මුලු සතියෙම අම්මයි අප්පච්චියි විතරනෙ ගෙදර ඉන්නෙ. ඒ කාලෙ වෙනකොට මම සති දෙකකට සැරයක් වගෙ සති අන්තෙට විතරයි ගෙදර ආවෙ. නංගිල දෙන්නම කොළඹ. එයාල නම් හැම සිකුරාදාවකම වගෙ ගෙදර ආව. සඳුද පාන්දර ආපහු යනව. කොහොමහරි සතියෙ දවස් පහේ අම්මයි අප්පච්චියි විතරයි ගෙදර.
අම්ම කටත් බාගෙට ඇරගෙන මා දිහාවෙ බලා ඉඳපු ඉඳිල්ලට මම හිනාව ගිල ගත්තෙ බොහොම අමාරුවෙන්..
" පුතා ඇත්තටම කියනවද විහිලුවට කියනවද කියල මටනම් හිතාගන්ට බෑ.." අම්ම තොල මැතිරුවෙ තමන්ටම කියාගන්නව වගෙ.
" විහිලු නෙවෙයි. අප්පච්චිගෙ අසනීපෙත් එක්ක නර්ස් කෙනෙක් ගෙදරම ඉන්නව නම් කොච්චර එකක්ද? " මම එහෙම කියල අම්ම දිහා හොරැහින් බලාගෙන මගෙ කාමරේට ගියා.
අප්පච්චි ඒ ගමන තව දවස් තුනක් ඉස්පිරිතාලෙ හිටිය. ඒ අතර රෑට අප්පච්චි ලඟ ඉන්න එක අපෙ ලොකු අම්මගෙ පුතෙක් බාර ගත්ත. අපෙ ලොකු අම්මට පුත්තු හිටිය පස් දෙනෙක්ම. එයින් ලොකුම පුතත් කාලයක් මම එක්ක අර කැලේ මැද එකම ඔෆිස් එකේ වැඩ කලා. එයා හිටියෙ අපේ අයකැමි විදිහට. සිංහලෙන් සරප්.අපේ වැටුප් ගෙව්වෙ ඒ අයිය. එක පාරක් චෙක් එකේ මොකක්ද අවුලක් වෙලා බැංකුවෙන් සල්ලි ගන්ට බැරිවෙලා අපිට පඩි ගෙව්වෙ නෑ. අපේ එවුන්ට මල අතේ. එදා වෙච්චි මරු සීන් එකක් මම කලින් ලිව්වද කියල මට මතක නෑනෙ.කලින් ලියපුවගෙ පොඩි සර්ච් පාරකුත් දාල බැලුව ඒත් ම්හු..හොයාගන්ට බැරිවුනා. ඒත් මට මතකයි ලිව්ව වගේ.
රයිට් කලිං ලිව්ව උනත් කමක් නෑ ආයම කියන්නංකො..ඒ තරමට ආතල් කතාව ඒක.ඉතිං මයෙ ලොකු අම්මගෙ පුතා තමයි අපිට වැටුප් එතනිං ගිහාම ඔය අනික් දීමනා එහෙම ගෙවන්ට හිටියෙ. මුදල් අයකැමි නොහොත් සරප්.මාසික වැටුප ගෙවන්නෙ මාසෙ 25 වෙනිදයින් පස්සෙ, 30 වෙනිදට ඉස්සර.
ඔය අපේ නෑදෑකම මගෙ යාලුවො වැඩිදෙනෙක් දැනගෙන හිටියෙ නෑ. මයෙ ඉතාම කිට්ටුවන්ත යාලුවන්ට විතරයි මම ඔය විස්තරේ කියල තිබ්බෙ.Need To Know Basis. අන්න ඒ පදනම මත. CIA, KGB, Mossad වගෙ ඔත්තුසේවා වල රහස්‍ය තොරතුරු එයාලගෙ නිලධාරීන්ට වුනත් දැනුම්දෙන්නෙ ඔය නීඩ් ටු නෝ බේසිස් එක මත.මොකද එහෙම උනහම මොනවහරි සැලසුමක් වැරදිල ගිහිල්ල ඒ නිලධාරියා හතුරන්ට අහුවුනත් එයා නොදන්න දෙයක් හතුරන්ට දැනගන්ට විදිහක් නෑනෙ. අන්න ඒ නිසා.
