සුනේත්‍රා, චන්ද්‍රිකා, අනුර සහ සිරිමා මැතිණිය.... |
මේ දවස්වල මෙහෙ ශීත සෘතුව කෙමෙන් අහවර වෙමින් ග්‍රීෂ්ම සෘතුව ලබමින් යනව. ඔය සංක්‍රාන්ති සමයෙදි වැහි ඇල්ලක් දෙකක් වගෙ අනිවාර්යයි. එක පාරට සීතලේ ගැහි ගැහි ඉඳල රස්නෙ වැඩිවෙනකොට බොහොම දෙනෙකුට අසනීප හැදෙනව. මහ දරුණු එව්ව එහෙම නෙවෙයි. කැස්ස, හෙම්බිරිස්සාව, උණ, සෙම් කෝප වීම වගෙ එව්ව. මටත් පහුගිය සතියෙම වගෙ ප්‍රබල කැස්සක් තිබ්බ.
මුලිම්ම සුපුරුදු ලෙස මියුකොසොල්වන් බෝතල් දෙකක් බීල බැලුව. ම්හු...හරියන්නෙම නෑ. ඒ පාර ගියා දොස්තර නෝනෙක් ගාවට.එතුමී ඇවිල්ල හිට පිලිපීන්.
මගෙ පපුවෙන් එන රූං රූං සද්දෙ අහල දොස්තර නෝනා නියම කලා එක්ස්-රේ එකක්. ඒ අරගත්තු එක්ස්-රේ එක අර වෙසක් එකට අපි පොඩි කාලෙ හදපු එළිය පෙට්ටියක් වගෙ එකකට හයි කරල පිටිපස්සෙන් ලයිට් එකක් දාල බලල ඒ නෝනා කියාපි මයෙ දකුණු පෙණහැල්ලෙ සෑහෙන්ට පැතිරිලා ගිය ඉන්ෆෙක්ෂන් එකක් තියනවයි කියල.
ඒ පාර ඒ නෝනා බොහොම සැර ප්‍රතිජීවක කරල් වගේකුයි බොන බෙහෙතකුයි, ඉන්හේලර් එකකුයි නියම කරල ඊට වැඩිමනත් වසයෙන් මට උපදෙස් දීපි බොහොම පරිස්සම් වෙන්ටෙයි කියාල.
ඉතිං ඒ කියාපු විදිහටම දැන් සතියක් වගෙ තිස්සෙ බොහොම පරිස්සමින් තමයි ඉන්නෙ. මොකද Severe Lung Infection කියන්නෙ සෙල්ලමක් නෙවෙයි. ඒ හින්දම වැඩ ඇරිල ඇවිල්ල කාල එහෙම කලින්ම නිදියනව. අනික රෑ කැස්ස ගතිය කොහොමත් වැඩියි.
ඉතිං මම මේ කරුණු කාරණා සියල්ල කිව්වෙ සෑහෙන දවසකින් මොකක්වත් ලියන්ට බැරිවුනේ මොකදැයි කියල ඔබ තමුන්නාන්සෙලාට පහදල දෙන්ට. අනන්‍යාගෙ කතාවෙ ඊලඟ කොටසත් බාගෙට ලියල තියෙන්නෙ. ඊට අමතරව අසනීප වෙද්දි අනුර හාමු ගැන පොඩි සටහනක් වගෙ එකක් බාගෙට ලියලයි තිබ්බෙත්.
දැන්නම් ඇත්තටම අනුර ගැන කියන්න කල්පහු වෙලා සෑහෙන්න. ඒත් මම හිතුව මෙහෙම දෙයක් කලානම් හොඳයි නේද කියල. කොහොමත් අනුර ගැන අපිට ආයම කතා කරන්න වෙන එකක් නෑ. ඒත් අනුර කියන්නෙ කතා කලයුතුම චරිතයක්. ඒ හින්ද අනුර ගැන කලින් ලියල තිබ්බ අසම්පූර්ණ සටහන සම්පූර්ණ කරලම අනන්‍යා ගැන ලියන්නම්ය කියලයි මම මේ කල්පනා කලේ. මොකෝ කියන්නෙ? එහෙම හොඳයි නෙවද?
