Friday, September 29, 2017

534. ඝාතකයකුගේ කතාව - 3…. (අවසාන කොටස)

ස්නයිපර් වෙඩික්කරුවන් භාවිතා කරන මාදිලියේ  දුරබලන උපකරණයක්
සවිකල 
රයිෆලයක් ඉහත ඡායාරූපයෙහි දැක්වේ.



එහෙත් මේ අවසන් මොහොතෙහිදී එනම් මෙහෙයුමෙහි කූට ප්‍රාප්තියෙහිදී ධෛර්යය හීනව ගොස් ඇය නොසන්සුන් වුවහොත් සියළු සැළසුම් ව්‍යාර්ථ වනු ඇත. ඇගේ ස්වාමියා වෙනුවට ඇයට මරණයට පත්වන්නට සිදුවනු ඇත. බොහෝවිට රොබීටද දීර්ඝ කාලයක් අමානුෂික වේදනා විඳීමෙන් අනතුරුව ඛෙදජනක මරණයක් උරුම වනු ඇත. අනපේක්ෂිත පරිදි එසේ වුවහොත් රොබීගේ සංවිධානය හෝ එක්සත් ජනපද රජය රොබී පිළිබඳ තමන් කිසිවක් නොදන්නා බව පරසක්වල ගසනු ඇත. ඒ අමිහිරි සත්‍යය රොබී ද ඉතා පැහැදිලිව දැන සිටියේය.

මොහොතකට පසු මෙහෙකාරිය කවුළුව අසලින් ඉවත් වූවාය. කුටිය ඇතුලත රොබීට යලිත් පැහැදිලිව දැකගැන්මට හැකිවූ අතර දිගු ප්‍රශ්වාසයකින් ළය සැහැල්ලු කොටගත් ඔහු තරව මොහොතක් දෑස් පියාගත්තේය.

රොබීගේ රයිෆලයෙහි බඳ ඉතා ශක්තිමත් එමෙන්ම සැහැල්ලු සුවිශේෂී කාබන් තන්තු විශේෂයකින් නිර්මාණය කරන ලද්දකි. එහෙයින්ම මෙම මාදිලියේ සාමාන්‍ය රයිෆලයක බර රාත්තල් අටක් වන විට රොබීගේ රයිෆලයෙහි බර වූයේ රාත්තල් තුනක් පමණකි. ගුවන් යානයක් පොළවෙන් ඉළ්පී ගුවන් ගත වීමට එහි බර ප්‍රමාණය ඉතාම වැදගත් සාධකයක් වන්නා සේම රොබීට භාරවූ රාජකාරිය මනාසේ ඉටු කිරීමටද ඔහු භාවිතා කරන රයිෆලයේ බර ප්‍රමාණය බෙහෙවින් බලපායි. එනම් රයිෆලයේ බර අඩුවන තරමට රොබීගේ කාර්යය ද පහසු වනු ඇත්තේය.

අනතුරුව ඉතා සෙමෙන් රයිෆලයෙහි බඳෙහි වම්පසට තම දකුණු කොපුල තබා රයිෆල් බඳට සවිකොට තිබූ දුරබලන උපකරණයෙහි උපනෙතට තම දකුණු ඇස තැබූ රොබී තම ඉලක්කයවූ ඉදිරිපස ගොඩනැඟිල්ලේ තෙවන මහලේ වූ කුටිය ප්‍රවේශමෙන් නීරීක්ෂණය කලේය. දූරදර්ශක උපකරණයෙහිවූ සීරු මාරු ඉස්කුරුප්පුව වමතෙහි දබරැඟිල්ල සහ මහපට ඇඟිල්ල ආධාර කොටගෙන ප්‍රවේශමෙන් එහා මෙහා කරකවමින් ඔහු ජනෙල් කවුළුවෙහි විවරවූ තිර රෙදි අතරින් අතරවූ අවකාශය තුලින් දර්ශනය වන කුටියේ අභ්‍යන්තරය නාභිගත කොට ගැන්මට තැත් කලේය.

එක්වරම කුටිය ඇතුලත දර්ශනය ඔහුට සුරත දිගුකොට ස්පර්ශකල හැකි පමණ සුපැහැදිලි විය. මෙතරම් පැහැදිලිව දර්ශනය වන ඉලක්කයක් රොබීට චේතනාන්විතව වුවද වැරදිය නොහැක. දෙපසට ඇදුනු තිරරෙදි අතර හිඩැස එක එල්ලේම කුටිය තුල දුඹුරු පැහැ කුඩා මේසයක් විය. ඒ මත වූයේ කළු පැහැති දුරකථනයකි. ඒ වනාහී ජංගම දුරකථනයක් නොව දඟර ගැසුණු රැහැණක් සහිත පැරණි පන්නයේ ගෘහස්ථ දුරකථනයකි.

එම පැරණි මාදිලියේ දුරකථනය තවත් මිනිත්තු දෙකකට මඳක් අඩු කාලයකදී නාදවනු ඇත. මහා නෘත්‍යයට වේදිකාව සූදානම්ය. නර්තන රචනයද (Choreography) කිසිදු අඩුලුහුඬුවකින් තොරය. 

එහෙත් ඒ සමඟම කවුළුවෙන් දර්ශනය වන්නාවූ කුටියෙහි අභ්‍යන්තරය දෙස බලාසිටින රොබීගේ සිතෙහි එකවරම මහත් සැකයක් හට ගත්තේය. ඒ මේ නර්තනය රඟ දැක්වීම උදෙසා වේදිකාව කොතරම් ප්‍රවේශමෙන් සකස්කොට ඇතිද යන්න ඝාතනයවන්නා හෝ ඔහුගේ අංගාරක්ෂකයින්හට මෙතෙක් නොවැටහුනේ මන්ද යන්නයි.

තිර රෙදි විවර කල කවුලුව ඒ හා එක එල්ලේ පිහිටි මේසය මතවූ කුටියේ වූ එකම දුරකථනය....එම දුරකථනයට පිළිතුරු දෙන්නෙකු එක එල්ලේම තිර රෙදි විවර කල කවුලුව තුලින් ඉලක්කය ගන්නා වෙඩික්කරුවකුගේ පහසු ඉළක්කයකි. එසේම මාර්ගයෙන් එපිට උපරිම වශයෙන් අඩි එකසිය විස්සක හෝ තිහක පමණ මානයේ පිහිටි අත්හැර දමන ලද සිව්මහල් පාළු ගොඩ නැඟිල්ල.....තම කාර්යය මැනවින් දත් ඕනෑම ශරීරාරක්ෂකයකු හට ආරක්ෂක වැඩ පිළිවෙලෙහි මේ දුර්වල ස්ථාන එක්පැහැර වැටහී යා යුතුය. එහෙත් තම ඉලක්කයවූ තැනැත්තාගේ ශරීරාරක්ෂකයින් අතර එවන් දක්ෂයෙකු නොසිටින බව රොබී මැනවින් දත්තේය.

තිර රෙදි විවරවූ කවුළුවෙන් දර්ශනය වන කුටිය තුල වූ ශරීරාරක්ෂකයෝ දෙදෙන මේ වනවිට කුටියේ අස්සක් මුල්ලක් නෑර පරීක්ෂා කරමින් සිටියහ. එහෙත් ඔවුන් දෙදෙනාගෙන් එකකුවත් තිර රෙදි විවර කොට තිබූ කවුළුව අසලට පැමිණ මාර්ගයෙන් එපිට පිහිටි පාළු ගොඩනැඟිල්ල දෙස නොබැලුවෝය. යටත් පිරිසෙයින් මේ අඳුරු හෝරාවේ තිර රෙදි විවර කොට ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි මෙහෙකාරිය වෙතින් විමසීමකුදු නොකළෝය. ඔවුහු වනාහී වචනයෙහි පරිසමාප්ත අර්ථයෙන්ම අකාර්යක්ෂම නුනුවණයෝ වූහ.රොබී සේවය කල සංවිධානය මෙහෙයුම පිළිබඳ තම විමර්ශනයන්ගේ ප්‍රාරම්භක අවධියේදීම මේ අනපේක්ෂිත වාසිදායක තත්ත්වය පිළිබඳව අවබෝධ කොටගත්තෝය.

එසේ වුවද ඔවුහු තම සැලසුම් සකස්කලේ ප්‍රතිවාදීන්ගේ අකාර්යක්ෂම භාවය නොසළකා හරිමිනි. එසේ හෙයින් මෙම මෙහෙයුමේ සාර්ථකත්වය පිළිබඳව රොබීගේ සිත තුල කිසිදු සැකයක් නොවීය. එහෙත් කිසිදු අඩු ලුහුඬු කමක් නොමැති ඉතා සාර්ථක ලෙස දිස්වන සැළසුමක් පවා සම්පූර්ණයෙන් අසාර්ථක වීමට එක් මොහොතක ප්‍රමාදයක් හෝ එකම අභාග්‍යමත් සිද්ධියක් උදක්ම ප්‍රමාණවත් වන්නේය.

තම ළය පිරී යන පරිද්දෙන් හුස්ම ඉහළට ඇදගත් රොබී අනතුරුව ඉතා සෙමෙන් හැකි තරම් කල් වේලා ගෙන හුස්ම පහළට දැමීම ආරම්භ කලේය.ඝාතනයක් උදෙසා අවශ්‍ය චිත්ත ඒකාග්‍රතාවය ඔහු ලබාගන්නේ එළෙසිණි. සත්‍යය වශයෙන්ම ඉලක්කය බිම දැමීම සඳහා අවශ්‍ය වන වෙඩිතැබීම රොබීට කිසිදු අපහසුවක් නොවනු ඇත. ගොඩනැඟිලි දෙක අතර පිහිටි පටු මාර්ගය දෙපසවූ පදික වේදිකාවද සමඟ උපරිම වශයෙන් අඩි සියයකට වඩා පළලින් යුතු නොවීය.

රොබී මෙම ඝාතනය සඳහා උප-ධ්වානික නොහොත් ශබ්දයේ වේගයට අඩු වේගයකින් ගමන් කරනා උණ්ඩ සහිත පතරොමක් (Sub-sonic round) තෝරාගත්තේද එහෙයින්මය. මෙවන් කෙටිදුර ඝාතනයක් උදෙසා ඉතාම සුදුසු වන්නේ එවන් උණ්ඩ සහිත පතරොමකි. ඔහු රැඳී සිටින්නේ සිව්වන මහළක වන අතර ඉලක්කය සිටිනුයේ තුන්වන මහලකය. එබැවින් ඔහු වෙඩි තැබිය යුත්තේ එක් මහළක් පහළට වූ ආනතියක් සහිතවය. ඔහු තෝරාගත් මාදිලියේ උණ්ඩ වලට ඒ ආනතිය ප්‍රශ්ණයක් නොවේ.

වෙඩි පහර ජනේලයේ වීදුරුව තුලින් ගමන් කළ යුතු බවද සැබවි. එහෙත් මෙවන් කෙටි දුර පරාසයක කරන වෙඩි තැබීමකදී එය කිසිසේත්ම ගැටළුවක් නොවේ. ගොඩනැඟිලි දෙක අතර මේ වනවිට එතරම් තද සුළඟක්ද නොතිබුණු අතර ඔහුට බාධා පැමිණවීමට පමන ප්‍රබල ආලෝක ප්‍රභව කිසිවක්ද පෙනෙන මානයේ නොවීය. කෙටියෙන් කිවහොත් මේ වනාහී ඉතා පහසු ඝාතනයක්ම වන්නේය. එහෙත් නිල ඝාතකයකු ලෙස ගතකල දීර්ඝ කාලයෙහි රොබී ඉතා හොඳින් උගත් එක් කරුණක් නම් පහසු ඝාතන යනුවෙන් යමක් මේ ලොව නොපවතින බවය.

