Wednesday, March 30, 2016

403. එෂැණිං පුවක් 11 - ජාත්‍යන්තර සතුටු දර්ශකයේ ශ්‍රී ලංකාව ඉහළට……



එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කරනු ලබන ලෝක සතුටු දර්ශකයෙහි ( World Happiness Index ) 2015 වසරෙහි ශ්‍රී ලංකාව 2014 වසරට වඩා ස්ථාන 15ක් ඉදිරියට වුත් 117 වන ස්ථානය ලබා සිටී. මෙසේ ශ්‍රී ලාංකිකයින්ගේ සතුට වැඩිවීමට හේතු සෙවූ සමීක්ෂකයින්ගෙ වාර්තා අනුව ඊට හේතුපාදක වූ කාරණාවන් මෙසේය.

1.තමන් තවමත් කූඩු නොකිරීම පිළිබඳව මහත් ප්‍රීතියෙන් උද්දාම වී සිටින කොරල පෙඤ්ඤඤ මරාගේ උතුරා නැඟෙන සතුට

2. හෙට අනිද්දාට කෙසේ හෝ රජය පෙරලා තමන්ට යලි බලය ලැබෙනු ඇතැයිද එවිට සියලු වංචා සහ දූෂණ චෝදනා යලි යට ගැසිය හැකියයිද සිහින දකිමින් සිටින මරාගේ ගෝල බාල පට්ට හොරු රැලගේ බල තණ්හාධික සතුට

3. මරා කෙසේ හෝ යලි බලයට පැමිණියහොත් තමන්ට පෙර පරිදි හතර අතේ යටි මඩි ගැසිය හැකි වේයයි පිටපොට ගහගෙන සිටින බයියන්ගේ බයි සතුට

4. අලි නඩුවෙන් වැලිකඩට ධර්ම ප්‍රචාරය උදෙසා උසාවි නියෝග පරිදි වැඩම කරවනු ලැබූවද අස්ගිරි හාමුදුරුවන්ගේ අපවත්වීම පිහිටෙන් යලි එලියට ඒමට ලැබීම ගැන උම්මාලෝක චේතිය හන්දුරුවංගේ චුල්ල හස්ති සතුට

5. එසේම හැමදාම උදෑසන කුටියේ කවුලුව විවර කොට බලා ඊයේ රාත්‍රියේ කිසිවකු අලි පැටවකු පන්සල් භූමියට ගෙනැවිත් දමා නැතිබව දැනගන්නා උම්මාලෝක හන්දුරුවංගේ යන්තං අදත් ෂේප් සතුට

6. තව මොකවත් මරි මෝඩ කතාවක් කියා හත් පලේ ගා ගැනීමට පෙර කුලියාපිටියේ පාසලක් නැති දරුවාගේ ප්‍රශ්නය නිමාවීම ගැන ප්‍රීතියෙං ඉපිල යන අජ්ජාපන ඇමටිතුමාගේ ඇති ඔයිං ගියා සතුට.

7. දහං කොලුවා රෝයල් තෝමියන් මැච් එකේ ඉස්ටේජ් එකට නැඟලා නටපු නාඩගමේ හැටියට රෝයල් තෝමියන් මැච් අවුරුද්දකට එකක් පමණක් තිබීම ගැන දෙවියංට පිං දෙන ජනාදිපතිතුමාගේ දාරක ප්‍රේමී සතුට.

8. නිදහස් චතුරස්‍රයේ ඕන හැටියට පෙම්කිරීමට ආචාර්ය උපාධිධාරී නියෝජ්ජිය ඇමතිතුමෙකුගෙන්ම අවසර ලැබුනු බැවින් එහි තමනට රිසිසේ පෙං කරන පෙංවතුංගේ ප්‍රේමණීය සතුට.

9. කලකට පසු මිහිකත සිප ගැනීමට ලැබීම ගැන ඉස්සරහ දත් දෙකක් බුරුල් වුවද ප්‍රීතියෙන් ඔකඳ වී සිටින ගොම්මංපිල මංත්‍රී තුමාගේ මිහිකත චුම්බන සතුට. 

10 ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පවා පරාජය වීමට ගොස් යාන්තමට ජාම් බේරාගැනීමට හැකිවීම ගැන ප්‍රීතියෙං පිනාගොස් සිටින ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ දෙකංසෙං පෙරෙන සතුට.

11. යුක්තිය පසිඳලීම පිළිබඳව නඩුකාරයින්ට විවෘත උසාවියේදී නොමිලේ පාඩම් මාලා පැවැත්වීමට ගොස් කූඩුවේ ලැග ආපසු ඇප පිට නිදහස ලබාගත් නානසාරුගේ සිරෙන් නිදහස්වීමේ සතුට.

12.නිකං ඉන්ට බැරිකමට බදාගත් මේ මළ මඟුල යන්තමට අතක් පයක් නොකැඩී අහවරයක් වීම පිළිබඳව හද පතුලින් බුර බුරා නැඟෙන අජිත් අරවින්ද සහ කළ්‍යාණ ප්‍රභාලේඛකගේ නිරාමිස සතුට.

Monday, March 28, 2016

402. එෂැණිං පුවක් 10 - ක්‍රිකට් අර්බුදය සහ ආණ්ඩුකාර නාඩගම



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මහතාට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටී. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සැළසුම් කමිටුව විසින් මහත් වියදමක් දරා පිළියෙල කල තරඟ සැළසුම අනුව ක්‍රියාකල අනෙකුත් ක්‍රීඩකයින් විසින් බරපතල පරාජයක් කරා කණ්ඩායම ගෙනයමින් සිටියදී තරඟ සැළසුමට හාත්පසින්ම විරුද්ධව එංගලන්ත කණ්ඩායම පරාජය කීරිමට උත්සාහ කිරීම කිසිසේත් සුළුවෙන් තැකිය නොහැකි විනය විරෝධී ක්‍රියාවක් බව ක්‍රිකට් විනය කමිටුව අවධාරණය කර සිටි.

එංගලන්ත කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ උපක්‍රම පිළිබඳ රහස් තොරතුරු එංගලන්ත කණ්ඩායමට ලබා දීම බලවත් සදාචාර විරෝධී ක්‍රියාවක් බව නොබියව ප්‍රකාශ කලේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිතුමා බවද ඒ චෝදනාව සැකයකින් තොරව ඔප්පු කිරීමට ලැබුණු මහඟු අවස්ථාව මැතිව්ස් මහතාගේ ඉවක් බවක් නොමැති පිති ප්‍රහාරය හේතුකොටගෙන අහිමිව යාමේ අවදානමක් අවසන් පන්දුවාර දෙක තුල තිබුණු බවත් එසේ වූයේ නම් ගරු සභාපතිතුමාගේ සැළසුම් සියල්ල ව්යාර්ථ වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශකයෙක් තවදුරටත් පැවසුවේය.

එළෙසම අවසාන මොහොතේ දෙයියංගේ හාල් කැවුණාක් ලෙස මැතිව්ස් මහතා හතර අතට නෙලන්ට ගත්තේ තරඟය කෙසේ හෝ ජයහ්‍රහණය කරවා ශ්‍රී ලංකා ක්‍රිකට් සබාපතිතුමා අපහසුතාවයට පත්කිරීමේ අභිලාසයෙන් කිසියම් පුද්ගලයකු ඔහුට යම් මුදලක් ලබාදෙන බවට පොරොන්දුවූ නිසාදෝයි සාධාරණ සැකයක් මතුවන බැවින් ඒ පිළිබඳව අපක්සපාත පරීක්සනයක් පවත්වන ලෙස අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන කමිටුවට පැමිණිළි කිරීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වේ.

ටං.....ටිං....ටුං...............

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ පරාජයවූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සියලු සාමාජිකයින්ට ලෝක විස්සයි විස්ස තරඟාවලිය අවසාන වූ වහාම වසරක ක්‍රිකට් තහනමක් පනවන බව ඇෆ්ඝනිස්ථාන පාලක මන්ඩලයේ සභාපතිතුමා පවසයි. ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවති තරඟය මුදල් මුදල් ලබාගෙන පාවාදුන් බවට ඒ මහතා චෝදනා කරයි. 

"මේ ගැන කිසිම පරීක්ෂණයක් අවශ්‍ය නෑ. ලංකාවට පැරදුනයි කියන්නෙ අනිවාර්යයෙන්ම මේ ගොල්ලො සල්ලි අරගෙන තියනව. ඒකෙ ආයෙ දෙකක් නෑ.මම මේ පාර අයි.සී.සී. මහ සභාවට යෝජනාවක් ඉදිරිපත් කරන්න ඉන්නෙ ලංකාවත් එක්ක ගහල පරදින ඕනම කණ්ඩායමක සාමාජිකයන් ඔක්කෝටම අනිවාර්යෙන් අවුරුද්දක ක්‍රිකට් තහනමක් පැනවිය යුතුයි කියල. සල්ලි ගත්තද කියල පරීක්ෂණ කරන්න ඕන නෑ. ලංකාවට පැරදුනයි කියන්නෙ අනිවාර්යයෙන් සල්ලි අරං තියනව" ඇෆ්ඝනිස්තාන් සබාපතිතුමා ඉතාම හැඟුං බරව පැවසුවේය.


ටං.....ටිං....ටුං...............

මධ්‍යම පළාතේ හිටපු ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල මහත්මිය කාන්තාවක් නොවන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හාංදුරුවං විසින් සොයාගෙන ඇත. මධ්‍යම පළාතේ නව ආණ්ඩුකාර පදවියට පත්කල නිලූකා සෙනෙවිරත්න මහත්මිය කාන්තාවක් නිසා දළඳාවෙහි පුද පූජාවන්ට සහභාගීවීම් අකැප බැවින් පිරිමියකු ඒ සඳහා පත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටීමෙන් මේ නව සොයාගැනීම පිළිබඳව තොරතුරු අනාවරණය වන බව තතු දත්තෝ පවසති. 

