"මයෙ අම්මේ යමු යංඩ" - නාගොල්ලාගම ධර්මසිරි බෙනඩික් |
මේ ලියන එකත් මට දැන් එපාම වෙලා තියෙන්නෙ…
මම හිතන්නෙ කාලෙන් කාලෙට මිනිස්සුන්ට (මිනිස්සු කිව්වම මම අදහස් කරන්නෙ පිරිමි කියන එක නෙවෙයි හොඳද?...පොදුවේ ගෑණු පිරිමි දෙගොල්ලම...හුමන් කයින්ඩ් කියන එක..කොටින්ම මිනිස් වර්ගයා..හරිනෙ? පැහැදිලියිනෙ? නේ? ගෑණු පිරිමි කිව්වම මතක් උනේ..අපි පොඩි කාලෙ ගෑණු පිරිමි මල් පළතුරු කියල සෙල්ලමක් කලා..ඔහෙලත් කොරයිය? ඒ කීඩෑව කරන්නෙ මෙහෙමයි...කීඩෑව කිව්වම මතක් උනේ..කීඩෑව නං කීඩෑව වංජාව හොඳ නෑ...කවුද දන්නවද එහෙම කිව්වෙ? අපේ පළමුවෙනි විධායක බලැති ජනාධිපති තුමා...වෙන කවුද ඉතිං? ...ඉතිං අර කීඩෑව කරන්නෙ මෙහෙමයි...හතර පස් දෙනෙක් වටවෙලා ඔන්න ඇක්සයිස් පොතක උඩ ඉඳන් පහලට රූල් ගහගෙන එහෙම ලෑස්තිවෙනව. එක්කෙනෙක් ඔන්න අකුරක් කියනව..අපි හිතමු වයන්න කියල. එතකොට කට්ටියම වයන්නෙන් එන ගෑණු නමක් පිරිමි නමක් මලක් සහ පළතුරක් ලියන්න ඕන...උදාහරණයක් වසයෙන් ගත්තොත් ගෑණු නම ඇවිල්ල හිට වසන්තයේ අග හමුවූ සොඳුරිය, පිරිමි නම වාකරේ ඉන්න ජයන්ත මල්ලි..මල වරුසාවට අහුවෙලා බිම වැටුනු අරලියා මල...පලතුර වල් ගොල්ලට වැටිල පෙරලිලා ගිහිල්ල ඇළට වැටුනු දූරියං ගෙඩිය...ඔය ලියන වචන වල අකුරු ගාණටත් වෙනම ළකුණු දෙනව..ඒ හින්ද අපි බලන්නෙ පුලුවන් තරං දිග නම් ලියන්ට......ඕකට දෙන්නෙ කාලය එකේ ඉඳල විස්සට ගණං කරනකල් විතරයි. එක්කෙනෙක් පැත්තක ඉඳල ගණං කරන වැඩේ බාර ගන්නව...) ඔහොම වෙනව..ඒ කියන්නෙ කාලයක් ආසාවෙන් කරපු දෙයක් එපාම වෙලා යනව..මම හිතන්නෙ ඒක සම්පූර්ණ සොබාවිකයි...කාලයක් කරපු දේ එපා වෙලා සම්පූර්ණ වෙනස් දේකට හිත යොමු වෙනව...
හරි..හරි..ඒ ගැන දැන් ඇති...අම්ම ගැන ලියන්න කියල ඉඳගත්තට පහුගිය සටහනේ තනිකර ලියවුනේ වෙන වල්පල්. අර එළිසබෙත් අක්ක ගැනනෙ සීයට අනූනමයක්ම ලියවුනේ. හරි අද තනිකරම අම්ම ගැනම ලියමුකො එහෙනම්...