මොසාඩ් කියන්නෙ ඊශ්‍රායල් රහස් ඔත්තු සංවිධානය. සම්පූර්ණ නම The Institute for Intelligence and Special Operations. රහස් තොරතුරු සහ විශේෂ මෙහෙයුම් ආයතනය. අපේ තියෙන්නෙ හමුදා බුඩ්ඩි අංසෙ කියලනෙ. Intelligence කියන වචනෙට අර්ථ දෙකක් තියනවයි කියල නොදන්න බුද්ධිය කියන එක සීරෝ මහිෂයෙක් දාපු ඒ නම තවම පාවිච්චි කරන්නෙ ඇයිද කියන එකයි මට හිතාගන්ට බැරි.
හරි ආපහු මොසාඩ් සහ ඊශ්‍රායලය ගැන. යුදෙව්වො කියන්නෙ මම බොහොම ගරුකරන ජාතියක්. පලස්තීනය පිළිබඳ ඔවුන්ගෙ ප්‍රතිපත්ති ගැන මම එකඟවෙන්නෙ නැතිවුනත් ඔවුන් එහෙම කරන්න හේතුසාධක මට හිතාගන්න පුලුවන්.1976 අවුරුද්දෙ ජූලි මාසෙ පලස්තීන ත්‍රස්තවාදීන් එයාර් ෆ්‍රාන්ස් ගුවන් යානයක් පැහැරගෙන උගන්ඩාවෙ එන්ටෙබේ ගුවන් තොටුපොලට අරගෙන ගියා. එහි හිටපු යුදෙව්වන් ප්‍රාණ ඇපකරුවන් විදිහට තියාගෙන ඔවුන් ඉල්ලා සිටියා ඊශ්‍රායලයෙ සිරගතව සිටින පලස්තීන ත්‍රස්තවාදීන් පිරිසක් නිදහස්කරන ලෙස.
එවකට උගන්ඩාවෙ ජනාධිපති ඉඩි අමීන් පලස්තීනුවන්ට සම්පූර්ණ සහයෝගය දුන්නා. ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ සියළු සාකච්ඡා අසාර්ථකවූ පසු, ඊශ්‍රායල් කමාන්ඩෝ සේනාංකයක් ඉතාම රහසිගතව මධ්‍යම රාත්‍රියේ ඝණ අඳුර මැදින් එන්ටෙබේ ගුවන් තොටුපොලට ගොඩ බැස, ත්‍රස්තවාදීන් සහ උගන්ඩානු හමුදා භටයින් ගණනාවක් මරා දමා, ප්‍රාණ අපකරුවන් මුදාගත්තා. Operation Thunderbolt නමින් හැඳින්වුනු එම එම මෙහෙයුමෙහිදී ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙක් සහ එක් ඊශ්‍රායල් කමාන්ඩෝ සෙබලෙක් මියගියා. ඒ මියගිය එකම ඊශ්‍රායල් සෙබලා මෙහෙයුමට නායකත්වය දුන් ලුතිනන් කර්නල් යොනටන් නෙටන්යාහු. වර්තමාන ඊශ්‍රායල් අගමැති බින්යමීන් නෙටන්යාහූ ඔහුගේ බාල සහෝදරයා. යොනටන් අනුස්මරණය උදෙසා පසුව එම මෙහෙයුම Operation Yonatan ලෙස නැවත නම් කිරීමට ඊශ්‍රායල් රජය කටයුතු කලා.
ඒ වීර වික්‍රමාන්විත මෙහෙයුම අලලා අපූරු චිත්‍රපට කීපයක්ම ඉන්පසු නිපදවුනා. Operation Thunderbolt, Victory At Entebbe, Raid On Entebbe, එයින් කිහිපයක්.
