A Painting by Adamaro Bardelli |
පහුගිය සති දෙක තුනක් විතර මම දැම්මෙ පොඩි
කුමාරිහාමිගෙ වියුණුවෙ කමෙන්ට් හැටියට මම මම ලියපු කතන්දර... අනුලා සහ රජිතාගෙ කතාව, අම්බපාලිගෙ කතාව ඒ එහෙම කලින් මම ලියාපුව. වත්ගෙ සොඳුරුසිත වියුණුවටත් මම ලිව්ව ඒ දවස්වල මාගල් වගෙ කතන්දර කමෙන්ට්ස්... හෙහ්,හෙහ්, මේ ඇවිල්ල එයින් එකක්...ලොක්කා සහ සංජුගේ කතාව...... |
" හිත හීලෑ නෑ, හරිම මුරණ්ඩුයි තැන තැන ඇවිදිනවා, හිතෙන හිතෙන තැන නවතිනවා, "
ගීතයේ කියවෙන්නේ එසේය. මගේ හිත හීලෑනැති බව සැබෑවක් වුවද හිතෙන හිතෙන තැන නවතින්නක් නොවේ. හිත නවතින්නේ එකම තැනය.මම ඇය අමතක කිරීමට කොපමණ තැත් කලද එය කිසිසේත් කල නොහැක්කක් බව මට දැන් වැටහෙයි.
" හෙලෝ, මේ.........මිස් සංජුට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද? "
" ආ.....ඉන්න මම පණිවිඩයක් යවන්නම්, මහත්තය කවුද? "
මේ බොහෝවිට විදුහල්පති විය යුතුය. මෙයාට මොකටද ඒ විස්තර.?
"ආ... මම.....මම…. මේ සංජුගෙ අයිය කෙනෙක්. "
දුරකථනය සවනට තබා ගෙන මිනිත්තු කිහිපයක් සිටි මම එක්වරම එය ක්‍රියා විරහිත කලෙමි.මා එසේ කලේ ඇයිද යන්නවත් මට වටහා ගත නොහැකිය.
නැවත දුරකථනය දෙස බලාගත්වනම සිටි මම රිසීවරය ඔසවා Redial බොත්තම තද කලේ " මේක හරි යන්නෙ නෑ, අද මේකට මොනව හරි කරන්න ඕනෙ " මටම කොඳුරා ගනිමිනි.
නෙලුව විද්‍යාලයේ රිසීවරය එසවෙනු ඇසිණි.
" හෙලෝ"
ඒ ඇගේ හඬයි.මොහොතකට මට කුමක් කිව යුතුදැයි සිතා ගත නොහැකි විය.
"සංජු, මට ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද? "
මහත් අසීරුවෙන් මම තෙපලුවෙමි.
නිහඬතාවයෙන් ගතවූ මොහොතකට පසු ඇගේ හඬ දුරකතන වයර් දිගේ ගලා ආවේය.
" සර් කියන්නෙ මුණ ගැහිල කතාකරන්න නම්......මේ දවස්වල ඒක නම් ටිකක් විතර අමාරුයි.....මම වීක් එන්ඩ් එකම ගමනෙමයි ගත කරන්නෙ......ප්‍රශ්නයක් නෑ...සර්, සර්ට කියන්න තියෙන දෙයක් මෙහෙමම කියන්න......."
" ඔයාව දකින්නත් ආසයි සංජු......වීක් එන්ඩ් එකේ එන්න, අපි හම්බවෙමු......මම ගෙදරටම ගිහිල්ල දාන්නම්, මොකද කියන්නෙ?"
නැවත නිහඬ තාවයකි....
" සංජු ඔයා ඉන්නවද ළමයො? "
" ම්ම්ම්ම්.....සර් හම්බවෙන එක ගැන අපි පස්සෙ කතා කරමු,........දැන් සර්ට කියන්න තියන එක කියන්නකො....."
" ඒක කියන්න තමයි ළමයො මම කිව්වෙ හම්බ වෙමුය කියල, හා....කමක් නෑ,හරි .......එහෙනම් මම කෙලින්ම කියන්නම්කො,.......මට තවත් මේක හිතේ හංගගෙන ඉන්න බැහැ,ඔයා ගැන මගෙ හිතේ අදහසක් තියනවයි කිව්වොත් ඔයා මොකද ඒ ගැන කියන්නෙ? "
"................................"
