මාකස් ප්‍රියන්ත පෙරේරාගේ වියුණුවෙහි පළවූ ලිපියකි....
//බටහිර අළුත් ආගම මානව හිමිකම්.. අපි ආගම අදහනවා නම් මානව හිමිකම් ගැන කථා කරන්න ඕනෑ නැහැ...//
බැලු බැල්මටම මැල්කම් රංජිත් කාදිනල්තුමා කරඇති කථාවේ වරදක් නැත යැයි පෙනීයනු ඇත. එම ප්‍රකාශයම වෙනත් ආකාරයකට දැක්වුහොත් ''මානව හිමිකම් මොකටද, අපි ආගම් අදහනවා නම්" යන්න කියවේ. ඒ අනුව මානව හිමිකම්වලට ඉහලින් ආගම් ඔසවා තැබීම සිදුවේ. ආගමික නායකයෙකු වශයෙන් සියල්ලන්ටම ඉහලින්, සියල්ලටම ඉහලින් ආගම ඔසවා තැබීම ඔහුගේ රාජකාරිය බව අපි දන්නෙමු. එහෙත් 'මානව හිමිකම්' යන්න බටහිර මතුවුයේ ආගම්වලට තවදුරටත් මිනිස් ජීවිතවල වටිනාකම් ආරක්ෂා කරදීමට අසමත්වීම නිසා යැයි යන තර්කයද කිසිසේත්ම ඉවතහෙළිය නොහැක.
විශේෂයෙන්ම, දෙවන ලෝක යුද්ධයෙන් පසුව, 1948 විශ්ව මානව හිමිකම් ප්‍රකාශනය එළිදක්වන්නේ අතිවිශාල ව්‍යසනයකට මුළු මිනිස් සමාජයම ලක්වූ පසුවය. දෙවන ලෝක යුද්ධ සමයේ සිදුවූ අතිමහත් කෲරතර මිනිස් සංහාරයක් කල හිට්ලර්, මුසලෝනි වැනි වර්ගවාදී, ජාතිවාදී ජන ඝාතකයන්ව කිසිසේත්ම වලක්වාලීමට කිසිදු ආගමක් සමත්වූයේ නැත. විශේයෙන්ම යුදෙව්, ජිප්සී (Gypsy people/Roma) ජනයා පමණක් නොව ශාරීරික දුර්වලතා සහිත ජර්මානු ජනයා ඇතුළු නියත මරණයේ අනතුරට ලක්කල ජනයාගේ ඉරණම වෙනස්කරලීමට ආගමික සංස්ථාපිතයන්ට කිසිදු තීරණාත්මක මැදිහත්වීමක් සිදුකල නොහැකිවීම ඉතිහාසයේ සිදුවූ ඉතා අවාසනාවන්ත තත්වයකි.
එම පසුබිම මත එළිදක්වන මානව හිමිකම් ප්‍රකාශනය කරලියට ඒමත්, එය බලාත්මකවීමත් සමග මහා මිනිස් ව්‍යසනයන්ට එරෙහිව අයෝමය හඩක් ගොඩනැගුනාසේම ඇතැම් ව්‍යසනයක් වලක්වාලීමටද, අවමකරගැනීමටද, එසේ නොහැකිවුයේනම් අඩුම තරමින් වරදකරුවන් නීතිය හමුවට පැමිණවීමට සහ නැවත එවැන්නක් ඇතිවීම වලක්වාලීමටද හැකිවිය.