අනුර බණ්ඩාරනායක කියන්නෙ ඇත්ත වශයෙන්ම දේශපාලන විචාරකයින් අතර කතාබහට ලක්වියයුතු චරිතයක්. ඒත් ඔහුගේ අවාසනාව වගේම රටේ අවාසනාව වෙන්නත් පුලුවන් අනුර නොහොත් A.B. මියගිහිල්ල දසවන සංවත්සරය ගෙවිල ගියාවුනත් පත්තරේක ඒ ගැන ලිපියක් තබා යම්තමට සඳහනක් වත් තිබ්බයි කියල මම නම් දැක්කෙ නැහැ. එහෙම වෙච්චි එකට අනුරත් සෑහෙන ප්‍රමානයකින් වගකියන්න ඕනයි කියලයි මගේ හැඟීම.
අනුර අපේ රටේ විතරක් නෙවෙයි මුලු ලෝකෙම ගත්තත් ඉතාම අවාසනාවන්ත දේශපාලනඥයෙක් කියල එක හෙලාම කියන්න පුලුවන්. වංශගත දේශපාලනය නොහොත් Dynastic Politics ඇටුවම් බැහැපු දකුණු ආසියාවෙ අනුර වගෙ කෙනෙකුට රටේ නායකත්වයට එන්ට ලැබුනෙ නෑ කියන්නෙ එක අතකට විශ්වාස කරන්ටත් බැරිතරම් විශ්මයජනක කාරණයක්. තාත්තා රටේ අගමැති. අම්ම රටේ අගමැති. අක්ක රටේ ජනාධිපති. ඒත් අනුරට සිද්ද වුනේ කථානායක කමෙන් සෑහීමට පත්වෙන්ට. පාරුවේ පුවක් එතකොට පූරුවේ පවක් කියන්නෙ ඔන්න ඔය වගෙ එව්වට තමයි.
හරියට ඔලුව පාවිච්චි කරල වැඩ කලානම් 94 ජනාධිපති වෙන්න තිබ්බෙ චන්ද්‍රිකා නෙවෙයි අනුර. ඒත් ඊට අවුරුද්දකට කලින් එජාප පරාජය පෙනි පෙනී අනුර එජාපයට ගියා. ගියා නෙවෙයි යන තැනට වැඩ සිද්ද කලා. හෙහ්..හෙහ්..කවුද එහෙම කලේ කියල ඇහුව? වෙන කවුද ඉතිං? "ලොක්කා කිසිදේකට බයවෙන්ට එපා..කවදකහරි ලොක්කා මේ රටේ නම්බර් වන් කරලයි මම පස්ස බලන්නෙ. ලොක්ක එක මම දෙක.." අන්න එහෙමලු ඔය මනුස්සය අනුරව මුරුංග අත්තෙ තිබ්බයි කියන්නෙ. ඒ කරල යටින් ගේම දුන්න.
අනික් කාරණේ....අනුර බොහොම තදට සායිබබා ඇදහුවයි කියල කියනව. සායි බබා අනුරට කිව්වලු බය වෙන්ට එපා කවදක හරි ඔබ ඔබේ රටේ නායකය වෙනවයි කියල. ඒ හින්ද අනුර බලා හිටියයි කියනව නායකත්වය ඔඩොක්කුවට වැටෙනකල්. අන්තිමට කෙල වෙනකල්ම දන්නෙ නෑ. සායි බබා වගෙ ලෝක හොරු අදහන මිනිස්සුන්ට ආය ඔහොම නූනොත් තමයි එක අතකට පුදුම වෙන්ට ඕන. හෙහ්,හෙහ්.
1970 අවුරුද්දෙ තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයකුත් එක්ක සමගි පෙරමුණ බලයට පත්වෙලා සිරිමා මැතිණි අගමැතිණි වෙනකොට අනුරට යන්තම් 21 යි වයස.
