ඒ අතර මට අවශ්‍ය වූයේ හැකි ඉක්මණින් ප්‍රමාණවත් මුදලක් උපයාගත් වහාම බැංකු රැකියාවෙන් ඉවත්ව මගේ සදාතනික සිහිනය වූ ලේඛන කලාවෙහි නිරතවන්නටය. මේ සියල්ල සමබරකොටගෙන ජීවිතය ඉදිරියට ගෙනයාම කිසිදු අයුරකිනුදු සුකර කාර්යයක් නොවන බව මම අත්‍යන්තයෙන් දැන සිටියෙමි.එසේ හෙයින් සිටි බැංකුවෙන් මගේ පත්වීම් ලිපිය ලැබෙන තෙක් මම නිවසෙහි කාලය ගතකලේ මහත් නොඉවසිල්ලකිනි.
සතිදෙකකට පමණ පසු බැංකුවට බඳවා ගැනෙන නවක සේවකයින් විසින් සම්පූර්ණ කලයුතු මුද්‍රිත විස්තර පත්‍රිකාවක් මා නමට තැපෑලෙන් ලැබිණි. මුලුතැන්ගෙය මධ්‍යයේවූ අඩි හතර හතර ප්‍රමාණයේ ලී මේසය මත තබාගත් එළවළු කපන ලෑල්ලක මගේ මව දිවා ආහාරය උදෙසා බණ්ඩක්කා කපමින් පසුවූවාය. මම ඈ ඉදිරියේ වූ අනෙක් අසුනෙහි හිඳ බැංකුවෙන් ලද විස්තර පත්‍රිකාව බොහෝ උනන්දුවෙන් කියවමින් සිටියෙමි.
"මොනවද ඔයා ඔය ඔච්චර උනන්දුවෙන් කියවන්නෙ?" මගේ මව හිස ඔසවා මදෙස බලා විමසූයේ වමතින් ලෑල්ලට තබා තෙරපාගත් බණ්ඩක්කා කරල් කිහිපය දකුණතින් ග්‍රහණය කොටගත් තියුණු පිහියෙන් කිසි කිසි ගා කපමිනි.
"ආ..මේක මේ සිටි බැංකුවෙං එවපු විස්තර පත්‍රිකා වගයක්.අළුතෙන් බැංකුවට බැඳෙන අය මේ විස්තර ලියල දෙන්න ඕන. මෙතන තියනව මයෙ හිතේ කොළ පණහකටත් වැඩිය. මොනවට මේ හැටි විස්තර ඉල්ලනවද මට තේරෙන්නෙ නෑ. මම මේ හරියට බැංකුවෙ සභාපතිහෙ දුව බඳින්ට ඇහුව වගේනෙ මේ මිනිස්සු මේහැටි විස්තර අහන්නෙ. මේ බලන්න. මෙතන පස්වෙනි පිටුවෙ අහනව මෙහෙම. ඔබගේ මව උපත ලද ස්ථානය සඳහන් කරන්න. ඒ විස්තර මොන කෙහෙල්මලකටද බැංකුවට කියල මටනම් තේරෙන්නෙ නෑ අම්මෙ."
"ම්ම්ම්..මටත් නම් හිතාගන්න බෑ තමයි" කපන ලද බණ්ඩක්කා පෙති ඇතිළියකට දමමින් මගේ මව පැවසුවාය. "ඒත් ඒ ප්‍රශ්නේට උත්තරේ නම් ලහෝර් වල ඉඳල දිල්ලියට එන අතරමඟදි.ඔයා දන්නව නේද අර පන්ජාබිභාග් තියෙන්නෙ. අන්න එහෙ තාවකාලික කූඩාරමක තමයි මම ඉපදුනේ."
"ඈ? ඔය ඇත්තමද? මම මේ වෙනකල් එහෙම දෙයක් දැනගෙන හිටියෙ නෑනෙ" මම ඇය දෙස විස්මයපත්ව බලාසිටියෙමි.