අනික් අතට, මානව හිමිකම්හී නැගීමත් සමග ආගමික සංස්ථාවන්ට සහ ස්ථාපිතයන් අභියෝගයක්ද එල්ලවූ බව පැහැදිලිය. විශේෂයෙන්ම, ආගමීක නායකයන් අතින් සිදුවූ ළමා අපයෝජනයන් සම්බන්දයෙන් නීතිමය ක්‍රියාමාර්ගවලට යොමුවීමත්, එම ක්‍රියාවන් සම්බන්දයෙන් තරාතිරම නොබලා ආගමීක නායකයින්ට දඩුවම්දීමත්, ආගමික ඉගැන්වීම් නාමයෙන් ස්ත්රීන්ගේ මෙන්ම සමලිංගික ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමවලට එරෙහිවද ක්‍රියාත්මකවීම සිදුවිය. එමගින් පල්ලියේ මෙන්ම වෙනත් ආගම්වල පැවැත්මට බරපතල අභියෝගයක් එල්ලකල බව පැහැදිලිය. අගරදගුරුවරු, වතිකානුවේ ප්‍රධානින්, රදගුරුවරු සහ පුජා ප්‍රසාදීන්වහන්සේලා ආදීන් අත්අඩංගුවට පත්වීමත් සම්බන්දයෙන් ක්‍රිස්තියානි ආගමික සංස්ථා ප්‍රධානීන්ගේ දැඩි අවධානය යොමුවීමත් තේරුම් ගැනීමට පුළුවන.
එහෙත් මානව හිමිකම්හි පදනම ආගමීක ශාස්තෘවරුන්ගේ ඉගැන්වීම් කිසිසේත්ම උල්ලංඝනය කරන්නක් නොව ඔවුන්ගේ ඉගැන්වීම් වෙනත් ආකාරයකින් තහවුරු කරන්නකි. එහෙයින් මානව හිමිකම් සම්බන්දයෙන් චෝදනා කිරීමට කිසිසේත්ම පදනමක් නැත. මානව හිමිකම්හී පදනම් ආගමික ඉගැන්වීම් නම් එය බටහිරට ආගමක්වීම වරදක් වෙන්නේ කෙසේද?
එහෙත් මට පෙනී යනුයේ මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ ආරාවුල ඇත්තේ මානව හිමිකම් සම්බන්දයෙන් නොව වර්තමාන බටහිර ලෝකය සමග බවය. පැහැදිලිවම බටහිර ලෝකය තුල ආගමට මෙන්ම ආගමික සංස්ථාපිතයන්ටද හිමිව තිබු අධිකාරිය ක්‍රමයෙන් දියවෙමින් ගොස් තිබේ.
එහෙත් ඔවුන් සම්පුර්ණයෙන්ම ආගම අත්හැර ඇතයි යන්න ඉන් නොකියවේ.
තමන් නිතර පල්ලි නොගියද, ආගම හොඇදහූවද, බටහිර ලෝකයේ බහුතරයක් තවමත් තමන්ගේ ආගම ක්‍රිස්තියානි ආගම යැයි කියන්නට නොපැකිළෙති. විවාහය වැනි උත්සවයක් පල්ලියේ ගැනීමට ප්‍රියකරති. ජේසු උපන් නත්තල වසරේ ප්‍රධාන උත්සවය ලෙස සමරති. සිය ශිෂ්ටත්වයේ පදනම් සකස්කරලීමෙහිලා ක්‍රිස්තියානි ආගම ඉවහල්වී ඇතිබව පිළිගනිති.
එහෙත් බටහිර පුද්ගලයා මෙන්ම රාජ්‍යයද තීන්දු-තීරණගැනීමේදී කටයුතු කරනුයේ හුදෙක් බයිබලය, පල්ලිය, පාපය, අපාය හෝ පුජා ප්‍රසාදීන්ගේ අභිලාෂයන්, ඉගැන්වීම් හෝ ආශිර්වාදය පදනම් කරගෙන නොවේ. සිය අනුබුද්ධිය, තර්කඥානය, කැමැත්ත, යුක්ති සහගත බව සහ පරිමේය තුලය. එබැවින් බටහිර මනුෂ්‍යයා සබුද්ධික මනුෂ්‍ය ජීවිතයක් ගෙවන්නන් (Rationalist humanism) ලෙස හඳුන්වති.. 'මානව හිමිකම්' යන්න ගොඩනැගී ඇත්තේ මෙහිම තවත් එක් දිගුවක් ලෙසය.
