Ravaya Cartoon |
අබයාරාමය ඉහලින් බටහිර අහසේ හිරු බැසයමින් පැවතිණි. බෝධියෙහි අතුපතර සැඟව කෙළිදෙලෙන් පසුවන පරවියන් යුවලකගෙන් ගිලිහුනු සුදුවන් පියාපතක් මද සුළඟේ එහා මෙහා පාවෙමින් අවුත් බණ මඩුවේ පිඟන් ගඩොල් ඇතිරූ පොළව මත පතිත විය. එදෙස මොහොතක් බලා සිටි හිටපු ජනාධිපතිතුමා දෑස් ඔසවා තමා ඉදිරියෙහි රැස්ව සිටියවුන් දෙස ඔරවා බැලීය.
" කෝ..මේ මාද්දිය ඒකකේ කට්ටිය?.... ඉන්නවද ඇවිල්ල? "
" ඉන්නව සෑර්……………" මාද්දිය ඒකකේ ප්‍රදානියා අත ඔසවා පැවසීය.
" ඉන්නව තමයි......ඕයි මේ......... යමක් කියනකොට සිහි බුද්දිය ඇතුව ඒක කියන්ට පුරුදුවෙනවල."
" ඇයි සෑර් එහෙම කියන්නෙ? "
" එහෙම කියන්නෙ?....දැං බලනව අර අකුරැස්සෙ කේස් එක..අර කවුද මගෙ ඇඟිල්ලක් අඹරවපු මිනිහට මම දෙකක් දෙන්ට ගියා තමයි.....ඒත් තමුසෙ ඒක ගැන කියල තිබ්බෙ කොහොමද? හිටපු ජනාධිපතිතුමාට හිරිහැර කිරීමට සූදනම් වූ පුද්ගලයෙකුට එරෙහිම එතුමා තම ආරක්ෂාව සඳහා කටයුතු කලයි කියල ..මොකක්ද ඕයි ඒ කුණුහරුප කතාව? මොකක්ද මට කරන්ට ආපු හිරිහැරේ? දන්නවද දැං රටපුරා යන ආරංචිය මොකද්ද කියල? "
" නෑ සර් ….මොකද්ද? "
" මොකද්ද තමයි..දැං හැමෝම කියන්නෙ ඒ මිනිහ මයෙ අංගජාතෙ මිරිකන්ඩ හැදුවයි කියල. මතකනෙ අපෙ එවුං පාර්ලිමේන්තුවෙදි අර හාමුදුරු කෙනෙක්ට ඔය වැඩේ කරන්ට ගිහිල්ල වෙච්චි කලබැගෑනිය?..... ඒ හින්ද ඕයි මම මේ හොඳිං කියන්නෙ මීට පස්සෙ ඔය ප්‍රවෘත්ති නිවේදන නිකුත් කරනකොට මගෙං ඉස්සෙල්ල අහල ඉන්නව. නැත්තං දන්නවනෙ මොකද වෙන්නෙ කියල?.......දන්නෙ නැත්තං අහනව අපේ ඔය සන්ධානෙ ලේකං තුමාගෙං ඊගාවට මොකද වෙන්නෙ කියල ....එතුමා හොඳට දන්නව ඒ ගැන. ...ඒ මනුස්සයට බොහොම දරුනු ප්‍රායෝගික අද්දැකීං තියනව ඒ ගැන...හිහ්...හිහ් "
" ඇත්තටම සෑර් …..මොකද එතන වුනේ? "
මරාගෙ කණට කරල එහෙම ඇහුවෙ එතුමා ලඟම වාඩිවෙලා හිටිය මෝඩවන්ස තුමාය. මේ පාර චන්දෙදි මෝඩවන්ස තුමාගේ සුපුරුදු ස්වරාලය නොහොත් සවුන්ස් බොක්ස් එක අතේ අරගෙන නහර වැල් උලුප්පා යටිගිරියෙන් දෙසාබාන බටහිර අදිරාජ්ජවාදී කුරුමන්තරන කතාව එතුමා කියන්නේ නැත. එයට හේතුවනම් මරා චන්ද වියාපාරය ආරම්බයේදීම මෙසේ කියා තිබීමය.