එලෙසම දළඳාව ශ්‍රී ලංකාවට ගෙන ආවේ කාන්තාවක් විසින්ය යනුවෙන් ප්‍රචලිත පුරා වෘත්තය පිළිබඳවද මේ අනුව සැක පහල වන බව ඉතිහාසඥයෝ පෙන්වා දෙති. ඒ අනුව හේමමාලා කුමරිය සත්‍ය වශයෙන්ම කාන්තාවක්ද යන්න සොයා බැලීමට පිළිගත් ඉතිහාසඥයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමට කටයුතු යොදා ඇත. 

නානසාර නමැති චීවරදාරියා යනු රට ජාතිය වෙනුවෙන් ඉදිරියට යන එඩිතර බික්සුවක් බවට රෙකමදාරුවක්ද ද මේ මෑතකදී අස්ගිරි මහානායක හංදුරුවං විසින් නිකුත්කොට වදාල බැවින් අස්ගිරියෙන් නිකුත්වන ප්‍රකාශ පිළිබඳව කිසිදු සැකයක් ඇතිකරගත යුතු නැති බවත් එම ප්‍රකාස පරම සත්‍යසේ පිළිගත යුතු බවත් මේ අතර විස්ලේසකයෝ පවසති.


ටං.....ටිං....ටුං...............

ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමාට "සප්ත ශාරීරිකස්ථාන ආලේපක ශ්‍රී ලංකා පරම භූෂණ" ගෞරව නාමය පිරිනැමීමට සමස්ත ලංකා හත්පෝල් ගාගන් සංගමය ඒකමතිකව තීරණය කරයි.මධ්‍යම පළාතේ ආණ්ඩුකාර තනතුර පිරවීමේදී එතුමා දැක්වූ කෘතහස්ත බහුශෘත ඥාණය එමෙන්ම රටේ පවතින වර්තමාන තත්වය පිළිබඳ මනා අවබෝධය සැළකිල්ලට ගෙන මෙම ගෞරව නාමය පිරිනමනු ඇත. එම ගෞරව නාම පිරිනැමීමේ හේතුපාඨය මෙළෙස වනු ඇත.

"අතිගවුරවාර්හ කොරල පෙඤ්ඤඤ්ඤා මූඩියන්සේලාගේ මරා මහතා ප්‍රමුඛ පසුගිය සමයේ රට වල පල්ලට යැවූ හොර තක්කඩින් රැල කොයිවේලේ රජය පෙරලා යලි බලය අල්ලා ගනිම්දෝයි කැස කවමින් රජය බුද්ධාගමට සහ භික්ෂූන් වහන්සේලාට විරුද්ධව කටයුතු කරන බවට රට පුරා ප්‍රචාරයන් ගෙනයමින් ජනතාව නොමඟ යැවීමට තැත්කරන අතර රජයට විරුද්ධව තවත් මහජනයා ඇවිලවීමට ඔවුන්ට උඩගෙඩිදීමක් වන් එසේ නැතහොත් පනින රිලවුන්ට ඉණිමං බැන්දාක් බඳු, නොහොත් කොහොමත් දුවන බල්ලාගේ පස්චාත් භාගයට තව පැට්‍රෝලුත් ගැසුවාක් මෙන්, මධ්‍යම පළාතේ ආණ්ඩුකාර ධුරයට ඔබගේ කේන්දරය බලන නක්ෂස්ත්‍රකාරිය කිසිදු බියක් සැකක් විලි ලැජ්ජාවක් නොමැතිව පත්කිරීමෙන් ප්‍රදර්ශනය කල අත්තනෝමතික මූඨභාවය වෙනුවෙන් මෙවර "සප්ත ශාරීරිකස්ථාන ආලේපක ශ්‍රී ලංකා පරම භූෂණ" ගෞරව නාමය මෙසේ ඔබට ප්‍රදානය කරන්නට යෙදෙන්නාහ.....අං ඇති සිද්ධි රස්තු" 

ටං.....ටිං....ටුං...............

Saturday, March 26, 2016

122. ඔබට සුළු දෙයක් - නමුත් එය විසල් දෙයක්... සහ තවත් කතා

පුංචි වුනත් සුළු නොවේ දසැඟිලි උදව්...

දිනක් ඇති වූ කුණාටුවකින් මුහුදේ මහා කළබැගෑනියක් ඇතිවිය. ඒ නිසා උපන් විශාල මුහුදු රළකට හසු වූ පසැඟිල්ලන් මිලියන ගණනක් මුහුදු වෙරළට පතිත වී මුළු වෙරළ ම පසැඟිලි විමානයක් දේ දිස්වන්නට විය.

කුණාටුව අහවර ව හිරු එළිය දැඩි වත්ම, දැඩි වත් ම විජලනයට පත් වන්නට වූ පසැඟිල්ලන් මියෙන්නට පටන් ගති. මේ අතරතුරේ මුහුදු වෙරළේ ඇවිදින්නට ආ පුංචි පුතෙක් මේ විසල් පසැඟිලි පැදුර දැක පුදුමයට පත් වූයේය. එක්වනම ඒ සතුන් මුහුණ පා ඇති අනතුර වටහා ගත් ඔහුගේ පුංචි හිතට ක‍ළ යුත්තේ කුමක්දැයි වහා වැටහිණි.




පසැඟිල්ලන් එකා බැගින් අතට ගත් ඔහු, උන් මුහුදේ හැකි තරම් දුරට විසි කරන්නට පටන් ගත්තේය. වෙරළේ වේලී මිය යන්නට හිටි පසැඟිල්ලන් බොහෝ ප්‍රමාණයකට එයින් නැවතත් ජීවිතය පිළිබඳ බලාපොරොත්තු හිමි වන්නට විය.

ඒ අතරතුරේ වෙරළේ ඇවිදින්නට ආ වැඩිහිටියෙක් මේ කටයුත්ත දුටුවේය. මිලියන ගණනක පසැඟිල්ලන් අතුරින් අතට අහුවෙන එවුන් අල්ලා විසි කරමින් ඒ දරුවා යෙදී සිටිනුයේ පලක් නොමැති කාර්යයකැයි සිතු මිනිසා පුංචි පුතු වෙත ලංවිය.

“මොනවද ළමයෝ මේ කර කර ඉන්නේ? පොඩ්ඩක් වටපිට බලන්න! මෙතන කෝටි ගාණක් පසැඟිල්ලෝ. මුළු වෙරළම උන්ගෙන් වැහිලා ගිහිල්ලා. මුන් සේරම මැරිලා යන එක වලක්වන්න ඔයාට පුළුවන්ද? ඔයා ‍ඔය කරන වැඩෙන් කිසි වෙනසක් වෙන්නේ නැහැ!“

පුංචි පුතු ලඟ ම සිටි පසැඟිල්ලා අතට ගෙන මොහොතක් ඒ සතා දෙස බලා සිට, මිනිසාට පෙන්වා යමක් පවසා හැකි තරම් වෙර ගෙන ඌ මුහුදේ ඈතට විසි කළේය.

“නැහැ මාමේ, මේ වැඩෙන් ලොකු දෙයක් වෙනවා...

මේ පසැඟිල්ලාගේ ජීවිතයට ලොකු වෙනසක් සිද්ධ වෙනවා...

මේ පුංචි සතාගේ ඉරණම සම්පූර්ණයෙන් වෙනස් වෙනවා...

ඒ මදියි කියලා මාමාට හිතෙනවද?“


පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු

කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි

*************************************************



ඔබට සුළු දෙයක් - නමුත් එය විසල් දෙයක්...




එක් කාන්තාවක් මස් නිශ්පාදනය කරන ආයතනයක සේවය කළාය. දිනක් ‍සේවා කාලය අවසානයේ යම් කාර්යයක් සඳහා ඇය මස් තැන්පත් කර තබන ශිත කාමරයට ඇතුළු වූවාය. නමුත් මොහොතක් ගත වන්නටත් ප්‍රථම එහි දොර වැසී අඟුළු වැටිණි. එය පිටතින් පමණක් විවර කළ හැකි දොරක් වූ අතර එයින් ගැලවී යාමට වෙන අන් මගක් නොවීය.

ඇය හැකි උපරිම සරින් කෑ ගසමින් දොරට ගසන්නට වූවාය. ඒ හඬ කිසිවෙකුට නෑසී අවකාශයට විහිද ගියේ ඒ වන විට ආයතනය තුළ සේවය කරන සියලුම පිරිස පිටව ගොස් අහවර ව තිබූ නිසාත් ශීත කාමරයෙන් නැගෙන හඬක් ඉතාමත් ලඟ සිටින කෙනෙකුට මිස වැඩි දුරකට නෑසෙන නිසාත්ය.

පැය පහකට පමණ පසුව, සීතලෙන් ගැහෙමින් මරණය අභියස දෑස පියාගෙන සිටි ඇයට දොර විවර වන හඬ ඇසිණි. වහා දෙනෙත් විවර කළ ඈ දුටුවේ ආයතනයේ ආරක්ෂක නිලධාරියාය. එය සැබවින්ම ආශ්චර්යයමත් ගැලවීමක් විය. අවේලාවේ ශිත කාමරය විවර කිරීම සාමාන්‍යය ආයතන පටිපාටියට පිටින් ගිය දෙයකි. එවන් දෙයක් කරන්නට අවශ්‍ය වූයේ මන්දැයි, කුහුලින් යුතු වූ ඇය පසු දිනෙක ඔහුගෙන් විමසා සිටියාය.

“නෝනා..., මං මේ ආයතනයේ වැඩ කරන්න පටන් අරං දැන් අවුරුදු තිස් පහක් වෙනවා. සිය ගණනක් මිනිස්සු උදේ හවා මං ඉස්සරහින් වැඩට යනවා, එනවා.

ඒත් ඔය අතරින් බොහොම සුවල්ප දෙනෙක් මට උදේට 'සුභ උදෑසනක්' කියනවා. හවසට 'සුභ රාත්‍රියක්' කියනවා.

නෝනාත් ඒ සුවල්ප දෙනා අතරින් කෙනෙක්. අනිත් අය සේරෝට ම මං කියලා කෙනෙක් නැහැ වගේ තමයි ඉතිං.