මම පහුගිය පෝස්ට් එකේ ට්‍රැක් පැනල මහේසිකාවුන්නාන්සෙ ගැන ලිව්වට මට ලියන්ට ඕන උනේ ඒත් මම ඔය මහවැලියෙන් අස්වෙලා ගෙදර ඇවිල්ල හිටපු මාස දෙකේ නැත්නම් තුනේ වෙච්චි දෙයක් ගැන. ඒත් හොඳ වෙලාවට මට ඒ ගැන ලියන්ට බැරිවුනේ..හෙහ්..හෙහ්..දන්නවද ඒ මොකැයි කියල? මට මේ ඊයෙ පෙරෙයිද වගෙ මතක් උනා හදිස්සියෙම අඩේ මම ඒ කතන්දරේ කලින් ලිව්ව නෙවදැයි කියල...පස්සෙ පොඩි සේච් පාරක් දාල බැලින්නං ඇත්තම තමයි මේ තියෙන්නෙ දිළිසි දිළිසි...
පස්සෙ ආයම මට හිතුන එක්කොත් ඒකම ආයම දානවයි කියල..මොකද ඒ වගෙ ආදර්සමත් කතාවක් ආයම කියෙව්වයි කියල ඔබ තමුන්නාන්සෙලට කිසිම පාඩුවක් වෙන්නෙ නෑ..මම ඒකට ගැරන්ටි එකක් දෙනව එකහෙලාම...
ඔන්න එහෙනම් ඒ කතාව...
අසභ්‍ය වදන් ගැන කියද්දි මතක්වෙන තව කතාවක් තියනව. එහෙනං ඔන්නොහෙ ඒකත් කියලම දාමුකොයි නැද්ද? මේ කතාව අර කලින් එක වගෙ දුරාතීතයෙ සිද්ද වෙච්චි එකක් නම් නෙවෙයි. මේ බොහොම මෑතක. හරියටම කිව්වොත් නයින්ටීන් නයින්ටි නයින්..
ඒ මම අර වාරිමාර්ග ව්‍යාපෘතියෙ රස්සාවෙන් අයින්වෙලා ගෙදර ඇවිදින් ගෙවෙන මුල්ම මාසෙ වගෙ. අලුත් රස්සාවක් හම්බවෙනකල් මම පේරාදෙණිය පාරෙ N.I.B.M. එකේ පරිගණක පාඨමාලාවක් කලා. ඒකෙ පංති පැවැත්වුනේ සති අන්තයෙ. ඒ හින්ද සතියෙ දවස්වල මම නිදහස්. ඒ කාලෙ මම හිටියෙ අපේ මහගෙදර. අපේ එතුමීටත් ඔය හදිස්සියෙ නුවරට ස්ථාන මාරුවක් ගන්ට නොහැකිවුන නිසා එවුන්දැ එවුන්දැගෙ මහ ගෙදර ඉඳල ඉස්කෝලෙට ගියා. එවුන්දැ එහෙ. මම මෙහෙ. ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ.
ඔය කාලෙ ගෙදර හිටියෙ අපෙ අම්මයි තව අම්මගෙ අයිය කෙනෙක් බැඳල හිටපු නැන්ද කෙනෙකුයි. ඒ වෙනකොට ඒ මාම නැතිවෙලත් සෑහෙන කලක්. නැන්දගෙ දරුවොත් ලොකු මහත් වෙලා දීග තලග ගිහිල්ල හින්ද අම්මගෙ තනියටත් එක්ක ඒ නැන්ද අපේ ගෙදර ඇවිල්ල හිටිය.
ඔය කාලෙ කවුදෝ අසමජ්ජාතියෙක් රෑට රෑට ටෙලිෆෝන් එකෙන් ගෙදරට කතා කරල අනම් මනම් මනමාල කතා කියන්ට පටන්ගෙන තිබ්බ. ඔහොම ඉන්නව විශේෂයෙන් ඔය Night shift වැඩ කරන අසනීප කාරයො. ඔය මොකක් හරි නම්බර් එකකට කතා කරල ඒ ගෙදර ගෑණු විතරයි ඉන්නෙ එහෙම කියල දැනගත්තම ඔය තමන්ගෙ අසහනේ පිටකරගන්ට බලනව.
