ජීවිතේට වීරයෙක් ඉන්න ඕන. අවම වශයෙන් එක්කෙනක්. මගෙ ජීවිතේ කාලෙන් කාලෙට එහෙම වීරයො බොහොම දෙනෙක් හිටිය.යන්තමට රටේ ලෝකෙ කාරණා කාරණා, හොඳ නරක තේරෙන්ට පටන් ගත්තු දවස්වල ඉඳලම මගේ ලෝකෙ නියුමෙරෝ ඌනෝ හීරෝ උනේ අවුරුදු දෙදාස් හයසීයකට එහා පැත්තෙ ඉඳපු මහා පුරුෂයෙක්. හේ සිද්ධාර්ථ නම් විය...සිද්ධාර්ථ ගෞතම....බුදු හාමුදුරුවො...
නවම් මාවත මතකද? නවමා නොහොත් නවමාභිධාන තරුණ මහතා දැන් අවුරුදු දෙකක් තරම ඉඳල බ්ලොග් ලියන එක නවත්තල දාල ඉන්නෙ. පහුගිය පාර වාර්ෂික නිවාඩුවට දිවයිනට පෙරළා සැපත්වූ කල්හි මම ගියා ඕකව හම්බවෙන්ට. අර මදක් නුහුගුණාපිත ළලනාවක් ඉන්නෙ. එයැයිතුත් හම්බවෙලා ඒ ගමම්ම නවමාභිධානත් හම්බ වෙලා ඒකා එක්ක දිවා ආහාරය එහෙම වැළඳුව.
හරි හරි එව්ව ඕන නෑ....ඉතිං මම මේ කියන්ට ආවෙ නවම එක පාරක් ඔය පරමාදර්ශී චරිත ගැන ලියාපු සටහනකට මම ලියාපු අටුවාව තමයි මේ....
යමක් කමක් තේරෙන්ඩ පටන් ගත්තු දා ඉඳල මගේ ප්‍රධාන "පොර" චරිතෙ බුදු හාමුදුරුවො....ඒ නොම්මර එකේ "පොර" චාට් එකේ අංක එකෙන් පහළට කවදාවත් වැඩියෙ නෑ...මම හිතන්නෙ නෑ...කවදාවත් එහෙම වෙයි කියලත්....හෙහ්, හෙහ්,
පොර යනු කවරෙක්ද?.....සංක්ශිප්තව අර්ථ දක්වන්න......කියල විභාගයකට ප්‍රශ්නයක් ආවොත් දහ දෙනෙක් දෙන්නෙ දහ විදිහක උත්තර…
හරි....බුදු හාමුදුරුවො යාවජීව එක..........ඊළඟට තව ඉන්නව ඊට පහළ කට්ටිය.....අයින්ස්ටයින්....ඩා වින්සි......මැන්ඩෙලා....ආතර් සී. ක්ලාර්ක්....ඒ ඔය ඊට පල්ලෙහා හැමදාම ඉන්න අය.....ඒ ඇර කාලෙන් කාලෙට ඇවිදිල්ල එහෙම්මම බොඳ වෙලා යන තාවකාලික පොරවල් නම් අනන්තයි... අප්‍රමාණයි....
පරමාදර්ශී චරිතයක් ඒ කියන්නෙ "පොරක්" අපේ ජීවිතයට අත්‍යාවශ්‍යයයි කියන එකයි මගේ හැඟීම.....
අටුවාව අවසානයි……..
පරමාදර්ශී චරිත නැත්තං වීරවරයො ගැන ප්‍රා ජේ සහෘදයත් මේ ඊයෙ පෙරෙයිද මම ලියපු සටහනකට ප්‍රතිචාර වශයෙන් ප්‍රා කියල තිබ්බ මට වීරයො අඩුයි රවී කියලයි..මට හැබැයි වීරයෙක් ඉන්නම ඕන…
එකදාස් නමසිය හැත්තෑ පහේ නැත්තං හයේ...අර සුපුරුදු හැත්තෑව දශකයේ මැද භාගයෙ කෑගලු විද්‍යාලයෙ රංග ශාලාවෙ රඟ දැක්වුනා ඒකා අධිපති..ප්‍රධාන චරිතය මැල්කම්...මැල්කම්ගෙ භූමිකාවට පණ දුන්නෙ ධර්මසිරි බණ්ඩාරනායක...ඊට පස්සෙ කෑගල්ල පුරහලේ හෙන්රි ජයසේනගෙ මකරා..ඒකෙත් ප්‍රධාන චරිතය ලන්ස්ලොට්... ඒත් ධර්මසිරි බණ්ඩාරනායක...පස්සෙ කාලෙකදි ධර්මසිරි යෙව්ජීනී ෂ්වාට්ස්ගෙ මකරා නාට්‍යයම මකරාක්ෂයා කියල නිෂ්පාදනය කලා.
බක්මහ දීගෙන් පටන්ගත්තම පළඟැටියෝ, හංස විලක්, තුන්වෙනියාමය බව දුක සහ බව කර්ම සිතුවම් පට...වේදිකාවට ධවල භීෂණ, යක්ෂාගමනය සහ ට්‍රෝජන් කාන්තාවෝ...
ධර්මසිරිගෙ කලා කෞශල්‍යය ගැන ගැන බොහොම මතුපිටින් අතගාගෙන ගිහිල්ල විතරක් මම නතර වෙන්නයි හදන්නෙ. මොකද ධර්මසිරි බණ්ඩාරනායක නම්වූ කලාකාරයට වඩා මම ගරු කරන්නෙ ධර්මසිරි බණ්ඩාරනායක නම්වූ මිනිසත්භාවය කෙරෙහි සංවේදී වූ සොඳුරු මිනිසාට නිසා. මගේ ලෝකයේ ඔහු වීරයෙක්. එදා ඉඳල හැත්තෑව දශකයේ මැද භාගයෙ ඉඳල අද දක්වාම.ඒ වීරත්වය විනාශ කර ගැනීමට තුඩු දෙන කිසිවක් මෙතෙක් ඔහු කරල නැහැ. භීෂණයට විරුද්ධව තමන් හදාල ශාස්ත්‍රයෙන් එනම් නාට්‍ය කලාවෙන් කරපු සටන නිසා දේශප්‍රේමීන්ගෙන ජීවිතය බේරාගැනීමට වරක ඔහුට මව්බිම පවා හැරදමා පළායාමට සිදුවෙනවා.
2010 වර්ෂයෙ ආයෙම ඒකා අධිපති වේදිකාවට ගෙන ඒමට ඔහු ගත් උත්සාහය වැලකෙනුයේ කලාව ගැන මෙලොව හසරක් නොදැනීම පසෙක තිබියේවා විවේචනයක් පවා දරාගැනීමට නොහැකි අමන පාලකයින් සහ ඔවුන්ටම ගැලපෙන සට්ටඹියන් රැලක් හේතු කොටගෙනයි.
ඇල්ජීරියාව කියන්නෙ උතුරු අප්‍රිකානු රටක්.අප්‍රිකා මහාද්වීපයෙ විශාලම රට. 19 වන ශතවර්ෂයෙ ඉඳල ප්‍රංශ යටත් විජිතයක් . පණහෙ දශකයෙ වගෙ ආරම්භ වුනු ඇල්ජීරියානු නිදහස් අරගලය බොහොම දරුණු විදිහට මර්දනය කරන්ට ප්‍රංශ රජය උත්සාහ ගත්තා. මේ වැඩේට ප්‍රංශ ජාතික නිදහස් මතධාරීන් දැඩිලෙස විරුද්ධ වුනා. රජය නිර්දය ලෙස විවේචනය කලා. මේ ව්‍යාපාරයෙ පෙරමුණේම හිටියෙ ෂොන්-පෝල් සාත්‍ර...ලොව සුප්‍රසිද්ධ දර්ශනවාදියෙක්, දේශපාලන ක්‍රියාධරයෙක් සහ කලා කරුවෙක්. සාත්‍රගෙ රජයේ ප්‍රතිපත්ති විවේචනය ඉතාම දරුණු වුනු සමයක ප්‍රංශ අමාත්‍ය මණ්ඩල රැස්වීමෙදි යෝජනාවක් සම්මත වුනා කියල කියනව සාත්‍ර වහාම රාජ්‍ය විරෝධී කටයුතුවල යෙදීමේ චෝදනාව මත අත් අඩංගුවට ගත යුතුයි කියල. ඒ කාලෙ ප්‍රංශ ජනාධිපති ඇවිල්ල චාල්ස් ඩිගෝල් සෙනෙවියා. ඔහු මේ කතාබහ ඔක්කෝම අහගෙන ඉඳල අන්තිමට කිව්වලු…..
“ මේ කරුණාකරල කරන්ට පුලුවන් දෙයක් කතා කරනවද? සාත්‍ර කියන්නෙ ප්‍රංශය..ප්‍රංශයේ හෘදය සාක්ෂිය ...අපි කොහොමද ප්‍රංශය අත්ඩංගුවට ගන්නෙ?”
“ Sartre is the conscience of France , How can we arrest France?...how can we arrest the conscience of France? “
එහෙමයි ඩිගෝල් ඇමතිවරුන්ගෙන් අහල තියෙන්නෙ. කලාකාරයෙකුට ලබන්ට පුලුවන් ඉහලම ගෞරවය ඒකයි කියලයි මගේ විශ්වාසය...