වෙනදා වගේ එදාත් උදේ නෝනා මට 'සුභ උදැසනක්' කීවා. ඒත් හවස් අතේ 'සුභ රාත්‍රියක්, හෙට හමුවෙමු' යි කියන නෝනාගේ හඬ ඇහුණේ නැහැ නේද කියන එක මට බොහොම තදින් දැනෙන්න වුණා.

පැයක් විතර බලලා, සේරම කට්ටිය ගියාට පස්සේ හොයලා බලන්න පටන් ගත්තේ ඒ නිසයි.

නෝනයි තව කිහිප දෙනෙකුයි නිසයි මාත් මේ පොළොවේ ජිවත් වෙන කවුරු හරි මනුස්සයෙක් නේද කියන එක මට දැනෙන්නේ.

කවදාවත් වරදින්නේ නැති වචන ටික එදා හවස ඇහුණේ නැති නිසා මට දැනුණා මොකක් හරි වුණා තමයි කියලා. අන්න ඒ නිසා තමයි මං පුළුවන් හැම තැන ම බල බල නෝනා වෙනුවෙන් මුළු ෆැක්ටේරිය පුරාම ඇවිද්දේ.” 

නොපිරිහෙලා පවත්වාගෙන ගිය සුහදශීලිවූත් කාරුණිකවූත් හැසිරීමේ ආනිසංසය ඇගේ දිවි රැකීමට පසු පසින් පැමිණ තිබුණේ ඒ ආකාරයෙනි.




පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු

කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි

*************************************************



යහගුණ දත් පුංචි හිතක්





අයිස්ක්‍රීම් බඳුනක් එතරම් මිල නොවූ අතීතයේ දිනෙකදී දස වියැති පුංචි පුතෙක් කෝපි වෙළෙඳසලකට ඇතුළු වී, කොනකට වන්නට වූ මේසයක් බලා අසුන් ගත්තේය. සේවිකාවක් පැමිණ ඔහු ඉදිරි පිටින් වතුර වීදුරුවක් තැබුවාය.

“ලොකු අයිස්ක්‍රීම් බඳුනක් කීයක් විතර වෙනවද නැන්දේ?” පුංචි පුතා ඇසුවේය.

“සත 50යි” සේවිකාව කීවාය.

ඔහු හිමින් තම පසුම්බිය පිටතට ගත්තේය. අනතුරුව එය ඇකයේ තබාගෙන එහි වූ කාසි ප්‍රමාණය පිළිබඳ ව කල්පනාකාරී අධ්‍යයනයක නියැලෙන්නට වන.

“එතකොට පොඩි අයිස්ක්‍රීම් දීසියක්?” අනතුරුව ඔහු ඇසුවේය. තවත් පාරිභෝගිකයින් කිහිප දෙනෙකු ඉඩ ඇති තැනක් විමසමින් අවට සැරිසරනු දුටු සේවිකාව මදක් නොසන්සුන් වූවාය.

“සත 35යි” 

ඔබ එහි වූයේ නම් එවර නැගුණු ඇගේ හඬ තද වැඩියැයි ඔබට ද සිතෙනු නොඅනුමානය.

නැවතත් තමන් අතේ වූ කාසි විමසා බැලූ දරුවා සෑහීමට පත්ව මෙසේ පැවසුවේය.

“එහෙනං නැන්දේ මට ඒකක් දෙන්න. මං ගාව ගානට සල්ලි තියෙනවා”

ඇනවුමට අදාළ පීරිසිය ගෙන ආ ඇය බිල සමග එය දරුවා ඉදිරිපිටින් තබා යන්නට ගියාය. ඔහු බොහොම සතුටින් එය රස වින්දේය. අනතුරුව නියමිත මුදල අයකැමිවරයාට ගෙවා පිටත්ව ගියේය.

දරුවා පිටව ගිය පසු පුරුදු පරිදි මේසය පිස දැමීමට සේවිකාව ඒ දෙසට ගියාය. මේසය මත වූ දෙය දැකීමෙන් දරා ගැනීමට අපහසු තරමේ යමක් සිය උගුරේ හිරවූවාක් මෙන් ඇයට දැනෙන්නට විය.

ඒ මේසය මත වූයේ වෙන කිසිවක් නොවේ. ඇගේ සේවය ඇගයීම පිණිස ඔහු තබා ගිය සත පහළොවක් වූ සංතෝසමයි.


පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු

කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි



************************************************

පසු ලිවීම : නෙළුම් යාය සම්මාන උළෙල පිළිබඳ විස්තර පසුවට


Wednesday, March 23, 2016

401. The Story Of My Marriage - 19 - පම්මි ආන්ටිගේ නිවෙසට ගියෙමි.

නවදිල්ලියේ පිතම්පුරා ප්‍රදේශයෙහි දර්ශනයක්





මගේ මවගේ ආයාචනාත්මක ස්වරය මා නෙත් තෙත් කිරීමට සමත්වූයේ නිතැණිනි. කඳුලු වලකා ගැන්මට හිස පහතට හැරවූ මා දුටුයේ වෙලුම් පටියකින් වෙලා ඇති ඇගේ සුරතයි. 

"හරි හරි මම එන්නම් මම එන්නම්....දැන් යන්නකො හොඳ අම්ම වගේ එළියට..මට නිදාගන්න ඕන…"

"අන්න හොඳයි..මම දන්නවනෙ...අන්තිමට මගෙ පුතා මම කියන එකට... ……"

"මේ අම්මෙ ...තවත් ඔහොම කිසිම තේරුමක් නැති විකාර කියවන්න ගියොත් මම ඔන්න තීරණේ ආයම වෙනස් කරනව...නොකිව්වයි කියන්න එහෙම එපා.."

"හරි හරි මේ ගියා ගියා..ගුඩ් නයිට්, ස්වීට් ඩ්‍රීම්ස්…"  විදුලි බුබුල නිවාදැමූ ඇය වහා කුටියෙන් පිටවූවාය.

යලි සයනයේ දිගාවී පොරෝණයෙන් හිසේ සිට දෙපතුල තෙක් වසාගත් මම මගේ දකුණු ඉන්දියානු පෙම්වතිය හමුවීමේ අපේක්ෂාවෙන් සිහින ලොවට පිවිසියෙමි.

***************************

පම්මි ආන්ටිගේ නිවස පිහිටියේ අප නිවසට නොදුරු පිතම්පුරා ප්‍රදේශයේය. බහුතරයක් තම උරුමය ගැන බොහෝ මාන්නාධිකව සිතන පන්ජාබීන් වාසය කල පිතම්පුරා ප්‍රදේශයෙහි සෑම පටු මාවතකම ඔබට සුප්‍රසිද්ධ ටජ් මහලෙහි අල්ලා ඇති සියළුම කිරිගරුඬ වලට වඩා වැඩි ප්‍රමාණයක් කිරිගරුඬ දැකගත හැකි බවට මම මා දිවි පරදු තබන්නේ කිසිදු පැකිලීමකින් තොරවය.

ඊට අමතරව සෑම නිවෙසකින්ම දවස මුළුල්ලේ නිකුත්වනුයේ  තක්කාලි සහ පනීර් නම් අහර පිසීමට භාවිතා කරන මුදවාගත් කිරි එක්කොට පිසිනකල්හි නිකුත්වන ඊට නුපුරුදු අයකුට මහත් අපුලක් ඇතිකරවිය හැකි තරමක් සැර සුවඳයි.

මගේ මව සහ මම ත්‍රිරෝද රියකින් එහි ගියේ මපියාගේ මෝටර් රිය අප කිසිවකු හෝ භාවිතා කිරීම නිසැකව ඔහු කෝපාවිෂ්ඨ කිරීමට  හේතුවන බැවිනි.

"මෙන්න මේ හරියෙ නවත්වන්න ළමයා..අපි බහිනවා.."

ඇගේ පියාගේ වයසට සම වයස්ක වූ සේ පෙනෙන  ත්‍රිරෝද රථ රියදුරාට ඇය පැවසුවේ පම්මි ආන්ටිලාගේ නිවසට ආසන්න මංසන්ධියේදීය. අප අපගේ මෝටර් රථයෙන් නොපැමිණි බව පම්මි  ආන්ටිගෙන් සැඟවීමට ඇයට අවශ්ය විය. පන්ජාබීහු  වනාහී ඉතා කිට්ටු හිත මිතුරන් සහ ඥාතීන් අතර පවා තම තමන්ගේ සමාජ තත්වය කෙසේ හෝ ඉහල තලයක තබා ගැන්මට මුලු වෙර යොදා වෑයම් කරන්නෝ වෙති.

"එයාට බොහෝම වැදගත් රැස්වීමක් තියනව. ඒ හින්ද අපිව මෙතෙන්ට ගෙනල්ල දාල එයා ගියා." අප පිළිගැනීමට පෙරගමන් පැමිණි පම්මි ආන්ටි කිසිවක් විමසීමට පළමු  මගේ මව වහා පැවසුවාය.

"අනේ අපරාදෙ පොඩ්ඩක් ගෙදරට ගොඩවෙලා සීතලට මොනවහරි බීල යන්නවත් තිබුණනෙ මේ රස්නෙ වෙලාවෙ." පම්මි ආන්ටි අප ගෙතුලට කැඳවාගෙන යමින් පැවසුවාය.

පම්මි ආන්ටිගේ බර කිලෝ ග්‍රෑම්වලින් ගණනය කල විට විසිවන සියවසේ ඇය ජීවත්වන දශකයට බොහෝ දුරට සමාන වන බව මසිතේ මීට පෙරද කීප විටක් පහලවූ අදහසකි. ඒ සහසම්බන්ධය අනූව දශකයටද එලෙසම පවත්වාගැන්මට ඇය ඉතා පහසුවෙන් සමත්වී ඇතිබව ඇගේ සමචතුරශාකාර ශරීරය දුටු වහාම මට හැඟිණි. 

