Thursday, January 28, 2016

385. ගුරුවරියක සමඟ මගේ ජීවිතය 24 - මුනිවත රැකීම සහ විකල්ප ඉතිහාසය






හුටා රෙදි තාම එළියෙ නේද?...... ඒ සිතුවිල්ලත් සමඟ මම වහා හිඳහුන් පුටුවෙන් නැඟිට මිදුලට පැන්නෙමි.

තරමක කැට කැබලිති වලින් යමෙකු පහර දෙන්නාක් බඳු විසල් වැහි බිඳු මා හිස මත පතිත වද්දී බිරිඳගේ ඔසරි හැකිපමණ නොතෙමී නිවෙසට රැගෙන ඒමට මම උපරිම උත්සාහ දැරුවෙමි. එහෙත් ඒ වනවිටද වර්ෂාව ඇරඹී යම් වෙලාවක් ගතවී තිබිණි. එබැවින් ඒ ධාරානිපාත වර්ෂාවේ මගේ උත්සාහය ව්‍යාර්ථවුනු බව උදක්ම පැවසිය යුතු නොවේ.

අවසන හිසේ සිට දියබත්වුවද මට අඩක් පමණ තෙතබරිතවී හෝ බේරාගත හැකිවූයේ ඇගේ ඔසරි දෙකක් පමණි. ඉතිරිය ( තුනක් හෝ හතරක් පමණ ) දිය බේරෙන පමණ තෙමී තිබිණ. 

අප විසූ ගුරු නිවසෙහි මුළුතැන්ගෙය අසල වූ නිදන කාමරය එදවස අප ප්‍රයෝජනයට ගත්තේ ගබඩා කාමරයක් ලෙස මෙන්ම අධික වර්ෂා දිනයන්හි වැල් බැඳ රෙදි වේලාගැනීම උදෙසාය. 

තෙමී බත්වූ ඔසරි මම එම කුටියෙහි කවුලුව ආවරණය කොට සවිකොට තිබූ යකඩ දැල සහ ඊට විරුද්ධ පස බිත්තියෙහි ගැසූ පරාල ඇණ දෙකක් යාකොට බැඳ තිබූ වැල් දෙකෙහි හැකි පමණ දිගහැර වැනූයෙමි. මිනිත්තු විස්සක් පමණ ලවක් දෙවක් නොමැතිව ඇද හැලුනු වර්ෂාව එක්වනම ස්විචයක් ක්‍රියාවිරහිත කලාක් මෙන් නතරවිය.

සවස තුන පමණ වනතුරු ඇය අපේක්ෂාවෙන් නිරාහාරව හුන් මම ඉන්පසු තව දුරටත් ඉවසිය නොහැකිව බත් බෙදාගතිමි. ඇගේ ජංගම දුරකථනයට කීප වරක් ඇමතීමට තැත්කල මුත් එය ක්‍රියාවිරහිත කොට තිබිණි. එදවස අප භාවිතා කල ජංගම දුරකථනයන්හි නිශ්ශබ්ද පන්නයක් ( Silent Mode ) නොවීය.ඊට අමතරව එහි නාදය අඩුකිරීමෙහි පහසුකමක්ද නොවුනු හෙයින් එබැවින් රෝහලක් වැන්නකට ඇතුලුවීමේදී ඇය දුරකථනය ක්‍රියා විරහිත කිරීමට අමතක නොකලාය.

වර්ෂාව පහව ගියද අහස පුරා පිරි වැහි වළාකුළු හේතුකොටගෙන දසත පැතිර ඇත්තේ අඳුරකි. ආහාර ගැන්මෙන් ඉක්බිති සයනයෙහි දිහාවී හුන් මට නොදැනුවත්වම නින්ද යන්නට ඇත. හදිසියේම මම අවදිවූයේ කිසිවකු නිවෙස තුල එහා මෙහා ඇවිදින හඬිනි. දොර රෙද්ද මෑත් කරමින් ඇය කාමරයට එබුණාය. 

"ආ ඔයා නැඟිට්ටද? මම එනකොට හොඳටම නිදි. ඉතින් මම කතා කලෙත් නෑ"

"ඔයා එනකල් බලා ඉඳල මම නම් කෑව……"

"හරි හරි ඒකට කමක් නෑ මටනම් කන්න බෑ. හොස්පිට්ල් එකේ කැන්ටින් එකෙන් ඔය රෝල්ස් අනම් මනම් වගයක් කෑව. ඒක නෙවෙයි මාර වැස්සක් වැස්සෙ එක පාරටම නේද?"

"ඔව්නෙ..හෙහ්..හරියට වතුර බාල්දියක් එක පාරට ඔලුවෙ හැලුව වගෙ"

"මට ඒත් ඔසරි ටික මතක් වුනා. ඔයා ගෙදර ඉන්න හින්ද ඉතින් බයක් වෙන්ට තිබ්බෙ නෑ"

"මේ.... මේ.... "

"මොකද ..මේ..මේ?"

"හරි වැඩේනෙ අනේ වුනේ..මට නින්ද ගිහිල්ල හිටියෙ..ඔසරියක්ද දෙකක්ද කොහෙද පොඩ්ඩක් ඔන්න ඔහෙ තෙමුනද කොහෙද..."

මම ඉස්තෝප්පුවෙහි කවුලුවෙන් ඔබ්බෙහි පෙනෙනා දොරකඩ එක් පසෙක පැතිරුනු සමන් පිච්ච පඳුරෙහි බට්ටිත්තකු හෝ එවන් වෙනයම් කුඩා කුරුල්ලකු මෙහා පනින අන්දම මහත් උනන්දුවෙන් නරඹමින් පැවසුවෙමි.

"හෑ??? පොඩ්ඩක් නේද? ඉන්ට මම බලන්නම්.."

ඇය මුළුතැන්ගෙය අසල වූ කාමරයෙහි දොර විවර කරන හඬ ඇසුණි. ඉක්බිති අනිවාර්යයෙන්ම මුහුණ දියයුතු අවම වශයෙන් සෆර්-සිම්සන් සුළි කුණාටු මාපාංකයෙහි අංක පහ තීව්‍රතාවයෙන් යුතු චණ්ඩ මාරුතයට මුහුණ දීම පිණිස මම ළය පුරා ඉහළට ගත් ආශ්වාසය පහළට නොහෙලා සූදානම් වූයෙමි.

එමතුද වළාමයකි……. කිසිදු හැලහොල්මනෙක් උදක්ම නැති.

වළාමයකි යන්නෙහි අරුත පුදුමයෙකි විශ්මයෙකි යන්නයි. ඒ වනාහී ඩබ්ල්යු. ඒ. සිල්වා මහතාණන්ගේ නවකථාවන්හි බොහෝවිට හමුවන වදනකි. දෛවයෝගයෙහි මෙසේ මහානාදයන්ට පවසනුයේ පාණ්ඩ්‍ය දේශය ආක්‍රමණය කල ලක්දිව අප හමුදාවේ ප්‍රධාන සේනාධිනායකයානන් විසිනි. ඒ මහානාදයක් සතුරු හමුදාවේ අත් අඩංගුවට පත්ව නොයෙක් වධ බන්ධන විඳ අනතුරුව ඔවුන්ගෙන් මිදී පළාආ ඉක්බිති ඔහුගේ සිරුරෙහි වූ තුවාල දුටු කල්හිය.

"වළාමයකි. මෙවන් බරපතල තුවාල ලද තොප නොමැරී ජිවත්වනු මහත් පුදුමයකි. එමතුද නොව මෙසේ තුවාල සහිතව සතුරන්ගෙන් මිදී පැමිණීම ඊටද වඩා මහත්මැ පුදුමයෙකි."

මගේ මෑණියන් පාසල් ශිෂ්‍යාවකවූ සමයෙහි කණිෂ්ඨ පාඨශාලා හැරයාමේ සහතික විභාගයට ( Junior school Leaving Certificate ) මුහුණ දෙන්නන් යම් නිර්දේශිත නවකථාවක් පිළිබඳව අධ්‍යයනය කල යුතුව පැවතිණි.මේ මා සඳහන් කරනුයේ ලංකාවට නිදහස ලැබූ සමය පිළිබඳවයි. එනම් දශක හයහමාරකට ඔබ්බෙහි අතීතය පිළිබඳවය.

බ්‍රිතන්‍යයන් ලංකාවට නිදහස බන්දේසියක තබා පිරිනැමීමක් විනා භාරතයෙහි මෙන් නිදහස උදෙසා සටන් කිරීමට හෝ ලේ වැගිරවීමට ලාංකිකයින්ට සිදු නොවීය. බොහෝවිට අප රට අද පවතින දේශපාලන මෙන්ම සාමාජීය වශයෙන්ද දුක්ඛදායක වූ තත්වයට එලෙස කිසිදු ආයාසයකින් තොරව නිදහස ලැබීම ද බොහෝවිට උපස්ථම්භක වී ඇතිබව එකෙහෙලා බැහැර කල නොහැකි මතයකි. පාලකයින්ට මෙන්ම පාලිතයින්ටද පිරවුණු භාණ්ඩාගාරයක් සහ දියුණු යටිතල පද්ධතියකින් සමන්විතව ( ආසියාකරයේ සහ අප්‍රිකාවේ අවශේෂ රටවල් හා සමඟ සාපේක්ෂ වශයෙන් ) යටත් විජිත ස්වාමීන් විසින් භාරදී ගිය රට විනාශ කිරීමට ගතවූයේ දශක තුනකටත් අඩු කාලයක් පමණි. පරපුරෙන් උරුමවූ වතුපිටි යාන වාහන විකුණා සුඛ විහරණයෙහි යෙදුනු නොදැමුණු දරුවන් රැසක් හා අප අතර කිසිදු වෙනසක් වේද?

සමාවුව මැනව මාගේ සහෘදයනි.... එක් අරමුණෙක සිත රඳවා ගැන්මෙහි අසීරුව මම උපතින්ම ලද අභාග්‍යයෙකි. ඒ කරණකොටගෙන මගේ ජීවිතයෙහි අහිමිවූ දෑ බොහෝය. එහෙත් ඒ පිළිබඳව මම කිසි විටෙක නොතැවෙමි. ජීවිතය ඔබට ලබා දෙනුයේ පැකේජයකි. එහි යහපත් දෑ මෙන්ම අයහපත් දෑද තිබිය හැක. පැකේජය ඔබ පිළිගන්නේනම් යහපත් දෑ මෙන්ම අයහපත්දෑද පිළිගැන්මට ඉත සිතින් සැදී පැහැදී සීටිය යුතුමය.

"හෑ??? පොඩ්ඩක් නේද? ඉන්ට මම බලන්නම්.."

ඇය මුළුතැන්ගෙය අසල වූ කාමරයෙහි දොර විවර කරන හඬ ඇසුණි. ඉක්බිති අනිවාර්යයෙන්ම මුහුණ දියයුතු අවම වශයෙන් සෆර්-සිම්සන් සුළි කුණාටු මාපාංකයෙහි අංක පහ තීව්‍රතාවයෙන් යුතු චණ්ඩ මාරුතයට මුහුණ දීම පිණිස මම ළය පුරා ඉහළට ගත් ආශ්වාසය පහළට නොහෙලා සූදානම් වූයෙමි.

