හැත්තෑව දශකය මැද කාලෙ විතර අපෙ අම්මගෙ පුරුද්දක් තිබුන මාසික වැටුප ගත්තම අනිවාර්යයෙන්ම මට ගෙනත් දෙනව සුදු ගෝනා, සුදු වැද්දා, මැකීගිය දඩමං, වන සරණ තිත්ත කෝපි අලි පාර, රන්දිව වගෙ පරිවර්තන පොතක්. අම්ම වැඩ කලේ කෑගල්ලෙ මහ ඉස්පිරිතාලෙ. ඒ කලුගල්ල මහත්තය කෑගල්ලෙ අලුත් ඉස්පිරිතාලෙ හදල විවෘත කරපු අලුත.
කලුගල්ල මහත්තය ඒ කාලෙ සිරිමා මැතිණිගෙ සමගි පෙරමුණු ආණ්ඩුවෙ නාවික සහ සංචාරක ඇමතිවරයා.කලුගල්ල මහත්තයගෙ ගෙදර තිබ්බෙ කෑගල්ල රෙස්ට් හවුස් එක පහු කරල දකුණු පැත්තෙ නාගොල්ල පාර දිගේ හැතැක්ම බාගයක් වගෙ ගියහම පාරෙ වම් පැත්තෙ ටිකක් විතර උඩහට වෙන්න.
කලුගල්ල මහත්තයගෙ ගේ ගාවම තිබ්බ නගරසබාවෙන් හදපු පොදු ළිඳක්. වටේටම අඩි අටක් වගෙ උසට ගඩොලෙන් ආවරණ බැම්මක් බැඳල හරි මැදිං ගෑණු පිරිමි දෙගොල්ලන්ට වෙනම නාන්ට පුලුවන් වෙන්ට තව බිත්තියකුත් බැඳල තිබ්බ. ළිඳ අඩි 30 වගෙ දිගයි අඩි 15 වගෙ පළලයි. විසාල ගල් කුට්ටි අල්ලල බැඳල තිබ්බ ඒ ළිඳට අහල පහල හැමෝම කිව්වෙ ටැංකිය කියල.
අපි හිටිය කච්චේරි නිල නිවාසෙට නල ජල පහසුකම් තිබ්බට ඉරිද සෙනසුරාද අත්තම්ම මායි නංගිල දෙන්නයි එක්ක ඔය ටැංකියට එනව නාගන්ට. ජීවිත කාලයක් ගඟේ ඇලේ දොලේ ගිලිල නාල පුරුදු උන්දැට නාන කාමරේ ඇතුලෙ වතුර මලෙන් යන්තමට වෑහෙන වතුර පොදට ඔලුව අල්ලල නාල හොඳටම මදි.
"මොකද්ද මේ හිරිකඩේකට තෙමුණ වගෙ.." එහෙමයි උන්දැ කියන්නෙ. "අහවල් නෑමනක්ද ඒක.?..ඉහේ උස්නෙ යන්ට හොඳට ඉහ පෙඟෙන්ට නාන්ට එපාය." එහෙමත් කියනව විඩේකට.
ඉතිං ගෙදරදි හිරිකඩට අහුවෙල වගෙ යන්තමට නාගන්න එකටත් එක්ක මදි පාඩුවට අත්තම්ම ටැංකියට ගිහාම වරුවක් නානව. ඒ කරල නංගිල දෙන්නත් නාවනව.මට ඉතිං ඔතෙක් බලා හිටියැහැක. මම කරන්නෙ වෙනම පොඩි බාල්දියක් අරගෙන ගිහිල්ල පිරිමි කෑල්ලට ගිහිල්ල හනිකට නාගෙන ඉවරයක් කරනව. කලිං පොඩි එකා හින්ද අත්තම්මල නාන කාන්තා පාර්ශ්වයට වෙන්වෙච්චි කොටසෙ නෑවට ඒ වෙද්දි මට ඒ වැඩේට නිකං ලැජ්ජාවක් වගෙ ඇතිවෙලයි තිබ්බෙ. ඒ වයසට එහෙම වෙනවනෙ. පිරිමි ගැහැණු කියල දෙකොට්ටාසයක් ඉන්නවය ඒ දෙගොල්ල අතර ලොකු වෙනසක් තියනවය කියල ප්‍රබලව හිතට දැනෙන්ට ගන්න කාලෙ.