" මේ ඕයි ගිරිය පුප්පගෙන ඔය අදිරාජ්ජ කුමන්තරන බහුබූතෙ ආයෙම කියන්නෙ එහෙම නෑ හොඳද? ඒක දැං මටම ඇතිවෙලයි තියෙන්නෙ. වෙන මොකක් හරි අලුත් බොරුවක් ගොතාගන්ට බැරිනං කටයි පුකයි වහගෙන සද්ද නැතුව ඉන්නව. "
ඒ අවවාදය ඉහමුදුනිම්ම පිළිගත් මෝඩවන්ස තුමා මෙවර ජාතියේ වීරවන්සය ලියන්නට සහ දැනගත්දාසිට කැප්පෙටිපොලට කෙලින්ට පෙරුම් පිරුවායයි මොකක්දෝ බහුබූතයක් ලියූ මෙලොව යකෙකුට නොතේරෙන පෝස්ටර් තාප්පයක් ගානෙ ඇලවීමෙං සෑහීමට පත්වුනේය.
" එතන වුනේ බං අර මිනිහ මගෙ බෝලෙ ඌරුතෙල් ගාන්ට ආවනෙ. "
" මොන බෝලෙද?..." මෝඩවන්ස තුමා ඇස් ලොකු කරල ඇහුව.
" මොන බෝලෙද කියන්නෙ? …..ඇයි යකෝ මම අර කොයි වෙලෙත් අතේ මිරික මිරික ඉන්න මහා බලගතු බෝලෙ..වෙන අහවල් බිබික්කමක්ද? "
ඇයි බොල ගොං අම්බරුවො..ඔය බෝලෙ පැය විසිහතරෙම මිරික මිරික ඉඳලත් නේද ජනාදිපතිවරනෙත් කෙලවෙලා ගියේ?... ගරු කටයුතු මෝඩවන්ස තුමා එහෙම ඇහුවේ නැත. හිතින් හිතුවා විතරය.එහෙම අහලා නවලෝකෙ බිල් ගෙවන්ට කහන සල්ලි නැතිහින්ද එතුමා සද්ද නැතුව උන්නේය. සන්දාන ලේකම් තුමාලට වගේ නෙවෙයි නෙව ඉතිං අපිට....හ්ම්ම්ම්ම්ම්...ඒ කම්පනා සියල්ල අකාමකාහල මෝඩවන්ස තුමා හිටපු ජනාදිපති තුමා කරන්නට යන කතාවට අවදානය යොමු කලේය.
" මම අද මේ කට්ටියටම එන්ට කිව්වෙ වැදගත් කාරනේකට…... චන්දෙට පාවිච්චි කරනවනම් මගෙ නිල වාහෙනේට සල්ලි ගෙවන්ට කියල මට දන්නල තියනව. "
" සෑර් ,…….බුදු සෑර් ඒකට නම් ඉඩ දෙන්ට එපා..අපි මේකට විරුද්දව උද්ගෝසනයක් කරමු. පාර්ලිමේංතුවෙ බුදියමු. රෑට චයිනීස් ගෙනල්ල කාල පාර්ලිමේංතුවෙ බුදියගමු. " මෝඩවන්ස උඩ පැනලා කෑගැහුව නෙවෙයි කෑ ගැස්සුන.
" ඉවරද?.ආ ඉස්සෙල්ල ඉවර වෙලා ඉන්නවකො. …" මරා රවාගෙන ඇහුව.
" ඉවරයි සෑර්….."
" හ්ම්ම්ම්......එහෙනං මේකත් අගහන්නව. කලිං පාර තොපි හරක් රැල ගිහිල්ල පාර්ලිමේංතුවෙ බුදියපු එකෙං මගෙ සායම ගිය එකයි වුනේ. වෙන කෙහෙල්මලක් නෙවෙයි, අනික මේ පාර කොහොමද බූරුවො පාර්ලිමේංතුවෙ ගිහිල්ල බුදියන්නෙ?... පාර්ලිමේංතුව දැං විසුරුවල ඉවරයි, ඒක හින්ද ගොං කතා කියන්නෙ නැතුව කට වහගෙන හිටහං "
මෝඩවන්ස කටවහගත්තට පස්සෙ එතුමා ආයෙම සබාව දිහාට හැරුන.