වසර තිස් හතකට පමණ පෙර ඇය චන්දිගාර් නගරයේ රූප සුන්දරිය ලෙස කිරුළු පැළැන්දාය. අභිෂේක ලබා වේදිකාවෙන් බැස සුළු මොහොතකින් ධනවත් ව්‍යාපාරිකයෙක් ඇගේ අත පතා පැමිණ ඇත. ඔහු හා විවාහප්‍රාප්තවූ ඇයට ඔහු ඉතා සුඛෝපභෝගී එමෙන්ම සුවපහසු ජීවිතයක් ලබා දුන්නේය. එතැන්සිට මනා හැඩයකින් යුතු තම සිහින් සිරුරට හැකි විගස කැළරි එකතුකොටගැන්මේ අනවරත අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කල පම්මි ආන්ටිගේ බර මේ වනවිට තිස් හත් වසකට පෙර ඇය කිරුළු පලඳින විට වේදිකාවේ සිටි සුරූපිනියන් තිදෙනාගෙම බරට සමාන නොවන්නේ නම් ඒ ඉතා සුළු කිලෝ ගණනකින් විය යුතුය.

ඔවුන්ගේ නිවසෙහි විසිත්ත කාමරයට පිවිසීමට ඔප දැමූ කළුගලින් බැඳි පියගැට පහක් නැඟිය යුතුය. 

"හප්පෝ මගෙ දණිහ" පම්මි ආන්ටි විසිත්ත කාමරයට ගොඩ වූයේ දකුණු දණහිසට අතතබා වාරු ගනිමිනි.

"පම්මිජී ඔයා තාමත් උදේට ඇවිදින්ට යනවද?" මගේ මව විමසුවාය.

පම්මි ආන්ටි කලක්  උදෑසන  ව්‍යායාම් පිණිස පිතම්පුරා ප්‍රදේශය පුරා ඇවිද්දාය. වතුර බෝතල්, ඇපල්, මිදි සහ දොඩම් බහාලූ වේවැල් කූඩ මහත් රාශියක් පුරවාගත් මෝටර් රථයක්,  සෙමෙන් දෙපසට පැද්දෙමින් ඇවිදයන ඈ  පසුපස ඇගේ වේගයට සමානුපාතික  වන පරිදි ධාවනය වීම  එදවස අපගේ ඥාතීන් සහ හිතවතුන්හට මහත් විනෝදයක් ගෙන දෙන්නක් විය. ඔවුන්ගේ සමච්චල් සිනහවන් කොතෙකුත් ඉවසිය නොහැකි වූ සඳ ඇය ව්යායාම චාරිකා නවතා දැම්මාය. 

පම්මිගෙ ව්‍යායාම් චාරිකා යනු කලක් මුලුල්ලේ අපේ ඥාති පරපුර  එකට එකතුවන ඕනෑම අවස්ථාවක ඔවුනට කොක් හඬලා සිනාසෙනුවස් අගනා මාතෘකාවක් විය.මගේ මව ඇය කිසිසේත්ම  ප්‍රිය නොකරන මෙම මාතෘකාව පිළිබඳව එක්වනම විමසූයේ සෝපාහාසාත්මකවදැයි  සැක පහල කල පම්මි ආන්ටි වහා හිස හරවා මගේ මවගේ මුහුණ දෙස විමසුම් බැල්මක් හෙලුවාය.

එහෙත් මවගේ සිනාමුසු මුහුණෙහි එවන් සමච්චලයක් කිසිසේත්ම දක්නට නොලැබුණු හෙයින් ඇය ද සිනහවක් නඟමින් පිළිතුරු දුන්නාය. 

"අනේ කොහෙද එව්වට දැන් වෙලාවක් කවිතාජී? අනික මම කොහොමත් දැන් මාස දෙක තුනක ඉඳල හැමදාම උදේට සත්සංගම්  වලට යනවනෙ."

( සත්සංගම් යනු ආධ්‍යාත්මික දියුණුව මෙන්ම සිත පිරිසිදු කොට සමනය කර ගැන්මේ පරමාර්ථයෙන් යුතුව යම් ආගමික දැනුමෙන් යුතු සාධුවරයෙක් වැන්නකු හා එක්ව කණ්ඩායමක් වශයෙන් කරන සාකච්ඡාවක් වැන්නකි. සත් යනු සංස්කෘතයෙහි සත්‍යය වන අතර සංගම් යනු ඇසුර හෝ එක්ව කතාබහේ යෙදීමයි )

"ඉඳගන්න කවිතාජී........" රතු පැහැති විල්ලූදයෙන් පෝරු දැමූ ධාරා සිං සහ ගෝරා සිං වන් හරි හතර රියන් මල්ලව පොර ශූරයින් දෙදෙනෙකුට කිසිදු අපහසුවකින් තොරව සුවසේ සැතපිය හැකි පමණ විශාල වූ කවිච්චියක් සුරතින් දක්වමින් පම්මි ආන්ටි  පසෙකට වී එකත්පස්ව හුන් සේවිකාව අමතා කස ඇට  සරුවත් ගෙන එන ලෙස අණ කළාය.

(ධාරා සිං යනු පණස්වන සහ හැටවන දශකයන්හිදී ඉන්දියාවේ සුප්‍රසිද්ධ මල්ලව පොර ක්‍රීඩකයෙකි. අඩි හයකට වඩා උස් ඔහුගේ බර රාත්තල් 280 විය.)

හිඳගත් කල නාභිය තෙක් එරුනු සැපපහසු කවිච්චියෙහි අප දෙදෙන තැන්පත් වූ ඉක්බිති  පම්මි ආන්ටි අප ඉදිරියෙහිවූ වික්ටෝරියා මහේෂිකාවගේ රාජාසනය බඳුවූ අනගි ඇඳි පුටුවෙහි හිඳගත්තාය.

"මම මේ කියන්න හැදුවෙ ඔයා ඔය සත්සංගම් රැස්වීම් වලට උනත් පයිං යනවනම් ඒකත් ඇඟට හොඳම හොඳ ව්‍යායාමයක්" මගේ මව පැවසුවාය.

"ඔන්න කවිතාජී ඔයා කියන එක..හිහ්,හිහ්.." මගේ මව ඉතා පාරිහාසික (Very funny) කවටකමක් කල කලෙක මෙන් පම්මි ආන්ටි හඬනඟා සිනාසුණාය. "අපිට කාර් හයක් තියනව.කවිතාජී.... කාර්ම හයක්. ඩ්‍රයිවර්ල හයදෙනෙකුට නිකං උඩබලාගෙන ඉන්නවට පඩි ගෙවල ඔයා කියන්නෙ මට පයිං සත්සංගම් රැස්වීම් වලට යන්ට කියලද? හිහ්...හිහ්..හොඳට හිටියි...හොඳට හිටියි..."

පම්මි ආන්ටි ඒ මොනවට ප්‍රදර්ශනය කලේ  අපගේ පන්ජාබී ඥාතීන්ගේ තවත් නිසර්ග හැකියාවකි.සතතාභ්‍යාසයෙන්ම  ප්‍රගුණ කලයුතු ඒ හැකියාව නම්  ඉතා අහිංසක සතුටු සාමීචියක් මධ්‍යයට ඉතා සීරුවෙන්  තම ධනවත්කම සහ යස ඉසුරු පිළිබඳව හැඟවෙන  වදනක් එක් කිරීමය.

එබස් ඇසූ මගේ මෑණියන්ගේ දෙබැම සැණෙකින් ඉහල ගියේ ඇගේ මුවද විවර කරවමිනි. අප දෙදෙන එකම කවිච්චියෙහි අසුන් ගෙන උන්නද ඇය මා දෙසට හැරී කෑගැසූයේ ගංගානම් ගඟ එගොඩ ඉවුරේ සිටින්නකු අමතන අයුරිනි. "ක්‍රිෂ් ඔයාට ඇහුණද? "

"මොකද අම්මෙ මේ කෑගහන්නෙ? මම මේ මෙතනමනෙ ඉන්නෙ. අම්ම කෑගහන්නෙ හරියට මේ......මගෙ කණත් නිකං සෝ සෝ ගානව වගෙ ඔයා කණ ගාවම ඉඳල විලාප තියපු විදිහට."

"ක්‍රිෂ්, ඔයාට ඇහුණද ක්‍රිෂ්?...." මගේ අප්‍රසාදය පිළිබිඹුවන මුහුණ හෝ අමනාපය කැටිවුනු හඬ පිළිබඳව කිසිදු තැකීමක් නොකොට ඇය යලිදු මා ඇමතුවාය. " ක්‍රිෂ් ඔයාට ඇහුනද මගේ පුතේ? එයාලට කාර් හයක් තියනව..ඔව් කාර්ම හයක්…"

පම්මි ආන්ටි සහ මගේ මව යන දෙදනාම මා දෙසම බලාසිටියේ උදක්ම  මගේ ප්‍රතිචාරය අපේක්ෂාවෙන් බැවින් මට දිගටම මුනිවත රකිමින් හිඳිනු නොහැකි විය. "ම්ම්ම්ම්...මොනවද ඒ කාර් හයේ  ජාති?....මම මේ ඇහුවෙ බ්‍රෑන්ඩ්ස්?"

"අනේ කවුරු දන්නවද පුතා ඔව්ව? මම ඩ්‍රයිවර් ගේ දොරකඩට ගෙනල්ල නවත්තල පිටිපස්සෙ  දොර ඇරියම නැඟල වාඩිවෙලා යනව විතරයි..මගෙ මහත්තය තමයි එව්ව දන්නෙ..ඔන්න මේ පහුගිය සතියෙ හොන්ඩා එකක් ගෙනාව කියල මම අහගෙන කියනව.." පම්මි ආන්ටි තම සුපුරුදු පුරාජේරු සක්කයක් පිළිතුරට එකතු කලේ ඇඟට නොදැනීය. 

