නමෝ විත්තියෙං උදේ පාන්දරම කියන්න ඕන ඔබ තමුන්නාන්සේලාට ක්‍රිකට් ක්‍රීඩාව කියන එක ගැන උනන්දුවක් නැත්තං මේ පෝස්ට් එක කියවන එක මහම වාතයක් වෙයි. ඒ හින්ද එහෙම අය දිගටම කියවල පස්සෙ මගෙ ඇඟට ගොඩවෙන්ට එහෙම එපල්ල. ඔන්න නොකිව්වයි කියල එහෙම කියන්ටත් එපල්ල.
ඕස්ට්‍රේලියාව එක්ක අපේ කස්ටිය ටී ටුවෙන්ටි මැචස් තුනක් ගැහැව්වනෙ. මුල් දෙක අපි දිනුව. ඒ දෙකම දිනුවෙ අන්තිම ලාස්ට් ෆයිනල් බෝලෙදි. ඒ ගැන මොකවත් ලියන්ටත් කියල හිතල ආයම නිකා හිටිය අන්තිම එකත් දිනල කාරිය සීරීස් එක 3-0 උනොත් ලියන්නම්ය කියල. කරුමෙට වගෙ අන්තිම මැච් එක පැරදුනානෙ.
අපියි ඕස්ට්‍රේලියාවයි අන්තිම T 20 මැච් එක ගැහුවෙ පහුගිය බදාද. ඊට පහුවෙනිද ඒ කියන්නෙ මේ පහුගිය බෘහස්පතින්ද ඕස්ට්‍රේලියාවයි ඉන්දියාවයි අතර ටෙස්ට් තරඟාවලියක් පටන් ගත්ත ඉන්දියාවෙදි.
ආ...නෑ..නෑ..නෑ...T 20 මැච් එක ඉවරවෙලා ජොකා මාරුකරල නාකියාගන්නෙවත් නැතුව ඕස්ට්‍රේලියන්කාරයො කඩාගෙන බිඳගෙන එයාපෝට් එකට ගිහිල්ල ප්ලෙන් එකේ නැඟල ඉන්දියාවට ගිහිල්ල එහෙදි කෙලිම්ම එයාපෝට් එකේ ඉඳල ග්‍රවුන්ඩ් එකට ගිහිල්ල මැච් එක ගැහැව්ව එහෙම නෙවෙයි හොඳද?. එතන වුනේ ඕස්ට්‍රේලියන් ටීම් දෙකක් හිටිය. අපි එක්ක T 20 ගැහැව්වෙ එක ඔසී ටීම් එකක්. ඒ වෙනකොටත් ටෙස්ට් සීරිස් එකට සහභාගිවෙන්ට ඉන්දියාවට ගිහිල්ල හිටිය තවත් ඔසී ටීම් එකක්. අපෙ මාමණ්ඩි කියනව වගෙ ඒකයි ඒකෙ අවයවය.......හෙහ්යැ, හෙහ්යැ.
ක්‍රිකට් අතින් බැලුවම ඔය දෙගොල්ලම ඒ කිව්වෙ ඔසීලයි ඉන්දියානුවොයි දෙගොල්ලම එක්ක අපට තියනව පරණ කෝන්තර. ඕස්ට්‍රේලියන් කාරයො එක්ක තියෙන්නෙ නම් බොහොම පරණ කේස් එකක්. 1995 ඉඳල පැවත එන තරහක්. නොහොත් රනිං බැට්ල් එකක්. මේ ඊයෙ පෙරෙයිද ඉපදිච්චි හිච්චි ඈයො නම් ඔව්ව දන්නෙත් නැතුව ඇති මහිතේ. ඒත් වැඩිහිටි පරම්පරාව වසයෙන් අපේ යුතුකම එව්ව ගැන සවිස්තරව කියා දීල ඒ කෝන්තර තව දුරටත් අනාගතයට අරගෙන යන විදිහට සුදුසු කටයුතු කරන එක. තේරුණා නේද?
