සතාසිවම් ඝාතන නඩුවිභාගය අලලා මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලියූ ග්‍රන්ථය ඉහත ඡායාරූපයෙහි දැක්වේ. |
ඔය වගෙ මූඩිය නිකම්ම කැරකෙන බෝතල් කඩන්ඩ ක්‍රමයක් තියනව. එක අතකිං බෝතලේ තද කරල අල්ලගෙන අනික් අතේ අල්ලෙං අඩියට ටිකක් තද පාරක් ගහන්ට ඕන. එහෙම කලාම බෝතලේ ඇතුලෙ තියන ගෑස් එහෙක පීඩනය හින්දද මන්ද කොහොම හරි මූඩිය ගැලවිල වීසිවෙලා යනව. සමහරවෙලාවට ටිකක් සලකලා පාරක් වැදුනොත් මූඩිය කෙලින්ම වීසිවෙලා ගිහිල්ල සීලිමෙත් වැදිලයි ආපහු වැටෙන්නෙ. ඒ හින්ද බොහොම පරිස්සමින් කොන්ට්‍රෝල් එකේ ඔය අඩියට ගහන වැඩේ කරන්ට ඕමනයි.
සමරෙට ආයෙ අහවල් කොන්ට්‍රෝල්.....ඌ මළටත් එක්ක කෙළල ඇරියෙ නැද්දෙ බෝතලේ අඩියට ඇති වීරියෙං..
"ඒයි යකෝ බලාගෙන…" කියල මට කෑගැස්සුන..
කෑගැස්සුන තමයි. වැඩක් නෑ...ඒ වෙනකොටත් ඩබල් ඩිස්ටිල්ඩ් බෝතලේ මූඩිය නීල් ආම්ස්ට්‍රෝං, එඩ්වින් ඕල්ඩ්‍රින් සහ මයිකල් කොලින්ස් යන අජටාකාශගාමීන්ද රැගෙන සඳ බලා ගමන් කිරීමට නියමිත ඇපලෝ - 11 අභ්‍යාවකාශ යානයද සමඟ පෘථිවියේ ගුරුත්වාකර්ශණයෙන් මිදී කක්ෂ ගතවනු උදෙසා ෆ්ලොරිඩාවේ කෙනඩි තුඩුවෙන් ගුවන් ගතවුනු සැටර්න් රොකට්ටුව වගෙ ගුවන් ගත වෙලා අහවරයි.
මම ඔය අපි මත්පැන් පානය කරපු කාමරය ගැන කියනකොට කලින්ම කිව්ව මතකද ඒ කාමරේ ලී සීලිමක් තිබ්බ හැබැයි ඒක තිබ්බෙ කාමරෙන් බාගයයි කියල. ඒ විස්තරේ මම කලින්ම කිව්වෙ හේතුවක් ඇතුව. ඒ කියන්නෙ අපි හිටපු කාමරේ සාලෙ පැත්තට වෙන්ට තිබ්බ කොටසෙ උඩ සිවිලිමක් නහී. සමරය ආය නෑ දෙවෙනි ලෝක යුද්ධෙ ඩන්කර්ක් සටනෙදි බ්‍රිතාන්‍ය හමුදාවන් ඉලක්ක කරල හරියට කිරල මැනල නියමිත ප්‍රක්ෂිප්තයට අනුකූලව වෙඩි තියන ජර්මන් කාලතුවක්කු සෙබලෙක් වගෙ හරියටම බෝතලේ ඉලක්ක කලේ අර සීලිම නැති කොටසට.
බෝතලෙන් මිදුනු මූඩිය එක සැණෙකින් අර සිවිලිම නැති කොටසෙන් ඉහළට ගිහිල්ල බිත්තියේ මුදුනත් පහු කරල ඊලඟට තිබ්බ ඝණ අඳුරට මුහුවෙලා අතුරුදන් වුනා. අපි හුස්ම ඉහළට නොගෙන අහගෙන හිටිය "ටලාං" යන අනුකරණයෙන් මූඩිය සාලෙ බිමට වැටෙන සද්දෙයි ඊට පස්සෙ එතන ඇතිවෙන ගාලගෝට්ටියයි අහන්ට. තත්පර දහයයි...විස්සයි...තිහයි...හතළිහයි...පණහයි...මිනිත්තුවයි....මිනිත්තු දෙකයි....තුනයි....ම්හු එහෙම සද්දයක් නම් නෑ. ඒත් සාලෙන් මෙච්චර වෙලා ඇහිච්චි කතාබහ කරන සද්දෙ නම් ඔන්න නැවතුනා. ඒත් ඒ එක්කම ආයම ඒ සද්දෙත් පටන් ගත්ත.