"ක්‍රිෂ් ඔයාට එව්වගෙ ජාති දැනගන්න ඕන නං මම අංකල්ට කෝල් එකක් අරං දෙන්නද? "

"අපෝ..පිස්සුද ආන්ටි? එහෙම ඕන නෑ..මම මේ නිකමට වගෙ ඇහුවෙ...හ්ම්ම්ම්ම්"   මම දිගු හුස්මක් පහළට හෙලමින් ළය සැහැල්ලු කර ගැන්මට උත්සාහ කළෙමි.

"කීයක් වුනාද?" මගේ මව හඬ බාලකොට විමසුවාය. 

යමෙකු තම ධනය පිළිබඳව පුරාජේරු පවසන කල්හි ඊට උල්පන්දම් දෙමින් ඔහු හෝ ඇය උනන්දු කරවීම ආචාරශීලීත්වයේ සහ හොඳ හැදියාවක ලක්ෂණ ලෙස පන්ජාබීහු දැඩිලෙස විශ්වාස කරන්නෝය.

"මොකක්ද?" පම්මි ආන්ටි ඇසූයේ මගේ මවගේ පැනය කුමක් සම්බන්ධවදැයි නොදැන නොවන බව ඇගේ දෙතොලග වූ සිනහව කියාපෑවේය.

"මම මේ ඇහුවෙ ගිය සුමානෙ ගත්තු හොන්ඩා එක ගැන"

"ආ..ඒක නම් මේ ලක්ෂ හතයි…" පම්මි ආන්ටි පැවසූයේ කරදරකාරී මැස්සකු එළවන්නාක්මෙන් තම සුරතින් අභිනයක් පාමිනි. ඈ  සුරතෙහි වැලමිට දක්වා පැලඳ සිටි රන් පැහැයෙන් දිළිසෙන වළලු කිකිණි හඬ නැංවූයේ ලක්ෂ හතක් ඔවුනට එතරම් ලොකු මුදලක් නොවන බව පවසන්නාක් මෙනි.

"ආ...ගෙනාවට පස්සෙ අපේ ඩොලීට ඒකෙ ස්ටීරියෝ එක හොඳ මදියි කියල අලුත් එකක් දැම්ම. ඒකට තිස්දාහක්  ගියා ගෙඩි පිටිම්ම හ්ම්ම්ම්ම්…" පම්මි ආන්ටි යලි පරිශිෂ්ටයක් ද එකතුකලේ දෑස් විදහා නටවමිනි.

(පරිශිෂ්ටය යනු  යම් ලේඛනයකට අතිරේකව එකතු කරන්නකි. ඉංගිරිසි භාෂාවෙහි Annexure  යනුවෙන් යෙදේ.)

"ඩොලී කියන්නෙ…" මගේ මව මා දෙසට හැරී රහසින් පවසන්නට වූ වහාම මම ඇයට බාධා කළෙමි. 

"මම දන්නව..මම දන්නව…" මගේ මවගේ මුහුණ ප්‍රීතිමත් සිනහවකින් ප්‍රමුදිත විය.

"මෙයා දැන් කරන්න යන්නෙ සිටි බැංකුවෙ රස්සාවක්. ඒකත් සෙල්ලං නෑ..පඩිය විතරක් ලක්සම හතරක් …"

පම්මි ආන්ටිලාගේ වාහන ගැන කථාකරමින් සිට එක්වරම මගේ මව මට ලැබෙන වැටුප ගැන කථාකිරීම එතරම් නොගැලපෙන්නක් ලෙස බොහෝවිට ඔබට සිතෙන්නට හැක මා දයාබර පාඨකය.එසේ වුවද අපේ පන්ජාබී චින්තනය අනුව එහි කුමන හෝ වරදක් නැත. පම්මි ආන්ටි සහ මගේ මව යන දෙදනාම කථාකලේ ලක්ෂ සංඛ්‍යාත ගණුදෙනු පිළිබඳව බැවින් එහි කිසිදු ගැටළුවක් කොහෙත්ම නැත.තම තමන්ගේ ධනවත්කම් සහ හැකියාවන් පිළිබඳව  අනෙක් පාර්ශ්වයට ඉතා හොඳින් ඒත්තු යන පරිදි බොහෝ පැහැදිලිව දැනුම් දීමෙන් අනතුරුව තෘප්තියට පත්වූ පම්මි ආන්ටි සහ මගේ මව ඉක්බිති මිනිත්තු කිහිපයක් එකිනෙකා දෙස බලා සිනාසෙමින් ගත කලෝය.

"අපි මොනව හරි කමු නේද?....." පම්මි ආන්ටි එක්වරම විමසුවාය. 

"අනේ මොනවටද පම්මිජී..අපි ආය අමුත්තොය ඔය විදිහට සංග්‍රහ කරන්න.." මගේ මව මා දෙස බලා ඉඟි මැරුවාය. මම ඇගේ අභිනයන් නොදුටුවා සේ ඉවත බලා ගතිමි.

"රාණී ඊ..ඊ...ඊ..අර වියට්නාම් කජුයි ඩුබායි රටඉඳියි අරං එනවා විජහට..." පම්මි ආන්ටි එවර කෑගැසුවේ සේවිකාවටය. "වියට්නාම් කජුයි ඩුබායි ඉඳියි තමයි හොඳම...ඒ වගේම ගණං..." ඇය ඒ සමඟම මගේ මව දෙසට හැරී හඬ බාල කොට පැවසුවාය. මගේ මව හිස වේගයෙන් ඉහළ පහළ සෙලවුයේ දිනකට අවම වශයෙන් තුන් වරක්වත් වියට්නාම් කජු සහ ඩුබායි රටඉඳි අනුභව කරන්නියක විලසිනි.

"කෝ පම්මිජී මේ අපේ ඩොලී? පේන්ට නැත්තෙ කොහෙවත් ගිහිල්ලවත්ද?" මගේ මව එසේ විමසන අතර විගස මදෙස නෙත් කොණින් බැලුවාය. අපේ ඩොලී? මගේ මව ඉන්ධන පිරවුම්හල් තුනක  හිමිකාරියට අයිතිවාසිකම් කීමට අප්‍රමාදව ඉදිරිපත් වීම මගේ මුවට සරදම් සිනහවක් ගෙන ආවේය.

"ඩොලී..කෝ මේ ළමයා? ඩොලී ඊ..ඊ..ඊ…" තුන්මහලකින් සැදි ඔවුන්ගේ මහා මන්දිරයේ ඉහළ මාළයටම ඇසෙන පරිදි පම්මි ආන්ටි බෙරිහන් දුන්නාය. සේවිකාවෝ දෙදෙනෙක් ඩොලී කැඳවාගෙන ඒම පිණිස වහ වහා පියගැට පෙල  ඔස්සේ ඉහළට දිවූහ.

"ඔය නාන්ට කියලයි ගියේ..අනේ මන්ද මේ ළමයට නාන්ට යනවනෙ වරුවක්…" බොරු කෝපයකින් එසේ පැවසූ පම්මි ආන්ටි කජු අහුරක් ගෙන මගේ සුරතේ තැබුවාය.."කන්නකො පුතා…"

"කමක් නෑ පම්මිජී අපේ දුව ලස්සනට ඉන්න එක අපිටත් ආඩම්බරයක්නෙ…" හුහ්..ආයෙම අපේ දුව...මම හොරැකින් ඈ දෙස බලා කජු ගෙඩි කීපයක් කටේ දමාගතිමි. 

"අනේ කවුද දන්නෙ කවිතාජී මේ ළමයින්ගෙ ඉරණම මොන විදිහට විසඳෙයිද කියල..ඇස් දෙක වගෙ අපිට ඉන්නෙ මේ දෙන්නනෙ. මේ ඔක්කොම ඉතිං ඒ දෙන්නට තමයි…."  පම්මි ආන්ටි දෑත විදහා නිවසේ සතර දිශාව දැක්වූවාය.

මම කිසිවකුට නොදැනෙන සේ නිවසේ සතර අත නැරඹීමි. විල්ලූද පෝරු දැමූ කවිච්චි, ඔප දැමූ කළුගල් ඇල්ලූ ගෙබිම, කිරිගරුඬ මතුපිටින් යුත් කෝපි මේස, නානාප්‍රකාර විසිතුරු කැටයම් භාණ්ඩ,පෞරාණික බිත්ති ඔරලෝසු, මේ සියල්ල හිමිවනුයේ ඔවුන්ගේ දියණියන් දෙදෙනාට සහ දියණියන්ගේ අතගන්නා අනාගත ස්වාමි පුරුෂයින්ටය.

ඉඳුරා සත්‍යයක්ම පවසමි මා හිතවත් පාඨකය, එක් මොහොතකට මේ සියලු යස ඉසුරු පිළිබඳව මසිතට තණ්හාවක් ඉපදුනේ මගේ මව නිවැරදි නොවන්නේදැයි සැකයක්ද සිතට ඇතුළු කරවමිනි.එහෙත් ඒ ක්ෂණයකින් අනන්‍යාගේ සිනහ සපිරි මුව මඬල මසිතට පිවිස ඒ සියලු සැක සංකා දුරුවන් කොට දැමීය.

නැත. කිසිසේත්ම නැත. මෙලොව ඉතාම රසවත් කජු සහ රට ඉඳි ලොරි දහයක් පුරවා දුන්නද මම කිසි ලෙසක අනන්‍යා අමතක නොකරමි. මම සෙමෙන් මටම සපථ කොට ගතිමි.අනන්යා සමඟ මේ නිවසෙහි පසෙක දිවිගෙවීමට පම්මි ආන්ටි ඉඩ දෙන්නේනම් එපමණක් මට හොඳටම ප්‍රමාණවත්ය. පම්මි ආන්ටිගෙන් ඒ පිළිබඳව විමසන ලෙස මගේ මවට පැවසිය යුතුයැයි මට කල්පනා වූයේ දෙතොලගට සිනහවක්ද එක් කරවමිනි.

අනන්‍යා පිළිබඳ සිහින ලෝකයෙන් මට මිදෙන්නට සිදුවූයේ පියගැට පෙළ බැස ඩොලී අප අතරට පැමිණි බැවිනි. ඇය පැමිණීමට  තත්පර පහකට පෙර ඇය ගැල්වූ  විලවුන් සුගන්ධය අප කරා පැමිණියේය.