දැනට පකිස්තානයට අයත් ලාහෝර් නගරයේ පදිංචි කරුවන්වූ මගේ මවගේ දෙමව්පියන් 1947 වසරේ අගෝස්තු මස සිදුවූ බ්‍රිතාන්‍ය ඉන්දියාව, ඉන්දියාව සහ පකිස්තානය ලෙස ස්වාධීන රටවල් දෙකකට බෙදා වෙන්කිරීමේදී දිල්ලි නුවරට පළා ආවෝය. එසේ පැමිනි ලක්ෂ සංඛ්‍යාත සරණාගතයින් මුල් දින කිහිපය ගත කලේ තාවකාලික මඩු කූඩාරම් වලය. වර්තමානයෙහි දිල්ලියේ ධන කුවේරයින් බොහෝ දෙනෙකුගේ සුඛෝපභෝගී මන්දිර පිහිටි පන්ජාබිභාග් ප්‍රදේශය එදවස ජන ශූන්‍ය මුඩුබිමක් වූ අතර පකිස්තානයෙන් පැමිනියවුන් බොහෝ දෙනෙකුගේ මුල් නවාතැන්පොළ වූයේ එහි ඇටවූ තාවකාලික කූඩාරම්ය. මගේ මවගේ දෙමව්පියන් එසේ පකිස්තානයෙන් පලා ආවුන් බව දැන සිටියද ඇය උපත ලද්දේ එවන් කූඩාරමක බව මම මෙතෙක් දැන නොසිටියෙමි.
"ම්ම්ම්..හරියටම කිව්වොත් අපේ තාත්තා මට පස්සෙ කාලෙක පෙන්නුව ඒ කූඩාරම තිබ්බ තැන. දැන් ඔය අර මොකක්ද ෆිල්ම් හෝල් එකක් තියෙන්නෙ අන්න එතනට පොඩ්ඩක්...."
මම සුරත ඔසවා ඇගේ කතාව නතර කලෙමි. "ඔය විස්තර ඔක්කොම ලියන්ට මේකෙ ඉඩ නෑ අම්මෙ..මම ලියනව දිල්ලිය කියල. ඉවරනෙ කතාව. "
"හරි හරි එහෙම ලිව්වම ඇතිය කියල ඔයාට හිතෙනවනං එච්චරයි. මම මේ කිව්වෙ හරියටම විස්තරේ ලියන්ට ඕන නං කියලයි."
ගිම්හාන කාලය තවමත් හරිහැටි ලඟානොවුවද මේ වන විට දිල්ලියේ උෂ්ණත්වය උදෑසන එකොළහ පමණ වනවිට සෙන්ටිග්‍රේඩ් අංශක හතළිහ ඉක්මවා නොගියේ එහෙමත් දවසකය.අධික උෂ්ණත්වය හේතුකොටගෙන නිවසින් බැහැරව යාමට මැළිවූ මම දවස ගෙවා දැමූයේ දිනපතා සවස දුරකථන ගාස්තු අවමවන හයේ කණිසමෙන් පසු අනන්‍යාගෙන් නොවරදවා ලැබෙන ඇමතුම බලාපොරොත්තුවෙන් සහ එතෙක් මගේ පොත් රාක්කයෙහි වූ බොහෝ කලකට පෙර මම මිළදීගත් නවකථා කිහිපයක් කියවමිනි.
එසේ නැතහොත් මම මුළුතැන්ගෙට ගොස් නිතර දෙවීලේ එහි වැද කුමන හෝ ආහාරයක් පිළියෙල කිරීමෙහි නිරත මව හා අල්ලාප සල්ලාපයෙහි යෙදුනෙමි. මගේ පියා බොහෝ විට නිවසෙහි නොසිටි අතර ඔහු ආගිය තැනක් දත් හෝ ඒ ගැන උනන්දුවූ කිසිවකු හෝ නොවූහ.
"මේ ෆෝම් එකේ ඔයා පුරවන්ට ඕන නේද කොහෙද ඔයා වැඩ කරන්ට කැමති බ්‍රාන්ච් එක කියල?" මගේ මව විමසුවාය.