" සංජු, මොකෝ ළමයො එක පාරට මියුට් බට්න් එක එබුවෙ? මා එක්ක තරහ උනාද? "
"සර් මෙහෙම කිව්වට සර් මා එක්ක අමනාප වෙන්න එපා.....මම මේ කියන්නෙ අවංකවම ඇත්ත මට හිතෙන විදිහට........සර් ගැන මගේ හිත ඇතුලෙ තියෙන්නෙ මොන වගෙ අදහසක්ද කියල මට තාම හිතාගන්න බැරුවයි සර් ඉන්නෙ......ඒක ගෞරවය, ආදරය, සෙනෙහස ඔය ඔක්කොම පොඩ්ඩ පොඩ්ඩ එකතුවෙලා හැදිච්චි සංකීර්ණ හැඟීමක් කියලයි මට දැනට නම් හිතෙන්නෙ "
ඇය කතාව නවත්වා මොහොතක් සිටියාය. ඇගේ හුස්ම වැටෙන හඬ පමණක් නෙලුවේ සිට පැමිණ මගේ සවනට පතිතවූ මිනිත්තු කිහිපයකට පසු මම කටහඬ අවදි කලෙමි.
" නෑ සංජු මම අමනාප වෙන්නෙ නෑ, අමනාප වෙන්න කිසිම හේතුවක් මෙතන නැහැනෙව,......... ඔයාටම තීරණයක් ගන්න මම ඔයාට කාළය දෙන්නම්, ප්‍රශ්නයක් නෑ...........ඕන තරම් වෙලාව අරගෙන කල්පනා කරල, මා ගැන ඔයාගෙ හිතේ තියන හැඟීම මොන විදිහෙ එකක්ද කියල ඔයාම තීරණය කරන්න. "
" අනේ...සර් මාත් එක්ක............"
" නෑ, ළමයො, නෑ, ඔයාට ඕන විදිහට ඔයාගෙ ඉරණම තීරණය කරන්ට ඔයාට ඉඩ දෙන එක තමයි හරි විදිහ...... I understand perfectly, you decide for yourself.........i will accept whatever it is.......... Bye, Sanju "
රිසීවරය ආපසු තබා ඒ දෙස මොහොතක් බලා සිටි මම එක් දිනක් පමණක් ඇගේ පහස ලැබූ පුටුව, මේසය සහ පරිගණකය දෙස හිස් බැල්මෙන් බලා සිටියෙමි.
ඇයගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් නොඉවසිල්ලෙන් ගතවූ සතියක් ඉක්ම ගියේය. ඇයට අවශ්‍ය තරම් කාලය ලබාදෙන්නෙමැයි පැවසුවද අසීමිතව ඉවසීමට මසිත සූදානම් නැති බව මට හොඳින්ම පැහැදිලිය.
පුතුට කවා පොවා නිදිකරවූ ඉක්බිති පසුගිය සතියම අලුයම දෙක පමණ වනතුරු මා ගෙවූයේ නිදන කාමරයෙන්ම පිවිසිය හැකිවූ කුඩා සඳළු තලයේය.පොසොන් පුරා සඳ සඳළු තලය එලි කරද්දී මඳ පමණ මත්වූ සිතින් යුතුව මම මගේ ජීවිතය පිළිබඳ පුනරාවර්ජනයක යෙදුනෙමි.
ජීවිතේ කිසිදාක බලාපොරොත්තු නොවූ අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දීමට සිදුවූ පසු යළි කිසිදිනෙක කිසිවෙකුට හදවත දොරගුළු නොහරින්නෙමැයි සපථ කලේ, මා එක්වරක් විඳි ඒ සිත අකර්මන්‍ය කරවන බලවත් වේදනාව නැවත වරක් විඳීම මට කිසිසේත් කල නොහැකිබව උදක්ම දත් හෙයිනි.