Saturday, March 19, 2016

121. ගඟට ඉනි කපන නෙක විධි තියේ... සහ තවත් කතා




නැවක් හැබෑ නම්...!


දිනක් එළිමහනේ වාඩි වී හිරු එළිය විඳ ගනිමින් සිටි මවක අසලට ආ ඇගේ එකම පුතු මෙසේ අසා සිටියේය.

“අම්මේ, මං ප්‍රශ්නයක් අහන්නද?”

“අහන්න පුතේ... ඒක නම් ලොකු ම ලොකු ප්‍රශ්නයක් වගේ?” මව සිනා සෙමින් කීවාය.

“ඇයි අම්මේ අම්මටයි මටයි මොල්ලි තියෙන්නේ?”

“මේකනේ පුතේ, අපේ ජිවිත කාලෙන් වැඩි හරියක් ගෙවෙන්නේ කාන්තාරේ. ඉතිං වතුර නැති කාන්තාරේ ඉන්නකොට අපට උවමනා කරන වතුර එකතු වෙලා තියෙන්න තමයි අපිට මොල්ලි ලැබිලා තියෙන්නේ.

ඔයා දැනන් උන්නේ නැහැනේ, වතුර පොදක් වත් බොන්න නැතුව ගොඩක් කල් ජීවත් වෙන්න පුළුවන් අය හැටියට අපි හරි ප්‍රසිද්ධයි” අම්මා ආඩම්බරයෙන් පැවසුවාය.

“හොඳයි, එතකොට මොකද මේ මෙච්චර දිග, කෝටූ වගේ කකුල් අපට ලැබිලා තියෙන්නේ? අර බලන්නකෝ අර අලින්ගේ කකුල්, ඒවා මහත, රවුම්, ලස්සන කකුල්!”

“ඇත්තට ම පුතේ, ඒකත් මුලින් කිව්ව කාරණේ වගේ තමයි. මේ වගේ දිග, ශක්තිමත් කකුල් තියෙන නිසා තමයි අපට කාන්තාර මැදින් ලේසියෙන් යන්න පුළුවන් වෙලා තියෙන්නේ. අලින්ගේ වගේ කකුල් තිබුණා නං එහෙම යන්න වෙන්නේ නැහැ”

“හරි... ඒකත් එහෙමයි කියමුකෝ. එතකොට මොකද අපේ ඇහි පිහාටු මෙච්චර ඝණකම් වෙලා, මහා ගොඩක් දිග වෙලා තියෙන්නේ? මට නං ‍එපා වෙනවා. සමහර වෙලාවට මට හරියට පේන්නෙත් නැහැ මෙව්වා නිසා,”

“හා... හා... මගේ පුතේ එහෙම කියන්න එපා. මේ දිග, ඝනකම් ඇහි පිහාටු නිසා තමයි කාන්තාරේ යද්දි, හුළඟින්, වැල්ලෙන් අපේ ඇස් ආරක්ෂා වෙලා තියෙන්නේ. නැත්නම් අපේ ඇස් ඉක්මනට අන්ධ වෙනවා” අම්මා පැහැදිලි කළාය.

මද වේලාවක් කල්පනාවේ ගත කළ පුතු මෙසේ නෝක්කාඩු කියන්නට වන්නේය.

“කාන්තාරේ ජීවත් වෙන්න ඇති තරම් මොල්ලියේ වතුර තියෙද්දි,

එහෙදි ඇවිදින්න කදිමට ගැලපෙන කකුල් තියෙද්දි,

ඇස් පරිස්සම් කරගන්න ලොකුවට ඇහි පිහාටු තියෙද්දි,

අපි මේ සත්තු වත්තට වෙලා මොනවා කරනවද මන්දා,"




පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු

කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි.

**************************************************************



පෙනීම සහ දැකීම!



ඉතාමත් ධනවත් පවුලක පියෙකුට, දුප්පතුන් සහ ධනවතුන් අතර වෙනස තම පුතුට පහදා දීමට උවමනා විය.

ඒ සඳහා ගම්බද ව ගොවිපොළක් පවත්වාගෙන යමින් ජිවත් වූ, දුප්පත් යැයි ඔහුට හැඟුනු පවුලක් හා සමඟ දින කිහිපයක් ගත කිරීමට කටයුතු සූදානම් කෙරිණ. 

ආපසු එන ගමනේ පියා පුතුගෙන් මෙසේ ඇසුවේය.

“ඉතිං, කොහොමද මේ පාර ගමන?”

“ඒක නං නියමයි තාත්තේ!” සතුටින් පිනා ගිය පුතු පිළිවදන් දුන්නේය.

“දැන් තේරෙනවා නේද දුප්පතුනුයි පෝසතුනුයි අතර වෙනස මොන වගේද කියලා”

“අපොයි ඔව්. හොඳට තේරුණා,”

“බොහොම හොඳයි පුතා, දැන් මට කියන්න බලන්න මේ ගමනින් ඔයා ඉගෙන ගත්ත දේවල් මොනවද කියලා”

පියා දෙස මද වේලාවක් බලා සිටි පුතු පිළිතුර පෙළ ගස්වන්නට වූයේය
.
“අපිට ගොඩක් සල්ලි දීලා ගත්ත, බල්ලෙක් ඉන්නවා. එයාලාට ගමේ ගොඩේ දුවලා පැනලා ඇවිදලා ඉන්න බල්ලෝ හතර දෙනෙක් ඉන්නවා,

අපට පිඟන් ගඩොල් අල්ලපු නාන තටාකයක් වත්ත මැද තියෙද්දි, එයාලාට නාන්න තියෙන්නේ ඉමක් කොනක් පේන්නේ නැති කලපුවක්,

අපේ මිදුලේ, තාත්තා පිට රටින් ගෙන්නපු ලාම්පු හයි කරලා තියෙද්දි, අහස පුරා පායපු තරු මහා ගොඩක් තමයි එයාලාට තියෙන්නේ,

අපේ ගෙදර අංගනය ගොඩක් වියදම් කරලා හදලා, අපට ම වෙන් වෙලා තියෙද්දි, ක්ෂිතිජයට ම විහිදිච්ච එයාලාගේ ඉඩමට මායිමක්වත් නැහැ,

අපට අපේ වැඩ කරලා දෙන්න වැඩට කට්ටිය ඉඳිද්දි, එයාලා වටේ ම අයට වැඩ කරලා දෙනවා,

අපි අපේ කෑම කඩෙන් මිලදී ගනිද්දී, එයාලා ඒවා තමන් ම වවා ගන්නවා,

අපේ ගෙදර වටේට උසම උස තාප්පයක් තියෙන නිසා කාවවත් පේන්නේ නැහැ, කාටවත් පේන්නෙත් නැහැ, ඒත් එයාලා සේරම එකම ඉඩමක හදපු ගෙවල් වල ඉන්නවා වගෙයි”

තම පුතුගේ හැදෑරීම පිළිබඳ ව බොහෝ සෙයින් සතුටට පත් වූ පියා දයාවෙන් ඔහුගේ හිස පිරි මැදීය.

“ඉතිං තාත්තේ, ඔයාට ගොඩාක් ස්තුතියි අපේ දුප්පත් කමේ තරම මට මෙච්චර හොඳට පෙන්නලා දුන්නාට,”







පරිවර්තනය:

රන්දිකා රණවීර ප්‍රනාන්දු



කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි.

***********************************************************



ගඟට ඉනි කපන නෙක විධි තියේ...





එක්තරා රටක, තම සේවකයින් හට හොඳින් සලකන, සාධාරණ වේතන ගෙවන ලී වෙළෙන්දෙක් සිටියේය. දිනක් තරුණයෙකු රැකියාවක් පතා මේ වෙළෙන්දා සොයා ආ අතර ඔහුගේ බලාපොරොත්තුව සඵල විය.

තමන්ට පැවරෙන කවර කාර්යය වුවද හැකි උපරිම අයුරින් ඉටුකිරීමට ඉටාගත් තරුණයා පළමු දින හිමිදිරියේ ම රැකියාවට වාර්තා කළේය.

ශක්තිමත්භාවය නිසාම ඔහුට පැවරුණ රාජකාරිය වූයේ ගස් කැපීමයි. වෙළෙන්දා පොරවක් දී ඔහුගේ සීමාව පෙන්වා දුන්නේය.

පළමු දිනයේ බොහෝ වෙහෙස වී වැඩ කළ තරුණයා හවස් වනවිට විසල් ගස් දහඅටක් කපා බිම හෙලීමට සමත්විය.

“බොහොම සංතෝෂයි, ළමයා බොහොම සංතෝෂයි.

මේ විදිහට දිගට ම වැඩකරගෙන ගියොත් තමුන් ඉක්මනින් දියුණු වෙනවා සිකුරුයි”යි පැවසූ සාධාරණ වෙළෙන්දා ඔහුට දෛනික වේතනය ගෙවන විට වැඩිපුර ගණනක්ද එයට එකතු කරන්නට අමතක නොකළේය.

එයින්, වියයුතු පරිදීම ‍තව තවත් ධෛර්යයට පත් වූ තරුණයා පසු දා පෙරදාටත් වඩා මහන්සි වී වැඩ කළේය. නමුත් එදින ඔහුට කපා ගත හැකි වූයේ ගස් පහළොවක් පමණි. එයින් ඔහු මදක් සිත් තැවුලට පත් වූවත්, ඊට පසුදා වඩා පාන්දරින් පැමිණ රාජකාරිය ඇරඹීමට ඉටා ගත්තේය.

අවාසනාවක මහත! කෙතරම් මහන්සි වුවද, එදින ඔහු සතු වූයේ ගස් දහයක වාර්තාවක් පමණි. දවසින් දවස කැපෙන ගස් ප්‍රමාණය අඩු විය.