වැඩි කාලයක් යන්ට ඉස්සෙල්ල සමගි පෙරමුණු ආණ්ඩුවෙ ජනප්‍රියතාවය සීග්‍රයෙන් පල්ලම් බහිනකොට ආණ්ඩුවට විරුද්ධව ප්‍රවෘත්ති පලවීම මොන දහං ගැටේ ගහල හරි වලක්වගන්ට ආණ්ඩුවට ඕනවුනා.
ඒ කාලෙ රූපවාහිනී තිබුනෙ නැහැනෙ. ගුවන් විදුලිය කොහොමත් ආණ්ඩුව යටතෙනෙ තිබ්බෙ. ආණ්ඩුවෙ වැඩ කටයුතු ගැන ඉතාම සුන්දර චිත්‍රයක් මවල මහජනය ඉස්සරහ පෙන්නන එක ගුවන් විදුලියෙන් යස අගේට කෙරුනා. එකම අවුල තිබ්බෙ පත්තර.
ඒ හින්ද ආණ්ඩුව කලේ ලේක් හවුස්, ටයිම්ස් සහ දවස යන පුවත්පත් සමාගම් තුනම ආණ්ඩුවට පවරාගන්න එක. සමාවෙන්න ලේක් හවුස් සහ ටයිම්ස් රජයට පවරාගත්ත. දවස නිවසට සීල් තිබ්බ. මට මතක විදිහට හදිසි නීතිය යටතෙයි එහෙම කලේ. ඒ හින්දයි 1977 පාර්ලිමේන්තු මැතිවරණය තියන්න ඉස්සෙල්ල මාර්තු මාසෙ විතර හදිසි නීතිය ඉවත් කලාම දවස ආයතනය සීල් තැබිල්ලත් ඉබේටම අවලංගුවුනේ.
රජයට පවරාගත් ටයිම්ස් සමාගමෙන් පලවුනේ ලංකාදීප සහ ඩේලි මිරර් යන පත්තර දෙක. ටයිම්ස් ආයතනයේ නිල නොලත් නිසි බලධාරියා විදිහට කටයුතු කලේ අනුර කියල තමයි ඒ දවස්වල හැමෝම කිව්වෙ. ඒ වෙනකොට අනුර ඔක්ස්ෆර්ඩ් ගිහිල්ල ඇවිල්ලද කොහෙද...
ඔයවෙනකොට අනුරගෙ අම්මගෙ ආණ්ඩුව පොදුජනයා අතර බොහොම අප්‍රසාදයට පත්වෙලයි තිබ්බෙ. රට දියුණු කරන්ට නම් විදේස විනිමය ඉතිරි කරන්ට ඕන කියල ආණ්ඩුව කලේ පිටරටින් බඩු ආනයනය කරන එක සම්පූර්ණයෙන්ම නවත්තල දාපු එක. ඇපල් ගෙඩියක් මිදි ගෙඩියක් සැමන් ටින් එකක් මම දැක්කෙ මට අවුරුදු දාහතරක්වගෙ උනාට පස්සෙදියි.
මැතිණිගෙ ආණ්ඩුවෙ ප්‍රතිපත්ති සමහරවිට රට සංවර්ධනය කරන ඉලක්කය එක්ක බැලුවම හරි වෙන්න පුලුවන්. ඒත් සාමාන්‍ය මිනිස්සු බොහොම දුකසේ ජීවත් වෙද්දි ඇමතිවරු එහෙම සුර සැප විඳිනවයි කියල රට පුරාම ආණ්ඩුව කෙරෙහි ලොකු අප්‍රසාදයක් ඇතිවෙලා තිබ්බ. විශේෂයෙන්ම ප්‍රබල ඇමතිවරයෙක් වුන ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ගැන මිනිස්සු පුදුම තරහකින් හිටියෙ.