"සුට්ටි පුතා මෙහෙට එන්ට මම කුණු අතුල්ලල නාවන්ට" අත්තම්ම කෑගහනකොටත් මම පිරිමි පැත්තට පැනල වතුර බාල්දි දහයක් දොළහක් නාගෙනත් ඉවරයි.
"බෑ..බෑ..මට පුලුවන් තනියම නාගන්ට..." මම තව වතුර බල්දියක් ඔලුවෙ හලාගන්න අතරෙම කෑගහනව."ආය කෙහෙම්මල් කුණු ඇතිල්ලිල්ලක්..." තොල් මතුරාගන්න ගමං එතන වටේ නාන කට්ටිය දිහා හොරැහිං මම බලනව උං මට හිනාවෙනවද කියල..එහෙම නම් නෑ දෙයියංගෙ පිහිටෙං…
වතුර බාල්දි තිහක් නාල සබං ගානව. බොහෝවිට රතුපාට ලයිෆ් බෝයි. නැත්නම් ඒ කාලෙ තිබ්බ සුවේන්ද්‍රා කියල සුවඳ සබං ජාතියක්. බී.සී.සී. සමාගමේ නිෂ්පාදනයක්. කුක්ස් ජෝයි කියල ෂෝක් පොල්තෙල් ජාතියකුත් හැදුව බී.සී.සී. කොම්පැණිය.ඊට පස්සෙං පහු මම ඉස්කෝලෙ යන්ට කොළඹ ආවම මාළිගාවත්තෙ රේල්වේ ක්වාටර්ස් වල හිටිය අපෙ මාම කෙනෙක්ගෙ ගෙදර යනව සමහර සති අන්ත වල. ඒ රේල්වේ ක්වාටර්ස් ඉස්සරහම තමයි බී.සී.සී. ෆැක්ටරි එක තිබුණෙ. හම්මා..සමහර දවසට හුළඟත් එක්ක එන පොල්තෙල් සුවඳ ඉවසන්ටම බෑ.
ඉතිං සබංගාල ආයම වතුර බාල්දි පණහක් මම නානව. ඒ තමයි අපෙ අත්තම්මගෙ ස්නානය කිරීමේ විධිමත් ක්‍රියාපටිපාටිය. සබං ගෑමට පෙර බාල්දි තිහයි. සබං ගාල බාල්දි පණහයි. කොහොම ඔය ගණං මිනුං හොයාගත්තද කියල මට කියන්ට දන්නෙ නෑ. ඒත් එහෙම තමයි අපිව පොඩි කාලෙ නෑව්වෙ සහ අපි නෑවෙ.
"අත්තම්මේ…. මම නාල ඉවරා..යි..." මම කාන්තා කොටසට පිටුපාල කෑගහනව.
"එහෙනං ඔය හෙවණකට වෙලා ඉන්ට අපි නාල ඉවර වෙනකල්.."
"හා..මම අතන ජෑම් ගහ යටට වෙලා ඉන්නං.."
ටැංකියට ටිකක් එහායිං කලුගල්ල මහත්තයගෙ ගෙදෙට්ට යන පාර අයිනෙ මහ විසාල ජෑම් ගහක් තිබ්බ. ජෑම් ගස් දන්නව නේද? චෙරි කියලත් කියනව පෙලක් උදවිය.රවුම් සුට්ටං ගෙඩි. ඇට මහ ගොඩක් තියෙන්නෙ. කොට්ටෝරුවො මයිනො ගිරව් එහෙම හරි කැමතියි ඔය ජෑම් ගෙඩි කන්ට. ජෑම් ගස් වල අතු පැතිරෙන්නෙ කුඩයක් ඉහලුව වගෙ. ඒ හින්දම ජෑම් ගස් යට හොඳ හෙවණයි.