එමතුද වළාමයකි කිසිදු හැලහොල්මනෙක් උදක්ම නැති.

නිවෙස තුළින් කිසිදු හැලහොල්මනක් නොමැතිව දැඩි නිශ්ශබ්දතාවය රජකරමින් ගෙවීගිය මිනිත්තු දහයක පමණ කාලයකට අනතුරුව මම සෙමෙන් අසුනින් නැඟීසිට ගෙතුලට කරපොවා බැලුවෙමි. ඇයගේ සේයාවකද දකින්නට නැත.

සාලය හරහා ශබ්ද නොනැඟෙන සේ පා ඇඟිලි තුඩු මතින් ගොස් අපගේ නිදන කාමරයෙහි දොර රෙද්ද මෑත් කොට එබී බැලූ මට ඇය සයනයෙහි ඈත කෙළවර දිගාවී ගෙල දක්වා පොරෝණයෙන් වසාගත් වනම බිත්තිය දෙසට මුහුණ යොමා සයනයෙහි දිගාවී සිටිනු දක්නට ලැබිණි. සයනයෙහි හිඳගත් මම සෙමෙන් ඇගේ උරහිසට අතක් තැබීමි.

"මේ මම කියන එක පොඩ්ඩක්…"

"මොකවත්ම කියන්න එපා. මම කීපාරක් කිව්වද ඔසරි තෙමෙන්ට දෙන්න එහෙම එපාය කියල. ඔයාට ඉතිං කොහෙද?" 

ඇය කෝපය ආයාසයෙන් පාලනය කරගන්නට උත්සාහ දරමින් පැවසුවාය. 

"හරි හරි ඉතිං මේක අහන්......." 

එලෙස විත්ති වාචකය නොහොත් පාපෝච්චාරණය ඉදිරිපත් කිරීමට සූදානම් වූ නමුදු ඇයට තර්කානුකූලව ඒත්තු ගැන්විය හැකි ලෙස කුමක් පවසන්නේදැයි මසිත පැහැදිලි හැඟීමක් උදක්ම නොවීය.

"ඔය කියන කිසිම දේකින් මට වැඩක් නෑ...දැන් වෙන්න ඕන දේ වෙලා ඉවරයි."

ඇය ඉතා සෙමෙන් පැවසුවාය. ශබ්ද නඟා දොස් නොපවරා ඇය සෙමෙන් වදන් උසුරුවන්නේ නම් තත්වය ඉතාම අසතුටුදායක බව මම පුරා වසර දොළසක් ඇය හා දිවි ගෙවූ පළපුරුද්ද හේතුකොටගෙන ඉතා පැහැදිලිව දැන සිටියෙමි.

එසේ හෙයින් ඇය මෙසේ බැලිස්තික මනෝභාවයට ( Ballistic Mode ) අවතීර්ණ වූ කල්හි තත්වය ( ඔන්න ඕක තමයි පුංචි අම්මෙ පුළුකුණාවෙ තත්වෙ ......ඒ කතන්දරේ දන්නව නේද? ) හැකිතාක් දුරට නියාමනය කොටගනු පිණිස මවිසින් අනුගමනය කරනා චිරාත් කාලයක් භාවිතා කොට සුබපල ගෙනදුන් ( Time Tested ) ප්‍රතිකර්මය අනුගමනය කලෙමි.එනම් මෞන ව්‍රතය රකිමින් සයනයෙන් නැඟී නිදන කාමරයෙන් පිටවූයෙමි.

විවාහ ජීවිතයේ මතුවන බහුතරයක් මත භේද සහ ගැටුම් ආදියට ප්‍රත්‍යක්ෂ විසඳුම මුනිවත රැකීම බව මම අත්දැකීමෙන් දත්තෙමි. "මට ඉවසන්න බැහැ මේ මුනිවත ඔබේ"

ඔහොම දෙන්න දෙමාල්ලො අමනාප වෙලා නෝ කතා නෝ සිනා මෝඩ් එකේ ඉන්න සීන් ගැන බොහොම අපූරු කතා ගොඩක් තියනව. දෙන්න කතා කරන්නෙ නෑනෙ. ඉතිං බාර්යා තොමෝ කරන්නෙ බත උයල මේසෙටත් බෙදල " ඔන්න මේසෙට බත් ඇරල තියෙන්නෙ කන කෙනෙක් එහෙම කවුරුහරි මේ කිට්ටුව පාතක ඉන්නවනං කන එකයි තියෙන්නෙ" කියල පුරුස් තෙමේට ඇහෙන්ට කියාගෙන යන එක. 

මම මේ කියන්නෙ දුරාතීතයෙ හිටපු ඉවුම් පිහුම් එහෙම තනියම කරන බොහොම සුවච කීකරු බාර්යාවක් ගැන. අර මහවුසද පණ්ඩිට්ගෙ කතාවෙ ඉන්නෙ අමරාදේවී එහෙම...අන්න ඒ වගේ. මහවුසද පඬි තෙමේ ඔය අමරාදේවිගෙ ඉවසීම පරීක්සා කරන්ටෙයි කියල ඒ යෝදි උයාපු බත් මාලු ඔක්කොම අනල ඇඟ පුරා ගාල අව්වෙ හිටෝල තිබ්බයි කියනවනෙ වරුවක්. හතේ පංතියෙ විතර උම්මග්ග ජාතකේ ඉගෙන ගනිද්දි ඔය බත් මාලු ආලේප සීන්ස් එක කියවනකොට මට ආපු බරපතල ප්‍රශ්ණයක් තමයි මහවුසද අමරා දේවිගෙ සරීරෙ බත් මාලු අනල ආලේප කලේ ඇඳුම් තියෙද්දිමද නැත්තං ඇඳුං ගලෝලද කියන එක.

ස්වාමි ගහුරවේ ගැන අපෙ උන්දැට දැන මුතුකං දුන්නනෙ අපේ මංගල්ලෝත්සවේ දවසෙ තිබ්බ මංගල සබාවෙ කතාවක් කරපු එයාලගෙ පැත්තෙ වයසක අත්තෙක්. උන්දැ ඔය මහවුසද කතාවත් කිව්ව. මට හැබැයි ඒ කතාව හරියකට අහගන්ට උනේ නම් නෑ. ඒ වෙලාව වෙනකොට හවස හතර වගෙ වෙලා. මගෙ යාලුවො නස්කුඤ්ඤං වෙන්ට ගහල ඒ වෙනකොට අසබ්බිය සිංදු කියන්ට පටංගෙන. දෙන්නෙක්ද තුන්දෙනෙක්ද කොහෙද පරන යටගිය දවස බ්‍රක්මදත්ත රජ්ජුරුවං රාජ්ජිය කරන සමයේ කේස් මතක වෙලා එව්ව දෙකිං එකක් විසඳගන්ට කෝට් බෝට් එහෙම ගලවල කමිස අත් දණිස්ස ගාවට නමාගෙන සුමෝ පොර අල්ලංට සූදානං වෙනව.

මට ඉතිං ඔව්ව ගැන බලන්ට සැරිං සැරේ යන්ට වුනා. මොකද හෝන් කමින් එක තිබ්බ හෝල් එකේ එක පැත්තක් පොලවෙ ඉඳල සීලිමට යනකල්ම තනිකරම වීදුරු. අපේ බුරුස්ලීල ජිං කෙලීල කෙලගන්නකොට මගෙ පූරුවෙ අවාසනාවකටවත් ඔයිං වීදුරුවක් බිඳුනනං එහෙම මට හෝන් කමින් අහවර වෙලා යන්ට වෙන්නෙ ගෙදෙට්ට එහෙම නෙවෙයි නුවර පොලෝසියට. කරුමෙටවත් එහෙම අබග්ගයක් උනානං එහෙම ෂුවර් ඇන්ඩ් ෂොට් ආය ඒකෙ හෝදන්ට දෙයක් නෑ මම තාමත් හෝටලේට ණය ගෙවනව..දෙයියම්පල්ල.

මගෙ අතිජාත මිත්‍රය අජිතයට තමයි වලි බේරන එක බාර දීල තිබ්බෙ. ඒ කිව්වෙ සාමදාන විනිසුරු පදවිය. ( මතකනෙ අජිතය නේද? අජිතය මතක නැත්තං අසෝකා මතකයි නේද?ආන්න..හරි..අසෝකා කියන්නෙ අජිතයගෙ මාමගෙ දුව...) දෙයියන්ටම පෙනීයං..අසෝකගෙ කතන්දරේ තව ඉවරත් නෑ නෙවද? සික්..බොලා නිකමටවත් මට මතක් කරේ නෑනෙ..ෂෙහ් අම්මප...මට කියල ඉතිං සුවල්ප රාජකාරිද?...මේ දවස්වල කියවනව බ්‍රිතාන්‍ය ගත්කතුවරයකු වන රොබට් හැරිස්ගෙ පොතක්..An Officer And A Spy. 1894 අවුරුද්දෙ ප්‍රංශයෙ සිද්ද වෙච්ච ඇත්තම කතාවක්.

ප්‍රංශ හමුදාවෙ කපිතාන්වරයකු වූ ඇල්ෆ්‍රඩ් ඩ්‍රේෆස් ජර්මානුන්ට රහස් තොරතුරු සැපයීමේ වරදට දඬුවම් ලෙස දකුණු අමරිකාවේ ප්‍රංශ ගයානාව අසල අසල ප්‍රංශයට අයත් දූපතක්වූ ඩෙවිල්ස් අයිලන්ඩ් වෙත පිටුවහල් කෙරෙනවා.ඔහුගේ නිර්දෝෂිත්වය සනාථ කිරීමට ප්‍රංශ රහස් ඔත්තුසේවයේ ප්‍රධානියා වූ කර්නල් ජෝජස් පිකාර්ට් ගන්නා නොපසුබට උත්සාහය ගැනයි මේ කතන්දරේ කියවෙන්නෙ. රොබට් හැරිස්ගෙ තව අපූරු කතාවක් තියනව. ඒකෙ නම Fatherland.

ඕල්ටර්නේටිව් හිස්ටරි නැත්නම් විකල්ප ඉතිහාසය කියල එකක් අහල තියද? ඒ කියන්නෙ යම් රටක නැත්නම් මුලු ලෝකෙම ඉතිහාසය වෙනස් කල යම් සිද්ධියක් ඇත්තටම සිද්ද වෙච්ච විදිහට නොවී වෙන විදිහකට වුනා නම් කොහොම වෙයිද? කියල ඉමැජිනේෂන්කම් පාල ( ඒ වචනෙ නිර්මාතෘ ඇවිල්ල අපේ ශුරංග ළමයා ) උපකල්පනය කරල ලියන එක. 

දැං හිතන්නකො මෙහෙම. ගිය අවුරුද්දෙ ජනවාරි අටවෙනිද මොන හරි ක්‍රමේකිං මරාතුමා දිනුවය කියමු. අද රට කොහොම තියෙයිද? මම මේ දවස්වල ඒ ගැන ගැඹුරිං හිතමිං ඉන්නව. 