1976 අවුරුද්දෙ ඒ මෙහෙයුම සිදුවූ දවස්වල දිනමිණ පත්‍රයේ ඒ ගැන සෑහෙන විස්තරයක් පලවුනා. එවකට බලයේ සිටි මැතිණියගෙ සමගි පෙරමුණු රජය පලස්තීනයට පූර්ණ සහයෝගය පලකලත්, මේ මෙහෙයුම ගැන විස්තර දිනමිණෙහි පලවීමට ඒ ප්‍රතිපත්තිය බාධාවක් වුනේ නෑ. මගේ සිත්ගත්, මම ආසාවෙන් කියවපු ප්‍රවෘත්ති, අඩංගු පත්තර ලිපිගොනුවල දාල එකතුකරන පුරුද්දක් ඒ දවස්වල මගෙ තිබ්බ. අපේ මහ ගෙදර සමහරවිට පරණවෙලා කහ ගැහිච්චි ඒ පත්තර පිටු තවම තියෙන්න පුලුවන්, ඔය කොහෙ හරි කබඩ් එකක පතුලෙ මොනවට හරි යට වෙලා. ආයම මහගෙදර ගිය වෙලාවක හොයල බලන්ට ඕන.
ඔය වගේම ඒ කාලෙ මම බොහොම ආසාවෙන් කියෙව්වා, ඒ වගේම ඒ ප්‍රවෘත්තිය පලවූ පුවත්පත් පිටු එකතුකලා ජපන් ජාතික හිරූ ඔනෝඩාගේ විශ්මයජනක කතාපුවත. ඒ පුවත සිළුමිණ පුවත්පතේ සති කීපයක් කොටස් වශයෙන් පලවූවා. ඔනෝඩා දෙවන ලෝක යුද සමයේ ජපන් යුද හමුදාවේ ලුතිනන් වරයෙක්. 1944 වර්ෂයේදී ඔහුට යන්ට සිදුවෙනවා පිලිපීනයේ ලුබ්ලෝංග් දූපතට. ඔහුට අණ ලැබෙන්නේ මෙහෙමයි. සතුරන් අතට දූපත පත්නොවීමට කලයුතු සියලු දේ ඔබ කල යුතුයි. කිසිදු කරුණක් නිසා සතුරාට යටත්වීම හෝ දිවිනසාගැනීම සම්පූර්ණයෙන්ම තහනම්.
බහුතරයක් ජපනුන් අද පවා ඔවුන්ගේ අධිරාජයා මිහිපිට වසන දෙවියකු ලෙසයි සලකන්නේ. අධිරාජයාගේ අණ පිළිපැදීමේදී , ඔහු පවරන රාජකාරිය ඉටුකිරීමෙහිදී ජීවිතය කැපකිරීම ඔවුන්ට ඉතා සුළු දෙයක්.
බහුතරයක් ජපනුන් අද පවා ඔවුන්ගේ අධිරාජයා මිහිපිට වසන දෙවියකු ලෙසයි සලකන්නේ. අධිරාජයාගේ අණ පිළිපැදීමේදී , ඔහු පවරන රාජකාරිය ඉටුකිරීමෙහිදී ජීවිතය කැපකිරීම ඔවුන්ට ඉතා සුළු දෙයක්.