එහෙත් ජීවිතය කිසිසේත්ම අපට සිතැඟි පරිදි හැඩ ගසා ගත නොහැකි බව දෙවන වරටත් පසක් කරමින් ඇය මා හදවතට අනායාසයෙන් පිවිසියාය. පිවිස එහි නවාතැන් ගත්තාය.
හුලවාලි චිත්‍රපටයේ සුනිල් එදිරිසිංහයන් ගයන දුක්බර එහෙත් මගේ ප්‍රියතම ගීයක් සෙමින් මිමිණුනේ මටද නොදැනීමය.
කුඩාගමේ මද්දහනේ අව් රශ්මිය නිවා,
දොලේ කඳුපෙතේ දඩමං දිගේ ගියා මෙමා,
එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා,
නුඹේ කරට රිදී පොටක් පළඳන්නයි සුබා,
මගේ පැලට නුඹ කැන්දන් පැමිණි දොහේ එදා,
මල් ගෝමර පිපුණු ළමැඳ වසා ගනින් කියා,
මගේ අතින් දුන් සළුවෙන් ළමැඳ වසා ගෙනා,
රිදී පොටක් පළඳන්නට වරම් නැතිව ගියා,
ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකී,
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී,
ආලෙ බිඳුනු දා කුමකට කඳුලු හෙලනු සකී,
ආල වඩන යන තේරුම බෝසත්කම සකී,
ආදරය යනු පරිත්‍යාගයම මිස අන් කවරක්ද? එක් වරක් අනපේක්ෂිත පරිත්‍යාගයක යෙදෙන්නට සිදුවූ මට නැවත වරක් ආදරය වෙනුවෙන් පරිත්‍යාගයක යෙදෙන්නට නියම වී ඇත්නම් මම ඒ උපේක්ෂා සහගතව පිළිගන්නවා හැරෙන්නට වෙන කුමක් කරන්නද?
ගෙමිදුල අඹ ගසේ පොරකමින් සිටි වවුලෝ එක්වරම පැතිරී ගිය එළියකට බියවී හඬ නඟමින් පලා ගියෝය.
උන් බියවීමට හේතුව උල්කාවකි. හන්තාන කන්ද ඉහලින් උල්කාවක් නිමේශයක් හාත්පස එළිය විහිදුවමින් පුපුරා ගියේය.
කුඩා කල මෙවන් රාත්‍රියක උල්කාවක් පිපිරී ගිය වහාම අම්මා හෝ අප්පච්චි පවසන්නක් මගේ මතකයට නැඟිනි.
" උල්කාපාතයක් පිපිරෙනකොට මොකක් හරි ප්‍රාර්තනා කලොත් ඒක ඉෂ්ඨ වෙනවා "
" මට ඕනෙ ඒ උල්කාපාතය ආයෙම දකින්නට " මම කීවෙමි,
" ඒක හරියන්නෙ නෑ පුතා, ඒක ආයෙම කවදාවත් දකින්ට ලැබෙන්නෙ නෑ, ආයෙ කවදාවත්ම, " අම්මා මගේ හිස අතගාමින් පැවසුවාය.
සංජු මගේ ජීවිතයට ඇතුලුවූයේද උල්කාවක් හා සමානව බව මට හදිසියේම සිහිවිය. ඇයද මොහොතක් මගේ ජීවිතය වෙලාගත් ගනඳුර දුරුකොට හාත්පස ඒකාලෝක කරමින් බැබලී නැවත කිසිදාක දක්නට නොලැබෙන ලෙස මගෙන් වෙන්ව ගිය උල්කාවක් නොවේද?
ඇය උල්කාවක් මෙන් මොහොතක් මා දිවිය එලිය කොට නිවී ගියද මගේ ජීවිතය මුලුල්ලේ ඇගේ එළිය මතකයේ පවතින බව මම නිශ්චිතවම දැන සිටිමි.
මා දහසක් දුක් දොම්නස් මැද ගෙවූ ඒ මෑත අතීතයේ මා සිත සනහා ගන්නට බොහෝසේ උපකාරී වූ නවකතාවක් වූ Nicholas Sparkes ගේ Message In The Bottle හදිසියේම මට සිහිවූයේ එහි ගැරට්ගේ ජීවිතය බොහෝසෙයින් මගේ ජීවිතයට සමාන වන නිසා විය හැක.