“අනේ දෙවියනේ, එන්න එන්න ම මගේ ශක්තිය හීන වෙලා යනවද? මං මොකද කරන්නේ, මුදලාලි මං ගැන මොනවා හිතනවා ඇද්ද?”යි සිතමින් තරුණයා වික්ෂෝප වන්නට විය.

අවසානයේ ඔහු වෙළෙන්දා හමු වී මේ කාරණය පැහැදිලි කරන්නට සිතීය.

“මහත්තයා, මට සමා වෙන්න, මං පුළුවන් තරම් උත්සහ කළා මුල් දවසටත් වඩා හොඳින් දිගට ම වැඩ කරන්න, ඒත් මටත් හිතා ගන්න බැරි හේතුවක් නිසා එන්න එන්න ම කැපෙන ගස් ගණන අඩු වෙනවා. මට බොහොම කණගාටුයි ඒ ගැන,” තරුණයා වෙළෙන්දා හමු වී තමන් පත් වූ කලබැගෑනිය හැකි අයුරින් පහදා දෙන්නට වූයේය.

වෙළෙන්දා මද සිනාවක් නගමින් හිස සැලීය.

“පුතා... කණගාටු වෙන්න කාරියක් නැහැ, මීට කලිනුත් ඔය වැඩේ වෙලා තියෙනවා, දැන් තමුන්ටත් වුණා, ඉදිරියට තව අයටත් වෙයි,”

ඒ අසා තරුණයා පුදුමයට පත් වූ අතර දෙවනුව වෙළෙන්දාගේ පැහැදිලි කිරීම අසා සිය මෝඩ කම ගැන අතිශයින් ලැජ්ජාවට පත්විය.

“තමුන් බොහොම මහන්සි වෙලා, වෙන කිසිම දෙයක් කරන්නේ නැතිව, වෙන කිසිම දෙයක් ගැන හොයා බලන්නේ නැතිව, උදේ ඉඳන් රෑ වෙනකම් ගස් කැපුවා,

ඒක මං දන්නවා.

දැන් මට මේක කියන්න බලන්න,

මේ පොරොව මුවහත් තියන්න උවමනායි කියන එක තමුන්ට ඒ කොයිම වෙලාවකවත් සිහි වුණේ නැහැ නේද?”




පරිවර්තනය:

රන්දිකා රණවීර ප්‍රනාන්දු



කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි.

***********************************************************



සාධක, තීරණ හා පිමි!




එක් ගමක විසූ තරුණයෙකු එහි ම විසූ තරුණියක පිළිබඳ ව කලෙක පටන් ආල සිතින් පසු වූයේය. දිනක් ඔහු, ගොවියෙකු වු ඇගේ පියා මුණ ගැසී සිය සිතැඟි ප්‍රකාශ කළේය. තරුණයා දෙස හොඳින් බැලූ ගොවියා සිය තීරණය මෙසේ විස්තර කරන්නට විය.

“මං නුඹට මගේ දුව කරකාර බන්දා දෙන්නම්. හැබැයි මං මේ කියන දේ කෙරුවාට පස්සේ”

“නුඹ අන්න අර පේන කුඹුරේ කැමති තැනක හිටගෙන ඉන්දැද්දී, මම මගේ ගාව ඉන්න පට්ටියෙන් ගොන් නාම්බෝ තුන් දෙනෙක් නිදහස් කරලා එවනවා. නුඹ එයින් එකෙකු අල්ලා ගත යුතුයි. වෙනත් කිසිවක් හෝ කිසිවෙකුගේ උදව්වක් හෝ නොගෙන නුඹ මෙය තනිව ම කළ යුතුයි. අන්න එදාට පුතා, මගේ දුව නුඹෙයි”

තරුණයා කාරණයට එකඟ වූයෙන් එදිනම ඒ සඳහා සුදුසු දිනයක් තීරණය කෙරිණ. නිවසට ගිය ඔහු කල්පනා කළේ නිරායුධ දෑතින් කරන කාර්යයක් බැවින් සතාට තමා පසුකර යන්නට ඉඩ දී වලගයෙන් අල්ලා ගැනීම වඩා ම සුදුසු බවයි.

දිනය එළැඹිණි. තරුණයා කුඹුර මැද සිටගෙන සිටියදී ගොවියා ගාලේ දොරටුව විවර කර පළමු සතා නිදහස් කර එව්වේය. එතෙක් මෙතෙක් දැක තිබූ විශාල ම ගවයා තමා දෙසට පිම්මේ දුව එන අයුරු දැකීමෙන් සලිත වූ තරුණයා, ඒ අවස්ථාව මග හරින්නට ක්ෂණික ව තීරණය කර පසෙකට වී ගවයාට යන්නට ඉඩ හැරියේය.

දෙවන වරට ද ගාලේ දොර විවර විය. එවර වලිගය වනමින් පිටතට පැන්නේ පෙරටත් වඩා විශාල, වඩා රෞද්‍ර පෙනුමැති සද්දන්තයෙකි. තවත් අවස්ථාවක් ඇති බව සිහිකර වහා පසෙකට වූ තරුණයා දෙවැන්නාට තමා පසුකර යෑමට ඉඩ සැළසීය.

අවසාන වරට ගාලේ දොර විවර විය. එවර තරුණයාගේ මුහුණ විසල් හිනාවකින් පුරවා දමමින් පිටතට පැමිණියේ එතෙක් ඔහු දැක තිබූ දුර්වල ම ගවයාය. ගොවියාගේ කෙවිටෙන් පහරක් කෑ ගවයා වැනි වැනී හැකි උපරිම වේගයෙන් දිව එන්නට විය. නිසි වේලාව ලං වනවාත් සමග ම තරුණයා වහා ඉලක්කය වෙත පැන්න මුත්, ඒ සතාට වලිගයක් නොමැති බව වටහා ගන්නා විට ඔහු පිම්ම වැරදී පියවර කිහිපයක් විසි වී ගොස් බිම වැටී හමාරය.



පරිවර්තනය:

රන්දිකා රණවීර ප්‍රනාන්දු



කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි.

***********************************************************



අභිප්‍රේරණයේ ආදීනව...


අශ්වයෙකුත් එළුවෙකුත් මිතුරුව වාසය කළෝය. මේ දෙදෙනා ම එකම ගොවිපොළක දිවිගෙවූ අතර දිනක් උන් හිටි හැටියේ අශ්වයා අසනීප විය.

“ඔබේ අශ්වයාට වෛරස් ආසාදනයක් තියෙන්නේ. මං දවස් තුනකට බෙහෙත් දීලා හැමදාම හවස් අතේ ඇවිත් පරීක්ෂා කරලා බලන්නම්.

තුන් වෙනි දවස වෙද්දිත් ගුණයක් පෙනුනේ නැත්තං අපට ඌව මරා දමන්නයි සිද්ධ වෙන්නේ” අශ්වයා පරීක්ෂා කර බලා පිටතට පැමිණි පශු වෛද්‍යවරයාගේ වදන් ඒ ආකාර විය.

සිය කළණ මිතුරාට සිදුවන්නට යන නස්පැත්තිය අසා එළුවා අතිශයින් කණගාටුවට පත්විය. වෛද්‍යවරයා බෙහෙත් දී පිටව ගිය වහාම අශ්වයා වෙත ආ එළුවා මෙසේ පවසා සිටියේය.

“කොහොම හරි නැගිටපං මගේ යාළුවේ, නැත්තං උඹට ලොක්කා අතින් සදාකාලික නින්දට පත් වෙන්නයි සිද්ධ වෙන්නේ”

දෙවන දිනයේදීත් වෛද්‍යවරයා පිටව ගිය වහා ම එළුවා අශ්වයා ඉදිරිපිට පෙනී සිටියේය.

“නැගිටපං අශ්වයෝ නැගිටපං, මෙහෙම ගියොත් නං ලොක්කා මරන්න කලින් නිකම්ම මැරිලා යන්නත් පුළුවන්, කොහොම හරි දනිපනි ගාලා නැගිටපං...!”

තෙවැනි දිනය උදාවිය. අශ්වයා පරීක්ෂා කර පිටතට පැමිණි වෛද්‍යවරයා, ගොවියාට මෙසේ කියනු එළුවා අසාගෙනය.

“දැන්නං බලං ඉඳලා පලක් නැහැ, කිසිම ගුණයක් පේන්න නැහැනේ. හෙට ම වැඩේ සූදානම් කළා නං හොඳයි. නැත්තං නිරපරාදේ අනිත් අශ්වයින්ටත් මේක බෝ වෙලා රංචුව ම වඳ වෙලා යයි”

ඒ අසා භීතියෙන් මුසපත් වුණු එළුවා වහ වහා අශ්වයා වෙත දිව ගියේය.

“ඉවරයි ඉවරයි සේරම ඉවරයි. දැන් නැගිට්ටේ නැත්තං ආයේ නැගිටීමක් නැහැ.

නැගිටපං මේ දැන්ම!. ගනිං ඇඟට නැති හයිය හිතට!

ඉක්මන් කරපං. අන්න හරි! හිමින් හිමින්... අන්න එහෙම, අන්න එහෙම...

හෙමින් හෙමින් අඩිය තියපං...

ටික ටික වේගේ වැඩි කරපං... අන්න හරි... එකයි දෙකයි තුනයි... නියමයි!

දුවපං... තව වේගෙන්... තව වේගෙන්...

විශිෂ්ටයි... උත්කෘෂ්ටයි... උඹයි අද වීරයා...මගේ යාළුවේ උඹයි අද වීරයා...!”

සිය රංචුවේ වූ වටිනාම අශ්වයාට උදා වූ අවාසනාව පිළිබඳ ව මනස්තාපයෙන් පෙළෙමින් ගොවියා අශ්වගාල දෙසට ඇදෙන්නට වූයේ මේ අතරතුරේදිය. මැරෙන්න ඔන්න මෙන්න මෙන් වැටී පණ අදිමින් සිටි සතා ඉවක් බවක් නැතිව මිදුල පුරා දුවන ආකාරය දැකීමෙන් මුලින් පුදුමයටත් දෙවනුව අතිශයින් සංතෝෂයටත් පත් වූ ගොවියාගේ කෑ ගැසීම අසා නිවැසියෝ එතනට දිව ආවෝය.