පොදු ජනයාගේ හෘදය සාක්ෂිය නියෝජනය කරන කලාකාරයෙක් අද ඉන්නවනම් ඒ ධර්මසිරි බණ්ඩාරනායක විතරයි කියලත් මම එකහෙලාම විශ්වාස කරනව..
සමානාත්මතාවය, සාධාරණය යුක්තිය වෙනුවෙන් කිසිම පැකිලීමකින් තොරව හැමදාම පෙනී සිටි ධර්මසිරි..ඔබට මගේ හෘදයාංගම ස්තූතිය සමඟ ප්‍රණාමය!!!
ධර්මසිරි ගැන මේ සටහන මෙහෙම ලියන්ටම ඕනෙයි කියල පෙළඹවීමක් ආවෙ, නොලියාම ඉන්ට බැරිවුනේ, ධර්මසිරි පහුගියදාක නාට්‍ය කලාව සහ පොදුවේ අපේ ජන සමාජය ගැන පලකරපු අදහස් දැක්වීමක් කියෙව්වට පස්සෙ.
හරි සවන්දෙන්න ඔහුට..අපේ කාලයේ මනුෂ්‍යත්වයෙන් සපිරි කලාකරුවාට......අපටද නොදැනෙන සේ අපේ සිත් සතන් ග්‍රහණය කොටගත් මකරාක්ෂයාට විරුද්ධව දිවිහිමියෙන් සටන් කිරීමට සපථකොට සිටින ලන්ස්ලොට් ට.....
**************************************
‘‘ට්‍රෝජන් කාන්තාවෝ’’ නාට්‍යයට වසර පහළොවක් පිරීම නිමිති කොට ගෙන ප්‍රවීණ නාට්‍යයවේදී ධර්මසිරි බණ්ඩාරනායක සමග මෙම සම්මුඛ සාකච්ඡාව කළේ ‘ජනරළ’ පුවත්පත වෙනුවෙනි.
එහෙත්, ධර්මසිරි බණ්ඩාරණායක නාට්‍යයවේදියා ප්‍රකාශ කළ ‘‘ඉවත දැමිය නොහැකි සෑම වචනයක් ම’’ පළ කිරීමට පුවත්පතේ ඇති ඉඩකඩ ප්‍රමාණවත් නොවන බැවින් ඔහු සමග කළ සම්පූර්ණ සාකච්ඡාව මෙසේ පළ කරන්නට අදහස් කළෙමි.
ඒකාධිපති (1976), මකරාක්ෂයා (1985) ධවල භීෂණ (1988), යක්ෂාගමණය (1994) සහ ට්‍රෝජන් කාන්තාවෝ (1999) යන නාට්‍යය සියල්ලෙහි ම නිර්මාණ හිමිකරුවා වන්නේ ප්‍රවීණ නාට්‍යයවේදී ධර්මසිරි බණ්ඩාරනායක යි. මෙම වසරේ දිල්ලියේ පැවති ජාත්‍යන්තර නාට්‍ය උළෙල්දි ඔහුගේ ‘‘ට්‍රෝජන් කාන්තාවෝ’’ නාට්‍යය ද වේදිකා ගතකෙරින. ඒ නාට්‍යය නිෂ්පාදනය කොට වසර පහළොවක් ද නික්ම යාමෙන් ඉක්බිතිව ය.
වසර පහළොවක් ඉක්ම ගිය ද ‘‘ට්‍රෝජන් කාන්තාවෝ’’ නාට්‍යය වර්තමානයට ද අනාගතයට ද වලංගු ය. මන් ද මෙය යුද්ධයේ ආදීනව කියාපාන නාට්‍යයක් වන හෙයිනි. මෙම නාට්‍යය රචනා කරන ලද්දේ මීට වසර දෙදහසකටත් පෙරාතුව ය. ඒ ග්‍රීක නාට්‍යයවේදි යුරීපිඩිස් විසිනි. 1999 රංග ගතකෙරෙන්නේ ප්‍රවීණ කිවියර ආරියවංශ රණවීර පරිවර්තනය කළ එම නාට්‍යයේ සිංහල පිටපතයි. ‘‘ට්‍රෝජන් කාන්තාවෝ’’ නාට්‍යයට වසර පහළොවක් පිරීම නිමිතිකොට ගෙන එය එලඹෙන නොවැම්බර් 02 වන දින කොළඹ ලයනල් වෙන්ට්ඩ් රඟහලේ දි වේදිකා ගතකෙරේ.
‘‘ට්‍රෝජන් කාන්තාවෝ’’ පිළිබඳ අතීතාවර්ජනයකින් ම සාකච්ඡාව ආරම්භ කරමු.
‘‘ට්‍රෝජන් කාන්තාවෝ’’ මගේ පස් වන නාට්‍යය. මේ නාට්‍යය කරනව කියල මම තීරණය කරන්නෙ 1998 දි. ඒ සඳහා බලපාපු ප්‍රධාන කාරණය තමයි, කුමන හෝ ආකාරයක යුද්ධයක් මම අනුමත නොකිරීම. කලාකරුවෙක් විදිය මගේ දැක්ම ඒක යි. නමුත් මේ රටේ සියයට පනහකටත් වඩා වැඩි පිරිසක් යුද්ධයට ආශිර්වාද කළා. නමුත් යුද්ධය ඇතිවෙන්න හේතුව මොකක් ද? ඒ අපි; සිංහල ජාතිය. නමුත් සිංහල ජාතිවාදීන්, ජාතිකවාදීන් සහ බලයට පත්වුණ සිංහල ආණ්ඩු කරපු වැරදිවලින් තමයි යුද්ධයක් ආවෙ. යුද්ධයක් නොතිබුණා නම් ‘දෙමළ’ කියල ජනතාවක් මේ රටේ ඉන්නව කියල කවුරුවත් දන්නෙ නැහැ.
මම යුද්ධය අනුමත කරන්නෙ නැහැ. නමුත් ‘අරගලය’ අනුමත කරනවා. ඕනෑම ජාතියක් කිසියම් අරගලයක් කරනව නම් ඒ අරගලය මම අනුමත කරනවා. එසේ අනුමත කිරීමට ප්‍රධාන හේතුව වෙන්නෙ මම නාට්‍යයකරුවෙක් වශයෙන් මගේ හැම නාට්‍යයක ම දේශපාලන අර්ථයක් ඉදිරිපත් කිරීම.
එදා මට මේ නාට්‍යය හඳුන්වා දුන්නෙ බෙනඩික් දොඩම්පෙගම මහත්මය. එතුමා මට කිව්වෙ ‘මේ නාට්‍යය ඔයා අතින් නිෂ්පාදනය විය යුතු නාට්‍යයක්’ කියල. අනතරුව තමයි මම නාට්‍යය කියෙව්වෙ. ඊට පසුව මම ආරියවංශ රණවීර මහත්මය මුණගැහෙනවා මෙහි පරිවර්තන සහය ලබාගැනීම සඳහා. එතුමා මට 1999 දි මෙහි පූර්ණ පරිවර්තනයක් ලබා දෙනවා. ඒ එක්ක ම මතක් කරන්න ඕන මේ වන විට එතුමා මේ නාට්‍යයේ පෙළ ‘ට්‍රෝජන් ගැහැනු’ නමින් මුද්‍රණද්වාරයෙන් එළිදක්වලා තිබුණා. 99 මුල් භාගයේ දි තමයි මෙහි නිෂ්පාදන කටයුතු ඇරඹුණේ. 99 දෙසැම්බර් මාසෙ මෙම නාට්‍යයේ මංගල දර්ශනය පවත්වන්න පුළුවන් වුණා.
ඔබට එදා විවිධ අභියෝගවලට මුහුණ පාන්න සිදුවුණා නේද?
ඔව්... එදා මම මේ නාට්‍යය කළඑළි දැක්වූයේ ‘යුද විරෝධී නාට්‍යයක්’ විදියට. එහෙම නම් කිරීම නිසා ජාතිවාදීන්ගෙන් මට විශාල වශයෙන් අභියෝග සහ මරණීය තර්ජන එල්ල වුණා. ඒ අය මට බල කළේ මේ ‘යුද විරෝධී’ කියන පාඨය ඉවත් කරන්න කියල. මේ සියලු අභියෝග සහ තර්ජන එල්ල වුණේ දකුණෙන්. සමහර තර්ජන මට එවල තිබුණෙ එල්. ටී. ටී. ඊ. සංවිධානය නමින්.
‘උඹ මේ නාට්‍යය පෙන්නුවොත් උඹ ඇතුළු නාට්‍යය කණ්ඩායම ඝාතනය කරනව’ කියල. මොකද මට එල්. ටී. ටී. ඊ. සංවිධානය ශුද්ධ කිරීමේ වුවමනාවක් තිබුණෙ නැහැ. ඊළඟට ආපු අභියෝගය තමයි, විශේෂයෙන් ම ජාතිවාදය අනුමත කරන විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යය හරහා. ඔවුන් කිව්වෙ ‘ඇයි උඹ මේක මෙහේ විතරක් පෙන්වන්නෙ? මේක යුද්ධෙ තියෙන පැතිවල පෙන්නන්න බැරිද?’ කියල. මම ඒ අභියෝගයත් ජයගත්තා. වසර 35 ට පමණ පසුව සිංහල නාට්‍යයක්: යාපනය, වව්නියාව, මඩකලපුව සහ ත්‍රීකුණාමලේ සිංහල මාධ්‍යයෙන් වේදිකා ගතකළා. සිංහල නළු නිළියො, සිංහල භාෂාවෙන් රංග ගතකළා. එදා ඒ චෝදනා කරපු හැම දෙනෙක් ම මතක තබා ගතයුතු ඉතාම වැදගත් කාරණය තමයි, එදා උතුරෙ ජනතාව හිතාගෙන හිටියෙ ‘සිංහල කියන්නෙ මිලිටරි භාෂාව’ කියල. නැහැ. සිංහල කියන්නෙ මිලිටරි භාෂාව නෙවෙයි.
