|
ඉඩ්ලි සමඟ සාම්බාර් |
ම්ම්..අටයි තිහට මෙහෙං පිටත් වුනා කියන්නෙ මම ඔෆිස් යනකොට මිස්ටර් බාලා නොහොත් මගේ බොස් වැඩට ඇවිල්ල පැයකුත් ගතවෙලා. එහෙම වෙන එක නම් මට එච්චර සුබ වෙන්නෙ නෑ කියල මට කවුරුවත් අමුතුවෙන් කියන්න උවමනා උනේ නෑ. ඒත් අනික් අතට අටහමාරට මෙහෙං පිටත් වෙනව කියන්නෙ තව පැය දෙකක් මම මෙහෙ ඉන්නව. ඊගාවට මගෙ ඔෆිස් එක ගාව මාව ඩ්‍රොප් කරනකල් අංකල් එක්ක මට ඕන දෙයක් කතා කලෑකි. ඔව්..අංකල්ගෙ හිත දිනාගන්ට මේක නියම චාන්ස් එකක්. අනන්‍යා මදුරෙයි යන්ට ඉස්සෙල්ල මට කිව්වෙත් මේවගෙ අවස්ථාවක් ගැන නේද? ඔව්...මේක පැහැර හරින්ට හොඳ නෑ කොහෙත්ම. බාලට බම්බු ගහගන්ට කියනව...හුහ්...
"හරි ප්‍රශ්ණයක් නෑ අංකල්..මම ඔෆිස් ඉන්න ඕනත් ඒ වෙලාවට තමයි.." මම හිනාවෙලා කිව්ව..
"ම්ම්ම්ම්..එහෙනං අවුලක් නෑනෙ..අපි එහෙම කරමු.."
අංකල් එහෙම කියල ආයම සෝපාවෙ හරි බරි ගැහිල පත්තරෙං මූණ වහගත්ත. පත්තරේ ඇවිල්ල හිට වෙනිං මොකක්වත් නෙවෙයි ද හින්දු.
හරියටම හතයි තිහට ස්වාමිනාදන් මහත්තයයි මායි පාතරාසයට ඉඳගත්ත. ඊට කලිං එයා සාලෙත් එක්කම ටිකක් එහාට වෙන්ට තිබ්බ පොඩි දේවාලෙට ගිහිල්ල යාඥා කරල ආව. දේවාලෙ දේවාලෙ කිව්වට ඒක මේ පොඩි කාමරයක්. ඇතුලෙ බිත්ති පුරාම එක එක ජාතියෙ දේවරූප එල්ලල. "අපේ බ්‍රාහ්මණ වංශික කට්ටියගෙ සිරිතක් ඒයි ඒක. ගේ ඇතුලෙම පොඩි කාමරයක් වෙන් කරනව දේවාලෙ හැටියට" අපි යාලු වෙච්චි අලුතම වගෙ දවසක් එහෙම මට කියල දුන්නෙ අනන්‍යා.
යාඥා කරල ආපහු එනකොට ස්වාමිනාදන් මහත්තයගෙ නළලෙ අර සුපුරුදු අළු තීරු තුන තිබ්බ. ලොක්ක පස්සෙන්ම ගිහිල්ල යාඥා කරානං ළකුණු ටිකක් දාගත හැකි නෙවද කියල මට හිතුනට ආයම එහෙම ගියොත් අනිවාර්යයෙන්ම මේ මනුස්සය මගෙ නළලෙත් අළු තීරු තුනක් උලන එක උලනවාමයි කියල මට හිතුන හින්ද සද්ද නැතුව නිකා හිටිය. ඔෆිස් එකට කොහොමත් දැන් පරක්කු වෙලා යන්ට වෙන එකේ තව අළුත් ගාගෙන පලයල්ලකො. මගෙ බොස් මිස්ටර් බාලා අහන එව්වට උත්තර දීල ඉවරයක් වෙන එකක් නෑ.