තම ආදරණීය භාර්යාවගේ වියෝවෙන් දුකින් පිරුනු ජීවිතයක් ගත කරන ගැරට් අනපේක්ෂිතව හමුවන තෙරේසා නිසා ජීවිතය අලුතින් ඇරඹීමට තැත් කරන මුත් ඒ සියලු බලාපොරොත්තු සුන් වී යන්නෙ කොතරම් ඛෙදජනක ලෙසද?
ජීවිතය කෙරෙහි මහත් කලකිරීමෙන් සිටි එකල සමහර මෙවන් රාත්‍රියන් හිදී, Message In A Bottle කතාව කියවා මා වෙනුවෙන් නැඟි ආත්මානුකම්පාවකින්ද, නැතහොත් ගැරට් කෙරෙහි ඇතිවුනු අනුකම්පාවෙන්දැයි අදටද මටම පැහැදිලි නොමැති හැඟීමකින් මම ඉකි බිඳිමින් හැඬුවෙමි.
නිදන කාමරයට පිවිසි මම පුතුගේ පොරවනය යලි සකසා ඇඳ අසල පොත් රාක්කයෙන් Message In A Bottle ද රැගෙන යලි සඳළු තලයේ අසුන් ගතිමි.
ගැරට් සමඟ යලි ඔහුගේ දුකින් පිරුණු ජීවිතයට පිවිසුණු මම කතාවේ අවසාන භාගයේදී තෙරේසා පවසන මේ වදන් ලඟ මොහොතකට නතර වීමි.
" If some lives form a perfect circle, others take shape in ways we cannot predict or always understand. Loss has been a part of my journey. But it has also shown me what is precious. So has a love for which I can only be grateful. "
පොත පසෙක තැබූ මම අසල කනප්පුව මත තිබූ සටහන් පොත රැගෙන සිතෙහි පොදිකන හැඟුම් කුරුටු ගාන්නට වීමි.
සෙනෙහසේ නවාතැන ඔබ සිතයි,
මහද විල පිපි පියුම ඔබ වතයි,
මඟ කියන පහන් තරු නෙතු යුගයි,
පිය ලඳුනි මට වරම් නැති ලෙසයි,
ඔබ සිනහ රැඳුනු වත සිතේ ඇඳි සිතුවමකි,
නිල් නයන කැලුම් නිති නෙතේ රැඳි සිහිනයකි,
නැවත කිසි දිනෙක අප හමු නොවෙන මුත් ළඳුනි,
ඔබ නමින් බැඳි සෙනේ සදා මගෙ මතකයකි,
හතරට නැවූ කොළය පොත තුලට රුවා පොතද රැගෙන නිදන කාමරයට ගිය මම පුතු අසලින් වැතිර ගතිමි.
"හෙට මේක මම සංජුට පෝස්ට් කරනවා.එතනින් මගෙ ජීවිතේ ඒ පරිච්ඡේදයත් අවසානයි "
සිතන අයුරු සියල්ල පහසු නොවන නිසාම, නින්ද අහලකට වත් නොපැමිණ මම හිමිදිරිය වන තුරුම නිදිවර්ජිතව සිටියෙමි.
නිදිවර්ජිතව ගත කල රාත්‍රීන් බොහෝ ගණනකට පසු මම තීරණයකට එළඹියෙමි.
මට බොහෝ අසීරු වූයේ පුතු නඟන පැනයන්ට පිළිතුරු දීමයි.
" තාත්ති අර ආන්ටි ආයෙ එන්නෙම නැද්ද? "
" ආයෙ එන එකක් නෑ පුතා,"
" තාත්ති හරි නරකයි ඒ ආන්ටිව එලවල දැම්ම, මම ඔයා එක්ක තරහම තරහයි,"
" අනේ නෑ, මගෙ රත්තරං, මම එහෙම කලේ නෑ, ඒ ආන්ටිමයි වෙන ඔෆිස් එකකට ගියේ,"
මම එසේ පැවසුවද පුතු මා කියන්න විශ්වාස නොකරන බව ඔහු මා දෙස බලා සිටි බැල්ම උදක්ම පවසයි.