නමුත් සිංහල භාෂාව උතුරු නැගෙනහිර දි මිලිටරි යුනිෆෝම් දරපු අයගෙ භාෂාව වුණා. මොකද ඒ පළාත්වල හිටපු හැම මිලිටරිකාරයෙක් ම කතා කළේ සිංහල. එතකොට ඒක ඒ පළාත්වල මිනිස්සුන්ට දැනුණෙ කොහොම ද? මිලිටරියක් යම් භාෂාවක් කතා කරනවනම් ඒ සිංහල. එතකොට සිංහල භාෂාව මිලිටරි භාෂාවක්. ඒක තමයි උතුරු නැගෙනහිර ජනතාවගේ අත්දැකීම. මෙන්න මේ වාතාවරණය තුළ ම තමයි අපි ‘ට්‍රෝජන් කාන්තාවෝ’ සිංහලෙන් වේදිකා ගතකරන්නෙ.
විශේෂයෙන් ම මතක් කරන්න ඕන: නාට්‍යය ආරම්භ කළේ 99 වර්ෂයේ. 2000 වසරෙ අපිට ලොකු අභියෝගයකට මුහුණ දෙන් වුණා. අනෝජා වීරසිංහ සහ රූකාන්ත ගුණතිලක ඔවුන්ගේ දේශපාලන මතයට කැමැත්ත දක්වන ක්‍රියාකාරින් බවට ඔවුන් පත්වුණා. මමත් මගේ දේශපාලන මතය මත ක්‍රියාත්මක කරන තත්ත්වයට පත්වුණා. මේක නාට්‍යය පිළිබඳ ප්‍රශ්නයක් කරගන්න අපි කණ්ඩායමට ම වුවමනාවක් තිබුණෙ නැහැ. චන්ද්‍රිකා සමයෙත් මේ නාට්‍යයට කෙනෙහිලිකම් කළා. ඒත් අපිට ඒක ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ.
නමුත් අනෝජාට කළ පහර දීමත් රුකාන්තට කළ පහර දීමත් එක එල්ලේ නාට්‍යයට බලපෑවා. මොක ද මේ දෙන්නට ම රට අත්හැරල යන්න සිද්ධ වුණා. ඒ අවස්ථාවෙ අපි කණ්ඩායමක් විදියට ගිහින් රටේ ජනාධිපතිවරිය හමුවෙලා මේ පිළිබඳව සාකච්ඡා කළා. මොකද අපි 94 බලය ඉල්ලුවෙ දූෂණය, භීෂණය සහ වංචාව නැති කරනව කියලනෙ. නමුත් 2000 වන විට තත්ත්වය ඒක ම නම්...? මිනිස්සුන්ට පහර දිල, මිනිස්සුන්ගෙ දේපළ විනාශ කරල, යාන වාහන පැහැරගෙන, ඒ මිනිස්සුන්ගෙ ජිවිතයට තර්ජන එල්ල කරනවනම්: ඒ අතවරවලට ලක් වෙන්නෙ කලාකාරයෙක් ද සාමාන්‍ය මිනිහෙක් ද කියන එක ප්‍රශ්නයක් නෑ. කිසිවෙකුටත් එසේ නොවිය යුතුයි. ඒ නිසා මම ඒ අය වෙනුවෙන් පෙනී සිටියා. එහි ප්‍රතිඵලයක් විදියට 2000 පෙබරවාරිවලදි මේ දෙන්න ම නැවත ලංකාවට ගෙන්නල නාට්‍යය දර්ශන පැවැත්වුවා. ඒ නාට්‍යය හරහා මොවුන්ට නිදහසේ ජිවත්වීමේ භාග්‍යය උදාවුණා. නමුත් මේ වෙලාවෙ ආණ්ඩුවට හිතවාදි බෙහෝ කලාකරුවන් මට කිව්වෙ මොනවද?
‘උන් යූඑන්පීකාරයො. උන් වෙනුවෙන් පෙනී හිටින්න එපා’ වගේ දේවල්. නමුත් මට ඒ කාරණා අදාළ වුණේ නැහැ. ඇය නිළියක් විදියට හොඳම නිළියට හිමි සම්මානය ලංකාවට ලබාදීල තියෙනව. මම ගරු කරන්නෙ ඒකට. අපි කලාකරුවාට ගෞරව කළ යුතු යි.
උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාව භාෂාවේ අභියෝගය ජයගත්ත ද?
එදා අපි ඒ ප්‍රේක්ෂකාගාර දැනුවත් කිරීම සඳහා ඒ නාට්‍යයේ තේමාව, කතා සාරාංශය, නාට්‍යයේ වැදගත් වු ඓතිහාසික සිදුවීම් යනාදී සියල්ල ම දෙමළ භාෂාවට පරිවර්තනය කළා. ඒ පරිවර්තන අපි අත්පත්‍රිකා විදියට මුද්‍රණය කළා. ඒවත් සමග තමයි ප්‍රේක්ෂකයා අතරට ගියේ. ඒව කියවල ලබපු දැනුමෙන් තමයි නැවත නැවතත් ප්‍රේක්ෂකගාරයට ජනතාව ඇදී ආවෙ. හැම නාට්‍යය දර්ශනයක් අවසානයේ ම අපි පැයකට කිට්ටු කාලයක සංවාදයක් පැවැත් වූවා. නාට්‍යය පිළිබඳ ඒ අය දරන මතවාදය මොනවගේද, ඒ අයට පැහැදිලි කරගත යුතු කාරුණු තියෙනවද? ආදි වශයෙන්. ඒ අදහස් හුවමාරුව අපි දෙපාර්ශවයට ම බොහෝ වැදගත් වුණා. ඒ වගේ ම ඉන් ඔබ්බට, ඒ කියන්නෙ උතුරු නැගෙනහිර ප්‍රදේශවලට ගිහින් මේ නාට්‍යය පෙන්නුවට පස්සෙ, සාම සාකච්ඡා පවත්වන අවස්ථාවෙ සිංහල කලාකරුවන්ට තමන්ගෙ ටෙලිනාට්‍යය පවා ඒ ප්‍රදේශවල ගිහින් රූගතකරන්න පුළුවන් වුණා. ඒ විදියට පිළිගැනීමට ලක්වීමේ අඩිතාලම දමන්නෙ ‘ට්‍රෝජන් කාන්තාවෝ’ නාට්‍යය.
මේ ගමන්වලදි බාධකවලට මුහුණ දෙන්න සිදුවුණේ නැද්ද?
අපි වව්නියාවට යනවා. ඊට පස්සෙ ඕමන්තෙ මුරපළ, ඊට පස්සෙ එල්. ටී. ටී. ඊ. සංවිධානය සතු ප්‍රදේශයට ඇතුල් වෙනවා. ඒ හරහා ගිහින් තමයි නැවත රජයේ බල ප්‍රදේශයට ඇතුල් වෙන්නෙ. ඒ ගමන්වලදි විවිධ බාධක කරදර වුණා. නමුත් මම අදත් ප්‍රකාශ කරනව ඒ කිසිවක් සිදු වුණේ අපි නිසා නෙවෙයි. ඒ පැත්තෙ හිටියෙත් යුදවාදියො. මේ පැත්තෙ හිටියෙත් යුදවාදියො. මේ දෙගොල්ලන්ගෙ අරගලය මැදින් තමයි අපි මේ ගමන ගියේ. නමුත් අපි එතනදි හුඟක් දොරටු විවෘත කළා. එහි ප්‍රධාන ම දොරටුව තමයි: සිංහල භාෂාව කතාකරන විට ඒක අහගෙන ඉන්න දෙමළ පුද්ගලයට, සිංහලෙන් ගීත ගායනා කරන විට ඒක අහගෙන ඉන්න දෙමළ පුද්ගලයට ඒත්තු ගියා මේක මිලිටරි භාෂාවක් නොවන වග. මේ භාෂාව කලාත්මක, නිර්මාණශීලි දේවල්වලට උපයෝගි කරගන්න පුළුවන් කියන හැඟීම අපි ඒ අයගෙ සිත් සතන් තුළ තැන්පත් කළා. ට්‍රෝජන් කාන්තාවෝ නාට්‍යයෙන් පසුව තවත් දොරටුවක් ඇරුණා. ඒ තමයි ඔය සඳහන් කළ සියලු ම ප්‍රදේශවල වසර 35 ට පසුව සිංහල චිත්‍රපට උත්සවයක් සංවිධානය කිරීම. ඒ මොහොතෙ මගේ චිත්‍රපට පමණක් නෙවෙයි වෙනත් චිත්‍රපටකරුවනුත් ඔවුන්ට හඳුන්වා දුන්නා. ඒ සිනමා නිර්මාණ පිළිබඳවත් විශාල සංවාදයක් පැවැත්වුවා.