"ඔව්……." මම ඉවත බලාගෙන පිළිතුරු දුනිමි.
"ඔයා ලිව්වෙ දිල්ලිය කියල නේද?" ඇය යළිත් විමසුවාය.
මම කිසිවක් නොපැවසූයෙමි.
"මොකෝ කතා නැත්තෙ? දිල්ලි කියල නේද ලිව්වෙ? "
"හරි හරි... මම තවම ඒ හරියට ආවෙ නෑ. ඒ ප්‍රශ්ණෙට ආහම මම දිල්ලි කියල ලියන්නංකො"
එවිටම සාලයෙන් මුළුතැන්ගෙට ඇතුළුවන දොර අසල කුඩා රවුම් කනප්පුවක් මත වූ දුරකථනය හඬ නඟන්නටවිය. ඉරිදා දිනයෙහි දුරකථන ගාස්තු මධ්‍යාහ්න දොළහේ සිට හරි අඩකින් අඩුවන බැවින් ඒ අනන්‍යා බවට මට කිසිදු සැකයක් නොවීය.
මම වහා එහි ගොස් රිසීවරය එසවීමි "හලෝ...."
"හා...ලෝ..ම....ගේ සූ..කි..රි..බෝ..ලේ.." අනන්‍යා අකුරින් අකුර අදිමින් රිද්මයකට ගායනා කළාය.
"ඔහේගෙ ගරුකටයුතු මෑණියන් වහන්සෙ නම් ෂුවර් එකටම ගෙදර නෑ වගේ නේද? හෙහ්,හෙහ්, " මම ඇසුවෙමි. මම හැකිතරම් හඬ පහත් කොට කථාකලේ මගේ මවගෙ දෑත් යාන්ත්‍රිකව බණ්ඩක්කා කැපීමෙහි නිරත වූවද ඇගේ සම්පූර්ණ ආධානය යොමුවී ඇත්තෙ මෙදෙසට බව මම සහතික ලෙසම දන්නා බැවිනි.
"මෑණියන් වහන්සේ නිවසෙහි නැත. මෑණියන් වහන්සේ නිවසෙහි නැත.. එතුමී ගියා බඩු ගන්ට... හෙට අපේ වර්ෂා පිරප්පු උත්සවේනෙ. අන්න ඒකට"
"වර්ෂා මොකක්? "
"වර්ෂා පිරප්පු. අපේ දෙමළ අලුත් අවුරුද්ද..ඇයි ඔයගොල්ල ඒ ගැන දන්නෙ නැද්ද?" ඇගේ හඬෙහිවූ කෙලිලොල් ස්වභාවය එක්වරම පහව ගිය අයුරක් මට දැනිනි.
"ආ..දන්නව දන්නව මොකද අනේ නොදන්නෙ?.....මට එක පාරට පොඩ්ඩක් මේ අමතක වගෙ වුනානෙ. හරි සුබ නව වසරක් මැඩම්"
"හරි හරි තෑන්ක්ස්..ඒක නෙවෙයි සිටි බැංකුවෙ ෆෝම් එක ආවය කිව්ව නේද? ඒක තවම පුරවල යැව්වෙ නැද්ද? "
"නෑ තවම නෑ...තව ප්‍රශ්ණ හත අටක් පුරවන්ට තියනව.. ඒකයි මේ.." මම ඉතිරි වදන් ගිල ගත්තෙමි.
"ඕකෙ මම හිතන්නෙ ඔයා වැඩ කරන්ට කැමති තැන් දෙකක්ද තුනක්ද කොහෙද ලකුණු කරන්ට තියනව කැමැත්තෙ අනුපිළිවෙලට. චෙන්නයි කියල මුලින්ම දාන්ට හොඳද?"
මම නිහඬව සිටියෙමි.
"මේ..මොකෝ කතාවක් බහක් නැත්තෙ? එහෙම දානව නේද?"