එහෙත් මම කුමක් කරන්නද? ඇත්ත තත්වය පුතුට වටහා දෙන්නේ කෙලෙසද?
අවසන සංජුට කතාකල මම ඇය ගෙදර එන සතිඅන්තයක මා හා පැමිණීමට ඇය කැමති කරවා ගතිමි.
ඒ අනුව සෙනසුරාදාවක ගාල්ලට ගිය මම ඇයත් සමඟ කොළඹ බලා ඒමට පිටත් වීමි. මෝටර් රථයේ අම්බලන්ගොඩට පැමිනෙන තෙක්ම අප අතර කිසිදු කතා බහක් නොවිනි. ලානිල් පැහැති බ්ලව්සයකින් සහ කළු පැහැ දිගු සායකින් සැරසී සිටි ඇය ගෙතූ කොණ්ඩය අතැඟිලි අතර පටලවමින් නිහඬව ඉදිරිය බලා සිටියාය.
අම්බලන්ගොඩ අසල මගේ මිතුරෙකු පවත්වාගෙන යන මුහුද අසබඩ පිහිටි අවන්හලට ආසන්න වන විට මම ඇය ඇමතුවෙමි.
" සංජු, මේ ළඟ මගෙ යාලුවෙක්ගෙ රෙස්ටෝරන්ට් එකක් තියනව. අපි දවල්ට මොනව හරි කාල යමු නේද? "
ඇය එක්වරම මා දෙස හෙලූ බැල්ම වටහා ගැනීමට මට කිසිසේත් අපහසු නොවිනි.
" මොකද ලමයො ඔහොම මා දිහා බලන්නෙ? දවල්ට කන්න විතරයි එතනට යන්නෙ, ඒත් එක්කම මම මෙතනම තෝරගත්තෙ මෙතන හරිම නිස්කලංකයි, මට ඔයාට කියන්ඩ ලොකු කතාවක් තියනව සංජු,"
එවර මඳක් සිනාසුනු ඈ හිස වනා එකඟත්වය පළකලාය.
වම්පස මුහුද දෙසට විහිද ගිය අතුරු පාරෙ මඳක් ගියපසු හමුවන කුඩා හෝටලයට මෝටර් රිය ඇතුලු කල මම පෝටිකෝව යට රිය නතර කොට ඉන් බැස ගතිමි.
" එන්න සංජු, බය වෙන්න එපා,.....එන්න ළමයො,"
ඇය තවමත් රථය තුලම සිටිනු දුටු මම රථයේ වම්පස දොර විවෘත කරමින් පැවසුවෙමි.
ඇගේ අත අල්ලා ඇයට රියෙන් බැසීමට සහය වන්නට මගේ සිතේ එක්වරම ඇතිවූ පෙලඹවීම මම මැඩ ගත්තේ ඉතා අසීරුවෙනි.
එවර මා පසුපස පැමිණි ඇය පොල් රුප්පාවෙන් මනා කොට සෙවණ ලැබ තණ තීරුවේ පනවා තිබූ අසුනක මා අසලින්ම අසුන් ගත්තාය.
මගේ මිතුරා අද මෙහි නොවූමුත් ඔහුගේ උපදෙස් පරිදි සියල්ල සූදානම් කොට තිබිනි.
හෝටලයේ කලමනාකරු අප වෙත පැමිණියේය.
" අපිට චිකන් ෆ්‍රයිඩ් රයිස්........... ම්ම්ම්....සංජු මොනාටද ඔයා කැමති? "
මම ඈ දෙස හැරී විමසීමි.
" කමක් නෑ, ඒව හොඳයි, "
ඈ මද සිනහවක් පාමින් පිළිතුරු දුන්නාය.
" සංජු මම බියර් එකක් බිව්වට කමක් නැහැනෙ,"
මගේ ඊළඟ පැනයටද ඈ පිළිතුරු දුන්නේ මද සිනහවක් සමඟ හිස වනා එකඟතාවය පළ කිරීමෙනි.
" ලාගර් බෝතලේකුයි................ මේ මිස්ට?....."
මම ඇය දැස බැලීමි.
" ලෙමන් ජූස් "
ඇය පැවසුවාය.