" මට නිලරතේට ලක්සයක් ගෙවන්ට කියල තියනව. ඔය ලස්සෙ මට නතිං. ඒත් 1994 අපේ ආන්ඩුව බලයට ආවට පස්සෙ මම ඔය මොනම හරි දේකට සත පහක් හරි ගෙවනවමයි. දැං අවුරුදු විසි එකක් වෙන්ට ආව මම ඉතාම නිහතමානී ආඩම්බරේකින් මේ ඔබ තමුන්නාන්සේලා ඉස්සරහ කියන්නෙ මගෙවත් මගෙ පවුලගෙවත් මගෙ දරුවංගෙවත් කිසිම දේකට මගෙ අතිං මම සත පහක් වියදං කරල නෑ. ඔව්...අන්න එහෙමයි මම. එහෙම හිටපු මට තමයි මේ දේසද්දොරෝහියො මේ ගුනමකුවො කියන්නෙ මම පාවිච්චි කරන වාහනේට ලක්සයක් ගෙවන්ට කියල. ඒත් මිත්තරවරුනි මගේ රට ජාතිය ආගම වෙනුවෙං මම ලෑස්තියි......ඔව්....මම ලෑස්තියි.... "
( දෙයි..දේයි..දේයි..ඒ මවිල් කොවිල්වන හඬ, ඒ හීගඩු පුප්පවන හඬ දසත සිසාරා යයි ... ඕකේ රිපීට් වන්ස් අගේන්..දේයි....දේයි..දේයි...රායිට් වන්ස් මෝ...දේයි....දේයි..දේයි )
" හරි සර්…..අපි මෙහෙම කරමු. ….." මාද්දිය ලොක්කා නැඟිට්ට.
" හරි කියනව බලන්ට මොකක් හරි අපිට වාසියක් වෙන වැඩක්. නිකං මේ ගොං කතාවක් නැතුව...."
" ඔය සල්ලි ගෙවන වැඩෙං අපි වාසියක් ගමු…….."
" හ්ම්ම්ම්. අන්න හරි..කියනව බලන්ට. ඕනම දේකිං වාසියක් ගන්ට පුලුවන්නං මම ලෑස්තියි. මම ඒකාලෙ ඉඳම්ම කලෙත් එහෙමනෙ. දැං බලමු අර සුනාමිය වෙලාවෙ……"
" සෑර් මේ..එව්ව හාර අවුස්සන්ට ඕන නෑ මේ වෙලාවෙ….."
මාද්දිය ලොක්කා වහා කීවෙ ලොක්කා කට වරද්දාගන්නට උපං හපනෙකු බව දන්නා නිසාය. ජනාදිපතිවරන වෙලාවෙ කිව්ව පයිල් හංගාගෙන ඉන්න කතාව ඒ වගෙ හත්පලේ ගා ගත්තු මරිමෝඩ කතාවක්ය.
" හ්ම්ම්ම්ම්. …..ඒකත් ඇත්ත තමයි අර කවුදත් කියනව වගෙ ගියදේ ගියාවෙ. හරි තමුසෙ මොකද්ද දැං කියන්ට ආවෙ? අන්න ඒක කියල ඉන්නව ඉස්සෙල්ල. "
" මම මේ කියන්ට ආවෙ….. ..අපි මෙහෙම කරමු කියල. ඔය ලස්සෙ ගෙවන එක අපි උත්සවාකාරෙං කරමු…..ටී.වී. පත්තර ඔය ඔක්කෝටම එන්ටෙයි කියල ආරාදනා කරල එහෙම "
" ඈ???.......... ඒ මොකටද ඒ? "
" ඉන්නකො කියනකල්..ලක්සෙ අපි ගෙනියන්නෙ දාහෙ කොලවලිං….. ලක්සෙට දාගෙ කොල කීයක් තියනවද? "
" කවුද බං ඔව්ව දන්නෙ?..... අනික කවුද සල්ලි වලිං ගණුදෙනු කරන්නෙ? ….සීෂෙල්ස් වල එකවුන්ට් නම්බර් එක දුන්න…"
" ෂ්ෂ්ෂ්ෂ්....,…..සර් සර්...මොනවද ඔය කියවන්නෙ? "
" අප්පට සිරි ….ඇත්තම නෙවෙන්නං තව පොඩ්ඩෙං ජලා හුටා...හොඳ වෙලාවට මෙතන ඉන්නෙ අපේ එවුම්ම විතරයි. හරි එව්ව ඇරිච්චාවෙ..තමුසෙ කියාගෙන ආපු එක කියනව. "
