මහනුවර දළඳා පෙරහැරේ දසුනක් ප්‍රති නිර්මාණය කල සිතුවමක් ඉහත දැක්වේ. - Google images |
රමසාන් උපවාසය අවසන්වුනේ ඊයෙ. ඊයෙ හඳ දැක්කට පස්සෙ. අද ඉඳල අපිට දවස් තුනක් නිවාඩුයි. මේ නිවාඩුව ඇතුලත අර තාපසයගෙ කතන්දරේ ලියනවයි කියල මම පොරොන්දු වුනානෙ. අපි ඇවිල්ල පොරොන්දුවක් උනොත් ආය නෑ බෙල්ල ගහල ගියත් ඉස්ට කරනව. යහ පාලනේ වගේම තමයි...හෙහ්,හෙහ්, අර කඩදහි කොලේ කියල බ්ලොග් එකක් ලියන ලිකිතා නෝනා මට පහුගියදා නෝන්ඩියකුත් දාල තිබ්බ. ඔහෙත් හරියට යහපාලනේ වගේම තමයි කියල. ඒ කියන්නෙ පොරොන්දු කඩකරනව කියන එක.
ඉතිං ඒ නෝනගෙ චෝදනාව ඇත්තක් වෙන්ටයි යන්නෙ. ඒ කිව්වෙ තාපස තුමාගෙ කතාව තව දවසකට කල් යනව. හරි..හරි..ඉන්ටලාකො පොඩ්ඩක් විත්ති වාචකය නොහොත් නිදහසට කරුණු ඉදිරිපත් කරන කල්. මිනීමරුවෙකුට උනත් තමංගෙ නිදහසට කරුණු කාරණා කියා හිටින්ට චෑන්ස් එකක් දෙන්ට එපාය..නැද්ද? ඒ ඇවිල්ල මිනීමරුවෙකුගෙ අනුල්ලංඝනීය අයිතිය. ඉතිං මගේ විත්ති වාචකය මෙහෙමයි.
ජීවිතේ අපි හීනෙකින්වත් නොහිතන දේවල් සිද්ද වෙනව හදිස්සියෙම. මටත් මේ ඊයෙ එහෙම එකක් සිද්ද වුනා. හරි මෙන්න මෙහෙමයි ඒ කතාව......
70 දශකයෙ මැද භාගයෙ අපි එදවස හිටියෙ කෑගල්ලෙ හොඳද? ඔය ටී.වී. එහෙම ඒ කාලෙ නෑනෙ. රේඩියෝ එකෙත් හැටහුටහමාරක් චැනල් තිබ්බෙ නෑ. තිබ්බෙ දෙකයි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙ පළමුවන සේවය සහ දෙවන සේවය. පස්සෙ ඔය දෙක ස්වදේශීය සේවය සහ වෙළඳ සේවය කියල නම් මාරු කලා. මට හරියට මතකනම් නෑ ඒ නම් මාරුව කලේ මැතිණිගෙ ආණ්ඩුව කාලෙමද නැත්නම් ජේ.ආර්. ලොක්ක ඇවිල්ලද කියල. හරි කොහොමහරි ඒකෙන් වැඩක් නෑ. ඉතිං ඔය වෙළඳ සේවයෙ සතියෙ හැමදාම වගෙ රෑ 8.30 ට හඬ නළුවක් ප්‍රචාරය වුනා. ගුවන් විදුලි නාට්‍ය වලට හඬ නළුව කියල නම දැම්මෙ මට මතක විදිහට සුගතපාල ද සිල්වා මහත්තය නොහොත් සොඳුරු ආඥාදායකයා.
බ්‍රහස්පතින්දා හවස අටාමාරට විකාශය වුනේ ගජමුතු. කතාව ලිව්වෙ ධර්ම ශ්‍රී මුණසිංහ. මෙහෙමයි කතන්දරේ ඔන්න. කන්ද උඩරට මහනුවර නගරයට තදාසන්න ගම්මානයක්. කතාවෙ කියවෙන විදිහට කටුගස්තොට කිට්ටුව.
ගමේ බහුතරයක් ඉන්නෙ හීන කුළේ මිනිස්සු. බෙර වාදනය සහ නර්තනය තමයි ඔවුන්ගෙ ජීවිකාව. ගමේ කුඹුරු ඉඩම්වලින් වැඩි හරියක් අයිති ගම ඉහත්තාවෙ තියන වළව්වට. මොරපාතොට වළව්වට. ඒ කුඹුරු වල අඳේට වැඩකරනව අර හීන කුළේ මිනිස්සු.
ඒ මිනිස්සුන්ගෙ නායකය වගෙ ඉන්නෙ මට මතක විදිහට උක්කුවා වෙන්න ඕන. උක්කුවා නැටුම් සාස්තරේ සහ බෙර වාදනය පුහුණු කරනව ගමේ අනික් තරුණ තරුණියන්ට. ඒත් තරුණ වයසෙ බහුතරයක් ඒ පැරණි සාස්තර ඉගෙන ගන්ට කැමැත්තක් නෑ.