"අනේ පුතේ මේක හරි කරදරයක්නෙ. මේ කාලකන්නිය රෑ තිස්සෙ කතා කරනව. ටෙලිෆෝන් එක නොගෙන ඉන්ටත් බෑ කාගෙන් හරි හදිසි පණිවිඩයක්ද දන්නෙ නෑනෙ"
අම්ම මා එක්කල කිව්වෙ ගෙදර ආපු දවසෙමයි. අපේ ඒ කාලෙ තිබ්බෙ අර රේඩියෝ ටෙලිෆෝන් එකක් හින්ද සී.එල්.අයි (Caller line identification) දාල ඒ යකාගෙ නොම්බරේ හොයාගන්ටත් බෑ. එකම ප්‍රතිකර්මෙ ටෙලිකොම් එකට පැමිණිළි කරල ඒ යකා කතා කරන නොම්මරේ හොයාගෙන මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්න එක.
"හරි හරි ඉන්ඩකො. මම දැං ගෙදර ඉන්නවනෙ. අම්ම කලබල නැතුව ඉන්නකො" මම එහෙම කිව්ව.
කොහොම හරි ඊට පස්සෙ ඒ වල් ඌරා කතා කලෙත් නෑ.
සතියකට වගෙ පස්සෙ දවසක මගෙ පරණ යාලුවෙක් අපෙ ගෙදර ආව මාව හම්බ වෙන්ට. ආගිය තොරතුරු කතාකරල මනුස්සය මට කිව්ව යමු බං එහෙනං හීන්වට මොනවහරි කරන්ට කාලෙකින්නෙ හම්බ වුනෙත් උඹව කියල. මාත් ඉතිං හාංය කියල ගියා කියමුකො. අපි ගියේ කිරිබත් කුඹුරෙ රේල් ගේට්ටුව ගාවම තියෙන දුම් රිය කෞතුකාගාරය දැකල ඇති නේද? අන්න ඊට පිටිපස්සෙ ඒ දවස්වල තිබ්බ පොඩි රෙස්ටෝරන්ට් එකක්. අන්න ඒකට. කොහොම හරි දන්නවනෙ පොඩිවට කරන්ට ගිය වැඩේ අන්තිමට තව යාලුවො දෙන්නෙකුත් කෝල් කරල ගෙන්න ගෙන මෙගා ප්‍රොජෙක්ට් එකක් නොහොත් මහා පරිමාණ ව්‍යාපෘතියක් වෙලයි අහවරයක් වුනේ.
මම ගෙදර ආවෙ අඩි දෙකක් පොළවට උඩිං. අපේ ගෙදරට එන්ට එදවස තිබ්බෙ එකහමාරෙ මැටල් ගල් දාපු සුට්ටි අඩි පාරක් වගෙ එකක්. ඒ මැටල් ගල් වලිං සීයට අනූවක්ම මම යන්තමට දනිපණි ගාගෙන ගෙදර ඉස්සරහ දොර ගාවට ලඟාවෙනකොට තිබ්බෙ පාරෙං පල්ලෙහා වෙලේ ඔන්න කොටිම්ම. එච්චරම මනරංජනීයයි චිත්තාකර්ෂණීයයි එදා අඩිපාර දිගේ මගේ ගමන... ඒ වෙලත් අපේම හින්ද අවුලක් නෑ.
"නිල් නුවං පෙනෙන පඳුර වලා සුරාවෙන් වෙලී…………………"
"ට්‍රීං..ට්‍රීං.." මම බෙල් එක ගැහුව.
අම්ම ඇවිල්ල දොර ඇරිය..
"අම්ම මොකෝ මේ නිදියන්නෙ නැතුව කරන්නෙ?" මම ගේ ඇතුලට විසිවෙන අතරෙ ඇහුව..
