Here we go around the mulberry bush...... |
අවුරුදු හතරකට පස්සෙ ඔන්න ලංකාවට ආපි. සාමාන්‍යයෙන් අවුරුද්දක් මැද පෙරදිග වැඩ කලහම මාසයක් පඩි සහිත නිවාඩු දෙනව. ඒත් මගෙ පාරුවේ පුවක් කියන්නෙ මම වැඩ කරපු සමාගම් දෙකකින්ම මට අයින් වෙන්ට සිද්ද වුනේ අවුරුද්දක් වැඩකරල වාර්ෂික නිවාඩු යන්ට ඔන්න මෙන්න කියල තියෙද්දි.ඉතිං මක්කා කොරන්නෙයි ගෙදර යැවිල්ල පැත්තක තියල පත්තරවලයි, නෙට් එකෙයි මගෙ විස්තර දැම්ම. සිටුවේෂන් වෝන්ටඩ් කියල.
ඉනික්බිති ඉන්ටර්වීව් වලට කතා කලාම ටයි පොල්ලකුත් බෙල්ලෙ ගැටගහගෙන සැටිපිකට් ගොන්නත් රෝල් කරල කිහිල්ලෙ ගහගෙන ඉන්ටර්වීව් වලට යන්ට ගත්ත. බොරතෙල් මිල අවපතනය හින්ද මේ දවස්වල මෙහෙ ඉදිකිරීම් ක්ෂේත්රය ටිකක් විතර අර්බුද සහිතයි. ඒ හින්ද රස්සාවක් හොයාගන්ට ටිකක් කල්ගියා. රස්සාවක් හම්බ වුනාමත් හා පුරා කියල අලුත් බොස් ගාවට ගිහිල්ල කියන්ට පුලුවනැයි "මම අවුරුද්දකින් ගෙදර ගියේ නෑ මාසෙකට ගෙදර යන්ට ඕමනයි" කියල. හෙහ්..පයිං ගහල එළවල දාවි එතනිං.
හරි හරි ඒ රස්සා නැතිවිල්ල සහ අලුතෙං රස්සා හෙවිල්ලත් මාරම අත්දැකීමක්. ඒ ගැන සවිස්තරව පස්සෙ ලියන්නංකො.
ඉතිං ඔය ආකාරයට කොහොමිං කොහොමිං හරි මට අවුරුදු හතරක් ගෙදර එන්ට ලැබුණෙ නැහැය කියමුකො. හැබැයි ඒ අතර දෙපාරක් අපේ භාර්යා තොමෝ එහාට ආව. ඇවිල්ල මාසයක් වගෙ ඉඳල ආපහු ආව.
ඉතිං සුමාන දෙහෙකට ඉස්සර වෙලා මම ගෙදර ආව ඔන්න.
පාස්පෝට් එකක් නිකුත් කරන්නෙ අවුරුදු දහයකටනෙ. මගෙ පාස්පෝට් එක මේ ඔක්තෝබර් 16 වෙනිද අවලංගු වෙනව.ඉතිං ආපහු වැඩට යන්ට කලින් පාස්පෝට් එක අලුත් කරගන්න එක අනිවාර්යයෙන් කලයුතු දෙයක්. ආගමන විගමන දෙපාර්තමේන්තුවෙ ශාඛා කාර්යාලයක් නුවරත් විවෘත කලා දැන් අවුරුදු පහ හයකට ඉස්සර. වැව රවුමෙ මහාමායා බාලිකාව ලඟම. පහුගිය සුමානෙ දවසක මම ඔතෙන්ට ගියා මගෙ වැඩේ කරගන්ට.
ඊට කලිං ඉමිග්රේෂන් ඩිපාට්මන්ට් එකේ වෙබ් සයිට් එකට ගියා විස්තර බලාගන්ට. ඒකෙන් ගමන් බලපත්‍ර අලුත් වැඩියා කිරීමේ අයදුම් පත්‍රයකුත් බාගත කොටගෙන පියා එයද නිසි පරිදි පුරවාලාපියා තමයි මම ඔය ආගමන සහ විගමන කාර්යාලයට ගියේ. පාන්දර අට වෙනකොට එතනට ගියත් ඒ වෙනකොටත් එතන පෝලිම විස්සක් විතර.
