Monday, November 30, 2015

372. The Story Of My Marriage - 16 - " Its Ok, It's ok,... kill me…kill me for that two bit girl " When my mother went ballistic……


1947 වසරේ අගෝස්තු මස ඉන්දියාව සහ පකිස්තානය වෙන් කිරීම - නිල වශයෙන් වෙන්වීම ක්‍රියාත්මක වීමට පෙර තමන් අභිමත දේශයට ලඟාවීමට උත්සුකවන මහජනයාගෙන් පිරී ඉතිරීගිය දුම් රිය මැදිරි. කුෂ්වන්ත් සිං ලියූ Train to Pakistan නවකථාව මේ ශෝචනීය අවස්ථාව මැනවින් පිළිබිඹු කරයි

මගේ ජීවිතයෙහි අහ්මදාබාද් යුගය එලෙස නිමාවිය.උපාධි සහතිකයෙන්ද සන්නද්ධව, ටෝපැස් ආපන ශාලාවෙහි මද ගින්නේ පැළහූ රන්වන් කුකුළු ගාත් , රම්භායිගේ පාද දෙකක් ඇදවුණු මදක් පසෙකට ඇලවුනු මේසය මත වූ පාවෝ භාජි ආදියට සමුදී, දවසේ දේශන අවසානයෙහි තුරුගොමුවෙන් සෙවණවූ මංපෙත් ඔස්සේ අපගේ සෙවණැළි සැඳෑ හිරු එළියෙන් දිග ඇදෙද්දී අනන්‍යා සමඟ අතිනත ගෙන ඇගේ නොනවතින දොඩමළුවට සවන් දෙමින් ඔහේ ඇවිදගිය කාලය නිමාකොට අපි තෙත් වූ දෑසින් සහ සුසුමින් පිරි හදින් යුතුව සමුගෙන දෙපසට ගියෙමු. මම දිල්ලියේ මගේ නිවෙසටත් ඇය චෙන්නයිහි ඇගේ නිවසටත් මේ සුවිසල් ඉන්දියාවෙහි එකිනෙකට පරස්පර, දුර ප්‍රමාණයෙන් මෙන්ම සමාජ ආගමික සහ අනෙකුත් චාරිත්‍ර වාරිත්‍රයන්ගෙන්ද සපුරා පරස්පර අන්ත දෙකකට ගියෙමු.

මගේ ජීවිතයේ ඉතා වැදගත් සන්ධිස්ථානයකට මා එළඹ සිටින බව මම හොඳාකාරව දැනසිටියෙමි. අනන්‍යා හා සමඟ මගේ පෙම් සබඳතාවයෙහි ඉරණම මත මගේ පෞද්ගලික ජීවිතය තීරණය වන අතර සිටි බැංකුව විසින් මා පත්කරනුයේ ඉන්දියාවේ කුමන ප්‍රදේශයකටද යන්න අනුව මගේ වෘත්තීය ජීවිතය තීරණය වනු ඇත.එළෙසම මගේ මව උදක්ම අපේක්ෂා කරන අන්දමට මගේ පත්වීම දිල්ලි නගරයට වුවහොත් ඒ අනන්‍යාගේ හා මගේ ඉදිරි සැළසුම් කෙරෙහි ඉතා අහිතකර ලෙස බලපානු ඇත. අපගේ වැඩිහිටියන්ගේ අප කෙරෙහි දක්වන ආකල්පය අනුව අපේ සබඳතාවය එකිනෙකාගෙන් බොහෝ දුරස්ථව හිඳ සාර්ථක කොට ගැනීම ඉතාමත්ම දුෂ්කර කාර්යයක් බව ඇය මෙන්ම මම ද ඉතා හොඳින් වටහාගෙන සිටියෙමු.

ඒ අතර මට අවශ්‍ය වූයේ හැකි ඉක්මණින් ප්‍රමාණවත් මුදලක් උපයාගත් වහාම බැංකු රැකියාවෙන් ඉවත්ව මගේ සදාතනික සිහිනය වූ ලේඛන කලාවෙහි නිරතවන්නටය. මේ සියල්ල සමබරකොටගෙන ජීවිතය ඉදිරියට ගෙනයාම කිසිදු අයුරකිනුදු සුකර කාර්යයක් නොවන බව මම අත්‍යන්තයෙන් දැන සිටියෙමි.එසේ හෙයින් සිටි බැංකුවෙන් මගේ පත්වීම් ලිපිය ලැබෙන තෙක් මම නිවසෙහි කාලය ගතකලේ මහත් නොඉවසිල්ලකිනි.

සතිදෙකකට පමණ පසු බැංකුවට බඳවා ගැනෙන නවක සේවකයින් විසින් සම්පූර්ණ කලයුතු මුද්‍රිත විස්තර පත්‍රිකාවක් මා නමට තැපෑලෙන් ලැබිණි. මුලුතැන්ගෙය මධ්‍යයේවූ අඩි හතර හතර ප්‍රමාණයේ ලී මේසය මත තබාගත් එළවළු කපන ලෑල්ලක මගේ මව දිවා ආහාරය උදෙසා බණ්ඩක්කා කපමින් පසුවූවාය. මම ඈ ඉදිරියේ වූ අනෙක් අසුනෙහි හිඳ බැංකුවෙන් ලද විස්තර පත්‍රිකාව බොහෝ උනන්දුවෙන් කියවමින් සිටියෙමි.

"මොනවද ඔයා ඔය ඔච්චර උනන්දුවෙන් කියවන්නෙ?" මගේ මව හිස ඔසවා මදෙස බලා විමසූයේ වමතින් ලෑල්ලට තබා තෙරපාගත් බණ්ඩක්කා කරල් කිහිපය දකුණතින් ග්‍රහණය කොටගත් තියුණු පිහියෙන් කිසි කිසි ගා කපමිනි.

"ආ..මේක මේ සිටි බැංකුවෙං එවපු විස්තර පත්‍රිකා වගයක්.අළුතෙන් බැංකුවට බැඳෙන අය මේ විස්තර ලියල දෙන්න ඕන. මෙතන තියනව මයෙ හිතේ කොළ පණහකටත් වැඩිය. මොනවට මේ හැටි විස්තර ඉල්ලනවද මට තේරෙන්නෙ නෑ. මම මේ හරියට බැංකුවෙ සභාපතිහෙ දුව බඳින්ට ඇහුව වගේනෙ මේ මිනිස්සු මේහැටි විස්තර අහන්නෙ. මේ බලන්න. මෙතන පස්වෙනි පිටුවෙ අහනව මෙහෙම. ඔබගේ මව උපත ලද ස්ථානය සඳහන් කරන්න. ඒ විස්තර මොන කෙහෙල්මලකටද බැංකුවට කියල මටනම් තේරෙන්නෙ නෑ අම්මෙ."

"ම්ම්ම්..මටත් නම් හිතාගන්න බෑ තමයි" කපන ලද බණ්ඩක්කා පෙති ඇතිළියකට දමමින් මගේ මව පැවසුවාය. "ඒත් ඒ ප්‍රශ්නේට උත්තරේ නම් ලහෝර් වල ඉඳල දිල්ලියට එන අතරමඟදි.ඔයා දන්නව නේද අර පන්ජාබිභාග් තියෙන්නෙ. අන්න එහෙ තාවකාලික කූඩාරමක තමයි මම ඉපදුනේ."

"ඈ? ඔය ඇත්තමද? මම මේ වෙනකල් එහෙම දෙයක් දැනගෙන හිටියෙ නෑනෙ" මම ඇය දෙස විස්මයපත්ව බලාසිටියෙමි.

දැනට පකිස්තානයට අයත් ලාහෝර් නගරයේ පදිංචි කරුවන්වූ මගේ මවගේ දෙමව්පියන් 1947 වසරේ අගෝස්තු මස සිදුවූ බ්‍රිතාන්‍ය ඉන්දියාව, ඉන්දියාව සහ පකිස්තානය ලෙස ස්වාධීන රටවල් දෙකකට බෙදා වෙන්කිරීමේදී දිල්ලි නුවරට පළා ආවෝය. එසේ පැමිනි ලක්ෂ සංඛ්‍යාත සරණාගතයින් මුල් දින කිහිපය ගත කලේ තාවකාලික මඩු කූඩාරම් වලය. වර්තමානයෙහි දිල්ලියේ ධන කුවේරයින් බොහෝ දෙනෙකුගේ සුඛෝපභෝගී මන්දිර පිහිටි පන්ජාබිභාග් ප්‍රදේශය එදවස ජන ශූන්‍ය මුඩුබිමක් වූ අතර පකිස්තානයෙන් පැමිනියවුන් බොහෝ දෙනෙකුගේ මුල් නවාතැන්පොළ වූයේ එහි ඇටවූ තාවකාලික කූඩාරම්ය. මගේ මවගේ දෙමව්පියන් එසේ පකිස්තානයෙන් පලා ආවුන් බව දැන සිටියද ඇය උපත ලද්දේ එවන් කූඩාරමක බව මම මෙතෙක් දැන නොසිටියෙමි.

"ම්ම්ම්..හරියටම කිව්වොත් අපේ තාත්තා මට පස්සෙ කාලෙක පෙන්නුව ඒ කූඩාරම තිබ්බ තැන. දැන් ඔය අර මොකක්ද ෆිල්ම් හෝල් එකක් තියෙන්නෙ අන්න එතනට පොඩ්ඩක්...."

මම සුරත ඔසවා ඇගේ කතාව නතර කලෙමි. "ඔය විස්තර ඔක්කොම ලියන්ට මේකෙ ඉඩ නෑ අම්මෙ..මම ලියනව දිල්ලිය කියල. ඉවරනෙ කතාව. "

"හරි හරි එහෙම ලිව්වම ඇතිය කියල ඔයාට හිතෙනවනං එච්චරයි. මම මේ කිව්වෙ හරියටම විස්තරේ ලියන්ට ඕන නං කියලයි."

ගිම්හාන කාලය තවමත් හරිහැටි ලඟානොවුවද මේ වන විට දිල්ලියේ උෂ්ණත්වය උදෑසන එකොළහ පමණ වනවිට සෙන්ටිග්‍රේඩ් අංශක හතළිහ ඉක්මවා නොගියේ එහෙමත් දවසකය.අධික උෂ්ණත්වය හේතුකොටගෙන නිවසින් බැහැරව යාමට මැළිවූ මම දවස ගෙවා දැමූයේ දිනපතා සවස දුරකථන ගාස්තු අවමවන හයේ කණිසමෙන් පසු අනන්‍යාගෙන් නොවරදවා ලැබෙන ඇමතුම බලාපොරොත්තුවෙන් සහ එතෙක් මගේ පොත් රාක්කයෙහි වූ බොහෝ කලකට පෙර මම මිළදීගත් නවකථා කිහිපයක් කියවමිනි.

එසේ නැතහොත් මම මුළුතැන්ගෙට ගොස් නිතර දෙවීලේ එහි වැද කුමන හෝ ආහාරයක් පිළියෙල කිරීමෙහි නිරත මව හා අල්ලාප සල්ලාපයෙහි යෙදුනෙමි. මගේ පියා බොහෝ විට නිවසෙහි නොසිටි අතර ඔහු ආගිය තැනක් දත් හෝ ඒ ගැන උනන්දුවූ කිසිවකු හෝ නොවූහ. 

"මේ ෆෝම් එකේ ඔයා පුරවන්ට ඕන නේද කොහෙද ඔයා වැඩ කරන්ට කැමති බ්‍රාන්ච් එක කියල?" මගේ මව විමසුවාය. 

"ඔව්……." මම ඉවත බලාගෙන පිළිතුරු දුනිමි. 

"ඔයා ලිව්වෙ දිල්ලිය කියල නේද?" ඇය යළිත් විමසුවාය. 

මම කිසිවක් නොපැවසූයෙමි.