බියර් පෙණ බුබුලු නිවී යනතෙක් ඒදෙස බලා සිටි මම කටහඬ අවදිකලෙමි.
" මම මේ කතාව කොහෙන් පටන් ගන්ඩද කියල මට මහ ප්‍රශ්නයක් සංජු. අනික් කාරණේ, මටම හිතා ගන්න බැහැ ඇයි මම ඔයා එක්ක මෙව්ව කියන්නෙ කියල. අපි දෙන්න දැක්කෙත් එකම දවසයි. ඒත් මටම හිතාගන්න බැරි මොකක්දෝ දෙයක් මට බල කරනව මේ ඔක්කොම ඔයා එක්ක කියන්න කියල. මම මගෙ ජීවිතේ මුල ඉඳලම පටන් ගන්නම්,......... ඕකේ?, මම විතරයි අපෙ පවුලෙ දරුවෙක් හිටියෙ. ඒ නිසා ජීවිතේ මුල ඉඳලම මම ගත කලේ හුදකලා ජීවිතයක්. මම විවෘත කෙනෙක් නෙවෙයි. ඒ මගේ හැටි. Introvert කියල කියන්නෙ. මම අන්න එහෙම කෙනෙක්. සිංහලෙන් කිව්වොත් සංවෘත. ඇතුලට නැවුණු.හැඟීම් සඟවාගෙන ඉන්න. මම අන්න එහෙම කෙනෙක්. "
" මම විවාහ උනේ ප්‍රේම සම්බන්ධයකින්. මම එයාට ඇත්තටම ආදරේ කලා. එයත් මට ආදරේ කලා කියල මම හිතනව. අඩුම ගනනෙ මුල් දවස් වල විතරක් වත්. මම නවකතා, කෙටි කතා , කවිපොත් කියවන්න පුදුම ආසාවක් තිබ්බෙ. එයා පොතක් පතක් අතින් ඇල්ලුවෙ වත් නෑ. ඒත් අපි දෙන්න සන්තෝසෙන් හිටිය. පුතා ඉපදෙන කල්ම. අඩු ගනනෙ මම එහෙම හිතනව. පස්සෙ වෙච්ච දේවල් වල හැටියට එය සන්තෝසෙන් ඉඳල නැහැ කියන එක තමයි මට කියන්න වෙන්නෙ. ...............මගෙ වැරැද්ද වෙන්න ඇති බොහෝ විට. මම දන්නෙ නෑ.ඒත් එයා කවදාවත් මට ඒ ගැන නිකමටවත් කිව්වෙ නම් නෑ."
" ඔයාට අඩු ගනනෙ හිතාගන්න වත් පුලුවන් වෙයි සංජු එකපාරටම එයා මාවයි පුතාවයි දාල ගියාම මට ඒක කොච්චර ෂොක් එකක වෙන්න ඇතිද කියල,පුතා නැත්නම් මම ඇත්තටම දිවිනහ ගන්නව. ඒත් පුතා නිසා මට එහෙම කරන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ. පුතා වෙනුවෙන් මට ජීවත් වෙන්න උනා."
උස් වීදුරුවේ පිරී තිබූ රන්වන් පැහැති බීර එක හුස්මට පානය කල මම නැවත වරක් වීදුරුව පුරවා ගතිමි.
ඇය ලෙමන් යුෂ වීදුරුවට අතවත් තබා නැත.
" සංජු.......මොකද කරන්නෙ ළමයො.....ඕක බොන්නකො..."
" හරි , හරි සර් මම බොන්නම්, සර් කතාව කියන්නකො "
ඇය වීදුරුව සුරතට ගත්තාය.