ලුබ්ලෝංග් දූපත අමරිකානු හමුදා අතට පත්වුවත් ඔනෝඩා සහ සගයින් කීප දෙනෙක් කඳුකරයේ කැළෑවට පලාගොස් එහි සැඟවී සිට ගරිල්ලා යුද්ධයක නිරතවෙනවා. යුද්ධය අවසන් නිසා කැළෑවෙන් එළියට පැමිණ භාරවන ලෙස ගුවනේ සිට විසිරුවා හරින පත්‍රිකා මඟින් කල ඉල්ලීම් ඔවුන් නොපිළිගන්නේ ඒ සතුරන්ගේ කූට ප්‍රයෝග ලෙස උපකල්පනය කරමිනුයි. අවසානයේ 1974 වර්ෂයේ ඔනෝඩාගේ අණදෙන නිලධාරියාවූ මේජර් යොෂීමි ටනිගුචි ජපානයේ සිට ලුබ්ලෝංග් දූපතට පැමිණ යුද්ධය අවසන්වී ඇති බැවින් වහාම අවිආපසු භාරදී යටත්වන ලෙස ඔහුට නියෝග කලා. ඒ අනුව ඔනෝඩා තම වසර තිහක ඒක පුද්ගල යුද්ධය අවසන් කලා.
ඔනෝඩාගේ කතාව මම බාගෙට ලියල තියෙන්නෙ. " හිරූ ඔනෝඩා...විනය ගරුක සොල්දාදුවෙකුගේ වසර තිහක ඒක පුද්ගල යුද්ධය "
සතුරාට යටත්වීම කියන්නෙ මරණයටත් වඩා අන්ත ඉරණමක් සහ එහෙම කරන අයගේ පවුල්වලට පවා ඒ අපකීර්තියෙන් ගැලවීමක් නැතිය කියන අන්තවාදී සංකල්පය ජපන් සොල්දාදුවන්ගේ මනසට ඒ දවස්වල දැඩිලෙස කාවද්දලයි තිබිල තියෙන්නෙ ඔවුන්ගෙ පුහුණුවේ ඉඳලම. හිරෝෂිමා සහ නාගසාකි නගරවල ලක්ෂ දෙකකට අධික ජනතාවකට ජීවිතයෙන් වන්දි ගෙවන්නට හේතුවූයේත් ඒ ජපන් ජාතිකයින්ගේ ඇටමිදුළු තුලට පවා කාවැදුනු දෘඩ, අනම්‍ය පරාජය පිළිනොගැනීමේ ප්‍රතිපත්තියයි.
හරි එන්ටෙබේ මෙහෙයුම සහ හිරූ ඔනෝඩා පිලිබඳ අතුරු කතාවෙන් අනතුරුව යලිත් ප්‍රධාන ප්‍රස්තුතයට.
අපේ මුදල් අයකැමි විදිහට වැඩ කරන්නෙ මයෙ ලොකු අම්මගෙ පුතාය කියල මගෙ යාලුවො හුඟක් හරියක් දැනගෙන හිටියෙ නෑ. ඉතිං ඔන්න එක පාරක් අපි ගියා මාසෙ අන්තිමට වැටුප් ගන්න. ගිහිල්ල බලනකොට මහ ජංජාලයක්. එදා පඩි සල්ලි ගෙනල්ල නෑ. චෙක් එකේ මොකක්ද අවුලක් වෙලා බැංකුවෙන් සල්ලි දීල නෑ. ඉතිං මොකේද දං වළඳන්නෙ? අපි එහෙම්මම හැරිල ආව. හැමෝටම වගෙ මාර අප්සෙට්. ගෙවල් වලට සල්ලි යවන්ට ඕන එවුං, බැංකු ණය වාරික වලට සල්ලි දාන්ට ඕන එවුං,මොනවහරි ගවුං කෑල්ලක් අරගෙන කෙල්ලො බලන්ට යන්ට හිටපු එවුං, ඔයවගෙ මෙකී නොකී එවුං ඔක්කොගෙම මූණු හරියට ජනවාරි නම වෙනිද වටිං ගොඩිං එළිය වැටීගෙන එද්දි, මරාගෙ මූණත්තහඩුව වාගෙ.