"ඉන්නකො පොඩ්ඩක්...." මම දුරකථනයද රැගෙන එහි රැළි වැටුනු වයරය දිග ඇතිතෙක් මගේ මවගෙන් ඉවතට ගියෙමි.
"මේ... අපෙ අම්ම කියනව දිල්ලි කියල දාන්න කියල" මම රිසීවරයට මුව ළංකොට හැකි පමණ පහත් හඬින් පැවසුවෙමි.
"ඉතිං? ඔයාටත් ඕනෙ දිල්ලියෙම ඉන්නද? H.L.L. එක මට පත්වීම දෙන්නෙ අනිවාර්යයෙන් චෙන්නයි වලට. ඒකෙ ආය ඒ ගොල්ලො එක්ක කතාබහ කරල වෙනසක් කරගන්න කොහෙත්ම බෑ.ඒ හින්ද ඔයා දිල්ලියෙ නතර වුනොත් අපි දෙන්න කොහොමද අපේ අනාගතය ගැන තීරණයක් ගන්නෙ?"
"හරි හරි කලබල වෙන්නෙ නැතුව ඉන්නකො. අපි කොහොමහරි අපිට ඕන විදිහට වැඩේ කරගමු. ඒත් මම චෙන්නයි ආවොත් අම්ම හිතයි එහෙම කලේ ඔයා හින්දයි කියල"
"හරි…. ඉතිං මොකද? ඔයාට බැරිද කෙලින්ම අම්මට කියන්න. ඒක එහෙම තමයි කියල"
"එහෙම කොහොමද අනේ මම එක පාරටම අම්මට මූණටම එහෙම කියන්නෙ?"
"මම දන්නෙ නෑ ක්‍රිෂ්. H.L.L. එකෙන් මට ඔප්ෂන් එකක් දුන්නෙ නෑ. එහෙම දුන්නනම් මම කෙලින්ම ඉල්ලනව දිල්ලිය.මට ඔයාව නොදැක ඉන්න බෑ ක්‍රිෂ්,අනේ ප්ලීස්..ඉක්මනට මෙහෙ එන්නකො චුට්ටො මම ඔයා එනකල් බලා ඉන්නව"
"මෙතන වැඩේ මම තව කෙනෙකුගෙ චුට්ටනෙ. දෙන්නෙකුට එක පාර චුට්ට වුනාම වහ කෑව වගේ තමයි.කොහෙංවත් බේරුමක් නෑ. ඒයි මේ අන්න අම්ම මා දිහා ඔරවගෙන ඉන්නව.මම තියන්නං"
"මේ මේ...ඒයි පොඩ්ඩක් හෝව්....ෆෝන් එක තියන්න ඉස්සරවෙලා එකම එක පාරක් කියන්නෙ I love you කියල"
"හරි ඉතිං මම එහෙම තමයි. ඕක ආය වෙනම කියන්න ඕනය?"
"එහෙම බෑ එක පාරක් ඒ වචන හතර කෙලින්ම කියන්න පැහැදිලිව I love you Ananya කියල"
"අර අම්මත් අහගෙනද කොහෙද ඉන්නෙ? පිස්සුද මන්ද…."
මගේ මව සාවධානව මෙදෙසට සියළු කන් හරවාගෙන හිඳිනා බව මට සහතිකය. මම ඇය දෙස යන්තමට හිස හරවා බැලුවෙමි. ඇය අවසාන බණ්ඩක්කා කරල් කීපය බූව ඉවත් කිරීම පිණිස තෙත් රෙදි කඩකින් පිස දමමින් සිටියාය. ඈ අසල වූ තියුණු මුවහතින් යුතුවූ පිහිය මුළුතැන්ගෙයි කවුලුවෙන් පරාවර්තනයවී එමත පතිතවූ හිරු රස් දහරකින් දිලිසුනි.
"Movies I love. you should see them too" මම හැකිපමණ රිසීවරයට මුව ලංකොට පැවසූයෙමි…." හරි නේද?"
