|
ලී බංකුවක් මත තැබූ කහ පැහැති මලක්.. |
Coincidence නැත්නම් සමපාත සිදුවීම් ගැන දන්නව නේද? ඒ කියන්නෙ එකිනෙකට කිසිදු සම්බන්ධයක් නැතැයි බැලූ බැල්මට දිස්වන සිදුවීම් දෙකක් එකවර එහෙමත් නැත්නම් ඉතා කෙටි කාල පරාසයක් තුල සිදුවීම. ඈස් ඇන් එග්සාම්පල් මේ වගෙ එකක්. කාලෙකින් හම්බවෙච්චි නැති යාලුවෙක් ඔන්න හීනෙං දැක්කයි කියමු. "මොකද එහෙම දෙයක් උනේ කවදාවත් නැතුව?" කියල පහුවදා හිත හිත ඉන්නකොට මෙන්න උගෙං කෝල් එකක් එනව. "මචං බොහොම අමාරුවෙං උඹේ නොම්මරේ හොයාගත්තෙ? ඉතිං ඉතිං කොහොමද දැං?" ඔන්න ඔහොම කියල...හෙහ්,හෙහ්,
මගෙ ජීවිතේ බොහොම බහුල සිදුවීමක් ඔය Coincidences කියන එව්ව. මම ඇවිල්ල හිටං සමපාත සිදුවීම් ප්‍රණත පුද්ගලයෙක් කියලත් කිව්වැහැකි...හෙහ්,හෙහ්.. ඉංගිරිසියෙන් කිව්වොත් Coincidences prone. Prone කියන එකේ සිංහල වචනෙ ප්‍රණත කියල මට කිව්වෙ මගේ හිතවත් මදුරතුමා.
අද මේ කියන්න යන්නෙත් එහෙම සිදුවීමක් පිළිබඳව.
පහුගිය සතිඅන්තෙ ඒ කිව්වෙ කිවිදා මට ආරාධනාවක් ආවා මගෙ පරණ මිත්‍රයෙක්ගෙන් දිවා භෝජන සංග්‍රහයකට. අදාල මිත්‍රයා දැනට අවුරුදු හතරකට වගෙ කලින් දරුවො පාසල් යන වයසට එනකොට තම දරු පවුලත් හා සමඟ පෙරලා ශ්‍රී ලංකාවට ගිහිල්ල ඔන්න ඔය වාද්දුව පැත්තෙ තියෙන මනුස්සයගෙ මහ ගෙදර එහෙම රෙපයාර් කරල ඒකෙ පදිංචි වුනා. පස්සෙදි දරුවො එහෙමත් ඉස්කෝල වලට දාල මහාමාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතියක විදේශ සමාගමක රැකියාවක් එහෙමත් කලා. මම හිතන්නෙ සෑහෙන සතුටුදායක මට්ටමේ වැටුපක් එහෙමත් ලැබුනා.
පස්සෙ කොහොම හරි මේ පහුගිය දාක ආරංචි වුනා මිනිහ ආපහු මෙහෙ ඇවිල්ලය කියල. ඔෆිස් එකේ ඉන්දැද්දි ගිය සුමානෙ දවසක මගෙ යාලුවෙක් කතාකලා. යාලුව ඇවිල්ල සමරෙ. ඉස්කෝලෙ යන කාලෙ සමරෙ කියල නම් තිබිච්ච යාලුවන්ට අපි කිව්වෙ සමරේ අද නැත පුන්සඳ කෑලි කැපෙන ගනඳුර මැද කියල
"මචං රවී...පණිවිඩයක් කියන්ට කතා කලේ..වසන්ත ආපහු ඇවිල්ලලු."
"නැහ්? ඕකා ආයෙම එන්නෙ නෑ කියල නේද බඩුත් පටවගෙන ගියේ?"
වසන්ත ලංකාවට යන්ට බඩු පටවන දවසෙ මමත් ගියා උදව් වෙන්ට.
"ඔව්..ඔව්..එහෙම තමයි හිතාගෙන ගිහිල්ල තියෙන්නෙ නං. ඒත් ඕකා අර හයිවේ ප්‍රොජෙක්ට් එහෙකනෙ වැඩ කලේ. ඒක පොඩ්ඩක් ඔන් හෝල්ඩ් වගේ හින්ද ස්ටාෆ් එක අයින් කරනවලු. ඒ පාර වසන්ත එන පොට හොඳ නෑ මාමෙ කෙල්ල ගෙට ගං කියල කලින්ම රෙසිග්නේෂන් දීල මෙහෙ ඇවිල්ල."