බටහිර ජනයා ලංකාවේ මෙන් හදියක් හන්දියක් පාසා සුරුවම් තැබීමට හෝ මීසමට පැමිණන පුජා ප්‍රසාදිවරයෙකු පසා අලුතින් සුරුවම් තැබීමට සතපහක්ව නොදේ. එහෙත් සිය ගමේ පල්ලියේ ගරාවැටෙන පල්ලිය ප්‍රතිසංස්කරණ කිරීමට මෙන්ම ලයිට් බිලගෙවීමටද යම් දායකත්වයක් දෙයි.
''බයිබලයේ ඩයිනෝසර්ලා ගැන සදහන්වී නැත්තේ ඇයි?" යැයි බටහිර දරුවන් සිය දෙමාපියන්ගෙන් විමසනවිට ඔවුන්ගේ පොදු පිළිතුර වන්නේ බයිබලයේ හැම සතෙකු ගැනම සදහන් කර නැත යැයි කියයි. අඩුමතරමින් අලි ගැනවත් එහි නැත යැයි කියයි. ඒ ඇයිදැයි ඇසූවිට බයිබල් කතුවරයා හැම සතෙකුම දැක නැත යැයි පවසති.
බයිබලය සම්පුර්ණයෙන්ම බොරුය, එය නොකියවිය යුතු, විසිකර දැමිය යුතු පොතක් යැයි සිය දරුවන්ට කියන ''දෙමාපියන්'' ඇත්තේ බටහිර ශිෂ්ට සමාජයෙන් එලියේය. බටහිර ලෝකයේ බොහෝ දෙමාපියන් සිය දරුවන්ට බයිබලය අඩුම තරමින් සාහිත්‍ය කෘතියක් ලෙස හෝ කියවීමට නිර්දේශ කරති.
විවාහයට පෙර ලිංගික සබදතා, සමලිංගික සබදතා, ගබ්සාව ආදී කරණා සම්බන්දයෙන් මෑතකදී සිදුවූ සාකච්ජාවකදී ප්‍රකට කතෝලික කාදිනල්වරයෙකු දැක්වුයේ "දෙවියන් වහන්සේ මිනිසාව මැව්වේ තෝරා ගැනීමට ඇති නිදහසද සමග බවය" - එනම් 'තහනම් ගහක්ද' එහි ගෙඩි කෑමට හෝ නොකෑමට නිදහසද ඇතිව බවය.
ඒ අනුව හොද නරක පෙන්වා දිය හැකිවුවද එය පුද්ගලයාගේ ස්වකීය තීරණයක් බවය. මේ අනුව පෙනීයන්නේ බටහිර ශිෂ්ටත්වය තුල ජීවත්වෙන වැසියන් පමණක් නොව ආගමික නායකයාද සබුද්ධික මනුෂ්‍ය ජීවිතයක් ගෙවන්නන් (Rationalist human) ලෙස ඉන් පෙනී යයි.
එහෙත් බටහිර ලෝකයේ සබුද්ධික මනුෂ්‍ය ජීවන තත්වය ((Rationalist humanism) ඉස්මතු කිරීම වෙනුවට බටහිර මනුෂ්‍ය ජීවිතය හෙලාදැකීමට අති ගරු මැල්කම් රන්ජිත් කාදිනල්තුමා කටයුතු කරන්නේ ඇයි ?
එවැනි සබුද්ධික මනුෂ්‍ය ජීවන තත්වයක් ((Rationalist humanism) ඉස්මතු කිරීම තුල කාදිනල්තුමා, රදගුරුවරු, පුජා ප්‍රසාදීන් පමණක් නොව බෞද්ධ භික්ෂුන් ආදී ආගමීක නායකයන් ලාංකීය සමාජයතුල උසුලන ප්‍රභූ තත්වයනට පහරවදින නිසා යැයි යන්න එක් නිගමනයක් වියහැක.