ඉතිං මම මේ කියන්ට ආවෙ අර රොබට් හැරිස් ලියපූ පීතෘභූමිය නැත්නම් ෆාදලන්ඩ් කතාව ලියල තියෙන්නෙ දෙවෙනි ලෝක යුද්දෙං ජර්මනිය ජයගත්තයි කියල උපකල්පනය කරල. කතාව කියවෙන්නෙ 1964 වර්ෂයෙ. ඒ අවුරුද්දෙ තමයි හිට්ලර්ගෙ 75 වන ජන්මදිනය සමරන්නෙ. ඒ වෙනකොට බ්‍රිතාන්‍යයෙ රජකරන්නෙ අටවන එඩ්වර්ඩ් රජතුමා. එළිසබෙත් අක්කගෙ මහප්පා. එයා අර අමරිකන් වැන්දඹු කාත්තාවක් එක්ක ආස්සරයක් පටන්ගෙන රජකම දාල යන්ට වුනානෙ. ඇත්තටම නම් සිද්ද වුනේ අන්න එහෙම. 

අනික මනුස්සය රජකම් කරද්දි වුනත් හිට්ලර්ගැන බොහොම ඇල්මක් තිබ්බ කෙනෙක් කියලත් කියනව. රොබට් හැරිස්ගෙ කතාවෙ හැටියට එංගලන්තෙට සිද්ද වෙනව ජර්මනිය එක්ක සාම ගිවිසුමක් අත්සන් කරන්ට.ඊට පස්සෙ එතකොට රජවෙලා හිටපු එළිසබෙත් අක්කගෙ තාත්තා ඒ කියන්නෙ කිං ජෝර්ජ් ද සික්ස්ත්ට සිද්දවෙනව පණබේරගෙන කැනඩාවට පැනල යන්ට.අවුරුදු දහයකට වගෙ පස්සෙ එහෙදිම මනුස්සය අබාවප්‍රාප්ත වෙනව.එළිසබෙත් කුමාරි ඉන්නෙත් කැනඩාවෙ. බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් ගොයියත් කැනඩාවට පැනල යනව ජර්මනිය යුද්දෙ දිනාගෙන එනකොට.

විකල්ප ඉතිහාසය කියන්නෙ මම බොහොම ආස කරන විෂයයක්. 

Saturday, January 23, 2016

384. පුවක් එෂැණිං - 3 - ගව ඝාතන තහනම



ගවයා පූජනීය සතෙකු බැවින් ගවයින් මැරීම තහනම් කිරීමට පියවර ගන්නා බව අතිගරු ජනාධිපතිතුමා පසුගියදා පැවසීය. මේ ප්‍රකාශය එතුමා විසින් කරන ලද්දක් නොවන බවක් හෝ එම ප්‍රකාශයට එතුමාගේ කිසිදු සම්බන්ධයක් නැති බවක් මෙතෙක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිවේදනය කොට නොමැති බැවින් ජනාධිපතිතුමා එලෙස ඇත්ත වශයෙන්ම පවසා ඇතිබවක් තහවුරුවන බව ජහපාලන විසේසඥයෝ පවසති.

හින්දු ආගමේ ගවයා පූජනීය සතෙකුසේ සැලකෙන බැවින් ජාතික සමගිය ඇතිකිරීමට ගව ඝාතනය තහනම් කිරීමට පියවර ගත යුතු බවද එතුමෝ පැවසූහ.එළෙසම ඉදිරි කාලයේදී ඉස්ලාම් භක්තිකයින් ගැන සලකා ඌරුමස් විකිණීම තහනම් කිරීමටද කටයුතු කිරීමට සැලසුම් කොට ඇතිබව විස්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනතාවට හා රටට බලපාන ඉතා වැදගත් එමෙන්ම ප්‍රමුඛස්ථානය දියයුතු ප්‍රශ්ණ තෝරාගැනීමෙහිලා ජනාධිපතිතුමා දක්වන තර්කානුකූල බුද්ධිය දෙස් විදෙස් දේශපාලන විචරකයින්ගේ නොමද ප්‍රශංසාවට ලක්වෙයි.එතුමාගේ උපදේශකයින්ට අනුව කඩිනමින් පිළියම් යෙදිය යුතු ජාතික වැදගත්කමකින් යුතු ප්‍රශ්න මාලාවේ තනපට විසිකිරීම සහ පැරකුම්බ්‍රා ගීතය නිර්මාණය කිරීමට පසුව අංක තුන ලෙස හඳුනාගෙන ඇත්තේ මේ මහා මහීෂ ඝාතන අර්බුදයයි.

එතුමාගේ උපන්බිම වන පොළොන්නරුවේ නගර මධ්‍යයේ පවා රථවාහන ගමනා ගමනයට මහත් බාධාවක් වන නිදැල්ලේ හැසිරෙන ගවයින්ගෙන් මින් පසු රිය පදවන්නන්හට "මාර්ගයෙන් ඉවත්ව වදාරා අපගේ ගමන් පහසුව සලසාගැනීමට ඉඩපහසුකම් සැලසීමට පමණ කාරුණික වන සේක්වා අතිගරු මහිෂ රාජයිනි" ලෙස නමස්කාරකොට ඉල්ලා සිටීමට සිදුවනු ඇති බව මේ අතර තතු දත් විචාරකයෝ පවසති.

ඝාතනය තහනම් කලයුතු වෙනත් පූජනීය ලෙස සැලකෙන සතුන් පිළිබඳව තොරතුරු දන්වා එවන්නැයි ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී. දැනට පැරණි මිසරයෙහි පාරාවෝ රජ දවස බළලුන් පූජනීයත්වයෙහිලා සැලකූ බවට තොරතුරු ලැබී ඇති හෙයින් බළලුන් ඝාතනය තහනම් කිරිමටද සලකා බලන බවට ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

මේ අතර පූජනීය වශයෙන් සැලකෙනුයේ දේශීය ගවයින් පමණක්ද එසේ නොව විදේශීය ගවයින්ද පූජනීය වශයෙන් සැළකිය යුතුද යන ජාතික වැදගත්කමකින් යුතු ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කිරීමට හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවීමට යන බවද තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි. 

ගව ඝාතනය තහනම් කල පසු කිරි වැරූ වැස්සියන් සහ පට්ටි ගොනුන් ස්වභාවිකව අපවත්වන තෙක් ඔවුනට දිනපතා ආහාර පූජා කිරීම එදා වේල බොහෝ වෙහෙස විඳ සපයාගන්නා ගොවිමහතුන්ට මහත් දුෂ්කර කාර්යයක් හෙයින් දියවන්නාවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේද, එහි ඉඩ පහසුකම් මඳ වුවහොත් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ සහ පැජට් පාරේ ජනාධිපතිතුමා වාසය කරන නිවසේ අංගනයේ කිරි දෙනුන් සහ පට්ටි ගොනුන් දිගේලි කිරීමට පහසුකම් සැලසීමටද කටයුතු යොදා ඇත.

එලෙසම අති පූජනීය සත්වයින් වන ගවයින්ගේ අති පූජනීය ගොම ගෙබිම අලේප කිරීමේ පැරකුම් බ්‍රා රජ දවස සිට පැවත එන චාරිත්‍රය යලි පණගැන්වීමට මූලාරම්භයක් ලෙස පැජට් පාරේ ජනාධිපති නිවසේ සියලුම බිම් උළු (Floor Tiles) ගලවා ඉවත්කොට ගොම ආලේප කිරීම සඳහා ප්‍රසම්පාදන (Tender)  අයදුම්පත් කැඳවීමටද කටයුතු යොදනු ඇත. මේ සඳහා අයදුම්පත් ජනාධිපති ලේකම් කාර්යාලයෙහි ප්‍රධාන ගව සුභ සාධන සහ සම්පාදන නිලධාරී වෙතින් ලබාගත හැක.

ඉතා සීඝ්‍රයෙන් පහත වැටෙන තෙල් මිල හේතුකොටගෙන, තෙල් මිල හතර පස් ගුණයක් ඉහල තිබූ කාලයේ නියම කල මිලටම ජහමනයාට පෙට්‍රල් සහ ඩීසල් අලෙවි කිරීමෙන් රජයට ලැබෙන අධික ලාභය ගවමස් ආනයනය කිරීමට යොදාගැනිමටද රජය බලාපොරොත්තු වේ. එබැවින් නුදුරු අනාගතයේදී ඉන්ධන මිල අඩුවීමක් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකිබව ආර්ථික විශේෂඥ ඉකොනො මැට්ටා මහතා එසැණ පුවක් වෙත පැවසීය.

මේ අතර ගව ඝාතන තහනම හේතුකොටගෙන රැකියා අහිමිවන ගව ඝාතකයින් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට සමස්ත ලංකා ගව ඝාතකයින්ගේ සංගමයේ නියෝජිත පිරිසක් ඊයේ ජනාධිපති ලේකම්තුමා හමුවූහ. ඔවුන්ගේ බිය සැක දුරු කල ලේකම්තුමා පැවසූයේ රැකියා අහිමිවන සියලු ගව ඝාතකයින් අලුගෝසුවන් ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බඳවාගැනීමට රජය කටයුතු කරන බැවින් තම අනාගතය පිළිබඳව කිසිදු බියක් හෝ සැකයක් ඇතිකරගත යුතු නැති බවයි. 

ගවයින් පූජනීය ලෙස රජය නිල වශයෙන් පිළිගත්තද මිනිසුන් පූජනීය ලෙස තවමත් පිළිගෙන නොමැති බැවින් අලුගෝසුවන් බඳවා ගැන්මෙහි ගැටලුවක් ඇති නොවන බවද ලේකම් තුමා තව දුරටත් පැහැදිලි කලේය.

ටං.....ටිං....ටුං...............

Wednesday, January 20, 2016

383. පුවක් එෂැණිං - 2 - ෂිවුරට අට ටිබ්බොට්.......






" ෂිවුරට අට ටිබ්බොට් ඝෝරි ඝොඩයි. " අද හදිසියේ කැඳවූ මාද්දිය හමුවකදී මෙලෙස ෂිංහනාධ කලේ භොධු භල ෂේනාවේ ප්‍රධාන වීදි සටංකරු වන ශෛලබහුලශාඛාවේ ස්නානශාර හාංදුරුවෝය. මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ එටුමෝ ගිහියංගේ විනය නීති බික්සූංට අඩාල නොවන බවත් බික්සූං උදෙසා වෙනම විනය නීති මාලාවක් බුදුන් වහන්සේ පනවා ඇති බවත් වඩාලෝය. 

බික්සු විනය නීති අනුව පස්වන සික්සා පදය  නකතං වනතුරු කට කපා කඩා රිය පැඩවීම හෝ එසේ පඩවා මිනිසුන් යට කිරීම කිසිසේත්ම පාරාජිකාවක් ලෙස නොගැනෙන බවද උං වහංසේ මයික්‍රපෝනය විකමින් මහ හඬින් ප්‍රකාස කලෝය. එසේ බික්සු විනය නීති පමනක් සංග රට්නේට බලපාන්නේ නම් ටමං වහංසේ ට ඉහතකී වැරදි වලට උසාවි යන්නට සිදුනොවන බවද එටුමෝ ඉටා හැඟුං බරව පවසන ලඩී. 