"ඉතිං ජොබ් එකක් හම්බවෙලාද?"
"තවම නෑ. ඒත් පරණ තැනට යන්ට පුලුවන්ය කියලයි කියන්නෙ. ඒ කාලෙ උගෙ හිටපු සෙක්ෂන් හෙඩ් තමයි දැං එතන එම්.ඩී. වසන්තයගෙ පරම බොක්ක. ලොක්ක කොහොමහරි මූව ගනියි."
වසන්ත ඒ කාලෙ වැඩ කලේ මෙහෙ සුප්‍රසිද්ධ ඉදිකිරීම් උපදේශක සමාගමක.
"එහෙමනම් හොඳයි. මොකද උඹ දන්නවනෙ මේ දවස්වල මෙහෙ සිටුවේෂන් එක. ජොබ් එකක් හොයාගන්න එක කොහොමත්ම ලේසි නෑනෙ."
වසර දෙකක පමණ කාලයක සිට බල පැවැත්වෙන බොර තෙල් මිළ පහළ යාම මෙරට ආර්ථිකයටද දැඩි බලපෑමක් එල්ල කොට ඇත. තථ්‍ය (Actual) ආදායම ප්‍රක්ෂිප්ත (Projected) ආදායමට වඩා බොහෝසේ පහළ වැටීම නිසා රජය සැළසුම් කල වියදම් විශාල වශයෙන් කපාහැර ඇත. නුදුරු අනාගතයට අත්‍යාවශ්‍ය නොවන සේ වර්ගකොට ඇති ඉදිකිරීම් බහුතරයක් තාවකාලිකව නවතා ඇත. එබැවින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවක් ලබාගැනීම මේ දිනවල බොහෝසේ දුෂ්කරය.
ඉතිං කොහොමහරි අර පරණ හිතවත් ප්‍රධානියගෙ අනුග්‍රහයෙන් වසන්තට කලින් වැඩ කරපු තැනම රැකියාවක් ආයෙම ලැබුනා. ඒ සන්තෝසෙටත් එක්ක තමයි වසන්ත ඔය පහුගිය සිකුරාදා පොඩි මධුපානෝත්සවයක් පැවැත්තුවෙ.
"ඔන්න මචං හෙට වරෙං නොවැරදීම හොඳද?" වසන්තය මට කතාකරල කිව්ව බෘහස්පතින්ද උදේ.
"වෙන කවුද බං එන්නෙ?"
"උඹ දන්න අය තමයි ගොඩක් එන්නෙ. ආ..කලින් මම මෙහෙ ඉන්දැද්දි ආශ්‍රය කරපු එකවුන්ටන්ට් කෙනෙකුටත් මම එන්ට කිව්ව."
වසන්තය හිත හොඳ එකා. ඒක හින්ද පහුගිය සිකුරාද මම ගියා එකොළහ වගෙ වෙනකොට. යනකොටත් දහ දොළොස් දෙනෙක්ම ඇවිත් හිටිය.
"මචං වරෙං වරෙං...මේ තමයි මම අර කිව්ව එකවුන්ටන්ට්...මිස්ටර් විජේසූරිය, මෙයාගෙ මල්ලි මේ ලඟදි බැන්දෙ ගම්පලින්. උඹත් පේරාදෙණිය කිට්ටුව නේද? සමහරවිට දන්නවත් ඇති. එහෙනං කතාවක් දාගෙන ඉඳහංකො. මම එන්නං පොඩ්ඩක් කුස්සිය පැත්තට ගිහිල්ල."
විජේසූරිය මා දිහා ටිකක් වෙලා බලා ඉඳල නළල රැළි කරගත්ත. "මට මේ..මේ...ඔබතුමා ..මේ නම මොකක්ද කිව්වෙ?"
"මම රවි.."
"ආ..මට මිස්ටර් රවීව හොඳට දැකල පුරුදුයි. ඒත් හරියට මතක් වෙන්නෙ නෑ කොහෙද කියල…ම්..ම්...ම්..."
ඒක හොඳයි එහෙම මතක් වෙන්නෙ නැති එක..මම සුටුපුටු ගාල මටම කියාගත්ත.
"මිස්ට රවී මොකවත් කිව්වද? " විජේසූරිය ඇහුව.