අන්න එතකොටයි අපි හැමෝම උඩට අල්ලගෙන උන්නු හුස්ම ආපහු පල්ලෙහාට දැම්මෙ.
"දෙයියංගෙ පිහිටෙං අවුලක් නෑ වගේ" මම හෙමිහිට කියල තාමත් පාසානිබූත වෙලා වගෙ බෝතලෙත් අතේ අරං ඉන්න සමරෙගෙං බෝතලේ ගන්ට කියල හැදුවා.
"ඒයි..මූඩිය කොහ්හා..ට්ටද බං වැට්ටු...නෙ?" සමරෙ රහසිං වගෙ ඇහුවෙ බෝතලෙත් හයියෙං අල්ලගෙන.
"අනේ මේ…..ඇති ඔයිං ගියා...තව ලැජ්ජ නැතුව මූඩියක් ගැන අහනව...මෙන්න මෙහෙ දියං ඔය බෝතලේ…" මම සමරෙගෙං බෝතලේ උදුරගෙන මගෙ වීදුරුවට එකක් වක්කරගත්ත.
"එතකොට මූඩියට මොකද බං කරන්නෙ?" ගුණේ ඇහුව..
"මූඩියට ආය අහවල් දෙයක්ය කියල කරන්නද? ඒක වැටුන සද්දයක් ඇහුනෙ නෑනෙ. ඔය උඩ කොහෙ හරි රැඳෙන්ට ඇති. මේ......ඒකෙං වැඩක් නෑනෙ දැං...ගනිං විජහට ගන්න හරියක්...ඊටපස්සෙ බත් ටිකක් කාල යන්ට යමු"
ඔක්කොමල ඒ පාර ෂොට් එක ගානෙ දාගත්ත. ඔහොම මිනිත්තු පහක් හයක් තරම ගත වෙන්ට ඇති මහිතේ. මෙන්න එක පාරටම බොහොම කළබලෙං දොරට ගහන සද්දයක් ඇහුන. අනිවාර්යයෙන්ම චන්දරේ වෙන්ට එපාය.
"මේකා මොකද මේ ඒ පාර දොර කඩන්ට හදන්නෙ? මූම නේද අපිට කිව්වෙ අනේ මචංලා සද්ද කරන්ට නම් එපාය කියල..මූමනෙ ඒ පාර දොර කඩන්ට හදන්නෙ.." මම දොර දිහාට හැරිල එහෙම කියල අතේ තිබ්බ වීදුරුව කනප්පුව උඩ තියල නැඟිටින්ට ලෑස්තිවුනා.
"හරි හරි ඉඳහං ඉඳහං මේ එනවා මේ එනවා….." මට කලිං ගුණේ ගිහිල්ල දොර ඇරිය.
චන්දරේ දාඩියත් දාගෙන කාමරේට ආව නෙවෙයි කඩා පැන්න. "යකෝ උඹලට කොච්චර නම් මං කිව්වද? කෝ උඹල සතපහකට ගණං ගත්තද? දැං බලපං ඔක්කොම ඉවරයිනෙ…"
"ඇයි ඇයි බං? මොකද වෙලා තියෙන්නෙ?" මට ඇඳෙං නැඟිට්ටුනා උගෙ විලාසය දැක්කම.
"මොකද වෙලා තියෙන්නෙ?.... වෙලා තියෙන්නෙ උඹලගෙ අරක්කු මූඩියක් සාලෙට විසිවෙලා.. දැං වැඩේ නෝන්ඩි වෙලා තියෙන්නෙ ඔක්කෝටම. අයියෝ හතර විලි ලැජ්ජාවයි. අපේ ලොකු මාමයි නැන්දයි ඒ ඔක්කොමත් සාලෙ ඉන්නව"
චන්දරය බඳින්ට කතා කරල තිබ්බෙ උගෙ ලොකු මාමගෙ දුව. ඒ කෙල්ල උපාධි ගුරු. ඔන්න ඔය හාලිඇල සෙන්ට්‍රල් එකේද කොහෙද ඉගැන්නුවෙ. හොඳ හුරුබුහුටි කෙල්ල. චන්දරය මට ෆෝටොස් එහෙම පෙන්නල තියනව.
"හරි හරි බං පැහැදිලිව කියාපංකො වෙලා තියෙන්නෙ මොකක්ද කියල?" කරුණෙ අයිය ඇහුව..