ඔහුගේ කණ තුලවූ ශබ්ද විකාශණ උපකරණය යලිත් ක්‍රියාත්මක විය. ඉන් පැවසුනේ වදන් දෙකක් පමණි. "වී-වන්"

වී-වන් යනු ගුවන් යානයක් ගුවන් ගත වනු උදෙසා ගුවන් තොටුපොළේ ධාවන පථය ඔස්සේ වේගය වැඩි කරගනිමින් ධාවන වීමේදී පසු කරන යම් වේග සීමාවක් හැඳින්වීමේ සංකේත නාමයයි. වී-වන් වේගය ඉක්මවූ පසු ගුවන් යානයක් අනිවාර්යයෙන්ම ගුවන් ගතවිය යුතුය. මෙහිදී වී-වන් යනුවෙන් රොබීට දැනුම් දෙනු ලැබූයේ මේ මොහොතේ පටන් ඝාතනය අත්හැර දැමිය නොහැකි බවයි. එනම් මෙහෙයුම කෙසේ හෝ ක්‍රියාත්මක විය යුතු බවයි.

එහෙත් ගුවන් යානා නියමුවෙකුට නොමැති අවස්ථාවක් මෙහිදී රොබීට ඇත. එනම් තම සුරතෙහි දබරැඟිල්ල රයිෆලයෙහි කොකා වටා යවා කොකා තද කොට උණ්ඩය රයිෆල මුවින් නිකුත් කරනා තුරුම මෙහෙයුම නවතා දැමීමට රොබීට හැකියාව ඇත. එළෙසම ඔහු මීට පෙර දෙවරක්ම එසේ අවසාන මොහොතේදී මෙහෙයුම් නවතා දමා ද ඇත.

"තත්පර තිහයි…" සුපුරුදු පැහැදිලි සහ තියුණු හඬ යලිත් වරක් රොබීගේ කණ තුලට පැවසුවේය.

දුර දක්නා උපකරණයෙන් දකුණු ඇස මෑත් කොටගත් රොබී හිස ඔසවා ගොඩනැඟිලි දෙක අතරවී මාර්ගයේ පළමුව දකුණු පස සහ අනතුරුව වම් පස හොඳින් පරීක්ෂා කලේය. අනතුරුව යලි හිස පහත්කොට දුරදක්නා උපකරනයෙහි උපනෙතට දකුණු ඇස තැබීය. මේ මොහොතෙන් පසු ඔහුගේ අවධානය පූර්ණ වශයෙන් යොමුවන්නේ තිර රෙදි විවර වුනු කුටිය වෙතට පමණි. රොබීට දැකගත නොහැකිවුවද මේ අවස්ථාවේ කුටිය තුල හිඳිනුයේ ඉලක්කය, ශරීරාරක්ෂකයින් දෙදෙනා සහ මෙහෙකාරිය පමණකි.

විල් රොබීගේ ආශ්වාස ප්‍රශ්වාස වේගය කෙමෙන් අඩුව ගොස් එක්වරම නැවතිණි. ඒ හා සමානුපාතිකව ඔහුගේ හෘද ස්ඵන්දන වේගයද කෙමෙන් අඩුවෙමින් පැවතිණි. සිරුරේ උර කුහරයෙන් ඇරඹි සිහිලසක් ගෙල හරහා ඔහුගේ හිස තුලට පැතිරෙන්නට විය.

"තත්පර දහයයි…" පැහැදිලි සහ තියුණු හඬ අකුරින් අකුර උච්චාරණය කරමින් පැවසීය.

තව තත්පර දහයකින් තිර රෙදි විවරවූ ජනෙල් කවුළුවෙන් පෙනෙන කුටියෙහි මේසය මතවූ පැරණි මාදිළියේ ගෘහස්ථ දුරකථනයට ලැබෙන ඇමතුමකින් මේ මෙහෙයුම ක්‍රියාත්මක වනු ඇත.

"තත්පර පහයි…."

සෙමෙන් හුස්මක් පහළ දමන අතර රොබී ඉතිරි තත්පර පහ ඉතා සෙමෙන් මුමුණමින් ගණන් කළේය. "පහයි...හතරයි..තුනයි...දෙකයි...එකයි…"

"ඇමතුම ක්‍රියාත්මකයි" පැහැදිලි සහ තියුණු හඬ පැවසුවේය. 

ඇමතුම දෙනු ලබනුයේ පරිගණක සම්බන්ධතාවයක් මඟිනි. එබැවින් ඇමතුමෙහි අනෙක් අන්තයේ කිසිදු මිනිසකු හෝ ගැහැණියක නොසිටිනු ඇත. 

මධ්‍යම ප්‍රමාණයේ උසකින් යුතු එතරම් හැඩිදැඩි සිරුරකින්ද යුතු නොවූ මිනිසකු මේසය අසලට ලඟා වනු විවරවූ තිර රෙදි අතරින් රොබීට ඉතා පැහැදිලිව දිස්විය. 

මේ ඉතාමත් සාමාන්‍ය ප්‍රමාණයේ සිරුරකින් යුතු මිනිසා වනාහී ඉතා ආකර්ශණීය පෞරුෂයකින් යුතු ජනකාන්ත (Charismatic) පුද්ගලයෙකි. දශක අටකට පමණ පෙර විසූ ඇඩොල්ෆ් හිට්ලර් මෙන් තම කථා විලාශයෙන් අවශේෂ මිනිසුන් සහ ගැහැණුන් වශී කොට ගැන්මෙහි මනාසේ සමතෙකි. ඔහුගේ වාග් චාතූර්යයෙන් මෝහනය වන්නෝ ඔහු අණකරන්නාවූ කිසිදු දාමරික කමක් හෝ අපරාධයක් කිරීමට නොපැකිල ඉදිරිපත් වන්නෝය.

ඔහුගේ මේ හැකියාව කලාපයේ සාමයට බලවත් බාධාවක් වූ අතර එලෙසම එක්සත් ජනපදයෙහි වර්තමාන මිත්‍ර සංවිධාන නායකයින්ගේ අංක එකේ සතුරා බවට ඔහු පත්කරලීමටද හේතුවිය. එබැවින්ම රොබීගේ සංවිධානය ඔහු ඇල්ෆා ප්‍රවර්ගයේ (Category Alpha) සතුරකු ලෙස වර්ගීකරණය කලේය. ඇල්ෆා ප්‍රවර්ගයට අයත්වන්නෝ වනාහී හැකි ඉක්මනින් ඝාතනය කලයුත්තෝ වන්නෝය.

විල් රොබීගේ දකුණතෙහි දබරැඟිල්ල කෙමෙන් රයිෆලයේ කොකා වටා ගමන් කලේය. තව මොහොතකින් ඔහු වී-වන් අවස්ථාවට එළඹෙනු ඇත. රොබී සෙමෙන් කොකා තද කරන්නට විය. අවසාන මොහොතේ ඔහු ඇස් කොණකින් ඉලක්කයට දකුණු පසින් කිසියම් අනපේක්ෂිත සෙවණැල්ලක් වැන්නක් දුටු නමුදු ඔහු ඒ නොසළකා හැර කොකා අවසානය තෙක් තද කලේය.

වෙඩි උණ්ඩය නිකුත්වූ ඉක්බිති රයිෆලයේ වාංගුව (Recoil) උරහිසින් දරාගත් රොබී දුරදක්නා උපකරණයෙන් දකුණැස මෑත් කොට නොගෙන ඉලක්කය දෙසම බලා සිටියේය. වෙඩි උණ්ඩය ඉලක්කය බලා ගමන් කරන තෙක් ඒ දෙස පරීක්ෂාවෙන් බලා සිටීම රොබීගේ පුරුද්දකි. ඝාතනය නිසි අයුරු සිදුවූවාදැයි නිසැකව ස්ථිර කර ගැනීමේ එකම ක්‍රමය තම දෑසින්ම දැක බලා ගැනීමයි. ඝාතනය ස්ථිර කර ගැනීමට ප්‍රථම දෑස් ඉවතට ගැනීමෙන් රොබී මීට පෙර එක් වරක් රැවටී ඇත. නැවතත් ඒ වරදම කිරීමට රොබීට කිසිසේත්ම අවශ්‍ය නොවීය.

ජනෙල් වීදුරුව බිඳී විසිරුනු කැබලි දසත විසිරී ගියේය. කංචුක වැස්මෙන් යුත් වෙඩි උණ්ඩය ඉලක්කයේ හිස පසුපසින් ඇතුලුව නාසය අසලින් නික්මිණි. සුරතින් මිරිකාගත් රිසීවරයද අතැතිව කුණාටුවකින් ගසක් ඇදවැටෙන්නාක් මෙන් ඒ ආකර්ශණීය පෞරුෂයකින් හෙබි මිනිසා ඇද වැටුනේය.

රොබී තම ඇස ඉවතට ගන්නට සූදානම් වනවාත් සමඟම මේසය පසුපස බිත්තියට හේත්තුවී උන් යමෙකුගේ ඡායාවක් වැන්නක් දුටුවේ යලි උපනෙත වෙත නෙත යොමු කලේය. මේසය පසුපස බිත්තියට හේත්තුවී සිටියේ කුඩා දැරියකි. වෙඩි තැබීමට මොහොතකට පෙර රොබී දුටු සෙවණැල්ලක් වැන්න නිසැකවම ඇය විය යුතුය.

කංචුක වැස්මෙන් යුත් වෙඩි උණඩ ඉලක්කයට වැදුනු පසු විසිරී නොයයි. ඉලක්කය හරහා ගමන් කොට ඉතා පහසුවෙන් පිටවන්නටද කංචුක වැස්මෙන් යුතු උණ්ඩ වලට හැක. රොබී තම රයිෆලය  පහලට ආනතකොට වෙඩි තැබූ හෙයින් උණ්ඩය ඉලක්කයේ හිස් කබල හරහා ගොස් කුඩා දැරියගේද ළය මධ්‍යයෙන්ම ඇතුලුවී ඇත.

රොබී බලා සිටියදීම සෙමෙන් දෙනෙත් පියාගත් ඇය මඳ වේලාවක් බිත්තියට වාරුව හිඳ ඇද වැටුනාය. 

එක් වෙඩි උණ්ඩයකි…ඝාතන දෙකකි

එක් ඝාතනයක් වනාහී මනා ලෙස සැළසුම්කල ඝාතනයකි...

එලෙසම අනෙක් ඝාතනය වනාහී සිහිනෙනුදු අපේක්ෂා නොකළ අභාග්‍ය සම්පන්න අත්වැරදීමකි.....

එහෙත් ඒ ගැන කල්පනා කරමින් පසු තැවිලිවීමට මේ කිසිසේත්ම සුදුසු කාලය නොවේ.

විල් රොබී තම ඝාතන ආම්පන්න ද රැගෙන  පසුපස පිහිටි ජනෙල් කවුළුව වෙත වහා  දිව ගියේය.

Tuesday, September 26, 2017

140. වදනකින් පුළුවන්(ද) ජීවිතයක් රැක ගන්න

මේ ලඟදි ඉන්දික ගුණවර්ධනගේ සුළි මැද පිපි තඹර කියැවීමි. එහි සමහර කොටස් තාමත් හිතේ රැඳී තිබෙන පරිද්දෙන් කැමැත්තක් ඇති කළ බව කිව මනාය. එහි ප්‍රධාන කාන්තා චරිතය-නෙළුම් සිය ජර්මන් ජාතික මිතුරිය-ලින්ඩා හා යෙදෙන සංවාදයක කොටසක් 85 වැනි පිටුවේ තිබේ. එය මේ ආකාරයට ඇදී යයි.

‘‘මං මේවා ජීවිතේට කාටවත් කියලා නෑ ඔයාට ඇරෙන්න.’’ඈ කිව්වෙ සියල්ල කියා අවසන් කළ තැන.‘‘මං දන් නෑ ලින්ඩා, ඔයා ඉස්සරහ මට පුදුම නිදහස් ගතියක් දැනෙනවා. හරියට පාළු ගස් බෙනයක් අස්සට ඔලූව දාලා රහසක් කියනව වගේ බය නැතුව මට ඕනෙ දෙයක් ඔයත් එක්ක කියන්න පුළුවං.’’ ඈ කිව්වා. ‘‘ඇයි ඔයාගේ එහේ යාළුවො ? එයාලත් එක්ක ජීවිතේ බෙදා හදා ගන්නෙ නැද්ද?’’ ලින්ඩා ඇහුවෙ තවත් වයින් උගුරක් බොමින්. ‘‘එහෙම බෙදාගැනිල්ලක් නෑ ලින්ඩා අපේ. කවුරුවත් පුද්ගලික ජීවිතේ ගැන කතා කරන්නෙ නෑ. ඔක්කොම හංගගෙන, ඉවසගෙන, හිතේ තද කරන් ඉඳලා ඔහේ මැරිල යනව මිසක්ක.’’ නෙළුම් කිව්වා.

