඩු සංඛ්‍යාවක් වූයේය.
ලා කහ සහ දුඹුරු මුසු වර්ණයකින් යුත් අත්කොට කබා සහ සුදු සරම් වලින් සැරසුණු අවන්හලෙහි සේවකයෝ රවුම් මේස අතරින් ලහි ලහියේ එහා මෙහා ගමන් කරමින් පාරිභෝගිකයින්ගේ ඇණැවුම් ඉටු කිරීමෙහිලා යුහුසුළු වෙති.
ඔවුනගේ කබායෙහි ඉහළ තරමක විශාල සාක්කුවකි. රතුපැහැ නූලෙන් කාසල් යන නමෙහි ඉංගිරිසි අකුරු හය එකිනෙක පසුපස හඹායන අයුරක් දිස්වනසේ ගෙත්තම්කොට තිබුණු එහි කුඩා සටහන් පොත් පිංචක් සහ පැන්සලයක් හෝ කාබන් පෑනක් නිතර දක්නට ලැබිණි.ඇණවුමක් ලද වහාම ඔවුහු වහා උඩ සාක්කුවෙන් අර සටහන් පොත ඉවතට ගෙන එහි ඇණවුම සටහන් කරගනු මම බොහෝවිට දැක ඇත්තෙමි.
කබායෙහි පහළට වන්නට වූ සාක්කු යුගලෙහි වූයේ අත්ලක පමණ ප්‍රමාණයක් වනසේ ඉරාගත් පුවත්පත් කැබලිය.අවශ්‍ය අයෙකු අතක් ඔසවා ඇඟිලි එකිනෙක ගටමින් සංඥාකල වහාම යුහුසුළුව එකි ලඟාවන වේටර් වරයෙක් සාක්කුවෙන් ඉවතට ගත් කඩදාසි කැබලි කිහිපයක් කනප්පුව මත තබයි.
එක් එක් වේටර් වරයාට සුපුරුදු ගණුදෙනු කරුවන්ද විය. අප්පුහාමි නම්වූ වයස හැටක් හෝ හැටපහක් පමණවූ වේටර් වරයෙක් එකල මගේ අයිතිය පවරාගෙන සිටියේය.පොත්තපිටියෙහි පදිංචිකරුවකුවූ ඔහු වැඩිවිය පත් දූදරුවන් විවාහපත්ව වෙන්ව ගිය පසු තම බිරිඳ සමඟ හුදකලාව වසන්නෙකි. දිනෙක හදිසියේම ඇද හැලුනු මහ වැස්සක් තුරල් වන තෙක් ඉදිරිපස බරාඳයෙහි ඔහු හා සාමීචියෙහි යෙදෙමින් ගතකල සවස් යාමයක ඔහුගේ ජීවිතය අප්පුහාමි ඉතා සැකෙවින් මා හා විස්තර කළේය.
" එන්ඩ සර්..එන්ඩ...අද තෙමිල වගේ නේද? "
හිසෙහි රැඳි වැසි බිඳු ගසා ලමින් ඇතුලත බරාඳයට පිවිසි මා දුටු සැණින් සිනහසෙමින් ඉදිරියට පැමිණියේ අප්පුහාමිය.
" ඔව් අප්පා, උදේ ගෙදරින් එළියට බහිනකොට වහින ලකුණක්වත් තිබ්බය? හිටපු ගමන් නෙව දෙන්ට තිබා ගත්තෙ…"
කේ.වී.ජී. ද සිල්වා පොත් හලෙහි සිටියදී අනපේක්ෂිතව ඇදහැලෙන්නට වන් ධාරාණිපාත වර්ෂාව ඉහිල් වනතෙක් අඩ හෝරාවක පමණ කාලයක් එහිම රැඳී සිට යන්තමට පොද වැස්සක් බවට පත්වුනු කෙණෙහි ත්‍රිකුණාමල වීදියෙහි කඩ පිල් වලින් මාරුවෙමින් පැමිණියද ඒ වනවිට මම සෑහෙන පමණ තෙමී සිටියෙමි.
" යමු පිටිපස්සට….මොනවද මහත්තය ගේන්නෙ ? ඈස් යූෂුවල් නේද? "
සාක්කුවෙහි වූ ලේන්සුව ගෙන හිස පිසදමන්නට වූ මදෙස බලා සිනාසෙමින් අප්පුහාමි විමසීය.