පසු කලක ඔබ ඇතුළු පිරිසක් ඒ ප්‍රදේශයේ නිර්මාණ දකුණට රැගෙන ආවා...
ඔව්... අපි ඒ අයගේ නිර්මාණ දකුණේ ප්‍රදර්ශනය කළා.මේ ප්‍රදේශයේ තිබුණ විරෝධය ඉතාම දරුණුයි. දකුණේ (කොළඹ) වැඩි ප්‍රතිශතයක් ඒකට විරුද්ධ වුණා. මේ ප්‍රදේශයේ තිබුණෙ: ‘දෙමළා කියන්නෙ අන්තිම පහත් පෙළේ මිනිහෙක්, ඌ චප්ප කරල ම දාන්න ඕන, උන්ට උදව් කරන හිතවත් එවුනුත් ඉවරයක් කරල දාන්න ඕන’ වගේ අදහසක්. ඒ ක්‍රියාවලියට අවශ්‍යය අමුද්‍රව්‍යය ප්‍රමාණයක් එල්. ටී. ටී. ඊ. සංවිධානය සපයල තිබුණා. සමුල ඝාතනය කිරීම්, බෝම්බ පිපිරවීම්. නමුත් ඒකට සමස්ත දෙමළ ප්‍රජාවම වගකිව යුතු ද? නමුත් දකුණ හිතුවෙ එල්. ටී. ටී. ඊ. සංවිධානය කරන හැම ක්‍රියාවකට ම සමස්ත දෙමළ ප්‍රජාව ම වගකිව යුතුයි කියල. අපේ ගනුදෙනුව තිබුණෙ එල්. ටී. ටී. ඊ. සංවිධානය සමග නොවෙයි. අපි ගනු දෙනු කළේ දෙමළ ජනතාවගේ සංස්කෘතික උරුමයන් සමග. අපේ වැඩපිළිවෙළ හරහා මේ සම්බන්ධයෙන් නව කතිකාවතක් ගොඩනැගුණා. මේ කාලයේ නැවතත් දකුණෙ ‘ට්‍රෝජන් කාන්තාවෝ’ වේදිකාගත කරද්දි ඒකට දකුණෙන් බලවත් විරෝධයක් එල්ල වුණා. නමුත් ඒ බාධක මැද්දෙ අපි ‘ට්‍රෝජන් කාන්තාවෝ’ සමග දකුණේ එහා කෙළවර දක්වා ගියා. ඒ අතරතුර අපිට කොටි ලේබලය ඇලෙව්වා. ධර්මසිරි බණ්ඩාරනායක කියන්නෙ කොටි හිතවාදියෙක් කියල ප්‍රචාරය කළා. තවමත් අපිට ඒ ලේබලය ගලවගන්න බැරුවයි ඉන්නෙ.
නමුත් මම ඇතුළු අපි කණ්ඩායම දන්නව ඒක ස්වයංක්‍රීයව ම ගැලවෙන බව. මොකද ඒ ලේබලය ගහපු උදවියට ම දැන් ඒක ගලවන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් ඒ පුද්ගලයො සහ කණ්ඩායම් තමන් වැරැද්දක් කළා කියල පිළිගන්න කැමති නෑ. ඒ අයට ඒක පිළිගන්න වෙන්නෙ වළේ වැටුණ වෙලාවට. මේ මොහොතෙ ඒ වළ කැපිලයි තියෙන්නෙ. දැන් යුද ජයග්‍රහණයෙන් පසු වසර පහක් ගෙවිල ගිහින්. නමුත් යුද්ධය තිබුණු වකවානුවෙ මෙහෙම හැසිරීමක් අපි දැක්කෙ නැහැ. රටේ බහුතරයක් දෙනා උත්කර්ෂයට නංවපු ජාතිකත්වය පිළිබඳ හොඳ ම නිදර්ශන දක්වන්න පුළුවන් මේ අවධියෙ යි. නමුත් අපි මේ කිසිම දෙයක් අදාළ කරගත්තෙ නැහැ. අපි නාට්‍යය දිගින් දිගට ම දිගින් දිගට ම පවත්වාගෙන ආවා.
ඔබ 2000 වර්ෂයේ රාජ්‍යය නාට්‍යය උළෙලින් පසුව ගත්ත තීරණය ගැන ආවර්ජනය කළොත්...
ඔව්... මම එදා තිරණයකට එලඹුණා මම මින් ඉදිරියට කවදාවත් රාජ්‍යය නාට්‍යය උළෙලට මගේ නිර්මාණ ඉදිරිපත් කරන්නෙ නැහැ කියල. මම ඒ උළෙලෙදි කිසිවක් නොලබා නොවෙයි එසේ රාජ්‍යය නාට්‍ය උළෙල වර්ජනය කරන්න තිරණය කළේ. මගේ නාට්‍යය පහ ම වර්ෂයේ හොඳම නාට්‍යය බවට පත්වෙලා තියෙනවා. ඒ වගේ ම ඒ ඒ වර්ෂවල නියමිත සම්මාන සියල්ල ම මට ලැබිල තියෙනවා. නමුත්... රටේ නාට්‍යය ප්‍රේක්ෂකයො මාව හඳුනන්නෙ සම්මානලාභි නාට්‍යකරුවෙක් විදියට නෙවෙයි. මට රාජ්‍යය නාට්‍යය උළෙල කියන්නෙ එක අවස්ථාවක් පමණයි. නමුත් 2000 රාජ්‍යය නාට්‍යය උළෙලෙදි මට පැහැදිලිව ම දැනගන්න ලැබුණ කාරණා තමයි, උළෙලෙ ජූරියෙ හිටපු අය පවා කිසියම් වූ ඉහළින් ආ නියෝග මත මට හිමි විය යුතු ඇතැම් සම්මාන නොදී ඉන්න තිරණය කර තිබුණා. ඒ මම රූකාන්ත සහ අනෝජා වෙනුවෙන් පෙනී සිටීම නිසා. ඒ කරුණු මම දැනගත්තෙ පසුකාලයකදි. නාට්‍යය පෙන්වන්න ගිය මොහොතක ජූරි සභිකයෙක් කියපු කතාවකට මගේ හිත හොඳට ම රිදුණා. මම ඔහුට අභියෝග කළා ඔයාල වගේ අය නම් රාජ්‍යය නාට්‍යය උළෙලේ ජුරියෙ කටයුතු කරන්නෙ මින් ඉදිරියට මම කවදාවත් මගේ නාට්‍යයක් රාජ්‍යය නාට්‍යය උළෙලට ඉදිරිපත් කරන්නෙ නැහැ කියල. ඒ තීරණය මම ක්‍රියාත්මක කළා. ඉදිරියටත් එහෙමයි. ඒ නාට්‍යය උළෙල තරුණ නිර්මාණකරුවන්ගේ නාට්‍යය උළෙලක් බවට පත්වුනාවේ.
ඔබ ට්‍රෝජන් කාන්තාවො නාට්‍යය නිෂ්පාදනය කරන්නෙ යුද විරෝධී අදහස් ප්‍රකාශ කිරීමක් විදියට නම්: යුද්ධයක් නැති, යුද ජයග්‍රහණයෙන් උදම් අනමින් සිටින මොහොතක නැවත ට්‍රෝජන් කාන්තාවෝ කරළියට ගේන්නෙ ඇයි?
ඔන්න ඔතන තමයි ප්‍රශ්නය තියෙන්නෙ... යුරිපිඩිස් නමැති නාට්‍යයකරුවා මේ නාට්‍යය ලියන්නෙ ලංකාවෙ හමුදාවයි එල්. ටී. ටී. ඊ. සංවිධානයයි යුද්ධ කරනව දැකල නෙවෙයි. මේ නාට්‍යය රචනා වෙන්නෙ මිට වසර දෙදහස් ගණනකට පෙර. දැන් මේ නාට්‍යය නිදහස් වෙනව.
මොකෙන්ද? කාගෙන් ද? මේ නාට්‍යය කළේ එල්. ටී. ටී. ඊ. සංවිධානය වෙනුවෙන් කියල හිතපු අයගෙ ඔළු තුළ තිබුණු බැම්මෙන්. දැන් අපිට පුළුවන් ඒ අයට කියන්න පාට කණ්ණඩි දාල කලා නිර්මාණ දෙස බලන්න එපා කියල. ඔය විදියෙම අත්දැකීමකට මම මුහුණ දුන්න ‘ධවල භීෂණ’ නාට්‍යය කරපු වෙලාවෙ. මම ධවල භීෂණ නිෂ්පාදනය කළේ 1988 වසරෙ. 89 සැප්තැම්බර් මාසෙ වන විට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු වෙනත් සන්නද්ධ කණඩායම්වල පිරිස් පවා ඇවිත් මට කියල තියෙනව: ‘තමුන් ඔය පුටුවෙ වාඩිවෙලා ඉන්කොට අපේ සහෝදරයෙක් ඇවිත් තමුන්ගෙ ඔළු කට්ට පුපුරන්න ටි 56 අවියකින් වෙඩි තියාවි. ඒ නිසා කරුණාකරල නාට්‍යය නවත්තන්න.’ කියල. එදා ඒ පුද්ගලය පෙනී සිටියෙ වෙන නමකින්. අද ඒ පුද්ගලය වෙනත් නමකින් මේ සමාජයේ පෙනී සිටිනවා.