හිතලා බැලුවහම ඇත්තට ම අපේ රටේ මිනිස්සු යාළුවෝ එක්ක කතා කරන්නේ මොනවද? කවදාවත් තමන්ගේ පුද්ගලික වේදනාවක් යාළුවෙක් එක්ක කියලා හිත නිදහස් කර ගැනීමේ වටපිටාවක් මේ රටේ තියෙනවද? එහෙම හිතාදර මිතුරන් ඇත්තේ ම නැතිවා නොවේ. එහෙත් බොහෝ දෙනෙකු කෙනෙකුගේ රහසක් අසාගෙන එය රස කරන්නට කොයි මොහොතේ තවකෙකු හමුවේදැයි බලා සිටිනවුන්ය. කාලෙකට ඉස්සර සිව්දෙස හෝ මුතුහර සඟරාවේ කියවූ කවියක අරුත තාමත් මතකයේ තිබේ. කෙනෙක් මැරුණාට පස්සේ කනත්තේදී ම ඔහුගේ රහස් නිදහසේ පියාසලන ආකාරය ගැන ඒ කවි පංතියේ තිබුණා මතකයි. ඉතිං අපේ රටේ සමහර මිනිස්සු සියලුම රහස් හිතේ තදකරගෙන මැරෙනකම් ඉන්න තිබෙන අපහසුව නිසා දිවි නසාගන්න පෙළඹෙන අවස්ථා බොහොමයි.

‘‘නිකමට හිතන්නකො ඔන්න කිව්වයි කියලා, පුද්ගලික දෙයක් හරි වෙන ප‍්‍රශ්නයක් හරි. විනාසයි. ඊට පස්සෙ මෝල්ගසුත් පත්තුවෙනවා. ඒ නිසා ඉතිං ඔක්කොම කතා උඩින් විතරයි.’’

කොච්චර කඩවසම් වුණත්, ප්‍රේක්ෂක ආදරය දිනාගෙන සිටියත්, මිල මුදල් තිබුණත් ඒ නළුවාටත් කාටවත් කියන්න හිත හදාගන්න බැරි වේදනාවක් තියෙන්න ඇති. සේරම ගස් බෙනයකට කියනවා වගේ කියලා හිත හිස් කරගෙන හිත හදාගන්න යාළුවෙක් නොඉන්න ඇති. ඔහුගේ මුහුණු පොතේ පසුගිය පළකිරීම් පරීක්ෂාවෙන් බැලුවොත් මේ වුණු දේ ගැන ඉඟි බොහොමයි. ඒත් ඒ ගැන විමසන්න, හිත හදන්න යාළුවන්ට කල්පනාවට නොඑන්න ඇති.

‘‘එතකොට ඔයාලගෙ යාළුවො යාළුවො කතාවට වැටුණම මොනව ගැනද කතා කරන්නෙ?’’ ලින්ඩා ඇහුවේ කඩදාසි අත් පිස්නයකින් දෙතොලේ තෙත් ගතිය මාත්තු කරමින්. ‘‘ටෙලි නාට්‍ය ගැනයි, නළු නිළියන්ගෙ සම්බන්ධකම් ගැනයි, එක එක්කෙනා හොයාගෙන එන ඕප දූපයි, වෙන වෙන ගෑනුන්ගෙ වැරදියි වගේ ඒවා තමයි ඉතින්. ඇත්තම කියනවනං මාත් එහෙම්ම තමයි.’’

දරා ගන්නම බැරි තැන කාට හෝ තමන්ගේ වේදනාව කිව්වා නම්, තම තමන්ගේ ප්‍රශ්න පසෙක තබා ටෙලි නාට්‍ය ගැනයි, නළු නිළියන්ගෙ සම්බන්ධකම් ගැනයි කල්පනාවෙන් ඉන්නා අප සමාජයේ මිතුරු හවුල් වල කතාබහට තමන්ගේ වේදනාව මාතෘකා වෙතැයි ඔහු කල්පනා කරන්නත් ඇති. ප්‍රසිද්ධ, ජනප්‍රිය පුද්ගලයින්ගේ රහස්, ඕපදූප පත්තර වලට, වෙබ් අඩවි වලට ලබා දෙන්නේ ඔවුන් ලඟින් ඇසුරු කරන පිරිස ම බව ඔහුත් දැනගෙන ඉන්න ඇති.



මේ ලෝකේ හැම සමාජයක ම තිබෙන්නේ එක හා සමාන ප්‍රශ්න. තව කෙනෙකුට ඇතිවන ප්‍රශ්නයක්, ඕපදූපයක් වශයෙන් ගෙන පුදුම වෙන්න දෙයක් ඇත්තේ ම නැති තරම්. අනෙක් අතට ඒ ප්‍රශ්නය තමන්ටත් තව ටික කලකින් ඇති වන්න නොහැකිද? වඩා වැදගත් ජිවත් වීමයි. ඒ ජිවත් වීමට උපකාරී නොවන මිනිසුන් මරණයට උදව් වෙන හැටි!

අනෙක් අතට අද සියදිවි නසා ගන්න තරම් හිතෙන ගැටළුවක් තව සතියකින්, මාසෙකින්, අවුරුද්දකින් එහෙමත් නැත්තං දශකයකින් පසුව සමහරවිට අමතකත් වෙලා තියෙන්න පුළුවන්. ලොව සිදුවන්නේ සිදුවීම්ය. ඒවාට හොඳ හෝ නරක ලේබල් අමුණන්නේ මිනිසුන්ය. හැමදේම වන්නේ හොඳටයි යනුවෙන් හද පතුලෙන් ම සිතා ගත් කළ එය දිව ඔසුවක් වන්නේමය.

‘මැරෙනවුන් කිය කියා මැරෙන්නේ නැත‘ යි බරපතල මිත්‍යාවක් අප අතර තිබේ. පසුගිය කාලයේ දිවිනසාගත් අයගේ මුහුණු පොත් ගිණුම් පරීක්ෂාවෙන් බැලුවහොත් ඔවුන් පුන පුනා සිය තීරණය පිළිබඳ ව දන්වා තිබූ ආකාරය දැකිය හැකිය. එබැවින් අප දන්නා අයගේ හැසිරීම් පිළිබඳ අවධානයෙන් සිටීම පසුව කණගාටුව ප්‍රකාශ කිරිමට වඩා යහපත් නොවේද?

ඔබේ කිනිසි වැනි වදනක් කෙනෙකුට දිවි එපා කරවන්නට පුළුවන. ඔබේ බ්‍රහ්ම දණ්ඩයටත් එය ම කරන්නට පුළුවන. එපමණක් නොව, තව කෙනෙකුගේ දිවි රැක දීමට ඔබගේ කාරුණික හැසිරීම හේතුවන්නටත් පුළුවන. ඔබට විසඳන්න අපහසු තත්ත්වයක් නම් සුදුසු ප්‍රතිකාර වෙත යොමු කරවන්න පුළුවන.

කලකට පෙර මාත් මගේ මිතුරෙකුත් ගෙල වැලලාගෙන දිවි නසා ගැනීමේ ආදිනව ගැන කරුණු කියමින්, එසේ නොකළ යුත්තේ ඇයි ද යන්න ගැන, පවුලේ අයට සිදුවන අපකීර්තිය ගැන දීර්ඝ දුරකථන සංවාද හෝ කෙටි පණිවුඩ හෝ චැට් හෝ මගින් කරුණු කියමින් (ඇත්තටම මෙයින් එක මගයි භාවිතා කළේ. එය මට දැන් මතක නැත) අනෙකාගේ සිත හදන්න කාලය ගතකළ අයුරු මතක තිබේ. නමුත් දැන් කල්පනා කරන විට අප දෙදෙනාගෙන් ගෙල වැලලාගන්නට ගියේ කවුදැයි මට හරියට ම මතක නැත. (දෙදෙනාට ම ඒ කාලයට අනුව මහා බැරෑරුම් ප්‍රශ්න තිබිණ) දැන් ඔහුට දුරකථන ඇමතුමක් දී එය විසඳාගත හැකිය. බැරිවෙලාවත් දිවිනසා ගන්නට සැලසුම් කළේ මා නම්! වස ලැජ්ජාවකි. එබැවින් නොඅසමි. සමහරවිට ඔහුටත් අමතකව තිබෙනවා විය හැකිය. හැබැයි එක් කරුණක් පැහැදිලිව කිව හැක. ඒ නම් මිතුරු වදනක් මරණයක් වැළකූ බවය.

දරුණු විශාද තත්ත්වයකදි හෝ වෙනත් මානසික රෝගී තත්ත්වයකදී කතාබහ කොට විසඳිය නොහැකි අවස්ථා මතුවිය හැකිය. ඒ පිළිබඳව දැනගැනීමටත් ඔබගේ සමීපතයින් ගැන කල්පනාවෙන් සිටිය යුතුව ඇත. ඔබට යම් හෙයකින් දිවි නසා ගැනීමේ සිතක් පහළ වුවහොත් ඒ පළමු අවස්ථාවේදීම 1333 අංකයට අමතන්න. දුරකථන ගාස්තු පවා අය නොකරමින් පූර්ණ රහස්‍යභාවය සුරකිමින් ඔබේ දිවි රැක දීමට සැදි පැහැදි සිටිනා අයෙකුගේ හඬ අනෙක් පසින් ඔබට ඇසෙනු ඇත.

533. ඝාතකයකුගේ කතාව ..........2

ඉලක්කයක් වෙත තම රයිෆලය එල්ල කොටගෙන සිටිනා දුරසිට
සැඟවී වෙඩි තබන්නකුගේ  (Sniper) ඡායාරූපයක් ඉහත දැක්වේ.


ඔහු දෑස් තදින් පියාගත්වනම හිස කිහිප වරක් සොළවා අනවශ්‍ය සිතුවිලි සියල්ල සිතින් පළවා හැර අද කලයුතු කාර්යය කෙරෙහි දැඩිව සිත යොමු කලේය.

තමා අසළ පිහිටි කපරාරුව කැඩී බිඳී ගොස් රතු පැහැ ගඩොල් මතුවී පෙනෙන කුළුණක් පාමුලවූ දිරාගිය ලෑලි පෙට්ටියක් මත වූ කැන්වස් ගමන් මල්ලෙන් නිශා දෘෂ්ඨි දෙනෙතියක් (Night-vision binoculars) ඉවතටගත් රොබී එහි ආධාරයෙන් ඔහු රැඳීහුන් අත්හැරදැමූ ගොඩනැඟිල්ලට ඉඳුරා මුහුණලා මාර්ගයේ අනෙක්පස පිහිටි පටු ගොඩනැඟිල්ල ප්‍රවේශමෙන් නීරික්ෂණය කලේය. ඔහු රැඳීසිටි ගොඩනැඟිල්ල මෙන් නොව ඒ අනෙක් ගොඩනැඟිල්ල බෙහෙවින් ජනාකීර්ණ විය.

එහි කවුළු තුලින් දර්ශනය වන පරිදි ඇතුලත දැල්වෙන විදුලි ආලෝකයට පසුබිම්ව එහා මෙහා ගමන් කරන මිනිස් ඡායාවෝ බොහෝ වූහ. බහුතරයක් ඒ ඡායාවන්හි දකුණතෙහි දැඩිව ග්‍රහණය කොටගත් බොහෝ ප්‍රබල ගිණිඅවි පවතින බව රොබී නිසැකවම දත්තේය. එසේ වුවද ඔහුගේ වාසියට වූ ප්‍රධානතම කරුණ වූයේ ඔහු මෙහි සැඟව සිටිනා බවක් ඉදිරි ගොඩනැඟිල්ලෙහිවූ කිසිවෙකු සිහිනෙන් හෝ සැක නොකිරීමත් සහ තමනට භාරවූ කාර්යය සාර්ථකව ඉටු කරනුවස් ඔහුට අවශ්‍ය වනුයේ එකම උණ්ඩයක් පමණක් වීමත්ය.