"හ්ම්ම්ම්..නිදි තමයි..කොහෙද පුතා ගියේ? හොඳටම බීල නේද?" අම්ම ඉව ඇල්ලුව..ආය ඉවක් අල්ලන්ට දෙයක් නෑ..බැලූ බැල්මට පේනව කිලෝ මීටර් දෙකකට වගෙ එහා ඉඳල....හෙහ්,හෙහ්,
"මොන? ඒ හැටි බිව්වෙ නෑ ආයෙ…"
"නෑ තමයි...මට පේනව..ඇති ගෙදරටවත් ආව..කාලද ඉන්නෙ?"
"නෑ කෑවෙ නම් නෑ..ඒත් දැං කන්ට නම් බෑ මොන විදිහකටවත්.....මම වොෂ් එකක් දාල නිදාගන්නව. අම්මත් ගිහිල්ල නිදාගන්න. කෝ නැන්ද?"
"නැන්ද නිදි..ආ..ඒක නෙවෙයි පුතා අර කාලකන්නියා අද කතා කලානෙ හතර පස් පාරක්ම.."
"මොන කාලකන්නියද?"
"අර මං කිව්වෙ රෑට රෑට කෝල් දීල ඒක මේක කියනව කියල... අන්න ඒකා.."
"හරි ආයම කතා කලොත් මම ඌට කතා කරන්නං..අම්ම ගිහිල්ල කාමරේ දොර වහගෙන නිදාගන්ටකො."
වොෂ් එකක් දාගෙන ඇවිල්ල මම නිදාගන්ට ගියා විතරයි මෙන්න ටෙලිෆෝන් එක රිං වෙන්ට ගත්ත. මම ආව සාලෙට. අම්මත් නැඟිටල ආව.
"අම්ම ගිහිල්ල දොරත් වහගෙන නිදාගන්ට...."
"මොකද ඔයා කරන්ට යන්නෙ?"
"වෙන ආය අහවල් දෙයක් කරන්ටද ඒ මිනිහට බොහොම කරුණාවෙන් කියන්ට යන්නෙ මේ වැඩේ වහාම නවත්වන්ටෙයි කියල. හරි මම ඒක කරන්නං..අම්ම ගිහිල්ල නිදාගන්ට..දොරත් වහගෙන…ප්ලීස්"
අම්ම මා දිහා ටික වෙලාවක් බලාගෙන ඉඳල ගිහිල්ල දොර වහගත්ත. ටෙලිෆෝන් එක දිගටම රිං වෙනව....
මම ටෙලිෆෝන් එක ලඟම තිබ්බ පුටුවෙ ඉඳගෙන දීර්ඝ සහ සුහද සාකච්ඡාවකට සුදානමින් හරිබරි ගැහුන. ඊට පස්සෙ හෙමීට රිසීවරේ අරං කණේ තියාගත්ත. හැබැයි වචනයක් වත් කතා කලේ නෑ..
"හෙල්ලෝ?……" එහා පැත්තෙං ඇදපැදල කිව්ව.."මොකද අනේ ඔයා ටෙලිෆෝන් එක ගන්ට මෙච්චර පරක්කු උනේ?"
මම හොඳ හුස්මක් ඉහලට ගත්ත.කටහඬ පිටතට නෑහෙන්ට වමතිං රිසීවරේ ආවරණය කරගත්ත.