තම යොවුන් වියෙහිදී මහනුවර දළඳා වීදියෙහි එකල වූ වෝකර් සහ ග්‍රිග් නම්වූ තේ වතුවලට අවශ්‍ය යන්ත්‍රෝපකරණ ආනයනය කොට බෙදාහැරීමෙහි නිරත විදේශීය සමාගමක කළමනාකාර අධ්‍යක්ෂ තනතුර දැරූ බ්‍රිතාන්‍ය ජාතිකයකුගේ බටලේරු තනතුරෙහි වසර ගණනක් සේවය කොට ඇති අප්පුහාමි ඉංගිරිසි බස හැසිරවීමෙහි මනා පරිචයක් ඇත්තෙකි.
" ඔව්..අප්පුහාමි දන්නවනෙ…"
සිනහසෙමින් පවසමින් පසුපස මිදුලෙහි වූ සුදු පැහැ බෝගන්විලා පඳුර අසල බරාඳයේ කෙළවරක වූ මගේ සුපුරුදු අසුනට බර දිනිමි.
එදින මවිසින් මිලදී ගත් පොත් කිසිවක නම් පිළිබඳව පැහැදිලි මතකයක් නොමැතිවුවද ඒ අතර ගුණදාස අමරසේකර ගේ ගමනක මුල නවකතාවෙන් ඇරඹි කතා මාලාවෙහි පොත් දෙකක් හෝ තුනක් වූ බව නිසැකව පැවසිය හැක්කේ මේ කතාව ඉදිරියෙහිදී ඒ කරුණ ඉතා වැදගත් වන බැවිනි.
අඩක් බිඳීගිය වැසිවතුර පිහිල්ලෙන් ඇද හැලෙන ජලදහරින් නැහැවෙන බෝගන්විලා පඳුරෙහි මලින් බර අතු වරෙක පොළව මට්ටමටම නැවී එක්වරම යලි කෙලින් වෙයි. කුමන වර්ගයක එවුන්දැයි පැහැදිලිව හඳුනා ගත නොහැකි කුඩා කුරුල්ලන් තුන් හෝ සතර දෙනෙකු පියාපත් පුම්බාගෙන බෝගන්විලා පඳුරින් ඔබ්බෙහිවූ කැසිකිළියෙහි අගුවෙහි ගුලි ගැසී සිටිති.රවුම් කනප්පුව මත වූ ප්ලාස්ටික් බෑගයෙන් ඉවතට ගත් ගමනක මුල පොත අතෙහි තබාගෙනම මම ඔවුන් දෙස බලා සිටියෙමි.
" තව මොකවත් ඕනද සර් ? "
කනප්පුව වෙතට පහත්ව උඩ සාක්කුවෙන් ගත් ඕපනරයෙන් බීර බෝතලය විවර කල හෙතෙම පහත් හඬින් විමසීය.
" යස්, ඉට්ස් ටූ කෝල්ඩ් ටුඩේ..ඕල්ඩ්….ටූ හන්ඩ්‍රඩ් අප්පුහාමි…"
මම පැවසුවේ ළයමත බැඳගත් දෑතින් යුතුව උරහිස් හකුළුවා ගනිමිනි.
" යස් සර් ...ඔෆ් කෝස් සර්…….ඇට් වන්ස් සර්...."
ඉද්ද ගැසුවාක් මෙන් එක්වරම කෙළින්වූ අප්පුහාමි සීරුවෙන් මොහොතක් හිඳ සොල්දාදුවකුගේ පියවරින් නික්ම ගියේ මගේ ඇණවුම ඉටු කරනු පිණිසය. ඒ ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයා යටතේ සේවය කල සමයේ මතක ආවර්ජනයකි. මට එකෙණෙහිම මතකයට නැඟුනේ පතිරාජගේ සොල්දාදු උන්නැහේ චිත්‍රපටයේ ජෝ රඟපෑ භූමිකාවයි.
අරක්කු මිශ්‍ර කල බීර කෙමෙන් තොල ගමින් මම ගමනක මුල කතාව කියවන්නට වීමි.
කුඩා කල සිටම ගුණදාස අමරසේකර මහතාගේ නවකථා කියවීමට මම බොහෝසේ ඇළුම් කලෙමි.