රොබීගේ පූර්ණ අවධානයට ලක්වූ එම පටු ගොඩනැඟිල්ල මහල් සයකින් සමන්විතවූ අතර ප්‍රධාන පාරට මුහුණලා එක් මහළක ජනේල සතර බැගින් ජනේල විසිහතරක්  විය. එසේ වුවද ඔහු සැළකිලිමත් වූයේ එහි තුන්වන මහළේ වම් පස සිට දෙවන ජනේලය කෙරෙහි පමණය. ඔහුගේ මනසේ එම ජනේලය වටකොට ඒක කේන්ද්‍රීයව විහිදෙන වෘත්ත රැසකින් සමන්විත වෙඩි තැබීම පුහුණුවීමෙහිදී යොදාගන්නා ඉලක්කයක් (Bull's-eye) සිත්තම්ව තිබිණි.

එම ජනේලයෙහි මේ වනවිට පියන්පත් වසාතිබුණු අතර අඳුරු පැහැ තිරයකින් කිසිදු ආලෝකයක් පිටතට නිකුත්වීම වැළැකිණි. එහෙත් නොබෝ වේලාවකින් කිසිවකු හෝ විසින් මේ පියන්පත් විවෘතකොට තිරයද පසෙකට ඇදිය යුතුමය. රොබී කොතරම් අතිදක්ෂ වෙඩික්කරුවකු වුවද ඔහුට කිසිදු අයුරකින් තමනට නොපෙනෙන ඉලක්කයකට වෙඩි තැබිය නොහැක. තම වමත එසවූ රොබී පහත මාර්ගය දෙපසවූ පහන් කණුවලින් නැඟෙන දුබල ආලෝකයෙන් එහි බැඳි අත් ඔරලේසුවෙහි මුහුණත දෙස ක්ෂණික බැල්මක් හෙලීය.

ඉතිරිව ඇත්තේ තවත් මිනිත්තු පහක කාලයක් පමණි.

එම මිනිත්තු පහක කාලයෙන් පළමු මිනිත්තු හතරහමාරක කාලය ගෙවීයාමට කල්ප කාලාන්තරයක් ගතවනුසේ දැනෙනු ඇත. එළෙසම අවසාන මිනිත්තු භාගය අසුරු සැණෙකින් ගෙවී යනු ඇත. මෙවන් මෙහෙයුමකදී කාලය ගෙවීයනු මෙහෙයුමෙහි යෙදෙන්නාට හැඟෙනුයේ අනිවාර්යයෙන්ම ඒ අයුරුය. සාමාන්‍ය පෘථග්ජන මිනිසෙකුට තමන් අතින් තවත් මිනිසකු ඝාතනය වීමට තවත් ඇත්තේ මිනිත්තු පහක යන කාලයක් පමණකි යන සිතුවිල්ල පවා සිරුරේ හෝමෝන ක්‍රියාකාරිත්වය ඉහළ නඟාලන්නකි. හෘදය ක්‍රියාකාරිත්වය සේම රුධිර පීඩනයද ඒ හා සමානුපාතිකව ඉහළ නඟාලන්නකි.

එහෙත් රොබී වනාහී සාමාන්‍යයෙන් එදිනෙදා මඟතොට යනෙනා කල්හි ඔබට හෝ මට හමුවන මාදිලියේ පෘථග්ජන පුද්ගලයකු නොවේ. නියමිත හෝරාව ලඟාවනවිට සත්‍ය වශයෙන්ම ඔහුගේ හෘද ස්ඵන්දන වේගය පහළ බසින්නේය. ඔහුගේ සිරුරේ සියළු මාංශපේශීහු ඉහිල් වන්නාහ. සාර්ථක සහ කාර්යක්ෂම ඝාතකයකු වීම උදෙසා අත්‍යාවශ්‍ය මෙම සාධකයන් රොබී විසින් කාලයක් මුලුල්ලේ වෙහෙසව මහත් වැර වෑයමෙන් ප්‍රගුණ කරගන්නා ලද්දෝ වන්නාහ.

රොබී තම වමත සෙමෙන් දිගහැර මඳක් පහතට නැවී ඒ අසලම පොළව මතවූ ඝන කැන්වස් රෙද්දෙන් නිමවූ සිලින්ඩරාකාර ඩෆල් බෑගය තුලවූ මේ වනවිටත් සම්පූර්ණයෙන් එකලස් කොට තුබූ ඔහු ලබාදුන් මිනුම් අනුව ඔහු වෙනුවෙන්ම නිමවූ දූර පරාස (Custom built long range) රයිෆලය තදින් ග්‍රහණය කොට ගත්තේය. 

සාමාන්‍ය රයිෆලයක් හා සැසඳීමේදී සාපේක්ෂ වශයෙන් සැහැල්ලු යැයි පැවසිය හැකි ඔහුගේ රයිෆලය තුල කංචුක වැස්මෙන් යුතු උපධ්වානික (Jacketed sub-sonic) එක් වෙඩිමුරයක් විය. ඔහුට ලැබෙනුයේ එකම වෙඩිල්ලක් තැබීමට එකම අවස්ථාවක් පමණි. එසේම ඔහුගේ ඝාතක දිවිය තුල ඔහුට දෙවන අවස්ථාවක් කිසිදු විටෙක අවශ්‍ය නොවිණි.

(Note - ස්නයිපර් ප්‍රහාර වලදී බොහෝවිට යොදාගනු ලබනුයේ Jacketed sub-sonic වර්ගයේ පතරොම්ය. මෙටල් ජැකටය නොහොත් කංචුකය මඟින් වෙඩි උණ්ඩය ඉලක්කය වෙත ගැටුනු පසු විහිද යාම වැළැක්වෙන අතර සබ් සොනික් එනම් ශබ්දයේ වේගයට අඩු වේගයකින් ගමන් කරනා උණ්ඩ නිසා සංධ්වනි අත්පාතය (Sonic boom) වැළකෙයි. මේ නිසා සැඟවී කරනා ස්නයිපර් ප්‍රහාරයකදී වෙඩි උණ්ඩය පැමිණියේ කුමන දිශාවකින්දැයි නිශ්චය කරගැන්ම මියගිය තැනැත්තාගේ ආරක්ෂකයින්ට බොහෝ සේ අසීරුය.)

ඔහු දකුණතින් තමා ඉදිරියේ වූ දැවමුවා ජනෙල් පඩියට සෙමෙන් තට්ටු කරමින් යලිත් වරක් තමා විසින් තවත් නිමේශයකින් ඉටුකරන්නට නියමිත කාර්යය පිළිබඳව සිත යොමු කළේය. ලෝකයේ බලවත්ම රාජ්‍යයෙහි බලවත්ම ආරක්ෂක ඒජන්සියෙහි නිල ඝාතකයකුට පවා තම කාර්යය සාර්ථකව නිම කිරීමට සෑමවිටම නොවතුදු යම් සුවිශේෂී මොහොතක වාසනාව යම් තරමකට හෝ අත්‍යාවශ්‍යය.

තව මොහොතකින් ඔහු විසින් ඝාතනය කරනු ලබන තැනැත්තාගේ තොරතුරු සහ පසුබිම මෙහෙයුම ආරම්භයේදීම ඔහුට ලැබුණු රහස්‍ය පිලිගොනුවෙහි අඩංගු විය. මීට ප්‍රථම රොබී විසින් ජීවිතක්ෂයට පත් කරන ලද බොහෝ මිනිසුන්ගෙන් ඒ වෙනස් වූයේ ඉතාම අල්ප වශයෙනි. අද රොබීගේ ඉලක්කය වන පුද්ගලයාගේ ඉලක්ක සහ අපේක්ෂාවන් එක්සත් ජනපද රජයේ ඉලක්ක සහ අපේක්ෂාවන් සමඟ සමපාත නොවීම මෙන්ම වර්තමානයේ එක්සත් ජනපද රජය හා සමඟ යහපත් සබඳතා පවත්වාගෙන යන මෙරටෙහි සංවිධාන කිහිපයක් විසින් මොහු කෙසේ හෝ ඉවත් කල යුතු පුද්ගලයකු වශයෙන් නම් කොට තිබීමෙහිද අවසාන ප්‍රතිඵලය වූයේ රොබීට මෙසේ පාළු ගොඩනැඟිල්ලක අබලන්වූ ජනේලයක් අසල සැඟව සිටින්නට සිදුවීමය.

එම ඉවත් කිරීම මෙම පුද්ගලයා ඉවත් කල යුතුයැයි තීරණය කල මෙරටෙහි එක්සත් ජනපදය හා සමඟ සුහදව කටයුතු කරන සංවිධාන විසින්ම නොකරන්නේ මන්ද යන්න රොබීගේ සිතට නිරතුරු පැන නැඟුනු ප්‍රශ්ණයකි. එහෙත් ඔහු කිසි දිනක කිසිවකුගෙන් ඒ පිළිබඳව නොවිමසූයේ පැහැදිලි පිළිතුරක් නොලැබෙන බව සක් සුදක්සේ දන්නා හෙයිනි. එසේ හෙයින් පිළිතුරු නොලැබෙන ප්‍රශ්ණ විමසනු වෙනුවට රොබී ත විශ්වාසවත් මිතුරා වන රයිෆලයද රැගෙන ජාතික ආරක්ෂාවේ නාමයෙන් තමනට පැවරුනු වගකීම ඉෂ්ඨ කරනු උදෙසා මෙහි පැමිණියේය. 

රොබීගේ කණෙහි රැඳවූ ශබ්ද විකාශන උපකරණයෙන් නිකුත්වූ පැහැදිලි එමෙන්ම තියුණු හඬ යලිත් වරක් ඔහුට උපදෙස් දුන්නේය. "ඉලක්කය මේ මොහොතේ නියමිත ස්ථානයේ සිටිනවා. ඔහු සමඟ ඉන්නෙ සේවිකාව සහ බොඩි ගාඩ්ස්ල දෙන්න විතරයි. තව හරියටම මිනිත්තු තුනකින් ඔබට ඉදිරියේ පෙනෙන කවුළුවේ තිර රෙදි විවර වනු ඇති."

"අනෙකුත් සියළුම කටයුතු සැළසුමේ පරිදිම කෙරෙනවා ඇති කියල මම හිතනවා....." රොබී එසේ පැවසූයේ අවසාන මොහොතේ යම් අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දීමට ඔහු තුලවූ අකමැත්ත නිසාමය. යම් සුළු හෝ අනපේක්ෂිත සිද්ධියක් හේතුකොටගෙන වන්දි ගෙවීමට සිදුවනුයේ ඔහුටය. ඒ බොහෝවිට ඔහුගේ ජීවිතයෙන් විය හැක. 

"නැහැ සැළැස්මේ පරිදි සියල්ල සිදුවනු ඇති. එය ස්ථිරයි." තියුණු හඬෙහි වූයේ දැඩි විශ්වාසයකි.

එම කටහඬ සම්පුර්ණයෙන් වියැකී යාමටද ප්‍රථම රොබී සෙමෙන් හිස හරවා වම් උරහිසට ඉහළින් ඔහු පසුපසින් වූ ජනෙල් කවුළුව වෙත නෙත් යොමු කලේය. 

ඒ වනාහී මෙහෙයුම අවසාන වූ ඉක්බිති ඔහුගේ පළායාමේ මාර්ගයයි. පළායාමේ මාර්ගයක් වශයෙන් ඒ එතරම් විශ්වාස කටයුතු නොවූ බව සත්‍යයක් වුවද රොබී ඒ පිළිබඳව කිසිදු අයුරකින් කනස්සළු නොවීය. මීට වඩා බොහෝ සෙයින් අවදානම් සගහත පළායාමේ මාර්ග භාවිතා කොට සාර්ථකව පළායාමේ මනා පළපුරුද්දක් ඇත්තෙකි රොබී. එසේම අද දින ඔහු ක්ෂණිකව යමෙකුට මරණය ලඟාකොට වහා පළායන සෙවණැල්ලක් පමණි. සෙවණැළි දැකගැනීම මෙන්ම අල්ලාගැනීමද උගහටය. එළෙසම සෙවණැළි මරා දැමීම ඊටත් වඩා උගහටය.