" ලක්සෙ ගෙනියන්නෙ දාහෙ කොලවලිං …"
" හරි ගෙනිච්චයි කියමුකො..ඊට පස්සෙ? "
" ඊට පස්සෙ කරන්නෙ සෑර් දැකල තියනවද ඔය පාර අයිනෙ එතකොට මාකට් එක ඉස්සරහ එහෙම ලොතරැයි විකුණන මිනිස්සු තෑග්ගක් දිනුව මනුස්සයට සල්ලි දෙන විදිහ? "
" නෑනෙ.. ඒ කොහොමද? …"
" ඔන්න අපි හිතමු දහදාහක් දිනුවයි කියල. ඉස්සෙල්ලම අර මනුස්සයගෙ නම ගම එහෙම අහල ඊට පස්සෙ ලවුස්කීපරෙං අහල ගං හතටම ඇහෙංට එලවුන්ස් කරලයි සල්ලි දෙන්නෙ. ඔන්න මෙහෙමයි. ඉස්සෙල්ලම රුපියල් දාහයි කියල ලවුස්කීපරෙං කියල අර මිනිහට රුපියල් දාහක් දෙනව. ඊට පස්සෙ රටේ නැති වල්පල් ටිකක් කියනව ලොතරැයි ගන්න එකේ තියන වාසි සහ ලාබ පොරෝජන ගැන., ඊලඟට තව දාහක් දෙනව. දැං දෙදාහයි කියල එලවුන්ස් කරනව. ආයම තව මොනවහරි විලම්බීත ටිකක් කියනව. ආයම දාහක් දෙනව...ඔන්න ඔහොමයි රුපියල් දහ දාහ දෙන්නෙ. "
" ඉතිං තමුසෙ කියන්නේ අපි මේ ලක්සෙ ගෙවන එකත් එහෙම කරමුය කියලද? "
" මෙහෙම කරමු සෑර්. ඔන්න ඔබතුමා ගිහිල්ල එතන සල්ලි බාරගන්න කවුරුහරි බලධරයට ඉස්සරෝම රුපියල් දාහක් දෙනව, ඊට පස්සෙ පොඩි කතාවක් කරනව. කොටි පරදවපු හැටි ගැන කියමුකො. එච්චර වෙලා ගන්ට එහෙම එපා. මේ විනාඩි තුන හතරක් ඇති. "
" හෙහ්..මරුනෙ..ඊට පස්සෙ? "
" ඊට පස්සෙ ආයෙම තව දාහක් දෙනව. ආයම පොඩි කතාවක්...නෑ අපි කියමු ඒකට කරුනු පැහැදිලි කිරීමක්ය කියල ඒක වඩාත්ම හොඳයි......හරි කරුනු පැහැදිලි කිරීමක් කරනව.අධිරාජ්ජියවාදී කුරුමන්තරන වලින් රට බේර ගත්ත හැටි..පන පිහිටුවල දෙන්ට ඔබ තුමාගෙ නම්බර් නෝට් සෑන්ඩ් පේපර් වොයිස් එකෙං...ඊට පස්සෙ තව දාහක් දෙනව..ආයම පොඩි කතාවක්..ආයම දාහක් දෙනව ..ආයම කතාවක්. "
" හෙහ්..ඒකනං මරු අයිඩියා එක..අම්මපල්ල උඹටත් වෙලාවකට එනව නෙව හොඳ හොඳ අපූරු කම්පනාවල්...රායිට් එහෙම කරමු. හරි ඒ වාහනේට සල්ලි ගෙවීමේ මහා වියාපුරුතියෙ මුල් පියවර හැටියට උඹලගෙ මාද්දිය ඒකකෙං නිවේදනයක් නිකුත් කරපල්ල මම මෙහෙම ලක්සයක් ගෙවන්ටයි යන්නෙ කියල……"
" හරි සෑර්..අපි එහෙම කරන්නං..ඊට පස්සෙ සෑර් ගිහිල්ල අර අපි කතා කරගත්තු විදිහට සල්ලි ගෙවන්ට. මේ සිද්ධිය ඇවිල්ල සිරි ලංකා ඉතිහාසයෙ රංවං අකුරිං ලියවෙන සුවිසේසී සිද්දියක්. ඒ හින්ද අපි නිවේදනයක් නිකුත් කරමු ඔබතුමා සල්ලි ගෙවනකොට මිහිකත කංපාවී ගුගුරා දෙස් දුන්නයි කියල. එතකොට තමයි වැඩේ නැඟලම යන්නෙ. මිනිස්සු සාදුකාරදෙයි හිටු කියල..."