රයිට් ඔසීල එක්ක තියන කෝන්තරේ තමයි අපේ මුරලිගෙ කේස් එක. මුරලි බෝලෙ දමල ගහනව කියල අර ඩැරල් හෙයා සහ රොස් එමර්සන් කියන ඔසී අම්පයර්ව දෙන්න මුරලිගෙ දාපු බෝල නෝ බෝල් කියල සංඥා කලේ. අන්න ඒ කේස් එක. අර්ජුන ඒ වෙලාවෙ මුරලි වෙනුවෙන් නොබියව ඉදිරිපත්වුනා.
ඩැරල් හෙයාට අම්ම මෝ නැතුව බැණ බැණ අපේ කට්ටිය හිටියෙ ඒ දවස්වල. මට මතකයි එක පත්තරේක කාටුන් එකක් තිබ්බ වයසක මනුස්සයෙක් කියනව "අනෙ අම්මප, ඔය යකා මට අහු වුනොත් එහෙම උගෙ වාසගම එකින් එක ගලවලයි පස්ස බලන්නෙ" කියල.
ඊගාවට ඉන්දියාව එක්ක කේස් එක ඇවිල්ල මේ අර ඔසීල එක්ක තියෙන කේස් එක තරම් ප්‍රබල සාධක මත ගොඩනැඟුනු කේස් එකක් නම් නෙවෙයි. ඇත්තම කියන්ට එපාය. එකක් අර 2011 වර්ල්ඩ් කප් ෆයිනල් එක වෙලාවෙ අපේ අප්පච්චිට බලපෑම් කරල ඉන්දියාව කප් එක බලෙන් දිනාගත්තය කියන හාහෝව.
එතකොට තව එකක් කෝලි ගොයිය අපේ එවුන්ට අල්ලන්නෙ නැති එක. ඒකෙ නම් පොඩි ඇත්තක් තියනව. අපිට කොහොම වෙතත් කෝලියට ඉන්දියන් එවුනුත් එතරම් කැමැත්තක් නෑ ඒකා අලි ඔලුවෙන් ඉන්නෙ කියල. ක්‍රික්ඉන්ෆෝ වෙබ් සයිට් එකෙත් මම දෙතුන් පාරක් දැක්ක ක්‍රීඩා විචාරකයින් එහෙම අදහස් පලකරල තියනව. කොහොම හරි කැප්ටන්සි එක ලැබුනට පස්සෙ පොර ඉස්සරට වැඩිය හුඟක්ම හොඳයි කියල තමයි පොදුවේ පිළිගැනීම.
ඒ මොකක් උනත් ඔලුවා හරි මොකා හරි කෝලි කියන්නෙ සුපර් බැට්ස්මන්. ආය ඒකෙ දෙකක් නෑ. එක අතකට ඌ ඔළුවා උනත් කමක් නෑ මැච් එකක් ඇර මැච් එකක් වගෙ සෙන්චරියක් තඩි ගහනවනං නැද්ද? නිහතමානී වෙලා අහවල් රෙද්දකටද ක්‍රීස් එකට ආපු ගමං පොළු ගලවල යනව නං. නැද්ද හොඳයි? මොකෝ කියන්නෙ?
ඊගාවට ඔය ඉන්දියන් ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න ගොබිලොත් හිතාගෙන ඉන්නෙ අයි.පී.එල්. එකයි ලෝකෙ වැඩිම ක්‍රිකට් ලෝලී ජනතාවක් ඉන්නෙ උංගෙ රටේ හින්ද ලෝකෙ ක්‍රිකට් ක්‍රීඩාව උංට ඕන හැටියට පාලනය කරන්ට උංට දෙයියො දුන්නු ශුද්ධවූ අයිතියක් තියනවය කියල. 2014 අවුරුද්දෙ ඉන්දියන් ක්‍රිකට් බෝඩ් එක එහෙම ඉන්දියාවටයි, එංගලන්තෙටයි, ඕස්ට්‍රේලියාවටයි වැඩි බලතල ලැබෙන යෝජනා මාලාවක් ගෙනල්ල බලෙන්ම වගෙ සම්මත කරගත්ත.