ඉක්බිති රොබී තම වමතෙහි බැඳි අත් ඔරලෝසුව දෙස නෙත් යොමු කලේ තම කාර්යය ඉටුකිරීම උදෙසා කණෙහි රැඳවූ ශබ්ද විකාශන උපකරණය හරහා තියුණු සහ පැහැදිලි හඬ හිමිකරුවා විසින් ලබා දුන් වේලාව හා සමඟ හරියටම සමපාත වන පරිදි තම සිතෙහි අවරෝහණ කාල ගණනය (Mental count down) ආරම්භ කරමිනි. 

ඔහු ඉදිරියේවූ අබලන් ජනෙල් කවුළුවෙහි වීදුරුව ජනෙල් පඩියේ සිට අඟල් දෙකකට ආසන්න ප්‍රමාණයක් ඔසවා තිබිණි. ඉලක්කය ගන්නා අවස්ථාවේදී රයිෆලයේ බර දරාසිටීමේ ආධාරකය වශයෙන් ක්‍රියා කරනුයේ ජනෙල් පඩියයි. කැන්වස් මල්ල තුලින් රයිෆලය සෙමෙන් පිටතට ගත් රොබී එහි බටය ජනේලයේ වීදුරුව පසුකොට අඟල් තුනක පමණ දුරක් පිටතට විහිදෙන සේ ප්‍රවේශමෙන් සකස් කලේය. මේ උදෙසා රොබී රයිෆල බටයේ කෙළවර සිට හරියටම අඟල් තුනක දුරින් රතු පැහැති ඉරක් සළකුණු කොට තිබිණ. 

මේ ඝනඳුරින් වැසීගිය රාත්‍රියෙහි හාත්පස පැතිර ගිය මද ආලෝකයෙන් අඳුරු සෙවණැළි නිර්මාණය කරනු විනා වෙනත් කිසිදු ප්‍රයෝජනයක් නොවීය.

ඝාතනය සම්පූර්ණයෙන්ම අපේක්ෂා විරහිතව සිදුවිය යුතු අතර ඒ අනපේක්ෂිත භාවය මත රොබීගේ ජීවිතය මුලුමනින්ම රඳා පැවතියේය. එසේම තමන්ට ඉදිරිපසවූ අඳුරින් වැසුණු අත්හැරදැමූ පාලු ගොඩනැඟිල්ලේ සිව්වන මහලේ අඟල් දෙකක් එසවුණු ජනෙල් වීදුරුවක් යටින් තමන් දෙසට එල්ලවුනු අඳුරු පැහැ රයිෆල බටයක අඟල් තුනක් වූ අග්ගිස්ස දැකගැනීමට පමණ දක්ෂයකු ප්‍රතිවාදියාගේ ශරීරාරක්ෂකයින් අතර නොවන බව ද රොබී ස්ථිර ලෙසම දැන හුන්නේය. රොබීට මෙලෙස කිසිදු අපහසුවකින් තොරව ප්‍රතිවාදියා මේ වනවිට හිඳිනා ගොඩ නැඟිල්ල එක එල්ලේ ඉදිරියෙන් වූ අත්හැර දැමූ ගොඩනැඟිල්ලක අබලන් වූ කවුළුවක් අසළ රයිෆලයක්ද සුරතින් දරාගත්වනම පොරොත්තුව හිඳීමට අවස්ථාව සැළසුනේද හුදෙක් ඒ අදක්ෂතාවය නිසාමය. මෙවන් අතපසුවීමක් රුසියානුවන් හෝ ඉරාන ජාතිකයින් අතින් කිසිදා සිදු නොවනු ඇත.

රොබීට තියුණු සහ පැහැදිලි හඬ හිමිකරුවා පැවසූ පරිදිම හරියටම මිනිත්තු තුනක් ගතවන මොහොතේ ඉදිරිපස ගොඩනැඟිල්ලේ තුන්වන මහළේ වම් පස සිට දෙවන ජනේලයෙහි තිර රෙදි විවර විය. ජනෙල් කවුළුවක වීදුරුව විවෘත කොට හෝ නොකොට තිර රෙදි මෑත් කිරීම ඉතාම සාමාන්‍ය සිද්ධියකි. ලොව පුරා දස ලක්ෂ සංඛ්‍යාත නිවෙස් සහ ගොඩනැඟිලි රාශියක මේ සංසිද්ධිය දිනපතා සිදුවනු ලබයි. එහෙත් සාමාන්‍යයෙන් සිදුවන්නේ උදෑසන හිරු පායා එන්නාහාම ඉර එළිය විඳ ගැන්මට තිර රෙදි විවර කරන්නෝ සන්ධ්‍යාවෙහි අඳුර ගලා එත්ම තම පෞද්ගලිකත්වය රැක ගනු උදෙසා ඒ තිරරෙදි යලි වසා දැමීම විනා අඳුර ගලා එද්දී තිරරෙදි විවර කිරීම නොවේ.

කොපමණ ප්‍රවේශමෙන් සකස් කලද සෑම සැළසුමකසේම මේ සැළසුමෙහිද යම් නොවැළැක්විය හැකි දෝෂයක් තිබීම ඉතාම ස්වාභාවිකය. මෙම දෝෂය හේතුකොටගෙන සැළැස්ම එහෙම පිටින්ම අවුල්වී යාහැකි බව රොබී හොඳින් දැනසිටි බැවින් ඔහු දෑස් විදහාගත්වනම තිර රෙදි විවරකල කවුළුව දෙස බලා සිටියේය. 

තිර රෙදි විවර කල මෙහෙකාරිය ජනෙල් කවුළුවෙන් පියවරක් පසුපසට ගත්තීය. ඇගේ දෙනෙත අනවශ්‍ය පරිදි එක් නිමේශයක් මාර්ගයෙන් එපිට පිහිටි ගොඩනැඟිල්ල වෙත යොමුව පැවතිණි. ඇය වහා දෙනෙත් ඉවතට හරවාගත් නමුදු තිර රෙදි විවර කල කවුළුව ඉදිරියේ තව දුරටත් රැඳී සිටියාය.

"මොන මඟුලක් කරනවද? දෙයියංගෙ නාමෙන් ඔතනින් අයින් වෙනවා මනුස්සයෝ......" රොබී ඈ දෙස එක එල්ලේ බලාගත්වනම තොල් මතුලේ එම සිතුවිල්ල මාර්ගය හරහා තරංගයක්සේ ගමන් කොට ඇගේ හිසට ඇතුළු කරවීමට උත්සාහ ගනිමිනි. ඇය අවශ්‍ය මොහොතේ අවශ්‍ය ස්ථානයේ අවශ්‍ය පරිදි රැඳවීමට රොබීගේ සංවිධානය සමත් වූයේ ඉමහත් මුදලක් වැයකොට එමෙන්ම ඉමහත් පරිශ්‍රමක් දැරීමෙන්ද අනතුරුවය.

එහෙත් මේ අවසන් මොහොතෙහිදී එනම් මෙහෙයුමෙහි කූට ප්‍රාප්තියෙහිදී ධෛර්යය හීනව ගොස් ඇය නොසන්සුන් වුවහොත් සියළු සැළසුම් ව්‍යාර්ථ වනු ඇත. ඇගේ හාම්පුතා වෙනුවට ඇයට මරණයට පත්වන්නට සිදුවනු ඇත. 

බොහෝවිට රොබීටද දීර්ඝ කාලයක් අමානුෂික වධ වේදනා විඳීමෙන් අනතුරුව ඛෙදජනක මරණයක් උරුම වනු ඇත. අනපේක්ෂිත පරිදි එසේ වුවහොත් රොබීගේ සංවිධානය හෝ එක්සත් ජනපද රජය රොබී පිළිබඳ තමන් කිසිවක් නොදන්නා බව පරසක්වල ගසනු ඇත. ඒ අමිහිරි සත්‍යය රොබී ද ඉතා පැහැදිලිව දැන සිටියේය.

මොහොතකට පසු මෙහෙකාරිය කවුළුව අසලින් ඉවත් වූවාය. කුටිය ඇතුලත රොබීට යලිත් පැහැදිලිව දැකගැන්මට හැකිවූ අතර දිගු ප්‍රශ්වාසයකින් ළය සැහැල්ලු කොටගත් ඔහු තරව මොහොතක් දෑස් පියාගත්තේය.

PS - හරි හරි තව එක කොටසක් තියනව.....:)

Friday, September 22, 2017

532. පුවක් එෂැණිං 32 - චීවරදාරී නාඩගම නොහොත් සන්ගයා වාන්සේලාට මල පැනීම සහ අසදෘශ මහා සල්ලි පින්ඩපාත හිඟමන.....

අසදෘශ මහා සල්ලි හිඟන පින්ඩපාතේ වඩින
අටිඝරු මහා ෂන්ග රට්නේ...
(අසදෘශ කියන්නෙ පෙර නොවී වීරූ කියන එක.
එහෙම බැලුවම මේ සල්ලි හිඟමනට අසදෘශ
කියන නම හොඳටම ගැලපෙනව.
මොකද මීට කලිං අම්ම මුතුං කාලෙදිවත් සාදුලා
මෙහෙම සල්ලි හීඟමනේ ගිහිල්ල නැහැ නෙව)

මේ දවස්වල දිවඉණ පුරා මහ විසාල හාහෝවක් යනව අපේ ඝරුටර මහා ෂන්ඝරට්නේට චීවර දාරීන් කියල ඇමතුවයිය එතනිං ගිහාම එහෙම කරන එක සාකල්ලියයෙන්ම වැරදියිය කියල. ඒ ආස පොලෝ නුහූලන මහා අපරාදෙ කරල තියනවයි කියන්නෙ අපේ පීල්ඩ් මාසල් තුමයි රන්ජන් රාමා නියෝජ්ජිය ඇමතිතුමයිලු.

අපේ පීල්ඩ් මාසල් තුමාට මල් මිටක් තියල වඳිංට උවමනයි මේ කරපු වැඩේ නොහොත් දෙබරෙට ගල් ගැසීම ගැන. උන්නැහේ පිරබාහරන් ප්‍රමුක කොටි නඩේ යුද්දෙං පැරැද්දෙව්ව වගේම මේ රට දියුණුවෙලා කාටත් දෙයියනේ කියල නිවී හැනහිල්ලෙ ඉන්ට පුලුවන් තැනක් කරන්ටනම් තව අත ගහන්ට අත්තියාවස්යම වැඩකට තමයි ඔය අත ගහල තියෙන්නෙ. 

ඒ කිව්වෙ අපේ සංග කස්ටියට තමන්ගෙ තැන මතක් කරල දෙන එක. එයාල හිතාගෙන ඉන්නෙ කහ රෙද්ද තනි උරේට හෝ දෙවුරට දාගත්තම අනිකුත් සාමාන්නිය මිනිස්සුන්ට ජීවත්වෙන හැටි, එතකොට පිලිපැදියයුතු වත් පිලිවෙත් ඒ වගේම චන්දෙ දෙන්ට ඕනෙ කාටද? ඒ වගේ කාරනා කාරනා ගැන නිසි නින්දේ තීරන ගැනීමේ අයිතිය තමන්ට ඒ මොහොතේ ඉඳල නිකම් මේ ප්‍රාතිහාරියකිං වගෙ නිල බලෙම්ම ලැබෙනවයි කියලනෙ.

කොටිම්ම පහුගිය දවස්වල පවුලකට ඉන්ට ඕන ලමයි ගාන පවා අර කිරම මොන ජෝතිද කියල චීවරදාරියෙක් නියම කලා නෙව. කොහොමද සෙල්ලම? නරක නෑ නෙවද? ඒ එක වහන්දෑ කෙනෙක්. තව එක්කෙනෙක් ඉන්නව රටේම තියන පලතුරු එක්කහු කරල චයිත්තිය වටේ ගොඩ ගහල පලතුරු පූජා තියනව. ඒ අර මහ මෙව්නාවෙ වහන්දෑ. තව උන්නැහේ කෙනෙක් කකුල තියන්නෙ පොලවට මල් ඇතුරුවොත් විතරයි. කාලයක් තිස්සෙ පුරුද්දක් විදිහට මල් ගැහුවම යටි පල්ලෙ ගැට එනව. කකුල බර කරල තියනකොට බොහොම වේදනාකාරීයි. පලමෝත අත්දැකීමෙං කියන්නෙ...හෙහ්,හෙහ්...(පලමෝත අත්දැකීං = First hand experience- Copy right Taboo) එහෙම උනහම ඔය අරලිය, සමං පිච්ච, දාස්පතියා වගෙ මල් බිමට ඇතුරුවහම යටි පතුලට කියන්ට බැරි තරං සනීපයක් දැනෙනවයි කියල ටටු ඩට්ටෝ පවසා වදාරන සේක. නෝ එනි ඉම්ප්ලිකේෂන්ස් හියර්... යූ අන්ඩස්කර්ට්?