ඒ කාලෙ මන්ත්‍රීවරු පත්වුනේ කොට්ඨාස ක්‍රමයට. ෆීලික්ස්ට මිනිස්සු උපහාසයට කිව්වෙ පෑලිස් කියල. පෑලිස්ගෙ සීට් එක නොහොත් ආසනය ඇවිල්ල දොම්පෙ. ෆීලික්ස්ගෙ මහ විසාල කුකුල් ෆාම් එකක් තිබ්බ නයිවල.
මිනිස්සුන්ට කන්න නැතුව ඉද්දි ඔය ෆාම් එකේ කුකුලන්ට ලක්ස්ප්‍රේ පිටිකිරි දෙනවයි කියල රට පුරා ආන්දෝලනයක් තිබ්බ. බොහෝවිට යූඇන්පියෙ බොරු ප්‍රචාර වෙන්නත් පුලුවන්. ඒ කොහොම හරි ඔය ආදී කතා හින්ද මිනිස්සුන්ට ආණ්ඩුව එපාම වෙලා තිබ්බෙ.
අනුරට යූඇන්පී එකෙන් දාල තිබ්බ අපහාසාත්මක වනම අත්තනගල්ලේ නූගත් රදළයා. ආ..තව එකක්..ඒ කාලෙ ගුවන් විදුලියෙන් "කාගෙද ගොන් වස්සා?" ගීතය ප්‍රචාරය කිරීම තහනම් කරලයි තිබ්බෙ කියලත් කියනව. ඒකටත් අපේ අනුර හාමු සම්බන්දලු.
ඔය කාලෙ ලංකාවෙ අංක එකේ ව්‍යාපාරිකයා එස්.ඩී. ගුණදාස නොහොත් දාස මුදලාලි. රාජ්‍ය අනුග්‍රහයෙන් මනුස්සයගෙ ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණු වුනා. ඩියුරෝ ෂර්ට්ස් දාස මුදලාලිගෙ නිෂ්පාදනයක්. කැළණියෙ විශ්ව විද්‍යාල මණ්ඩපය ඉස්සරහ එතකොට බොරැල්ල හන්දියෙ සහ කොල්ලුපිටියෙ තිබ්බ එයාගෙ දාස වෙළඳ මධ්‍යස්ථාන. ඔය දාස මුදලාලිගෙ දුවක් අනුර බඳිනව කියල ඒ කාලෙ රටපුරා හාහෝවක් පැතිරුනා. ඒත් එහෙම උනේ නෑ.
කැළණිය විශ්ව විද්‍යාල මණ්ඩපය කියල මම කිව්වෙ ඒ කාලෙ ලංකාවටම තිබ්බෙ එකම විශ්ව විද්‍යාලයයි. ඒ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලය. කැළණිය ජපුර පේරාදෙණිය එහෙම ඒ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයෙ මණ්ඩප නොහොත් කැම්පස්. කැළණිය ජපුරත් නෙවෙයි ඒ මණ්ඩපවල නම්. විද්‍යාලංකාර මණ්ඩපය සහ විද්‍යෝදය මණ්ඩපය. එතකොට තව තිබ්බ කොළඹ මණ්ඩපය, පේරාදෙණිය මණ්ඩපය, යාපනය මණ්ඩපය.
කැම්පස් එකේ ප්‍රධානියා හැඳින්වුනේ මණ්ඩපාධිපති කියල. කෙටියෙන් මණ්ඩපයා.76 අවුරුද්දෙ වගෙ පේරාදෙණිය මණ්ඩපයෙ මණ්ඩපාධිපති වෙලා හිටියෙ මහාචාර්ය විතානගේ. පේරාදෙණිය මණ්ඩපයෙදි ඇතිවෙච්චි ගැටුමකින් මියගිය වීරසූරිය නම් ශිෂ්‍යයා අනුස්මරණය කරල "මණ්ඩපයා අපට එපා. වීරසූරියට සාධාරණය ඉටු කරනු. මණ්ඩපයා පන්නමු " කියල අපිත් අපේ ඉස්කොලෙ ඉස්සරහ තිබ්බ ගල් බිත්තියෙ පෝස්ටර් ඇලෙව්ව.