" ඔය අතර වාරෙ තමයි මදාරා මට කිට්ටු උනේ. ඇත්තටම ඒ අපෙ අම්ම කරපු වැඩක්. එයා තමයින් මදාරා හොයල මට කිට්ටු කලේ. මමත් ඒ කාලෙ පුදුම කලකිරීමකින් හිටියෙ. ඒ නිසා මදාරා මගෙ ජීවිතේ තිබ්බ ලොකු අඩුවක් සම්පූර්න කලාය කිව්වොත් හරි.අපි තදින්ම ආදරේ කරපු කෙනෙක් අපිව දාල යන එක ලෝකෙ ඕනම මනුස්සයෙකුට දරා ගන්න පුලුවන් දෙයක් නෙවෙයි. කිසි කෙනෙකුට අපිව ඕන නැහැ කියන හැඟීම කියන්නෙ පුදුම අසරණ හැඟීමක්. මදාරා තමයි මාව ඒ තත්වෙන් මුදාගත්තෙ. ඒකට මම මදාරට සදා ණය ගැතියි. "
" හැබැයි කිසි දවසක මම මදාරට ආදරේ කලේ නෑ. අදත් නෑ. හෙටත්....... මම හිතන්නෙ නෑ. මදාරත් මම හිතන්නෙ ඒක දන්නව. ඒත් ඒක එයාට ප්‍රශ්නයක් වෙන එකක් නැතිවෙයි මම හිතන්නෙ."
" මගෙ බිරිඳ මාව දාල ගියායිම් පස්සෙ මම හිතාගෙන හිටියෙ කිසිම කෙනෙකුට මගෙ හදවත විවෘත කරන්නෙ නැහැයි කියල. ඒ වින්ද වේදනාව ආයෙම විඳින්ඩ මට බැරි බව විතරක් මම දැන ගෙන හිටිය."
" ඔහොම මගෙ පුතයි මදාරයි අතර බොහොම සරළව ගතවෙච්ච මගෙ ජීවිතය එක දවසක උඩු යටිකුරු උනා."
බියර් ස්වල්පයක් පානය කල මම වීදුරුව මේසය මත තබා ඇය දෙස බැලීමි.
ඇය ප්‍රශ්නාර්තයෙන් මදෙස බලා සිටියාය.
" yes, Sanju that was you, one day you entered my life totally unexpectedly and......... you know what?.........turned it upside down,...yes, you did it,"
" සර්......මම????"
" නෑ, නෑ, සංජු කළබල වෙන්න එපා. ඒක ඔයා හිතල කල දෙයක් නෙවෙයි. ඔයාගෙ තුන් හිතකවත් එහෙම අදහසක් නොතිබ්බ බව මම හොඳටම දන්නවා. ඒත් සංජු ඒක තමයි උනේ."
" පහුවදා ඔයා එයි කියල මම කොච්චර වෙලාවක් බලා හිටියද? පස්සෙ ඔයා කෝල් කරල කිව්වම ඔයාට වෙන රස්සාවක් හම්බ උනාය ආයෙ එන්නෙ නැත කියල මම හිතුව ඒකත් උනේ හොඳටය, මට ඔයාව මගෙ හිතෙන් අයින් කරගන්න පුලුවන් වේවිය කියල."
" ඒ උනාට එහෙම උනේ නෑ, සංජු මට ඔයාව අමතක කරන්ඩම බැරි උනා. ඒ පාර තමයි මම ඔයාට කතා කරල කිව්වෙ මම එන්නම් අපි හම්බ වෙලා කතා කරමුය කියල."
" මම ඇත්තටම දන්නෙ නෑ. ඔයාගෙ හිතේ මා ගැන තියෙන්නෙ මොන වගේ හැඟීමක්ද කියල. එක අතකට මම මෙහෙම ඔයාට කියන එකත් වැරදියි. ඔයා මට වඩා බොහොම ලාබාලයි.ඔයාගෙ ජීවිතේ තියෙන්නෙ ඉස්සරහට. මම ජීවිතේ වරද්ද ගත්තු මනුස්සයෙක්.ඒ නිසයි මම කිව්වෙ මම මෙහෙම කියන එක වැරදියි කියල මගෙ හිත මට කියනව කියල. ඒත් මට ඒ ටික නොකියා බෑ සංජු, මම ඔයාට ආදරෙයි.................. ඔයා මට ආදරේ කලත් නොකලත් මට ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ. මම දන්නෙ කොන්දේසි විරහිතව මම ඔයාට ආදරෙයි කියන එක විතරයි."