"මොකෝ කතා නැත්තෙ? දිල්ලි කියල නේද ලිව්වෙ? "

"හරි හරි... මම තවම ඒ හරියට ආවෙ නෑ. ඒ ප්‍රශ්ණෙට ආහම මම දිල්ලි කියල ලියන්නංකො"

එවිටම සාලයෙන් මුළුතැන්ගෙට ඇතුළුවන දොර අසල කුඩා රවුම් කනප්පුවක් මත වූ දුරකථනය හඬ නඟන්නටවිය. ඉරිදා දිනයෙහි දුරකථන ගාස්තු මධ්‍යාහ්න දොළහේ සිට හරි අඩකින් අඩුවන බැවින් ඒ අනන්‍යා බවට මට කිසිදු සැකයක් නොවීය.

මම වහා එහි ගොස් රිසීවරය එසවීමි "හලෝ...."

"හා...ලෝ..ම....ගේ සූ..කි..රි..බෝ..ලේ.." අනන්‍යා අකුරින් අකුර අදිමින් රිද්මයකට ගායනා කළාය. 

"ඔහේගෙ ගරුකටයුතු මෑණියන් වහන්සෙ නම් ෂුවර් එකටම ගෙදර නෑ වගේ නේද? හෙහ්,හෙහ්, " මම ඇසුවෙමි. මම හැකිතරම් හඬ පහත් කොට කථාකලේ මගේ මවගෙ දෑත් යාන්ත්‍රිකව බණ්ඩක්කා කැපීමෙහි නිරත වූවද ඇගේ සම්පූර්ණ ආධානය යොමුවී ඇත්තෙ මෙදෙසට බව මම සහතික ලෙසම දන්නා බැවිනි.

"මෑණියන් වහන්සේ නිවසෙහි නැත. මෑණියන් වහන්සේ නිවසෙහි නැත.. එතුමී ගියා බඩු ගන්ට... හෙට අපේ වර්ෂා පිරප්පු උත්සවේනෙ. අන්න ඒකට"

"වර්ෂා මොකක්? "

"වර්ෂා පිරප්පු. අපේ දෙමළ අලුත් අවුරුද්ද..ඇයි ඔයගොල්ල ඒ ගැන දන්නෙ නැද්ද?" ඇගේ හඬෙහිවූ කෙලිලොල් ස්වභාවය එක්වරම පහව ගිය අයුරක් මට දැනිනි. 

"ආ..දන්නව දන්නව මොකද අනේ නොදන්නෙ?.....මට එක පාරට පොඩ්ඩක් මේ අමතක වගෙ වුනානෙ. හරි සුබ නව වසරක් මැඩම්"

"හරි හරි තෑන්ක්ස්..ඒක නෙවෙයි සිටි බැංකුවෙ ෆෝම් එක ආවය කිව්ව නේද? ඒක තවම පුරවල යැව්වෙ නැද්ද? "

"නෑ තවම නෑ...තව ප්‍රශ්ණ හත අටක් පුරවන්ට තියනව.. ඒකයි මේ.." මම ඉතිරි වදන් ගිල ගත්තෙමි.

"ඕකෙ මම හිතන්නෙ ඔයා වැඩ කරන්ට කැමති තැන් දෙකක්ද තුනක්ද කොහෙද ලකුණු කරන්ට තියනව කැමැත්තෙ අනුපිළිවෙලට. චෙන්නයි කියල මුලින්ම දාන්ට හොඳද?" 

මම නිහඬව සිටියෙමි.

"මේ..මොකෝ කතාවක් බහක් නැත්තෙ? එහෙම දානව නේද?"

"ඉන්නකො පොඩ්ඩක්...." මම දුරකථනයද රැගෙන එහි රැළි වැටුනු වයරය දිග ඇතිතෙක් මගේ මවගෙන් ඉවතට ගියෙමි. 

"මේ... අපෙ අම්ම කියනව දිල්ලි කියල දාන්න කියල" මම රිසීවරයට මුව ළංකොට හැකි පමණ පහත් හඬින් පැවසුවෙමි.

"ඉතිං? ඔයාටත් ඕනෙ දිල්ලියෙම ඉන්නද? H.L.L. එක මට පත්වීම දෙන්නෙ අනිවාර්යයෙන් චෙන්නයි වලට. ඒකෙ ආය ඒ ගොල්ලො එක්ක කතාබහ කරල වෙනසක් කරගන්න කොහෙත්ම බෑ.ඒ හින්ද ඔයා දිල්ලියෙ නතර වුනොත් අපි දෙන්න කොහොමද අපේ අනාගතය ගැන තීරණයක් ගන්නෙ?"

"හරි හරි කලබල වෙන්නෙ නැතුව ඉන්නකො. අපි කොහොමහරි අපිට ඕන විදිහට වැඩේ කරගමු. ඒත් මම චෙන්නයි ආවොත් අම්ම හිතයි එහෙම කලේ ඔයා හින්දයි කියල"

"හරි…. ඉතිං මොකද? ඔයාට බැරිද කෙලින්ම අම්මට කියන්න. ඒක එහෙම තමයි කියල"

"එහෙම කොහොමද අනේ මම එක පාරටම අම්මට මූණටම එහෙම කියන්නෙ?"

"මම දන්නෙ නෑ ක්‍රිෂ්. H.L.L. එකෙන් මට ඔප්ෂන් එකක් දුන්නෙ නෑ. එහෙම දුන්නනම් මම කෙලින්ම ඉල්ලනව දිල්ලිය.මට ඔයාව නොදැක ඉන්න බෑ ක්‍රිෂ්,අනේ ප්ලීස්..ඉක්මනට මෙහෙ එන්නකො චුට්ටො මම ඔයා එනකල් බලා ඉන්නව"

"මෙතන වැඩේ මම තව කෙනෙකුගෙ චුට්ටනෙ. දෙන්නෙකුට එක පාර චුට්ට වුනාම වහ කෑව වගේ තමයි.කොහෙංවත් බේරුමක් නෑ. ඒයි මේ අන්න අම්ම මා දිහා ඔරවගෙන ඉන්නව.මම තියන්නං"

"මේ මේ...ඒයි පොඩ්ඩක් හෝව්....ෆෝන් එක තියන්න ඉස්සරවෙලා එකම එක පාරක් කියන්නෙ I love you කියල"

"හරි ඉතිං මම එහෙම තමයි. ඕක ආය වෙනම කියන්න ඕනය?"

"එහෙම බෑ එක පාරක් ඒ වචන හතර කෙලින්ම කියන්න පැහැදිලිව I love you Ananya කියල"

"අර අම්මත් අහගෙනද කොහෙද ඉන්නෙ? පිස්සුද මන්ද…."

මගේ මව සාවධානව මෙදෙසට සියළු කන් හරවාගෙන හිඳිනා බව මට සහතිකය. මම ඇය දෙස යන්තමට හිස හරවා බැලුවෙමි. ඇය අවසාන බණ්ඩක්කා කරල් කීපය බූව ඉවත් කිරීම පිණිස තෙත් රෙදි කඩකින් පිස දමමින් සිටියාය. ඈ අසල වූ තියුණු මුවහතින් යුතුවූ පිහිය මුළුතැන්ගෙයි කවුලුවෙන් පරාවර්තනයවී එමත පතිතවූ හිරු රස් දහරකින් දිලිසුනි.

"Movies I love. you should see them too" මම හැකිපමණ රිසීවරයට මුව ලංකොට පැවසූයෙමි…." හරි නේද?"

"ඒයි..ඒයි...එහෙම ඔට්ටු නෑ එහෙම ඔට්ටු නෑ" දුරකථනයෙහි අනෙක් අන්තයේ සිට අනන්‍යා මවාගත් කෝපයකින් හඬ නැඟුවාය. 

"ඒ ඇති ඒ ඇති..හෙහ්,හෙහ්,...මම තියනව එහෙනං..බායි"

"ඕකේ, අයි ලව් යූ, බායි" ඇය දුරකථනය විසන්ධි කලාය.

හිස පහතට නවාගත්වනම නිහඬව තම කාර්යයෙහි යෙදෙනා මෑණියන් දෙස ඇස් කොණින් බලමින් මම ආපසු මුළුතැන්ගෙය වෙත පැමිණියෙමි.මසිත පෙලනා වරදකාරී හැඟීමෙන් මිදෙනු නොහැකිවූ හෙයින්ම මේසය මතවූ ඇය මොහොතකට පෙර පිසදැමූ බණ්ඩක්කා කරල් කීපයක් ගෙන යලි පිසදමන්නට වීමි. 

"මොකද ක්‍රිෂ් ඔය කරන්නෙ? ඔව්ව මම පිහදාල තියෙන්නෙ? ආය පිහදාන්න ඕන නෑ." මගේ මව නළල රැලිකොටගනිමින් මා දෙස බලා යලි මුහුණ පහතට හරවා ගත්තාය.

මම නිශ්ශබ්දව මේසය මතවූ ඇය කපා ඉවත්කල බණ්ඩක්කා නැටි කිහිපයකට මම ඇඟිල්ලෙන් අනින්නට වීමි.

"අර මැඩ්රාසි කෙල්ල නේද ඒ කතා කලේ?" මගේ මව නිශ්ශබ්දතාවය බිඳිමින් විමසුවාය. 

"එයාගෙ නම අනන්‍යා…" මම පපුව පුරාගත් හුස්මක් පහලට හෙලුවෙමි. 

"ඒ කෙල්ලත් එක්ක ආශ්‍රයක් ඕන නෑ කියල මම ඔයාට කලිනුත් කියල තියනව.ඔවුන් හරි දක්ෂයි නාස් ලණුව දාගන්ට." 

"අම්මටත් මම කලින් කියල තියනව මම අනන්‍යාට කැමතියි. කැමතියි නෙවෙයි ඇත්තටම ආදරෙයි." 

"අන්න ඉතිං... බොරුද මම කිව්වෙ? ඔය තියෙන්නෙ ඇස් පනාපිට සාක්ෂි, දැනටම මට පේන්නෙ නාස් ලණුව….."

"අම්මා!!!!!" මම කෝපයෙන් කෑගැසීමි. "කවුරුවත් මට නාස් ලණුවක් දාපු එකක් නෑ. මම ගොනෙක්ද නාස් ලණු දාන්ට? " කෝපයෙන් රතුවූ මුහුණින් යුතුව මම මේසය මතවූ බණ්ඩක්කා කරල් කිහිපය ගෙන යලි මේසය මතටම වේගයෙන් දමා ගැසීමි.

"අනන්‍යා කියන්නෙ හොඳ ගෑණු ළමයෙක්. එයා ලස්සනයි, උගත්, ඒ වගේම හැමෝම එක්ක සුහදව ජීවත් වෙන්ට දන්නව.ඉතිං මට කියන්න එහෙම කෙනෙක් මොකටද මට නාස් ලණුවක් දාන්න හදන්නෙ? එයාට එහෙම කරන්න කිසිම ඕන කමක් නෑ. ඇයි එයා එහෙම කරන්නෙ?" 

"ඔයා මොනවද ක්‍රිෂ් ඔය දකුණෙ කෙල්ලො ගැන දන්නෙ? එයාල බොහොම කැමතියි උතුරු ඉන්දියානු කොල්ලෙක් අල්ලගන්ට."

"ඇයි ඒ? මොකක්ද උතුරු ඉන්දියානු කොල්ලන්ගෙ තියෙන ඔය හැටි ඔය විශේෂෙ?"

"ඒකට හේතුව මේකයි" මගේ මව පැහැදිලි කරන්නට වූවාය."උතුරු ඉන්දියානුවො දකුණෙ අයට වඩා සුදුයි. ලස්සනයි. ඔන්න ඕක හින්ද ඔය දකුණෙ අයගෙ තියනව ඔය ගැන ලොකු හීනමානයක්."

"අනේ අම්මෙ මේ...." මම හිඳ සිටි අසුනින් නැඟී සිට ඇයට කරුණු වටහා දීමට තැත් කළෙමි. " අනන්‍යාට IIMA එකේ M.B.A. උපාධියක් තියනව. ඒ වගේම එයා ලස්සනයි. අනික අම්ම එයාව දැක්කනෙ. ඔය අම්ම කියන කෙහෙල්මල් හමේ සුද ගැන බැලුව වුනත් ඇත්තටම අනන්‍යා මටත් වඩා සුදුයිනෙ." 