නකතං කර්ණ කංචුකේන, 
රියපදවං මහා මාර්ඝං පූරං, 
සකෘදාගාමීච උපාසකේන,
විනය පිටකයං නෝ පොබ්බොලං,

ඒ හා අඩාල පාලි පාඨය ඉදිරිපත් කල එටුමා එහි අර්තයද පැහැදිලි කලේය. " කණ සාක්කුවට වැටෙන තෙක් නකතංව පාර පුරා රිය පදවා සකෘදාගාමී නොවන උපාසකයකු හෝ උපාසිකාවක යට කලාට විනය පිටකය අනුව ඒ වරදක් නොවේ." 

රියට යටවූ පුද්ගලයා අඩුම තරමින් සකෘදාගාමී තත්වයට පත්වූවකු නොවේනම් එහි කිසිම වරදක් නොමැතිබව වේදිකාවේ හුන් අනෙක් බික්සූන්ගේද ඒකමතික අදහස විය.

පොලීසියට පහර දී වදාරන්නට,ගල් ගසා වදාරන්නට, මාර්ග බාදක පෙරලාගෙන ඉදිරියට වැඩම කිරීමට, රිලවුන් මෙන් තාප්ප දිගේ ඉහලට සක්මන් කිරීමට, අසබ්බිය වදන් දේසනාකොට වදාරන්නට බික්සූන්ට ඇති පරන අයිතිය උල්ලංගනය කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවද එටුමෝ සිවුර කරටගෙන වැඩිදුරටත් ප්‍රකාස කලෝය.

රජය මේ සංග පනත ගෙන එන්නේ දුස්සීල බික්සූන්ට දඬුවංකොට ඔවුන්ගේ සිවුරු ගැලවීමේ මුවාවෙන් බවත් මේ පිටිපස සිටින්නේ ජපානයේ සුමෝ මල්ලව පොර සංගමය බව තමන්ට රහසිගත තොරතුරු ලැබී ඇතිබවත් උංවහංසේ තවදුරටත් පැවසුවෝය. " දැනට ජපානේ සුමෝ ක්‍රීඩකයිංගෙ හිඟයක් තියනවා.ඒ හින්ද ඔවුන් ලෝකෙ හැම තැනම සුමෝ මල්ලව පොරකාරයො හොය හොය යනවා. අපේ සිංහල බවුද්ද ජනතාව රජයේ මේ කුරුමන්තරනේ තේරුම් ගත යුතුයි " අවසාන වසයෙං එටුමෝ පැවසුවෝය.


ටං...ටිං...ටුං..........

Wednesday, January 13, 2016

382. The Story Of My Marriage - 18 - My Father, The Tyrant



The Story Of My Marriage - 17

" ආ..ඒ කියන්නෙ එතකොට අම්ම ඔය කියන ළමයා විශ්ව විද්‍යාලයක පළාතෙවත් ගිහිල්ල නෑ..එහෙමද?"

"ඒක තමයි ළමයො මම කිව්වෙ. උපාධියක් ගන්න එක එයාලට මහ ලොකු දෙයක් නෙවෙයි. ඒ ළමයගෙ තාත්තට සල්ලි තියාගන්ට තැනක් නැතුව ඉන්නෙ ඔන්න කොටින්ම කිව්වොත්.."

මගේ මව පැවසූයේ හඬනඟා සිනාසෙමිනි.

"සල්ලි තියාගන්ට තැනක් නැති මිනිස්සු එක්ක පෑහෙන්ට මගෙ කිසිම ආසාවක් නෑ. හරි ඒ ගැන කතාව දැන් හොඳටම ඇති. ඔය රොටි පිච්චිල ඉවරද? මට පුදුම බඩගින්නක් තියෙන්නෙ. එක පාරට කකුල් දෙකත් එක්ක පණ නැතිවුනා වගෙද කොහෙද...."

"හරි හරි ඔයාට ඔය විස්ව විද්‍යාලෙ ගියයි කියන එක ඔය හැටි වටිනවනම් අපි බලමු ඩිග්‍රි එකක් තියෙන උගත් පන්ජාබි ගෑණු ළමයෙක්..එහෙම කෙනෙක් මම හොයන්නම්කො" කබල මත පිච්චෙන රොටිය ලී අල්ලුවෙන් පරිස්සමින් අනෙක් පස හරවමින් මව පැවසුවාය. 

"මම කිව්වනෙ සැරයක්. මට පන්ජාබ් ගෑණු ළමයි ඕන නෑ…" මම කෝපය පාලනය කොට ගැනීමට උත්සාහයක් නොදරාම පැවසුයෙමි.

"එතකොට මමත් පන්ජාබි නෙ..ක්‍රිෂ් ඔයාගෙ අම්මා පන්ජාබි..ඔයා කවදාකවත්ම ඒක අමතක කරන්න එහෙම එපා" මගේ මවගේ ස්වරය වේදනාත්මකය. 

"අම්මට මම මේ කියන එක තේරෙන්නෙ නැති එකනෙ වෙලා තියෙන්නෙ. කියන්නෙ මොකක්ද කියල තේරුම් නොගෙන වැරදි කොණෙං අල්ලගෙන එක එක බූත හිතනව. මම කිව්වෙ විශේෂයෙන් පන්ජාබි ගෑණු ළමෙක්ට අකමැතියි කියල නෙවෙයි. මට මොනම ගෑණු ළමෙක්වත් ඕන නෑ කියලයි ...මට ගෑණු ළමෙක් ඉන්න එකේ ආය මොන කෙහෙල්මලකටද තව ගෑණු ළමයි? " ශීතකරණයේ දොර විවරකොට මෝරු සහ මුදවන ලද කිරි මිශ්‍රණය පිරවූ බඳුනක් පිටතට ගන්නා අතර පැවසුවෙමි. 

සෑම පන්ජාබි ආහාර වේලකම පාහේ කිරි මුදවා සාදාගන්නා නොයෙක් අතුරු ආහාර වර්ගයයන්ගෙන් අවම වශයෙන් එකක් හෝ අඩංගුවීම අනිවාර්යය වේ.

"ඒ කියන්නෙ ඔයා අර මැඩ්රාසී කෙල්ලවම තමයි බඳින්නෙ ?" මගේ මව ඇසූයේ ඇයටම සුවිශේෂී වූ සාත්වික අභිනයන් ප්‍රදර්ශනය කරමිනි. 

"ඔව්..ඒත් දැන්ම නෙවෙයි, සුදුසු කාලෙ ආහම ස්ථිරවම එහෙම තමයි වෙන්නෙ" මම කිරි ආහාර බඳුන වැසුම් හැර ශීතල මැකීයනු වස් මේසය මත තැබුවෙමි.

"අයියෝ මට තේරෙන්නෙ නෑ ක්‍රිෂ් ඔයාට මොනවද වෙලා තියෙන්නෙ කියල...."

මව දැවමුවා පිඟානක් මත තබා තුනීකල රොටියක් දකුණතට ගෙන උදුන මත රත්වෙමින් තිබූ පැතලි තැටිය මතට වේගයෙන් දමා ගසමින්ම වමතින් තම නළලට පහරක් ගසා ගත්තීය. අත්ල සහ ඇඟිලි පුරා දැවටී තුබූ සුදු පැහැ පිටි ඇගේ නළලෙහි තැවරිණි. එදෙස හොරැහින් බැලූ මට මුවඟට නැඟි සිනහව සඟවා ගත නොහැකි විය. මම සිනහසෙනු දුටු මව යලි කෝපාන්විත වූවාය. 

"ඔය ඔය….. දැන් මට හිනාවෙන්නත් පටන්ගෙන...කමක් නෑ ක්‍රිෂ්...ඔයාට හොඳ නම් මට කමක් නෑ..ඒත් පුතේ…" මම ඇයට බාධාකරමින් නැඟී සිටියෙමි. 

"නිකං පිස්සු කියවන්න එපා අම්මෙ..මම අම්මට හිනා වුන එකක් නෑ..අර නළලට ගහගත්තු පාර ඔයාගෙ නලල පුරාම පිටි. ඒක දැකලයි මට හිනා ගියේ…..කෝ ඉන්න මම ඒ පිටි පිහල දාන්න" ශීතකරණය අසල බිත්තියේ එල්ලා තිබූ අතපිස්නාවක් ගෙන මම ඇගේ නළල පිසදැමීමි.

"හරි හරි ඔය ඔක්කොම හරි යයි ...එන්නකො අපි දෙන්න ගිහිල්ල කෑම කමු." මම ඇය සුරතගෙන සාලයට කැඳවාගෙන ගියෙමි.

සාලය මධ්‍යයෙහිවූ දිගැති ටීපෝව මත රැගෙන ආ ආහාර අඩංගු බඳුන් තබා මම රූපවාහිනිය ක්‍රියාත්මක කළෙමි. අධික කුසගින්නෙන් පෙලුනු බැවින් මම වහා ආහාර අනුභවය ආරම්භ කළෙමි. මවද දැඩි කල්පනාවක නිරතවුවද ආහාර ගැනීමේද අනලස්ව නිරතවන බව ඇය දෙස ඇස් කොණින් විපරම් කල මම දුටිමි.

කවුරුන් හෝ පැමිණ ඇතිබව හඟවන සීනුව දෙවරක් නාදවූයේ තවත් රොටී ගෙන ඒම උදෙසා මුළුතැන් ගෙට යනු පිණිස මම නැඟී සිටි මොහොතේය. මම ආපසු හැරී ප්‍රධාන දොරටුව දෙස බැලීමි.

"ඒ නම් තාත්තා වෙන්න ඕන….ඔව්..ඔව්..තාත්තම තමයි….ටී.වී එක ඕෆ් කරන්න...ටී.වී.එක ඕෆ් කරන්න" මගේ මව මහත්සේ කලබලයට පත්ව නැඟී සිටිමින් පැවසුවාය.

"හරි හරි ඉතිං අම්ම කලබල වෙන්නෙ නැතුව ඉන්නකො.දැන් ඔය හොදිත් එක්ක හලාගන්නව හැමතැනම... "

මා දෙස නොපහන් බැල්මක් හෙලූ ඇය ඉක්මන් ගමනින් දොර වෙත ගොස් නැවතී ආපසු හැරුනාය. ගොළු බසින් ඉඟි කරමින් ඇය දොර අසල සිට ද පැවසූයේ රූපවාහිනිය ක්‍රියාවිරහිත කරන ලෙසය. උරහිස් හකුලමින් රූපවාහිනිය වෙත ගිය මම එය ක්‍රියා විරහිත කළෙමි.

මගේ මව දොර විවර කලාය. ගෙතුලට පිවිසි මපියා ඇය දෙස ඉක්මන් බැල්මක් හෙලා හිටි පියවරම නැවතුනේ හිස ඔසවා මදෙස බලා සිටින්නට විය.මම වහා ආපසු හැරී ඔහුට පිටුපා මුළුතැන්ගෙයට පිවිසෙනා දොර අසලට පැමිණියෙමි.