ඉන්දියන් බෝඩ් එක කොච්චර ලොකුවට තමන් ගැන හිතාගෙන ඉන්නවද කියල කිව්වොත් ලෝකෙ අනික් හැම රටක්ම ක්‍රිකට් ගහන විදිහට එයාලට ගහන්ට බෑ. එයාලත් එක්ක ගහනවනම් වෙනම නීති තියෙන්න ඕන. දැං සෑහෙන කාලෙක ඉඳල ක්‍රිකට් තරඟවල ක්‍රියාත්මක වෙනවනෙ විනිසුරුගෙ තීරණය වැරදියි කියල හිතෙනවනම් පිතිකරුවට හෝ පන්දු යවන කණ්ඩායමේ නායකයට ඒ ගැන රූපවාහිනී විනිසුරුගෙන් අභියාචනයක් කරන්ට අවස්ථාවක් දෙන රෙගුලාසියක්.
ඉන්දියාවත් මුල්ම කාලෙ එහෙම සෙල්ලම් කලා. ඒත් මට මතක විදිහට එංගලන්තෙදි ගහපු ටෙස්ට් සීරීස් එකකදි ටෙන්දුල්කාර් (ඒ දවස්වල කෝලිල එහෙම නෑ. සචින් තමයි උංගෙ දෙයියො) තුන් හතර පාරක් අම්පයර් අවුට් නොදීපු එව්ව එංගලන්තෙ නායකය (එංගලන්ත නායකය මට මතක විදිහට ඇතර්ටන් ද කොහෙද) ටී.වී. අම්පයර්ට දැම්මම ඒ මනුස්සය එව්ව අවුට් කියල තීරණය කලා. ඕකට මහා හා හෝවක් ගිහිල්ල අන්තිමේදි ඉන්දියන් බෝඩ් එක කිව්ව අපිත් එක්ක ගහන මැචස් වලට මීට පස්සෙ D.R.S. සිස්ටම් එක යොදාගන්නෙ නෑය කියල (ඒ විනිසුරු තීරණ සමාලෝචනය කීරිමේ ක්‍රමය හැඳින්වෙන්නෙ D.R.S. System එක කියල . Umpire's Decision Review System)
ඉන්දියන් බෝඩ් එකේ මුදල්මය හැකියාව සහ ලෝකෙ පුරා ඉන්න ඉන්දීය ක්‍රිකට් ලෝලීන් හින්ද ලැබෙන ආදායම සලකලා බලල අනික් ක්‍රිකට් බෝඩ්ස් වලටත් ඒ කොන්දේසියට එකඟ වෙන්න සිද්ද වුනා. ඒත් මම හිතන්නෙ පහුගිය අවුරුද්දෙ අයි.සී.සී. එක නොහොත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වැඩි ඡන්දෙන් යෝජනාවක් සම්මත කරගත්ත අනිවාර්යයෙන් අන්තර් ජාතික තරඟ වලදි D.R.S. System එක උපයෝගී කරගත යුතුමයි කියල. ඒ හින්ද මේ බෘහස්පතින්ද පටං ගත්තු ඉන්දියා-ඕස්ට්‍රේලියා ටෙස්ට් තරඟා වලියටත් අන්න ඒ D.R.S. System එක යොදා ගැනෙනව.
ඉතිං දැං අපි එමු පහුගිය බෘහස්පතින්ද පටන් ගත්තු ඉන්දියා-ඕස්ට්‍රේලියා ටෙස්ට් මැච් එකට. මැච් එක ගැහුවෙ පූනේ නගරයෙ මහාරාස්ත්‍ර ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගනයෙ. මේ ඒ ක්‍රීඩාංගනයෙ ක්‍රීඩා කරන පලමු අන්තර්ජාතික තරඟය.
කොහොමත් ඉන්දියාවෙ තරඟවලට තණතිල්ල සකස් කරන්නෙ දඟපන්දු යවන්නන්ට වාසි වෙන විදිහට. ඒ ඔවුන්ගෙ කණ්ඩායමේ ක්‍රීඩාකරන අද ක්‍රිකට් ලෝකෙ දක්ෂම දඟපන්දු යවන්නා වන රවිචන්ද්‍රන් අශ්වින් ගැන හිතල. ඒකෙ වැරැද්දක් නෑ. කොහොමත් ඒක එහෙම තමයි. ඕනම රටක් තමන්ගෙ රටේ තණතිලි සකස් කරන්නෙ තමන්ගෙ පන්දු යවන්නන්ට වාසිවෙන විදිහට තමයි. හැබැයි එහෙම කරන එක දැලිපිහියකින් කිරිකනව වගෙ වැඩක් වෙන්ටත් පුලුවන්. මේ පාර ඉන්දියාවට උනේ හරියටම අන්න ඒක. දැලිපිහියෙන් කිරි කන්ට ගිහිල්ල දිව කපාගත්ත.