"මෙච්චර වෙලා පරක්කු උනේද? පරක්කු උනේ මම ගිහිල්ල හිටිය තොගෙ ***** *****, තෝ දැනගං වල් පඳුරු **** ****, තෝ මේ කරන දහදුරා වැඩේ අදම නැවැත්තුවෙ නැත්තං මම තොගෙ *****************," (එතුමාගේ පවුලේ අනෙකුත් සාමාජිකයින් පිළිබඳව මවිසින් ක්‍රියාත්මක කරන්නට අපේක්ෂිත ක්‍රියාමාර්ගයක් පිලිබඳව මම මෙහිදී එතුමා දැනුවත් කළෙමි )
"තෝ දන්නවද තොපි වාගෙ එවුං උප්පාද වෙන්නෙ ******** ගාල්වල ********* ****** වෙලාවල්වල…" ( එතුමා එතුමන්ගේ ගරු මෑණියන්ගේ ගර්භාෂය තුල පිළිසිඳගත් පරිසරය සහ ඊට උපස්ථම්භකවූ කරුණු කාරණා මෙහිදී මවිසින් එතුමාට මනාව පැහැදිලි කලෙමි )
"ඒ හින්ද මේ ටික හොඳට අහගං ******** ********* මම කලිං කිව්ව විදිහට මේ වැඩේ අදම නවත්තපං. නැත්තං නොකිව්වයි කියන්ට එපා මම තොගෙ ටෙලිපෝන් නොම්මරේ හොයාගෙන තොගෙ ගෙදරටම ඇවිල්ල ******** *******" ( මේ අවස්ථාවේහිදී එතුමාගේ ගෙදර වසන ගිරවා, බල්ලා පූසා ආදී සුරතල් සත්වයින් අරභයා මවිසින් ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වන ක්‍රියා මාර්ග පිළිබඳව මවිසින් එතුමා ඉතා සුහදව දැනුවත් කරන්නට යෙදුනු බව සැලකුව මනාය )
කොහොමහරි මට හිතෙන්නෙ මේ වෙලාවෙ තමයි මිනිහට හරි සිහිය ආවෙ. සම්මා සතිය....මෙච්චර වෙලා මිනිහ තුස්නිම්බූත වෙලා ඊට අමතරව අන්දුන් කුන්දුන් වෙලා ඉන්ට ඇති ටෙලිෆෝන් රිසීවරෙත් කණේ ගහගෙන. Totally Unexpected හෙවත් කිසිම අයුරකින් බලාපොරොත්තු නොවුනු දෙයක් එක පාරට උනහම මිනිස්සුන්ට එහෙම වෙනව. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නෙ Being Paashaaniboothaized කියල. හෙහ්..හෙහ්...අයි නෝ පුතා..මට එහෙම වෙලා තියනව.
ඉතිං සම්මා සතිය පහල උන ගමං මිනිහ දඩස් ගාල ටෙලිෆෝන් එක තිබ්බ.එච්චරයි. එදයිං එදයිත් හරි මිනිහ ආ හලෝ කොහොමද සැප සනීප කියල අහන්ටවත් කතා කලේ නම් නැත. May be still paashaaniboothized..heh, heh..who knows?
පලි - පහුවදා උදේ වරුවම ඔලුව පුපුරන්ඩ තරං කැක්කුම. ඒත් යාන්තමට එක විදිහක් උන ගමන්ම අම්ම එපා කියද්දි මම අර වෙලේ තිබ්බ මැටල් ගල් එකතු කරල ආයම පාරට දැම්ම. නකතං වෙන්ට දාල එකහමාරෙ මැටල් උඩිං රෑට රෑට රූට රූට එන එකෙත් මාරම ආතල් එකක් තියනව.ඒක පට්ට.....හෙහ්,හෙහ්
මේ කතාවෙ ඌණ පූරණයකුත් තියනව ඇත්තම කිව්වොත්...
දවස් දෙක තුනකට පස්සෙ අම්මයි මායි විතරයි දවල් දවසෙ ගෙදර. අර නැන්ද එයාගෙ පුතා රෙස්ටුරන්ට් එකක් කරනව මෙන්න මේ වටවල පැත්තෙ..අන්න එහෙ ගිහිල්ල..එහෙම හිතුනම ඒ අම්මණ්ඩි ගිහිල්ල සතියක් හමාරක් ඉඳල ආයම පුතා එක්ක මොකක් හරි කොක්කක් දාගෙන ආපහු එනව...හෙහ්..හෙහ්..අපි මට මතක විදිහට ඉස්තෝප්පු කෑල්ලෙ අර දම් රෝ පුටු දෙකක් තියාගෙන ඉඳගෙන හිටියෙ. උදේ වත්ත පිටිය උදලු ගාල මම ඉහිං කණිං දාඩිය දාගෙන හිටියෙ ෂර්ට් එකත් ගලවල..