තෙලිජ්ජවිල මහා විද්‍යාලයේ මගේ නාට්‍යය පෙන්වන්න යන විට ඒ අය කිව්ව ‘බස් එකටත් බෝම්බ ගහල නාට්‍යය කණ්ඩායමත් මරනව’ කියල. මේ 89 වර්ෂයේ. එදා නාට්‍යය දර්ශනය පැවැත්වූයේ නැහැ. නමුත් මම පරාජය බාරගන්නත් කැමති නැහැ. ඒ නිසා මම කිව්ව ‘මම මේ වෙනුවට වෙන නාට්‍යයක් රංග ගතකරනව’ කියල. මොකද මගේ කණ්ඩායම මට වටිනවා. මට බැහැ ඒ අය බෝම්බයකට බිලි දෙන්න. ඒ නිසා මම එදා ‘මකරාක්ෂයා’වේදිකා ගතකළා. දකුණේ මෙවැනි ප්‍රතිචාරයක් ලැබුණට මේ කිසිඳු හිරිහැරයක් මට සහ මගේ කණ්ඩායමට උතුරෙදි වුණේ නැහැ. ඒකෙන් ඔප්පු වෙන්නෙ මොකක් ද? එදා දකුණේ හිටියෙ එල්. ටී. ටී. ඊ. සංවිධානයට වඩා භයානක සංවිධානයක් බව නේද? එල්. ටී. ටී. ඊ. සංවිධානය අපේ නාට්‍යය පස්සෙ එළෙව්වෙ නැහැ. නමුත් ඔවුන් අප නොතකා හැරියෙත් නැහැ. එතනත් අපිට විරෝධය ආව. නමුත් අපි ඝාතනය කරන බවට එදා ඔවුන් තර්ජනය කළේ නැහැ.
නමුත් ඔබ රටින් පලා ගියා...?
ඔව්... අවසානයේ මට සිද්ධ වුණා දකුණේ සන්නද්ධ ව්‍යාපාරයෙන් එල්ල වුණ තර්ජන හේතුවෙන් රටින් පිටුවහල් වෙන්න. මම නාට්‍යය නතර කරල ඉන්දියාවට ගියා. වසර එකහමාරකින් පසුවයි නැවත ලංකාවට ආවෙ. ඒත් කවුරුවත් කිව්වෙ නැහැ නාට්‍යය නැවත පෙන්වන්න කියල. මේ රටේ ජිවත් වෙන්නෙ ඒ වර්ගයේ මිනිස්සු. තමන් විසින් එළවපු මිනිස්සුන්ට අත වැනුවත් ඒ අය නැවත නොඑන්නෙ ඒකයි. ඒ මිනිස්සු යවපු විදියත් ඉතා ම භයානකයි. 83 අවුරුද්දෙ මෙළ ජනයා පිටුවහල් කරපු ආකාරයෙයි 89 අපි වැනි තවත් බෙහෝ පිරිස් පිටුවහල් කළ ආකාරයෙයි කිසි වෙනසක් මම දකින්නෙ නැහැ. ඒ මම ‘ධවල භීෂණ’ නාට්‍යය හරහා ලබාගත් අත්දැකීම්.
පසුව ඔබ නැවතත් ට්‍රෝජන් කාන්තාවෝ රංග ගත කරනවා...?
ඔව්... ඒකට හේතුව තමයි, ‘ට්‍රෝජන් කාන්තාවෝ’ නාට්‍යය නාට්‍යයක් විදියට රසවිඳින්න පුළුවන් වාතාවරණයක් ගොඩනැගුණෙ භීෂණ යුගයෙන් අනතුරුව යි. භීෂණ යුගයේ එක් එක් කණ්ඩායම් මේ නාට්‍යය දැක්කෙ තම තමන්ගෙ දැක්ම අනුව. ඔවුන් දාගෙන ඉන්න කණ්ණඩියට පේන විදියට. දැන් කාලය එලඹිලා තියෙනවා අර කුණු ගොඩවල් ඔක්කොම පැත්තකින් තියල නිවැරදි දෘෂ්ටියකින් ‘ට්‍රෝජන් කාන්තාවෝ’ දිහා බලන්න. මොකද දැන් අපි ඉදිරිපිට තියෙන්නෙ තුන් වන ලෝක යුද්ධය. මම අභියෝග කරනව දැන් පුළුවන්නම් මේ රණවිරුවො, යුද විරුවො ඔක්කෝ ම යවන්න ඒක නවත්වන්න. එහෙම ගියොත් මේ එකෙක්වත් ආපසු එන්නෙ නැහැ. අපි සතුටු වෙන්නෙ ඔවුන්ට ආපහු එන්න බැරිවෙන එක ගැන නෙවෙයි. මේ වෙන්න යන විනාශය ගැනයි අපිට කනගාටු. ඇප්ගනිස්ථානය, ගාසාතීරය, සහ ලෝකයේ වෙනත් රටවල්වල කෙරෙන ජන සංහාරයන් හරහා මතු වෙන්නේ ඒ අසුභ පෙර නිමිති. අපි යුද්ධෙ කියල දැක්කෙ, අත්වින්දෙ මේ රට තුළ තිබුණ යුද්ධය පමණයි. මේක ඇත්තට ම යුධයක් නොවෙයි. එකම රටක් ඇතුළෙ උපන් ජාතීන් දෙකක් අතර සිදු වුණ ගැටුමක්. එක ම රටක උපන් එක් ජාතියක් වෙතින් තවත් ජාතියකට වුණ අසාධාරණය ඉවසා සිටිය නොහැකි තැන මහා ජාතියට කතා කළ යුත්තේ මේ භාෂාවෙන් කියල ගත්තු තීරණයක් නිසා ඇති වුණ ගැටුමක්. දෙමළ කියල ජාතියක් ඉන්න බව මහා ජාතිය, එහෙමත් නැත්නම් සිංහල ජාතියට දැනෙන්නෙ මෙහෙම කතා කළොත් විතරයි කියන මට්ටමට ඔවුන්ගෙ මානසික මට්ටම වර්ධනය වුණා. හැත්තෑ එකේ කැරැල්ල එන්නෙත් මේ විදියට ම තමයි.
ඒ කැරැල්ල ඇති නොවෙන්න මේ රටේ තරුණ පරම්පරාවක් ඉන්නව කියල පාලක පන්තිය දැනගෙන හිටියෙ නැහැ. මම අප්‍රියෙල් 5 නැගිටීම වැරැද්දක් විදියට දකින්නෙ නැහැ. ඒක අසාර්ථක වුණා තමයි. නමුත් මේ රටේ තරුණ පරම්පරාවේ අනාගතය නොතකා හරින සමාජයකට, නොතකා හරින පාලක පංතියකට ඒක පෙන්වා දීම වැදගත්. අපි ඉතිහාසය ඇතුළෙ මේ වගේ වකවානු ගණනාවක් පසු කරගෙන ආවා.
දිල්ලි ගමන කොහොම ද?
දිල්ලියෙ අන්තර් ජාතික නාට්‍යය උළෙලට තෝරගත්තෙත් ‘ට්‍රෝජන් කාන්තාවෝ’ මේ තෝරා ගැනීම ඇතුළෙ එහි වෙසෙන අයට එල්. ටී. ටී. ඊ. සංවිධානය අදාළ වුණේ නැහැ. ඉන්දියාවෙ නාට්‍යය සහ රංග කලාව හදාරන පිරිස්, ඉන්දියාව ප්‍රමුඛ වෙනත් රටවල්වල නාට්‍යයවේදීන්, ඒ වගේ ම ඉන්දියාව ඇතුළෙ ඉන්න පුවත්පත් කලාවේදින් ආදි සියලු දෙනා ම මේ නාට්‍යය සම්බන්ධයෙන් කථිකාවක් ගොඩනැගුවා. දැන් ලංකාවෙ යුද්ධෙ පුස්කාල. ඒක දැන් පරණයි. ඒ නිසා දැන් අපේ නව ප්‍රවේශය තුන්වන ලෝක මහා යුද්ධය. මේ තත්ත්වය පිළිබඳ නොසිතුවොත් අපි සියලු දෙනා ම යම් මොහොතක වාඩිවෙලා ඉන්න පුටු උඩ, යන එන වාහනයේ, නිදි යහනේ හෝ වෙනත් ස්ථානයක මේ න්‍යෂ්ටික යුද්ධය නිසා අළු බවට පත්වෙලා තියේවි. ඒ නිසා තමයි යුරිපිඩිස් කිව්වෙ ‘යුද්ධයේ හැඩ රුව කොතන පැවතුනත් එක ම ය’ කියල.
නාට්‍යයේ අන්තර්ගතය කොහොම ද...?
‘ට්‍රෝජන් කාන්තාවෝ’ නාට්‍යයේ අන්තර්ගත වෙන්නෙ යුද්ධය නිසා අසරණ භාවයට පත්වුණ කාන්තාවන්ගේ ඛේදවාචකය. කාමුක හමුදා බලඇණි ලිංගිකත්වය මුල් කරගෙන ස්ත්‍රීන් තමන්ට ඇදුණ ලොතරැයියක් බවට පත්කරගන්නවා. ඒකට එරෙහිවයි මේ කාන්තාවො නැගී සිටින්නෙ.