ඔය ජෑම්ගහ යට තිබ්බ තරමක කොන්ක්‍රීට් කුට්ටියක් වගෙ මොකක්ද එකක්. මට දැන් හිතෙන්නෙ ඒ ලඟම පාර හරහා තිබ්බ බෝක්කුවෙ ආරක්ෂාවට තිබ්බ කොන්ක්‍රීට් නිර්මිතයක් වෙන්න ඕන ඔය මොකක් හරි වාහනයට හැප්පිල කැඩිය යන්ට ඇති. කවුරු හරි ඕක ජෑම් ගහ යට තියන්ට ඇති ඉඳගන්ට එහෙම හොඳයිනෙ කියල.
ෂ්වෙප්ස් ( Schweppes ) කියල ජින්ජර් ඒල් වගෙ බීමක් තිබ්බ ඒ කාලෙ.අපෙ ගෙවල් කිට්ටුව තිබ්බ ඔය ෂ්වෙප්ස් බීම ගබඩාවක්. ඒකට බීම අදින්නෙ ඔක්කොම ඔස්ටින් ලොරි වලින්. කිසිම සැකයකින් තොරව ඔය කොන්ක්‍රීට් කුට්ටිය කැඩෙන්ට ඇත්තෙ ඒ ලොරියක වැදිල වෙන්ට ඕන.
කොන්ක්‍රීට් කොටේ උඩ වැටිල තිබ්බ ඉදිච්චි ජෑම් ගෙඩි එහෙට මෙහෙට පිහදාල මම හරි බරි ගැහිල ඒක උඩ ඉඳගත්ත. ඒ කරල මගෙ තුවාය ඇතුලෙ ඔතාගෙන ආපු පොත එලියට ගත්ත.
" මට ළඳුනි වරම් නැත "
ඒ ප්‍රේම කතාවක් කියල මම කියවන පලවෙනි පොත. මම මේ කතාව කියන්ට පටංගද්දිම කිව්වනෙ අම්ම මේ වෙනකල් පඩි දවසට මට ගෙනත් දුන්නෙ පරිවර්තන විතරයි. ඒත් මට වෙන ජාතියෙ පොත් කියවන්ටත් ආසාවක් ඇතිවුනා. ඒක අම්මට කිව්වම අම්ම කිව්ව "හරි එහෙනං මේ පාර අපි දෙන්නම යමු ඔයාට කැමති පොතක් ඔයා තෝරගන්ට" කියල.
ඒ කිව්වත් වාගෙ අම්ම එක්කම මම ගියා ශ්‍රී ලංකා පොත්හලට. ගිහිල්ල මම තෝරගත්තෙ ඔය පොත. "මට ළඳුනි වරම් නැත" අම්ම ඒත් පිටු දෙක තුනක් කියවලයි මට පොත අරං දුන්නෙ. මට ඒ පොතේ කතාව ගැන නම් ඒ හැටිම මතකයක් නෑ. ඒත් ගමෙන් නගරයට ආපු තරුණයෙක් ගැන ලියවිච්ච කතාවක් කියල යන්තමට වගෙ මතකයි.
පොතේ කර්තෘ අජන්තා රණසිංහ මහතා. මේ පහුගිය සෙනසුරාදා එතුමා අභාවප්‍රාප්ත වුනා.
1976 අවුරුද්දෙ තිරගතවුනා සිංහල සිනමාවෙ කඩ ඉමක් සටහන් කල චිත්‍රපටයක්. "දුහුළු මලක්"..විජය ධර්මශ්‍රීගේ ප්‍රථම අධ්‍යක්ෂණය. රොමෑන්ටික් චිත්‍රපට කලාව ලාංකික ප්‍රේක්ෂකයට හඳුන්වල දුන්නෙ දුහුළු මලක් කියලයි සාමාන්යයෙන් පිළිගැනීම. දුහුළු මලක් චිත්‍රපටයෙ තවත් කිසිදාක අමතක නොවන්නක් එහි මියුරු ගීත. සුජාතා සහ අබේවර්ධන ගයන "බොඳ මීදුම් කඳු රැල්ලේ.." ඊලඟට මිල්ටන්ගෙ " රෝමය ලෙසේ..අතීතයේ. ගිණි ඇවිලේ ගිණි ඇවිලේ යෞවන සිත් නගරේ. වෙණ වයා නැලවෙමූ නීරෝ වගෙ අපී..."