"පුතාට තේ එකක් ගේන්නද?" අම්ම බල බලා හිටපු ලංකාදීපෙ පාතට කරල මා දිහා බලල ඇහුව.
"එපා අම්ම තවම දාඩියයි..තව ටිකකින් දාඩිය එහෙම නිමුනම බොමු.." මම පපුවට පූස් පූස් ගාල හුළං පිඹින ගමන් කිව්ව.
අම්ම එහෙම්මම මගේ දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය. උන්දැ ඔහොම ඉන්නෙ මොකක් හරි මගෙං අහම්දෝ නාහම්දෝ කියල හරියටම හිතාගන්ට බැරුවය කියල මම අත්දැකීමෙන්ම දන්නව..
"මොකෝ අම්මෙ? මොකක්ද අහන්න තියෙන්නෙ?....."
"ඒ මොකෝ පුතා එහෙම හිතුවෙ? මම මොකක් හරි අහන්නයි යන්නෙ කියල…"
"හෙහ්..මම දන්නෙ නැද්ද දැං අවුරුදු තිස් හයක් තිස්සෙ අම්ම ගැන…"
"හරි හරි මම මේ අහන්නමයි හිටියෙ..එදා රෑ ඔයා අර මිනිහට මොකක්ද කිව්වෙ?"
අම්ම මේ අහන්නෙ කොයි රෑ ගැනද කොයි මිනිහ ගැනද කියල සහසුද්දෙන්ම දන්නව උනත් මම බබා පාට් එකක් ඇට් කලා.
"මොන රෑද?.... මොන මිනිහද?"
"නිකං බොරු කරන්න එපා පුතා..ඔයා හොඳටම දන්නව මම මේ කියන්නෙ මොකක් ගැනද කියල.."….අම්මට හිනා…
"හරි හරි ඉතිං? මොකක්ද ඒ ගැන අහන්න තියෙන්නෙ?"
"එදා රෑ ඔයා මොනවද ටෙලිෆෝන් එකෙන් ඒ මනුස්සයට කිව්වෙ?"
"ආ...බොහොම සුහදව කිව්ව ඒ යකාට මොකක්ද සහෝදරය ඔයා මේ කරන වැඩේ? ඇත්තටම හොඳයි කියල කියන්න පුලුවන් වැඩක්ද ඔයා මේ කරන්නෙ? ඒ හින්ද කරුණාකරල මේ වැඩේ නවත්වන්න...ඔන්න ඔහොමයි මම කිව්වෙ…" මම එහෙම කියල අහක බලාගත්තෙ මගෙ මූණෙ පිපිච්ච හිනහව අම්මට නොපෙනෙන්ට...
"අනේ දෙයියනේ……" අම්ම එහෙම කියල කම්මුලේ අතකුත් තියාගන්නව හොරැහින් බලපුවම මම දැක්ක..
"ඇයි?"
"ඇයි තමයි..එහෙමම තමයි නේද කිව්වෙ?..හ්ම්ම් තව මොනවද කිව්වෙ?"
"ආය කිව්ව මම ඔබතුමාගෙ ආගම මොකක්ද කියල දන්නෙ නම් නෑ. ඒත් බුදුහාමුදුරුවොවත් යේසුස් වහන්සෙ වත් නබිතුමාවත් කොහොමවත් අනුමත කරන එකක් නෑ ඔබතුමාගෙ මේ හැසිරීම. ඒ හින්ද කරුණාකරල මෙහෙම හැසිරෙන්න එපාය කියල මම බැගෑපත්ව ඉල්ලා සිටිනව..ඒ වගේම ආයාචනා කරනව. ඔන්න ඔහොමත් කිව්ව.."