යුරිපිඩිස් ප්‍රකාශ කළා වගේ ම නාට්‍යය ලියල වසර දෙකක් ඉකුත් වෙන්නත් කලින් ඇතෑන්ස් නගරය සම්පූර්ණයෙන් ම විනාශ වුණා. කලාකරුවකුගේ වගකීම වෙන්නෙ ‘ඉදිරි මාර්ගය වංගු සහිතයි’ කියල අනතුරු හැඟවීම. ඒක බෝඩ් ලෑල්ලක් ගැහුවට වඩා ප්‍රබල විදියට දැනුම් දෙන්න පුළුවන් කලාකරුවට පමණයි. ඒ නිසා මම අවංකව ම කියනව මේ නාට්‍යය නැවත නිෂ්පාදනය කිරීම කෙරෙහි මාව යොමු කළේ යුරිපිඩීස් කියල. ඒ අර්ථයෙන් තමයි වසර පහළොවකට පසුව ‘ට්‍රෝජන් කාන්තාවෝ’ නැවත වේදිකා ගතකරන්නෙ. මේ නාට්‍යය මගේ අනෙක් නාට්‍යය සියල්ලට ම වඩා විශාල නාට්‍යයක්. නළු නිළි ප්‍රමාණය විශාලයි. වේදිකා සැරසිලි විශාලයි. වේදිකා ආලෝක ලාම්පු ප්‍රමාණය විශාලයි. නාට්‍යය තාක්ෂණය අතිනුත් විශාල වෙනස්කම් රාශියක් සහිතවයි මේ නාට්‍යය මීට වසර පහළොවකට පෙර මම නිර්මාණය කළේ.
මේ වන විට ලාංකීය භූමියේ සැබැ කලාවක් පවතී ද? පවතී නම් ඒ කොතැන ද? කෙසේ ද? එසේ නොපවතින්නේ නම් ඒ මන් ද? කලාකරුවන් සැබැ කලාකරුවන් නොවන්නේ මන්ද? යන ගැටලු රාශියක් කලා ක්ෂේත්‍රයේ පවතිනවා.
සැබෑ කලාව කියන්නෙ කලා නිර්මාණය විසින් ඇතිකරවන/කරන ලද්දක්. අනෙක් පසින් ප්‍රේක්ෂකයෝ. මේ සජිවි කලාව රැකගන්නෙ සහ පවත්වගෙන යන්නෙ පණ ඇති මිනිස්සු. මේකට මම පුංචි උදාහරණයක් කියන්නම්.
මම එංගලන්තදි ‘හෙන්රි ද ෆෝර්ත්’ නාට්‍යය නරඹන මොහොතෙ නාට්‍යාගාරයේ වාඩිවි සිටින විට එම නාට්‍යයේ ප්‍රධාන නළුවා රිචඩ් හැරී ඉල්ලීමක් කළා. මේ නාට්‍යය අවසන් වන මොහොත. මොකක් ද ඉල්ලීම? නාට්‍යය අවසන් වු පසු තම තමන්ගේ ආසනවල ඉතා සුළු මොහොතක් රැඳෙන්න කියල. ඔහු කතාවක් පවත්වමින් ...‘එංගලන්තය කියන්නෙ නාට්‍යය කලාව. නාට්‍යය කලාව කියන්නෙ එංගලන්තය. එංගලන්තය නැති වූ මොහොතක නාට්‍යය කලාව නැතිවනවා සේ ම නාට්‍යය කලාව නැති වූ මොහොතේ එංගලන්තය ද නැතිවේවි.’ කියල කිව්ව. මෙන්න මේක තමයි දේශප්‍රේමය. අපි මේ කියන බයිල නෙවෙයි දේශප්‍රේමය කියන්නෙ. දේශප්‍රේමය කියන්නෙ උත්තරීතර කලාව රැකගැනීම. මහා කවි ශේක්ෂ්පියර්ගෙ ඉඳල තමයි මේ සම්ප්‍රදාය ගොඩනගල තියෙන්නෙ.
වර්තමාන නාට්‍යය කලාව...?
ආවට ගියාට නාට්‍යය කරන, කරන්න වැඩක් නැති නිසා නාට්‍යය කරන, කිසිඳු අත්දැකිමක් නැති, පලපුරුදුකමක් නැති, ප්‍රගුණ නොකරන, අධ්‍යනය නොකරන සමාජයක් තුළ නෙවෙයි ඒ නාට්‍යය කලාව පවතින්නෙ. ඒ කියපු වාක්‍යය ටික මට තාම මතකයි සහ කවදාවත් අතක වෙන්නෙ නැහැ. නාට්‍යය කලාව පරිහරණය කරන මහා දැනුම ලබා දුන්නෙ මහාචාර්ය සරච්චන්ද්‍ර. ඒ වකවානුව තුළ අපි ඇසුරු කරපු ඉතා ම විදග්ධ නාට්‍යයකරුවො අතර: දයානන්ද ගුණවර්ධන, හෙන්රි ජයසේන, සුගතපාල ද සිල්වා, ධම්ම ජාගොඩ, ගුණසේන ගලප්පත්ති යන හැමෝ ම සුවිශේෂයි. මේ හැම දෙනා ම අපි ඇසුරු කළා. මේ හැමෝගෙම දැවැන්ත නිර්මාණ එකිනෙකට නොපරදින නිර්මාණ. අද ආප්ප බානව වගේ කරන්නෙ මොනව ද? ඒව විකට ජවනිකා. එක නාට්‍යයක විකට ජවනිකාවෙ අනු පිටපත තවත් නාට්‍යයක වෙනත් නමකින් වෙනත් නළු නිළියො පිරිසක් පෙනී සිටිනවා. නමුත් එදා ඒ විදියට ප්‍රගුණ කරපු කලාව ඇතුළෙ තමයි අපේ දැනුම වර්ධනය වුණේ.
අපි වින්දන තත්ත්වය වර්ධනය කරගත්තෙ රසිකයො විදියට. ඒ හැම නාට්‍යයකරුවකු ම තමන්ගෙ යුතුකම සහ වගකීම ඉෂ්ට කළා. මරාසාද් නාට්‍යෙය් තිරය විවෘත වුණාට පස්සෙ මම ශාලාවෙන් ඉවතට යන්නෙ අලුත් නාට්‍යයක් කරන්න අලුත් නළු නිළි පිරිසකුත් ඒ නාට්‍යය ඇතුළෙන් ම හොයාගෙන. ඒක තමයි අපි පසු කරපු අතීතය. අපිට පාත්වුණ ලොකු ම හෙණය තමයි ඒ සියලු ම කලා ගුරුවරු අපිට අහිමි වීම. අපේ වේදනාව කියන්න හිටියෙ ඒ අය විතරයි. ඒ අය අත්දැකීමෙන් පරිපූර්ණ යි. කෘතහස්ත යි. නළුවෙක් මෙහෙය වනවිට ඔවුන් ඒ පිළිබඳ දැඩි අවධානයක් යොමු කළා. මම අභියෝග කරනව අද ඔය විකට ජවනිකා ඉදිරිපත් කරන අය රඟපාන්නෙ නැහැ කියල. මේ අය කරන්නෙ රුපවාහිනි කැමරාව ඉස්සර කරපු දේම තමයි. පුහුණුවීම්වලට එන්නෙ නැහැ. චරිතය වෙනුවෙන් කැපවීමක් නැහැ.
ඔබටත් ටෙලිනාට්‍යය නිර්මාණය කරන්න ආරාධනා ලැබුණ කියල ආරංචි වුණා...?
ඔව්... මගෙන් සමහර අය අහනව ‘ඇයි ධර්මසිරි ඔයා ටෙලි නාට්‍යයක් කරන්නෙ නැත්තෙ?’ කියල. අපිට අර ලැබුණු පුහුණුව අනුව අද පවතින විදියෙ ටෙලිනාට්‍යය කලාවක් කරන්න බැහැ. අපි පෙනි සිටින්නෙ සැබැ කලාව වෙනුවෙන්. මම සිනමාකරුවෙක් බවට පත්වෙන්නෙත් මේකෙම දිගුවක් විදියට. මටත් තවම රඟපාන්න පුළුවන්. මම ටෙලි නාට්‍යයක් කරනව කිව්වොත් ලොකු ලොකු සමාගම්වලින් මුදල් යොදවයි. නමුත් කලාව කියන්නෙ සල්ලි නෙවෙයිනෙ. ඒක විශාල වගකීමක්. අපි ඒ වගකීම් පිළිබඳ අවබෝධය ලබාගන්නෙ පාසල් වියේ පටන්. ඒ කියන්නෙ 70 දශකයේ ඉඳල. මේ 2000 දශකය. මේ දක්වා අපි ඒ යුතුකම සහ වගකීම ඉෂ්ට කරල තියෙනවා. අපිටත් මුදල් අපහසුතා එමට තියෙනවා. නමුත් කලාව නිගමනය කරන්නෙ සල්ලිවලින් නෙවෙයි. දැන්මේ විකට ජවනිකා රඟපාන අයට නාට්‍යය දර්ශන දහයක් රඟපැවම කාර් එකක් ගන්න පුළුවන්. නමුත් මගේ නාට්‍යයවල රඟපාන හැම ශිල්පියකුට ම ගරු කරනවා. මොකද මට එවැනි විශාල මුදලක් ගෙවීමට නොහැකියාව තිබිය දී පවා මා සමග එකට ඉන්නවට. හතළිස් පහක් පමණ ඉන්න කණ්ඩායමක් සමග මම නාට්‍යයක් ප්‍රදර්ශනය කරල ලබන ආදායමත් තුන් දෙනෙක් ඉන්න නාට්‍යයක් ප්‍රදර්ශනය කරල ලබන ආදායමත් අතර කොයිතරම් පරතරයක් තියෙනව ද?