"ඒයි..ඒයි...එහෙම ඔට්ටු නෑ එහෙම ඔට්ටු නෑ" දුරකථනයෙහි අනෙක් අන්තයේ සිට අනන්‍යා මවාගත් කෝපයකින් හඬ නැඟුවාය.
"ඒ ඇති ඒ ඇති..හෙහ්,හෙහ්,...මම තියනව එහෙනං..බායි"
"ඕකේ, අයි ලව් යූ, බායි" ඇය දුරකථනය විසන්ධි කලාය.
හිස පහතට නවාගත්වනම නිහඬව තම කාර්යයෙහි යෙදෙනා මෑණියන් දෙස ඇස් කොණින් බලමින් මම ආපසු මුළුතැන්ගෙය වෙත පැමිණියෙමි.මසිත පෙලනා වරදකාරී හැඟීමෙන් මිදෙනු නොහැකිවූ හෙයින්ම මේසය මතවූ ඇය මොහොතකට පෙර පිසදැමූ බණ්ඩක්කා කරල් කීපයක් ගෙන යලි පිසදමන්නට වීමි.
"මොකද ක්‍රිෂ් ඔය කරන්නෙ? ඔව්ව මම පිහදාල තියෙන්නෙ? ආය පිහදාන්න ඕන නෑ." මගේ මව නළල රැලිකොටගනිමින් මා දෙස බලා යලි මුහුණ පහතට හරවා ගත්තාය.
මම නිශ්ශබ්දව මේසය මතවූ ඇය කපා ඉවත්කල බණ්ඩක්කා නැටි කිහිපයකට මම ඇඟිල්ලෙන් අනින්නට වීමි.
"අර මැඩ්රාසි කෙල්ල නේද ඒ කතා කලේ?" මගේ මව නිශ්ශබ්දතාවය බිඳිමින් විමසුවාය.
"එයාගෙ නම අනන්‍යා…" මම පපුව පුරාගත් හුස්මක් පහලට හෙලුවෙමි.
"ඒ කෙල්ලත් එක්ක ආශ්‍රයක් ඕන නෑ කියල මම ඔයාට කලිනුත් කියල තියනව.ඔවුන් හරි දක්ෂයි නාස් ලණුව දාගන්ට."
"අම්මටත් මම කලින් කියල තියනව මම අනන්‍යාට කැමතියි. කැමතියි නෙවෙයි ඇත්තටම ආදරෙයි."
"අන්න ඉතිං... බොරුද මම කිව්වෙ? ඔය තියෙන්නෙ ඇස් පනාපිට සාක්ෂි, දැනටම මට පේන්නෙ නාස් ලණුව….."
"අම්මා!!!!!" මම කෝපයෙන් කෑගැසීමි. "කවුරුවත් මට නාස් ලණුවක් දාපු එකක් නෑ. මම ගොනෙක්ද නාස් ලණු දාන්ට? " කෝපයෙන් රතුවූ මුහුණින් යුතුව මම මේසය මතවූ බණ්ඩක්කා කරල් කිහිපය ගෙන යලි මේසය මතටම වේගයෙන් දමා ගැසීමි.
"අනන්‍යා කියන්නෙ හොඳ ගෑණු ළමයෙක්. එයා ලස්සනයි, උගත්, ඒ වගේම හැමෝම එක්ක සුහදව ජීවත් වෙන්ට දන්නව.ඉතිං මට කියන්න එහෙම කෙනෙක් මොකටද මට නාස් ලණුවක් දාන්න හදන්නෙ? එයාට එහෙම කරන්න කිසිම ඕන කමක් නෑ. ඇයි එයා එහෙම කරන්නෙ?"
"ඔයා මොනවද ක්‍රිෂ් ඔය දකුණෙ කෙල්ලො ගැන දන්නෙ? එයාල බොහොම කැමතියි උතුරු ඉන්දියානු කොල්ලෙක් අල්ලගන්ට."