කොහොමත් මේ තරඟාවලිය පටන් ගන්ට ඉස්සරවෙලා ක්‍රිකට් විචාරකයො, පණ්ඩිට්ල ඔක්කොම කිව්වෙ ඕස්ට්‍රේලියාවට නෝ චාන්ස් කියල. සංඛ්‍යාලේඛන අරගෙන බලනකොට එහෙම කියන එකේ කිසිම පුදුම වෙන්ට දෙයක් නෑ. ඉන්දියාව තමන්ගෙ මව්බිමේ ක්‍රීඩා කරපු පහුගිය ටෙස්ට් තරඟ 20 ක්ම පැරදිලා නෑ. 17 ක් දිනල. 3 ක් ජය-පරාජයෙන් තොරයි. එතකොට ඉන්දියාව අන්තිමට තරඟයක් පැරදිලා තියෙන්නෙ තරඟ 17 කට ඉස්සර. ඒ 2014 අවුරුද්දෙ ගාල්ලෙදි. එතකොට අලි මදිවට හරක් කිව්ව වගේ ඕස්ට්‍රේලියාව මීට කලින් ඉන්දියාවෙ ගහපු තරඟ 7 ක් එක දිගටම පැරදිල. ඔවුන් අන්තිමට ඉන්දියාවෙදි තරඟයක් දිනල තියෙන්නෙ 2004 අවුරුද්දෙ.
ඉතිං ඔය විදිහට දෙගොල්ලන්ගෙ පූර්ව කල්ක්‍රියාව, පෙර වැරදි සහ එතනින් ගියහම පැටිකිරිය හොයල බලනකොට ඉන්දියාවෙ ජයග්‍රහණය බඩේ බත් වගේ කියල තමයි කවුරුත් කිව්වෙ. සක්සුදක් සේ...අතැඹුලක්සේ....කිරිගහට ඇන්න වගේ...හෙහ්,හෙහ්,
බෘහස්පතින්ද මම ඔය දෙතුන් පාරක් එහෙන් මෙහෙන් මැච් එක බැලුව. තරඟය අවසාන වෙනකොට ඕස්ට්‍රේලියාව ලකුණු 256යි කඩුළු 9 යි.
"රයිට් වැඩේ හිතපු විදිහටම යනව. හෙට ඕස්ට්‍රේලියාව තව ඕනනම් 10 ක් වගෙ ගහයි. ඊට පස්සෙ ඉන්දියාව ගහයි අඩුගානෙ 450 විතරවත්. කෝලි ෆුල් ෆෝම් එකේ ඉන්නෙ. මේ වැඩි කාලයක් නෙවෙයි ගිය සතියෙ දෙසීයක් ගැහුවනෙ. බංග්ලාදේශයට නම් තමයි අල්ලගෙන තැලුවෙ. ඒත් ඒ මොනව උනත් ඩබල් සෙන්චරියක්නෙ.... නැද්ද? ඒ හින්ද කෝලිගෙන් සෙන්චරියක් ෂුවර්. විජේ, රහුල්, පුජාරා, ජඩේජා උනුත් ඔය කීය කීය හරි ගහයි. ඊට පස්සෙ දඟකැවෙන විකට් එකනෙ තුන්වෙනි දවස හතරවෙනි දවස වෙනකොට ඕස්ට්‍රේලියාව ඔය 150 කට වගෙ ඕල් අවුට් වෙයි. ඉන්දියාව ඉනිමකින් දිනයි"
ඔන්න ඔහොමයි මම හිතුවෙ. මම විතරක් නෙවෙයි මම හිතන්නෙ සුවහසක් ඉන්දියානු ක්‍රිකට් ලෝලීන් සහ විචාරකයිනුත් එහෙම තමයි හිතන්ට ඇත්තෙ. ආය ඒකෙ දෙකක් එහෙම නෑ.