හිරු බැසයමින් පැවතුනි. මම හිස හරවා ඈ දෙස බැලීමි. ඇගේ දෑස කඳුලින් බරවී තිබිණි. සෙමෙන් මා වෙත පැමිණි ඇය මගේ උරහිසට හිසතබා කඳුලු පිරි දෑසින් මදෙස බැලුවාය. මම නැවී ඇඟිලි තුඩගින් ඇගේ කඳුලු පිස දමා අපරිමිත සෙනෙහසින් ඇගේ නලලත සිප හතිමි.
" මගෙ ජීවිතේ හරියට දිය වැළකට අහුවෙලා වගෙ සංජු, ඔයා දන්නවද දියවැළකට අහුවුනාම වෙන දේ............ අපිට කවදාවත් බෑ දියවැලට විරුද්ධව පීනන්ඩ. පුලුවන් එකම දේ තමයි දිය වැලත් එක්ක ඔහේ යන දිහාවකට යන්ඩ ඇරල ජීවිතේ රැකගන්න එක. මටත් දැන් වෙලා තියෙන්නෙ අන්න ඒ විදිහෙ දෙයක් සංජු, මමත් දිය වැලකට අහුවෙල ගහ ගෙන යනව. මට බේරෙන්ඩ බෑ. මට මදාරව බඳින්ඩම වෙනව සංජු.මට වෙන කරන්ඩ දෙයක් ඇත්තෙම නෑ. I am really sorry Sanju, I have no other alternative, I am really really helpless, "
මෙතෙක් මගේ උරහිස මත හිස හොවා සිටි ඈ කෙලින් වී හිඳ ගත්තාය. ඉන්පසු අත්බෑගයෙන් ලේන්සුවක් ගෙන දෙකොපුලේ ගලන කඳුලු පිස දැමුවාය.
" කමක් නෑ, සර්, මගේ හිතේ සර් ගැන තියන හැඟීම මොකක්ද කියල දැන් කියල වැඩක් වෙන්නෙ නෑ කොහෙත්ම. ඒ නිසා ඒක මගෙ හිතේම තිබුනාවෙ. කොහොම උනත් මම සර්ගෙ අනාගතයට හදවතින්ම සුබ පතනව.එහෙම විතරක් හිතාගන්ට සර් ඒ හොඳටම ඇති "'
ඇගේ නිවස අසල මම රිය නැවැත්වීමි. ඇගේ සුරත ගෙන මගේ මුවට ලංකොට සිපගතිමි. ඈ මගේ උරහිසට හිස වාරුකොට මොහොතක් සිටියාය. මම අවසාන වරට ඇගේ දෙකොපුල දෑතින්ගෙන නලලත සිපගත්තෙමි.
" ආයෙ අපි කවදාවත්ම හමුවෙන එකක් නැහැ සංජු එක අතකට ඒක එහෙම වෙන එකත් හොඳයි. නැත්නම් මට ඒක දරාගන්ට බැරිවෙයි."
" මම යන්නම් සර්, හැමදේම වෙන්නෙ හොඳට කියල හිතා ගන්ට. මට වෙන කියන්ට දෙයක් නෑ......යන්නම් "
ඇය සෙමින් සෙමින් පසුපස නොබලාම ඇගේ නිවස වෙත පානඟන අයුරු මම බලා සිටියෙමි. මගේ ජීවිතයෙන්ද සදහටම ඉවතට පානඟන අයුරු මම කඳුලු පිරි දෙනෙතින් බලා සිටියෙමි.
රත් පියුමක්ය පිපුනේ නිල් විල මැද්දේ,
අත දිග මදිය නෙලනට ඒ දිය ගැඹරේ,
අසරණ සිතින් මම ඉන්නෙමි විල ඉවුරේ,
පියුමේ රුව බලා සැනසෙමි මගෙ උරුමේ,
නෙත කඳුලකින් පිරි දා ඔබ හමුවූයේ,
සිත පිරි හැඟුම් කෙලෙසක පවසනු ලඳුනේ,
කිසිදා යලිදු හමුනොවනා මුත් සසරේ,
ඔබ රුව මතක නොමැකෙනු ඇත මගෙ සෙනෙහේ,
I do not know how you got into my heart,
I know only that you are there,
And........ you will never ever leave me,
Remember.........I don't want you to leave either,