“දෙවියනේ... ඔබ මට කන් දුන්නා,

ඒක ආශ්චර්යයක්... ඒක ආශ්චර්යයක්..

පුතේ මේ බලාපං මේ පුදුමේ... අද රෑ අපි මේ සතුට සමරන්න ඕනෑ...

ගෙනෙන් මහා පිහිය විගහට...

දැන්ම ම මේ එළු නාම්බා මරලා මස් කර ගත්තොත් අපට සාදයේ කටයුතු වේලපහ පිළියෙල කර ගත්තැහැකි”



පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු

කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි.

***********************************************************

පසු ලිවීම

තුන් අවුරුදු පාඨමාලාවක් හදාරමින් ඉන්න කොට දෙවැනි අවුරුද්දේ පුතා ලැබෙන්න ආවා.

දෙවැනි අවුරුද්දේ විභාගය වෙද්දි පුතා ලැබෙන්න මාස 2යි ඉතිරිව තිබුණේ. ඊට පස්සේ පුතා ලැබුණාට පස්සේ ආව ප්‍රථිඵල වලට අනුව මම හොඳින් සමත් ව හිටියත් තුන්වැනි අවුරුද්ද අත් හැරියේ අපට පසු කණ්ඩායමත් එක්ක ඊ ගාව අවුරුද්දේ තුන් වැනි අවුරුද්ද කරන්න හිතාගෙන. එහෙමම කළා. ඒත් යලට මහට ක්ලාස් ගිහින් හරි හමන් නෝට් එකක්වත් 80% පැමිණිමත් නැතුව මුහුණ දුන්නු අලකලංචියට පිහිට වුණේ ඒ පංතියේ හිටපු මගේ යාළුවා වුණු නංගි කෙනෙක්. 

එයා හැබෑ දක්ෂයෙක්. එයාගේ අකුරු මුතු කැට වගේ. පොත් ටික මුතු පොකුරු වගේ. කොටින්ම එයා මුතු බෙල්ලෙක්.

ඉතිං පංති හරියට ආපු පොත් ටික සම්පූර්ණව තිබුණු සමහර ළමයින් පවා වැඩි හොඳට එයාගේ පොත් ෆොටෝ කොපි ගහලා ලඟ තියා ගත්තා. මං ගැන කවර කථාද? මං විභාගේ සම්පූර්ණයෙන් කළේ එයාගේ පොත් වලින්. විභාගේ කිට්ටුව ගෙදර වැඩට හිටපු මනුස්සයා මාසයකුත් දවස් ගාණක් දීපවාලි සමරලා ආපු පිනෙන් කන්තෝරුවෙන් ස්ටඩි ලීව් කියන ඒවා ඉල්ලන්න දිව නමා ගන්න බැරිව ගිහින් තව තවත් අපහසුතාවට පත් වුණු මට සති අන්ත දෙකකදි අමාරුම විෂයයේ සියලුම අමාරු ගැටළු විසඳන්න කියලා දුන්නේ ඒ නංගි. දෙවැනියට අමාරුයි වගේ තිබුණු විෂයයන් කෙස් අග එල්ල ගන්නත් එයා මට ගොඩක් උපකාර වුණා. විභාගේ දවස් වල එයා හිටියේ අපේ ගෙදර. අපි රෑ එළිවෙනකම් පාඩම් කළා. අපි විභාගය හොඳින් කළා.

අවසානයේ ප්‍රථිඵල ආවා. අර අමාරුම විෂයයට පංතියේ තිබුණු උපරිම සාමාර්ථය 'C' සාමාර්ථය. එයින් දෙකයි පංතියට තිබුණේ. එකක් මට. අනිත් එක වෙන නංගි කෙනෙකුට. මට උපකාර වුණු නංගි ඒ විෂයයෙන් අසමත්ව හිටියා.

අද පළ කරපු කථා අතුරින් අන්තිම කථාව දුෂ්ට වැඩියි කියලා හිතෙනවා නං මේ ඇත්ත කථාව ගැන මොකද හිතෙන්නේ. ! 


Friday, March 18, 2016

400. එෂැණිං පුවක් 9 - " ජීල බලඤ්ඤ මම කොරල පෙඤ්ඤඤ්ඤා " කෝළම ලාංකේය කෝළම් සම්ප්‍රදායේ නව නැම්මකි.




කොළඹ හයිඩ් පිටියේ ඊයේ රඟ දැක්වුනු නවතම "ජීල බලඤ්ඤ මම කොරල පෙඤ්ඤඤ්ඤා" කෝළම පිලිබඳ කලා විචාරකයෝ මහත් ප්‍රසාදයෙන් කථා කරති.

ලාංකේය කෝළම් සම්ප්‍රදායේ ජසයා සහ ලෙංචිනා කෝළම පරදවන මට්ටමේ සාර්ථක රංගනයක් මෙහිදී ඉදිරිපත්වුනු බව බොහෝ මැදහත් විචාරකයින්ගේ මතයයි. "ජීල බලඤ්ඤ" කෝළමෙහි ප්‍රධාන චරිතය ලෙස බම්මන්නා නොහොත් කෝණංගියා රංගාවතරණය දේශීය කෝළම් කලාවේ නව අත්හදා බැලීමක් බව සුප්‍රසිද්ධ කෝළම් උපදේශක ලෙමන් පෆ් කෝළමේ නිර්මාතෘ මෝඩවංශ මහල්ලා සහ මුහුද මහතා එකහෙලාම ප්‍රකාස කර සිටියේය.

සාමාන්ය කෝලම් සම්ප්‍රදායේ බම්මන්නා යනු විටින් විට සබයට පිවිසෙන අවශේෂ චරිතයක් වන නමුදු "ජීල බලඤ්ඤ" කෝළමෙහි පලමුව වේදිකාවට පිවිසෙන බම්මන්නා සම්පූර්ණ කාළය වේදිකාවේ රැඳීසිට ගායනයේ යෙදෙයි. ඊයේ රඟ දැක්වුනු ඒ සම්භාව්‍ය කෝළම පිළිබඳව විස්තරයක් පහත සඳහන් වේ.

කුරහන් සාටකය ගෙල වටා ඔතාගත් බම්මන්නා වේදිකාවට පිවිසේ. පිටැන්න පුරා රැඳී සිටින බයියෝ මෙලෝ සිහියක් නැතිව ප්‍රීති ගෝසා පවත්වති. 

අපේ හොරා අපට හොඳා, 
අපේ හොරා අපට හොඳා,

සාටකය දෑතට ගෙන ප්‍රේක්ෂකාගාරයට ආචාර කරන බම්මන්නා වේදිකාවේ පසෙකට වෙයි.

දණිස් දක්වා ඇඳි කෙටි සායවලින් සැරසුනු මෝඩවංස, දියනේස්, ඇතුලු පුහුණුවන බම්මන්නං කණ්ඩායම වේදිකාවට පැමිණ නටමින් මෙසේ ගයති.

බැරිනං ජීල බලඤ්ඤ, 
මම කොරල පෙඤ්ඤඤ්ඤා,

තුන්වරක් මෙසේ ස්ථායී කොටස ගායනා කල පසු නැටුම් කණ්ඩායම වේදිකාව පසුපසට ගොස් තාලයට කකුල් සොලවමින් සිටිති. මේ අතර බම්මන්නා වේදිකාව ඉදිරිපසට එයි ඔහු ගයන්නේ උරුට්ටු කොටසයි.

මත්තල මම හැදුව පිටැන්නක්,
ආසියන්තර නේන,
ලෝකේ ලොකුම වතුරවල,
යලට මහට නැව් එන,

මෙසේ ස්ථායි කොටස පුහුණුවන බම්මන්නන් විසින්ද උරුට්ටු කොටස ප්‍රධාන බම්මන්නා විසින්ද මාරුවෙන් මාරුවට ගයනු ලැබිණි. ප්‍රධාන බම්මන්නා වේදිකාව ඉදිරිපසට එත්ම රැස්ව හිඳිනා බයියෝ මාරාවේශ වූ ලෙස විලාප තබන්නට ගන්නෝය. 

අපේ හොරා අපට හොඳා,
අපේ හොරා අපට හොඳා,

කෝළමෙහි ඉතිරි කොටස් මෙසේය.

බැරිනං ජීල බලඤ්ඤ, 
මම කොරල පෙඤ්ඤඤ්ඤා,

ලසන්තල ප්‍රගීත්ලගෙනුත් අහඤ්ඤ,
රවිරාජුයි තාජුඩිනුත් ඉන්නව ඔඤ්ඤ,
කොරපුව මම උංදල යස රඟට කියාවී,
අපි එහෙමයි වැඩ කලෙ මේ වාගෙ නං නෙවෙයි,

බැරිනං ජීල බලඤ්ඤ, 
මම කොරල පෙඤ්ඤඤ්ඤා,

නුවර වැව වටේ,
රේසුත් පැද්ද මගෙ එවුං,
ගෝටා බල්ලො ගෙනාවා,
පෙලෙං එකක් වෙං කරං,

බැරිනං ජීල බලඤ්ඤ, 
මම කොරල පෙඤ්ඤඤ්ඤා,

බැසිලා ගැහුව ගැහිල්ලක්,
නැඟුමේ කෑලි හැලෙන්ට,
මගෙ කුකුල් මස්සිනා,
සිරිලංකං ඔක්කොම කෑවා,

බැරිනං ජීල බලඤ්ඤ, 
මම කොරල පෙඤ්ඤඤ්ඤා,

බැරිනං ජීල බලඤ්ඤ, 
මම කොරල පෙඤ්ඤඤ්ඤා,

බැරිනං ජීල බලඤ්ඤ, 
මම කොරල පෙඤ්ඤඤ්ඤා,

ක්‍රමයෙන් ගායනය වියැකී යන අතර බම්මන්නා බුරුසුව අඹරවමින් සාටකය කරකවමින් වේදිකාවෙන් සමුගනී.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...