අතේ සතපහක් නැති වුනත් අපේ කෑම්ප් එකේම තිබ්බ බාර් එකෙං ( ඒ බාර් එක ගැන විස්තරේ මම කලින් ලිව්ව කියල මතකයි ) ණයට බෝතල් දෙහෙකුත් අරගෙන අපි එදා රෑ සෙට් වුනා.ඒ දුක තුනී කරගන්ට හොඳම ක්‍රමය ඒක හින්ද. ගහන ගමනුත් කතාව පඩි කේස් එක ගැන. හැමෝම අයියට බණින්නෙ. ඇත්තටම මිනිහගෙ කිසිම වැරැද්දක් නෑ. චෙක් එක වරද්දල තියෙන්නෙ එකවුන්ට්ස් සෙක්ෂන් එකෙන්. ඒ මිනිහ මක් කරන්ටද ඒකට? බැංකුවෙං සල්ලි දුන්නෙ නැත්තං මේ මනුස්සය අතිං ගෙවන්ටය.ඕක ඉතිං ගහපහ දෙන්ට යන එකේ කිසිම තේරුමක් නැති හින්ද මම සද්ද නැතුව හිටිය. ටික ටික ඔන්න ඒ ගැන කතාව මඟඇරිල ගියා කියමුකො.
ඒත් ගාමිණී කියල මගෙ යාළුවෙක් හිටිය මූ මේක අතාරින්නෙම නෑ. ඒ ගැනමයි කතාව. ඔන්න එක පාරටම මූ කියාපි " කැෂියරයගෙ අම්මට ****** " කියල.
ඒ වෙනකොට මටත් අප්පමාදෝ අමරපදං වෙලයි හිටියෙ.මට නේද ඉපදෙනව මැරෙනව පේන්නෙ නැතුව ගියා. පැන්න ගමං අල්ලගත්ත ගාමිණියගෙ හීං තැනින්ම.නෑ..නෑ...නෑ...බොලව් .හීං තැනිං කියන්නෙ බෙල්ලෙං..බෙල්ලෙං....
" අඩෝ තෝ දැනගං ඒ මගෙ ලොකු අම්මා.."
මම එහෙම කිව්ව උගෙ බෙල්ලෙං අල්ලල හොල්ලන ගමං. අනේ ගාමිණියා බයවෙච්චි පාර මගෙ දිහා බලාහිටිය ඇස්දෙකත් දොට්ට දාගෙන. අනික් එවුනුත් කතා බතා ඔක්කොම නතර කරලා අපි දිහාට හැරුනා. ඒ එක්කම මමත් ගිණි අඟුරක් අත ගෑවුන වගෙ ගාමිණියගෙ බෙල්ල අත ඇරල අඩියක් පස්සට ගත්ත. මට මාර අප්සෙට් වෙච්චි වැඩේට.
" කවුද බං දන්නෙ උඹෙ ලොකු අම්ම කියල ඒ?..... කලින් කියන්ට එපාය" ගාමිණිය එහෙම කියල මගෙ අත අල්ලගත්ත.
" හරි, හරි…. බං වෙරිම වෙරි සොරි..ඒක අමතක කරල දාපං…" මම උගෙ කරට අතක් දාගෙන කිව්ව.
රයිට් ඒ සීන් එක එතනිං ඉවරයි.පස්සෙ දවසක අයිය හම්බවෙච්චි වෙලාවක මම ඔය කතාව අයිය දැක්කිනුත් කිව්ව. අපි දෙන්නම කඳුළු එනකල් හිනාවුනා. මේ කතන්දරේ පසු කතාවකුත් තියනව. ඉතිං ඊට ටික කාලෙකට පස්සෙ අයිය ස්ථාන මාරුවක් හදාගෙන නුවර කිට්ටුව අපෙ ව්‍යාපෘතියකට ගියා. මමත් තව ටික කාලයක් එහෙ ඉඳල අර ගොවි ජනපදයේ සේවය සඳහා ගියානෙ. ඊට පස්සෙ තමයි ඔන්න මගෙ විවාහ මංගල්‍යෝත්සවය එහෙම තිබ්බෙ.ඕකට අර ගාමිණියත් ආවනෙ. ඔන්න ඕකා අපිදෙන්න ( අපි දෙන්න කිව්වෙ එතුමී සහ මම ) ඉන්න තැනට ඇවිල්ල අතට අත දීල කතාකලාය කියමුකො.