"ආන්න.. ආන්න... ඒකනෙ කියන්නෙ. ඔය පොත්ත රතුවට ජම්බියො වගෙ ඉන්න අංගනාවියො තමයි විස්වාසම කරන්ට බැරි. අර දෙන්නත් ඔය සුදු පාට අය තමයි." 

"මොන දෙන්නද?"

"හේමා මාලිනියි, ශ්‍රී දේවියි. ඇයි මතක නැද්ද? මම එහෙදිත් අර කිව්වෙ."

ඇගේ කිසිදු පදනමක් නැති අභූත චෝදනාවන් මගේ කෝපය නිම් හිම් නොමැතිව උතුරා යෑමට හේතුවිය. 

"අම්මා!!!!...." මම බිරුසන් දුනිමි." පිස්සු විකාර කියවන්නෙ නැතුව ඉන්නවද? මම කිව්වනෙ... මොකක්ද මේ හේමා මාලිනියි ශ්‍රී දේවියි ඇදගෙන කොයි වෙලෙත් කරන විකාරෙ? කරුණා කරල අනන්‍යාව එයාලට සමාන කරන්ට එපා. ඇහුනද? " මම අත මිට මොලවා මේසයට ගසමින් කෑගැසීමි.

මගේ අවාසනාවට මා මේසයට අතමිට මොළවා ගැසූ පහර වැදුනේ මේසය මතවූ පිහිය අසලටය. පහරේ වේගය කරණකොටගෙන වීසිවීගිය පිහිය මේසය මත වූ මගේ මවගේ දකුණතෙහි මහපට ඇඟිල්ලෙහි ගැටුණි.මුළුතැන්ගෙහි ඇය භාවිතයට ගන්නා සියළු මෙවලම් සහ උපකරණ හොඳින් නඩත්තු කිරීම මගේ මවගේ සිරිතකි. එහෙයින් ඇය භාවිතා කරන පිහි ද ඇය ඉතා හොඳින් මුවහත්ව තබාගැන්මට නිතොර වගබලාගත්තාය.තියුණු පිහියට කැපුණු ඇගේ මහපට ඇඟිල්ලෙන් එකෙනෙහිම රුධිරය වෑහෙන්නට විය.

"අනේ අම්මෙ මම හිතල කරපු දෙයක් නෙවෙයි..මට සමාවෙන්න…" මම වහා ඇය වෙත යමින් ආයාචනා කලෙමි. 

"ඒකට කමක් නෑ..ඒකට කමක් නෑ..මාව මරන්නකො..මාව මරන්නකො..අර කොහෙවත් ඉන්න කෙල්ලක් හින්ද ඔයා මාව මරනවනම් මට ඒකට කිසිම ප්‍රශ්නයක් නෑ. මාව මරන්න.මාව මරන්න….." ඇය අවසිහියෙන් මෙන් නොනවත්වා කියවන්නට වූවාය.

Friday, November 27, 2015

371. විමලෙගෙ වාංපතුල් කතා - 38 - ඇහැළ මල් පිපෙනා දෙවට සහ සැවැන්දරා සුගන්ධය....


ඇහැළ මල් 
කුකුලව ආයෙම දකුණු අතිං අරගෙන මම ඒ පාරනං ආයම කිසි අවුලක් නැතුව එලියට පැනගත්ත. අමරෙ කෝ? මේකා නෑනෙ පේන්ටවත්..ම්ම්ම්..මොකක්ද අර මංගල සබාව පැත්තෙං මහ ගාල ගෝට්ටියක් ඇහෙන්නෙ? දෑවැද්ද මදිය කියල මනමාලයගෙ පැත්තෙ උදවිය වලියට ඇවිල්ල වත්ද? අඩෝ එහෙම කොහොමද? සුජිතා අක්ක වෙනුවෙන් අපි ඕනම වෙලාවක රෙඩි අපි ඇවිල්ල අජිතයගෙ යාලුවො..පට ගාල තව එකක් දාගෙන ගිහිල්ල බලන්ට ඕන අජිතය කොහෙද කියල...ඒ වෙලාවෙ ඌට අපේ උදව් ඕන වෙලාව..එතකොට කුකුළා?...ආය කෙහෙල්මල් කුකුළෙක්..කුකුළා වගේද අජිතය...

අජිතය හොයන්ට යන්ට ඕනය කියල හිතල මම පොඩි එකක් දාගත්ත විතරයි. එතනට කඩාගෙන පැනපි නිමලය. නිමලය අර මම කලිං කිව්වෙ ඔය ඒ කිට්ටුවම වාගෙ නවක දම්පතීන් බවට පත්වෙච්චි එකෙක්. ඒ කිව්වෙ මේ ඊයෙ පෙරෙයිද බැඳපු එකෙක්. ඔය එහූ එවුං කරන්නෙ යන්තමට දෙකක් නවාගෙන " මචං එහෙනං අපි යඤ්ඤං බත් කන්ට" කියල මාරුවෙනව. අපිත් එහෙම යන එවුං නවත්තගන්ට ට්‍රයි කරන්නෙ එහෙම නෑ. ඕකේ මචං කියල සමුදෙනව. නැත්තං අනිවාර්යයෙං සිද්ද වෙන්නෙ ඩිංගක් බලල පොලීසියෙං කසිප්පු අල්ලන්ට පයින්නැහෙ ඒ බිරින්දෑවරු කඩාපනිනව මුංව ඇදගෙන යන්ට. 

ඉතිං නිමලය කඩාගෙන පැනපි අර රිතූ ආකර්සා පාර්ලිමේන්තුවෙ බැරියර් කඩාගෙන ගියා වගේ. රිතූ ආකර්සා මේ දවස්වල ඉන්නව අර ආදර වස්සා කතාවෙ. සොරි ආදර වස්සා නෙවෙයි ආදර වැස්ස...අර තේමා ගීතයක් තියෙන්නෙ ආ..ද..ර... වැ...ස්...ස..ආ..ආ..ආ..ආ..ආ... කියල. මම නොවැරදීම බලන කතාවක් ඔය. 

"මොකද බං?" මම ඇස් ලොකු කරගෙන ඇහුව. 

ඔය සුට්ටක් විතර වැඩිඋනහම මම ඇස් ලොකු කරගෙනලු ඉන්නෙ. මයෙ ඔය අතිජාත මිත්තරයො තමයි එහෙම කියන්නෙ. "මේ ***** ට වැඩිවීගෙන එනකොට කිව්වැහැකි. මූ ඇස් ලොකු කර ගන්නව උණහපුළුවෙක් වගෙ...හෙහ්,හෙහ්, " එහෙම කියල උං හිනාවෙනව. 

"මොකද තමයි..වරෙං යන්ට විජහට…"

"කොහෙ යන්ටද බං?"

( මම ඔය වචන ඔක්කොම පටලැවිලැවි කිව්වෙ හොඳද? ඒත් එහෙම ලියන්ට ඕන නෑනෙ නේද? ඔබ තමුන්නාන්සෙලා එහෙම හිතාගන්ට. අර හෝතඹුව කිව්ව වගෙ ඉමැජිනේෂන්කම්පාල එහෙම....හෙහ්,හෙහ්, )

"මේ... වරෙංකො... කතාකරකර ඉන්ට වෙලාවක් නෑ....ඔය ඔතන කාමරංගා ගහ ගාවින් ගිහාම වැට පැනල දෙවටට වැටෙනව. උඹ වරෙංකො යන්ට." 

නිමලය ඒ ගමේම එකෙක්. අජිතයලගෙ අම්මලගෙ පැත්තෙං දුර නෑ කමකුත් තියනව.

"ඉතිං බං,….. කොහෙද යන්නෙ මේ? "

"උඹ යමංකො කෑගහන්නැතුව. වරෙං වරෙං...." නිමලය මගෙ අතකිනුත් අල්ල ගත්ත. 

"එතකොට මේ බෝතලේ? "

"ආය මඟුලක් කතා කරනව. ඔය කෙහෙල්මල හින්ද තමයි මේ ඔක්කොම..මෙන්න මෙහෙ වරෙං...."

"අඩේ බං අච්චර අමාරුවෙං අරගෙන ආපු කුකුළ?"

"මේ යකෝ....උඹ එනවද නැද්ද? "

"හරි...හරි.........කෑගහන්නැතුව ඉඳහං..එතකොට අජිතයට කියන්නෙ වත් නැතුව?"

"අජිතයට මම කියන්නං…"

ඒ වෙනකොට කතා කර කරම අපි වැට ගාවටත් ඇවිල්ල. එතන කම්බි පොටවල් දෙක තුනක් එහා මෙහා කරල පොඩි කපොල්ලක් වගෙ හදල තිබ්බ. එතනිං නිමලය මාව පරිස්සමට රිංගවල එතනිං එහා තිබ්බ දෙවටට මතුවුනා. දෙවට දිගේ කහපාට ඇහැළ මල් පිපිල හුළඟට හෙමිහිට හෙලවුනා.

ඇහැළ මල් පිපෙනා දෙවට දිගේ නුඹ පිය මැන්නා..
පුන් පෝය දාට සඳ විලසින් මුහුණ පෙනෙන්නා.
ඈත මෑත..



"ඒ පාර සිංදු කියන්ට ගත්තද? පිං සිද්ද වෙයි කට වහගෙන යමං.."

"ඇයි බං සිංදුවක් කිව්වම මොකද වෙන්නෙ? අනික කුණු හරුප නෙවෙයිනෙ…"

"සිංදු තමයි ..මෙන්න මෙහෙ යමං කිව්ව නේද කට වහගෙන දැං එක පාරක්...."

"හරි මේක කියාපංකො මට….කොහෙද මේ යන්නෙ? "

"අර වෙලෙං එහා වෙහෙරක් පේනව නේද?

"ඔව්..ඔව්...ඒත් උඹ කියන්නෙ කොයි වෙහෙර ගැනද? වම් පැත්තෙ එකද? දකුණු පැත්තෙ එකද? නැත්තං මැද එක ගැනද?"

නිමලයට ඒ පාර නම් නෝත් සවුත් මාරු වුනා. 

"තෝ මගෙං කුණු හබ්බ අහගන්ට එපා , මැද එකද?....හුහ් …. මැද එක ගැන මම දැං මෙතන කියන්ට ගත්තොත්...."

"හෙහ්...හෙහ්...හෙහ්..."මම එතනම නැවතිලා දෙකට නැවිල හිනාවෙන්ට ගත්ත. 

"මොකෝ කබ්රාල්ද? "නිමලෙ ඇවිල්ල මගෙ පිට අතගාන්ට ගත්ත. 

"නෑ බං ..එහෙමවත් නම් එකක්.මට මේ උඹ මට බණින විදිහට හිනා ගියා..හෙහ්,හෙහ්.."

"බණින්ට නෙවෙයි තියෙන්නෙ උඹට...අම්මප බං උඹත් කරන වැඩ…"

"ඇයි මොකද්ද මම කරපු වැඩේ?"

"හරි හරි ඒක අපි හෙට උදේට කතා කරමුකො...මේ ඒක නෙවෙයි..ඇත්තම කියපං..උඹට වෙහෙරවල් තුනක් වගෙ පේනවද අතන? "

"වෙලාවකට එකක් පේනව..ආයම දෙකකුත් පේනව..පෙලක් වෙලාවට තුනකුත් පේනව.."

(අර ග්‍රේස්ගෙ අම්මගෙ රෙද්ද වගෙ. වෙලාවකට නිල්පාටයි කලු රේන්ද අල්ලල..ආයම වෙලාවකට සුදු පාටයි රේන්ද රත්තරං පාටයි)

"හරි….හරි..එක හරි…. දෙක හරි…. තුන හරි කීය හරි දැං යම.. "

"ඉතිං කොහෙද කියල තාම කිව්වෙ නෑනෙ…"

"අපෙ මහගෙදර තියෙන්නෙ ඔය වෙහෙර පහුකරල ඒ  ඊමම  එහෙ ඉන්නෙ අපෙ ලොකු අයිය විතරයි. උඹ අද රෑට එහෙ ඉඳහං .මම රෑට බත් ගේන්නං අයියටයි උඹටයි දෙන්නටම."