ඒ අල්ල පනල්ලෙ තව වහන්දෑ කෙනෙක් උසාවිවල නඩු කාරයින්ට නඩු අහන්නෙ කොහොමද කියල නොමිලේ උපදෙස් දෙන්ට ගිහිල්ල නිකං අපරාදෙ වැලිකඩ බෝඩිමේ කූරු ගනං කරන්ට වැඩම කරනව. තව උන්නාන්සෙ කෙනෙක් අලිපැටව් කෙරේ පතල මහා කරුනාවෙං අලි මේච්චලේට ගිහිල්ල කල්දේරං බත් කනව. ඊට පස්සෙ අලුත්ම සීන් කෝන් එක අර හිටපු නීලකාසය ආයම පත් කරගන්ට අල්ලසක් විදිහට සිල් රෙදි බෙදන්ට සල්ලි පාස් කරල දුන්නු තක්කඩි දෙන්නට උසාවියෙං නියම කරපු දඩේ ගෙවන්ට සල්ලි එකතු කරන්ට කියල මහා ෂංඝ රට්නේ ටෙමේ පාරවල් දිගේ හිඟමනේ වඩිනව.

ඉතිං ඔන්න ඔහොමයි අපේ රට ජාතිය ආගම චිරාත් කාලයක් පවතිනා අයුරු රැකබලා ගන්නෙමැයි දිවිහිමියෙන් සපත කොට සිටින තමන්ම පත් කොටගත් ජාතියේ මුර දේවතාවුං වහන්සේලාගේ හැසිරීම. (Executives of self appointed national security service)

ඔය ජාතික සිකුරුටි කොම්පැණියෙ එක ලොක්කෙක් තමයි ගුල්ලේ ඇනවන්ස උන්නැහැ. පීල්ඩ් මාසල් ඉස්සෙල්ලම චීවරදාරියා කියල කිව්වෙ එටුමාට. නමසිය අනූගනන්වල මුලහරියෙ වගෙ තෙවන ඊලම් යුද්දෙ ඇරඹුනාම රටපුරා හෙන හාහෝවක් ගියා. ගායකයො ගායිකාවො රොද බැඳගෙන සිංදු කියන්ට ගත්ත රනවිරුවන් ගැන. ඒක කමක් නැතය කියමුකො. තමන්ගෙ රට ජාතිය ආරක්සා කරන්ට ඉදිරියට යන හමුදාවෙ දහිරිය වර්දනය වෙන ආකාරෙ ගීත කියන්ට ඕනම ගායක ගායිකාවකට අයිතිය තියනව.

ඒත් මෙතන අවුල වුනේ ඔය ගීත වැඩි හරියක් ලිවෙ ඔය ගුල්ලේ ඇනවන්ස උන්නැහැ. සනත් නන්දසිරි කියපු මේ ගීතෙ ලිව්වෙත් එටුමාම තමයි. "අසිපත කොපුවෙන් එලියට ගන්නේ..ලේ නොම තැවරී නැත යලි ලන්නේ....."

කොහොමද බුද්ද පුත්තරයෙක් ලියාපු ගීතය? එලස් නේ? බුදු හාමුදුරුවො හිටියනං "දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ,  සත්තුන්ට පවා කරුණාව මෛත්‍රිය දක්වන්ට කියල දේසනා කරන මගේ ගෝලයෙක් මොනවද මේ කියන විපිරියාස කතා?" කියල දැඩිව විස්සෝපයට පත්ව දෙව්රම් වෙහෙරෙ බාල්කෙක මුචලින්ද නාග රාජයගෙං බෙල්ලෙ වැලදාගෙන පිරිනිවන් පානව ඔන් ද ස්පොට් ඇන්ඩ් ඕල්සො විත් ඉමීඩියට් ඉෆෙක්ට්.

ඉතිං මම කියන්නෙ මෙච්චරයි. මෙහෙම මිනිස්සුන්ට චීවරදාරියා කියල කියන එකත් හොඳ වැඩියි. සිංහලයෙක් විදිහට එහෙම ගීත ලියන්ට එටුමාට අයිතිය තියනව. ඒකෙ නෝ ඉෂූ ඇට් ඕල්. ඒත් සිවුරක් දාගත්තු බුද්ද පුත්‍රයෙක් විදිහට එහෙම මරාපියව් කොටාපියව් කියල ගීත ලියන්ට උන්දැට කිසිම අයිතියක් නෑ. එහෙම ලියන්ටම ඕන නං ලේ දාතුව එච්චරම කකියනවනම් සිවුර ගලවල දෙහි ගහක වනල ඕන එකක් ලියාගන්ට අපෙ උන්නාන්සෙ. ඒකට අපි මොකවත්ම නොකියන්නෙමු.

අනික මෙහෙම හිතන්ටකො. දැං මොකක්ද ඔය චීවරදාරියා කියල කියන්නෙ? චීවර=සිවුර....දාරියා=දරන්නා නැත්නම් හැඳගෙන සිටින්නා. ඉතිං හාමුදුරු ගොල්ල ඉන්නෙ සිවුරක් නැත්තං වෙන අහවල් ඉටි ගෙඩියක් ඇඳගෙනද? ඉතිං සිවුරක් ඇඳගෙන ඉන්න මනුස්සයට චීවරදාරියා නොකිය ආය වෙන අහවල් බිබික්කමක් කියන්ටද? යම් නිලයක් දරන්නා වනාහී නිලදාරියා වෙයි. ඒ වගේ තමයි ඔය චීවරදාරී කේස් එකත්. නතිං මෝ නතිං ලෙස්.

මෙතන වෙලා තියෙන්නෙ වෙන මොකවත් නෙවෙයි මේ අපේ සාදුලගෙ තියන හීන මානෙ. බලෙං කියවගන්ට ට්‍රයි එකක් දානව අටිඝරු මහා ෂන්ඝරට්නේ කියල......හෙහ්, හෙහ්. පව් මෙයා...සෝ බෑඩ්...කියන්නත් සෑඩ්...අනුකම්පා කරනව ඇරෙන්න වෙන අහවල් දෙයක් කොරන්නද? ඔය හීනමානෙ කියන එක ඇවිල්ල බොහොම දරුනු ලෙඩක්. අධිමානය සුවකරගන්න එක ලේසියි. හීන මානෙ ඊට වඩා කේස්.

ඔය අටිඝරු මහා ෂන්ඝ රට්නේ සීන් එක ගැන අපූරුවට ලියල තිබ්බ සිසිර කුමාර මානික්ක ආරච්චි මහත්තය. ඔහේල බහුතරයක් උන්නැහේ ගැන අහලවත් නැතුව ඇති. හැත්තෑව දශකයේ බොහොම ප්‍රසිද්දියටපත් පුවත්පත් කලා වේදියෙක්. ඒ වගේම ගත් කතුවරයෙක්. ඔහු ලියූ පොත් අතර "සිරිලංකා ඉල්ලංකා" "සාගරයක් මැද අමන රටක් ඇත" සහ "මනෝසීල" යන විචාර ග්‍රන්ත ඉතා ප්‍රසිද්දය. ප්‍රසිද්ද කිව්වෙ ඒ කාලෙ හොඳද? මට මතක නෑ කෝකෙද කියල ඒත් ඒ එක පොතක තිබ්බ ඔය අටිඝරු මහා ෂංඝරට්නේ ගැන මෙහෙම සටහනක්.

දැන් මේ අතිගරු මහා සංඝරත්නය කියන බණ පිලිගත යුතුය කිසිම ප්‍රශ්නයක් නාසා ඒ බණ  පිලිපැදියයුතුය කියල මතයක් රට පුරා පැතිර යන්නේය. ඒ ගැන මා අසා ඇති කතාවක් කියන්නටයි මේ සූදානම. 

ජෙමා ගමේ කොස් පොල් කඩන්නාය. ඒ දවල්ටය. රෑට ඔහු දවල්ට මුදලට කැඩූ ගස්වලටම නැඟ හොරපොල් කඩයි. ඊට අමතරව ගෙට ගන්ට අමතකව වැලක ඇති සරං තුවා, කලිසං, ගවුං යනාදී සියල්ල අතගාගෙන යයි. ජෙමාගේ මේ අවකල්ක්‍රියා ඉවසනු නොහැකිව අවසානයේ ගමේ මිනිස්සු එකතුව පොලීසියට පැමිණිලි කරයි. පොලීසිය ජෙමා අල්ලා උසාවියට ඉදිරිපත් කරයි. ජෙමාට මාස තුනක සිරදඬුවක් නියමවේ. 

තුන් මස අවසානයේදී හිරගෙදරින් එලියට එන ජෙමාට පරන පුරුදු රස්සාව දිගටම කරගෙන යනු නොහැකි බව වැටහේ. ඔහු ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් හමුවීමට යයි. ලොකු හාමුදුරුවෝ නෑකමින් ජෙමාගේ මාමාය. පන්සල බාරකාරත්වය තමන්ගෙන් පසු පැවරීමටද කිසිවකු නැති නිසා ලොකු හාමුදුරුවෝ ජෙමා මහණ කිරීමට එකඟ වෙති. සුබ මුහුර්තයකින් ජෙමා මහණ කරනු ලබයි. යන්තම් මාස තුනකට එපිට ජෙමාගේ මුහුනටම කෙළගැසූ උදවිය කහකඩය හැඳි ජෙමා තෙරුන් වහන්සේ ඉදිරිපිට වැඳ වැටෙති. "අපි වඳින්නෙ චීවරේටනෙ. ඒක ඇතුලෙ ඉන්න මනුස්සයට නෙවෙයිනෙ" ඔවුහු තම සිත් රවටා ගැනීම/සනහා ගැනීම උදෙසා තමන්ටම තොල් මතුරාගනිති. 

එදිනම සවස් භාගයේ ජෙමා තෙරුන් වහන්සේ සොරකමෙහි ආදීනව අලලා සුමදුර දර්ම දේසනයක් ද පවත්වති. ඒ වණ ඩිංජ ශ්‍රවණය කරනා සැදැහැති උපාසක උපාසිකාවෝ අනූපමේය ශ්‍රද්ධා භක්තියෙන් යුතුව දොහොත් මුදුනේ තබා සාදුකාර දෙන්නෝය. 

මේ ටික මම ලිව්වෙ මතකයෙන්. ඒ හින්ද සුට්ටක් විතර එහෙ මෙහෙ වෙච්ච තැන් එමට ඇති. ඒත් සිසිර කුමාර මාණික්ක ආරච්චි මහත්තය ලියපු කතාවෙ සාරය මෙතන තියනව.

අදත් අඩු වැඩි වශයෙන් සිද්ද වෙන්නෙ මේකම තමයි. එක වෙනසක් තියනවනම් තියෙන්නෙ අද සිවුර දාගන්න ජෙමාල සාසනේට ඇතුල් උනාට පස්සෙ කරන්නෙ හොර පොල් කඩනව වැලක තියෙන රෙද්දක් අතගාගෙන යනව වගෙ සිල්ලර හොරකං නෙවෙයි. ඊටවඩා මහා පරිමාන එව්ව.