පෝලිම කිව්වම මට මතක් වෙන්නෙ පෝලින් ඩි කෲස්, ලංකාවෙ සුප්‍රසිද්ධ ඝාතන නඩුවක විත්තිකාරිය. කුඩා දරුවකු ඝාතනය පිළිබඳව ඇයට මරණ දඬුවම නියම වුනත් එවකට අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතා ඇගේ දඬුවම ලිහිල් කරනවා. 1980 වගෙ ඇය බන්ධනාගාරයෙන් නිදහස් වෙනවා.ඒ නඩු තීන්දුව වැදගත් නඩු තීන්දුවක්. කිසිදු ඇසින් දුටු සාක්ෂියක් හෝ පාපෝච්ඡාරණයක් හෝ අපරාධය සිදුකිරීමට පැහැදිලි හේතුවක් හෝ නොමැතිව වුවද සම්පූර්ණයෙන්ම පරිවේෂණීය සාක්ෂි මත පිහිටා මරණ දඬුවම නියම කිරීමක් ඉන් පෙර ලංකා අධිකරණ ඉතිහාසයේ සිදුවී නොමැති බවයි සඳහන් වෙන්නේ.
ඔය වගෙ ලංකා අධිකරණ ඉතිහාසයේ වැදගත් නඩු විභාග කීපයක්ම තියෙනවා.ආටිගල මිනීමැරුම, සතාසිවම් මිනීමැරුම, කලත්තෑවේ සොයිසා නඩුව, ඇඩ්ලින් විතාරණ ඝාතන නඩුව..ඒවා මම දන්න කාලයට ඉහත සිද්ද වෙච්ච එව්ව. මම දන්න කාලෙ විභාග වෙච්චි සුප්‍රසිද්ධ නඩුත් කීපයක් තියනව. කතරගම මනම්පේරි ඝාතනය, ඊලඟට තිස්මඩ මිනීමැරුම, මැතිව් පීරිස් නඩුව, චන්ද්‍රසේකර ඩයස් ඝාතන නඩුව.
ආටිගල ඝාතන නඩුව සුවිශේෂී එකක් වෙන්නේ එයින් මරණ දඬුවම් ලද චූදිතයා සර් ජෝන් කොතලාවල මහතාගේ පියා වීම නිසයි. මගෙ පරණ ලාච්චුවක් අවුස්සද්දි මට ඒ නඩුව ගැන අපූරු විස්තරයක් හමුවුනා. ඒ ගැන සවිස්තරව ලිවීම පසුවට කල් තබන්නෙමි.
ඕනනම් ඔය කියාපු නඩු විභාග ගැන ගොමු තැලුවැහැකි තව මාස හයක් විතර...හෙහ්,හෙහ්, හරි හරි කලබොල වෙන්ට කාරි නෑ. ඒ නිකමට කිව්වෙ. එහෙම ගොමු තලන්ට මගෙ කිසිම අදහසක් නෑ.
රයිට් එව්ව ඕන නෑ. ඉතිං මම ඔන්න පෝලිමේ ඉස්සරහටම ගියාය කියමුකො.
ඉටිකිරිස් ලේඬීස් කෙනෙක් හිටිය ආය නෑ හරියටම අර කවුද ටෙලි නාට්‍ය නිළියක් ඉන්නෙ අන්න ඒ වගේමයි. බෙල්ලෙ එල්ලල තිබ්බ නේම් ටැග් එක. වැඩේ කියන්නෙ ඒකෙ අකුරු බොහොම කුඩයි. ඉස්සරහට නැමෙන්ට ඕන නම කියවගන්ට. නම කියෝගන්ට මම ඉස්සරහට නැමුනහම ඒ ඉටිකිරිස්ලතා බයවෙච්චි පාර ඇස් දෙකත් ලොකු කරගෙන පස්සට විසිවුනා. මම බොහෝම අහිංසක විදිහට හිනාවුනා. "වින්ධ්‍යානි - කලමණාකරණ සහකාර" එහෙමයි නේම් ටැග් එකේ ගහල තිබ්බෙ.