"ඇයි බං මම එහෙ ඉන්නෙ? අනිද්ද සුජිත අක්කගෙ හෝම් කමිං එක. කොච්චර වැඩ තියනවද ඊට කලිං කරන්ට"

"හරි හරි බං ඒ වැඩ ගැන හෙට උදේ කතා කරමුකො."

නිමලය මාව එක්ක ගිහිල්ල උගෙ ලොකු අයියට අඳුන්නල දුන්න. ලොකු අයියත් හරිම තැන්පත් ගුණයහපත් මනුස්සයෙක්ය කියල බැලූ බැල්මට පේනව. අවුරුදු පණහක් වගෙ ඇති. මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙ වැඩ කරල තියෙන්නෙ. වාකරේ පැත්තෙ මහ කැළෑව මැද්දෑවෙ පලු ගහකිං වැටිල දකුණු කකුල කැඩිල ගෙදර ඇවිල්ල මාස හයක් විතර බෙහෙත් කරද්දි තමයි අම්මයි අප්පච්චියි දෙන්නම නැතිවෙලා තියෙන්නෙ. ඊට පස්සෙ මහ ගෙදර සහ අවට වතු පිටි බලාකියා ගන්ට කවුරුවත් නැති හින්ද එහෙම්මම රස්සාවට නොගිහිං නැවතිල. බැඳල එහෙමත් නෑ.

"මම කියන්ටද? උඹ ටිකක් එහෙනං නිදාගනිං..මොකවත් කනවද? මොනවද ලොකු අයියෙ තියෙන්නෙ? "

"දවල් උයපු බත් නම් ටිකක් වගෙ ඉතුරු වුනා.මම සම්බෝලයක් හදල කරවල කෑල්ලක් පුච්චල ගන්නං විජහට." ලොකු අයිය කිව්ව.

පොල් සම්බෝලයි කරවල පුච්චපුවයි ගැන ඇහෙනකොට ඉස්සෙල්ල මගෙ කටෙං කෙළ වැටුන. ඒ එක්කම ආමාසයෙ ඉඳල උගුරත් පිච්චීගෙන වගෙ ආව මහ අමියාවක්.

"එපා බං මම නිදාගන්නං ටිකක්."

"හරි පොඩි මල්ලි යන්න. මේ මල්ලි ටිකක් නිදාගත්තාවෙ. නිදාගෙන ඇහැරල පල්ලෙහා කොරටුව ගාව ළිඳෙං වතුර ටිකක් කාරිය නාගත්තම ඔය අමාරු ඔක්කොම ඇරිල යයි."

නිමලෙය ගිහාම ලොකු අයිය මට සරමක් ගෙනත් දුන්න.කලිසමයි කමිසෙයි ගලවල දාල සරම යන්තමට ඉණට දාගෙන ඉස්සරහ කාමරේ පලු තුනේ ජනේලෙත් හායි ගාල ඇරල දාල ඇඳ හරහට වැටෙනව විතරයි මතක.නින්ද ගියයි කියන්නෙ ආය නෑ...කොහොමද දන්නවද?...හෙහ්, 

ලොකු අයිය මට කතා කරනව නින්දෙං නොනින්දෙං වගෙ ඇහිල වදෙං පොරෙං ඇස් ඇරල බලනකොට යම්තමට කලුවරත් වැටිල.

"මල්ලිට හොඳටම නින්ද ගියානේද? "

ලොකු අයිය උළුවස්සට බරවෙලා ඉඳගෙන ඇහුව. අර ගහෙං වැටිච්චි සිද්ධිය හින්ද මනුස්සයකො එක කකුලක් සුට්ටක් වගෙ කොටයි. ඇවිදිනකොට ඒ අඩුව යන්තමට වගෙ පේනව.

"මොනව කියනවද අයියෙ මළා වගෙ තමයි….."මම සරම පටලවගෙන ඇඳෙං නැඟිට්ට.

"මල්ලිට තේ එකක් හදන්ටද?"

"එපා අයියෙ කරදර වෙන්ට එපා මම හදාගන්නං අනික ඊට කලිං නාගත්තොත් හොඳයි. "

"හරි හරි ඉන්න මම තුවායක් ගෙනත් දෙන්නං"

ලොකු අයිය ගෙනල්ල දුන්න කහපාට තුවායෙං හැමුවෙ සැවැන්දරා සුවඳ. 

සැවැන්දරා සුගන්ධයෙන්,
හිමාලයේ සිසිල් සුවේ,
මගේ හිතයි ගතයි වෙළා,
සිනා සඳෙන් කැලුම් පෙරා,
ඔබයි බලන්නේ …. මේ ඔබයි බලන්නේ….

එම්.එස්. ප්‍රනාන්දුගේ ගීතයක්...

තුවායෙං සැවැන්දර සුවඳ හැමුවම මට එක පාරටම මතක් වුනේ අපේ අත්තම්මගෙ රෙදි දාල තිබ්බ කබට්ටෙක. උන්දැ කබඩ් එකට කිව්වෙ කබට්ටෙක කියල. අවුරුදු ගාණක් පරණ ඔහොරි හතර පහකුයි, බෝරිච්චි අත්දාපු හැට්ට තුන හතරකුයි සිල් රෙදි දෙකක් වගෙ..ඊට අමතරව ඒකෙ තිබ්බෙ උන්දැ ඔය එක එක වැඩ කරද්දි ඇඳපු චීත්ත සහ හැට්ට. ඒ රෙදි අතර තිබ්බ වේලපු සැවැන්දරා මුල් පදාස රවුමට ඔතල ඒ මුල් වලින්ම ගැට ගහල.

උන්දැ මාසෙකට වගෙ සැරයක් ඔය කබඩ් එකේ රෙදි ඔක්කොම එළියට අරගෙන ගසල කරල කාරිය ආයෙම නමල තිබ්බ වගේ තැම්පත් කරනව. ඒ වෙලාවට උන්දැගෙ ඇඳේ දිගාවෙල ඒ දිහා බලා ඉන්ට මම හරිම ආසයි. 

"මොනවද අත්තම්මෙ ඔය?" සැවැන්දර මුල් ගුලිය පෙන්නල මම අහනව. 

"මෙව්වට තමයි සුට්ටි පුතේ සැවැන්දර මුල් කියන්නෙ. ඇයි අපෙ මහ ගෙදර ගිහාම පුතා දැකල නැද්ද? අර පල්ලෙහා ලිඳ එහා පැත්තෙ කණ්ඩිය දිගට වවල තියෙන්නෙ. එව්ව තමයි සැවැන්දර.මේ එව්වයෙ මුල්."

"ඉතිං රෙදි අස්සෙ ඔව්ව දාන්නෙ මොකටද?"

"මෙව්ව රෙදි අස්සෙ දැම්මම රෙදි කාවො කන්නෙ නෑ. එතකොට රෙදි පරණ ගඳ පුස් ගඳ ගහන්නෙ නෑ. අනික හොඳට සුවඳයි."

සැවැන්දර මුල් වෙනුවට තමයි පස්සෙ කපුරුබෝල ආවෙ. පස්සෙ මහ ගෙදර ගිය දවසක අත්තම්ම මට සැවැන්දර ගාල පෙන්නුව. සැවැන්දර මුල් අඩි හය හතක් පොළව යටට වැවෙන හින්ද පස් හෝදගෙන යනවට හොඳ ප්‍රතිකර්මයක්. උඩරට තේ වතුවල සැවැන්දර ඒ කාලෙ වැව්වලු බහුලව ඔය වැඩේටම.

නිමලයලගෙ මහ ගෙදර වත්ත පහළ ළිඳේ අතිං ගන්ට පුළුවං මට්ටමට වතුර. නිල්කැටේ වගේද කියල නං දන්නෙ නෑ මොකද ඒ වෙනකොට කැටේ නිල් ද මොකද කියල නොපෙනෙන තරමට කලුවරයි. වතුර විස්සක් තිහක් නාගන්නකොට ඇඟේ පතේ කෙඩෙත්තුව සෑහෙන දුරට අකා මකා ගියා.ඔලුව පුපුරන්ට වගෙ තිබ්බ ඉසේ රදෙත් අඩුවෙලා ඔලුව ඇතුලෙ විඩෙං විඩේ ඩස් ඩිස් ගාල පිටි කෙටිල්ලක් ගාණට ඉතුරුවුනා. 

"මල්ලි තේ එකක් බොමු"

කහපාට තුවායෙ සැවන්දරා සුවඳ නාහෙ ඇතුලට ගිහිල්ල හිත කුල්මත් කරද්දි ඔලු ගෙඩිය පිහ දමමින් මම ගෙට ගොඩ වෙනකොටම කුස්සියෙ ඉඳල තේ කෝප්පෙකුත් අරගෙන එළියට ආපු ලොකු අයිය කිව්ව. ලොකු අයිය කතාකරපු ඒ දයාබර ස්වරය මගෙ පපුව පතුලටම වැදුන සරුවාංගෙම හෙල්ලිල යන්ට. ඔහොම වෙලාවට මගෙ ඇස් වලට කඳුළු එන්නෙ ඉබේටම වගෙ.

"ලොකු අයිය තේත් හැදුවද? අනේ මොකට කරදර වුනාද?" 

තුවාය කරේ දාගෙන තේ එක අතට ගන්න ගමං මම කිව්වෙ එයයිට කඳුලු නොපෙනෙන්ට ඇස් තද කරල පියාගන්න අතරෙ. 

"ඕක මොකක්ද මල්ලි? පොඩි මල්ලිගෙ යාලුවො ඉතිං මගෙත් මල්ලිල වගෙ තමයි."

තේ බීල අපි දෙන්න ඉස්තෝප්පු කෑල්ලෙ වේවැල් පුටු දෙහෙකට වෙලා ඔහෙ කතාකරකර හිටිය.

"මම කොහොමත් රෑට උයන්නෙ නෑ මල්ලි. ඔය දවල් ඉතුරුවෙච්චි මොනවහරි කනව. එහෙම නැත්තං රොටියක් දෙකක් හදාගෙන කාල කහට එකක් බොනව." ලොකු අයිය මා දිහා බලල හිනාවුනා. "ඒත් අදනම් පොඩි මල්ලි රෑට කන්ට ගේනවයි කිව්ව"

"ආ.. එහෙම කිව්වද නිමල්?"

"හෙහ්..කිව්ව නේන්නං..මල්ලිට මතක නෑ..නේද?" ලොකු අයිය ආයෙම හිනාවුනා. 

මාත් බිම බලාගෙන හිනාවුනා. බිම බලාපු පාර ඔලුවෙ කැක්කුම වැඩි වුනා.මම එක ආරටම ඔලුව උස්සල උඩ බලාගෙන ඇස් තදින් පියාගෙන ඔලුව දෙතුන් පාරක් ගැස්සුව.

"තවම අමාරුයි නේද? දවල්ට කෑවෙත් නෑ කියල පොඩි මල්ලි කිව්ව. යංකො කුස්සියට. මල්ලි නිදාගෙන හිටපු වෙලාවෙ මම මේ ලඟ තියෙන කඩෙං රෝස් පාන් ගෙනාව. ඒ කරල පොල් සම්බලක් හැදුව. ….යමු…. බඩට මොනවහරි වැටිච්චහම ඔය අමාරු ගතිය ඇරිල යයි." 

ආයෙම මගෙ ඇස් වලට කඳුලු පුරාගෙන ආව. "යමු අයියෙ."

ඒ වෙලාවෙ තෙල් සුවඳ හමන රෝස් පානුයි උම්බලකඩ දෙහි යහමින් දාල ගලේ අඹරපු පොල් සම්බෝලෙයි රස නහර පිනා ගියා කටට ගන්නකොටම. ඒත් උගුරෙං පහළට බස්ස ගන්න එක තමයි ටිකක් කේස් එකක් වුනේ.ඔහොම උනහම එහෙම වෙනව. ඔහොම උන අය ඒ ගැන දන්නව ඇති. ඔහොම වෙලා නැතිඅයට ඉතිං මං කියන එක පිළිගන්ට වෙනව.