"හරි..ඉඳපංකො මෙතන වෙච්චි දේ කියන්ට ....බෝතලේ කඩද්දි මූඩිය කැඩුණෙ නෑ... කැරකෙන්ට ගත්ත. ඒ පාර මේ සමරෙ අඩියට ගැහුව පාරක්. ඒ ගමන මූඩිය ඔය බිත්තියට උඩිං සාලෙ දිහාට විසිවුනා නම් තමයි. ඒත් බං අපි අහගෙනනෙ හිටියෙ.. මූඩිය බිමට වැටෙන සද්දයක් ඇහුනෙ නෑනෙ" මම වෙච්චදේ බොහොම සහසුද්දෙං චන්දරේට පැහැදිලි කලා.
"ඇහුනෙ නෑ තමයි..ඇහුනෙ නැත්තෙ මූඩිය බිමට වැටුනෙ නැති හින්ද" චන්දරය දත්මිටි කාගෙන කිව්ව.
"ඉතිං බං එහෙනං අවුලක් නෑනෙ.." මම සැනසුම් සුසුමක් හෙලුව.
"අවුලක් නැත්තෙ නෑ ...අවුලක් තියනව... මූඩිය වැටිල තියෙන්නෙ කෙලින්ම අප්පච්චිගෙ බඩ උඩට"
"මොකක්????? හුටා....." ඇස් දාසයකුයි කටවල් අටකුයි ඇරුනෙ එක විඩේ..
"මළ කෙළියයි ජූලි හතයි මගේ පුතා ඔක්කොම කයි….." යංතං සිහි එලවාගත්තු හැටියෙ මට කියවුනා.
"ඉතිං බං දැං මොකද එතන සීන් එක? ෆුල් අප්සෙට්ද? උඹ ෂේප්මන්ට් එකක් දැම්මෙ නැද්ද?"
"උඹල මේ මඟුලක් කතා කරනව..මොන ෂේප්මන්ට්ද? මාමල බාප්පල නැන්දල ආතල ඔක්කොම අහන්ට ගත්තෙ නැද්ද කොහොමද මේ අරක්කු මූඩියක් මිනිය උඩට වැටුනෙ කියල."
"ඉතිං උඹ මොකද කිව්වෙ?"
"මම කිව්ව ඔය මීයෙක්වත් අරං යන ගමං වැටෙන්ට ඇති කියල"
"ඒකෙං වැඩේ ෂේප් උනාද?"
"නෑ බං ඒක හරි ගියේ නෑ. අපේ අර දියවරකාවෙ ආතා කියල ඉන්නව අප්පච්චිගෙ බාප්ප වෙන මනුස්සයෙක්. ඒ මනුස්සය හෙණ රෙගුලාසි කාරය. ඔය තරුණ කාලෙ බණ්ඩාරවෙල ටවුමෙ පෙරකදෝරුවෙක් ලඟ ලියන්න විදිහටත් ඉඳල තියනව අවුරුදු විස්සක් විතර. තාම ගමේ මිනිස්සු ඔය ඉඩ කඩං නඩු හබ වලදි ඉස්සෙල්ලම උපදෙස් ගන්නෙ මිනිහගෙං"
"ඉතිං... ඉතිං?"
"ඉතිං මිනිහ මගෙං හරස් ප්‍රශ්ණ අහන්ට ගත්තෙ නැද්ද අර කොල්වින් සතාසිවම් නඩුවෙදි ඇහුව වගෙ"
(සටහන 1 - සතාසිවම් නඩුව යනු පණස් වන දශකයේදී මෙරට පමණක් නොව ලොව පුරාම ප්‍රසිද්ධියට පත්වූ අපරාධ නඩුවකි. තම බිරිඳ මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක මහාදේවන් සතාසිවම් මහතා ඔහු වෙනුවෙන් පෙනීසිටි නීතිඥ කොල්වින් ආර්. ද සිල්වා මහතාගේ දක්ෂ හරස් ප්‍රශ්න ඇසීම සහ නවසීලන්ත ජාතික ශ්‍රීමත් සිඩ්නි ස්මිත් මහතාගේ අධිකරණ වෛද්‍ය සාක්ෂිමත නිදොස් කොට නිදහස් කරනු ලැබීය. මෙම නඩු විභාගය අලලා මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මීට වසර කිහිපයකට පෙර "A Murder In Ceylon" නමින් අගනා ග්‍රන්ථයක් රචනා කලේය.)
"මොනවද ඉතිං ඇහුවෙ?"