"නෑ..නෑ..මම මේ කිව්වෙ මමත් දැන් මෙහෙ සෑහෙන කාලයක් වෙනවනෙ. ඔය කොහෙදි හරි ෆන්ක්ෂන් එහෙකදිවත් අපි හම්බ වෙන්ට ඇති. මේ.. මට මිස්ටර් කියන්න ඕන නෑ රවී කිව්වම ඇති. ඔයා මෙහෙ ඇවිල්ල කොච්චර කල්ද?"
"ආ..මම මෙහෙ ආවෙ අවුරුදු නමේකට වගෙ ඉස්සරහ…"
ඒක හොඳයි එහෙම මතක් වෙන්නෙ නැති එක කියල මම මටම කියාගත්තෙ ඇයි දන්නවද? විජේසූරියට මාව හරියට මතක නැතිවුනාට මට මිනිහව හොඳට මතකයි. හරියටම කිව්වොත් මට මිනිහව හම්බවුනේ අවුරුදු හයකට වගෙ ඉස්සර. ඒත් මේ වගේම මගෙ තවත් යාලුවෙකුගෙ මේ වගේම මධු පානෝත්සවයකදි.
ඇත්තම කිව්වොත් මගේ මේ බ්ලොග් ලිවිල්ල ඇරඹීමට එක් උපස්ථම්භක පුඟුලෙක් ඔය මිස්ටර් විජේසූරිය. ඒත් එහෙම උපස්ථම්භක වුනාය කියල ඒ මනුස්සය හාංකවිසියක් දන්නෙ නෑ. ඒකයි ඒකෙ අවයවය. (ඔය අවයව කතාව කියන්නෙ අපෙ උන්දැගෙ අප්පච්චි. මගෙ මාමණ්ඩි )
උපස්ථම්භක කියන වචනෙ තේරුම දන්නව නේද? ස්ථම්භ කියන්නෙ කණුව නැත්නම් කුළුණ.අර ප්‍රේමදාස මහත්තය (ප්‍රේමදාස මහත්තය කියන්නෙ සියඹලා ගස්යට රස්සාවල් දෙන සජිත් මහත්තයගෙ තාත්තා. ප්‍රේමදාස මහත්තයව අඳුන්වල දෙන්ට වෙන්නෙ තව ටික කාලෙකිං අන්න එහෙම. The Father Of Sajith the Great Benefactor of Common Man Under The Tamarind Tree) රට පුරා හන්දියක් හන්දියක් ගානෙ හදාගෙන හදාගෙන ගියේ මොනවද? හෝරා ස්ථම්භ නොහොත් ඔරලෝසු කණු.
ඉතිං උපස්ථම්භක කියන්නෙ යම් දෙයකට උදව්වෙන කියන තේරුම. චේතනාව අනුව කර්මය විපාක දෙන ආකාරයන් සිව් වැදෑරුම්ය කියල දන්නවනෙ නේද? බුද්ධාගම ඉගෙන ගෙන ඇතිනෙ හයේ හතේ පන්තිවල. ජනක කර්මය, උපස්ථම්භක කර්මය, උපපීඩක කර්මය සහ උපඝාතක කර්මය.
හරි හරි බුද්ධ ධර්මය ගැන පාඩම ඔය මදැයි. ආපහු එමු මම අර මිස්ටර් විජේසූරිය අඳුනගත්තු අන්දම ගැන විස්තරේට.
පූර්ව නිශ්චිත සමුගැනීමක් - A Predetermined Farewell,
මගේ නමින් මුලින්ම බ්ලොගයක පළවූ නිර්මාණය මවිසින් හඳුන්වනු ලැබූයේ එසේය.
මගේ ඒ මුල්ම නිර්මාණය පලවූයේ 2010 ඔක්තෝබර් 27 වන දින ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවියේය. ඊට පලමු මාස මාස නවයකට ආසන්න කාලයක් මම බ්ලොග් කියවීමෙහි සහ අදහසක් පලකල යුතුයැයි හැඟුනු විටෙක කමෙන්ට්ස් දැමීමෙන් පමණක් සෑහීමට පත්වූයෙමි.