ඉතිං පහුවදා ඇවිල්ල හිට සිකුරාද. නිවාඩු දවසනෙ. උදේම රෙදි පෙරෙදි හෝදල දාල කාමරේ අතුපතුගාල දාල යාලුවෙක් එක්ක එකතුවෙලා දවල් පොඩි ෂොට් එකක් එහෙම ගන්න ගමං සිංදුවක් දෙකකුත් හෙමිහිට කියල කාල පොඩි ඇලට් එකක් දැම්ම. හවස නැඟිටල ඒත් මේ ලඟම ඉන්න යාලුවෙක්ගෙ ගෙදර ගිහිල්ල පොඩි සතුටු සාමීචියක එහෙම යෙදිල ඉඳල ගෙදර ඇවිල්ල කාල නිදාගත්ත.
ඊටත් පහුවදා සෙනසුරාද. ඒ කිව්වෙ මේ ඊයෙ. නමය විතර වෙනකල් නිදාගෙන ඉඳල නැඟිටල නාල ඊට පස්සෙ කාල එහෙම පොතක් බැලුව. මම ආසම කරන ලේඛකයෙක්. John Grisham. පොතේ නම Rogue Lawyer. පොතේ නම දකින දකින වාරයක් පාසා මම දන්න ලෝයර් මහත්තුරු කීප දෙනෙක් මතක් වුනා...හෙහ්,හෙහ්..කිව්වම මොකද ආයෙ?
ඉතිං ඒ පොත කියවන ගමනුත් පොඩි එකක් ගත්ත. ඔන්න බොලේ හදිස්සියෙම දෙකට වගෙ මතක් වුනා දෙයියෝ සාක්කි පූනේ වල මොකද දන්නෙ නෑ දැන් වෙලා තියෙන්නෙ කියල. විග විගහට පොත පැත්තක තියල කම්පියුටරේ ක්‍රියාත්මක කරල කරල බැලුව. අප්පටසිරි ලයිව් ටෙලි කාස්ට් එක නෑනෙ. ඒ කියන්නෙ දෙයියන්ටම පෙනීයං වැස්ස හින්ද මැච් එක නවත්තල දාලද? එහෙම නැත්තං ඉන්දියාව දවස් තුනක් ඇතුලතම දිනලද? බලමුකො මක්කැයි වෙලා තියෙන්නෙ කියල. බැලුව ඒ ගමන දණි පණි ගාල ක්‍රික්ඉන්ෆෝ. My Goodness Gracious....Believe It or Not...මෙහෙමයි කික්ඉන්ෆෝ එකේ හෙඩ්ලයින්ස්...
"O'keefe, Smith crush India in 3 days…."
ඈහ්හ්හ්....හුටා ඒ කියන්නෙ ඕස්ට්‍රේලියාව දිනලද?..දිනල නේන්නං නැතුව ඉතිං ක්‍රෂ් ඉන්ඩියා ඉන් 3 ඩේස් කියන්නෙ ආච්චි වැඩිවිය පැමිණුනා කියලය? නැද්ද හොඳයි?....මළ ජංජාලයයි..මගෙ කටත් එක්ක බාගෙට ඇරුන කිව්වහම ඔන්න කොටිම්ම.
කොහොම හරි ඒ වෙලාවෙම දණිපනි ගාල දවස් තුනේම හයි ලයිට්ස් හොයාගෙන බැලුව තව දෙක තුනක් දාගන්න ගමන්...හෙහ්,හෙහ්, මේ පල්ලෙහයින් තියෙන්නෙ එව්ව.....තවම බලපු නැති බලන්ට කැමති කෙනෙක් ඉන්නවානම් බලනු මැනවි.
First Day
Second Day
Third and Final Day
තව ටෙස්ට් තරඟ තුනක් තියනව. කියන්ටත් බෑ ඉන්දියාව ඉතුරු තරඟ තුනම දිනන්ටත් පුලුවන්. ඒත් 4-0 හෝ 3-0 කින් ඉන්දියාව දිනයි කියල හිතපු තරඟාවලියක් දැන් බොහොම විවෘත තත්වයකට පත්වෙලා. ඒක නෑ කියන්ට බෑ කාටවත්...
අන්න ඒක තමයි The Glorious Uncertainty Of Cricket කියල කියන්නෙ…. තේරුණෙයි ඔහේලට?