"ඉස්සෙල්ලම ඇහුව මීයෙක් අරං යන්ට උනත් මේ ගෙදරට අරක්කු මූඩියක් ආවෙ කොහොමද? මෙහෙ කවුරුවත්ම රා අරක්කු බොන්නෙ නෑනෙ කියල"
"ඉතිං?"
"ඉතිං මම කිව්ව ඔය අහල පහළ කොහෙං හරි මීය ඔය අරක්කු මූඩිය ගේන්ට ඇති කියල"
"ඒ පාර ඒක ෂේප්?"
"මොන ෂේප්ද? මේ මනුස්සය ගොඩ පෙරකදෝරුවනෙ. ඒ පාර මිනිහ ඇහුව මීයෙක් යනවනං යන්නෙ බිත්තිය උඩින්නෙ. එතකොට කොහොමද මේ සාලෙ මැද තියල තියන මිනියෙ බඩ උඩට මේ මූඩිය වැටුනෙ කියල"
"අම්මට උඩු, කොහොමද ඒ ලෝ පොයින්ට් එක? මේ මනුස්සය අමර පොරක්නෙ...ඉතිං උඹ මොකද කිව්වෙ?"
"මම මොනව කියන්ටද? කට වහගෙන හිටිය."
"උඹට කියන්ට තිබ්බෙ මීය බිත්තිය උඩිං යන ගමං එක පාරට නැවතිලා අර රොමාරියෝ ෆ්‍රී කික් එකක් ගහනව වගෙ අරක්කු මූඩියට පා පහරක් එල්ල කරන්ට ඇතිය. ඒ පා පහරේ ප්‍රබලත්වය නිසාම අරක්කු මූඩිය වීසි වෙලා ගිහිල්ල මිනිය උඩට වැටෙන්ට ඇතිය කියල…." මම හිනාවෙවී කිව්ව.
(සටහන 2 - එදවස අපගේ ප්‍රියතම පාපන්දු ක්‍රීඩකයකු වූයේ බ්‍රසීල කණ්ඩායමට ක්‍රීඩාකල රොමාරියෝය.)
"මේ උඹ මගෙං කුණුහරප අහගන්නෙ නැතුව හිටහං හරිද?" චන්දරේ මට රවාගෙන කෑගැහුව.
"හරි හරි...චන්දරේ කලබල නොවී ඉඳහංකො. වීරෙ උඹත් ඔය අනම් මනං කියවන්නෙ නැතුව මේකට මොකද කරන්නෙ කියල කල්පනා කරහං පොඩ්ඩක්.." කරුණෙ අයිය සාම දූතයා නොහොත් එරික් සෝල්හයිම්ගෙ පාට් එකට එන්ටර් වුනා.
(සටහන 3 - හැබැයි ඇත්තම කියනවනම් එරික් සෝල් හයිම් ගැන අපි දැනගත්තෙ මීට ගොඩක්ම පස්සෙ)
"හරි හරි චන්දරේ වෙරි සොරි මචං වෙච්චි වැඩේට. තනිකරම අපි අතිං මිස්ටේක් එක වුනේ..අපි මෙහෙම කරමුද? උඹලගෙ ඥාතී පරම්පරාවට ඇත්තම කතාව කියමු" මම චන්දරේට කිව්ව.
"බෑ..බෑ..උඹට පිස්සුද? ඒක හරියන්නෙ නෑ"
"එතකොට උඹේ විසඳුම මොකක්ද කියපංකො"
"මෙහෙම කරමු. මම කොහොම හරි එතන කට්ටිය ෂේප් කරගන්නං. උඹල කුස්සිය පැත්තෙං එළියට බැහැල පිළිකන්න දිගේ ගිහිල්ල ජීප් එකට නැඟල ෂේප් එකේ පලයල්ල. කෝ මුතුබණ්ඩා? "
මුතුබණ්ඩා කිව්වෙ ජීප් එකේ රියදුරු. මතකයිනේ?
"මුත්තා කාල එහෙම ජීප් එකේ නිදි."
"හරි එහෙනං අවුලක් නෑ..මම හෙමීට ගිහිල්ල කුස්සිය පැත්තෙ දොර ඇරල ජනේලෙං උඹලට කියන්නං. එහෙනම් එකා එකා සද්ද නැතුව ගිහිල්ල ජීප් එකට නැඟහල්ල"
ඉතිං වෙන මොකද කරන්නෙ? ඉතුරු බයිට් සුට්ට කොලේක ඔතාගෙන විජේ අතට ගත්ත. අරක්කු බෝතලේ කටට ඇඟිලි දෙකක් ඔබාගෙන ඒක මම ගත්ත. අපි එකා පස්සෙ එකා සිංගල් ෆයිල් පිළිකන්න දිගේ ටොප් සීක්‍රට් ඔපරේෂන් එකකට ගිහිල්ල වැඩේ වැරදිල උපාය මාර්ගිකව පහුබහින (Tactical Withdrawal) දිගු දුර විහිදුම් බලකායෙ (L.R.R.P.) ප්ලැටූන් එකක් වගෙ ගිහිල්ල ජීප් එකට නැග්ග. ඒ කරල මුත්තත් ඇහැරවගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි මළගෙදරිං විත්ඩ්‍රෝ වුනා.