උදේ කෑමට හදල තිබ්බෙ ඉඩ්ලි. අනන්‍යාගෙ අම්ම ඉඩ්ලි පණහක් විතර ගෙනල්ල මේසෙ උඩ ගොඩ ගැහුව. අංකලුයි මායි නිස්සබ්දව ඉඩ්ලි කෑව. "අපෙ තාත්ත කොහොමත් ඒහැටිම කතාකරන කෙනෙක් නෙවෙයි" අනන්‍යා මට වේලපහ කියල තිබ්බ. ඒ හින්ද මනුස්සයගෙ හිත දිනාගන්ට හොඳම ක්‍රියා පිළිවෙල පුළුවන් තරම් අඩුවෙන් කතා කරන එක තමයි කියල මමත් හිතාගත්ත. එහෙම හිතල නිස්සබ්දවම හිටිය.
එක වෙලාවක අනන්‍යාගෙ අම්ම ඇවිල්ල අඩුපාඩු බලල ගියා. "තව චට්නි ටිකක් දාන්නද?" චට්නි දාපු ඇලුමිනියම් බාජනේ අතට අරගෙන ඈ මගෙං ඇහුව. මම ඔලුව උස්සන ගමන්ම ඒ ඔලුවම දෙපැත්තට වනල එපා කියල හැඟෙව්ව. අංකලුයි මායි මේසෙට වාඩිවෙලා හිටපු විනාඩි විස්සක වගෙ මුලු කාලය ඇතුලත මම ඔලුව ඉස්සුවෙ අන්න එහෙම ඔලුව වනන්ට විතරමයි.
අංකල්ගෙ කාරෙක ෆියට් එකක්. ගේට්ටුව ඇරල මම එතන ඉන්දැද්දි අංකල් කාරෙක ගරාජ් එකෙන් රිවර්ස් කරල එළියට ගත්ත. එන්ජින් එක ස්ටාට් කරල අංකල් ඉස්සෙල්ලම පස්ස බලන කණ්නාඩිය හොඳට හදාගෙන එහෙම දෙතුන් පාරක් බොහොම උනන්දුවෙන් පිටිපස්සෙ හිටගෙන ඉන්න මා දිහා බලනව මම බලාගෙන. ඊට පස්සෙ මෙන්න බොලේ මේ මනුස්සය පැති කණ්නාඩි දෙකෙනුත් මා දිහා බලාගෙන හිටිය විනාඩියක් තරම. ඒ මදිවට මෙන්න ඊලඟට ජනේලෙන් එළිය ඔලුව දාල ඔලුව පස්සට හරවල දෙතුන් පාරක්ම මගෙ ඉහේ ඉඳල දෙපතුල් ගාවට යනකල්ම බැලුව. ඒ බලපු බැල්මටනම් මගෙ කොඳු නාරටිය දිගේ යම්තමට හීතලක් වගෙත් ගලාගෙන ගියා.
ඇයි දෙයියෝ සාක්කි කාරෙකක් රිවර්ස් කරනකොට පිටිපස්සෙ කවුරුහරි ඉන්නවනම් පොඩ්ඩක් හෝදිසියෙන් ඉන්න ඕන තමයි. ඒත් මේ මනුස්සය මේ ඔලුවත් එලියට දාල බොහොම උනන්දුවෙන් මා දිහා බලපු ආකාරයෙන් නම් මට හිතුනෙම මෙහෙම බලන්නෙ නම් ආය ඒකෙ හෝදන්ට දෙයක් නෑ බැරිවෙලාවත් මම හැප්පෙයි කියල පරිස්සමට නම් නෙවෙයි අම්මාපල්ල මට මේකව රිවර්ස් එකේ ෆුල් ස්පීඩ් ගිහිල්ල හප්පන්ට නැති හැටියක් කියල හිතනව වෙන්ට ඕන කියලමයි. මිනිස්සු කියන ජාතිය කෙරෙහි කිසිම විස්වාසයක් තියන්ට බැරි හින්ද මම කෝකටත් හෙමීට ගේට්ටුවෙන් එළිය ගිහිල්ල තාප්පෙට මුවා වුනා.