ඒ අඩුමගානෙ පෝස්ටර්වල ලියල තියෙන්නෙ මොනවද කියල අඳෝ සංසාරයක්වත් දැනගෙන එහෙම නෙවෙයි. කවුද අයියල වගයක් අපිට ඒ පෝස්ටර් ගෙනත් දුන්න අලවපල්ල කියල අපි ඇලෙව්ව. එච්චරයි. ඒත් එක දවසයි එහෙම කලේ. ප්‍රින්සිපල්ට වැඩේ අහුවෙලා මුලු පන්තියටම දුන්න වේවැල් කසාය මදි නොකියන්ට.
ඔය මහාචාර්ය විතානගේ ඇවිල්ල භූ විද්‍යාඥයෙක්. වික්ටෝරියා වේල්ල හදල තියන තැන පොළව අභ්‍යන්තරයෙ විශාල විභේදනයක් තියනවයි කියල එතුමා ඒ දවස්වල කිව්ව.
පස්සෙ විශ්ව විද්‍යාල සේවයෙන් විශ්‍රාම ගිහිල්ල ඒ මහත්තය ඔය දළඳා මාළිගාවට එහා තල්වත්ත හරියෙ පදිංචි වෙලා හිටිය. 1998 අවුරුද්දෙ දළඳා මාලිගාවට කොටි බෝම්බ ගහපු සද්දෙ නුවර අවට බොහෝ පළාත්වලට ඇහුනනෙ. එදා මම හිටියෙ පිළිමතලාවෙ අපේ මහ ගෙදර. යන්තමට සද්දයක් එක්ක අපේ සාලෙ ජනේලවල වීදුරු හෙලවෙනව මට මතකයි. පස්සෙයි දැනගත්තෙ ඒ දළඳා මාළිගාවට කොටි බෝම්බ ගහපු එකය කියල.
ඉතිං අපේ මහාචාර්ය තුමා ඒ සද්දෙ ඇහිල ගෙදර හිටපු කාගෙන්ද අහල තියනව "ඒ මොකක්ද සද්දෙ?" කියල. පස්සෙ ගෙදර කට්ටිය ආරංචි කරල බැලුවම සීන් එක දැනගෙන. අනේ ගෙදර කට්ටිය එතුමාට විස්තරේ කියල තියෙන්නෙ කොටි බෝම්බ ගහල දළඳා මාලිගාවෙ ගන්ඩ දෙයක් නෑ ඔක්කොම සුන්නද්දූලි වෙලයි කියල. ඒක අහල ඒ මහත්තය එතනම පපුව අල්ලගෙන වාඩි වුනාලු . එච්චරම තමයි.
77 අවුරුද්දෙ ඡන්දෙ ලංකරල යූඇන්පී එකෙන් පොතක් ගැහුව "හත්වසක ශාපය" කියල. 70-77 කාලෙ ආණ්ඩු කරපු සමගි පෙරමුණු ආණ්ඩුවෙ මජර වැඩ උපහාසාත්මකව සහ අපහාසාත්මකව බොහොම අපූරුවට ඒකෙ ඉදිරිපත් කරල තිබ්බ. අර ඒ කාලෙ චිත්‍රකතා තිබ්බෙ. ලන්දේසි හටන, බිලි පූජාව, සඳ කුමරි එහෙම කියල. අන්න ඒ මොඩල් එකට ගහල තිබ්බ ඒ හත්වසක ශාපය පොතේ මට මතක විදිහට පිටු 20 වගෙ තිබ්බ.
සිරිමා මැතිණිගෙ නෑදෑ හිතවත්තු ඔක්කොම රජයේ තනතුරුවලට පත් වෙලා සුර සැප විඳින අන්දම තමයි ඒ පොතෙන් පෙන්නුවෙ. මුල පිටුවෙම තිබ්බ බණ්ඩාරණායක පවුල් ගස කියල මැතිණිගෙ නෑදෑයො පරපුර අතුපතර විහිදුනු මහ ගහක් වගේ ලංකාවෙ සාරය උරාබීගෙන වර්ධනය වෙලා ඉන්න විදිහ දැක්වෙන රූප සටහනක්.