රෝස් පාන් සහ සම්බෝල චුට්ට චුට්ට බඩට වැටෙනකොට බඩත් නිකං එක විදිහක් වුනා. ඒ එක්කම දවල් වෙච්ච අලකලංචිය මගෙ මතකයට එන්ට පටං ගත්ත. ඒත් ඇත්තම කිව්වොත් ඒ වෙනකොටත් මම කරපු දේ බරපතලකම මට හරියටම තේරුම් ගිහිල්ල තිබුනෙ නෑ. 

හරි හරි ටිකක් විතර වැඩිවුනා තමයි. ඉතිං මොකද? මිනිස්සුංට බිව්වම වැඩි වෙන්නෙ නැද්ද? මමද ලෝකෙ බීල වැඩි වෙච්චි පළවෙනි මනුස්සය? ඊගාවට කුකුළා...අන්න ඒකනම් ටිකක් විතර කේස් එකක් තමයි...

මීට කලින් කාටවත්ම මේ ලෝකෙ බීල වැඩි වෙලා නැද්ද? මම ද එහෙම වෙච්ච පළවෙනියා? කියල අහන්ට පුලුවන් උනාට කුකුළගෙ කේස් එක ගැන එහෙම හානිපූරණ තර්කයක් (Mitigating Argument) ගේන්ට පුලුවන් කමක් තිබ්බෙ නෑ. එතනදි මම සම්පූර්ණ අනාථයි සහනාධාරයි.

හරි ඉතිං ඔහොම දේවල් වෙන්නෙ නැත්තෙමත් නෑනෙ. වෙන්නෙ නැතුවමය කියමුකො. හරි ඉතිං අද වුනානෙ. (There is s first time for everything isn't it?) ඒකෙං කාටවත් හානියක් කරදරයක් වුනේ නෑනෙ. ආ..හරි…අර කුකුළ ඔඩොක්කට වැටිච්චි ගෑණු ළමයට සාරිය හරි ඔසරිය හරි මොකක් හරි ඇඳගෙන හිටපු එක ලොන්ඩරියට දාල ඩ්‍රයි ක්ලීන් කරගන්ට වෙන්ට ඇති. ලොන්ඩරියෙ බිල ඕනනම් මම ගෙවන්නංකො. සාරිය හරි මොකක් හරි ඇඳගෙන හිටපු එක මට ඔතල දෙනව නං නුවර ක්වීන්ස් ලොන්ඩරි එකට දාල ටිප් ටොප් එකට වැඩේ කරවල දෙන්ටත් පුලුවන්.ඒකෙ මැනේජර් අපේ ගෙවල් පැත්තෙ.රයිට් ඔය තියෙන්නෙ විසඳුම්.

එතකොට මඟුල් මේසෙං කුකුළ අරං ගිය එක? ආ..එතනිං කුකුළ අරගෙන ගියා තමයි. මම නෑ කිව්වෙ නෑනෙ. අනික  නෑ කියන්ටත් බෑනෙ. මේ දෙනෝ දාහක් බලාගෙන ඉන්දැද්දි කුකුළ එල්ලගෙන ගිය එක නෑ කියන්නෙ කොහොමද? ඒත් මම කුකුල අරගෙන ගියාට ඌ මඟුල් ගෙදර පරිශ්‍රයෙන් (Wedding house premises) බැහැරට අරගෙන ගියාද? නෑනේ. අපි පාටිය දාපු මඩුවෙ ඌ මම තියල ආව. එතකොට මම හිතන්නෙ නෑ එතන සාපරාධී අපරාධයක් සිද්ද වුනාය කියල.

අනියම් පැහැර ගැනීමක් වගෙ වෙලා තියනව කියල කියන්ට නම් පුලුවන්. ඒත් චේතනාන්විත අපරාධයක් වුනාය කියල සාක්ෂි නෑ කියලයි මගේ කල්පනාව. අනේ උඹල බම්බු ගහගනිල්ල කියල මට නිකා ඉන්ට තිබ්බ. ඒත් මේ අසෝකා හින්ද එහෙම කරන්ට විදිහක් නෑ. ඒකනෙ..ඒ අම්මණ්ඩි ඒ තරමට මගෙ හිත අරක්ගෙනනෙ.

"මොකද මල්ලි කල්පනාව? දැන් නම් අමාරුව ටිකක් අඩුයි නේද? " 

මේ දහපදුරා කූතාඬියො ඔක්කොම ආණ්ඩුවට දාගෙන යහපාලනය කොරන්නෙ කොහොමද? කියල මුණත් විරවගෙන කල්පනා කරන ජනාධිපතිතුමා වගෙ මම බර කල්පනාවක ඉන්නව දැකල ලොකු අයිය ඇහුව.

"ඔව් අයියෙ පොඩි ඔලුවෙ බර ගතියක් තියනව. ඒ අරුණම දැන් වෙනනම් අවුලක් නෑ." මම හිනාවෙලා නැඟිට්ට. 

"ඔය ඔහොම හැදෙන ඔලුවෙ කැක්කුමට එකම බේතයි තියෙන්නෙ. මොකද කියන්නෙ?" ලොකු අයිය යන්තමට හිනාවෙල ඇහුව. "අටුකොස් වගයක් තිබිල මම ඔන්න මැල්ලුමක් හැදුව ඒක නියමයි ඔය වැඩේට."

කුකුළගෙ ප්‍රශ්නෙට සාර්ථක විසඳුමක් සොයාගැනීම කරණකොටගෙන මගෙ හිත ප්‍රීතියෙන් උද්දාම වෙලයි තිබ්බෙ.

"හරි අයිය අටුකොස් තියනවනම් ඉතිං සුට්ටක් වගෙ මොනවහරි ..හෙහ්,හෙහ්.."

මම එහෙම අටුකොස් පිට වැඩේ දැම්මෙ, යකෝ මේ යකා මේ දවල් දවසෙ කන්නෙත් නැතුව අච්චර බීල දැනුත් දැක්කද කියපු පරක්කුවට හාය කියාපු ලස්සන. කියල ලොකු අයිය හිතයි කියල හිතල.ඒත් ලොකු අයිය ඇත්තටම එහෙම කැත හිතක් තියෙන මනුස්සයෙක් නෙවෙයි ඇත්තම කිව්වොත්.

"ඉන්නකො එහෙනම්" එහෙම කියල ගේ ඇතුලෙ කාමරේකට ගිහිල්ල ලොකු අයිය ආපහු ආවෙ ඩබල් ඩිස්ටිල්ඩ් බෝතලේකුත් අරගෙන. "මේක හොඳයි නේද?"

"අපෝ හොඳටම හොඳයි" මම එහෙම කියල වේවැල් පුටුවක් ඇදල කනප්පුවට ලං කරගෙන ඉඳ ගත්තා.

Monday, November 23, 2015

370. The Story Of My Marriage - 15 - " Good…. there will be more space in the car " my mother said very happily.

Mahathma Gandhi - The Salt March

"හරි හරි මොකක්ද ඉතිං දැං ඔයාගෙ අම්ම කියපු ඔය නොවැදගත් කතාව? කියන්ටකො බලන්ට"

"ඒක මේ ගණං ගන්න දෙයක් එහෙම නෙවෙයි. මේ..මේ..මේ..දකුණු ඉන්දියාවෙ ගෑණු උදවියගෙ චරිතෙ එච්චරම හොඳ නැත්ද මොකක්ද ඔන්න ඔය වගෙ මොකක් හරි…"මම ඉවත බලාගෙන පැවසූයෙමි.

"මොකක් කිව්ව?......" අනන්‍යා දෑස් විසල් කොට මදෙස බලා සිටියාය. ඇය තවත් මොනවාදෝ පැවසීමට උත්සාහ කල නමුදු දැඩි කම්පනය හේතුකොටගෙන කිසිදු වදනක් ඇගේ තොල් අතරින් පිට නොවීය.

"මේ මා දිහාවෙ ඔහොම බලාඉන්ට එපා ඔන්න..මම නෙවෙයි ඒක කිව්වෙ..අපේ අම්ම..අනික එයා වුනත් හිතල මතල කිව්ව දෙයක් නෙවෙයි මට සහතිකයි..ඔන්න ඕක අල්ලල දාන්න.."

"මට මොනව කියන්නද කියල හිතාගන්න බැරුවයි මේ ඉන්නෙ….."අනන්‍යා අවසානයේදී පැවසුවාය.. 

"හරි..හරි...මොකවත්ම කියන්න ඕන නෑ...මම කිව්වනෙ ඕක අල්ලල දාන්න කියල...හරි එන්නකො අපි කට්ටිය ආයම යාලු කරවමු……." මම ඇය හා සමඟ යලි ප්‍රධාන දොරටුව අසල නවතා තිබූ කුලීරථය වෙත ඇවිද යමින් පැවසුවෙමි.

අප සියළු දෙන ආශ්‍රමයේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වූයෙමු. මහත්මා ගාන්ධිතුමා වර්ෂ 1915 සිට 1930 දක්වා මෙහි දිවිගෙවූයේය. ඉන්දීය නිදහස් අරගලය නම් මහා වනස්පතිය පැනනැඟි මූලාංකුරය ලෙස බොහෝ විද්වතුන් අවිවාදයෙන් පිළිගන්නා බ්‍රිතාන්‍ය පාලකයින්ගේ ලුණු බද්දට එරෙහි ගාන්ධි තුමාගේ සුප්‍රසිද්ධ " ද සෝල්ට් මාච්" නමින් හැඳින්වෙනා මහා පා ගමන ඇරඹියේද මේ ආශ්‍රමයෙනි.යම් මුදලක් ගෙවා ලබාගතයුතු විස්තර කථකයෙකු වෙනුවෙන් අනන්‍යා මුදල් ගෙවූයේ හුදෙක් අප කණ්ඩායම එකට ගමන් කරවනු උදෙසාමය.

ගාන්ධිතුමාගේ ජීවිතයේ නොයෙක් සිහිවටන එනම් ඔහු විවිධ කටයුතු වලදී ගත් ඡායාරූප, ඔහු විසින් ලියූ ලියකියවිලි, නොයෙක් සිත්තරුන් විසින් ඇඳි ඔහුගේ සිතුවම් එමෙන්ම ඔහු පිළිබඳව ලියැවුණු දහසකුත් එකක් ලිපි ලේඛන නරඹමින් විස්තර කථකයාගේ ඒකාකාරී හඬට සවන් දෙමින් අපි ආශ්‍රමය තුල සෙමෙන් ඇවිද ගියෙමු.

"1930 අවුරුද්දෙ ගාන්ධිතුමා ඒ සුප්‍රසිද්ද ලුණු පාගමන මේ ආශ්‍රමයෙ ඉඳල පිටත් වෙන්න ඉස්සෙල්ල එතුමා දිවුරුවා ආයෙම මේ ආශ්‍රමයට එන්නෙ ඉන්දියාව සම්පූර්ණයෙන්ම සුද්දන්ගෙන් නිදහස් වුනාට පස්සෙයි කියල."

"ඉතිං ඉන්දියාව නිදහස් වුනාට පස්සෙ එතුමා ආපහු මෙහාට ආවද? " අනන්‍යාගේ මව විමසුවාය.

විස්තර කථක තෙමේ ඉතාමත් ශෝකජනක මුහුණක් මවා ගත්තේය. "නෑ එතුමාට ආයෙ කවදාවත්ම මෙතනට ආපහු එන්ට අවස්ථාව ලබුණෙ නෑ. ඉන්දියාව නිදහස දිනාගෙන මාස හයක් වගෙ යද්දි එතුමාට වෙඩි තියල මැරුවනෙ."

"හුහ් එයාට විතරද ප්‍රශ්න අහන්ට පුලුවන්..ඉඳපංකො මාත් අහනවා එකක්."අනන්‍යාගෙ මව දෙස හොරැහින් බැලූ මගේ මව එසේ සිතන්නට ඇතුවාට කිසිදු සැකයක් නැත. ඇය වහා විස්තර කථක දෙසට හැරුනාය. 