" මගේ සුබ පැතුම් මචං ……"
" තෑන්ක්ස් ගාමිණී……" මම එහෙම කියල එතුමී දිහාට හැරුන. " මේ ගාමිණී ……..අපි දෙන්න කලින් එකට වැඩකලා අවුරුදු ගානක්.... දැන් මේකා ඉන්නෙ ඇඹිලිපිටියෙ. "
එහෙම කියල එතුමීට ගාමිණී අඳුන්වල දීල මම ආපහු මිනිහ දිහාට හැරුනා.
" ආ..ඒක නෙවෙයි...උඹ අර එක පාරක් අපේ ලොකු අම්මා ගැන මොනවද කිව්ව නේද? ඉඳහංකො අන්න ලොකු අම්ම ඇවිල්ල ඉන්නව..මම උඹට අඳුන්වල දෙන්නං..කෝ මේ? ආ ..අර ඉන්නෙ..මේ ලොකු අම්මේ..ලොකු අම්මේ... " මම එතනම ඉඳල ලොකු අම්මට කතා කලා.
ගාමිණියගෙ මූණත් එක්ක රතුවෙලා හුස්ම හිරවෙන්ට වගෙ ඇවිල්ලා.." උඹට පිස්සුද බං? මොනවද මේ කරන විකාරෙ? " ඌ හෙමිහිට මට විතරක් ඇහෙන විදිහට කිව්වෙ දත්මිටි කාගෙන. එතුමී තුස්නිම්බූත වෙලා බලා ඉන්නව මේ මොකද වෙන්නෙ කියල හිතාගන්ට බැරුව.
" ඇයි පුතේ? " ඒ අස්සෙ ලොකු අම්මත් එතනට ආපි. ගාමිණිය ඇඹරුනා ඇඹරිල්ලක් අර සුනාමියට අහුවෙච්චි පැරෑලියේ රේල්පීලි වගෙ.
" ආ..ලොකු අම්මෙ..මේ ගාමිණී... මගෙ යාලුවෙක්...ගාමිණීය ලොකු අම්මව දකින්ට ආසයි කියල කියපු හින්දයි මම මේ කතා කලේ.."
" ආ එහෙමද? මම හිතන්නෙ අපෙ පුතාව එහෙමත් අඳුනනව ඇති නේද ඔය ළමය?..."
" ආ..ඔව්..ඔව්...ඒක තමයි මම හිතන්නෙ ගාමිණී ලොකු අම්මව දකින්ට ආසයි කියල කිව්වෙ.."
"ආ..ඒක කොච්චර එකක්ද? අපේ පුතත් ඔන්න දැං මේ හරියෙ හිටිය.."
"හරි ලොකු අම්මෙ එහෙනං අයිය දැක්කොත් කියන්ටකො මේ ගාමිණී එහෙම ඇවිල්ල ඉන්නවයි කියල. " එහෙම කියල මම ලොකු අම්මව එතනිං පිටත් කලා. ගාමිණිය මා දිහා කන්ට වගෙ බලා ඉඳල ආපහු හැරිල පස්සවත් නොබලා යන්ට ගියා.
" මොකක්ද අනේ ඒ එතන වුනේ? මොකෝ අර ඔයාගෙ යාලුව පස්සවත් නොබලා යන්ට ගියේ? හරියට කවුරුහරි පස්සෙං පන්නනව වගෙ? " එතුමී නළලත් රැලි කරගෙන එහෙම ඇහුව.
දැංවගෙ එහෙමනං ඔය ගාණක් නෑ මං කියල දානව විස්තරේ. ඒ වුනාට ඒ බැඳපුම දවසෙනෙ. ඔව්ව කියන්ට ගිහිල්ල කොහෙං කෙරවල් වෙයිද දන්නෙ නෑනෙ.
" ඒ ඔය ගාමිණියට ටිකක් නුහුගුණේ වගේ ඒයි.. ඒක හින්ද ඔය " මම එහෙම කියල වැඩේ ක්ලෝස් කරල දැම්ම..