ඔය වාහනයක් රිවර්ස් කරනකොට රියදුරාට නොපෙනන තැන් දෙකක්ද කොහෙද තියනව කියල මම ඩ්‍රයිවිං ලයිසන්ස් එක ගන්ට ඩ්‍රයිවිං පුරුදු වෙද්දි ඒ උපදේසක මහත්තය කියල දුන්න නේද කියල ඔන්න මට ඒ වෙලාවෙ මතක් වුනා. ඒත් ඒ බ්ලයින්ඩ් ස්පොට්ස් තියෙන්නෙ කොතනද කියල මට මතක නෑනෙ. අන්න ඒ තැන් මතක තිබ්බ නම් හරියට ඒ තැන්වලට වෙලා ඉන්ට තිබ්බ කිසි අවුලක් නැතුව. ඒත් ඔය හදිස්සියෙ කොහෙද ඔව්ව මතක් වෙන්නෙ? අන්න ඒ හින්දමයි මම සූදානම් සරීරෙ කියල පාරට ගිහිල්ල තාප්පෙටත් මුවා වුනේ කෝකටත් කියල. කියන්ට බෑනෙ ..මොකෝ ඔහෙල කියන්නෙ?
අංකල් හෙමීට කාරෙක පාරට රිවර්ස් කරල ජනේලෙන් එළියට ඔලුව දාල ඔලුව හරව හරව මාව හෙව්ව. මම තාප්පෙ මුවාවෙං එළියට ආව.
"ආ..මේ ඉන්නෙ... කොහෙද මනුස්සයො යන්නෙ? මොකද ඔය තාප්පෙ අස්සෙ කරන්නෙ?"
"නෑ අර රිවර්ස් කරද්දි තියෙන බ්ලයින්ඩ් ස්පොට් එක කොතනද කියල එක පාරට මතක් වුනේ නැති හින්ද කෝකටත් කියල මම මෙතනට මුවා වුනා.."
"මොකක්?" අංකල් ඇස් ලොකු කරගෙන මා දිහා බලා හිටියෙ දෙයියෝ සාක්කි මේ මිනිහට පිස්සුද ? නැත්නම් මට පිස්සුද කියල හරියටම තෝර ගන්ට බැරුව වගේ.."හා..හා.. එව්වයිං වැඩක් නෑ.. දැං මට පරක්කුත් වෙනව. මෙන්න මෙහෙ ඇවිල්ල නඟිනව ඔෆිස් යන්ට ඕනනං" අංකල් ඉතාමත්ම සුහදව ආරාධනා කලා.
මම වම් පැත්තෙ සීට් එකේ ඉඳගත්ත. මීට කලිං අන්තිම පාරට මගේ පෙම්වතියගෙ පියාණන් එක්කල එයාගෙ කාරෙකේ මේ විදිහටම ඉඳගෙන ගිය අවස්තාව මට මතක් වුනේ ඉබේටම. ඒ ඉතාම අමිහිරි මතකයන් එක්කල මගෙ පපුවත් ගැහෙන්ට ගත්ත ඩං ඩං ගාල. "ක්‍රිෂ් පිස්සු කෙලින්ට ලෑස්ති වෙන්ට එපා. ඒ එදා වගෙ නෙවෙයි අද..තේරුණාද? අද වෙනස්. අද කොහෙත්ම එදා වගෙ වෙන්නෙ නෑ.ඒ හින්ද හිතට ධෛර්යය ගනිං" මම හෙමීට මටම කියාගත්ත. එහෙම කියාගෙන ඇස් දෙක තදින් පියාගෙන පපුව පුරවල දීර්ග හුස්මක් අරං හෙමීට පිටකලා. ආයෙමත් එහෙම කලා.
එහෙම කරල හිත ටිකක් සංසුන් කරගෙන ඇස් අරිනකොට අංකල් බයවෙලා වගෙ මා දිහා බලා ඉන්නව සිටියරිං වීල් එකත් දෑතින්ම බදාගෙන.
"මොකද ළමයො අසනීපයක්වත්ද?"
"ආ..නෑ..නෑ..අංකල් බයවෙන්න දෙයක් නෑ...එහෙම එකක් නෙවෙයි. වාහනේකට නැග්ගම මගෙ සිරිතක් ඒ. වාහනේ යන අයට විශේෂයෙන්ම රියදුරු මහත්මයට කිසිම අතුරු ආන්තරාවක් නොවේවා කියල මම ඒ දෙවියන්ට යාඥා කලා"
"ආ..ඒක මිසක්..මම මේ ඒත් හිතුව.." අංකල් එහෙම කියල වාහනේ ස්ටාට් කරල පාරට ගත්ත.