"මම අහල තියනව ඔය පා ගමනට දන්ඩි පා ගමන කියලත් කියනව. ඇයි ඒ? අර ගාන්ධි තුමා අතේ අරං යන දණ්ඩ නිසාද?" දිගැති දණ්ඩක් සුරතින් ගත් ගාන්ධිතුමා දහස් සංඛ්‍යාත මහා ජනකායකට නායකත්වය දෙමින් ලුණු පාගමනේ යෙදෙන ජීවමාන ප්‍රමාණයේ සිතුවමක් දක්වමින් ඇය විමසුවාය.

විස්තර කථක තෙමේ ගැඹුරු හඬින් සිනාසුණේය. ඔහු කථාකරනා ස්වරය, කථා කරද්දී සිදුකරනා අංගෝපාංග චලනයන් මෙන්ම මේ සිනහවද නාට්‍යමය ස්වරූපයක් ගත්තේය. මෙසේ කථාකිරීමට අඟ පසඟ චලනයන්ට මෙන්ම මෙවන් සිනහවකටද ඔහු බොහෝ කලක් මුලුල්ලේ පුරුදු පුහුණු වන්නට ඇතිබව මට සිතිණි. 

"හපොයි…. ඉන්දියානු නිදහස් සටනේ පුරෝගාමියා ගැන, ඉන්දියාවේ ජාතියේ පියා ගැන අපි දන්නෙ බොහොමත්ම සොච්චමයි. බොහොමත්ම සොච්චමයි..ඇත්තටම කිව්වොත් තත්වය ඉතාමත්ම ශෝචනීයයි. ඉතාමත්ම ශෝචනීයයි."විස්තර කථක පැවසූයේ දෑස් පියාගත්වනම හිස සෙමෙන් දෙපසට සොළවමිනි.

ඉක්බිති සුලු මොහොතක් ඔහු නිහඬව හිස පහතට හරවාගත්වනම ගතකලේ ජාතියේ පියා පිළිබඳව නොදන්නා ජාතියේ දරුවන් හේතුකොටගෙන ජාතියට අත්වන්නට යන භයානක ඉරණම පිලිබඳව සංවේගයට පත්වෙමින් විය යුතුය. කෙසේ හෝ අප නොඉවසිල්ලෙන් ඔහු දෙස බලාහිඳිනු දැනුනු නිසාදෝ අවසන ඔහු දෑස් විවර කොට හිස ඔසවා අප දෙස බැලීය.

"නෑ....නෝනා... නෑ.... දන්ඩි කියන්නෙ අහ්මදාබාද්වල ඉඳල කිලෝ මීටර් 500 වගෙ දුරින් මුහුදු වෙරළෙ තියන ස්ථානයක්. "

ඒ අසලම බිත්තියේ එල්ලා තිබූ ලුණු පා ගමනේ ගමන් මාර්ගය දැක්වෙන විශාල ප්‍රමාණයේ සිතියමක් අබියසට අප කැඳවාගෙන ගිය ඔහු එහි රක්ත වර්ණයෙන් සළකුණු කොට තිබූ අහ්මදාබාද් සිට දන්ඩි දක්වා මාර්ග රේඛාව ඔස්සේ සුරතෙහි දබරැඟිල්ල දිවවීය.

"ගාන්ධිතුමා මේ ආශ්‍රමයෙන් පිටත් වෙලා දවස් 24 කින් පයින්ම ගියා ඒ දණ්ඩි වලට.දන්ඩි පා ගමන කියල නම හැදුනෙ අන්න ඒ හින්ද. නැතුව මේ එතුමා දණ්ඩක් අරගෙන ගිය හින්ද නෙවෙයි" විස්තර කථක යලි මගේ මව දෙස බැලූගේ කට කොනකින් සිනාසෙමිනි.

අනන්‍යාගේ මව තම සැමියා දෙසට හැරී ද්‍රවිඩබසින් ඔහු ඇමතුවාය.එහෙත් ද්‍රවිඩ වදන් අතරට අවශ්‍ය තැන්වලදී ඉංගිරිසි වදන් ඇතුලුකිරීමට පමණ ඇය විචක්ෂණශීලී ද වූවාය. " Some thing Illa illa……no knowledge …….this….punjabi people……."

"ෂරි..ෂරි......"අනන්‍යාගේ පියා ජාතියේ පියාගේ ලුණු පා ගමනේ සිතියම කෙරෙහි අවධානය යොමුකොටගත් වනම පැවසීය. තම බිරිඳ කුමක් පැවසුවේද යන්න ඔහුට හරිහැටි ඇසුණිද යන්න පවා සැකසහිතය.ඉන් කිසිසේත්ම පසුබට නොවූ අනන්‍යාගේ මව නොනවත්වා කියවාගෙන ගියාය…"Intellectually….culturally zero....something something crass and uneducated and something something..."

ද්‍රවිඩ භාෂාවෙන් කථාකරන අතර උපායමාර්ගික වශයෙන් වැදගත් වදන් ( Strategically Important Words) ඉංගිරිසි භාෂාවෙන් පැවසීමේ අනන්‍යාගේ මවගේ ගරිල්ලා සටන් ක්‍රමෝපායය සාර්ථක ලෙස ඵලදරන අයුරු පෙනෙන්නට වූයේය. මගේ මවගේ මුහුණ ක්‍රමයෙන් තදරත් පැහැගෙන ඉක්බිති ජම්බූල පැහැයට බොහෝ සෙයින් ආසන්න පැහැයක් ගත්තේය.

සාංග්‍රාමවතිර්ණ ගැහැණුන් දෙදෙනාගේ මුහුණු දෙස මාරුවෙන් මාරුවට බැලූ විස්තර කථකගේ මුහුණ ඇඹුල් වූයේය. ලැබෙන්නට නියමිත සන්තෝසම පිළිබඳව බලාපොරොත්තු දැන්මතියා අත්හැරගැන්ම යෙහෙකියි ඔහුට සිතෙන්නට ඇත.

"හරි හරි හරි, දැං ඔය ඔක්කොමල මේක හොඳට අහගන්ට. ඉන්දියාවෙ උතුර හෝ දකුණ කියල වෙනසක් තිබ්බෙ නෑ මහත්මා ගාන්ධිතුමාට. එතුමා මුලු ජීවිත කාලෙම විශ්වාස කලේ මුලු ඉන්දියාවම එකයි කියල. ඉත්දියාවෙ ඉන්න ඔක්කොම වර්ගවල මිනිස්සු එකම ඉන්දීය ජාතියට අයත්ය කියලයි. "විස්තර විචාරක සත්‍ය වශයෙන්ම උත්සාහ කලේ උතුරු සහ දකුණු ඉන්දියානුන් එක්සත් කිරීමට ද නො එසේනම් ත සන්තෝසම රැකගැනීමට ද යන්න මට අදටත් සිතාගත නොහැක.

"හරි ඒ මොකක් හරි, අපි යමු දැං ගාන්ධි තුමා පෞද්ගලිකව පාවිච්චි කරපු බඩු භාණ්ඩ දැක බලා ගන්ට. හරි ඔය කට්ටිය මෙහෙං එන්ට..මෙහාට මෙහාට…"අඩවල් කොට තිබූ දෙපළු දොරක් විවර කරමින් විස්තර විචාරක තෙමේ පැවසීය.

ගාන්ධිතුමා භාවිතාකල පෞද්ගලික බඩු බාහිරදිය නැරඹීමෙන් ඉක්බිති අප ආශ්‍රමය ඉදිරිපසවූ රුක් ගොමුවෙන් සෙවණ ලද තණ පළස මත හිඳ කිසිදු කතාබහකින් තොරව ගොළුවන් බිහිරන් සේ දිවා ආහාරය ගත්තෙමු. හෙට උදෑසන හයේ කණිසමට ප්‍රාණය නිරුද්ධ වන තෙක් එල්ලා මරාදැමීමට නියමවූවන් සයදෙනෙකු වුවද තම අවසන් භෝජනය මීට වඩා ප්‍රීතිමත්ව භුක්තිවිඳින බවට මට කිසිදු සැකයක් නොවීය.

මෙසේ මෘත දේහයක් වටා හිඳ මළබත බුදින්නාක්මෙන් උකටලීව හිස් පහතට හරවාගත් වනම ආහාර ගනිමින් හුන් අපේ කණ්ඩායම මධ්‍යයට අනන්‍යා තමන් මෙතෙක් හෙලිකිරීමට පුල පුලා බලාහුන් ඒ මහාර්ඝ රහස අතහැරියාය.හිරෝෂීමා නගර මධ්‍යයට පරමාණු බෝම්බය අතහැරියාක් මෙන් අතහැරියාය. 

"අපි දැං සෑහෙන කාලයක් තිස්සෙ බොහොම සමීපව ආශ්‍රය කරනව" ඒ වදන් හරිහැටි නොවැටහුණු යමෙකු වේනම් ඔවුන්ගේ නිරවුල් අවබෝධය උදෙසා ඇය යලිත් එවදන් ඉංගිරිසියෙන්ද පැවසුවාය. "We like each other....."

එසේ එකිනෙකා කෙරෙහි කැමැත්තක් ඇත්තවුන් අප කණ්ඩායමෙහි ඉතා දුර්ලභ හෙයින් අනන්‍යා මේ පවසනුයේ කවුරුන් පිළිබඳවදැයි එක්වරම වටහාගත නොහැකි වූ කණ්ඩායමේ සෙසු සාමාජිකයෝ වික්ෂිප්තවූ දෙනෙතින් යුතුව හිස් ඔසවා එකිනෙකා දෙස බැලූහ.

"මම මේ කිව්වෙ ක්‍රිෂ් ගැනයි මම ගැනයි. අපි දෙන්නට දෙන්නා හුඟක් කැමතියි." අනන්‍යා තව දුරටත් පැහැදිලි කොට ඉනික්බිති සුන්දර ලෙස සිනහසුණාය. 

"ක්‍රිෂ් මම ඔයාට කිව්වෙ නැද්ද කලිං ඉඳලම? මට ආපු වෙලාවෙම මොකක් හරි කොස්සක් ඉව වැටුනා. " මගේ මව ඇය අත වූ චපාතිය වේගයෙන් කැබලි වලට කඩමින් පැවසුවාය. 

"මොකක්ද මෙතන තියන කොස්ස? කිසිම කොස්සක් මෙතන නෑ. ඒ වගේම කලබල වෙන්න දේකුත් නෑ. අපි දෙන්න අපේ සතුට එකිනෙකා එක්ක බෙදාගන්න කැමතියි. කොටින්ම කිව්වොත් අපි දෙන්න එකිනෙකාට ආදරෙයි... එච්චරයි." අනන්‍යා නොනවත්වා කියවාගෙන ගියාය.

"අනන්‍යා කට වහගන්නයි කිව්වෙ"ඇගේ මව මඳක් ඉදිරියට නැවෙමින් පැවසුවාය. 

ඇය අනන්‍යාහට අතුල් පහරක් එල්ල කරනු අතැයි කරනු ඇතැයි මම බියවීමි.තම මව අතුල් පහරක් එල්ල කලහොත් අනන්‍යා කුමක් කරනු ඇත්දැයි මට සිතාගත නොහැකිවිය.

"ඔන්න දැක්කද? ඕක තමයි මම අර කිව්වෙ දකුණු ඉන්දියාවෙ කෙල්ලො නූල් සූත්තර කාරියො කියල. ඉතිං තවත් සාක්කි ඕනද?"මගේ මව හිස හරවා මදෙස බලා සිටියේ මම තවත් සාක්කි අවශ්‍යබව පැවසුවාක් මෙනි.

"අම්මා..අම්මා..අනේ මේ පොඩ්ඩක් කලබල නොකර ඉන්නකො" මම ආයාචනා කලෙමි.

"කලබල? මොන කලබලද? කවුද දැන් කලබල කලේ? මම කලබල කරපු එකක් නෑ ක්‍රිෂ්…"

"නැඟිටින්න " අනන්‍යාගේ මව ඇගේ සැමියාට දැනුම් දුන්නීය. 