පීල්ඩ් මාසල් තුමාට තව චෝදනාවක් තියනව හාංදුරුවංට හිඟන්නො කිව්වයි කියල. ඉතිං හාමුදුරුවො කියන්නෙ හිඟන්නො නෙවෙයිද? පිඬු සිඟා වඩිනව කියන්නෙ මොකක්ද? කෑම හිඟමනේ යන එක. අනික සල්ලි ඉල්ලල ගෙයිං ගෙට යන එක හිඟමනක් නෙවෙයිනම් වෙන අහවල් එකක්ද? මේකෙ වැඩේ වෙලා තියෙන්නෙ චීවර දාරීන්ට තමංගෙ අරමුන ඉස්ට කරගන්ටත් ඕන ඒ කිව්වෙ අර තක්කඩි දෙන්නගෙ දඩේට ඕන මුදල මිනිස්සුංගෙං එකතු කරගන්ටත් ඕන. එහෙම නැත්තං පොඩි සංදර්සනයක් දාල කැමරා ඉස්සරහ රඟන්ටත් ඕන. ඒත් ඒක හිඟමං ඉල්ලීමක් කියල පිලිගන්ට කැමැත්තකුත් නෑ. එහෙම බෑ හාංදුන්නේ....දොං නං දොං...සිමං නං සිමං....දොං සිමං දෙකක් බෑ....හොඳෙයි?...තේරුනෙයි?

මම හිතන්නෙ සාසනේ අනාගතය ගැන හිතුවොත් චීවරදාරීන්ට තව ඔප්ෂන් එකක් තියනව. ඔය නිකං බොරු මහා ෂංගරට්න කෑලි පැත්තක තියල කෙලිම්ම බහිනව බිස්නස් එකට. අර අලි මේච්චල් චීවරදාරිය නං ආරංචි විදිහට දැනටම ඒ වැඩේ පරං අරගෙන. මම මේ කියන්නෙ බන කියන්ට ගානක් අය කරන එක. ඒ වගේම පාන්සුකූලෙටත් සාදාරන ගානක් කස්ටිය කතාවෙලා නියම කරන්ට. නෝ එනි පොබ්ලම්. එහෙම උනහම කාටත් පහසුයි. 

එතකොට පාන්සුකූල දෙන්ටම ඕනෙ කියල හිතන අයට ඇඩ්වාන්ස් එකක් දීල හාමුදුරුවො එක්කගෙන ඇවිල්ල ඒ අවස්ය දේවල් කරගත්තෑකි. හැබැයි ඉතිං දන ගහල වැඳිලි බෑ. අතට අත දීල නැත්තං ආයිබෝං කියල හාන්දුරුවො පිලිගත්තම හොඳටම ඇති. එතකොට "ආය අහවල් පාන්සුකූල.....මොන බොරු වැඩද ඔව්ව?"  කියල හිතන අයට නිකං ඉන්නත් පුලුවන්. අවුලක් නෑ.

මෙහෙම අන්ඩස්ටෑන්ඩිං එකකට එන එකේ තව ප්‍රයෝජනයක් තියෙන්නෙ ඊට පස්සෙ චීවරදාරීන්ට තමං කැමති ඕනම දේසපාලුවෙකුට කඩේ ගිහෑකි කිසි අවුලක් නැතුව. මරා පස්සෙ ගියා හරි රනිලා පස්සෙ ගියා හරි කියල කවුරුවත්ම දොසක් කියන එකක් නෑ.

නිකං උගුරට හොරා බේත් කන්නෙ නැතුව එහෙම කලානම් අපිටත් පහසුයි... චීවරදාරීන්ටත් පහසුයි...


Tuesday, September 19, 2017

531. පුවක් එෂැණිං 31 - ජනාදිපති තාත්තා පොත පිළිබඳව ඔබ නොදත් කතාව…

ජනාධිපති තාත්තා පොතෙහි ඡායාරූපයක්
ඉහත දැක්වේ.


"අපෙ මහත්තයා... අපෙ මහත්තයා…….." ජයන්ති නෝනා කුස්සියෙ ඉඳල ඉස්තෝප්පුවට ආවෙ එහෙම කෑගහගෙනම.

"කොහෙ යනවද මන්ද මේ මනුස්සය...." ඈ ඉණට අත්දෙකත් තියාගෙන තොල මතුරමින් වටපිට බැලුවෙ මිදුලට බැහැල මිදුල මැද සාරෙට වැවිල තියෙන උණ පඳුර යට හිටං. ජයන්ති නෝනල අවුරුදු දෙකාමාරකට කලිං මේ ගෙදර පදිංචියට එද්දි ඔය උණ පඳුර ඔතන තිබ්බෙ නෑ. ජයන්ති නෝනගෙ මහත්තය ඔය බම්බු ගැහිලි වලට බොහෝම කැමති හින්දම ඔය උණ පඳුර ඔය කොහෙන්දෝ උගුලගෙන ඇවිල්ල මිදුල මැද්දෑවෙම හිටවගත්තෙ මෙහෙට ඇවිල්ල මාසයක් යන්ටත් ඉස්සරවෙලයි.

"පත්තර කාරය එනකල් ගේට්ටුව ගාවට ගියාවත්ද? මම කොච්චර කියනවද උදේ පාන්දර මේස් බැනියම පිටිං පත්තරේ ගන්ට ගේට්ටුව ගාවට යන්ට එපාය කියල...කෝ කිව්වට අහන එකක්ය...මේ මනුස්සය හදන්ට නම් බෑ මේ කපේදි…අදත් ඇඳගෙන ඉන්නෙ අර ඒ කාලෙ ජේ.වී.පී. කාරයො වෙඩි තියන්ට එද්දි කැලේ පැන්න වෙලාවෙ එරමිනිය අත්තකට ඇමිණිල පිට මැද්දෑවෙම්ම ඉරිල තියන මේස් බැනියමද මන්ද...කොච්චර එපා කිව්වත් අහනවය? ඕකමනෙ අඳින්නෙ..ඕකමනෙ අඳින්නෙ..ඒක එළලන්ට දෙන්නෙත් නෑ..අනේ මන්ද මේ මනුස්සයගෙ වැඩනං.."

"හූ..හූ...නෝනේ මම මෙහේ…" ගරු ජනාදිපතිතුමා එහෙම කෑගැහුවෙ තාප්පෙ අයිනෙ තියෙන කෙහෙල් ගස් ගෝටෙ අස්සෙං ඔලුව එලියට දාල දත් තිස් දෙකම පෙන්නල හිනාවෙලා.

ඔය කෙහෙල්ගස් ගෝටෙ හැදුනෙ ගරු ජනාදිපතිතුමා මේ ගෙදරට එනකොට ගමෙං ගෙනාපු රතඹල මොටෙයියෙක් හිටෝල. රතඹල ගස්වල කොළ හයියයි ලොකුයි. බත් ඔතන්ට කියාපු ජාතිය. කොච්චර රජ බොජුං වළඳන්ට චෑන්ස් එක තිබ්බත් ගරු ජනාදිපතිතුමා දවල්ට කන්නෙ එදා වගේම ජයන්ති නෝන උයල කෙහෙල් කොලේ ඔතල දෙන බත් එක. ඒ වැඩේටමයි ඔය රතඹල පඳුර ඔතන හැදුවෙ. 

ගරු ජනාදිපතිතුමාගෙයි ජයන්ති නෝනගෙයි එකම පුත්තර රත්නේ වන දහම් බබා සහ ඒ බබාගෙ යාලුවො තමයි වලක් එහෙම කපල විජේරාම හන්දියට යනකල් පාර දෙපැත්තෙ තිබ්බ ගොම්බෙටි එහෙම වීල් බැරෝ එහෙකිං එකතු කරං ගෙනල්ල දාල පී.එස්.ඩී. එකේ කට්ටිය ඩිෆෙන්ඩර් එකකිං යවල පිලියන්දල පැත්තෙ කුඹුරකිං පිදුරු එහෙම හොයාගෙන ඇවිල්ල වලට දාල පුස්සල රතඹල පැලේ හිටෙව්වෙ. දහම් බබා එහෙම කීකෝරුවට හිටිය ඒ දවස්වල. ඒත් පස්සෙ පස්සෙ නරක ආස්සරේ හින්ද රෑට රෑට නයිට් කලබ් ගානෙ ගිහිල්ල ගුටි ඇණගෙන එහෙම නහත්ති උනා.

පස්සෙ දහම් බබා ආයම පුනරුත්තාපනය වුනේ තනිකරම ජයන්ති නෝනෙගෙ කීම් බහට. ගරු ජනාදිපතිතුමාට වඩා දහම් බබා බයයි ජයන්ති නෝනෙට.

 "මේ කොල්ලො උඹ කලබ් බැයිනං ඕන මල දානයක පලයං..මට කමක් නෑ. ඒත් ඒ කොහෙ ගියත් මම කෙහෙල් කොලේ බැඳල දෙන බත් මුල අරගෙන ගිහිල්ල කන්ට ඕන. ඔන්න අම්ම නරකයි කියන්ට එපා පස්සෙං පහු" ජයන්ති නෝන එහෙම සැර දැම්ම පුතන්ඩියට......

"අනේ අම්මේ නයිට් ක්ලබ් ගිහිල්ල බත් මුල් දිගඇරගෙන කතෑකිද? මටනම් බෑ.." දහම් බබා නහුකුණු ගෑවට ජයන්ති නෝනෙ එක්ක කොහෙද ඒ සෙල්ලං. අන්තිමට ඔයිං මෙයිං දහම් බබා නයිට් ක්ලබ් යන එක අතෑරලම දැම්ම.

"දෙයියම්පල්ල මේ මනුස්සයට කියන දෙයක් තේරෙන්නෙ නැති හැටියක්. තමං කවුද කියලවත් මතක නෑ වෙලාවකට. තාම හිතාගෙන ඉන්නෙ අර විසි තුනේ වසම කරන කාලෙ කියලද කොහෙද..." ජයන්ති නෝනෙ ඔහොම කියව කියව දනිපනි ගාල ගියා කෙහෙල් ගෝටෙ ගාවට.

"මොනවද අපෙ මහත්තය ඔය කෙහෙල් ගස් අස්සෙ කරන්නෙ? අන්න අර ගේට්ටුවෙ ඉන්න පී.එස්.ඩී. කට්ටියත් ආවුදත් ඇදගෙන මෙහාට එනව මේ විපිරියාසෙ දැකලද කොහෙද…"

"ආ...බයවෙන්ට එපා..එයාල ඒ එන්නෙ කෙහෙල් කොළ කපන්ට…"

"කෙහෙල් කොළ?... ඒ මොකටද?"

"නෑ නෝනෙ මම මේ කල්පනා කලේ දවල්ට ඔපිස් එකේදි ඔයා බැඳල දෙන බත් එක ලිහාගෙන තනියම කන එක මට මහ මොකද්ද වගේ"

"ඉතිං?"

"ඉතිං ඒ හින්ද මං හිතුව  මගෙ ඔය ඉන්න ලේකම්ලයි සම්බන්දීකරන නිලදාරීලයි ලිපිකරුවොයි ඔක්කෝටමත් එක්ක බත් බැඳගෙන යන්ට කියල"

"මොකක්? ඒ කියන්නෙ මට හැමදාම බත්ගෙඩි තිහ හතළිහක් වත් බඳින්ට වෙනව?"

"හරි හරි කලබල වෙන්ට එපා. නෝනෙට ඔව්ව ඉතිං නුපුරුදු දේවල් නෙවෙයිනෙ. මතකද ඒ දවස්වල කොළදිං කාලෙ එතකොට නෙලුං කාලෙ එහෙම නෝනෙ හැමදාම හතළිහකට පණහකට බත් උයනවනෙ. ඒ කාලෙ ආයම ඇවිල්ල කියල හිතාගන්ටකො. හෙහ්..හෙහ්"

ගරු ජනාදිපතිතුමා එහෙම කියල ජයන්ති නෝනෙත් එක්ක මිදුල හරහ ගිහිල්ල ඉස්තෝප්පු කෑල්ලට ගොඩවෙලා හාන්සි පුටුවෙ ඈඳිගත්ත.

"කෝ අපේ ලොකු දෝණි එහෙම පේන්ට නැත්තෙ?" 

"අන්න කාමරේට වෙලා අර පොත එලි දැක්වීමේ මංගල්ලෙ කටයුතු ලැහැත්ති කරනව... "

"මොන පොතද?"

"මොන පොතද කියල අහන්නෙ? අර අපෙ මහත්තයම කිව්වෙ තමුං ගැන පොතක් ලියන්ටෙයි කියල...අන්න ඒක ...වෙන ආය අහවල් පොතක්ද?"

මාසෙකට හමාරකට වගෙ උඩදි ගරු ජනාදිපතිතුමා ලොකු දෝණියන්දැට කතා කොරල තමං ගැන පොතක් ලියන්ට කියල කියපු වෙලාවෙ ලොකු දෝණි ඒකට එක හෙලාම විරුද්ද උනාය. 