ඒ අතර මගේම අත්දැකීමක් ආශ්‍රයෙන් ලියැවුනු ඉහත කී කථාව මම ලියා අවසන් කොට තිබිණි.ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවියේ, පාඨකයකු විසින් එවන ලදැයි සඳහන් වූ නිර්මාණයක් පළවී තිබෙනු දිනක් මම දුටිමි. ඒ සමග ටැබූ සබ්ජෙක්ට්ස් වලට අදාල, පාඨක නිර්මාණ වලට තම බ්ලොගය විවෘතබව ද ටැබූ පවසා තිබිණි.
වහාම මම මගේ නිර්මාණය ටැබූ වෙත යැවූ අතර, දින කිහිපයකින් ඔහු එය තම බ්ලොගයේ පළ කලේය.
ඊට ලැබුනු සිත දිරිගන්වන සුලු ප්‍රතිචාර බොහෝ වූ අතර දිගටම මසිතේ නැඟෙන සිතුවිලි අකුරු කිරීමට ඒ බොහෝසෙයින්ම දිරිගන්වන සුලු මූලාරම්භයක් වීය.
එසේම බ්ලොග් යනුවෙන් යමක් පවතින බව මම දැන ගත්තේද ටැබූට ස්තූති වන්නටය. ඒ සිද්ධියට ටැබූ සම්බන්ධ වන්නේ ඉතාම අහඹු සහ අභව්‍ය ආකාරයට වුවද සැකයකින් තොරව ඔහු එහි ප්‍රධාන භූමිකාවක් රඟපෑවේය.
එම කථාව කෙදිනක හෝ ලිවිය යුතුයැයි මම සිතා සිටියෙමි.
කුඩා කාලයේ සිටම මම සම්මතයට විරුද්ධව යාමට ඇලුම් කලෙමි. වයස දහයක් හෝ දොළහක් පසුවෙද්දී මුල් වරට ඇසළ පෙරහැර නැරඹීමට ගිය මගේ මතකයේ නොමැකෙන ලෙස තැන්පත් වූයේ ගාම්භීර ලෙස බර අඩි තබමින් ඇවිද යන නිලමේ වරුන් නොව විදුලි බුබුලුවලින් සමලංකෘතවූ අලි ඇතුන්ගේ දෙපා බැඳ දමා තිබූ බරැති විලංගු වලින් නැගි අමිහිරි නාදයයි. විලක්කු එලියෙන් බැබලෙන කරඬුව නොව කරණම් ගසමින් නටන නැට්ටුවන්ගේ විඩාබර දෑසයි.
"අනේ අම්මෙ, අර අලියො පව්" කියා පෙරහැර නරඹා ආපසු එන විට අම්මා සමඟ පැවසූ බව මට තවම මතකය.
ඊට වසර දෙකකට පමණ පසු කාලයක සිදුවුවක් ද මගේ මතකයේ ඇත. ඒ දිනවල විශේෂ දළඳා ප්‍රදර්ශනයක් පැවැත්වූ වකවානුවක් විය. අපේ ඥාතීන් කිහිපදෙනෙකු ද ලොකු අම්මා ද සමග අම්මා දළඳාවේ අනුහස් පිලිබඳව කල කතා බහකට මමද ඒ අසල බංකුවක හෝ කුඩා පුටුවක වාඩිවී ඇහුම් කන් දීගෙන සිටියෙමි.
"දන්නවද ලොකු නංගී, මේ පාරත් දළඳා හාමුදුරුවො ඇතුල් මාලෙන් වඩම්මන කොට අහස කලු කරල වැස්සනෙ මහ වැස්සක්" අම්මා දෙසට හැරුනු ලොකු අම්මා පැවසූයේ ගෞරව සම්ප්‍රයුක්ත හඬකිනි.
"ඇත්තද අක්කෙ? හැම සැරේම ඉතින් ඕක වෙනවමනෙ" අම්මා ද පිළිතුරු දුන්නාය.
"මම මේ කල්පනා කලේ ලොකු අම්මෙ" හිස උස්සා, ලොකු අම්මා දෙස බැලූ මම පැවසුවෙමි. "ඔය මහ නියං කාල වල බැරිද, ඔය දළඳාව එලියට වඩම්මල වැහි වහින්ඩ වැඩ කරන්ඩ? "
"මොනවද පුතා මේ කියන්නෙ?" අම්මා මට තම නොමනාපය පලකලද, ලොකු අම්මා සිනාසුනා පමණක් බව මට තාමත් මතකය.