එසැණින් ඔහු නැඟිට සිටගත්තේ බඩෙහිවූ බොත්තමක් එබූ පසු එසැනින් නැඟිට පියවර කිහිපයක් ගමන් ගන්නා දුඹුරු පැහැති වඳුරා මට සිහිගන්වමිනි. බැටරි බලයෙන් ක්‍රියාකරනා ඒ වඳුරා කුඩාකල මගේ ප්‍රියතම ක්‍රීඩා භාණ්ඩයවූ විය. අනන්‍යාගේ සොහොයුරා මව දැනුම්දීමටත් ප්‍රථම නැඟීසිටියේ ඇගේ ගතිගුණ පිළිබඳව ඔහු ඉතා හොඳින් දන්නා නිසාවිය යුතුය.

"අපි ත්‍රී වීලර් එකක ආපහු යමු" 

අනන්‍යාගේ මව තම තීරණය ප්‍රකාශයට පත් කළාය. අනන්‍යා කිසිවක් සිතාගත නොහැකි අයුරින් තවමත් තණපළස මත හිඳගත් වනම හුන්නාය. 

"අනන්‍යා ඔයා එනවද නැද්ද?"

"අනේ අම්මේ මේ පොඩ්ඩක්……" අනන්‍යාගේ හඬ ඇය හඬන්නට ඉතා ආසන්න බව කියා පෑවේය.

"ආ ඔයා ඒ කියන්නෙ අපි එක්ක එන්නෙ නෑ?.... මෙයාල එක්ක මෙතන නවතින්ටද කල්පනාව?" 

එසේ පවසමින් වේගයෙන් අනන්‍යා හිඳහුන් ස්ථානයට පැමිණි ඇගේ මව අනන්‍යාගේ සුරත ග්‍රහනය කොට නැඟිටුවාගත්තාය.ඉක්බිති ඇය බලයෙන්ම ඇදගෙන ආශ්‍රමයේ ප්‍රධාන දොරටුව දෙසට පිටව ගියාය.

පසුපස බලමින් තම මව හා ඇදී යනු විනා ඇයට වෙන කල හැකි අන් විකල්පයක් නොවීය. නැඟීසිට ඔවුන් දෙසට පියවර කිහිපයක් ගොස් නතරවූ මම ඔවුන් ප්‍රධාන දොරටුවෙන් පිටවගිය ඉක්බිති සුසුමක් හෙලා ආපසු හැරුනෙමි. මදක් ඔබ්බෙන් තිබූ මල් පඳුරු කිහිපයකට ඔබ්බෙන් මෙදෙස විපරමෙන් බලාහුන් විස්තර කථකයා අතින් සන්කොට කැඳවූ මම ඔහුට ඉල්ලූ මුදල ගෙවූයෙමි. මේ සියල්ල නිමවී ආපසු අප හිඳ හුන් තුරු ගොමුව දෙසට එන විට මගේ මව අවසාන පනීර් මසාලා ස්වල්පය තැවරූ චපාති කැබැල්ලක් අනුභව කරමින් සිටියාය.

"ඒ ගොල්ලො යන්ට ගියා ……………"

සුසුමක් හෙලා එසේ පවසමින් මම ඇය අසල තණ පළසේ හිඳගතිමි.

"ආ ඒක හොඳයි..දැං අර ටැක්සියෙ හොඳට ඉඩ තියෙයි. අඩුගානෙ ආපහු යනකොටවත් අතපය දිග ඇරල හුස්මක් කටක් අරගෙන දෙයියනේ කියල නිවී සැනසිල්ලෙ ගිහෑකි" 

මගේ මෑණියෝ මහත් උද්දාමයට පත්ව පැවසුවාය.

Friday, November 20, 2015

369. අලුතින් සුසුමක් ගෙන වෙන් වී යමු - 2 - Sophie's World


Google Images


" හරි හරි එහෙනම් කතා කරමුකො ආය දවසක..ආ..මට ඔයාට මාව අඳුන්වල දෙන්නත් බැරිවුනානෙ..සොරි..මම මේ පහුගිය සඳුදා එකවුන්ට්ස් සෙක්ෂන් එකට අලුතෙන් ආවෙ..මගෙ නම…"

" මම දන්නව..ක්...ලි...යෝ... පැ...ට්... රා……. " මම අකුරින් අකුර නවතමින් උච්චාරණය කලෙමි. 

" මොකක්? ක්ලියෝ පැට්රා? මොන පිස්සු කතාවක්ද ඒ? " 

" හෙහ්...ඒකත් මම පැහැදිලි කරන්නම් හැබැයි… " 

" අද නෙවෙයි………… " ඇය හඬ නඟා සිනාසෙමින් සම්පූර්ණ කළාය.

" අන්න හරි ආයම දවසක…… " 

" හිහ්..දැනටම ඔයා ආයම දවස් තුන හතරක් හම්බවෙන්ට ප්‍රෝග්‍රම් හදාගෙන ඉවරයි වගේනේද? " 

" ආය මොනවද? අන්න එහෙමයි අපි..... " 

එදින කාර්යාලයේ භෝජන ශාලාවෙහි අපගේ පළමු හමුවීමෙන් ඉක්බිති යලිදු ඇය මට හමුවූයේ සතියකට හෝ දින දහයකට පමණ පසුවය. එකම කාර්යාලයෙහි සේවය කරන අප දෙදෙන එතෙක් දීර්ඝ කාලයක් තුල එකිනෙකා හමුනොවූයේ මන්දැයි ඔබට විමතියට පත්වනු නිසැකය.ඊට හේතුවන්නට ඇත්තේ අප දෙදෙනාම හෝ එක් අයකු එවන් හමුවක් චේතනාන්විතව මඟහැරීම යනුවෙන් ඔබට සිතෙන්නට ද හැක. ඒ පිළිබඳව මම ඔබට වරදක් නොකියමි. නිසැකවම මම වුව ද එවන් අවස්ථාවක සිතනුයේ ඒ අන්දමිනි.

නුගේගොඩ සිට නාවල මංසන්ධිය දක්වා විහිදයන මාර්ගයේ කිලෝමීටරයක පමණ දුරක් ගෙවූ පසු දකුණු පස පසුගිය රජයේ නගර අලංකරණ වැඩ පිළිවෙල යටතේ නිර්මාණය කල ජල උද්‍යානයක් ඔබට දැකගත හැක. එහෙත් මම මේ පවසන අදාල කාලසීමාවෙහි එහිවූයේ "වැලිපාක්එක" නම් පොදු නාමයෙන් හැඳින්වුනු ඉදිකිරීම් උදෙසා උපයෝගී කොට ගන්නා වැලි පුරවාගත් ටිපර් රථ ගාල්කොට තැබුණු සමතල මුඩු බිමකි. නො එසේනම් අංගනයකි. එම අංගනය පසුකොට නාවල මංසන්ධිය දෙසට තවත් මීටර් හාරසියයක් පමණ දුරකින් දකුණු පසට විහිදෙන අතුරුමාර්ගයක ඉතා ආසන්නයේම වූ දෙමහල් ගොඩනැඟිල්ලක එකල අප ආයතනය පවත්වාගෙන යන ලදී.

පහත මහළෙහි කුඩා අංගනයකින් ඔබ්බෙහි වූ ගිණුම් අංශයට ඉහල මහලෙහි ඉදිකිරීම් අංශයෙහි සේවය කල අප ගියේ අත්‍යාවශ්‍යම එමෙන්ම දුරකථන මාර්ගයෙන් විසඳාගත නොහැකි මුහුණට මුහුණ හමුවී විසඳාගතයුතු කාර්යයක් සඳහා පමණකි. 

වෘත්තීය ජීවිතයේ බොහෝ අවස්ථාවන්හිදී විද්‍යුත් පණිවිඩයකින් ඉටුකොටගත නොහැකි කාර්යයක් දුරකථන සංවාදයකින් ඉටුකොට ගත හැකිය. දුරකථන සංවාදයකින් පවා සාර්ථක කොටගත නොහැකි කාර්යයක් සඳහා මුහුණට මුහුණ හමුව කරන සාකච්ඡාවක් නොවරදින ප්‍රතිකර්මයකි. එලෙස ද ඉටුකොටගත නොහැකි කාර්යයක් අත්හැරදැමීම වඩා යෙහෙකි.

එලෙසම ඒ කාලවකවානුව පොදුවේ අප ආයතනයෙහි කාර්ය මණ්ඩලයේ සැමටමද විශේෂයෙන් ඉදිකිරීම් අංශයේ සේවය කල අප අතළොස්සක් දෙනාහටද උපරිම වශයෙන් කාර්ය බහුල වූ සමයකි.සමාන්තරව ඉදිකිරීම් සිදුවෙමින් පවතිනා සමගාමී ව්‍යාපෘතීන් දහයකට ආසන්න සංඛ්‍යාවක ප්‍රගතිය සමලෝචනය,නිමකල ඉදිකිරීම් උදෙසා ලැබියයුතු ගෙවීම් උදෙසා ඉදිරිපත් කල යුතු ඉල්ලුම් පත් සකස් කිරීම සහ අනාගතය උදෙසා නව ව්‍යාපෘතීන් වෙනුවෙන් ටෙන්ඩර්පත් ඉදිරිපත්කිරීම යන කටයුතු සියල්ල නොපිරිහෙලා ඉටුකිරීම්වස් අප අංශයේ සහෝදර නිලධාරීහු මහත් කැපවීමකින් ක්‍රියා කළෝය.

අධික කාර්ය බහුලත්වය හේතුකොටගෙන මම බොහෝවිට දිවා ආහාරය අනුභව කලේ සවස දෙකේ කණිසමද පසුවීය. එබැවින් නියමිත වේලාවට දිවා ආහාරය ගන්නා ගිණුම් අංශයේ කිසිවකුහෝ හමුවීමේ අවස්ථාවක් දිවා ආහාර විවේක කාලය තුල පවා නොවුනේම යයි කිවහැක.එලෙසම අනුෂ්කා (මේ වනවිට ක්ලියෝපැට්රාගේ නම අනුෂ්කා බව මම දැන සිටියෙමි) හමුවීමට ගිණුම් අංශයට යාමට මසිත පැකිලුනේ රාජකාරී වෙලාවෙහිදී එසේ වෙනත් අංශවලට ගොස් සතුටු සාමීචියෙහි යෙදීම මම කිසිදිනෙක රුචි නොකල හෙයිනි.

මෙසේ සතියක් හෝ දින දහයක් පමණ ගෙවී ගිය අනතුරුව එක් සිකුරාදාවක දිවා ආහාරය උදෙසා මම භෝජන ශාලාවට ගියේ පස්වරු දෙකේ කණිසමට ආසන්නවය. කුසගින්නෙන් පෙළෙන්නන් කඩිමුඩියේ ආහාරගෙන නික්මගොස් තිබූ හෙයින් පාළුවට ගොස් තිබූ භෝජනාගාරයෙහි නිසංසලේ ආහාර ගෙන ඉතිරි කාළය තුල කියවනු පිනිස මම ඒ ආසන්නයේම මිළදීගත් පොතක්ද ගෙන ගියෙමි.

(කොපමණ රසැති ආහාරවේලක් වුවද අනුභවය සඳහා මට අවශ්‍ය වන්නේ උපරිම වශයෙන් මිනිත්තු හයක් හෝ හතකි. ඒද ඉතාම සෙමින් ආහර ගතහොත් පමණි.කුඩා අවධියෙහිදී මගේ මේ ආහාර ගැනීමේ කඩිමුඩිය පිළිබඳව මගේ මෑණියෝ නොයෙක් වර මැසිවිලි නැඟූහ. "මොකද ළමයො ඔය කන විදිහ? කෝච්චිය අල්ලන්ට යන්ට වගෙ.හෙමිහිට කන්නකො හොඳට හපල.ඔහොම ගිණි කුන්දමේ කෑවම ඇඟට අල්ලන්නෙත් නෑනෙ කන දෙයක්." ඇය හෙදියක බැවින් අපගේ සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව පිළිබඳව නිතර උනන්දු වූවාය.)