"ඔයා කෑම කනවද?" මගේ මව සෙමෙන් ඇසුවාය. කිසිදු පිළිතුරක් නොදුන් මපියා කෑම මේසය වෙත පැමිණ එදෙස එක් බැල්මක් හෙලා යලි මව වෙත හැරුණේය.

"මොනවද මේ උයල තියෙන්නෙ? මෙව්ව කන්න පුලුවන්ද මෙලෝ මිනිහෙකුට….."

මම ඔහු දෙස රවා බැලුවෙමි. "අම්ම උදේ ඉඳල මහන්සි වෙලයි මෙව්ව ඉව්වෙ...කන්න බැරිනම් නිකං ඉන්න. නිකං කට කැඩිච්ච කතා නොකිය."

මව කුස්සියේ වූ කබඩයෙන් ඔහු වෙනුවෙන් පිඟානක් පිටතට ගත්තාය. 

"මට මේ ගොසරෑව කන්න බෑ...." පියා පැවසූයේ මව දෙස රවා බලමිනි.

"කොහෙං හරි කාල ආවම ආය කන්න පුලුවන්ය.. ඉතිං ඕක කෙලින්ම කිව්වනම් ඉවරයිනෙ. වෙන අනම් මනම් කියවන්නෙ නැතුව…" මම ඉවත බලාගෙනම පැවසීමි.

වහා හැරී මදෙස ටික වේලාවක් බලාසිටි මපියා ඉක්බිති මව දෙසට හැරුනේය. "දැක්ක නේද තමුංගෙ මහ ලොකු පුතංඩියගෙ හැදිච්ච කම. මොකටද ඔය උපාදි දෙක තුන තිබ්බට? . අර බල්ලගෙ කොහෙද මොකක්ද බැන්ද වගේ... තමන්ගෙ තාත්තට කතාකරන්න වත් දන්නෙ නෑ ඉතිං තව මොනවද?"

"ඇත්ත වෙන්නැති. ඒත් හෙට අනිද්ද මම සිටි බැංකුවෙ මගෙ පලවෙනි රස්සාවෙන් ගන්න පඩිය ගන්ට ඔහේට අවුරුදු තිහක් ආමි එකේ රස්සාව කරලත් බැරිවුනා" එසේ පැවසීමට මට කොතෙක් අවශ්‍ය වුවද මම තොල් සපාගත්වනම මුනිවත රැකීමි. ඒ හා සමඟම උඩ සාක්කුවට අත දමා එහි වූ සිටි බැංකුවෙන් එවන ලද විස්තර පිරවිය යුතු පත්‍රිකාව නිරුපද්‍රිතව ඇතිබව සැකහැර ගතිමි.

මපියා ඉක්බිති රූපවාහිනිය වෙතට තම සුපුරුදු උදාර ලීලාවෙන් ගොස් එහි මතුපිටට සුරත තබා ආපසු හැරී මව අමතා බිරුසන් දුන්නේය. 

"ටී.වී. එක හොඳටම රස්නෙයි. කවුද දැං මෙතන ටී.වී. බැලුවෙ? මම කියල තියනව නේද........"

"මමයි ටී.වී. බැලුවෙ..ඇයි... ඒකෙ…. මොකවත්…. අවුලක් ….ප්‍රශ්ණයක් ….එහෙම ….තියනවද?" මම වදනින් වදන බරකරමින් ඇසූයෙමි. 

"තමුන් මේ ගෙදර ඉන්නවට මම කොහෙත්ම කැමති නෑ..තේරුණාද? ඒ ….හින්ද…. කරුණාකරල…. පුළුවන්…. ඉක්මනට ….මෙහෙන් ….ගියොත්….. ඒක ...අපි ...දෙන්නටම... ලොකු….. පහසුවක්….." මට දෙවැනිවන්නට කිසිසේත්ම කැමති නොවූ ඔහුද පැවසූයේ එලෙසම වදනින් වදන උසුරුවමිනි.

"මකබෑවිලම ගියාදෙං... උද්දච්ච මෝඩයා" තොල්මතුරමින් මම රොටි කැබැලි කීපයක් ඉතිරිවූ මගේ පිඟානද රැගෙන සාලයෙන් පිටවුණෙමි.

එදින මධ්‍යම රාත්‍රිය ආසන්නවනතුරු මම නිදිවර්ජිතව සයනයෙහි වැතිර කල්පනාවේ යෙදී ගත කලෙමි. මසිත වරෙක අහ්මදාබාද්හි මගේ කුටියෙහි මා සයනයෙහි පසෙක නිදන අනන්‍යාගේ කාලවර්ණ දිගු කෙස්වැටිය මගේ වතෙහි දැවටෙන කල්හි නාස්පුඩු පුරා විහිද ඉක්බිති පපුව පුරාගන්නා සඳුන් සුවඳෙන් එදවස මා මන්මත්වූ අයුරු සිහිකොට නිම්හිම් නොමැති ආනන්දයකට පත්වන්නේය. ඒ සැණින් අදදින මධ්‍යාහ්නයේදී මපියා සමඟ වූ බහින්බස්වීම සිහිව ශෝකයෙන් ආතුර වන්නේය.

අඩවල් කොට තිබූ දොර විවරකොට එක්වනම කුටියට ඇතුලුවූ මව විදුලි බුබුල දල්වා මගේ සයනයේ පසෙක හිඳගත්තාය.

"ක්‍රිෂ් බොහොම සතුටුදායක ආරංචියක් මට තියනව ඔයාට කියන්ට."

මගේ මවගේ සතුටුදායක ආරංචි පිළිබඳව දශක දෙකහමාරකට අධික කාලයක පළපුරුද්දක් ඇතිහෙයින් මම කිසිවක් නොපවසා නිහඬ වූයෙමි. මගේ උරහිසට අතක් තබා ඇය ඉක්බිති කතාකලේ ප්‍රීතියෙන් ඉපිලෙමිනි. 

"මම හවස පම්මි ආන්ටිට කෝල් එකක් දුන්න….."

"කාට? "

"ඇයි අනේ ඔච්චරම මතක නැද්ද? මම දවල් කිව්වෙ අර ...පම්මි ආන්ටි..අර අර මම ඔයාට පෙන්නුවෙ...ඇල්බම් එකේ අර ලස්සන ගෑණු ළමයා......."

මව කෙරෙහි මගේ සිතෙහි හදිසියේම බලවත් අනුකම්පාවක් හටගැණිනි."හරි හරි මට මතකයි අර නටන්ට පුලුවන් ගෑණු ළමය නේද? තව අර පෙට්රල් ස්ටේෂන් හයක්ද කොහෙදත්....."

"අන්න හරි අන්න හරි...ඒ ළමය තමයි...හෙහ්..මාත් එක්ක බොරුවට අකමැතියි කියල කෑගැහුවට මම දන්නව දැන් මම එද්දිත් ඔයා කල්පනා කර කර හිටියෙ ඒ ළමය ගැන නේද?"

"පිස්සුද අම්මට?.... මොනව කියවනවද මන්ද...."

"හරි හරි ක්‍රිෂ් මම දන්නව...ඒත් පෙට්රල් ස්ටේෂන් හයක්ම නෙවෙයි. එයාලගෙ තාත්තට පෙට්රල් ස්ටේෂන් හයක් තිබ්බට මේ ළමයට අයිති වෙන්නෙ තුනක් විතරයි. ඉතුරු තුන එයාගෙ නංගිට….."

"ෂිහ් අපරාදෙ…පෙට්රල් ස්ටේෂන් හයම තිබ්බ නම් තමයි මරු" මම මුවඟට නැඟි සිනහව ඇයට නොපෙනෙනුවස් ඉවත බලාගතිමි. 

"මේ මම එහෙනම් පම්මි ආන්ටි එක්ක ඒ ගැන කතා කරන්නද?"

"මොනව ගැනද?" මම විමසුම් දෑසින් ඇය දෙස බැලීමි. 

"මොනව ගැනද කියන්නෙ? පෙට්රල් ස්ටේෂන් හයම දෙනවනම් ඔයා කැමතියි කියල...ඔයාගෙ විස්තර ඇහුවම ඒ ගොල්ල ඒකට නොවැරදීම කැමති වෙයි. ඩොලීගෙ නංගි තවම ඉස්කෝලෙ යනව. එයා ලොකු වෙලා බඳින වයස එනකොට එයාලට තව පෙට්රල් ස්ටේෂන් තුන හතරක් හදාගන්ට බැරිය...නැද්ද?" ඇය මගේ ඇලපතට පහරක් ගසා කුඩා දැරියක් මෙන් හඬනඟා සිනාසුනාය.

අයි අයි. ටී. අයි. ආයතනයෙහි ඉගෙනුම ලබද්දී දෙවන වසරේ මගේ කුටි සගයා වූ ශ්‍රී ලංකාවෙන් පැමිණි ප්‍රසන්න නිතර ඔහුගේ මව් බසවූ සිංහලෙන් පැවසූ කියමනක් මට හදිසියේ මතකයට පැමිණියේය. වඳින්ට ගිය දේවාලෙ ඉහේ කඩා වැටෙනවා ලෙස ඔහුගේ මව්බසින් ඔහු පැවසූ එම කියමනෙහි අර්ථය වූයේ සත්කාර්යයක් කිරීමට ගොස් අනර්ථයක වැටීම යනුයි. "ෂික් මටත් වෙන එව්ව..අර ප්‍රසන්නය නිතරම කියපු එක තමයි මටත් වුනේ ...මෙතන අම්ම පව් කියල සන්තෝස කරන්න ගිහිල්ල ඒක ආපිට මටම කැරකිච්ච හැටි" මම තොල මතුරමින් සයනයෙන් නැඟී සිටියෙමි.

"මොනවද ඔයා ඔය හෙමිහිට කියවන්නෙ? මට බණිනව නේද?" මව හිස ඔසවා මදෙස බලා ඇසුවාය.

"පිස්සුද? මම මොකටද අම්මට බණින්නෙ?.....මේ...ඔය පෙට්රල් පොම්ප ගැන එහෙම එක වචනයක්වත් ඒ මිනිස්සු එක්ක කතා කරන්නෙ නෑ ඔන්න...මම නොකිව්වයි කියන්න එපා...."

"හරි හරි...මම කිසිදෙයක් කියන්නෙ නෑ...අපි අනිද්ද හවස එහෙ යනවනෙ...ඔයාම ඒ ගැන කතා කරගන්නකො....හිහ්...හිහ්" මගේ මව මහත් ප්‍රමෝදයට පත්ව සිනාසෙමින් පැවසුවාය...

"My goodness..You are simply impossible….." මම හිස දෙපසට සොලවමින් පැවසුවෙමි.

"හරි හරි එහෙනං අනිද්ද හවස යමු තේ වලට එහෙම හොඳයි නේද?"

"මට කොහෙවත් යන්න ඕන කමක් නෑ අම්මෙ.... "

"යමුකො මම කිව්වට...එයාල පුදුම විදිහට පෝසත්..සල්ලි උතුරනව...කොහෙ හරි පාරක් වැරදිලා ඇඩ්රස් එකක් අහගෙන ගෙදරට එන කෙනෙකුට වුනත් වෑංජන හත අටක් එක්ක කෑම වේලක් දෙනව."