දැඩි අවධානයෙන් යුතුව ගමනක මුලට සමවැද හුන් මට එක්වනම වැස්ස දැඩිවනු ද නොහැඟුනි.
" සර් ඔතනට හිරිකඩ එනව නේද ඕසෙට...කනප්පුව ගමු අතන මුල්ලට "
මා අසලටම පැමිණ අප්පුහාමි එසේ පැවසූයේ අඩක් හිස්වූ බීර බෝතලය සුරතට ගනිමිනි.
" ෂෙහ්, ඒකනෙ මට තෙරුණෙම නෑනෙ. "
හිරිපොදෙන් මඳක් තෙත්වූ බොහෝ කලක් නිතර භාවිතය නිසාම අවපාට වූ ඩෙනිම් කලිසමෙහි රැඳි වැහිබිඳු කිහිපයක් ගසා දමමින් මමද නැඟී සිටියෙමි.
" මම දැක්ක....සර් පොතට වහ වැටිලනෙ උන්නෙ...."
නොකඩවා ඇදහැලෙන වැස්ස බෝගන්විලා පඳුර මත පතිතව ඒ අසල බරාඳයේ අර්ධ කවාකාර පෙදෙසක් තෙමයි. ඒ හිරිකඩින් වැළකෙනු වස් අප්පුහාමි කනප්පුව බරාඳයෙන් මදක් එපිට අවන්හලේ මධ්‍යයෙහි ශාලාවෙහි දොර අසලට ගෙනගියේය.
" මෙතන හොඳයිනෙ සර් ? "
එසේ පවසමින් ඔහු දොර පසුපසවූ පැරණි මාදිලියේ ටම්බ්ලර් ස්විචය ක්‍රියාත්මක කලේ ඒ අවට අලෝකයෙන් නහවමිනි.
මම නැවත අසුන් ගත්තේ යලි ගමනක මුලට සම වැදීමේ නොඉවසිල්ලෙනි. කියවීම ඇරඹීමට පෙර යලිත් මත්පැන් වඩියක් උගුරට හලාගෙන දුම්වැටියක් දෙතොල රඳවා හාත්පස හිස හැරවූයේ අප්පුහාමිගේ යට සාක්කුවක නොවරදින ගිණි පෙට්ටිය හෝ ලයිටරය බලාපොරොත්තුවෙනි.
එක්වරම අනපේක්ෂිත ලෙස මගේ දකුණු පසින් නැඟුනු ලයිටරයක් දල්වන හඬ කණවැකුණු වහා මම ඒ දෙසට හිස හැරවීමි. වැස්ස ඇදහැලීමට පළමු මම අසුන්ගෙන හුන් බරාඳයට පිවිසෙන දෙපළු ලී දොර අසල මුල්ලෙහි වූ කනප්පුවක් පසුපස අසුන්ගෙන හුන් ප්‍රාංශු දේහධාරී පුද්ගලයෙක් තම අසුනෙන් මඳක් ඉදිරියට නැඹුරුව අඩක් විවරවූ දොර පියන් අතරින් හමාඑන සීතල සුළඟෙහි ලෙළදෙන ගිණිසිලක් නිකුත් කරමින් දැල්වෙන ලයිටරයක් මා දෙසට දිගුකොටගෙන සිටියේය.
******************************
සැප්තැම්බරේ කියන්නෙ සාහිත්‍යය මාසෙ. කෙටිකතාවක් ලිව්වොත් හොඳයි කියලයි මේක මේ ලිව්වෙ..තව කොටසක් තියනව හොඳද?...:)
******************************
Last but not least අපේ රන්දිල් නෝන මහත්තැං දන්නවනෙ නේද? නිදහස් සිතුවිලි මුල් හිමිකාරිය..මේ ඊයෙ පෙරෙයිද අර පොතක් එහෙමත් ලිව්වෙ මා බාල කාලේ අම්මාගෙ උකුලේ කියල...අන්න එතුමියගෙ සුබ උපන්දිනේ යෙදිල තිබ්බ පහුගිය සිකුරාද..සැප්තැම්බර් 19 වෙනිද...එහෙනං පහුවෙලා හරි කමක් නෑ..මගේ ලෑන්ඩ් ලේඩි තුමිය..ඔබට සුබ උපන් දිනයක්!!!