"මිස් මගෙ පාස්පෝට් එක අලුත් කරගන්න ඕන" ඇප්ලිකේෂන් එකයි පරණ පාස්පෝට් එකයි දික්කරමින් මම කිව්ව.
"දැන් පාස්පෝට් අලුත් කරන්නෙ නෑ" වින්ධ්‍යානි මිසී බොහොම ගාම්බීර හඬකින් මට දැනුම් දුන්නා.
"ඒ කිව්වෙ?"
"ඒ කිව්වෙ පරණ පාස්පෝට් එක කල් ඉකුත්වෙලානම් අලුතෙන්ම පාස්පෝට් එකක් ගන්ට ඕන."
"හැබැයි ඉතිං ඔහේලගෙ වෙබ් අඩවියේ නම් පාස්පෝට් එක අලුත් කරන්ට පුරවන්ට ඕන අයදුම්පත පවා තාමත් තියනව. ඔය විස්තරේ ඒකෙත් යාවත්කාලීන කලානම් හෙණ ගහනවද?" මම එහෙම කිව්වෙ නෑ කට ඇතුලෙං සුටු පුටු ගෑව විතරයි.
"හරි...හරි….දැං මොන මොනවද ඒකට අවශ්‍ය කරන ලියකියවිලි?"
"උප්පැන්න සහතිකෙයි. ඒකෙ ෆොටෝ කොපි එකකුයි, ජාතික හැඳුනුම් පතයි, ඒකෙ ෆොටෝ කොපි එකකුයි,පරණ පාස් පෝට් එකයි, ඒකෙ ෆොටෝ කොපි එකකුයි, ලඟදි ගත්තු ෆොටෝ එකකුයි"
වින්ධ්‍යානි සුරතේ දබරැඟිල්ල ආධාරයෙන් වමතේ ඇඟිලි එකිනෙක පිළිවෙලින් නවමින් උත්තර දෙනව දැකල මට සැණෙකින් මතක් වුනේ ඔය රූපවාහිනියෙ, ස්වර්ණවාහිනියෙ එතනින් ගියාම සිරසෙ, දෙරණෙ එහෙම රතුඉර, වාදපිටිය එතනින් ගියාම සටන, සංග්‍රාමයට එහෙම ඇවිල්ල අනුර කුමාර දිසානායක උන්නැහැ ඔය විදිහටම ඇඟිලි නමමින් කතා කරන විදිහ.
"හරි පැහැදිලියි මෙතන වෙන්නෙ මොකක්ද කියල, ඉස්සෙල්ලම ඇමතිතුමා ටෙන්ඩර් එකට අනුමැතිය ගන්නව" (එහෙම කියල අනුර කුමාර වමතෙ සුළඟිල්ල නවනව දකුණු අතේ දබරැඟිල්ලෙන්) "ඊට පස්සෙ ටෙන්ඩර් එක කැඳවනව" (දැන් වමතෙ වෙදඟිල්ල නමනව) "ඇමතිතුමාගෙ සහෝදරයත් ටෙන්ඩර් එකක් ඉදිරිපත් කරනව" (එහෙම කියල නමන්නෙ වමතෙ මැදඟිල්ල) "ඒ ටෙන්ඩර් සමාලෝචනය කරන මණ්ඩලෙත් ඇමතිතුමා ඉන්නව" (වමතෙ දබරැඟිල්ල) "අන්තිමට සමාලෝචනයෙන් අංක එකට තේරෙන්නෙ ඇමතිතුමාගෙ සහෝදරයගෙ ටෙන්ඩර් එක" (දැන් නමන්නෙ වමතෙ මහපට ඇඟිල්ල)
කොහොම උනත් ජේ.වී.පී. එක මරාගෙ වගේම යහ පාලන ආණ්ඩුවෙත් දූෂණ සහ වංචාවන්ට විරුද්ධව ගෙනියන සටනට නම් මම බොහොම කැමතියි.