උක්කුවට ඉන්නෙ එකම දුවයි. ඇගේ නම මුතූ. මොරපාතොට නිළමෙට ඉන්නෙ දුවයි පුතයි. කතන්දරේ පටන් ගන්නෙ නිළමෙගෙ පුතා නොහොත් මොරපාතොට අප්පො ඉගෙන ගන්ට ගමෙන් පිට ගිහිල්ල ඉඳල ආපහු ගමට එන තැන ඉඳල. අප්පොට ඕන වෙනව නැටුම් සාස්තරේ ඉගෙන ගන්ට. නිළමෙයි මැණිකෙයි දෙන්නත් එහෙමට කුළ ගර්වය ඉහ උඩ තියාගත්තු උදවිය නෙවෙයි. ඒ හින්ද කලින් හොරෙං හොරෙං නැටුම් ඉගෙන ගන්ට ගියත් මොරපාතොට අප්පොට පස්සෙ නිළමෙගෙ අවසරය ලැබෙනව.
අප්පොට නැටුම් පුහුණු කරන්ට බාරවෙන්නෙ මුතූට. ඒ දෙන්න අතරෙ සෙනෙහසක් ඇතිවෙන්නෙ එයාලවත් නොදැනිම.
"අනේ අප්පො මේ වග විත්තිය මහ නිළමෙට එහෙම ආරංචි වුනොත් අපි ඔක්කොමල ගමෙං පන්නල දායි අපෙ ගෙවල් වලටත් ගිණි තියල" දවසක නැටුම් පුහුණුවෙන් පස්සෙ නැටුම් මඩුවෙ බිත්ති කන්ද උඩ වාඩිවෙලා ඉන්න අප්පො ලඟම බිම ඉඳගෙන මුතූ එහෙම කියන්නෙ ඔලුව හරවල අප්පොගෙ මූණට එබිල.
"හෙහ්.. බයවෙන්ට එපා. එහෙම උනොත් මම මුතූව කොළඹ එක්ක යනව. නිකම්ම නෙවෙයි කසාද පොතේ අත්සන් කරල…"
"අපෙ අප්පෝ විහිලුවටවත් එහෙම කියන්ට එපා මයෙ දෙයියො.."
"නෑ මුතූ බයවෙන්ට එපා. අපෙ අප්පච්චි එහෙම දරුණු තීරණයක් ගන්න එකක් නෑ. අනික එහෙම දෙයක් උනත් ඔයා බයවෙන්ට එපා. මම ඔයාට කරදරයක් වෙන්ට ඉඩ තියන්නෙ නෑ"
කතාවෙ අන්තිමට මොකද වෙන්නෙ කියල අඳෝ සංසාරයක් මට මතකනම් නෑ. සෑහෙන කාලයක්නෙ දැන්. ඒත් මගේ හිතේ මෙච්චර කාලයක් නොමැකී රැඳී තියෙන කතාවක් ඕක. ප්‍රධාන චරිතවලට හඬ කැව්වෙ කරුණාරත්න අමරසිංහ (මොරපාතොට අප්පෝ) සහ නිරංජලා සරෝජිනී (මුතූ) ධර්ම ශ්‍රී වික්‍රමසිංහ සහ ඇග්නස් සිරිසේන එහෙමත් හිටිය වගෙ මතකයි. හරි දැන් මම මේ කියන්ට ආවෙ ඉතිං ඔය වගෙ කතාවක් ලියන්ට ඕමනයි කියල කාලෙක ඉඳල මගෙ හිතේ තිබ්බ.
මම අර හැමදාම ලියනව කියල කියන්නෙ...අර කුමරියකට පෙම් කළෙමි.....ඒ කතාව කියවෙන්නෙ වළව්වෙ කුමාරිහාමිට පෙම් කරන සාමාන්‍ය ගැමි තරුණයෙක් ගැනනෙ. මෙතන ඒකෙ අනික් පැත්ත. වළව්වෙ අප්පො සහ කුළහීන යුවතියක්.
ඉතිං ඔය කතාවෙ මෙහෙම සීන් එකකුත් මගෙ හිතේ ඇඳිල තිබ්බ. අර අප්පො බස්නායක නිළමේ කෙනෙක් වෙලා දළඳා පෙරහැරේ යනව බොහොම ගරු ගාම්භීර තාලෙට. කුලහීන යුවතියටත් පෙරහැරේ රාජකාරී පංගුව විදිහට නටන්ට වෙනවා ඔහු ඉස්සරහම. ඒ වෙලාවෙ මේ දෙන්නගෙ හිත්වල මොනවගෙ හැඟීම් ඇතිවෙයිද?