මා මීට පෙර දැක්වූ ලෙස ශ්‍රී ලංකාව වැනි රටවල ආගමීක නායකයන් සමාජය තුල එක්තරා ආකාරය ප්‍රභූන් පිරිසක්වනවා පමණක් නොව දේශපාලන බලය සම්බන්දයෙන් කේවල් කරන්නන්ද වේ. අනෙක් අතට දෙමාපියන්, ගුරුවරුන්, දේශපාලකයන්, නිලධාරින් ආදිය පවා සුවිශේෂී පිළිගැනීමක් බලාපොරොත්තුවන ධුරාවලියක් සේ ගොඩනගා ඇති සමාජයක ආගමික නායකයන්ද එවැනි අස්ථානයක් ඉසිලීම පුදුමයකට කරුණක් නොවේ.
එහෙත් බටහිරින් පැමිණි, තවමත් බටහිරින් (රෝමයෙන්) මෙහෙයවන කතෝලික පල්ලියද ලංකාව තුල එම ගොඩටම වැටෙන්නේ ඇයි?
මට නම් පෙනී යනුවේ එය ක්‍රිස්තියානි ආගම දේශීය තත්වයන්ට ගලපාගැනීමට, නැතහොත් දේශීයකරණය කරගැනීමට ශ්‍රී ලංකා කතෝලික සභාව දරණලද සහ තවමත් දරමින් සිටින උත්සාහයේ ප්‍රතිපලයක් බවය.
ඇත්තවශයෙන්ම, ශ්‍රී ලංකා කතෝලික සභාව දේශීයකරණය කිරීමට ප්‍රථමයෙන්ම ක්‍රියාමාර්ග ගත්තේ ලංකාවේ ප්‍රථම කාදිනල්වරයාවූ තෝමස් කුරේ කාදිනල්තුමාය. ඒ ඔහු පවා කමිටු සමාජිකත්වය දරූ දෙවන වතිකානු මන්ත්‍රණ සභාවේ (1962-65) තීන්දු තීරණ නිකුත්වීමටත් පෙර, 1944 දී කොළඹ අගරදගුරු පදවියේ සිටි අවසාන විදේශීය අගරදගුරුවරයාවූ ප්‍රංශ ජාතික Jean-Marie Masson, O.M.I. (1944-1947) අගදරගුරුවරයා ඉවත්ව ගොස් මීගමුව පෙරියමුල්ලෙන් බිහිවූ බෙන්ජමින් තෝමස් කුරේ රදගුරුවරයා කොළඹ අගරදගුරුවරයා ලෙස පත්වීමෙන් අනතුරුවය.
එහෙත් තෝමස් කුරේ අගරදගුරුවරයා ශ්‍රී ලංකා කතෝලික සභාව දේශීයකරණය වියයුත්තේ කුමන ආකාරයකටද? එහි සීමා මායිම් මොනවාද? යන්න ගැන පැහැදිලි දැක්මක් සහ අවබෝධයක් ඇතිව සිටියහ. එයට එක් උදාහරණයක් වනුවේ 1962 දී එවකට කොළඹ කතෝලික පාඨශාලා සමාන්‍ය අධිකාරිවරයාවූ D. J. ඇන්තනී පියතුමා කොළඹ ආනන්ද විද්‍යාලයේ රැස්වීමකදී "තමන් අන් සිංහලයන්ට නොදෙවෙනි සිංහලයෙකු බවත්, තමන්ගේ ලේවල දුවන්නේ ආර්ය සිංහල ලේ" යැයි දැක්වූ ප්‍රකාශනයක් සම්බන්දයෙන් අවවාද කල බවත්, එවැනි වාගලංකාරයන් (rhetoric) අනවශ්‍ය අවධානයන් සහ විකෘති අදහස් නිර්මාණය කරණබවත් දක්වා තිබේ.
එමෙන්ම කාදිනල් කුරේ හිමියන් දරුණු ලෙස රෝගාතුරව ස්විට්සර්ලන්තයේ සිරිකුරුස නිකායේ ශා. රැපියල් රෝහල්ගතව සිටි සමයේ එතුමා ලඟින්ම සිටි එවකට රදගුරුවරයාවූ එම්ලියානුස් පිල්ලේ පියතුමන් වරක් පවසා ඇත්තේ "අප සිංහල හෝ දෙමළ වන්නේ භාෂාව නිසාද, නැතහොත් සංස්කෘතිය නිසාද යන්න දේවධර්මයට අදාල නැති බවත්, සියල්ලන්ම දෙවියන්වහන්සේගේ දරුවන්" බව තරුණයන්ට පසක්කර දෙන ලෙසය.