මගේ නාට්‍යයෙ හතළිස් පස්දෙනාට මුදල් බේරල මම බොහෝ වෙලාවට හිස් අතින් එනව. නමුත් මට ඒක සතුටක්. මොකද මම කලාකරුවෙක් විදියට මගේ වගකීම ඉටු කරපු නිසා. ඒ වගේ ම නාට්‍යය ශාලාවට ගොඩවෙන මනුස්සයකුට, දරුවෙකුට මුදල් ගෙවන්න බැරි අවස්ථාවලදි අපි ඒ අය නාට්‍යය ශාලාවට ඇතුල් කරගෙන තියෙනවා. මොකද අප විසින් ගොඩනගන ඊළඟ කලාකරුවා ඔහු විය හැකියි. ධර්මසිරි කියන මම කුඩා කාලයේ නාට්‍යයක් බලන්න සල්ලි නැතුව හෝල්එකේ දොරකඩ හිටගෙන දොර අස්සෙන් බලාගෙන හිටිය නම්, ඒ මොහොතෙ මාව කවුරු හරි ඇතුළට දැම්ම නම්, ඒ මනුස්සය මට දෙවියෙක් වෙනවා. මට එහෙම දෙවි කෙනෙක් වුණ නාට්‍යයවේදියෙක් තමයි සුගතපාල ද සිල්වා. මොකද... අපි ලුම්බිණියෙ දොර අස්සෙන් නාට්‍යය බලන කොට සුගත් අයිය ඇවිල්ල කිව්වෙ මොකක් ද? ‘‘සල්ලි නැතිවුණාට කමක් නැ ඇතුළට ගිහින් බලපල්ල’ කියල. ඒ තමයි ‘නිල් කට්රොල් මල්’ නාට්‍යය. ඒ තමයි එදා හිටපු ප්‍රවීණ නාට්‍යයකරුවන් අපිට දැනුම ලබා දුන්න විදිය. අද ඉන්න නාට්‍යයකාරයො එහෙම කරනව ද? ‘මොකද තමුසෙ ඔතන කරන්නෙ? ටිකට් ගත්තෙ නැත්නම් යනව මෙතෙනින් එළියට’ කියල කියන නාට්‍යකාරයො තමයි අද ඉන්නෙ. ඒ වෙළෙන්දො. ඔවුන් මනුස්සයන්ට සලකන්නෙ තිරිසනුන්ට වගේ.
මානව ගුණය ගොඩ නැගුණෙ කලාව ඇතුළෙ. මනුස්සකම ගොඩ නැගුණෙ කලාව ඇතුළෙ. අපි අතට ගත්ත හැම නාට්‍යයකින් ම අපි ඉගෙනගෙන තියෙනවා. අපි රඟපාපු හැම චරිතයකින් ම ඉගෙනගෙන තියෙනවා. මකරාක්ෂයා නාට්‍යයේ ‘ලාන්ලොට්’ මකර මරල එන කොට කියන වචන මම කිව්වෙ නාට්‍යය පෙළේ තියෙන වචන නිසා ම නොවෙයි. ඒ වචනවලින් ජිවිතයට යමක් ලබාගන්න පුළුවන් නිසා. තවත් කෙනෙකුගෙ ජිවිතයට යමක් ලබා දෙන්න පුළුවන් නිසා. නාට්‍යය කලාව ලෝකයේ ම පවත්න්නෙ ඒ නිසා. රිචඩ් හැරිස් කිව්වෙ මෙන්න මේ යථාර්ථය.
වර්තමානයේ අපේ රටේ ව්‍යාපාරිකයො ටිකකුයි නාට්‍යයකාරයොයි කියාගන්නා මංකොල්ලකාරයො පිරිසක් මිනිස්සුන්ගෙ මුදලු විතරක් නෙවෙයි බුද්ධියත් පැහැර ගනිමින් සිටිනවා. මිනිසුන්ගේ බුද්ධියට නිග්‍රහ කරමින් සිටිනවා. මේ තත්ත්වය ගොඩනැගුවෙ අද ඉන්න තක්කඩියො විතරක් නෙවෙයි. ඉතාම විශිෂ්ටගනයේ නාට්‍යයකරුවොත් මේකට වගකියන්න ඕන. ඔවුන් වසරින් වසර, නිර්මාණයෙන් නිර්මාණය හරහා මේ තත්ත්වය ගොඩනැගුවා. අපේ පරම්පරාවෙ සමහර අයත් මේ වැරදි සාරය උරාගත්තා. නමුත් මේ අයට දොස් කියල වැඩක් නෑ.
මෙතන හොඳ, දක්ෂ අය, තරුණ අය ඉන්නවා. නමුත් ඒ අයට ප්‍රේක්ෂකාගාරයක් නැහැ. අපිට ප්‍රේක්ෂකාගාරය නැති නිසා දොස් පවරනව නෙවෙයි. අපිට ඕන නාට්‍යය කලාව උසස් නාට්‍යය කලාවක් කරන්න.
නමුත් එබඳු නාට්‍යය නරඹන අයගෙන් ප්‍රේක්ෂකාගාරය පිරී ඉතිරී යනවා...?
නැවතත් හිතන්න... 1985 ‘සාජන්ට් නල්ල තම්බි’ ආව. මේ නාට්‍යය ගොඩනගන්න හැදුවෙ රාජ්‍යය බලයත් එක්ක. නව විවෘත ආර්ථිකයත් එක්ක, මුදල් අතපතගාන දූෂිත මංකොල්කරුවන්ගෙ විනෝදය සඳහා කලාව භාවිතයට ගන්න සූදානම් වුණා. ඒ විදියට භාවිතා කළේ විදග්ධ කලාව නෙවෙයි. මේ හේතුව නිසා එතෙක් ගොඩනගා තිබු කලාව හුදු හාස්‍යය පමණක් පදනම් කරගත් නාට්‍යයවලට මූලිකත්වය දෙන්න පටන්ගත්තා. මේ නාට්‍යයවලට සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලැබුණා. රත්තරන් පදක්කම් දුන්නා. එහෙම දීල උස්සන්න හැදුවා.
නමුත් උස්සන්න පුළුවන් වුණා ද? බැරි වුණා. අද මේ එන රැල්ලට රාජ්‍යය අනුග්‍රහය නොලැබුණත් ඒ තුළින් මනුෂ්‍යාට අත්පත් කරල දෙන්නෙ විශාල විනාශයක්. මේකත් එක්ක තමයි තක්කඩින්ට, කුඩුකාරයන්ට, එතනෝල්කාරයන්ට සහ මංකොල්ලකාරයන්ට හොඳ අවස්ථාවක් උදාවෙන්නෙ. මේ කාලකණ්ණින්ට ඕන හිනාවෙන්න විතරයි. හැබැයි ඔවුන් හිනා වෙන්නෙ තව පුද්ගලයකුගෙ විපත දිහා බලල; තවත් පිරිසකගෙ විපත දිහා බලල. ඒකට කරන්න තියෙන්නෙ මේ පවතින දේශපාලන භුමිකාවල පඩංගු වාක්‍යය ටිකක් දාල ඒක තමයි ආණ්ඩු විරෝධය කියල පෙන්වන්න. මෙහෙම ආණ්ඩු පෙරළන්න පුළුවන් කියල හිතනව නම් කලාවෙන් මම හිතනව ඒක සදය උපහාසයක් සහ විහිළුවක් බවට පත්වෙනව කියල. ඒ නාට්‍යය නරඹන අයට දොස් කියන්න අපිට අයිතියක් නැහැ. මේ කියන්නෙ අපේ නාට්‍යය ඉතා හොඳ නාට්‍යයක් කියන එක නෙවෙයි.
නමුත් ඉන්දියානු නාට්‍ය්‍ය උළෙලෙ මේ නාට්‍යය පෙන්වනකොට ඒක අපිට කොච්චර ආඩම්බරයක් ද? අපි මේ නාට්‍යය ඒ රටට අරන් යන්නෙ කොහොම ද? මේක ශ්‍රී ලංකාවෙ නාට්‍යයක් යන නාමයෙන්; ලේබලයෙන්. මේ නාට්‍යයේ ප්‍රමිතිකරණය අපි ලබාගත් දැනුමේ ප්‍රතිඵලයක්. දැන් සිද්ධවෙන දේවල් හරියට පෙකණි වැල කැපුව වගේ. කලාවේ ඓතිහාසික විකාශනය පිළිබඳ කිසිඳු අවබෝධයක් නෑ. මම අද නාට්‍යයක් ලියනවා. හෙට මම ප්‍රොඩියුසර් කෙනෙක්. මේක පිටුපස දැවැන්ත ව්‍යාපාරික හස්තයක් තිබෙනවා. ඔවුන්ට අවශ්‍යය මේ විෂබීජය ජනතාවට බලෙන් එන්නත් කරන්න. අපි නල්ලතම්බිට දොස් කියන්නෙ නැහැ. අපි දන්නව ඒ විෂබීජය එන්නත් කරන්න හැදුවෙ රාජ්‍යය. නමුත් රාජ්‍යය ම බංකොලොත් රාජ්‍යයක් බවට පත්වුණා. හැබැයි මේක බංකොලාත් නැහැ. මේ ඉෂ්ට කරමින් සිටින්නේ රාජ්‍යයේ අවශ්‍යයතාවය යි. මේ වෙලාවෙ දකින්න ලැබෙන වෙනස ඒකයි. නමුත් අපිට පුළුවන් ඒ ප්‍රේක්ෂකයට ආරාධනයක් කරන්න; ආයාචනයක් කරන්න.