පාරට දාල ටික දුරක් යද්දි සමරය කෑගැහුව "යකෝ...බෝතලේ දාලනේද ආවෙ?" කියල
"කෑනුගහ ඉඳු..මාගාව බෝතලේ තියනව" මම කිව්ව.
"අඩේ ඕකෙ මූඩිය නෑ නේද? ඕක හැලෙයි…" ඌ ආයෙම කෑගැහුව.
"නෑ බං මම මේ ඇඟිලි දෙකක් දාගෙන ඉන්නෙ... හැලෙන්නෙ නෑ"
"ෂක් අපරාදෙ අපිට චන්දරයගෙං මූඩිය ඉල්ලං එන්ට තිබ්බෙ" ඌ ආයෙම කිව්ව….අපි ඔක්කෝටම බකස් ගාල හිනා ගියා…
ඊට පස්සෙ අපි බණ්ඩාරවෙල ටවුමට කිට්ටු කරල පාලු තැනක නතර කරල බෝතලේ ඉවරයක් කලා. ඒ කරල කලිං බයිට් ගත්තු කොත්තු කඩෙන්ම කොත්තුත් කාල දෙයියනේ කියල පිටත් වුනා ආපහු එන්ට…. පාන්දර එක විතර වුනා කෑම්ප් එකට එනකොට..
ඒ එද්දි මනම්පිටියට පොඩ්ඩක් මෙහාදි අපි ජීප් එක නැවැත්තුව කට්ටියටම පම්ප් එකක් කාරිය දාල, ෂියේට් එකක් එහෙම ගහල, කොඳු එහෙම දිග ඇරගෙන එහාට මෙහාට සුට්ටක් විතර ඇවිදල කකුල් අතපයේ හිරි ඇරගන්ට.
"හැබැයි එකක් තියනව චන්දරය උගෙ අම්ම මළ දවසටනං පරණ පැදුරක ඔතල කැළේ ගහනව මිසක මළ ගෙදරක් නං ගන්න එකක් නෑ."
එතන තිබ්බ බෝක්කුවක් උඩ වාඩිවෙලා ගෝල්ඩ් ලීෆ් එකක් ඇද ඇද හිටපු ගුණෙය එක පාරටම කිව්ව. අපි බඩවල් අල්ලගෙන හිනාවුනා .
චන්දරය සතියකිං විතර වැඩට ආව.
"මොකද බං අරක්කු මූඩි කේස් එකට වුනේ? අප්සට්ද?" ඌ ආහම මම ඇහුව..
"නෑ...වැඩේ වුනේ අර දියවරකය...ඌට ඕන නැති මඟුලක් නෑ. පස්සෙ මම කලේ ලොකු මාමට ඇත්තම සීන් එක කිව්ව. මනුස්සය පස්සෙ දියවරකයවත් ෂේප් කරගෙන වැඩේ යට ගහල දැම්ම. එතනිං ඒක ඉවරයි"
ඊටත් අවුරුදු හතර පහකට පස්සෙ චන්දරේ අර උගෙ නෑනව බැන්ද. ඒ වෙනකොට මම එහෙං ට්‍රාන්ස්ෆර් වෙලා දියබෙදුමට ගිහිල්ල. ඒ හින්ද මට උගෙ මඟුල් ගෙදරට යන්ට උනේ නෑ. සමරෙ එහෙම ගිහිල්ල තිබ්බ මඟුල් ගෙදර.
"දැං චන්දරයගෙ ගෙදර සීලිං ගහල ඒ හින්ද උගෙ අප්පච්චිගෙ මළගෙදරදි උනාවගෙ සීන් එකක් නම් කොහොමවත් වෙන්ට විදිහක් නෑ"
පස්සෙ දවසක නුවරදි අහම්බෙං වගෙ හම්බවෙලා වයිට් හවුස් එකේ තේ එකක් බොද්දි සමරෙ මා එක්ක හිනා වෙවී කිව්ව.