ලොකු දෝනි කිව්වෙ "තාත්තෙ තාත්තට තව හුඟක් වැඩ කරන්ට තියනව මේ රට වෙනුවෙං. මිනිස්සුන්ට වෙච්චි පොරොන්දුම නම් කීයක්ද? ඒ හින්ද මගෙ සුදු තාත්ත වගෙ අපි ඉස්සෙල්ල එව්ව ඉස්ට කරල ඉමු. ඊට පස්සෙ බැරිය පොතක් ලියන්ට ..." කියාය. 

ගරු ජනාදිපතිතුමා ඒ කතාවට එකඟ වුනේ නැතය. "නෑ..නෑ...දෝණි මේක අහන්ටකො. මට නිතරම මම කවුද කියල අමතක වෙනව. ඇත්තම කිව්වොත් ඒකයි ඔය මගෙං කෙරෙන්ට ඕන දේවල් හුඟක්ම නොකෙරෙන්නෙ. සමහරවෙලාවට දවස් දෙක තුන මම හිතාගෙන ඉන්නෙ මම ඉන්නෙ තවම අර විසිතුන වසම කරන කාලෙය කියල. අම්ම උදේම බත් ගෙඩිය බැඳල ගෙනත් දීල අ ඔෆිස් යන්නෙ නැද්ද කියල අහනකොට තමයි මට මතක් වෙන්නෙ යකෝ සාක්කි ඒ වසම කරන කාලෙ ගෙවිල ගිහිල්ල දැං සෑහෙන්ට කල් නෙවදෙයි කියල. ඒ හින්ද මම ඔයාට ඔය පොතක් ලියන්ට කියල කියන්නෙ මම කවුද කියල නිතරම මතක් වෙන්ට. පොතේ මුල පිටුවෙ ලොකුවට දාන්ට ඕන නම ජනාදිපති තාත්තා කියල. එතකොට නිතරම ඔය පොත පේන්ට තියනකොට මට මතක් වෙනව මම කවුද කියල.තේරුණා නේද?"

"හරි හරි තාත්ත ඔච්චරම කියනවනම් බලමු. ඒත් තාත්තෙ මට ඔය දෙකයි පණහෙ වැඩ කරන්ට බෑ පරමාර්තෙ මොන තරං උතුං උනත්. ඒ හින්ද මෙහෙම කරමු මම අපේ ස්ටාෆ් එකේ ළමයෙකුට කියල පොත ලියවන්නං එහෙම හොඳයි නේද?"

"හරි කමක් නෑ. ඒත් ලිව්වෙ ඔයයි කියල පොතේ නම වැටෙන්න ඕන"

"අනේ මන්ද මම ඔය වගෙ බොරු සෝබන වලට මගෙ නම් ඒ හැටි කැමැත්තකුත් නෑ. හරි තාත්තට ඕනම නම් එහෙම කරමු"

අන්තිමට එහෙම තමයි වැඩේ සිද්ද වුනේ. ලොකු දෝනිගෙ ගෝලයෙක් පොත ලිව්ව. ඒත් කත්තුරු හැටියට ලොකු දෝනිගෙ නම දැම්ම. දැං මේ වෙනකොට පොතේ වැඩේ ඉවරයි. තව දවස් දෙකයි තියෙන්නෙ පොත දොරට සහ ජනේලෙට වැඩීමේ මංගල්ලයට. 

"කෝ කතාකරන්ට ලොකු දෝනිට මෙහාට. දොරට වැඩීමේ උස්සවේ ගැන විස්තර ටිකක් අහන්ට"

ගරු ජනාදිපතිතුමා බඩ අතගගා එහෙම කිව්වම ජයන්ති මැණිකෙ ගිහිල්ල ලොකු දෝණිට කතා කරගෙන ආව. 

"ඇයි තාත්තෙ?"

"දැං මොකද උස්සවේ වැඩ කටයුතු ඔක්කොම සූදානංද?"

"ඔව් තාත්තෙ…"

"කාටද දැං ආරාදිත දේසනේට එන්ට කියන්ට හිතාගෙන ඉන්නෙ?"

"කවුරු හරි සම්මාන දිනපු රටම පිලිගත් විද්වතෙක් හරි පොත් කත්තුරු කෙනෙක් හරි ගෙන්නන්ටයි මම හිතාගෙන ඉන්නෙ. ඇයි තාත්ත කවුරුහරි ගැන හිතාගෙන ඉන්නවද? "

"දැං දරුවො මෙහෙමයි ඕක වෙන්න ඕන...ඔය දේසනෙං පස්සෙ රටේ මිනිස්සු මා දිහා අමුතුම ඇහැකිං බලන්ට පටං ගන්ට ඕන...අම්මට උඩු මූ නෙව යකෝ පොර..අපි මෙච්චර කල් හිතාගෙන හිටියෙ සරල ගැමියෙක් ගොයි නායකයෙක් කියලනෙ..බලාගෙන යනකොට එහෙම නෙවෙයිනෙ...අන්න එහෙම මිනිස්සුන්ට හිතන්ට වෙන විදිහෙ දේසනයක් එතන කෙරෙන්ට ඕන"

"ඒත් තාත්තෙ තාත්ත මෙච්චර දවස් ප්‍රමෝට් කලේ එහෙම සරල ප්‍රතිරූපයක් නේද? සරල ජනපති, රජරටින් පැමිණි ගොවි නායකයා, නිවහල් ගැමියා අන්න එහෙම නේද? ඉතිං මොකෝ මේ එක පාරටම?"

"නෑ..නෑ..ඒ සරලාභිධාන ග්‍රාමීය ගොවි නායක ප්‍රතිරූපය එහෙම්මම තියෙන්න ඕන. මට ඕන ඒක එහෙම්ම තියෙද්දිම මිනිස්සු ලවා හිතවන්ට යකෝ සරලයි නම් තමයි ඒත් මේ මනුස්සයගෙ තියනවනෙ ඊට එහා ගිය මොකක්දෝ මහ අපිට නොතේරෙන ගැඹුරු බාවයක්...අන්න එහෙම... තේරුණාද දෝණිට? ආ..තව එකක් ඒ දෙසනේ අහල මිනිස්සු නිකං තක්කු මුක්කු වෙලා යන්ටත් ඕන..දේසනේ ඉවර උනාම නින්දෙං ඇහැරල වගෙ තමංගෙ එහා පැත්තෙ ඉන්න මනුස්සය දිහා බලල මොකක්ද බං ඒ කිව්වෙ? කියල තුස්නිම්බූත වෙලා අහන සයිස් එකේ දේසනයක් තමයි මට ඕන.."

"හරි හරි මට තේරෙනව තාත්ත කියන එක...ඔව්වට කියන්නෙ "What the fuck did I just heard" කැටගරි එකේ දේශණ කියල"

"අන්න හරි... ඉතිං දෝණි එහෙම කෙනෙක් ගැන දන්නවද?"

"දන්නව දන්නව..ඕකට නියම බුලට් එකක් මට මතක් වුනා…"

"කවුද ඒ? ඔයාගෙ යාලුවෙක්ද?"

"නෑ..නෑ..මගෙ යාලුවෙක් මිනිහව දන්නව..එයාගෙ දේසනයක් ඇහුවම බුදු හාමුදුරුවංගෙ උනත් ඔලුව නරක් වෙනව ෂුවර් ඇන්ඩ් ෂොට් කියලයි මගෙ යාලුව කිව්වෙ.."

"අන්න හරි එහෙම කෙනෙක් තමයි මම හොයන්නෙ…"

"අනික එයාගෙ දේසන පොතේ නමටත් ගැලපෙනව. දැං අපේ පොතේ නම ජනාදිපති තාත්තානෙ. මම කියන මනුස්සය නිතරම කතා කරනව සංකේතීය පියා කියල කවුදෝ කෙනෙක් ගැන. නියමෙට ගැලපෙනව. අපිට ඕනනම් පොතේ නමත් පොඩ්ඩක් වෙනස් කරතෑකි. ජනාදිපති තාත්තා නොහොත් මගේ සංකේතීය පියා…අන්න එහෙම "

"ඒ මොන විකාරයක්ද? ඒක හරියන්නෙ නෑ දෝණි. එහෙම නම දැම්මොත් මිනිස්සු කල්පනා කරයි යකෝ එතකොට මේ ඉන්නෙ සංකේතීය පියානං කවුද බොලේ ඇත්තම තාත්ත කියල. මට රෙද්දක් ඇඳගෙන පාරෙ බැහැල යන්ට නැතිවෙන පොටක් ඒක....." මෙතෙක් වෙලා නිහඬව සිටි ජයන්ති නෝනා පොතේ නම වෙනස් කරනවට තම විරෝදය පලකලේ එහෙමයි.

"ඔව් නේද? අම්මගෙ කතාවෙත් ඇත්තක් තියනව..අපි පොතේ නම එහෙම්මම තියමු…" ගරු ජනාදිපතිතුමා ඔලුව හොල්ල හොල්ල කිව්ව.

"හරි එහෙනං නම එහෙමම තියමු. එතකොට තාත්තට ඒ දේසනේදි විසේසෙං කියවෙන්ට එහෙම ඕන මොනවහරි කාරනා තියනවද?"

"නෑ එහෙමට විසේසයෙන් කියවෙන්ට ඕනයි කියල මොකවත් මේ වෙලාවෙ මතක්නම් වෙන්නෙ නෑ.... දේසනේ අවසානෙදි සබාතොමෝ අඤ්ඤකොරොස්ව සහ තුස්නිම්බූතව ආහ්ලාදජනකව විසිර ගියෝය....අන්න ඒ ජාතියෙ දේසනයක් කෙරුනොත් මට ඒ ඇති...."

"හරි හරි මනුස්සය ඒක නියමෙට කරයි. එයා ඔය පස්චාත් නූතන වාදය වගෙ එව්ව ගැන පරතෙරටම හදාරපු කෙනෙක්.."

"මොකක්? පස්චාත් මරන පරීක්සන? දෝණි ඔයා මේ මිනී කපන මනුස්සයෙක්ද කොහෙද දේසනේට ගෙන්නන්ට යන්නෙ මට පේන විදිහට.."

"නෑ..නෑ..තාත්තෙ මිනී කපන එකක් නෙවෙයි ….ඒක ඇවිදිල්ල හිට මේ සම්බාවිය වචනයක්. පෝස්ට් මොඩර්නිස්ම්...කවුරුවත් ඕකෙ තේරුමක් හරියට දන්නෙ නෑ. ඒත් හැමෝම ඔය ගැන කතා කරනව"

"අන්න නියමයි. එහෙම වචන පුලුවන් තරම් දේසනේට දාන්ට කියන්න ඔය මනුස්සයට...අර පෝස්ට් ඔෆිස් වචනෙත් අපූරුයි. මොකද මම පොඩි එකා කාලෙ අපේ ගෙදර තමයි ගමේ උප තැපැල් කන්තෝරුව තිබ්බෙ. ඒ හින්ද ගමේ හැමෝම අපේ ගෙදරට කිවෙ තැපැල් කන්තෝරු ගෙදර කියල. ඒ හින්ද පෝස්ට් ඔෆිස් තාත්තා කියන එක හොඳටම ගැලපෙනව"

"හරි මම එහෙනං ඒ මනුස්සයට කියන්නං පෝස්ට් ඔෆිස් පියා කියල එයාගෙ කතාවෙදි මතක ඇතුව කියන්ටෙයි කියල….."

ඉතිං ඔන්න ඔහොමයි ජනාදිපති තාත්තා පොත ලිවීමේ සහ එය දොරට වැඩීමේ මංගල්ලයේ පසුබිම් කතාව. ඒත් එක පොඩි මිස්ටේක් එකක් වුන. අර මම කියපු සම්බාව්ය දේසකයා තමන්ගෙ දේසනේදි පෝස්ට් ඔෆිස් පියා කියල කිව්වෙ නෑ. එයා කිව්වෙ පෝස්ට් මොඩර්න් පියා කියල.

ඒ සම්බාව්ය දේසනේ වීඩියෝ ක්ලිප් එක ඔන්න පහළ තියනව....



LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...