ඒත් එක්කම නන්දා මාලනීගෙ "රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කල ආදරයයි පෙම් රැහැණින් බැඳ සිතුම් වසඟ කල ආදරයයි..." අදට අවුරුදු හතළිහක් ගෙවිල ගිහිල්ල. ඒත් තාම උනත් පොඩ්ඩක් ගත්තම ස්වයංක්‍රීයව මිමිණෙන ගීත දෙකක්..ආ..තව පොඩ්ඩෙං ඕනම දේ කියන්ට මතක බැරිවෙනවනෙ. රන් කෙන්දෙන් බැඳ ගීතය ලිව්වෙ අජන්තා රණසිංහ.
රන් කෙන්දෙන් බැඳ අතැඟිළි එක් කල ආදරයයි...
පෙම් රැහැනින් බැඳ සිතුම් වසඟ කල ආදරයයි..
කිරිලිය සේ දුර පියාසලාලා අත්තටු රිදුනා පමණයි...
දෑළ විදාහල දෑත මගේ ඔබටත් ඔහුටත් උරුමයි...
හිරු සඳු එකවර දෙපස නැඟේ...
කරුවල ඇයි විජිතයම මගේ...
කණාටු සුළගේ දුහුල් මලකි අද වල්මත් වී පාවෙන්නේ...
ඔබගෙන් දෝ ඔහුගෙන් දෝ මා හෙට දින සමුගන්නේ...
පද රචනය - අජන්තා රණසිංහ
සංගීතය - සරත් දසනායක
ගායනය - නන්දා මාලිනී.
කෙල්ලන්ගෙ අහංකාර කමට මම ඒ කාලෙ ඉඳලම කැමතියි. ඒත් මම එහෙම අහංකාර කෙල්ලො පස්සෙ එළව එළව යන්නෙ එහෙම නෑ..ඒකත් කියන්ට එපාය."අනේහ්..එවුංගෙ අහංකාර කං එවුංට..මෙන්න මෙහෙ යමං යන්ට..." ඒ අර මගෙත් තියනවනෙ එක විදිහක රැස්පොට් එකක්. ඒක දිවිහිමියෙං ආරක්සා කරගන්ට ඕන හින්ද ඒ.....ඒත් ඒ රැස්පොට් මොනව උනත් එහෙම අහංකාර කෙල්ලන්ට මම කැමතියි.
කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ
ඔබෙ අහංකාර බැල්මට බැඳි ආදරේ
ආදරේ... ආදරේ...
කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ
පුළුලු උකුල සිහිනිඟ සුඟ
සුනිල උපුල දිගු නෙත් යුග
සඳැස් කවක උපමාවක් යොදාලා
පෙම් කවක් ලියන්නෙමි පත් ඉරු පුරාලා
පෙම් කවක් ලියන්නෙමි පත් ඉරු පුරාලා
කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ...
නැකැත් අරන් මා එනතුරු
හෙට කුකුළා හඬළන තුරු
ප්‍රේම ගඟේ ගීය හෙමින් ගයාලා
අපි යන්න යමුද පෙම් ඔරුවක නැගීලා
අපි යන්න යමුද පෙම් ඔරුවක නැගීලා
කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ...//
පද රචනය - අජන්තා රණසිංහ
ගායනය - දයාරත්න රණතුංග
ප්‍රේමයෙන් බැඳීම හේතුකොටගෙන සිත් පුරා පිරී ඉතිරීයන අපරිමිත මහෝඝය හා සමානුපාතිකව ඒ ප්‍රේමය බිඳ වැටුනු කල සිත් සතන් වසාගන්නා ශෝකාන්ධකාරය ද ප්‍රබලය. ජීවිතයේ එක් සමයක මම ද ඒ වේදනාව නොඅඩුව අත්විඳ ඇත්තෙමි.
"මහත්තය කන්නෙ නැද්ද? දැං රෑ දොළහටත් කිට්ටුයි වෙලාව."