ඔය හත්වසක ශාපය පොත බොහොම රහසිගතව තමයි කියවන්ට වුනේ. අපේ පන්තියෙ හිටිය ඒ චන්දෙදි මීරිගමට යූඇන්පී එකෙන් ඉදිරිපත්වෙච්චි අපේක්සකයගෙ පුතා. මනුස්සය පංතියට ගෙනල්ල මම ඔය පොතක් හොර රහසෙ මගෙ ට්‍රැවලිං බෑග් එකේ අඩියටම දාගෙන ගෙදර අරංගියා. අප්පච්චි බය වෙච්චි පාර ඒ පොත වහාම අපෙ ගෙදර පරන ලට්ට ලොට්ට දාල තිබ්බ ඉස්ටෝරු කාමරේ හැංගුවා. අප්පච්චි කච්චේරියෙ වැඩ කරපු හින්ද බය වෙන්ට ඇති ආණ්ඩුව පස්පඩංගුවෙ විවේචනය කරන ඒ වගෙ පොතක් ගේ ඇතුලෙ එලි පෙහෙලියෙ තියාගන්ට.
77 චන්දෙන් සිරිමගෙ ආණ්ඩුව පජාත විදිහට පැරදුන. මන්ත්‍රීන් 168 ඉන්න ජාතික රාජ්‍ය සභාවෙ සමගි පෙරමුණෙන් ජයග්‍රහණය කලේ මන්ත්‍රීන් 8 දෙනෙක් විතරයි. අනුර කොහොමහරි මන්ත්‍රී කෙනෙක් වෙන්ට හිතාගෙන නුවර එළිය-මස්කෙළිය බහු ආසනයෙන් (මන්ත්‍රීල තුන්දෙනෙක් පත්වුනා ඒ ආසනයෙන්) ඉල්ලල තුන්වෙනි ස්ථානයට ආව. ගාමිණී දිසානායක එක. තොන්ඩමන් දෙක. තොන්ඩමන්ය කිවෙ දැං ඔය ඉන්න හාල්පාරුවා නෙවෙයි. මිනිහගෙ සීයා. සෞම්‍යමූර්ති තොන්ඩමන්.
මන්ත්‍රීල තුන්දෙනෙක් පත්වුනු තව ආසනයක් තිබ්බ. ඒ ඇවිල්ල මැද කොළඹ. පළවෙනි මන්ත්‍රී ආර්. ප්‍රේමදාස. දෙවෙනි මන්ත්‍රී ජබීර්. ඒ. කාදර්. (කොල්ලුපිටියෙ ලිබර්ටි ෆිල්ම් හෝල් එක එහෙම අයිතිවෙලා තිබ්බෙ ඔය ජබීර් ඒ. කාදර්ට) තුන්වන මන්ත්‍රී සමගි පෙරමුණෙන් පත්වෙච්චි හලීම් ඉෂාක්.
ශ්‍රී ලංකාණ්ඩුවට පක්ෂපාතවෙනවයි කියල දිවුරුම් දීම ප්‍රතික්ෂේප කරපු හින්ද ද්‍ර.එ.වි.පෙ. පක්සෙ මන්ත්‍රී ධුර අහිමිවුන හින්ද අමිර්තලිංගම්ගෙ විපක්ෂනායක ධුරයත් අහිමිවුනා. ඒ හින්ද 1983 අවුරුද්දෙ ඉඳල 1988 වෙනකල් පාර්ලිමේන්තුවෙ විපක්ෂනායක ධුරය දැරුවෙත් අනුර.
1993 වෙනකොට චන්ද්‍රිකා ආපහු ශ්‍රී ලංකා එකට එන එක වළක්වන්ට බැරිබව පැහැදිලිව පේන්ට තිබුන. ඒ වෙලාවෙ රටේ මිනිස්සුන්ටත් ඕන වෙලා තිබ්බෙ එජාපයට විරුද්ධව නායකත්වය ගන්ට පුලුවන් ආකර්ශණීය චරිතයක්. චන්ද්‍රිකා ඒ නිර්නායකවලට අගේට ගැලපුනා. ඒ හින්ද අනුර කලේ යූඇන්පී එකට එකතුවෙලා විජේතුංග ජනාධිපතිතුමා යටතෙ උසස් අධ්‍යාපන ඇමතිකම ලබාගත්තු එක.