"මට වෑංජන හත අටක් එක්ක කෑම වේලක් ඕන නෑ..අම්මෙ මේ ...මම එහෙ එන්නෙ නෑ"

"ක්‍රිෂ්..මම වෙනුවෙන් වත් ඔයාට මේ ගමන යන්න එන්න බැරිද පුතේ?... මගේ සතුට වෙනුවෙන්....ඒ හේතුව මදිද ඔයාට.."

මගේ මවගේ ආයාචනාත්මක ස්වරය මා නෙත් තෙත් කිරීමට සමත්වූයේ නිතැණිනි. කඳුලු වලකා ගැන්මට හිස පහතට හැරවූ මා දුටුයේ වෙලුම් පටියකින් වෙලා ඇති ඇගේ සුරතයි. 

"හරි හරි මම එන්නම් මම එන්නම්....දැන් යන්නකො හොඳ අම්ම වගේ එළියට..මට නිදාගන්න ඕන…"

"අන්න හොඳයි..මම දන්නවනෙ...අන්තිමට මගෙ පුතා මම කියන එකට... ……"

"මේ අම්මෙ ...තවත් ඔහොම කිසිම තේරුමක් නැති විකාර කියවන්න ගියොත් මම ඔන්න තීරණේ ආයම වෙනස් කරනව...නොකිව්වයි කියන්න එහෙම එපා.."

"හරි හරි මේ ගියා ගියා..ගුඩ් නයිට්, ස්වීට් ඩ්‍රීම්ස්…" විදුලි බුබුල නිවාදැමූ ඇය වහා කුටියෙන් පිටවූවාය.

යලි සයනයේ දිගාවී පොරෝණයෙන් හිසේ සිට දෙපතුල තෙක් වසාගත් මම මගේ දකුණු ඉන්දියානු පෙම්වතිය හමුවීමේ අපේක්ෂාවෙන් සිහින ලොවට පිවිසියෙමි.

Tuesday, January 12, 2016

381. ආවා..ආවා..ආවා.... පරාක්කමබාහු ආවා.....දුටුගැමුණු ගියා... පරාක්කමබාහු ආවා.


2015 අවුරුද්දේ ජනවාරි 08 වෙනිදා රෑ එළිවෙද්දි අපි හැමෝම වගෙ පුදුම සතුටක් අත්වින්දා. අපි කියල මම මෙතන කිව්වෙ යුක්තිය, සාධාරණත්වය අගය කරන මානුෂික නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අගය කරන අපි හැමෝම අදහස් කරගෙනයි. එහෙම නැතුව ඒ දේවල් අපිට ඕන නෑ කියල හිතන අයට මේ කතාව අදාල නෑ.

ආ..එතකොට තව එකක් රජ්ජුරු කෙනෙක් අපිට ඕනත් නෑ. අපේ පාලකයා වෙන්න ඕන සාමාන්‍ය මනුස්සයෙක්. අපි බහුතරයක් අන්න එහෙමත් හිතුව. අන්න ඒ හින්දමයි එදා එළිවෙද්දි අපේ හිටපු මහරජානන්ට නැත්නම් එක්ස් කිංට හෙලිකොට්ටරේකිං කොට්ට පැදුරු අකුලගෙන ආපහු මැදමුලනට යන්ට සිද්ද වුනේ. රයිට් ඒ ඔක්කොම දැං පරණ කතානෙ. සුද්ද කිව්ව විදිහටනං වෝටර් අන්ඩර් ද බ්‍රිජ් නොහොත් පාලම යටිං ගලාගිය වතුර.

දේසය එක්සත් කල පිනෙන් මහ රජෙක් පහලව ඇතේ....
අපටද මහ රජෙක් පහලව ඇතේ……
ආයු බෝ වේවා මහරජාණනේ....

ඔන්න ඔහොම හිටපු එතුමා ඉන්දැද්දි කවුද ගෑණු දරුවෙක් ප්‍රශස්තියක් කිව්වනෙ. ඒකට ඒ ළමයගෙ නමින් ඔය මහරගම පැත්තෙ පාරකුත් නම් කලාද කොහෙද……..තව ජනාදිපතිවරන චන්දෙ කිට්ටු කරල හිටං අප්පච්චි, අප්පච්චි නුඹයි අපේ අප්පච්චි කියල පොඩි එවුං දෙන්නෙක් ලව්වත් ප්‍රසස්තියක් ගායනා කොරව ගත්ත එවුන්දැ. 

ඉස්ටේජ් වලට දුවගෙන ගොස් පනිනා නුබයි අපේ අප්පච්චි……
ලනුවේ එල්ලී රිලවෙක් වාගෙ සරකස් පෙන්නන නුබයි අපේ අප්පච්චී…….

අපේ ජනාදිපතිල හැමෝන්ටම වාගෙ ඔය රජ පිස්සුව ඔලුවට ගහල තිබ්බ. ජේ.ආර්. පප්ප තමංගෙ නම පවතින්ට ලංකාවෙ අගනුවර සිරි ජයවර්දන පුරේ කලා. ඊට පස්සෙ ආව පේමෙ....එයා රත්තරං ආලේප කරපු සිංහාසනයක් එහෙම හදාගෙන ඒකෙං බැහැල ඇවිල්ල තමයි තානාපති වරුංගෙ අක්ත පත්‍ර එහෙම බාරගන්නෙ ඒ කාලෙ. 

රන් සිහසුනෙං බැස එන්නං ...අක්ත පත්‍ර පිලිගන්නට…

ගං උදාවට යනකොට ඔය සිංහාසෙනෙත් පටවගෙන තමයි එතුමා යන්නෙ. ඒ එක රජ පිස්සුවක්...

චන්ද්‍රිකා නෝන මහත්තයට නම් දන්න විදිහට රජ පිස්සුවක් තිබුණෙ නෑ. අපරාදෙ කියන්ට බෑ අපේ හිටපු මහරජතුමාටත් රජවෙලා මුල් අවුරුදු දෙක තුන වගෙ ඔහොම පිස්සුවක් තිබුනෙ නෑ. යුද්දෙ දිනුවට පස්සෙ තමයි එතුමාව රජ්ජුරුවො කියල අන්දන්න වන්දිබට්ටයො පිටපොට ගහගෙන ලෑස්ති වුනේ. 

මොන විකාරයක්ද ඕයි ඔය? ඔන්න ඔය බහුබූත නවත්තල දානවා කියල කියන්ට එතුමාටත් කොන්දක් තිබ්බෙ නෑ. ඒ හින්දම පහුගිය අවුරුද්දෙ ජනවාරි 08 වෙනිද අපි එතුමාව ගෙදර යැව්වෙ අපිට රජෙක් කොහොමවත්ම ඕනෙම නෑ කියලනෙ. සිරිසේන මහත්තයගෙ ජනාදිපතිවරණ ප්‍රචාරක වියාපාරයෙ ප්‍රදාන සටන් පාටයක් වෙලා තිබ්බෙත් මරාස්තුමාගෙ ඔය රජ පිස්සුව.

ඒ හින්දම අපි හැමෝම වගෙ හිතුවෙ මින් මතුවට සිරි ලක් දෙරණේ නැත කිසි විට රජ වරුණේ කියලනෙ. ඒත් යන්තමට අවුරුද්දයි ගියේ. හිටපු රජ්ජුරුවො පෙරලල දාල අවුරුද්දෙ සංවත්සරේට මෙන්න අලුත් රජ කෙනෙක් පහල වෙලා. අර හිටපු මනුස්සයට ප්‍රසස්ති කිව්වෙ මිනිස්සු. ඒත් මේ පොදු ජන ජනපතිට ප්‍රසස්ති කියන්නෙ දෙවියො. ඒත් ඒ දෙයියොත් මහ අමුතුජාතියක දෙයියො කොට්ටාසයක්. පන්සල්වල දේවාල වල අඹල ඇඳල තියෙන දේව රූප බහුතරයක් එක්කො රැවුල සම්පූර්නයෙන්ම මුඩු කරල නැත්නම් කලාතුරකිං වගෙ උඩු රැවුල විතරක් තියලනෙ ඉන්නෙ. ෂිරිෂේන තුමාට ප්‍රසස්ති කියන දෙයියො මූණ පුරා රැවුල වවා ගත්තු කොණ්ඩ වවාගත්තු මරුමුස් බුවාල කට්ටියක්. දැක්කම හීන් දාඩියයි මහ දාඩියයි දෙකම එක විඩේ දානව.

ඒ වීඩියෝ එකත් දාල අනික් පැත්තට ආපහු අයිං කරගෙන. ෂිරිෂේන ගොයිය ඔය වගෙ දාල අනික් පැත්තට අයිං කරගන්න වැඩ වලට බොහොම ප්‍රසිද්දයි. එක්සත් ජාතින්ගෙ වාර්සික සැසිය අමතන්ට පුතා එක්ක ගිහිල්ල පෝටොස් දාල ඒ ගැන හතර අතිම්ම විවේචන එන්ට ගත්තම ඒ පෝටොස් අයින් කරගත්ත මතකයි නේද? මේකත් ඒ වගේ තමයි. හැබැයි වැඩේ කියන්නෙ ඒ වෙනකොට හත් පලේ ගෑවිලා ගඳ ගහල ඉවරයි.

නුබට පුලුවං රට හදන්නට නුබ අපේ මිනිහෙක්………….

අන්න එහෙමයි ප්‍රසස්තියෙ කියන්නෙ..ඉතිං රට හදන්ට තමයි බොල අපි ඔහෙව පත් කලේ..ඕක ආය සිංදු කිය කියල ඉන්ට ඕන දෙයක් නෙවෙයිනෙ...රට හදන්ටයි තියෙන්නෙ.....එහෙම බවක් අපිටනම් පේන්නෙ නෑ...සමහරවිට සිංදු කියල මතක් කරල දෙන්ට ඕනය කියල වන්දිබට්ටයින්ට උනත් හිතෙන්ට ඇති ඒ හින්ද....

පහුගිය චන්දෙ කාලෙ අර මෝඩවන්සය රට හැමතැනම කිය කිය ගියා මතකද අර බෝක්කු කටෙං අ..යි..යෝ සි...රි..සේ...න සි..රි..සේ...න... කිය කිය. අපිටත් එහෙම කියන්ට වැඩ සිද්ද කරන්ට එපා කියලයි  කියන්ට තියෙන්නෙ අවසාන වසයෙන්....