" හුහ්..නුහුගුණේ...නුහුගුණේ මට පේන්නෙ ගාමිණීට නම් නෙවෙයි මෙයාට වගෙ...මේ..මෙන්න මෙහාට ඇවිල්ල ඉඳගන්ට….." ඈ මට විතරක් ඇහෙන්ට අඬ බාලකරල එහෙම කියල බස බස ගාල ගිහිල්ල මල් සැරසිළි කරපු කවිච්චියෙ ඉඳගත්ත.
ඉතිං ආපහු එමු අප්පච්චි ගාවට.......අප්පච්චි ඒ ගමන තව දවස් තුනක් ඉස්පිරිතාලෙ හිටිය. ඒ අතර රෑට අප්පච්චි ලඟ ඉන්න එක අපෙ ලොකු අම්මගෙ පුතෙක් බාර ගත්ත. අප්පච්චිගෙ අසනීප තත්වය එන්ට එන්ටම සුව අතට හැරුනු නිසා දවල්ට කවුරුත් අප්පච්චි ලඟ ඉන්න ඕන වුනේ නෑ. ඒත් දවල්ට කෑම අරගෙන ගිහිල්ල මම දවස් දෙකක්ම, හවස අර මම කිව්ව අයිය එනකල් අප්පච්චි ලඟ හිටිය.ඒ මම හිතන්නෙ සරෝජිනී එක්ක කතාකරන්ට තිබ්බ කැමැත්ත හින්දමද කියල මට හරියට කියන්න බෑ. ඒත් අම්ම කියපු දේවල් හින්දමත් නෙවෙයි ඒ ළමය ගැන මගේ හිතේ මොකක්ද පැහැදීමක් වගෙ දෙයක් ඇතිවෙලයි තිබුනෙ ඒ වෙනකොටත්.
ඒත් මෙතන ප්‍රශ්ණයක් වෙලා තිබ්බෙ සරෝජිනී කිසිම විදිහකින් එයාගෙ හැඟීම් ගැන ඉඟියක්වත් පලනොකල එකයි. මම කතාකරද්දි ඈ කිසිම විදිහකින් අකමැත්තක් පෙන්නුවෙ නෑ. ඒ වගේම මුහුණෙ ඉරියව්වකින්වත් කැමැත්තක් පෙන්නුවෙත් නෑ.ඒ හින්දම මටත් ලොකු ප්‍රශ්ණයක් වුනා මම මොකද කරන්නෙ කියන එක. එයාලගෙ අම්ම අපෙ අම්මගෙ යාලුවෙක් වුනත් මම කැමතිවුනේ නෑ ඒ මාර්ගයෙන් වැඩේට අතගහන්ට.
" අම්මා මේ අර සුරවීර ආන්ටිට ඕන නම් කෝල් එකක් දීල විස්තර අහන්ට. ඒත් අර සරෝජිනී ගැනනම් කිසිදෙයක් නිකමටවත් කියන්ට එපා ඔන්න.." මම කලින්ම අම්මට එහෙම ඉන්ජන්ක්ෂන් එකක් දාල තිබ්බෙ එයාගෙ හැටි මම හොඳාකාරවම දන්න හින්දයි.
" හරි හරි ඔයා කියනවනම් මම මොකවත් අහන්නෙ නෑ ඒ ගැන.." අම්ම එහෙම කියල හිනාවුනා.
" අම්මෙ මේ විහිලුවක් එහෙම නෙවෙයි..මම මේ සීරියස් කියන්නෙ...මෙහෙම දෙයක් ගැන මොකවත්ම කතාකරනව එහෙම නෙවෙයි ඔන්න හොඳද? "
" හරි..හරි..මම දැං හා කිව්වනෙ..මම කතා කරන්නෙ නෑ...ඔයා කලබල වෙන්ට එපා…" මම ඒත් අම්මගෙ මූණ දිහා බලාගෙන හිටිය ටික වෙලාවක්..