ඉතිං ඔන්න දැන් එනව මම අර කියපු හීනෙකින්වත් නොහිතපු සිද්ධියට. ඒ කිව්වෙ දන්නව නේද අර පොකුරු වැහි නොහොත් වත්සලා විජයලත් නෝනා. එතුමී පහුගිය දවස්වල මුහුණු පොතේ බොහොමත්ම අපූරු කවි පංති දෙකක් පළ කරල තිබ්බ.
මේ එකක්.....
කරඬුවක් හිස නොලා පෙරහැරේ දුර ආව
බොරු කකුල් ලූ පතුල් රිදුම් දෙයි හිත ගාව
දියවඩන නිළමෙ නුඹ කරද්දී තේවාව
වැටුන කඳුළක් අදත්...ඇති නුවර වැව ගාව
සංසාර පුරුදු අත හරිනු බැරි වෙන්නැතී
වෙස්සන්තර වෙලා... මාව දන් දෙන්නැතී
නා කපන වැස්සකත්...වැටුනෙ නැති දුක් ඇතී
තරුවක් මියැදුනත්...මහ පොළොව දන්නැතී
මගෙ හිතේ උඩ මළුවෙ සක්මනේ හිඳීයන්
ගව් පුරා නුඹ නමින් රන් විමන් මැවීයන්
හීනයක පේ වෙලා මං ලඟින් පිපීයන්
පාරමී පිරෙන දා....මටම මුණ ගැහීයන්...
මේ ඊට පස්සෙ එක...
රන්දෝලියේ උඹ සැඟවිලා හිත ගාව
තිස්සේම හද ගැස්මෙ ඇහෙනවා තේවාව
රඟ හලක සෙනසුනක් මවා දී අරුමැසිව
බවුන් වඩනා හිතට උඹයි සක්මන් මළුව...
කොච්චරක් ඇස් අස්සෙ තියාගත්තත් තරුව
දුර ඉන්න මට වඩා උඹට ළඟ සඳ පළුව
අසා ඉමි උඹේ දුක කියන විට වැහි කළුව
කදෝ පැණි එළියටත් ආදරෙයි මහ පොළොව...
සංසාරෙ කොහේ හරි කමටහන් බිඳෙන්ටැති
වෙස්සන්තරව හෝ මං උඹව පතන්ටැති
ප්‍රේමයේ හේවිසිය හෙටත් දියවඩනු ඇති
රන්දෝලි මං හෙටත් තේවාව කරනු ඇති...
ඉතිං ඒ නෝනා මොනව හිතාගෙන ලිව්ව උනත් කවි පංති දෙක කියවපු සැණින් මගෙ හිතේ ආයෙම ඇඳුනෙ අර මම කලින් කිව්ව පෙරහැරේ දර්ශනය. ඒ කිව්වෙ තම සෙනෙහෙවන්තයා ඉදිරියේ නටන ඒ යුවතිය. ඒ Inspiration එකත් එක්කම මගෙ අතින් ලියවුනා ඒ ප්‍රස්තුත මොහොතෙ ඒ කුලහීන යුවතියගෙ සිතුවිලි මෙහෙම වෙන්න ඇති කියල.
නුවර වැව් පතුලෙ වැලි කැටත් ඉකි බිඳීවී
රැජින හෝටලේ ලඟ සුළඟ දෙස් තියාවී
මහ මලුවෙ අතුල ගල් උනත් දුක් දරාවී
නුඹ ඉදිරිපිට රඟන මගෙ දුකට හඬාවී
ස්නේහයේ නගරයේ ඇවිදගිය වීදි දිග
ප්‍රේමයක් දැවුනු චිතකයෙ විසිරි අළු මතින
මේඝයක් වැටුනු මුත් මිහිමඬල තෙමාගෙන
ළසෝගිනි නොනිවේය වැස්සටත් කපනහන
කස්තිරම් අල්ලද්දි සිනාසුනු නුඹෙ දෑස
බිම්බරක් මේ සෙනඟ මැදත් මසිතේ මැවෙන
මැදිදුරම් තේවාවෙ රඟන අතරේ මසිත
සීවරම් දෙවියන්ට යදිමි නුඹ රකිනු මැන
සංසාරෙ පතා ආ සෙනෙහසක සුව විඳිමි
නිම්තෙරක මතු බවෙක හමුවන්ට පතන්නෙමි
පින්පුරන්නට දළඳාව ඉදිරිපිට රඟන්නෙමි
මසිත් අහසේ පෑයු හිරු මඬල නුඹය සකි
ඉතිං ඔන්න ඔයාකාරයි මගෙ විත්ති වාචකය නොහොත් නිදහසට කරුණු...............
පලි - තාපසයගෙ කතාවත් හැකි ඉක්මනින් ලියන්නං හොඳද?