අංකල් වාහනේ එළෙව්වෙ උපරිම පැයට කිලෝමීටර් දහයෙ වේගෙන්. ඒ ගාණටවත් ගියෙ මම හිතන්නෙ ඊට අඩුවෙන් එළෙව්වොත් වාහනේ පාරෙම නතරවෙයි කියල අංකල්ටම හිතෙන හින්ද වෙන්න ඕන. කොහොමහරි අන්කල් එක්ක විනාඩි දහයක් කාරෙකේ යද්දි මට හිතුනෙ නම් එහෙමයි.
ත්‍රී වීලර් ස්කූටර් වගෙ එව්වනම් කිසිම ගේමක් නැතුවම අපිව පහුකරගෙන ගියා. ඒ විතරක් නම් මදැයි ඔන්න එක පාරක් රික්ෂෝ එකකුත් අපිට ඉස්සර කරන්ට ඔන්න මෙන්න කියල ආව. ඒ විඩේනම් අංකල් ටිකක් කලබල වෙලා ඇක්සලරේටරේ ඩිංගක් වගෙ පෑගුව. රික්ෂෝකාරයත් ඇරියෙ නෑ. සෑහෙන දුරක් අපි පස්සෙන්ම දුවගෙන ආව. අංකල් අපරාදෙ කියන්ට නම් බෑ මිනිහට ඉස්සර කරන්ට නම් දුන්නෙම නෑ. කොහොම හරි රික්ෂෝ කාරය මඟ හංදියක් ගාව නතර වෙනකල්ම අංකල් ගානට වාහනේ තියාගෙන ආව රික්ෂෝ කාරයට අඩි විස්සක් වගෙ ඉස්සරහිං...හෙහ්,හෙහ්,
මට අංකල් එක්ක කතා කරන්ට හොඳටම ඕනකම තිබ්බට අපි දෙන්නට ගහමරාගන්නෙ නැතුව කතා කරන්ට පුලුවන් එක මාතෘකාවක්වත් කොච්චර මොලේට වද දීල කල්පනා කලත් මගෙ ඔලුවට ආවෙම නෑනෙ. කොච්චරවත් එක වචනයක්වත් කතා නොකර බුම්මට්ට වගෙ ඉස්සරහ බලාගෙන යන්ට බැරි හින්ද මම මගෙ බ්‍රීෆ් කේස් එක ඇරල ඊයෙ ගෙදරදි කියවන්ට කියල හිතල ඔෆිස් එකෙන් අරංගිය රිපෝට්ස් වගයක් එලියට ගත්ත.
ඒ රිපෝට්ස් වල තිබ්බෙ ඉතිං අපි හැමෝම හොඳාකාරවම දන්නදේ ආලවට්ටං දාල ආපහු ලියල. ඉන්ටර්නෙට් හා සම්බන්ධ සමාගම් වල කොටස් මිල පහුගිය සතියෙ 25% කින් පහළ ගිහිල්ල. මේ ඒ හැටි කාලයක් එහෙම නෙවෙයි යන්තං මාසෙකට ඉස්සෙල්ල ඔය සමාගම්වල කොටස්මිල සෑම සතියක් පාසාම තුන් ගුණයකින් වැඩි වෙනවයි කියල පරසක්වල ගහල අනාවැකි කියපු මහ ලොකු වාණිජ විශ්ලේෂකයො දැං කියන්නෙ මොනවද දන්නවද? ඒ ගොල්ල ආපහු පරසක්වල ගහනව මේ වෙලා තියෙන්නෙ කොටස් මිල පහත වැටීමක් නෙවෙයිලු. මෙතන වෙලා තියෙන්නෙ කොටස් වෙළඳපොල "සෙල්ෆ් කරෙක්ට් මෝඩ් " එහෙකට ගිහිල්ලලු.
සෙල්ෆ් කරෙක්ට් මෝඩ්.... හෙහ් ඇත්තම කියනවනම් හරිම අපූරු වචනයක්. අපේ උපදෙස් පරිදි ඉන්ටර්නෙට් සමාගම් විස්වාස කරල, එව්වයෙ තමං ජීවිත කාලයක් උපයාගත්තු සබ්බ සකලමනාවම ආයෝජනය කරල, ඒ ඔක්කොම එක සතියෙන් දෙකෙන් නැති කරගත්තු අවාසනාවන්ත ගෑණුන්ට සහ පිරිමින්ට අඩු ගානෙ තමන්ගෙ හිත සනසගන්නවත් පුලුවන් හරිම අපූරු වචනයක්. අපිටත් ජාම් බේරගන්ට හොඳ පොයින්ට් එකක්. සෙල්ෆ් කරෙක්ට් මෝඩ්.... ආච්චිගෙ රෙද්ද තමයි.