වින්ධ්යානිත් ජේ.වී.පී.ද මන්ද. "මේ මම දෙයක් අහන්ටද තරහ වෙන්නෙ නැත්තං? ඔයා ජේ.වී.පී.ද?" මට එහෙම අහන්ට කටටම ඇවිල්ලත් ආය මොකටද කියල හිතල ඒ වචන ගිලගත්ත.
"මිස් ඇප්ලිකේෂන් එක දීල කොච්චර කල් යනවද අලුත් පාස් පෝට් එක අතට හම්බවෙන්ට?"
"සති තුනක් ඇතුලත තැපෑලෙන් හම්බවෙයි" වින්ධ්‍යානි ඒ වෙලාවෙ නම් ඇඟිලි නැව්වෙ නෑ.
ඉතිං මොකක් කරන්නද? මම පාස්පෝට් ඔෆිස් එකෙන් එළියට බැහැල ආව එන්ට.
දවස් තිහයි මගෙ නිවාඩුව තියෙන්නෙත්. දැනටම ඒකෙන් දවස් හයක් ගිහිල්ල. අලුත් පාස් පෝට් එක එන්ට සති තුනක් යනව කියන්නෙ අද ඇප්ලිකේෂන් එක බාරදුන්නත් මම ආපහු යන්ට දවස් තුනකට කලින් තමයි පාස් පෝට් එක හම්බ වෙන්නෙ. ඒකත් තැපෑලෙන් එන හින්ද එතන මොකක් හරි හුටප්පරයක් වෙලා පාස්පෝට් එක නියම වෙලාවට හම්බ වුනේ නැත්තං එහෙම බබිත් සුං බබීගෙ අම්මත් සුං තමයි.මට නියමිත දිනේට ආපහු යන්ටත් බැරිවෙනව.
රුපියල් දහදාහක් ගෙව්වම එක දවසිං පාස්පෝට් එක ගන්ටත් පුලුවං. ඒත් වන් ඩේ ඉන්ටර්නැෂනල් වැඩේ තියෙන්නෙ කොළඹ පමණයි. නුවර ඒ සෙල්ලම් නැත. ඒ හින්ද කොහොමත් වැඩේ කරගන්ට වෙන්නෙ කොළඹින්ම තමයි.
කෝකටත් ෆොටෝ එකකුත් ගන්ට එපාය. එහෙම හිතල මම නුවර ටවුම මැදම තියෙන ස්ටුඩියෝ එකකට ගොඩවුනා. එතනත් රිසෙප්ෂන් එකේ හිටියෙ ගෑණු ළමයෙක්.
"මිස් මට පාස්පෝට් ෆොටෝ එකක් ගන්ට ඕන. හෙට වගෙ ගන්ට පුලුවන් වෙයි නේද?"
"සර් මෙහෙමයි. දැන් පාස්පෝට් ෆොටෝස් අතට දෙන්නෙ නෑ"
"ඈ?.... එතකොට?"
"එව්ව අපි කෙලිම්ම ඔන් ලයින් අප්ලෝඩ් කරනව ඉමිග්රේෂන් ඩිපාට්මන්ට් එකේ වෙබ් සයිට් එකට. ඒ කරල සර්ගෙ අතට නොටිෆිකේෂන් එකක් දෙනව අප්ලෝඩ් කලාය කියල. පාස්පෝට් ඇප්ලිකේෂන් එකත් එක්ක ඒක අමුණල දෙන්ට ඕන"
මළ කෙලියයි, අර වින්ධ්‍යානි ළමය මට මේ ගැන කිසිම විස්තරයක් කිව්වෙ නෑනෙ. නෑ..නෑ..ඒ ලමයට අමතක වෙන්ට ඇති.ඔව්..එහෙම තමයි වෙන්ට ඇත්තෙ. සුවල්ප වැඩ රාජකාරි තියෙන ළමයෙක්ද හැබෑටම..මම වින්ධ්‍යානි සියලු වරදින් නිදොස් කොට නිදහස් කළෙමි.