භෝජනාගාරයෙහි මෑතක ස්වයංක්‍රීය දොර වසනයක් සවිකල ප්‍රධාන දොර විවෘත කිරීම තරමක් අසීරුය.එලෙසම මගේ වමතෙහි පොත සහ සුරතෙහි දිවා ආහාර පාර්සලය වූ බැවින් වෙර යොදා දොර විවරකීරිම කොහොමටත් උගහටය. සුරතෙහි වූ ආහාර පාර්සලය වමතට ගෙන වෙරයොදා දොර විවරකිරීමට සූදානම් වනු සමඟම එක්වරම දොර ඇතුලතින් විවර විය. විවරවුණු දොරට පසුපසින් සිනහමුසු මුවින් යුතුව මදෙස බලා සිටියේ ඇයයි. එනම් අනුෂ්කායි.

"මොකද මේ අද? …" ඇගේ සුන්දර සිනහව දැක මහද ක්ෂණිකව හටගත් ප්‍රහර්ෂයෙන් යුතුව මම ඇසුයෙමි. 

"ඒ කිව්වෙ? " 

"ඒ කිව්වෙ වෙනද එකවුන්ට්ස් සෙක්ෂන් එකේ ඔයාල දොළහ වෙනකොට පාන්දර කුකුල් කූඩුවෙ දොර අරිනකොට කුකුලො කිකිළියො එලියට පැනගන්ට පොර කනව වගෙ මෙතන ඩයිනිං රූම් එකේ දොරට හේත්තු වෙලානෙ ඉන්නෙ...හෙහ්…"

"කුකුළො කූඩු වලම හදනව මිසක කොහෙද අනේ එහෙම දොරවල් ඇරල එළියට දාන්නෙ? " 

"මම මේ කියන්නෙ බොහොම දුරාතීතයක වෙච්චි දෙයක් ….නයින්ටීන් සෙවන්ටීස්වල. පළමෝත අත්දැකීම්...අපෙ අත්තම්මයි මායි තමයි කුකුළ් කූඩුවෙ දොර අරින්ට යන්නෙ..අත්තම්මත් පෙරළගෙන කුකුළො කිකිළියො එළියට පනින්නෙ. හෙහ්...ඒ වෙලාවට අත්තම්ම උංට බණින විදිහ අහං ඉන්ට ආසයි...."

"අනේ ඒ අත්තම්මා බණින විදිහ කියන්ටකො…"

"ම්ම්ම්ම්..අද බෑ...."

"මම දන්නව..ඊළඟ දවසෙ ...හිහ්,හිහ් …"ඇය හඬනඟා සිනාසෙමින් ඌණපූරණය කළාය.

"දැන් මෙතෙන්ට ආවෙ මොකටද? අර මොකාද වගෙ ඔහොම හිටගෙන ඉන්ටද?" තවමත් බත්පත සහ පොත දෑතෙහි රඳවාගත්වනම සිටගෙන සිටිනාබව මට සිහියට නැඟුනේ ඇය එලෙස විමසූ අනතුරුවය. 

"ආවෙනම් දවල්ට කන්ට කියල...මේ ඒක නෙවෙයි ඔයා මොකද මේ අද පරක්කු වෙලා? මොකවත් හදිසි වැඩක් එහෙම තිබ්බද?"

"ඔව් හදිසි වැඩ දෙක තුනක් තිබ්බ. ඒ ටික ඉවර කරන්ට වෙලා ගියා…..ඉතිං ඒ හින්දයි හරියටම ඔයා එන වෙලාවටම මටත් එන්ට වුනේ කෑමට….." ඇය පැවසූයේ යටැසින් මා දෙස බලමිනි. "මොකෝ? ඔයාගෙ ඒකට අමනාපයක් එහෙම නෑනෙ නේද?"

"නෑ කිසිම අමනාපයක් නෑ..අනික අමනාපයක් තිබ්බත් මට ඒක එළිපිට ප්‍රකාශ කරන්න බෑ මෙතන පොදු තැනක්. මේ වගෙ තැන්වල අපේ පෞද්ගලික රුචි අරුචිකම් බොහෝවිට යටපත් කරගන්න සිද්ද වෙනව. " පුටුවක් ඇද අසුන්ගෙන බත්පත දිගහරිමින් මම පැවසූයෙමි. " කමුද එහෙනං?" 

ඇගෙන් පිළිතුරක් හෝ නොවූයෙන් මම හිස ඔසවා ඇය දෙස බැලීමි. ඇය විශ්මයපත් දෙනෙතින් මගේ මුහුණ දෙස එක එල්ලේ බලාගත්වනම සිටියාය.

"මොකෝ අනේ මේ? ...ඉතාම කිට්ටුම යාලුවො අතර ඇරුනම ඔය වගෙ එක එල්ලේ මුහුණ දිහා බලා ඉන්න එක අචාරශීලී නෙවෙයි කියලයි බොහොමයක් රටවල සැළකෙන්නෙ" මම සිනහසෙමින් පැවසුවෙමි. 

ඇය එක්වනම දෑස් පහතට යොමුකොටගෙන "සමාවෙන්න" යනුවෙන් පවසතැයි මම කිසිසේත් බලාපොරොත්තු නොවුනෙමි.එලෙස හැඟීගියේ කුමන හෙයින්දැයි මට විස්තර කිරීමට අපහසුය. එය බොහෝ විට සහජාශ හැඟීමක් විය හැක. ( Instinct ) එළෙසම ඇය මගේ අපේක්ෂාව බිඳ නොහෙලුවාය. 

"ඇයි අපි එහෙම සමීප හිතවතුන් නෙවෙයිද?" මගේ මුහුණ දෙස යොමුවූ නෙත්සර එලෙසම තිබියදී ඇය විමසුවාය.

"හෙහ්..එහෙමද ඔයාට හිතෙන්නෙ?"

කිසිදු පිළිතුරක් නොදුන් ඇය නිහඬව හිස පහතට හරවාගෙන බත්පත දිහ හරින්නට වූවාය.අපි කිසිදු කටහාබහකින් තොරව මිනිත්තු කිහිපයක් නීහඬව ආහාර අනුභව කලෙමු. 

"මම ඉස්සෙල්ල අර බොරුවක් කිව්වෙ?"ඇය හදිසියේම පැවසුවාය.

"කෝකද බොරුව?" මම හිස ඔසවා ඇය දෙස බලා ඇසුවෙමි. 

"මම අර කිව්වෙ අද පරක්කු වුනේ වැඩ තිබ්බ හින්දයි කියල...අන්න ඒක තමයි බොරුව.."

"මට හිතුන……"

"ඒ කොහොමද?"

"මම දන්නෙ නැද්ද එකවුන්ට්ස් සෙක්ෂන් එකට වැඩ තියෙනවනං..අපි ඉන්වොයිස් හරි ක්ලේම්ස් හරි හදල යැව්වොත්නෙ ඔයාලට වැඩ තියෙන්නෙ...හෙහ්..අපි නොදන්න මොණර තැන්න...." ඒ ප්‍රකාශය සම්පූර්ණ සත්‍යයම නොවන නමුදු මම එලෙස පැවසූයෙමි.

"හිහ්..එහෙමද හිතාගෙන ඉන්නෙ? "

"ඔව් එහෙම තමයි……"මම ඇය දෙස බලා සිනාසුණෙමි.

"ඉතිං ඔයා අහන්නෙ නැද්ද ඇයි එහෙම බොරුවක් කලේ කියල.."

"හෙහ්..මම අහල නෙවෙයිනෙ ඔයා කිව්වෙ ඔයා බොරුවක් කලා කියල. ඉතිං මම හිතනව මම ඇහුවෙ නැතත් එහෙම බොරුවක් කලේ ඇයි කියල ඔයා මට කියයි කියල."

"ඔයා හරි..මම ඒක ඔයාට කියන්න තමයි හිටියෙ. මම අද හිතාමතාම පරක්කු වෙලා දවල්ට කන්න ආවෙ ඔයාව හම්බවෙන්න ඕන හින්ද…." මම කිසිවක් නොදොඩා ඇය දෙස බලා සිටියෙමි. 

"ඇයි එහෙම හම්බවෙන්න ඕන වුනේ කියල අහන්නෙ නැද්ද කියල මම ඔයාගෙන් අහන්නෙ නෑ.."ඇගේ දෑස දඟකාර සිනහවකින් විකසිත වී තිබිණි. 

"මම දන්නව ඔයා එහෙම අහන්නෙ නැත්තෙ ඇයි කියල…"

"ඇයි?......"

"එහෙම ඇහුවොත් මම දෙන උත්තරේ ඔයා දන්න හින්ද…"

"හරි ඒ හින්ද ඒ ප්‍රශ්නෙ ඔයා ඇහුවයි කියල හිතාගෙන මම කියන්නම් උත්තරේ."

මේ වනවිට අප දෙදෙනාම ආහාර අනුභවය අවසන්කොට තිබිණි.සෙමෙන් අසුන පිටුපසට කොට නැඟී සිටි මම අත සෝදන බේසම වෙත ගියෙමි. ඇයද අසුනින් නැඟිට මා පසුපස පැමිණියාය.

"ඔයාට යන්න හදිස්සිද?"

"නෑ..මම මේ පොතකුත් ගෙනාවෙ කාල ටිකක් වෙලා මේක කියවන්න කියල හිතාගෙන.."

"මොකක්ද ඔය පොත?"

"මේක මේ ලෝකෙ ඈත අතීතයෙ ඉඳල හිටපු දර්ශනවාදීන් සහ ඔවුන්ගෙ දර්ශනයන් ගැන ලියවුනු ඇත්තටම දර්ශනය ගැන හැඳින්වීමක් වගෙ පොතක්….Sophie's World"

"කවුද ලියල තියෙන්නෙ? " 

"යූස්ටයින් ගෝඩර්…. එයා නෝවීජියානුවෙක්.."

"හරි කියවල මටත් දෙනවද?"

"හරි හරි...ඔයාට ඕන නම් ගන්න..මට පස්සෙ කියවන්න බැරුවය…"

"නෑ එපා ඔයා බලල දෙන්න..පොත ගැන හැඳින්වීමකුත් එක්ක……"

"අන්න ඒකනම් මම කැමති වැඩක් නෙවෙයි මැඩම්…"

"ඇයි ඒ? "

"පොතක් ගැන මගේ අදහස් ඔයාගෙ අදහස්වලට හාත්පසින්ම වෙනස් වෙන්න පුලුවන්. ඒ හින්ද මම කලින් මේ පොත මෙහෙමයි කියල කීව්වම ඒක ඔයාගෙ රස වින්දනයට බාධාවක් , බලපෑමක් වෙන්න පුලුවන්…"

යම් ඇදහිය නොහැකි පුවතක් අසන්නට ලැබුණු විට හෝ එවන් දසුනක් දක්නට ලද විට තම විශ්මය ප්‍රකාශ කිරීම පිණිස බොහෝ දෙනෙකු හිස දෙපසට සොළවනු ඔබ දැක ඇතැයි මම සිතමි. අනුෂ්කාද එලෙස දෙතොල් තදින් පියාගත්වනම හිස සොළවමින් මා දෙස ඇසිපිය නොහෙලා බලා සිටියාය.

"මොකෝ මේ ඒපාර?..." මම දෙබැම රැළි නංවමින් විමසූයෙමි. 

"It's really amazing how you are just like him..Once he told me exactly the same thing."

"Who...? "

ඇය සඳහන් කරනුයේ ඇගේ පැරණි පෙම්වතකු පිළිබඳයැයි උපකල්පනය කරමින් මම විමසූයෙමි. එහෙත් මේ අපූර්ව යුවතිය යලිත් මා විශ්මයට පත් කලාය.

"මගේ බාප්පා...He was my very first Hero....ඇත්තම කියනවනම් තවමත් එහෙමයි...I never met anyone like him until now..may be not for my whole life...."

ඇය කථා කලේ කොපමණ පහත් හඬින්ද යත් ඇය කියන්න හරිහැටි ශ්‍රවණය කිරීමට මට දෑත් මේසය මත බරකොට ඉදිරියට නැවෙන්නට සිදුවිය.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...