හැබැයි ඉතිං යන්තමකට හරි ඔලුව තියෙන මනුස්සයෙක් ඇහුවොත් "ඔය රෙද්දෙ සෙල්ෆ් කරෙක්ට් මෝඩ් එකට මාකට් එක යන බව ඔහෙලගෙ ඔය ඔලු කටු ඇතුලෙ තියන මොල ගෙඩි වලට කලින්තේ රුනේ නැත්තෙ මොන කෙහෙල්මලක් හින්දද?" කියල අපිට කට උත්තර නැති වෙනව. ඒ හින්ද ඔක්කෝටම කලිං අන්න ඒ ප්‍රශ්නෙට පිළිගත හැකි තර්කානුකූල උත්තරයක් හොයාගන්ට වෙනව.
දැං මේ අද උදේ වරුවෙ මට මීටිං දෙකක් තියනව මගෙ කස්ටමර්ල දෙන්නෙක් එක්ක. ඒ දෙන්නම මගේ... මගේ කිව්වට ඇත්තටම නම් අපේ... අපේ කියන්නෙ සිටි බැංකුවෙ උපදෙස් පරිදි ඩොට් කොම් සමාගම් කොටස්වල තමන්ගෙ සල්ලි ආයෝජනය කරල එක්කෙනෙක් ලක්ෂ දහයකට එහා පැත්තෙ ලොස් වෙලා ඉන්නෙ. ඉතිං එයාල තකහනියක් එන්නෙ I.I.M.A. (ඉන්දීය කළමණාකරන ආයතනය - අහ්මදාබාද්) එකේ M.B.A. උපාධිධාරී ගරු කටයුතු මිස්ටර් ක්‍රිෂ් (ඒ කියන්නෙ මේ මම හොඳේ) මහතාගෙන් ඒ නැතිවෙච්චි සල්ලි ආයම හම්බකරගන්නෙ කොහොමද කියල විසේසඥ උපදෙස් ගන්ට. හෙහ්..හෙහ්..නරකම නෑ නේද මගෙ රස්සාව?
රෙඩ් ලයිට් එකක් ගාව ෆියට් එක නතර කෙරුව. "මෙතන රෙඩ් ලයිට් එක ටිකක් වෙලා තියනව" එහෙම කියල අංකල් එන්ජින් එක ඕෆ් කලා. "ඔය රිපෝට්ස් ලිව්වෙ ඔය ළමයද?" මම අතේ තියෙන රිපෝට්ස් දිහා ටික වෙලාවක් බලා ඉඳල අංකල් ආයම ඇහුව.
"නෑ මම නෙවෙයි. මෙව්ව අපේ විශ්ලේෂණ අංසෙ කට්ටිය ලියන්නෙ"
"එතකොට ඔය ළමය ඇත්තටම මොකද ඔය බැංකුවෙ කරන රාජකාරිය?"
"මම කස්ටමර් සර්විස් ….." එහෙම කිව්වට රටේ නැති බොරු කියල මිනිස්සු දහ දුක් විඳල හම්බ කරපු දෙකයි පණහට කෙලෙප්පු කරවන එක කස්ටමර් සර්විස් එකක් වෙන්නෙ මොන පොතේ හැටියටද කියලනම් මටත් ලොකු සැකයක් තියනව.
"මේ... ඔය ළමය දන්නවද මේ වගෙ රිපෝට් ලියන්ට?" අංකල් ආයෙම ඇහුව.