එදින නේවාසිකාගාරයෙහි වූයේ අපගේ සිකුරා වූ (සිකුරා කියන්නෙ ඩැනියෙල් ඩෙෆෝගෙ රොබින්සන් කෲසෝ කතාවෙ පරිවර්තනයෙ කෲසෝ ගෙ සේවකයා. ඒ මනුස්සය කෲසෝට මුණ ගැහෙන්නෙ සිකුරාදා දවසක හින්ද කෲසෝ ඒ මනුස්සයට නම දානව Man Friday කියල. පස්සෙ ඔය මෑන් ෆ්‍රයිඩේ කියන ව්‍යවහාරය ඉංගිරිසියෙ යෙදෙනව සියලු වැඩ කටයුතු නොපිරිහෙලා කරන විශ්වාසවන්ත අවංක සේවකයෙක් හැඳින්වීමට.ඒකෙ ස්ත්‍රීවාචී පදය තමයි ගර්ල් ෆ්‍රයිඩේ) සැමී සහ මම පමණකි. අනෙකුත් සියල්ලෝ ගම් බිම් බලා පිටත්ව ගොසිනි.
හවස ඉඳලම මම පොඩ්ඩ පොඩ්ඩ අරං හිටියෙ.... විකසිත පෙම් පොකුරු පියුම්..ඔබේ පයට පොඩිවී ගියාදෙන්...
"කන්නං බං කන්නං..ඉඳපං ලස්සන සිංදුවක් යනව ඒක අහල මම එන්නං.."
"කොහෙද මහත්තය? මොන සිංදුවක්ද? ඔහෙ ඇහෙන සිංදුවක් නෑ…"
"නෑ?.... මොකද බං නැත්තෙ? ඔය ඇහෙන්නෙ..විකසිත පෙම් පොකුරු පියුම්..ඔබේ පයට පොඩිවී ගියාදෙන්..පති කුලයට අද...."
විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ
මගේ සොඳුරු ළඳුනේ...
හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා
ඔබට විරහ ගිනි නොගෙනේවා...
විකසිත පෙම්...
තනිකම රජයන පාලු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා
මැණික් පහන් වැට දැල්වේවා...
විකසිත පෙම්...
ගායනය - ඩබ්. ඩී. අමරදේව
පද රචනය - අජන්තා රණසිංහ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ඒ දවස්වල රූපවාහිනියෙ ඉතාම ජනප්‍රිය වැඩසටහනක් මාසෙකට වරක් ප්‍රචාරය වූ යාත්‍රා ...මේ එක යාත්‍රාවක එඩ්වඩ් ගැයූ ගීතයක්...
මුව මුක්තා ලතා පිපි හංසාංගනා
විල් නෙළුමාසනෙන් ආ ළඳේ
නුඹ භාග්‍යා සරෝජාවියේ
ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ
මා හද ප්‍රේමාංගනේ
රෑ නුඹ රාසින් ළඳේ
බඳ මණිමේඛලාව මුදා
අනුරා නෙත් නගන් නොනිදා
ආකාශ ගං චන්ද්‍ර නෞකාවේ
ආකාශ ගං චන්ද්‍ර නෞකාවේ
තනි වෙන්න යං පෙම් රසෝජාවේ
තනි වෙන්න යං පෙම් රසෝජාවේ
රූ සිරු කල්‍යාණියේ
මා සැතපෙන්නම් ප්‍රියේ
තුනු ශ්‍රීයෙන් විපුල් වොරැඳී
මනසානන්ද මන්දෝදරී
හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ
හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ
හා හා ගයන් සෞම්‍ය සංගීතේ
හා හා ගයන් සෞම්‍ය සංගීතේ
ඒ හිරු නොනගීවා
රෑ තව දිගු වේවා
ඔබෙ නළලේ සඳුන් තිලකේ
අද ඉහිරේද දෙතොලින් මගේ
මුව මුක්තා ලතා පිපි හංසාංගනා
විල් නෙළුමාසනෙන් ආ ළඳේ
නුඹ භාග්‍යා සරෝජාවියේ
ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ
මා හද ප්‍රේමාංගනේ
රෑ නුඹ රාසින් ළඳේ
බඳ මණිමේඛලාව මුදා
අනුරා නෙත් නගන් නොනිදා
ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද රචනය - අජන්තා රණසිංහ
තනුව හා සංගීතය - ආනන්ද පෙරේරා
අජන්තා ඔබට සුව නින්දක්!!!