"ඇයි ඒ? මොකක්ද උතුරු ඉන්දියානු කොල්ලන්ගෙ තියෙන ඔය හැටි ඔය විශේෂෙ?"
"ඒකට හේතුව මේකයි" මගේ මව පැහැදිලි කරන්නට වූවාය."උතුරු ඉන්දියානුවො දකුණෙ අයට වඩා සුදුයි. ලස්සනයි. ඔන්න ඕක හින්ද ඔය දකුණෙ අයගෙ තියනව ඔය ගැන ලොකු හීනමානයක්."
"අනේ අම්මෙ මේ...." මම හිඳ සිටි අසුනින් නැඟී සිට ඇයට කරුණු වටහා දීමට තැත් කළෙමි. " අනන්‍යාට IIMA එකේ M.B.A. උපාධියක් තියනව. ඒ වගේම එයා ලස්සනයි. අනික අම්ම එයාව දැක්කනෙ. ඔය අම්ම කියන කෙහෙල්මල් හමේ සුද ගැන බැලුව වුනත් ඇත්තටම අනන්‍යා මටත් වඩා සුදුයිනෙ."
"ආන්න.. ආන්න... ඒකනෙ කියන්නෙ. ඔය පොත්ත රතුවට ජම්බියො වගෙ ඉන්න අංගනාවියො තමයි විස්වාසම කරන්ට බැරි. අර දෙන්නත් ඔය සුදු පාට අය තමයි."
"මොන දෙන්නද?"
"හේමා මාලිනියි, ශ්‍රී දේවියි. ඇයි මතක නැද්ද? මම එහෙදිත් අර කිව්වෙ."
ඇගේ කිසිදු පදනමක් නැති අභූත චෝදනාවන් මගේ කෝපය නිම් හිම් නොමැතිව උතුරා යෑමට හේතුවිය.
"අම්මා!!!!...." මම බිරුසන් දුනිමි." පිස්සු විකාර කියවන්නෙ නැතුව ඉන්නවද? මම කිව්වනෙ... මොකක්ද මේ හේමා මාලිනියි ශ්‍රී දේවියි ඇදගෙන කොයි වෙලෙත් කරන විකාරෙ? කරුණා කරල අනන්‍යාව එයාලට සමාන කරන්ට එපා. ඇහුනද? " මම අත මිට මොලවා මේසයට ගසමින් කෑගැසීමි.
මගේ අවාසනාවට මා මේසයට අතමිට මොළවා ගැසූ පහර වැදුනේ මේසය මතවූ පිහිය අසලටය. පහරේ වේගය කරණකොටගෙන වීසිවීගිය පිහිය මේසය මත වූ මගේ මවගේ දකුණතෙහි මහපට ඇඟිල්ලෙහි ගැටුණි.මුළුතැන්ගෙහි ඇය භාවිතයට ගන්නා සියළු මෙවලම් සහ උපකරණ හොඳින් නඩත්තු කිරීම මගේ මවගේ සිරිතකි. එහෙයින් ඇය භාවිතා කරන පිහි ද ඇය ඉතා හොඳින් මුවහත්ව තබාගැන්මට නිතොර වගබලාගත්තාය.තියුණු පිහියට කැපුණු ඇගේ මහපට ඇඟිල්ලෙන් එකෙනෙහිම රුධිරය වෑහෙන්නට විය.
"අනේ අම්මෙ මම හිතල කරපු දෙයක් නෙවෙයි..මට සමාවෙන්න…" මම වහා ඇය වෙත යමින් ආයාචනා කලෙමි.
"ඒකට කමක් නෑ..ඒකට කමක් නෑ..මාව මරන්නකො..මාව මරන්නකො..අර කොහෙවත් ඉන්න කෙල්ලක් හින්ද ඔයා මාව මරනවනම් මට ඒකට කිසිම ප්‍රශ්නයක් නෑ. මාව මරන්න.මාව මරන්න….." ඇය අවසිහියෙන් මෙන් නොනවත්වා කියවන්නට වූවාය.