ඒ වෙනකොට ග්‍රීන් ලයිට් වැටිල. අපේ පිටිපස්සෙ තියෙන වාහන නොඉවසිල්ලෙං හෝන් ගහන්ට ගත්ත. කලබල වෙච්චි පාර අංකල්ට එක පාරට එන්ජින් එක ස්ටාට් කරගන්ට බැරුව ගියා. පිටිපස්සෙ හෝන් සද්දෙ එන්ට එන්ටම උග්‍ර වෙන්ට ගත්ත. "මදැයි දැං ටයි එකකුත් දාගෙන තල්ලු කරපංකො මේ ලදරම මේ ටවුම මැද්දෑවෙ.." එහෙම හිතල කියව කියව හිටපු රිපෝට්ස් ආපහු බ්‍රීෆ් කේස් එකට දාගෙන මම කලිසං කකුල් එහෙම නවා ගන්ට කියල පාතට නැමුන.
"ගිය සුමානෙ මේක සර්විස් කරේ. ෂික් බලු වටින්නෙ නෑ මුංගෙ වැඩනම්.." අංකල් එහෙම තොල මතුර මතුර එන්ජින් එක ස්ටාට් කරන්ට උත්සාහ කරනව. වාසනාවකට වගෙ ගහපු හතරවෙනි නැත්නම් පස්වෙනි සැරේද කොහෙද එන්ජිම ස්ටාට් වුනා.
"ඔව් මට රිපෝට් ලියන්ට පුලුවන්. ඇයි අංකල්?" මේ කලබැගෑනියට ඉස්සෙල්ල අංකල් අහපු ප්‍රශ්නෙට මම උත්තර දුන්න.
"නෑ..නෑ..එහෙමට දෙයක් නෙවෙයි. මේ අපේ බැංකුව මාස තුනකට වගෙ ඉස්සර තව ඔය මොකක්ද මූල්‍ය සමාගමක් එක්ක ජොයින්ට් වෙන්චර් එහෙකට ගියානෙ. ඉතිං ඒ අලුත් පාට්නර්ස්ල අපෙන් ඉල්ලල තියනව ඉස්සරහ අවුරුදු තුනකට බිස්නස් ප්ලෑන් එකක්. ඉතිං අපේ ජී.එම්. මට කිව්ව බිස්නස් ප්ලෑන් එකක් හදන්න කියල"
"ක්‍රිෂ් ළමයෝ ඔන්න පුතෝ උඹේ වෙලාව හොඳයි ඩෝන්ට් ලෙට් දිස් චාන්ස් ගෝ" මම හෙමීට මටම තොල මතුරා ගත්ත. "මට පුලුවන් අංකල් බිස්නස් ප්ලෑන් එකක් හදල දෙන්න" ඕන වැඩකට නෑ බෑ නොකිය වහාම ඉදිරිපත්වෙන බාලයක්ෂයෙක් වගෙ මම ක්සනිකව අංකල්ට දැනුම් දුන්න.
"හොර තක්කඩිය...බ්ලඩි රාස්කල්………" අංකල් එක පාරටම මහ හයියෙං කෑගැහුව.
"මොකක්ද කිව්වෙ?" මම අංකල් දිහාට හැරිල ඇහුව.
"නෑ ළමයො මම මේ තක්කඩිය කිව්වෙ අර අපේ ජී.එම්. වර්මාට. මම දැනට මේ බැංකුවෙ අවුරුදු තිහක් වැඩ කරල තියනව. මම කවමදාවත් ඔය රිපෝට් කියන එකක් හදල නෑ. ඒ මදිවට අර ජී.එම්. කියන මෝඩය කියනව මම පින්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකකුත් කරන්න ඕනලු"
"පින්පොයින්ට් නෙවෙයි අංකල් පවර්පොයින්ට්"
"ආන්න හරි, ආන්න ඔය කියපු ඒකක් තමයි. ඔය වර්මා ඒ කාලෙ ඉඳලම මාත් එක්ක හිත හොඳ නෑ. ඔය යකා මට අංචියක් අදින්ටම හිතාගෙනමයි ඔය මට නොතේරෙන මඟුලක් කරන්ට කියල බාරදුන්නෙ. අලුගුත්තේරුව" අංකල් හිතේ වේගෙටද කොහෙද දකුණු අත උස්සල ස්ටියරිං වීල් එකට ගැහුව.
"මට උදව් කරන්න පුලුවන් අංකල්" මම ආයම ඉදිරිපත් උනා.