ඒ එක්කම වගෙ පැවැත්වුනු දකුණු පළාත්සභා මැතිවරණයෙන් එක ආසනයකින් පොදු පෙරමුණ දිනුව. මහ ඇමති විදිහට අමරසිරි දොඩංගොඩට දිවුරුම් දෙන්ට නොදී යූඇන්පී ආණ්ඩුව ජසයා සහ ලෙන්චිනාට ඇන්දා. මහ ඇමති දිවුරුම් දෙන්ට ඕන පළාත් ආණ්ඩුකාරය ඉස්සරහනෙ. දකුණු පළාත් ආණ්ඩුකාර බකීර් මාකර් කලේ දිවුරුම් දීම කොහොමින් කොහොමින් හරි වලක්වන්ට හිතාගෙන මාතලේ එයාගෙ තේ වත්තට වෙලා හැංගිල හිටපු එක.
ඒ අතර ආණ්ඩුවෙ ලොක්කො ෆුල් ට්‍රයි එක දුන්න කවුරුහරි දෙතුන් දෙනෙක් ඒ පැත්තට බිලීබාගෙන බහුතරය හදාගන්ට. ඒත් ඒ වැඩේ හරිගියේ නෑ. ඒ දිවුරුම් දීමේ නාඩගමෙන් පාඩමක් ඉගෙන නොගත්ත ආණ්ඩුව ඊටපස්සෙ තමයි අර කුප්‍රසිද්ධ ප්‍රැන්සිස්කු මෙහෙයුම දියත් කලේ.
මහ ඇමති අයවැය කතාව ඉදිරිපත් කරල ඒකෙ ඡන්ද විමසීම පවත්වන දවසෙ ආණ්ඩුව පොදු පෙරමුනේ පලාත් සබා මන්ත්‍රී විමල් ප්‍රැන්සිස්කුව බලෙන් අරගෙන ඇවිල්ල හංගල තියාගෙන හිටිය. ඔය ප්‍රැන්සිස්කු මෙහෙයුමේ මහ මොල කරුවා අනුර බණ්ඩාරනායක කියල තමයි රට හැමතැනම කතාව පැතිරුනෙ. ඒ කිව්වෙ යූඇන්පී ආන්ඩුවට ආපු අලුතනෙ. ඒ හින්ද වැඩ පෙන්නන්ට ගිහිල්ල අනුර හත් පොලේ ගාගත්ත කියලයි හැමෝම කිව්වෙ.
ආයම අනුර යූඇන්පී එකෙන් පොදු පෙරමුනටත් ගියා. පාර්ලිමේන්තුවෙ කතානායක තනතුරත් දැරුව. ඒත් අන්තිමට අගමැතිවරයෙකුගේ සහ වරියකගේ එකම පුතා සහ ජනාධිපතිවරියකගේ මලණුවන් වූ අනුරට අත්වූ ඉරණම සෝචනීයයි.
ඒත් ඉතින් එක අතකට බැලුවම එහෙම හිතන්නෙ අපිනෙ. අනුරට ඕකෙ ගානක් නැතුව ඇති. පොඩි කාලෙ ඉඳලම නේරුල, ගාන්ධිල ටිටෝල එක්ක කතාබහ කරල ආශ්‍රය කරල හිටියම ඔය බලයට තියෙන පෙරේතකම ආසාව නැතිවෙනව. අනුරත් එහෙමද කියල කවුද දන්නෙ?
ඒ මොකවුනත් අනුර කියන්නෙ ශ්‍රී ලාංකික දේශපාලනයෙ බොහොමත්ම වර්ණවත් චරිතයක්. ඒකෙ ආය කිසිම සැකයක් නෑ.