එවැනි ආකාරයේ විචක්ෂණ ලෙස මතවාදීමය ලෙස සහ ප්‍රතිපත්තිමය වශයෙන් ශ්‍රී ලංකා කතෝලික සභාව සිය සීමාවන් සටහන් කරගැනීමට දේශීය සහ බටහිර යන්න නීර්ණය කරගැනීමේදී වර්තමානයේ කෙතෙක් සමත්ද යන්න මැල්කම් රන්ජිත් කාදිනල්තුමාගේ ප්‍රකාශනයන් තුල දැන් දැන් නිතර මතුවෙන ගැටළුවකි.
සිංහලයන් යනු සිංහල-බෞද්ධයන් යැයි යන්න වඩ වඩාත් තවුරුකිරීමට දැඩි වෙරක් දරණ ප්‍රවණතා හමුවේ සිංහල-කතෝලිකයන්ද සිංහලයන්ය යන්න තවුරුකිරීමට ශ්‍රී ලංකාවේ කතෝලික සභාවට උවමනාවක් පවතින්නේද? සිංහලයන් යනු සිංහල-බෞද්ධයන් පමණක්ය යන්න මතුකරන්නන් සිංහල-කතෝලිකයන් නියම සිංහලයන් ලෙස පිළිගනීද යන්න අපි නොදනිමු.
එහෙත් කතෝලිකයන් විවිධ භාෂා කථා කලද විවිධ සංස්කෘතික අනන්‍යතාවයන්ගෙන් යුක්තවුවද ඔවුන් මූලික ආගමික-සංස්කෘතික අනන්‍යතාවය බටහිර බව කිසිසේත්ම මුලින් උපුටා දැමිය හැකියැයි මම නම් නොසිතමි. විශේෂයෙන්ම රෝමයෙන් මෙහෙයවන රෝමානු කතෝලික සභාවකට එය කිසිසේත්ම කල නොහැක. එහෙයින් කාදිනල්තුමාගේ බටහිර සමාජ විවේචනය ''කිරි නිසා විසිකිරීම්ටත් බැරි උණු නිසා බීමටත් බැරි'' තත්වයක් නිරූපණය කරයි.
කෙසේවුද, කදිනල්තුමාව විවේචනය කිරීම සඳහා මංගල සමරවීරගේ කරේ නැගීමට හෝ මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන දේශපාලන වාසියක් ලබා ගැනීමට මහින්ද රාජපක්ෂලාගේ සහ නිමල් ලාන්සලාගේ තක්කඩි වැඩ වලට හෝ සහය දීමට නොයා යුතුය. මන්ද ඔවුන් නිරූපණය කරන ලුම්පන්, අවස්ථාවාදී, තක්කඩි දේශපාලනයෙන් අපට වැඩක් නැත.
අප පෙනී සිටිය යුත්තේ හුදෙක් දේශපාලකයන්ගේ හෝ ආගමික නායකයන්ගේ ප්‍රසාදයන්, අභිලාෂයන්, ආශිර්වාදයන් පදනම් කරගත් නියාලු සමාජයක් වෙනුවට බටහිර මනුෂ්‍යයා මෙන් අනුබුද්ධිය, තර්කඥානය, කැමැත්ත, යුක්ති සහගත බව සහ පරිමේය මුල්කරගත් සබුද්ධික මනුෂ්‍ය ජීවිතයක් (Rationalist humanism) වෙනුවෙනි. 'මානව හිමිකම්' ආරක්ෂාකරගත යුත්තේ එවැනි මනුෂ්‍යයන්ට ජීවත්විය හැකි සමාජ අවකාශයක් වෙනුවෙනි.
මාකස් ප්‍රියන්ත පෙරේරා.
28/09/2018