අංකල් ඇස් දෙකත් ලොකු කරගෙන මා දිහාට හැරුන. "නෑ..නෑ...උදව් අවශ්‍ය නෑ"
මම හිතන්නෙ මනුස්සයට අන්තිමට තේරුන හිතේ වේගෙට අනවශ්‍ය දේවලුත් මා එක්ක කියල දැම්ම කියල. අංකල් වහාම ක්‍රියාත්මක වන පරිදි සෙල්ෆ් කරෙක්ට් මෝඩ් එකට එන්ටර් වුනා.
"ඔය ළමය අර ඉස්සරහ හන්දියෙන් බහින්න. අර දකුණු පැත්තට තියෙන පාරෙන් ගිහාම, අර නිල්පාට කාර් එකක් ගියේ මේ දැන්, අන්න ඒ පාරෙන් ගියාම සිටි බැංකුවට මීටර් සීයක්වත් නෑ. බොහොම ළඟයි"
මම දොර ඇරල කාර් එකෙන් බැස්ස. ඊට පස්සෙ වටෙන් අංකල් ගාවට ගිහිල්ල මුව නොසෑහෙන සේ ස්තූති කලා. ඒත් අංකල් වචනයක්වත් කතා කලේ නෑ. බොහොම බැරෑරුම් මුහුණින් ඉස්සරහ බලාගෙන ඉඳල ඊට පස්සෙ ගියර් එකට වමත තියල ජනේලෙන් මා දිහා බැලුව.
"ඔය ළමය නිතරම අනන්‍යාව හම්බ වෙන්ට එන්නෙ නැත්නම් මම කැමතියි. අපි වැඩිය කතා නොකරන බොහොම සරල මිනිස්සු. ඒත් අපේ නෑදෑ පරපුර අතර හොඳ පිළිගැනීමක් ගෞරවයක් අපිට එදත් තිබ්බ. අදත් තියනව"
"අංකල් මම මේ…"
අංකල් සුරත උස්සල මාව වැළැක්කුව. "ඉන්න මම කතා කරල ඉවර වනකල්...අර මම කිව්ව ගෞරවය පිළිගැනීම හෙටත් තියෙන්න ඕන. විශේෂයෙන්ම අනන්‍යාගෙ ගෞරවය....කරුනාකරල ඒක නැතිකරන්න හදන්න එපා...මම දන්නව අනන්‍යයයි ඔය ළමයයි යුනිවර්සිටි එකේ බැච්මේට්ස්ල. එතකොට ඔයා අපේ මංජුට උදව්කරනව ඉගෙනීමට. මම එව්ව ඔක්කොම දන්නව. අපි කලගුණ නොදන්න මිනිස්සු නෙවෙයි. අපිට ඔය ළමයට ඕනනම් තුන්වේලම කන්න දෙන්න උනත් පුලුවන් එක රුපියලක්වත් අය කරන්නෙ නැතුව. ඒක අපිට කරන්න පුලුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒත් මම මේ ඔය ළමයට බොහොම කරුණාවෙන් කියන්නෙ අපිට අනන්‍යාට ඔය ළමයව කසාද බඳින්න නම් කොහොමටවත් ඉඩ දෙන්න විදිහක් නෑ"
"අංකල් මම මේ කියන එක…." මට එච්චරයි කියන්ට වුනේ. අංකල් හිස නමල, දෑත් එක්කරල මට ආචාර කලා. ඊට පස්සෙ ගියර් එක ෆස්ට් එකට දාල කාරෙක හෙමීට පාරට අරගෙන යන්ට ගියා.
ඈත වාහන අතරෙ අංකල්ගෙ ෆියට් එක නොපෙනී යනකල්ම මම එතනට වෙලා ගල් පිළිමයක් වගෙ බලාගෙන හිටිය. දෙයියෝ සාක්කි ඉතිං මොකද කරන්නෙ? අත් දෙක එකතුකරල වැඳල ඒ එක්කම ඔලුවත් නමල තාත්ත කෙනෙක් තමන්ගෙ දුව එක්ක ආශ්‍රය කරන්න එපා කිව්වම මොකද කරන්නෙ? මට ඒ ප්‍රශ්ණෙට උත්තරයක් නෑ. මගෙ බ්‍රීෆ් කේස් එකත් උස්සගෙන මම ඈත පේන සිටි බැංකුව දිහාට ඇවිදගෙන යන්ට වුනේ හීනෙං ඇවිදිනව වගේ.