"හරි කීයද ගාණ පාස්පෝට් ෆොටෝ එකකට?"
"රුපියල් හාරසීයයි"
මම ගෙව්ව හාරසීය.
"හරි සර් මේ චිට් එකත් අරගෙන උඩට යන්ට. අපෙ ස්ටුඩියෝ එක උඩ තට්ටුවෙ තියෙන්නෙ"
රිසෙප්ෂන් කවුන්ටර් එක අයිනෙම්ම තිබ්බ යන්තං අඩියක් වගෙ පළල ලී පඩි පෙළක්. එක පඩියක උස ඇති අඩියක් විතර. මගෙ වම් දණහිසේ හිටපු ගමං දරුණු කැක්කුමක් එනව විශේෂයෙන් එක දිගට පඩි විස්සක් වගෙ නඟිද්දි.
මම එහෙදි දොස්තර කෙනෙකුට ඔය විස්තරේ කිව්වම ඒ මනුස්සය මගෙ වයස අහල කියපි " ආ.. ඒක එච්චර ගණං ගන්න එපා ඔය වයසට ඔහොම වෙනව" කියල. ඒ ගමන මම ඇහුව "ඉතිං ඩොක්ටර් මගෙ දකුණු දණහිසටත් ඒ වයසමනෙ. ඇයි ඒකෙ ඒ වගේ කැක්කුමක් එන්නෙ නැත්තෙ?" කියල.දොස්තරත් අපරාදෙ කියන්ට බෑ ජොලි බුවා. පොර කියපි "ඒකත් ඇත්ත තමයි බලාගෙන යනකොට. එහෙමනම් ෂුවර් එකටම ඔයාගෙ දකුණු දණහිස වම් දණහිසට වැඩිය බාල ඇති කියල"
ඉතිං කොහොම හරි වම් දණහිසට අතකුත් තියාගෙන මම අර පටු පඩිපෙළ නැඟල උඩ තට්ටුවට ගියා.ට්‍රයිපොඩ් එකක් උඩ අටවපු කැමරාවකුයි අර ෆොටෝ ගන්නකොට ඉහලන සුදු කුඩ හතර පහකුයි නම් තියනව. "සුදුකුඩ ඉහලන මල් වරුසාවේ......." ඒ සිංදුවත් මුමුණමින් මම පොඩි සෝදිසි පාරක් දැම්ම. ම්ම්ම්ම්හු... මෙලෝ යකෙක් නෑ පේන්ටවත්.
"කවුද ගෙදර? හලෝ..කවුද ගෙදර?" මම ඒ එක්කම තිබ්බ ෆෝමිකා මේසෙකට දෙතුන් පාරක් ගහල කෑගැහුව. ම්හ්ම් කවුරුවත්ම නෑ. ෆෝමිකා මෙසේ උඩ තිබ්බ ඩෙස්ක් ටොප් එකක්. ඒ සී එකකුත් නම් තියනව. ඒත් වැඩ කරන බවක් නම් පේන්ට නෑ.
හතර වටෙන්ම සීල් වෙලා හින්ද විනාඩියක් යන්ට වුනේ නෑ ඉහිං කණිං දාඩිය වැක්කෙරෙන්ට ගත්ත. මට කොහොමත් දාඩිය දානව ටිකක් වැඩියි.යන්තං අඩි දෙසීයක් පයිං ගියාද කුඹුරු අක්කරයක් කෙටුව වගෙ දාඩිය දාන්නෙ.