" නෑ..පුතා..ඇත්තමයි..පුතා එපා කියනවනම් මම ඒ ගැන කිසිම දෙයක් කතා කරන්නෙ නෑ.." අම්ම පොරොන්දු වුනා.
සරෝජිනීගෙන් කෙලින්ම අහන්ට බැරිකමක් නැතිවුනත් මගෙ හිත ඒකට ඉඩ දුන්නෙ නෑ.
අප්පච්චි ටිකට් කපාගෙන එන දවසෙ සරෝජිනී දවල් ෂිෆ්ට් එක කලේ. මම අප්පච්චිව ඇඳෙන් බස්සවල උණුවතුර බෝතලේ, රේසර් එක, සබන් පෙට්ටිය දත් බුරුසුව එහෙම කබඩ් එකෙන් අරගෙන ට්‍රැවලිං බෑග් එකට දා ගත්ත.
"මිස්ට වීරසිංහ...." සරෝජිනීගෙ කටහඬ….. අප්පච්චියි මායි දෙන්නම ඒ පැත්ත හැරිල බැලුව. ඈ අපි දෙන්නටම කතාකලේ මිස්ට වීරසිංහ කියල.
අපි දෙන්නම එක විඩේ ඒ පැත්ත බැලුවම ඈටත් එකපාරට හිනාගියා. ඈ ඊලඟට කතාකලේ අප්පච්චිගෙ මූණ බලාගෙන.
" මේ ලීෆ්ලට් එකේ ඇති මිස්ටර් වීරසිංහට කන්න සුදුසු ආහාර වර්ග, එතකොට කලයුතු දේ නොකලයුතු දේ.මොකද හාට් ඇටෑක් එකක් ආවයි කියන්නෙ හුඟක් පරිස්සම් වෙන්න ඕන.වෙලාවට බෙහෙත් බොන්න ඕන මතක ඇතුව..." කතාව අන්තිම හරිය ඈ කිව්වෙ මට, මගෙ මූණ බලාගෙන. අර කිව්ව ලීෆ්ලට් එක දුන්නෙත් මට.
අප්පච්චිත් එක්ක හෙමිහිට මම වාට්ටුවෙන් පිටවෙන දොර දිහාට ඇවිදගෙන ආව. ට්‍රැවලිං බෑග් එකත් කරේ දාගෙන. අප්පච්චිගෙ එක අතක් අල්ලගෙන. සරෝජිනීත් අපිත් එක්ක දොර ගාවට ඇවිල්ල එතන නැවතුනා. දොර පහුකරල අඩි විස්සක් තිහක් යන්ට වුනේ නෑ අප්පච්චි ගාව මේ දවස් දෙක තුනේ හිටපු ලොකු අම්මගෙ පුතා ජයන්ත අයිය අපි ඉස්සරහට ආව.
" අයියෙ අප්පච්චිව එක්ක යන්ටකො....මම ඉක්මනට එන්නං.."
අප්පච්චිව ජයන්ත අයියට බාරදීල මම ආපහු වාට්ටුවට ගියා. සරෝජිනී ඒ වෙනකොට මේසෙ ඉඳගෙන පොතක් දිගඇරගෙන මොනවද ලියනව. හොඳ වෙලාවට ඒ අහල පහල වෙන කවුරුවත්ම නෑ.
" සරෝජිනී. " මම ඒ ඉස්සෙල්ලමද කොහෙද එයාට නම කියල කතාකලේ
" මම හවස ඩියුටි ඕෆ් වෙන වෙලාවට ඔයාව හම්බ වෙන්ට එන්නද? " මම මේසෙ ඉස්සරහ හිටගෙන ඇහුව.
ඈ ඔලුව උස්සල මගේ දිහා බැලුව. ඊටපස්සෙ හෙමිහිට කණට ඇහෙන නෑහෙන ගාණට " එපා " කියල ආයම පොත දිහා බලා ගත්ත.