නුඹට පුලුවන් රට හදන්නට නුඹ අපේ මිනිහෙක්, 
සිංදු කිය කිය ඉන්නෙ මොකටෙයි හදල පෙන්නාපන්,

පලි - මෙම ප්‍රසස්තිය වතුර පොල්කට්ටකට තුන්වරක් ගන පිහිටුවා ගායනා කොට ඔබ උදෑසන එලි බැසීමෙන් පසු පස්චාත් බාගය සෝදාගැනීමට එම පොල් කට්ටේ වතුර පාවිච්චි කිරීමෙන් පස්චාත් බාගයේ සියලු හොරි වන දද සහ කුස්ට දින හතක් ඇතුලත දුරීම්බූතවී නිට්ටාවටම සුවවේ. ඊට අමතරව අතුරු පලයක් ලෙස රටේ යහපාලනය ද අනිවාර්යයෙන් ඇතිවේ. එබැවින් ඒ මහානුබාව සම්පන්න ගීත රාජයාගේ අඩංගු විස්ව සක්තිය කුලු ගැන්වූ වතුර පොල් කට්ටකිං පස්චාත් බාගය දිනපතා සෝදා එහි ඇති හොරි වන ආදිය සුවකොට ගන්නා අතර රටට මහත් සෙතක් සාන්තියක් උදාවීම උදෙසා යහ පාලනය ද පිහිටුවීමට ඔබත් අදම අදිස්ටානය කරගන්න.

නුඹ අපේ මිනිහෙක්!!!!!!

Tuesday, January 5, 2016

380. ගුරුවරියක සමඟ මගේ ජීවිතය 23 - ක්‍රියාත්මක කල නොහැකිවූ 5S ක්‍රමය සහ ආපසු නිල්ලඹේට ගලාගිය උඩිස් රඳවනයේ ජලය


නිල්ලඹේ භාවනා මධ්‍යස්ථානයේ දර්ශනයක්.....

හුටා රෙදි තාම එළියෙ නේද?...... ඒ සිතුවිල්ලත් සමඟ මම වහා හිඳහුන් පුටුවෙන් නැඟිට මිදුලට පැන්නෙමි.

තරමක කැට කැබලිති වලින් යමෙකු පහර දෙන්නාක් බඳු විසල් වැහි බිඳු මා හිස මත පතිත වද්දී බිරිඳගේ ඔසරි හැකිපමණ නොතෙමී නිවෙසට රැගෙන ඒමට මම උපරිම උත්සාහ දැරුවෙමි. එහෙත් ඒ වනවිටද වර්ෂාව ඇරඹී යම් වෙලාවක් ගතවී තිබිණි. එබැවින් ඒ ධාරානිපාත වර්ෂාවේ මගේ උත්සාහය ව්‍යාර්ථවුනු බව උදක්ම පැවසිය යුතු නොවේ.

අවසන හිසේ සිට දියබත්වුවද මට අඩක් පමණතෙතබරිතවී හෝ බේරාගත හැකිවූයේ ඇගේ ඔසරි දෙකක් පමණි. ඉතිරිය ( තුනක් හෝ හතරක් පමණ ) දිය බේරෙන පමණ තෙමී තිබිණ. 

අප විසූ ගුරු නිවසෙහි මුළුතැන්ගෙය අසල වූ නිදන කාමරය එදවස අප ප්‍රයෝජනයට ගත්තේ ගබඩා කාමරයක් ලෙස මෙන්ම අධික වර්ෂා දිනයන්හි වැල් බැඳ රෙදි වේලාගැනීම උදෙසාය. එලෙසම භාවිතයෙන් ඉවත්කල පරණ රෙදිපිලි, පරණ ප්‍රවෘත්ති පත්‍ර, විදුහලෙහි කෘෂිකර්ම කාමරයෙහි ඉඩ පහසුකම් මද වූ හෙයින් ගුරුනිවසට පංගාර්තුවූ උදළු, කැති, අලවංගු ඇතුළු වෙනත් නා නා ආයුධ මෙන්ම මගේ ජලනල පිරිද්දුම් කටයුතු උදෙසා අත්‍යාවශ්‍ය කියත්, පීරි තල, එස්ලෝන් මැලියම් සහ ස්ටොප් එන්ඩ්ස්, රිඩියුසර්ස්, එල්බෝස්, සහ ටී සන්ධි ඈ නොයෙකුත් ජලනල උපාංග ද එහි විය.

වරක් පාසලේ පැවැත්වුනු ඵලදායිතා වැඩ මුළුවකට සහභාගී වූ ප්‍රියාම්බිකා තොමෝ නිවෙසට පැමිණියේ සොළීන් හා සටනට පිටත්ව යන සුගලා දේවිය මෙන් අධිෂ්ඨාන පූර්වකවය. 

"මේ අපිට අද කියල දුන්න 5S ක්‍රමය ගැන. ඒකෙ එකක් තියනව අනවශ්‍ය දේ ඉවත්කිරීම කියල" 

"ඔව් මම දන්නව..5S එකේ පළවෙනි එකනෙ..සෙයිරි..ඒකෙන් කියන්නෙ අනවශ්‍ය කිසි වැඩකට නැති පරණ වෙච්චි එව්ව වහාම අයින් කරන්ට කියලනෙ "

"ආ..ආ ඔය දන්නෙ අපූරුවට...ඒත් දන්නව උනාට ඔයා ඒ විදිහට වැඩ නොකරන එක තමයි තියෙන ප්‍රශ්නෙ…"

"මටත් පුලුවන් 5S ක්‍රමේ අනුව වැඩ කරන්ට. දන්නවද මම එහෙම නොකරන්නෙ ඇයි කියල.."

"ඇයි? "

"කිසි වැඩකට නැති එව්ව අයිං කරනවනං ඉස්සෙල්ලම අයිං කරන්ට වෙන්නෙ ඔයාව.." .මම කෝකටත් අඩි දෙකක් පසුපසට ගනිමින් පැවසුවෙමි.

"ඔය කිව්වෙ..ඔය කිව්වෙ...ඔයාටත් කියන්ට දේවල් නම් තියනව ඕන එකකට." ඇය මා දෙස රවමින් පැවසුවාය.

"හරි හරි එව්ව අල්ලල දාමුකො. හරි..5S කියල එකක් තියනව... අනවශ්‍ය දේ අයිං කරන්න කියලත් ඒකෙ කියනව ඉතිං මොකක්ද ඔයා දැන් කියන්නෙ?"

"මම කියන්නෙ අර කුස්සිය ගාව තියන ලට්ට ලොට්ට පුරවපු කාමරේ තියෙන අනවශ්‍ය ඔක්කෝම අයින් කරල දාමු කියල"

"හ්ම්ම්…. යමුකො එහෙනං.."

අප දෙදෙන මුලුතැන්ගෙය අසලවූ ගබඩා කාමරයක් ලෙස භාවිතාකල නිදන කාමරයට ඇතුළු වීමු.

"මොනවද දැන් මේකෙ අයින් කරන්න තියෙන්නෙ?" දොර විවර කොට ඒ අසළමවූ විදිලි යතුර ක්‍රියාත්මක කොට විදිලි බුබුල දල්වමින් මම ඇසීමි.

"ම්ම්..මේ කාඩ්බෝඩ් පෙට්ටියෙ මොනවද?" කාමරය තුලට පිවිසි ඇය ඇසුවාය. 

"මේකෙ ඔය පරණ රෙදි එහෙම.."

"හරි එව්ව විසි කරල දාමු."

"බෑ...බෑ..එව්ව මට ඕන.."

"මොකටද ඔයාට එව්ව?" ඇය මදෙස හැරී බලා විමසුවාය.

"එව්ව මොකටද කියල අහන්නෙ? අර ගෘහ විද්‍යාගාරෙ පිටිපස්සෙ ටී එකෙන් උඩහට එන වතුර ලයින් එක කොයිවෙලාවෙත් ගැලවෙනව.මමම එපාය ඕක හදන්ට. වතුර ලයින් එක හදල අත පුරාම එස්ලෝන් ගම් ගෑවුනහම පිහින්ටයි මම ඔය පරණ රෙදි කෑලි තියං ඉන්නෙ. වීසි කරන්නෙ එහෙම නෑ එව්ව." 

( ටී එක යනු ජලනල මාර්ගයක දෙපසට බෙදෙන සන්ධිස්ථානයක යෙදෙන ඉංගිරිසි T අක්ෂරයේ හැඩැති උපංගයකී ) 

"හා. එහෙනං එව්ව තියාගන්ටකො. එතකොට මේ ෂොපිං බෑග් එකේ තියන පයිප්ප කෑලි.?"

"ඔව්වත් ඕන වෙන්නෙ කොයි වෙලේද කියන්ට බෑ...තියන්ට තියන්ට...ආය ඔයා ඔව්ව උස්සගෙන ඉන්නවය? "

"එතකොට මට මේ සෙයිරි එක කරන්නම වෙන්නෙ නැද්ද? පළවෙනි එකම හරියට කරන්ට ඔයා මට ඉඩ දෙන්නෙ නැත්තං අපි 5S වැඩේ අල්ලල දාමු." දෑත් ඉණට තබාගත්වනම මොහොතක් මා දෙස බලාසිටි ඕ වහා ආපසු හැරී කාමරයෙන් පිටවූවාය.

එදවස ඒ අවට බලපැවැත්වුණු ගෙවල් කුලී මිළ ගණන් අනුව නිදන කාමර තුනකින් සාලයකින් කුස්සියකින් සහ බරාඳයකින් යුතුවූ ඒ ගුරු නිවසට අප ගෙවල් කුළිය වශයෙන් රජයට ගෙවූයේ ඉතා නොවටිනා මුදලකි. මගේ මතකයට අනුව ඒ රුපියල් පන්සියයකට ආසන්න ගණනකි. එදවස පැණිදෙණිය නගරාසන්නයේ එවන් නිවසක අවම මාසික කුලිය රුපියල් තුන්දහසක් පමණවූබව සලකා බලන කල ගුරු නිවසෙහි වාසය කිරීමට අවස්ථාව ලැබීම අප දෙදෙනාහට මහත් වාසියක් විය.

එහෙත් සෑම ලාභයකටම යම් මිලක් ගෙවිය යුතුය යන්න පරම සත්‍යයකි. සහනදායී ගෙවල්කුලිය හේතුකොටගෙන මූල්‍යමය වශයෙන් ලැබුණු ලාභය වෙනුවට ගෙවිය යුතු මිලවූයේ පාසලෙහි එදිනෙදා සුළු නඩත්තු කටයුතු වෙනුවෙන් යම් මුදලක් සහ ශ්‍රමය වැයවීම සහ පාසලේ පැවැත්වෙන උත්සව ආදියට අවශ්‍ය පිඟන්, කෝප්ප, වීදුරු, හට්ටි මුට්ටි යනාදී උපකරණ අප නිවසින් සැපයීමට සිදුවීමය. ඉල්ලුමද ඉක්මවා යන අයුරු අවශ්‍ය උපකරණ නිවසින් සැපයීම පෙර ආත්ම භාවයකදී වෙස්සන්තර රජුගේ නැන්දණියවූ ප්‍රියම්බිකා තොමෝ නොමසුරුව ඉටු කළාය.

මට භාරවූයේ පාසල් භූමිය තුල හදිසි ජලනල පුපුරායාම සහ බිඳ වැටීම් ආදිය නඩත්තු කිරීමය. ඒ සඳහා නිතර අවශ්‍ය වන ටී, එල්බෝ, ස්ටොප් එන්ඩ්ස්, රිඩියුසර්ස් සහ කරාම සමඟ එස්-ලෝන් ගම් බෝතල් කීපයක් සහ හැක්සෝ තල රාමුවක් මම නිතරම සූදානමින් තබාගත්තේ අප වාසය කල ගුරුනිවසට ජල සැපයුමද කොයි මොහොතේ හෝ ඇණහිටීමට ඉඩතිබූ බැවිනි.