ටිකක් හෝදිසි කරල බලද්දි මම දැක්ක සීලිමේ ෆෑන් එකක් එල්ලල තියනව. එතනම තිබ්බ ස්විච් එක දැම්මම මෙන්න ඇස් වහක් කටවහක් නෑ ෆෑන් එකනං බබා වගේ වැඩ කරන්ට ගත්ත. ඒත් ඒකත් අර රොටේටිං නොහොත් වටේට කරකැවෙන වර්ගයෙ එකක්. එක තැන හිටගෙන උන්නම ෆෑන් එක වටේට ගිහිල්ල ආපහු එනකල් ඉන්ට වෙනව හුළං පොදක් වද්ද ගන්ට. ඕක කොරන්ට ඇහැක? මගෙ මේ ඉහිං කණිං දාඩිය. ඒ පාර මම කලේ ෆෑන් එක කරකැවෙන කොට ඒ එක්කම රවුමෙ යන්ට පටං ගත්ත. ඒ පාරනං ඔන්න ටිකක් දාඩිය එහෙම නිවිල එක විදිහක් වුනා කියමුකො.
ඔන්න මට ඉතිං වැඩේ නැඟල ගියා. මොන්ටිසෝරි යන කාලෙ මොන්ටිසෝරි මිස් උගන්නපු පොයම් එකකිං කොටසකුත් කිය කිය මම වටේ යනව.
Here we go round the mulberry bush,
The mulberry bush,
The mulberry bush.
Here we go round the mulberry bush
So early in the morning.
This is the way we brush our teeth,
Brush our teeth,
Brush our teeth.
This is the way we brush our teeth
So early in the morning.
මේ ඒ පොයම් එකේ සිංහල වර්ෂන් එක…
අපි මෙහෙමයි දත් මදින්නෙ,
අපි මෙහෙමයි දත් මදින්නෙ,
අපි මෙහෙමයි දත් මදින්නෙ පුංචි බුරුසුවෙං,
"ඔහොම නෙවෙයි දරුවනේ..ඔය පොයම් එකේ තාලෙට ඇඟත් නැටවෙන්න ඕන"
අපි ඇච්චො බැච්චො අත් අල්ලගෙන වටේට යනකොට අපේ මොන්ටිසෝරි මිස් එහෙම කියල තාලෙට යන විදිහ කියල දෙනව මට තාම මතකයි. අපි සුට්ටං කොල්ලො කෙල්ලො මිස් පස්සෙං ඒ විදිහට නට නටා යනව.
ඇත්තම කිව්වොත් සද්දයක් ඇහුනෙමත් නෑ. ඒත් මා දිහා කවුද බලා ඉන්නව කියල ඉවෙං වගෙ තේරිල මම හැරිල බැලුව. පඩි පෙලෙං ගොඩ වෙන තැන ඉන්නව හිටගෙන කෙට්ටු කොල්ලෙක්. වයස විසිපහක් වගෙ ඇති. ඊට පිටිපස්සෙ හිටගෙන ඉන්නව අර පල්ලෙහා තට්ටුවෙ රිසෙප්ෂන් එකේ හිටපු කෙල්ල. දෙන්නම ඇස් ලොකු කරගෙන මා දිහා බලා ඉන්නව.
"අ..පි..මෙ..හෙ..ම..යි..ද..ත්..ම..දි..න්..නෙ..පුං..චි..බු..රු..සු..වෙං.." මීට අර්ධ ශත වර්ෂයකට වගෙ ඉස්සර මොන්ටිසෝරි මිස් කියා දුන්නු විදිහට පොයම් එක ඉවර කරල මම නැවතිල අර කොල්ලයි කෙල්ලයි දිහා ඔලුව උස්සල බැලුව.
"මාර රස්නයක්නෙ මේකෙ උඩ තට්ටුවෙ තියෙන්නෙ. මොන විදිහට වත් ඉන්ටම බෑනෙ" මම එහෙම කියල ෂර්ට් එක ඈත් කරල පපුවට හුලං ටිකක් පිඹ ගත්ත.......