දැනුම් තේරුම් ඇතිවූ පසු, කිසිම දිනක මම බෝ ගස් හෝ පන්සල් පසුකරද්දී බසයේ ආසනයෙන් නැඟී සිටීමේ පුරුද්ද අනුගමනය නොකලෙමි. බුදුන් වහන්සේගේ ධර්මයට ගරුකලයුත්තේ හැකිතරම් දුරට ඒ අනුව දිවි ගෙවීමෙන් විනා, බෝ ගසක් පන්සලක් දුටු වහා මකුණෙකු කෑවාක් මෙන් හිඳිනා ආසනයෙන් පස්ස ඉස්සීමෙන් නොවන බව මගේ අදහස විය.
විවාහ වූ පසු බිරිඳ සමඟ බසයෙන් යද්දී, දළඳා මාළිගය අසල ඇය අසුනෙන් නැඟි සිටිද්දී, මම සුපුරුදු ලෙස නොනැගිට සිටියෙමි. දෙතුන් වරක් මෙසේ වූ ඉක්බිති ඇය මේ පිළිබඳව මගෙන් විමසුවාය.
"ඔතන තියෙන්නෙ බුදු හාමුදුරුවන්ගෙ දතක්ය කියල අපි දන්නෙ කොහොමද?, අනික ඒක එහෙමම උනත්, තමන්ගෙ ශරීර අවයව වලට ගරු කරන්නෙයි කියල බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ කොතනද? වැදගත්ම කාරණේ බුදු හාමුදුරුවො එහෙම කිව්ව උනත්, අපි ඒක එක පාරටම පිළිපදින්න ඕනද? අමතක කරන්න එපා, එතුමාම කියල තියෙනව කිසිම දෙයක් එකපාරට පිළිගන්න එපා,තමන්ගෙ විචාර බුද්ධියෙන් කල්පනා කරල බලල පිළිගත හැකියයි හිතෙනව නම් පමණක්, පිළිගන්න කියලා,ඉතින් මම කරන්නෙ එතුමාගෙම උපදෙස් පිළිපදින එක" මම පිළිතුරු දුන්නෙ එහෙමයි.
සාවධානව මගේ පැහැදිළි කිරීම අහගෙන හිටියට, එයා නම් දිගටම නැඟිටින එක කර ගෙන ගියා. ඒක මට ප්‍රශ්නයක් උනේ නැහැ. මගේ අදහස පිළිගන්න බැරිනම්, තමන් කැමති තීරණයක් අරගෙන ඒ අනුව ක්‍රියාකරන්න ස්වාධීන පුද්ගලයෙක් වශයෙන් ඇයට ඇති පරම අයිතිය, විවාහ ලියාපදිංචි පොතේ තිත් ඉර උඩ අත්සන් කල වහාම අහෝසි වෙන්න විදියක් කොහෙත්ම නැහැනෙ.
මම හිතන්නෙ අනික් හැමෝම හිතන විදිහට නෙවෙයි, වෙන කවුරුවත්ම මම හිතන විදිහට හිතන්නෙ නැහැ කියල මට හොඳටම තේරුණේ උතුරු මැද සහ නැගෙනහිර පළාත් මායිමේ සංවර්ධන ව්‍යාපෘතියක රැකියාවට ගියාට පස්සෙයි. ඒ ජන වාර්ගික ගැටලුව උග්‍රවී යුද්ධය ඒ ප්‍රදේශයේ ජන ජීවිතය උඩු යටිකුරුකොට තිබූ යුගයක්.
දෙමළ ජනයාට ස්වයං නිර්ණන අයිතිය ලබා දිය යුතුය කියන ස්ථාවරයෙ තමයි මම එදා ඉඳලම හිටියෙ. සාමාන්‍ය ජීවිතයේ බොහෝ අත්දැකීම් ඇති පරිණත ඒ වගේම මහ පොළවෙ පය ගහල ජීවත්වෙන ඉතාම ප්‍රායෝගික මිනිසුන් ජාතිය සහ ආගම සම්බන්ධ කාරණා වලදි කොපමණ පක්ෂග්‍රාහී වෙනවද කියන එක මට පසක් උනේ ඔන්න ඔය දවස්වල.