මොකක් ද ආරාධනාව? මොකක් ද ආයාචනය?
ගුරුවරුන්ට, පාසල් දරුවන්ට, විවිධ ආයතනවල සේවය කරන අයට සහ පොදුවේ හැමෝට ම අපි මේ ආයාචනය කරනවා. ඔබ ඔය නාට්‍යය නරඹන අතර ම විවේක පාඩු තියෙන වෙලාවක, මේ රටේ කිසියම් ඓතිහාසික අවස්ථාවක නිර්මාණය කළ ‘ට්‍රෝජන් කාන්තාවෝ’ නාට්‍යය නරඹල ඔබ නැරඹු අනෙක් නාට්‍යය හා සසඳා බලන්න කියල. ඒ විතරක් නෙවෙයි, ඓතිහාසික තත්ත්වයන් හදාරමින් වර්තමාන තත්ත්වයට ගැලපෙන ආකාරයේ නාට්‍යය නිපදවන්නන් වටා රොක්වෙන්න. මේකට කරන්න පුළුවන් එක ම අභියෝගය එපමණයි. අපේ නාට්‍යය බලන්න රඟහල්වල දොරටු කඩා බිඳගෙන සෙනඟ නොඑන්න පුළුවන්. නමුත් අපි මහන්සි වෙනවා. ඒ නිසා අපි මේ රට ඒකීය ලංකාවක් කියන කාරණය කලාවෙන්, මගේ කලා මාධ්‍යය වෙන නාට්‍යය කලාවෙන් ඔප්පු කර අවසානයි. ඒ ඒකීය ලංකාවේ යාපනයත් එක කොටසක්. මගේ භූමියේ එක කොටසක්.
එහෙම නම් භූමිය වෙන්කරගන්න දඟලන, ඊළාම් රාජ්‍යය ගොඩනගන්න දඟලනව නම් ඔහුට එල්ල කළ හැකි පළමු ප්‍රහාරය නම් කලා කෘතියක් අදාළ ස්ථානයේ තැන්පත් කිරීම. ඒ නිසා අපි මේ මවුබිම තුළ මොන මොන ප්‍රහාරවලට ලක්වුණත් අපේ ක්‍රියාවලිය ඇතුළෙ තමයි අපි ඇගයීමකට ලක් වෙනවා නම් ලක්විය යුත්තේ. හැබැයි අපිට කියන්න තියෙන්නෙ අපි ලබාගත් දැනුම මත තව තවත් නිර්මාණ කිරීමේ අවශ්‍යයතාව අපිට තිබෙනවා. ඒ අවශ්‍යයතාව සපුරා ගැනීම සඳහා මේ මොහොතේ අපිට අපහසුකම් රාශියක් තිබෙනවා. ඒ අපහසුකම් අතරෙ ප්‍රධාන වෙන්නෙ... කොහොමද නාට්‍යය නිෂ්පාදනයක් සඳහා අවශ්‍යය පිරිවැය හොයාගන්නෙ කියන එක. අපි නාට්‍යය කලාව වෙනුවෙන් යම් මෙහෙයක් කළා කියල හිතන, යම් ස්වේච්ඡා සංවිධාන, ආයතන හෝ කණ්ඩායම් අපිට උපකාර කරනව නම් අපිට තව දුරටත් නිර්මාණකරණයේ යෙදෙන්න පුළුවන්.
සිනමා කර්මාන්තය අත්හැරල දැම්ම ද...?
හුඟක් අය මගෙන් අහනව ‘ඇයි ෆිල්ම් එකක් නොකරන්නෙ?’ කියල. චිත්‍රපටයක් කරන්න බැරි නිසා ඉන්නව නෙවෙයි. මම වඩාත්ම ආදරය කරන කලාව නාට්‍යය කලාව. ඒ සජීවි කලාවෙන් මම බොහෝ දේ ලබාගන්නවා. සිනමාවට අරගෙන යන්නෙත් නාට්‍යය කලාවෙන් ලබාගත් දේ ම යි. දැනට වුනත් සිනමාව තුළ යමක් කිරීමේ නොහැකියාව නැතුවා නොවෙයි. ප්‍රශ්නය ඒ සඳහා මුදල් නොමැතිකම. ඉතිහාසයේ කුණු බක්කි හාරගෙන නිර්මාණ කිරීම සිනමාව නෙවෙයි. මේකට හොඳ ම පිළිතුර දුන්නෙ මහාචාර්ය සිරි ගුනසිංහ මහත්මය. ඔහු කිව්වෙ ‘ඉතිහාසය රෙපෙයාර් කරන්න බැහැ’ කියල. යම් කෙනෙක් හිතනව නම් ඉතිහාසය අලුත්වැඩියා කරන්න ඕන කියල. පැහැදිලිව ම ඒ පුද්ගලයා උම්මත්තකයෙක්.
නමුත් ශේක්ෂ්පියර් අරගෙන බලන්න. ඔහු කලා නිර්මාණ කළේ එංගලන්ත ඉතිහාසය පුරා ම හිටපු රජවරු අරගෙන. අපිට ඒ නිර්මාණ එකින් එක අරගෙන බලන විට පැහැදිලි වෙන එක කාරණයක් තමයි, පරිහානියට පෙර එළියට එන්නෙ අමනකම සහ උද්ධච්චකම. ‘ජුලියස් සීසර්’, ‘මැක්බත්’, ‘හෙන්රිද ෆෝර්ත්’ මේ සදහා හොඳම උදාහරණ. මේ හැම දෙනා ම දරුණු උම්මත්තකයො. මේ උම්මත්තක භාවය වැලඳෙන්නෙ පරිහානියට පෙරාතුව යි. වර්තමාන තත්ත්වයත් ඒ පරිහානියට පෙර තත්ත්වය ම තමයි. අපි අකමැති උනත් පිළිගත යුතු පරම සත්‍යය තමයි විලියම් ශේක්ෂ්පියර් නාට්‍යය කලාව තුළින් සමාජ ගතකළේ.
බර්ට්‍රෝල් බෙෂ්ට් මොනවද කිව්වෙ? ‘අන්තිම දුබලයො පාලකයො බවට පත්වෙනවා’ කිව්වා. යක්ෂාගමනයේ බ්‍රෙෂ්ට්ගෙ දැක්ම එයයි. අපි හිතුවට ඔවුන් ප්‍රබලයො කියල. ඇත්තට ම ඔවුන් අන්තිම දුබලයො. මේ දුබලයො අවසානයේ දි ජනතාව තළල, පෙළල පාලකයො බවට පත්වෙනවා. අත්තනෝමතික පාලකයො බවට පත්වෙනවා. තනි මිනිහෙක් තමන්ගෙ බලාධිපත්‍යයට ජනතාව ඩැහැගැනීම ෆැසිස්ට්වාදි ප්‍රවණතාවයක් නෙවෙයි නම් වෙන මොකක් ද?
මකරාක්ෂා නාට්‍යය ලියපු ‘එව්ගිනි ෂ්වාත්ස්’ කිව්වෙ මොකක් ද? ‘නරකට එරෙහිව නොනැගිටින හොද මිනිස්සු හිටියට වැඩක් නැහැ.’ කියල. අපි මේරට ඇතුළෙ අත්දකිමින් සිටින්නෙ මේ යථාර්ථය නෙවෙයිද? හිතන්න... අපි මහා බුද්ධිමතුන් කියල හිතපු අය දන්නෙ ඉංග්‍රීසි විතරයි. ඉංග්‍රීසි දැනගෙන හැසිරෙන විදිය දැක්කම අපි ඉංග්‍රීසි නොදැන හිටියට කමක් නෑ කියල හිතෙනවා.
ඇත්තට ම මේක භාෂාවේ ප්‍රශ්නයක් නෙවෙයි මනුෂ්‍යත්වයේ ප්‍රශ්නයක්. මම මේකට අලුත් කොටසක් ඉදිරිපත් කරන්නම්. වර්තමානයේ තිබෙන්නෙත් ව්‍යවස්ථාවේ අර්බුදයක් නෙවෙයි. පාලක පංතියේ අශීලාචාරකම. ඒකෙන් කෝටි සංඛ්‍යාත ජනකායක් අපා දුක් විඳිනවා. මේ සියල්ලමත් අපි ඉගෙන ගත්තෙ කලාවෙන්. මේ හැම එකක් ඇතුළෙ ම එක ඇත්තක් තියෙනවා. හැම උසස් කලා නිර්මාණයක් ඇතුළෙ ම සාකච්ඡා වුණේ ඒ ඒ රාජ්‍යයන් තුළ තිබුණු අමිහිරි අත්දැකීම්. ඊට පස්සෙ එන්නෙ මොනවද? ගැටුම්, තරුණයන් ඝාතනය කිරීම්, ජනසංහාර, විශ්වවිද්‍යාල සිරගෙවල් බවට පත්කිරීම්. එදා වුණෙත්, අද වෙන්නෙත් අනාගතයෙදි වෙන්නෙත් මේ ටික ම යි.
ජයසිරි අලවත්ත - m.j.alawatta@gmail.com