"හ්ම්ම්ම්...ඔව්..ඔව්..මට යන්තමට වගෙ ඇහුණනෙ ඔයා කියපුව….ඔහොම පින්වත් කතාවක් නම් ඇහුනෙ නෑ හැබැයි මට මතක විදිහට..හිහ්..හිහ්..."
"හ්ම්ම්ම්..ඔන්න ඉතිං ඕකනෙව කියන්නෙ..මම අම්මට මොකක්ද කිවෙ? ගිහිල්ල කාමරේ දොර වහගන්නෙයි කියල නේද? අම්ම මොකටද අහගෙන හිටියෙ හොරෙං?"
"නෑ..නෑ..මම එහෙම හොරෙන් අහගෙන හිටියමත් නෙවෙයි.."
"එහෙනං?"
"මට දොරවහගන්ට කියපු හින්ද සැක හිතිල මම දොර යම්තමට ඇරල කන්දිහාගෙන හිටිය…."
"හ්ම්ම්ම්..එහෙමද?... ඉතිං මොනවද ඇහුනෙ? "
"කටුකුටු ගානව මිසක එහෙමට දෙයක් පැහැදිලිව ඇහුනෙ නම් නෑ..ඒත් යම්තමට ඇහිච්ච ටික……" අම්ම එහෙම කියල ඉතිරි වචන ගිල ගත්ත..
"හරි හරි...ඒ ඇහිච්ච ටික අමතක කරල දාන්ටකො..දැන් කොහොම හරි ඒ කරදරේ ඉවරයිනෙ..Alls well that ends well කියලත් කියමනක් තියනවනෙ..ඒ කියන්නෙ ළිඳේ වැටිල ඉවරවෙන ඕනම දෙයක් හොඳයි කියලයි කියන්නෙ.."
"ඈ? ඒකද ඒ කියන්නෙ? "
"එහෙනං ආය වෙන අහවල් දෙයක්ද? "
"හරි හරි..එව්වයිං වැඩක් නෑ….දැං ඔන්න දාඩියනම් නිවිල..ගිහිල්ල අර තේ එක හදාගෙන එන්නකො මගෙ හොඳ අම්ම වගෙ.."
නාගොල්ලාගම ධර්මසිරි බෙනඩික් කියන්නෙ කවියක තියෙන්න ඕනය කියල විදග්ධයින් පිළිගන්න අංග ලක්ෂණ වලින් මිදිල අමුවෙන්ම කවි ලියන කවියෙක්.
මට හිතෙන්නෙ රංචාගොඩ ළමයගෙ ඒ ඌරුවට කවි ලියපු කෙනෙක්...
මෙහෙව් රටේ රංචාගොඩ ඉපදීලා
රුහුණු රටට මම දීලා ඉලව්වේ
දෙමට පොතු කකා කට හම යන වායේ
හැම දෙවියනේ මගෙ වාහේ රකෝ රකෝ
මේ කවියෙ අදහස වෙන්නෙ රංචාගොඩ ඉපදුනු තරුණියක් රුහුණු රටට දීග යනව. ඒත් ඇයට සැමියාගෙන් ආදරය කරුණාව ලැබෙන්නෙ නෑ. අඩුම ගානෙ විටට බුලත්වත් සැමියාගෙන් නොලැබෙන කොට ඇයට විකල්පයක් විදිහට දෙමට පොතු කන්ට සිද්ද වෙනව. දෙමට පොතු ඉඳහිටල බුලත් වෙනුවට කෑවට දිගටම කන්ට අමාරුයි. කොහොමත් නොපුරුදු අයට අමාරුයි. කට හම යනව....ඒකයි ඇය මේ කියන්නෙ.....අන්තිම පදේ නම් උත්ප්‍රාසයක් (Sarcasm )
රංචාගොඩ ළමයගෙ කවිවල අක්ෂර දෝෂ එහෙම තියනව කියල විවේචනය කරපු හාමුදුරුකෙනෙකුට ඇය මූණටම ඇහුවලු "දුකට කියල කවි වලට අහවල් අක්ෂරද හාමුදුරුවනේ?" කියල..