හැමදාම මේ ගැන තර්ක විතර්ක කරල, මගෙ එක බත් පිඟාන බෙදාගෙන කන යාලුවො තරහකරගන්නෙ මොකටද කියල, පස්සෙ පස්සෙ මම මගේ අදහස් ප්‍රකාශ කිරීම අත ඇරලම දැම්මා. මටතේරුම් ගන්නම බැරි උනේ මගෙ ඒ යාලුවො මගේ අදහස් වලට හාත්පසින්ම වෙනස් අදහස් දැරීම නෙවෙයි. ඒකෙ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ අයටත් තමන්ගෙම අදහස් දැරීමේ අයිතිය තියෙනවනෙ. මට තේරුම් ගන්නම බැරි උනේ, මගේ විරුද්ධ අදහස් දැරීමේ අයිතියට අභියෝග කරන්නට ඒ අයට අයිතියක් ලැබුනෙ කොහොමද කියල. මේ ගැන එයාලට පැහැදිලි කරල දෙන්න, මට එහෙන් සමුගෙන එනකනුත් බැරි උනා.
ඉතින් ඔන්න ඔහොම ඉන්දැද්දි තමයි අහම්බෙන් මට ටැබූව අඳුනාගන්න ලැබුනෙ,
මම මේ රස්සාවට ඇවිල්ල අලුත ගියා පොඩි සාදයකට. එහෙදි දැන හඳුනාගන්න ලැබුනා උගත්, ඒ කියන්නෙ පශ්චාත් උපාධි මට්ටම දක්වා අධ්‍යාපනය ලබපු මහත්මයෙක්. කොහොම හරි මේ මහත්මයා ඉතාම හොඳ පෙරාපු රත්තරන් වගෙ සිංහල බෞද්ධයෙක් බව කතාවෙන් බහෙන් තේරුන නිසා, මම ඔය කියන එව්වට හූමිටි තිබ්බ මිස, වැඩි දිග දුර කථා බහකට ගියේ නැහැ. මොකද මම දන්නව මේ ආකල්ප තියෙන අය එක්ක කථාබහ කරන එක හරිම අසීරුයි කියල,
කොහොම හරි කථාව ඇදිල ආව දළඳාව පැත්තට. දැන් මේ මහත්මය කියනව දළඳාවෙ හාස්කම් ගැන ඇස් දෙකත් උඩ තියාගෙන. මම කිසිම දෙයක් නොකියම හිටියා. අන්තිමට එතුමාම කිව්ව "ආ, ඔයා නුවර කිව්ව නේද? ඔයා ඉතින් හොඳටම දන්නව ඇතිනෙ මේ දෙවල් ගැන, කියන්නකො ඔයා හිතන්නෙ මොනවද මේ ගැන" කියලා
ඉතින් මොකද කරන්නෙ, මගෙන්ම අහන එකේ නොකියා කොහොමද?
"මම ඔය ගැන ඇත්තටම කථා කරන්න නම් කැමති නැහැ, ඒත් අහන නිසා කියන්නම්, දළඳාවෙ හාස්කම් ගැන කියනව නම් මතකයිනෙ අර 1998 දළඳා මාළිගාවට කොටි බෝම්බ ගැහුවා "
"ඔව්, ඔව්, මොකෝ මතක නැත්තෙ? හාස්කමකින්ම තමයි ඒ වෙලාවෙ දළඳාව බේරුනෙ, ඒකෙ ආයෙ කිසිම සැකයක් නැහැ "
"නැහැ, මම කියන්න ආවෙ නම් ඒක නෙවෙයි, මම නම් පිළිගන්නෙ නැහැ එතන හාස්කමක් උනාය කියල, දැන් එතන වැඳ පුදාගන්න ආව අහිංසක මිනිස්සු බරගානක් මැරුන නේද? දළඳාවට හාස්කම් තියෙනවනම් වෙන්න ඕනෙ ඒ අහිංසකයො එක්කෙනෙක් වත් නොමැරි අර බෝම්බ ගෙනාපු කොටි බෝම්බත් එක්කම විනාශ වෙන එක නේද? ඒ නැතුව වඳින්න ආපු මිනිස්සු බල්ලො බලල්ලු වගෙ මැරිල,දළඳාව විතරක් බේරෙන එක හාස්කමක් වෙන්නෙ කොහොමද කියල මට නම් තේරෙන්නෙ නැහැ"
හැමදාම වෙන දේම එදා එතනත් උනා, දැඩි විවේචන සහ බැණ වැදීම් මැද මටත් මාව එතනට කැඳවාගෙන ගිය මගෙ මිතුරාටත් ආපසු එන්න සිදු උනා,