මෙලෙස නිරතුරු ජල නල පද්ධතිය බිඳවැටීමට හේතුවූයේ පේරාදෙණිය පැණිදෙනිය සහ ඒ අවට ප්‍රදේශවලට ජලය සැපයූ නිල්ලඹේ ප්‍රදේශයේ පිහිටි ජල යෝජනා ක්‍රමයෙන් එදවස ඉතා අධික පීඩනයකින් යුක්තව ජලය සැපයීමයි. එම ජල යෝජනා ක්‍රමයෙන් ජලය බෙදා හැරීම ආරම්භ කල එකල අවට බොහෝදෙනෙකුට නිරතුරු ජලයෙන් පිරි ළිං තිබුණු බැවින් ඔවුහු ජල යෝජනා ක්‍රමයට මුදල් ගෙවා ජලය ලබා ගැන්මට උනන්දුවක් නොදැක්වූහ. එබැවින් කරාමයක් විවෘත කල වහා අධික පීඩනයකින් යුතුව ජලය නිකුත්වීම සුලභ දසුනක් විය. වර්තමානයෙහි මෙම තත්වය එලෙසම නොපවතින නමුදු තවමත් පැණිදෙණිය ප්‍රදේශයෙහි ජල සම්පාදන මණ්ඩලයෙහි ජල සැපයුම මා දැක ඇති වෙනත් බොහෝ ප්‍රදේශවලට වඩා පීඩනයෙන් යුක්තය.

ගුරු නිවසට මීටර් හාරසියයක් පමණ ඔබ්බෙන් මිලදීගත් කුඩා ඉඩම් කැබැල්ලක අපගේ නව නිවස ඉදිකරද්දී මේ ඉහල පීඩනයෙන් ප්‍රයෝජන ගනු උදෙසා උඩිස් ජල රඳවනයට ( Over-head Storage Tank ) අමතරව ප්‍රධාන ජල සැපයුමෙන් සෘජු සැපයුම් මාර්ගයක්ද එලීමට මට අවශ්‍ය විය. එසමයෙහි විදේශගතව හුන් බැවින් මට අවශ්‍ය පරිදි එම කටයුත්ත ඉටුකර ගැන්මට සිදුවූයේ දුරකථන උපදෙස් මාර්ගයෙනි. අවසන මවිසින් මෙහිසිට මෙහෙයවූ එම කටයුත්ත අවසන් වූයේ ප්‍රධාන සැපයුම් මාර්ගයේ ජලය අත්හිටවූ අවස්ථාවන්හිදී නිවසේ උඩිස් ජල රඳවනයේ වූ ජලය ආපසු ගලාගොස් ටැංකියෙහි ජලය හිස් වීමෙනි..එසේ ආපසු ජලය ගලායන විටද ජල මාපකයේ සටහන් වීම හේතුවෙන් මට සම්පූර්ණයෙන් හිස්වූ ටැංකියක් වෙනුවෙන් දෙවරක් ජල ගාස්තු ගෙවීමට සිදුවිය. අවසන එක්පසකට පමනක් විවෘතවන කපාට ( Non Return Valves ) යොදා එවන් අභාග්‍යසම්පන්න තත්වයක් යලි උදාවීම වළක්වා ගැණිනි.

එතන වුනේ මෙන්න මේකයි. අපි ඔය කියන ගුරු නිවාසෙට ටිකක් විතර එහා සුට්ටං ඉඩං කෑල්ලක් අරගෙන ගෙයක් හැදුවනෙ.මට ඕන වුනා ඔය මේන් සප්ලයි ලයින් එකේ තියන ප්‍රෙෂර් එක එහෙම්මම තියාගන්ට. ඒත් වැඩේ ඕවර් හෙඩ් ටෑන්ක් එකකට පුරව ගත්තම වෙන්නෙ ඊට පස්සෙ ෂවර් එකෙන් එහෙම වතුර එන්නෙ නෝමල් ප්‍රෙෂර් එකෙන්. ඒ දවස්වල මම ලංකාවෙ හිටියෙ නෑ. මම ඉතිං ගෙදර හදන වැඩේ කොන්ත්‍රාත් අරගෙන කරපු බාසුන්නැහේට ටෙලිෆෝන් එකෙන් කතා කරල විස්තරේ කිව්ව.

"බාසුන්නැහේ මෙහෙමයි. මට ඕන ඕවර් හෙඩ් ටෑන්ක් එකෙන් ගෙදරට වතුර ගන්න සප්ලයි ලයින් එකටම කනෙක්ට් කරල පාරෙ ලයින් එකෙනුත් සප්ලයි එකක්. එතකොට පාරෙ ලයින් එකේ හයි ප්‍රෙෂර් එකෙන් තමයි වතුර එන්නෙ. පාරෙ ලයින් එකේ වතුර නැති වෙලාවට ඕවර් හෙඩ් ටෑන්ක් එකේ වතුර පාවිච්චි කරන්න පුලුවන්නෙ තේරුණාද බාසුන්නැහේට? "

බාසත් කියපි "හරි මහත්තය අවුලක් නෑ මම එහෙම කරන්නම්" කියල.

හෙහ්...කොහොම හරි බාසා වැඩෙත් කරල තිබ්බ. හොඳ ප්‍රෙෂර් එකෙං ෂවර් වලිං වතුරත් ආව. 

"ෂහ්..නියමයි ඒයි....ෂවර් එකෙන් වතුර එනව අපූරුවට...."ස්කයිප් එකෙන් කතා කරපු වෙලාවක අපේ උන්දැහිනා කටක් පුරෝගෙන කිව්ව. 

"අන්න ඒකනෙ එහෙම තමයි අපි වැඩක් කලොත්...දන්නවනෙ.." මම ප්‍රසංසාව නිහතමානීව බාරගත්ත. 

ඔහොම ඉතිං අපෙ උන්දැ අපූරුවට ස්නානය කරල කියල එහෙම සතියක් දෙකක් ගියා කියමුකො. ඔන්න එක දවසක් මම ඔෆිස් එකේ ඉද්දි ආව කෝල් එකක්. බැලින්නං අපෙ උන්දෙ..

"මොකෝ මේ හදිස්සියෙ? "

"හදිස්සිය තමයි. ඕවර් හෙඩ් ටෑන්ක්ස් දෙකේම වතුර කඳුලක් නෑ."

"ඒ කොහොමද එහෙම වෙන්නෙ? ඔය කොහෙ හරි ටැප් එකක්වත් කැඩිල එහනං වතුර ලීක් වෙලා යන්ට ඇති රෑ එලිවෙනකල්...."

"පිස්සුද? එහෙම එකක් නෙවෙයි. අද උදේ පේරාදෙණිය ස්ටේෂන් එක ගාව මේ පැත්තට වතුර එන ලයින් එක පුපුරල රෙපයාර් කරනව. ඒ හින්ද වතුර වහල තියෙන්නෙ. ඊයෙත් ටැංකි දෙකේම වතුර තිබ්බ මම හිතන්නෙ. දැං ටිකකට කලිං බලනකොට වතුර බිංදුවක් වත් නෑ." 

"ජලා හුටා...ඒ කොහොමද එහෙම වුනේ?"

" ජලා හුටා නම් මං දන්නෙ නෑ..ජලය නැති එකයි මම කියන්නෙ"

ඒ වෙනකොටත් වෙන්න ඇත්තෙ මොකක්ද කියල මට වැටහෙමින් තිබුනෙ ඇත්තම කිව්වොත්. සිද්ද වෙලා තිබ්බෙ බොහොම සරල දෙයක්. ප්‍රධාන ජල සැපයුමෙන් කෙලින්ම ගෙදරට වතුර ගන්න එලපු නලය දිගේ ඕවර් හෙඩ් ටෑන්ක්ස් දෙකේ තිබ්බ වතුර ඔක්කොම ආපහු ගිහිල්ල යන්ට....හෙහ්,හෙහ්, ඔය අපිට වතුර එන්නෙ නිල්ලඹේ ජල යෝජනා ක්‍රමයෙන්. නිල්ලඹේට පේරාදෙණිය යුනිවර්සිටි එක මැදින් වැටිල තියන ගලහ පාරෙ කිලෝමීටර් පහලවක් විතර යන්ට ඕන. සුප්‍රසිද්ධ භාවනා මධ්‍යස්ථානයක් එහෙමත් තියනව නිල්ලඹේ.අපේ වතුර මම හිතන්නෙ ආපහු නිල්ලඹේටම යන්ට ඇති...හෙහ්,හෙහ්,

මම ආයෙම අපේ උන්දැට කෝල් එකක් ගත්ත. " මේ මම දන්නව අපේ ටැංකි දෙකේ තිබ්බ වතුර වලට මොකද වුනේ කියල…"

" ඔයා දන්නව? ඉතිං මොකද එව්වට වුනේ? "

"ඒ වතුර ආපහු ගිහිල්ල නිල්ලඹේට.."

"කොහෙට? "

"නිල්ලඹේට..නිල්ලඹේට…"

"ඒ කොහෙද?"

"ඇයි අනේ දන්නෙ නැද්ද? නිල්ලඹේ තියෙන්නෙ ගලහ පාරෙ. එහෙ ඉඳලයි අපිට ඔය වතුර එන්නෙ...ඉතිං වතුර ආපහු එහාටම ගිහිල්ල."

"මොන පිස්සු කියවනවද මන්ද...නිල්ලඹ බැරිනං කොළඅඹ හරි දැන් වතුර නැති එකට මොකද කරන්නෙ? "

"ආයම වතුර දෙනකල් ඔය පල්ලෙහා ගෙදර ඇන්ටිලාගෙන් හරි වතුර බාල්දියක් දෙකක් අරගෙන ෂේප් කරගන්ට.අර බාසගෙ ටෙලිෆෝන් නොම්මරේ ඔයා ලඟ තියනව නේද? 

"ඔව්..ඔව්...තියනව....තියනව"

"ඌට කෝල් එකක් දෙන්ට වහාම එන්ට කියල. ඔය වතුර ආපහු නිල්ලඹේ යන එකට කරන්ට තියෙන්නෙ නන් රිටර්න් වෑල්ව් එකක් දාන්න ඕන."

"ෂිහ්..ඉතිං ඕක කලින් කරන්ට මතක් වුනේ නැද්ද?"

"නෑනෙ..ඒකනෙ කේස් එක..මට මතක් වුනෙත් නෑ මෙහෙම දෙයක් වෙයි කියල. බාස නිකමටවත් කිව්වෙත් නෑනෙ ඔහොම එකක්..හරි හරි දැන් එව්වයින් වැඩක් නෑ. බාස ආහම මට කෝල් එකක් අරන් දෙන්නකො. මම ඕකට විස්තරේ කියන්නං"

"හා..හා..මදැයි වෙච්චි දේ..බාසත් එකයි ඔයත් එකයි..." උන්දැ එහෙම කියල කෝල් එක කට් කලා.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...