ධර්මසිරිත් අන්න ඒ ගණයෙ කවියෙක්. ඇත්තම කිව්වොත් ඒ කවි ආරට මගේ ඒ හැටිම කැමැත්තක් නැතිවුනත් ධර්මසිරිගෙ කවිවල තියෙන අමු ගතියට මම කැමතියි.
හරි එහෙනම් සවන්දෙමු ධර්මසිරිට....
"තාත්තා පහේ පන්තියේ බුද්ධාගම පොත අරන් එන්නම් කියා කොළඹ ගිය ගමන පුංචි අම්මා කෙනකු ඉතිරිකොට අම්මාත් මාත් තනි කළේ ය. ඔවුන්ගේ කූඩුවට ගල් නොගසා අපේ අම්මා එතැන් පටන් තනිව ම මාව රක්ෂා කළා ය. අම්මා කුලී වැඩ කළා ය. ධනවත් ගෙවල්වල වළං සේදුවා ය. පොළ රවුමේ ගියා ය. වරෙක කසිප්පු ද වික්කා ය. කුඩා දරුවකුව මා කුස්සියේ තුන්වේලට ම සම්බෝල හදන්නට පොල් ගාන විට බීමත්ව වෙරි වූ මිනිස්සු අම්මාගේ තනයෙන් ඇද්දෝ ය. බොහෝ මිනිසුන් රාත්‍රියට අපේ ගෙපැලේ ලෑලි දොරට තඩිබාන විට අම්මාගේ චීත්තෙ වතුසුද්ද මල් පෙතිවල පිවිතුරු බව රැකගැනීමට වගබලා ගත්තා ය. ලැජ්ජාවට වඩා ආදරය උකු බැව් මම ඔබට පවසමි. අකුරු නොදන්න අම්මා මේ සෑම සියලු දෙය ම කළේ මට ඉගැන්වීමට හා මගේ කුසගින්දර නිවීමට බව ඔබට අහිංසකව පවසමි. ඇය ඒ සඳහා නින්දා,ගැරහුම් ලබමින් අතිමහත් වෙහෙසක් ගත්තී ය.අවුරුදු විස්සක විසිපහක සිට පුවත්පත්වලට කුරුටුගෑවත් මගේ යැයි කියා පොතක් මම කිසි දවසක පළ නොකළෙමි. එනමුදු නොනවත්වාම ජීවිතය ගැන කටුගෑවෙමි. අවනීතියට, අසාධාරණයට, අයුක්තියට, දරිද්‍රතාවට එරෙහිව ලීවෙමි. තැලුණු, පෑගුණු, මිරිකුණු සහ ඒ මතින් මිය ඇදුණු මිනිසුන් ගැන කටුගෑවෙමි. එහි අත්දැකීම් හා ආභාසය පෙරටුකොටගෙන එහි පන්නරය ලබමින් මේ කඳුළු පොල්කටුව ඔබට පිරිනමමි. මේ හිස් දෑතින් ඔබට දෙන්නට ඇත්තේ මේ පොත, මගේ හදවත, මගේ ජීවිතය පමණි."
"සීතලින් පිරීගිය තනිය ඇවිදින් හිසට
අම්මාව හිත්ගොමුවෙ අත ගගා හොයනවා
අම්මගේ සොහොන් කොත අසල වැස්සදා ගෙඹි පැටව්
කෑ ගසා ළය පැලී මැරෙනවා...."
නාගොල්ලාගම ධර්මසිරි බෙනඩික් රචනා කළ "මයෙ අම්මේ යමු යංඩ" කෘතියෙන්.....