අපි එද්දි අර මහත්මයා මෙහෙම කියනව මට ඇහුනා, "දැන් බෝවෙලා ඉන්නවා මෙහෙම ජාතියක් ආගමක් නැති නරුමයො රැලක්, ඔය ටැබූ කියල බ්ලොග් ලියන්නෙත් මේ වගේම අදහස් තියෙන එකෙක්නෙ "
මේ කතාව ඇහුනම මට ලොකු ඕනකමක් ආසාවක් ඇතිඋනා කවුද මේ ටැබූ කියන්නෙ කියල දැන ගන්න, ඒ නිසා මම මගෙ යාලුවා මාර්ගයෙන් පහුවදා විස්තර හොයාගත්තා, එතනින් තමයි මම දැන ගත්තෙ බ්ලොග් ලියනවය කියල දෙයක් තියනවය, ඒවගෙ තමන්ගෙ අවංක අදහස් උදහස් වාරණයකින් තොරව (මේ මම එතකොට හිතාගෙන හිටපු හැටි) පළකරන්න පුලුවන්ය, ටැබූ සබ්ජෙක්ට්ස් කියන්නෙ සාමාන්‍යයෙන් අපි කතා කරන්න පැකිලෙන මාතෘකා ගැන කතා කරන බ්ලොග් එකක්ය කියල,
මට ටැබූ හඳුනාගන්නට සහ ඒ මාර්ගයෙන් බ්ලොග් කියවීමට සහ ඉන්පසුව බ්ලොග් ලිවීමට, අවස්ථාව ලැබුනෙ ඉතාම අහඹු සහ අනපේක්ෂිත ආකාරයකටය කියල මම කලින් කිව්වෙ මෙන්න මේ නිසා.
දැං ආපසු වර්තමානයට නොහොත් බෑක් ටු ද ප්‍රසන්ට්....
ඉතිං ඔය සටහන මම ලිව්වෙ අවුරුදු පහකට වගෙ ඉස්සර අපේ සොඳුරුසිත අම්මණ්ඩිගෙ බ්ලොග් එකට. ටැබූ තම බ්ලොගයද වසා දමා අතුරුදන් වූ අලුත. ඒ සටහනේ අවසානයට මම මෙහෙමත් ලිව්ව
මේ ටික මම ලිව්වෙ ඇත්තටම අද ටැබූ බ්ලොග් අවකාශයේ නැහැ, ආයෙත් ලියයිද නැද්ද කියන එකත්,කාලයට සහ වෙනස් වන තත්ව අනුව තීරණය වෙන දෙයක්.
ආයෙ ටැබූ ලිව්වත් නැතත් මට කියන්න තියෙන්නෙ, ටැබූ ඔබට ස්තූතියි, අප ඇත්ත වශයෙන්ම අවශ්‍යයෙන්ම සිතිය යුතු එහෙත් අප විසින්ම අප කෙරෙහි ස්වයං වාරණයන් පනවාගෙන ඇති තහනම් මාවත් ඔස්සේ අපේ චින්තනය යොමුකරවීමට ඔබ ගත් උත්සාහයට මගේ ගෞරව පූර්වක ස්තූතිය!
මම මේ සටහන පටන්ගත්තෙ අහඹු සමපතනයක් නැත්නම් Coincidence එකක් ගැන කියලනෙ. ඒ ගැන පොඩි පැහැදිලි කීරිමක් කලොත් මෙන්න මෙහෙමයි.
ඉතිං පහුගිය සිකුරාදා වසන්තයගෙ මධු පානෝත්සවය ඉවර වෙලා ඇවිල්ල පොඩ්ඩක් සැතපිල එහෙම ඉක්බිති හවස්ජාමෙ ඇහැරල කියල මම ඔය සොඳුරු සිතට ලියපු සටහන හොයල බැලුව මගෙ පරණ ෆයිල්වල. එතකොටයි දැක්කෙ මම අර කියපු මගෙ මුල්ම වියුණු සටහන ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් එකේ පළවෙලා තියෙන්නෙ 2010 ඔක්තෝබර් 27 වෙනිද. ඒ කියන්නෙ ඒ සටහනේ සයවන සංවත්සරයට එතකොට තිබ්බෙ හරියටම දවස් හයයි. ඉතිං මට හිතුන ඔක්තෝබර් 27 වෙනිදා මේ විස්තරෙත් කියල ඒ ගැන පොඩි සමරු සටහනක් ලියන්ට ඕනය කියල. ඉතිං ඒ සටහන තමයි මේ.